Thursday, May 31, 2018

රමදාන්


රමදාන් කියන්නේ ඉස්ලාමීය කැලැන්ඩරයේ නව වැනි මාසය​. මෙය අරාබි බසින් නිවැරදිව උච්චාරනය කරන්නේ "රමදාන්" කියලා. සමහර අවස්ථා වලදී ඒක "රමසාන්" කියලත් යෙදෙනවා.

රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන්ට ඉතාමත් වැදගත් මාසයක්. ඒ නබි තුමාට දේව පණිවුඩය ලැබුනේ රමදාන් මාසයේදී වීම නිසා. මේ නිසා රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන් ගත කරන්නේ ආගමට කැප වෙමින්.

"රමදාන්" කියන අරාබි වචනයේ තේරුම "ගිනිගෙන දැවෙන උණුසුම​" යන්නයි. ඒ රමදාන් මාසයේදී ඉස්ලාම් බැතිමතුන් තම දේව භක්තිය පිළිබිඹු කිරීම සඳහා උපවාසයේ නිරත වීම නිසා.

හදීසයන් ගේ දැක්වෙන අන්දමට "රමදාන් මාසය එළැඹෙද්දී පාරාදීසයේ ගේට්ටු විවර වෙන අතර​, නරකයේ ගේට්ටු වසා දැමේ. සියළුම යක්‍ෂයන් දම්වැල් වලින් බැඳ දමයි."


ඉතිහාසය​


දෙවියන් වෙනුවෙන් උපවාස කිරීම මැද පෙරදිග කලාපයේ ඉස්ලාමයට පෙර සිට පැවත එන සිරිතක්. ඒක නබි තුමා විසින් විධිමත් ආකාරයෙන් ඉස්ලාමීය සිරිත් තුලට අවශෝෂනය කරගෙන තියෙනවා.

රමදාන් උපවාසය සියළුම මුස්ලිමුන්ට අනිවාර්‍ය වෙන්නේ ක්‍රි.ව​. 624 දී. ඒ නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මෙකාවේ සිට මදීනාවට පැමිණ මාස 18 කට පසු. ඒ ආඥාව දෙවියන් ගෙන් ලැබුන එකක්. ඒ බව කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ (සුරාහ්-අල්-බකරාහ්) 185 වැනි පැදියේ සඳහන්.


රමදාන් මාසයේ ආරම්භය සහ නිමාව​


ඉස්ලාමීය කැලැන්ඩරයේ ඕනෑම මාසයක් ආරම්භ වන්නේ නව සඳ හෙවත් "හිලාල්" දර්ශනය වීමෙන්. රමදාන් මාසයේ නව සඳ දර්ශනය වීමත් සමඟම රමදාන් මාසය ඇරඹෙන අතර​, ඊළඟ නව සඳ දර්ශනය වීමත් සමඟම රමදාන් මාසය අවසන් වෙනවා.


රමදාන් මාසය අවසන් වන දවස මුස්ලිම් වරුන්ට උත්සව දිනයක්. එය "ඊද් අල්-ෆිත.ර්" නමින් හැඳින්වෙනවා.


රමදාන් උපවාසය කළ යුතු අය සහ නොකළ යුතු අය​


රමදාන් මාසයේ දෙවියන් වෙනුවෙන් උපවාස කළ යුතු සහ නොකළ යුතු අය කුරානයේ පැහැදිලිවම දක්වා තියෙනවා.

සියළුම වැඩිහිටි ඉස්ලාම් බැතිමතෙක්ම රමදාන් උපවාසයට සහභාගී විය යුතුයි.

නමුත්, පහත සඳහන් අයට එහි නිරත නොවීමට අවසර ලැබෙනවා.

1. රෝගීන්
2. මහළු අය​
3. දුර බැහැර ගමනක් යන අය​
4. ගැබිණි මව්වරු
5. කිරි දෙන මව්වරු
6. දියවැඩියාවෙන් පෙළෙන අය​
7. මාසික ශුද්ධිය සිදු වන කාන්තාවන්

මේ අය රමදාන් මාසයේ තමාට උපවාස කිරීමට නොහැකි වන දින ගණන අවුරුද්දේ වෙනත් කාලයක උපවාසයේ නිරත වීමෙන් හිලව් කළ යුතුයි.


රමදාන් උපවාසය​


රමදාන් මාසයේ මුස්ලිම් වරයෙක් සිදු කළ යුතු ප්‍රධානම වතාවත උපවාසයේ යෙදීම​. සෑම දිනකම උදෑසන සිට සවස දක්වා කාලය තුල උපවාසය කළ යුතුයි.

උපවාසය ඇරඹීම සහ උපවාසයෙන් මිදීම සටහන් වෙන්නේ "සලාත්​" (යාඥා කිරීම​) මගින්. උපවාසය ඇරඹෙන්නේ "සලාත් අල්-ෆජ්.ර්" (උදෑසන යාඥාව​) සමඟම​. උපවාසයෙන් මිදෙන්නේ "සලාත් අල්-මග්‍රිබ්" (බටහිර යාඥාව​) එක්ක​.

මුස්ලිම් වරු උදෑසන යාඥාවට කලින් සැහැල්ලු ආහාරයක් ගන්නවා. ඒ දහවල් දවස පුරා සිදු කරන උපවාසයට සූදානම් වීමක් විදිහට​. මේ ආහාරය හඳුන්වන්නේ "සුහූර්" නමින්. හිමිදිරි පාන්දර ගැනෙන මේ ආහාරය බොහෝ විට කැඳ හෝ ඕට්ස් වැනි ආහාරයක්.


උපවාසය සිදු කරන අතරතුර ආහාර ගැනීම​, වතුර පානය කිරීම​ සහ දුම් පානය සම්පූර්නයෙන්ම තහනම්. උපවාසයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය සහතික කිරීම සහ කායික​, වාචික සහ මානසික සංවරය ඇති කිරීම​.

උපවාසයෙන් මිදෙන්නේ සවස් කාලයේ ආහාර ගැනීමෙන්. සාම්ප්‍රදායිකව පළමුවෙන්ම කෑමට ගන්නේ රට ඉඳි ගෙඩි තුනක්. ඒ නබි තුමා උපවාසයෙන් මිදුනු පුරුද්ද අනුගමනය කරමින්. නමුත් මේක අනිවාර්‍ය දෙයක් නෙවෙයි. තමාට කැමති ඕනෑම ආහාරයක් ගන්න පුළුවන්.

උපවාසයෙන් මිදුනු පසු ගන්නා සවස ආහාර වේල හැඳින්වෙන්නේ "ඉෆ්තාර්" නමින්. ඉෆ්තාර් කෑම වේල බොහෝ විට සාමූහිකව ගැනෙනවා.


ඉන් පසු මුස්ලිම්වරු බටහිර යාඥාව සඳහා පල්ලියට යා යුතුයි.


වෙනත් සිරිත් විරිත්


රමදාන් මාසයේ මුස්ලිම් වරු පිළිපදින එකම වතාවත උපවාසය නෙවෙයි. ඊට අමතරව තවත් පිළිවෙත් ගණනාවක් අනුගමනය කළ යුතුයි.

ඉස්ලාමයේ දිළින්දන්ට දන් දීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමාගේ ඉතිරිකිරීම් වලින් 2.5% වශයෙන් අනිවාර්‍යයෙන් දිය යුතු "සකාත්" දානය සහ ඊට අමතරව තම කැමැත්ත පරිද්දි දෙන "සදකා" දානය​. රමදාන් මාසයේදී මුස්ලිම්වරු වැඩි වැඩියෙන් සකාත් සහ සදකා දන් දීමේ නිරත වෙනවා.

මුස්ලිම් වරයෙක් සාමාන්‍යයෙන් දිනකට පස් වතාවක් යාඥා කළ යුතුයි. නමුත් රමදාන් මාසයේදී රාත්‍රී කාලයට තවත් අමතර යාඥාවක් පැවැත්වෙනවා. එය හැඳින්වෙන්නේ "තරවිහ්" නමින්. තරවිහ් යාඥාවේදී කුරානයෙන් තිහෙන් එකක කොටසක් ("ජුස්") කියැවීම සිදු කෙරෙනවා. එතකොට මාසය සම්පූර්න වෙද්දී සම්පූර්න කුරානයම කියැවිලා.

ඊට අමතරව හැකි සෑම විටකම කුරාන පාඨ කියැවීම රමදාන් මාසයේදී සිදු කෙරෙනවා.

රමදාන් මාසය තුල උදෑසන සහ බටහිර යාඥා අතරතුර (උපවාසය සිදු කෙරෙන කාලසීමාව ඇතුලත​) කිසිදු ලිංගික සබඳතාවයක් නොපැවැත්විය යුතුයි.

ඒ වගේම රමදාන් මාසය තුල පරුෂ වචන කතා කිරීම​, ශාප කිරීම​, කේලාම් කීම​, අපහාස කිරීම ආදියෙන් වැලකී උපරිම වාචික සංවරය පවත්වා ගැනීමට මුස්ලිම් වරු උත්සහ කරනවා.

රාමදාන් මාසය තුල කෝප ගැනීම සහ ද්වේෂ සහගත සිතුවිලි ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආත්මාරක්‍ෂාවට හැර කිසිම කෙනෙක්ට කායික හිංසාවක් නොකළ යුතුයි.


ඊද්


රමදාන් උපවාසය අවසන් වෙන්නේ "ඊද් අල්-ෆිත්.ර්" උත්සවයෙන්. එහිදී ප්‍රධාන වතාවත් දෙකක් සිදු කෙරෙනවා.

පළමුවැන්න "සකාත් අල්-ෆිත්.ර්" නමින් හැඳින්වෙන දුප්පතුන් සඳහා දෙන දානයක්. මෙහිදී බොහෝ විට ලබා දෙන්නේ ධාන්‍ය වර්ග​.

දෙවැන්න "සලාත් අල්-ෆිත්.ර්" නමින් හැඳින්වෙන විශේෂ ඊද් යාඥාව​. මෙය රමදාන් මාසයෙන් පසු එළැඹෙන පළමුවන දවසේ උදේ වරුවේ පැවැත්වෙනවා.

"ඊද් අල්-ෆිත්.ර්" උත්සවය විශේෂ කෑම වර්ග පිළියෙල කිරීමෙන් සමරනවා. ලංකාවේදී නම් වටලප්පන් වැනි ආහාර ඊද් උත්සවයේදී සුලභයි.

Wednesday, May 30, 2018

දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය - 2 (කළු ජූලිය දක්වා)


වඩ්ඩුකෝඩෙයි සම්මුතිය


1976 දී ලංකා දෙමළ රාජ්‍යය පක්‍ෂය​, දෙමළ කොංග්‍රසය සහ තවත් දෙමළ බෙදුම්වාදී පිරිස් "දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" (Tamil United Liberation Front - TULF) නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්‍ෂයේ නායකත්වය හිමිවුනේ චෙල්වනායගම් ට​.

ඔවුන් 1976 මැයි 14 වෙනිදා වඩ්ඩුකෝඩෙයි හිදී නව සම්මුතියක් ඇති කර ගන්නවා. ඒ "දෙමළ ඊළාම්" නමින් නව රාජ්‍යයක් බිහි කරගැනීමට. එහිදී සියළු දෙනාම එකඟවෙනවා 1977 මහ මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තරග කිරීමට​.

මේක දෙමළ බෙදුම්වාදයේ තීරනාත්මක සන්ධිස්ථානයක්.

1977 මහ මැතිවරණයට මාස කීපයකට පෙර උතුරේ ප්‍රභලම දේශපාලන නායකයන් දෙදෙනා වුන පොන්නම් බලම් සහ චෙල්වනායගම් මිය ගියා. ඒ නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වුනේ අමිර්තලිංගම් ගේ නායකත්වය යටතේ.

මහ මැතිවරණයේදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල සියළුම ආසන ජය ගන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ​. මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 2 ක් සහ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල ආසනය බැගිනුත් ඔවුන්ට හිමි වුනා. යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ආසන වලදී ඔවුන් 70 - 85 % අතර ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තා. මේ අනුව වඩ්ඩුකෝඩෙයි සම්මුතිය උතුරේ දෙමළ ජනතාව එක හඬින් අනුමත කළ බව හිතන්න පුළුවන්.

අමිර්තලිංගම් මේ වනවිට සන්නද්ධ දෙමළ තරුණයන් සමඟ ඉතා කිට්ටු සබඳතාවයක් ගොඩ නංවාගෙන හිටියා. ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ හැඳින්වූයේ "අපේ කොල්ලෝ" ලෙස​.

1977 එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් වූ පසු දෙමළ ජනතාව ඉලක්ක කරගෙන වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා රැල්ලක් ඇති වුනා. මේ ප්‍රචන්ඩ ක්‍රියා වලින් 300 ක් පමණ දෙනා මිය ගියා. තවත් විශාල ප්‍රමානයක් අවතැන් වුනා.

වඩ්ඩුකෝඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් වීම ආසන්නයේම එවකට උතුරේ ක්‍රියාත්මක වුන ප්‍රධාන දෙමළ සංවිධාන දෙකේම විශාල ව්‍යූහාත්මක වෙනස්කම් ඇති වුනා. ඒ එක්කම වගේ නව ත්‍රස්තවාදී කන්ඩායම් කීපයක්ම අළුතෙන් බිහි වීමත් දකින්න පුළුවන්. ඒ සංවිධාන සියල්ලම​ තමාගේ නමට "ඊළාම්" කොටස ඈඳා ගැනීම විශේෂ කරුණක්.


දෙමළ ඊළාම් විමුක්ති කොටි (Liberation Tigers of Tamil Eelam) - LTTE


ආරම්භක සාමාජිකයන් :

වේළුපිල්ලේ ප්‍රභාකරන් - නායක​
චාල්ස් ඇන්තනී (සීලන්)
කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන් / මුකුන්දන්)
සත්‍යසිවම් ක්‍රිෂ්ණකුමාර් (කිට්ටු)
ගෝපාලස්වාමි මහේන්.ද්‍රරාජා (මහත්තයා)
වෛද්‍යලිංගම් සෝනලිංගම් (ෂංකර්)

1976 දී දෙමළ නව කොටි සංවිධානය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විදිහට ප්‍රති-සංවිධානය වුනා. සංවිධානයේ නායකත්වය සඳහා පස් දෙනෙකු ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් පත් කර ගැනුනා. එහි සභාපති ධූරය හිමි වුනේ උමා මහේෂ්වරන් ට​. ඒ ඔහු සංවිධානයේ අනෙකුත් අයට වඩා අධ්‍යාපන මට්ටමෙන්, කථිකත්වයෙන් සහ ඉංග්‍රීසි දැනුමෙන් වැඩි නිසා. ඒ නිසා සංවිධානයේ "නිල​" නායකයා ලෙස පෙනී හිටියේ උමා මහේෂ්වරන්. නමුත් නියම බලය තිබුනේ ප්‍රභාකරන් අතේ.


දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙක් වන උමා මහේෂ්වරන් සහ උර්මිලා කොටි සංවිධානයේ මුල් කාලීන සාමාජිකයන් වුනා. උර්මිලා තමයි දෙමළ ත්‍රස්තවාදී සංවිධානයකට එක් වුන පළමුවන කාන්තා සාමාජිකාව​. මේ දෙදෙනා හරහා අමිර්තලිංගම් ගේ සහ කොටි සංවිධානයේ සබඳකම් තවත් තහවුරු වුනා.

කොටි සංවිධානය මුල සිටම ඉතා දැඩි විනයක් සහිත, ඒ වගේම දැඩි ලෙස මිලිටරි කරනය වුන සංවිධානයක් ලෙස කටයුතු කලා. මෙහිදී ප්‍රභාකරන් සහ ඔහුගේ විශ්වාසවන්තම සගයන් දෙදෙනා වුන සීලන් සහ කිට්ටු කැපී පෙනුනා.

ඒ එක්කම සුවිශේෂී චරිත දෙකක් කොටි සංවිධානයට මේ මුල් කාලයේදීම එක් වුනා.

එක් අයෙක් තමයි සෙල්වරාසා පද්මනාදන් (කේ.පී.). ඔහු කොටි සංවිධානයේ ජාත්‍යන්තර සංවිධානාත්මක ජාලය ගොඩ නැංවීමේදී විශේෂ කාර්‍යභාරයක් ඉටු කලා. විශේෂයෙන්ම ආයුධ ලබා ගැනීමේ සබඳතා ගොඩනංවා ගැනීම මෙහිදී වැදගත් වුනා.

අනෙක් කෙනා ඇන්ටන් බාලසිංහම්. ලන්ඩනයේ ජීවත් වුන මාධ්‍යවේදියක් වුන ඇනටන් බාලසිංහම් කොටි සංවිධානයට බැඳෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ සබඳතා හරහා. කොටි සංවිධානයට මෙතෙක් නොතිබූ මතවාදීමය පදනම ගොඩ නංවන්නේ බාලසිංහම්. මෙහිදී ඔහුගේ කතෝලික පසුබිම සහ ඔහුගේ ඕස්ට්‍රේලියානු ජාතික බිරිඳ නිසා කොටි සංවිධානයට බටහිර හිතවාදී මුහුණුවරක් ලැබුනා.



දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (Tamil Eelam Liberation Organization) - TELO


ආරම්භක සාමාජිකයන් :

නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)
ශ්‍රී සභාරත්නම්
අමිර්තනාදන් අඩෛක්කලනාදන් (සෙල්වම්)
කුලසේකරම් දේවසේකරම්


1977 දී දෙමළ විමුක්ති සංවිධානය දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) විදිහට ප්‍රතිසංවිධානය වුනා. එහි නායකයන් දෙදෙනා වුනේ තංගදුරේ සහ​ කුට්ටිමනී.

ටෙලෝ සංවිධානය කොටි සංවිධානයට වඩා පුළුල් මහජන සහබාගීත්වයෙන් යුක්ත අරගලයක් ගැන විශ්වාසය තැබූ නිසා එය සාමාජිකත්වය අතින් කොටි සංවිධානයට වඩා ඉදිරියෙන් හිටියා. ඒ වගේම කුට්ටිමනී උතුරේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා.

ඒ වගේම ටෙලෝ සංවිධානය රෝ සංවිධානයත් සමඟ කිට්ටු සබඳතා ඇති කර ගත්තා. ඉන්දියාව තමාගේ උතුරේ ඉත්තා විදිහට පාවිච්චි කරන්න උත්සහ කලේ ටෙලෝ සංවිධානය​.

ටෙලෝ සංවිධානයේ යුධ අංශය "දෙමළ ඊළාම් විමුක්ති හමුදාව" (Tamil Eelam Liberation Amry) - TELA නමින් හැඳින්වුනා. එහි නායකත්වය දැරුවේ කුලසේකරම් දේවසේකරම්.


දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (People's Liberation Organization of Tamil Eelam) - PLOTE


ආරම්භක සාමාජිකයන් :

කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන්) - නායක​
සතාසිවම් සිවෂන්මුගමූර්ති (සුන්දරම්)
ධර්මලිංගම් සිද්ධාර්ථන්

ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ඇතිවන මත ගැටුම් ගණනාවක ප්‍රතිඵයල් විදිහට 1980 දී උමා මහේෂ්වරන් තම හිතවාදීන් සමඟ කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පිහිටුවා ගත්තා.



ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ගැටුමට මුල් වෙන්නේ උමා මහේෂ්වරන් මධ්‍යම කාරක සභාවේ සභාපති විදිහට කොටි සංවිධානය තුළ ප්‍රභල තැනක් අත් කර ගැනීම ප්‍රභාකරන් තර්ජනයක් විදිහට සැලකීම​. ඊට අමතරව උමා මහේෂ්වරන් ගේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ ඇති සබඳතා සහ උපාය මාර්ගික මතබේදත් මේකට බල පෑවා. අවසානයේදී උමා මහේෂ්වරන් සහ උර්මිලා අතර ඇතිවන පෙම් සබඳතාවක් දඩමීමා කරගෙන (පෙම් සබඳතා ඇති කර ගැනීම කොටි සාමාජිකයන්ට තහනම්) ප්‍රභාකරන් උමා මහේෂ්වරන්ට එරෙහිව සංවිධානා තුල ප්‍රචාරයක් ගෙන ගියා.

ප්ලොට් සංවිධානය උපාය මාර්ග අතින් කොටි සංවිධානයෙන් වෙනස් මාවතක් අනුගමනය කලා. කොටි සංවිධානය සාම්ප්‍රදායික ගරිල්ලා සටන් න්‍යාය අනුගමනය කරමින් සැඟවී පහරදීම් (hit and run) වල නිරත වුනත්, ප්ලොට් සංවිධානය නිහඬවම දැවැන්ත යටිබිම් ගත සංවිධානයක් වර්ධනය කරගැනීම පිළිබඳ අවධානය යොමු කරා. මේ නිසා ප්ලොට් සංවිධානය ක්‍රියාත්මක වුනේ ඉතාම රහසිගතව​.

ඉතාමත් දරුණු පුද්ගලයෙක් වුන උමා මහේෂ්වරන් තම සංවිධානයේ සාමාජිකයන් දැඩි විනයකට යටත් කළ අයෙක් ලෙස ප්‍රසිද්ධයි. විනය කඩකිරීම් හෝ පාවාදීම් වලදී මරණ දඬුවම ලබාදීමට ඔහු කිසිම පැකිලීමක් දැක්වුවේ නෑ. ඒ අතින් ඔහු ප්‍රභාකරන් හා සම මට්ටමේ හිටියා.

වැඩිම විදේශ සබඳතා ගණනක් ඇති කරගත්ත ත්‍රස්තවාදී සංවිධානය වුනේ ප්ලොට් සංවිධානය​. ඔවුන් රටවල් ගණනාවක සන්නද්ධ කණ්ඩායම් සමඟ සබඳතා රාශියක් ඇති කර ගත්තා. මේ සංවිධාන වලින් බොහොමයක් සමාජවාදී සංවිධාන​. ඒ නිසාම ප්ලොට් සංවිධානයේ මතවාදය සමාජවාදයට නැඹුරු එකක් වුනා.


කොටි සංවිධානයේ අභ්‍යන්තර ආරවුල්


උමා මහේෂ්වරන් ගේ වෙන්ව යාමත් එක්කම කොටි සංවිධානය ඇතුලේ විශාල අර්බුධයක් නිර්මානය වුනා. ප්‍රභාකරන් සංවිධානය තුල ඒකාධිපති පාලනයක් ගෙන යන්න උත්සහ කරනවා කියන චෝදනාව සාමාජිකයන් ගෙන් එල්ල වුනා. මේ අර්බුදය දුර දිග යාමේ ප්‍රතිඵයක් විදිහට සාමාජිකයන් රැසක් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානයට එක් වුනා. ඒ එක්කම ජේෂ්ඨ සාමාජිකයනුත් සංවිධානයෙන් ඉවත් වෙන බවට තර්ජනය කලා.

මේ හේතුව නිසා 1980 දී ප්‍රභාකරන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ටෙලෝ සංවිධානයට බැඳුනා. ඒ කොටි සංවිධානය විනාශ වීම වැලැක්වීමේ අරමුණෙන්. කෙටි කලකට පසුව ආරවුල් විසඳාගෙන ප්‍රභාකරන් නැවතත් කොටි සංවිධානයට එක් වුනා.

ප්‍රභාකරන් ගේ මේ සංවිධාන මාරුව නිසා ඇති වෙන සබඳතාවය මත කොටි සහ ටෙලෝ සංවිධාන බැංකු කොල්ලකෑම් වැනි සුළු ත්‍රස්තවාදි ක්‍රියා සහයෝගයෙන් කරන්න පටන් ගත්තා.


ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front) - EPRLF


ආරම්භක සාමාජිකයන් :

කන්දස්වාමි පද්මනාභා - නායක​
වර්ධරාජා පෙරුමාල්
ඩග්ලස් දේවානන්දා
සුරේෂ් ප්‍රේමචන්.ද්‍රන්

ඊරොස් සංවිධානයේ නායකත්වය හිටියේ ලන්ඩනයේ නිසා ඔවුන්ට ලංකාවේ එතරම් බලයක් තිබුනේ නෑ. නමුත් ඊරොස් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ලංකාවේ ක්‍රියාකාරකම් පටන් ගන්න උත්සහ කරා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඔවුන් 1980 දී ඊරොස් සංවිධානයෙන් ඉවත් වෙලා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය බිහි කර ගැනීම​.


ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සන්නද්ධ අංශය හැඳින්වුනේ "මහජන විමුක්ති හමුදාව" (People's Liberation Amry) - PLA නමින්. එහි නායකත්වය දැරුවේ ඩග්ලස් දේවානන්දා.

වාමාංශික නැඹුරුවකින් යුක්ත ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය දකුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාර එක්ක කිට්ටු සබඳකම් ඇති කරගත්තා. විජය කුමාරතුංග ගේ මහජන පක්‍ෂය සහ දයා පතිරණ ගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඉන් ප්‍රධානයි.


ටෙලෝ සංවිධානයේ බිඳ වැටීම​


1981 වනවිට උතුරේ ප්‍රභලම සන්නද්ධ කල්ලි දෙක වුනේ ටෙලෝ සහ කොටි සංවිධාන​. ටෙලෝ සංවිධානය පිරිස් බලය අතින් ඉදිරියෙන් සිටි අතර කොටි සංවිධානය යුධ ශක්තිය අතින් ඉදිරියෙන් හිටියා. ඒ වගේම උතුරේ ජනප්‍රියම තරුණ කැරලි කරුවන් දෙදෙනා වුනේ ටෙලෝ සංවිධානයේ කුට්ටිමනී සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන්. කුට්ටිමනී කඩවසම් පෙනුම සහ දක්‍ෂ කතිකත්වය නිසා විශාල ජනප්‍රියත්වයක් ලබා හිටියා. ප්‍රභාකරන් ජනප්‍රිය වුනේ නිර්භීත සහ දක්‍ෂ සටන්කරුවෙක් විදිහට​.

1981 වන විට ටෙලෝ සහ කොටි සංවිධාන අතර කිට්ටු මිත්‍රත්වයක් ඇතිවෙලා තිබුනා. ඔවුන් බැංකු කොල්ල කෑම් වැනි සුළු ත්‍රස්ත ක්‍රියා වල එකට නිරත වුනා.

1981 මාර්තු 25 වෙනිදා ටෙලෝ සහ කොටි සාමාජිකයන් පිරිසක් නීර්වෙලි අසලදී මහජන බැංකුවට අයත් වෑන් රථයක තිබූ රුපියල් මිලියන 8 ක මුදලක් කොල්ල කෑවා. මේ කොල්ලයෙන් සති දෙකකට පස්සේ ටෙලෝ සංවිධානයේ නායක තංගදුරේ සහ කුට්ටිමනී ඇතුළු ටෙලෝ සාමාජිකයන් හය දෙනෙක් බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උත්සහ කරද්දී හමුදාවට අහු වුනා. ඔවුන්ට නීර්වෙලි බැංකු කොල්ලය පිළිබඳ චෝදනා යටතේ නඩු පවරලා ජීවිතාන්තය දක්වා සිර භාරයට නියම කෙරුනා.

ටෙලෝ සංවිධානයේ නායකත්වය මේ විදිහට අත් අඩංගුවට පත් වීම ටෙලෝ සංවිධානයට එල්ල වෙන මරු පහරක් වුනා. එතැන් සිට ඔවුන් ගේ බිඳ වැටීම ආරම්භ වුනා.

අත් අඩංගුවට පත් වූ ටෙලෝ නායකයන් - තංගදුරේ, කුට්ටිමනී සහ ජෙගන්
1983 කළු ජූලිය අතරතුරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් විසින් පහරදීමෙන් තංගදුරේ සහ කුට්ටිමනී මිය ගියා.

 බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ සඳහා හමුදාවට ඔත්තු සපයන්නේ ප්‍රභාකරන් කියලා. එහි සත්‍යාසත්‍ය භාවය කොහොම වුනත්, ඒ සිද්ධියෙන් පසු කොටි සංවිධානයේ ප්‍රධාන ප්‍රතිවාදියා අඩපන වුනා. ප්‍රභාකරන් ගේ ප්‍රධාන තරගකරුවා තරගයෙන් ඉවත් වුනා.

 

මර්ධනය දැඩි වේ


මේ වෙනකොට කොටි, ටෙලෝ සහ ප්ලොට් සංවිධාන උතුරේ බැංකු කොල්ලකෑම්, පොලිස් නිලධාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතන කිරීම් රාශියක් සිදු කරමින් හිටියා. ඊට සමාන්තරව රජයේ ප්‍රතික්‍රියාවත් ඒ ආකාරයෙන්ම දැඩි වුනා. ටෙලෝ නායකයන් අත් අඩංගුවට පත් වීමත් එක්කම ත්‍රස්තවාදී ක්‍රියා වල නිරතවුන දෙමළ තරුණයන් සොයා මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක වුනා. විශාල පිරිසක් අත් අඩංගුවට පත් වුනා.

මේ නිසා ප්‍රධාන දෙමළ ත්‍රස්තවාදී නායකයන් සියළුම දෙනා - ප්‍රභාකරන්, උමා මහේෂ්වරන් සහ පද්මනාභා - ඉන්දියාවේ මදුරාසියට පලා ගියා. ඔවුන් තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් ගේ අනුග්‍රහය යටතේ මදුරාසියේ ජීවත් වුනා. නමුත් මේ අයගේ ලංකාවේ තිබුනු එදිරිවාදිකම් වල අඩුවක් වුනේ නෑ.

1982 මැයි 19 වෙනිදා මදුරාසියේ "පොන්ඩි බසාර්" වෙළඳපොලේ දී හදිසියේම එකිනෙකා මුණ ගැහෙන ප්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් සහ උමා මහේෂ්වරන් ඇතුළු ප්ලොට් සාමාජිකයන් තිදෙනෙක් එකිනෙකාට වෙඩි තියා ගත්තා. තමිල්නාඩුවේ සාමාන්‍යය ජනතාව අතර ලංකාවේ දෙමළ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ වීමට මේ සිද්ධිය බෙහෙවින් බල පෑවා.

වෙඩි තබාගැනීමෙන් දින කීපයකට පසුව සියළුම දෙනා ඉන්දියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තත්, තමිල්නාඩු දේශපාලකයන් ගේ බලපෑම් මත මුදා හැරියා.

ප්‍රභාකරන් සහ තවත් කොටි සාමාජිකයෙන් අත් අඩංගුවට පත් ව​

කොටි සංවිධානයේ නැගීම​


ප්‍රභාකරන් ඉන්දියාවේ සිටි කාලය තුල කොටි සංවිධානයේ එදිනෙදා කටයුතු වල නායකත්වය දැරුවේ සීලන්. කොටි සංවිධානය ප්‍රභල ගරිල්ලා සංවිධානයක් බවට පත් කරන්නේ සීලන් විසින්.

සීලන් යටතේ කොටි සංවිධානය මෙතෙක් සිදු කරමින් සිටි බැංකු කොල්ලකෑම් සහ පුද්ගල ඝාතන වෙනුවට හමුදාවට සහ පොලිසියට එරෙහිව ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරා.

එහි පළමු පියවර වෙන්නේ 1981 ඔක්තෝබර් 15 වෙනිදා යාපනයේදී හමුදා ජිප් රථයකට සැඟවී සිට කළ පහර දීමකින් හමුදා සෙබළුන් දෙදෙනක් මරා දැමීම​. මේ දෙමළ ත්‍රස්තවාදී සංවිධායක් හමුදාවට එරෙහිව කළ ප්‍රථම ප්‍රහාරය​. මෙය දෙමළ ත්‍රස්තවාදීන් තුල විශාල ආස්වාදයක් ඇති කළ සිද්ධියක් වුනා.

1982 ජනවාරි දෙවැනිදා කොටි සංවිධානය විසින් ප්ලොට් සංවිධානයේ දෙවැනි නායක සුන්දරම් මරා දැමෙනවා. සුන්දරම් මිය යන්නේ සීලන් තැබූ වෙඩි පහරකින්. ටේලෝ සංවිධානයේ බිඳ වැටීමත් එක්ක කොටි සංවිධානයේ ප්‍රභලම ප්‍රතිවාදියා බවට පත් වෙලා හිටි ප්ලොට් සංවිධානයට මේ ඝාතනය දරුණු පහරක් වුනා.

1982 ඔක්තෝබර් 27 වෙනිදා සීලන් ගේ නායකත්වයෙන් යුත් කොටි සාමාජිකයන් හත් දෙනෙකුගේ පිරිසක් චාවාකච්චේරි පොලිස් ස්ථානයට පහර දීලා ආයුධ සහ පතරොම් විශාල ප්‍රමානයක් පැහැරගෙන ගියා. මේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් මිය යන අතර සීලන් ගේ කකුලකට බරපතල තුවාල සිද්ධ වුනා.

මේ වෙද්දි කොටි සංවිධානය උතුරේ ජනතාව අතරේ සෑහෙන බලපෑමක් කරන තැනකට ඇවිත් හිටියා. 1983 පළාත් පාලන මැතිවරණයට තරග කරන්න දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වුනත්, කොටි සංවිධානය එය වර්ජනය කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා හිටියා. ඒ සැරේ ඡන් දයේදී ඡන් දය භාවිතා කළේ 15% ක පමණ පිරිසක් පමණයි.

උතුරේ දෙමළ ජනතාව සමාප්‍රදායික දෙමළ පක්‍ෂ වලින් ඈත් වෙලා ත්‍රස්තවාදී සංවිධාන කෙරෙහි විශ්වාසය තැබීමට යොමු වීම සහ කොටි සංවිධානයට ඔවුන් අතර තිබූ පිළිගැනීම මේ මගින් මනාව නිරූපනය කෙරෙනවා.


"ෆෝ ෆෝ බ්‍රාවෝ"


1983 ජූලි 15 වැනිදා සීලන් ඇතුළු කොටි සාමාජිකයන් හතර දෙනෙක් චාවාකච්චේරි ප්‍රදේශයේ නිවෙසක ඉන්නා බවට හමුදාවට ඔත්තුවක් ලැබුනා. ඔවුන් අල්ලා ගැනීමට කෙරෙන උත්සාහයේදී ඇති වෙන වෙඩි හුවමාරුවේදී එක් කොටි සාමාජිකයෙක් මිය යන අතර සීලන් ගේ කකුලකට වෙඩි වැදුනා. තුවාල ලැබීම නිසා පලා යා නොහැකි වෙන සීලන් ඔහුව වෙඩි තබා මරා දාන විදිහට අනෙකුත් සගයන්ට අණ කලා. ඔවුන් අණ පිළිපදිමින් සීලන් වෙඩි තබා මරා දැම්මා.

