Saturday, March 31, 2018

පාදඩ කතා - 1 (ආදර කතා)


(පාදඩ කතා කතා මාලාව යටතේ ඔබ වෙත ගෙන එන්නේ පාදඩයාට​, උගේ යාළුවන්ට හෝ යාළුවන් ගේ යාළුවන්ට සිදු වූ සත්‍ය සිදුවීම්)

එක


අපි ඒලෙවල් පන්තියෙ ඉද්දි අපේ යාළුවෙක්ට අවුරුදු 40 ක විතර ගෑණු පරානයක් සෙට් වෙලා හිටිය. හොඳට ඇහැට කනට පේන ඉස්තිරියාවක්. අපි ඉතිං ඒ කාලෙ කෙල්ලෙක් ගුඩ් මෝනිං කිව්වත් කලිසමේ හුජ්ජ යන මට්ටමේ එවුන් නිසා ඇන්ටි කෝස් එකක් කරපු ඌ ජාතික වීරයෙක් වශයෙන් තමයි සැලකුනේ.

එක දවසක් මූ මේ කාන්තාවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල​. හැබැයි ඌ දන්නෙ නැතුව අපේ පියෝ මැත්ස් සරුත් එදාම ඒ හෝල් එකේම ඒ ෆිල්ම් එකම බලල​. ඌ සර් ව දැක්කෙ නැතුවට සර් ඌව දැකල​.

පහුවදා පියෝ මැත්ස් පීරියඩ් එකේදි ඌ සහ සර් අතර මේ වගේ සංවාදයක් ඇති වුනා.

"ආ තමුසෙ හෙන චිත්‍රපටි රසිකය නේද​?"

"ඇයි සර්?"

"තමුසෙ ඊය *** එකේ (ෆිල්ම් හෝල් එකේ නම​) හිටියෙ"

(කලබලයට පත්ව​)
"ආං මේ මේ ඔව් සර්"

"කවුද ඒ තමුසෙත් එක්ක හිටියෙ"

(අතිශයින් කලබලයට පත්ව​)
"මේ මේ ඒ අපේ නැන්ද කෙනෙක් සර්"

"ආ නැන්දද​? තමුසෙ කිරි බොන්න හදපු විදිහට මම් හිතුවෙ අම්ම වෙන්න ඇති කියල​"





දෙක​


මේ අපි කැම්පස් ඉද්දි වුන සිද්ධියක්.

අපේ සෙට් එකේ එකෙක් ජූනියර් බැච් එකක බඩුවක් සීන් කරා. ඒකිගෙ ගෙවල් තිබුනෙ අපේ කැම්පස් එකේ ඉඳල තරමක් දුරින් (කිලෝමීටර් විසිපහක් විතර​). දවසක් මේකිව ටෝක් කිරීමේ ඉලක්කය ඇතුව අපේ යාළුවා මේකිව ෆලෝ කරගෙන ගිහින් මේකි නැගපු බස් එකටම නැග්ගා.

දැන් මූ මොකද මෙහෙ යන්නෙ කියල ඇහුවොත් ලොකු අම්ම ගෙ ගෙදර යනව කියල කියන්න කලින්ම සෙට් වෙලා හිටියෙ. ඌට හිටපු ලොකු අම්මෙක් නෑ.

ඉතින් මූත් බස් එකට නැගල කෙල්ල ලඟින් ම හිටගෙන මූලික ටෝක් ටික දැම්මලු. කෙල්ලත් යහපත් ප්‍රතිචාර දක්වලා. සීන් එක ෆුල් ස්මූත් එකේ යනවලු.

කොන්ද ටිකට් කඩාගෙන කඩාගෙන මුන් දෙන්න ළඟටත් ඇවිල්ල​. කෙල්ල ටිකට් ගන්න සූදානම් වෙද්දි මූ වීරය වගේ කිව්වලු "ඉන්න නංගි මම ගන්නං" කියල​.

ඊට පස්සෙ පර්ස් එක එළියත අරං දිග ඇරල බැලුවම මුළු පර්ස් එකටම තිබිල තියෙන්නෙ රුපියල් දෙකයි.
මූ පර්ස් එක දිග ඇරගෙන පර්ස් එක දිහා බලාගෙන ඉන්නවලු. ඉහිං කනිං ටික ටික දාඩිය වැක්කෙරීගෙන එනවලු. ඔහොම ටිකක් වෙලා යද්දි කෙල්ලට සීන් එක තේරිල මූටත් එක්ක ටිකට් එකක් අරගෙන​.
ඊට පස්සෙ ගමනාන්තයට එනකං වැඩිය කතා බහක් සිද්ධ වෙලා නෑ.

ගමනාන්තයට ආවට පස්සෙ මූට ආපහු කක්ක බර හැදුනලු ආපහු යන හැටි මතක් වෙලා. වෙලාවත් හවස හයට විතර ඇති. මූ ජීවිතේටම ඒ නගරයට ඇවිල්ල තියෙන්නෙ එදා.

කෙල්ලත් එළදෙනක් නෙවෙයි නෙ. ඒකිටත් තේරෙන්න ඇති මූට ලොකු අම්මෙක් නෑ කියල​. ඒකි "අයිය ආපහු යන්න සල්ලි තියෙනවද​?" කියල අහල රුපියල් පණහක් දීල​.

තවත් ආදර කතාවක් එසේ නිමා වුනා.


තුන​


මේක පාදඩයගෙ පුද්ගලික අත්දැකීමක්.

එතකොට පාදඩය හිටියෙ දහයෙ නැත්තං එකොළහේ. දවසක් බස් එකේ යනකොට බස් එකේ කට කපල සෙනඟ​. පාදඩයට ඉස්සරහින් හිටගෙන හිටියෙ ඒ ලෙවල් සෙකන්ඩ් ෂයි කරන්න ක්ලාස් යනවා යැයි සිතිය හැකි අක්ක කෙනෙක්.

බස් එකේ සෙනඟ නිසා නිකම්ම ජැක් වදිනවා. ඒත් පාදඩයා කියන්නෙ ෆුල් සිල්වත් ඩයල් එකක් නිසා මාර ගේමක් දීලා අක්ක ගෙ ඇඟේ ගෑවෙන්නෙවත් නැතුව හිටියා.

විනාඩි පහළොවක් විතර ඔහොම ගියාට පස්සෙ අක්ක පිටිපස්ස හැරිල පාදඩය ගෙන් මෙහෙම ඇහුවා.

"ඇයි මල්ලි බයද​?"

ඊටපස්සෙ ඉතිං නිකං තව්තිසාවෙ ගියා වගේ තමා


හතර​


පාදඩයා විදේශගතව හිටපු කාලෙ දවසක් අපි ලංකාවෙ එවුන් සෙට් එක බොන්න ගියා.
බාර් එකේදි අපිට ෆූස්බෝල් ගහන්න පිලිපීන සෙට් එකක් සෙට් වුනා.

ඒ අල්ල පනල්ලෙදි අපේ සෙට් එකේ එකෙක් පිලිපීන් සෙට් එකේ කෑල්ලක් ටෝක් කරගත්ත​. අපිත් ජාතියේ ගෞරවය රැකීමේ වගකීම ඌට බාර දුන්න​.

බීල ඉවර වෙලා අපි ආපහු ගෙදර ආව​. අරූ කෑල්ලත් එක්ක කොහෙදෝ ගියා.

ගෙදර ඇවිත් අපි කාඩ් ගහමින් ටෝකක් දාගෙන ඉද්දි මූ එක පාරටම කාමරේට කඩා වැදුනා. මූ ගිහිල්ල පැය
බාගයක් වත් ගියේ නෑ. මූට ක්‍ෂනික මෝචනය තියෙන බවක් අපි දැනගෙන හිටියෙ නැති නිසා අපි ඇහුව මොකද වුනේ කියල​.

"වැඩක් නෑ මල්ලි. කලිසම අස්සට අත දැම්මම පොදියට අහුවුනා."

ඒ ලේඩි බෝයි කෙනෙක්.


පහ​


මේ කතාව පාදඩයගෙ යාළුවෙක් ගෙ යාළුවෙක්ට වුන එකක්.

එතකොට ඌ ඉඳල තියෙන්නෙ ඒ ලෙවල් පන්තියෙ. ඌ කෙල්ලෙක් සෙට් කරගෙන​. හැබැයි කොස්සකට තිබිල තියෙන්නෙ කෙල්ල ගෙ තාත්ත සල්ලි පොලියට දෙන තරමක් මැරවර පහේ ඩයල් එකක් වීම​. තාත්තා සීන් එකට ෆුල් විරුද්ධයි ලු.

මූ දවසක් ටවුමේ හෝටලේක තේ එකක් බොමින් සිටියදී කෙල්ලගෙ තාත්ත ඒකට ගොඩවැදිල​. තාත්ත මූව දැකල හෙමින් සැරේ මූ ඉඳපු මේසෙට ඇවිල්ල මූ ළඟින් ඉඳගත්තලු.

අරූ ගෙ ඇට දෙක සීතල වේගෙන ආවත් පුරුස දහිරිය දාල නිර්භීත මූණක් පෙන්නගෙන හිටියලු.
උගේ අනාගත මාමණ්ඩි ඌට මේ වගේ අවවාදයක් දීල​.

"පුතා මම පකේ මයිල් ගානට කොල්ලන්ට පුක් ගහල තියෙනව​. මගෙන් පුකේ ඇර ගන්නෙ නැතුව ඕක නවත්තපං."


හය​


තවත් යාළුවෙක් ගෙ යාළුවෙක්ට වෙච්ච දෙයක්.

 මේ කියන එකාට කෙල්ලෙක් ඉඳල තියෙනවා. නිල වශයෙන් ගෙදරට කියල නැතත් කෙල්ල ගැන උගේ ගෙදරින් දන්නව ලු. උගේ අම්මලත් කෙල්ලට එච්චර අවුලක් නැල්ලු.

මෙහෙම යද්දි උට ඇන්ටි පාරකුත් සෙට් වෙලා. මූ ඉතිං දෙකම සමාන්තරගතව කරගෙන ගිහින්. කෙල්ලට මාට්ටු නොවෙන්න වැඩේ කරාට උගේ අම්මට සීන් එක මාට්ටු වෙලා. අම්ම බර බරේ දැම්මට මූත් කට්ටි පැන පැන හිටියලු.

දවසක් මූ කොහෙදෝ ගිහින් ගෙදර එද්දි අම්ම මිදුලෙ ඉඳල බෙල්ලටම අල්ලගෙන​.

"උඹ මොකද්ද මේ කරන විකාරෙ? එක්කො ඔය මගුල නවත්තපං. නැත්තං අර අහිංසක කෙල්ලට ඉන්න දීපං."

මූට එකපාරටම මෙහෙම කියවුනා ලු.

"දත් හයිය කාලෙ තමයි අම්මෙ උක් දඬු හපන්න ඕනෙ."

කියවුනාට පස්සෙලු මූට කතාවෙ බරපතල කම මීටර් වුනේ. පරමාණු බෝම්බයක් බලාපොරොත්තුවෙන් ඇස් කොනෙන් අම්ම දිහා බැලුවලු.

අම්ම කට තද කරගෙන හිනාවෙනව ලු.


හත​.


මේක යාළුවෙක් ගෙ යාළුවෙක්ට​.

 ඌට කෙල්ලෙක් ඉඳල​. මූ දවසක් කෙල්ලට ලියපු ලියුමක් කෙල්ලගෙ අම්මලට මාට්ටු වෙලා.

ඒ ලියුමෙ මෙහෙම වාක්‍යයක් තිබ්බලු.

"මම ඔයාට කිස් දෙකක් දෙනව​. එකක් මූණට​. අනිත් එක චූ පැත්තට​."


Friday, March 30, 2018

බටහිර චින්තනය​


චින්තනය


මානව ශිෂ්ඨාචාරයේ සමහර අවස්ථා වලදී මිනිස් සමූහයන් විසින් ගොඩ නංවන පදනම් සංකල්ප ගොනුවක් චින්තනයක් කියල සරළව හඳුන්වන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් ගොඩනැංවෙන්න මේ වගේ මොකක් හරි චින්තනයක් වටා. සංස්කෘතිය ගහක් නං චින්තනය ඒකෙ අරටුව කියල හඳුන්වන්න පුළුවන්. හැබැයි එක චින්තනයක් මත පදනම් වෙලා සංස්කෘතීන් ගණනාවක් බිහි වෙන්න පුළුවන්.

චින්තනයකට උදාහරණයක් වශයෙන් කොන්ෆියුසියානු චින්තනයත්, ඒ වටා ගොඩ නැංවුනු සංස්කෘතියක් වශයෙන් චීන සංස්කෘතියත් දෙන්න පුළුවන්.

චින්තනයක් සමන්විත වෙන්නෙ සංකල්ප කීපයකින්. මේවා ඒ චින්තනයේ මූලික පදනම වෙනවා.

