Wednesday, January 24, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 18 (බැදපු දෙල් පෙති)


(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 බැදපු දෙල් පෙති


හසන්ෆුලු කියන්නෙ තරුණ කෙවුලෙක් (නායක ධීවරයෙක්). ඔහු මුළු අතොළුවේම හිටපු දක්‍ෂම ධීවරයා කියලයි හැමෝම කිව්වෙ. ඔහු තමාගේ රැකියාවට ආදරය කළා. ඒ වගේම නිතරම මූදු ගියා.

එක දවසක් මූදු ගිහිල්ල ආපහු හවස ගෙදර එනකොට ඔහු දැක්කා මුහුදු වෙරළේ දෙල් විකුණනවා. ඔහු මාළු කූරි කීපයක් ලොකු දෙල් ගෙඩි හතරකට හුවමාරු කර ගත්තා. දෙල් ගෙඩි ගෙදර ගෙනාපු ඔහු තමාගේ බිරිඳට කතා කළා.

"සම්පාෆුලා, මේ දෙල් කපල බදින්න​. මම හෙට මූදු යද්දි ඒව අරගෙන යන්න ඕනෙ."

හසන්ෆුලු බැදපු දෙල් කන්න හරිම ආසයි. ඉතින් සම්පාෆුලා මුළු හවස් වරුවම මහන්සි වෙලා දෙල් ගෙඩි පෙති කපලා බැදල ලොකු ටින් දෙකකට දාල තිබ්බා.



එදා හිමිදිරි පාන්දර​, හරියට එළිය වැටෙන්නත් කලින් කවුදෝ හසන්ෆුලු ට කතා කරා.

"කෙවුලු, කෙවුලු, හනිකට නැගිටපං. උඹ එනකං බෝට්ටුව යන්න විදිහක් නෑ."

හසන්ෆුලු උඩ පැනල නැගිට්ටා. මුළු ගෙදරම බැදපු දෙල් සුවඳයි. ඔහු ලහි ලහියේම පොඩි භාජනේකට දෙල් පෙති ටිකක් දාගත්තා. මුහුදෙදි කන්න​. තවත් දෙල් පෙති අහුරක් සරමට තියල ගැට ගහ ගත්තා. ඊට පස්සෙ ඔහු ගෙදරින් එළියට බැස්සා.

"යමු"

තාමත් හාත්පස කරුවලයි. හසන්ෆුලු ට කතා කරපු මනුස්සය අඳුරු පාරෙ ඉස්සරහින් යනවා. හසන්ෆුලුත් කතාවක් බහක් නැතුව ඔහු පස්සෙන් ගියා.

ටික වෙලාවකින් හසන්ෆුලු සරමට තියල ගැට ගහ ගත්ත දෙල් පෙති දෙක තුනක් කටේ දාගත්තා. සම්පාෆුලා ඒව නියම පදමට බැදල තිබ්බා. උදේ පාන්දර නිසා මුලු දූපතම නිහඬයි. හසන්ෆුලු දෙල් පෙති හපන සද්දෙ "කරස් - කුරුස්" ගාලා සැරටම ඇහුනා.

ඒ සද්දෙ ඇහුන විතරයි ඉස්සරහින් ගිය මිනිහා හැරිල බලන්නෙවත් නැතුව එක පාරටම මුහුදු වෙරළට දුවගෙන ගිහින් මුහුදට පැනල පීනන්න පටන් ගත්තා. සිද්ද වුනේ මොකද්ද කියල හසල්ෆුලු ගෙ ඔලුවට වැටෙනකොට පේන්න තිබ්බෙ ඔහු මුහුදට පැනපු තැන ඉතුරු වුන සුදු පාට පෙණ විතරයි.

හසන්ෆුලුට වෙච්ච දේ අදහගන්න බැරි වුනා.

"හැමදාම නඩේ එකෙක් මාව ඇහැරවන්න උදේට එනවා. මේ වගේ දෙයක් නං කවදාවත් වෙලා නෑ. මූ එකපාරටම මුහුදට පැන්න​. මේක හරි පුදුමයක්."

ඔහු තමාගෙ බෝට්ටුව නවත්තන තැනට ඇවිදගෙන ගියා. යන්තම් වැටෙන තරු එළියෙන් ඔහු දැක්කා බෝට්ටුව වෙරළේ නවත්තල තියෙන හැටි. ඒත් කවුරුවත් එතන හිටියෙ නෑ. ඔහු පෙරදිග අහස දිහා බැලුව​. ඒත් ඉර පායන ලකුණක් වත් තිබ්බෙ නෑ. හසන්ෆුලු පල්ලියට ගිහින් වෙලාව බැලුව​.

වෙලාව රෑ දෙකයි!

