Sunday, April 30, 2017

කොරියාව දෙකඩ වීම - 2 (උතුරු කොරියාව සහ දකුණු කොරියාව බිහි වීම​​​)


බෙදීම් උත්සන්න වීම​


1947 අග භාගය වෙද්දි කොරියාව දරුනු දේශපාලන අවුලක පැටලිලා ඉන්නෙ.

උතුරේ සෝවියට් දේශය එක්සත් කොරියාවකට සහය පළ කරන අතරම​, ජාතිකවාදීන් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. නමුත් ක්‍රමයෙන් මහජන කමිටු වල වැදගත් තනතුරු වලට කොමියුනිස්ට් වාදීන් ඇතුල් කිරීමෙන් ක්‍රමයෙන් කොමියුනිස්ට් වාදීන් ගේ බලය වැඩි කර ගන්නවා.

දකුණේ තත්වය ඊට වඩා ප්‍රචන්ඩයි. කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් දක්‍ෂිනාංශිකයන් සහ ඔවුන් ගේ ඇමරිකානු මිතුරන් එක්ක දරුණු ගැටුම් ඇති කර ගන්නවා. මේ ගැටුම් මැඩ පවත්වන්න ඇමරිකාව බලයට ගේනවා උග්‍ර කොමියුනිස්ට් විරෝධී සහ ඒකාධිපති අදහස් ඇති දේශපාලකයෙක් ව​. ඔහු තමයි සිංමාන් රී.

සිංමාන් රී

සිංමාන් රී තමයි චීනයේ පිහිටුවන පළවෙනි විකල්ප කොරියන් රජයේ ජනාධිපති වෙන්නෙ. නමුත් බලය අයුතු ලෙස පාවිච්චි කරන නිසා ඔහුව ඒ තනතුරෙන් ඉවත් කෙරෙනවා.ඔහු ඊට පස්සෙ වැඩිපුර ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. ඔහු නැවත කොරියාවට​ එන්නෙ ජපානය යටත් වීමෙන් පස්සෙ. කොරියානු ජනතාව අතර ඔහුට ලොකු පිළිගැනීමක් නෑ.

රී ගේ ප්‍රධාන දේශපාලන අරමුණක් වෙන්නෙ දකුණේ කොමියුනිස්ට් වරුන් ගේ බලය විනාශ කිරීම​. මේ සඳහා ඔහු ජාතිකවාදීන් ගේ සහය පතනවා. නමුත් බොහෝ ජාතිකවාදීන් ඔහුට සහය දෙන්නෙ නෑ. ඒ ජාතිකවාදීන් ගේ "එක කොරියාවක්" සටන් පාඨයට ඔහු අකැමති නිසා. කොමියුනිස්ට් බලය විනාශ කරන්න රී ප්‍රධාන වැඩ පිළිවෙල තුනක් අනුගමනය කරනවා.

1. පොලිසියේ බලය වැඩි කිරීම​

2. කොමියුනිස්ට් වරු සහ ඔවුන්ට සහය දෙන ජාතිකවාදීන් "බොදෝ ලීගය​" ලෙස හඳුන්වන සංවිධානයක ලියා පදිංචි කරලා ඔවුන්ට "නැවත අධ්‍යාපනය​" ලබා දීම​.

3. මිලිෂීයා කණ්ඩායම් සංවිධානය කිරීමෙන් කොමියුනිස්ට් වරුන්ට එරෙහිව දැඩි මර්ධනයක් එල්ල කිරීම​. මේ මිලීෂියා කණ්ඩායම් වල වැඩි පුර ඉන්නෙ උතුරේ කොමියුනිස්ට් වරුන් ගෙ මර්ධනය නිසා දකුණට පැනල ආපු පවුල් වල තරුණයක්. ඔවුන් කොමියුනිස්ට් වරු එක්ක දැඩි වෛරයකින් ඉන්නෙ.


මැතිවරණය​ සහ දෙකඩ වීම​


මේ අර්බුධය පුපුරා යන්නෙ 1947 නොවැම්බර් මාසෙ. ඒ එක්සත් ජාතීන් ගේ සංවිධානය කොරියාවට නිදහස ලබා දීමේ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන්.

මේ වෙද්දි උතුරු කොටසේ ජනගහණය මිලියන 9 යි. නමුත් දකුණු කොටසේ ජනගහණය මිලියන 16 ක්. ඒ නිසා යෝජිත පාර්ලිමේන්තුවේ ආසන බෙදෙන්නෙ උතුරු කොටසට 100 ක් සහ දකුණු කොටසට 200 ක් විදිහට​.

නමුත් කොමියුනිස්ට් වරු සැක කරනවා රී ගේ දැඩි මර්ධනකාරී වැඩ පිළිවෙල යටතේ ඔවුන්ට දකුණේ මැතිවරන දිනන එක සිහිනයක් වෙයි කියලා. ඒ නිසා සෝවියට් දේශය මැතිවරණයට විරුද්ධ වෙනවා. ඒත් ඇමරිකාව දකුණු කොටසේ විතරක් මැතිවරණය පවත්වන්න සූදානම් වෙනවා.

1948 පෙබරවාරි මාසෙ දි දකුණ පුරාම දැවැන්ත වැඩ වර්ජන සහ උද්ඝෝෂන රැල්ලක් ඇති වෙනවා මැතිවරණයට විරුද්ධව​. කොමියුනිස්ට් වරු සහ රී විරෝධී ජාතිකවාදීන් තමයි මේක සංවිධානය කරන්නෙ. රී මේ උද්ඝෝෂන මර්ධනය කරනවා.

1948 අප්‍රේල් මාසෙදි සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් එක්සත් කොරියාවක් වෙනුවෙන් සම්මන්ත්‍රනයක් පියොංයැං නුවර පැවැත්වෙනවා. මේ සමුළුවට මේ වෙනකොට දකුණේ ජාතිකවාදී කඳවුරේ නායකයන් වන කිම් කූ සහ කිම් ක්‍යූ-සික් සහභාගී වෙනවා. මේ නිසා දක්‍ෂිනාංශිකයන් ඔවුන් ව ද්‍රෝහීන් විදිහට නම් කරනවා. කිම් කූ 1949 දි දක්‍ෂිනාංශික අන්තවාදියෙක් විසින් වෙඩි තියල මරනවා.

කිම් කූ

1948 මැයි 10 වෙනිදා දකුණේ මැතිවරණය පැවැත්වෙනවා. ඒකෙන් කාටවත් පැහැදිලි ජයක් ලැබෙන්නෙ නෑ. නමුත් රී ට හිතවාදී පිරිස් පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගෙන රජයක් පිහිටුවනවා.

1948 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රී ජයග්‍රහනය කරලා ජනාධිපති ධූරයට පත් වෙනවා. ඒ ප්‍රකාශිත ඡන්ද වලින් 92% ලබා ගැනීමෙන්.

කොමියුනිස්ට් වරු සහ ජාතිකවාදීන් මේ මැතිවරණ දෙකම වර්ජනය කරනවා. ඒවා සාධාරන මැතිවරන නොවන බවට චෝදනා කරනවා. දකුණ පුරා නොසන්සුන්තා ඇති වෙනවා.

ඡන්දය ප්‍රකාශ කරන කොරියානුවන්
කොහොම වුනත් 1948 අගෝස්තු 15 වෙනි දා රී නව රටක් ප්‍රකාශ කරනවා. ඒ "කොරියානු ජනරජය (Republic of Korea)". එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ දකුණු කොරියාව කියලා.

දකුණු කොරියාවේ කොඩිය සහ නිල සලකුණ​

ඒකට පිළිතුරු වශයෙන් සෝවියට් අනුග්‍රහය ඇතුව උතුරේ කොමියුනිස්ට් වරු 1948 සැප්තැම්බර් 9 වෙනිදා "කොරියානු ප්‍රජාතන්‍ත්‍රවාදී මහජන ජනරජය (Democratic People's Republic of Korea)" ප්‍රකාශ කරනවා. එහි නායකයා වෙන්නෙ කිම් ඉල්-සුං. එය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නෙ උතුරු කොරියාව කියලා

උතුරු කොරියාවේ කොඩිය සහ නිල සලකුණ

කොරියාව නිල වශයෙන් දෙකඩ වෙනවා

ජෙජු කැරැල්ල​


කොරියානු අර්ධ ද්වීපයට දකුනෙන් ලොකු දූපතක් තියෙනවා "ජෙජු" කියලා. මේ දූපතේ කොමියුනිස්ට් වරුන් ගේ බලය බොහෝ දුරට පැතිරිලා තිබ්බා. 1948 දි ප්‍රකාශිත මැතිවරණයට එරෙහිව ඇති වුන විරෝධතා රැල්ල ජෙජු දූපතටත් එනවා. නමුත් ජෙජු දූපතේදී උද්ඝෝෂන කරුවෝ පොලිස් මර්ධනයට එරෙහිව අවි ගන්න තීරණය කරනවා.

1948 අප්‍රේල් තුන් වෙනිදා කොමියුනිස්ට් වරු විසින් සංවිධානය කරපු කැරලි කණ්ඩායම් ජෙජු දූපතේ පොලිස් ස්ථාන වලට පහර දීලා අවි පැහර ගන්නවා. ඉන් පස්සෙ ගරිල්ලා යුද්ධයක නිරත වෙනවා. මේ යුද්ධය කොයිතරම් දරුණු වෙනවද කිව්වොත් 1948 මැයි 10 වෙනිදා පැවතුන මැතිවරණය ජෙජු දූපතේ පවත්වන්න බැරි වෙනවා. කැරලි කරුවෝ දූපතේ බලය සම්පූර්නයෙන්ම වගේ අල්ල ගන්නවා.

පොලිසියට තත්වය පාලනය කරගන්න බැරි වෙන නිසා 1948 ඔක්තෝබර් මාසෙදි රී හමුදාව යොදවන්න තීරණය කරනවා. ඔහු ජෙජු දූපතට යාබද දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ ස්ථානගත කර තිබුනු හමුදා බල ඇණියක් ජෙජු දූපතට යවන්න අණ දෙනවා.

ජෙජු දූපත (තැඹිලි) සහ දකුණු ජෙයෝලා ප්‍රාන්තය (කහ​)

නමුත් මේ අණ ලද වහාම ඒ හමුදා බල ඇණිය කැරලි ගහනවා. ඔවුන් ජෙජු දූපතට යාම ප්‍රතික්‍ෂේප කරලා කැරලි කරුවන්ට සහය පල කරමින් දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ ප්‍රධාන නගර කීපයක්ම අල්ල ගන්නවා. යෙඕසු, සන්චියොන් ඒ අතරින් ප්‍රධානයි.