උදාහරණයකට දකුණුදිග අප්‍රිකානු සමාජයන් ගේ තියෙන "උබුන්ටු" සංකල්පය ගන්න පුළුවන්. මේ සංකල්පයෙන් කියැවෙන්නෙ "මම මම වන්නේ අපි අපි වන නිසාය​" කියල​. ඒ කියන්නෙ මම කියන පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන් පවතින්නේ මම ජීවත් වන සමාජය එලෙස පැවතීම නිසා කියල​. ඒ කියන්නෙ මම කියන දෙයට මනුෂ්‍යත්වය ලැබෙන්නෙ මම ජීවත් වන සමාජය නිසා කියල​. මේ සංකල්පය දකුණුදිග අප්‍රිකාණු චින්තනයේ පදනම් සංකල්පයක්. ඒ චින්තනය වටා දකුණුදිග අප්‍රිකාණු සංස්කෘතීන් ගණනාවක් නිර්මානය වෙලා තියෙනවා.


යුදෙව් චින්තනය​


ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ ඊශ්‍රායලයේ ජීවත් වන ජන වර්ගයක් අතර එක්තරා සුවිශේෂී සංකල්පයක් පහල වෙනවා. ඒ ඒක දේව වාදය​. ඒක දේව වාදයේ මූලික කරුණු තුනයි.

1. ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනෙක් පමනි.
2. ඔහුට ස්වරූපයක් නැත​.
3. ඔහු මිනිසාගේ පරිභෝජනය සඳහා විශ්වය මවා ඇත​.


මේක සුවිශේෂී සංකල්පයක් වෙන්නෙ මේ අදහස් ලෝක ඉතිහාසයේ පහල වන එකම තැන මේක වීම නිසා.

ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනෙක් විතරයි කිව්වම ඒකෙන් අදහස් වෙනවා මේ මුළු මහත් විශ්වයටම එක ඔරිජින් එකක්, එක පරම සත්‍යයක් තියෙන බව​. මුළු විශ්වයම නිර්මානය වෙලා තියෙන්නෙ එක තනි ලොජික් එකක් වටා කියල අදහසක් ඒකෙන් එනවා.

ඔහුට ස්වරූපයක් නැත කිව්වම දෙවියන් වහන්සේ වියුක්ත සංකල්පයක් වෙනවා. දැන් ගණ දෙවියො කිව්වම අපිට හිතේ මවාගන්න පුළුවන් රූපයක් තියෙනවා. ඒක ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් වශයෙන් ප්‍රතිනිර්මානය කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ දෙවියන් අපිත් එකක් සාමූහිකව​ ගනුදෙනු කරන්න පුළුවන් සංකල්පයක් වෙනවා. ඒ කියන්නෙ ඔබ දකින ගණ දෙවියන්ම තමයි මම දකින්නෙත්. නමුත් යුදෙව් චින්තනයේ දෙවියන් සිතෙන් මවා ගන්න බෑ. ඔහුට ස්වරූපයක් නෑ. ඔහුව ප්‍රතිමාවකට හෝ චිත්‍රයකට නගන්න බෑ. ඒ දෙවියන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට පුද්ගලිව මනසින් පමණයි.
 
ඔහු මිනිසාගේ පරිභෝජනය සඳහා විශ්වය මවා ඇත කිව්වම මේ මහපොළවේ තියෙන හැම දෙයක් ම කිසිම හිරිකිතයකින් තොරව පාවිච්චි කරන්න මිනිසාට ශුද්ධ වූ අයිතියක් ඇත කියන අදහස එනවා.


ග්‍රීක චින්තනය​


ක්‍රි.පූ. 500 දී පමණ ග්‍රීසියේ, විශේෂයෙන්ම ඇතැන්ස් නගරය කේන්.ද්‍ර කරගෙන චින්තනයක් බිහිවෙනවා. ඒ චින්තනයේ පදනම් සංකල්පය වෙන්නෙ පුද්ගලවාදය​. එහිදී බොහෝ ශිෂ්ඨාචාර වල පැවැතුනු සමාජයට (සාමූහිකත්වයට​) මුල් තැන දීමේ සංකල්පය වෙනුවට පුද්ගලයාට මුල් තැන දීමේ සංකල්පය එනවා. පුද්ගල අයිතිවාසිකම් වගේ දේවල් මනාව අර්ථ කථනය කෙරෙනවා. එහි අග්‍රඵලය විදිහට ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙනවා. එතැනදී පුද්ගලයාට කෙලින්ම රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ අවස්ථාව ලැබෙනවා.


ග්‍රීසිය පසුකලීනව දේශපාලනිකව බිඳ වැටුනත්, ඔවුන් ගේ චින්තනය රෝම ශිෂ්ඨාචාරය හරහා යම් තාක් දුරකට දිගටම ක්‍රියාත්මක වෙනවා. රෝමයේ බිඳවැටීමත් එක්ක ග්‍රීක චින්තනය අවසන් වෙනවා.


කතෝලික චින්තනය​


යුදෙව්වන් ගේ ඒක දේව වාදයෙන් බිඳී යන අතු දෙකක් වෙනම වර්ධනය වෙනවා. යුරෝපීයන් අතරට ඒක දේව වාදය යන්නේ කතෝලික දහම විදිහට​. අරාබීන් අතරට එය යන්නෙ ඉස්ලාම් දහම විදිහට​. මේ දෙතැනදීම යුදෙව්වන් ගේ වියුක්ත දෙවියන් යම් තාක් දූරකට සංයුක්ත කෙරෙනවා (කතෝලික දහමේ යේසු තුමා සහ මරියා තුමිය හරහා / ඉස්ලාමයේ නබි තුමා). ඒ වගේම සාමූහිකත්වයට ලොකු තැනක් ලැබෙනවා (සාමූහික දේව යාඥා).

ග්‍රීක චින්තනයේ බිඳවැටීමත් එක්ක යුරෝපයේ ප්‍රමුඛ චින්තනය වෙන්නෙ කතෝලික චින්තනය​. කතෝලික චින්තනය බටහිර යුරෝපයේ ජර්මැනික් ගෝත්‍ර අතරට යද්දි ඔවුන් අතර තිබූ පේගන් ඇදහීම් ක්‍රම වලින් කතෝලික චින්තනය විශාල ආභාෂයක් ලබනවා. කතෝලික චින්තනය සාමූහිකත්වයට මුල් තැන දෙන චින්තනයක් විදිහට තමයි වර්ධනය වෙන්නෙ. ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය, රෝම සෙනේට් සභාව සහ පුරවැසියන් වෙනුවට රජු, වංශවතුන් සහ ප්‍රවේනි දාසයන් සහිත රාජ්‍ය ක්‍රමයක් බිහි වෙනවා.


පුනරුදය​


මේ ක්‍රමය මැද්දට පාත් වෙන හෙණ ගෙඩිය වෙන්නෙ 1453 දී ඔටෝමාන් තුර්කීන් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟම​. තුර්කීන් විසින් තමාව හිංසනයට ලක් කරනු ඇතැයි බය වෙන කොන්ස්තන්තිනෝපලයේ වාසය කල ග්‍රීක උගතුන් විශාල ප්‍රමානයක් බටහිරට පලා යනවා. බොහෝ දෙනා නතර වෙන්නේ ඉතාලියේ.

මේ උගතුන් පලා යන්නේ නිකම්ම නෙවෙයි. කොන්ස්තන්තිනෝලපයේ එක් රැස් වී තිබුන විශාල දැණුම් සම්භාරයක් සමඟ​. බටහිර යුරෝපයට ඉතාලිය හරහා කඩා වදින මේ දැනුම බටහිර යුරෝපීය සමාජයේ දැවැන්ත විප්ලවයක් සිදු කරනවා.

ඒ එක්කම බටහිර යුරෝපයේදී (ස්පාඤ්ඤය​, පෘතුගාලය සහ ප්‍රංශය​) යුදෙව්වන්ට එරෙහිව සිද්ධ වෙන හිංසාකාරී ක්‍රියා වලින් බේරී පලා යන යුදෙව්වො විශාල ප්‍රමානයක් දකුණු ඉතාලියට සංක්‍රමනය වෙනවා. විශේෂයෙන්ම ෆ්ලොරන්ස් නගරය අවට​.

යුදෙව් සහ ග්‍රීක චින්තනයන් තුල ගැබ් ව තිබුනු සංකල්ප බටහිර යුරෝපීය සමාජයට කාන්දු වෙන්න පටන් ගන්නවා. බටහිර යුරෝපයේ නව චින්තනයක් බිහි වෙනවා.

ඒක තමයි අපි අද බටහිර චින්තනය, එහෙම නැත්තම් බටහිර නූතනත්වය කියල හඳුන්වන චින්තනය.


බටහිර චින්තනය​


බටහිර චින්තනය බිහි වෙන්නෙ යුදෙව් සහ ග්‍රීක චින්තනයන් මත පදනම් වෙලා (ඒ නිසාම මේක ග්‍රීක​-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය කියලත් හඳුන්වනවා). එහිදී බටහිර චින්තනයේ පදනම වෙන්නෙ,

1. ඒක දේව සංකල්පය​
2. වියුක්ත සිතීම​
3. පරිභෝජන වාදය​
4. පුද්ගලවාදය​

බටහිර චින්තනය මත පදනම් වෙලා යුරෝපීය සමාජය පරිණාමය වෙද්දි පරණ කතෝලික චින්තනයේ තිබුන සමහර අංගයන් තව දුරටත් පවතින්න නොහැකි වෙලා යනවා.

කතෝලික චින්තනයේ දී බටහිර සමාජයේ ආගම වුන කතෝලික ආගමේ සාමූහිකත්වය බටහිර චින්තනයට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා 1515 දී පමණ වඩා පුද්ගලකරනය වුන ප්‍රොතෙස්තන්ත ආගම ජර්මනියේදී උපත ලබනවා. කතෝලික ආගමේ සාමූහිකව කරන දේව යාඥාව වෙනුවට දෙවියන් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම කතෝලික පල්ලියේ දේශපාලන​-ආර්ථික බලයටත් පහර වැදෙනවා.

කතෝලික චින්තනයේ තිබ්බ සාමූහික වැඩවසම් ආර්ථික ක්‍රමය තව දුරටත් බටහිර චින්තනය තුල පවතින්න බැරි වෙද්දි ධනවාදය ඉදිරියට එනවා. අධි පරිභෝජන වාදය බටහිර සමාජයේ උත්කර්‍ෂයට නැංවෙනවා.




ප්‍රතිරෝධය​



මේ සමාජ පෙරළිය සම්පූර්න වෙන්නෙ 1850 දී පමණ​. ඒ වෙද්දි ධනවාදය පරිපූර්න සංකල්පයක් විදිහට පරිනාමය වෙලා ඉවරයි.

නමුත් ඒ කාලයේදීම වගේ බටහිර සමාජය තුලින්ම මේකට ප්‍රතිරෝද්ධයක් එල්ල වෙනවා. ඒ විකල්ප සංකල්ප හරහා. මේ විකල්ප සංකල්ප අතරින් ප්‍රධාන වෙන්නෙ කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය​. මේ ප්‍රතිවිරුද්ධ අදහස් අතර මාරාන්තික සටනක් 20 වෙනි සියවසේ ඇති වෙනවා. එයින් ජය ලබලා 21 වෙනි සියවසට ඇතුල් වෙන්නෙ බටහිර චින්තනය​.


සමාජ පරිනාමය​


මේ අදහස් වලට විරුද්ධ නැගෙන තර්කයක් තමයි සමාජ පරිනාමය කොතැනදී සිදුවුනත් ඒක සිද්ධ වෙන්නෙ බටහිර සිදු වුන දිශාව ඔස්සේ තමයි කියල​. වෙනත් වචන වලින් කිව්වොත් බටහිර චින්තනය කියන්නෙ මානව සමාජ පරිනාමයේ අනිවාර්‍යය ප්‍රතිඵලය කියල​.

මේ අදහස ඉතාම වැරදි සහගතයි. සමාජ පරිනාමයන් මානව ශිෂ්ඨාචාරයේ විවිධ තැන් වලදි සිදු වුනේ විවිධ ආකාරයන් වලට​. උදාහරණයකට ක්‍රි.ව​. 750-1250 කාලය තුල අබසිද් කලීෆාතය යටතේ ඇති වුන "ඉස්ලාමයේ ස්වර්ණමය යුගය​" සලකන්න පුළුවන්. මෙහිදී ඉස්ලාමීය චින්තනය යටතේ විද්‍යා, කලා, දර්ශන​, දේශපාලනික​, ආර්ථික යනාදී නොයෙකුත් අංගයන් ගේ දැවැන්ත ප්‍රගතියක් ඇති වුනා. නමුත් එය වර්ධනය වුනේ පුද්ගලවාදයක් ඔස්සේ නෙවෙයි.


මේ අදහස අද අපි අතරෙ මුල් බැහැල තියෙන්නෙ බටහිර චින්තනයේ ව්‍යාප්තවාදී හැසිරීම නිසා. යටත් විජිතවාදය හරහා බටහිර චින්තනය විසින් ලෝකයේ බහුතරයක් රටවල විවිධ චින්තනයන් ඔස්සේ ගොඩ නැගෙමින් තිබූ සමාජ ක්‍රම විනාශ කල නිසා අපිට විකල්ප සමාජ පරිනාම සඳහා උදාහරන හොයන්න ඉතාම අපහසුයි.

නමුත් සාපේක්‍ෂව බටහිර බලපෑමට අඩුවෙන් ලක්වුන ජපානයේ බටහිර චින්තනයේ දකින්නට නොලැබෙන සංකල්ප ඔස්සේ දියුණු වුන සමාජයක් දකින්න පුළුවන්. උදාහරණයකට ජපානයේ ධනවාදය පදනම් වෙලා තියෙන්නෙ බටහිර වගේ අධි පරිභෝජන වාදය මත නෙවෙයි. සමුරායි වරුන් ගේ විනය සහ කැපවීම කියන සංකල්ප ඔස්සේ. ඒ වගේම ජපන් සමාජය දැඩි ලෙස සාමූහිකයි. නමුත් දැවැන්ත ආර්ථික සහ සමාජයීය ප්‍රගතියක් අත් කර ගන්න ඔවුන් සමත්වෙලා තියෙනවා.



Tuesday, March 27, 2018

Jack the Ripper - 4


ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම​) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද​? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියන​ ප්‍රශ්න අදටත් අභිරහසක්.

ඒත් මේ කතාව ජැක් ගැන​(ම​) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ජීවිතය ගැන නියම අවබෝධයක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමාජයෙන් කොන් වුන මිනිස් දූවිලි කිව්වොත් නිවැරදියි.

පටන් ගන්න හොඳම තැන තමයි ජැක් අතින් මිය ගිය​ කාන්තාවන් පස් දෙනා. මේ පස් දෙනාම ගණිකාවන්. ඒ වගේම අන්ත දුගී අය​.

ජැක් ගේ හතරවෙනි ගොදුර කැතරින් එඩෝව්ස්.

කැතරින් එඩෝව්ස්
 කැතරින් එඩෝව්ස් උපත ලබන්නේ 1842 අප්‍රේල් 14 වෙනිදා වුල්වර්හැම්ටන් හිදී. ඔහුගේ පියා ටින් තහඩු කාර්මිකයෙක්. ඔවුන් ගේ පවුලේ ළමයි 11 දෙනෙක් හිටියා.

1848 දී කැතරින් ගේ පවුල ලන්ඩනයට එනවා. 1855 දී ඇගේ මව මිය යනවා. සුළු කාලයකට පසු ඇගේ පියාත් මිය යනවා. 1860 දී ඇය ඇගේ නැන්දා සමඟ ජීවත් වීමට නැවත වුල්වර්හැම්ටන් බලා යනවා.

1863 දී ඇය තෝමස් කොන්වේ නම් සේවා මුක්ත හමුදා සෙබළෙක් සමඟ පෙම් සබඳතාවයක් ඇති කර ගන්නවා. ඔවුන් දෙදෙනා ගෙවන්නේ සංචාරක ජීවිතයක්. ඔවුන් බර්මිංහැම් ඇතුළු නගර කීපයකම වාසය කරනවා.

1865 දී ඔවුන්ට ඇනී නම් දියණියක් සහ 1868 දී ජෝර්ජ් නම් පුතෙක් ලැබෙනවා.

1881 දී ඔවුන් වෙන්වෙන අතර​, ඇනී කැතරින් සමඟත්, ජෝර්ජ් කොන්වේ සමඟත් ජීවත් වෙනවා. ඒ අවුරුද්දේම ඇනී විවාහ වෙනවා.

1881 දී ඇය නව පෙම්වතෙක් සමඟ සබඳතාවයක් ඇති කර ගන්නවා. ඒ පළතුරු වෙළෙන්දෙක් වන ජෝන් කෙලී සමඟ​. ඔවුන් දෙදෙනා ජීවත් වෙන්නේ ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ පිහිටි කූනි ලැගුම්හලේ.

කූනි ලැගුම්හල
කූනි ලැගුම්හලේ පාලකයෙක් සහ ඇගේ පෙම්වතා ගේ විස්තරයන්ට අනුව කැතරින් ඉඳහිට අධික ලෙස මත්පැන් පානය කළත්, පුරුද්දක් වශයෙන් එසේ කළේ නෑ. ඒ වගේම ඇය තරමක් කෝප වන සුළු කාන්තාවක් වුනත්, සාමාන්‍යය අවස්ථාවන් හිදී නිතරම ගී ගයමින් ඉතා විනෝදයෙන් කල් ගෙව්වා. ඒ වගේම ඇය කෙදිනකවත් ගණිකාවක් විදිහට කටයුතු කලේ නෑ.

1888 වෙද්දී කැතරින් ගේ උස අඩි පහක්. ඇස් ලා දුඹුරු පාටයි. හිසකෙස් තද දුඹුරු පාටයි. ඇගේ වම් අතේ තද නිල් පාටින් "TC" කියල කොටපු පච්චයක් තියෙනවා.

1888 ගිම්හානයේ දී කැතරින් සහ කෙලී බීර මල් කඩන රස්සාවකට කෙන්ට් ප්‍රාන්තයට යනවා. ඔවුන් ආපහු එන්නේ ඔවුන් ගේ මිතුරියක් වුන එමිලි බිරෙල් සහ තවත් අයෙක් සමඟ​. ඔවුන් හතර දෙනා අතේම මුදල් නෑ. එමිලි පැන්ස දෙකකට උගස් තැබූ කමිසයක රිසිට් පතක් කැතරින් ට දෙනවා, ඒ ආපහු ලන්ඩනයට ගියාම ඒක බේර ගන්න කියලා.

සැප්තැම්බර් 28 වෙනිදා ඔවුන් ආපහු ලන්ඩනයට එනවා. කැතරින් සහ කෙලී අතේ තියෙන්නෙ පැන්ස 6 ක් විතරයි. ඔවුන් දෙන්නා ඒක බෙදා ගන්නවා. පැන්ස හතරක් ගන්න කෙලී කූනි ලැගුම්හලටත්, අනික් පැන්ස දෙක ගන්න කැතරින් ෂූ පටුමගේ ලැගුම් හලකටත් යනවා.

සැප්තැම්බර් 29 වෙනිදා -

ෂූ පටුමගේ ලැගුම් හලේ දී ඇති කරගන්න කලහයක් නිසා හෝ මුදල් නොමැති වීම නිසා කැතරින් ව ඉන් පිටමං කරනවා. ඇය ජෝන් කෙලී හොයාගෙන කූනි ලැගුම්හලට එනවා.

උදේ 8:00 -
කැතරින් සහ කෙලී ඔහුගේ බූට්ස් සපත්තු දෙකක් උගස් තැබීමෙන් ෂිලිං දෙකක් සහ පැන්ස හයක් ලබා ගන්නවා. ඔවුන් ඒ මුදලින් කෑම ස්වල්පයක්, තේ සහ සීනි මිලට ගන්නවා.

උදේ 10:00 -
කූනි ලැගුම්හලේ පාලකයෙක් කැතරින් සහ කෙලී ලැගුම්හලේ කුස්සියේ ආහාර ගනිමින් ඉන්නවා දකිනවා.

සවස 2:00 -
එදා රෑ ගතකරන්න ලැගුම් හලේ කුලිය ගෙවන්න ඔවුන් අතේ සල්ලි නෑ. කැතරින් බර්මොන්ඩ්සේ හි වෙසෙන ඇගේ දුව හමුවෙන්න යනවා මුදල් ඉල්ල ගන්න​. ඇය කෙලීට කියනවා සවස 4:00 ට කලින් ආපහු එන බව​. ඒත් කැතරින් ගේ දුව පදිංචිය වෙනස් කරලා තියෙන නිසා ඇයට දුව හමුවෙන්නෙ නෑ.

රාත්‍රී 8:00 -
පොලිස් කොස්තාපල් ලුයිස් රොබින්සන් දකිනවා ඇල්ඩ්ගේට් වීදියේ තැනක සෙනඟක් රැස්වී යමක් නරඹන හැටි. ඔහු එතැනට යනවිට දකිනවා අධික බීමතින් බිම වැතිරී ඉන්න කැතරින්. ඔහු රැස් ව සිටින පිරිසෙන් අහනවා ඇයව දන්න කෙනෙක් ඉන්නවද කියල​. නමුත් ඔවුන් කිසිවෙක් ඇයව හඳුනන්නේ නෑ. ලුයිස් ඇයව කෙලින් කරලා බිත්තියට හේත්තු කලත්, ඇය ආපහු බිත්තිය දිගේ රූටා ගිහින් බිම වැටෙනවා. ලුයිස් තවත් පොලිස් කොස්තාපල් කෙනෙක් වන ජෝර්ජ් සිමන්ස් ගේ අධාරයෙන් ඇයව බිෂොප්ගේට් පොලිස් ස්ථානයට අරගෙන එනවා.

ඇල්ඩ්ගේට් වීදිය
රාත්‍රී 8:45 -
බිෂොප්ගේට් පොලිස් ස්ථානයේ සාජන්ට් ජේම්ස් බයිෆීල්ඩ් කොස්තාපල් වරුන් දෙදෙනා විසින් අල්ලගෙන එන කැතරින් ව දකිනවා. ඇගේ නම මොකද්ද කියල අහන පැනයට ඇය උත්තර දෙන්නෙ "මොකවත් නෑ" කියල​.

රාත්‍රී 8:50 -
පොලිස් නිලධාරීන් ඇයව රිමාන්ඩ් කරනවා. ඒ ඇය ගේ වෙරි හිඳෙන තුරු. ඇය ළඟින් තද මත්පැන් ගඳක් හමන බව පොලිස් නිලධාරීන් සටහන් කරනවා. ඇය සිර කුටියේ නිදාගන්නවා.

රාත්‍රී 12:15 -
කැතරින් මෘදු හඬින් ගීයක් මුමුණන හඬ ඇගේ සිර කුටියෙන් ඇහෙනවා.

රාත්‍රී 12:30 -
කැතරින් පොලිස් නිලධාරින්ට කතා කරලා තමාව නිදහස් කරන්නේ කොයි වෙලාවෙද කියල අහනවා. "උඹට උඹව පාලනය කරගන්න පුළුවන් වුන වෙලාවට​". "මට දැන් එහෙම කරන්න පුළුවන්" කැතරින් උත්තර දෙනවා.

රාත්‍රී 12:55 -
සාජන්ට් බයිෆීල්ඩ් ගේ උපදෙස් පරිදි කැතරින් ව පරීක්‍ෂා කරන කොස්තාපල් ජෝර්ජ් හට් ඇය ගේ වෙරි සිඳී ඇති බව වාර්තා කරනවා. බයිෆීල්ඩ් ඇගේ නම සහ ලිපිනය අහනවිට ඇය උත්තර දෙන්නේ "මේරි ඈන් කෙලී, 6, ෆැෂන් වීදිය​" විදිහට​.

රාත්‍රී 1:00 -
කැතරින් පොලිස් ස්ථානයෙන් පිට වෙනවා. ඇයට සමු දෙන්නේ කොස්තාපල් හට්.
"දැන් වෙලාව කීයද​?" ("What time is it?") ඇය හට් ගෙන් අහනවා.
"උඹට බොන්න මොකුත් ගන්න නං පරක්කු වැඩියි" ("Too late for you to get anything to drink.")
"මම ගෙදර ගියාම හොඳටම බැණුම් අහගන්න වෙයි" ("I shall get a damn fine hiding when I get home.")
"හොඳ වැඩේ. උඹට බිබී ඇවිදින්න යුතුකමක් නෑ." (" And serve you right, you had no right to get drunk.")
හට් දොර ඇරලා ඇයව එළියට යවනව​.
"මේ පැත්තෙන් මිසිස්, කරුණාකරල ගෙදර යන්න​." ("This way missus, please pull in to.")
"හොඳමයි. සුබ රාත්‍රියක් කොල්ලෝ" ("All right', Goodnight, old cock.")

ඒත් ඇය හැරෙන්නේ කූනි ලැගුම්හල පැත්තට නෙවෙයි. ඇය වමට හැරිලා ආපහු ඇල්ඩ්ගේට් වීදිය දිහාවට යනවා. විනාඩි 10 ක ගමන්කින් පස්සෙ ඇය මයිටර් චතුරස්‍රයට ඇතුල් වෙනවා.

මයිටර් චතුරස්‍රය
රාත්‍රී 1:35 -
දුම්වැටි වෙළෙන්දෙක් වන ජෝශප් ලොවෙන්ඩ්, මස්කඩකාරයෙක් වන ජෝශප් ලෙවී සහ ගෘහ භාණ්ඩ විකුණුම් කරුවෙක් වන හැරී හැරිස් ඩියුක් වීදියේ අධිරාජ්‍යය සමාජ ශාලාවෙන් (Imperial Club) පිට වෙනවා. ඩියුක් වීදිය සහ චර්ච් පටුමග හමුවන තැන කැතරින් පිරිමියෙක් එක්ක කතා කරමින් ඉන්න හැටි ඔවුන් දකිනවා. ඇය ඔහුට මුහුණ ලා ඔහුගේ පපුව මත අතක් තියාගෙන ඉන්නෙ. ඔවුන් විස්තර කරන විදිහට පිරිමියා වයස 30 ක පමණ, අඩි 5 අඟල් 7 ක් උස උඩු රැවුලක් ඇති අයෙක්. ඔහු අළු-සුදු කබායක් සහ අළු රෙදි තොප්පියක් ඇඳලා බෙල්ලේ රතු ලේන්සුවක් ගැට ගහලා ඉන්නවා. ඔහුගේ ස්වරූපයෙජ් ඇඟවෙන්නෙ ඔහු නාවියකයෙක් බව​.

