Wednesday, February 11, 2015

ශ්‍රී ලංකාවේ පළාත් බෙදීම් - අළුත් යෝජනාවක්



ත්‍රි සිංහලය (රුහුණු-මායා-පිහිටි)

 ශ්‍රී ලංකාවේ මුල්ම පළාත් බෙදීම අපට හමුවන්නේ එළාර රජුගේ යුගයේදීය​. එකළ ලංකාව ත්‍රි සිංහලය හෙවත් රුහුණු-මායා-පිහිටි නමින් කොටස් තුනකට බෙදා තිබූ බව වංශ කතාවල දැක්වේ.

ඉන්පසු විවිධ අවස්ථා වලදී ලංකාවේ විවිධ ආකාරයේ පළාත් බෙදීම් අපට හමුවේ.

මෑත ඉතිහාසයේ පළමු පළාත් බෙදීම වාර්තා වන්නේ 1833 දීය​. එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පළාත් පහකට (උතුරු, දකුණු, නැගනහිර, බටහිර සහ මධ්‍යයම ලෙස​) බෙදන ලදී. මේ බෙදීම කිසිදු පදනමකින් තොරව සිදු කෙරුණු අතර එය හුදෙක් සිතියමක් මත පැන්සලයකින් ඉරි ඇඳීමක් පමණක් විය​. මේ බෙදීමෙන් බලාපොරොත්තු වුන මූලික කරුණ නම් පැරණි කන්ද උඩ රට රාජධානියට අයත්ව තිබූ ප්‍රදේශ පහතරට ප්‍රදේශ සමඟ එක් කොට, එමඟින් කන්ද උඩරට රාජධානිය කැබැලි වලට කඩා දැමීමයි.


බ්‍රිතාන්‍යයන් ගේ 1833 පළාත් බෙදීම​


ඉන්පසු 1845 දී වයඹ පළාතත්, 1873 දී උතුරු මැද පළාතත්, 1886 දී ඌව පළාතත්, 1889 දී සබරගමුව පළාතත් වශයෙන් නව පළාත් 4 ක් ඇති කරන ලදී.

මේ පළාත් තවදුරටත් දිස්ත්‍රික්ක 25කට බෙදා වෙන් කර ඇත​.

මේ අනුව අද අපි දකින පළාත් බෙදීම 1900 වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරන ලද්දකි.

වර්තමාන පළාත් සහ දිස්ත්‍රික්ක බෙදීම්


නව පළාත් බෙදීමේ යෝජනාව​

මේ බ්‍රිතාන්‍යයන් විසින් අප මත පටවන ලද ක්‍රමය වෙනුවට නව, වඩාත් පදනමක් සහිත පළාත් බෙදීමේ ක්‍රමයකට යෝජනාවකි මේ.


මෙහිදී ශ්‍රී ලංකාව "රට​" නමින් හැඳින්වෙන පළාත් 7 කට බෙදා ඇත​. ඒ එක් එක් "රට" දිස්ත්‍රික්ක 2ක්, 3ක් හෝ 4ක් වශයෙන් අනු බෙදීම් වලට ලක් කොට ඇත​. ඊට අමතරව කොළඹ නගරය ප්‍රදේශය වෙනම ඒකකයක් වශයෙන් සලකා ඇත​.

මේ පළාත් බෙදීමේදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ඇත​.

1. මෙම බෙදීමේ දී කුඩාම ඒකකය ලෙස සලකා ඇත්තේ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයි.

2. භූගෝලීය සහ දේශගුණික සන්තතික බව
මෙය සැලකිල්ලට ගෙන ඇති ප්‍රධානම කරුණයි. එකම දේශගුණික සහ භූ ගෝලීය ලක්‍ෂන සහිත ප්‍රදේශ හැකි තාක් දුරට එකම පළාතකට ගෙන ඇත​. මින් බලාපොරොත්තු වූයේ භූගෝලීය - දේශගුණික සාධක මත බොහෝ දුරට ඒ ඒ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත රඳා පවතින හෙයින් එකම ආකාරයේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත සහිත ප්‍රදේශ එකම පළාතකට ගෙන ඒමයි.

3. ජනගහ​ණය
පළාතක හෝ දිස්ත්‍රික්කයක ජනගණය ඉතා කුඩා හෝ ඉතා විශාල නොවන ලෙස බෙදීම් සිදු කර ඇත​. එක් පළාතක් තුල දිස්ත්‍රික්ක බෙදීමේදී හැකිතාක් දුරට සමාන ජනගහණයන් සිටින සේ දිස්ත්‍රික්ක බෙදීම් කර ඇත​.

4. විශාලත්වය​
පළාත් ඉතා කුඩා හෝ ඉතා විශාල නොවන ලෙස බෙදීම් සිදු කර ඇත​.

5. වාර්ගික බෙදීම්
සමස්ත ජාතියක් වශයෙන් අනුගත වීමට ඇති ප්‍රධානම බාධාව "වාර්ගික කුට්ටි" (Ethnic Enclaves) බිහි වීම නිසා හැකි තාක් දුරට ජනවර්ගයන් සඳහා "වාර්ගික කුට්ටි" නොලැබෙන සේ බෙදීම් කර ඇත​.

6. දැනට පවතින බෙදීම්
හැකිතාක් දුරට දැනට පවතින බෙදීම් පදනම් කර ගනිමින් නව බෙදීම් සිදු කර ඇත​.

7. පරිපාලනමය අවශ්‍යයතා
දිස්ත්‍රික්ක බෙදීම් සිදු කිරීමේදී ඒ ඒ දිස්ත්‍රික්කයට ප්‍රධාන නගර අඩු තරමින් තුනක්වත් හසු වන ආකාරයට බෙදීම් කර ඇත​.

8. සම්පත් බෙදී යාමේ සමමිතික බව​
හැකි තරම් සම්පත් සමමිතිකව බෙදී යන ලෙස පළාත් බෙදා ඇත​. උදාහරණයකට (එක් පළාතකට හැරුණු විට) සියළුම පළාත් වලට වෙරළ තීරයක් සහ වරායක් හසු වන ලෙස බෙදීම් සිදු කර ඇත​.

9. පළාත් සහ දිස්ත්‍රික්ක නම් කිරීමේදී ඓතිහාසික ප්‍රදේශ නාමයන් අනුව ඒවා නම් කර ඇත​.

 


පළාත් බෙදීම්


දිස්ත්‍රික්ක බෙදීම්




ඒ ඒ දිස්ත්‍රික්ක සහ පළාත් වල විස්තර​

1 comment:

  1. හොද අදහසක්... මේක වගකිවයිත්තෙකුට යොමු කරොත් නරකද?

    ReplyDelete