රී මේ සිද්ධියෙන් දැඩි ලෙස කුපිත වෙලා තමාට පක්‍ෂපාතී හමුදා බල​ඇණි යොදවලා කැරැල්ල දරුණු විදිහට මර්ධනය කරනවා. ඒ සඳහා ඔහුට ඇමරිකන් සහය ලැබෙනවා. මුලින්ම දකුණු ජෙයෝලා ප්‍රාන්තයේ කැරැල්ල මර්ධනය කරන ඔහු ඉන් පසු ජෙජු දූපතට හමුදාව යවනවා.

යෙඕසු නගරයේ දී කැරලිකාරී හමුදා භටයන් වෙඩි තබා ඝාතනය කිරීම​
හමුදාවත් එක්ක යන රී ගේ මිලිෂීයා කණ්ඩායම් ජෙජු දූපතේ දරුණු මිනිස් ඝාතන රැසක් කරනවා. ගම් පිටින් සමූල ඝාතනය කරනවා. මේ ඝාතන වලින් 30,000 පමණ මිය ගියා කියල හිතනවා. ඒ ජෙජු දූපතේ ජනගහණයෙන් 20% ක්.

මරා දැමූ ගම්වාසීන්
1949 මාර්තු වෙද්දි ජෙජු දූපතේ කැරැල්ල සම්පූර්නයෙන්ම මර්ධනය කෙරෙනවා.


මේ වෙනකොට උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන රටවල් දෙකම සලකන්නෙ තමාට සම්පූර්ණ කොරියාවේම අයිතිය තියෙනව කියලා. කිම් ඉල්-සුං වගේම රී ගේත් ප්‍රධාන ප්‍රතිපත්තියක් වෙන්නෙ යුධමය ක්‍රියා මාර්ගයකින් කොරියාව එක්සත් කිරීම​.

ඒ නිසා 1949 අග වෙද්දි කොරියාව කියන්නෙ පත්තු වෙන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක්.

Saturday, April 29, 2017

කොරියාව දෙකඩ වීම - 1 (පසුබිම​)


ජපන් පාලන සමය​


කොරියාවේ වර්තමාන ඉතිහාසය පටන් ගන්නෙ 1910 දි. ඒ ජපන් අධිරාජ්‍යය විසින් කොරියාව යටත් කර ගැනීමෙන්.

ජපානයේ පාලනය ඉතාමත් කෲර එකක්. නමුත් ඔවුන් කොරියාව නවීකරනය කරනවා. විශේෂයෙන්ම ප්‍රවාහන පද්ධතිය​. හැබැයි ඒ කොරියන් කාරයන්ට ආදරේට නෙවෙයි - සොබාවික සම්පත් ජපානයට අරගෙන යන එක පහසු කරන්න​.

1937 දි ජපන්-චීන යුද්ධය පටන් ගැනීමත් එක්ක ජපන් පාලනය තවත් දරුණු වෙනවා. කොරියානු සංස්කෘතිය සම්පූර්නයෙන්ම විනාශ කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ කොරියානු භාෂාව කතා කිරීම තහනම් කරනවා. ඒ වෙනුවට ආදේශ වෙන්නෙ ජපන් බස​. කොරියානු නම් ජපන් නම් වලට මාරු කරනවා. බුද්ධාගම ඇදහීම තහනම් කරනවා. ඒ වෙනුවට ෂින්ටෝ ආගම ඇදහීම අනිවාර්‍ය වෙනවා. පාසැල් වල කොරියන් ඉතිහාසය ඉගැන්වීම තහනම් කරනවා.

කොරියානු ජාතිකයන් වහල් ශ්‍රමිකයන් විදිහට ජපන් කර්මාන්තශාලා වල වැඩ කරන්න ගෙනියනවා. කොරියානු ජාතිකයන් ලක්‍ෂ හතරක් පමණ මේ විදිහට වහල්ලු විදිහට ජපානයට ගෙනිහිල්ල තියෙනවා. ඔවුන් ගෙන් පැවත එන අය ලක්‍ෂ පහක් පමණ අදටත් ජපානයේ ඉන්නවා. ඔවුන්ව අද හැඳින්වෙන්නෙ "සයිනිචි" කියලා.


ඊට අමතරව කොරියානු කාන්තාවන් ලක්‍ෂ පහක් පමණ ජපන් හමුදා සෙබළුන්ට ගණිකාවන් විදිහට යොදාගැනීම සඳහා බලෙන් අරගෙන යනවා.



මේ විදිහට ජපන් පාලනයෙන් කොරියාවට ඉමහත් විනාශයක් අත් වෙද්දි කොරියානු ජනතාව ජපනුන්ට විරුද්ධව සටන් කරනවා. මේ සටන්කාමී ගරිල්ලා කණ්ඩායම් ගොඩක් ස්ථානගත වෙන්නෙ චීන​-කොරියන් දේශසීමාවේ. ඔවුන්ට චීන සහ සෝවියට් සහය ලැබනවා.

කොරියන් ගරිල්ලන් තිදෙනෙක් ජපන් හමුදාව විසින් ඝාතනය කිරීම​

දෙවෙනි ලෝක යුද්ධයේ ආරම්භයත් එක්ක කොරියානු විමුක්ති අරගලය ප්‍රධාන ධාරාවන් දෙකකට බෙදෙනවා.

පළවෙනි කොටස සමන්විත වෙන්නෙ චීනයට පලා ගිය පිරිසක් විසින් එහිදී පිහිටුව ගන්න දේශපාලන සංවිධානයකින්. ඔවුන්ට චීනයේ සහ බටහිර රටවල සහය ලැබෙනවා. ඔවුන් චීනයේ විකල්ප රජයක් ඇති කර ගන්නවා. මේ සංවිධානයේ මිලිටරි අංශය හැඳින්වෙන්නෙ "කොරියානු විමුක්ති හමුදාව (Korean Liberation Army)" කියලා.

දෙවෙනි කොටස සමන්විත වෙන්නෙ කොරියන්-චීන දේශසීමාවේ ස්ථානගත වෙලා ඉන්න ගරිල්ලන් ගෙන්. ඔවුන්ට සෝවියට් දේශයේ සහ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලැබෙනවා. ඒ නිසාම මේ කොටස සමාජවාදයට නැඹුරු වෙනවා. ඔවුන් ගේ මිලිටරි අංශය හැඳින්වෙන්නෙ "කොරියානු ස්වේච්ඡා හමුදාව (Korean Volunteer Army)" කියල​.

කොහොම නමුත් මේ ගරිල්ලා සටන් වලින් ජපන් හමුදාවට වෙන බලපෑම අවමයි. විශේෂයෙන්ම කොරියානු විමුක්ති හමුදාවට කොරියාව ඇතුලෙ තීරනාත්මක දෙයක් කරන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.

දෙවන ලෝක යුද්ධයේ අවසානය​

1943 දී ඇතිවෙන කයිරෝ සාකච්ඡා වලදි ඇමරිකාව​, සෝවියට් දේශය සහ බ්‍රිතාන්‍යය එකඟ වෙනවා යුද්ධෙන් පස්සෙ කොරියාව නිදහස් රාජ්‍යයක් විදිහට පවත්වාගන්න​. 

1945 අගෝස්තු 6 වෙනිදා ඇමරිකාව හිරොෂිමාවට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා.

අගෝස්තු 8 වෙනිදා සෝවියට් දේශය ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.

අගෝස්තු 9 වෙනිදා නගසකි නගරයට දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයත් එල්ල වෙනවා.

එදාම සෝවියට් යුධ ටැංකි චීන​-කොරියන් දේශසීමාව හරහා කොරියාවට​ ඇතුල් වෙනවා.

රතු හමුදාව කොරියාවට ඇතුල් වෙමින්
ඇමරිකාව මෙතනදි බය වෙනවා මුළු කොරියාවම සෝවියට් ග්‍රහනයට නතු වෙයි කියල​. ඔවුන් ලහි ලහියේ සැලසුමක් හදනවා කොරියාව තාවකාලිකව කොටස් දෙකකට බෙදලා කොටසක් සෝවියට් දේශයේ ආරක්‍ෂාව යටතේත්, අනෙක් කොටස ඇමරිකාවේ ආරක්‍ෂාව යටතේත් තියන්න​.

මෙතනදි ඔවුන් සීමාව ලෙස තෝර ගන්නෙ 38 වෙනි දේශාංශ රේඛාව​. ඒකට හේතු වෙන්නෙ ඒ සීමාවෙන් කොරියාව දළ වශයෙන් සමාන කොටස් දෙකකට බෙදෙන අතරම​, විශාලම නගරය වන සියොල් නගරය ඇමරිකන් කොටසට හසු වීම​.

සෝවියට් දේශය මේ සැලසුමට එකඟ වෙනවා. පෝස්ට්ඩෑම් නගරයේ පැවැත්වෙන සාකච්ඡාවකදී කොරියාව තාවකාලිකව කොටස් දෙකකට කඩනවා, අවුරුදු හතරකට පස්සෙ එක්සත් කොරියාවකට නිදහස දීමේ එකඟතාවය මත​.


බෙදුනු කොරියාව​


මේ වෙනකොට කොරියාවේ ප්‍රධාන දේශපාලන ධාරාවන් තුනක් තියෙනවා.

1. ඇමරිකන් හිතවාදී දක්‍ෂිනාංශිකයන්
2. සෝවියට් හිතවාදී කොමියුනිස්ට් වරු
3. සමාජවාදී නැඹුරුවක් සහිත ජාතිකවාදීන්

ඇමරිකන් හිතවාදී දක්‍ෂිනාංශිකයන් ප්‍රධාන වශයෙන්ම සමන්විත වෙන්නෙ චීනයේ පිහිටවපු විකල්ප රජයේ සහ කොරියානු විමුක්ති හමුදාවට සම්බන්ධ කොටස් වලින්. කොමියුනිස්ට් වරු සෝවියට් ආධාර ලබන කොමියුනිස්ට් වාදීන් ගෙන්. ජාතිකවාදීන් සමන්විත වෙන්නෙ කොරියාව ඇතුලේ සහ චීන-කොරියන් දේශසීමාවේ ඉඳන් ක්‍රියාකාරී වුන අරගල කරුවන් ගෙන්. කලින් දැක්ක වගේ මොවුන්ට සෝවියට් සහ මාඕ ගේ සහය ලැබුන නිසා මොවුන් අතර සමාජවාදී අදහස් ස්ථාපිත වෙලා තිබ්බා.

මේ අය අතරින් වඩාත්ම බලවත් වුනේ ජාතිකවාදීන්. අනිත් කොටස් කොරියානු ජනතාව දැක්කෙ විදේශිකයන් ගෙ ඒජන්තයො විදිහට​.