ප්‍රභාකරන් ගේ කිට්ටුම සහචරයෙක් වුන සීලන් ගේ මරණයෙන් ප්‍රභාකරන් සහ අනෙකු කොටි සාමාජිකයන් දැඩි කම්පනයට පත් වුනා. ඔවුන් වහාම සීලන් වෙනුවෙන් පලි ගැනීමේ ප්‍රහාරයක් සූදානම් කරා.

එහි ප්‍රතිඵලයක් විදිහට 1983 ජූලි 23 වෙනිදා තිරුනෙල්වෙලි හිදී "ෆෝ ෆෝ බ්‍රාවෝ" හමුදා මුර සංචාරක කණ්ඩායමට එල්ල වෙන කොටි ප්‍රහාරයකින් හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා.

මේ සිද්ධියෙන් පසුව රට පුරාම දෙමළ ජාතිකයන්ට එරෙහිව දැඩි වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුනා. මින් දහසකට අධික දෙමළ ජාතිකයන් මිය යන අතර ලක්‍ෂ ගාණක පිරිසක් අවතැන් වුනා.

මෙය ලංකාවේ ඊළාම් අරගලයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්.

Thursday, May 24, 2018

දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය - 1 (මුල් යුගය​)





1960 දශකයේ අග භාගය වෙනකොට උතුරේ දේශපාලන බලය සම්පූර්නයෙන්ම වාගේ හිමිවුනේ චෙල්වනායගම් ගේ "ඉලංකෙයි තමිල් අරසු කච්චි" (ලංකා දෙමළ රාජ්‍යය පක්‍ෂය) ට​. ඊට අමතරව ජී.ජී. පොන්නම්බලම් ගේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයත් තරමක් බලයක් අත් කරගෙන හිටියා.

නමුත් දෙමළ තරුණයන් මේ සාම්ප්‍රදායික පක්‍ෂ වල ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් වුනේ නෑ. ඔවුන් දෙමළ ඊළාම දිනා ගැනීමට නම් ඊට වඩා "දැනෙන​" ක්‍රියාමාර්ග අවශ්‍යය බව හිතුවා. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ ප්‍රචන්ඩත්වය​.

මුල් යුගයේ තරුණ සංවිධාන ඇත්තෙන්ම සංවිධාන වලට වඩා කල්ලි ස්වරූපයක් ගත්තා. මේවාට විධිමත් සංවිධානාත්මක යාන්ත්‍රනයක් තිබුනේ නෑ. ඒ වෙනුවට තරුණයන් කීප දෙනෙක් එකතු වී සුළු ත්‍රස්තවාදී ක්‍රියා වල නිරතවීමක් දකින්න පුළුවන්.

මුල්ම තරුණ කල්ලිය ඇති වෙන්නේ 1969 වැල්ලටිතුරේ ප්‍රදේශයේදී. ඒ තංගදුරේ කල්ලිය​.


තංගදුරේ කල්ලිය​


ආරම්භක සාමාජිකයන් :
නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)​
පොන්නදුරේ සිවකුමාරන් (පොන්)
ශ්‍රී සභාරත්නම්
වේළුපිල්ලේ ප්‍රභාකරන් (තම්බි)

තංගදුරේ කල්ලිය බිහි වෙන්නේ යාපයේ උතුරේම පිහිටි මුහුදුබඩ ගමක් වන වැල්ලටිතුරේ හිදී. වැල්ලටිතුරේ කරයාර් කුලයේ ජනතාව වාසය කරන ගමක්. ඉන්දියාවට අසන්නයේ පිහිටීම නිසා ඉන්දියාවත් සමඟ හොරබඩු ජාවාරම වැල්ලටිතුරේ ප්‍රදේශයේ තදින්ම ව්‍යාප්ත වෙලා තිබුනා. කණ්ඩායමේ නායකයන් දෙදෙනා වුන තංගදුරේ සහ කුට්ටමනී ඇතුළු බහුතරයක් සාමාජිකයන් වැල්ලටිතුරේ පදිංචිකරුවන්.



මේ තරුණයන්ට පැහැදිලි දේශපාලන දර්ශනයක්, සංවිධාන යාන්ත්‍රනයක් හෝ යුධ උපක්‍රම පිළිබඳ දැනුමක් තිබුනේ නෑ. ඔවුන් ඉන්දියාවත් සමඟ හොරබඩු වෙළඳාම සහ සුළු ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත වුනා. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ තරුණ සංවිධානයේ නායක අමිර්තලිංගම්ට මේ තරුණයන් එක්ක කිට්ටු සබඳකමක් තිබුනා. ඔහු තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරින්න මේ තරුණයන්ව යොදා ගත්තා.


තමිල් මනවර් පෙරවායි (දෙමළ ශිෂ්‍යය ලීගය)​ / තමිල් ඉලයිඥර් පෙරවායි (දෙමළ තරුණ ලීගය)


ආරම්භක සාමාජිකයන් :
පොන්නදුරේ සත්‍යසීලන් - නායක​
පොන්නදුරේ සිවකුමාරන් (පොන්)
කේ. පද්මනාභා

ඒක යාපනේ සිසුන් දැක්කේ තමන්ට සිදුවුන විශාල අසාධාරණයක් විදිහට​. මේ නිසා උතුරේ ශිෂ්‍යයන් අතරේ සන්නද්ධ ක්‍රියාකාරකම් වලට විශාල උනන්දුවක් ඇති වුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි 1970 දී පොන්නදුරේ සත්‍යසීලන් ගේ නායකත්වයෙන් "තමිල් මනවර් පෙරවායි" හෙවත් දෙමළ ශිෂ්‍යය ලීගය ඇති වෙන්නේ. 1973 දී ඊට වෙනත් තරුණයනුත් ආකර්‍ෂනය කරගැනීම සඳහා එහි නම "තමිල් ඉලයිඥර් පෙරවායි" හෙවත් දෙමළ තරුණ ලීගය ලෙස වෙනස් කරා.

පළමුවරට "ඇඟට දැනෙන​" මට්ටමේ ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වෙන්නේ තමිල් මනවර් පෙරවායි සංවිධානය​. එහිදී ප්‍රමුඛ තැනක් ගන්නේ තංගදුරේ කල්ලියේ සාමාජිකයෙක් වුන​ පොන් සිවකුමාරන්. පොන් සිවකුමාරන් උතුරේ ත්‍රස්තවාදයේ පුරෝගාමියා කිව්වොත් නිවැරදියි. උසස් පෙළ සඳහා රසායන විද්‍යාව හැදෑරූ සිසුවෙක් වුන ඔහු තමයි මුලින්ම දිවි නසා ගැනීම සඳහා සයනයිඩ් කරලක් පැළඳගැනීමේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ.

පොන් සිවකුමාරන් ගේ නායකත්වයෙන් තමිල් මනවර් පෙරවායි සංවිධානය 1970 දශකයේ මුල භාගයේදී ප්‍රචන්ඩ ක්‍රියා ගණනාවක නිරත වුනා. 1970 දී රජයේ නියෝජ්‍ය අමාත්‍ය සෝමවීර චන්.ද්‍රසිරි ගේ මෝටර් රථයේ බෝම්බ තැබීම​, 1971 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සහ 1974 දී කෝපායි හි මහජන බැංකුව කොල්ලකෑම ඒ අතරින් ප්‍රධානයි.

නමුත් කෝපායි බැංකු කොල්ලයේදී පොලිසියට කොටු වන සිවකුමාරන් සයනයිඩ් කෑමෙන් දිවි නසා ගත්තා. ඒ දෙමළ ත්‍රස්තවාදියෙක් අත් අඩංගුවට පත් වීම වැලැක්වීමට දිවි නසා ගන්නා පළවෙනි අවස්ථාව​.


දෙමළ නව කොටි (Tamil New Tigers) - TNT


ආරම්භක සාමාජිකයන් :
චෙට්ටි තනබාලසිංහම් - නායක
වේළුපිල්ලේ ප්‍රභාකරන් (තම්බි)

හොරබඩු ජාවාරම් කරුවෙක් වුන චෙට්ටි තනබාලසිංහම් සහ එවකට 18 හැවිරිදි තරුණයෙක් වුනු ප්‍රභාකරන් "දෙමළ නව කොටි" සංවිධානය ආරම්භ කරා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දැඩි විනයක් සහිත කුඩා සංවිධානයක්. මෙහිදී ඔවුන් පොන් සිවකුමාරන් ගේ ක්‍රියාවලින් විශාල ආභාෂයක් ලැබුවා.

චෙට්ටි තනබාලසිංහම් හමුදාව සමඟ ඇතිවෙන ගැටුමකින් මිය ගිය පසු සංවිධානයේ නායකත්වය ප්‍රභාකරන්ට හිමි වුනා.

දෙමළ නව කොටි සංවිධානය සුළු පරිමානයේ ත්‍රස්ත ක්‍රියා සහ කොල්ලකෑම් ගණනාවක නිරත වුනා. 1974 අගමැතිණියගේ යාපනය සංචාරය අතරතුර ඔවුන් බෝම්බ පිපිරීම් කීපයක් ම සිදු කළා. මේවායින් ජීවිත හානි සිදු නොවුනත් ඔවුන් යාපනය තරුණයන් අතර යම්කිසි වීරත්වයක් දිනා ගත්තා.

දෙමළ නව කොටි සංවිධානය ජාතික මට්ටමේ කතාබහට ලක් වෙන්න පටන් ගන්නේ 1975 ජූලි 27 වෙනිදා ප්‍රභාකරන් සහ සගයන් කීපදෙනෙක් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා වෙඩිතබා ඝාතනය කිරීමෙන්. මේ තමයි දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් සිදු කළ පළමු වැදගත් දේශපාලන ඝාතනය​.


දෙමළ විමුක්ති සංවිධානය​ (Tamil Liberation Organization) - TLO


ආරම්භක සාමාජිකයන් :
නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)
ශ්‍රී සභාරත්නම්

තංගදුරේ කල්ලිය 1973 දී "දෙමළ විමුක්ති සංවිධානය" නමින් තමාව හඳුන්වා ගත්තා.

ඔවුන් ප්‍රභාකරන් ගේ දැඩි විනයක් සහිත කුඩා කණ්ඩායමක මොඩලයට වඩා විශ්වාස කරන්නේ පුළුල් මහජන සහබාගීත්වයෙන් යුක්ත මොඩලයක්. සංවිධානයේ දෙවෙනි නායක කුට්ටමනී යාපනයේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් දිනා ගත්තා.

ඔවුන් ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වුනේ අනෙකුත් සංවිධාන වලට සාපේක්‍ෂව අඩුවෙන්. ඒ එක්කම ඔවුන් තමිල්නාඩු දේශපාලන පක්‍ෂ සහ රෝ සංවිධානය සමඟ සබඳකම් ඇති කර ගත්තා. උතුරේ සන්නද්ධ කණ්ඩායම් අතරින් වැඩිම ඉන්දියානු සබඳකම් තියෙන්නෙ ඔවුන්ට​.


දෙමළ ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධාය (Eelam Revolutionary Organization of Students) - EROS (ඊරොස්)


ආරම්භක සාමාජිකයන් :
ඒළියතම්බි රත්නසබාපති
වේළුපිල්ලේ බාලකුමාරන්
නේසදුරේ තිරුනේසන් (ශංකර් රාජී)
බාලනඩරජා අයියර් (සින්න බාලා)

1975 දී ලන්ඩනයේ ඉගෙනුම ලැබූ දෙමළ ශිෂ්‍යන් පිරිසක් විසින් ඊරොස් සංවිධානය පිහිටුවා ගත්තා. ඔවුන් සන්නද්ධ කල්ලියකට වඩා දේශපාලන සංවිධානයක් වශයෙන් ක්‍රියාකාරී වීමට නැඹුරු වුනා. ප්‍රචන්ඩ ක්‍රියා වලට වඩා ඔවුන් මුල් තැන දුන්නේ දේශපානල න්‍යායට​. ඒ අතරම ඔවුන් මාක්ස්වාදී අදහස් වලින් විශාල ආභාෂයක් ලැබුවා.


මෙතෙක් සන්නද්ධ කල්ලි වල ක්‍රියාකාරකම් උතුරට සීමා වෙලා තිබුනේ. මුලින්ම නැගෙනහිර දෙමළ තරුණයන් අතරට ගිය සංවිධානය ඊරොස්. ඒ වගේම ඔවුන් මුස්ලිම් තරුණයන් ඊළාම් අරගලයට ඈඳා ගැනීමට විශේෂ උත්සහයක් දැරුවා.

ඊරොස් සංවිධානයේ මිලිටරි අංශයේ නායක ශංකර් රාජී විසින් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සමඟ ඇති කරගන්නා සබඳතා මත ඊරොස් සංවිධානයේ බොහෝ දෙනා ලෙබනනයේ හමුදා පුහුණුව ලැබුවා. ඒ වගේම ඔවුන් වෙනත් සංවිධාන වල දෙමළ තරුණයන්ටත් ලෙබනනයේ සන්නද්ධ පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දුන්නා. මේ සබඳතා හරහා ඊරොස් සහ දෙමළ නව කොටි සංවිධාන අතර හොඳ මිත්‍රත්වයක් ගොඩ නැගුනා.


ඊරොස් සංවිධානයේ ආරම්භයත් එක්කම දෙමළ සන්නද්ධ කල්ලි වල මුල් යුගය නිමා වෙනවා. එතැන් සිට කුඩා සන්නද්ධ කල්ලි වෙනුවට මධ්‍යගත පාලනයක් සහිත, මනාව සංවිධානය වුන​, දේශපාලන න්‍යාය, හමුදා පුහුණුව සහ ජාත්‍යන්තර සබඳතා සහිත සංවිධාන ගොඩ නැංවීමට දෙමළ තරුණයන් උත්සහ ගත්තා. ඒ සඳහා ආදර්ශය වුනේ ඊරොස් සංවිධානය​.

මෙතැන් සිට උතුරේ මනාව සංවිධානය වුන දෙමළ සන්නද්ධ සංවිධාන විශාල ප්‍රමානයක් බිහි වෙනවා.

Wednesday, May 23, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 47 - (පල්ලිය ගිනි තැබූ මිනිසා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

පල්ලිය ගිනි තැබූ මිනිසා

එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක​, මනුස්සයෙක් වාසය කරා. ඔහු දූපතේ වැසියන් අතර ප්‍රසිද්ධ වෙලා හිටියෙ කුකුල් කේන්තිකාරයෙක් විදිහට​.

එක දවසක් පොල් ගස් කීපයක අයිතිය වෙනුවෙන් මේ මනුස්සයා දූපතේ එහා කොනේ පදිංචි වෙලා හිටපු මිනිස්සු කීප දෙනෙක් එක්ක ආරවුලක් ඇති කර ගත්තා. ඔහු මේ ගැන දූපතේ ප්‍රධානියාට පැමිණිලි කරා. නමුත් නඩුව අහපු දූපත් ප්‍රධානියා තීන්දුව දුන්නෙ අනිත් පාර්ශවයට වාසි වෙන විදිහට​.

ඒ ගැන මේ මනුස්සයා ඉතාම කෝපයට පත් වුනා.

ඒත් ඔහු තරහව පිටට පෙන්නුවෙ නෑ. තරහව් හිතේ තද කරගෙන රෑ බෝ වෙනකං බලාගෙන උන්නා. හොඳටම කළුවර වැටිලා හැමෝම නින්දට ගියාට පස්සෙ ඔහු හොරෙන්ම දූපතේ එහා කොණට ගියා. කළුවරේම පාළුවට ගිය පාරවල් ඔස්සේ ඇවිදිමින් ඔහු කෙලින්ම ගියේ ගමේ "මිස්කි"​ (පල්ලිය) දිහාවට​. පල්ලියේ කවුරුත් හිටියෙ නෑ.

ඔහු පල්ලියේ පොල් අතු හෙවිල්ලපු වහලයට ගිනි තිබ්බා.

වහලයට ගිනි ඇවිළුනාට පස්සෙ ඔහු ඉක්මනින්ම ආපහු ගෙදර දුවගෙන ආව​. කවුරුත් ඔහුව දකින්න කලින් ගෙදරට එන්න ඔහුට පුළුවන් වුනා. තමාගේ වැඩේ සාර්ථක වීම ගැන සතුටින් ඔහු නින්දට ගියා.

ඒ පායන කාලෙ. පල්ලියේ වහලට හෙවිලි කරල තිබ්බ පොල් අතු හොඳටම වේලිලා තිබුනේ. ටික වෙලාවකින්ම පල්ලියේ වහල ගිනි ජාලාවක් බවට පත් වුනා. ගිනිගන්න සද්දෙ ඇහිල මිනිස්සු දුවගෙන එනකොට පල්ලිය ගිනි අරගෙන ඉවරයි. මිනිස්සුන්ට පුළුවන් වුනේ පල්ලිය අළු වෙලා යන හැටි වටේට ඉඳගෙන බලාගෙන ඉන්න විතරයි.

