Wednesday, February 11, 2015

ශ්‍රී ලංකාවේ පළාත් බෙදීම් - අළුත් යෝජනාවක්



ත්‍රි සිංහලය (රුහුණු-මායා-පිහිටි)

 ශ්‍රී ලංකාවේ මුල්ම පළාත් බෙදීම අපට හමුවන්නේ එළාර රජුගේ යුගයේදීය​. එකළ ලංකාව ත්‍රි සිංහලය හෙවත් රුහුණු-මායා-පිහිටි නමින් කොටස් තුනකට බෙදා තිබූ බව වංශ කතාවල දැක්වේ.

ඉන්පසු විවිධ අවස්ථා වලදී ලංකාවේ විවිධ ආකාරයේ පළාත් බෙදීම් අපට හමුවේ.

මෑත ඉතිහාසයේ පළමු පළාත් බෙදීම වාර්තා වන්නේ 1833 දීය​. එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පළාත් පහකට (උතුරු, දකුණු, නැගනහිර, බටහිර සහ මධ්‍යයම ලෙස​) බෙදන ලදී. මේ බෙදීම කිසිදු පදනමකින් තොරව සිදු කෙරුණු අතර එය හුදෙක් සිතියමක් මත පැන්සලයකින් ඉරි ඇඳීමක් පමණක් විය​. මේ බෙදීමෙන් බලාපොරොත්තු වුන මූලික කරුණ නම් පැරණි කන්ද උඩ රට රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශ පහතරට ප්‍රදේශ සමඟ එක් කොට, එමඟින් කන්ද උඩරට රාජධානිය කැබැලි වලට කඩා දැමීමයි.


බ්‍රිතාන්‍යයන් ගේ 1833 පළාත් බෙදීම​


ඉන්පසු 1845 දී වයඹ පළාතත්, 1873 දී උතුරු මැද පළාතත්, 1886 දී ඌව පළාතත්, 1889 දී සබරගමුව පළාතත් වශයෙන් නව පළාත් 4 ක් ඇති කරන ලදී.

මේ පළාත් තවදුරටත් දිස්ත්‍රික්ක 25කට බෙදා වෙන් කර ඇත​.

මේ අනුව අද අපි දකින පළාත් බෙදීම 1900 වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරන ලද්දකි.

වර්තමාන පළාත් සහ දිස්ත්‍රික්ක බෙදීම්


නව පළාත් බෙදීමේ යෝජනාව​

මේ බ්‍රිතාන්‍යයන් විසින් අප මත පටවන ලද ක්‍රමය වෙනුවට නව, වඩාත් පදනමක් සහිත පළාත් බෙදීමේ ක්‍රමයකට යෝජනාවකි මේ.


මෙහිදී ශ්‍රී ලංකාව "රට​" නමින් හැඳින්වෙන පළාත් 7 කට බෙදා ඇත​. ඒ එක් එක් "රට" දිස්ත්‍රික්ක 2ක්, 3ක් හෝ 4ක් වශයෙන් අනු බෙදීම් වලට ලක් කොට ඇත​. ඊට අමතරව කොළඹ නගරය ප්‍රදේශය වෙනම ඒකකයක් වශයෙන් සලකා ඇත​.

මේ පළාත් බෙදීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ඇත​.

1. මෙම බෙදීමේ දී කුඩාම ඒකකය ලෙස සලකා ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයි.

2. භූගෝලීය සහ දේශගුණික සන්තතික බව
මෙය සැලකිල්ලට ගෙන ඇති ප්‍රධානම කරුණයි. එකම දේශගුණික සහ භූ ගෝලීය ලක්‍ෂන සහිත ප්‍රදේශ හැකි තාක් දුරට එකම පළාතකට ගෙන ඇත​. මින් බලාපොරොත්තු වූයේ භූගෝලීය - දේශගුණික සාධක මත බොහෝ දුරට ඒ ඒ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත රඳා පවතින හෙයින් එකම ආකාරයේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත සහිත ප්‍රදේශ එකම පළාතකට ගෙන ඒමයි.

3. ජනගහ​ණය
පළාතක හෝ දිස්ත්‍රික්කයක ජනගණය ඉතා කුඩා හෝ ඉතා විශාල නොවන ලෙස බෙදීම් සිදු කර ඇත​. එක් පළාතක් තුල දිස්ත්‍රික්ක බෙදීමේදී හැකිතාක් දුරට සමාන ජනගහණයන් සිටින සේ දිස්ත්‍රික්ක බෙදීම් කර ඇත​.

4. විශාලත්වය​
පළාත් ඉතා කුඩා හෝ ඉතා විශාල නොවන ලෙස බෙදීම් සිදු කර ඇත​.

5. වාර්ගික බෙදීම්
සමස්ත ජාතියක් වශයෙන් අනුගත වීමට ඇති ප්‍රධානම බාධාව "වාර්ගික කුට්ටි" (Ethnic Enclaves) බිහි වීම නිසා හැකි තාක් දුරට ජනවර්ගයන් සඳහා "වාර්ගික කුට්ටි" නොලැබෙන සේ බෙදීම් කර ඇත​.

6. දැනට පවතින බෙදීම්
හැකිතාක් දුරට දැනට පවතින බෙදීම් පදනම් කර ගනිමින් නව බෙදීම් සිදු කර ඇත​.

7. පරිපාලනමය අවශ්‍යයතා
දිස්ත්‍රික්ක බෙදීම් සිදු කිරීමේදී ඒ ඒ දිස්ත්‍රික්කයට ප්‍රධාන නගර අඩු තරමින් තුනක්වත් හසු වන ආකාරයට බෙදීම් කර ඇත​.

8. සම්පත් බෙදී යාමේ සමමිතික බව​
හැකි තරම් සම්පත් සමමිතිකව බෙදී යන ලෙස පළාත් බෙදා ඇත​. උදාහරණයකට (එක් පළාතකට හැරුණු විට) සියළුම පළාත් වලට වෙරළ තීරයක් සහ වරායක් හසු වන ලෙස බෙදීම් සිදු කර ඇත​.

9. පළාත් සහ දිස්ත්‍රික්ක නම් කිරීමේදී ඓතිහාසික ප්‍රදේශ නාමයන් අනුව ඒවා නම් කර ඇත​.