ඇමරිකාව සහ සෝවියට් දේශය කොරියාව බෙදන්න සැලසුම් හදද්දි ජාතිකවාදීන් කොරියාවේ නිදහස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවා. ඒක හඳුන්වන්නෙ "කොරියානු මහජන ජනරජය (People's Republic of Korea)" කියලා. ඒ 1945 අගෝස්තු මාසයේදී.
කොරියානු මහජන ජනරජයේ කොඩිය​
ඔවුන් කොරියාව පුරා ප්‍රධාන නගර වල මහජන කමිටු පිහිටුවනවා. පාලනය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ හරහා. මේ මහජන කමිටු ආභාෂය ලබන්නෙ සෝවියට් දේශයේ මුල් කාලයේ තිබ්බ සෝවියට් සභා වලින්.

ජාතිකවාදීන් අතර නායකයන් දෙන්නෙක් කැපී පේනවා. ඒ සියොල් නගරයේ නායකයා වන ල්‍යු වූන්-හ්‍යුං (යෝ උං-හ්‍යුං) සහ පියොංයැං නගරයේ නායකයා වන චෝ මං-සික්.


කොරියානු මහජන ජනරජයේ පළවෙනි නායකයා වෙන්නෙ ල්‍යු වූන්-හ්‍යුං.

ජාතිකවාදීන් ඇමරිකන්-සෝවියට් ආරක්‍ෂාව යටතේ අවුරුදු හතරක් කොරියාව පවතිනවට තදින්ම විරුද්ධ වෙනවා. ඔවුන් ඊට විරුද්ධව දිගින් දිගටම උද්ඝෝෂන වල නිරත වෙනවා.
ඇමරිකන් ආරක්‍ෂාවට එරෙහිව සියොල් නගරයේ උද්ඝෝෂනයක්

ඒ අතරෙ ඇමරිකාව සහ සෝවියට් දේශය තම තමාගේ කොටස් වල තමාගේ බලය පැතිරවීමේ නිරත වෙනවා. මේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියේ දී උතුරු කොටසේ ඉන්න දක්‍ෂිනාංශිකයන්ටත්, දකුණු කොටසේ ඉන්න කොමියුනිස්ට් වරුන්ටත් එරෙහිව දරුණු භීෂනයක් ක්‍රියාත්මක වෙනවා. මේ නිසා 38 වෙනි දේශාංශය හරහා උතුරට සහ දකුණට විශාල ජන සංක්‍රමනයක් සිද්ධ වෙනවා.

මේ සංක්‍රමනිකයන් දරුණු භීෂනයකට මුහුණ දුන් නිසා අන්තවාදී අදහස් දරන අය​. ඔවුන් ප්‍රතිවිරුද්ධ මතධාරීන් ඉවසන්නෙ නෑ.

ඇමරිකාව කොරියානු මහජන ජනරජය සහ ඔවුන් ගේ මහජන කමිටු ඉවසන්නෙ නෑ. ඒ නිසා 1945 සැප්තැම්බර් මාසයේදී ඔවුන් කොරියානු මහජන ජනරජය සහ ඔවුන් ගේ මහජන කමිටු නීති විරෝධී ලෙස ප්‍රකාශ කරනවා. එතැන ඉඳන් දකුණේ ජාතිකවාදීන් නිරත වෙන්නෙ යටි බිම් ගත දේශපාලනයක​. 
නමුත් සෝවියට් දේශය ඊට වඩා සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ඒකාබද්ධ කොරියාවක නායකයා වශයෙන් පියොංයැං මහජන කමිටුවේ නායක චෝ මං-සික් පත් කරන්න​. ජාතිකවාදීන් ගේ සමාජවාදී නැඹුරුව නිසා නව කොරියාව සෝවියට් හිතවාදී රටක් වෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඒත් චෝ මං-සික් සෝවියට් බලපෑම් වලට කැමති වෙන්නෙ නෑ. ඔහුට අවශ්‍යය වෙන්නෙ ස්වාධීන කොරියාවක්. ඒ නිසා සෝවියට් දේශය වටහා ගන්නවා චෝ මං-සික් නායකයා වශයෙන් තබා ගැනීම ඔවුන් ගේ වැඩ පිළිවෙලට අවහිරයක් කියලා. 1946 ජනවාරි මාසයේදී සෝවියට් දේශය චෝ මං-සික් ව නිවාස අඩස්සියට ගන්නවා.

1946 පෙබරවාරි මාසයේදී ඔවුන් උතුරු කොටසේ පාලනය සඳහා මහජන කමිටු ඒකාබද්ධ කරලා එක සභාවක් හදනවා. ඒකෙ නායකත්වයට පත් කරන්නෙ දැඩි සෝවියට් හිතවාදී තරුණ නායකයෙක් වන කිම් ඉල්-සුං.
කිම් ඉල් සුං 1945 දී
මේ අතරෙදි 1946 දී උතුරු සහ දකුණු කොටස් අතර සංක්‍රමනය වීම තහනම් කෙරෙනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ජනතාව අතර ගැටුම් ඇති වීම වැලැක්වීම​. නමුත් මේකෙන් උතුරු-දකුණු බෙදීම තවත් වැඩි වෙනවා.

ඒ වගේම උතුරෙන් දකුණට සංක්‍රමනය වුන දක්‍ෂිනාංශිකයන් සහ දකුණෙන් උතුරට සංක්‍රමනය වුන කොමියුනිස්ට් වරු එක්සත් කොරියාවකට විරුද්ධ වෙනවා. ඔවුන්ට ඕනෙ වෙන්නෙ තමාගේ බලය සහිත වෙනම රාජ්‍යයන්. ඇමරිකාව සහ සෝවියට් දේශය මේ අදහස් පෝෂනය කරනවා.

නමුත් ජාතිකවාදීන් දිගටම එක්සත් කොරියාවක් වෙනුවෙන් සටන් කරනවා. 1946 සැප්තැම්බර් මාසෙදි ජාතිකවාදීන් දකුණේ දැවන්ත විරෝධතාවක් සංවිධානය කරනවා. අරගල කරුවන් ගේ සටන් පාඨය වෙන්නෙ "එක කොරියාවක්". මෙහිදී උද්ඝෝෂන කරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ඇති වෙනවා. මේ අරගලය මැඩ පවත්වන්න ඇමරිකන් යුධ ටැංකි පවා යොදා ගන්න සිද්ධ වෙනවා. ගැටුම් වලින් පොලිස් නිලධාරීන් 38 ක් සහ සාමාන්‍යය වැසියන් 240 ක් මිය යනවා.



නමුත් 1947 ජූලි මාසෙදි ල්‍යු වූන්-හ්‍යුං දක්‍ෂිනාංශික අන්තවාදියෙක් අතින් ඝාතනය වීම සහ චෝ මං-සික් නිවාස අඩස්සියට ගැනීමත් එක්ක ත් සමඟම ඔවුන් ගේ ව්‍යාපාරය ක්‍රමයෙන් දුර්වල වෙනවා.

කොරියාව දෙකඩ වීම වඩ වඩාත් වියහැකියාවක් බවට පත් වෙනවා.

.විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 3



මේ ලිපියෙන් කතා කරන්නෙ විදුලි ලාම්පු වලින් විහිදෙන ආලෝකයේ වර්ණය ගැන​.

අපි දන්නවා ආලෝකය හැදිල තියෙන්නෙ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසකින් කියල​.


සූර්‍යයා  ගෙන් ලැබෙන ස්වාභාවික ආලෝකයේ මේ සම්පූර්ණ වර්ණාවලියම අඩංගු වෙනවා. ඒ නිසා ඒ ආලෝකය අපිට පේන්නෙ සුදු පාටට​. ඒ වගේම ඒ ආලෝකය යටතේ සියළුම වස්තූන් ගේ ස්වාභාවික වර්ණය ඒ ආකාරයෙන්ම කිසිම විකෘති වීමකින් තොරව අපිට පේනවා.

නමුත් විදුලි ලාම්පු වලින් ලැබෙන ආලෝකයේ සම්පූර්ණ වර්ණාවලියම අඩංගු වෙන්නෙ නෑ. ඒ නිසා අපිට වස්තූන් ගේ ස්වාභාවික වර්ණය ඒ විදිහටම පේන්නෙ නෑ.

උදාහරණයකට අපි දන්නව සූත්‍රිකා පහනකින් ලැබෙන ආලෝකය කහට හුරුයි. ඒ වගේම සෝඩියම් ලාම්පුවකින් ලැබෙන ආලෝකය කහ පාටයි. රසදිය ලාම්පුවකින් ලැබෙන ආලෝකය ලා දම් පාටයි.

මේ නිසා විවිධ විදුලි ලාම්පු වල ආලෝකය යටතේ අපිට වස්තූන් ගේ පාට පේන්නෙ තරමක් විකෘති වෙලා. උදාහරණයකට සෝඩියම් ලාම්පුවක ආලෝකය යටතේ අපිට රතුපාට පේන්නෙ දුඹුරු පාටට​.

මේකෙ තියෙන වැදගත් කම මොකද්ද​?

1. සමහර අවස්ථා වලදී අපිට වස්තුවක වර්ණය ඉතාමත් නිවැරදිව දකින එක වැදගත් වෙනවා. උදාහරණයකට ඇඟළුම් කම්හලක​.

2. ඒ වගේම වර්ණ විකෘති වෙලා පේන ආලෝකයක් යටතේ දීර්ඝ වෙලාවක් ඉන්න එක ඇස් දෙකට සහ මනසට වෙහෙසකර වෙන්න පුළුවන්.

ඒ නිසා ගෙදරක් ආලෝකමක් කරද්දි මේක එච්චරම වැදගත් නොවුනත්, කර්මාන්තශාලාවක් වගේ තැනකදි මේක ඉතාමත් වැදගත් වෙන්න පුළුවන්.

විදුලි ලාම්පු වල ආලෝකයේ වර්ණ ගැන කතා කරද්දි සංකල්ප දෙකක් තියෙනවා.

1. වර්ණ උෂ්ණත්වය​ (Colour Temperature)

මේ සංකල්පයෙන් කියවෙන්න ලාම්පුවෙන් විහිදෙන ආලෝකයේ වර්ණය ගැන​. මේකට උෂ්ණත්වයේ සම්බන්ධයක් නෑ. ඒ කෑල්ල එන්නෙ වෙනත් හේතුවක් නිසා.

විදුලි ලාම්පුවකින් එන ආලෝකය නිල් පාටේ සිට කහපාට දක්වා පරාසයක වෙනස් වෙනවා. සුදු පාට තියෙන්නෙ මේකෙ මැද හරියෙ. ඒ නිසා මේ වර්ණ පොදුවේ වර්ග කෙරෙනවා "උණුසුම් වර්ණ​" (කහ පාටට හුරු වර්ණ​) සහ "සිසිල් වර්ණ​" (නිල් පාටට හුරු වර්ණ​) කියල​.