පහුවදා උදේ පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ඇහැරිලා එළියට බැස්සා. පාරට බැහැල ඇවිදගෙන යන ඔහුට ගෑණු පිරිසක් දූපතේ එහා කොනේ පල්ලිය ගිනි ගත්ත හැටි කතාවෙනවා ඇහුනා. ඔහු ගේ හදවත ප්‍රීතියෙන් සහ බියෙන් සැලෙන්න පටන් ගත්තා. ඔහු දිගටම මිනිස්සු කතා වෙන දේට ඇහුම්කන් දෙමින් දූපත පුරාම ඇවිද්දා.

හැමෝම කතා වුනේ පල්ලිය ගිනි ගත්ත එක ගැන​. ඒත් කවුරුවත් ඒක කෙනෙක් හිතාමතා කර දෙයක් බවට සැක කරන බවක් ඔහුට ඇහුනේ නෑ. හැමෝම හිතුවේ අනතුරකින් පල්ලිය ගිනි ගන්න ඇති කියල​. ගමේ පල්ලිය ගිනි තියන්න තරම් දරුණු මනුස්සයෙක් ඉඳියි කියල ඔවුන් විශ්වාස කලේ නෑ.

ඒත් පල්ලිය ගිනි තිබ්බ මනුස්සය නොසන්සුන් වුනා. ඔහු හිතුවේ හැමෝම පල්ලිය ගිනි තිබ්බේ තමා බව දන්න නමුත් ඒ බව තමාගෙන් වසන් කරනවා ඇති කියල​. කොයි මොහොතේ හරි දූපත් ප්‍රධානියා ඇවිත් තමාව අත් අඩංගුවට ගනියි කියල ඔහුගේ හිත බයෙන් සැලුනා.

එදා රෑ ඔහුට හරියට නින්ද ගියේ නෑ.

පහුවදා උදේ ඔහු ඇහැරිලා එළියට බැහැල බැලුවා. ඔහු දැක්කා ගෑණු පිරිසක් වතුර ගේන්න යන හැටි. ඔහු හෙමින් හෙමින් ඒ අයට කිට්ටු කරා. ඔවුන් වෙනත් දේවල් ගැන කතා කරමින් උන්නා.

පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ටික වෙලාවක් ඔවුන් ගේ කතාබහට ඇහුම්කන් දීගෙන උන්නා. ඔවුන් වෙනත් දේවල් ගැන කතා කරන්න කරන්න ඔහුගේ හිතේ නොසන්සුන් කම තවත් වැඩිවුනා.

ටික වෙලාවක් යද්දි ඔහුට තව දුරටත් ඉවසගෙන ඉන්න බැරි වුනා.

"මිනිස්සු කියනවද පල්ලියෙ ගිනි තිබ්බෙ මම කියල​?"

ගහෙන් ගෙඩි එන්නා වගේ අහපු ඒ ප්‍රශ්නයෙන් ගෑණු පිරිස පුදුමයට පත් වුනා. ඔවුන් දැක්කා පල්ලිය ගිනි තිබ්බ මනුස්සයගෙ හිතේ තියෙන නොසන්සුන්කම​.

"නෑ. කවුරුත් එහෙම දෙයක් කියන්නෙ නෑ"

පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ගේ හිතට සුවයක් දැනුනා. ඒත් ටික වෙලාවකින්ම ඒක ආපහු නැති වෙලා ගියා.

"ගෑණු ටික මට බොරු කිව්ව වෙන්න පුළුවන්"

ඔහු දූපත පුරා ඇවිමින් ඔහුට හමුවෙන හැම කෙනෙක්ගෙන්ම එකම ප්‍රශ්නය අහමින් දවසම ගත කලා. හැමෝම ඔහුට දුන්නෙ එකම උත්තරයක්.

"නෑ. කවුරුත් එහෙම දෙයක් කියන්නෙ නෑ"

පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ගේ හිතට සැනසීමක් ලැබුනේ නෑ. එදා රෑ ඔහු නිදාගත්තේ කලින් දවසටත් වඩා නොසන්සුන් කමින්.

ඒ අතරෙ දූපත් වැසියෝ මේ මනුස්සයාගේ පුදුම සහගත හැසිරීම ගැන කතා බහ වුනා. හැමෝම විපරම් කරල බැලුවා කවුරු හරි ඔහුට පල්ලිය ගිනි තිබ්බ කියල චෝදනා කරා ද කියල​. ඒත් එහෙම දෙයක් හොයා ගන්න ඔවුන්ට බැරි වුනා.

සිද්ධිය ගැන සාකච්ඡා කරපු මිනිස්සු ඒක සැක කටයුතු තත්වයක් කියල තීරණය කරලා දූපත් ප්‍රධානියාට ඒ බව දැනුම් දුන්නා. දූපත් ප්‍රධානියා කරුණු සලකලා බලල පල්ලිය ගිනි තිබ්බ මනුස්සව අත් අඩංගුවට ගන්න නියම කළා.

මිනිස්සු පල්ලිය ගිනි තිබ්බ මනුස්සයව දූපත් ප්‍රධානියා ළඟට අරගෙන ආවා.

"කවුද පල්ලිය ගිනි තිබ්බේ?"

මුලදි  පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා චෝදනාව ප්‍රතික්‍ෂේප කරා. ඒත් දූපත් ප්‍රධානියා ඔහුගෙන් දිගටම ප්‍රශ්න කරා. ටික වෙලාවක් යද්දි ඔහු ගේ හිතේ නොසන්සුන් කම ඔහුට දරා ගන්න බැරි තරම් වැඩි වුනා. අන්තිමේදී ඔහු පල්ලිය ගිනි තිබ්බෙ තමා කියල පිළිගත්තා.

දූපත් ප්‍රධානියා ඔහුට කසපාර සීයක් නියම කරලා ඔහුව වෙනත් දූපතකට පිටුවහල් කරා෴


- කතාව කිව්වේ දඩිමගො රාෆිගු (ෆුවා මුලාකු දූපත​)

Monday, May 21, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 46 - (කළුබොන්දාගෙ දියෙ)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

දිවෙහි රාජ්ජේ ඉස්ලාම් ආගම වැළඳ ගත්තට පස්සෙ ඒ රටේ තිබුන කුල ක්‍රමය සම්පූර්නයෙන්ම වගේ නැති වුනා. නමුත් ඉස්ලාමයට පෙර යුගයේ කුල ක්‍රමයක් තිබුනු බවට සාධක අදත් දකින්න පුළුවන්.

කුල ක්‍රමය නැති වුනත්, ඒ ඒ රැකියාවන් අනුව සමාජ තත්වයන් හිමි වීම දිවෙහි රාජ්ජේ සමාජයෙන් නැති වුනේ නෑ. ඒ වගේම ඕනම සමාජයක වගේ පුද්ගලයන් ගේ සොබාවය අනුවත් සමාජ පිළිගැනීම අඩු-වැඩි වීම දිවෙහි රාජ්ජේත් තියෙනවා.

මේ කතාව සමාජ තත්වයන් පිළිබඳ කතාවක්. විශේෂත්වය වෙන්නේ මිනිස් සමාජයේ සමාජ තත්වයන් මාළුවන් ට අනුරූප කරල තිබීම​.

දිවෙහි රාජ්ජේ වැසියන්ට මාළු කියන්නෙ ඉතාම සමීප දෙයක්. ඔවුන් ගේ ගොඩබිම වාසය කරන සත්තු ඉතාම අඩු වුනත්, මුහුදු මාළු අඩු නැතුවම ඉන්නවා. ඒ වගේම ඒ හැම මාළුවම දිවෙහි රාජ්ජේ වැසියෝ වෙන් වෙන් වශයෙන් දන්නවා.

මාළුවන් ගේ මුහුණේ හැඩය​, ගති පැවතුම් සහ මස් වල සොබාවය අනුව ඔවුන්ව ඒ ඒ සමාජ තත්වයන්ට අනුරූප කරලා ඉතාම අපූරු කතාවක් ගොතන්න ජනකතා කරුවා සමත් වෙනවා. කතාවේ චරිත වලට නම් දාල තියෙන්නෙ දිවෙහි බසින් ඒ ඒ මාළුවට කියන නම පොඩ්ඩක් වෙනස් කරලා. ඒ වෙනසෙත් සියුම් අරුත් තියෙනවා.

කතාව කෙටි වුනත් සැඟවුනු අරුත් බොහොමයි. දිවෙහි රාජ්ජේ සමාජයේ පැතිකඩක් කදිමට මේ කතාවෙන් අපිට බලන්න පුළුවන්.

කළුබොන්දාගෙ දියෙ


එක දවසක් "ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා" ගියා "දෆ්ෆුකුරොන්ඩා" හමුවෙන්න​.

"දෆ්ෆුකුරොන්ඩා, මට උදව්වක් කරන්න පුළුවන් ද​?"

ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා කියන්නෙ ෆන්ඩියාරු (අග විනිසුරු) ගෙ පුතා. මේ වගේ ඉතාම වැදගත් මාළුවෙක් තමා හමුවීමට ආපු එක ගැන දෆ්ෆුකුරොන්ඩා ඉතාම සතුටට පත් වුනා.

ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා

"මොකද්ද උදව්ව​?"

"ෆානා ගේ දුවගෙන් අහන්න පුළුවන් ද එයා මාව කසාද බඳින්න කැමති ද කියලා?"

දෆ්ෆුකුරොන්ඩා පණිවිඩය ගෙනියන්න කැමති වුනා. එයා කොරල් පරයේ හැදුනු පොකුණකින් හොඳට නා ගත්තා. ෆානා කියන්නෙ බොහොම වැදගත් කාන්තාවක්. එයාගෙ දුව හමුවෙන්න යද්දි ආවට ගියාට ගිහිල්ල බෑ. බොහෝ වෙලාවක් තිස්සෙ නෑවට පස්සෙ දෆ්ෆුකුරොන්ඩා පොකුණෙන් එළියට ආවා. වලිගය රතු පාට කර ගත්තා. හරියට ගෑණු ළමයෙක් කකුල් වල හෙනා ගානවා වගේ.

දෆ්ෆුකුරොන්ඩා

ඊට පස්සෙ දෆ්ෆුකුරොන්ඩා කොරල් පරයේ හැමතැනම ෆානා ගේ දුවව හෙව්වා. ගල් මල් උඩින් පනිමින්, යටින් රිංගමින්, පැත්තෙන් පීනමින් හෙව්වා.

අන්තිමේදී ලොකු කොරල් ගලක් එහා පැත්තෙ ඉඳලා ෆානා ගේ දුව හමුවුනා.

ෆානා ගේ දුව බොහොම ආඩම්බරකාරි. ඒ වෙලාවෙ එයා කොන්ඩෙ පීරමින් හිටියෙ.

ෆානා

"එහ්, දෆ්ෆුකුරොන්ඩා, උඹ මොනවද මෙතන කරන්නෙ?"

"මම ආවෙ කෙනෙක්ට උදව්වක් කරන්න​"

"ඒ මොකද්ද​?"

"ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා ඇහුවා ඔයා එයාව කසාද බඳින්න කැමතිද කියලා"

ෆානා ගේ දුව ආඩම්බරෙන් හිස සැලුවා.

"මම මොකටද එයාව කසාද බඳින්නෙ?"

ඊට පස්සෙ එයා පුරසාරම් දොඩන්න පටන් ගත්තා.

"මගෙන් "ගොදරහ අලිමූනා" ත් කසාද බඳින්න ඇහුවා. ගොදරහ අලිමූනා කියන්නෙ මාළුන් ගෙ රජ්ජුරුවෝ. එයාගෙ මූණ හරිම අවංක පාටයි. ඒත් මම කැමති වුනේ නෑ. මොකද එයාගෙ කකුල් මහත වැඩියි."

ෆානා ගේ දුව ආඩම්බරෙන් උඩ බලාගෙන කතා කරනවා.

"ඊට පස්සෙ "රටෙමහ රටෙජාඩියා" ත් මගෙන් කසාද බඳින්න ඇහුවා. එයා බොහොම ධනවත් වෙළෙන්දෙක්. ඒත් මම කැමති වුනේ නෑ. මොකද එයා හරි කෑදරයා. කන්න ගියාම හරිම පෙරේතයි."

රටෙමහ රටෙජාඩියා
 ෆානා ගේ දුව හොරැහින් දෆ්ෆුකුරොන්ඩා දිහා බලල දිගටම කතා කරා.

"ඒ විතරක් ද​? "මානෙමහ රීතිකලෝ" ත් මගෙන් කසාද බඳින්න ඇහුවා. එය හරිම ලස්සනයි. ඒත් මම කැමති වුනේ නෑ. එයාගෙ ජම්මෙ හොඳ නෑ. එයාගෙ තාත්තා රා මදින්නෙක්."

මානෙමහ රීතිකලෝ

ෆානා ගේ දුව දෆ්ෆුකුරොන්ඩා දිහා බලල මෙහෙම කිව්වා.

"මම කවද හරි කසාද බඳින්නෙ මගේ ඇවැස්ස මස්සිනාව​."

ෆන්ඩියාරෝ කන්නෙලා ඔලාකන්නෙලා කොරල් ගල එහා පැත්තෙ ඉඳන් මේ කතාබහට හොරෙන් කන් දීගෙනයි හිටියේ. එයාට බොහොම ලැජ්ජ හිතුනා. තව මොහොතක් වත් කොරල් පරයේ ඉන්න එයාට හිතුනේ නෑ. එයා වේගයෙන් ඈත මුහුදට පීනන්න පටන් ගත්තා. එයත් එක්ක එයා වටේ හිටපු පුංචි පුංචි මාළු ගොඩකුත් පීනගෙන ගියා.



ෆන්ඩියාරෝ කන්නෙලා ඔලාකන්නෙලා කොයිතරම් වේගෙන් පීනුවද කිව්වොත් එයාගෙ වරල් වලට කැපෙන වතුර පෙනුනෙ රිදී පාට ඉරක් වගේ.

හරියට රතෆන්දු දූපතේ "මාවඩි සුලෙයිමානු" ගෙ නියන වගේ.

මේ කලබලය දිහා බලාගෙන හිටපු ෆානා ගේ දුව බොහොම ආඩම්බරෙන් තොල් මැතිරුවා.

"මම මොකටද එයාව කසාද බඳින්න්නෙ...."


 - කතාව කිව්වේ මුහම්මදු සාලීහු (දූන්දිගන්, ෆුවාමුලාකු දූපත​)

අටුවාව​

1. ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා

"ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා" නමින් හැඳින්වෙන චරිතය සිංහලෙන් කෙලවල්ලා නමිනුත්, ඉංග්‍රීසියෙන් "Yellowfin Tuna" නමිනුත් හැඳින්වෙන මාළුවා.

කෙලවල්ලා කියන්නෙ අඩි 7 ක් විතර දිගට හැදෙන කිලෝ ග්‍රෑම් 200 ක් විතර බර විශාල මාළුවෙක්. ඒ වගේම උගේ මස් ආහාරයට ඉතාම සුදුසුයි. ඌ දිවෙහි රාජ්ජේ වැසියන් ගේ ප්‍රධාන ආහාරයක්. කතාවේ ඌට ඊට සමාන වැදගත් තැනක් දීල තියෙනවා. 


කෙලවල්ලා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "කන්නෙලි" කියලා. චරිතයේ නම වන "ෆන්ඩියාරු කන්නෙලා ඔලාකන්නෙලා" ඒ වචනය වෙනස් කරල හැදුනු එකක්. ෆන්ඩියාරු කියන්නෙ දිවෙහි බසින් "අග විනිසුරුවරයා" හඳුන්වන නම​. දිවෙහි රාජ්ජේ රජතුමා ළඟට උසස්ම සහ වැදගත්ම නිලධාරියා වුනේ ෆන්ඩියාරු. කතාවේ එන චරිතය ෆන්ඩියාරු ගේ පුතා.



2. දෆ්ෆුකුරොන්ඩා

"දෆ්ෆුකුරොන්ඩා" චරිතයේ ඉන්නෙ ඉංග්‍රීසියෙන් "Orange Lined Triggerfish" නමින් හැඳින්වෙන මාළුවා.

ඌ කොරල් පර ආශ්‍රිතව වෙසෙන දිගින් අඩියක් පමණ වෙන මාළුවෙක්. උගේ මසේ ඇති මඩ රසය නිසා සාමාන්‍යයෙන් ආහාරයට ගැනෙන්නේ නැති මාළුවෙක්. ඒ වගේම ඉස්සරහ දත් කටෙන් එළියට පැනල තියෙන නිසා තරමක් අවලස්සන පෙනුමෙන් යුක්තයි.

මේ මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "දයිෆුකු රොන්ඩු" කියලා. චරිතයේ නම වන දෆ්ෆුකුරොන්ඩා ඒක තරමක් වෙනස් කරල හදල තියෙන්නෙ. දෆ්ෆුකුරොන්ඩා ගේ චරිතය කතාවේ සමාන කරල තියෙන්නෙ බොල්ලෑ දත් සහිත​, අවලක්‍ෂන පෙනුමැති ඒ නිසාම කවුරුත් වැඩිය ගණන් ගන්නෙ නැති, ඒත් පෙම්වතුන් අතරේ පණිවුඩ ගෙනියන්න ආසා කරන තරුණියක් විදිහට​.




