Sunday, June 25, 2017

ජපන්නු බොන හැටි

ජපන් සංස්කෘතියේ මත්පැන් පානය කරන එක අපේ සංස්කෘතියෙ මත්පැන් පානය කරන විදිහෙන් පොඩ්ඩක් වෙනස්. අපේ බොන පාටියක බොහෝ විට මේන් අයිටම් එක බොන එක වුනාට​, ජපානයේ බොන පාටියක බොන එක එක අංගයක් පමණයි.

උදාහරණයකට බොහෝ විට රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට ගියොත් (ඩිනර් අවුට් එකක්), ඒ එක්ක මත්පැන් පානය අනිවාර්‍යයෙන්ම තියෙනවා. හැබැයි ඒක අපේ "සෙට් වීමකට" වඩා වෙනස්. එතැන මුල් තැන ලැබෙන්නෙ කෑමට​.

ඒ වගේම ජපානයේ බොහෝ දෙනා මත්පැන් පානය කරනවා. කාන්තාවනුත් ඇතුළුව​. බොහෝ දෙනා අඩු තරමෙන් සංකේතාත්මකව හෝ පොඩ්ඩක් බොනව​. බොන්නෙම නැති කෙනෙක් ඉන්නෙ ඉතා කලාතුරකින්.

මත්පැන් වර්ග​


1. සකෙ



ජපානයේ මත්පැන් කියපු ගමන් මතක් වෙන්නෙ සකෙ. සකෙ කියන්නෙ ජපානයට ආවේනික මත්පැන් වර්ගය​.

මේකෙ නමේ පොඩි අවුලක් තියෙනවා. ජපන් භාෂාවෙන් "සකෙ" නැත්තං "ෂු" කියන්නෙ "මත්පැන්" කියන අරුතෙන්. ඒ කියන්නෙ ඕනම මත්පැන් වර්ගයක් ජපන් භාෂාවෙන් කියන්නෙ සකෙ නැත්තං ෂු කියල​. අපි සාමාන්‍යයෙන් සකෙ කියල හඳුන්වන මත්පැන් වර්ගයේ නියම නම "නිහොංෂු" නැත්තං "ජපන් මත්පැන්". ඒත් එදිනෙදා ව්‍යවහාරයේදී සකෙ කිව්වොත් ඒකෙන් අදහස් කරන්නෙ නිහොංෂු.

සකෙ කියන්නෙ පාටක් හෝ රසක් නැති වතුර වගේ මත්පැන් වර්ගයක්. බොද්දි පොඩි සැරක් තියෙනවා. ඒත් ෂැන්ඩි කරන්න අවශ්‍යය නෑ. සකෙ වල සැර 15% විතර වෙනවා.

සකෙ බොන ක්‍රම දෙකක් තියෙනවා. උණුසුම් ව සහ ශීතල ව​. ඔබ සකෙ ඇණවුම් කරද්දි උණුසුම් සකෙ (හොත්තො සකෙ) ද ශීතල සකෙ (කෝල්දො සකෙ) ද කියල කියන්න ඕනෙ.

සකෙ පිළිගන්වන්නෙ "තොක්කුරි" කියල හඳුන්වන පොඩි පෝසිලේන් බෝතල් වල​. සකෙ බොන්නෙ "චොකො" කියල හඳුන්වන පොඩි පෝසිලේන් කෝප්ප වල​. ඒත් වෙළඳපොලේ සකෙ මිලදී ගන්න තියෙන්නෙ සාමාන්‍යය වීදුරු බෝතල් වල දාල​.

තොක්කුරි සහ චොකො
සකෙ හදන්නෙ සකෙ පෙරීම සඳහාම පාවිච්චි කරන විශේෂ සහල් වර්ග කීපයකින්. ඒ සහල් කෑමට පාවිච්චි කරන්නෙ නෑ.

සාමාන්‍යයෙන් සකෙ බොන්නෙ කෑම වේලකුත් සමඟ​. විශේෂයෙන් සුෂි සහ සෂිමි (අමු මාළු) කෑමට තියෙද්දි සකෙ පාවිච්චි කරනවා.


විශේෂ අවස්ථා වලදි පාවිච්චි කරන සිහින් රන් පත්‍ර එක් කරපු "කිංපකු සකෙ" කියල හඳුන්වන සකෙ වර්ගයකුත් තියෙනවා.

2. බියර්



ජපන්නු බියර් හඳුන්වන්නෙ "බීරු" කියල​. බියර් වර්ග විශාල ප්‍රමානයක් ජපානයේ තියෙනවා. ජපන්නු අතර වැඩිපුරම පාවිච්චි වෙන මත්පැන් වර්ගය බියර්.

ජපානයේ බියර් විකුණන්න තියෙන්නෙ මිලි ලීටර 450 බෝතල් වල හෝ කෑන් වල. මිලි ලීටර් 750 බෝතලය පාවිච්චි වෙන්නෙ නෑ.

ජපානයේ බහුලවම තියෙන බියර් වර්ග හයක් තියෙනවා. ඒ අසහි, කිරින්, සප්පොරෝ, සන්තොරි, ඔරියොන් සහ යෙබිසු. ඊට අමතරව කාල්ස්බර්ග් වගේ ජනප්‍රිය විදේශීය බියර් වර්ගත් ඕනෙ තරම් තියෙනවා.


මේ බියර් බොහොමයක සැර 5%. විශේෂ වෙනස් කමක් නැතත්, ලංකාවෙ මිලදී ගන්න තියෙන බියර් වලට වඩා කොලිටියෙන් සෑහෙන ඉදිරියෙන් තියෙන්නෙ.

සැර සහ කොලිටිය අඩු ලාබ බියර් වර්ගයකුත් තියෙනවා. ඒවා හැඳින්වෙන්නෙ "හප්පොෂු" කියල​.

3. ෂෝචූ




ෂෝචූ කියන්නෙ ජපානයේ පෙරන සකෙ වලට වඩා සැර මත්පැන් වර්ග ගණනාවක් හඳුන්වන පොදු නමක්.

බොහොමයක් ෂෝචූ සකෙ වගේම පාටක් හෝ රසක් නැති දියරයක්. නමුත් සකෙ වලට වඩා සැර උගුර පිච්චෙන ගතියක් තියෙනවා.

සාමාන්‍යයෙන් ෂෝචූ වල සැර 25%. නමුත් දෙපාරක් හෝ තුන්පාරක් පෙරපු ෂෝචූ ඊට වඩා සැරයි. 35-40% විතර සැර ෂෝචූ ත් තියෙනවා.

ෂෝචූ ත් සකෙ වගේ ශීතලව හෝ උණුසුම්ව බොන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ෂෝචූ උණුසුම්ව බොන්නෙ නෑ. ෂෝචූ නීට් වගේම අයිස් එක්ක හෝ තේ, කොකාකෝලා, පළතුරු යුෂ වගේ බීමක් එක්ක කලවම් කරල බොන්න පුළුවන්.

ෂෝචූ පෙරන්න සහල්, බාර්ලි, බතල​, සීනි සහ බක්වීට් (සොබ​) පාවිච්චි කරනවා. පෙරන්න පාවිච්චි කරන ද්‍රව්‍යය අනුව ෂෝචූ වල රස​, සුවඳ, සැර සහ කොලිටිය වෙනස්.

4. අවමොරි



අවමොරි කියන්නෙ සහල් වලින් පෙරන මත්පැන් වර්ගයක්. මේ මත්පැන් තියෙන්නෙ ජපානයේ දකුණෙන්ම තියෙන ඔකිනව දූපතේ. අවමොරි පෙරන්න භාවිතා කරන සහල් වර්ගය ජපානයේ වෙනත් ප්‍රදේශ වල වැවෙන්නෙ නෑ. අවමොරි පෙරීම සඳහා ඔකිනව දූපතේ නිපදවන සහල් මදි වෙන නිසා ඒවා තායිලන්තයෙන් ආනයනය කරනවා.

අවමොරි ෂෝචූ වලට වඩා සැරයි. සාමාන්‍යයෙන් අවමොරි වල සැර 30-45% විතර වෙනවා. නමුත් 60% විතර සැර අවමොරිත් මිලදී ගන්න පුළුවන්.

අවමොරි පිළිගන්වන්න සාම්ප්‍රදායිකව පාවිච්චි කරන්නෙ මැටි කේතලයක් සහ මැටි කෝප්ප​. මේ මැටි කේතල හඳුන්වන්නෙ "කර​-කර​" කියල​. ඒවා ඇතුලෙ පොඩි මැටි කෑල්ලක් දාල තියෙනවා. කේතලය හිස් වෙද්දි මැටි කෑල්ලෙන් "කර කර​" ශබ්ධයක් එනවා.

කර​-කර
අවමොරි අවර්ණයි. ඒ වගේම ෂෝචූ සහ සකේ වලට වඩා සැරයි. උගුර දවාගෙන යන තියුණු රහකින් යුක්තයි. අවමොරි සාමාන්‍යයෙන් බොන්නෙ අයිස් හෝ වතුර සමඟ කලවම් කරල​. ඒත් නීට් බොන්නත් පුළුවන්.

"හබුසු" කියල හඳුන්වන විශේෂ අවමොරි වර්ගයක් තියෙනවා. ඒව හදන්නෙ අවමොරි බෝතලය ඇතුලට "හබු" කියල හඳුන්වන පොළඟෙක් දාල​. ඒ අවමොරි දුඹුරු පාටයි. ඒ වගේම ඉතාමත් සැරයි.




5. දොබුරොකු



දොබුරොකු කියන්නෙ සහල් වලින් පෙරන මත්පැන් වර්ගයක්. මේවා පෙනුමෙන් රා වගේ. රසයෙන් තරමක් ඇඹුල්-පැණි රසයෙන් යුක්තයි. සැරෙන් සකෙ වලට සමානයි.

දොබුරොකු මන්ඩි ගතියෙන් යුක්ත නිසා බොන්න කලින් බෝතලය සෙමින් සොලවන්න ඕනෙ. ඒ වගේම දොබුරොකු බොන්නෙ ශීතල කරලා.

6. අමසකෙ



අමසකෙ පෙනුමෙන් දොබුරොකු වලට සමානයි. නමුත් රසයෙන් ගොඩක් පැණි රසයි. අමසකෙ උණුසුම් කරල වගේම ශීත කරලත් බොන්න පුළුවන්. ඒ වගේම අමසකෙ වල මධ්‍යසාර ප්‍රතිශතය ඉතාමත් අඩු නිසා සාමාන්‍යයෙන් මත්පැන් නොබොන කෙනෙක්ට වුනත් බොන්න පුළුවන්.

7. උමෙෂු



"ප්ලම් වයින්" කියලත් හඳුන්වන උමෙෂු හදන්නෙ සකෙ හෝ ෂෝචූ වල ප්ලම් ගෙඩි බහා තැබීමෙන්. ඇඹුල්-පැණි රසයෙන් යුක්ත උමෙෂු විශේෂයෙන් කාන්තාවන් අතර ජනප්‍රියයි. උමෙෂු ගෙවල් වලම සකස් කරගෙන බොන්න පුළුවන් මත්පැන් වර්ගයක්.

8. විස්කි 



ජපානයේ නිෂ්පාදනය කරන විස්කි වගේම "ජැක් ඩැනියෙල්ස්" "ජොනී වෝකර්" වගේ ජනප්‍රිය විදේශීය විස්කි වර්ගත් ජපානයේ මිලදී ගන්න පුළුවන්.

ජපානයේ ප්‍රධානම විස්කි නිෂ්පාදකයන් දෙදෙනා සන්තොරි සහ නික්කා. ඔවුන් නිෂ්පාදනය කරන විස්කි වර්ග විශාල ප්‍රමානයක් ජපන් වෙළඳපොළේ තියෙනවා.

ජපන් විස්කි තත්වයෙන් උසස් වුනත්, ඔරිජිනල් ස්කොට්ලන්ත විස්කි තරම් කොලිටි නෑ.

විස්කි වල සාමාන්‍යය සැර 45% පමණ වෙනවා.

ඒ වගේම "හයිබෝල්" කියල හඳුන්වන විස්කි සහ සෝඩා මිශ්‍රකල කාබනීය කරනය කළ පානයකුත් වෙළඳපොලේ තියෙනවා. මේවායේ සැර 5-10% පමණ වෙනවා. විකුණන්න තියෙන්නෙ කෑන් වල​.

9. වයින්



ජපානයේ නිෂ්පාදනය කරන වයින් වගේම විදේශීය වයින් වර්ගත් වෙළඳපොලේ තියෙනවා. වයින් පානය ගොඩක් ජනප්‍රිය කාන්තාවන් අතර​.

මත්පැන් මිලදී ගැනීම​


ජපානයේ මත්පැන් විකුණන්න විශේෂ වෙළඳසැල් නෑ. සාමාන්‍යය සිල්ලර බඩු කඩේකින් ඔබට සකෙ හෝ බියර් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒත් විශේෂ මත්පැන් වර්ගයක් මිලදී ගන්න නම් මත්පැන් විතරක් විකුනන වෙළඳසැලක් හොයාගෙන යන්න වෙයි.

ඕනෑම අවන්හලක කෑමත් එක්ක මත්පැන් පිළිගන්වනවා. මත්පැන් කියන්නෙ සාමාන්‍යය ජපන් ආහාර වේලක අංගයක්.

මත්පැන් බීමේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත්


ජපානයේ මත්පැන් බොද්දි අනුගමනය කරන්න ඕනෙ සිරිත් විරිත් කීපයක් තියෙනවා. මේවා ජපන්නු තරමක් තදින් සලකනවා. විශේෂයෙන්ම පළවෙනි, දෙවෙනි වීදුරුව යද්දි. පස්සෙ කට්ටියටම පදමට වැදුනම සිරිත් විරිත් තරමක් ලිහිල් වෙනවා.

පළවෙනි ඕඩරය​


පළවෙනි ඕඩරය විදිහට සාමාන්‍යයෙන් හැමෝම බොන්නෙ බියර් හෝ සකෙ. ඒ වගේම පළවෙනි ඕඩරය ඉතා ඉක්මනින් කරන්න ඕනෙ. ඒ නිසා ඔබ අවන්හලට ඇතුල් වෙද්දිම පළවෙනියට බොන්නෙ බියර් ද සකේද කියල හිත හදාගෙන ඉන්න ඕනෙ. සියළුම දෙනා ඉඳගත් විගස වේටර් කෙනෙක් ඇවිත් සකෙ කීයද බියර් කීයද කියල අහගෙන යනවා. විනාඩියක් හෝ දෙකක් ඇතුළත බීම මේසෙ උඩ​.

ඒ වගේම හොඳ සිරිතක් තමයි පළවෙනි ඕඩරය විදිහට හැමෝම එකම දෙයක් ඇණවුම් කිරීම​. අනික් හැමෝම ඕඩර් කරන්නෙ බියර් නම්, ඔබ සකෙ බොන්න ආස වුනත් බියර් එකක්ම ඕඩර් කරන්න ඕනෙ. එහෙම නැත්තම් ඔබ විශේෂයෙන් කැපී පේනවා. ජපන් සංස්කෘතියේ හැමෝම එකම දෙයකට අනුගත වීම ඉතා ඉහළින් සලකන නිසා විශේෂයෙන් කැපී පේන එක නරක දෙයක්.

විශේෂයෙන් ඔෆිස් එකේ අයත් එක්ක කරන මත්පැන් පානයක් හෝ ඩිනර් එකක් නම්, පළවෙනි ඕඩරය බොස් ට හෝ කණ්ඩායමේ ජේෂ්ඨතම සාමාජිකයට කරන්න ඉඩ දෙන එක හොඳ දෙයක්.

දෙවෙනි ඕඩරයේ ඉඳල තමන්ට කැමති දෙයක් බොන්න පුළුවන්.

"කංපායි"



ජපානයේ "චියර්ස්" කියන්නෙ "කංපායි" කියල​. කංපායි කියන එකේ තේරුම "bottoms up". පළවෙනි ඕඩරේ මේසයට ආවට පස්සෙ හැමෝම අනිවාර්‍යයෙන්ම කංපායි කියන්න ඕනෙ. බොන්නෙ බියර් නම් වීදුරු එකට හප්පනවා. බොන්නෙ සකෙ නම් කෝප්ප මුහුණ මට්ටමට ඔසවනවා විතරයි. සාමාන්‍යයෙන් කෝප්ප එකට හප්පන්නෙ නෑ.

ඔෆිස් එකේ මොකක් හරි විශේෂ වැඩක් (උදාහරණයකට ප්‍රොජෙක්ට් එකක සාර්ථක නිමාව​) සමරන්න කරන සාදයක නම් "කංපායි" වෙනුවට "ඔත්සුකරෙසමා දෙස්" කියන්න පුළුවන්. ඒකෙ තේරුම "ඔබට (අපිට​) මහන්සියි" කියන එක​.

ඔබ මත්පැන් නොබොන කෙනෙක් නම්, ඔබ බොන වෙනත් පානයත් (උදා: දොඩම් යුෂ​) එක්ක කංපායි කියන්න සහභාගී වෙයි කියල අනිත් අය බලාපොරොත්තු වෙනවා.

මත්පැන් වැක්කිරීම​



දෙවෙනි තුන්වෙනි ඕඩර් යනකොට තමන්ට කැමති දෙයක් බොන්න පුළුවන්. ඒ වගේම ජපානයේ මත්පැන් වර්ග තුන හතරක් කලවමේ බොන එක සාමාන්‍යය දෙයක්.

මත්පැන් වක්කරද්දි, තමාගෙ වීදුරුව තමා වක්කරගන්නෙ නෑ. ඒ වෙනුවට තමා ළඟපාත ඉන්න අයට වක් කරන්න ඕනෙ. ඒ අය තමාට වක්කරල දෙයි කියල බලාපොරොත්තු වෙන්න ඕනෙ. වෙන කෙනෙක් තමාට මත්පැන් වක් කරද්දි තමාගෙ වීදුරුව මදක් ඔහු දෙසට ඇල කරල අල්ලන්න ඕනෙ.

ඒ වගේම සාදය ටිකක් නැගල යන අවස්ථාවකදී බියර් හෝ සකෙ බෝතලයක් අරගෙන මේසය වටේම ඇවිදිමින් හැමෝගෙම වීදුරු පුරවල දීමෙන් ඔබ වඩාත් ආචාරශීලී පුද්ගලයෙක් කියල තහවුරු කරන්න පුළුවන්.

ඔබ වෙන කෙනෙක් ළඟට ගිහින් ඔහුගේ වීදුරුව පුරවල දීම ඔහුට/ඇයට කරන විශේෂ ගෞරවයක් විදිහටයි සැලකෙන්නෙ.

ඒ වගේම ඔෆිස් එකේ උත්සවයකදි නම් බොස් ගෙ වීදුරුව අනිවාර්‍යයෙන්ම කනිෂ්ඨ සාමාජිකයන් පුරවල දෙන්න ඕනෙ. ඒ වගේම බොස් එකපාරටම තමා කැමතිම මත්පැන් වර්ගයෙන් රවුමක් හැමෝටම ඕඩර් කරොත් වැඩි ප්‍රශ්න කිරීමකින් තොරව ඒක බොන එක නුවණට හුරු දෙයක්.

කණ්ඩායමේ කාන්තාවන් ඉන්නව නම් අනිත් අයගෙ මත්පැන් වීදුරු පුරවල දෙන එක ඔවුන් ගෙ විශේෂ වගකීමක්.

බොන ප්‍රමානය​


අවස්ථා වර්ග දෙකක් තියෙනවා. එකක් ඩිනර් පාටි. ඒකෙදි මුල්තැන ලැබෙන්නෙ කෑමට. ඒහෙම අවස්ථාවක කන් සාක්කුවට වැටෙන්න බොන එක උචිත නෑ.

අනික් එක බොන පාටි. ඒවයෙ ප්‍රධාන අංගය මත්පැන්. එහෙම තැනකදි ඕනෙ තරම් බොන එක ප්‍රශ්නයක් නෑ.

බීල පාරෙ වැටිල ඉන්න අය ඉඳ හිට දකින්න පුළුවන්. ඒක අපේ රටේ තරම් චාටර් දෙයක් විදිහට සැලකෙන්නෙ නෑ.



බිල



සාමාන්‍යයෙන් බිල ගෙවන්නෙ වන වෙනම (බෙත්සු බෙත්සු). හැමෝම ආසන්න වශයෙන් සමාන දායකත්වයක් දරනවා. කාන්තාවන් පිරිමින්ට වඩා අඩු දායකත්වයක් දැක්වීම තමයි සාමාන්‍යය සිරිත​. සමහර විට බොස් හෝ ජේෂ්ඨ සාමාජිකයෙක් සම්පූර්න බිල හෝ ඉන් ලොකු පංගුවක් ගෙවන්නත් පුළුවන්.

ඔෆිස් එකේ අය සහභාගී වෙන සාදයක් නම්, එක්කෙනෙක් සම්පූර්න බිල ගෙවලා, පහුවදාට අනිත් අය ඔහුට තමාගෙ දායකත්වය ගෙවීම සාමාන්‍යය දෙයක්.


සමුගැනීම​



ඩිනර් පාටි හෝ බොන පාටි එක අවන්හලකින් ඉවර වෙන්නෙ කලාතුරකින්. බොහෝ විට අවන් හල් දෙක තුනක් කරා සාදය විහිදෙනවා. එක අවන්හලක බිල ගෙවලා පිරිසම ඊළඟ අවන්හල කරා යනවා. සම්පූර්න සාදය ඉවර වෙද්දි ගොඩක් රෑ බෝවෙලා තියෙන්න පුළුවන්.

තමන්ට පරක්කු වෙනව නම් අවන්හලකින් තව එකකට මාරු වෙන අවස්ථාවකදි සමු ගන්න එක අවුලක් නෑ. නමුත් අතර මැදදි නැගිටල යන්න නම් ලොකු හදිසියක් වෙන්න ඕනෙ.

සමුගෙන යද්දි හැමෝටම හිස නවල ආචාර කරල සුබ රාත්‍රියක් පතන එක හොඳ සිරිතක්.


Saturday, June 24, 2017

Jack the Ripper - 2



ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම​) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද​? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.

ඒත් මේ කතාව ජැක් ගැන​(ම​) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ජීවිතය ගැන නියම අවබෝධයක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමාජයෙන් කොන් වුන මිනිස් දූවිලි කිව්වොත් නිවැරදියි.

පටන් ගන්න හොඳම තැන තමයි ජැක් අතින් මිය ගිහ කාන්තාවන් පස් දෙනා. මේ පස් දෙනාම ගණිකාවන්. ඒ වගේම අන්ත දුගී අය​.

ජැක් ගෙ දෙවෙනි ගොදුර ඇනී චැප්මන්.

ඇනී චැප්මන්
එලීසා ඈන් ස්මිත් උපත ලබන්නෙ 1841 සැප්තැම්බර් මාසෙ ලන්ඩනයේදී. ඇගේ නියම උපන් දිනය කවුරුවත් දන්නෙ නෑ. ඇගේ පියා යුධ හමුදා සෙබළෙක්. ඇගේ මව සහ පියා විවාහ වෙන්නෙ ඇගේ උපතෙන් මාස හයකට පස්සෙ. ඇගේ සුරතල් නාමය වුනේ "ඇනී".

ඇනී 1869 දී අශ්ව කරත්ත රියැදුරෙක් වන ජෝන් චැප්මන් එක්ක විවාහ වෙනවා. මේ යුවලට දරුවන් තුන් දෙනෙක් ලැබෙනවා. නමුත් 1880 දි උපත ලබන තුන්වෙනි දරුවා අංග විකලයි. ඒ එක්කම 1882 දි ඔවුන් ගේ වැඩිමල් දැරිය මෙනින්ජයිටිස් රෝගයෙන් මිය යනවා.
ඇනී සහ ජෝන් චැප්මන්
ඒ එක්කම චැප්මන් යුවල අධික මත්පැන් පානයට ඇබ්බැහි වෙනවා. ඒ නිසාම ඔවුන් 1884 දි වෙන් වෙනවා. අංගවිකල දරුවා අනාථ නිවාසයකට බාර දෙන අතර​, දෙවැනි දැරිය සර්කස් කණ්ඩායමකට බැඳෙනවා. ඇනී වයිට්චේපල් දිස්ත්‍රික්කයේ පදිංචියට එනවා.

1886 දී ජෝන් චැප්මන් සිරෝසිස් රෝගයෙන් මිය යනවා. ඒ ගැන ආරංචි වූ ඇනී හඬා වැලපුන බවත්, ඇගේ දරුවන් සහ මිය ගිය සැමියා ගැන කතා කළ සැම විටම ඇය ශෝකභරිත වූ බවත් කියැවෙනවා.

 ඇනී මේ වෙද්දි ජීවත් වෙන්නෙ වයිට්චේපල් දිස්ත්‍රික්කයේ තිබ්බ විවිධ ලැගුම්ගෙවල් (lodging house) වල​. මේ කාලයේ ඇයට පෙම්වතුන් දෙදෙනෙක් (එකවිට නෙවෙයි) ඉඳල තියෙනවා. ඒ ජෝන් සිවී සහ එඩ්වඩ් ස්ටැන්ලි.

ඇනී තමාගේ ජීවිකාව කරගත්තෙ මැහුම් වැඩ වලින්, මල් විකිණීමෙන් සහ ගණිකා වෘත්තියෙන්.

ඇගේ මිතුරියන් කියන විදිහට මත්පැන් පානය නොකළ අවස්ථා වල ඇනී ඉතාම විනීත සහ කඩිසර කාන්තාවක්. නමුත් මත්පැන් පානය කල විට තරමක් කලහකාරියි. ඇය කීප විටක් ම මත්පැන් පානය කිරීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිස් අත් අඩංගුවට පත් වෙලා තියෙනවා.

1888 මැයි මාසයේදී ඇය පදිංචි වෙලා ඉන්නෙ ඩෝසට් වීදියේ ක්‍රොසිංහැම් ලැගුම්ගෙයි. ඒ කාලයේදී එහි 300 දෙනෙක් පමණ නවාතැන් ගෙන තියෙනවා.

ක්‍රොසිංහැම් ලැගුම්ගෙය
මේ වෙද්දි ඇනී ගෙ වයස අවුරුදු 47 ක්. ඇගේ උස අඩි 5. ඇඟ සුදුමැලි පාටයි. ඇස් නිල් පාටයි. ඇගේ හිස කෙස් තද දුඹුරු පාටයි. ඒවා කැරලි ගැහිලා. යටි ඇන්දේ දත් දෙකක් අහිමි වෙලා. තරමක් තරබාරුයි. ඒත් ඇය මන්ද පෝෂනයෙන් සහ ක්‍ෂය රෝගයෙන් පෙළුනා. ඒ වගේම මොළයේ පටක වල රෝගයකුත් ඇයට තිබුනා. සමහරවිට සිෆිලිස් රෝගයේ ප්‍රතිඵලයක් නිසා.

1888 සැප්තැම්බර් මාසයේ මුල් දින කීපයේදී ඇනී සහ ක්‍රොසිංහැම් ලැගුම්ගෙයි තවත් සාමාජිකාවක් වුන එලීසා කූපර් එක්ක කලහයක් ඇති කර ගන්නවා. එලීසා කූපර් ඇනී ගෙ පෙම්වතිය වුන එඩ්වඩ් ස්ටැන්ලි සමඟ පෙම් සබඳතාවක් ඇති කරගන්න මාන බලමින් සිටි කාන්තාවක්. කලහයට ආසන්න හේතුව විදිහට විවිධ හේතු කියැවෙනවා. තැබෑරුමකදී සහ ලැගුම්ගෙයි දී මේ දෙදෙනා ගුටිබැට හුවමාරු කර ගන්නවා.

සැප්තැම්බර් 3 වෙනිදා -
ඩෝසට් වීදියේදී ඇනීට ඇමිලියා පාමර් නම් මිතුරියක් මුනගැහෙනවා. ඇමීලියා ඇගේ මුහුණේ තියෙන තුවාල ගැන විමසනවා. ඇනී ඇයට කලහය ගැන විස්තර කියලා ඇගේ පපුවේ ඇති තැල්මකුත් පෙන්වනවා. ඇනී කියනවා ඇගේ සෞඛ්‍යය තත්වය දුර්වල බවත්, ඇගේ සොයුරිය ගේ නිවසට යායුතු බවත්. "මට එයාගෙන් බූට්ස් දෙකක් ඉල්ල ගන්න පුළුවන් වුනොත් බීර මල් කඩන රස්සාවකට යන්න පුළුවන්".

සැප්තැම්බර් 4 වෙනිදා -
ඇමිලියා පාමර්ට නැවතත් ඇනී ව හමුවෙනවා. ඇනී කියනවා ඇය දවසටම කෑමට කිසි දෙයක් නොගත් බවත්, අසනීප ගතියක් දැනෙන බවත්, සමහරවිට රෝහලකට ඇතුල් වෙන්න සිදුවිය හැකි බවත්. ඇමිලියා ඇයට පැන්ස දෙකක් දෙනවා කෑමට යමක් ගන්න​. ඒ සල්ලි වලින් රම් මිලදී ගන්න එපා කියලා ඇමිලියා ඇයට අවවාද කරනවා.

සැප්තැම්බර් 7 වෙනිදා -
සවස 5 -
ඇමිලියා ට ඩෝසට් වීදියේදී ඇනී ව මුනගැහෙනවා. ඇනී කියනවා ඇය තදින්ම අසනීප තත්වයේ ඉන්න බව​. "අසනීපයට ඉඩ දීල හරියන්නෙ නෑ. කොහොමහරි කීයක් හරි හොයා ගන්න ඕනෙ. නැත්තං අද කාමර කුලිය ගෙවාගන්න වෙන්නෙ නෑ".

රාත්‍රී 11:30 -
ඇනී ලැගුම්හලට එනවා. ලැගුම්හලේ තවත් සමාජිකයෙක් වන ෆ්‍රෙඩ්‍රික් ස්ටීවන්ස් සමඟ ඇය රාත්‍රී 12 ට පමණ බීර පයින්ට් එකක් පානය කරනවා.

රාත්‍රී 12:12 -
ලැගුම්හලේ තවත් සාමාජිකයෙක් වන විලියම් ස්ටීවන්ස් ට කුස්සියේදී ඇනීව මුනගැහෙනවා. ඇය කියනවා ඇගේ සොයුරිය හමුවෙන්න ගිය බවත්, සොයුරිය ඇයට පැන්ස 5 ක් දුන් බවත්. සමහරවිට ඇය බීර මිලදී ගන්න ඇත්තේ ඒ මුදල් වලින් වෙන්න ඇති. ඇය සාක්කුවෙන් බෙහෙත් පෙති දැමූ පෙට්ටියක් එළියට ගන්නවා. පෙට්ටිය ඉරී යන නිසා ඇය බෙහෙත් පෙති ටික ලියුම් කවරයක දමනවා.

රාත්‍රී 1:35  -
ඇනී කුස්සියේ තම්බන ලද අර්තාපල් අලයක් කමින් ඉන්නවා. ලැගුම්හලේ මුරකරු එවන්ස් ඇයගෙන් කාමර කුලිය ඉල්ලනවා. ඇය ලැගුම්හලේ පාලකයා වන ඩොනවන් හමුවෙන්න ඔහුගේ කාර්‍යාලයට යනවා. ඇයට කාමර කුලිය ගෙවන්න මුදල් නැති බවත්, නමුත් ඉක්මනින්ම මුදල් ගෙවන නිසා ඇගේ ඇඳ වෙනත් කෙනෙකුට නොදන ලෙසත් ඇය ඉල්ලා සිටිනවා. "උඹට බීර ගන්න සල්ලි තියෙනවා, ඒත් කාමර කුලිය ගෙවන්න සල්ලි නෑ" ඩොනවන් ඇයට දොස් පවරනවා.

ඇය කාමරයෙන් එළියට ගිහින්, දොර ළඟ විනාඩි දෙක තුනක් රැඳී ඉන්නවා. "කමක් නෑ ටිම්" ඇය ඩොනවන් ට කියනවා. "මම ඉක්මනටම ආපහු එන්නම්". ඇය යන්න කලින් එවන්ස් ට කියනවා "මම පරක්කු වෙන්නෙ නෑ බ්‍රමී, ටිම්ට කියන්න මගේ ඇඳ වෙන කෙනෙක්ට දෙන්න එපා කියල​".

ඇය එළියට බැහැල ස්පිටල්ෆීල්ඩ් පොදු වෙළඳ සංකීර්ණය පැත්තට ඇවිදගෙන යන හැටි එවන්ස් බලාගෙන ඉන්නවා.

ලැගුම්ගෙයක් ඇතුලත​
උදේ 5:30 -
ස්පිටල්ෆීල්ඩ් හි හැනබරි වීදියේ ඇනි පිරිමියෙක් එක්ක කතා කරමින් ඉන්නවා එලිසබෙත් ලෝං නම් කාන්තාව දකිනවා. පිරිමියා ඉන්නෙ එලිසබෙත්ට පිටුපාල​. පිරිමියා ඇනී ගෙන් "කැමතිද​?" (will you?) කියල අහනවා. ඇනී "ඔව්" කියනවා.

උදේ 5:40 -
හැනබරි වීදියේ පදිංචිකාරයෙක් සහ තරුණ වඩුකාර්මිකයෙක් වන ඇල්බට් කැඩොෂ් ඔහුගේ නිවෙස පිටුපස ඉන්නවා. ඔහුගේ ඉඩම සහ අල්ලපු ඉඩම වෙන් කෙරෙන්නෙ අඩි පහක් උස ලෑලි වැටකින්. වැටෙන් එහේ පැත්තෙ දෙන්නෙක් කතා කරන හඬ ඔහුට ඇහෙනවා. ගැහැණියක් "එපා" කියල කෑ ගහනවා. ලෑලි වැට මතට බරැති යමක් ඇද වැටෙනවා ඇල්බට් ට ඇහෙනවා.

උදේ 6:00 -
හැනබරි වීදියේ පදිංචි කාරයෙක් වන ජෝන් ඩේවිස් ට ඇනී ගෙ මළ සිරුර හමුවෙනවා.

ඇනී ගේ මළ සිරුර තිබූ ස්ථානය​
මිය යනවිට ඇනී ඇඳගෙන හිටියෙ මේ දේවල්:

1. දණහිස දක්වා දිග කළු පාට දිග කබායක්
2. කළු පාට සායක්
3. දුඹුරු පාට අත් නැති හැට්ටයක් (bodice)
4. යට ගවුම් දෙකක් (petticoat)
5. බූට්ස් සපත්තු
6. රතු සහ සුදු ඉරි වූල් දිග මේස් (stockings)
7. බෙල්ලේ ගැට ගැසූ රතු බෝඩරයක් සහිත සුදු ලේන්සුවක් (neckerchief)

ඇයගේ සිරුර සමඟ පහත දේ තිබිල තියෙනවා:
1. නූලකින් ඉනේ ගැට ගැසූ ලොකු පසුම්බියක්.
2. පිත්තල මුදු තුනක්
3. කුඩා කපු රෙදි කැබැල්ලක්
4. කුඩා පනාවක්
5. කඩදාසි කවරයක් දැමූ තවත් පනාවක්
6. ක්‍ෂය රෝගය සඳහා ගන්න බෙහෙත් පෙති දෙකක් දැමූ ලියුම් කවරයක්

ඇගේ සිරුර වැටිල තියෙන්නෙ ලෑලි වැටට සමාන්තරව​. වම් අත පපුව මත​. කකුල් දණිස් දෙකෙන් නවලා, ඉහළට ඔසවලා, යටිපතුල් බිම ගැටෙන විදිහට​. ඇගේ මුහුණ යන්තම් ඉදිමිලා, දකුණට හැරිලා. ඉදිරිපස දත් අතරින් දිව මදක් එළියට ඇවිත්. දකුණු ඇස ළඟ සහ උඩුතොලේ තුවාල ලකුණු දෙකක්. පපුවේ මහපට ඇඟිලි වලින් ඇතිකල තෙරපුමක් නිසා ඇතිවුන ලකුණු දෙකක්. බෙල්ලේ කොඳුඇට පෙල දක්වා දිවෙන ගැඹුරු කැපුමක්. ඒක බෙල්ල වටේම දිවෙනවා.

ඉතාමත් බියජනක ආකාරයට ඇගේ සිරුරේ බඩ ඉහළ සිට පහළට දිවෙන කැපුමකින් සම්පූර්නයෙන්ම විවෘත කරලා. ඇගේ අතුනුබහන් සම්පූර්නයෙන්ම සිරුරෙන් එළියට අරගෙන සිරුරේ පැත්තකින් දමලා. ඒ වගේම ඇගේ ගර්භාෂය, යෝනි මාර්ගයේ ඉහළ කොටස සහ මූත්‍රාශයේ කොටසක් කපා වෙන්කරගෙන. ඒවා සිරුරත් එක්ක හමුවෙලා නෑ. ඒ කියන්නෙ මිනීමරුවා යනකොට ඒවා ඔහුත් සමඟ රැගෙන ගිහින්.
එලීසා ඈන් චැප්මන් (ඇනී) ගේ මල සිරුර​
මරණ පරීක්‍ෂන වාර්තාවේ සඳහන් වෙනවා ඇගේ පෙනහළු සහ මොළයේ පටක දැඩි ලෙස හානි වී තිබුන බවත්, ඇය දින ගණනාවකින් හරි ආහාරයක් ගෙන නොතිබූ බවත්.

1888 සැප්තැම්බර් 14 වෙනිදා මේනර් උද්‍යාන සුසාන භූමියේදී ඇනී ගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා (ජැක් ගේ පළවෙනි ගොදුර වුන පෝලි ගේ අවසන් කටයුතු කරන්නෙත් මේ සුසාන භූමියේදී මයි.). 2008 දී ඇගේ සොහොන මත සමරු ඵලකයක් සවි කෙරෙනවා

Sunday, June 18, 2017

Jack the Ripper - 1


ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම​) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද​? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.

ඒත් මේ කතාව ජැක් ගැන​(ම​) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ජීවිතය ගැන නියම අවබෝධයක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමාජයෙන් කොන් වුන මිනිස් දූවිලි කිව්වොත් නිවැරදියි.

පටන් ගන්න හොඳම තැන තමයි ජැක් අතින් මිය ගිහ කාන්තාවන් පස් දෙනා. මේ පස් දෙනාම ගණිකාවන්. ඒ වගේම අන්ත දුගී අය​.

ජැක්ට මුලින්ම ගොදුරු වෙන්නෙ මේරි ඈන් නිකෝල්ස්.


මේරි ඈන් නිකෝල්ස් (පෝලි)
මේරි ඈන් වෝකර්ස් උපත ලබන්නෙ 1845 අගෝස්තු 26 වෙනිදා ලන්ඩනයේ දී. ඇගේ පියා අගුල් හදන කාර්මික ශිල්පියෙක්. ඇගේ සුරතල් නාමය වුනේ "පෝලි".

පෝලි 1864 දි මුද්‍රන යන්ත්‍ර ශිල්පියෙක් වුන විලියම් නිකෝල් එක්ක විවාහ වෙනවා. මේ යුවල ලන්ඩනයේ කීප තැනක කුලී නිවෙස් වල ජීවත් වෙනවා. ඔවුන්ට ළමයි පස් දෙනෙක් ලැබෙනවා. නමුත් විලියම් ගේ අනියම් සබඳතා සහ පෝලි ගේ මත්පැන් පානය නිසා මේ විවාහය බිඳ වැටෙනවා. 1881 දී පමණ පෝලි සහ විලියම් වෙන් වෙනවා.

විවාහයෙන් පසුව පෝලි ජීවත් වෙන්නෙ පොඩි පොඩි අස්ථිර රැකියා කරමින් සහ ගණිකා වෘත්තියෙන්. ඇගේ දරුවන් ගෙන් වැඩිමලා පෝලි ගේ පියා සමඟත්, අනෙක් සිව් දෙනා විලියම් සමඟත් ජීවත් වෙනවා.

මේ කාලයේ එංගලන්තයේ "වැඩ නිවාස" (Work House) ලෙස හැඳින්වුන ආයතන තිබුනා. මේ ආයතන වල දුප්පත් අයට ආහාර, ඇඳක් සහ ලෙඩ වූ විට බෙහෙත් ලබා දුන් අතර​, ඒ වෙනුවෙන් ඔවුන් ගෙන් කම්කරු ශ්‍රමය ලබා ගත්තා.

පෝලිත් විලියම් ගෙන් වෙන් වුන පසු ජීවත් වුනේ මේ වැඩ නිවාස වල​. ඒ අතර මාස දෙකක කාලයක් ඇය තම පියා සමඟත් ජීවත් වුනා. ඒ කාලයේ දී පියා නිරීක්‍ෂනය කලේ පෝලි ඉතා තදින් මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බව​.

1882 සිට 1888 දක්වා අවුරුදු හය තුල පෝලි ලැම්බත්, ශාන්ත ගයිල්ස්, ස්ට්‍රෑන්ඩ්, මිචම් යන වැඩ නිවාස වල ජීවත් වෙනවා. ඒ අතරේ තෝමස් ඩිව් නම් පුද්ගලයෙක් එක්ක සම්බන්ධ කමකුත් පවත්වනවා.

ලැම්බත් වැඩ නිවෙස​

1888 මැයි 12 වෙනිදා පෝලි ධනවත් නිවෙසක මෙහෙකාරියක් විදිහට වැඩට යනවා. අළුත් රැකියාව ගැන ඇය ඇගේ පියාට ලියල යවන්නෙ මෙහෙමයි.