නමුත් මෙතනදි ගැටළුවක් එනව​. ඒ තමයි මේක නිවැරදිය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි වීම. ඒ ගැටළුව ගොඩ දා ගන්න තමයි "වර්ණ උෂ්ණත්වය​" කියල සංකල්පය හඳුන්වා දීල තියෙන්නෙ.

අපි දන්නවා යකඩයක් රත් කරද්දි ඒක මුලින්ම රතු පාට වෙනව​. ඊට පස්සෙ කහ පාට​. ඊට පස්සෙ සුදු. ඊටත් පස්සෙ නිල් පාට​. මේ එක එක පාට ලැබෙන නියමිත උෂ්ණත්වයන් තියෙනවා.

විදුලි ලාම්පුවක ආලෝකයේ වර්ණය ප්‍රකාශ කරන්න යොදා ගන්නෙ මේ උෂ්ණත්වය​. ඒකට පාවිච්චි කරන්නෙ උෂ්නත්වය මණින ඒකකයක් වන කෙල්වින්.

උදාහරණයකට විදුලි ලාම්පුවක වර්ණ උෂ්ණත්වය කෙල්වින් 1000 යි කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නෙ කෙල්වින් 1000 කට රත් කරපු යකඩයකින් විහිදෙන ආලෝකයේ පාට ඒ විදුලි ලාම්පුවෙන් විහිදෙනව කියල​. ඒකට ලාම්පුවේ උෂ්ණත්වයේ සම්බන්ධයක් නෑ.



හැබැයි මෙතන මතක තියා ගන්න ඕනෙ දේ තමයි අපි "උණුසුම් වර්න​" කියල හඳුන්වන වර්න වල කෙල්වින් අගය "සිසිල් වර්ණ​" කියල හඳුන්වන වර්න වල කෙල්වින් අගයට වඩා අඩුයි කියන එක​.

එතකොට අපි මිලදී ගන්න විදුලි ලාම්පුවක වර්ණ උෂ්නත්වය කෙල්වින් 1500 කියල ගහල තිබ්බොත් සම්මත වර්ණ උෂ්නත්ව සටහනක් අරගෙන කෙල්වින් 1500 ට අදාල පාට මොකද්ද කියල බලාගන්න පුළුවන්.

2. වර්ණ ප්‍රකාශක දර්ශකය​ (Colour Rendering Index - CRI)

වර්ණ ප්‍රකාශක දර්ශකය කියන්නෙ විදුලි ලාම්පුවක ආලෝකය යටතේ වස්තුවක ස්වාභාවික වර්ණය කොයිතරම් විකෘති වෙනවද කියන එක පිළිබඳ මිනුමක්.

අපි සලකනවා ස්වාභාවික හිරු එළියේ වර්ණ ප්‍රකාශක දර්ශකය 100 කියල​. ඒ කියන්නෙ කිසිම විකෘතියක් නෑ. අනිත් ආලෝකයන් ගේ වර්න ප්‍රකාශක දර්ශකය 100 ට අඩු අගයක් ගන්නව​.

පහළ ප්න්තූරයේ තියෙන්නෙ විවිධ වර්ණ ප්‍රකාශක දර්ශක සහිත ආලෝක යටතේ එකම ඇපල් ගෙඩිය අපිට පේන හැටි.



ඒ ඒ විදුලි ලාම්පු වලට නියමිත වර්ණ ප්‍රකාශක දර්ශකය සඳහන් කරල තියෙනවා. 


ඒ වගේම ඒ ඒ ස්ථානයන්ට තිබිය යුතු අවම වර්ණ ප්‍රකාශක දර්ශකයන් සම්මත කරගෙන තියෙනවා.

උදාහරණ කීපයක්:
කාර්‍යාල - > 80
ඉලෙක්ට්‍රොනික් කර්මාන්තශාලා - > 70
කර්මාන්තශාලා - > 60
ගබඩා - > 20

විදුලි ලාම්පු මිලදී ගනිද්දි මේ ගැනත් අවධානය යොමු කරන්න ඕනෙ.

ඒ වගේම ලාම්පු පිරිවැද්දුම (Light Fitting) මගිනුත් මේ දෙකේ අගයන් වලට බලපෑමක් තියෙනවා. ඒ නිසා පිරිවැද්දුම් මිලදී ගද්දි ඒ ගැනත් හොයල බලන්න වෙනවා.

විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු - 2



මුලින්ම අපි බලමු ආලෝකය මනින ඒකක කීපයක් ගැන​.

අපි දන්නවා අපි විදුලි බලය මනින්නේ "වොට් (W)" ඒකකයෙන්. අපි ගන්න විදුලි ලාම්පු වොට් 20, වොට් 60, වොට් 100 ආදී වශයෙන් සටහන් කරල තියෙනවනෙ. ඒකෙන් කියැවෙන්නේ ඒ ලාම්පුව පාවිච්චි කරද්දි කොයිතරම් විදුලි බලයක් වැය වෙනවද කියල​. ඒ කියන්නෙ වොට් 60 ක ලාම්පුවක් වොට් 20 ක ලාම්පුවකට වඩා විදුලි බලය පාවිච්චි කරනව.

හැබැයි වොට් වලින් කියැවෙන්නෙ නෑ අපිට ලැබෙන ආලෝකය ගැන​. ඒ ඒ ලාම්පු වල විදුලි බලය ආලෝකය බවට හැරවීම වෙනස්. උදාහරණයකට වොට් 10 ක CFL ලාම්පුවක් වොට් 60ක සූත්‍රිකා ලාම්පුවකට වඩා අලෝකය දෙනව වෙන්න පුළුවන්.

ආලෝකය මනින ප්‍රධාන ඒකක තුනක් තියෙනවා.

1. කැන්ඩෙලා (Cd)

යම්කිසි ආලෝක ප්‍රභවයකට ආලෝකය නිකුත් කිරීමේ හැකියාව මනින්නෙ කැන්ඩෙලා වලින්. මේක ආලෝක ප්‍රභවයේ ගුණයක්.

2. ලූමෙන් (lm)

යම්කිසි ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක ප්‍රමානය මනින්නෙ ලූමෙන් වලින්. මේක ආලෝකයේ ගුනයක්.

3. ලක්ස් (lux)

යම්කිසි ආලෝක ප්‍රභවයකින් නිකුත් වල ආලෝක ප්‍රමානයෙන් කොයිතරම් දීප්තියක් යම්කිසි තැනකට ලැබෙනවද කියල මනින්නෙ ලක්ස් වලින්. මේක ස්ථානයේ ගුණයක්.


හරියට තේරුනෙ නෑ නෙ? උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

අපි ගන්නව විදුලි ලාම්පුවක්. මේකට තියෙනව ආලෝකය නිකුත් කිරීමේ හැකියාවක්. අපි හිතමු කැන්ඩෙලා 100 කියල​.

දැන් මේක දල්වනවා. මේකෙන් යම්කිසි ආලෝක ප්‍රමානයක් නිකුත් වෙනව​. දැන් අපි මේකෙ මතුපිටෙන් බාගයක් වැහෙන්න කළු කඩදාසි අලවනව​. එතකොට මේකෙන් නිකුත් වෙන ආලෝක ප්‍රමානය බාගෙකින් අඩු වෙනව​.

නමුත් ලාම්පුවේ හැකියාවට මොකුත් වෙනසක් වුනේ නෑ නෙ. ඒක කැන්ඩෙලා 100 ම තමයි.

එතකොට අඩු වුනේ මොකද්ද​? ලාම්පුවෙන් එන ආලෝකයේ ලූමෙන් ප්‍රමානය​.

දැන් අපි සුදු කඩදාසියක් අරගෙන ලාම්පුවට මීටරයක දුරින් අල්ලනව​. එතකොට කඩදාසිය යම්කිසි ප්‍රමානයකට දීප්තිමත් වෙනව​. ඒ කඩදාසියම මීටර් 10ක දුරින් අල්ලනව​. කලින්ට වඩා දීප්තිය අඩුයි.

නමුත් ලාම්පුවෙන් නිකුත් වෙන ආලෝකයේ ලූමෙන් ප්‍රමානයේ වෙනසක් වුනේ නෑ.

එතකොට අඩු වුනේ මොකද්ද​?

අපි ලාම්පුවෙන් ඈතට යද්දි ලාම්පුවේ ආලෝකය වැඩි වර්ගඵලයක් පුරා විහිදෙනව​. ඒ කියන්නෙ වර්ග මීටරයකට වැටෙන් ආලෝක ප්‍රමානය අඩු වෙනව​. ඒ කියන්නෙ ආලෝකයේ ඝනත්වය (එහෙම නැත්තං දීප්තිමත් බව​) අඩුවෙනව​.

ඒ කියන්නෙ අඩු වුනේ ආලෝකයේ ලක්ස් ප්‍රමානය​. ඒක තැනෙන් තැනට වෙනස්.

දැන් අපි ආපහු එනව විදුලි ලාම්පු මිලදී ගැනීමට​.

අපිට ඇඟට දැනෙන්නෙ විදුලි ලාම්පුවකින් දෙන ආලෝක ප්‍රමානය​. ඒකෙ විදුලි බල පාවිච්චිය නෙවෙයි. නමුත් අපි සල්ලි ගෙවන්නෙ විදුලි බලයට. ආලෝකයට නෙවෙයි. එතකොට විදුලි බලය සහ අලෝකය අතර සම්බන්ධයක් ගොඩ නගා ගන්න ඕනේ.

මේ සම්බන්ධයට කියනව "ආලෝක කාර්‍යක්‍ෂමතාවය (luminous efficacy)" කියල​.

ආලෝක කාර්‍යක්‍ෂමතාවය කියන්නෙ විදුලි බලය වොට් එකක් පාවිච්චි කරල විදුලි ලාම්පුවකින් නිපදවන ආලෝකයේ ලූමෙන් ප්‍රමානය​. මේකෙ ඒකකය "වොටයට ලූමෙන් (lm/W)"

අපිට පේනව ආලෝක කාර්‍යක්‍ෂමතාවය වැඩියි කියන්නෙ විදුලි ලාම්පුවකට අඩු විදුලි බලයකින් වැඩි ආලෝකයක් නිපදවන්න පුළුවන් කියන එක​. ඒ කියන්නෙ ආලෝක කාර්‍යක්‍ෂමතාවය වැඩි ලාම්පු පාවිච්චි කිරීම සාක්කුවට හොඳයි.

අපි කලින් පෝස්ට් එකේ දැන ගත්ත විදුලි ලාම්පු වර්ග වල ආලෝක කාර්‍යක්‍ෂමතාවය කොහොමද කියල බලමු.

