Tuesday, February 14, 2017

පරංගි මහ හටන




ලංකා ඉතිහාසයේ හිටපු අග්‍රගණ්‍ය යුධ ශිල්පියා පළවෙනි විමලධර්මසූරිය රජතුමා. මේක ටිකක් විවාදාත්මක කතාවක් වෙන්න පුළුවන්. නමුත් අඩු ගානෙ බටහිර යටත් විජිතවාදීන් ගේ ආගමනයෙන් පස්සෙ ලංකාවෙ හිටපු අංක එකේ යුධ ශිල්පියා ඔහු බව අවිවාදාත්මකයි.

බටහිර යටත් විජිතවාදීන් ගේ (පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසි) පැත්තෙන් බැලුවොත් අංක එකේ යුධ ශිල්පියා වුනේ කපිතන්-ජනරාල් දොන් ජෙරොනිමෝ ද අසවේදෝ.

වාසනාවට හෝ කරුමෙකට මේ දෙන්න සමකාලීනයෝ. 1594 අසවේදෝ ලංකාවේ කපිතන්-ජනරාල් ධූරයේ වැඩ බාර ගත්ත දවසේ ඉඳලා 1604 විමලධර්මසූරිය රජතුමා මිය යන දවස දක්වා මේ විශිෂ්ඨ යුධ ශිල්පියො දෙන්නා ලංකාව තමාගෙ යුධ පිටිය බවට පත් කරගෙන හිටියා.

මේ දෙන්නගෙ බල අරගලය ලංකාවෙ අනාගතය තීරනය කරන ප්‍රධාන සාධකයක් වුනා. උඩරට රාජ්‍යයේ සහ සිංහලයාගේ නිදහසේ අනාගතය රඳා පැවතුනේ මේ සටනේ ප්‍රතිඵලය මත​.

ඒ නිසා මේ හටන පරංගි මහ හටන කියල හැඳින්වුනාට වරදක් නෑ.

ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම සංග්‍රාමෝපායන් වලින් යුක්ත කාල පරිච්ඡේදයක් මේක​. හරියට විශිෂ්ඨ චෙස් ක්‍රීඩකයො දෙන්නෙක් ගෙ චෙස් තරගයක් වගේ.

පසුබිම​

අසවේදෝ ලංකාවෙ කපිතන්-ජනරාල් ධූරයට පත්වෙන්නෙ 1594 දෙසැම්බර් 24 වෙනිදා. ඒ වෙනකොට විමලධර්මසූරිය රජතුමා උඩරට රජ වෙලා අවුරුදු දෙකක්. උඩරට ආක්‍රමනය කරපු පෘතුගීසි හමුදාවක් සමූල ඝාතනය කරල ඔහු පෘතුගීසීන් අතරේ යම් බියජනක නමක් දිනාගෙන හිටියා.

විමලධර්මසූරිය රජතුමා
අසවේදෝ ගේ පාලනය පටන් ගන්නෙ පහතරට ප්‍රදේශයේ ඇතිවෙන සිංහල කැරළි දෙකකින්. පළවෙනි එක අකරගනේ අප්පුහාමි ගෙ. දෙවෙනි එක ඩොමින්ගෝස් කොරෙයා හෙවත් එදිරිල්ලේ රාළ ගේ. අකරගනේ අප්පුහාමි ගෙ කැරැල්ල එතරම් දරුණු එකක් නොවුනත්, එදිරිල්ලේ රාළ ගේ කැරැල්ල කොයිතරම් දරුණු වුනාද කියනව නම්, පෘතුගීසීන් කොළඹ අතහැර දැමීම ගැන පවා සලකලා බැලුව කියවෙනවා. ඇත්තෙන්ම මේ කැරැල්ලට ලංකා ඉතිහාසයේ අඩු තැනක් ලැබීම කණගාටුදායකයි.

කොහොම වුනත් 1596 වෙද්දි මේ කැරලි දෙකම මැඩපවත්වන්න අසවේදෝ සමත් වෙනවා.