 


පළාත් බෙදීම්


දිස්ත්‍රික්ක බෙදීම්




ඒ ඒ දිස්ත්‍රික්ක සහ පළාත් වල විස්තර​

Wednesday, February 4, 2015

දසමහා යෝධයන් ගේ උප්පත්ති කතා




අපේ ජාතික වීරයන් පිළිබඳ විස්තර සමාජගත කිරීමේ අභිලාෂයෙන් ලියැවෙන ලිපියකි. ථූපවංශය ඇසුරෙනි

 නන්දිමිත්‍ර​

එළාර රජු යටතේ මිත්‍ර නම් සිංහල සෙනෙවියෙක් සේවය කළේය​. ඔහු ගේ නැඟණිය වාසය කළේ අනුරාධපුර නගරයට නැගෙනහිරින් පිහිටි සිතුල්පව්ව ප්‍රදේශයේ කඩරොද නම් ගමේය​. එම නැඟණියගේ පුතා හට මිත්‍ර සෙනෙවියාගේ නමින් "මිත්‍ර​" යන නම තබන ලදී.

මිත්‍ර කුඩා දරුවා දණගානා වියේදී නිවසින් ඈතට යාම වළක්වනු පිණිස ඔහුගේ මව දරුවාගේ ඉණ වටා රැහැණක් බැඳ එය නිවසේ කුරහන් ගලට ගැට ගසා තැබුවාය​. නමුත් කුඩා මිත්‍ර කුරහන් ගලත් ඇදගෙනම නිවසේ එළිපත්ත දක්වා පැමිණියේය​. එළිපත්තේදී කුරහන් ගල පඩියේ පැටලී දරුවාට තව දුරටත් කුරහන් ගල ඇදගෙන යාමට නොහැකි විය​. නමුත් කුඩා දරුවා වැර යොදා ඇද්ද විට ඉණවටා බැඳි රැහැණ කැඩී ගියේය​. මෙසේ වරපට කැඩී ගිය නිසා ඔහු එතැන් සිට "නන්දිමිත්‍ර​" යන නමින් ප්‍රසිද්ධ විය​.

ඉතාමත් ශක්තිමත් තරුණයෙක් ලෙස වැඩුණු නන්දිමිත්‍ර ඇතුන් දස දෙනෙකුගේ ශක්තියෙන් යුක්ත වී යැයි කියනු ලැබේ. නන්දිමිත්‍ර තරුණයා අනුරාධපුරයට ගොස් මිත්‍ර මාමා යටතේ එළාර රජතුමාගේ හමුදාවට බැඳී සේවය කළේය​.

එකල එළාර රජුගේ විදේශික හමුදා සෙබළු ථුපාරාම මළුව සහ ශ්‍රී මහා බෝධි මළුව විනාශ කරමින් හැසිරීම සිරිතක් කර ගත්හ​. නන්දිමිත්‍ර තරුණයා මේ දැක බෞද්ධ සිද්ධස්ථාන රැකීම තම යුතුකමක් කොට සළකමින් මළුවේ සැඟවී සිට එසේ පැමිණන සෙබළුන් අල්ලා එක් පයක් තම දකුණු පයින් පාගා ගෙන අනෙක් පයෙන් අල්ලා දෙකට ඉරා දමා මළ සිරුරු බෝධි මළුවේ ප්‍රාකාරයෙන් එළියට විසි කළේය​.

තම සෙබළුන්ට අත්වන විපත දුටු එළාර රජුගේ සෙනෙවියෝ සාහාසිකයා අල්ලා ගැනීම පිණිස මුරකාවල් යෙදුවද, නන්දිමිත්‍ර අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය​.

මෙසේ තනිවම සටන් කොට ජයක් ලැබිය නොහැකි බව තේරුණු නන්දිමිත්‍ර තරුණයා රුහුණට පලා ගොස් කාවන්තිස්ස රජු යටතේ සේවයට පිවිසියේය​.


සුරනිමල​

කාවන්තිස්ස රජතුමා එළාර රජුගේ හමුදාව මහවැලි ගඟින් මෙගොඩට පැමිණීම වැලැක්වීමට ගඟ දිගට ආරක්‍ෂක රැකවල් යොදා තිබිණි. ඉන් එක් ස්ථානයක් වූ කසාතොට රැකීමට පත්කරන ලද්දේ තම පුතෙකු වූ (අග බිසව වූ විහාරමහා දේවිය ගේ පුතෙකු නොවේ) දීඝාභය කුමරුයි. දීඝාභය කුමරු කසාතොටට ගව් හතරක් නුදුරින් වූ සියළුම ගම් වලින් එක් තරුණයෙක් බැගින් රාජකාරි සඳහා කැඳවීය​.

කෙළිවාරි නම් ජනපදයේ කඩවිටි ගම සංඝ හට පුතුන් හත් දෙනෙක් ඇති බව ඇසූ දීඝාභය කුමරු ඉන් එක පුතෙකු රාජ සේවයට එවන ලෙස ඔහුට දන්වා සිටියේය​. සංඝ ගේ බාලම පුතා වූ "නිමල​" ඉතාමත් සවි බල ඇති තරුණයෙකු වූ මුත් කිසිදු රැකියාවක් නොකළ හෙයින් වැඩිමල් සෝයුරෝ රාජ සේවය සඳහා ඔහුව යවන ලෙස පියා කැමැති කරවා ගත්හ​.

නිමල තරුණයාද හිමිදිරියේම කඩවිට ගමෙන් පිටත් වී හිරු නැගෙන විට වන විට දොළොස්ගව්වක් දුරින් පිහිටි කසාතොට ට පැමිණියේය​. එතරම් දුරක් එතරම් කෙටි කලකින් පැමිණීම පිළිබඳ විශ්මයට පත් දීඝාභය කුමරු, තරුණයා පරීක්‍ෂා කිරීමට සිතා මිහින්තලය සමීපයේ පිහිටි ද්වාරමණ්ඩල නම් ගමේ වාසය කළ තම මිතුරු බමුණෙකු ට ඔහු අත හසුන් පතක් යැවීය​. කසාතොටින් උදෑසන බත කා පිටත් වූ නිමල​, ගව් තිස් හයක් දුර ගෙවා දහවල් වනවිට ද්වාරමණ්ඩලයට පැමිණියේය​.

මේ පුවත් ඇසූ මිතුරු බමුණා විශ්මයට පත්වී දහවල් බත කෑමට තිසා වැවට ගොස් ස්නානය කොට පැමිණෙන ලෙස තරුණයාගෙන් ඉල්ලා සිටියේය​. අනුරාධපුරයට ගොස් නිමල තිසා වැවෙන් දිය නා, ශ්‍රී මහා බෝධියට මල් පුදා ථූපාරාමයද වැඳගෙන දහවල් බතට නැවත මිහින්තලයට පැමිණියේය​. බමුණා තරුණයා ගේ දස්කමින් විස්මයට පත්ව ඔහු කාවන්තිස්ස රජු යටතේ සේවයට යවන මෙන් දීඝාභය කුමරුට දන්වා සිටියේය​.