සූත්‍රිකා ලාම්පු : 12 lm/W
හැලජන් ලාම්පු : 18 lm/W
ප්‍රතිදීප්ත ලාම්පු (ටියුබ් ලයිට්) : 50 ~ 100 lm/W
සංයුක්ත ප්‍රතිදීප ලාම්පු (CFL) : 60 lm/W
රසදිය වාෂ්ප ලාම්පු : 40 ~ 60 lm/W
අඩු පීඩන සෝඩියම් ලාම්පු : 100 ~ 200 lm/W
අධි පීඩන සෝඩියම් ලාම්පු : 100 ~ 150 lm/W
ලෝහ හේලයිඩ ලාම්පු : 100 lm/W
ආලෝක විමෝචක ඩයෝඩ ලාම්පු (LED) : 130 lm/W

මේ ලැයිස්තුව බැලුවම අපිට පේනව සූත්‍රිකා ලාම්පු කියන්නෙ ඉතා අඩු කාර්‍යක්‍ෂමතාවයක් තියෙන ලාම්පු වර්ගයක් කියල​. ඒ වෙනුවට CFL සහ LED ලාම්පු පාවිච්චි කරන්න පුළුවන් නං සාක්කුවටත් හොඳයි. රටටත් හොඳයි.

සාක්කුව ගැන විතරක්ම බැලුවොත් හොඳම ලාම්පු වර්ගය අඩු පීඩන සෝඩියම් ලාම්පු. හැබැයි මතක ඇති මේ ලාම්පු වල ආලෝකය කහ පාටයි කිව්ව​. ඒ නිසා මේ ලාම්පුවක් දැම්මම අවට වර්ණ ටික ඔක්කොම විකෘති වෙලා පේන්නෙ. උදාහරණයකට රතු පාට පේන්නෙ දුඹුරු පාටට​.

Saturday, April 15, 2017

ජපානයේ බුදු දහම​

 

ජපානයේ බෞද්ධ ජනගණය​


ජපානයේ බෞද්ධයන් ඒ රටේ මුළු ජනගහණයෙන් 35% පමණ වෙනවා. මේ 35% හැදිල තියෙන්නෙ බුද්ධාගම සමඟ ෂින්ටෝ ආගමත් අදහන අය 25% ක් සහ බුද්ධාගම පමණක් අදහන අය 10% වශයෙන්.

බෞද්ධයන් කිව්වම මේ අයගේ ඇදහීමේ ප්‍රමානය විවිධයි. ඉතාමත් භක්තිමත් බෞද්ධයන් ගෙ ඉඳල හුදෙක් සංස්කෘතිකව පමණක් බෞද්ධ වෙන අය දක්වා මේක වෙනස් වෙනවා. ඒ වගේම සමහර බෞද්ධ වතාවත් කරන අය​, තමාව බෞද්ධයන් විදිහට හඳුන්වා ගන්නෙ නෑ. ඒ නිසා මේ 35% ඉලක්කම ටිකක් නොමඟ යවන සුළුයි.

ඒ වගේම ජපානයේ බෞද්ධයන් ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා. පහුගිය අවුරුදු 30 ඇතුළත ඒ ගාණ වැඩිවෙලා තියෙන්නෙ මෙහෙමයි.

1984 - 27%
1996 - 30%
2008 - 34%

ඒ වගේම 2009 දි කරපු සමීක්‍ෂනයකට අනුව ජපන් නිවෙස් වලින් 50% කට වඩා බෞද්ධ වතාවත් කරන්න සකසපු ස්ථානයක් තියෙනවා.

2011 ඇති වුන සුනාමියකින් පස්සෙ කරපු සමීක්‍ෂනයකදි 90% ක් ම තමන් බෞද්ධ හෝ ෂින්ටෝ හෝ දෙකම අදහන බව ප්‍රකාශ කරල තියෙනවා.

මේ සිතියමේ තියෙන්නෙ ජපානයේඑ ප්‍රාන්ත අනුව බෞද්ධයන් ව්‍යාප්තවෙලා ඉන්න ආකාරය​. පැහැදිලිව පේන කරුණක් තමයි බෞද්ධයන් වැඩිපුර ඉන්නෙ බටහිර ජපානයේ කියන එක​. තෝකියෝ නගරය අවට බෞද්ධ ප්‍රතිශතය ඉතාමත් අඩුයි.

ඒ වගේම හිරෝෂිමා සහ නගසකි නගර දෙකම ඉහළ බෞද්ධ ප්‍රතිශතයන් සහිත නගර​.


ෂින්ටෝ ආගම සහ බෞද්ධ ආගම අතර සම්බන්ධය​


බොහෝ බෞද්ධයන් ෂින්ටෝ ආගමික වතාවත් වලත් යෙදෙන්වා. ඇත්තෙන්ම බොහෝ දෙනා ෂින්ටෝ ආගම "ආගමක්" විදිහට සලකන්නෙ නෑ. ඒ නිසා ඔවුන් බෞද්ධයන් ෂින්ටෝ ආගමික වතාවත් වල යෙදීම පරස්පරයක් විදිහට දකින්නෙ නෑ.

ෂින්ටෝ ආගමේ තියෙන්නෙ භූතාත්මයන් (කමි) ඇදහීම​. මේක අපේ යක්‍ෂ​, දේව ඇදහිලි වලට ඉතා සමානයි. ඇත්තෙන්ම ජපන්නු බෞද්ධ සහ ෂින්ටෝ ආගම් දෙකම ඇදහීම අපේ බෞද්ධයෝ දේව ඇදහිලි කිරීමට ඉතා සමාන තත්වයක්.

ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන්


ලංකාවෙ බෞද්ධයන් ගෙන් අති බහුතරය ථෙරවාද සම්‍ප්‍රදායට අයිති වුනාට ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන් ගණනාවක් තියෙනවා. ඒ නිසා ජපන් බෞද්ධයන් කියන්නෙ ලංකාවෙ වගේ තනි පිරිසක් නෙවෙයි. ඔවුන් විවිධ බෞද්ධ ඉගැන්වීම් අනුගමනය කරනවා.

ජපානයට මුලින්ම බුද්ධාගම එන්නෙ හත්වෙනි සියවසේ දි කොරියාවෙ ඉඳල​. ඒ කාලෙ ජපානයේ අගනුවර "නරා" නගරය​. මේ මුල්ම සමයේ ජපානයට ආපු බෞද්ධ සම්ප්‍රදායන් හැඳින්වෙන්නෙ "නරා බෞද්ධ සම්ප්‍රදායන්" කියල​.

නරා සම්ප්‍රදායන් හයක් ජපානයේ තියෙනවා. එවායින් තුනක් මුල් බුදු සමයේ සම්ප්‍රදායන් (මහායාන​, වජ්‍රයාන හෝ ථෙරවාද නොවන). අනිත් තුන මහායාන සම්ප්‍රදායන්.

නරා බෞද්ධ සම්ප්‍රදායන්


1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)


මුල් බුදු සමයේ සම්ප්‍රදායක් වන ජොජිත්සු-ෂු තමයි මුලින්ම ජපානයට ආවෙ. ඒ 625 දී "එක්වන්" නම් කොරියන් භික්‍ෂුව මගින්.

ජොජිත්සු සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම වෙන්නෙ අපිට පේන යථාර්තය "ඇත්තටම​" නොපවතින බව සහ ඒවා හුදෙක් මායාවක් බව​. ජොජිත්සු සම්ප්‍රදායේ "සම්මුති සත්‍යය​" සහ "පරමාත්ම සත්‍යය" කියල සත්‍යයන් දෙකක් ගැන ඉගැන්වෙනවා.

ජොජිත්සු සම්ප්‍රදාය තුන්වෙනි සියවසේදී ඉන්දියාවේ ඇති වූවක්.

ජොජිත්සු සම්ප්‍රදායේ පන්සලක් වන ගංගෝ-ජි, නරා නගරය​

 

හොස්සෝ-ෂු (යෝගාචර​)


හොස්සෝ සම්ප්‍රදාය ජපානයට ගේන්නෙ 654 දි "දෝසෝ" කියල භික්‍ෂුවක්. හොස්සෝ අයිති වෙන්නෙ මහායාන සම්ප්‍රදායට​.

හොස්සෝ සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම අපිට පේන යථාර්තය මනසේ නිර්මානයක් බව​. ඒක විඥානවාදී ඉගැන්වීමක්. ඒ වගේම හොස්සෝ සම්ප්‍රදායේ යෝග ක්‍රම වලට විශේෂ තැනක් ලැබෙනවා.

යෝගාචර සම්ප්‍රදාය මුලින්ම ඇතිවෙන්නෙ හතරවෙනි සියවසේ දි ඉන්දියාවේ.

හොස්සො සම්ප්‍රදායේ පන්සලක් වන යකුෂි-ජි, නරා නගරය​

සංරොන්-ෂු (මධ්‍යමක​)


මහායාන සම්ප්‍රදායට අයත් සංරොන් සම්ප්‍රදාය ජපානයට එන්නෙ 680 දි පමණ​.

සංරොන් සම්ප්‍රදාය පදනම් වෙන්නෙ ඉන්දියාවේ නාගර්ජුන භික්‍ෂුව ගේ ඉගැන්වීම් මත​. සියළු ධර්මතාවයන් ශුන්‍ය බව එහි ප්‍රධාන ඉගැන්වීමක්.

නරා සමයේදී වඩාත්ම ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදාය මේක​.

සංරොන් සම්ප්‍රදායේ පන්සලක් වන හෝරයු-ජි, නරා නගරය

 

කෙගොන්-ෂු (අවතම්සක​)


මහායානයට අයත් කෙගොන් සම්ප්‍රදාය ජපානයට ගේන්නෙ 736 දි ඉන්දියානු ජාතික බෝධිසේන භික්‍ෂුව​.

කෙගොන් සම්ප්‍රදාය පදනම් වෙන්නෙ අවතම්සක සූත්‍රය මත​. අවතම්සක සූත්‍රයේ හරය වෙන්නෙ සමස්තය තනි වස්තුවක් තුලත්, තනි වස්තුව සමස්තය තුලත් පවතින බව​.

අවතම්සක සම්ප්‍රදාය බිහි වෙන්නෙ අටවෙනි සියවසේ දි චීනයේ.

කෙගොන් සම්ප්‍රදායේ පන්සලක් වන තෝදායි-ජි, නරා නගරය
තෝදායි-ජි පන්සලේ ඇති සුප්‍රසිද්ධ බුදු රුව​

 

රිත්ස්-ෂු (ධර්මගුප්තික​)


මුල් බුදු සමයේ සම්ප්‍රදායක් වන රිස්-ෂු ජපානයට එන්නෙ 753 දි ජියන්සෙන් භික්‍ෂුව හරහා.