3. ෆානා

ෆානා කියන්නේ ඉංග්‍රීසියෙන් "Malabar Grouper" කියල හැඳින්වෙන මාළුවා.

ෆානා ගේ මූණේ හැඩය නිසා ඌට ආඩම්බර පෙනුමක් ලැබිල තියෙනවා. කතාවේ එන ෆානා බොහොම ආඩම්බරකාර තරුණියක්.




4. ගොදරහ අලිමූනා

"ගොදරහ අලිමූනා" කියන්නෙ සිංහලෙන් "බලයා" නමිනුත්, ඉංග්‍රීසියෙන් "Skipjack Tuna" නමිනුත් හැඳින්වෙන මාළුවා.

බලයා අඩි 3 ක් විතර දිග කිලෝ ග්‍රෑම් 20 පමණ බර ලොකු මාළුවෙක්. ඒ වගේම දිවෙහි රාජ්ජේ වැසියන් ගේ ප්‍රධාන ආහාරය බලයා. බලයා ගේ මස් ඉතාම රසවත් වගේම ඉතාම පෝෂ්‍යදායකයි. දිවෙහි රාජ්ජේ වැසියන් අතර බලයා කියන්නෙ ඉහළ තැනක ලා සැලකෙන මාළුවෙක්.

දිවෙහි බසින් බලයා හැඳින්වෙන්නේ "කළුබිලමස්" එහෙම නැත්තං "ගොදා" කියලා. කතාවේ එන චරිතයේ නම "ගොදරහ අලිමූනා". ගොදරහ කියන එක ගොදා කියන වචනයෙන් ගත්ත එකක්. අලිමූනා කියන්නෙ අවංක මූනක් සහිත කියන එක​. කතාවේ ගොදරහ අලිමූනා හැඳින්වෙන්නේ "මාළු අතර රජු" සහ අවංක පුද්ගලයෙක් විදිහට​.



5. රටෙමහ රටෙජාඩියා

"රටෙමහ රටෙජාඩියා" චරිතයේ ඉන්නෙ ඉංග්‍රීසියෙන් සිංහලෙන් තඹලයා සහ ඉංග්‍රීසියෙන් "Humpback Red Snapper" නමින් හැඳින්වෙන මාළුවා.

මේ මාළුවා කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන අඩි එකහමාරක් - දෙකක් පමණ දිගට වැඩෙන මාළුවෙක්. ආහාරයට ගන්න වගේම මාළු ටැංකි වල ප්‍රදර්ශනය කරන්නත් ගන්න මාළුවෙක්. ඒත් මේ මාළුවා "ඕන කුණුගොඩක්" ආහාරයට ගන්න මාළුවෙක් විදිහට තමයි දිවෙහි රාජ්ජේ වැසියන් අතර ප්‍රසිද්ධ​. විශේෂයෙන් මාළු කරමල් සහ අතුනුබහන් කන්න මූ රුසියෙක්.

දිවෙහි බසින් මූ හැඳින්වෙන්නේ "ගිනිමස්" කියලා. චරිතයේ නම වන "රටෙමහ රටෙජාඩියා" ඇවිත් තියෙන්නෙ වෙළෙන්දන් බඩු අසුරන්න පාවිච්චි කරන ලොකු ඇසුරුම් හෙවත් "ජාඩි" ඇසුරෙන්. චරිතය වෙළෙන්දෙක් විදිහටත්,  ජාඩියක් වගේ විශාල බඩු ප්‍රමානයක් "ඇතුලට දාගන්න​" සමතෙක් විදිහටත් විස්තර කෙරෙනවා.



6. මානෙමහ රීතිකලෝ

"මානෙමහ රීතිකලෝ" චරිතයේ ඉන්නෙ ඉංග්‍රීසියෙන් "Rainbow Runner" කියල හැඳින්වෙන මාළුවා.

මේ මාළුවා අඩි දෙකක් පමණ දිගට වැඩෙන මාළුවෙක්. ඇඟ දිගට වෛවර්ණ​ ඉරි තියෙන නිසා ඉතාම ලස්සන පෙනුමක් තියෙනවා. නමුත් මුගේ මස් ආහාරයට ගන්න දිවෙහි රාජ්ජේ වැසියෝ එච්චර කැමැත්තක් නෑ.

දිවෙහි බසින් මූ හැඳින්වෙන්නේ "මානියාමස්" කියලා. කතාවේ එන චරිතයේ නම "මානෙමහ රීතිකලෝ". මානෙමහ කියන එක මානියාමස් ඇසුරෙන් හදාගෙන තියෙනවා. රීතිකලෝ කියන්නෙ ලස්සන කොල්ලා (රීති = ලස්සන​, කලෝ = කොල්ලා). ලස්සන වුනත් ජන්මයේ අඩුව නිසා එච්චර වටිනාකමක් නැති චරිතයක් විදිහට තමයි මානෙමහ රීතිකලෝ නිරූපනය වෙන්නේ.


7. මාවඩි සුලෙයිමානු

"මාවඩි" කියන දිවෙහි වචනයේ තේරුම "මහ වඩුවා". මහ වඩුවා විදිහට පිළිගැනුනේ දක්‍ෂ වඩුවෙක්. මහ වඩුවෙක් වෙන්න නම් ප්‍රධාන සුදුසුකම විදිහට සැලකුනේ බෝට්ටු හදන්න හැකියාව තිබීම​. මහ වඩුවෙක් කියන්නෙ දිවෙහි රාජ්ජේ ඉතාම වැදගත් රස්සාවක්. මාවඩි සුලයිමානු කියන්නෙ සුලෙයිමානු කියල නම ඇති රතෆන්දු දූපතේ ජීවත් වුන ප්‍රසිද්ධ මාවඩි කෙනෙක් බව හිතන්න පුළුවන්.

Friday, May 18, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 45 - (කන්දු රස්ගෙෆානු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


කන්දු රස්ගෙෆානු (මුහුදු රජා)


ගොඩාක් ඉස්සර කාලේ මාලදිවයිනේ අඩ්ඩු අතොළුවේ ගන් දූපතේ බොහොම දුප්පත් කාන්තාවක් වාසය කළා. ඇයට කාත් කවුරුවත් හිටියේ නෑ. ඇය ජීවත් වුනේ කුඩා පැලක තට්ට තනියම​. ඇගේ ආශාව වුනේ වින්නඹුවක් වෙන්න. ඒ සඳහා පුහුණු වෙන්න ඇය ඒ දූපතේ වින්නඹු අම්මලා දරු උපතකට සහභාගී වෙද්දි ඔවුන් ගේ උදව්වට ගියා.

එක දවසක් ඉර මුහුදේ ගිළුනට පස්සෙ මේ කාන්තාව ශරීර කෘත්‍යය කරන්න මුහුදු වෙරළේ පාළු තැනකට ගියා. ඊට පස්සෙ ඇය ඇඟ හෝද ගන්න මුහුදට බැස්සා.

ඇඟ හෝදනකොට ඇය දැක්කා ඇය ඉදිරියෙන් මුහුද බුබුළු දානවා. හරියට මුහුද යට වතුර රත් වෙලා නටනවා වගේ. බය හිතුනත් ඇය කුතුහලය නිසා බලාගෙන හිටියා.

එක පාරටම මුහුදෙන් මිනිස්සු දෙන්නෙක් මතු වුනා. ඔවුන් ඉතාම කඩවසම් තරුණයන් දෙන්නෙක්.

"අපිත් එක්ක යමු"

"ඒ මොකටද​?"

"අපි හරියටම දන්නෙ නෑ. ඒත් අපිව එව්වෙ ඉතාම වැදගත් කෙනෙක්. එයා තමයි කිව්වෙ ඔබව කැඳවගෙන එන්න කියල​."

ඇය බය වුනා. ඇය බය වුන බව දැකපු තරුණයො දෙන්නා ඇයට කරුණු පැහැදිලි කලා.

"අපි ඔබට කිසි අනතුරක් කරන්නෙ නෑ. අපි එක්ක එන්න​. ඔබ අකමැති නම් ඕනම වෙලාවක ආපහු හැරෙන්න පුළුවන්. අපි ඔබව ආපහු මෙතැනටම ඇරලවන්නම්."

තරුණයන් දෙන්නගෙ ආචාරශීලි කම දැකපු ඇගේ බය අඩු වුනා. ඇය ඔවුන් එක්ක යන්න කැමති වුනා. තරුණයන් දෙන්නා ඇගේ දෙපැත්තෙන් හිටගෙන ඇගේ අත් දෙකෙන් අල්ල ගත්තා. ඊට පස්සෙ ඔවුන් තුන් දෙනාම කොරල් පරය දිහාවට ඇවිදගෙන ගියා. ටික ටික මුහුද ගැඹුරු වෙද්දි ඇය ටික ටික මුහුදේ ගිලිලා අන්තිමේ සම්පූර්නයෙන්ම මුහුදේ ගිලුනා. ඒත් ඇයට කිසි අපහසුවක් දැනුනේ නෑ.

තරුණයන් දෙන්නා ඇයව කැඳවාගෙන ගියා මාළිගාවකට​. ඒ "කන්දු රස්ගෙෆානු" (මුහුදේ රජතුමා) ගේ මාළිගාව. ඒක බොහෝම අලංකාර මාළිගාවක්. මාළිගාව ඇතුළේ විශාල කාමර රාශියක් තිබුනා. ඇය කවදාවත් දැකල නොතිබුන ලස්සන මල් වර්ග ගණනාවක් බැලූ බැලූ අත පිපිල තිබුනා. මාළිගාව ඇතුලේ ශාලා වල ඉතාම ලස්සන පුටු, කවිච්චි සහ එල්ලෙන ඇඳන් තිබුනා.


විශාල ශාලාවක ඉතාම විසිතුරු සිහසුනක වාඩිවෙලා මුහුදු රජා හිටියා. ඇයව දැකපු ගමන් ඔහු ඇයට අසුනක් පනවලා තරුණයන් දෙදෙනාට යන්න අණ කලා.

මුහුදු රජා සැලෙන කටහඬකින් කතා කලා.

"මගේ දූ කුමරියට ගොඩක් අමාරුයි. ඇගේ දරුව ලැබෙන්න අපහසු වෙලා. මේ ඇගේ පළවෙනි දරුවා. මම ෆන්ඩිතලා සෑහෙන දෙනෙක් ගෙන්නුවා. ඔවුන් නොයෙක් මන්තර ගුරුකම් කලා. ඒත් හරි ගියේ නෑ. මගේ ප්‍රධාන ෆන්ඩිත අන්තිමේදි කිව්වා ඉක්මනින් යමක් නොකළොත් දූ කුමරිය සහ දරුවා මිය යන්න පුළුවන් කියල​. මම ඔහුගෙන් ඇහුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔහු තමයි කිව්වේ ඉහළ ලෝකයෙන් වින්නඹු අම්මා කෙනෙක් ගෙනාවොත් දූ කුමරියට දරුව ලැබෙයි කියලා. ඊට පස්සෙ තමයි මම ඔබව කැඳවාගෙන ආවේ."

කාන්තාව තමා තවම වින්නඹු අම්මා කෙනෙක් වෙන්න පුරුදු වෙන බව කියන්න හදද්දිම මුහුදු රජා සේවිකාවක් කැඳවලා ඇයව දූ කුමරියගේ කාමරයට ගෙනියන්න අණ කලා.

"අපිට පරක්කු වෙන්න බෑ"

කාන්තාව කුමාරිකාව ගේ කාමරයට ඇතුල් වෙලා ඇගේ ඇඳ ළඟට ගියා. කුමාරිකාව වේදනාවෙන් මිරිකෙමින් ඇඳේ වැතිරිලා හිටියා. ඇගේ මුහුණ වේදනාවෙන් සුදුමැලි වෙලා. ඇගේ ඇඳ වටේම සේවිකාවන් සහ ෆන්ඩිතලා වට වෙලා.

කාන්තාව බොහොම මහන්සි වෙලා සාර්ථකව දරුවා ප්‍රසූත කරන්න උදව් කලා. හැමෝම සැනසුම් සුසුමක් හෙළුවා.

දරුවා සහ කුමාරිකාව විවේක ගනිද්දි කාන්තාව සේවිකාවන් සහ ෆන්ඩිතලා අමතලා ආපහු ගෙදර යන්න අවශ්‍යය බව කිව්වා.

"මම දැන් ගෙදර යන්න ඕනෙ"

ඔවුන් ඇයව මුහුදු රජා හමුවට ගෙනිච්චා. දරුවා සහ කුමාරිකාවට අනතුරක් නැති බව දැනගත්තු මුහුදු රජා බොහෝම සතුටට පත් වුනා.

"ඔබ ඉතාම දක්‍ෂ වින්නඹුවක්"

"ඒත් මම තාම පුරුදු වෙනවා විතරයි"

මුහුදු රජා ගේ මුහුණ දැඩි වුනා.

"මම​, කන්දු රස්ගෙෆානු, කියනවා ඔබ තමයි මුළු දිවෙහි රාජ්ජෙම ඉන්න හොඳම වින්නඹුව කියලා"

ඇගේ මුහුණ ප්‍රීතියෙන් සහ ලැජ්ජාවෙන් රතු වුනා.

"ඔබට කැමති දෙයක් ඉල්ලන්න​"

ඇය බොහොම චාම් ගති පැවතුම් තිබ්බ කාන්තාවක්.

"මට සැමියෙක් නෑ. ඒ නිසා මට කෑමට මාළු ලබා ගන්න හරිම අමාරුයි. මම කැමතියි මට හැමදාම මාළු කූරියෙක් ලැබෙනව නම්."

"ඒක සුළු දෙයක්. මගේ සේවකයන්ට ඔබ හමු වුන තැන​, ඒ වෙලාවටම හැමදාම ඔබට මාළු කූරියෙක් ලැබෙනවා ඇති. ඒත් මට ඔබට ඊට වඩා බොහෝම වටිනා තෑගි දෙන්න පුළුවන්."

ඔහු ඇයට වටිනා දුර්ලභ මුතු මැණික් ආභරණ පෙන්නුවා. ඇය ඒවා ප්‍රතික්‍ෂේප කලා. අන්තිමේදී ඔහුගේ පෙරැත්තය නිසාම ඇය ආභරණ කීපයක් තෝරා ගත්තා.

"මතක තියා ගන්න​, ඔබට මාළු හෝ ආභරණ ලැබුනු හැටි කිසි කෙනෙකුට කියන්න එපා"

ඇය පිටත් වෙද්දි මුහුදු රජා අනතුරු ඇඟෙව්වා.

"මම කාටවත් කියන්නෙ නෑ"

තරුණයන් දෙන්නා ඇයව නැවතත් ගොඩබිමට ගෙනත් ඇරළුවා. ඇය ආපහු ගෙදර එද්දි ඉර උදාවෙනවා.

ඇය ආභරණ හොඳින් සඟවලා හවස් වෙන තුරු නිදා ගත්තා. හවස ඇය මුහුදු වෙරළට ගියා. ඉර මුහුදේ ගිලෙද්දිම ඇය දැක්කා ටූනා මාළුවෙක් ඇය දිහාවට පීනගෙන එන හැටි. ඌ ඇය ළඟටම ඇවිත් ඇගේ දෙපා ළඟ වැල්ලේ නැවතුනා. ඇය මාළුවා අරගෙන ගෙදර ගිහින් ඌව උයලා කෑවා.


ඇය ඒ තරම් හොඳ ආහාර වේලක් ගත්තේ අවුරුදු ගාණකින්.

ටික කාලයක් ගත වුනාට පස්සෙඇගේ පැල තවදුරටත් ජීවත් වෙන්න බැරි තරම් ගරා වැටිල කියල ඇයට තේරුනා. පොල් අතු වේයො කාලා. වහලය හැම තැනම හිල් වෙලා වතුර බේරෙනවා. ඇය හිතුවා අළුත් ගෙදරක් හදාගන්න දැන් කාලෙ හරි කියලා.

ඇය මාලේ අගනුවරට ගියා. ඒ ආභරණයක් විකුණ ගන්න අදහසින්. ආභරණය දැකපු ගමන්‍ රන් කරුවා දැන ගත්තා ඒක ඉතාම දුර්ලභ එකක් බව​.

"උඹට කොහෙන්ද මේක ලැබුනේ?"

ඒත් ඇය උත්තර දුන්නේ නෑ. රන් කරුවා රදුන්ට (රජතුමාට​) මේ ගැන දැණුම් දුන්නා. රජතුමා ඇයව මාළිගයට කැඳෙව්වා.

"මේ ආභරණය උඹේ ද​?"

"ඔව්"

"උඹට කොහෙන්ද මේක​?"

ඒක කන්දු රස්ගෙෆානු ගෙන් ලැබුනු තෑග්ගක් කියල කිව්වොත් රදුන් ඇයට පිස්සු කියල හිතයි කියල ඇයට හිතුනා.

"මට ඒක මුහුදෙ තිබිල හම්බුනා"

දිවෙහි රාජ්ජේ නීතිය අනුව මුහුදෙන් හම්බෙන සියල්ල අයිති රදුන්ට​. ඒ නිසා ඇයට ආභරණය රදුන්ට දෙන්න සිදු වුනා.

