Saturday, August 5, 2017

පෙරහැර සහ වැස්ස​


මේක පෙරහැර කාලෙට නුවරට වහිනවා කියල තියෙන ජනප්‍රවාදයේ ගැන කරපු දත්ත විශ්ලේෂනයක්.

ජනප්‍රවාදය :

"පෙරහැර කාලෙට නුවරට වහිනවා"

මේක තරමක් අපහැදිලි ප්‍රකාශයක් නෙ. ඒ නිසා මේ දත්ත විශ්ලේෂනයේ අරමුණ වෙන්නෙ කෙලින්ම මේ ජනප්‍රවාදය තහවුරු කිරීම හෝ බිඳ හෙලීම නෙවෙයි. ජනප්‍රවාදය ආශ්‍රිතව තියෙන දත්ත ඇසුරෙන් වර්‍ෂාපතන රටාවක් හදන්න පුළුවන් ද කියල බලන එක​.


පාවිච්චි කළ දත්ත :

1971 ඉඳල 2001 වෙනකං අනිවත්තේ "කිංස් පැවිලියන්" හෝටලය ආශ්‍රිතව ලබා ගත්ත දෛනික වර්‍ෂාපතන දත්ත​. මේ ස්ථානය මහනුවර නගරයට කිලෝ මීටර් 2 ක් ඈතින් පිහිටි තැනක්.

විශ්ලේෂනයේ සීමාවන්:

පහත කරුණු හේතුවෙන් මේ විශ්ලේෂනය අසම්පූර්න එකක් වෙනවා.

1. දත්ත තියෙන්නෙ අවුරුදු 31 ක පමණයි. වර්‍ෂාපතන රටාවන් හඳුනගන්න මේ දත්ත ප්‍රමානය සෑහෙනවා. නමුත් මීට වඩා සෑහෙන හොඳ නිගමනයකට එන්න පුළුවන් තවත් දත්ත තිබ්බ නම්.

2. දත්ත තියෙන්නෙ එක ස්ථානයක පමණයි. මේකෙන් මහනුවර ප්‍රදේශයේ හොඳ නියෝජනයක් ලැබෙන්නෙ නෑ.

3. දත්ත ලබාගත්ත ස්ථානය මහනුවර නගරයට කිලෝමීටර් 2 ක් ඈතින් පිහිටි තැනක්. මේ දුර ප්‍රමානයක් තවත් අඩු වුනා නම් දත්ත වඩා සාධාරන වෙන්න තිබ්බා.

4. තියෙන්නෙ වැස්සේ ප්‍රමානය විතරයි. වැස්සේ තීව්‍රතාවය ගැන අදහසක් ගන්න මේ දත්ත වලින් බෑ. පැය දහයක් තිස්සේ මිලිමීටර 10 ක් වහින වැස්සක් සහ පැය බාගෙකට මිලිමීටර 10 ක් වහින වැස්සක් අතර වෙනස මේ දත්ත වලින් හඳුනගන්න බෑ.

මේ හේතු නිසා මේ විශ්ලේෂනය කොහෙත්ම සම්පූර්න එකක් වෙන්නෙ නෑ. ඒ නිසා මේකෙන් ගන්න පුළුවන් ඉතාම දළ අදහසක් පමණයි.

පෙරහැර පැවැත්වෙන කාල සීමාවන්:

මුලින්ම අපි "පෙරහැර කාලය​" කියන කාල සීමාව හඳුනාගෙන ඉන්න ඕනෙ.

පෙරහැර කාලය පටන් ගන්නෙ කප් සිටුවීමෙන්. ඊට පස්සෙ දවස් හතරක් "ඇතුල් පෙරහැර​" පැවැත්වෙනවා. ඒ පෙරහැර තියන්නෙ දළදා මාළිගාව ඇතුලේ.

ඊට පස්සෙ දවස් පහක් කුඹල් පෙරහැර පැවැත්වෙනවා. කුඹල් පෙරහැරෙන් තමයි පෙරහැර මහනුවර නගරයේ වීදි සංචාරය කිරීම පටන් ගන්නෙ.

ඊළඟ දවස් පහේදී පෙරහැරේ උත්කර්‍ෂවත්ම අංගය වෙන රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. ඒ කාල සීමාව අවසන් වෙන්නෙ නිකිණි පුර පසළොස්වක පෝය දවසෙන්.

පෝයට පස්සෙ දවසෙ උදේ දිය කපලා දවල් පෙරහැර පැවැත්වීමෙන් පෙරහැර උත්සවය අවසාන වෙනවා.

එතකොට පෙරහැර පැවැත්වෙන කාල සීමාව මේ වගේ:
කප් සිටුවීම - දවස් 1
ඇතුල් පෙරහැර - දවස් 4
කුඹල් පෙරහැර - දවස් 5
රන් දෝලි පෙරහැර - දවස් 5
දිය කැපීම සහ දවල් පෙරහැර - දවස් 1
එකතුව - දවස් 16

දත්ත විශ්ලේෂනයට භාවිතා කළ ක්‍රමවේදය :

විශ්ලේෂනය කරේ කොටස් දෙකකට​.

