Wednesday, January 25, 2017

විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැන ගත යුතු කරුණු - 1


වෙළඳ පොළේ තියෙන විදුලි ලාම්පු වර්ග


1. සූත්‍රිකා ලාම්පු 



මේ ලාම්පු වල කෙරෙන්නෙ ටංස්ටන් ලෝහයෙන් තැනුනු සිහින් කම්බියක් හරහා විදුලි ධාරාවක් යැවීම​. විදුලි ධාරාව මගින් කම්බිය රත් වෙලා ආලෝකයක් ඇති කරනවා.

2. හැලජන් ලාම්පු



මේකත් සූත්‍රිකා ලාම්පුවක් මයි. නමුත් බුබුළ ඇතුලට බ්‍රෝමීන් හෝ අයඩින් ස්වල්පයක් එක් කරල තියෙනව​. ඒ මගින් ලාම්පුවේ ජීව කාලය සහ දීප්තිය වැඩි කර ගන්න පුළුවන්.

3. ප්‍රතිදීප්ත ලාම්පු (ටියුබ් ලයිට්)




මේ වර්ගයේ ලාම්පු සමන්විත වෙන්නෙ ආගන් හෝ නියොන් වායුව සහ රසදිය වාෂ්ප පුරවන ලද දිග වීදුරු බටයකින්. මේ වීදුරු බටය ඇතුල් පැත්තේ බිත්තියේ පොස්පරස් අඩංගු විශේෂ රසායනිකයක් ආලේප කරල තියෙනවා. වීදුරු බටය දෙපැත්තට වෝල්ටීයතාවයක් දුන්නම ආගන් සහ රසදිය වාෂ්ප මිශ්‍රනයෙන් පාරජම්බූල කිරණ නිකුත් කරනවා. මේ කිරන අර රසායනික ආලේපනය මගින් ආලෝකය බවට පත් කෙරෙනවා.


4. සංගත ප්‍රතිදීප්ත ලාම්පු (සී.එෆ්.එල්.)




මේකත් සාමාන්‍යය ප්‍රතිදීප්ත ලාම්පුවක් මයි. නමුත් බටයේ ප්‍රමානය කුඩායි, ඒ වගේම බටය නවලා ලාම්පුවේ ප්‍රමානය කුඩා කරල නිපදවල තියෙනවා.

5. රසදිය වාෂ්ප ලාම්පු (එම්.වී.)



මේ ලාම්පු පුරවල තියෙන්නෙ රසදිය වාෂ්ප වලින්. ලාම්පුව ඇතුලෙ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකට වෝල්ටීයතාවයක් දුන්නම ඒ දෙක අතර විද්‍යුත් පුළිඟුවක් ඇති වෙනවා. මේ පුළිඟුව විසින් රසදිය වාෂ්පය දීප්තිමත් ප්ලාස්මාවක් බවට පත් කරනවා.

6. අඩු පීඩන සෝඩියම් ලාම්පු 




මේ ලාම්පු ඇතුලෙ සෝඩියම් ලෝහ කැබලි තියෙනවා. ලාම්පුව පුරවල තියෙන්නෙ නියොන් වායුවෙන්. ලාම්පුවේ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකට වෝල්ටීයතාවයක් දුන්නම සෝඩියම් ලෝහය වාෂ්ප වෙලා දීප්තිමත් කහ එළියකින් ලාම්පුව පිරෙනවා. මේ ලාම්පු පහසුවෙන් හඳුන ගන්න පුළුවන් ඒවයේ කහ පාට ආලෝකයෙන්.

7. අධි පීඩන සෝඩියම් ලාම්පු




මේකත් අඩු පීඩන සෝඩියම් ලාම්පුවක් වගේමයි. නමුත් ලාම්පුව ඇතුලෙ පීඩනය වැඩියි. ඒ වගේම නියොන් වායුව වෙනුවට ලාම්පුව පුරවන්න යොදාගෙන තියෙන්නෙ සෙනොන් වායුව​. ඊට අමතරව රසදිය වාෂ්ප ස්වල්පයකුත් එක් කරල තියෙනවා. මේ රසදිය මගින් ලාම්පුවේ ආලෝකයේ කහ පැහැය ටිකක් අඩු කරල දෙනවා.

8. ලෝහ හේලයිඩ ලාම්පු




මේ ලාම්පු පුරවල තියෙන්නෙ ආගන්, සෙනොන් සහ රසදිය වාෂ්ප වලින්. නමුත් ඊට අමතරව "ලෝහ හේලයිඩ​" කියල හඳුන්වන රසායනික ද්‍රව්‍යය ගණනාවකුත් අඩංගු වෙනවා. ලාම්පුව ඇතුලෙ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකට වෝල්ටීයතාවයක් දුන්නම රසායනික ද්‍රව්‍යය මිශ්‍රනය දීප්තිමත් ආලෝකයක් නිකුත් කරනවා.

9. ආලෝක විමෝචක ඩයෝඩ ලාම්පු (එල්.ඊ.ඩී.)




මේ වර්ගයේ ලාම්පු වල තියෙන්නෙ ආලෝක විමෝචක ඩයෝඩයක්. බොහෝ විට මේ සඳහා යොදා ගන්නේ ගේලියම් අර්ධ සන්නායක​. මේ අර්ධ සන්නායක හරහා විදුලි ධාරාවක් යැව්වම එයින් ආලෝකය නිකුත් වෙනවා.


ඉතින් මේ ලාම්පු අතරින් මොන ලාම්පුවද හොඳම​?

එහෙම "හොඳම​" එක කියල එකක් නෑ. හැම ලාම්පුවේම වාසි-අවාසි තියෙනවා. සමහර තැන් වලදි වාසියක් වෙන දේ වෙනත් තැනකදි අවාසියක් වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕනෙ මේ එක් එක් වර්ගයේ ලාම්පු වල ගුණාංග හඳුනාගෙන අපේ අවශ්‍යයතාවයට වඩාත්ම ගැලපෙන එක තෝරා ගැනීම​.



ජපන් වැසිකිළි





අද කතා කරන්න යන්නෙ ජපානයේ මිනිස්සු රෙන හැටි සහ රීල පුක හෝදන හැටි.

ජපන්නු සුද්දො වගේ කඩදාසි වලින් පිහිදන්නෙ නෑ. අපි වගේ වතුර පාවිච්චි කරල හෝද ගන්න තමයි කැමති.

හැබැයි ජපානේ ගොඩක් දේවල් වගේ මේක එච්චර සරළ නෑ. ජපන් වැසිකිළියක් කියන්නෙ ජපන් ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ඨ නිර්මානයක්.

ජපානයේ වැසිකිළි වර්ග තුනක් තියෙනවා.


1. වෂිකි (和式)



පළවෙනි එක "වෂිකි" කියල ජපන් බසින් හැඳින්වෙන, "squat toilet" කියල ඉංග්‍රීසියෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික වැසිකිළිය​. මේව ජපානයේ වැඩිපුර භාවිතා වෙන්නෙ ගම්බදව​. නාගරිකව ඇත්තෙම නැති තරම්.

මේ වර්ගයේ වැසිකිළි කොන්ක්‍රීට් හෝ ලෑලි වලින් සැදූ වේදිකාවක සදන ලද සිදුරක තත්වයේ ඉඳල පෝසිලේන් වලින් සැදූ ජල මුද්‍රික තත්වය දක්වා විවිධ කොලිටියෙන් තියෙනවා.

මේ වැසිකිළිය පාවිච්චි කරන්න ඕනෙ "ඇණ තබාගෙන ඉන්න​" ඉරියව්වෙන් ඉඳගෙන​. ජපන්නු අතර මේ ඉරියව්ව (වැසිකිළි නොයන අවස්ථා වලදී පවා) ඉතා ජනප්‍රියයි. වාඩි වෙන්න අසුනක් නැති තැනක ඕනම ලොකු ලොක්කෙක් මේ ඉරියව්වෙන් තමයි වාඩි වෙන්නෙ.

බටහිර වෛද්‍ය විද්‍යාවෙන දැන් හොයාගෙන තියන විදිහට මේ ඉරියව්ව අර්ශස් ආදී රෝග රැසක් වලක්වන්න සමත්. අපි අතරෙන් මේ ඉරියව්ව වේගයෙන් නැති වී යමින් තිබුනත්, ජපනට ලේසියෙන් මුල් අමතක වෙන්නෙ නෑ.

දියුණු තත්වයේ වෂිකි වැසිකිළියක වැසිකිළි පෝච්චියේ එක කෙළවරක පොඩි "හුඩ් එකක්" තියෙනවා. වාඩි වෙන්න ඕනෙ ඒ පැත්තට මුහුණ දාල​. ඒක තියෙන්නෙ මූත්‍රා විසිරී නොයාම සඳහා. ඒ වගේම සමහර තැන් වල වාඩි වෙද්දි සහ නැගිටිද්දි වරුවක් ගන්න පොඩි බටයක් හයි කරල තියෙනව​.

ගොඩක් වෂිකි වල වැඩේ කරල හෝද ගන්න බිඩේ ෂවර් එකක් තියෙනවා. සාම්ප්‍රදායිකව නම් මේ සඳහා ලී බාල්දියක් තමයි පාවිච්චි කරන්නෙ. සමහර තැන්වල ටොයිලට් පේපර් රෝලකුත් හොයා ගන්න පුළුවන්.


2. යෝෂිකි (洋式)



දෙවෙනි වර්ගය ජපන් බසින් "යෝෂිකි" ලෙසිනුත් ඉංග්‍රීයෙන් "flush toilet" ලෙසිනුත් හැඳින්වෙන බටහිර පන්නයේ වැසිකිළිය. මේක ලංකාවෙ දැන් බහුලව දකින්නට ලැබෙන කොමෝඩ් එක සහිත වැසිකිළියමයි.

ජපානයේ මේ වර්ගයේ වැසිකිළි බහුලව තියෙන්නෙ පොදු ස්ථාන වල (දුම්.රිය පොළ හෝ ආපනශාලා වගේ).

වැඩේ කරල හෝද ගන්න බිඩේ ෂවර් එකක් අනිවාර්‍යයෙන් තියෙනවා. විදේශිකයන් ගැන හිතල ටොයිලට් පේපර් රෝලකුත් තියල තියෙනවා.


3. වොෂුරෙත්තො (ウォシュレット )




තුන්වෙනි එක තමයි ජපන් බසින් "වොෂුරෙත්තො" ලෙසත් ඉංග්‍රීසියෙන් "Japanese super toilet" ලෙසත් හැඳින්වෙන නවීන ජපන් වැසිකිළිය​.

මේ වැසිකිළිය බැලූ බැල්මට සාමාන්‍යය යෝෂිකි වැසිකිළියක් වගේම තමයි. හැබැයි පුක හෝදන ආකාරය ඉතාමත් වෙනස්.

මේකෙ හෝදන වැඩේ කරන්නෙ කොමෝඩ් එක ඇතුලෙ තියෙන පොඩි බටයකින් කෙලින්ම පුකට වතුර පාරක් විදීම මගින්. මේක සම්පූර්නයෙන්ම පාලනය වෙන්නෙ විදුලිබලයෙන් ස්වයංක්‍රීයව​. පාලන පුවරුවක් කොමෝඩ් එකේ පැත්තක තියෙනවා.


මේ වර්ගයේ වැසිකිළියක බේසික් ෆීචර්ස් තුනක් අනිවාර්‍යයෙන් තියෙනවා.

1. පුක සේදීම සඳහා භාවිතා කරන පිටුපසින් එල්ලවන ජල ධාරාව​
2. කාන්තාවන් මූත්‍රා කළ පසු සේදීම සඳහා ඉදිරිපසින් එල්ල වන ජල ධාරාව​
3. ජල පහරේ සැර පාලනය​

ඊට අමතරව සමහර වැසිකිළිවල මේ ෆීචර්ස් වලින් එකක් හෝ වැඩි ගණනක් තියෙන්නත් පුළුවන්.

1. ජල පහරේ උෂ්නත්ව පාලනය​
2. වැසිකිළි අසුනේ උෂ්නත්ව පාලනය
3. රෙන ගමන් කම්මැලි හිතුනොත් අහගෙන ඉන්න සංගීත වාදනයක්
4. ඒ සංගීතයේ හඬ පාලනය​
5. ගඳ නැසීම සඳහා වායු සුවඳ කාරකයක් මුදා හැරීම​
6. පඩයක් යන්න ගියොත් එහි ශබ්ධය කවර් කර ගැනීම පිණිස වාදනය කළ හැකි වැසිකිළිය ෆ්ලෂ් කරන හඬ අඩංගු වාදනයක්

මෙකී නොකී ෆීචර්ස් ගණනාවක් මේ වැසිකිළි වල තියෙනවා.



මේ වර්ගයේ වැසිකිළි නාගරිකව බහුලව දකින්න පුළුවන්. හෝටල් වල​, රැකියා ස්ථාන වල එහෙම මේවා තියෙනවා.

ජපන දියුණු වුනා කියල පුකෙන් සුද්ද වගේ වෙන්න කඩදාසි කෑලි වලින් පිහිනව වගේ වැඩ කරන්න ගිහින් නෑ. ජපන් මුතුන් මිත්තො කරපු විදිහටම බොහොම අභිමානවත් ව වතුරෙන් තමයි පුක හෝදගන්නෙ. හැබැයි ඊට වඩා දියුණු ක්‍රමයකට​.

යූරිනල්



යූරිනල් හෙවත් මූත්‍රා කිරීම සඳහා පමණක් භාවිතා කරන ස්ථාන ලෝකයේ අනිත් ඒවට බෙහෙවින් සමානයි.

නමුත් ජපානයේ හැම යූරිනල් එකකම අනිවාර්‍යයෙන් තියෙන දෙයක් තියෙනවා. ඒ මූත්‍රා කරන පුද්ගලයා අතේ තියෙන දෙයක් තැබීම සඳහා යූරිනල් එකට ඉහළින් තියෙන ජනෙල් පඩියක් වගේ පොඩි බැම්ම​. මලු අතින් කටින් එල්ලගෙන හුජ්ජ කරනවට වඩා මේක කොච්චර පහසුවක් ද කියල තේරෙන්න ඒක පාවිච්චි කරන්නම ඕනෙ. (ඉහළ​ පින්තූරෙන් ඔබට ඒ බැම්ම බලාගන්න පුළුවන්).

හයවෙනි පින්තූරයේම තියෙන විදිහට ගොඩක් යූරිනල් වල පින්තූර ඇඳල එක එක "මළ විකාර​" කරල තියෙනවා.

ඒ වගේම යූරිනල් වලට මූත්‍රා කරන පුද්ගලයන් ගේ "එල්ලය​" වැරදීමෙන් මූත්‍රා විසිරී යාමේ කරදරය අඩු කර ගන්න සමහර තැන් වල යූරිනල් වල පොඩි වීඩියෝ ගේම් එකක් තියෙනවා. ඒකෙ යූරිනල් එකේ මූත්‍රා කරන්න ඕනෙ තැන පෙන්නල තියෙනවා. හරි එල්ලයට මූත්‍රා කරද්දි ගේම් එකේ ලකුණු වැඩිපුර ලැබෙනවා. එල්ලය වරදිනකොට චාටර් මියුසික් එකක් වාදනය වෙන ගමන් ලකුණු කැපෙනවා. එතකොට වටේ ඉන්න ඔක්කොටම තේරෙනව මූ කෙලින් හුජ්ජ කරගන්න බැරි එකෙක් කියල​.

සමහර යූරිනල් වල යූරිනල් එකේ අඩියෙ අයිස් කැට දාල තියෙනවා. ඒකෙ හේතුව නම් මම දන්නෙ නෑ. ගඳ නැති කිරීම සඳහා වෙන්න පුළුවන්.

ඒ වගේම පොදු ස්ථාන වල තියෙන යූරිනල් වල එක ස්ථාවයක් අනිවාර්‍යයෙන්ම ආබාධිත පුද්ගලයෙක්ට භාවිතා කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නෙ. ඒක ජපානයේ නීතියක්.


ජපානයේ වැසිකිළි වල විතරක් දකින්න පුළුවන් සමහර දේවල් තවත් තියෙනවා.

තොයිරේ සුරිප්පා (トイレスリッパ)


ජපන්නු පිරිසිදු කමට ගොඩක් තැන දෙන ජාතියක්. ඉතින් වැසිකිළියට පාවහන් නැතිව යන්න උං කැමති නෑ. ඒ වගේම වැසිකිළිය අස්සෙ පාවහන් දාගෙන ගිහිල්ල ඒ පාවහන් වෙන තැන්වලට දාන්නත් උං කැමති නෑ. ඉතින් මොකද කරන්නෙ? වැසිකිළියටම වෙන් කරපු විශේෂ පාවහන් තියෙනවා. ඒවා හැඳින්වෙන්නෙ "තොයිරේ සුරිප්පා" නැත්තම් "toilet slippers" නමින් (හත්වෙනි පින්තූරයේ තියෙන්නෙ තොයිරේ සුරිප්පා යුවලක්).


ඔතොෂිමේ​



ජපන් කාන්තාවන් ගොඩක් ලැජ්ජාශීලියි. ඉතින් මේගොල්ලො කැමති නෑ තමන් මූත්‍රා කරන සහ වැසිකිළියෙදි පිටවන වෙනත් ශබ්ධ එළියට ඇහෙනවට​. ඒ නිසා වැසිකිළිය පාවිච්චි කරද්දි ඒ ශබ්ධ කවර් කරගන්න වැසිකිළිය නිතර නිතර ෆ්ලෂ් කරන්න මේ අය පෙළඹෙනවා.

නමුත් මේ වැඩෙන් ජලය ගොඩක් අපතේ යනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ජපන් ඉංජිනේරුවන් හඳුන්වා දීලා තියෙනවා "ඔතොෂිමේ" හෙවත් "sound princess​".

මේකෙන් කරන්නෙ වැසිකිළිය ෆ්ලෂ් කරන ශබ්ධය අඩංගු හඬ පටියක් වාදනය වෙන්න සැලැස්වීම​. දැන් කාන්තාවන් ගෙ ගෞරවයත් සුරැකිලා - ජලය අපතේ යන්නෙත් නෑ.


ඒ වගේම​, ජපන් සංස්කෘතියේ තදින්ම තියෙන දෙයක් තමයි පිරිසිදු දේ සහ අපිරිසිදු දේ වෙන් කිරීම​. ඒ නිසා පුළුවන් හැමතැනදිම වැසිකිළිය සහ නාන කාමරය තියෙන්නෙ වෙන වෙනම​. ඉඩ කඩ ප්‍රශ්නයක් සහිත නාගරික තට්ටු නිවාස​, හෝටල් වගේ තැන් වල මේ දෙකට එකට තිබුනත්, සාමාන්‍යයෙන් "හොඳ ගෙයක්" හැටියෙට සැලකෙන් ගෙවල් වල සහ ඉඩ ප්‍රශ්නයක් නැති ගම්බද ගෙවල් වල මේ දෙක තියෙන්නෙ වෙන වෙනම​.

ඉංජිනේරු වේදයේ වැදගත් සංකල්පයක් තමයි "attention to details" එහෙම නැත්නම්, කුඩා දේ පිළිබඳ අවධානය​. ඒ කියන්නෙ හැම පොඩි ප්‍රශ්නයක් ගැනම අවධානය යොමු කරල ඒ සියල්ලටම විසඳුම් දෙන එක තමයි සාර්ථක ඉංජිනේරු විසඳුමක් වෙන්නෙ.

පාරිභෝගිකයා මුහුණ දෙන හැම තාක්‍ෂනික​, සංස්කෘතික, මානව​, ජීව විද්‍යාත්මක ගැටළුවක් ගැනම අවධානය යොමු කරල තමාගේ ප්‍රොඩක්ට් එක සැලසුම් කිරීමත් වැඩි දියුණු කිරීමත් සාර්ථක ඉංජිනේරුවෙක් ගෙ ලක්‍ෂනයක්.

ජපන රෙන්න ගියත් ඒක අමතක කරල නෑ.

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 4 (මොත්තයිනයි!)


ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. 

හතරවෙනි වචනය : මොත්තයිනයි!


මොත්තයිනයි කියන්නෙ ප්‍රකාශනයක් (expression). ඒක "කොයිතරම් නාස්තියක්ද!" කියල පරිවර්තනය කරන්න පුළුවන්.

මේක පාවිච්චි වෙන්නෙ මොකක් හරි දෙයක් නිකරුනේ අපතේ යනකොට. ඒක කෑම වගේ ද්‍රව්‍යමය දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං කාලය වගේ අද්‍රව්‍යමය දෙයක් වෙන්නත් පුළුවන්.

නිකරුනේ කෑම ටිකක් අපතේ යන වෙලාවක ඒ ගැන කණගාටුව සහ කලකිරීම ප්‍රකාශ කරන්න "මොත්තයිනයි!" කියන්න පුළුවන්.

මොත්තයිනයි සංකල්පයේ මුල තියෙන්නෙ ෂින්ටෝ ආගමේ. ෂින්ටෝ ආගමේ කියැවෙන විදිහට ලොකු කුඩා හැම දේකම දෙවියෙක් (දෙවියෙක් කිව්වම සර්වබලධාරී දෙවියෙක් නෙවෙයි - අපේ රුක් දෙවියෙක් වගේ) ඉන්නවා. ජපන් සංස්කෘතියේ යම් කිසි දෙයක් නාස්ති කිරීම අර දෙවියන්ට කරන නිගරුවක් හැටියටයි සලකන්නෙ. ඒ නිසා ඕනම දෙයක් ඉවත දැමීමට පෙර ඒකෙන් පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නයි ජපන්නු උත්සහ කරන්නෙ.


අපි දන්නවා ජපානයේ තියෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක්. ධනවාදය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නෙ භාණ්ඩ පරිහරණය මත. භාණ්ඩ පරිහරණය වැඩි වෙන තරමට ආර්ථිකයට හොඳයි. නමුත් ජපානය මොත්තයිනයි සංකල්පයත් එක්ක ධනවාදයෙන් ඉදිරියට ගිය හැටි අපූරු දෙයක්.

ජපන් සමාජය ගත්තොත්, ඇමරිකන් සමාජයට සාපේක්‍ෂව අධිපරිභෝජන වාදය තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. ඇමරිකන් සමාජයේ වගේ පුළුවන් තරම් භෞතික දේවල් අත්පත් කර ගැනීම ජපන් සමාජයේ උත්කර්‍ෂයට නංවන්නෙ නෑ. ඇත්තෙන්ම ජපානය අධිවේගී ආර්ථික වර්ධනයක් පෙන්වපු 1960-80 කාලයේ ජපානයේ පරිභෝජනය පුළුවන් තරම් අඩු කරල තමයි ඔවුන් විදේශ විණිමය උපයලා තියෙන්නෙ.

අධි පරිභෝජනය වෙනුවට ජපනා ආර්ථිකයට ඉන්ධනය වශයෙන් යොදාගෙන තියෙන්නෙ මහන්සි වී වැඩ කිරීම (ඔත්සුකරෙ මතක ඇති).

නාස්තිය අඩු කරන්න අපූරු උපක්‍රම ජපන්නු පාවිච්චි කරනවා. මම දැකල තියෙනවා එක කාර්‍යාලයක අත හෝදන සින්ක් එකෙන් යන වතුර ටික යන්නෙ වැසිකිළියෙ වතුර ටැංකියට. වැසිකිළිය ෆ්ලෂ් කරන්න පාවිච්චි කරන්නෙ ඒ වතුර. ඒ වගේ පොඩි පොඩි උපක්‍රම ජපානයේ ඕනම තැනක දකින්න පුළුවන්.

මොත්තයිනයි පරිසරය සුරැකීමේ ගෝලීය වැඩසටහනක ආදර්ශපාඨය විදිහට යොදා ගැනෙනවා. ඒක යෝජනා කරල තියෙන්නෙ කෙන්.යානු ජාතික පරිසර වේදිනියක් වන වංගාරි මාතයි මහත්මිය.


හැබැයි - කලින් කියපු වචන වගේ නෙවෙයි, මේ සංකල්පය වර්තමාන ජපන් සමාජයේ ඒ තරම් තදින් පාවිච්චි වෙන්නෙ නෑ. සමහර අවස්ථා වලදී ජපන්නු හිතා ගන්න බැරි තරම් නාස්තිකාරයි.

ලොකු නගර වල සමහර තැන් රාත්‍රී කාලයට දවල් වගේ ආලෝකමත් කරන්න පුදුම විදුලි බල නාස්තියක් කරනවා. ඒ වගේම ජපන්නු කඩදාසි නාස්ති කරන්නත් හරි ආසයි. හැම දේම මෘදු ආකෘතියකින් (සොෆ්ත් ෆොර්මත්) තියෙන අද වගේ කාලෙකත් ඕනම පොඩි දේකටත් ප්‍රින්ටවුට් ගන්න එක ජපන්නුන් ගෙ පුරුද්දක්. ඒ වගේම හැම ප්‍රින්ටවුට් එකකම කොපි දෙක තුනක් ගන්නත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ගොඩක් සුපර් මාකට් වල පැය තියෙන කෑම වර්ග පැය 12කට පස්සෙ ඉවත දානව. ඒ විකුණන කෑම අළුත් පිට තියෙන්න ඕනෙ නිසා. ඒකෙනුත් පුදුම නාස්තියක් වෙන්නෙ.

හැබැයි ආපහු මොත්තයිනයි සංකල්පය ජපන් සමාජයට හඳුන්වාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනව(ලු).


ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 3 (ගෙංකි)



ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

තුන්වෙනි වචනය : ගෙංකි


ගෙංකි කියන එක කෙලින්ම පරිවර්තනය කරන්න අමාරුයි. ඒකෙ අදහස "ශක්තිය, ජීව ගුණය, සෞඛ්‍යය සම්පන්න බව, උද්‍යෝගීමත් බව" වගේ දෙයක්. ඒක යම් කිසිවෙක්ට දැනෙන හැඟීමක්. දුකක්, සතුටක් වගේ.

ජපන්නු මුණගැහිල එකිනෙකාට සුබ පතද්දි (සුබ උදෑසනක්, සුබ සැන්දෑවක් වගේ ඒව කිව්වට පස්සෙ) "ගෙංකි දෙස් කා?" කියල අහනව. ඒකෙ තේරුම "ඔබ ඉන්නෙ ගෙංකි බවකින් ද?" (ඒ කියන්නෙ ඔබ සුවෙන් ද? ඔබ උද්‍යෝගීමත් ද? ඔබ ජීවයෙන් පිරිලද?). ඒකට උත්තර දෙන්නෙ, "හයි, ගෙංකි දෙස්" කියල. ඒ කියන්නෙ "ඔව්, මම ඉන්නෙ ගෙංකි බවකින්".

ගෙංකි කියන කන්ජි අක්‍ෂර වලින් ලියන්නෙ 元気 කියල. මේ අකුරු දෙකේ අර්ථය මෙහෙමයි:
元 - ගෙං - ප්‍රභවය
気 - කි - ආධ්‍යාත්මික ශක්තිය

මේ "කි" කියන එක චීන සංස්කෘතියෙන් ආපු දෙයක්. චීන සංස්කෘතියේ "ක්වි (Qi)" කියල සංකල්පයක් තියෙනවා. ඒ කියන්නෙ ප්‍රාණියෙක් ගෙ ජීව ගුණය කියන එක. චීන වෛද්‍ය ක්‍රමයට අනුව මිනිහෙක් ලෙඩ වෙන්නෙ ක්වි වල සමබරතාවය නැති වීමෙන් (හරියට අපේ වා පිත් සෙම් කෝප වීමෙන් වගේ).

දැන් අපි ආපහු එනව ගෙංකි වලට. ගෙංකි කියන්නෙ "ජීව ගුණයේ ප්‍රභවය" කියන එක.

සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ සැලකෙන්නෙ අපි උද්‍යෝගීමත්ව ශක්ති සම්පන්නව ඉන්න නම්, අපි සෞඛ්‍යයය සම්පන්න වෙන්න ඕනෙ කියල.

නමුත් ජපන් සංස්කෘතියෙ සැලකෙන්නෙ ඒකෙ අනික් පැත්ත. අපි උද්‍යෝගීමත්ව ශක්ති සම්පන්නව ඉන්නව නං අපි සෞඛ්‍යය සම්පන්න වෙනව කියල.

ඒ නිසා පුළුවන් හැම වෙලේම "ගෙංකි" වෙලා ඉන්න තමයි ජපන්නු ට්‍රයි කරන්නෙ. කරන හැමදේම උපරිම උද්‍යෝගයෙන්, උපරිම ශක්තියෙන් කරන්න. එතකොට තමාගේ සෞඛ්‍යය සම්පන්න බව රැකෙනව කියල ඔවුන් හිතන්නෙ.


ජපානය අපේක්‍ෂිත​ ආයු කාලය අතින් ලෝකෙ අංක එකට ඉඳීමේ සහ ගෙංකි වල සම්බන්ධයක් තියෙනවද කියල මම දන්නෙ නෑ.

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 2 (ඔත්සුකරෙ)





ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

දෙවෙනි වචනය : ඔත්සුකරෙ


"ඔත්සුකරෙ"කියන එකේ තේරුම "මහන්සියි" කියන එක​.

හැබැයි මේක පාවිච්චි වෙන්නෙ අපි මහන්සියි කියනවට වඩා වෙනස් අරුතකින්.

මේ යෙදුම පාවිච්චි වෙන්නෙ එක විශේෂ අවස්ථාවක සුබ පැතීමක් විදිහට​. ඒ වැඩ ඉවරවෙලා වැඩපොළෙන් නික්මෙන අවස්ථාවේ. එහෙම නැත්නම් මොකක් හරි වැදගත් වැඩක් අවසානයේ.

උදාහරනයකට ඔබ වැඩ ඇරිල ගෙදර යන්න ඔෆිස් එකෙන් පිටත් වෙද්දි යාළුවෙක් ඔබට "ඔත්සුකරෙ" කියල සමු දෙයි. නැත්තනම් වැදගත් මීටින් එකකදි ඔබ හොඳට පර්ෆෝර්ම් කරොත් ඔබේ බොස් ඔබට "ඔත්සුකරෙ" කියල සුබපතයි.

මේ යෙදුම පාවිච්චි වෙන ක්‍රම කීපයක් තියෙනව​

ඔත්සුකරෙ - කෙටි යෙදුම​

ඔත්සුකරෙ දෙස් - ඊට වඩා ටිකක් ෆෝමල්

ඔත්සුකරෙ දෙෂිත - ඒකෙ අතීත කාලය​. තවත් ටිකක් ආචාරශීලී වැඩියි

ඔත්සුකරෙසමා දෙස් - වඩාත්ම බහුලව යෙදෙන විදිහ

ඔත්සුකරෙසමා දෙෂිත - ඒකෙ අතීත කාලය​. වඩාත්ම ආචාරශීලී විදිහ​


ඇයි මේ වැඩ ඉවරවෙලා ගෙදර යද්දි "මහන්සියි" කියන්නෙ?

මේ යෙදුමේ අරුත "ඔබට මහන්සි පාටයි" කියන එක​.

ජපන්නු මේක පාවිච්චි කරන්නෙ "ඔබ අද දවසෙ ගොඩක් මහන්සි වෙලා වැඩ කරල​. ගුඩ් ජොබ්. ඔබ හොඳ කැපවීමෙන් වැඩ කරන දක්‍ෂ පුද්ගලයෙක්" කියන අරුතෙන්.

ජපන් සංස්කෘතියේ ඔවුන් ඉතාමත් ඉහළින්ම අගය කරන දේ තමයි මහන්සි වෙලා වැඩ කරන එක​. මහන්සි වෙලා වැඩ නොකරන පුද්ගලයෙක් සමාජයේ වැදගත් සාමාජිකයෙක් විදිහට සලකන්නෙ නෑ. ඕන රස්සාවක්, වැසිකිළිය පිරිසිදු කිරීමේ ඉඳල මැනේජර් දක්වා, කරද්දි ඒක මහන්සි වෙලා කැපවීමෙන් කරන එක ඉතාමත් උසස් ගුණයක් විදිහට සැලකෙන්නෙ.



ඇත්තෙන්ම යම්කිසිවෙක් වැඩ ඉවරවෙලා ගෙදර යද්දි ඔහු හෝ ඇය වැඩ කරල හෙම්බත් වෙලා නැත්තං ඒක මදි කමක් වගේ.

ඒ නිසා තමයි "ඔබට අද මහන්සි පාටයි" කියල කොම්ප්ලිමන්ට් එකක් දෙන්නෙ.

මේක යොදා ගන්න තව තැනක් තියෙනව​.

ජපානයේ වැඩ ඉවරවෙලා එකට වැඩ කරන සෙට් එක රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල එකට රෑ කෑම ගන්න එක ටිකක් සුලභව කෙරෙන දෙයක්. සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ එහෙම ෆන්ක්‍ෂන් එකක් වැටෙනව​.

ජපන් සංස්කෘතියේ හැටියට ඒ වගේ රෑ කෑමක් එක්ක සකේ හෝ බියර් අනිවාර්‍යයි.

ඉතින් ඒ වගේ වෙලාවට බොන්න කලින් චියර්ස් කියන්නෙ "ඔත්සුකරෙසමා දෙස්" කියල​. ඒ කියන්නෙ "අපි කැපවීමෙන් වැඩ කරා. අපිට මහසියි. ඒ නිසා අපි මේ බියර් එක බොන්න සුදුසුයි" කියන අරුතෙන්.

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 1 (ඉතදකිමස්)



ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

පළවෙනි වචනය : ඉතදකිමස්


"ඉතදකිමස්" කියන්නෙ කෑම වේලකට කලින් ජපන්නු කියන වචනයක්.

හරියටම ඉතදකිමස් කියන්නෙ මෙහෙමයි:

1. අත් දෙක වඳින ඉරියව්වට ගේනවා

2. පොඩ්ඩක් ඉස්සරහට නැවෙනවා

3. "ඉතදකිමස්" කියල කියනව

4. කෝටු දෙක අරගෙන කන්න පටන් ගන්නවා



සමීක්‍ෂනයකදි හෙළි වෙලා තියෙනවා ජපනුන් ගෙන් 90% පමණ කෑම වේලකට පෙර මේ වැඩේ කරන බව.

"ඉතදකිමස්" කියන වචනයේ තේරුම "මම නිහතමානීව, බැගෑපත්ව ලබා ගනිමි" කියන එක.

ඉතදකිමස් කියන වචනය ඔබට යම් කෙනෙක් ද්‍රව්‍යයමය දෙයක් දෙනකොට, උදාහරණයකට යම් කෙනෙක් ඔබට අව්ව වෙලාවක තොප්පියක් දුන්නොත්, ඒක ගද්දි ඉතදකිමස් කියන්න පුළුවන්.