රිත්ස් සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම වෙන්නෙ බුදුන් වහන්සේ සෙසු රහතන් වහන්සේලාට වඩා සුවිශේෂී බව​. රිත්ස් සම්ප්‍රදාය විනය පිටකයට විශේෂ තැනක් දෙනවා.

ධර්මගුප්තික සම්ප්‍රදාය බිහි වෙන්නෙ පළවෙනි සියවසේ ඉන්දියාවෙ.

රිත්සු සම්ප්‍රදායේ පන්සලක් වන තෝෂොදායි-ජි, නරා නගරය






කුෂා-ෂු (සර්වස්ථිවාදී)


කුෂා සම්ප්‍රදායත් මුල් බුදු සමයේ සම්ප්‍රදායක්.

කුෂා සම්‍ප්‍රදාය අභිධර්මයට විශේෂ තැනක් දෙනවා. සියළුම ධර්මතාවයන් අතීත​, වර්තමාන​, අනාගත යන ත්‍රිකාලයේම පවතින බව කුෂා සම්‍ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම​.

සර්වස්ථිවාදය පළවෙනි සියවසේ ඉන් දියාවේ බිහිවෙනවා. කුෂාන රාජ වංශයේ අනුග්‍රහය ලබමින් උතුරු ඉන්දියාවේ සහ මධ්‍යම ආසියාවේ ප්‍රධානම බෞද්ධ සම්ප්‍රදාය බවට වසර දහසක් පමණ කාලයක් පවතින්න සර්වස්ථිවාදය සමත් වෙනවා.

ජපානයේ කුෂා සම්‍ප්‍රදාය පවතින්නෙ හොස්සෝ සම්ප්‍රදායත් එක්ක ඉතා කිට්ටුවෙන්. කුෂා සහ හොස්සෝ සම්ප්‍රදායන් තමයි වඩාත්ම සංකීර්න ධර්ම විග්‍රහයන් සහිත සම්‍ප්‍රදායන් කියල සැලකුනේ.


නරා බෞද්ධ සම්ප්‍රදායන් වැඩි අවධානය යොමු කලේ ගැඹුරු ධර්ම කරුණු වලට​. ඒ නිසා නරා සමයේ බුද්ධාගම බුද්ධිමතුන් සහ උගතුන් අතර පැතිරුනත්, සාමාන්‍යය ජනයා අතරට වැඩි වශයෙන් පැතිරුනේ නෑ.

නරා බෞද්ධ සම්ප්‍රදායන් හයෙන් එකකටවත් වත් අද සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් නෑ.

හෙයියන් සමය​


නරා නගරයේ ඉඳලා අගනුවර කියෝතෝ නගරයට මාරු වුනාට පස්සෙ කාලය​ ජපන් ඉතිහාසයේ හඳුන්වන්නෙ "හෙයියන් සමය​" කියල​. ජපානයේ සාමාන්‍යය ජනයා අතර බුදු දහම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ මේ කාලෙ.

මේ කාලයේ අළුත් සම්‍ප්‍රදායන් දෙකක් ජපානයට එනවා. එකක් වජ්‍රයාන සම්ප්‍රදායට අයත් ෂිංගොං-ෂු. අනෙක මහායාන සම්ප්‍රදායට අයත් තෙන්දායි-ෂු.

තෙන්දයි-ෂු


807 දි සයිචෝ නම් භික්‍ෂුව තමයි තෙන්දයි සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ. තෙන්දයි සම්ප්‍රදායේ නිජබිම වෙන්නෙ චීනය​.

සයිචෝ භික්‍ෂුව​
තෙන්දයි සම්ප්‍රදාය පදනම් වෙන්නෙ සද්ධර්ම පන්ඩරික සූත්‍රය මත​. ඊට අමතරව සෙන් ඇතුළු චීන බෞද්ධ සම්ප්‍රදායන් ගෙනුත් අදහස් අවශෝෂනය කරල තියෙනවා. ජපානයේදී තෙන්දයි සම්ප්‍රදාය විකාශනය වෙන්නෙ ෂින්ටෝ ආගමේ සම්ප්‍රදායනුත් ඇතුල් කරගෙන​.

ෂින්ටෝ ආගම එක්ක බැඳෙන නිසා තෙන්දයි සම්ප්‍රදාය පොදු ජනතාව අතර ව්‍යාප්ත වෙනවා. මේ කාලයේදී තමයි බෞද්ධ​-ෂින්ටෝ සංකලනය ජපානයේ ප්‍රධාන ආගම විදිහට මුල් බැස ගන්න පදනම වැටෙන්නෙ. ෂින්ටෝ-බෞද්ධ-ජපන් සංස්කෘතියේ ආරම්භය පටන් ගන්නෙ මේ කාලෙ.

තෙන්දයි සම්ප්‍රදායේ පන්සලක් වන එනරයකු-ජි, කියෝතෝ නගරය
ජපානයේ බුද්ධාගමේ අනාගතය සකස් කරන්නෙ තෙන්දයි බෞද්ධ සම්ප්‍රදාය කිව්වොත් ඒක නිවැරදියි.
තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුවක්
තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුන් අතර තියෙනවා එක්තරා අති දුෂ්කර වෘතයක්. ඒක හඳුන්වන්නෙ "කයිහෝග්‍යෝ" කියලා. මේ වෘතය සම්පූර්න කරන්න අවුරුදු 7 ක් ගතවෙනවා. ඒක කරන්නෙ තෙන්දන් බෞද්ධ සම්ප්‍රදායේ මුල්බිම වන හියෙයි කන්ද ආශ්‍රිතව​.

මේ වෘතය පිළිපදින භික්‍ෂුන් අවුරුදු හතක් පුරාවට හියෙයි කන්ද වටා පැදකුණු කරන්න ඕනෙ. ඒක කරන්නෙ මේ විදිහට :
පළවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
දෙවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
තුන්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
හතරවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
පස්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
හයවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 60 බැගින් දින 100
හත්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 84 බැගින් දින 100 සහ දිනකට කිලෝ මීටර 30 බැගින් තවත් දින 100

මේක එක්තරා විදිහක සක්මන් භාවනාවක් විදිහටයි සැලකෙන්නෙ.

කයිහෝග්‍යෝ වෘතයේ යෙදෙන භික්‍ෂුවක්

ෂිංගොං-ෂු


816 දී කුකයි භික්‍ෂුව විසින් තමයි ෂිංගොං සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ. ඒ චීනයේ ඉඳල​. ෂිංගොං සම්ප්‍රදාය වජ්‍රයානයට අයත්. ඒකෙ නිජ බිම ඉන්දියාව​. නැගෙනහිර ආසියාවේ පවතින වජ්‍රයාන සම්ප්‍රදායන් අතලොස්සෙන් එකක් තමයි ෂිංගොං-ෂු.


කුකයි භික්‍ෂුව
ෂිංගොං සම්ප්‍රදාය පදනම් වෙන්නෙ වජ්‍රයානික සූත්‍ර තුනක් මත​. ඒ මහාවෛරෝචන සූත්‍රය​, වජ්‍රසේඛර සූත්‍රය සහ අධ්‍යර්දසතිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය​.

ෂිංගොං සම්‍ප්‍රදායේ භික්‍ෂූන්
ෂිංගොං සම්ප්‍රදායේ ධර්මයට අනුව සමස්තය නිරූපනය කෙරෙන්නෙ මහාවෛරෝචන බුදුරජාණන් වහන්සේගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු අනෙක් සියළුම බුදුවරු මහාවෛරෝචන බුදුන් ගේ විවිධ ආකාරයේ ප්‍රකාශනයන්.

නිර්වානාවබෝධය කියල සලකන්නේ මහාවෛරෝචන බුදුන් සමඟ ඒකාත්මික වීම​. මේ ඒකාත්මික වීම මන්ත්‍ර සච්ඡායනයෙන්, විවිධ පිළිවෙත් පිරීමෙන් සහ භාවනාවෙන් ලබා ගන්න පුළුවන්.

මහාවෛරෝචන බුද්ධ ප්‍රතිමාවක්, කෝබේ නගරය
ෂිංගොං-ෂු බුදු දහම අනෙකුත් සම්ප්‍රදායන් එක්ක සහයෝගයෙන් කටයුතු කල නිසා අද අනෙක් සම්ප්‍රදායන් ගෙත් ෂිංගොං-ෂු වතාවත් දකින්න පුළුවන්.

ෂිංගොං සම්ප්‍රදායේ පන්සලක් වන දයිගො-ජි, කියෝතෝ නගරය

කමකුරා සමය​


1170 දි පමණ ජපානයේ අගනුවර කියෝතෝ නගරයෙන් කමකුරා නගරයට මාරු වෙනවා. මේ කාලය ජපන් ඉතිහාසයේ හැඳින්වෙන්නෙ "කමකුරා සමය​" කියලා.

මේ කාලයේදී තමයි ජපානයේ පොදු ජනයා අතර බුදු දහම වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ. ජපනුන් ගෙන් අතිමහත් බහුතරය බෞද්ධ ආගමට සහ ෂින්ටෝ-බෞද්ධ​-ජපන් සංස්කෘතියට අනුගත වෙනවා.

මේ කාලයේදීම තමයි මහායාන බුද්ධාගම ජපානයේ ප්‍රධාන බෞද්ධ ධාරාව විදිහට මුල් බැස ගන්නෙ.

ඒක ඇරඹුම වෙන්නෙ 1175 දී හෝනෙන් භික්‍ෂුව විසින් ජෝදො-ෂු හෙවත් ශුද්ධභූමි බුද්ධාගම ජපානයට හඳුන්වා දීමෙන්.

ශුද්ධභූමි (Pure Land) බෞද්ධ සම්ප්‍රදාය​


ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදාය පළවෙනි සියවසේදි ඉන්දියාවේ බිහි වෙනවා. එහි පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය​, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන​.

ශුද්ධභූමි සම්ප්‍රදායට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී​) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.

මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.

අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.


ලෝකඩෙන් නිම කළ අමිතාභ බුද්ධ ප්‍රතිමාවක්, කමකුරා නගරය​
ශුද්ධභූමි සම්ප්‍රදායේ බෞද්ධයන් ව දිරි ගන්වන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට​. කාලයත් එක්ක නිවැරදි බුදු දහම විකෘති වන නිසාත්, ලෞකික බාධා කිරීම් වැඩි වෙන නිසාත් මනුෂ්‍ය ලෝකයේදී නිර්වානාවබෝධය අපහසු බවයි ඒ ඉගැන්වීම් වල කියැවෙන්නෙ.

අද ලෝකයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත මහායාන සම්ප්‍රදාය වෙන්නෙ ශුද්ධභූමි සම්‍ප්‍රදාය​.

ශුද්ධ භූමි සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ජපානයේ අද වෙනවිට තියෙනවා.