දීඝාභය කුමරු නිමල තරුණයාට තෑගි බෝග දී පිය රජතුමා යටතේ සේවය කිරීමට මාගමට යැවීය​. නිමල ද එක දිනකින් මග ගෙවා මාගමට පැමිණ කාවන්තිස්ස රජතුමා යටතේ සේවයට බැඳුනේය​. බොහෝ සූර වීර වූ නිසා ඔහු "සුරනිමල​" නමින් ප්‍රසිද්ධ විය​.


මහාසොණ​

මල්වතුමඬුල්ලේ උතුරු කරවිටි ගමේ විසූ තිස්ස ට පුතුන් අට දෙනෙක් විය​. ඉන් බාලම පුතා සොණ ඉතාමත් ශක්තිවන්තයෙක් විය​. ඔහු හත් හැවිරිදි වියේදී තමා තරම් උස තල් ගස් උදුරා දමන්නේය​. දස හැවිරිදි වියේදී හොඳින් වැඩුණු තල් ගස් උදුරා දමන්නේය​. ඔහු දහසය වන වියට පත් වූ විට ඇතුන් දස දෙනෙකු තරම් ශක්තිමත් වූයේ යැයි කියනු ලැබේ. ඉතාමත් ශක්තිමත් වූ බැවින් සොණ තරුණයා "මහාසොණ​" නමින් ප්‍රසිද්ධ විය​.

කාවන්තිස්ස රජතුමා ඔහු ගැන අසා, තමා යටතේ සේවයට කැඳවා ගත්තේය​.



ගොඨයිම්බර​

දොළොස්දහස් රට නිටුල්විටි නම් ගමේ මහානාග හට පුතුන් හත් දෙනෙක් විය​. බාලම පුතා අභය නම් විය​. ඔහු මිටි තැනැත්තෙක් වූ හෙයින් වැඩිමල් සොහොයුරෝ ඔහුට "ගෝඨයා" නමින් උසුළු-විසුළු කළහ​. මිටි වුවද අභය ඉතාමත් ශක්තිමත් තරුණයෙක් විය​.

දිනක් වැඩිමල් සෝයුරන් හය දෙනා හේනක් කෙටීම සඳහා පිටත් ව ගිය ද අභය අලස කමින් ගෙදරට වී උන්නේය​. වැඩිමල් සෝයුරෝ ඉඹුරු වනයකින් කොටසක් ගස් කපා සකස් කොට නැවත නිවසට පැමිණ​, අලස කමින් කමින් ගෙදරට වී නිදා නොසිට හේන කෙටීමට යන ලෙස කියා සිටියහ​. අභය ද තනිවම ඉඹුරු වනයට ගොස් තල් ගස් - පොල් ගස් තරම් වන ඉඹුරු ගස් තනිවම උදුරා දමා කැලය සුද්ධ කොට පොළව මට්ටම් කොට සකසා නැවත පැමිණියහ​.

වැඩිමල් සෝයුරෝ මේ කර්මාන්තය දැක මහත් විශ්මයට පත් වූය​. ඉඹුරු වනයක් ඉදිරූ හෙයින් එතැන් සිට අභය "ගෝඨයිම්බර​" නමින් ප්‍රසිද්ධ විය​.

කාවන්තිස්ස රජතුමා ගෝඨයිම්බර ගැන අසා සතුටු වී තමා යටතේ සේවයට කැඳවා ගත්තේය​.


ථෙරපුත්තාභය​

කොටගල කන්ද අසල කැතිගම ගමේ රෝහණ නැමැත්තාට අභය නමින් පුතෙක් උපන්නේය​. ඒ දරුවා ඉතාමත් ශක්ති සම්පන්නයෙක් විය. දොළොස් හැවිරිදි වූ විට හතර පස් දෙනෙකුට ඔසවා ගත නොහැකි විශාල ගල් ඉතා පහසුවෙන් ඔසවා ඒ මේ අත විසි කිරීමට හැකියාව ඇත්තෙක් විය​. ඔහු දහසය වැනි වියට එළඹෙත්ම ඔහුට පියා විසින් අඟල් තිස් අටක වටප්‍රමානය ඇති වඩු රියන් දොළහක් දිග යගදාවක් සදා දෙන ලදී. අභය තරුණයා එම යගදාවෙන් ගසා වැඩුණු තල් ගස් පොල් ගස් බිම හෙළුවේය​.

රෝහණ පසු කළෙක මහාසුමන නම් තෙරුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වී පැවිදි වී රහත් විය​. අභය කුමරු ද පියා අනුව යමින් පැවිදි බිමට එළැඹියේය​.

දිනක් ගෝඨයිම්බර යෝධයා යම් කටයුත්තක් සඳහා යන අතර තුර පිරිවර ද සමඟ අභය සාමනේරයන් වහන්සේගේ පන්සලට පැමිණියේය​. පන්සල් වත්තේ තිබූ පොල් ගස් වලින් කුරුම්බා කඩාගෙන බී පිරිස තැන තැන වැටී නිදන්නට වූහ​. ඔවුන් කපා දැමූ කුරුම්බා කෝම්බ පන්සල් වත්ත පුරා වැටී තිබිණි.

අභය සාමණේරයන් මෙය දැක "යස පාඩමක් උගන්වමි" යි සිතා නිදා උන් ගෝඨයිම්බර යෝධයාගේ පාදයේ නිලයක් අල්ලා ඔහු අඩපන කොට පන්සල් වත්ත පුරා බිම දිගේ ඇදගෙන ගියහ​. ගෝඨයිම් බරයෝධයා ද සාමණේරයන් ගෙන් සමාව අයැද පන්සල් වත්ත පිරිසිදු කිරීමට පොරොන්දු වූයෙන් ඔහු නිදහස් කරන ලදී.

කාවන්තිස්ස රජතුමා මුණ ගැසුණු ගෝඨයිම්බර යෝධයා මේ පුවත සැළ කල පසු රජු ඒ සාමණේරයන් තම සේවයට කැඳවා එන්නැයි ගෝඨයිම්බර යෝධයාට අණ කළේය​. ගෝඨයිම්බර යෝධයා මුලින් කල ඉල්ලීම අභය සාමණේරයන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළද​, පසුව ඔහුගේ ඉල්ලීමට එකඟ වී සිවුරු හැර රාජ්‍යය සේවයට එක් විය​.