මේක කෑම කන්න පෙර යොදා ගැනීම පටන් අරන් තියෙන්නෙ 1812 දී පළවුන පොතකින්. ඒ පොතේ නම "කෝකෝ මිචිබිකි ගුසා". ඒ පොතේ තියෙන්නෙ එදිනෙදා ජීවිතයේදී පිළිපැදිය යුතු හොඳ පුරුදු ගැන උපදෙස්. ඒකෙ එක තැනක තියෙනව "ආහාර ගැනීමට පෙර සොබාවධර්මයට, සියළුම ජීවත් වෙන සතුන්ට, අධිරාජ්‍යයාට සහ ඔබේ දෙමාපියන්ට ස්තූති කරන්න" කියල.

මේ පොත පළවුනාට පස්සෙ "ජෝදෝ-ෂින්‍ෂු" කියන බෞද්ධ නිකාය විසින් කෑම වේලකට පෙර ඉතදකිමස් කියන්න මිනිස්සුන්ව පොළඹවන්න පටන් අරගෙන තියෙනවා. මේ සිරිත විශේෂයෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නෙ බටහිර ජපානයේ. විශේෂයෙන්ම හිරෝෂිමා නගරය ආශ්‍රිතව.

1920 ගණන් වලදි වගේ ජපන් රජය මේ සිරිත පාසැල් වල උගන්වන්න පටන් අරන් තියෙනව. ඊට පස්සෙ මේක බටහිර ජපානයෙන් පිටතටත් පැතිරිලා මුළු රටේම පිළිපදින සිරිතක් වෙලා තියෙනවා.

ඉතදකිමස් පිටිපස්සෙ තියෙන චින්තනය මොකද්ද? අපි කන්න කලින් සොබාවධර්මයට, සත්තුන්ට ස්තූති කරන්නෙ ඇයි?

මේක පිටිපස්සෙ බෞද්ධ ආභාෂය වගේම ජපානයේ සාම්ප්‍රදායික ආගම වන ෂින්ටෝ ආගමේ ආභාෂයත් තියෙනවා.

බෞද්ධ ඉගැන්වීම් අනුව සියළුම පණ ඇති දෙයට වටිනාකමක් තියෙනවා. ඉතින් මේ පණතියෙන සත්තු (සාමාන්‍යයෙන් ජපන් ආහාරයක මස් මාළු - විශේෂයෙන් මාළු - අනිවාර්‍ය අංගයක්) ඔවුන් ගේ පණ අපේ ආහාරය වෙනුවෙන් පූජා කරලා. අපි අපේ පැවත්ම සඳහා ඒ පූජාව ලබා ගන්නවා. නමුත් අපි ඔවුන් කළ ඒ පූජාව මතක් කරල, ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. හැම කෑම වේලකටම කලින් අපි මතක් කරනවා අපි මේ කන්නෙ පණතියෙන සතෙක් කියල. ඒක අපිට ආහාරයක් වීම වෙනුවෙන් ඒ සතාට කරන පින් දීමක්.

ෂින්ටෝ සම්ප්‍රදාය අනුව, පණ ඇති, නැති සියළුම දේ තුල දෙවියන් ඉන්නවා (දෙවියන් කිව්වම ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් නෙවෙයි. අපේ රුක් දෙවියො වගේ අදහසක්).

ජපන් කියමනක් තියෙනවා "එක හාල් ඇටයක දෙවියන් හත් දෙනෙක් ඉන්නවා" කියල.

ඇත්තටම හාල් ඇටය ඇතුළේ දෙවියන් ඉන්නව කියනවටත් වඩා මේකෙ අරුත, හාල් ඇටය කියන්නෙ දෙවියෙක් කියන එක.

ඉතින් අපේ ආහාරයක ඇති පණ තියෙන, නැති සියළුම දේ ෂින්ටෝ සම්ප්‍රදාය අනුව දෙවියෙක්. අපි ඉතදකිමස් කියල ගෞරවයෙන්, බැගෑපත්ව ලබා ගන්නෙ ඒ දෙවියන්ව. අපේ ආහාරය සඳහා අපි ලබා ගන්න සියළුම දේ දෙවියන් ලෙස සැලකීම තමයි මෙතනදි වෙන්නෙ.

කොටින්ම, සොබාවධර්මය දේවත්වයෙන් සැලකීම.

ජපන් සිරිත් විරිත් වලට අනුව කෑම ඉතිරි කිරීම ඉතාමත් නරක දෙයක් විදිහට සැලකෙන්නෙ. ඊට හේතු දෙකයි.

එක, නාස්තිය.

දෙක, අපි වෙනුවෙන් ප්‍රාණය අතහැරපු සතුන් ගේ සහ ශාක වල කැපකිරීමට කරන නිගරුවක්.

ඉතින්, කෑම වේලක් අවසාන කරන්න කලින් පිඟානේ තියෙන අන්තිම බත් ඇටයත්, නූඩ්ල්ස් රැලත් කන්න ජපන්නු පරිස්සම් වෙනවා. බත් කෝප්පය අතට අරගෙන කෝටු දෙකෙන් අන්තිම බත් ඇටය ගන්න උත්සහ කරන එක (කෝටු දෙකෙන් එක බත් ඇටයක් ගන්න එක ටිකක් අමාරු වැඩක්) ඉතාමත් ලස්සන දෙයක් විදිහට ඔවුන් සලකන්නෙ.