මේ කාලයේදී හත් කෝරළය (කුරුණෑගල ප්‍රදේශය​) සහ හතර කෝරළය (කෑගල්ල) ප්‍රදේශය) තිබ්බෙ උඩරට සහ ඍතුගීසීන් අතර දෝලනය වෙමින්. මේ ප්‍රදේශවල වැසියන් ගෙ කැමැත්ත තිබුනේ උඩරට සිංහල රජතුමාට. නමුත් උඩරට හමුදාවට මේ ප්‍රදේශ වල ස්ථිර බලයක් තිබුනේ නෑ. ඒ නිසා පෘතුගීසින් බලවත් වෙද්දි මේ ප්‍රදේශ ඔවුන්ටත්, පෘතුගීසීන් දුබල වෙද්දි මේ ප්‍රදේශ උඩරටටත් නැඹුරු වුනා.

අසවේදෝ මේ සෙල්ලමට කැමති වුනේ නෑ. ඔහු වටහා ගන්නවා ලංකාවෙ පෘතුගීසි පාලනය පවතින්න නම් හතර කෝරළය සහ හත් කෝරළය ස්ථිර ලෙස ඔවුන් යටතට පත්වෙන්න ඕනෙ කියල​.

කපිතන්-ජනරාල් දොන් ජෙරොනිමෝ ද අසවේදෝ


පරංගි මහ හටන ඇරඹෙන්නෙ එතනින්.

පළවෙනි අදියර

අසවේදෝ මුළු ලංකාවම යටත් කරගන්න හදනව මහා සැලසුමක්. ඒකෙ අඩිතාලම වෙන්නෙ හත් කෝරළය සහ හතර කෝරළය යටත් කිරීම​. පරංගි මහ හටනෙ පළවෙනි අදියර වෙන්නෙ ඒක​.

අසවේදෝ ගෙ සැලසුම වෙන්නෙ හතර කෝරළය සහ හත් කෝරළය පුරා තැන තැන මුරපොළවල් ඉඳි කිරීම සහ කැරලිකාර ගම්මාන වලට මේ මුර පොළවල් මගින් දැඩි දඬුවම් ලබාදීම​. අසවේදෝ ඔහුගේ මුර පොළවල් තැනින් තැන ඉඳි කරනවා. මේ මුර පොළ වල ඔහු පෘතුගීසි සහ ලැස්කොරින් බල ඇණි රඳවලා එමගින් දැඩි මර්ධනයක් දියත් කරනවා.


1594 දී ලංකාව​
විමලධර්මසූරිය රජතුමා ඉතා නිවැරදිව අසවේදෝ ගේ සැලැස්ම වටහා ගන්නවා. ඔහු තේරුම් ගන්නවා යටත් කළ පහතරටක් කියන්නෙ උඩරට ආක්‍රමනයේ අඩිතාලම කියලා. ඒ නිසා ඔහු ඊට කලින් පහතරට ආක්‍රමනය කරනවා.

විමලධර්මසූරිය රජතුමා ගේ උපාය වෙන්නෙ ජංගම යුද්ධයක්. උඩරට හමුදා සැරින් සැරේ විවිධ ප්‍රදේශ වලට පහර දෙනවා. පෘතුගීසි හමුදාව ඔවුන් හඹා එනකොට උඩරැටියෝ පැනල යනවා. නැවතත් වෙනත් තැනකට පහර දෙනවා. මේ ආකාරයට ඌව, සබරගමුව​, මාතර​, හත් කෝරළේ, හතර කෝරළේ යනාදී හැම ප්‍රදේශයම යුධ පිටියක් බවට පත් වෙනවා.

අන්තිමේ දී පෘතුගීසීන් හති වැටෙනවා. උඩරැටියා කියන්නෙ අල්ලගන්න බැරි ප්‍රතිවාදියෙක් කියල අසවේදො වටහා ගන්නවා. ඔහු තේරුම් ගන්නවා ඔහුගේ මුර පොළ පිහිටුවීමේ උපක්‍රමය අසාර්ථක වූ බවත්, පළවෙනි රවුමේ ජය විමලධර්මසූරිය රජතුමාට ලැබුණ බවත්.

දෙවෙනි අදියර

නමුත් අසවේදෝ කියන්නෙ "එක උපායේ අශ්වයෙක්" නෙවෙයි. ඔහු තමාට වැරදුන තැන හදාගෙන වෙනත් උපක්‍රමයක් යොදනවා.

පෘතුගීසින්ට තිබ්බ ලොකුම අවාසිය තමයි පිරිස් බලය හීන වීම​. මේ කාලය වෙද්දි අසවේදෝ යටතේ හිටපු සම්පූර්ණ පෘතුගීසි සොල්දාදුවන් ගණන 900. මේ පිරිස මුරපොළ ගණනාවක් අතරේ බෙදා හැරීමෙන් උඩරැටියන්ට සංඛ්‍යාත්මක වාසියක් අත් වුනා.