පළවෙනි කොටසෙන් කරේ ඒ ඒ අවුරුදු වල පෙරහැරට කලින්, පෙරහැර සහ පෙරහැරට පසුව කියන කාලසීමාවන් වල "වැස්සද​, නැද්ද​" කියන එක හඳුනා ගැනීම​.

මෙහිදී වැස්සා හෝ වැස්සෙ නෑ කියන එක හඳුන ගන්න සංඛ්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරේ නෑ. ඒ වෙනුවට මිනිස් තක්සේරුවකින් තමයි ඒ වැඩේ කරේ. ඒකට හේතුව වුනේ වැස්ස වගේ දෙයක් හුදෙක් සංඛ්‍යා වලින්ම නිවැරදිව තක්සේරු කිරීම අපහසු වීම​. මිනිස් තක්සේරුවක් ඊට වඩා නිවැරදියි.

උදාහරණයකට නියං අවුරුද්දක "වැහි දවසක්" සහ වහින අවුරුද්දක "වැහි දවසක්" අපි හඳුන ගන්නෙ එකම විදිහට නෙවෙයි. නියං අවුරුද්දක වැහි දවසක් කියල හඳුන ගන්න දවසක් වහින අවුරුද්දක පායන දවසක් වෙන්න පුළුවන්.

හැබැයි මෙහිදී වෙන අවාසිය තමයි ප්‍රතිඵල පුද්ගලානුබද්ධ වීම​. වෙනත් කෙනෙක් කරන තක්සේරුවකින් මීට වඩා වෙනස් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

"වැස්සද නැද්ද​" කියන එක මත අපිට විය හැකි සියළුම සංයෝජන 8 ක් හඳුනගන්න පුළුවන්. පෙරහැරට පෙර කාලය X විදිහටත්, පෙරහැර කාලය Y විදිහටත් පෙරහැරට පසු කාලය Z විදිහටත් ගත්තොත් ඒ සංයෝජන 8 එන්නෙ මේ විදිහට​:

A..... X - පායන Y - වැහි Z - පායන​
B..... X - පායන Y - වැහි Z - වැහි
C..... X - වැහි Y - වැහි Z - පායන
D..... X - වැහි Y - වැහි Z - වැහි
E..... X - පායන Y - පායන Z - පායන
F..... X - පායන Y - පායන Z - වැහි
G..... X - වැහි Y - පායන Z - පායන
H..... X - වැහි Y - පායන Z - වැහි

හැම අවුරුද්දම මේ සංයෝජන 8 න් එකක් යටතට දැම්මා.

දෙවෙනි කොටස සංඛ්‍යාත්මක විශ්ලේෂනයක්.

එහිදී පෙරහැරට කලින් දවස් 14 ක්, පෙරහැර දවස් 16ක් සහ පෙරහැරට පස්සෙ දවස් 14 ක් කියන කාලසීමාවන් වල සියළුම දෛනික වර්‍ෂාපතන දත්ත අරගෙන පහත දේවල් හොයාගත්තා.

1. කාලසීමාවේ සම්පූර්න වර්‍ෂාපතනය​
2. කාලසීමාවේ දෛනික සාමාන්‍යය වර්‍ෂාපතනය​
3. කාලසීමාව තුල වැසි ලැබුණු දවස් ගණන​
4. කාලසීමාව තුල වැසි ලැබුණු දවස් ගණන සම්පූර්න දවස් ගණනේ ප්‍රතිශතයක් ලෙස​

මෙතනදි වැඩි බරක් දුන්නෙ වර්‍ෂාපතනයට වඩා වැසි ලැබුණු දවස් ගණනට​​. ඒකට හේතු වුනේ අධික වර්‍ෂාපතනය ලැබුණු එක දවසකින් වර්‍ෂාපතන දත්ත දූෂනය විය හැකි වීම සහ නියං අවුරුද්දක දත්ත සහ වැසි අවුරුද්දක දත්ත සැසඳීමේ නොහැකියාව​.

විශ්ලේෂනය :

පළමුවෙනි කොටස​

මුලින්ම කරේ හැම අවුරුද්දෙම ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල දෛනික වර්‍ෂාපතන දත්ත ප්‍රස්ථාරගත කිරීම​.

ඒ ප්‍රස්තාර  මෙතැනින්  බලන්න පුළුව​න්

ඊට පස්සෙ හැම අවුරුද්දම ඉහත කියපු සංයෝජන එකක් යටතට දැම්මම ඒ ප්‍රතිඵල ආවෙ මේ විදිහට​.


ඒ ඒ සංයෝජනය සඳහා ආපු ප්‍රතිඵල මේ වගේ


 මේකෙන් එන්න පුළුවන් නිගමනය මොකද්ද​?

1. අවුරුදු 31 න් 21 ක ම "පෙරහැර කාලෙට වැහැල තියෙනවා" (A, B, C, D). හැබැයි මෙතන පෙරහැර කාලෙ විදිහට අපි ගත්තෙ දවස් 16 ක් වගේ දිග කාලයක් නිසා ඒකෙන් කිසි දෙයක් ගන්න අමාරුයි.

2. පෙරහැරට වහින කතාවට වඩාත් එකඟ සංයෝජන වෙන්නෙ ආ, B සහ C.  මේ සංයෝජන තුනට පිළිවෙලින් ප්‍රතිඵල 8, 6, සහ 3 බැගින් ලැබිල තියෙනවා. ඒ කියන්නෙ පෙරහැරට වහින කතාවට සහමුලින්ම එකඟ වෙන අවුරුදු 8 ක් (25%) සහ දළ වශයෙන් එකඟ වෙන අවුරුදු 9 (25%) තියෙනවා.

3. ඒ එක්කම කතාවට එකඟ නොවෙන සංයෝජන (E, F, G, H) සහිත අවුරුදුඅපිට හමුවෙන්නෙ ඊට අඩුවෙන්.

ඒ නිසා පෙරහැරට වහින කතාව සනාථ වෙන පැත්තට සුළු ප්‍රවනතාවයක් දත්ත වලින් පෙන්නුම් කරනවා. හැබැයි මේ ප්‍රවනතාවය පැහැදිලි ප්‍රවනතාවයක් නෙවෙයි.


දෙවෙනි කොටස​

දෙවෙනි කොටසෙදි අපි එකතු කරපු දත්ත වලින් අපිට ලැබෙන ප්‍රස්තාර මේ වගේ.

දෛනික සාමාන්‍යය වර්‍ෂාපතනය​

වැසි දිනයක් තිබීමේ ප්‍රතිශතය​
 ප්‍රතිඵල සංඛ්‍යාත්මකව ගත්තම මේ වගේ


පැහැදිලි රටාවක් හඳුනා ගන්න අමාරුයි.

ඒ නිසා අපි කරනවා මේ වගේ වැඩක්.

1. පෙරහැරට පෙර සහ පසු කාල සීමාව දින 7 ක් දක්වා අඩු කරනවා. මේකෙන් අපි සලකන කාලසීමාවන් බොහෝ දුරට සමාන වෙනවා.

2. දිය කැපීමට පෙර දින දෙක වෙනම සලකනවා.

එතකොට ප්‍රතිඵල මේ වගේ.


දෛනික සාමාන්‍යය වර්‍ෂාපතනය​

වැසි දිනයක් තිබීමේ ප්‍රතිශතය​


ප්‍රතිඵල සංඛ්‍යාත්මකව ගත්තම මේ වගේ


මෙතැනදි රටා කීපයක් දළ වශයෙන් හඳුන ගන්න පුළුවන්.

1. කප් සිටුවන දිනයේ වහිනව අඩුයි. නමුත් ඊට පෙර දවස් දෙක සහ ඇතුල් පෙරහැර දවස් හතර තුල වහිනවා වැඩියි. කප් සිටුවන දවසේ වහිනවා කියන කතාවට මේකෙ යම් කිසි අනුකූලතාවයක් තියෙනවා.

2. කුඹල් පෙරහැර දවස් පහෙත් වැස්ස වැඩියි. කුඹල් පෙරහැරත් එක්ක වැස්ස පටන් ගන්නවා කියන කතාවත් එක්ක මේකෙ අනුකූලතාවයක් තියෙනවා.

3. රන්දෝලි පැරහැර දවස් වල වැස්ස අඩු වෙනවා. පෙරහැර වීදි සංචාරය කරද්දි වහිනවා කියන කතාව මේකෙන් සපෝට් කරන්නෙ නෑ. වීදි සංචාරය කරද්දි වහින්නෙ කුඹල් පෙරහැරට විතරයි.

4. අඩුවෙන්ම වහින්නෙ දිය කපන දවසට​

5. පෙරහැර ඉවර වුන වහාම වැස්සත් අඩු වෙනවා.


සමස්ත රටාව මේ වගේ හඳුනගන්න පුළුවන්.

1. පෙරහැරට කලින් වැස්ස අඩුයි
2. දිය කැපීම ලං වෙද්දි වැස්ස වැඩි වෙනවා
3. දිය කපන දවසෙ වැස්ස අඩුයි
4. ඇතුල් පෙරහැරට ආපහු වැස්ස වැඩියි
5. කුඹල් පෙරහැරටත් වැස්ස වැඩියි
6. රන් දෝලි පෙරහැරට වැස්ස ආපහු අඩු වෙනවා
7. දිය කැපීමට වැස්ස තවත් අඩු වෙනවා
8. පෙරහැර ඉවර වුන වහාම තියෙන්නෙ අඩු වැස්සක්


නමුත් මේ රටාවන් පැහැදිලිව පේන රටාවන් නෙවෙයි.

තවත් දත්ත ලැබුණොත් මීට වඩා සාර්ථක විදිහට රටාවන් හඳුනා ගැනීම කරන්න පුළුවන් වෙයි.

ස්තූතිය :
දත්ත ලබා දුන් නොතිර සසර සහ මලිත් ෆර්නැන්ඩෝ වෙත​.

Friday, July 14, 2017

කොල්ටැන් කතාව​

ධනවාදය විවේචනය කරාම අපිට එල්ල වෙන සුලභ ප්‍රති තර්කයක් තමයි "උඹ ඔය කොමෙන්ට් එක දාපු ලැප්ටොප් එක / ෆෝන් එක හැදුවෙත් ධනවාදයෙන්" කියන එක​.

කතාව ඇත්ත නෙ. ඉතිං මේ කියන්න යන්නෙ ධනවාදය අපිට ලැප්ටොප්, ෆෝන් දීපු කතාවෙ අතුරු කතාවක්.

ඔය පරිගණක​, ලැප්ටොප්, මොබයිල් ෆෝන්, ටැබ්ලට් මෙකී නොකී අටෝරාසියක් ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම අංගයක් වෙන්නෙ ටැන්ටලම් ධාරිත්‍රක​. මේ ටැන්ටලම් ධාරිත්‍රක හදන්නෙ ටැන්ටලම් කියල මූලද්‍රව්‍යය පාවිච්චි කරල​.

ටැන්ටලම් කර්මාන්ත සඳහා ලබා ගන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ලෝක ටැන්ටලම් අවශ්‍යයතාවයෙන් 20% සපයා ගන්නෙ ප්‍රතිචක්‍රීකරණයෙන්. 30% සපයා ගන්නෙ ටින් ලෝහය නිස්සාරණයේ අතුරු ඵලයක් විදිහට​. ඉතුරු 50% සපයා ගන්නෙ ඍජු ටැන්ටලම් කැණීමෙන්.

ටැන්ටලම් අපිට සොබාවිකව හමුවෙන්නෙ "කොල්ටැන්" ඛනිජය විදිහට​. කොල්ටැන් වල කතාව තමයි මේ කියන්න යන්නෙ.

කොල්ටැන්

1990 දශකයේ මුල භාගයේදී ලෝකයේ වාර්‍ෂික කොල්ටැන් පරිභෝජනය ටොන් 400 ක් විතර වුනා. මේකෙන් 50% විතර සැපයුවේ ඔස්ට්‍රේලියාව​. තවත් 40% විතර සැපයුවේ කැනඩාව සහ බ්‍රසීලය​.

1990 දශකයේ අග භාගය වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොල්ටැන් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවුනා. ඒ එක්කම කැනඩාවේ සහ බ්‍රසීලයේ නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වුනා. 1997 වෙද්දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 70% ආවෙ ඕස්ට්‍රේලියාවෙන්.

1998 දී ලෝකයේ තොරතුරු තාක්‍ෂනයේ දියුණුවත් එක්කම ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයේ විශාල වර්ධනයක් ඇති වුනා. මේ එක්කම කොල්ටැන් වල මිල ඉතා විශාල වශයෙන් වැඩි වුනා.

මේ කාලයේදීම කොංගෝවේ (කොංගෝ ප්‍රජාතන්‍ත්‍රික ජනරජය​) විශාල දේශපාලන විපර්‍යාසයක් වුනා. 1965 දී බලයට පත් වුන මොබුටු ගේ වසර 32 ක ඒකාධිපති පාලනය පෙරලා දාල ලෝරන්ට් කබීලා කොංගෝවේ බලය අල්ල ගත්තා. ඒ රුවන්ඩාවේ සහයෙන්.
නමුත් කබීලාගේ සහයට කොංගෝවට ආපු රුවන්ඩා හමුදාව කොංගෝවෙන් පිටවුනේ නෑ. ඔවුන් ඒ වෙනුවට කොංගෝවේ රැඳී සිටිමින් කොංගෝවේ දේශපාලනයට බලපෑම් කරන්න පටන් ගත්තා.

රුවන්ඩා හමුදාව​

මේ කාලයේ රුවන්ඩාවේ නායකයා වුනේ පෝල් කගාමේ. ඔහු අංක එකේ බටහිර හිතවාදියෙක්. ඔහු ඇමරිකාවේ හමුදා කඳවුරු වල යුධ පුහුණුව පවා ලබල තියෙනවා. කොංගෝව භූමි ප්‍රමානයෙන් රුවන්ඩාව වගේ 90 ගුණයක් විශාලයි. ජනගහණය අතින් 7 ගුණයක් විශාලයි. ඒත් බටහිර ආයුධ සහ බටහිර හමුදා පුහුණුව ලත් රුවන්ඩා හමුදාවට මුහුණ දෙන්න කොංගෝ හමුදාවට ශක්තියක් තිබ්බෙ නෑ.

1998 දි කබීලා රුවන්ඩා හමුදාවට පිටවෙන්න අණ කරනවා. මේකෙන් රුවන්ඩාව සහ කොංගෝව අතර යුද්ධයක් ඇති වෙනවා. ක්‍රමයෙන් මේක අප්‍රිකානු රටවල් නවයක් සහ කැරලිකාර කණ්ඩායම් විස්සක් සහභාගී වන දැවැන්ත යුද්ධයක් දක්වා වර්ධනය වෙනවා.
රුවන්ඩා හමුදාව සහ ඔවුන්ට සහය දෙන කැරලිකාර හමුදාවන් නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශයක් අල්ල ගන්නවා. කොල්ටැන් යුද්ධයේ සාධකයක් වෙන්නෙ මේ අවස්ථාවේ දී.

කොංගෝ හමුදාව​
කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශය කොල්ටැන් නිධි විශාල වශයෙන් තියෙන ප්‍රදේශයක්. රුවන්ඩාව තමාට හිතවත් කැරලි කණ්ඩායම් වලට ඔවුන්ට අයත් ප්‍රදේශවල කොල්ටැන් කණින්න පොළඹවනවා. ඒ කොල්ටැන් මිලදී ගෙන රහසිගතව දේශසීමාව හරහා රුවන්ඩාවට යවලා ඒවා අපනයනය කරනවා. කොල්ටැන් වල මිල ඉහළ යාමත් මේ එක්කම සිද්ධ වෙන නිසා මේ මගින් විශාල ලාබයක් ලබන්න ඔවුන්ට පුළුවන් වෙනවා. කැරලි කරුවන්ට ඒ වෙනුවෙන් ආයුධ ලබා දෙනවා.

කොල්ටැන් සල්ලි වලින් සන්නද්ධ වෙන කැරලි කරුවන්ට මුහුණ දෙන්න කොංගෝ රජයේ හමුදාවන්ට හැකි වෙන්නෙ නෑ. යුද්ධය දිගින් දිගටම ඇදී යද්දි කොංගෝවේ පාලනය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. රටක් වෙනුවට ඉතුරු වෙන්නෙ විවිධ කැරලි කණ්ඩායම් විසින් පාලනය කරන ප්‍රදේශ සමූහයක්.

රුවන්ඩාවේ සහය ලබන M23 කැරලි කරුවන්
 කොංගෝවේ කොල්ටැන් කැණිම් සිදු කෙරෙන්නෙ කිසිම ජාත්‍යන්තරව පිළිගත්ත කම්කරු හෝ පාරිසරික නීති වලට අනුකූලව නෙවෙයි. මේ පතල් පිහිටන්නෙ කැරලි කරුවන්ට අයත් ප්‍රදේශ වල නිසා ඒවා නියාමනය කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඉතා දරුණු සහ භයානක වැඩ තත්වයන් යටතේ කම්කරුවන් සිය ගණන් මිය යනවා. දැවැන්ත පාරිසරික හානියකුත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පතල් කම්කරුවන් ගේ ආහාරය සඳහා කඳුකර ගෝරිල්ලන් දඩයම් කිරීම විශාල ප්‍රශ්නයක් වෙනවා.


කැරලි කරුවන් එක්කෝ වහල් ශ්‍රමය යොදවනවා. නැතිනම් යුද්ධය නිසා ගම් බිම් විනාශ වුන මිනිස්සු ඉතා අඩු මුදලට මේ පතල් වල සේවය කරනවා. ඕස්ට්‍රේලියාවේ හෝ බ්‍රසීලයේ කොල්ටැන් පතල් කම්කරුවෙක් සතියකට ඩොලර් 20-50 අතර වැටුපක් ලබද්දි කොංගෝවේ කොල්ටැන් පතල් කම්කරුවෙක් උපයන්නෙ මාසෙකට ඩොලර් 1 ක් වගේ සුළු මුදලක්.


 මේ කොල්ටැන් ජාවාරම කොච්චර සාර්ථක වෙනවද කිව්වොත් අද කොංගෝවේ තරුණ පිරිමින් ගෙන් 90% ක් ම තමාගේ ජීවිත කාලය තුල එක් වරක් හෝ කොල්ටැන් පතලක සේවය කරල තියෙනවා කියල විශ්වාස කෙරෙනවා.


 2003 දී යුද්ධය නිල වශයෙන් නිමා වෙනවා. ඒ වෙද්දි අවුරුදු 5 ක් ඇතුලත කොංගෝවේ මිය ගිය ගණන මිලියන 5 ක්. දූෂනයට ලක් වුන කාන්තාවන් සහ දැරියන් ගණන ලක්‍ෂ 4 ක්. මේ යුද්ධය සැලකෙන්නෙ නූතන ඉතිහාසයේ ම්ලේච්ඡම යුද්ධයක් විදිහට​. ඒ යුද්ධයේ එක ප්‍රධාන සාධකයක් කොල්ටැන්.



කොංගෝවෙන් කණින කොල්ටැන් රුවන්ඩාව හරහා වෙළඳ පොළට එද්දි ලෝකයේ ඉලෙක්ට්‍රොනික විප්ලවය පිම්මේ දුවනවා. 1997 දී ටොන් 400 ක් වුන ලෝකයේ වාර්‍ෂික කොල්ටැන් පරිභෝජනය 2005 වෙද්දි ටොන් 1400 දක්වා ඉහළ යනවා. මේකෙන් ටොන් 200 ක්ම සපයන්නෙ කොංගෝවේ පතල් වලින්.

