Friday, January 5, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 13 (සන්ති මාරියම්බු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

සන්ති මාරියම්බු


එකෝමත් එක කාලෙක යාළුවො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් බොහොම කටකාරයි. එයාගෙ නම "අංගගඩමිතුරු". අනිත් එක්කෙනා බොහොම නිෂ්ශබ්ධයි. එයාගෙ නම "අංගමඩුමිතුරු".

දවසක් යාළුවො දෙන්නා එකතුවෙලා මුහුදු වෙරළේ තියාගෙන "මාෆුහ්" (අග්ගලා වගේ කෑමක්) පිඟානක්ම කෑවා. කෑමෙන් පස්සෙ අංගමඩුමිතුරු ට ලොකු නිදිමතක් ආවා. එයා වෙරළේ තිබ්බ ලෑල්ලක් උඩ ඇල වෙලා නිදා ගත්තා.

අංගමඩුමිතුරු මෙහෙම නිදාගෙන ඉන්නකොට "සන්ති මාරියම්බු" (දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන යකින්නක්) ආවා. එයා දැක්කා අංගමඩුමිතුරු නිදාගෙන ඉන්නවා. සන්ති මාරියම්බු අංගමඩමිතුරු ගෙ දත් ටික පරික්‍ෂා කරල බැලුව​. ඒවයෙ මාෆුහ් කෑලි රැඳිලා. සන්ති මාරියම්බු දත් එකින් එක හෙමීට ගලවලා අළුත් දත් ටිකක් හයි කරා. දත් ගලවනකොට අංගමඩුමිතුරු ට ඇහැරුනා. ඒත් නිදාගෙන වගේ හිටියා.

පහුවදා අංගමඩුමිතුරු තමන් ගෙ යාළුව ව මුණගැහෙන්න ගියා. අංගගඩමිතුරු දැක්කා අංගමඩුමිතුරු ගෙ ලොකු වෙනසක්. ඔහුගෙ කටේ අළුත්ම අළුත් දත් ටිකක්! අංගමඩුමිතුරු යාළුවට කිව්වා ඔහු නිදාගෙන ඉද්දි සන්ති මාරියම්බු ඇවිත් අළුත් දත් ටිකක් දුන්නු හැටි.  අංගගඩමිතුරු ටත් අළුත් දත් ටිකක් ලබා ගන්න ආසාවක් ඇතිවුනා.

එදා හවස අංගගඩමිතුරු ආයෙත් මාෆුහ් කාල අංගමඩුමිතුරු නිදාගෙන හිටපු ලෑල්ල උඩම දිගෑදිලා නිදාගත්තා.

ටික වෙලාවකින් සන්ති මාරියම්බු ආව​. එයා අංගගඩමිතුරු ගෙ දත් ටිකත් පරික්‍ෂාකරල බැලුව​. ඒවත් මාෆුහ් වලින් අපිරිසිදු වෙලා. සන්ති මාරියම්බු හෙමින් සැරේ දත් එකෙන් එක ගැලෙව්වා.

අංගගඩමිතුරුට තවත් කට පියාගෙන ඉන්න අමාරු වුනා. ඔහු එක පාරටම නැගිටලා

"මටත් ලස්සන දත් ටිකක් දෙන්න​" කිව්වා.

සන්ති මාරියම්බු බය වුනා. බය වෙච්ච පාර ගලවපු දත් ටික ආපහු උඩින් පල්ලෙන් හයි කරල එයා පැනල දිව්වා.

අංගගඩමිතුරු ගෙ දත් ටික එදා ඉඳල තිබ්බෙ මඩේ හිටවපු ඉණි වැටක් වගේ෴



- කතාව කිව්වේ බෂිමා ගේ මුහම්මදු රෂීදු

අටුවාව​

1. අංගගඩමිතුරු සහ අංගමඩුමිතුරු

දිවෙහි බසින් මේ නම් වල තේරුම "පොල්කිචි මිතුරා" සහ "විනීත මිතුරා".

2. මාෆුහ්

මිලට් පිටි ගාපු පොල් සහ පොල් පැණි එක්ක මිශ්‍ර කරල ගුලි වගේ හදන කෑමක්. අපේ අග්ගලා වලට ඉතා සමානයි.


3. සන්ති මාරියම්බු

දිවෙහි රාජ්ජේ ජනකතා වල එන යකින්නක්. ඇය දත් පුරවපු මල්ලක් කරේ තියාගෙන ඇවිදිමින් මිනිස්සුන් ගෙ නරක දත් වලට හොඳ දත් මාරු කරනවා. විශේෂයෙන්ම පොඩි ළමයින් ගෙ ගැලවෙන දත්. හොඳට හැසිරෙන ළමයෙක් ගෙ ගැලවෙන දතකට රත්තරන් දතක් දෙන්නත් සන්ති මාරියම්බු සමහර වෙලාවට කාරුණිකයි.

No comments:

Post a Comment