 පියා මහණ වූ හෙයින් ඔහු "ථෙරපුත්තාභය​" නමින් ප්‍රසිද්ධ විය​.



මහාභරණ

 කප්කඳුරු නම් ගමේ භරණ නම් තරුණයෙක් විසීය​. ඔහු ඉමහත් කාය ශක්තියෙන් ද ජවයෙන් ද යුක්ත විය​. දෙළොස් හැවිරිදි වියේදී ගම් වැසියන් සමඟ දඩයමේ යන විට කැලයේ දිව යන හාවුන් පසු පස ලුහුබඳවා ගොස් පයින් ගසා මරන්නේය​. දහසය හැවිරිදි වියේදී මුවන්, ගෝනුන් පසු පස එළවා ගොස් පසු පස ගාතයන් ගෙන් අල්ලා පොළවේ ගසා මැරීමට තරම් හැකියාව ඇත්තෙක් විය​.

මෙසේ මහත් බලසම්පන්න වූ හෙයින් භරණ තරුණයා "මහාභරණ​" නමින් ප්‍රසිද්ධ විය​.

කාවන්තිස්ස රජතුමා ඔහු ගැන අසා තමා ගේ රාජ්‍යය සේවයට කැඳවා ගත්තේය​.


වෙළුසුමන​

ගිරිනිල් ජනපදයේ කෙළයඟන නම් ගමෙහි වාසය කළ වසභ හට පුතෙක් ඇති විය​. ඔහු තම මිතුරන් දෙදෙනා වූ වෙළු සහ සුමන ගේ නමින් එම දරුවා වෙළුසුමන යැයි නම් කළේය​.

තරුණ වියට පත් වෙළුසුමන තම බාප්පා හා යම් කාර්‍යයකට යන අතරේ කිසිවෙකුටත් දමනය කළ නොහැකි මුරණ්ඩු අශ්වයෙක් දිටීය​. බාප්පා ගේ ඉල්ලීමෙන් අශ්වයා මෙල්ල කොට ඌ පිට නැගුණු වෙළුසුමන ඉන්පසු රැස්ව සිටි ජනයාට පෙණෙන පරිදි නොයෙකුත් සරඹ පාමින් තම හැකියාවන් පෙන්නුම් කළේය​.

වෙළුසුමන ගේ මේ හැකියාව කාවන්තිස්ස රජතුමාට දැන ගන්නට ලැබී, වහාම ඔහු තමා යටතට කැඳවා රාජ්‍යය සේවයේ යෙදවීය​.


ඛංඡදේව​

අජනිපව්ව පර්වතය සමීපයේ වූ මීදෙනිය නම් ගමේ අභයට දාව උපන් පුතා පාදයේ සුළු කොරයක් සහිත බැවින් ඔහු "ඛංඡදේව​" නමින් ප්‍රසිද්ධ විය​.

ඛංඡදේව තරුණ වියට පැමිණි පසු මහත් බල සම්පන්න විය​. ගම් වැසියන් සමඟ දඩයමේ යන ඔහු කැලයේ සිටින් කුළු හරකුන් හා පොර බදා උන් අල්ලා පොළවේ ගසා මැරීමට පවා හැකියාවක් සහිත විය​.

කාවන්තිස්ස රජතුමා ඛංඡදේව පිළිබඳ දැනගන්නට ලැබී වහාම ඔහු මාගමට කැඳවා රාජ්‍යය සේවයේ නිරත කරවීය​.


උන්මාද ඵුස්සදේව

සිතුල්පව්ව සමීපයේ වූ ගොඩිගමුව ගමේ උත්පල හට පුතෙක් සිටි අතර ඒ දරුවා ඵුස්සදේව නමින් හැඳින්විනි.

කුඩා ඵුස්ස්දේව දිනක් අනෙකුත් ගම්වාසී දරුවන් සමඟ පන්සලට ගිය අවස්ථාවක එහි බෝධීන් වහන්සේට පූජා කර තිබූ හක්ගෙඩියක් දැක එය ගෙන මහත් වැර යොදා පිඹීය​. එවිට ඉන් නිකුත් වූ හෙණ හඬ පරදන හඬින් බියට පත් ඵුස්ස්දේව ගේ මිතුරෝ උමතු වූවන් මෙන් ඒ මේ අත පලා ගියහ​. එබැවින් ඔහු "උන්මාද ඵුස්සදේව" නමින් ප්‍රසිද්ධ විය​.

තම පියාගෙන් දුනු ශිල්පය උගත් ඵුස්සදේව තරුණ වියට එළැඹෙත්ම අති දක්‍ෂ දුනු ශිල්පියෙක් විය​.

ඔහුගේ දස්කම් ගැන ඇසූ කාවන්තිස්ස රජතුමා ඵුස්සදේව රාජ්‍යය සේවයේ පිහිටුවා ලූහ​.


ලභිය වසභ​

තරල්පව්ව සමීපයේ වෙරවැසිගම ගමේ මන්ත නැමැත්තා හට වසභ නම් පුතෙක් සිටියේය​. ඔහු කුඩා කල සිටම ඉතාමත් කඩවසම් සිරුරක් ඇති හෙයින් "ලභිය වසභ" නමින් ප්‍රසිද්ධ විය​.

තරුණ වියට එළඹෙත්ම මහත් බලසම්පන්න වූ ලභිය වසභ ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙක් විය​.

වරක් ගම් වාසීන් හා එක්ව වැවක් බැඳීමේ කාර්‍යයකට සහභාගී වූ ඔහු විසි තිස් දෙනෙක්ට ඔසවා ගත නොහැකි විශාල පස් පිඩැලි තනිවම උදැල්ලෙන් අදිමින් වැවේ වැඩ කටයුතු අවසන් කළේය​.

ලභිය වසභ ගේ කාය ශක්තිය ගැන ඇසූ කාවන්තිස්ස රජතුමා ඔහු වහාම රාජ්‍යය සේවයට බඳවා ගත්තේය​.

නිදහස ගැන​



මේ ලංකාවේ 67 වන නිදහස් දිනයේ මා ලියූ ෆේස්බුක් කොමන්ට් කීපයක දැක්වූ අදහස් එක් කර තැනූ සටහනකි.

සුද්දා අපිට නිදහස දුන්නේ ඇයි?




ඕනම ප්‍රශ්නයක් දිහා සාධක තුනක් ඔස්සේ බලන්න වෙනවා. දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික (සංස්කෘතික කිව්වෙ පුළුල් අරුතකින්).