මයිටර් චතුරස්‍රයේ සිතියම​
 රාත්‍රී 1:45 -
රාත්‍රී මුර සංචාරයේ යන කොස්තාපල් එඩ්වඩ් වොට්කින්ස් ට මයිටර් චතුරස්‍රයේ කොනක වැටී තියෙන කැතරින් ගේ මළ සිරුර හමු වෙනවා.

මිය යන විට කැතරින් හැඳ සිටියේ මේ දේවල්:

1. කළු පාට පිදුරු බොනට්ටුවක් (straw bonnet)
2. සාක්කු වලට කළු සිල්ක් රෙදි සහ විශාල ලෝහ බොත්තම් ඇල්ලූ කළු රෙදි කබායක්
3. තද කොළ පාට කොට සායක්. ඒකෙ ඉන පටියේ දුඹුරු පාට බොත්තමක් තියෙනව​. සාය ඩේසි සහ ලිලී මල් මෝස්තර වලින් අලංකාර කරලා.
4. සුදු පාට පිරිමි අත් නැති ජැකට් එකක්
5. දුඹුරු පාට අත් නැති හැට්ටයක් (bodice)
6. අළු පාට යට ගවුම් දෙකක් (petticoat)
7. පරණ කොළ පාට දනිස් දක්වා දිග සායක්
8. පරණ ඉරී ගිය රතු සහ නිල් සායක්
9. සුදු පාට කමිසයක්
10. පිරිමි බූට්ස් සපත්තු දෙකක්
11. බෙල්ලෙ ගැටගහපු රතු පාට සිල්ක් ලේන්සුවක්
12. දුඹුරු සහ සුදු පාට දිග මේස් (stockings)

පිදුරු බොනට්ටුවක්
ඇය ගේ සිරුර සමඟ පහත දේ තිබිල තියෙනවා:

1. සුදු පාට ලොකු අත් ලේන්සුවක්
2. රතුපාට බෝඩරයක් තියෙන සුදු පාට ලොකු කපු අත් ලේන්සුවක්
3. කුඩා රෙදි පසුම්බි දෙකක්
4. මැටි දුම් පයිප්ප දෙකක්
5. තේකොළ දාපු කුඩා ටින් පෙට්ටියක්
6. සීනි දාපු කුඩා ටින් පෙට්ටියක්
7. හිස් ගිනිපෙට්ටියක්
8. සුදු පාට රෙදි කෑලි 12 ක්. සමහර රෙදි කෑලි වල යන්තම් ලේ ගෑවිලා.
9. සුදු පාට රළු ලිනන් රෙදි කෑල්ලක්
10. නිල් සහ සුදු පාට තුන් හුලස් කමිස රෙදි කෑල්ලක්
11. ඉඳිකටු සහ ඇල්පෙනෙති ගහපු රතු පාට ෆැනල් රෙදි කෑල්ලක්
12. කුඩා සබන් කෑලි 6 ක්
13. කුඩා දැති පනාවක්
14. සුදු මිටක් සහිත මේස පිහියක්
15. ලෝහ තේ හැන්දක්
16. රතු පාට සම් දුම්වැටි රඳවනයක්
17. ගෝනි නූල් බෝලයක්
18. අන්ඩ දාපු සුදු පාට පරණ ඒප්‍රන් එකක්
19. දිදාලයක්
20. බොත්තම් කීපයක්
21. කුඩා ටින් එකක දාපු උගස් බඩු රිසිට් දෙකක්. එකක් එමිලි බිරල් ගේ නමින් කමිසයකට​. අනෙක ජෝන් කෙලී නමින් බූට්ස් සපත්තු දෙකකට​.
22. අච්චු ගහපු හෑන්ඩ්බිලක්
23. කැඩුනු ඇස් කන්නාඩියක කොටසක්
24. රතුපාට ඝන​ අත් වැසුමක් (mitten)
 
ඇගේ සිරුර වැටිල තියෙන්නෙ උඩුබැලි අතට​. හිස තරමක් වම් පසට හැරිලා. දෑත් සිරුර දෙපැත්තෙන්. අත් දෙකේ ඇඟිලි තරමක් නැවිලා. අත්ල ඉහළට යොමු වෙලා. වම් කකුල දිග හැරිලා සිරුර කෙලින්. දකුණු කකුල දණහිසෙන් නවලා.

ඇගේ සිරුර භයානක ආකාරයට විකෘති කරලා. ඇගේ බෙල්ල හරහට ගැඹුරු කැපුමක්. පෙකණියේ සිට උගුර දක්වා විහිදෙන දිග නොගැඹුරු කැපුමක්. පෙකණියේ සිට පහළට විහිදෙන ගැඹුරු කැපුමක්. ඒ කැපුම ඇගේ යෝනිය හරහා තට්ටම් දක්වා යනවා. සිරුරේ බඩවැල් සියල්ලම පාහේ එළියට අරගෙන හිසේ පැත්තකින් ගොඩ ගහල​. දකුණු කන් පෙත්ත වෙන්වී යන ලෙස කපා දමලා. වම් ඇසට පහලින් සහ දකුණු ඇසට ඉහලින් කුඩා කැපුම් දෙකකින් ඇසිපිය වෙන්වී ගිහින්. නාසය සම්පූර්නයෙන්ම වගේ වෙන් වී යන විදිහට කපා දාලා. නාසයේ ඉහළ කෙලවරේ ඉඳල නිකට දක්වා මුහුණ දකුණු පැත්තෙන් තවත් කැපුමක්. උඩු තොලට එල්ල වුන කැපුමකින් විදුරු මසත් බාගෙට කැපී ගිහින්. ඇගේ අක්මාවට පිහි පාරවල් කීපයක්ම එල්ල වෙලා. වම් කලවයේ පිහි ඇනුම් තුවාලයක් සහ අඟල් තුනක් පමන දිග ගැඹුරු කැපුමක්.

ඒ එක්කම ඇගේ අක්මාවක් සහ ගර්භාෂයෙන් බාගයක් ඝාතකයා විසින් කපාගෙන ඔහුත් සමඟ අරගෙන ගිහින්.
 
කැතරින් එඩොව්ස් ගේ මළ සිරුර​
කැතරින් එඩෝව්ස් මරා දාන්නේත් එළිසබෙත් ස්ට්‍රයිඩ් මරා දාන දවසේමයි. ඒ ඊට පැය බාගයකට විතර පස්සෙ. එළිසබෙත් ගේ සිරුර විකෘති කරන්න අවස්ථාවක් නොලැබුන නිසා ජැක් තවත් ගොදුරක් සොයා යන්න ඇති කියල විශ්වාස කෙරෙනවා.

ඒ වගේම ඉතාම අත්භූත සිදුවීමක් සිදු වෙනවා. ඒ පොලිසියේ දී කැතරින් පොලිස් නිලධාරීන්ට දෙන නම වන "මේරි ජේන් කෙලී". මේරි ජේන් කෙලී කියන්නෙ ඝාතකයා ගේ පස් වෙනි ගොදුර​.

1888 ඔක්තෝබර් 8 වෙනිදා මේනර් උද්‍යාන සුසාන භූමියේ දී කැතරින් ගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා. 1996 දී ඇගේ සොහොන මත සමරු ඵලකයක් සවි කෙරෙනවා.


Sunday, March 25, 2018

Jack the Ripper - 3


ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම​) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද​? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියන​ ප්‍රශ්න අදටත් අභිරහසක්.

ඒත් මේ කතාව ජැක් ගැන​(ම​) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ජීවිතය ගැන නියම අවබෝධයක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමාජයෙන් කොන් වුන මිනිස් දූවිලි කිව්වොත් නිවැරදියි.

පටන් ගන්න හොඳම තැන තමයි ජැක් අතින් මිය ගිය​ කාන්තාවන් පස් දෙනා. මේ පස් දෙනාම ගණිකාවන්. ඒ වගේම අන්ත දුගී අය​.

ජැක් ගේ තුන් වෙනි ගොදුර එළිසබෙත් ස්ට්‍රයිඩ්.

එළිසබෙත් ස්ට්‍රයිඩ් 1872 දී
 එලිසබෙත් උපත ලබන්නේ 1843 නොවැම්බර් 27 වෙනිදා ස්වීඩනයේ ටෝර්ස්ලන්ඩා දිස්ත්‍රික්කයේ. ඇගේ මව්පියන් ඇයට දෙන නම එළිසබෙත් ගුස්ටාෆ්ස්ඩොටර්. ඇගේ පියා  ගොවියෙක්.

1860 දී ඇය ගොතෙන්බර්ග් දිස්ත්‍රික්කයේ ගෘහ සේවිකාවක් විදිහට සේවයට යනවා. එහිදී ඇය මුල් වරට ගණිකා වෘත්තියට යොමු වෙනවා. 1865 වෙද්දි ඇය ගණිකාවක් විදිහට පොලිසිය විසින් හඳුනාගන්නා අතර​, ඒ වෙද්දි ඇය සමාජ රෝග සඳහා දෙවරක් ප්‍රතිකාර ලබලා තියෙනවා. 1865 අප්‍රේල් මාසයේදී ඇය දියණියක් ප්‍රසූත කරනවා. නමුත් බිළිඳිය උපතේදීම මිය ගිහින්.

1866 ජූලි 10 වෙනිදා ඇය ලන්ඩනයේ පදිංචියට එනවා. ඒ ගෘහ සේවිකාවක් විදිහට​.

1869 දී එළිසබෙත් නැව් වඩුවෙක් වන ජෝන් ස්ට්‍රයිඩ් සමඟ විවාහ වෙනවා. ඔවුන් දෙදෙනා ලන්ඩනයේ පොප්ලර් වීදියේ කෝපි කඩයක් පවත්වාගෙන යමින් ජීවිකාව කරගන්නවා. මේ විවාහයෙන් එළිසබෙත් ට දරුවන් නෑ. 1877 දී ඔවුන් වෙන්වෙන අතර  එතැන් සිට එළිසබෙත් ජීවත් වෙන්නේ පොප්ලර් වැඩ නිවාසයේ (work house).

මේ කාලයේ එංගලන්තයේ "වැඩ නිවාස" (Work House) ලෙස හැඳින්වුන ආයතන තිබුනා. මේ ආයතන වල දුප්පත් අයට ආහාර, ඇඳක් සහ ලෙඩ වූ විට බෙහෙත් ලබා දුන් අතර​, ඒ වෙනුවෙන් ඔවුන් ගෙන් කම්කරු ශ්‍රමය ලබා ගත්තා.

පොප්ලර් වැඩ නිවාසය

1884 දී ජෝන් ස්ට්‍රයිඩ් ටර්බකියුලෝසිස් රෝගය වැළඳීමෙන් මරණයට පත් වෙනවා. නමුත් එළිසබෙත් පසු කාලීනව තමාගේ විවාහය ගැන කියන්නෙ වෙනස් කතාවක්. ඇය පවසන විදිහට ඇයට දරුවන් දෙදෙනක් සිටි අතර​, සැමියා සහ දරුවන් දෙදෙනා තේම්ස් නදියේ සිදුවූ නැව් අනතුරකින් දියේ ගිලී මරණයට පත් වෙනවා. එහිදී ඇති වන කලබලයේදී කෙනෙක් පයින් ගැසීම නිසා ඇගේ හක්කට තුවාල සිදු වෙනවා. සමහර විට ඇය මේ බොරු කතාව ගොතන්න ඇත්තේ අනුකම්පාව දිනා ගන්න​.

1881 දී ඇය වයිට්චේපල් දිස්ත්‍රික්කයට එනවා. එහිදී ඇගේ නවාතැන්පල වෙන්නේ ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ ලැගුම්හල​. 1881 දෙසැම්බර් මාසයේදී ඇයට බ්‍රොන්කයිටිස් රෝගය වැළඳෙනවා.

ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ ලැගුම්හල
1885 දී ඇයට හමුවෙනවා වරාය කම්කරුවෙක් වන මයිකල් කිඩ්නි. ඇගේ මරණය තෙක්ම ඔවුන් දෙදෙනා පෙම්වතුන් විදිහටයි ජීවත් වෙන්නේ. නමුත් ඔහු සමඟ ඇය නොයෙක් අවස්ථා වල අඬ දබර ඇති කර ගන්නවා. ඔවුන් දෙදෙනාම විටින් විට බීමත් කම​, කලකෝලහාල ඇති කරගැනීම සහ ප්‍රසිද්ධියේ අසැබි වදන් භාවිතා කිරීම යන චෝදනා වලට නීතිය ඉදිරියට පමුණුවනවා.

එළිසබෙත් මේ වෙද්දි සමහර අවස්ථා වල කිඩ්නි ගේ ඩෝර්සට් වීදියේ තිබූ කාමරයේත්, ඔහුත් සමඟ අමනාප වූ අවස්ථා වලදී ලැගුම් හලේත් නවාතැන් ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඇය ජීවිකාව කරගන්නේ මැහුම් ගෙතුම් වලින්, ගෙවල් ශුද්ධ කිරීමෙන් සහ ගණිකා වෘත්තියේ නියැලීමෙන්. ඊට අමතරව ඇය ලන්ඩනයේ ස්වීඩන් පල්ලියෙන් සහ කිඩ්නි ගෙන් මුදල් ආධාර ලබා ගත්තා.

1888 දි එළිසබෙත් ගෙ වයස අවුරුදු 45 ක්. ඇගේ උස අඩි 5 අඟල් 5 ක්. කාලයේ සහ ඇය ජීවත් වූ මන්ද පෝෂනයෙන් පිරුනු දුප්පත් වටපිටාවට අනුව මේක සෑහෙන උසක්. ඒ නිසා ඇය හැඳින්වුන සුරතල් නාමය "ලෝං ලිස්" (උස ලිස්). ඇගේ සම සුදුමැලි පාටයි. හිස කෙස් දුඹුරු පාටයි. ඒවා කැරලි ගැහිලා. ඇස් ලා අළු පාටයි. ඇගේ යට ඇන්දේ දත් එකක් වත් තිබුනේ නෑ. ඇයට ස්වීඩිෂ්, ඉංග්‍රීසි සහ යිඩිෂ් භාෂා තුනම කතා කිරීමේ හැකියාව තිබ්බා.

සැප්තැම්බර් 28 වෙනිදා -
සමාජ සේවකයෙක් වන දොස්තර බර්නාඩෝ ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ ලැගුම්හලට එනවා. එහි කුස්සියේ කාන්තාවන් පිරිසක් ඇනී චැප්මන් ගේ මරණය ගැන කතා කරමින් ඉන්නවා. දොස්තර තෝමස් දකිනවා එක් කාන්තාවක් කෝපයෙන් කෑ ගහනවා. "අපි කාටවත් යහපතක් වෙන්නෙ නෑ. අපිට මොනා වුනත් කාටවත් ගානක් නෑ. සමහරවිට ඊළඟට මැරෙන්නෙ අපි කවුරුහරි වෙන්න පුළුවන්." ("We're all up to no good, no one cares what becomes of us! Perhaps some of us will be killed next!"). ඒ එළිසබෙත්.

සැප්තැම්බර් 29 වෙනිදා -
සුළං සහ වැසි සහිත දවසක්. .එළිසබෙත් ලැගුම් හලේ කාමර දෙකක් ශුද්ධ පවිත්‍ර කරනවා. ඒ වෙනුවෙන් ඇයට ලැගුම්හල් පාලිකාවක් වන එළිසබෙත් ටැනර් පැන්ස හයක් ගෙවනවා.

සවස 6.30 -
එළිසබෙත් ටැනර් "රැජිණගේ හිස" (Queen's Head) තැබෑරුමට යනවා. එහිදී ඇයට එළිසබෙත් ස්ට්‍රයිඩ් හමුවෙනවා. එළිසබෙත් ලා දෙන්නා මත්පැන් පානය කරනවා. ටැනර් ආපහු ලැගුම්හලට ඇවිදගෙන එනවා.

"රැජිණගේ හිස"
සවස 7:00 - 8:00 -
ලැගුම්හලේ වාසය කරන එළිසබෙත් ගේ මිතුරන් වන චාල්ස් ප්‍රෙස්ටන් සහ කැතරින් ලේන් දකිනවා ඇය ලැගුම්හලේ ඉඳලා එළියට බහිනවා. එළිසබෙත් කැතරින්ට විශාල කොළ පාට වෙල්වට් රෙදි කඩක් දීලා අපහු ඇය එනකං ඒක තියා ගන්න කියනවා. ඇය ප්‍රෙස්ටන් ගෙන් ඇඳුම් පිස දමන බුරුසුවක් ඉල්ලනවා. නමුත් ප්‍රෙස්ටන් ගේ බුරුසුව නැතිවෙලා. ඇය එළියට යද්දී ලැගුම්හලේ මුරකරු වන තෝමස් බේට්ස් ට ටැනර් දුන්නු පැන්ස හය පෙන්වනවා.

රාත්‍රී 11:00 -
කම්කරුවන් දෙදෙනෙක් වන ජේ. බෙස්ට් සහ ජෝන් ගාඩ්නර් සෙට්ල්ස් වීදියේ පිහිටි "පෙදරේරුවාගේ අත්" (Bricklayer's Arms) තැබෑරුමට ඇතුල් වෙනවා. එතකොට ඔවුන් දකිනවා එළිසබෙත් මිටි මිනිහෙක් සමඟ තැබෑරුමෙන් එළියට බහිනවා. ඒ මිනිහා උඩු රැවුලක් සහිත​, රවුම් තොප්පියක් පැළඳි හොඳින් හැඳ පැළඳි අයෙක්. ඒ මොහොතේ තරමක් තද වැස්සක් වැටෙමින් තිබෙන නිසා ඔවුන් දොරකඩ රැඳී ඉන්නවා. එහිදී ඒ පුද්ගලයා එළිසබෙත් ව සිප වැළඳගන්න පටන් ගන්නවා. ප්‍රසිද්ධ තැනක ඒ විදිහට සිප වැළඳ ගැනීම ගැන බෙස්ට් සහ ගාඩ්නර් පුදුමයට පත් වෙනවා. ඔවුන් එළිසබෙත්ට සහ ඇගේ "මිතුරාට​" අඩියක් ගහන්න ආරාධනා කලත් ඔහු එය ප්‍රතික්‍ෂේප කරනවා. "ඔය උඹේ ඇඟේ එතෙන්නේ සම් ඒප්‍රනය" (That's Leather Apron getting 'round you.) කම්කරුවන් දෙන්නා එළිසබෙත්ට විහිළු කරනවා. ටික වෙලාවකින් එළිසබෙත් සහ මිතුරා බර්නර් වීදියට දිහාවට වේගයෙන් ඇවිදගෙන යනවා.

("සම් ඒප්‍රනය​" කියන්නේ මේ වනවිට ලන්ඩන් වැසියන් ජැක් ද රිපර් ට පටබැඳ තිබූ නම​)

"පෙදරේරුවාගේ අත්"
රාත්‍රී 11:45 -
කම්කරුවෙක් වුනු විලියම් මාෂල් බර්නර් වීදියේදී එළිසබෙත් සහ මිනිහෙක් සිප ගනිමින් ඉන්නවා දකිනවා.

රාත්‍රී 12:35 -
පොලිස් කොස්තාපල් විලියම් ස්මිත් දකිනවා එළිසබෙත් දඩයම් තොප්පියකින් සහ කබායකින් සැරසුන තරුණයෙක් එක්ක බර්නර් වීදියේ "කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව" ඉදිරිපිට ඉන්නවා. තරුණයා අතේ අඩි එකහමාරක් විතර දිග පත්තර කඩදාසි වලින් එතූ පාර්සලයක් තියෙනවා.

"කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව" කියන්නේ කම්කරුවන් ගේ සමාජවාදී සමාජයක්. එහි 200 කට පමන අසුන් ගන්න පුළුවන් ශාලාවක් තිබ්බා. මේ ශාලාවේ වැඩිපුරම පැවැත්වුනේ සමාජවාදී තේමාවන් සහිත නාට්‍යය​. බොහෝ විට මේ නාට්‍යය රඟදැක්වුනේ රුසියන් නාට්‍යය කන්ඩායම් විසින්.

රාත්‍රී 12:45 -
හංගේරියානු යුදෙව්වෙක් වන ඊශ්‍රායෙල් ෂ්වාට්ස් බර්නර් වීදිය දිගේ ගමන් කරමින් ඉන්නවා. ඔහු දකිනවා "කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව" අසල කාන්තාවක් සහ පිරිමියෙක් ඉන්නවා. එක පාරටම මිනිහා කාන්තාව තල්ලු කරනවා. ඇය බිම ඇදවැටෙනවා. කාන්තාව තුන් වරක් හෙමින් කෑගහනවා. බියපත් වෙන ෂ්වාට්ස් පාරේ අනික් පැත්තට පනිනවා. එතකොට ඔහු දකිනවා පාරේ ඒ පැත්තේ තවත් මිනිහෙක් පයිප්පයක් උරමින් ඉන්නවා. කාන්තාවට පහරදුන් මිනිහා "ලිප්ස්කි" කියා කෑගහනවා (ලිප්ස්කි කියන්නේ යුදෙව්වන් හැඳින්වුන අපහාසාත්මක නමක්). ෂ්වාට්ස් පය ඉක්මන් කරමින් එතැනින් යන්න හදනකොට ඔහු දකිනවා පයිප්පයක් උරමින් සිටි මිනිහා ඔහු පසුපස එන බව​. බියපත් වෙන ෂ්වාට්ස් එතැනින් දුවනවා.

බර්නර් වීදිය​.කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව තිබුනේ උස ගොඩනැගිල්ලේ.
 රාත්‍රී 1:00 -
කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව සහ හස්ත කර්මාන්ත ශිල්පීන් වාසය කළ කුඩා නිවාස අතර තිබූ අඩි නවයක් පළල කුඩා අංගනය හැඳින්වුනේ "ඩුට්ෆීල්ඩ් ගේ අංගනය" (Dutfield's Yard) නමින්. එහි ඉස්තාලයක්, අශ්ව කරත්ත හදන වැඩපොළක් සහ ගෝනි හදන වැඩපොළක් පිහිටා තිබුනා.

ආභරණ වෙළෙන්දෙක් වුන ලුයිස් ඩියෙම්‍ෂුට්ස් තමාගේ අශ්ව කරත්තය ඩුට්ෆීල්ඩ් ගේ අංගනයට ඇතුල් කරනවා. ඒත් පෝනියා අංගනයට ඇතුල් වීම ප්‍රතික්‍ෂේප කරනව​. එතැන කට්ට කළුවර නිසා ලුයිස් තමාගේ කසයෙන් පාර පිරික්සලා බලනවා. ඔහුගේ කසයට අහුවෙනවා පාර හරහට වැටිල තියෙන සිරුරක්. ඔහු හිතන්නේ ඒ බීමත් ව වැටිල ඉන්න පුද්ගලයෙක් කියලා.

ඩුට්ෆීල්ඩ් ගේ අංගනය​
ලුයිස් කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාවට ගිහින් "බීමත් පුද්ගලයා" නැගිට්ටුවන්න උදව් ඉල්ලනවා. අයිසැක් කොසෙබ්‍රොඩ්ස්කි සහ මොරිස් ඊගල් ඔහු ගේ උදව්වට එනවා. නමුත් ඔවුන් දකින්නේ ඒ ගෙල කපා මරාදැමූ කාන්තාවක් බව​.

මිය යනවිට එළිසබෙත් ඇඳගෙන හිටියෙ මේ දේවල්:

1. රතු රෝස මලක් ගහපු කළු දිග කබායක්
2. කළු සායක්
3. කළු බොනට් තොප්පියක්
4. වම් පැත්තෙන් ගැටයක් දැමූ කොටු වැටුන ස්කාෆ් එකක්
5. තද දුඹුරු පාට වෙල්වට් අත් නැති හැට්ටයක් (bodice)
6. සැහැල්ලු යටගවුම් දෙකක් (petticoat)
7. සුදුපාට රාත්‍රී ගවුමක් (chemise)
8. සුදුපාට දිග මේස් (stockings)
9. ඉලාස්ටික් පැති සහිත බූට්ස් සපත්තු (spring sided boots)

ඇය ගේ සිරුර සමඟ පහත දේ තිබිල තියෙනවා:

1. අත් ලේන්සු දෙකක්
2. දිදාලයක් (thimble)
3. කාඩ්බෝඩ් කැබැල්ලක එතූ වූල් නූලක්
4. යතුරක්
5. කුඩා ඊයම් පැන්සලක්
6. ලොකු බොත්තම් 6 ක් සහ කුඩා බොත්තමක්
7. පනාවක්
8. කැඩුනු පනාවක කෑල්ලක්
9. ලෝහ හැන්දක්
10. ඇඳුම් වලට අල්ලන කුඩා කොක්කක්
11. කපු රෙදි කඩක් (muslin)
12. කඩදාසි කැබලි දෙකක්


ඇගේ සිරුර වැටිල තියෙන්නෙ හිස අංගනය ඇතුලටත් දෙපා වීදිය පැත්තටත් වෙන විදිහට​. දකුණු අත බඩ උඩින්. මරණ පරීක්‍ෂනය කරන විටත් ඇගේ මුහුණ සහ දෙපා උණුසුම්. දෑත් විතරක් ශීතල වෙලා. ඇගේ බෙල්ලේ අඟල් හයක් දිග ගැඹුරු කැපුමක්. 

