Friday, February 15, 2019

ඇෆ්‍රිකානර් වරුන් ගේ ඉතිහාසය​ - 1 (ලන්දේසි කේප් ජනපදය​)


ඇෆ්‍රිකානර් වරු නමින් හැඳින්වෙන්නේ දකුණු අප්‍රිකාවේ වාසය කරන ජන වර්ගයක්. මොවුන් දකුණු අප්‍රිකාවේ පදිංචි වුනු මුල්ම යුරෝපීයන් වුනු ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත එන පිරිසක්. වර්තමානයේදී දකුණු අප්‍රිකාවේ ඇෆ්‍රිකානර් වරු මිලියන 2.7 ක් සහ අසල්වැසි නමීබියාවෙ 100,000 ක් පමණ ජීවත් වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්තමාන සුදු ජාතික ජනගහණයෙන් 60% පමණ ඇෆ්‍රිකානර් වරු.

ඇෆ්‍රිකානර් වරු මූලික වශයෙන් පැවත එන්නේ ලන්දේසි ජාතිකයන් ගෙන්. ඊට අමතරව ඔවුන්ට ප්‍රංශ​, ජර්මන්, ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් මූලයනුත් තියෙනවා. ඔවුන් කතා කරන්නේ ලන්දේසි බසින් විකාශනය වුනු "ඇෆ්‍රිකාන්ස්" භාෂාව​. ඔවුන් ගේ ආගම මූලික වශයෙන් කැල්වින් වාදී ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය.


මුල්ම යුරෝපීයයෝ


වර්තමාන දකුණු අප්‍රිකාවට ගොඩ බසින් පළමු යුරෝපීයන් වෙන්නේ පෘතුගීසි ජාතික බර්තොලමියු ඩයස් සහ ඔහුගේ නාවික පිරිස. ඔවුන් 1488 දී දකුණු අප්‍රිකාවේ දකුණින් ම පිහිටි තුඩුව වටා යාත්‍රා කරනවා. එහිදී මුහුණ දෙන දරුණු කුණාටු නිසා බර්තොලොමියු ඩයස් එම තුඩුව "කබෝ දස් තොර්මෙන්ටාස්" (කුණාටු තුඩුව​) නමින් නම් කරනවා. නමුත් පසුව පෘතුගාලයේ රජතුමා එය "කබෝ ද බෝඅ එස්පෙරෙන්සා" (යහපත් බලාපොරොත්තුවේ තුඩුව​) ලෙස​ නැවත නම් කරනවා.

පෘතුගීසින් දකුණු අප්‍රිකාව වටා යාත්‍රා කරන නමුත්, එහි නැවතී ස්ථිර වාසස්ථාන බිහි කිරීමට ඔවුන් උනන්දු වෙන්නේ නෑ. ඔවුන් ගේ ඉලක්කය වෙන්නේ ඉන්දියාව​. මේ නිසා 16 වැනි සියවස පුරාවටම දකුණු අප්‍රිකාව යුරෝපීයන් ගේ බලපෑමට හසු වෙන්නේ නෑ.

මේ තත්වය වෙනස් වෙන්නේ නෙදර්ලන්තය​ තම අවධානය පෙරදිග වෙළඳාමට යොමු කිරීමත් සමඟම​.


ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගම


නෙදර්ලන්තය පෙරදිග වෙළඳාමට අවතීර්න වෙන්නේ කෙලින්ම රාජ්‍යය මැදිහත් වීමක් හරහා නෙවෙයි. ඒ වෙනුවට නෙදර්ලන්තයේ ධනවත් වෙළන්දන් විසින් 1602 දී පිහිටුවා ගන්නා "වෙරීනිෂ ඕස්ට්-ඉන්ඩීෂ කොම්පඤ්ඤී" (ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගම​) නම් සමාගමක් හරහා ඔවුන් පෙරදිග රටවල වෙළඳාමට අත ගහනවා.

ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගමේ ධජය​
ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගමේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වෙන්නේ බතාවියා නගරය (වර්තමාන ජකර්තා) මුල් කරගත් ඉන්දුනීසියානු දූපත්. මීට අමතරව ඔවුන් ඉන්දියාව​, ලංකාව​, ජපානය​, තායිවානය​, මැලේසියාව සහ වියට්නාමය සමඟත් වෙළඳ කටයුතු වල යෙදෙනවා. 1650 පමණ වන විට පෙරදිග පෘතුගීසි බලය බිඳ හෙලලා පෙරදිග වෙළඳාම සම්පූර්නයෙන්ම තමාගෙ අතට ගන්න ඔවුන් සමත් වෙනවා.

යුරෝපයේ සිට පෙරදිග බලා කෙරුනු මුහුදු ගමන ඉතා දිගු එකක්. මේ නිසා ලන්දේසින්ට තම නැව් අළුත්වැඩියා කරන්න​, රෝගී වුනු නැවියන්ට ප්‍රතිකාර ලබන්න සහ කෑම සහ වතුර ලබාගන්න අතරමැදි නවාතැන් පොළක අවශ්‍යතාවය තදින්ම දැණුනා. ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ ගමනේ හරි මැද පිහිටි යහපත් බලාපොරොත්තුවේ තුඩුව.

1652 දී "යාන් වැන් රීබියෙක්" ගේ නායකත්වයෙන් යුතු නාවුක පිරිසක් දකුණු අප්‍රිකාවට ගොඩ බසින්නේ ඒ අනුව​.

යාන් වැන් රීබියෙක්

ලන්දේසි කේප් ජනපදය​ (කාප්කොලෝනී) - Dutch Cape Colony 


1652 දී යාන් වැන් රීබියෙක් ගෙ නායකත්වයෙන් යුත් 90 ක ලන්දේසින් පිරිසක් නැව් 5 කින් යහපත් බලාපොරොත්තුවේ තුඩුව අසලට ගොඩ බසිනවා. ඔවුන් ගේ අරමුණ වෙන්නෙ නෙදර්ලන්තයේ සිට පෙරදිග බලා සහ ආපසු ගමන් කරන ලන්දේසි පෙරදිග​-ඉන්දියා වෙළඳ සමාගමට අයත් නැව් වලට ආධාර කරන්න පුළුවන් ස්ථිර ජනාවාසයක් පිහිටුවීම​.


ඔවුන් වර්තමාන කේප්ටවුන් පිහිටි ස්ථානයේ ලී සහ මැටි වලින් බලකොටුවක් හදලා ඒ අවට පදිංචි වෙනවා. ජනාවාසය හඳුන්වන්නේ "කාප්කොලෝනී" නමින්. 

ජනාවාසයේ අරමුණ නැව් වලට ආහාර පාන සැපයීම නිසා විශාල ජනගහණයක් හෝ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන් දකින්නේ නෑ. මේ නිසා බලකොටුව අවට ප්‍රදේශයෙන් පිටතට ව්‍යාප්ත වීමක් සිදු වෙන්නේ නෑ.

මේ මුල් ජනපදිකයන් සියල්ලෝම වෙළඳ සමාගමෙන් වැටුප් ලබන සේවකයන්. මේ නිසා ඔවුන් ක්‍රියා කලේ වෙළඳ සමාගමේ අණ අනුව පමණයි. මේ නිසා මුල් කාලීන ජනපදය ප්‍රමානයෙන් කුඩා එකක් වුනා. ඇත්තෙන්ම මුල් කාලයේ ජනපදයේ නායකයාට ලබා දුන් තනතුර වුනේ ලන්දේසි වෙළඳ සමගමේ බලකොටුවක අණදෙන නිලධාරියාට හිමි තනතුර​. එයින් පැහැදිලි වෙනවා ඔවුන් ජනපදය සැලකුවේ බලකොටුවක් විදිහට බව​.

මේ කාලයේදී කේප් ප්‍රදේශය අවට ස්වදේශික ගෝත්‍ර දෙකක් වාසය කලා. ඒ සාන් ගෝත්‍රිකයන් (බුෂ්මෙන්) සහ කොයිකොයි ගෝත්‍රිකයන් (හොටෙන්ටොට්). අවට ප්‍රදේශය එතරම් සාරවත් භූමියක් නොවුනු නිසා මේ ස්වදේශික ජනගහණය 15,000 ක පමණ කුඩා අගයක් වුනා. මේ අය සංචාරක දිවි පෙවෙතක් ගත කළා. සාන් වරු දඩයමින් සහ කොයිකොයි වරු එඬේරන් වශයෙන් ජීවිකාව පවත්වාගෙන ගියා. ඔවුන්ට ශක්තිමත් මධ්‍ය පාලනයක් සහිත රාජ්‍යයක් තිබුනේ නෑ.

කොයිකොයි ගෝත්‍රිකයන්
මුල් කලයේ ජනපදිකයන් විශාල වශයෙන් ගොවිතැනේ යෙදුනේ නෑ. ඔවුන් බලකොටුව අවට කුඩා ගොවිබිම් පිහිටුවා ගත් අතර, කොයිකොයි ගෝත්‍රිකයන් ගෙන් හරක් මිලදී ගත්තා. නමුත් වසර කීපයක්ම සාගතයට මුහුණ දීම නිසා ගොවිතැන් කිරීමේ වැදගත් කම වටහා ගත්ත වෙළඳ සමාගම 1671 දී ජනපදිකයන් නව දෙනෙක් සමාගමේ සේවයෙන් මුදාහැරලා ඔවුන්ට ගොවිතැන් කිරීම සඳහා ඉඩම් ලබා දෙනවා. මේ ඉඩම් මිලදී ගන්නේ කොයිකොයි ගෝත්‍රිකයන් ගෙන්. ඔවුන් තමයි කේප් කොලනියේ පලමු නිදහස් පුරවැසියන්. මේ අය ලන්දේසි බසින් හැඳින්වුනේ "නිදහස් පුරවැසියන්" යන අරුත දෙන "ව්‍රීජ්බර්ගර්" හෝ "පුරවැසියන්" කියන අරුත දෙන "බර්ගර්" කියන නමින්.

නිදහස් පුරවැසියන් ගොවිතැනෙන් ලබන සාර්ථකත්වය නිසා ඔවුන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙනවා. ඊළඟ අවුරුද්ද වෙද්දි කේප් කොලනියේ වාසය කරන නිදහස් ගොවියන් ගණන 64 දක්වා ඉහළ යනවා. ඒ එක්කම වෙළඳ සමාගමේ සේවය කරලා සේවා කාලය අවසන් කළ සේවකයන් ජීවිකාව සඳහා නැවත නෙදර්ලන්තයට යාම වෙනුවට කේප් කොලනියේ පදිංචි වීම තෝරා ගැන්න පටන් ගන්නවා. මේ නිසා කේප් කොලනියේ ජනගහණය ක්‍රමයෙන් ඉහළ යනවා.

ගොවිබිම් ප්‍රමානය ඉහළ යාමත් එක්කම ඒවායේ සේවය කිරීම සඳහා වෙළඳ සමාගම විසින් වහලුන් රැගෙන එනවා. මේ වහලුන් ගේන්නේ ඉන්දියාව​, ඉන්දුනීසියාව සහ නැගෙනහිර අප්‍රිකාවෙන්. 

ලන්දේසින්ට දාව වහල් සහ ස්වදේශික කාන්තාවන් ගෙන් උපත ලබන මිශ්‍ර වාර්ගික දරුවන් කේප් කොලනියේ වෙනම සමාජ ස්ථරයක් බවට පත්වෙනවා. ලන්දේසින් මොවුන් හඳුන්වන්නේ "කේප් කලර්ඩ්" යන නමින්.

1687 දී ජනපදයේ ජනගණය සමන්විත වෙන්නේ වෙළඳ සමාගමේ සේවකයන් 300 ක්, නිදහස් පුරවැසියන් 254 ක්, නිදහස් පුරවැසියන් ගේ ළමුන් 231 ක්, මිශ්‍ර වාර්ගිකයන් සහ වහලුන් ගෙන්.

ජනපදිකයන් ක්‍රමයෙන් රට අභ්‍යන්තරයට ව්‍යාප්ත වීමත් සමඟම කොයිකොයි ගෝත්‍රියන් සහ ඔවුන් අතර ගැටුම් ඇති වෙනවා මේ ගැටුම් සහ සරම්ප වසංගත නිසා කොයිකොයි වරුන් ගෙන් විශාල ප්‍රමානයක් මිය යනවා ඉතිරි වෙන අය ජනපදිකයන් සඳහා වැටුපට හරක් ඇති කිරීමට යොමු වෙනවා.

1688 දී ජනපදයේ වැදගත් වෙනසක් සිදු වෙනවා. ඒ යුරෝපයේ ඉඳලා ලන්දේසි නොවන ජනයාගේ සංක්‍රමනයක් සිදු වීමෙන්. මේ අය අතරින් ප්‍රධාන වෙන්නේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන ප්‍රංශ ජාතිකයන්. මේ අය ප්‍රංශයේ කතෝලික රජයෙන් තමාට සිදුවෙන අසාධාරනකම් නිසා රටහැර පලා ගිය අය​. ඒ එක්කම ප්‍රොතෙස්තන්ත ආගම අදහන ජර්මන්, ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් ජාතියනුත් කේප් කොලනියේ පදිංචියට එනවා. මේ අය ලන්දේසින් එක්ක මිශ්‍ර වෙමින් නව සංස්කෘතියක් බිහි කරනවා.

ඒක ලන්දේසි සංස්කෘතිය මත පදනම් වෙන​, ඒත් ඊට වඩා වෙනස් සංස්කෘතියක්. ඔවුන් ගේ භාෂාව ලන්දේසි භාෂාවෙන් වෙනස් වෙන්නේ ප්‍රංශ​, ජර්මන් සහ ස්වදේශීය වචන සහ භාෂා රීතින් එක් වීමෙන්. ඔවුන් ගේ ආගම වෙන්නේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය​. යුරෝපයේදී අනෙකුත් ක්‍රිස්තියානින් ගෙන් පීඩා විඳින්න සිදු වීම නිසා ඔවුන් දැඩි ආගම් භක්තියකින් යුක්ත වෙනවා. ඒ වගේම වහල් ශ්‍රමය මත රඳා පැවතුනු ආර්ථිකය නිසා ඔවුන් කළු ජාතියකන් පිළිබඳ ඇති කරගන්නේ පහත් හැඟීමක්.

1691 වන විට ජනපද වැසියන් ගෙන් 67% ක් ලන්දේසින් වුනු අතර​, 17% ක් ප්‍රංශ, 14% ක් ජර්මන් සහ ඉතුරු 2% ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් ජාතිකයන් වුනා.

1691 දී වර්ධනය වන ජනගහණය හමුවේ වෙළඳ සමාගම කේප් ජනපදයට ජනපදයක තත්වය නිල වශයෙන් ලබා දෙනවා. ඒ එක්කම ජනපදයේ නායකයා ගේ තනතුර "ආණ්ඩුකාරයා" වශයෙන් වෙනස් කෙරෙනවා.

නිල වශයෙන් ජනපදයක් බවට පත් වීමත් සමඟම​​ කේප් බලකොටුව අවට කුඩා ප්‍රදේශයකට සීමා වුනු ජනපදය රට අභ්‍යන්තයට පැතිරෙනවා.


මේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වෙන්නේ වෙළඳ සමාගමේ දැඩි පාලනය. ගොවියන්ට තමාගේ අස්වැන්න විකුණන්න අවසර තිබුනේ වෙළඳ සමාගමට පමණයි. මේ වෙළඳ ඒකාධිකරය නිසා ඔවුන්ට වෙළඳ සමාගම ඉල්ලා සිටින බෝග වගා කරන්නත්, ඒවා වෙළඳ සමාගම නියම කරන මිලට විකුණන්නත් සිදු වුනා. සමාගමේ දැඩි පාලනයෙන් මිදීම සඳහා ඔවුන් සමාගමේ බලය අඩු වුන අභ්‍යන්තර ප්‍රදේශ වලට සංක්‍රමනය වුනා.

මේ රට ඇතුලට සංක්‍රමනය වුනු නිදහස් කාමී ජනපදිකයන් හැඳින්වුනේ "ගොවියන්" කියන අරුත ඇති "බෝයර්" කියන යෙදුමෙන්. බෝයර් වරු රට අභ්‍යන්තරයේ නගර සහ ජනාවාස බිහි කරා. මේ ජනාවාස නිල වශයෙන් කේප් කොලනියට අයත් වුනත්, ඇත්තෙන්ම ඒවා කෙරෙහි පැවති සමාගමේ බලය අවම වුනා.


ඇෆ්‍රිකානර් අනන්‍යතාවය


1700 පමණ වනවිට ජනපදයේ යුරෝපයෙන් සංක්‍රමනය වුනු පිරිසට වඩා හිටියේ ජනපදයේ උපත ලැබූ අය​. මේ නිසා ජනපදිකයන් අතර යුරෝපීය අනන්‍යතාවය අභිබවා ස්වාධීන අනන්‍යතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔවුන් තමන් ගැන හිතුවේ ලන්දේසින්ට වඩා කේප් ජනපද වාසීන් විදිහට​. ඔවුන් තමාව හඳුන්වා ගන්න "අප්‍රිකානුවා" කියන අරුත ඇති "ඇෆ්‍රිකානර්" කියන යෙදුම භාවිතා කලා. ඔවුන් ගේ භාෂාව හැඳින්වුනේ "ඇෆ්‍රිකාන්ස්" කියලා.


බ්‍රිතාන්‍ය ආක්‍රමනය​


1795 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර යුද්ධයක් ඇති වෙනවා. නෙදර්ලන්තය බ්‍රිතාන්‍යයේ මිතුරෙක් වන නිසා ප්‍රංශය නෙදර්ලන්තය ආක්‍රමනය කරලා එහි ඔවුන්ට අවනත "බතාවියා ජනරජය​" නම් රජයක් පිහිටුවනවා.

ප්‍රංශ හමුදාවලින් තමාගේ යටත් විජිත වලට ඇති වෙන්න පුළුවන් තර්ජනය මැඩ පැවැත්වීමේ අරමුණෙන් බ්‍රිතාන්‍යය විසින් ලන්දේසි පෙරදිග​-ඉන්දියා වෙළඳ සමාගමට අයත් ජනපද ආක්‍රමනය කරනවා (ලංකාවේ ලන්දේසි පාලනය අවසන් වෙන්නේ මේ හේතුව නිසා). ඒ අනුව 1795 දී බ්‍රිතාන්‍යය හමුදාව කේප් කොලනියට ගොඩ බැහැලා එය අල්ලා ගන්නවා.

තමාගේ ජනපද වලින් වැඩි හරියක් බ්‍රිතාන්‍යයට යටත් වීම නිසා වෙළඳ සමාගම බිඳ වැටෙනවා. ඔවුන් 1798 දී සමාගම විසුරුවා හැරලා ඉතුරු ජනපද බතාවියා ජනරජයට පවරා දෙනවා.

1803 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර සාම ගිවිසුමක් ඇති වෙනවා. මේ ගිවිසුමේ කොන් දේසි වලට අනුව බ්‍රිතාන්‍යයන් කේප් කොලනිය බතාවියා ජනරජයට පවරා දෙනවා.

නමුත් මේ සාමය වැඩි කල් පවතින්නේ නෑ. 1805 දී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය නැවතත් යුධ වදිනවා. 1806 දී බ්‍රිතාන්‍යය හමුදාව නැවතත් කේප් කොලනිය ආක්‍රමනය කරනවා.

බ්ලාවුබර්ග් හිදී 5000 ක බ්‍රිතාන්‍යය හමුදාවට එරෙහිව 2000 ක ජනපදිකයන් ගෙන් සමන්විත හමුදාවක් සටන් වදිනවා. මේ සටනින් බ්‍රිතාන්‍යයන් පහසුවෙන්ම ජය ලබනවා ඒ එක්කම ලන්දේසි ආණ්ඩුකාරයා ජනපදය බ්‍රිතාන්‍යයට යටත් කරනවා.

මේ තමයි ලන්දේසි කේප් ජනපදයේ අවසානය​. මෙතැන් සිට ජනපදය පාලනය වෙන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිතයක් විදිහට​.

Sunday, February 10, 2019

දිවෙහි උච්චාරනය​



දිවෙහි හෝඩිය "ශුද්ධ දිවෙහි" සහ "මිශ්‍ර දිවෙහි" කියල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. "ශුද්ධ දිවෙහි" අකුරු 25කින් සමන්විතයි. "මිශ්‍ර දිවෙහි" අකුරු 14 කින් සමන්විතයි. මිශ්‍ර දිවෙහි අකුරු වෙනත් භාෂා වලින් (වැඩි වශයෙන් අරාබි) ආපු ශබ්ධ​. ශුද්ධ දිවෙහි අකුරු ස්වදේශීය දිවෙහි ශබ්ධ නිරූපනය කරනවා. මේ ව්‍යංජනාක්‍ෂර වලට අමතරව ප්‍රාණාක්‍ෂර සඳහා යොදා ගැනෙන පිල්ලම් හෙවත් "ෆිලි" 11 කුත් දිවෙහි හෝඩියේ තියෙනවා.


ශුද්ධ දිවෙහි අකුරු උච්චාරනය​



ශවියනි

ශවියනි අකුර පැරණි දිවෙහි බසේ උසුරුවන්නේ "ශ​" හඬට "ර​" හඬක් මුසු කරමින්. එහිදී "ශ​" හඬ නැගීමට පළමුව දිව උඩු තල්ලේ ගැටීමක් සිදු කරනවා. නමුත් වර්තමානයේදී මේ උසුරුවන ක්‍රමය මදක් වෙනස් වෙලා ශවියනි හඬ නගන්නේ "ශ​" විදිහට​. නමුත් "ශි" සහ "ශෙ" ලෙස උසුරුවද්දී "ර​" හඬ මුසු කිරීම කෙරෙනවා.


රා

රා අකුර උසුරුවන්නේ "ර​" විදිහට​. ඒක ඉංග්‍රීසි "R" වගේ මෘදු විදිහට නෙවෙයි හඬ නංවන්නේ - සිංහල "ර​" වගේ බර දීලා.


ළවියනි

ළවියනි හඬ නැගීමේදී "ට" සහ "ඩ​" හඬ නැගීමේදී වගේ දිව පසුපසට නවලා උඩු තල්ලට තද කිරීමක් කෙරෙනවා.


ණවියනි

ණවියනි හඬ නගද්දිත් "ට" සහ "ඩ​" වගේ දිව පසුපසට නවලා උඩු තල්ලට තද කරන්න ඕනෙ.


zසවියනි

zසවියනි උසුරුවන්නේ ඉංග්‍රීසි "Z" අකුරට සමානව​.



මිශ්‍ර දිවෙහි අකුරු උච්චාරනය​


මිශ්‍ර දිවෙහි අකුරු බොහොමයක් අරාබි භාෂාවෙන් ආපු ශබ්ධ​. මේවා බොහෝ විට යොදා ගැනෙන්නේ ඉස්ලාමයට සම්බන්ධ අරාබි වචන සහ යෙදුම් වලදී. ඒ නිසා එදිනෙදා කතාබහේදී මේවා යොදා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම මේ අරාබි ශබ්ධ ඒ ආකාරයෙන්ම හඬ නැගීම දිවෙහි රාජ්ජේ වැසියන්ට අපහසුයි. ඒ නිසා ඔවුන් බොහෝ විට ඒවා උසුරුවන්නේ තරමක් වෙනස්ව​.



ෆිලි උච්චාරනය​


ෆිලි යොදාගන්නේ ව්‍යංජනාක්‍ෂරයක්ට ස්වරයක් එක් කරන්න (උදා : ක්+උ=කු). ප්‍රානාක්‍ෂරයක් ලියද්දි යොදාගන්න විශේෂ අකුරක් තියෙනවා. ඒක හඳුන්වන්නේ "අලිෆු" කියලා. අලිෆු ට ෆිලි එක් කිරීමෙන් ප්‍රානක්‍ෂරයක් නිරූපනය කරන්න පුළුවන්.


އަ සහ އި එකට යෙදෙනකොට උසුරුවන්නේ එක්කෝ "අයි" විදිහට​. නැත්තම් "ඇ" විදිහට​.

සුකුන්


සුකුන් කියන්නේ "හල් කිරීම​" සඳහා හොදාගන්න අකුර​. සුකුන් උච්චාරනය කිරීම තරමක් සංකීර්නයි. සුකුන් සමඟ යෙදෙන ව්‍යංජනාක්‍ෂරය අනුව වගේම ඒත් එක්ක යෙදෙන අනිත් අකුරු අනුව සුකුන් උසුරුවන් හැටි වෙනස් වෙනවා.

දිවෙහි භාෂාවේ රීති වලට අනුව සුකුන් යෙදෙන්නෙ අකුරු පහකට පමණයි.

1. අලිෆු සුකුන් (އް)
2. ශවියනි සුකුන් (ށް)
3. තා සුකුන් (ތް)
4. නූනු සුකුන් (ން)
5. සීනු සුකුන් (ސް)


අලිෆු සුකුන් (އް)


1. වචනයක අවසානයේදී අලිෆු සුකුන් යෙදෙන විට ඊට මුලින් යෙදෙන අකුරේ හඬ එක වරම නැවතීමක් කෙරෙනවා (glottal stop).

උදා :
އެކެއް - එකෙʔ

2. වචනයක් මැද අලිෆු සුකුන් යෙදෙන විට ඊට පස්සෙ එන අකුරේ ශබ්ධය ද්විගුණ වෙනවා (gemination).

උදා :
ބައްޕަ - බප්ප​

3. නමුත්, වචනයක් මැද අලිෆු සුකුන් යෙදෙද්දි පසුව එන අකුර ප්‍රාණාක්‍ෂරයක් හෝ "හ​" නම් අලිෆු සුකුන් උසුරුවන්නේ "ං" විදිහට​.

උදා :
އެއްހާސް - එංහාස්


ශවියනි සුකුන් (ށް)


ශවියනි සුකුන් වලටත් බලපාන්නේ අලිෆු සුකුන්ට බලපාන රීති මයි. ශවියනි සුකුන් කිසිම විටෙක "ශ්" යනුවෙන් උසුරුවන්නේ නෑ.

උදා :
ރަށް - රʔ
އަށްޑިހަ - අඩ්ඩිහ​
އަށްހާސް - අංහාස්


තා සුකුන් (ތް)


තා සුකුන් වල උච්චාරනය රඳා පවතින්නෙ මුලින් යෙදෙන ස්වරය මත​.

1. මුලින් යෙදෙන ස්වරය "ඉ", "ඊ", "එ" හෝ "ඒ" නම්, එය උසුරුවන්නේ අලිෆු සුකුන් විදිහටමයි.

උදා:
ހިތް - හිʔ
ނެތް - නෙʔ

2. මුලින් යෙදෙන ස්වරය "අ" හෝ "ආ" නම්, එය උසුරුවන්නේ අලිෆු සුකුන් විදිහටමයි​ ඒත් මුලින් යෙදෙන​ ස්වරය "ඇ" හෝ "ඈ" බවට වෙනස් වෙනවා.

උදා :
ރަތް - රැʔ
މާތް - මෑʔ

3 මුලින් යෙදෙන ස්වරය "ඔ", "ඕ", "උ" හෝ "ඌ" නම්, එය උසුරුවන්නේ "ඉ" අකුරක් සහ අලිෆු සුකුන් විදිහට​.

උදා:
އޮތް  - ඔඉʔ
މުތް - මුඉʔ
ތޮތްޕެއް - තොප්පෙʔ
ދަތް އަޅާ - දැංඅළා

තා සුකුන් කිසිම විටෙක "ත්" යනුවෙන් උසුරුවන්නේ නෑ


නූනු සුකුන් (ން)


නූනු සුකුන් වල උච්චාරනය රඳා පවතින්නේ ඊට පසුව එන අකුර මත​.

1. වචනයක අවසානයේ යෙදෙන කොට නූනු සුකුන් උසුරුවන්නේ "ං" විදිහට

උදා:
ކާން - කාං

2. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර ස්වරයක්, "ක​", "ග​" හෝ "හ​" නම්, නූනු සුකුන් උසුරුවන්නේ "ං" විදිහට​.

උදා:
އަންހެން - අංහෙං
ސިންގާ - සිංගා

3. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ත​" හෝ "ද​" නම්, උසුරුවන්නේ "න්" විදිහට​

උදා:
ބަންދު - බන්දු

4. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ට​​" හෝ "ඩ​​" නම්, උසුරුවන්නේ "ණ්" විදිහට

උදා:
ހަންޑި - හණ්ඩි

5. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ප​​​" හෝ "බ​​​" නම්, උසුරුවන්නේ "ම්" විදිහට

උදා:
ޕަންޕު - පම්පු

6. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ව​​​​" හෝ "ෆ​​​​" නම්, උසුරුවන්නේ "ංම්" විදිහට

උදා"
ކަރަންފޫ - කරංම්ෆු

7. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "න​​​​​​" හෝ "ම​​​​​" නම්, ඒ අකුර ද්විගුණ වෙනවා.

උදා:
އަންނަން - අන්නං
މަންމަ - මම්ම


සීනු සුකුන් (ސް)


සීනු සුකුන් හැම විටම උසුරුවන්නේ "ස්" කියල​.

උදා:
ލަސް - ලස්


"හුස් අකුරු"


හුස් අකුරු කියල හඳුන්වන්නේ ෆිලි නොමැති අකුරු. දිවෙහි භාෂාවේ රීති වලට අනුව සාමාන්‍යයෙන් ඕනම අකුරක් ලියද්දි ෆිලි එකතු කරන්න ඕනෙ. ඒත් අවස්ථා කීපයකදි ෆිලි නැති හුස් අකුරු ලියනවා.

හුස් නූනු (ނ)


හුස් නූනු යෙදෙන්නේ "ග​", "ඩ​", "ද​" සහ "බ​" අකුරකට කලින්. හුස් නූනු යෙදීමෙන් ඒ අකුරු සංඥක අකුරු බවට පත් කෙරෙනවා.

උදා:
އަނގަ - අඟ​
ބަނޑު - බඬු
ހަނދު - හඳු
އަނބު - අඹු


හුස් රා (ރ)


හුස් රා යෙදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවේ වගේ මෘදු "ර්" උච්චාරනයක් ඇති තැන් වල​

උදා:
ޑޮކްޓަރ - ඩොක්ට​(ර්)
ޑައިރެކްޓަރ - ඩරිරෙක්ට​(ර්)



Saturday, February 2, 2019

දිවෙහි බස​



"දිවෙහි" කියන්නෙ මාලදිවයිනේ ජනතාව අයත් වෙන ජන වර්ගය හඳුන්වන නම​. ඔවුන් ගේ භාෂාව හැඳින්වෙන්නෙත් ඒ නමින් මයි. "දිවෙහි" කියන එකේ තේරුම "දූපත් වල වැසියෝ" කියන එක​. දිවෙහි බසින් මාලදිවයින හැඳින්වෙන්නේ "දිවෙහි රාජ්ජේ" කියල​. ඒකෙ තේරුම "දූපත් රාජ්‍යය​" කියන එක​.

දිවෙහි භාෂාව "ඉන්දු - ආර්‍ය​" භාෂා පවුලේ සාමාජිකයෙක්. ඒක අයත් වෙන්නේ "දකුණු දිග" උප පවුලට​. මේ දකුණු දිග ඉන්දු - ආර්‍ය භාෂා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මහාද්වීපික සහ දූපත් කියල​. මහාද්වීපික භාෂා අතරට ගැනෙන්නේ මරාති, කොන්කනි, කත්කරි වගේ ඉන්දියානු උප මහාද්වීපයේ බටහිර ප්‍රදේශ වල කතා කරන භාෂා.

දකුණු දිග ඉන්දු - ආර්‍ය භාෂා වල "දූපත්" ගණයට වැටෙන භාෂා දෙකක් තියෙනවා. ඒ සිංහල සහ දිවෙහි.

දිවෙහි වරු මාලදිවයිනට එන්නෙ ක්‍රි.පූ. හතරවෙනි සියවසේදී පමණ ලංකාවෙ ඉඳලා. ඒ කියන්නෙ ලංකාවේ ලිඛිත ඉතිහාසය පටන් ගත්ත කාලෙදිම වගේ. මේ සංක්‍රමන දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙලා තියෙනවා. ඒ කාලයේ "එළු" කියල හැඳින්වුනු ලංකාවේ කතා කෙරුණු ආදි සිංහල භාෂාවෙන් බිඳී ගිහින් තමයි දිවෙහි භාෂාව බිහි වෙලා තියෙන්නෙ.

මේ නිසා දිවෙහි භාෂාව සිංහල භාෂාවට ඉතාමත් කිට්ටු සමානකමක් දක්වනවා. ඒ වගේම 12 වන සියවසේ දී ඉස්ලාම් ආගම පැමිණීමත් එක්ක අරාබි භාෂාවෙන් දිවෙහි බසට සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා.

වර්තමානයේදී දිවෙහි භාෂාව මව් බස විදිහට කතා කරන 340,000 ක පමණ ජනතාවක් මාලදිවයිනේ සහ තවත් 10,000 ක පමණ ජනතාවක් ඉන්දියාවට අයත් "මලිකු" හෙවත් "මිනිකෝයි" දූපතේ වාසය කරනවා.


දිවෙහි බසේ උප භාෂා


මාලදිවයින සමන්විත වෙන්නේ දූපත් පොකුරු හෙවත් අතොළු ගණනාවකින්. අතීතයේ මේ දූපත් පොකුරු අතර ගමනාගමනය දුෂ්කර වුනා. මේ නිසා මේ දූපත් පොකුරු පැවතුනේ එකිනෙකාගෙන් හුදෙකලාව​. මේ භූගෝලීය සාධකය නිසා දිවෙහි බස උප භාෂා ගණනාවකින් සමන්විත වුනා.

වර්තමානයේදී ගමනාගමනයේ දියුණුවත් එක්කම මේ උප භාෂා බොහොමයක් අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒත් අදටත් උප භාෂා හයක් හඳුනාගන්න පුළුවන්.

1. මාලේ බස්
2. මලිකු බස් (මොහ්ල්)
3. හද්දුන්මති බස්
4. හුවදු බස්
5. මුලාකු බස්
6. අඩ්ඩු බස්

මේවා අතරින් හුවදු බස්, මුලාකු බස් සහ අඩ්ඩු බස් පොදුවේ "දකුණු දිග උප භාෂා" කියල හඳුන්වනවා. මේ දකුණු දිග උප භාෂා මාලේ බස් වලට වඩා සැලකිය යුතු වෙනස්කම් වලින් යුක්තයි.

උපභාෂා වල භූගෝලීය ව්‍යාප්තිය​

මාලේ බස්


දිවෙහි බසේ ප්‍රධාන උපභාෂාව සහ "නිළ​" භාෂාව වෙන්නේ මාලේ බස්. උතුරුදිග අතොළු සියල්ලේම කතා කරන්නේ මාලේ බස්.


මලිකු බස්


ඉන්දියාවට අයත් මලිකු දූපතේ කතා කෙරෙන්නෙ මලිකු බස්. මලිකු බස් මාලේ බස් වලින් වෙනස් වෙන්නෙ මද වශයෙන්.


හද්දුන්මති බස්


දකුණට වෙන්න පිහිටි අතොළුවක් වන හද්දුන්මති අතොළුවේ කතා කෙරෙන උප භාෂාව හද්දුන්මති බස්. මාලදිවයින බෞද්ධ රාජ්‍යයක්ව පැවති කාලයේ හද්දුන්මති අතොළුව ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වුනා. ඒ වගේම දිවෙහි බසින් ලියැවුනු පුරාණම ලියවිලි හමුවෙලා තියෙන්නෙ හද්දුන්මති අතොළුවෙන්.


හුවදු බස්


දකුණුදිග අතොළුවක් වන හුවදු අතොළුවේ කතා කෙරෙන උප භාෂාව හුවදු බස්. සිංහල භාෂාවට වඩාත්ම සමාන උප භාෂාව වෙන්නේ හුවදු බස්. බොහෝ විට මේකට හේතුව හුවදු අතොළුව සහ ලංකාව අතර කෙරුණු සමීප වෙළඳ ගනුදෙනු වෙන්න පුළුවන්. සිංහලයෙන් ආපු වචන විශාල ප්‍රමාණයක් හුවදු බස් වල අඩංගුයි.


මුලාකු බස්


මාලේ බසින් වඩාත්ම වෙනස් උප භාෂාව මුලාකු බස්. මුලාකු බස් කතා කෙරෙන්නේ දකුණු දිග අතොළුවක් වන ෆුවාමුලාකු හි. මුලාකු බස් හි වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂනය වෙන්නේ වචනයක අගට යෙදෙන "ල්" ශබ්ධය​. එය වෙනත් කිසිම උප භාෂාවක නැති ලක්‍ෂනයක්. ඒ වගේම අනෙක් උප භාෂා වල "උ" ස්වරයෙන් අවසන් වන වචන මුලාකු බස් හි අවසන් වෙන්නෙ "ඔ" ස්වරයෙන් (ෆන්නු - ෆන්නො). තවත් වෙනසක් වෙන්නේ "ශ​" උසුරුවන ආකාරය​. මාලේ බස් වල දී "ශ​" උසුරුවන්නේ එයට "ර​" ශබ්ධයකුත් එක් කරමින්. ඒත් මුලාකු බස් වල එය උසුරුවන්නේ "ෂ​" විදිහට​.


අඩ්ඩු බස්


වඩාත්ම දකුණින් පිහිටි අඩ්ඩු අතොළුවේ කතා කෙරෙන්නේ අඩ්ඩු බස්. අඩ්ඩු බස් මුලාකු බස් වලට යම්කිසි සමානකමක් දක්වනවා. ඒ වගේම අඩ්ඩු අතොළුව අතීතයේ සිටම උගතුන් බිහිවුනු අතොළුවක් නිසා අනෙකුත් උප භාෂා වලට වඩා අඩ්ඩු බස් විධිමත් සොබාවයක් ගන්නවා. දකුණු දිග අතොළු තුනේ පොදු භාෂාව විදිහට භාවිතා වෙන්නේ අඩ්ඩු බස්.


දිවෙහි හෝඩිය​


දිවෙහි හෝඩිය අතීතයේ සිට වර්තමානය දක්වා විශාල පරිවර්තන රැසකට මුහුණ දීලා තියෙනවා.

පැරණිම දිවෙහි අකුරු හමුවෙන්නේ ක්‍රි.ව​. 7 වෙනි සියවසෙන්. ඒ කොරල් ගල් වල ලියැවුනු සෙල් ලිපි විදිහට​. මේ අකුරු අද "එවේල අකුරු" නමින් හැඳින්වෙනවා. එවේල අකුරු පැරණි බ්‍රාහිමී අක්‍ෂර මත පදනම් වෙලා තියෙනවා.

ක්‍රි.ව​. 12 වෙනි සියවසේ ලියැවුනු "ලෝමාෆානු" නමින් හැඳින්වෙන තඹ සන්නස් වල තියෙන අකුරු එවේල අකුරු වලින් තරමක් වෙනස්. ඒවා එවේල අකුරු වල පරිනාමයෙන් බිහිවුනු බව පැහැදිලියි. මේ අකුරු අද හැඳින්වෙන්නේ "දිවෙස් අකුරු" නමින්.

18 වෙනි සියවසේ මුල් භාගයේදී "ෆන්ඩිත​" හෙවත් යකැදුරන් තමාගේ රහස් බෙහෙත් වට්ටෝරු ලියා තියන්න "තාන​" නමින් හැඳින්වුනු රහස් හෝඩියක් නිර්මානය කර ගත්තා. මේ හෝඩියේ අකුරු අරාබි අකුරු මත පදනම් වෙලා නිර්මානය වෙලා තියෙනවා. පසුව උගතුන් විසින් අරාබි වචන සහ යෙදුම් දිවෙහි බසින් ලිවීමේදී තාන හෝඩිය භාවිතා කරන්න පටන් ගත්තා. ක්‍රමයෙන් තාන අකුරු දිවෙහි ලිවීමේ ප්‍රධාන ක්‍රමය බවට පත් වුනේ දිවෙස් අකුරු භාවිතය අභාවයට යවමින්. නමුත් 20 වෙනි සියවසේ මැද භාගය වන තුරු දිවෙස් අකුරු භාවිතය සම්පූර්නයෙන්ම නැති වුනේ නෑ.

වර්තමානයේදී දිවෙහි බසේ නිළ හෝඩිය විදිහට සැලකෙන්නේ තාන අකුරු.


එවේල අකුරු


බ්‍රාහ්මී අක්‍ෂර මත පදනම් වුනු එවේල අකුරු බැලූ බැල්මට සිංහල අකුරු වලට ඉතා සමීප බවක් උසුලනවා. "එවේල අකුරු" කියන එකේ තේරුම "පැරණි අකුරු" කියන එක​. එවේල අකුරු හමු වෙන්නේ කොරල් ගල් වල ලියැවුනු සෙල් ලිපි කීපයක පමණක් නිසා සම්පූර්ණ එවේල අකුරු හෝඩිය ප්‍රති නිර්මානය කර ගැනීමට පුරා විද්‍යාඥයන් අසමත් වෙලා තියෙනවා.

එච්.සී.පී. බෙල් මහතා එවේල අකුරු ප්‍රතිනිර්මානය කිරීමේදී පුරෝගාමී මෙහෙයක් කරල තියෙනවා.

එවේල අකුරු


දිවෙස් අකුරු


එවේල අකුරු පරිණාමය වීමෙන් තමයි දිවෙස් අකුරු නිර්මානය වෙලා තියෙන්නෙ. තඹ පත් වල ලියන්න සුදුසු ආකාරයෙන් අකුරු හැඩ ගැහිල තියෙනවා. ඒ එක්කම සිංහල බසට තිබුනු සමානකම් සෑහෙන පමණ අඩු වෙලා තියෙනවා. මෙහිදී "අං" ශබ්ධය නැති වී තිබීම විශේෂත්වයක්.

දකුණු දිග අතොළු වල​, විශේෂයෙන් අඩ්ඩු අතොළුවේ දෙවැනි ලෝක යුද්ධ සමය වන තුරු දිවෙස් අකුරු භාවිතය තිබිල තියෙනවා. නමුත් වර්තමානයේදී දිවෙස් අකුරු දන්න මාලදිවයින් වැසියන් ඉන්නෙ අතළොස්සක් පමණයි.

දිවෙස් අකුරු

තාන


වර්තමානයේ නිළ දිවෙහි හෝඩිය විදිහට භාවිතා වෙන්නේ තාන අකුරු. තාන අකුරු අරාබි අකුරු ඇසුරෙන් නිර්මානය කර ගත්ත නිසා තාන අකුරු ලියන්නේ දකුණේ සිට වමට​. දකුණේ සිට වමට ලියන එකම ඉන්දු - ආර්‍ය භාෂාව වෙන්නේ දිවෙහි.

තාන හෝඩිය පැරණි දිවෙහි බසින් ආ ශබ්ධ වලින් වගේම අරාබි බසින් ආ ශබ්ධ වලිනුත් සමන්විතයි. නමුත් මේ අරාබි ශබ්ධ දිවෙහි බසේ වචන වල යෙදෙන්නෙ කලාතුරකින්. බොහෝ විට ඒවා යොදා ගැනෙන්නෙ අරාබි වචන සහ යෙදුම් (විශේෂයෙන් ඉස්ලාමය හා සම්බන්ධ) ලිවීමේදී.

තාන හෝඩිය පණකුරු 10 ක්, ගතකුරු 39 ක්, හල් කිරීම සඳහා භාවිතා කරන "සුකුන්" නමින් හැඳින්වෙන අකුර සහ ගතකුරු නොමැතිව පණකුරු ලිවීමේදී භාවිතා කරන "අලිෆු" නමින් හැඳින්වෙන විශේෂ අකුරකින් සමන්විතයි.

1950 සිට "ණ​" අකුර හෙවත් "ණවියනි" තාන හෝඩියෙන් ඉවත් කර තියෙනවා. ඒත් සමහර අවස්ථා වලදී ඒක තාන හෝඩිය ලිවීමේදී ඇතුලත් කෙරෙනවා.

බොහෝ තාන අකුරු සඳහා ඉංග්‍රීසි අකුරක් (හෝ අකුරු දෙකක සංයෝජනයක්) නියම කරල තියෙනවා. ඒ දිවෙහි වචන ඉංග්‍රීසි හෝඩිය භාවිතයෙන් ලිවීම සඳහා.

තාන හෝඩිය​

තාන අකුරු වල ප්‍රභවය​


තාන අකුරු මුල් දිවෙහි බසේ වගේම අරාබි බසේ ශබ්ධත් උසුරුවන්න පුළුවන් ආකාරයටයි නිර්මානය කරල තියෙන්නෙ. මේ නිසා අපිට ප්‍රධාන වශයෙන් තාන අකුරු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ දිවෙහි ශබ්ධ සහ අරාබි ශබ්ධ විදිහට​.

දිවෙහි ශබ්ධ ගණයට වැටෙන්නේ තාන හෝඩියේ පළවෙනි අකුරු 24. ඒ "හා" සිට "චවියනි" දක්වා තියෙන අකුරු.

මේ අකුරු අතරින් ෆාෆු සහ ශවියනි සුවිශේෂයි. ඒ එම ශබ්ධ දෙක ඉන්දු - ආර්‍ය භාෂා වල නොමැති ශබ්ධ වීම නිසා. ෆාෆු උසුරුවන්නේ ඉංග්‍රීසි F අකුරට සමානව​. ශවියනි උසුරුවන්නේ ශ අකුරට ර ශබ්ධයකුත් මුසු කරලා.

ඒ වගේම zසවියනි සහ ජවියනි දිවෙහි ශබ්ධ ලෙස ගැනුනත්, ඒවා ඇත්තෙන්ම පර්සියානු බසින් ණයට ගත් ශබ්ධ​.

අරාබි ශබ්ධ විදිහට ගැනෙන්නේ තාන හෝඩියේ ඊළඟ අකුරු 14. ඒ කියන්නෙ ට්ටා සිට හ්වාවු දක්වා තියෙන අකුරු. මේ අකුරු ශබ්ධ කරන ආකාරය සිංහල බස හුරු අයෙක්ට ආගන්තුකයි. ඒ වගේම දිවෙහි බසෙත් මේවා යෙදෙන්නෙ කලාතුරකින්. විශේෂයෙන් හ්වාවු, ට්ටා, තාලු වගේ අකුරු යෙදෙන්නේම නැති තරම්.

මේ අකුරු උසුරුවන ආකාරය ගැන දිවෙහි කතා කිරීමේදී එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒවා නිවැරදි අරාබි උච්චාරනයෙන්ම කරන්න ඕනෙ කියල බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඊට ළඟින් යන දිවෙහි උච්චාරනයක් කිරීම ප්‍රමානවත් වෙනවා. උදාහරණයකට දාදු උසුරුවන්නේ "ත්ද​" කියල වුනත්, ඒක "ද​" කියල කිව්වත් ලොකු වැරැද්දක් නෑ.

මේ අකුරු භාවිතා කරන්නේ අරාබි වචන සහ යෙදුම් ලිවීමට​. ඒ නිසා මේ අකුරු ලිඛිත භාෂාවට බොහෝ දුරට සීමා වෙනවා.