දේශපාලන සාධක ඔස්සේ බැලුවම සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

කාරනා කීපයක් තියෙනවා. වැදගත්ම එක දෙවෙනි ලෝක යුද්ධෙන් නට්ටං වෙන්න කාල හිටපු සුද්දට යටත් විජිත පාලනය කරන්න තරම් යුධ ශක්තියක් තිබ්බෙ නෑ.
දෙවෙනි එක ඉන්දියානු නිදහස් සටන. ඉන්දියාව ට නිදහස දුන්නට පස්සෙ ලංකාව යටත් විජිතයක් වශයෙන් පවත්වාගෙන යාම අපහසුයි වගේම එච්චර ලාභදායී වැඩක් නෙවෙයි.
තුන්වෙනි එක බ්‍රිතාන්‍යයේ බලයට පත්වෙන්නෙ කම්කරු පක්‍ෂ රජයක්. දැන් කම්කරු පක්‍ෂය වගේ නෙවෙයි ඒ කාලෙ ඇට්ලී ගේ කම්කරු පක්‍ෂය ඇත්තටම සමාජවාදියි. ඒ නිසා යටත් විජිත ගැන ඔවුන් කන්සර්වේටිව් පක්‍ෂයට වඩා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා.
හතරවෙනි එක, ලංකාවේ නිදහස් සටනේ ඉදිරියෙන්ම හිටියෙ වාමාංශිකයො. ඒ නිසා නිදහස නොදී ඉඳල නිදහස් සටන ඇවිලිලා ගියොත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය බලවත් වෙයි කියන බය සුද්දට තිබ්බ.

ආර්ථික සාධක ඔස්සේ බැළුවොත් සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

ප්‍රධානම හේතුව යටත් විජිත ආර්ථික ක්‍රමයට වඩා නව යටත් විජිත ආර්ථික ක්‍රමය ලාභදායී වීම. මිනිහෙක් ගෙන් බලෙන් වැඩගන්නවට වඩා ඌව අන්දවල වැඩ ගන්න එක හැම අතින්ම ලාභදායී. වහල් ක්‍රමයට වඩා ලාබ කම්කරු ශ්‍රමය ලාභදායී වීම නිසා ඇමරිකන් සිවිල් යුද්ධය ඇතිවෙනවා වගේ මෙතනදිත් නව යටත් විජිත වාදයට ඉඩ දීලා යටත් විජිත වාදය හැලිල යනවා.
ඊළඟට සුද්ද ලංකාව තියාගත්තේ "ෂෝ පීස්" එකක් හැටියට. තේ, කුරුඳු වගේ ලක්‍ෂරි වෙළඳ ද්‍රව්‍යය තමයි මෙහෙ හැදුවෙ. වෙන යටත් විජිත වගේ තොග ගානට ස්වාභාවික සම්පත් හෝ මානව සම්පත් කොල්ල කන තැනක් වශයෙන් නෙවෙයි. ඉතින් ඉන්දියාව නැතුව ලංකාව විතරක් තියාගන්න එක ආර්ථික අතින් පාඩුයි.

සංස්කෘතික සාධක ඔස්සේ බැළුවොත් සුද්ද අපිට නිදහස දුන්නෙ ඇයි.

වැදගත්ම දේ. ඉන්දියාවෙ වගේ ලංකාවෙ ජාතික සටනක් ඇති වුනේ නෑ. ලංකාවේ දේශපාලන නායකත්වය සුද්දට කඹුරපු උගෙ සුවච කීකරු බලු කුක්කො සෙට් එකක්. ඉන්දියාවේ දේශපාලන නායකත්වය දෙවෙනි ලෝක යුද්ධයට සහය නොදීමේ ප්‍රතිපත්තියක ඉන්නකොට ලංකාවෙ අය අත් දෙකම උස්සල ඒකට සහය දුන්න. ඒ නිසා ඊනියා නිදසහ දුන්නත් රටේ ඇත්තම මාස්ටර්ල තමා බව සුද්ද දැනගෙන හිටියා.

පණස් හයේ පෙරලියෙන් සුද්දගෙ මේ කැල්කියුලේෂන් එකට නොසිතූ හෙණ ගෙඩියක් පාත් වෙනවා. ඒත් ඒක වෙනම කතාවක්.


සුද්ද ආවෙ නැත්තං අපි කොහොමට ඉඳියි ද​?



මේ ප්‍රශ්නෙට ගොඩක් අය දෙන උත්තරේ ජිස්ට් එක "සුද්ද ආවෙ නැත්තං අපි තාම වැඩවසම් රාජාණ්ඩුවක් වෙලා තියෙයි" කියන එක​.

මේ ගොල්ලො අමතක කරන වැදගත් කාරණාව තමයි සුද්දා ආවත් නැතත් ලංකාවට (හෝ ලෝකයේ ඕනම රටකට​) ලෝකය හරහා හමා යන දේශපාලන - ආර්ථික - සංස්කෘතික ප්‍රවාහයන් ගෙන් මිදෙන්න බෑ කියන එක​. ලංකාවට දවසක්වත් සුද්දට යටත් නොවී තිබ්බ නං ඒත් ලෝකයේ සිද්ධ වෙන සමාජ පරිණාමය ලංකාවට දැනෙනවා. රාජාණ්ඩුවක් විදිහට තියෙන්න බෑ. ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවා.

ලෝකයේ සුද්දට යටත් නොවී තිබ්බ රටවල් තියෙනවා. අද ඒවයේ ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා. ජපානය​, රුසියාව​, තායිලන්තය​, ඉතියෝපියාව​, තුර්කිය උදාහරණ​.

ඒ වගේම අද ලෝකයේ රාජාණ්ඩු තියෙන්නෙ හයයි. ඒ සවුදි අරාබිය​, ඕමාන්, කටාර්, එක්සත් අරාබි එමීර්, බෲනෙයි, ස්වාසිලන්තය​. මේ අතරින් සවුදි අරාබිය ඇරෙන්නෙ අනික් හැම රටක් ම සුද්දට යටත් වෙලා තිබ්බ රටවල්. ඒකෙන් පේනවා රාජාණ්ඩු සහ සුද්ද අතර කිසිම සම්බන්ධයක් නෑ කියල​. මේ රටවල රාජාණ්ඩු තියෙන්න හේතු වෙනස්. සවුදි අරාබිය​, කටාර් සහ එක්සත් අරාබි එමීර් රටවල් වල රාජාණ්ඩු තියෙන්නෙ වහාබි වාදයේ අනුහසින්.