එළිසබෙත් ස්ට්‍රයිඩ් ගේ මළ සිරුර​
වෙනත් මරණවලදී වගේ සිරුර විකෘති කර නොතිබූ නිසා විශ්වාස කරන්නේ මිනීමරුවා ඇගේ ගෙල කැපූ වහාම ලුයිස් ගේ අශ්ව කරත්තය අංගනයට ඇතුල් වූ බව​. ලුයිස් කසයෙන් පාර පිරික්සා බලද්දිත් මිනීමරුවා ඒ අසල සිටි බවත්, ඔහු උදව් ඉල්ලීමට ගිය අවසරයෙන් එතැනින් පැන ගිය බවත් විශ්වාස කෙරනවා.

1888 ඔක්තෝබර් 6 වෙනිදා ඊස්ට් ලන්ඩන් සුසාන භූමියේදි එළිසබෙත් ගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා.


 

Thursday, March 22, 2018

යටත් නොවෙමි!


1922 දී දකුණු ජපානයේ කුඩා නගරයක් වුන කමෙකවා නගරයේ වාසය කළ පැරණි සමුරායි පෙළපතකින් පැවත ආ පවුලක පිරිමි දරුවෙක් උපත ලැබුවා. ඔහුට දෙමාපියන් තිබ්බ නම "හිරො ඔනොදා". ඔහුගේ සුරතල් නාමය වුනේ "හිරූ".

හිරූ ගේ පියා දෙවෙනි ලෝක යුධ සමයේදී ජපන් හමුදාවට බඳවා ගනු ලැබුවා. හිරූ ට වයස 18 සම්පූර්න වුන වහාම ඔහුත් තම සොයුරා අනුගමනය කරමින් ජපන් හමුදාවේ පාබල සෙබළෙක් වශයෙන් සේවයට බැඳුනා. ඒ 1940 දී.

හිරෝ ඔනොදා (දකුණේ) ඔහුගේ සොහොයුරා සමඟ 1944 දී

1943 දී හිරූ ගේ පියා චීනයේ දී සටන් බිමේ දී මිය ගියා. නමුත් ඔහු අධෛර්‍යයට පත් වුනේ නෑ. ඔහු ජපන් හමුදාවේ කොමාන්ඩෝ සෙබළෙක් වශයෙන් පුහුණුව ලබන පාඨමාලාවකට ඇතුලත් වුනා. 1944 දෙසැම්බර් 26 වෙනිදා ඔහු තමාගේ පළමුවන සටන් බිමේ පත්වීම ලබා ගත්තා. ඒ පිලිපීනයට​.

ජපනුන් පිලිපීනය අල්ලා ගන්නේ 1942 දී. පිලිපීනය ජපන් යුධ සැලැසුම් වල ඉතාම වැදගත් ස්ථානයක් ඉසිලුවා. ඒ මධ්‍යගත පිහිටීම සහ සොබාවික සම්පත් හේතුවෙන්. ඒ නිසාම පිලිපීනය මුදා ගැනීම ඇමරිකන් යුධ සැලසුම් වල ඉහළ ප්‍රමුඛතාවක් ලැබුනු කරුනක්. ඒ නිසාම 1944 ඔක්තෝබරයේදී දී ඇමරිකානු හමුදාව පිලිපීනයට පහර දීම ඇරඹුවා. සටන් ඉතාම දරුණු සොබාවයක් ගත්තා. දෙපාර්ශවයෙන්ම දහස් ගණනක් මිය ගියා. 1944 දෙසැම්බරය වෙද්දී ඇමරිකානු හමුදා පිලිපීනයට ගොඩ බැහැල යුධමය අතින් වැදගත් ස්ථාන කීපයක්ම ජපනුන් ගෙන් අල්ලා ගෙන මැනිලා අගනුවරට පහර දෙන්න සූදානමින් හිටියේ.

ලුතිනන් හිරෝ ඔනොදා පිලිපීනයට එන්නේ මේ වගේ පසුබිමකදී.

ඔහුව යැවෙන්නේ උතුරු පිලිපීනයේ වර්ග කිලෝමීටර් 125 ක කුඩා දූපතක් වුන ලුබං වෙත​. ඔනොදා ට ලැබෙන අණ සරලයි. ලුබොං දිවයිනේ ඇති ගුවන් තොටුපොළ සහ වරාය පාවිච්චි කළ නොහැකි තත්වයට පත් කිරීම සහ දූපතට ඇමරිකානු හමුදා ගොඩ බැස්සොත් ඔවුන්ට හැකි උපරිම අයුරින් බාධා කිරීම​. ඒ වගේම ඔහුට මොනම හේතුවක් නිසාවත් යටත් වීමට හෝ දිවි නසාගැනීමට​ තහනම් කෙරෙනවා.

නමුත් ලුබොං දූපතේ ඒ වන විට නවතා ඇති හමුදා ඛන්ඩයේ අණ දෙන කපිතන් වරයා ඔහුට වරාය සහ ගුවන් තොටුපොළ විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා 1945 පෙබරවාරි 28 වැනිදා ඇමරිකානු හමුදාව ඉතා පහසුවෙන් ලුබොං දූපතට ගොඩ බහිනවා. එහිදී ඇතිවන සටනින් ඉතිරි වන්නේ ජපන් සෙබළු තුන් දෙනෙක් පමණයි. ජපන් හමුදා ඛන්ඩයේ අනෙකුත් සියළු සෙබළු එක්කෝ මිය යනවා, නැත්තම් අත් අඩංගුවට පත් වෙනවා.

ඉතුරු වුන සෙබළු හතර දෙනා, ලුතිනන් හිරෝ ඔනොදා, කෝපරල් ෂොයිචි ෂිමදා, ලාන්ස් කෝපරල් කින්‍ෂිචි කොෂුකා සහ සාමාන්‍යය සෙබළ යුයිචි අකත්සු, කඳුකරයට පලා ගියා. පිරිසේ නිලධාරියා වශයෙන් ඔනොදා ඔවුන් හට අණදුන්නේ තමාට ලුබොං දිවයිනට පැමිනෙන විට භාර දුන් කාර්‍යය ඉටු කිරීමට​. ඒ ඇමරිකානු හමුදා වලට හැකි උපරිම අයුරින් බාධා කිරීම​.

මේ සෙබළු හතර දෙනා තමාට හැකි පමණින් ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ට සහය දුන් පිලිපීන ගම් වාසීන්ට බාධා පමුණුවමින් ගරිල්ලා සටන් වල නියැලෙනවා. මේ අතර 1945 සැප්තැම්බර් 2 වැනිදා ජපානය නිල වශයෙන් යටත් වෙනවා. දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙනවා.

නමුත් මේ පිරිස ඒ බව දන්නේ නෑ. ඔවුන් දිගටම කැලයේ සැඟවී සිටිමින් තමාගේ ගරිල්ලා සටන් වල නියැලෙනවා. 1945 ඔක්තෝබර් මාසයේදී ඔවුන් ගම්බද ගොවිපොළක හරකෙක් මරණවා. එවිට ගම් වාසීන් යුද්ධය අවසන් වූ බවත් ඔවුන්ට කැලයෙන් එළියට එන ලෙසත් ඉල්ලා ලිපියක් එතැන තබනවා. නමුත් මේ පිරිස හිතන්නේ එය ඇමරිකන් හමුදාවන් ගේ උපක්‍රමයක් විදිහට​.

මේ අතර ඇමරිකන් හමුදා විසින් යුද්ධය අවසන් වූ බවට නිවේදනය කෙරෙන පත්‍රිකා දහස් ගණනින් කැලයට ගුවනින් විසුරුවා හරිනවා. මේ පත්‍රිකා වලට අත්සන් තබන්නේ පිලිපීනයේ ජපන් හමුදා වල අණදෙන නිලධාරී ජනරාල් තොමොයුකි යමෂිතා. නමුත් ඔනොදා සහ සගයන් තීරණය කරන්නේ ඒවා ඇමරිකන් හමුදා විසින් වංචනිකව සකස් කරන ලද ඒවා බව​.

ඔවුන් මේ විදිහට ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් වනගතව වාසය කරනවා. 1949 දී මේ දුෂ්කර ජීවිතය ගත කිරීම තව දුරටත් කළ නොහැකි බව තීරණය කරන යුයිචි අකත්සු අනෙක් පිරිසෙන් වෙන් වෙනවා. මාස හයක් තනිවම කැලේ ගත කිරීමෙන් පසු ඔහු 1950 මාර්තු මාසයේදී පිලිපීන පොලිසියට භාර වෙනවා.

අකත්සු ගෙන් ලද තොරතුරු අනුව ජපාන් රජය අනෙක් සෙබළු තුන් දෙනාගේ පවුල් වල සාමාජිකයන් විසින් ලියන ලද ලිපි ගුවනින් කැලෑවට හෙළනවා. නමුත් ඔනොදා සහ සගයන් තීරණය කරන්නේ මෙයත් සතුරාගේ උපක්‍රමයක් බවයි.

මේ වන විට ඔවුන් සම්පූර්නයෙන්ම වනගත දිවියකට අනුගත වෙලා ඉවරයි. ඔවුන් වැඩිපුර වාසය කරන්නේ ගල් ගුහා වල​. ඔවුන් ගේ ආහාර වේල වැඩිපුරම සමන්විත වෙන්නේ කෙසල් සහ පොල් වලින්. කලාතුරකින් ඔවුන් වල් ඌරෙක් හෝ මුවෙක් දඩයම් කර ගන්නවා. නැතිනම් ගැමියෙක් ගේ හරකෙක් මරා ගන්නවා. ඉඳ හිට රාත්‍රී කාලයේ කඩයක් කොල්ල කෑමෙන් ඔවුන්ට අවශ්‍යය වෙනත් භාන්ඩ ලබා ගන්නවා. ඒ වගේම හැකි සෑමවිටම ඔවුන් ගම් වාසීන් ගේ කුඹුරු ගිනි තැබීම​, පොලිස් භටයන්ට පහර දීම වැනි ගරිල්ලා උපක්‍රම වල නිරත වෙනවා. මේ ක්‍රියා වලදී ඔවුන් හා පොලිසිය අතර නිරතුරුවම වෙඩි හුවමාරු වීම් සිද්ධ වෙනවා. මේ වෙඩි තැබීම් තවමත් යුද්ධය අවසන් නොමැති බවට ඔවුන් ගේ විශ්වාසය තව දුරටත් තහවුරු කරනවා.

 ඔනොදා සහ සගයන් සැඟවී සිටි ගල්ගුහාවක්.
ඔවුන් ව සොයා වරින් වර පොලිස් සහ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වුනත්, ගරිල්ලා සෙබළුන් විදිහට ඔවුන් ලබා තිබූ විශිෂ්ඨ පුහුණුව උපයෝගී කරගනිමින් ඒ සියල්ලෙන්ම ගැලවෙන්න ඔවුන් සමත් වෙනවා.

1953 ජූනි මාසයේදී කෝපරල් ෂිමදා ධීවරයන් පිරිසක් සමඟ ඇතිවන වෙඩි හුවමාරුවකදී කකුලකට වෙඩි පහරක් වැදීමෙන් තුවාල ලබනවා. ඔහුගේ සගයන් දෙදෙනා ඔහුව සුවපත් කළත්, ඔහු 1954 මැයි මාසයේ 7 වැනිදා පොලිසියත් සමඟ ඇති වන ගැටුමකින් මරණයට පත් වෙනවා.

ඔනොදා සහ කොසුකා දිගටම ගරිල්ලා ජීවිතය ගත කරනවා. 1972 ඔක්තෝබර් 19 වැනිදා කපා ගොඩගසා තිබූ ගොයම් ගිනිතැබීමට උත්සහ කරද්දී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් කොසුකා මිය යනවා. දැන් ඔනොදා තනිවම​. නමුත් ඔහු යටත් වෙන්නේ නෑ.

නොරියෝ සුසුකි කියන්නෙ ජපන් ජාතික තරුණයෙක්. ඔහුගේ ජීවිතයේ ඔහුට ඉලක්ක තුනක් තියෙනවා. ඒ,

1. හිරෝ ඔනොදා සොයා ගැනීම​
2. වනගත පැන්ඩා වළසෙක් දැක ගැනීම​
3. යෙටී සොයා ගැනීම​

මේ ඉලක්ක තුනෙන් පළමු ඉලක්කය සපුරා ගන්න සුසුකි 1974 දී පිලිපීනයට එනවා. ඔහු ලුබං දිවයිනේ කැලෑ වල සැරිසරමින් ඔනොදා සොයනවා.

1974 පෙබරවාරි 20 වැනිදා සුසුකි ට කැලයේ දී දිරා ගිය සිරුරක් සහිත මහළු මිනිහෙක් හමුවෙනවා. "මහළු මිනිහා" එක වරම තමාගේ තුවක්කුව ඔසවා සුසුකිට වෙඩි තියන්න සූදානම් වෙනවා. ඒත් සුසුකි ජපන් බසින් කතා කරාම ඔහු තුවක්කුව පහත හෙලනවා.

"ඔනොදා සාන්, අධිරාජ්‍යයා සහ ජපානයේ මිනිස්සු ඔබ ගැන වද වෙනවා"

සුසුකි සහ ඔනොදා මිතුරන් බවට පත් වෙනවා. පසු කාලීනව ඔනොදා සුසුකි හමුවීම විස්තර කරන්නේ මෙහෙමයි.