ජෝදො-ෂු

මුලින්ම ජපානයට හඳුන්වා දුන් ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදාය මේක​. මේක හඳුන්වා දෙන්නෙ 1175 දි හෝනෙන් භික්‍ෂුව විසින්. ජෝදො සම්ප්‍රදායට ඇතුල් වෙන්න කලින් එතුමා තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුවක්.

හෝනෙන් භික්‍ෂුව​

ජෝදො සම්ප්‍රදායේ ප්‍රධානම ඉගැන්වීම වෙන්නෙ අමිතාභ බුදුන් ගේ ශුද්ධභූමියට ඇතුල් වීම සඳහා කෙරෙන සච්ඡායනාව​. මේක ජපන් බසින් හැඳින්වෙන්නෙ "නෙම්බුත්සු" කියල. මෙහිදී කරන්නේ "නමු අමිද බුත්සු" (අමිතාභ බුදුන්ට නමස්කාර වේවා) යන පාඨය නැවත නැවත කීම​. මේ සච්ඡායනය භාවනාවක් විදිහට සැලකෙන්නෙ. ඒ භාවනාවේ අරමුන වෙන්නෙ අමිතාභ බුදුන් ගේ ශුද්ධභූමියට ඇතුල් වීම​.

ජෝදො සම්ප්‍රදායේ භික්‍ෂුවක්

ජෝදො සම්ප්‍රදාය ජපානයට එන්නෙ ජපානයේ දරුණු සිවිල් යුද්ධයක් පවතින කාලයක​. ඒ කාලයේ බුදු දහම පිරිහීමකට ලක් වෙලා තියෙන්නෙ. ඒ නිසා සාමාන්‍යය ජනයා බුදු දහමෙන් ඈත් වුනා. නමුත් ජෝදො සම්ප්‍රදායේ ඉගැන්වීම් වල එන අනුව මනුෂ්‍ය ලෝකයේ බුදු දහම පිරිහුනත්, අපට ශුද්ධභූමියට ඇතුල් වීම හරහා නිවන් දකින්න පුළුවන් කියන අදහස ජපානයේ සාමාන්‍යය ජනතාව අතර නැවතත් බුදු දහම ප්‍රචලිත කරන්න හේතුවක් වුනා. මේ නිසා සාමාන්‍යය ජනතාව අතර වේගයෙන් බුදු දහම පැතිරෙන්න පටන් ගත්තා.

ජපානයේ ජනගහණය සම්පූර්නයෙන්ම පාහේ බෞද්ධයන් වෙන්නෙ මේ කාලයේදී.

ජෝදො සම්ප්‍රදායේ පන්සලක් වන චියොන්-ඉන්, කියෝතෝ නගරය​

ජෝදො ෂින්-ෂු


හෝනෙන් භික්‍ෂුව ගේ ගෝලයෙක් වන ෂිංරන් භික්‍ෂුව විසින් 1224 දි ජෝදො සම්ප්‍රදායේම තවත් ශාඛාවක් විදිහට ජෝදො ෂින් සම්ප්‍රදාය හඳුන්වා දෙනවා.


ෂිංරන් භික්‍ෂුව ගේ ප්‍රතිමාවක්

ජෝදො ෂින් සම්ප්‍රදාය ජෝදො සම්ප්‍රදායට වඩා පොදු ජනතාව ඉලක්ක කරගත් සම්ප්‍රදායක්. එහිදී නෙම්බුත්සු සච්ඡායනාවට වඩා තැනක් දෙන්නෙ ශ්‍රද්ධාවට​. අමිතාභ බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධභූමියට ඇතුල් වෙන්න පුළුවන් කියල ජෝදො ෂින් සම්ප්‍රදායේ කියැවෙනව​.

ජෝදො ෂින් සම්ප්‍රදායේ භික්‍ෂුන්
 
අද ජපානයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත බෞද්ධ සම්ප්‍රදාය වෙන්නෙ ජෝදො ෂින්-ෂු.

ශුද්ධභූමියට ඇතුල් වෙන්න ඕන කෙනෙකුට පුළුවන් කියල පෙන්වීම සඳහා ෂිංරන් භික්‍ෂුව මස් ආහාරයට ගැනීමට පටන් ගන්නවා. ඒ වගේම විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. එතෙක් බෞද්ධ භික්‍ෂුන් සම්පූර්නයෙන්ම නිර්මාංශික වෙන නිසා සහ විවාහයෙන් වැළකිලා ඉන්න නිසා මේක බෞද්ධ සමාජයේ ලොකු ආන්දෝලනයක් ඇති කරන සිද්ධියක් වෙනවා. අදටත් සමහර බෞද්ධ සම්ප්‍රදායන් ගෙ භික්‍ෂුන් විවාහ වීම සහ මත්පැන් පාව්ච්චිය කරනවා.

ජෝදො ෂින් සම්ප්‍රදායේ පන්සලක් වන හොංගං-ජි, කියෝතෝ නගරය​


යුසු නෙම්බුත්සු-ෂු

යුසු නෙම්බුත්සු සම්ප්‍රදාය නෙම්බුත්සු සච්ඡායනාවට විශේෂ තැනක් ලබා දෙනවා. එහිදී ඉගැන්වෙන්නෙ නෙම්බුත්සු සච්ඡායනාව තනි පුද්ගලයෙක් ගේ හිතසුව පිණිස කිරීමකට වඩා සමස්ත ලෝකයේම හිත සුව පිණිස කෙරෙන්නක් කියල (මෛත්‍රී භාවනාව වගේ).

යුසු නෙම්බුත්සු සම්ප්‍රදායේ පන්සලක් වන දයිනෙම්බුත්සු-ජි, ඕසකා නගරය​

ජී-ෂු

ජී සම්ප්‍රදාය බිහි කරන්නෙ 1270 දි ඉප්පං භික්‍ෂුව විසින්.

ඉප්පෙං භික්‍ෂුව ගේ ප්‍රතිමාවක්
ඉප්පෙං භික්‍ෂුව සහ එතුමා ගේ අනුගාමිකයන් ජපානය පුරා සංචාරය කරමින් නෙම්බුත්සු සච්ඡායනා සහ නෙම්බුත්සු නැටුම් වල යෙදෙමින් පොදු ජනතාව අතර බුදු දහම ප්‍රචලිත කිරීමට විශාල උත්සහයක් දරනවා.

ජි සම්ප්‍රදාය අනෙක් බෞද්ධ සම්ප්‍රදායන්ට වඩා අල්පේච්ඡතාවට උසස් තැනක් දෙනවා. ඒ නිසා ඉප්පෙං භික්‍ෂුව පොදු ජනයා අතර විශේෂ ගෞරවයක් ලබා ගන්නවා. එතුමා හැඳින්වෙන්නෙ "සංචාරක ශාන්තුවරයා" නමින්.

ජි සම්ප්‍රදායට සෙන් ආභාෂය තදින් ලැබිල තියෙනවා.

ජි සම්ප්‍රදායේ පන්සලක් වන යුග්‍යෝ-ජි, ෆුජිසව නගරය​
කමකුරා සමයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත සම්ප්‍රදාය වුනේ ජි-ෂු.


සෙන් බුදු දහම


හයවෙනි සියවසේ දි චීනයේ නව බෞද්ධ සම්ප්‍රදායක් ඇති වෙනවා "චැන්" කියල​. මේ බෞද්ධ සම්ප්‍රදාය කමකුරා සමයේදි ජපානයට පැමිණෙනවා. ජපානයේදි එය හැඳින්වෙන්නෙ "සෙන්" කියලා.

සෙන් බෞද්ධ සම්‍ප්‍රදාය ඇති වෙන්නෙ මහායානයේ ශාඛාවක් විදිහට​. නමුත් ඒක වෙනත් මහායාන සම්ප්‍රදායන්ට වඩා ඉතාමත් වෙනස්. සෙන් සම්ප්‍රදාය හඳුන්වා දෙන්නෙ ඉන්දියානු ජාතික භික්‍ෂුවක් වන බෝධිධර්ම සහ චීන ජාතික භික්‍ෂුවක් වන දාසු හුයිකේ විසින්.

සෙන් සම්ප්‍රදායේ සූත්‍ර සහ අභිධර්ම කරුණු වලට වඩා  වැඩි තැනක් ලැබෙන්නෙ ව්‍යවහාරයට​. භාවනාව​, ස්වයං විනය​, අල්පේච්ඡතාවය වගේ දේවල් සෙන් සම්ප්‍රදායේ ඉහළින් සැලකෙනවා. ඒ වගේම පොත පතින් කරුණු හැදෑරීම සෙන් සම්ප්‍රදායේ බැහැර කරනවා. ඒ වෙනුවට මුල් තැන දෙන්නෙ ගුරු-ගෝල සම්බන්ධයට​.

සෙන් සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් තුනක් අද ජපානයේ තියෙනවා.

රින්සයි-ෂු

සෙන් බුදු දහම ජපානයට එන්නෙ 1191 දි එයිසයි භික්‍ෂුව හරහා. එතුමාගේ සම්ප්‍රදාය හැඳින්වෙන්නෙ රින්සයි-ෂු කියල​.


එයිසයි භික්‍ෂුව
රින්සයි සම්ප්‍රදායේ ප්‍රධාන අංග තුනක් තියෙනවා.

1. සාසෙන් - භාවනාව​

2. කෝඅන් - දාර්ශනික ප්‍රශ්න​, කතා, ප්‍රකාශ​. උදාහරණයකට "එක අතකින් අත්පුඩි ගහද්දි එන ශබ්ධය මොකද්ද​?" අද බටහිර රටවල සෙන් සම්ප්‍රදාය වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නෙ කෝආන් හරහා.

3. සමු - එදිනෙදා ජීවිතයේ කාර්‍යයන් කිරීමේදී එළඹි සිහියෙන් කිරීම​.

රින්සයි සම්ප්‍රදායේ භික්‍ෂුන්
රින්සයි සෙන් සම්‍ප්‍රදාය උගතුන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබනවා. ඒ නිසාම රින්සයි සම්ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නාමයක් වෙන්නෙ "සමුරයි සෙන්".

රින්සයි සම්ප්‍රදායේ පන්සලක් වන දයිතොකු-ජි, කියෝතෝ නගරය​

සෝතෝ-ෂු


සෝතෝ සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ 1227 දි දොගෙන් භික්‍ෂුව විසින්.

දොගෙන් භික්‍ෂුව
සෝතෝ සෙන් සම්ප්‍රදායේ මුල්තැන ලැබෙන්නෙ භාවනාවට​. එහිදී කමටහන් භාවිතා නොකිරීම විශේෂත්වයක් උසුලනවා. ඒ වගේම සූත්‍ර අධ්‍යනයටත් තරමක අවධානයක් යොමු කෙරෙනෙවා.