ආයෙ ඇහෙන කතාවක් තමයි සුද්දො පාරවල් හදලා දැවැන්ත සංවර්ධනයක් සිද්ධ කරා (පන් ටෝටලි ඉන්ටෙන්ඩඩ්) කියන එක​.

මේ අය අමතක කරණ කාරණය තමයි 1505 පරංගි එනකොට අපේ රට කොහොමත් ආර්ථික අතින් සෑහෙන ඉදිරියෙන් හිටපු රටක් කියන එක​. එතකොට මේ අය අහනවා "එහෙනම් කර්මාන්ත මොනවද තිබ්බෙ" කියල​. ඒකට මම දෙන උත්තරය තමයි "1505 යුරෝපයේ මොනවද තිබ්බ කර්මාන්ත?" කියන එක​. 1505 ලංකාවයි 2005 යුරෝපයයි සසඳන්න බෑ නේ. 1505 සුද්දො ආවත් නැතත් ලෝකය පොදුවේ ලබන කාර්මික දියුණුව අපිටත් ලැබෙනවා. ලංකාව 1505 වෙනකං ලබාගෙන තිබ්බ දැණුම 100% ලංකාවෙ නිෂ්පාදනයක් නෙවෙයි නෙ. ඒකත් බාහිරින් උකහා ගත්ත දැණුමක් තමයි. ඒ ක්‍රියාවලියම අනිවාර්‍යයෙන්ම 1505 පස්සෙත් සිද්ධ වෙනවා. පරංගින් ගෙ තුවක්කු අනුකරණය කරල අපි හදපු තුවක්කු උංගෙ ඒවටත් වඩා හොඳ තත්වයේ තිබ්බ කියන එක විතරක් මෙතන සටහන් කරල තියනවා.

ඒ වගේම ඒ දේශපාලන - ආර්ථික - සංස්කෘතික පරිණාමය සිද්ධ වෙන්නෙ අපිට ඕනෙ විදිහට මිසක් සුද්දට ඕනෙ විදිහට නොවන නිසා ලංකාවේ අද තියෙන විකෘති සමාජය බිහි නොවී මීට වඩා හැම අතින්ම සමබර දියුණු සමාජයක් තියෙන්න තිබ්බ​. සුද්ද අපිට උගේ සංස්කෘතියෙ කෑලි පටවල ගියාට ඒවට පසුබිම් වුන දේශපාලන - ආර්ථික - සංස්කෘතික සාධක අපේ රටේ ඒ විදිහටම නොතිබුණ නිසා ඒව අපිට ලැබුණේ ශක්තිමත් පදනමකින් තොරව​. අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය​, සර්වජන ඡන්ද බලය මඩේ හිටවපු ඉණි වගේ වැනෙන්නෙ ඒ නිසා.


සුද්ද ගියේ නැත්තං අපි අද කොහොම ඉඳියි ද​?

 

සුද්ද ගියේ නැත්තං මේක අද ඕස්ට්‍රේලියාවක් කැනඩාවක් කියන කතාව තමයි ඇහෙන්නෙ.

මේක වෙන්න පුළුවන් එකම විදිහ ඕස්ට්‍රේලියාවෙ කැනඩාවෙ සිද්ධ වුනා වගේ ස්වදේශිකයන්ව සමූල ඝාතනය කරල සුද්දො බුරුතු පිටින් ඇවිල්ල ලංකාවෙ පදිංචි වෙන එක​. වාසනාවකට වගේ නුවරඑළියෙ සුදු ජනපදයක් හදන්න දරපු ප්‍රයත්නය අසාර්ථක වුන නිසා එහෙම අබග්ගයක් අපිට වුනේ නෑ.

ලංකාව ස්වදේශිකයො පිටින්ම සුද්දට දිගටම යටත් වෙලා තිබ්බ නම් තත්වය බලන්න පුළුවන් උදාහරණ දෙක තුනක් තියෙනවා අප්‍රිකාවෙ. එක්කො දකුණු අප්‍රිකාවෙ වගේ උපන් බිමේ දෙවෙනි පන්තියේ පුරවැසියො වෙලා ඉන්න තිබ්බ​. නැත්තං මොසැම්බික්, නමීබියාව වගේ සුද්ද එක්ක ලේ හැලෙන යුද්ධයක් කරන්න තිබ්බ​.

බැරිවෙලාවත් සුද්ද නොගියනං එහෙම​...

ඉංග්‍රීසි උගත් කොළඹ ධනවත්තු සෙට් එකක් රාජ්‍යය බලය සහ නිල බලය අරගෙන සුද්දගෙ සට්ටැඹි කම් කර කර ඉඳියි. බහුතර ගැමි ජනතාව හරි හමන් අධ්‍යාපනයක් නැතුව ඔහේ වේලි වේලි ඉඳියි.

හරි හමං අධ්‍යාපනයක් නැති නිසා සමාජ සදාචාරය, සෞඛය මට්ටම එහෙම මීට වඩා ගොඩක් දුර්වල තත්වයක තියෙයි.

සුද්දො නීතියට උඩින් ඉඳියි (දැන් මැරයො නීතියට උඩින් ඉන්නව වගේ).

උතුරු නැගනහිර බොහෝ දුරට දකුණෙන් ගොඩාක් ස්වාධීන වෙලා තියෙයි. වෙනම රටක් වෙන එකක් නෑ - ඔක්කොම සුද්දගෙ රට නෙ. එහෙත් ඉංග්‍රීසි උගත් යාපනේ ධනවත්තු සෙට් එකක් රාජ්‍යය බලය සහ නිල බලය අරගෙන සුද්දගෙ සට්ටැඹි කම් කර කර ඉඳියි. බහුතර ගැමි ජනතාව හරි හමන් අධ්‍යාපනයක් නැතුව ඔහේ වේලි වේලි ඉඳියි.

රටේ ආර්ථික ප්‍රතිපත්ති සුද්දට ඕනෙ විදිහට තියෙයි. ඒ කියන්නෙ තේ කර්මාන්තය වගේ ඌට ඕනෙ කර්මාන්ත පට්ටෙටම දියුණු වෙලා තියෙයි. අනික් ඒවට අබ සරණ වෙලා තියෙයි.

යටිතල පහසුකම් එහෙමත් සුද්දගෙ බිස්නස් වලට ඕනෙ විදිහට තියෙයි. ඒ කියන්නෙ උඩරට දුම්.රිය මාර්ගය, එයාපෝට් එකට යන පාර එහෙම ෆුල් සුපිරියට තියෙයි. ඈත පැති වල පාරවල් එහෙම කරත්ත පාරවල් වගේ තියෙයි.