හසන්ෆුලු සිද්ද වෙච්ච දේ ගැන හිතමින් ආපහු ගෙදර ගිහින් නිදා ගත්තා.

උදේ පහට විතර හසන්ෆුලු ගෙ ධීවර නඩය බෝට්ටුව මූදු යන්න ලෑස්ති කරල ඔහුව ඇහැරවන්න ගෙදර ආව​. ඔවුන් හසන්ෆුලු ට කතා කරත් ඔවුන්ට පිළිතුරක් ලැබුනෙ නෑ. ඔවුන් හිතුවා හසන්ෆුලු අසනීපෙන් වෙන්න ඇති කියල​. ඒක හොඳට මාළු අහුවෙන කාලෙ. ඒ නිසා ඔවුන් හසන්ෆුලු නැතුවම මූදු ගියා.


ඔවුන්ට එදා ටූනා මාළු විශාල ප්‍රමානයක් අහුවුනා. හවස් වෙද්දි ඔවුන් ආපහු ගොඩබිමට ආව​. හසන්ෆුලු වෙරළේ ඔවුන් එනකං බලාගෙන ඉන්නවා.

"කෙවුලු තමුසෙට මොකද වුනේ?"

ඔවුන් හිනා වෙමින් ඇහුවා. ඒත් හසන්ෆුලු ගෙ මූනෙ තිබ්බෙ බැරෑරුම් බවක්.

"ඊයෙ රෑ කවුදෝ ඇවිත් මට මූදු යන්න කතා කරා. මම හිතුවෙ ඒ කුඩ සාලීහු කියල​. ඒ වුනාට කරුවලේ මම හරියට දැක්කෙ නෑ. මම පස්සෙන් ගියා. මම දෙල් පෙත්තක් කන සද්දෙ ඇහුන විතරයි ඌ මුහුදට පැනල පීනගෙන යන්න ගියා."

කුඩ සාලිහූ කියන්නෙ ධීවර නඩයේ සාමාජික ගැටවරයෙක්.

"මම කෙවුලු ගෙ ගෙදර ආවෙ නෑ. මම කෙවුලු ව දැක්කෙත් නෑ. මම මුහුදට පැන්නෙත් නෑ."

හසන්ෆුලු දිගටම කතාව කිව්වා.

"මම බෝට්ටුව ළඟට ආවා. කවුරුවත් හිටියෙ නෑ. පල්ලියට ගිහින් වෙලාව බැලුවම පාන්දර දෙකයි. මම ආපහු ගෙදර ආව​. උදේ ආපහු කවුදෝ මට කතා කරා. මම බය වුනා එළියට යන්න​."

ධීවර නඩයේ හැමෝම තක්කු මුක්කු වෙලා මේ කතාව අහගෙන හිටියා.

නඩයේ ඉන්න මහළු ධීවරයෙක් කටහඬ අවදි කලා.

"මම හිතන්නෙ ඒ ආවෙ ෆරු ෆුරේතයෙක් (කොරල් පර වල ඉන්න අමනුෂ්‍යයෙක්). ඌ කෙවුලු ට අනතුරක් කරන්න යන්න ඇත්තෙ. ඒත් දෙල් පෙති හපන සද්දෙ ඇහිල ඌ බය වෙන්න ඇති. ඌ හිතන්න ඇති කෙවුලු ඌටත් වඩා දරුණු අමනුස්සයෙක් කියල​. කෙවුලු මූදු ආවෙ නැත්තෙ හොඳ වෙලාවට​. මුහුදෙදි ඌ අපිට අනතුරක් කරා නං අපි ඔක්කොම මැරෙන්න තිබ්බා."

බැදපු දෙල් පෙති කෙවුලු හසන්ෆුලු ගෙ සහ ඔහුගේ ධීවර නඩයේ ජීවිත බේරල දුන්නෙ එහෙමයි෴


- කතාව කිව්වෙ ගාගේ නයිමා (මාලේ දූපත​)

අටුවාව​

1. කෙවුලු
දිවෙහි භාෂාවෙන් කෙවුලු කියල හඳුන්වන්නේ ධීවර නඩයක නායකයා. ඔහු මාලදිවයිනේ ඉතාම වැදගත් පුද්ගලයෙක්.

2. ෆරු ෆුරේත​
කොරල් පර වල ජීවත් වෙන අමනුස්ස කොට්ඨාශයක්. දිවෙහි බසින් "ෆරු" කියන්නෙ කොරල් පරය​. "ෆුරේත" කියන්නෙ අමනුස්ස විශේෂයක්. ඒක ඇවිත් තියෙන්නෙ සිංහල "පෙරේත​" කියන එකෙන්.

4 comments: