Monday, February 18, 2019

ඇෆ්‍රිකානර් වරුන් ගේ ඉතිහාසය - 2 (මහා සංක්‍රමනය​)



1806 දී බ්‍රිතාන්‍යය අනසකට පත් වන කේප් ජනපදය 1814 දී නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍යය අතර ඇති වන ගිවිසුමකින් නිල වශයෙන්ම බ්‍රිතාන්‍යයට පවරා දෙනවා.

බ්‍රිතාන්‍යයට ලැබෙන කේප් ජනපදයේ ජනගහණය 75,000 ක් පමණ​. එයින් 27,000 පමණ ඇෆ්‍රිකානර් ජාතිකයන්. 30,000 පමණ කළු ජාතික සහ ආසියාතික වහලුන්. තවත් 17,000 පමණ වහලුන් නොවන ස්වදේශිකයන්.

කේප් ජනපදයේ ප්‍රධාන නගරය වුනේ කේප් ටවුන්. සියළුම ව්‍යාපාර පිහිටලා තිබුනේ වගේම සියළුම ධනවතුන් පදිංචි වෙලා හිටියේ කේප් ටවුන් නගරයේ. ජනපදය අභ්‍යන්තරයේ ජීවත් වුනේ ගොවිතැනින් දිවි ගෙවූ ඇෆ්‍රිකානර් වරු. ජනපදය අභ්‍යන්තරයට යනවිට කේප් ටවුන් හි ආණ්ඩුකාරයාගේ බලය ක්‍රමයෙන් අඩු වී ගියා.

කේප් ටවුන් නගරය ආශ්‍රිතව ජීවත් වුනු නාගරිකයන් හැඳින්වුනේ "කේප් ලන්දේසින්" (Cape Dutch) විදිහට​. අභ්‍යන්තරයේ ජීවත් වුනු ග්‍රාමීය ගොවියන් හැඳින්වුනේ "බූවර්" (Boer) යන නමින්.

ජනපදයේ උතුරු දිග "දේශසීමාව​" විදිහට සැලකුනේ දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සිට බටහිර දක්වා ගලා ගිය ඔරේන්.ජ් ගඟ​. නැගෙනහිර දේශසීමාව විදිහට සැලකුනේ කේප් ජනපදයට නැගෙනහිරින් වාසය කළ "කෝසා" (Xhosa) ගෝත්‍රිකයන් ගේ ජනාවාස​. කෝසා ගෝත්‍රිකයන් යුරෝපීයන් තමාගේ ජනාවාස කරා ව්‍යාප්ත වීමට තදින්ම විරෝධය පෑ අතර ඔවුන් සහ ජනපදිකයන් අතර නිරන්තර යුධ ගැටුම් ඇතිවුනා.


බ්‍රිතාන්‍යය කේප් ජනපදය​ (British Cape Colony)


බ්‍රිතාන්‍යය කේප් ජනපදයේ කොඩිය සහ ලාංඡනය​

බ්‍රිතාන්‍යය කේප් ජනපදය 1814 ඉඳල පාලනය වෙන්නේ ආණ්ඩුකාරයෙක් යටතේ බ්‍රිතාන්‍යය කිරීටයේ යටත් විජිතයක් විදිහට​. බ්‍රිතාන්‍යයන් මුලදී කේප් ජනපදය වැදගත් කොට නොසැලකූ නමුත් වසර කීපයකට පසු ඔවුන් එහි බ්‍රිතාන්‍යය වැසියන් පදිංචි කිරීම පටන් ගන්නවා. ඒ අනුව 1820 දී බ්‍රිතාන්‍යය ජාතිකයන් 4000 ක් කේප් ජනපදයේ පදිංචියට එනවා.

බ්‍රිතාන්‍යය රජය මුලදී බලාපොරොතු වෙන්නේ මේ අය රට අභ්‍යන්තරයේ ගොවිතැන් කටයුතු වල නිරත වෙයි කියල​. නමුත් ඔවුන් වැඩි දෙනා වෙරළබඩ නගර වල පදිංචි වෙලා වෙළඳාමේ නිරත වෙනවා. මේ අය පදිංචි වෙන නගර අතරින් කේප් ටවුන් නගරයට නැගෙනහිරින් පිහිටි පෝට් එළිසබෙත් නගරය ප්‍රධානයි.

බ්‍රිතාන්‍යයන් කේප් ජනපදයේ වැදගත්  වෙනස්කම් රැසක් සිදු කරනවා. මේ වෙනස් කම් ඇෆ්‍රිකානර් ජාතිකයන් ගේ දැඩි අප්‍රසාදයට හේතු වෙනවා. ජනපදයේ නිල භාෂාව ඉංග්‍රීසි කිරීම ඒ අතරින් ප්‍රධානයි. අති බහුතරයක් ඇෆ්‍රිකානර් ජාතිකයන් ඉංග්‍රීසි කතා නොකළ නිසා මේ නීතිය ඔවුන් දැඩි ලෙස පිළිකෙව් කරනවා.

බ්‍රිතාන්‍යයන් සිදු කරන තවත් වෙනසක් වෙන්නේ ස්වදේශිකයන්ට​, මිශ්‍ර වාර්ගිකයන්ට සහ ආසියාතිකයන්ට වැඩි අයිතිවාසිකම් ලබා දීම​. මෙයත් ඇෆ්‍රිකානර් ජාතිකයන් ගේ දැඩි විරෝධයට හේතු වෙනවා. විශේෂයෙන්ම මිශ්‍ර වාර්ගිකයන් යුධ සේවයට බඳවා ගැනීම සහ ඔවුන්ට තුවක්කු ලබා දීම ඇෆ්‍රිකානර් වරුන් දකින්නේ දැඩි සැකයෙන්.

මේ නිසා ඇෆ්‍රිකානර් ජාතිකයන් සහ බ්‍රිතාන්‍යය රජය අතර නොසන්සුන් කම් වර්ධනය වෙනවා. මේ නොසන්සුන් කම් කීප වරක් අවි ගත් ගැටුම් දක්වා දිවෙනවා.

මේ නැගී එන අප්‍රසාදය පුපුරා යන්නේ 1834 දී බ්‍රිතාන්‍යයන් විසින් කේප් ජනපදයේ වහල් සේවය තහනම් කිරීමෙන්. විශේෂයෙන්ම බූවර් වරු තමාගේ ගොවිපළ වල සේවය සඳහා විශාල වශයෙන් වහල් ශ්‍රමය යොදා ගත් නිසා මේක ඔවුන්ට දැඩි පහරක් වෙනවා.

මේ නිසා බූවර් වරු විශාල වශයෙන් කේප් ජනපදය අත් හැර දමා රට අභ්‍යන්තරයට සංක්‍රමනය වෙන්න පටන් ගන්නවා. ඔවුන් ගේ අරමුණ වෙන්නේ ඔරේන්.ජ් ගඟෙන් එපිට බ්‍රිතාන්‍යය පාලනයට ලක් නොවූ ප්‍රදේශ වල තමාගේම නිදහස් ජනාවාස පිහිටුවා ගැනීම​.

මේ සංක්‍රමනය හඳුන්වන්නේ "මහා සංක්‍රමනය​" (Great Trek) කියලා.


මහා සංක්‍රමනය



මහා සංක්‍රමනයට ප්‍රධාන වශයෙන් සහභාගී වෙන්නේ ග්‍රාමීය බූවර් වරු. නාගරික දිවි පෙවෙතකට හුරු වුනු කේප් ලන්දේසි ප්‍රජාව මහා සංක්‍රමනයට හවුන් වෙන්නේ ඉතා සුළු වශයෙන්. මහා සංක්‍රනයට සහභාගී වුනු ඇෆ්‍රිකානර් වරු ඇෆ්‍රිකාන්ස් භාෂාවෙන් හැඳින්වුනේ "පුරෝගාමියෝ" යන අරුත ඇති "වෝර්ත්ට්‍රෙකර්ස්" (Voortrekkers) යන නමින්. ඔවුන් තද නිල් පාට පසුබිමක රතු පාට කතිරයක් සහිත කොඩියක් තමාගේ කොඩිය වශයෙන් භාවිතා කලා.


තමා සතු සියළු ධනය කැන්වස් රෙදි වලින් වැසූ කරත්ත වල පටවා ගෙන​, තමාගේ හරක් රංචුත් දක්කා ගෙන නොදන්නා රටක නොදන්නා බිමක් හරහා සැතපුම් දහස් ගණන් ස්වදේශිකයන් ගේ ප්‍රහාර මැද්දේ ගෙවමින් සිදු කරන මේ මහා සංක්‍රමනය අතිශය දුෂ්කර වගේම වීරත්වයෙන් පිරුණු චාරිකාවක්.

ඒ වගේම මේ කාලයේදීම දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කෙළවරේ සුලූ ගෝත්‍රිකයන් තමාගේ අධිරාජ්‍යය ගොඩනංවමින් හිටියා. සුලූ වරුන් ගේ ආක්‍රමන නිසා ස්වදේශික ගෝත්‍ර ගණනාවක් බටහිර දෙසට පළා ගියා. බටහිර දෙසට පලා යන ස්වදේශික ගෝත්‍ර සහ නැගෙනහිරට සංක්‍රමනය වෙන ඇෆ්‍රිකානර් වරු අතර නිරන්තර ගැටුම් ඇති වුනා. මේ කාලය සැලකෙන්නේ දකුණු අප්‍රිකානු ඉතිහාසයේ ඉතාමත් ප්‍රචන්ඩ වගේම වැදගත් කාල පරිච්ඡේදයක් විදිහට​.




පළමු ගවේෂනය - 1834


මුලින්ම ඔරේන්.ජ් ගඟෙන් එපිට පිහිට ප්‍රදේශ වලට චාරිකාවක නිරත වෙන්නේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් වුනු ඇන්ඩෘ ස්මිත් සහ බූවර් ගොවියෙක් වුනු විලියම් බර්ග්. ඒ 1832 දී නතාල් ප්‍රදේශයේ. නැවත කේප් ජනපදයට එන ඔවුන් දෙදෙනා නතාල් ප්‍රදේශය ජනාවාසයක් පිහිටුවීමට සුදුසු බව කියමින් එහි පදිංචි වීමට කැමති පිරිසක් එක් රැස් කරන්න පටන් ගන්නවා. ඔවුන් ගේ මේ ව්‍යායාමය කේප් ටවුන් නගරයෙන් ඈත කේප් ජනප්දයේ දේශසීමාවේ පිහිටි ග්‍රැහැම්ස්ටවුන්, ඔයිටෙන්හේග් සහ ග්‍රාෆ්-රෙයිනෙට් වැනි කුඩා නගර වල ජනප්‍රිය වෙනවා.

ඒ අනුව 1834 දී ග්‍රැහැම්ස්ටවුන් නගරයේ ඇෆ්‍රිකාන්ස් ජාතිකයන් නතාල් ප්‍රදේශයේ ජනාවාස පිහිටුවීමට සුදුසු - නුසුදුසු බව පරික්‍ෂා කිරීම සඳහා ගවේෂන කණ්ඩායමක් යවන්න තීරණය කරනවා. මේ පිරිසේ නායකත්වය දරන්නෙ පෙටෲස් උයිස්. ඔහුගේ සහයට 17 හැවිරිදි තරුණයෙක් වුනු යාන් බන්ට්ජෙස් එක් වෙනවා.


පිරිමි 20 ක්, එක් කාන්තාවක් සහ වහලුන් ගෙන් සමන්විත වුනු මේ කුඩා ගවේෂක කණ්ඩායම 1834 සැප්තැම්බර් මාසයේදී ග්‍රහැම්ස්ටවුන් නගරයෙන් පිටත් වෙන්නේ නතාල් බලා යෑමට​. වැඩි කරදරයකින් තොරව ඔවුන් 1835 පෙබරවාරි මාසයේදී පෝට් නතාල් (වර්තමාන ඩර්බන්) වෙළඳ තොටට ළඟා වෙනවා. එහිදී ඔවුන්ට ඉංග්‍රීසි ජාතික ඇත් දළ වෙළඳුන් සහ දඩයක්කරුවන් පිරිසක් මුණ ගැසෙනවා. සුලූ රජතුමා හමුවී ඔහුගෙන් ඉඩම් මිලදී ගන්න උත්සහ කළත් නරක කාලගුණය නිසා ඔවුන්ට එය ඉටු කරගන්න අපහසු වෙනවා.

ඔවුන් නැවත ග්‍රැහැම්ස්ටවුන් නගරයට එන්නේ 1835 ජූනි මාසයේදී. ඒ විශාල ඇත් දළ තොගයකුත් එක්ක​. ඔවුන් ගේ ගමනේ සාර්ථකත්වයත් එක්ක මහා සංක්‍රනයට අඩිතාලම වැටෙනවා.


පළමු සංක්‍රමනික​ කණ්ඩායම​

පළමු සංක්‍රමනික කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලුයිස් ට්‍රෙගාර්ඩ්. පවුල් 9 කින් සමන්විත වුනු මේ කණ්ඩායමේ ඉලක්කය වුනේ ලිම්පොපෝ ගඟ අසබඩ ප්‍රදේශය (වර්තමාන මොසැම්බික් රාජ්‍යයේ දකුණු කෙළවර​). 1835 සැප්තැම්බර් මාසයේදී පිටත් වන ඔවුන් වාල් ගඟ තරණය කරමින් උතුරටම ගමන් කරනවා.

ලුයිස් ට්‍රෙගාර්ඩ්
නොයෙක් දුෂ්කරතා වලට මුහුණ දෙමින් 1838 අප්‍රේල් මාසයේදී දෙලගෝවා බොක්ක වෙත ළඟා වෙන්න ඔවුන් සමත් වෙනවා. එතැන පෘතුගීසින් ගේ කුඩා වරායක් තියෙනවා. මේ වන විට පිරිස 52 ගෙන් සමන්විත වෙනවා. පෘතුගීසින් ගෙන් ඔවුන්ට සුහද පිළිගැනීමක් ලැබුනත්, දෙලගෝවා බොක්කට පැමිණ දින පහකට පසුව පිරිස අතර මැලේරියා රෝගය පැතිර යනවා.

මේ නිසා ට්‍රෙගාර්ඩ් පෝට් නතාල් නගරයට සේවකයෙක් පිටත් කර හරින්නේ නැවකින් ඇවිත් ඔවුන්ව බේරා ගන්නා ලෙස පණිවුඩයක් සමඟ​. නමුත් නැව පැමිණෙන විට ට්‍රෙගාර්ඩ් ඇතුළු බොහෝ දෙනා මැලේරියාවෙන් මිය ගිහින්. ඉතුරුවී සිටින 26 දෙනෙක් දෙලගෝවා බොක්කේ ජනාවාසය අත හැරලා ආපසු යනවා.


දෙවන සංක්‍රමනික කණ්ඩායම​


දෙවන සංක්‍රමනික කණ්ඩායම සමන්විත වෙන්නේ හාන්ස් වැන් රෙන්ස්බර්ග් ගේ නායකත්වයෙන් යුතු 49 දෙනෙක් ගෙන්. ඔවුන් ගමනේ මුල කොටස යන්නේ ට්‍රෙගාර්ඩ් ගේ කණ්ඩායම සමඟ​. නමුත් 1836 අප්‍රේල් මාසයේදී ඔවුන් ට්‍රෙගාර්ඩ් ගේ කණ්ඩායමෙන් වෙන් වෙලා ලිම්පොපෝ ගඟ ඔස්සේ ගමන් කරනවා.

1836 ජූලි මාසයේදී ඉන්හම්බානේ හිදී ඔවුන් සුලූ ගෝත්‍රික හමුදාවක ප්‍රහාරයකට ලක් වෙනවා. රාත්‍රිය පුරාවට පවතින සටනින් කණ්ඩායමේ සියලුම දෙනා මරණයට පත් වෙනවා.


තුන්වන සංක්‍රමනික කණ්ඩායම


තුන්වන සංක්‍රමනික කණ්ඩායමේ නායකත්වය දරන්නේ හෙන්ඩ්‍රික් පොට්ගියෙටර්. ඔහුගේ කණ්ඩායමට 200 ක පමණ පිරිසක් අයත් වුනා. 1835 දෙසැම්බර් මාසයේදී පිටත්ව යන ඔවුන් ඔරේන්.ජ් සහ වාල් ගංගා තරණය කරමින් උතුරට ගමන් කරනවා.

හෙන්ඩ්‍රික් පොට්ගියෙටර්.
1836 අගෝස්තු මාසයේදී ඔවුන් න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. මේ ප්‍රහාරයෙන් ළමුන් හයදෙනෙක් ඇතුළු 14 දෙනෙක් මිය යනවා. ඔක්තෝබර් මාසයේදී 4600 ක න්ඩෙබෙලේ ගෝත්‍රික හමුදාවක් නැවතත් ඔවුන්ට පහර දෙනවා. ගෝත්‍රිකයන් 184 ක් මරා දමා ප්‍රහාරය මැඩ පවත්වන්න ඔවුන් සමත් වුනත්, න්ඩෙබෙලේ වරු ඔවුන් ගේ හරක් සියල්ලම පැහැර ගන්න සමත් වෙනවා.

මේ වන විට ඒ අසල ඉන්න ගෙරිට් මාරිට්ස් ගේ හතරවන සහ පෙටෲස් උයිස් ගේ හය වන වෝර්ත්ට්‍රෙකර් කණ්ඩායම් වල සහයත් ඇතුව පොට්ගියෙටර් මොසෙබා සහ කපයින් වල පිහිටි න්ඩෙබෙලේ ජනාවාස දෙකකට පහර දෙනවා. මේ ප්‍රහාර වලින් න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් 400 පමණ මිය යන අතර බූවර් වරු ඔවුන් ගේ හරක් 7000 ක් පමණ පැහැර ගන්නවා. මේ ප්‍රහාරයෙන් පසු න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් වර්තමාන සිම්බාබ්වේ බලා පසු බසිනවා.

නතාල් ප්‍රදේශයට යාමට වඩා ඔරේන්.ජ් සහ වාල් ගංගා අතර ප්‍රදේශයේ පදිංචි වීම සුදුසු බව තීරණය කරන පොට්ගියෙටෙර් ගේ පිරිස 1837 දී ඒ ප්‍රදේශයේ ජනාවාස කීපයක්ම ඇති කරනවා. මේවා තමයි කේප් ජනපදයට ඔබ්බෙන් ඇති කරනව පළමු ඇෆ්‍රිකානර් ජනාවාස​.


හතරවන සංක්‍රමනික කණ්ඩායම​


හතරවන සංක්‍රමනික කණ්ඩායම ගෙරිට් මාරිට්ස් ගේ නායකත්වයෙන් යුතු 700 ක පමණ පිරිසක්. ඔවුන් 1836 සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.

ගෙරිට් මාරිට්ස්
1837 දී පොට්ගියෙටර් ගේ කණ්ඩායම සමඟ එක්ව වාල් ගඟට ඔබ්බෙන් පිහිටි න්ඩෙබෙලේ වරුන් ගේ ජනාවාස වලට පහර දෙන්න සහභාගී වෙන මාරිට්ස් ගේ පිරිස න්ඩෙබෙලේ වරු පරාජය කළ පසු නතාල් බලා ගමන් අරඹනවා. 

ඔවුන් 1838 දී නතාල් අවට ඇෆ්‍රිකානර් ජනාවාස පටන් ගන්න සමත් වෙනවා.


පස්වන සංක්‍රමනික කණ්ඩායම​


පස්වන සංක්‍රමනික කණ්ඩායම 1837 පෙබරවාරි මාසයේදී පීට් රිටීෆ් ගෙ නායකත්වයෙන් පිටත් වෙනවා. ඔවුන් 100 ක පමණ පිරිසක්. ඔරේන්.ජ් ගඟ තරනය කරමින් නතාල් ප්‍රදේශයට ඇතුල් වෙන රිටීෆ් ගේ පිරිස එහි ජනාවාස ඇති කිරීම සඳහා සුලූ රජු සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට අදහස් කරනවා.

පීට් රිටීෆ්
1837 ඔක්තෝබර් මාසයේදී රිටීෆ් සුලූ රජුට ලිපියක් ලියනවා. එහිදී ඔහු බූවර් සංක්‍රමනිකයන්ට ඉඩම් පුද්ගලික අයිතියට ලබා දෙන මෙන් ඉල්ලනවා. නමුත් සුලූ සංස්කෘතිය අනුව ඉඩම් පොදු දේපලක් ලෙස සැලකූ නිසා ඔවුන් මේ ඉල්ලීම දිහා බලන්නේ සැකයෙන්. ඒ වගේම රිටීෆ් ගේ ලිපියේ න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් සමඟ ඇති වූ සටන් ගැන සඳහන් කිරීම නිසා සුලූ රජු එය සලකන්නෙ සැඟවුනු තර්ජනයක් විදිහට​.

මේ නිසා රිටීෆ් ඇතුළු පිරිස 1838 පෙබරවාරි මාසයේදී සුලූ රජු වුනු ඩින්ගානේ හමුවීමට පැමිනි විට සුලූ රජුගේ මෙහෙයවීමෙන් එල්ල වෙන හදිසි ප්‍රහාරයකින් රිටීෆ් ඇතුලු 100 දෙනෙක් මරා දැමෙනවා.

එයින් නොනැවතෙන සුලූ රණකාමීන් අසල පිහිටි බූවර් ජනාවාස කීපයකට කඩා වැදී බූවර් සංක්‍රමනිකයන් 532 ක් මරා දමනවා. මෙය හැඳින්වෙන්නේ "වීවෙන් සංහාරය​" නමින්.

වීවෙන් සංහාරය
පසු කලක ඇෆ්‍රිකානර් වරු මේ සංහාරය සිදු වූ ආසන්නයේ නගරයක් ගොඩ නංවනවා. එය නම් කරන්නේ වීවෙන් නමින්. එහි අරුත "වැළපීම​". වීවෙන් සංහාරය නිසා නතාල් ප්‍රදේශයේ බූවර් ජනාවාස බිහි වීම සෑහෙන දුරකට අඩාල වෙනවා.


හයවන සංක්‍රමනික කණ්ඩායම


හයවන සංක්‍රමනික කණ්ඩායමට නායකත්වය දෙන්නේ 1834 පළමු ගවේෂනයට නායකත්වය දුන් පෙටෲස් උයිස්. ඔහුගේ කණ්ඩායම 100 ක පමණ පිරිසකින් සමන්විතයි. ඔවුන් පිටත් වෙන්නේ 1837 අප්‍රේල් මාසයේ.

උයිස් ගේ කණ්ඩායම නතාල් ප්‍රදේශයට යන අතරමගදී ඔවුන්ට පොට්ගියෙටර් ගේ කණ්ඩායමෙන් උදව් ඉල්ලා පණිවුඩයක් ලැබෙනවා. ඒ න්ඩෙබෙලේ ගෝත්‍රිකයන්ට එරෙහිව සටන් වැදීමට​. ආපසු හැරෙන උයිස් පොට්ගියර් සමඟ එක්ව න්ඩෙබෙලේ ගෝත්‍රිකයන්ට පහර දී ඔවුන් ප්‍රදේශයෙන් පලවා හැරීමෙන් අනතුරුව ඔහු නැවතත් නතාල් බලා ගමන් අරඹනවා.

නමුත් නතාල් ප්‍රදේශයේ පදිංචි වීමේ අදහස අත් හැර දමන උයිස් ගේ කණ්ඩායම ආපසු හැරී ඔරේන්.ජ් සහ වාල් ගංගා අතර ප්‍රදේශයට පැමිණ එහි ජනාවාස ඇති කර ගන්නවා.





බූවර් - සුලූ යුද්ධය​


මේ සමයේ නතාල් ප්‍රදේශයේ බලවත්ම ස්වදේශික ගෝත්‍රය වෙන්නේ සුලූ වරු. ඔවුන් ගේ රජු වෙන්නේ ඩින්ගන්. සුලූ වරු ඇෆ්‍රිකානර් වරුන් ගේ සංක්‍රමන වලට ඉතා තදින් එරෙහි වෙනවා. ඉතාම රණකාමී ගෝත්‍රයක් වුනු සුලූ වරු සතුව අන් කිසිම ස්වදේශික ගෝත්‍රයකට නොතිබුනු තරම් සංවිධානාත්මක සහ බලවත් හමුදාවක් ඉන්නවා.


වීවන් සංහාරය බූවර් සංක්‍රමනිකයන් සලකන්නෙ සුලූ ගෝත්‍රිකයන් තමන්ට එරෙහිව කළ යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. මේ නිසා ඔවුන් සුලූ වරුන්ට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් සූදානම් කරනවා.


ඉටලෙනි සටන​


මේ ප්‍රහාරය සඳහා සහභාගී වෙන්නේ පෙටෲස් උයිස් සහ හෙන්ඩ්‍රික් පොට්ගියෙටර් ගේ පිරිස්. ප්‍රහාරයේ අණදෙන නිලධාරියා ලෙස උයිස් තෝරා ගැනුනත් පොට්ගියෙටර් එයට විරුද්ධ වීම නිසා දෙදෙනාම අණදෙන නිලධාරීන් ලෙස පත් කෙරෙනවා. මේ තීරණය බූවර් වරුන් ගේ ඉරණම විසඳන එකක්.

347 දෙනෙකුගෙන් සමන්විත වන බූවර් හමුදාව 1838 අප්‍රේල් මාසයේදී සුලූ වරු සොයා ගමන් අරඹනවා. උයිස් ගේ පිරිස සහ පොට්ගියෙටර් ගේ පිරිස ගමන් කරන්නේ වෙනම කණ්ඩායම් වශයෙන්. මේ කාලයේදී බූවර් වරුන්ට සංවිධානාත්මක හමුදාවක් හිටියේ නෑ. ස්වේච්ඡාවෙන් සටන් වැදුනු බූවර් සෙබළුන් ඇෆ්‍රිකානර් බසින් හැඳින්වුනේ "කොමාන්ඩෝ" නමින්.

සුලූ වරුන් ගේ අගනුවරට යන අතරමග පිහිටි කඳුගැට දෙකකට මැදිවුනු නිම්නයකදී ඔවුන්ට 8000 ක සුලූ හමුදාවක් හමුවෙනවා. මේ හමුදාව කොටස් තුනක් වශයෙන් කඳුගැට දෙක සහ නිම්නයේ ස්ථානගත වෙලා ඉන්නවා.

පොට්ගියෙටර් ගේ පිරිස නිම්නයේ ඉන්න සුලූ රණකාමින්ට පහර දෙන අතර උයිස් තම පිරිස දකුණු පස පිහිටි කඳුගැටය මත ඉන්න සුලූ වරුන්ට එරෙහිව මෙහෙයවනවා. උයිස් ගේ කොමාන්ඩෝ වරුන් ගේ වෙඩි ප්‍රහාර වලින් දකුණු පස පිහිටි කඳුගැටය මත ඉන්න සුලූ හමුදාවේ විශාල ප්‍රමානයක් මිය යන අතර​, ඉතිරි අය පළා යනවා.

නමුත් පොට්ගියෙටර් ගේ කොමාන්ඩෝ වරු නිම්නයේ ඉන්න සුලූ වරුන්ට පළවා හරින්න අසමත් වෙනවා. මේ නිසා ඔවුන් පසු බසිනවා. පොට්ගියෙටර් ගේ කොමාන්ඩෝ වරු පසු බැසීමත් එක්කම නිම්නයේ සහ වම් පස පිහිටි කඳු ගැටය මත සිටි සුලූ රණකාමීන් උයිස් ගේ කොමාන්ඩෝ වරු මතට පසුපසින් කඩා වදිනවා.

තමා වටකරනු ලැබූ බව දකින උයිස් පොට්ගියෙටර් ගෙන් ආධාර ඉල්ලා පණිවුඩ කරුවෙක් යැවුවත්, පොට්ගියෙටර් අධාර දීම ප්‍රතික්‍ෂේප කරලා දිගටම පසු බසිනවා.

කඳු ගැටය මත ඇති වන සටනින් උයිස් සහ ඔහුගේ පුතා ඇතුළු බූවර් කොමාන්ඩෝ වරු අට දෙනෙක් මිය යනවා. අනෙක් අය සුලූ වටලෑම බිඳගෙන පසු බසිනවා. පොට්ගියෙටර් ගේ පිරිසෙන් මිය යන දෙදෙනක් ඇතුළුව මිය යන සම්පූර්න බූවර් කොමාන්ඩෝ වරු ගණන 10 ක්.

පොට්ගියෙටර් උදව් ලවා දීම ප්‍රතික්‍ෂේප කරන නිසා බූවර් වරු අතර ඔහු ගැන තිබූ ප්‍රතිරූපය බිඳ වැටෙනවා. මේ නිසා මෙතෙක් ඔරේන්.ජ් සහ වාල් ගංගා අතර ප්‍රදේශයේ පදිංචි වූ බූවර් වරු අතර ප්‍රමුඛ නායකයා ලෙස ඔහුට තිබුනු පිළිගැනීම නැතිවී යනවා. ඔහු පසුව වාල් ගඟෙන් එතෙරට සංක්‍රමනය වෙනවා.


"රුහිරු ගංගා" සටන​


ඉටලෙනි පරාජයෙන් පසු බූවර් වරු නැවතත් සංවිධානය වෙනවා. ඔවුන් ගේ නායකත්වය ගන්නේ ඇන්ඩ්‍රියස් ප්‍රිටෝරියස්. ප්‍රිටෝරියස් බූවර් කොමාන්ඩෝ වරු 60 දෙනෙක් සහ කුඩා කාලතුවක්කු දෙකක් සමඟ 1838 නොවැම්බර් මාසයේදී නතාල් ප්‍රදේශයට එනවා. එහිදී ඔහුව බූවර් හමුදාවේ අණදෙන නිලධාරියා වශයෙන් පත් කර ගැනෙනවා.

ඇන්ඩ්‍රියස් ප්‍රිටෝරියස්
1838 දෙසැම්බර් මාසයේදී ප්‍රිටෝරියස් ගේ බූවර් හමුදාව සුලූ වරුන්ට එරෙහිව ගමන් අරඹනවා. එය සමන්විත වෙන්නේ බූවර් කොමාන්ඩෝ වරු 464 ක්, ස්වදේශික මෙහෙකරුවන් 200 ක් සහ කුඩා කාලතුවක්කු දෙකකින්.

1838 දෙසැම්බර් 14 වෙනිදා ඉටලෙනි සටන සිදුවුනු තැනට නුදුරින් 20,000 පමණ දැවැන්ත සුලූ හමුදාවක් ඉන්න බව දකින ප්‍රිටෝරියස් න්කොමේ ගඟ අසල කඳවුරු ලන්න අණ දෙනවා. බූවර් වරු නොකොමේ ගං ඉවුරේ තමාගේ කරත්ත රවුමක හැඩයට සකස් කරලා, ඒ මැද කඳවුර පිහිටුවනවා.

දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රියේ සුලූ හමුදාවේ කොටසක් න්කොමේ ගඟ තරණය කරන අතර අනෙක් කොටස න්කොමේ ගඟේ මෑත ඉවුරේ ස්ථාන ගත වෙනවා. ඒ අනුව 16 වෙනිදා උදේ සුලූ හමුදාව විසින් බූවර් වරුන්ව සම්පූර්ණයෙන්ම වට කරනවා.

උදෑසනම සුලූ වරු තමන් ගේ ප්‍රහාරය අරඹනවා. ගඟ තරණය කරලා ගඟෙන් එහා ඉවුරට ගිය සුලූ හමුදාව විශාල කණ්ඩායම් වශයෙන් බූවර් වරුන් ගේ කරත්ත පෙළට පහර දෙනවා. කරත්ත වලට මුවා වී සටන් වදින බූවර් කොමාන්ඩෝ වරු තුවක්කු සහ සැහැල්ලු කාල තුවක්කු යොදාගෙන ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරනවා.



පැය දෙකක් සහ ප්‍රහාරයන් හතරකට පසු සුලූ රණකාමීන් විශාල ප්‍රමානයක් මිය ගියත්, එකදු බූවර් වරයෙක් වත් මිය ගිහින් නෑ. සුලූ වරු වෙහෙසට පත් වී ඇති බවට නිගමනය කරන ප්‍රිටෝරියස් අසු පිටින් සුලූ වරුන් අතරට කඩා වදින්න අණ දෙනවා.

බූවර් වරු අසු පිටින් පහර දෙනවිටම්ම සුලූ හමුදාව සටන අත හැර පලා යනවා. පැය තුනක පමණ කාලයක් බූවර් කොමාන්ඩෝ වරු අසු පිටින් පලායන සුලූ සෙබළුන් ලුහුබඳිමින් ඔවුන්ට පහර දෙනවා.

සටනින් සුලූ සෙබළුන් 3000 ක් පමණ මිය ගියත්, එක බූවර් වරයෙක් වත් මිය යන්නේ නෑ.

සුලූ රණකාමීන් ගේ ලෙයින් න්කොමේ ගඟ රතුපැහැ වුනු බව කියැවෙනවා. මේ නිසා බූවර් වරු න්කොමේ ගඟ "බ්ලුඩ් රිවියර්" හෙවත් "රුහිරු ගඟ​" (Blood River) ලෙස නම් කරනවා.

රුහිරු ගංගා සටනින් ජය ගන්නා බූවර් කොමාන්ඩෝ වරු සුලූ වරුන් ගේ අගනුවරට ඇතුල් වෙනවා. ඒත් ඔවුන්ට හමු වෙන්නේ සම්පූර්නයෙන්ම ගිනිබත් කර අතහැර දැමූ නගරයක්.

කොහොම නමුත් බූවර් වරුන්ට පැහැදිලි ජයක් ලැබෙන්නේ නෑ. සුලූ වරු දිගටම යුධ වදිනවා. රුහිරු ගංගා සටනින් දින 11 කට පසු උම්ෆොලොසි ගඟ අසබඩදී කෙරෙන සටනකින් බූවර් වරු පරාජය කරන්නත් ඔවුන් සමත් වෙනවා.

නමුත් 1840 දී සුලූ රජුගේ සොහොයොරා වුනු ම්පන්ඩේ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. ප්‍රිටෝරියස් මේ කැරැල්ලට සහය දෙනවා. 1840 ජනවාරි 29 වැනිදා මක්වොංක්වො හිදී ඇතිවෙන සටනකින් ම්පන්ඩේ බූවර් වරුන් ගේ සහය ඇතිව රජු ගේ හමුදාව පරාජය කරනවා. ම්පන්ඩේ සුලූ රජු ලෙස පත් වෙන අතර ඔහු බූවර් වරු සමඟ සාම ගිවිසුමක් ඇති කර ගන්නවා.

මේ ගිවිසුම අනුව ටුගෙලා ගඟ සුලූ වරු සහ බූවර් වරු අතර දේශසීමාව වශයෙන් පිළිගන්න දෙපාර්ශවයම එකඟ වෙනවා.

රුහිරු ගංගා සටනින් පසු ප්‍රිටෝරියස් බූවර් වරු අතර විශාල පිළිගැනීමකට ලක් වෙනවා. 


බූවර් ජනාවාස 


මහා සංක්‍රමනයෙන් පිහිටුවන බූවර් ජනාවාස ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ ඔරේන්.ජ් ගඟ සහ වාල් ගඟ අතර ප්‍රදේශ​, නතාල් ප්‍රදේශය සහ වාල් ගඟට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශ වශයෙන්. මේ ප්‍රදේශ වල බූවර් වරු ජනාවාස ගණනාවක් ඇති කරනවා.

1840 වන විට මේ නව ජනාවාස වල බූවර් වරු 6000 ක් පමණ පදිංචි ව ඉන්නවා. ඒ සංක්‍රමනයට පෙර කේප් ජනපදයේ යුරෝපීය ජනගහණයෙන් 10% ක්. ජනාවාස ක්‍රමයෙන් සාර්ථකව වන විට කේප් ජනපදයේ සිටි බූවර් වරු ඒවායේ පදිංචියට යාම නිසා මේ ජනාවාස සීග්‍රයෙන් වර්ධනය වෙනවා.

ජනාවාස වල ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙද්දී බූවර් වරු ඒවා විධිමත් රාජ්‍යයන් විදිහට සංවිධානය කරනවා. මේ රාජ්‍යයන් හඳුන්වන්නේ "බූවර් ජනරජ​" (Boer Republics) විදිහට​.

1 comment:

  1. ටිකක් වැඩියෙන් කියවල තියන සබ්ජෙක්ට් එකක්. Wilbur Smith සහ Alan Scholefield ගෙන් තමයි මුලින්ම ඉගන ගත්තෙ. ඊට පස්සෙ non fiction history කියෙව්වා

    ReplyDelete