දෙවෙනි අවාසිය පෘතුගීසින් ගෙ මූලස්ථානය වුන කොලඹ සටන් පැවතුන ප්‍රදේශ වලින් දුර බැහැර පැවතීම​.

තුන්වෙනි අවාසිය උඩරැටියන් නැවත කඳුකරයට පළා ගිය විට ඔවුන් ලුහුබැඳ යාමට නොහැකි වීම​.

අසවේදෝ මේ අවාසි නැති කරගන්න හදනවා ඉතාමත් නිර්භීත සහ අවදානම් සහගත සැලසුමක්.

ඒකෙ පළවෙනි අදියර තමයි ඔහුගේ යුධ මූලස්ථානය කොළඹින් මැණික්කඩවරට ගෙන ඒම​. මැණික්කඩවර තියෙන්නෙ වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ. මුහුදෙන් බොහොම ඈත​. වටලා පහරදීමකට ලක් වුනොත් කොළඹදි වගේ ගෝවෙන් මුහුදු මාර්ගය ඔස්සේ ආධාර ගන්න බෑ. නමුත් අසවේදෝ ඒ අවදානම අරගනෙ මැණික්කඩවර දැවැන්ත බලකොටුවක් හදනවා. 

මැණික්කඩවර කොටුව​

මැණික්කඩවර ඔහුගේ මූලස්ථානය පිහිටවූවාට පස්සෙ අසවේදෝ ඊළඟ පියරව තියනවා. උඩරැටියා ලුහු බඳින්න බැරි නිසා ඔහු කරන්නෙ උඩරැටියා කඳුකරයෙන් පහතට බහින එක වැළැක්වීම​.

ඔහු හඳුනගන්නවා උඩරට හමුදාව පහතරටට එන ප්‍රධාන මාර්ග තුනක්. බලන දුර්ගය​, ගලගෙදර දුර්ගය සහ ඉදල්ගස්හින්න දුර්ගය​. ඊළඟට ඔහු මේ මාර්ග අවහිර වන විදිහට බලකොටු හදනවා. මේවා කළින් හදපු මුරපොළ වලට වඩා බොහොම ශක්තිමත්ව හදපු ස්ථිර ඉඳි කිරීම්.

බලන දුර්ගය අවහිර වන විදිහට අට්ටාපිටිය​, ඇත්ගාලේතොට​, දමුණුගස්හින්න සහ හතළිස්පව්ව යන තැන් වලත්, ගලගෙදර දුර්ගය අවහිර වෙන විදිහට අලව්ව සහ මොට්ටප්පුලිය යන තැන් වලත්, ඉදල්ගස්හින්න දුර්ගය අවහිර වෙන විදිහට බටුගෙදරත් බලකොටි හතක් ඉඳි කෙරෙනවා.

විමලධර්මසූරිය රජතුමා අසවේදෝ ගේ උපක්‍රමය කලින්ම වටහා ගන්නවා. ඔහු මේ බලකොටු ඉඳිකිරීමේ කර්මාන්තය අවහිර කරන්න පුළුවන් හැම ප්‍රයත්නයම ගන්නවා. පෘතුගීසින් බලකොටු හදන්නෙ උඩරැටියන් ගේ ප්‍රහාර මැද​.

නමුත් පෘතුගීසි හමුදාව කලින් වගේ කුඩා කොටස් වලට බෙදිල නැති නිසා ඔවුන් ගේ ප්‍රධාන අවාසිය මෙවර නැති වෙනවා. ඒ නිසා කොයිතරම් දරුණු ප්‍රහාරයන් එල්ල කරත් බලකොටු හැදෙන එක නවත්වන්න උඩරැටියන්ට බැරි වෙනවා. අසවේදෝ සාර්ථකව විමලධර්මසූරිය රජතුමා ව කඳුකරයේ හිර කරනවා.

පෘතුගීසි යුධ හිස්වැස්මක්

නමුත් විමලධර්මසූරිය රජතුමාත් මෝඩයෙක් නෙවෙයි. ඔහු තේරුම් ගන්නවා දෙවෙනි රවුමේ ජය අසවේදෝට ලැබුණ බව​. තවදුරටත් පෘතුගීසින් ගෙ ශක්තිමත් බලකොටු වලට පහර දීල තමාගේ හමුදාව විනාශ කරගන්නෙ නැතුව ඔහු වෙනත් උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ ඔහුත් බලකොටු ඉඳි කිරීමෙන්.