සෝතෝ සම්ප්‍රදායේ පන්සලක් වන සෝජි-ජි, යොකොහම නගරය​

සෝතෝ සෙන් සම්ප්‍රදාය වැඩි ජනප්‍රියත්වයක් ලබන්නෙ උගතුන්ට වඩා සාමාන්‍යය ජනයා අතර​. ඒ නිසා සෝතෝ සෙන් සම්‍ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නමක් වෙන්නෙ "ගොවි සෙන්".

සෝතෝ සම්ප්‍රදායේ භික්‍ෂුවක්


ඕබකු-ෂු


ඕබකු සම්ප්‍රදාය හඳුන්වා දෙන්නෙ 1654 දි ඉංගෙන් භික්‍ෂුව විසින්.

ඉංගෙන් භික්‍ෂුව
ඕබකු සම්ප්‍රදායේ ප්‍රධානම අංගය වෙන්නෙ කෝආන් සහ නෙම්බුත්සු සච්ඡායනාවන් ගේ සංකලනය​. නෙම්බුත්සු පාඨය සච්ඡායනා කරන අතර කෝආන් ව්‍යවහාරයේ යෙදීම මේ සම්ප්‍රදායේ ඉගැන්වෙනවා.

මේ නිසා ඕබකු සම්ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නමක් වෙන්නෙ "නෙම්බුත්සු සෙන්"

ඕබකු සම්ප්‍රදායේ පන්සලක් වන මංපුකු-ජි, කියෝතෝ නගරය​

නිචිරෙන් සම්ප්‍රදාය​


කමකුරා සමයේදී තෙන්දයි සම්ප්‍රදායෙන් බිඳී ගිහින් තවත් බෞද්ධ සම්ප්‍රදායක් ඇති වෙනවා. ඒ සම්ප්‍රදාය හඳුන්වන්නෙ "නිචිරෙන්" කියලා. නිචිරෙන් සම්ප්‍රදාය බිහි කරන්නෙ 1253 දි නිචිරෙන් භික්‍ෂුව විසින්.

නිචිරෙන් භික්‍ෂුව
නිචිරෙන් හිමියන් තෙන්දයි භික්‍ෂුවක් විදිහට පැවිදි ජීවිතය අරඹනවා. එහිදී සද්ධර්ම පන්ඩරික සූත්‍රය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කිරීමෙන් පසු තමාගේම අලුත් බෞද්ධ සම්ප්‍රදායක් බිහි කරනවා. එය හැඳින්වෙන්න නිචිරෙන් සම්ප්‍රදාය කියලා.

නිචිරෙන් සම්ප්‍රදායේ පදනම වෙන්නෙ සද්ධර්ම පන්ඩරික සූත්‍රය. එහිදි නිචිරෙන් භික්‍ෂුව සද්ධර්ම පන්ඩරික සූත්‍රය වටා නව දැණුම් පද්ධතියක් ගොඩ නංවනවා. එහි මූලිකම ඉගැන්වීමක් වෙන්නෙ ගෞතම බුදු රජාණන් වහන්සේ සදාකාලික බව​. නිචිරෙන් සම්ප්‍රදායේ ප්‍රධාන වතාවතක් වෙන්නෙ "නමු ම්‍යෝහෝ රෙංගෙ ක්‍යෝ" පාඨය සච්ඡායනා කිරීම​.

නිචිරෙන් සම්ප්‍රදායේ භික්‍ෂූන්

ජපානයේ ඇති අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායන් විදේශ වලින් ජපානයට ආවත්, නිචිරෙන් සම්ප්‍රදාය උපත ලබන්නෙ ජපානයේ මයි. එය විශේෂ කරුණක්. ඒ නිසා නිචිරෙන් බෞද්ධ සම්‍ප්‍රදායේ ඉතා දැඩි ජාතිකවාදී ලක්‍ෂන තියෙනවා. ඒ වගේම එය අනිත් සම්ප්‍රදායන්ට වඩා දේශපාලනිකයි.

නිචිරෙන් හිමියන් විශ්වාස කළ පරිදි බෞද්ධ ධර්මය අන් සියල්ලටම වඩා ඉහළින් තියෙනවා. ඒ නිසා ජපානයේ පාලකයන්ට බලපෑම් කිරීමට තමාට අයිතියක් ඇති බව එතුමා විශ්වාස කළා. ඒ නිසාම පාලකයන් සමඟ නිරන්තර ගැටුම් ඇති කර ගත්තා. ඒ හේතුවෙන් නිචිරෙන් හිමියන්ව ඝාතනය කිරීමේ තැතක් ද තිබ්බා. එතුමන්ව දෙවරක් ජපානය අවට ඇති කුඩා දූපත් වලට පිටුවහල් කෙරෙනවා.

නිචිරෙන් හිමියන් ගේ ආදර්ශය අනුව නිචිරෙන් සම්ප්‍රදායේ භික්‍ෂූන් දිගින් දිගටම දේශපාලන කටයුතු වල නියැලෙනවා.

නිචිරෙන්-ෂු



නිචිරෙන් හිමියන් ගෙ මරණයෙන් පස්සෙ එතුමන් ගේ ප්‍රධාන ගෝලයන් හය දෙනා ගේ අනුගාමිකයන් වෙන වෙනම සංවිධානය වෙනවා. මේ ගෝලයන් පස් දෙනෙක් ගෙ අනුගාමික පන්සල් එකතුවෙලා හදා ගන්න සම්ප්‍රදාය හැඳින්වෙන්නෙ නිචිරෙන්-ෂු කියලා.

නිචිරෙන් සම්‍ප්‍රදායේ පන්සලක් වන කුඔන්-ජි, යමනාෂි ප්‍රාන්තය​


නිචිරෙන් ෂෝ-ෂු



නිචිරෙන් හිමියන් ගේ ගෝලයෙක් වන නික්කො හිමියන් ගෙ ඉගැන්වීම් අනුව නිර්මානය වන සම්ප්‍රදාය හඳුන්වන්නෙ නිචිරෙන් ෂෝ-ෂු කියලා.

නිචිරෙන් ෂෝ සම්ප්‍රදාය නිචිරෙන් සම්ප්‍රදායෙන් වෙනස් වෙන ප්‍රධාන කරුණ වෙන්නෙ නිචිරෙන් ෂෝ සම්ප්‍රදායේ නිචිරෙන් හිමියන් බුදු වරයෙක් වශයෙන් සැලකීම.

නිචිරෙන් ෂෝ සම්‍ප්‍රදායේ පන්සලක් වන තයිසෙකි-ජි, ෆුජිනොමියා නගරය​

නිචිරෙන් ෂෝ සම්ප්‍රදාය ඉතා දැඩි මතධාරීන් වගේම ජාතිකවාදී දේශපාලනයට කිට්ටු සම්බන්ධයක් දක්වනවා. ඔවුන් තමාගේ ආගමික සම්ප්‍රදායන් දැඩි ලෙස රකින අතර වෙනත් ආගම් හෝ සංස්කෘතීන් වලට ප්‍රතිරෝධයක් දක්වනවා.

නිචිරෙන් ෂෝ සම්ප්‍රදායට අනුබද්ධිතව ගිහි සංවිධාන ගණනාවක් පවතින අතර මේවායින් සමහරක් දේශපාලනිකයි. දේශපාලන සංවිධාන වලින් ප්‍රධාන තැන ගන්නේ "සොකා ගක්කයි" සංවිධානය​.

සොකා ගක්කයි



සොකා ගක්කයි සංවිධානය 1930 දි පටන් ගන්නෙ නිචිරෙන් ෂෝ සම්ප්‍රදායට අනුබද්ධ ගිහි සංවිධානයක් විදිහට​. එහි පළමු සභාපති ධූරය දරන්නෙ ත්සුනෙසබුරෝ මකිගුචි.

ත්සුනෙසබුරෝ මකිගුචි
දෙවෙනි ලෝක යුද්ධ සමයේදි විවිධ ආගමික සහ දේශපාලනික ප්‍රශ්න මත සොකා ගක්කයි සංවිධානය ජපන් රජය එක්ක ගැටෙනවා. ඒ නිසා 1943 දි සංවිධානය තහනම් කෙරෙනවා.

යුද්ධයෙන් පසුව සංවිධානය නැවත අරඹන අතර​, 1950 දශකයේ දී එය වේගයෙන් වර්ධනය වෙනවා. 1961 දි සොකා ගක්කයි සංවිධානය "කෝමෙයිතෝ" නමින් දේශපාලන පක්‍ෂයක් ආරම්භ කරනවා. කෝමෙයිතෝ පක්‍ෂය බෞද්ධ-ජපන් ජාතිකවාදී ප්‍රතිපත්තියක ඉඳල ක්‍රියාත්මක වෙන්නෙ.

කෝමෙයිතෝ පක්‍ෂයේ සලකුණ​
කෝමෙයිතෝ පක්‍ෂය මහමැතිවරණ වලදී ඡන්ද 10% පමණත්, ආසන 30-40 පමණත් දිගටම දිනාගන්න සමත් වෙනවා. 1980 වෙනකොට ජපානයේ තුන්වෙනි දේශපාලන පක්‍ෂය බවට පත්වෙන්නෙ කෝමෙයිතෝ පක්‍ෂය​.

1991 දි සොකා ගක්කයි සංවිධානය ආරවුලකින් පස්සෙ නිචිරෙන් ෂෝ-ෂු බෞද්ධ සම්ප්‍රදායෙන් වෙන් වෙනවා. නමුත් ඔවුන් දිගටම බෞද්ධ​-ජපන් ජාතිකවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වෙනවා.

1998 දි කෝමෙයිතෝ පක්‍ෂය ප්‍රතිසංවිධානය වෙනවා. ඊට පස්සෙ ඔවුන් මැතිවරණ වලදි පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සහය දෙනවා. 2000 ඉඳන් අද වෙනකන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ රජයන් පිහිටුවන්න කෝමෙයිතෝ පක්‍ෂය හවුල් වෙලා තියෙනවා.

වර්තමාන ජපන් රජයේ පාලක සභාගයේ දෙවෙනි විශාලම පක්‍ෂය වෙන්නෙ කෝමෙයිතෝ පක්‍ෂය​. ඔවුන්ට ආසන 35ක් හිමියි.

සාරාංශය​

ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන් සංවිධානගත වෙලා තියෙන්නෙ මේ ආකාරයට​.


ඒ ඒ සම්ප්‍රදාය අනුව ජපන් බෞද්ධයන් බෙදෙන්නෙ මේ විදිහට​.




ඒ ඒ ප්‍රාන්තයේ වැඩිම අනුගාමිකයන් ගණනක් සහිත බෞද්ධ සම්ප්‍රදාය එන්නෙ මේ විදිහට​: