Saturday, June 17, 2017

දිව්‍යමය සුළං


ජපන් භාෂාවෙන් "කමිකසෙ" කියන්නෙ "දිව්‍යමය සුළං" කියන එක​. 1274 සහ 1281 දි මොංගෝලියානු අධිරාජ්‍යය දෙපාරක් ජපානය ආක්‍රමනය කරනවා. නමුත් මේ අක්‍රමන දෙකම අසාර්ථක වෙනවා. ඒකට ප්‍රධාන හේතුව හදිසියේ ඇති වන කුණාටුවකින් මොංගෝලියානු නැව් විනාශ වීම​. දෙපාරක් ම මේ සිද්ධිය සිදු වුන නිසා ජපන්නු මේක දේවාත්ම වල (කමි) මැදිහත් වීමෙන් වුන දෙයක් කියල විශ්වාස කලා. මේ කුණාටු දෙක "දිව්‍යමය සුළං" හෙවත් "කමිකසෙ" කියල නම් කරා.

හැබැයි දැන් මේ කියන්න යන්නෙ ඒ දිව්‍යමය සුළං ගැන නෙවෙයි. වෙනත් දිව්‍යමය සුළඟක් ගැන​.

1840 දි පමණ ජපන් චිත්‍ර ශිල්පියෙක් (හෝ කීපදෙනෙක්) චිත්‍රයක් නිර්මානය කරනවා. මේ චිත්‍රය මීටර 10 ක් දිග දැවැන්ත නිර්මානයක්. ඒක කරපු චිත්‍ර ශිල්පියා (හෝ ශිල්පීන්) අදටත් අඥාතයි.

මේ චිත්‍රයේ නම "හෙ-ගස්සෙන්". ඒකෙ තේරුම "පඩ සටන​" (නෑ මුද්‍රණ දෝෂයක් නෙවෙයි).

සම්පූර්න සිතුවම සමන්විත වෙන්නෙ චිත්‍ර දහ අටකින්. මේ චිත්‍ර වලින් කියැවෙන්නෙ කතාවක් (හරියට චිත්‍ර කතාවක් වගේ). වෙනත් සාම්ප්‍රදායික ජපන් ලියැවිලි වගේම මේකත් කියවන්න ඕනෙ දකුණේ සිට වමට​.

පළවෙනි චිත්‍රයේ තියෙන්නෙ සමුරායි කෙනෙක් ගොවියන් හතර දෙනෙක්ට යම් කිසි දෙයක් පැහැදිලි කරනවා. ගොවියන් ගෙ සිනා මුහුණු වලින් සහ රතු පාට කිමෝනෝව ඇඳල ඉන්නෙ ගොවියගෙ අභිනයන් ගෙන් පේන්නෙ සමුරායි වරයා කියන දේ ඔවුන්ට හිතට අල්ලල ගිහින් තියෙන බව​.


දෙවෙනි චිත්‍රයේ මේ පිරිස කොහෙදෝ යන දර්ශනයක් තියෙනවා. සමුරායි වරයා අශ්වයෙක් පිට නැගලා. ගොවියන් දෙදෙනෙක් අතේ කූඩ වල පිරවූ යම් කිසි දෙයක් තියෙනවා.


තුන් වෙනි චිත්‍රයේදී මේ පිරිසට තවත් කෙනෙක් මුණ ගැහෙනවා. ඔහුගේ පිටේ ගහල තියෙන කොඩිය නිසා ඔහු යුධ සෙබළෙක් බව හඳුනගන්න පුළුවන්.


හතර වෙනි චිත්‍රයේදී මේ අය අර කූඩ වල ගෙනාපු දෙය ලිපක් මත තියල උයනව දකින්න පුළුවන්. ඒ දෙය අල වැනි ආහාර වර්ගයක් වගෙයි පේන්නෙ. ගොවියන් දෙන්නෙක් ලහි ලහියේ කෑම උයද්දි සමුරායි වරයා සහ සෙබළා කෑම කනවා.


පස් වෙනි චිත්‍රයේ තමයි සටන පටන් ගන්නෙ. අර කෑම වර්ගය මොනා වුනත් ඒ කෑම උදරයේ වායු නිෂ්පාදනයට ඉවහල් වෙන බව හිතන්න පුළුවන්. පිරිස දෙකට බෙදිලා එකිනෙකාට විරුද්ධව පඩ සටනක් කරනවා. එක ගොවියෙක් ගෙ තොප්පිය ගැලවිලා යන්න තරම් මේ පඩ ප්‍රභලයි.


හය වෙනි චිත්‍රයේදී සටන උච්චස්ථානයකට පත් වෙලා තියෙනවා. එක පිලක් සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා. ඔවුන් ගේ දරුණු ප්‍රහාරයෙන් ගැලවෙන්නෙ අනෙක් පිලට මුකවාඩම් බැඳ ගන්නත්, ලෑල්ලක් භාවිතා කරන්නත් සිදු වෙලා.


හත් වැන්නේ දි ඔවුන් අළුත් උපක්‍රමයක් භාවිතා කරනවා. දෙදෙනෙක් අවන් පත් වලින් ප්‍රතිවාදීන් ගෙ ප්‍රහාරය වෙනතකට යොමු කරද්දි එක් අයෙක් ප්‍රතිප්‍රහාර එල්ල කරනවා.


අට වෙනි චිත්‍රයේදී දරුණු ප්‍රහාර දරා ගන්න නොහැකිව එක පිළක් මේසයක් බාධකයක් විදිහට භාවිතා කරනවා. නමුත් ඔවුන් ප්‍රතිවාදීන් ව අවතක්සේරු කරලා. ප්‍රතිවාදීන් ගේ ප්‍රහාරයෙන් මේසය හිල් වෙලා එයට මුවා වී සිටින අය විසි වෙලා යනවා.


නව වැනි චිත්‍රයේදී මේ පිරිසට තව අය එකතු වෙනවා. එක පිළකට හිස මුඩු කල අයෙක් එකතු වෙද්දි අනෙක් පිළට කාන්තාවක් එක් වෙලා. කාන්තාවත් අනෙක් එය සමඟ හරි හරියට සටන් වදිනවා.


දහවැනි විත්‍රයේ දී තවත් කාන්තාවක් සටනට එක් වෙනවා. මේ අය අළුත් උපක්‍රමයක් අත් හදා බලනවා. විශාල රෙදි ගෝනි දෙකකට පඩ එකතු කරනවා. මේ වෙද්දි කාන්තාවන් දෙන්නා සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා.


එකොළොස් වැනි චිත්‍රයේදි මේ අළුත් උපක්‍රමය අති සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙනවා. ගෝනියෙන් මුදා හරින පඩ ප්‍රහාරයෙන් ප්‍රතිවාදීන් හතර දෙනෙක් විසි වෙලා යන්නෙ කිසිම ප්‍රති ප්‍රහාරයකට ඉඩක් නොලබමින්. පහර දෙන පිලේ ගොවියෙක් අත්පොලසන් දෙමින් සතුට පල කරනවා.


දොළොස් වැනි චිත්‍රයේදී අශ්වාරෝහක හමුදා සටනට එක් වෙනවා. අසු පිට සිට එල්ල වන ප්‍රහාරය දරා ගන්න නොහැකිව එක් අයෙක් බිම වැතිරිලා. සමුරායි වරයා පැත්තක ඉඳන් බොහොම ප්‍රීතියෙන් සටන නිරීක්‍ෂනය කරනවා.


දහතුන් වෙනි චිත්‍රයේදී පාබල සේනාව අශ්වාරෝහකයන්ට එරෙහිව සාර්ථකව ප්‍රතිප්‍රහාර දෙනවා. බිම සිට එල්ල කරන ප්‍රහාරයකින් අශ්වයෙක් පෙරළිලා යන්නෙ අසරුවත් එක්කමයි. පහර දෙන්නා අසල හිඳගෙන තව අයෙක් ඔහුව දිරි ගන්වනවා.


දහ හතර වෙනි චිත්‍රයේදී අපේ පිරිස ඒකාබද්ධ ප්‍රහාරයක් අත් හදා බලනවා. කාන්තාවන් දෙන්නා එල්ල කරන ඒකා බද්ධ ප්‍රහාරයෙන් තවත් අයෙක් ගුවනේ පාවෙලා යනවා. මෙතැනදි පිරිසට සුදු රැවුලක් තියෙන්නෙ මහල්ලෙකුත් එක් වෙලා. ඔහු තවත් කෙනෙක් එක්ක ලොකු සාකච්ඡාවක්.


පහළොස් වැනි චිත්‍රයේදී ගසක් මුලින් ඉදිරී ගුවන් ගත වෙන්නට තරම් ප්‍රභල ප්‍රහාරායක් එල්ල කරන්න අයෙක් සමත් වෙනවා. වටේ ඉන්න පිරිස ඔහු ගැන ඇති කරගත් ගෞරවයෙන් සිනාසෙමින් ඉවතට දුවනවා. මේ වනකොට පිරිසට තවත් සමුරායි කෙනෙක් එකතු වෙලා.


දහසය වැනි චිත්‍රයේදී පිරිස සටන් අභ්‍යාස නවත්තලා නැවතත් අර ආහාර වර්ගය පිළියෙල කරනවා. ඒ ඉදිරියේ එන නියම යුද්ධයට සූදානමෙන්. සමුරායි වරයා සහ ගොවියන් දෙදෙනෙක් අල පොතු සුද්ධ කරන අතර අනෙක් සමුරායි වරයා කාන්තාවක් එක්ක පෙමින් වෙළිලා ඉන්නවා.


දහ හත් වන චිත්‍රයේ තමයි නියම සටන තියෙන්නෙ. අපේ පිරිස මෙතෙක් වෙලා පුහුණු වුනේ මේ සටන සඳහා. ඔවුන් වෙළඳ සැලක් වගේ පේන ගොඩනැගිල්ලක් වට කරලා පහර දෙනවා. ප්‍රහාරයෙන් වෙළඳ සැල සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. ඒක ඇතුලෙ ඉන්නෙ ගෑණු පිරිම විසි වෙලා යනවා. වෙළඳ සැලේ වහලය බඩු මුට්ටු පෙරලිලා යනවා. ඒ අතරෙ සමුරායි කෙනෙක් විසිවෙලා යන බඩු පැහැර ගන්නවා. යුධ සෙබලා පෙරලෙන සකේ බාල්දියකින් හැලෙන සකේ බොනවා.