"මේ හිපි කොල්ලා දූපතට ඇවිත් ජපන් සොල්දාදුවෙක් ගේ හැඟීම් වලට සවන් දුන්නා. ඔහු මගෙන් ඇහුවා මම යටත් නොවෙන්නේ ඇයි කියලා"

සුසුකි සහ ඔනොදා 1974 දී
ඔනොදා ඔහුට යටත් වීමට නම් ඔහුගේ අණදෙන නිලධාරියා වන මේජර් යොෂිමි තනිගූචි ගේ අණ ලැබෙන්න ඕනෙ කියල කියනවා.

සුසුකි නැවත ජපානයට ගිහින් ජපන් රජයට මේ බව දන්වලා මේජර් තනිගූචි ව සොයා ගන්නවා. වාසනාවකට වගේ ඔහු යුද්ධයෙන් මිය ගිහින් නෑ. ඔහු ඒ වන විට පොත් වෙළෙන්දෙක් විදිහට කටයුතු කරනවා.

1974 මාර්තු 9 වෙනිදා තනිගූචි සහ සුසුකි පිලිපීනයට ගිහින් ඔනොදා සොයා ගන්නවා. තනිගූචි දුටු වහාම ඔනොදා සීරුවෙන් ඉඳගෙන සැලියුට් ආචාරයක් පවත්වනවා.


තනිගූචි ඔහුට යුද්ධය අවසන් වූ බව සහ ඔහු තවදුරටත් ඔහුගේ අණ ක්‍රියාත්මක කළ යුතු නොවන බවට දන්වනවා.

එවිට අවුරුදු 29 කට පස්සෙ ලුතිනන් හිරෝ ඔනොදා තමාගේ ආයුධ බිම තියල යටත් වෙනවා.

ලුතිනන් හිරෝ ඔනොදා යටත් වූ පසු. දකුණේ මේජර් තනිගූවි.
ඔහු තමාගේ ආයුධ වන අරිසකා 99 වර්ගයේ රයිෆලය​, පතොරම් 500 ක්, අත් බෝම්බ කීපයක්, ඔහුගේ කතන කඩුව​, සතුරන්ට අහුවුනොත් සිය දිවිනසා ගන්න පාවිච්චි කරන්න ඔහුගේ මව 1944 දී ඔහුට දීපු කිණිස්ස පිලිපීන හමුදා නිලධාරින්ට ලබා දෙනවා. විශේෂත්වය වන්නේ අවුරුදු 29 කට පසුවත් මේ සියළු ආයුධ සටන් කිරීමට සුදුසු තත්වයේ පැවතීම​.

වනයෙන් එළියට එන ඔනොදා. වමේ සුසුකි. දකුණේ තනගූචි.
ඔහුගේ වසර 29 ක ගරිල්ලා ජීවිතය තුලදී ඔහු සහ ඔහුගේ සගයන් පිලිපීන ජාතියන් 30 ක් පමණ මරා දමා තිබෙන අතර තවත් 100 දෙනෙක්ට පමණ තුවාල සිද්ධ කරල තියෙනවා. ඊට අමතර දේපල වලට හානි පැමිනිවීම විශාල සංඛ්‍යාවක් සිද්ධ කරල තියෙනවා. නමුත් ඔහුගේ සුවිශේෂ තත්වය සලකා බලල පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකොස් ඔහුට සමාව දෙනවා. ඔනොදා ඔහුගේ කතන කඩුව ජනාධිපතිවරයාට පිළිගන්වනවා.


නැවත ජපානයට එන ඔනොදා ජාතික වීරයෙක් වශයෙන් පිළිගැනෙනවා. ඔහුව ජපන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරන්න බොහෝ දෙනා උත්සහ කරනවා. නමුත් ඔහු ඒක ප්‍රතික්‍ෂේප කරනවා. ඔහුගේ වසර 29 ක "සේවා කාලයට" වැටුප් ලබා දෙන්න ජපන් රජය උත්සහ කරනවා. නමුත් ඔහු එයත් ප්‍රතික්‍ෂේප කරනවා. නමුත් ජපන් රජය ඔහුට බලෙන්ම මුදල් ලබා දෙනවා. එවිට ඔහු කරන්නේ ඒ මුදල් යුද්ධයෙන් මිය ගිය ජපන් සෙබළුන් වෙනුවෙන් ඉඳි කළ ෂින්ටෝ දේවාලයක් වන "යසුකුනි" දේවාලයට දන් දීම​.


ඔහු තමාගේ අත්දැකීම් ඇසුරෙන් "යටත් නොවෙමි!" නමින් පොතක් ලියනවා. ඒ පොත විශාල ජනප්‍රියත්වයක් ලබනවා.


කෙටි කලකින්ම ඔනොදාට ජපන් සමාජය ගැන කලකිරෙනවා. ඔහු 1944 දී හැර යන සමාජය සහ 1974 දී ඔහුට හමුවෙන සමාජය අතර වෙනස අහසට පොළව වගේ. ජපානය අතිශය රණකාමී සමාජයක ඉඳලා අතිශය සාමකාමී සමාජයක් දක්වා පරිවර්තනය වෙලා. ඒ වගේම අධිරාජ්‍යයා නාමික තනතුරකට සීමා වෙලා. ඒ වගේම ඔහු දැකපු විදිහට ජපන් සමාජයේ සාම්ප්‍රදායික අගයන් පරිහානියට ලක්වෙලා.

ඒ නිසා 1975 දී ඔහු බ්‍රසීලයට සංක්‍රමනය වෙනවා. එහිදී ඔහු ජපන් සංක්‍රමනිකයන් ගෙන් සැදුම් ලත් ජනපදයක පදිංචි වෙලා හරක් ඇති කරන්න පටන් ගන්නවා.  1976 දී ඔහු විවාහ වෙනවා. ජනපදිකයෝ ඔහු නායකයෙක් විදිහට සලකලා කටයුතු කරනවා.

1980 දී ජපන් ගැටවරයෙක් තමාගේ දෙමාපියන් මරාදාන පුවතකින් ජපානය කැළඹෙනවා. මේ කතාව ඔනොදාටත් ආරංචි වෙනවා. ජපන් තරුණයන් මුහුණපා සිටින තත්වය ගැන කම්පාවෙන ඔනොදා 1984 දී ආයෙත් ජපානයට එනවා. ඒ ජපන් ගැටවරයන්ට මානසික සංවරය සහ විනය ගැන උගන්වන පාසැලක් පටන් ගන්නවා. ඒය හැඳින්වෙන්නේ "ඔනොදා ෂිසෙන් ජුකු" (ඔනොදා සොබාදම් පාසැල​) නමින්.

1996 දී ඔහු ලුබං දිවයිනත නැවත යනවා. එහිදී ඔහු එහි පාසැලට ඇමරිකන් ඩොලර් 10,000 ක මුදල් පරිත්‍යාගයක් කරනවා. ඒ ඔහුගෙන් දූපත් වාසීන්ට සිදුවුන හිරිහැර වලට වන්දි ගෙවීමක් විදිහට​.

ඔනොදා ජීවිතයේ සැඳෑ සමයේ
 ඔනොදා පසු කාලීනව ජාතිකවාදී දේශපාලනයේ නිරත වෙනවා. ඔහුගේ බිරිඳ මචී ඔනොදා 2006 දී ජපන් සංරක්‍ෂනවාදී කාන්තා සංසදයේ නායකත්වයට පත් වෙනවා. ඔනොදා නැවතත් අධිරාජ්‍යයාට බලය ලබා දිය යුතුයි යන මතයේ සිටින ජාතිකවාදී සංවිධානයකට එක්ව කටයුතු කරනවා.

2014 ජනවාරි 16 වැනිදා හිරො ඔනොදා හෘදයාබාධයකින් මිය යනවා. ඔහුට වයස අවුරුදු 92 යි.


Wednesday, March 21, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 33 (හිමිච්චා එරි ෆුරේත​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හිමිච්චා එරි ෆුරේත (හිමිති දිවයිනේ අමනුෂ්‍යයා)


(සත්‍ය කතාවකි)

එක්දාස් නවසිය පණස් ගණන් වලදි මාලදිවයිනේ රජයට නිලන්දේ අතොළුවේ හිමිති දූපතෙන් පණිවුඩයක් ආවා ඒ දූපතට ෆුරේත (අමනුෂ්‍යයෙක්) ඇවිත් කියලා.

මේ විදිහේ පණිවුඩ ලැබෙන එක තරමක් සුලභ දෙයක් නිසා සාමාන්‍යයෙන් නං රාජ්‍ය නිලධාරීන් මේ වගේ පණිවුඩ නොසලකා හරිනවා. ඒත් මේ හිමිති අමනුෂ්‍යයාව බොහෝ දෙනෙක් දැකල තිබ්බ නිසා ඔවුන් මේ ගැන සැලකිලිමත් වුනා. මේ පිළිබඳව හොයල බලන්න පැවරුනා ඒ වෙද්දි මාලදිවයින් රජයේ සේවය කරපු උගත් සහ බොහෝ දෙනෙක් ගේ ගෞරවයට පාත්‍ර වුන නිලධාරියෙක්ට. ඔහු ඊබ්‍රහිම් හිල්මි ආකකාගේ.

ඊබ්‍රහිම් හිල්මි ආකකාගේ
ඊබ්‍රහිම් හිල්මි හිමිති දූපත බලා පිටත් වුනා. ඔහුව පිළිගන්න දූපතේ වැසියෝ කුඩා උත්සවයක් සංවිධානය කරල තිබ්බා. එහිදී ඊබ්‍රහිම් හිල්මි සමඟ කතා කරපු බොහෝ දෙනෙක් අමනුෂ්‍යයාව දැකලා තිබුනා. ඔහු බලාපොරොත්තු වුනේ මේ කතාව තරමක් දුර දිග ගිය විහිළුවක් හෝ කට කතාවක් වෙන්න ඇති කියලා. ඒත් දූපත් වාසින් ගේ කතා වලට සවන් දුන්න ඔහුට මේකෙ ඊට වඩා ගැඹුරක් තියෙන බව වැටහුනා.

දූපත් වාසින්ට අමනුෂ්‍යයා ගේ දින චර්‍යාව ගැන හොඳ අවබෝධයක් තිබුනා. මේ වෙලාවෙ මැදියම් හිරු ගේ දැඩි රශ්මියෙන් බේරෙන්න ඌ ඉන්නෙ දූපත ඇතුලෙ තියෙන ලඳු කැලෑ වල කියල ඔවුන් කිව්වා. ඌ ඉන්න පුළුවන් කියල සැක කරන තැනත් ඔවුන් ඔහුට කිව්වා. ඔවුන් අතරින් නිර්භීත දෙතුන් දෙනෙක් තැන පෙන්වන්න එන්න කැමති වුනා. ඊබ්‍රහිම් හිල්මි සහ මග පෙන්වන්නෝ කුඩා ඩිංගියක (හබල් ගාන කුඩා බෝට්ටුවක්) අමනුෂ්‍යයා ඉන්න තැන බලා පිටත් වුනා.

ඔවුන් දූපතේ එක්තරා තැනකට ආවා. මග පෙන්වන්නෝ බෝට්ටුවේ ඉඳගෙනම අමනුෂ්‍යයා ඉන්නවා යැයි ඔවුන් විශ්වාස කළ තැන පෙන්නුවත්, ඒ එකෙක් වත් ගොඩබිමට එන්න නිර්භීත වුනේ නෑ. ඊබ්‍රහිම් හිල්මි තනිවම ගොඩබිමට ගියා.

වෙරළේ දී දැකපු දෙයින් ඔහු විශ්මයටත් තිගැස්මටත් පත් වුනා. වෙරළේ දිගට ඇදී ගිය අමුතු අඩි සලකුණු රාශියක් ඔහු දැක්කා. ඒ අඩි පාර වෙරළ ට නුදුරින් තිබ්බ ලඳු කැලෑව දිහාවට විහිදුනා. අමනුෂ්‍යයා ඉන්නවා කියල මග පෙන්වන්නෝ පෙන්නුවෙ ඒ ලඳු කැලෑව​.

හිල්මි ඉතාම පරිස්සමෙන් ලඳු කැලෑවට ඇතුල් වුනා. අමනුෂ්‍යයා ඔහුට පහර දෙයි කියන බියෙන් ඔහුගේ හිත සැලුනත්, ඒ බව පිටතට නොපෙන්වා ඔහු නිහඬවම කැලෑවට ඇතුල් වුනා.

එක පාරටම පඳුරක් අස්සේ යම්කිසි ලොකු දෙයක් තියෙන බව ඔහු දැක්කා. ඒ දෙය සෙලවුනා. ඊබ්‍රහිම් හිල්මි ගේ හදවත කටින් පනින තරම් වේගයෙන් ගැහෙන්න ගත්තා. ඔහු දිරිය වඩාගෙන ඒ දෙය දිහා සැලකිල්ලෙන් බැලුවා.

ඒ සීල් මත්ස්‍යයෙක්!


ඌ වියළි කොල උඩ සන්සුන්ව වැතිරිලා විවේක ගනිමින් හිටියා. ඌ අළු පාටයි; ගොඩක් මහතයි. ඌ ඊබ්‍රහිම් හිල්මි දිහා හොඳට බැලුවා. ඒත් හිටපු තැනින් හෙලවුනේ වත් නෑ. ඔහුට ඌ එතරම් අවධානයක් යොමු කරේ නෑ.

හිල්මි ආපහු බෝට්ටුවට ඇවිත් දූපත් ප්‍රධානියා හමුවෙන්න ගිහින් ඔවුන් දැකල තියෙන්නෙ අමනුෂ්‍යයෙක් නොවන බවත්, ඒ අතරමං වුන සීල් මත්ස්‍යයෙක් බවත් ඔවුන්ට පැහැදිලි කරල දුන්නා.

ඊට පස්සෙ ඔහු ආපහු මාලේ දූපතට ඇවිත් නිල වාර්තාව ලියන්න පටන් ගත්තා෴

- කතාව කිව්වේ ඊබ්‍රහිම් හිල්මි අකකාගේ (මාලේ දූපත​)

අටුවාව​

1. සීල් මත්ස්‍යයා.
ඉන්දියන් සාගරයේ දකුණට වෙන්න ජීවත් වෙන දකුණු දිග අලි සීල් (Southern Elephant Seal) ගැනයි මේ කතාවෙ කියැවෙන්නේ. සාමාන්‍යයෙන් මේ සත්තු උණුසුම් වතුරට එන්නෙ නැති වුනත්, ඉතාම කලාතුරකින් අතරමං වුන එකෙක් මාලදිවයින අවට වතුරේ දකින්න පුළුවන්.

Tuesday, March 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 32 (කලිදු සහ සිත්ති)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 කලිදු සහ සිත්ති


(සත්‍ය කතාවකි)

 එකෝමත් එක කාලෙක මාලේ දූපතේ කලිදු කියල දුප්පත් තරුණයෙක් වාසය කරා. මාලේ දූපතේම හිටියා සිත්ති කියල වංශවත් තරුණියක්. මේ දෙන්නා ආදරෙන් බැඳුනා.

සිත්ති තමාගෙ පෙම්වතා ගැන දෙමාපියන්ට කිව්වම ඔවුන් තමාගේ තත්වයට නොගැලපෙන තරුණයෙක් එක්ක හාද වීම ගැන සිත්තිට තදින්ම දොස් කිව්වා. තමාගේ විවාහයට කවදාවත් දෙමාපියන් ගෙ කැමැත්ත නොලැබෙන බව දැන ගත්ත සිත්ති ගෙදරට හොරෙන් කලිදු එක්ක පැනල ගිහින් රහසේම විවාහ වුනා.

ටික කාලයක් ගත වුනාම සිත්තිට වැටහුනා තමාගෙ පවුලේ අයගෙන හැංගිල ඉන්න එක හිතපු තරම් ලේසි දෙයක් නොවෙන බව​. ඔවුන් ගේ පවුල ඉතාම ධනවත් සහ බලවත්. ඒ නිසා ඔවුන්ව හොයා ගන්න එක පහසු දෙයක්. තමාව හොයා ගත්තොත් ඔවුන් කලිදු ට අනතුරක් කරයි කියල සිත්ති බය වුනා. ඒ නිසා ඇය රහසේම පවුලේ සාමාජිකයන් හමුවෙලා ඔවුන් ගේ සිත දිනා ගත්ත​. ටික දවසකින්ම ඇයට පුළුවන් වුනා ඔවුන් ගේ දෙමාපියන් ගේ කෝපය සමනය කරන්න​.

සිත්ති සහ කලිදු සතුටින් ජීවත් වුනා. සිත්ති ට කලින් වගේ ධනවත් ජීවිතයක් ගෙවන්න බැරි වුනත් ඇය කලිදු එක්ක ගෙවන දුප්පත් ජීවිතය ගැන පසු තැවුනේ නෑ. මාලේ දූපතේ හැමෝම මේ දෙන්නගෙ බැඳීම ගැන කතා වුනා. වැඩි කල් නොගිහින් ඔවුන්ට දරුවන් තුන් දෙනෙකුත් ලැබුනා.


එක දවසක් සිත්ති හොඳටම අසනීප වුනා. ඇගේ බඩ ඇතුලෙන් ඉවසන්න බැරි වේදනාවක් ආවා. කලිදු ඇයව මාලේ දූපතේ ඉන්න දක්‍ෂම වෙදෙක් ළඟට අරගෙන ගියා. ඇයව පරීක්‍ෂා කරපු වෙදා ඇයට දරුණු අසනීපයක් ඇති බවත්, ඇයගේ ජීවිතය ගලවා ගන්න නම් සැත්කමක් කළ යුතු බවත්, ඒත් ඇයව බේරගන්න එක සහතික කරන්න බැරි බවත් කිව්වා.

සැත්කමෙන් පස්සෙ සිත්ති හිටියෙ ඉතාම අපහසුවෙන්. ඇය කනස්සල්ලෙන් දින ගාණක් එක දිගට ඇඬුවා.

"සිත්ති ඇයි ඔයා අඬන්නේ? ඔයාට ගොඩක් අමාරුද​?"

කලිදු එහෙම අහන හැම පාරම සිත්ති උත්තර දුන්නේ කඳුළු අතරින්

"මම අඬන්නෙ මගේ අසනීපය නිසා නෙවෙයි. මට බයයි ඔයා මාව දාල යයි කියලා."

"ඔයා බය වෙන්න එපා. මට ඔයා ඇර වෙන කාවවත් ඕනෙ නෑ. ඔයා මැරුණොත් මම ආයෙ විවාහ වෙන්නෙ නෑ. මම ඔයා එක්කම ඉන්නවා."

සිත්ති ගේ තත්වය එන්න එන්නම නරක් වුනා. ඇයට ඇවිදින්න අපහසු වුනා. වැඩි කලක් නොගිහින් ඇයට පුටුවක ඉඳගන්නවත් අපහසු වුනා. ඇය මුළු දවසම ගත කලේ ඇඳට වෙලා. කලිදු ඇය ළඟින් හෙලවුනේ වත් නෑ. ඔහු ඇයට කන්න උයල දුන්නා. ඇයව නෑව්වා. ඇයගේ හිත හැදෙන්න කතන්දර කිව්වා.

එක දවසක් සිත්ති කලිදු ට ළඟට කතා කරා. ඇය අමාරුවෙන් කෙඳිරිලි හඬකින් මෙහෙම කිව්වා.

"මගේ පණ රැඳිල තියෙන්නෙ නූලකින්. මම ජීවත් වෙලා ඉන්නෙ ඔයා නිසා. ඔයා නැත්තං මම මෙලහකටත් මැරිලා."

ඊට ටික වෙලාවකට පස්සේ සිත්ති කලිදු ගෙ ඇස් දෙක දිහා බලාගෙනම අවසන් හුස්ම හෙළුවා. මුස්ලිම් සිරිත අනුව එදාම සිත්ති ගේ අවමගුල ලෑස්ති කරා. නෑදෑ හිත මිතුරන් අවමගුලේ කටයුතු සූදානම් කරද්දි කලිදු පැත්තකට වෙලා දෑතින් හිස බදාගෙන වාඩිවෙලා හිටියා. ඔහුට මල ගෙදර අපු කිසි කෙනෙක් පෙනුනේ නෑ. ඔහුගේ ඇස් ඈත අනන්තය දිහාවට යොමු වෙලා තිබුනා.

නියමිත වෙලාව ආවම කලිදු සිත්ති ගේ මළ සිරුර කනත්තට අරගෙන යන්න උදව් කලා. ඒත් ඔහු කා එක්කවත් කතා කලේ නෑ. කා දිහාවත් බැලුවෙ නෑ. ඔහු සිත්තිගේ සිරුර වළදාන හැටි කඳුළු පිරුන දෙනෙතින් බලාගෙන හිටියා. ඊට පස්සෙ නිහඬවම ගෙදර ආවා.

ගෙදර "ඔලිගන්ඩු" (දොරකඩ​) පහු කලා විතරයි කලිදු බිම ඇදගෙන වැටුනා. මිනිස්සු හිතුවෙ ඔහුට කලන්තයක් හැදිලා කියල​. මිනිස්සු ඔහුව වත්තම් කරගත්තා. එතකොට තමයි ඔවුන් දැක්කේ ඔහු මිය ගිහින් බව​. කලිදු ගේ මුහුණේ තිබුනේ ශාන්ත හිනාවක්.

එදාම හවස කලිදු ගේ සිරුරත් සිත්ති ගේ සොහොන අසලින්ම වළ දැම්මා.

කලිදු සිත්තිට වුන පොරොන්දුව අකුරටම ඉටු කලා.

"ඔයා මැරුණොත් මම ආයෙ විවාහ වෙන්නෙ නෑ. මම ඔයා එක්කම ඉන්නවා."෴


- කතාව කිව්වේ මෞසුමා තුත්තා (මාලේ දූපත​)

Monday, March 19, 2018

මාලදිවයිනේ අතොළු - 5 (මධ්‍යම ප්‍රාන්තය​)


මධ්‍යම ප්‍රාන්තය අතොළු තුනකින් සමන්විතයි.

1. මුලාකු
2. නිලන්දේ උතුරුබුරි
3. නිලන්දේ දෙකුණුබුරි

මුලාකු

 


නිල නාමය : මුලාකු
කේතය : මීමු
ප්‍රාන්තය : මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : මුලාකු
ජනගහණය : 4,705
දූපත් : 33
ප්‍රධාන දූපත : මුලි

පදිංචිකරුවන් සහිත දූපත් : 9
(බොලි මුලා, දිග්ගරු, කොළුෆුෂි, මදිෆුෂි, මදුව්වාරී, මුලි, නාලාෆුෂි, රයිම්මන්දූ, වේවා)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 24

මාලදිවයිනේ ජාතික වීරයෙක් වන බොදු තකුරුෆානු විසින් පෘතුගීසින්ට එරෙහිව සටන් කරන්න පාවිච්චි කළ බෝට්ටුව වන "කළුවෝෆුම්මි" 1573 දී මුහුදු බත් වුනේ මේ අතොළුවේදී.

වැදගත් ස්ථාන​:

මදුව්වාරී දූපත -

මාලදිවයිනේ මිනිස්සු වාසය කරන දූපත් අතරින් කුඩාම දූපත වගේම ලෝකයේම මිනිස්සු වාසය කරන දූපත් අතරින් තුන්වෙනියට කුඩාම දූපත​.


නිලන්දේ උතුරුබුරි

 

නිල නාමය : නිලන්දේ උතුරුබුරි
කේතය : ෆාෆු
ප්‍රාන්තය : මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : නිලන්දූ
ජනගහණය : 4,119
දූපත් : 23
ප්‍රධාන දූපත : නිලන්දූ

පදිංචිකරුවන් සහිත දූපත් : 6
(බිලෙද්දූ, දරන්බූදූ, ෆීයලි, ෆිලිතෙයෝ, මගූදූ, නිලන්දූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 17

සංචාරක කර්මාන්තය එතරම් ව්‍යාප්ත නොවුනු අතොළුවක්

වැදගත් ස්ථාන​:

ෆිලිතෙයෝ දූපත -

1998 දී මේ දූපතෙන් සොහොන් ගල් 30 කින් පමණ සමන්විත පැරණි සොහොනක් හමුවෙලා තියෙනවා.


නිලන්දු දූපත -

මාලදිවයිනේ දෙවැනියට පැරණිම මුස්ලිම් පල්ලිය වන "ආසාරි මිස්කි" පිහිටලා තියෙන්නෙ නිලන් දු වල​. මේ පල්ලිය හදල තියෙන්නෙ පැරණි බෞද්ධ ආරාමයක අත්තිවාරම මත​.




නිලන්දේ දෙකුණුබුරි




නිල නාමය : නිලන්දේ දෙකුණුබුරි
කේතය : දාලු
ප්‍රාන්තය : මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : නිලන්දූ
ජනගහණය : 5,305
දූපත් : 56
ප්‍රධාන දූපත : කුඩහුවදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 7
(කුඩහුවදූ, මාඑන්බෝදූ, මීදූ, රින්බුදූ, වානී, බන්ඩිදූ, හුළුදෙලි)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 49

ආභරණ සෑදීම පිළිබඳ ප්‍රසිද්ධ අතොළුවක්

වැදගත් ස්ථාන​:

කුඩහුවදූ දූපත -

බෞද්ධ ස්ථුප කීපයක නටබුන් වගේම ඉතාම අලංකාර පැරණි මුස්ලිම් පල්ලියක් මේ දූපතේ පිහිටලා තියෙනවා.

රින්බුදූ දූපත -

රන් සහ රිදී කර්මාන්තයට මේ දූපත ප්‍රසිද්ධයි.

හුළුදෙලි දූපත -

රිදී කර්මාන්තයට මාලදිවයිනේම වඩාත්ම ප්‍රසිද්ධ මේ දූපත​.