Sunday, March 4, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 29 (ඔඩි කා බොදුමස්​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ඔඩි කා බොදුමස් (නැව් ගිලින තල්මහා)


මුහුදු කැකිරි (sea cucumber) කියන්නෙ කොරල් පර වල නොගැඹුරු දියේ වැලි සහිත මුහුදු පතුලවල ඉන්න අපෘෂ්ඨවංශික සතෙක්. මුහුදු කැකිරි දිවෙහි රාජ්ජේ ඉතාම සුලබයි. උන් තමාගේ මුළු ජීවිතයම ගත කරන්නේ මුහුදු පතුලේ වැලි වල ගිලිලා ඉතා හෙමින් එහෙ මෙහෙ ගමන් කරමින්.

මුහුදු කැකිරි වලට ඇලිලා උන් ගෙ ඇඟෙන් සාරය උරාබොමින් ජීවත් වෙන කුඩා පරපෝෂිත මාළු වර්ගයක් ඉන්නවා. උන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ "Pearl Fish" කියලා. මේ "මුතු මාළුවන්" පැන්සයලක් වගේ සිහින් දිග සෙන්ටිමීටර් 10 විතර දිගට හැදෙන මාළු වර්ගයක්. උගේ ඇඟ විනිවිද පේන සුළුයි. කුඩා දුර්වල මාළුවෙක් නිසා මුතු මාළුවා හැම තිස්සෙම ජීවත් වෙන්නේ මුහුදු කැකිරියාගෙ ඇඟ ඇතුලේ. මුතු මාළුවෙක් බලන්න නං මුහුදු කැකිරියෙක් අල්ලල ඌව මිරිකල බලන්න ඕනෙ.



ඒත් දිවෙහි රාජ්ජේ ඇත්තො කියන්නෙ මුහුදු කැකිරි අස්සේ ජීවත් වෙන්නෙ මුතු මාළුවගෙ පොඩි කාලෙ විතරයි කියල​. ධීවරයො හැම වෙලේම මේ මාළු ගැන කතා කරන්නෙ ඉතාම ගෞරවයෙන් සහ බයෙන්. මේ මාළුවගෙ නම සඳහන් කරන හැම වෙලේම ඔවුන් කතා කරන්නෙ රහසෙන්.

ඔවුන් කියන විදිහට මේ මාළුවා එක්තරා වයසකට ආවට පස්සෙ ඌ මුහුදු කැකිරියාගේ ඇඟෙන් එළියට ඇවිත් ගැඹුරු මුහුදට යනවා. ඉර එළිය නොවැටෙන තරම් ගැඹුරට ගියාට පස්සෙ ඌ කිසිම මාළුවෙක් නොවැඩෙන තරම් වේගයෙන් වැඩෙන්න ගන්නවා.

අවුරුදු ගාණක් ගත වුනාට පස්සෙ ඌ ගැඹුරු මුහුදෙන් එළියට එනවා. දැන් ඌ ඉතාම විශාල ඉතාම බියකරු මාළුවෙක්. කොයිතරම් ලොකුයිද කියනව නං ඌට නැවක් කුඹගස්, රුවල් සහ නැවේ ඉන්න නාවිකයනුත් එක්ක එක කටට ගිලින්න පුළුවන්.

දිවෙහි රාජ්ජේ ධීවරයෝ මේ මාළුවට කියන්නෙ "ඔඩි කා බොදුමස්" (නැව් ගිලින තල්මහ​) කියලා.


 - කතාව කිව්වේ මාගීදුරුගේ ඊබ්‍රහිම් ඩීඩී (ෆුවා මුලාකු දූපත​)

No comments:

Post a Comment