දහ අටවන චිත්‍රයේදී අපේ පිරිස සටන නිම කරන ආකාරය තියෙන්නෙ. ඔවුන් ගේ ප්‍රහාරය අනුකම්පා විරහිතයි. මුල් ප්‍රහාරයෙන් ඉතුරු වුන සියළුම දේ මේ ප්‍රහාරයෙන් විනාශ කරනවා. එක් අයෙක් ගේ ප්‍රහාරයෙන් පූසෙක් ගුවන් ගත වෙනවා. තවත් දෙන්නෙක් එල්ල කරන ප්‍රහාරයෙන් මහල්ලෙක් ඔහුගෙ හට්ටි-මුට්ටිත් එක්කම විසි වෙලා යනවා.


චිත්‍රය අවසානයේ යම් විස්තරයක් ඇතුළත් කරල තියෙනවා.


මේ මොනවද​? මුන්ට පිස්සුද​?

අපිට මේක අද විකාරයක් වගේ පෙනුනට මේක දේශපාලන චිත්‍රයක්. අද භාවිතාවන කාටූනයක් වගේ.

මෙතන "දිව්‍යමය සුළං" වලින් නිරූපනය වෙන්නෙ අර මුලදි කියපු "කමිකසෙ". මොංගෝලියානු ආක්‍රමනයෙන් පස්සෙ ජපන්නු අතර විශ්වාසයක් ඇති වුනා දේවාත්ම ජපානය ආරක්‍ෂා කරන බවත්, ජපන්නු කියන්නෙ සුවිශේෂී ජාතියක් බවත්. ඇත්තෙන්ම ලෝකයෙන් බාගයක් යටත් කරපු මොංගෝලියානු අධිරාජ්‍යයට අල්ලපු වැටේ තියෙන ජපානය අල්ල ගන්න බැරි වීම නිසා ඒ කතාව බොරුවක් කියල කියන්නත් බෑ.

ඉතින් මේ විශ්වාසයට අනුව දේවාත්ම විසින් දිව්‍යමය සුළං යොදාගෙන ජපානය ආරක්‍ෂා කරනවා. මේ චිත්‍රයේ අපේ පිරිස කරන්නෙත් ඒකමයි. "දිව්‍යමය සුළං" යොදාගෙන ජපානය ආරක්‍ෂා කිරීම​.

ඉතින් මේ ආරක්‍ෂා කරන්නෙ මොකකින් ද​?

1840 කියන්නෙ ජපානයේ බොහෝ දේශපාලන කලබගෑනි තිබ්බ කාලයක්.

17 වෙනි සියවසේදී බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, ඇමරිකාව​, ඕලන්දය ආදී බටහිර ජාතීන් ජපානය එක්ක වෙළඳ ගනු දෙනු කරන්නත්, ඔවුන් ගේ දේශපාලන බලය ජපානයේ පතුරුවන්නත් උත්සහ කරමින් හිටියා.

මේකට ජපන් සමාජයේ ලොකු විරෝධයක් තිබ්බා. ඒ සමුරායි වරුන් ගෙන් සහ ගොවියන් ගෙන්. නමුත් චෝනින් කියල හැඳින්වුන වෙළඳ පන්තිය මේ වෙළඳාම් වලින් ලාබ ලැබුව නිසා ඒකට කැමති වුනා. නමුත් වෙළෙන් දන් ධනවත් වීම නොඉවසපු සමුරායි වරු සහ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය වෙනස් වීම නොඉවසපු ගොවියන් ඒකට විරුද්ධ වුනා.

ඒ නිසා ජපානයේ පාලකයා වුන ෂෝගුන් වරයා 1635 දි සියළුම විදේශිකයන්ට ජපානයෙන් පිට වන ලෙස නියෝග කරනවා. ඔවුන්ට එන්න අවසර දුන්නේ නගසකි වරායේ කුඩා දූපතකට විතරයි. ක්‍රිස්තියානි ආගම වැළඳගත්ත ජපන් ජාතිකයන් සහ ක්‍රිස්තියානි පූජකයන්ට මරණ දඬුවම නියම කරනවා.

1840 වෙද්දි බටහිර ජාතීන් යුධ බලය දක්වලා මේ නීති වෙනස් කරන්න තැත් කරනවා. ෂෝගුන් වරයා ඊට ප්‍රතිචාර දක්වන්නෙ නීති තවත් තද කිරීමෙන්.

මේ චිත්‍රයෙන් දැක්වෙන්නෙ "දිව්‍යමය සුළං" යොදාගෙන බටහිරයන් සහ ඔවුන්ට සහය දුන්න වෙළඳ පන්තිය පරාජය කරලා ජපානය ආරක්‍ෂා කිරීම​.

No comments:

Post a Comment