අතින් පාඩු කරගෙන ලංකාවෙ උන්ට කරන්ට් දෙන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා එක්කො ලංකාවෙන් 75%කට විතර විදුලි බල පහසුකම් නැතිවෙයි. නැත්තං ලයිට් බිල පට්ට ගණන් වෙලා තියෙයි.

අතින් වියදම් කරගෙන ලංකාවෙ බයියන්ට උගන්නන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා ලංකාවෙ සාක්‍ෂරතාවය 50% විතර වෙයි.

අතින් වියදම් කරගෙන ලංකාවෙ උන්ට බෙහෙත් කරන්න සුද්දට පුකේ අමාරුවක් නැති නිසා ඉස්පිරිතාල වල සල්ලි වලට බෙහෙත් දෙයි. දුප්පත් උන්ට අබ සරණ වෙයි.

මොනවහරි ඉල්ලල සද්දයක් දැම්මොත් ඌව-වෙල්ලස්සෙ කරා වගේ නැත්තං අම්‍.රිත්සාර් වල කරා වගේ නැත්තං 1914 සිංහල-මරක්කල කෝලහලෙ කාලෙ කරා වගේ හැත්ත බුරුත්තටම වෙඩි තියල දායි. සුද්දට ජිනීවා වල මානව හිමිකම් චෝදනා ගේන්නත් කවුරුත් නැතිවෙයි

Monday, February 2, 2015

මහරජ ගැමුණු



ජයන්ත චන්.ද්‍රසිරි දුටුගැමුණු රජතුමා ගැන ෆිල්ම් එකක් කරනවා කියන ආරංචිය මුලින්ම ඇහුවම මට ගියේ මාර ආතල් එකක්.

සිංහල-බෞද්ධ ජාතියේ උප්පති කතාව, සිංහලයේ මහා වීර කාව්‍යය, ලංකාවේ සුන්දරම ආදර කතාව සාමාන්‍යයෙන් ලංකාවෙ වෙනවා වගේ ගොංපාට් කාරයෙක් ගෙ අතට ගිහිල්ල ගොංපාට් එකක් වෙනව වෙනුවට ජයන්ත චන්.ද්‍රසිරි කියන සිරාම වැඩ කාරයා අතට ගියා කියන එක නිසා ඇතිවුන ආතල් එකක් ඒක.
ඒ වෙනකොට මම කැමතිම ටෙලි නාට්‍යය ලැයිස්තුවේ එක, දෙක, තුන ස්ථාන හිමිවෙලා තිබ්බෙ ජයන්ත චන්.ද්‍රසිරි ගෙ නිර්මාන වලට (දඬුබස්නාමානය, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යයා). පොරගෙ ෆිල්ම් තුනක් කලින් බලල තිබ්බ. හැබැයි ජයන්ත චන්.ද්‍රසිරි කියන ටෙලි නාට්‍යය කාරයා තරම් ජයන්ත චන්.ද්‍රසිරි කියන චිත්‍රපටි කාරයා දක්‍ෂ බව මම දැක්කෙ නෑ. ඒ වගේම මම කැමතිම සිංහල චිත්‍රකතාව ඇඳල තියෙන්නෙත් ජයන්ත චන්.ද්‍රසිරි (මැම්බර් හාමු) - මේක ගොඩ දෙනෙක් නොදන්න දෙයක්-.

හැබැයි පස්සෙ ආරංචි වුනා ඒක කොට උඩ ගියා කියල. ඊටත් පස්සෙ මහරජ ගැමුණු පොත එළියට ආව.
පොත කියෙව්වම තමයි තේරුණෙ ජයන්ත චන්.ද්‍රසිරි කියන්නෙ පට්ටම නවකතා කාරයෙක් කියල. එතෙක් මගේ කැමැතිම නවකතා ලැයිස්තුවේ අංක එකට හිටිය සුගතපාල ද සිල්වා ගේ බල්ලො බත් කති දෙවෙනි තැනට ඇදලා දාන්න මහරජ ගැමුණුට පුළුවන් වුනා.

අද ගියා මහරජ ගැමුණු ෆිල්ම් එක බලන්න.

මුලින්ම කියන්න ඕනෙ මට චිත්‍රපට කලාව ගැන තියෙන්නෙ ඉතාමත් අල්ප දැණුමක් කියල. ඒ නිසා මේක කොහෙත්ම චිත්‍රපට විචාරයක් නෙවෙයි. ෆිල්ම් එක බලද්දි මට හිතිච්ච දේ.

ජයන්ත චන්.ද්‍රසිරි මහරජ ගැමුණු කතාවෙන් මතුකරන්න යන ප්‍රධාන දේ දුටු ගැමුණු රජතුමා ගේ අරගලයට පසුබිම් වෙන චින්තන ක්‍රමය. ඒක නම් පට්ටම සිරාවට මෙතනදි කරල තියෙනවා. දුටු ගැමුණු රජතුමා පිටුපසින් ඉන්න දැවැන්ත චරිතය වන විහාරමහා දේවිය ගේ වීරත්වය, බෞද්ධ භික්‍ෂූන් ගේ දායකත්වය සහ කාවන්තිස්ස රජතුමාගේ සූක්‍ෂම උපායශීලීත්වය සාර්ථක විදිහට මතුකරල පෙන්නනවා.

ඒ වගේම සතුරා ගැන අනවශ්‍යය ලේ කෝප කරන මට්ටමේ වෛරයක් ඇති නොකර ජාතිකාභිමානය මතු කරන්න තරම් ජයන්ත චන්.ද්‍රසිරි ශූර වෙනවා.

කැමරා වර්ක්ස් ගැන මට ලොකු දැණුමක් නැති වුනත්, එළාර රජතුමා දඩයමේ යන අවස්ථාව, මාගමට පැනල යන්න යන මිනිස්සුන් ගෙ මළ සිරුරු පාරුවත් එක්කම ගඟේ පාවෙන අවස්ථාව, හාමුදුරුවරු හමුදාවට කලින් එක පෙලට වඩින ජවනිකාව වගේ විශිෂ්ඨ සිනමාත්මක අවස්ථා කීපයක් ෆිල්ම් එකේ තියෙනවා කියල කියන්න පුළුවන්.