විමලධර්මසූරිය රජතුමා අනුමාන කරනවා අසවේදෝ උඩරට ආක්‍රමනය කරොත් එන්නෙ බලන දුර්ගය හරහා කියල​. ඒ තමයි මහනුවරට තියෙන කෙටිම පාර​. ඒ නිසා ඔහු බලන දුර්ගයේ ආරක්‍ෂක උපක්‍රම තර කරනවා.

ඒ අනුව බලන සහ ඉහළ කෝට්ටේ යන ස්ථාන වල බලකොටු දෙකකුත්, බුද්ධස්සගොඩ ඉදිරි ආරක්‍ෂක මුරපොළකුත් හදනවා. නමුත් ලොකුම සහ ශක්තිමත්ම කොටුව හදන්නෙ ගනේතැන්නෙ. ගනේතැන්න කියන්නෙ මධ්‍යම කඳුකරයේ පාමුල​. එතැනින් තමයි කඳුකරය පටන් ගන්නෙ.

ඊට අමතරව පෘතුගීසි බලකොටු වලට සමාන්තරව තවත් කුඩා බලකොටු පෙළකුත් හැදෙනවා.

කොහොම නමුත් විමලධර්මසූරිය රජතුමා සහ උඩරට හමුදාව කඳු කරයේ කොටු වෙනවා. දෙවෙනි අදියරේ ජය අසවේදෝ ට​.

තුන්වෙනි අදියර

උඩරට හමුදාව කොටු කරාට පස්සෙ අසවේදෝ හතර කෝරළේ සහ හත් කෝරළේ යටත් කිරීම නැවත අරඹනවා. මේ සැරේ කලින් වගේ බාධා කිරීම් එන්නෙ නැති නිසා "නිදහසේ" තමාගෙ වැඩේ කරගන්න අසවේදෝ ට පුළුවන් වෙනවා.

දොන් ජෙරොනිමෝ ද අසවේදෝ කියන නම සිංහල ගැමියන් අතරේ යක්‍ෂයාට කියන තවත් නමක් විදිහට ප්‍රචලිත වෙන්නෙ මේ කාලෙ. අසවේදෝ ගෙ පෘතුගීසි හමුදාව හත් කෝරළේ සහ හතර කෝරළේ යකා නැටුව කිව්වොත් නිවැරදියි.

කැරළිකාර ගම්මාන සහමුලින්ම ගිනි බත් කෙරනවා. මිනිස්සු මරනවා. ගෑණු දූෂනය කරනවා. හරක​-බාන මරල කෑමට ගන්නවා. සමහර ගම්මාන වල පළතුරු ගහක් වත් ඉතුරු කරේ නෑ කියල ඍතුගීසි ඉතිහාසඥයන් ගෙ වාර්තාවලම කියැවෙනවා. සිංහල කිරි දරුවන් උඩ විසි කරලා හෙළි තුඩ වල ඇමිණූ බවත්, ඔවුන් මර හඬ දෙද්දි "කොහොමද කුකුළන් ගෙ හැඬලීම​?" කියා අසමින් අසවේදෝ විහිළු කරමින් උදම් ඇනූ බවත් කියැවෙනවා.

1600 දෙසැම්බරය වෙද්දි හත් කෝරළේ සහ හතර කෝරළේ ගැමියෝ මර්ධනයෙන් හෙම්බත් වෙලා. සිංහල ප්‍රධානීන් අසවේදෝ හමුවට ගිහිල්ලා නැවත කැරළි නොගසන බවට පොරොන්දු වීමෙන් යුද්ධයේ තුන් වෙනි අදියර නිමාවට පත් වෙනවා.

අසවේදෝ සාර්ථකව පහතරට යටත් කරනවා. විමලධර්මසූරිය රජතුමාට පුළුවන් වෙන්නෙ තමාගේ "කඳුකරයේ හිරගෙදරට​" වෙලා ඒ දිහා බලාගෙන ඉන්න විතරයි.

දැන් උඩරට ආක්‍රමනය කියන්නෙ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.