"I just right to say you will be glad to know that I am settled in my new place, and going all right up to now. My people went out yesterday and have not returned, so I am left in charge. It is a grand place inside, with trees and gardens back and front. All has been newly done up. They are teetotalers and religious so I ought to get on. They are very nice people, and I have not too much to do. I hope you are all right and the boy has work. So good bye for the present.
from yours truly,
Polly

Answer soon, please, and let me know how you are." මාස දෙකකට පස්සෙ පෝලි පවුම් තුනක් වටිනා ඇඳුම් සහ සිලිං දහයකුත් හොරා ගෙන ඒ නිවසින් පැනල යනවා.

ඊට පස්සෙ ඇය ජීවත් වෙන්නෙ එමිලි හෝලන්ඩ් නම් කාන්තාවක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් එක්ක හවුලේ කාමරයක. මේ කාමරය පිහිටා තිබ්බෙ ලන්ඩන් නගරයේ නැගෙනහිර කොනේ "වයිට්චේපල්" දිස්ත්‍රික්කයේ.


පෝලි අවසන් දිනවල දී ජීවත් වුනු කාමරය අයත් නිවසේ අද ඉතිරි වී ඇති බිත්තියක්.
මේ වෙනකොට පෝලි ගෙ වයස අවුරුදු 43 ක්. ඇය අඩි පහයි අඟල් දෙකක් උසයි. ඇගේ උඩු ඇන්දේ ඉදිරිපස දත් දෙකකුත්, යටි ඇන්දේ ඉදිරිපස දතකුත් අහිමි වෙලා. ඇගේ දත් තරමක් දුර්වර්නයි. ඇස් ලා දුඹුරු පාටයි. මේ වෙනකොට ඇගේ දුඹුරු පාට කෙස් තැන තැන සුදු වෙන්න පටන් අරගෙන​. නමුත් පෝලි සාමාන්‍යයෙන් පිරිසිදුව ජීවත් වුනා. ඒ වගේම ඇය වැඩි කතා බහක් නැති තමාගේ පාඩුවේ හිටපු තැනැත්තියක්.

ඇගේ 43 වෙනි උපන් දිනයෙන් දවස් හතරකට පස්සෙ, ඒ කියන්නෙ 1888 අගෝස්තු 30 වෙනිදා රාත්‍රිය ලන්ඩනයට අකුණු සහිත තද වැසි කඩින් කඩ වැටුන රාත්‍රියක්. ඒ වගේම වරායේ ඇතිවුන ගින්නකින් ලන්ඩන් අහස රතු පැහැ වෙලා තිබුනා.

රාත්‍රී 11 -
පෝලි වයිට්චේපල් මාවත දිගේ ගමන් කරනවා. සමහරවිට "ගනුදෙනු කාරයෙක්" සොයාගෙන.

රාත්‍රී 12:30 -
බ්‍රික් වීදිය සහ ත්‍රෝල් වීදිය හමුව ස්ථානයේ ඇති "තාච්චිය​" (Frying Pan) තැබෑරුමේ ඉඳලා පෝලි ත්‍රෝල් වීදියේ ඇති තමාගේ කාමරයට එනවා.


"තාච්චිය​"
රාත්‍රී 1:30 -
පොලී ඇගේ නිවසේ කුස්සියේ ඉන්න විට ඇගේ නිවෙස් හිමියා ඇයට කාමරයෙන් ඉවත් වන ලෙස දැණුම් දෙනවා. හේතුව ඇය කුලී නොගෙවීම​. ඇය නිවසෙන් පිටව යන්නේ ඇගේ ඇඳ කාටවත් නොදෙන ලෙස පවසමින්. "මම ඉක්මනින්ම මගේ කුලී මුදල් දෙන්නම්. දැක්කද මට දැන් කොච්චර ලස්සන තොප්පියක් ද තියෙන්නෙ කියල​?" (I'll soon get my doss money. See what a jolly bonnet I've got now.) එහෙම කියන ඇය කලින් ඇය ලඟ නොතිබුන කළු පාට කුඩා "බොනට්" තොප්පියක් නිවෙස් හිමියාට පෙන්වනවා.

රාත්‍රී 2:30-
වරායේ ගින්න බලන්න ගිහින් ආපසු කාමරයට එන එමිලි හෝලන්ඩ් ට වයිට්චේපල් මාවත සහ ඔස්බෝන් වීදිය හමුවන තැනදී පෝලි ව මුණ ගැහෙනවා. පෝලි ඉතා තදින් බීමත් ව ඉන්නෙ. ඇය ඇවිදින්නෙ බිත්තිය අල්ලගෙන​. පෝලි එමිලිට කියනවා ඇයව කාමරයෙන් එළවා දැමූ බවත්, ඇය ඊට පසු තුන් වතාවක් කුලී මුදල් සොයා ගත්ත නමුත් ඒ සියල්ලෙන්ම මත්පැන් පානය කළ බවත්. ගනුදෙනු කාරයෙක් හොයා ගන්න තව එක සැරයක් උත්සහ කරන බවත්, උත්සහය හරි ගියොත් ඇය කුලී මුදල් සමඟ කාමරයට එන බවත්, වැරදුනොත් කාමරයක් තියෙන කවුරුන් හෝ පිරිමියෙක් එක්ක රාත්‍රිය ගත කරන බවත් පෝලි කියනවා.

එමිලි සහ පෝලි කතා කල ස්ථානය​
(පෝලි ගේ කාමර කුලිය රාත්‍රියකට පැන්ස 4 යි. ඒ කාලයේදී නැගෙනහිර ලන්ඩනයේ වීදි ගණිකාවකගේ සේවය පැන්ස 2-3 හෝ ලොකු පාන් කෑල්ලකට ලබා ගන්න පුළුවන්. පැන්ස තුනකට ලොකු ජින් වීදුරුවක් මිලදී ගන්න පුළුවන්)

ඒ මේරි ඈන් නිකෝල්ස් හෙවත් පෝලි ව ජීවතුන් අතර සිටියදී කෙනෙක් දකින අවසාන අවස්ථාව​.

පාන්දර 3:15 -
පොලිස් කොස්තාපල් ජෝන් තේන් සහ සාජන්ට් කර්බි ඔස්බෝන් වීදියේ ඉඳල විනාඩි දහයක් පයින් යන දුරින් ඇති "බක් රෝ" ලෙස හැඳින්වුන වීදිය හරහා මුර සංචාරය කරනවා. ඔවුන් සැක කටයුතු කිසිවක් දකින්නේ නෑ.

පාන්දර 3:45 -
උදෑසනම රැකියාව බලා යන අශ්ව කරත්ත රියැදුරෙක් වන චාල්ස් ක්‍රොස් සහ ඔහුගේ මිතුරෙක් වන රොබට් පෝල් බක් රෝ වීදිය හරහා යනවා. ඔවුන් දකිනවා කාන්තාවක් පාරේ වැටී ඉන්නවා. "මෙතනට ඇවිත් බලපන්, මෙතන ගෑණියෙක් ඉන්නවා" ක්‍රොස් පෝල්ට කියනවා. ඔවුන් ඇයගේ සිරුර පරීක්‍ෂා කරද්දිත් ඇගේ අත් සහ කකුල් තවමත් උණුසුම්. ඉතා යාන්තමින් ඇය හුස්ම ගන්න බව පෝල් ට තේරෙනවා. "මම හිතන්නෙ ඇය තාම හුස්ම ගන්නවා. හැබැයි හරිම ටිකක්" පෝල් කියනවා.