සාමණේර හාමුදුරුවෝ අපවත් වෙලා විහාර මහා දේවිය ගේ කුසේ පිළිසිඳින ජවනිකාවත්, අවසන් ජවනිකාවේ විහාර මහා දේවිය සහ දැවැන්ත බෝ ගස එකට මුසු වෙන සීන් එකත් පුදුම කලාත්මකයි.
එළාර රජතුමා ගේ දියණිය වීණා වයන අවස්ථා දෙකත් ඉතාමත් රසවත් විදිහට පෙන්නනවා. පුදුම සුන්දර කලාත්මක බවක්.

රඟපෑම් ගැන කිව්වොත් නම් තනි වචනයකින් "සුපිරි" කියල කියන්න පුළුවන්. එළාර රජු විදිහට ජැක්සන් සහ කාවන්තිස්ස රජු විදිහට ශ්‍රියන්ත තම සුපුරුදු දක්‍ෂතාවය පෙන්නනවා. විශේෂයෙන් ජැක්සන් ගේ රංගනය අති විශිෂ්ඨයි. ඒ වගේම විහාර මහා දේවිය විදිහට කුසුම් රේණුත් නායක හාමුදුරුවන් විදිහට බුද්ධදාසත් පට්ට. නමුත් මම කැමතිම රංගනය ඉදිරිපත් කරන්නෙ උද්දික. ගැමුණු රජතුමා කියල මම හිතේ මවාගෙන හිටපු චරිතය එහෙම්පිටින්ම තිරයේ දිගහැරෙනකොට පිස්සු හැදෙනවා.

රන් මැණිකා ගේ චරිතය රඟපාන බුද්ධිනී පූර්ණිමා සුවිශේෂී දෙයක් නොකලත් උද්දික එක්ක නියම කෙමිස්ට්‍රියක් තියාගන්න සමත් වෙනවා. ඒ නිසාම ආදර කතාව හරිම සුන් දර විදිහට අපිට පේනවා. ඒ වගේම සුළු චරිත රඟපාන නළුවන් ගෙන් නිර්මානය විචිත්‍ර කිරීමට ජයන්තට තියෙන අපූරු දක්‍ෂතාවය මෙතනත් නොඅඩුවම තියෙනවා. අර්ජුණ කමලනාත් වගේ සාමාන්‍යයෙන් සිල්ලර චරිත රඟපාන නළුවන් ගෙන් පවා උපරිමය ගන්න ජයන්තට පුළුවන් වෙලා තියෙනවා.

දැන් නෙගටිව් පොයින්ට්ස්.

මුල්ම ආඬපාලිය නවකතා වලින් ෆිල්ම් හදන්න යන හැම චිත්‍රපටි කාරයටම අහන්න වෙන එක. "පොත තරම් හොඳ නෑ". මෙතනදි ඒක ෆිල්ම් එකේ දුබලතාවයකට වඩා පොතේ ප්‍රභලතාවයක් විදිහටයි මම දකින්නෙ.
ෆිල්ම් එකේ ප්‍රධානම අඩුපාඩුව මේ වගේ වීර කාව්‍යයක් පසුබිම් කරගත්ත ෆිල්ම් එකක් හැටියට දැවැන්ත බවින් අඩු වීම. විශේෂයෙන්ම යුද්ධ ජවනිකා සහ ෆිල්ම් එකේ අනිත් කොටස් අතර පැහැදිලි කොලිටියේ වෙනසක් තියෙනවා. මේකට හේතුව තාක්‍ෂනික සහ ආර්ථික හේතු වෙන්න ඇති. හැබැයි මම දැකපු හොඳම සටන් ජවනිකා තියෙන්නෙ කුරසාවා ගේ ෂිචිනින් නෝ සමුරායි ෆිල්ම් එකේ බවත්, ඒක 1950 ගණන් වල හදපු එකක් බවත් කියන්න ඕනෙ. එළාර සහ දුටුගැමුණු අතර අවසන් සටන ඇන්ටි ක්ලයිමැක්ස් එකක්. ඒකෙන් ෆිල්ම් එකේ ඕවරෝල් වටිනාකමට ලොකු හානියක් වන බව මට හිතුනා. ගැමුණු කුමාරයා මරන්න එන ජවනිකාව නම් සිරාවටම කරල තිබ්බා.

ඊලඟට පොතේ මම කැමැතිම ජවනිකා දෙක වන මොණරාගල කන්ද උඩදි හිද්දලයට පිංගුවා සහ තාකි මුණගැසීම සහ හිද්දලයා හොයාගෙන රජවාසල පෙරහැර කොත්මලේට පැමිණීම ෆිල්ම් එකේ එච්චර සුවිශේෂී විදිහට ඇවිල්ල තිබ්බෙ නෑ. පළවෙනි එක නම් තරමක් දුර්වලයි. දෙවෙනි එකේ ලොකු අවුලක් නැතත් පොතේ තරම් ප්‍රභල විදිහට නිර්මානය වෙන්නෙ නෑ. විශේෂයෙන් ගම් වැසියන් අමතා ගැමුණු කුමාරයා කරන කතාව ෆිල්ම් එකේ නොමැති වීම ලොකු අඩුවක්.

ස්පෙෂල් ඉෆෙක්ට් දුර්වලයි. විශේෂයෙන් එළාර රජතුමා ලංකාවට නැවෙන් එන තැන. හැබැයි අපි හොලිවුඩ් ෆිල්ම් වල ස්පෙෂල් ඉෆෙක්ට් බලලා ඒවට පුරුදු වෙලා ඉන්න බවත්, ඒ මට්ටමේ ස්පෙෂල් ඉෆෙක්ට් ලංකාවේ ෆිල්ම් වලින් බලාපොරොත්තු වෙන එක අසාධාරන බවත් කියන්න ඕනෙ.

මහරජ ගැමුණු එකේ සංගීතය සපයන්න කේමදාස මාස්ටර් නැති එක ලොකු අඩුවක්. තේමා ගීතය සහ එළාර රජතුමාගේ දියණිය ගයන ගීය හැරුණු විට සංගීතයෙන් ෆිල්ම් එකට ලොකු අලංකාරයක් එක් වෙන්නෙ නෑ.
කොහොම වුනත් බය නැතුව දහයෙන් අටක් දෙන්න පුළුවන්.

මම කැමැතිම සිංහල ෆිල්ම් ලැයිස්තුවේ අංක එකට ඉන්න බඹරු ඇවිත් පරද්දන්න මහරජ ගැමුණුට පුළුවන් වෙයිද කියල කියන්න වෙන්නෙ තව සතියකින් හමාරකින් දෙවෙනි පාරට ෆිල්ම් එක බැලුවට පස්සෙ.