හතරවෙනි අදියර​

අසවේදෝ කලබල වෙන්නෙ නෑ. ඔහු පුරා අවුරුද්දක් තිස්සේ ආක්‍රමනයට සූදානම් වෙනවා. 1602 දී පෘතුගීසි හමුදාව මැණික්කඩවරෙන් මහනුවර බලා ගමන් අරඹනවා. ඔවුන් ඉදිරි ප්‍රධාන කඳවුරක් (forward base camp) හදනවා අට්ටාපිටියේ.

මෙතැනදි මතක තියාගන්න ඕනෙ කාරනය තමයි පෘතුගීසින් උඩරට ආක්‍රමනය කරපු මාර්ගය වැටිල තිබ්බෙ වර්තමාන කොළඹ​-මහනුවර මහාමාර්ගය ඔස්සේ නෙවෙයි කියල එක​. ඒක තිබ්බෙ වර්තමාන කොළඹ-මහනුවර දුම්.රිය මාර්ගය ඔස්සේ කිව්වොත් වඩා නිවැරදියි.

අට්ටාපිටිය ප්‍රධාන කඳවුරේ ඉඳල ලැස්කොරින් හමුදාවක් අළුත්නුවරට යවලා ආක්‍රමනයට කටයුතු සූදානම් කරන්න අණ දෙන ගමන්, අසවේදෝ ඔහුගේ හමුදාවේ රෝගාතුර සහ තුවාල ලැබූ සොල්දාදුවන් සියළුම දෙනා බලකොටු වල රඳවලා, සියළුම නිරෝගී සෙබළු ප්‍රධාන කඳවුරට රැස් කරගන්න අණ දෙනවා.

පෘතුගීසි හමුදාව අළුත්නුවරට ළඟා වුනාට පස්සෙ ඔවුන් ට පළවෙනි බාධකය හමු වෙන්නෙ බුද්ධස්සගොඩ ඉදිරි ආරක්‍ෂක මුරපොළෙන්. අසවේදෝ ප්‍රධාන හමුදාව එක්ක අළුත්නුවර නැවතිලා කපිතන්-මේජර් සැල්වදෝර් පෙරෙයිරා ඩා සිල්වා සහ ලැස්කොරින් නායකයෙක් වන​ සිමාඕ පිඤ්ඤෝ යටතේ බල ඇණි දෙකක් බුද්ධස්සගොඩ මුරපොළ දෙපැත්තෙන් යවනවා. මේ වටලා කරන ප්‍රහාරයෙන් මුරපොළ පෘතුගීසින් ට යටත් වෙනවා.

මේ අතරෙ විමලධර්මසූරිය රජතුමා තමාගේ ප්‍රධාන හමුදාව ගනේතැන්න බලකොටුව ආරක්‍ෂා කරන්න යොදවනවා. ගනේතැන්න බලකොටුව තුන්පැත්තකින් ගල් ප්‍රාකාර වලිනුත්, අනිත් පැත්තෙන් කඳුකරයෙනුත් වට වෙලා තිබ්බ නිසා කලින් වගේ වටලා පහර දීමක් කරන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒ වගේම පෘතුගීසින් තමාගේ බර කාලතුවක්කු මේ ආක්‍රමනය සඳහා යොදාගත්තේත් නැති නිසා ඔවුන්ට ඉතුරු වුන එකම විකල්පය වුනේ "ෆැල්කන්" නමින් හැඳින් වුන සැහැල්ලු පිත්තල කාලතුවක්කු වලින්  බලකොටුවට පහර දෙන එක​.

පෘතුගීසින් ගේ පිත්තල කාලතුවක්කු

දවස් විස්සක් පුරාවට ඍතුගීසින් ගනේතැන්න බලකොටුවට පහර දුන්නත්, බලකොටුව වැටෙන්නෙ නෑ. පෘතුගීසි හමුදාවට සෑහෙන තරම් අලාභානි සිද්ධ වෙනවා.

විසි එක් වෙනි දවසෙ, 1602 පෙබරවාරි 22 වෙනිදා ඍතුගීසින් මවිත වෙන දෙයක් සිද්ධ වෙනවා. සිංහල හමුදාව ගනේතැන්න බලකොටුව අතහැරල පසුබැහැල ගිහින්.

දැන් පෘතුගීසින්ට තියෙන්නෙ බලන දුර්ගය ඔස්සේ ඉදිරියට යන්න​. ඔවුන්ට තිබ්බ ප්‍රධාන බාධාව ඉවත් වෙලා. නමුත් අසවේදෝ කලබල වෙන්නෙ නෑ. ඔහු කල්පනා කරනවා දවස් විස්සක් තිස්සේ බිඳ නොවැටුන බලකොටුව හදිසියේම අත් හරින්න උඩරැටියන් පෙළඹුනේ ඇයි කියල​.

විමලධර්මසූරිය රජතුමා ට ඕන වෙන්නෙ දවස් විස්සක සටනකින් අබල-දුබල වුන පෘතුගීසි හමුදාව බලන දුර්ගය ඔස්සේ ඉදිරියට ගෙන්න ගන්න​. නමුත් අසවේදෝ ඒ උගුලට අහුවෙන්නෙ නෑ. ඔහු ගනේතැන්න බලකොටුවේ කඳවුරු ලාගෙන හමුදාව නැවත සංවිධානය කරනවා.

මේ සැරේ ඔහු එක් රැස් කරන්නෙ ලංකා ඉතිහාසයේ එක්‍ රැස් වුන විශාලතම පෘතුගීසි හමුදාව​. ඒකට ඔහුට ගෝවෙනුත් සහය ලැබෙනවා. ඒ හමුදාව සමන්විත වෙන්න පෘතුගීසි සොල්දාදුවන් 1100, ඉන්දියානු ක්‍රිස්තියානින් 300 සහ ලැස්කොරින් සෙබළු 12,000 කින්. නමුත් මේ හමුදාව එකතු කර ගන්න 1602 නොවැම්බර් මාසය වෙනකං කල් මරන්න අසවේදෝ ට සිද්ධ වෙනවා.

මේ අතරතුරේ තවත් අපූරු දෙයක් සිද්ධ වෙනවා. ලැස්කොරින් නායකයෙක් වන​ සිමාඕ පිඤ්ඤෝ ට විමලධර්මසූරිය රජතුමාගෙන් රහසිගත ලිපියක් ලැබෙනවා. ඒකෙන් කියැවෙන්නේ අසවේදෝට එරෙහිව කුමන්ත්‍රනය කරලා හමුදාවෙන් කොටසක් එක්ක උඩරට පිළට එකතු වෙන ලෙස කරපු යෝජනාවක්. නමුත් පිඤ්ඤෝ අසවේදෝට මේක හෙළි කරනවා. අසවේදෝ උපායක් යොදනවා රජු ගේ උගුලෙ ඔහුවම පටලවන්න​. ඔහු පිඤ්ඤෝ ට කියනවා මේ ගැන වැඩි දුර සාකච්ඡා කරන්න රහසිගත හමුවක් පවත්වන්න රජතුමාට ආරාධනා කරල පිළිතුරක් ලියන්න​. මේ රහසිගත හමුවේදී රජතුමාව මරා දාන්නත්, එතැනදි උඩරැටියන් අතර ඇතිවෙන කලබලයෙන් ප්‍රයෝජන අරගෙන මහනුවරට කඩා වදින්නත් අසවේදෝ සැලසුම් කරනවා.

සැලසුමේ විදිහටම රහසිගත හමුව සංවිධානය කෙරෙනවා. නමුත් රජතුමා මරන්න සූදානමෙන් යන පෘතුගීසි ඝාතකයන්ට රජතුමා වෙනුවට හමුවෙන්නෙ උඩරැටියන් ගේ ඝාතක කණ්ඩායමක්. පෘතුගීසි කණ්ඩායමේ සියළුම දෙනා උඩරැටියන් අතින් මරනයට පත් වෙනවා. විමලධර්මසූරිය රජතුමා ඉඳල තියෙන්නෙ අසවේදෝ ට පියවරක් ඉදිරියෙන්.

1603 ජනවාරි මාසයේදී දැවැන්ත පෘතුගීසි හමුදාව නැවතත් ගමන් අරඹනවා.

ඔවුන්ට බලන දුර්ගයේදී හමුවෙන්නෙ උඩරට හමුදාවේ සම්පූර්න යුධ ශක්තිය​. බලන සහ ඉහළ කෝට්ටේ බලකොටු දෙකට අමතරව දුර්ගය දෙපස කඳු වලත් සකස් කරපු ආරක්‍ෂක උපක්‍රම වලට මුවා වෙලා ඉඳගෙන උඩරැටියන් දුනු හී හෙල්ල කඩු වගේම අත් තුවක්කු සහ "පළඟැටියෝ" නමින් හැඳින් වුන සැහැල්ලු කාලතුවක්කු වලින් පෘතුගීසින්ට පහර දෙනවා.


සිංහලයන් ගේ සැහැල්ලු කාලතුවක්කු

පෘතුගීසින් ඉදිරියට යන්නේ හැම අඩියකටම ලේ වලින් මිල ගෙවමින්. අසවේදෝ එක සැරයක් සැල්වදෝර් පෙරෙයිරා ඩා සිල්වා යටතේ හමුදාවක් ළඟ තියෙන කඳු ගැටයකට යවනවා එතැන ඉඳන් උඩරැටියන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන්න​. නමුත් ඒක සාර්ථක වෙන්නේ නෑ. තව සැරයක් සිමාඕ පිඤ්ඤෝ යටතේ හමුදාවක් සත්තු ගමන් කරන පාරක් ඔස්සේ යවනවා උඩරැටියන් ට පසුපසින් පහර දෙන්න​. නමුත් ඔවුන්ටත් උඩරැටියන් ගේ ප්‍රහාර හමුවේ ආපහු එන්න සිදු වෙනවා.

බලන දුර්ගය​
මාසයක් තිස්සේ කෙරුන ඉතාමත් බිහිසුනු සටනකින් පස්සෙ පෘතුගීසින් බලන කොටුව පේන මානයට එනවා. ඔවුන් දින තුනක් තිස්සේ ෆැල්කන් කාලතුවක්කු වලින් බලන කොටුවට පහර දෙනවා. නමුත් ප්‍රතිඵලයක් අත්වෙන්නේ නෑ. මෙතැනින් ඉදිරියට යන ක්‍රමයක් අසවේදෝ ට පේන්නෙ නෑ.

මේ මොහොතේදී සිංහල ද්‍රෝහියෙක් පෘතුගීසින්ට රහසිගත මාර්ගයක් පෙන්නනවා බලන කොටුවට පසුපසින් පහර දෙන්න​. අසවේදෝ ට යන්තම් පොටක් පෑදෙනවා. ඔහු සැල්වදෝර් පෙරෙයිරා යටතේ හමුදාවක් යවනවා. පසුපසෙන් එල්ල වෙන ප්‍රහාරය හමුවේ සිංහලයන් බලන කොටුව අතහැරල පසු බසිනවා.

පෘතුගීසින් ඉමහත් ප්‍රීතියට පත්වෙනවා. මාසයක ඉතාමත් අසීරු සටනකට පසුව බලන කොටුව අන්තිමේදී ඔවුන් යටතේ. මෙතැන ඉඳල මහනුවරට දුර කිලෝමීටර විසිපහක් විතරයි.

බලන කොටුව​

නමුත් අසවේදෝ ආයෙත් මොහොතක් කල් මරනවා. එකපාරටම අවට කඳු වල හිටපු උඩරැටියන් අතුරුදහන් වීම ගැන ඔහුට සැකයි.

ඒ මොහොතේදී තමයි විමලධර්මසූරිය රජතුමා ගෙ යුධ ශිල්පය කියන්නෙ මොන වගේ එකක් ද කියල පෘතුගීසින්ට හරියටම වැටහෙන සිදුවීම් මාලාව පටන් ගන්නෙ.

අසවේදෝ ට පණිවුඩයක් ලැබෙනවා සිංහල හමුදාවක් තමලපිටියේ පෘතුගීසි බලකොටුවට පහර දෙනව කියල​. ඔහු වහාම සිමාඕ පිඤ්ඤෝ යටතේ ලැස්කොරින් බල​ඇණියක් තමලපිටියට පිටත් කරනවා.

පෘතුගීසි හමුදාව දෙකට බෙදුනට පස්සෙ, විමලධර්මසූරිය රජතුමා ඔහුගෙ තුරුම්පුව අදිනවා. ඉතුරු වෙලා හිටපු සියළුම ලැස්කොරින් සෙබළු කාංගර ආරච්චි මුදලි යටතේ උඩරැටියන්ට එකතු වෙනවා. රජතුමා ගේ ඔත්තු කාරයෝ විසින් දින ගණනාවක් තිස්සේ ලැස්කොරින් සෙබළු පෘතුගීසින් ගෙන් බිඳවන්න කටයුතු කරලා.

තමන්ට පාර පෙන්නපු සිංහල "ද්‍රෝහියා" විමලධර්මසූරිය රජතුමාගෙ ඔත්තු කාරයෙක් කියල අසවේදෝ ට වැටහෙන්නෙ බලන කොටුව අස්සෙ තනි වුන පෘතුගීසි හමුදාව වටකරමින් දහස් ගානක උඩරට හමුදාවක් අවට කඳු වලින් මතු වුනාට පස්සෙ.

අවුරුදු දහයකට කලින් පේඩ්‍රෝ ලෝපේස් ද සූසා ගේ හමුදාවට දන්තුරේ දි අත්වුන ඉරණම අසවේදෝ ට මැවිල පේන්න ඇති. බලන කොටුවේ මොහොතක් කල් මරන්නේ නැතුව මහනුවර බලා ගමන් ඇරඹුවා නම් ඔවුන්ටත් අත් වෙන්නෙ ඒ ඉරණමම බව සැකයක් නෑ. නමුත් අසවේදෝ ගෙ ඉව විසින් ඔවුන්ට තව එක අවස්ථාවක් ලබා දීල තියෙනවා.

තමාගේ උඩරට අල්ලන අවුරුදු නවයක මහා සැලසුම බොඳ වෙලා ඉවර බවත්, විමලධර්මසූරිය ඉතාමත් දක්‍ෂ විදිහට තමාව පරාජය කරපු බවත් අසවේදෝ තේරුම් ගත්තා. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඔහුගේ හමුදාව විනාශ නොකරගෙන ආපසු කොළඹට පැමිණිම​.

උඩරැටියන්ව රඳවා තබා ගන්න කැප්ටන් අන්තෝනියෝ ඩි පිඤ්ඤෝ යටතේ කුඩා බල ඇණියක් බලන කොටුවේ රඳවලා අසවේදෝ ප්‍රධාන හමුදාවත් එක්ක ආපහු ගනේතැන්නට පසු බසිනවා. අන්තෝනියෝ ඩි පිඤ්ඤෝ ගේ සෙබළු ඉතාමත් නිර්භීත විදිහට සටන් කරමින් හවස් වන තුරු උඩරැටියන්ව රඳවා ගෙන ඉන්නවා. ඉන් පස්සෙ ඔවුනුත් ගනේතැන්නට පසු බසිනවා.

ගනේතැන්නෙදි අසවේදෝ ට හමුවෙන්නෙ සිමාඕ පිඤ්ඤෝ ව​. මුළු පහත රටම එකම කැරැල්ලක් බව ඔහු අසවේදෝ ට කියනවා. පෘතුගීසින්ට කොළඹ බලා පසුබසින්න වෙන්නෙ කැරලි කාර ගම් බිම් මැද්දෙන්, උඩරැටියන් ගෙ ලුහුබැඳීම මධ්‍යයේ.

ගනේතැන්නෙන් අළුත්නුවරටත්, එතැනින් අට්ටාපිටියටත්, එතැතින් මැණික්කඩවරටත් ඔවුන් පසුබසිනවා. පසු බසිද්දී උඩරැටියෝ දිගින් දිගටම ඔවුන්ව ලුහු බඳිමින් පහර දෙනවා. මැණික්කඩවරට එද්දි ඔවුන් දින හතරකින් කෑම කාල නෑ.

මැණික්කඩවර මහ බලකොටුවත් අත හැරලා රුවන්වැල්ල සහ සීතාවක කරහා පෘතුගීසින් හංවැල්ලට එනවා. හංවැල්ලෙදි තමයි උඩරැටියෝ ඔවුන්ව ලුහු බැඳීම නවත්වන්නෙ.

අසවේදෝ ගේ උඩරට ආක්‍රමනය කෙලවර වෙන්නෙ ඒ වගේ.

සිතුවම : ප්‍රසන්න වීරක්කොඩි

(ප්‍රධාන මූලාශ්‍රය : Kandy Fights the Portuguese by Gaston Perera)

1 comment:

  1. පෘතුගීසි උඩරටට මෙච්චර ලන් උනා කියල දැනන් හිටියෙ නෑ. උන්ගෙ අරමුන මොකක් උනත් නොදන්න රටක ඔහොම ගේමක් ගහපු එක ගැන නම් කියල වැඩක් නෑ..

    ReplyDelete