බක් රෝ වීදියේ පොලී ගේ සිරුර තිබූ ස්ථානය​
ක්‍රොස් සහ පෝල් පොලිස් නිලධාරියෙක් හොයාගෙන යනවා. ඔවුන්ට කොස්තාපල් ජෝනාස් මිසෙන් හමුවෙනවා. මිසෙන් සිද්ධිය වුන ස්ථානයට එද්දි කොස්තාපල් ජෝන් නීල් එතැන ඉන්නවා. ඔවුන් වෛද්‍යවරයෙක් කැඳවනවා. සිරුර පරික්‍ෂා කරන වෛද්‍ය වරයා විනාඩි කීපයකට පෙර ඇය මිය ගිය ඇති බව පවසනවා.
මිය යන විට පෝලි ඇඳල හිටපු දේ විදිහට පොලිස් වාර්තාවේ දැක්වෙන්නේ මේ දේවල්:

1. කළුපාට බොනට් තොප්පියක්
2. රතු දුඹුරු පාට කබායක් (ulster)
3. දුඹුරු පාට දිග ගවුමක් (Linsey frock)
4. සුදු ෆ්ලැනල් රෙද්දක්
5. කළු වූල් දිග මේස් (stockings)
6. ලෝම යට ගවුමක් සහ ෆ්ලැනල් යට ගවුමක් (petticoat)
7. දුඹුරු පාට පපු වැස්මක් (stays)
8. ෆ්ලැනල් යට ඇඳුම්
9. උඩ කොටස කපා දැමූ පිරිමි බූට්ස් සපත්තු

ඇය ගේ සිරුර සමඟ පහත දේ තිබිල තියෙනවා:
1. පනාවක්
2. සුදු අත් ලේන්සුවක් 
3. කැඩිච්ච කන්නාඩි කැබැල්ලක්
Linsey Frock වර්ගයේ ගවුමක්
ඇගේ මුහුනේ දකුණු පැත්තේ පහරක් වැදුනු සලකුණක් තියෙනවා. මුහුණේ වම් පැත්තේ අතකින් තද කරලා අල්ලගත්ත සලකුණක් තියෙනවා. බෙල්ලේ වම් පැත්තේ අඟල් 3 සහ 4 බැගින් වන කැපුම් දෙකක් තියෙන එතර​, දකුණු පැත්තේ අඟල් 8 දිග කොඳු ඇට පෙල දක්වා කැපුණු ගැඹුරු කැපුමක් තියෙනවා. මොළයට රුධිරය ගෙනියන රුධිර නාල සම්පූර්නයෙන්ම කැපී වෙන් වෙලා. යටි බඩේ ගැඹුරු ඇනුම් තුවාලයක් සහ කැපුම් තුවාල කීපයක් තියෙනවා.

මේරි ඈන් නිකෝල්ස් (පෝලි) ගේ මළ සිරුර​
1888 සැප්තැම්බර් 6 වෙනිදා මේනර් උද්‍යාන සුසාන භූමියේදී පෝලි ගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා. 1966 දී ඇගේ සොහොන මත සමරු ඵලකයක් සවි කෙරෙනවා


Saturday, June 17, 2017

දිව්‍යමය සුළං


ජපන් භාෂාවෙන් "කමිකසෙ" කියන්නෙ "දිව්‍යමය සුළං" කියන එක​. 1274 සහ 1281 දි මොංගෝලියානු අධිරාජ්‍යය දෙපාරක් ජපානය ආක්‍රමනය කරනවා. නමුත් මේ අක්‍රමන දෙකම අසාර්ථක වෙනවා. ඒකට ප්‍රධාන හේතුව හදිසියේ ඇති වන කුණාටුවකින් මොංගෝලියානු නැව් විනාශ වීම​. දෙපාරක් ම මේ සිද්ධිය සිදු වුන නිසා ජපන්නු මේක දේවාත්ම වල (කමි) මැදිහත් වීමෙන් වුන දෙයක් කියල විශ්වාස කලා. මේ කුණාටු දෙක "දිව්‍යමය සුළං" හෙවත් "කමිකසෙ" කියල නම් කරා.

හැබැයි දැන් මේ කියන්න යන්නෙ ඒ දිව්‍යමය සුළං ගැන නෙවෙයි. වෙනත් දිව්‍යමය සුළඟක් ගැන​.

1840 දි පමණ ජපන් චිත්‍ර ශිල්පියෙක් (හෝ කීපදෙනෙක්) චිත්‍රයක් නිර්මානය කරනවා. මේ චිත්‍රය මීටර 10 ක් දිග දැවැන්ත නිර්මානයක්. ඒක කරපු චිත්‍ර ශිල්පියා (හෝ ශිල්පීන්) අදටත් අඥාතයි.

මේ චිත්‍රයේ නම "හෙ-ගස්සෙන්". ඒකෙ තේරුම "පඩ සටන​" (නෑ මුද්‍රණ දෝෂයක් නෙවෙයි).

සම්පූර්න සිතුවම සමන්විත වෙන්නෙ චිත්‍ර දහ අටකින්. මේ චිත්‍ර වලින් කියැවෙන්නෙ කතාවක් (හරියට චිත්‍ර කතාවක් වගේ). වෙනත් සාම්ප්‍රදායික ජපන් ලියැවිලි වගේම මේකත් කියවන්න ඕනෙ දකුණේ සිට වමට​.

පළවෙනි චිත්‍රයේ තියෙන්නෙ සමුරායි කෙනෙක් ගොවියන් හතර දෙනෙක්ට යම් කිසි දෙයක් පැහැදිලි කරනවා. ගොවියන් ගෙ සිනා මුහුණු වලින් සහ රතු පාට කිමෝනෝව ඇඳල ඉන්නෙ ගොවියගෙ අභිනයන් ගෙන් පේන්නෙ සමුරායි වරයා කියන දේ ඔවුන්ට හිතට අල්ලල ගිහින් තියෙන බව​.


දෙවෙනි චිත්‍රයේ මේ පිරිස කොහෙදෝ යන දර්ශනයක් තියෙනවා. සමුරායි වරයා අශ්වයෙක් පිට නැගලා. ගොවියන් දෙදෙනෙක් අතේ කූඩ වල පිරවූ යම් කිසි දෙයක් තියෙනවා.


තුන් වෙනි චිත්‍රයේදී මේ පිරිසට තවත් කෙනෙක් මුණ ගැහෙනවා. ඔහුගේ පිටේ ගහල තියෙන කොඩිය නිසා ඔහු යුධ සෙබළෙක් බව හඳුනගන්න පුළුවන්.


හතර වෙනි චිත්‍රයේදී මේ අය අර කූඩ වල ගෙනාපු දෙය ලිපක් මත තියල උයනව දකින්න පුළුවන්. ඒ දෙය අල වැනි ආහාර වර්ගයක් වගෙයි පේන්නෙ. ගොවියන් දෙන්නෙක් ලහි ලහියේ කෑම උයද්දි සමුරායි වරයා සහ සෙබළා කෑම කනවා.


පස් වෙනි චිත්‍රයේ තමයි සටන පටන් ගන්නෙ. අර කෑම වර්ගය මොනා වුනත් ඒ කෑම උදරයේ වායු නිෂ්පාදනයට ඉවහල් වෙන බව හිතන්න පුළුවන්. පිරිස දෙකට බෙදිලා එකිනෙකාට විරුද්ධව පඩ සටනක් කරනවා. එක ගොවියෙක් ගෙ තොප්පිය ගැලවිලා යන්න තරම් මේ පඩ ප්‍රභලයි.


හය වෙනි චිත්‍රයේදී සටන උච්චස්ථානයකට පත් වෙලා තියෙනවා. එක පිලක් සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා. ඔවුන් ගේ දරුණු ප්‍රහාරයෙන් ගැලවෙන්නෙ අනෙක් පිලට මුකවාඩම් බැඳ ගන්නත්, ලෑල්ලක් භාවිතා කරන්නත් සිදු වෙලා.


හත් වැන්නේ දි ඔවුන් අළුත් උපක්‍රමයක් භාවිතා කරනවා. දෙදෙනෙක් අවන් පත් වලින් ප්‍රතිවාදීන් ගෙ ප්‍රහාරය වෙනතකට යොමු කරද්දි එක් අයෙක් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා.


අට වෙනි චිත්‍රයේදී දරුණු ප්‍රහාර දරා ගන්න නොහැකිව එක පිළක් මේසයක් බාධකයක් විදිහට භාවිතා කරනවා. නමුත් ඔවුන් ප්‍රතිවාදීන් ව අවතක්සේරු කරලා. ප්‍රතිවාදීන් ගේ ප්‍රහාරයෙන් මේසය හිල් වෙලා එයට මුවා වී සිටින අය විසි වෙලා යනවා.


නව වැනි චිත්‍රයේදී මේ පිරිසට තව අය එකතු වෙනවා. එක පිළකට හිස මුඩු කල අයෙක් එකතු වෙද්දි අනෙක් පිළට කාන්තාවක් එක් වෙලා. කාන්තාවත් අනෙක් එය සමඟ හරි හරියට සටන් වදිනවා.


දහවැනි විත්‍රයේ දී තවත් කාන්තාවක් සටනට එක් වෙනවා. මේ අය අළුත් උපක්‍රමයක් අත් හදා බලනවා. විශාල රෙදි ගෝනි දෙකකට පඩ එකතු කරනවා. මේ වෙද්දි කාන්තාවන් දෙන්නා සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා.


එකොළොස් වැනි චිත්‍රයේදි මේ අළුත් උපක්‍රමය අති සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙනවා. ගෝනියෙන් මුදා හරින පඩ ප්‍රහාරයෙන් ප්‍රතිවාදීන් හතර දෙනෙක් විසි වෙලා යන්නෙ කිසිම ප්‍රති ප්‍රහාරයකට ඉඩක් නොලබමින්. පහර දෙන පිලේ ගොවියෙක් අත්පොලසන් දෙමින් සතුට පල කරනවා.


දොළොස් වැනි චිත්‍රයේදී අශ්වාරෝහක හමුදා සටනට එක් වෙනවා. අසු පිට සිට එල්ල වන ප්‍රහාරය දරා ගන්න නොහැකිව එක් අයෙක් බිම වැතිරිලා. සමුරායි වරයා පැත්තක ඉඳන් බොහොම ප්‍රීතියෙන් සටන නිරීක්‍ෂනය කරනවා.


දහතුන් වෙනි චිත්‍රයේදී පාබල සේනාව අශ්වාරෝහකයන්ට එරෙහිව සාර්ථකව ප්‍රතිප්‍රහාර දෙනවා. බිම සිට එල්ල කරන ප්‍රහාරයකින් අශ්වයෙක් පෙරළිලා යන්නෙ අසරුවත් එක්කමයි. පහර දෙන්නා අසල හිඳගෙන තව අයෙක් ඔහුව දිරි ගන්වනවා.


දහ හතර වෙනි චිත්‍රයේදී අපේ පිරිස ඒකාබද්ධ ප්‍රහාරයක් අත් හදා බලනවා. කාන්තාවන් දෙන්නා එල්ල කරන ඒකා බද්ධ ප්‍රහාරයෙන් තවත් අයෙක් ගුවනේ පාවෙලා යනවා. මෙතැනදි පිරිසට සුදු රැවුලක් තියෙන්නෙ මහල්ලෙකුත් එක් වෙලා. ඔහු තවත් කෙනෙක් එක්ක ලොකු සාකච්ඡාවක්.


පහළොස් වැනි චිත්‍රයේදී ගසක් මුලින් ඉදිරී ගුවන් ගත වෙන්නට තරම් ප්‍රභල ප්‍රහාරායක් එල්ල කරන්න අයෙක් සමත් වෙනවා. වටේ ඉන්න පිරිස ඔහු ගැන ඇති කරගත් ගෞරවයෙන් සිනාසෙමින් ඉවතට දුවනවා. මේ වනකොට පිරිසට තවත් සමුරායි කෙනෙක් එකතු වෙලා.


දහසය වැනි චිත්‍රයේදී පිරිස සටන් අභ්‍යාස නවත්තලා නැවතත් අර ආහාර වර්ගය පිළියෙල කරනවා. ඒ ඉදිරියේ එන නියම යුද්ධයට සූදානමෙන්. සමුරායි වරයා සහ ගොවියන් දෙදෙනෙක් අල පොතු සුද්ධ කරන අතර අනෙක් සමුරායි වරයා කාන්තාවක් එක්ක පෙමින් වෙළිලා ඉන්නවා.


දහ හත් වන චිත්‍රයේ තමයි නියම සටන තියෙන්නෙ. අපේ පිරිස මෙතෙක් වෙලා පුහුණු වුනේ මේ සටන සඳහා. ඔවුන් වෙළඳ සැලක් වගේ පේන ගොඩනැගිල්ලක් වට කරලා පහර දෙනවා. ප්‍රහාරයෙන් වෙළඳ සැල සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. ඒක ඇතුලෙ ඉන්නෙ ගෑණු පිරිම විසි වෙලා යනවා. වෙළඳ සැලේ වහලය බඩු මුට්ටු පෙරලිලා යනවා. ඒ අතරෙ සමුරායි කෙනෙක් විසිවෙලා යන බඩු පැහැර ගන්නවා. යුධ සෙබලා පෙරලෙන සකේ බාල්දියකින් හැලෙන සකේ බොනවා.


දහ අටවන චිත්‍රයේදී අපේ පිරිස සටන නිම කරන ආකාරය තියෙන්නෙ. ඔවුන් ගේ ප්‍රහාරය අනුකම්පා විරහිතයි. මුල් ප්‍රහාරයෙන් ඉතුරු වුන සියළුම දේ මේ ප්‍රහාරයෙන් විනාශ කරනවා. එක් අයෙක් ගේ ප්‍රහාරයෙන් පූසෙක් ගුවන් ගත වෙනවා. තවත් දෙන්නෙක් එල්ල කරන ප්‍රහාරයෙන් මහල්ලෙක් ඔහුගෙ හට්ටි-මුට්ටිත් එක්කම විසි වෙලා යනවා.


චිත්‍රය අවසානයේ යම් විස්තරයක් ඇතුළත් කරල තියෙනවා.


මේ මොනවද​? මුන්ට පිස්සුද​?

අපිට මේක අද විකාරයක් වගේ පෙනුනට මේක දේශපාලන චිත්‍රයක්. අද භාවිතාවන කාටූනයක් වගේ.

මෙතන "දිව්‍යමය සුළං" වලින් නිරූපනය වෙන්නෙ අර මුලදි කියපු "කමිකසෙ". මොංගෝලියානු ආක්‍රමනයෙන් පස්සෙ ජපන්නු අතර විශ්වාසයක් ඇති වුනා දේවාත්ම ජපානය ආරක්‍ෂා කරන බවත්, ජපන්නු කියන්නෙ සුවිශේෂී ජාතියක් බවත්. ඇත්තෙන්ම ලෝකයෙන් බාගයක් යටත් කරපු මොංගෝලියානු අධිරාජ්‍යයට අල්ලපු වැටේ තියෙන ජපානය අල්ල ගන්න බැරි වීම නිසා ඒ කතාව බොරුවක් කියල කියන්නත් බෑ.

ඉතින් මේ විශ්වාසයට අනුව දේවාත්ම විසින් දිව්‍යමය සුළං යොදාගෙන ජපානය ආරක්‍ෂා කරනවා. මේ චිත්‍රයේ අපේ පිරිස කරන්නෙත් ඒකමයි. "දිව්‍යමය සුළං" යොදාගෙන ජපානය ආරක්‍ෂා කිරීම​.

ඉතින් මේ ආරක්‍ෂා කරන්නෙ මොකකින් ද​?

1840 කියන්නෙ ජපානයේ බොහෝ දේශපාලන කලබගෑනි තිබ්බ කාලයක්.

17 වෙනි සියවසේදී බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, ඇමරිකාව​, ඕලන්දය ආදී බටහිර ජාතීන් ජපානය එක්ක වෙළඳ ගනු දෙනු කරන්නත්, ඔවුන් ගේ දේශපාලන බලය ජපානයේ පතුරුවන්නත් උත්සහ කරමින් හිටියා.

මේකට ජපන් සමාජයේ ලොකු විරෝධයක් තිබ්බා. ඒ සමුරායි වරුන් ගෙන් සහ ගොවියන් ගෙන්. නමුත් චෝනින් කියල හැඳින්වුන වෙළඳ පන්තිය මේ වෙළඳාම් වලින් ලාබ ලැබුව නිසා ඒකට කැමති වුනා. නමුත් වෙළෙන් දන් ධනවත් වීම නොඉවසපු සමුරායි වරු සහ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය වෙනස් වීම නොඉවසපු ගොවියන් ඒකට විරුද්ධ වුනා.

ඒ නිසා ජපානයේ පාලකයා වුන ෂෝගුන් වරයා 1635 දි සියළුම විදේශිකයන්ට ජපානයෙන් පිට වන ලෙස නියෝග කරනවා. ඔවුන්ට එන්න අවසර දුන්නේ නගසකි වරායේ කුඩා දූපතකට විතරයි. ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත ජපන් ජාතිකයන් සහ ක්‍රිස්තියානි පූජකයන්ට මරණ දඬුවම නියම කරනවා.

1840 වෙද්දි බටහිර ජාතීන් යුධ බලය දක්වලා මේ නීති වෙනස් කරන්න තැත් කරනවා. ෂෝගුන් වරයා ඊට ප්‍රතිචාර දක්වන්නෙ නීති තවත් තද කිරීමෙන්.

මේ චිත්‍රයෙන් දැක්වෙන්නෙ "දිව්‍යමය සුළං" යොදාගෙන බටහිරයන් සහ ඔවුන්ට සහය දුන්න වෙළඳ පන්තිය පරාජය කරලා ජපානය ආරක්‍ෂා කිරීම​.