2008 වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොල්ටැන් කර්මාන්තය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ලෝක ආර්ථික අවපාතය එකක්. කොංගෝවෙන් එන ලාබ කොල්ටැන් වල මිල සමඟ තරග කිරීමට නොහැකි වීම තව එකක්. 2008 දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 45% ක් සැපයූ ඕස්ට්‍රේලියාව 2010 දි නිෂ්පාදනය කරන්නෙ 2% යි.

ඒ වෙනුවට රුවන්ඩාව සහ කොංගෝව කොල්ටැන් නිෂ්පාදනය වැඩි කරනවා. 2016 දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 70% එන්නෙ කොංගෝවෙන් සහ රුවන්ඩාවෙන්. නමුත් රුවන්ඩාවේ කොල්ටැන් නිධි තියෙන්නෙ ඉතා සුළු ප්‍රමානයක්. රුවන්ඩාවේ කොල්ටැන් වලින් අති බහුතරය කොංගෝවෙන් රහසිගතව ගෙන්වූ ඒවා.


2017 වෙද්දි අප්‍රිකාවේ පළමු කොල්ටැන් පිරිපහදු කර්මාන්තශාලාව රුවන්ඩාවේ පිහිටුවනවා. ඒ කැනේඩියානු සමාගමක්. ඇපල් සහ සැම්සුන් වැනි සමාගම් කීපයක් කොංගෝවේ කොල්ටැන් තමාගේ නිෂ්පාදන සඳහා යොදා නොගන්න බව කිව්වත්, ඔවුන් රුවන්ඩාවේ කොල්ටැන් ගැන මොකුත් කියන්නෙ නෑ. අප්‍රිකාවේ කොල්ටැන් සම්පූර්නයෙන්ම ප්‍රතික්‍ෂේප කරන සමාගම් තියෙන්නෙ අතලොස්සයි.

වර්තමානයේ ලෝක කොල්ටැන් නිධි වලින් 64% තියෙන්නෙ කොංගෝවේ. හිතන්න ලෝකයේ තෙල් නිධි වලින් 64% තියෙන්නෙ එක රටක නම් ඒ රට කොයිතරම් පොහොසත් වෙයි ද? ඒත් කොංගෝව කියන්නෙ ලෝකයේ දුප්පත්ම රටක්. කොංගෝවේ අපේක්‍ෂිත ආයු කාලය අවුරුදු 55 යි. සාක්‍ෂරතාවය 65%. ඒක පුද්ගල ආදායම ඩොලර් 500. ලෝකයේ රටවල් 186 අතරින් ඒක පුද්ගල ආදායම අනුව කොංගෝව ඉන්නෙ 177 වෙනි ස්ථානයේ.


නිල වශයෙන් යුද්ධය අවසන් වුනත් රටේ වැඩි ප්‍රදේශයක බලය තියෙන්නෙ කැරලි කරුවන් අතේ. කැරලි කණ්ඩායම් සහ රජයේ හමුදා අතර වරින් වර ගැටුම් ඇති වෙනවා. දහස් ගණන් මිය යනවා.

 ඉතින් මහත්වරුනී මට කියල දෙන්න ධනවාදයෙන් මගේ ලැප්ටොප් එක හදපු හැටි.

 (ඔව් යකෝ මේක ටයිප් කරෙත් ලැප්ටොප් එකේ තමයි)

Saturday, July 8, 2017

කොංගෝ අර්බුධය (1960-65) - 2

කොංගෝ ජනරජය​


1960 ජූනි 30 වෙනිදා කොංගෝවට නිල වශයෙන් නිදහස ලැබෙනවා. මේ සඳහා බෙල්ජියම් රජතුමා වන බෝඩුයින් රජු ලියෝපෝල්ඩ්විල් නගරයට එනවා.

නිදහස් දින උත්සවයේදී බෝඩුයින් රජු ඔහුගේ කථාවේදී කොංගෝවට නිදහස ලැබීම ලියෝපෝල්ඩ් රජු විසින් කොංගෝව ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමේ අවසානය විදිහටත්, ඉදිරියටත් කොංගෝව බෙල්ජියමේ අධාර පතනු ඇති බවට විශ්වාස කරන බවටත් කියනවා.

කොංගෝවට ඉමහත් විනාශයක් අත් කර දුන්න ලියෝපෝල්ඩ් රජුගේ පාලනය "ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමක්" විදිහට හඳුන්වාදීම ගැන උත්සව සභාවේ ඉන්න ස්වදේශිකයන් ඉමහත් කෝපයට පත් වෙනවා.

දෙවෙනි කතාව කරන ජනාධිපති කසවුබු උත්සවයට සහභාගී වීම ගැන බෙල්ජියම් රජුට ස්තූති කරලා කතාව කෙටියෙන් නිම කරනවා.

ඊළඟට අගමැති ලුමුම්බා කලින් සැලසුම් නොකළ කතාවක් පවත්වනවා. ප්‍රංශ භාෂාවෙන් පවත්වන මේ ව්‍යක්ත කතාවේදී ලුමුම්බා බෙල්ජියම් යටත් විජිත පාලනය දැඩි විවේචනයට ලක් කරනවා. ඊට අමතරව ඔහු කොංගෝ ජාතිකයන් ගෙන් වාර්ගික බැඳීම් අත හැරලා කොංගෝ ජාතිකවාදය වැළඳ ගන්නා ලෙසත්, බෙල්ජියමෙන් "නිදහස් සහ සමාන රාජ්‍යය දෙකක් අතර කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට එලැඹෙන" ලෙසත් ඉල්ලනවා. ඔහු කථාව අවසන් කරන්නේ කොංගෝවේ නිදහස මුළු මහත් අප්‍රිකා මහද්වීපයේ ම නිදහස් අරගලයේ සන්ධිස්ථානයක් විය යුතු බවට ප්‍රකාශ කරමින්.

සභාව අමතා කතා කරන ලුමුම්බා
මේ කථාවේදී ඔහු බෙල්ජියම් රජු අමතලා ප්‍රංශ භාෂාවෙන් "අපි තවදුරටත් නුඹලාගේ වඳුරන් නොවෙමු (නොවුස් නෙ සොමේස් ප්ලුස් වොස් මකාක්ස්)" යනුවෙන් පැවසූ බවට ජනප්‍රිය කතාවක් ඇතත්, ඒ බව තහවුරු කරන සාක්‍ෂි කිසිවක් නෑ.

මේ කතාව ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම දේශපාලන දේශනයක් විදිහටයි අද සැලකෙන්නෙ. මේ කතාව නිසා ලුමුම්බා බෙල්ජියම් වරුන් ගේ නොමද වෛරයට පාත්‍ර වෙනවා.

1960 ජූනි 30 වෙනිදා කොංගෝ ජනරජය (Republic of the Congo) ප්‍රකාශයට පත් කෙරෙනවා.

කොංගෝ ජනරජයේ කොඩිය​

හමුදා කැරලි


මේ වෙද්දි කොංගෝ හමුදාවේ හමුදාපති වෙන්නෙ බෙල්ජියම් ජාතික ලුතිනන් ජනරාල් එමිල් ජැන්සෙන්ස්. හමුදාවේ සියළුම නිලධාරීන් සුදු ජාතිකයෝ.

නිදහසත් එක්ක මේ තත්වය වෙනස් වෙලා තමාටත් නිලධාරී තනතුරු ලැබෙයි කියල ස්වදේශික සෙබළු බලාපොරොත්තු වෙනවා.

ඒත් ජැන්සෙන්ස් ලියෝපෝල්ඩ්විල් හමුදා කඳවුරේ ස්වදේශික සෙබළු කැඳවලා රැස්වීමක් තියෙනවා. එහිදී ඔහු කළු ලෑල්ලක "නිදහසට පෙර = නිදහසට පසු" කියල ලියනවා.

මේකෙන් ස්වදේශික සෙබළු ඉමහත් කැළඹීමකට ලක් වෙනවා. ඒ කැලඹීම ජූලි 5 වෙනිදා හමුදා කැරැල්ලක් දක්වා වර්ධනය වෙනවා.

ජැන්සෙන්ස් බලාපොරොත්තු වෙන්නෙ කැරැල්ල මැඩ පවත්වන්න බෙල්ජියම් හමුදා ඛන්ඩ යොදවයි කියලා. නමුත් ලුමුම්බා කරන්නෙ ඔහුව සහ සුදු ජාතික නිලධාරීන් රැසක් තනතුරු වලින් ඉවත් කරලා හමුදාව "කොංගෝ ජාතික හමුදාව​" විදිහට නම් කිරීම​.

නව හමුදාපති විදිහට සාජන්ට් මේජර් වරයෙක් වන වික්ටර් ලුන්ඩුලා මේජර් ජනරාල් තනතුරට උසස් කරලා පත් කෙරෙනවා. ඔහුගේ මාණ් ඩලික ප්‍රධානියා විදිහට හිටපු සාජන්ට් මේජර් වරයෙක් සහ ලුමුම්බා ගේ කිට්ටු මිත්‍රයෙක් වන ජෝශප් මොබුටු කල්නල් තනතුරට උසස් කරලා පත් කරනවා.

ජෝශප් මොබුටු
කසවුබු සහ ලුමුම්බා පුද්ගලිකවම හමුදා කඳවුරු වලට ගිහින් කැරැල්ල සමථයකට පත් කරන්න උත්සහ කරනවා. මේ උත්සහය යම් දුරකට සාර්ථක වුනත්, ගම්බද ප්‍රදේශ වල කැරලි කාරී හමුදා සෙබළු සුදු ජාතිකයන් ඝාතනය කරන්න සහ ඔවුන් ගේ දේපල මංකොල්ල කන්න පෙළඹෙනවා.

මේක නැවතත් කොංගෝවට අත පොවන්න බෙල්ජියම හේතුවක් කර ගන්නවා.