ඇය ආයෙත් ඇගේ දූපතට ආවා. තවත් ආභරණයක් අරගෙන නැවතත් මාලේ දූපතට ගියා. මේ පාර ඇය ගියේ විදේශික රන් කරුවෙක් ළඟට​. විදේශික රන් කරුවා ඇගෙන් ප්‍රශ්න මොකුත් ඇහුවේ නෑ. ඔහු ආභරණය අරගෙන ඇයට ඊට සරිලන මුදලක් දුන්නා.

ඒ මුදලෙන් ඇය හොඳ ගෙදරක් හදාගත්තා.

 මෙහම ටික කාලයක් ගත වුනා. ඇය දැන් ඇගේ පුහුණුව අවසන් කරලා වින්නඹුවක් විදිහට කටයුතු කරනවා. හැමෝම ඇය ඉතාම දක්‍ෂ වින්නඹුවක් විදිහට පිළිගත්තා. කවුරුත් ඇයට ගරු කළා. ඇය විවාහයක් කරගෙන සුව පහසුවට ජීවත් වුනා.

එක දවසක් ඇගේ සැමියා ඇගෙන් මෙහම ඇහුවා.

"ඔයාට හැමදාම මාළු ලැබෙන්නෙ කොහොමද​?"

ඇය ඒ ගැන අහන්න එපා කියල ඔහුට කන්නලව් කලා. ඒත් ඒකෙන් වුනේ ඔහුගේ කුතුහලය තවත් වැඩි වුන එක​. ඔහු හිතුවේ ඇයට කවුරුහරි ධීවරයෙක් එක්ක හාදකමක් ඇති කියලා.

සැමියා තමාව සැක කරන බව දැනගත්තම ඇය ගොඩාක් කම්පා වුනා. ඒ නිසා ඇය දවසක් ඔහුව මුහුදු  වෙරළට අඬගහගෙන ගියා. ඉර මුහුදේ ගිළුන හැටියෙ ටූනා මාළුවෙක් ඇය ළඟට පීනගෙන එන හැටි ඔහුට පෙන්නන්න ඇයට ඕන කලා.

ඉර මුහුදේ ගිලුන හැටියේ ටුනා මාළුවෙක් පීනගෙන ඇවිත් තමාගේ බිරිඳගේ දෙපා ළඟ නවතින හැටි සැමියා අදහගන්න බැරි පුදුමයෙන් බලාගෙන හිටියා.

ඒත් ඇය ඇගේ පොරොන්දුව කඩ කලා. ඒ නිසා එදා තමයි ඇයට කන්දු රස්ගෙෆානු ගෙන් මාළුවෙක් ලැබුන අන්තිම දවස​෴


 - කතාව කිව්වේ කතීබුගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවන්දෝ, ෆුවාමුලාකු දූපත​)

දකුණු දිග මාලදිවයින් වැසියෝ විශ්වාස කරන්නේ මේ කාන්තාව ඇත්තටම ජීවත් වුන කෙනෙක් බව​. ඔවුන් පවසන විදිහට ඇගේ නම "ගමි එදුරුබී". ඇය ඉතාම දක්‍ෂ වින්නඹුවක් වුන බවත්, ඇය කන්දු රස්ගෙෆානු ගේ මාළිගයෙන් බෙහෙත් පැලෑටි අරගෙන ආව බවත්, ඒ පැලෑටි වල ආධාරයෙන් ලෙඩ සුවපත් කළ බවත් ඔවුන් විශ්වාස කරනවා.

Friday, May 11, 2018

දිවෙහි රාජ්ජේ රජකතා 44 - (ෆින්දනා සහ පූසා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ෆින්දනා සහ පූසා


එකෝමත් එක දවසක පූසෙක් මද්දහන් වෙලාවෙ දූපතේ ඈත කොණට ඇවිදින්න ගියා.ඒ හරියෙ හෙවණට කිසි ගහක් තිබුනෙ නෑ. මද්දහන් වෙලාව නිසා හිරු රැස් තදින්ම වැටුනා. පූසට හොඳටම රස්නෙයි. ඌ හුළං ටිකක් වදින්න කියල මුහුදු වෙරළ පැත්තට ගියා.

වෙරෙළට ආවම පූස දැක්ක ෆින්දනා කුරුල්ලෙක් මුහුදු වෙරළේ වැලි හාරමින් ඉන්නවා. ෆින්දනා දැකපු පූසට මෙහෙම හිතුනා.

"මද්දහනෙ ඇවිදලා මට හොඳටම බඩගිනියි. මේ කුරුල්ල නං කදිම කෑම වේලක්!"

පූසා හොරෙන් හොරෙන් ෆින්දනා ඉන්න තැනට කිට්ටු කරල එක පාරටම ෆින්දනා ඉස්සරහට පැන්නා. එක පාරටම මතුවුන මේ අමුත්ත දැකපු ෆින්දනා භීතියෙන් ගල් ගැහුනා.

"මම උඹව කන්නයි යන්නේ"

"අනේ එපා. මම මුහුදෙන් කොටසක් බීල ඉවර වෙනකන් මාව කන්න එපා"

ෆින්දනා ගේ මේ උත්තරෙන් පූසා විමතියට පත් වුනා. ඒත් ඌ එකඟ වුනා ෆින්දනා මුහුදු වතුර බොනකං ටික වෙලාවක් ඉවසන්න​.

ෆින්දනා කරේ වැලි යට හැංගිල හිටපු කුඩා සත්තු අල්ලගෙන කන එක​. ඒත් පූස හිතුවෙ ඌ මුහුදු වතුර බොනව කියල​.

බාදියත් එක්ක මුහුදු වතුර එන සීමාව ටික ටික ඈතට ගියා. ෆින්දනාත් ඒ එක්ක ටික ටික මුහුද දිහාවට ගියා. මේක දැකපු පූසට ඇස් අදහ ගන්න බැරි වුනා. මේ පුංචි කුරුල්ල වතුර බොන නිසා මුහුද ටික ටික හිඳෙනවා! පූස නිහඬවම ෆින්දනා "වතුර බොන​" හැටි බලාගෙන හිටියා.

එක පාරටම ෆින්දනා පූසට කතා කලා.

"දැක්කද මම කොච්චර වතුර බිව්වද කියල​? ඔට්ටුයි උඹට බෑ මෙච්චර වතුර බොන්න​."

ඒ වගේ පුංචි කුරුල්ලෙක් තමාට අභියෝග කරපු එක ගැන පූසට තරහ ගියා.

"මම උඹට වඩා ගොදක් ලොකුයි. මට උඹට වඩා ගොඩක් වතුර බොන්න පුළුවන්."

පූසා මුහුදු වතුර බොන්න පටන් ගත්තා.

ඒත් ඒ වෙද්දි බාදිය අවම සීමාවට ඇවිල්ල ඉවරයි. පූසා කොච්චර වතුර බිව්වත් මුහුද හිඳුනෙ නෑ.

"උඹට තව ඉක්මනට බොන්න වෙයි. තාම මුහුදට දැනුනෙ වත් නෑ."

ෆින්දනා පූසට විහිළු කරා.

පූසා ලොකු වතුර උගුරු බොන්න පටන් ගත්තා.

"මදි මදි, උඹ තාම මම තරම් බිව්වෙ නෑ"

වතුර බීල පූසගෙ බඩ කලයක් වගේ පිම්බිලා ආව​. එකපාරටම මුහු වෙරළෙ වැලි අතරෙ තිබුන උල් වෙච්ච බෙලි කට්ටක් පූසගෙ බඩේ ඇනුනා. පූස ගෙ බඩ බැලුමක් වගේ පිපිරිලා ගියා. ඌ එතනම මැරුනා.

ෆින්දනා සැනසුම් සුසුම් හෙළමින් එතැනින් පියාඹලා ගියා෴


- කතාව කිව්වේ දොම්බෙයාගේ මුහම්මද් ඩීඩී (ෆුවාමුලාකු දූපත​)

අටුවාව​

1. ෆින්දනා

ඉංග්‍රීසියෙන් "Common Sandpiper" කියලත්, සිංහලෙන් "සිලිබිල්ලා" කියලත් හැඳින්වෙන කුරුල්ලා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "ෆින්දනා" කියල​. මේ කුරුල්ලා දිවෙහි රාජ්ජේ සුලබ කුරුල්ලෙක්. ඒ නිසාමදෝ දිවෙහි රාජ්ජේ ජනකතා වල නිතර හමුවෙන චරිතයක්. මුහුදු වෙරළේ ඇවිදිමින් වැලි අස්සෙ හැංගිල ඉන්න කුඩා කුරුමිණි සත්තු අල්ලගෙන කන්න ෆින්දනා රුසියෙක්.

Tuesday, May 8, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 43 - (යාහුම්බරාහ​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 යාහුම්බරාහ​


(සත්‍ය කතාවකි)

1940 ගණන් වල මාලදිවයිනේ වෙළඳ නැවක් තිබ්බා. ඒකෙ නම "යාහුම්බරාහ​". අඩ්ඩු අතොළුවේ හදපු මේ නැව තමයි මාලදිවයින් ඉතිහාසයේම තිබුන ලොකුම සහ හොඳම නැව වුනේ. මේ නැව අඩ්ඩු අතොළුවේ අභිමානයේ සලකුණ වුනා. වෙන කිසිම අතොළුවක ඊට ළඟින් වත් යන නැවක් තිබුනේ නෑ. යාහුම්බරාහ හැම අවුරුද්දෙම මාලදිවයිනේ දකුණු කෙළවරේ තිබුන අඩ්ඩු අතොළුවේ ඉඳලා ශ්‍රී ලංකාව බලා වෙළඳ ගමනක නිරත වුනා.

1940 ගණන් කියන්නෙ දෙවෙනි ලෝක යුද්ධ සමය​. මාලදිවයින ඒ කාලෙ බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක්. බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව අඩ්ඩු අතොළුවේ රහසිගත ගුවන් හමුදා කඳවුරකුත් පවත්වාගෙන ගියා. ඒ ශ්‍රී ලංකාව ජපනුන්ට යටත් වුනොත් ඉන්දියන් සාගරයේ ගුවන් බලය තියා ගැනීමේ විකල්පයක් විදිහට​. මේ නිසා මාලදිවයින හිටියේ මිත්‍ර බලවතුන් ගේ පැත්තෙ. ඒත් මාලදිවයින් වැසියන්ට මේ යුද්ධය ගැන ගානක් තිබුනේ නෑ. ඔවුන්ට බ්‍රිතාන්‍යය හෝ ජපානය එක්ක විශේෂ බැඳීමක් හෝ විශේෂ එදිරිවාදි කමක් තිබුනේ නෑ. ඔවුන් සාමාන්‍යය විදිහට ඔවුන් ගේ එදිනෙදා කටයුතු කරගෙන ගියා.


1943 අවුරුද්දෙත් යාහුම්බරාහ ශ්‍රී ලංකාව බලා කෙරෙන සුපුරුදු වාර්‍ෂික වෙළඳ ගමනට සූදානම් වුනා. නැව පිරෙන්න උම්බලකඩ සහ වෙනත් වෙළඳ බඩු පුරව ගත්තු වෙළෙන්දෝ ගාල්ල වරාය බලා ගමන් ඇරඹුවා.

 නැවේ පළපුරුදු නියමුවන්ට නිරිත දිග මෝසම් සුළං සහ සුපුරුදු දියවැල් ඔස්සේ නැව ලංකාව දිහාවට පදවන එක අපහසු වුනේ නෑ. ඒත් ඔවුන් පිටත් වෙලා දින කීපයකින් ජපන් සබ්මැරීනයක් යාහුම්බරාහ නැව දැක්කා. ජපන්නු සබ්මැරීනය මුහුද මතුපිටට අරගෙන වෙළඳ නැව ඔවුන් යටතට ගත්තා. ඔවුන් නැවේ කප්පි (කපිතාන්) සහ ඔහුගේ සහයක නිලධාරියා ඇතුළු කීප දෙනෙක්ව සිර භාරයට අරගෙන සබ්මැරීනයට අරගෙන ගියා. අනිත් නාවිකයන්ට වෙඩි තියලා මරා දැම්මා.

පහුවදා ලංකාව බලා යාත්‍රා කරන අඩ්ඩු අතොළුවේම වෙනත් වෙළඳ නැවක් වුන "ගන්දුවරි" නැවට අත හැර දමා තිබුනු යාහුම්බරාහ නැව හමුවුනා. නැව ඔහේ පාවෙමින් තිබුනා. ඒක වටේට මුහුදු ලිහිණි රංචු පියාඹමින් හිටියා. නැවේ සමබරතාවය ගිලිහිලා එක පැත්තකට ඇළ වෙලා තිබුනා. නැව දැකපු හැටියේම ගන්දුවරි නැවේ කප්පි අනතුරක් කියල දැන ගත්තා. ඔහු තමාගේ නැව යාහුම්බරාහ නැව ළඟට පදවාගෙන ගියා.

යාහුම්බරාහ නැවට ළං වෙද්දිම ගන්දුවරි නැවේ නැවියන් දැක්කා නැවේ තට්ටුව මත තියෙන මළ සිරුරක්. මුහුදු ලිහිණියන් ඒ මළ සිරුරේ කොටස් කමින් හිටියා. නැව් තට්ටුව පුරාම මස් කෑලි විසිරිලා තිබුනා. ඒක දැකපු හැටියේ ගන්දුවරි නැවේ නැවියන් යාහුම්බරාහ නැවට ගොඩවෙන්න අකැමති වුනා.

"ඒකත් එකටම මේ නැවේ යක්‍ෂයෙක් ඇති. ඌ අපිට අනතුරක් කරන්න කලින් හනිකට මෙතනින් යමු"

ඒත් නිර්භීත නැවියන් දෙතුන් දෙනෙක් මේ යක්‍ෂ කතාව පිළිගත්තෙ නෑ. ඔවුන් "බොක්කුරා" (කුඩා ඩිංගියක්) නැගලා යාහුම්බරාහ නැවට ගොඩ වැදුනා. නැවට ගොඩ වැදුන හැටියේම ඔවුන් දැක්කේ නැවේ ලෑලි හැම තැනම මිදුනු ලේ කැටි සහ වෙඩි පහර නිසා නැවේ හැදුනු හිල්. ඒත් යක්‍ෂයක් හිටියෙ නෑ.

ඔවුන් ආපහු තමාගේ නැවට ගිහිල්ලා ඒ නැවේ ඇති යක්‍ෂයෙක් නැති බව කිව්වා.

"එහෙනං කෝ ඒ නැවේ ආපු මිනිස්සු?"

"අපි පණපිටින් ඉන්න කාව වත් දැක්කෙ නෑ. මළ සිරුරු තිබ්බෙ එකක් විතරයි. අනිත් අයට වෙච්ච දෙයක් නෑ. ඒත් නැවේ තිබුන වෙළඳ බඩු කිසි දෙයක් නැති වෙලා නෑ."

වෙළඳ බඩු ගැන ඇහුව විතරයි ගන්දුවරි නැවේ නැවියන් ගෙ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.

ඔවුන් හනි හනිකට යාහුම්බරාහ නැවට ගොඩ වදින්න කණ්ඩායමක් හැදුවා. මේ පිරිසේ ඉලක්කය වුනේ ඔවුන්ට පුළුවන් තරම් වෙළඳ බඩු පැහැර ගැනීම​. ඔවුන් යාහුම්බරාහ නැවට යන්න කලින් ගන්දුවරි නැවේ කප්පි ඔවුන්ට අනතුරු ඇඟෙව්වා.

"පස්සෙ හඳුනාගන්න පුළුවන් කිසි දෙයක් ගන්න එපා"

බොක්කුරාව කීප වතාවක්ම නැව් දෙක අතරේ එහා මෙහා ගියා. වැඩි වෙලාවක් යන්න කලින් ඔවුන්ට යාහුම්බරාහ නැවේ තිබුන වෙළඳ ද්‍රව්‍යය සෑහෙන ප්‍රමානයක් ගන්දුවරි නැවට ඇද ගන්න පුළුවන් වුනා. ගන්දුවරි නැව යාහුම්බරාහ නැවට වඩා ගොඩක් පොඩියි. ඒ නිසා ඔවුන් ගත්තේ වටිනාම දේ විතරයි. නැවට පටවන්න පුළුවන් උපරිම බඩු ප්‍රමානය පටව ගත්තට පස්සෙ ඔවුන් යාහුම්බරාහ නැව අත ඇරල දාල යන්න පිටත් වුනා.

ගන්දුවරි නැවේ නැවියන්ට එදා රැය හරිම අපහසු රැයක් වුනා. එක පැත්තකින් ඔවුන් දැන් ගොඩක් පොහොසත්. අනික් පැත්තෙන් ඔවුන් මැරිච්ච මිනිස්සුන් ගෙ වස්තුව කොල්ල කාල​. ඒ මදිවට නැව් තට්ටුව පුරා විසිරී තිබුන ලේ කැටි සහ මස් කෑලි ඔවුන් ගේ මතකයේ හොල්මන් කලා. ගොඩක් දෙනෙක්ට රෑට නපුරු හීන පෙනුනා.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අවුරුද්දකට පස්සෙ අඩ්ඩු අතොළුවේ දූපතක කාන්තාවක් ඇගේ ගෙදර ඉස්සර පාරේ පැදුරක් එළලා කොට්ට ටිකක් වේලෙන්න දැම්මා.

ඒ ළඟින් ගිය මහළු කාන්තාවක් කොට්ට ටික දැක්කා. ඒව දැකල හුරු පුරුදුයි වගේ හැඟීමක් ඇයට දැනුනා. ඇය කොට්ටයක් අතට අරගෙන ඒ දිහා හොඳින් බැලුවා.

එකපාරටම ඇය මහා හඬින් විලාප තියමින් අඬන්න පටන් ගත්තා.

"මට මේ කොට්ට උරේ මතකයි. මේක මැහුවෙ මම. මගේම අත් දෙකෙන් මහපු මැහුම් මට අඳුනගන්න බැරිද​?"

කොට්ට වේලෙන්න දාපු කාන්තාව මේක ඇහිල දුවගෙන ආවා.

"මොන කතාවක් ද මේ කියන්නෙ? මේක අපේ කොට්ටෙ"

"අල්ලාහ් දෙවියන් ගේ නාමයෙන් මම දිවුරල කියන්නෙ. මේ කොට්ටෙ මගේ මනුස්සයගෙ"

මහළු කාන්තාව කිව්වා.

මේ මහළු කාන්තාවගේ සැමියා යාහුම්බරාහ නැවේ ලංකාවට වෙළඳාමේ ගිහින් අතුරුදහන් වුන කෙනෙක්.

මේ වෙද්දි අහල පහල මිනිස්සු එතැනට රැස් වෙලා ඉවරයි. ඔවුන් පොදි කමින් මේ රණ්ඩුව දිහා බලන් හිටියා.

"උඹට පිස්සු"

මහළු කාන්තාව අනෙක් කාන්තාවගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා බැරෑරුම් හඬකින් මෙහෙම කිව්වා.

"නෑ මට පිස්සු නෑ. මගේ මනුස්සයට මොනා හරි වුනා කියල මට සහතිකයි. මම අතොළු ප්‍රධානියා ට මේක පැමිණිලි කරනවා."

මහළු කාන්තාවගේ කතාවට සවන් දීපු අතොළු ප්‍රධානියා අනෙක් කාන්තාව කැඳවලා ඇයට කොට්ට උරය ලැබුනු හැටි ඇහුවා.

"මේක මගේ මනුස්සය ලංකාවෙන් ගෙනත් දුන්නෙ"

"උඹේ මනුස්සය වෙළඳාමෙ යන්නෙ මොන නැවේ ද​?"

"ගන්දුවරි"

අතොළු ප්‍රධානියා ඔළුව වැනුවා. ගන්දුවරි නැවේ ලංකාවට වෙළඳාමේ ගිය හැම දෙනාම තමාගෙ කාර්‍යාලයට කැඳෙව්වා.

ඒ අය එකා බැගින් කාර්‍යාලයේ ඇතුල් කාමරයකට ගත්තු අතොළු ප්‍රධානියා ඔවුන් ගෙන් ප්‍රශ්න කලා. ගන්දුවරි නැවේ නැවියෝ සිද්ධිය ගැන කිසි දෙයක් කිසි කෙනෙකුට නොකියන බවට පොරොන්දු වෙලා හිටියෙ. ඒත් පැය ගාණක් ප්‍රශ්න කරද්දි එක් නැවියෙක් සිද්ධිය ගැන හෙළි කලා. ඔහු වරද පිළිගත්ත බව කිව්වම අනෙක් නැවියොත් වරද පිළිගත්තා.

අතොළු ප්‍රධානියා ඔවුන් සියළු දෙනාම අධිකරණයට පැමිණෙව්වා. අධිකරණයෙන් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දුන්නා.

අවුරුදු ගානකට පස්සෙ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වුනාම සිංගප්පූරුවෙ ජපන් හිර කඳවුරක හිර ගත කරල හිටපු යාහුම්බරාහ නැවේ නැවියො ආපහු ගම රට බලා ආවා෴

යාහුම්බරාහ නැව 1941 හුවදු අතොළුවේ දී

- කතාව කිව්වේ කතීබුගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවාන්දෝ, ෆුවා මුලාකු දූපත)

මේ කතාව 1970 දශකයේ දී මාලදිවයිනේ "මූන්ලයිට්" සඟරාවේ පළවුනා.

Friday, May 4, 2018

මාලදිවයිනේ අතොළු - 6 (දකුණු මධ්‍යම ප්‍රාන්තය​)

දකුණු මධ්‍යම ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. කොළුමදුලු
2. හද්දුන්මති

කොළුමදුලු


නිල නාමය : කොළුමදුලු
කේතය : තා
ප්‍රාන්තය : දකුණු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : කොළුමදුලු
ජනගහණය : 8,901
දූපත් : 66
ප්‍රධාන දූපත : වේමන්දු

පදිංචිකරුවන් සහිත දූපත් : 13
(බුරුනී, දියමිංගිලි, ගාදිෆ්ෆුෂි, ගුරයිදූ, හිරිලන්දූ, කන්ඩූදූ, කින්බිදූ, මදිෆුෂි, ඔමදූ, තිමරෆුෂි, වන්දූ, වේමන්දූ, විලුෆුෂි)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 53

ධීවර කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ අතොළුවක්

වැදගත් ස්ථාන​:

කින්බිදූ දූපත​ -

"වේරු" නමින් හැඳින්වෙන බෞද්ධ ආරාමයක නටබුන් මේ දූපතේ තියෙනවා. මේ නටබුන් වලට ස්ථුපයකුත් අයත්.


හද්දුන්මති

 

නිල නාමය : හද්දුන්මති
කේතය : ලාමු
ප්‍රාන්තය : දකුණු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : හද්දුන්මති
ජනගහණය : 11,795
දූපත් : 82
ප්‍රධාන දූපත : ෆොනදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 15
(දන්බිදූ, ෆොනදූ, ගාදූ, ගැන්, හිතදූ, ඉස්දූ, කලයිදූ, කුනහන්දූ, මාබයිදූ, මාමෙන්දූ, මාවා, මුන්දූ, මාන්දූ, වදිනොළු, ඔළුවේළි)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 67

අතීතයේදී මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුණ අතොළුවක්

වැදගත් ස්ථාන​:

දන්බිදූ දූපත​ -

මාලදිවයිනෙන් හමුවූ පැරණිම තඹ සන්නසක් හමුවෙලා තියෙන්නේ මේ දූපතෙන්. මේ තඹ සන්නස් දිවෙහි බසින් හැඳින්වෙන්නේ "ලෝමාෆානු" නමින්. දන්බිදූ ලෝමාෆානු හි සඳහන් වෙන්නේ මාලදිවයිනට ඉස්ලාමය පැමිණි පසු බෞද්ධ වෙහෙර විහාර විනාශ කළ හැටි. ස්ථුප වල චත්‍රාවලිය කඩා බිඳ දැමූ හැටිත්, වයිරෝචන බෞද්ධ ප්‍රතිමා විනාශ කළ හැටිත් එහි සඳහන්.

ගැන් දූපත -

1923 H.C.P. බෙල් මහතා ගේ පුරාවිද්‍යාත්මක ගවේෂනය සිදු වන කාලයේදී ඉතාමත් හොඳින් ඉතිරිව තිබූ ස්ථුපය පිහිටලා තිබුනේ ගැන් දූපතේ. කුරුහින්නා හි පිහිටි මුන්බරු විහාරයේ ස්ථුපයේ චත්‍රාවලිය හැරුණුවිට අනෙක් සියළුම කොටස් ඉතිරි වී තිබූ බව කියැවෙනවා. මීට අමතරව මුදින්හින්නා හි පිහිටි ගමු හයිතෙලි විහාරයත් ගැන් දූපතේ ඇති තවත් බෞද්ධ පුරාවස්තුවක්. මාලදිවයින් ජනවහරට අනුව එය තමයි මාලදිවයිනේ අවසාන බෞද්ධ විහාරය​.

කුරුහින්නා හි ස්ථුපය​

ඉස්දූ දූපත -

මාලදිවයිනෙන් මෙතෙක් හමුවූ පැරණිම තඹ සන්නස වන "ඉස්දූ ලෝමාෆානු" හමුවෙලා තියෙන්නෙ ඉස්දූ දූපතෙන්. මේ සන්නසෙන් කියැවෙන විදිහට බෞද්ධ භික්‍ෂූන් මාලේ දූපතට රැගෙන ගිහින් හිස ගසා දාලා තියෙනවා. මාලදිවයිනෙන් මෙතෙක් හමුවූ විශාලම ස්ථුපයක් හමුවන්නේත් ඉස්දූ දූපතෙන්.


මුන්දූ දූපත -

බෞද්ධ ස්ථුපයක නටබුන් මේ දූපතෙන් හමුවෙනවා.

කද්දූ දූපත -

මේ දූපතේ අභ්‍යන්තර ගුවන්තොටුපොළක් පිහිටලා තියෙනවා.


Thursday, May 3, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 42 - (මාමෙලි දයිතා සහ ඇගේ දරුවන් හත් දෙනා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මාමෙලි දයිතා සහ ඇගේ දරුවන් හත් දෙනා


මාමෙලි දයිතා ඇගේ දරුවන් හත් දෙනා එක්ක කොහේදෝ තිබ්බ දූපතක ඈත කොනේ ජීවත් වුනා. ඒ දූපත තිබුන තැන කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. ඇයට දූවරු හතර දෙනෙක් සහ පුත්තු තුන් දෙනෙක් හිටියා.

එක දවසක් උදේ පාන්දරම ළමයි හත් දෙනා කෑම හොයාගෙන කැලේට ගියා. ඔවුන් ආපහු ආවෙ දෙල් ගෙඩිය බැගින් අරගෙන​. ඔවුන් දෙල් ගෙඩි හත මාමෙලි දයිතාට දීලා මෙහෙම කිව්වා.

"අම්මේ, මේ දෙල් එක්ක "හිති" (මාළු ඉස්ටුවක්) උයන්න​. අපි ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා ඒව කන්නම්."

ඊට පස්සෙ ඔවුන් තමන් ගෙ "ලියාෆිලා" (ගල් ලෑලි) අරගෙන ඉස්කෝලෙ ගියා.

මාමෙලි දයිතා දෙල් ගෙඩි සුද්ද කරල, මාළු කපලා, කුළුබඩු අඹරලා හිති හදන්න පටන් ගත්තා. භජනය ලිපේ තියලා හැඳි ගාමින් ඉන්නකොට ඇයට හිති පොඩ්ඩක් රස බලන්න හිතුනා. ඇය හැන්දට හිති ටිකක් අරගෙන දිව ගාල බැලුවා. හරිම රසයි. ඇය බැලුවා ළමයි ආපහු ගෙදර එනවද කියලා. ඒත් ඔවුන් පේන තෙක් මානයක හිටියේ නෑ. ඇය තව ටිකක් රහ බැලුවා. ආපහු ළමයි එනවද බැලුවා. ඔහොම ඔහොම ඇය මුළු භාජනයම කෑවා.

භාජනයේ තිබ්බ හිති සේරම ඉවර වෙලා කියල දැකපු ඇය පොල් කටු හතක් අරගෙන ලිප ළඟ තියලා ඒ අසලින් හිස් හැලිය තිබ්බා.

ටික වෙලාවකින් ළමයි හත් දෙනා ගෙදර ආවා.

"කෝ අම්මෙ හිති?"

වැඩිමල් දුව ඇහුවා.

"ලිප ළඟ බලපං දුවේ"

ළමයි හත් දෙනා ලිප ළඟ බැලුවත් පොල් කටු වල හිති තිබුනේ නෑ. ඔවුන් ගේ මූණු වල කනස්සල්ලක් ඇඳුනා.

මාමෙලි දයිතා ළමයින්ට මෙහෙම කිව්වා.

"මම හිති හදන්න කුළුබඩු මිරිස් ගලේ දාල අඹරද්දි මාගොල මාදුනි (විශාල කුරුල්ලෙක්) ආවා. ඌ මිරිස් ගල උඩ බෙට්ටක් දැම්මා. මම වතුර දාල අත් දෙනෙක් මිරිස් ගල හේදුවා. ඒත් පිරිසිදු වුනේ නෑ. ඊට පස්සෙ මම මගේ කොණ්ඩෙන් මිරිස්ගල හේදුවා. ඒත් පිරිසිදු වුනේ නෑ. ඒ නිසා මට හිති උයන්න බැරි වුනා. මම දෙල් විසි කලා."

ළමයින්ට බොහොම කේන්ති ගියා.

"අපි හෙට උදේම මාගොල මදුනි මරන්න යනවා. අම්මේ, අපිට දුණු සහ ඊතල හදල දෙන්න."

ළමයින් ගෙ හිත වෙනස් කරන්න මාමෙලි දයිතා බොහොම උත්සහ කලා. ඒත් බැරි වුනා. ඉතින් ඇය රෑ පුරාවටම දුණු හතක් සහ ඊතල හැදුවා.

පහුවදා උදේම ළමයි නැගිට්ටා. ඒ වෙද්දි මාමෙලි දයිතා තවමත් නිදි. ඔවුන් අම්මව ඇහැරවන්නෙ නැතුවම දුනු සහ ඊතල අරගෙන පිටත් වුනා.

ඔවුන් යද්දි දැක්කා මිනිස්සු පිරිසක් පොල් ගස් දෑතින් අල්ලල නවල කුරුම්බා කඩාගෙන බොන හැටි. මිනිස්සු ළමයින් පිළි අරගෙන මෙහෙම ඇහුවා.

"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"

"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"

ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.

"හ්ම්.... උඹලට පොල් ගහක් අත් දෙකෙන් නවල කුරුම්බ කඩන්න පුළුවන් නං උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්.

ළමයි හත් දෙනා කොයිතරම් උත්සහ කළත් එක පොල් ගහක් වත් නවාගන්න ඔවුන්ට බැරි වුනා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.

තවත් ටික දුරක් යද්දි ඔවුන් දැක්කා මිනිස්සු පිරිසක් ගල් වලින් බැඳපු ළිඳක් උස්සල අරගෙන කට තියාන වතුර බොනවා. මිනිස්සු ළමයි ටික දැක්කා.

"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"

"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"

ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.

"හ්ම්.... උඹලට මේ ගල් වලින් බැඳපු ළිඳ උස්සල අරගෙන කට තියල වතුර බොන්න පුළුවන් නං උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්."

ළමයි කොයිතරම් උත්සහ කළත් ඔවුන්ට ළිඳ උස්සන්න බැරි වුනා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.

තවත් ටික දුරක් යද්දි ඔවුන් දැක්කා මිනිස්සු වගයක් පල්ලියක වහළෙ හෙවිල්ලනවා. බිම ඉන්න මිනිස්සු "තොෂාලි" (වියපු පොල් අතු) හතළිස් දෙක බැගින් මිටි ගහපු විශාල මිටි වහළ උඩ ඉන්න මිනිස්සුන්ට විසි කරනවා. වහළ උඩ ඉන්න මිනිස්සු ඒව අල්ලල වහළය හෙවිල්ලනවා. මිනිස්සු ළමයින් ගෙන් මෙහෙම අහනවා.

"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"

"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"

ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.

"හ්ම්.... උඹලට මේ වියපු පොල් අතු හතළිස් දෙකේ මිටිය වහළ උඩ ඉන්න අයට විසි කරන්න පුළුවන් නං උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්."

ළමයි කොයිතරම් උත්සහ කළත් ඔවුන්ට පොල් අතු මිටිය උස්සන්න බැරි වුනා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.

ඔවුන් තවත් ටිකක් දුර යද්දි මුහුදු වෙරළකට ආවා. එතැන මිනිස්සු ටිකක් "රාබුලා" (කුඩා මාළුවෙක්) කනවා. මාළු කාලා ඇට සැකිල්ල ආපහු මුහුදට විසි කරාම ඒ ඇටසැකිලි පීනගෙන යනවා. මිනිස්සු ළමයි ටික දැකලා ඔවුන්ට කතා කලා.


"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"

"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"

ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.

"හ්ම්... උඹලට මේ රාබුලා එකෙක් ගෙ මස් කාල ඇටසැකිල්ල මූදට දාල ඒකට පීනන්න පුළුවන් කරොත් උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්."

ළමයි රාබුලා ගෙ මස් කාල ඇටසැකිල්ල මුහුදට දැම්මා. ඒත් පීනගෙන යනව වෙනුවට ඒක හෙමීට මුහුදු පතුලට ඇදිලා ගියා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.

ඔවුන් දිගටම ඇවිදගෙන ගියා. දූපතේ ඈත කොනටම ගියාම ඔවුන් දැක්කා පාර දෙකට බෙදෙන තැනක්. එතන මහළු මිනිහෙක් ඉඳගෙන ඉන්නවා.

"බේබෙ (මාමා), උඹ දන්නවද මාගොල මාදූනි ඉන්නෙ කොහෙද කියලා?"

මහල්ලා ඔවුන්ට වම් පැත්තෙ පාර පෙන්නුවා.

ළමයි වම් පැත්තෙ පාර දිගේ ඇවිදගෙන ගියා. ඒ පාර දිගේ යද්දි ඔවුන්ට හරිම භයානක පැත්තක් හමුවුනා. මුළු ප්‍රදේශයේම තිබුනෙ ගුප්ත, අඳුරු නිසල බවක්. ඔවුන් දැක්කා විශාල "නිකබිලිස්ස" ගහක්. ඒ ගහේ දෙබලක මාගොල මාදූනි ඉඳගෙන හිටියා.

මාගොල මාදූනි ඉතාම විශාලයි. ඌට දැවැන්ත හොටක් සහ අළු පාට පිහාටු තිබුනා. ඌ ළමයි දැකල බය වුනේ නෑ. ඒ වෙනුවට ඌ බොහොම තරහෙන් ළමයි දිහා බැලුවා.

 ළමයි බය වුනෙත් නෑ. ඔවුන් හැමෝම දුනු දියට ඊතලයක් තියා ගත්තා.

පළවෙනියට විද්දේ මාමෙලි දයිතා ගේ වැඩිමල් ම දුව​. ඇය ගහ ළඟට ගිහින් එල්ලය බලලා ඊතලය විද්දා. ඒත් ඊතලය මාගොල මාදූනිට වැදුනේ නෑ. ඒක ගස් කඳේ වැදුනා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

දෙවෙනියට විද්දේ මාමෙලි දයිතා ගෙ දෙවෙනි පුතා. ඊතලය වැදුනේ ගහේ වම් පැත්තෙ අත්තට​. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

තුන්වෙනියට විද්දේ මාමෙලි දයිතා ගේ තුන්වෙනි දුව​. ඇගේ ඊතලය වැදුනේ ගහේ දකුණු පැත්තෙ අත්තට​. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

හතරවෙනියට විද්දේ ඊළඟ පුතා. ඒ ඊතලය ගහේ වම් පැත්තේ අත්තේ අග්ගිස්සෙ වැදුනා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

පස් වෙනියට විද්දේ ඊළඟ දුව ඒ ඊතලය දකුණු පැත්තෙ අත්තෙ අග්ගිස්සේ වැදුනා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

හය වෙනියට ඊළඟ පුතා ආවා. ඔහුගේ ඊතලය කුරුල්ලගෙ ඔළුවට උඩින් පියාඹලා ගියා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

අන්තිමට ආවෙ මාමෙලි දයිතා ගේ බාලම දූ. ඇගේ ඊතලය වැදුනේ ගහේ මුලට​. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.

ඉර බැහැල ගියා. එක ළමයෙක් වත් ඉතුරු වෙලා හිටියෙ නෑ. මාකොල මාදූනි විතරක් ගස් දෙබලේ වාඩි වෙලා අත් තටු පොරවගෙන හිටියා.

පහුවදා උදේම ගෙදර ඉස්තෝප්පුවේ හිටපු මාමෙලි දයිතාට සිද්ධිය ආරංචි වුනා. ඇය ලණු ඇඳ උඩ වැටිලා විලාප තියමින් ඇඬුවා. ගොඩාක් වෙලාවක් තිස්සේ ඇඬුවා. මුළු දවසම ඇඬුවා. අඳුර වැටෙනකං ඇඬුවා.

අඳුර වැටුනම මාමෙලි දයිතා නැගිටලා අඬමින් ම ගේ ඇතුලට ගියා. කුස්සියේ තිබුන අල කොළයකට ඇගේ කඳුළු බින්දුවක් වැටුනා. ඒක මුතු කැටයක් වගේ ලස්සනට අල කොළය උඩ රැඳිල තිබුනා. මාමෙලි දයිතා අල කොළය පරිස්සමෙන් ඔතලා රෙදි පටියකින් ගැට ගැහුවා.


ඇය අල කොළය දෙර යටින් තිබ්බා. එතකොට දොර හෙල්ලෙන්න පටන් ගත්තා. ඇය අල කොළය පැදුර යටින් තිබ්බා. එතකොට පැදුර වෙව්ලන්න පටන් ගත්තා.

අන්තිමේදී මාමෙලි දයිතා අල කොළය පහන ළඟට අරගෙන ගියා. ඇය පරිස්සමෙන් අල කොළය දිග ඇරල බැලුවා. අල කොළය ඇතුලේ පුංචි බබෙක් නිදාගෙන ඉන්නවා. මාමෙලි දයිතා ප්‍රීතියෙන් කෑගැහුවා.


ඇය ඔහුට පියයුරක් දුන්නා. දරුවා බොහොම ආශාවෙන් ඇගෙන් කිරි බිව්වා. කොච්චර බිව්වද කිව්වොත් ඔහු බලාගෙන ඉද්දි ලොකු වෙනවා ඇයට පෙනුනා. ඊට පස්සෙ ඇය දරුවට ඇගේ අනිත් පියයුරත් දුන්නා. කිරි සේරම ඉවර වෙනකං දරුවා කිරි බිව්වා.

ඇය හනිකට ගෙදර කෑම තියෙනවද කියල බැලුවා. තියෙන කෑම ජාති ඇය දරුවට දුන්නා. ඔහු ඒව සේරම කෑවා. කෑම කාල ඔහු බලාගෙන ඉද්දි ලොකු වුනා.

දරුවා නැගිට්ටා.

"අම්මේ මගේ නම මොකද්ද​?"

"ඔයා මාමෙලි ගේ කඳුළු බින්දුව​"

ඇය ආදරයෙන් කිව්වා.

"අම්මේ මට අයියල අක්කල නැද්ද​?"

"ඔයාට අයියල අක්කල හත් දෙනෙක් හිටියා. ඒත් අර නපුරු කුරුල්ලා, මාගොල මාදූනි ඒ අය සේරම ගිල දැම්මා"

"මාමෙලි ගේ කඳුළු බින්දුවට" දුක හිතුනා.

"මෙච්චර කරුණාවන්ත අම්මට ඒ නපුරු කුරුල්ලා ඒ වගේ දෙයක් කරාද​? මම ඌව මරල දාන්නම්!"

මාමෙලි දයිතා කලබල වුනා.

"ඔයා විතරයි මට දැන් ඉන්නේ. මට ඔයත් නැති වුනොත් මේ ලෝකෙ කවුරුවත් ම නෑ. ඒ නිසා ඔය කුරුල්ලව අමතක කරල දාන්න​."

"අම්මේ! අම්මට ඒ වගේ දෙයක් කරපු කුරුල්ලෙක්ට මේ ලෝකෙ ඉන්න දෙන්න බෑ. මට දුන්නකුයි ඊතල හතකුයි හදන්න​!"

මාමෙලි දයිතා රෑ තිස්සෙ දුන්නකුයි ඊතල හතකුයි හැදුවා.

පහුවදා උදේම "කඳුළු බින්දුව​" දුන්නයි ඊතල හතයි අරගෙන පිටත් වුනා.

ඔහු ඇවිදගෙන යද්දි දැක්කා මිනිස්සු පිරිසක් පොල් ගස් දෑතින් අල්ලල නවල කුරුම්බා කඩාගෙන බොන හැටි. මිනිස්සු "කඳුළු බින්දුව​" පිළි අරගෙන මෙහෙම ඇහුවා.

"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"

"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"

කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.

"හ්ම්.... උඹට පොල් ගහක් අත් දෙකෙන් නවල කුරුම්බ කඩන්න පුළුවන් නං උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."

කඳුළු බින්දුව ළඟම තිබ්බ පොල් ගහ ළඟට ගිහින් ඒක අත් දෙකෙන් අල්ලල නැව්වා. ඊට පස්සෙ ඔහු කුරුම්බා ගෙඩියක් කඩාගෙන ඒක බිව්වා.

"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"

මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.

තවත් ටික දුරක් යද්දි ඔහු දැක්කා මිනිස්සු පිරිසක් ගල් වලින් බැඳපු ළිඳක් උස්සල අරගෙන කට තියාන වතුර බොනවා. මිනිස්සු කඳුළු බින්දුව දැක්කා.

"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"

"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"

කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.

"හ්ම්.... උඹට මේ ගල් වලින් බැඳපු ළිඳ උස්සල අරගෙන කට තියල වතුර බොන්න පුළුවන් නං උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."

කඳුළු බින්දුව අත් දෙකෙන් අල්ලල භාජනයක් උස්සනව වගේ ළිඳ උස්සල අරගෙන කටේ තියාගෙන වතුර බිව්වා.

"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"

මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.

තවත් ටික දුරක් යද්දි ඔහු දැක්කා මිනිස්සු වගයක් පල්ලියක වහළෙ හෙවිල්ලනවා. බිම ඉන්න මිනිස්සු "තොෂාලි" (වියපු පොල් අතු) හතළිස් දෙක බැගින් මිටි ගහපු විශාල මිටි වහළ උඩ ඉන්න මිනිස්සුන්ට විසි කරනවා. වහළ උඩ ඉන්න මිනිස්සු ඒව අල්ලල වහළය හෙවිල්ලනවා. මිනිස්සු කඳුළු බින්දුවෙන් මෙහෙම අහනවා.

"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"

"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"

කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.

"හ්ම්.... උඹට මේ වියපු පොල් අතු හතළිස් දෙකේ මිටිය වහළ උඩ ඉන්න අයට විසි කරන්න පුළුවන් නං උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."

කඳුළු බින්දුව පොල් අතු හතළිස් දෙකේ මිටියක් අරගෙන රෙදි පාංකඩයක් විසි කරනව වගේ ලේසියෙන් වහල උඩට විසි කරා.

"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"

මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.

ඔහු තවත් ටිකක් දුර යද්දි මුහුදු වෙරළකට ආවා. එතැන මිනිස්සු ටිකක් "රාබුලා" (කුඩා මාළුවෙක්) කනවා. මාළු කාලා ඇට සැකිල්ල ආපහු මුහුදට විසි කරාම ඒ ඇටසැකිලි පීනගෙන යනවා. මිනිස්සු කඳුළු බින්දුව දැකලා ඔහුට කතා කලා.

"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"

"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"

කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.

"හ්ම්...... උඹට මේ රාබුලා එකෙක් ගෙ මස් කාල ඇටසැකිල්ල මූදට දාල ඒකට පීනන්න පුළුවන් කරොත් උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."

කඳුළු බින්දුව මාළුවෙක් අරගෙන පරිස්සමෙන් ඌව ගින්නෙන් පුළුස්සලා මස් ටික සේරම කෑවා. ඊට පස්සෙ ඔහු ඇට සැකිල්ල මුහුදට දැම්මා. ඇට සැකිල්ල වරල් සලමින් පීනලා ගියා.

"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"

මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.

 කදුළු බින්දුව දිගටම ඇවිදගෙන ගියා. ඔහුට පාර දෙකට බෙදෙන තැන සහ මහළු මිනිහා හමු වුනා.

"බේබෙ (මාමා), උඹ දන්නවද මාගොල මාදූනි ඉන්නෙ කොහෙද කියලා?"

මහල්ලා කතාවක් නැතුවම වම් පැත්තෙ පාර පෙන්නුවා.

කඳුළු බින්දුව වම් පැත්තෙ පාර දිගේ ඇවිදගෙන ගියා. ඔහු නිකබිලිස්ස ගහ ළඟට ආවා.
ගහේ රතු පාට මල් පිරිලා. ගස් දෙබල උඩ මාගොල මාදූනි ඉඳගෙන ඉන්නවා. උගේ අළු පාට පිහාටු හුළඟට සෙලවෙනවා. තරහෙන් පිරුන රතු පාට ඇස් වලින් ඌ කඳුළු බින්දුව දිහා බලාගෙන හිටියා.


කඳුළු බින්දුව දුනු දිය පොළලා ඊතලයක් විද්දා. ඒක කෙලින්ම වැදුනෙ කුරුල්ලගෙ දකුණු කකුලට​. ඌ කොච්චර පුදුම වුනාද කිව්වොත් ඌට හෙල්ලෙන්නවත් බැරි වුනා.

දෙවෙනි ඊතලේ කුරුල්ලගෙ වම් කකුලට වැදුනා. දැන් ඌට නැගිටින්න බෑ. තුන් වෙනි ඊතලය කුරුල්ලා ගේ නළලට වැදුනා. මාගොල මාදූනි වේදනාවෙන් කෑගැහුවා. ඒත් ඌට කඳුළු බින්දුව ට ළං වෙන්න බෑ.

හතරවෙනි ඊතලය වැදුනේ කුරුල්ලගෙ බඩට​. ඌ බිහිසුනු හඬින් කෑ ගහමින් වේදනාවෙන් ඇඹරුනා.

පස් වෙනි සහ හය වෙනි ඊතල කුරුල්ලා ගේ වම් සහ දකුණු අත් තටු වලට එල්ල වුනා.

හත් වෙනි ඊතලය මාගොල මාදූනි ගෙ උගුර පසාරු කරගෙන ගියා. හෙමින් දෙපැත්තට වැණුන කුරුල්ලා ගහ මුලට ඇදගෙන වැටුනා.

මාගොල මාදූනි මැරිලා.

කඳුළු බින්දුව යෝධ කුරුල්ලගෙ අත් තටුවකින් ඇදගෙන ඌගෙ මළ කඳ ගෙදර අරගෙන ආවා. මාමෙලි දයිතා දැක්කා ඈත තියාම කඳුළු බින්දුව කුරුල්ලවත් ඇදගෙන එන හැටි. ඇය ප්‍රීතියෙන් උදම් වෙමින් කුස්සියට ගිහින් ලොකු පිහියක් අරගෙන ආවා.

මාමෙලි දයිතා කුරුල්ලගෙ බඩ පැලුවා. ඇය දැක්කා බඩ ඇතුලෙ ඇගේ ළමයි හත් දෙනා රවුමට ඉඳගෙන ඉන්න හැටි. ඔවුන් ගේ ඇඟ පුරාම ලේ.

ඔවුන් හැමෝම ප්‍රීතියෙන් ඉපිලෙමින් වැවට ගියා නාන්න​. හැමෝම වැවට බැහැල නෑවා.

එක පාරටම කඳුළු බින්දුව ඔවුන් ගේ ඇස් ඉදිරිපිටම දිය වෙලා ගිහින් වැවේ වතුරට එක් වුනා.

ඒ කඳුළු බින්දුවක් නොවැ෴


- කතාව කිව්වේ මුහම්මදු සාලිහු (දූන්දිගන්, ෆුවා මුලාකු දූපත​)


අටුවාව​

1. මාමෙලි දයිතා

මාමෙලි දයිතා කියන්නෙ දිවෙහි රාජ්ජේ ජනකතා වල එන චරිතයක්. ඇය නිරූපනය වෙන්නේ තරමක් වයසක කාන්තාවක් විදිහට​. ඇය මනුෂ්‍යය කාන්තාවක් නෙවෙයි - නමුත් හන්ඩි හෙවත් යකින්නකුත් නෙවෙයි.

2. දයිතා

දයිතා කියන්නෙ තරමක් වැඩිහිටි කාන්තාවන් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "නැන්දා" නැතිනම් "අක්කා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.

3. හිති

මාළු, එළවළු සහ කුළුබඩු යොදාගෙන හදන ඉස්ටුවක්.

4. ලියාෆිලා

අතීතයේ මාලදිවයිනේ ළමයි අකුරු ලියන්න පාවිච්චි කළ පුවරුවක්. අපේ ගල් ලෑල්ලට සමානයි. මේ පුවරු හැදුවේ මැදපු ලෑලි වලින්.

5. මාගොල මාදුනි

දිවෙහි රාජ්ජේ ජනකතා වල එන විශාල කොකෙක් (මාකන​). මේ කොකා ජීවත් වෙන්නෙ ඈත දූපතක තිබ්බ විශාල දෙබලක් සහිත "නිකබිලිස්ස​" (දියරත්මල්) ගහක​. මේ කුරුල්ලා උතුරු දිග අතොළු වල "මාගොල මදුනි" නමිනුත්, දකුණු දිග අතොළු වල "මාගලිමත්තෙ බොන්දො දීනි" නමිනුත් හැඳින්වෙනවා.

6. තොෂාලි

වියපු පොල් අතු දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "තොෂාලි" කියල​. ගෙවල් හදන්න අමු ද්‍රව්‍යය හිඟ දිවෙහි රාජ්ජේ ගොඩක් දෙනා ගෙවල් වල වහළයට විතරක් නෙවෙයි බිත්ති වලටත් යොදා ගත්තෙ වියපු පොල් අතු. වඩා ස්ථිර ගොඩනැගිලි ලී වලින් නැත්තම් කොරල් ගල් වලින් හැදුවා.


 7. රාබුලා

ඉංග්‍රීසියෙන් "Convict Surgeonfish" කියල හැඳින්වෙන මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නෙ රාබුලා කියලා. කොරල් පර වල ජීවත් වෙන මේ මාළුවා සෙන්ටි මීටර් 10 පමණ දිග​ කුඩා මාළුවෙක්.



8. බේබෙ

බේබෙ කියන්නෙ තරමක් වැඩිහිටි පිරිමියෙක් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "මාමා" නැත්තම් "අයියා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.

9. නිකබිලිස්ස​

සිංහලෙන් "දිය රත්මල්" කියල හැඳින්වෙන ගහ දිවෙහි බසින් හැඳින්වෙන්නෙ නිකබිලිස්ස කියලා.


10. වෙවු

දිවෙහි රාජ්ජේ වැසියෝ නාන්න පාවිච්චි කරපු ලොකු පොකුණු දිවෙහි බසින් හැඳින්වුනේ "වෙව්" කියල​. ඒක එන්න ඇත්තේ සිංහල "වැව්" කියන එකෙන්. මේ වෙවු ගලෙන් බැඳල පැත්තකින් ගල් පඩිපෙලක් සහිතව ඉඳි කෙරුනා.