විදේශීය බලපෑම්


කොංගෝවේ තියෙන යුරේනියම් නිධි මේ වෙද්දි ඇමරිකාවේ සහ සෝවියට් දේශයේ අවධානයට ලක් වෙලා තිබ්බෙ. ඇත්තෙන්ම දෙවෙනි ලෝක යුධ සමයේ ඇමරිකාවේ පරමාණු බෝම්බ නිපදවන ව්‍යාපෘතියට යුරේනියම් ලබා ගත්තෙ කොංගෝවෙන්.

මේ නිසා ඇමරිකාව සහ සෝවියට් දේශය කොංගෝව දිහා සැලකිල්ලෙන් බලනවා. ඊට අමතරව බෙල්ජියම තමාගේ රටේ සමාගම් වලට අයිති තඹ​, කොබෝල්ට් සහ දියමන්ති පතල් ගැන සැලකිලිමත් වෙනවා.

මේ පතල් බොහොමයක් තියෙන්නෙ රටේ දකුණු දිග ප්‍රාන්ත වන කටන්ගා සහ කසායි ප්‍රාන්ත වල​.

බෙල්ජියම තමාගේ ඉත්තා විදිහට තෝරා ගන්නෙ දැඩි බටහිර හිතවාදී සහ සමාජවාදී විරෝධී මොයිසි ෂොම්බේ ව​. ඔහු කටන්ගා ප්‍රාන්තයේ වැඩි බලයක් අත් කරගෙන ඉන්නෙ.

බෙල්ජියම් හමුදා කොංගෝවට ඇතුල් වීම​


කොංගෝවේ ඉන්න බෙල්ජියම් ජාතිකයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා බෙල්ජියම් හමුදාව රටේ ප්‍රධාන නගර වලට පැරෂුට් සේනාංක ගොඩ බස්වනවා. මේ මෙහෙයුම නිසා ලුමුම් බා සහ කසවුබු අතර තිබුන සහයෝගය අවසන් වෙනවා.

කසවුබු බෙල්ජියම් හමුදා මෙහෙයුම් ඉවසුවත් ලුමුම්බා සලකන්නේ එය කොංගෝවේ ස්වෛරී භාවයට කරන තර්ජනයක් විදිහට​. ඔහු බෙල්ජියම් හමුදාවට පහර දෙන්න කොංගෝ ජාතික හමුදාවට අණ දෙනවා. නමුත් මේ ප්‍රහාර පහසුවෙන් මැඩ පවත්වන්න බෙල්ජියම් සෙබළු සමත් වෙනවා. බෙල්ජියම් නාවුක හමුදාව මටාඩි නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා.

කටන්ගාව වෙන්වීම​


1960 ජූලි 11 වැනිදා බෙල්ජියමේ අනුග්‍රහය මත මොයිසි ෂොම්බේ කටන්ගා ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස නම් කරනවා. එහි ජනාධිපති ලෙස ඔහු තමාවම පත් කර ගන්නවා. අගනුවර වෙන්නේ එළිසබෙත්විල් නගරය​.

කටන්ගා කොඩිය​
කටන්ගා ප්‍රාන්තය තමයි කොංගෝවේ වඩාත්ම සංවර්ධිත සහ ධනවත්ම ප්‍රාන්තය​. ෂොම්බේ කියන්නෙ කටන්ගා වැසියන් වන ලුබා සහ ලුන්ඩා ගෝත්‍රිකයන් අනෙකුත් කොංගෝ වැසියන් ගෙන් වෙනස් බවත්, කොංගෝවේ අනෙක් ප්‍රදේශ වල පවතින කලහකාරී තත්වයෙන් කටන්ගාව වෙන් කළ යුතු නිසා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළ බවත්.

ඒත් කටන්ගාවේ ප්‍රධානම පතල් සමාගම වන බෙල්ජියානු UMHK සමාගම ෂොම්බේ ට සහය දෙන්නෙ ඔවුන් ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන්.

කටන්ගාව කිසිම රටක් විසින් නිල වශයෙන් පිළිගන්නෙ නෑ. ඒත් ඊට බෙල්ජියානු සහ ඇමරිකන් ආධාර ලැබෙනවා.

ෂොම්බේ තමාගේ නව රාජ්‍යයට ජේසන් සෙන්ඩ්වේ ගේ සහය ලබා ගන්න උත්සහ කරත්, ඔහු ඊට සහය දෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු දිගටම ලියෝපෝල්ඩ්විල් රජයට සහය දෙනවා.

දකුණු කසායි වෙන්වීම​


1960 අගෝස්තු 9 වෙනිදා ඇල්බට් කලොන්ජි කසායි ප්‍රාන්තයේ ස්වාධීන පාලන ඒකකයක් ප්‍රකාශට පත් කරනවා. මේක කටන්ගාව වගේ වෙනම රාජ්‍යයක් විදිහට නෙවෙයි ප්‍රකාශ කෙරෙන්නෙ. කලොන්ජි අදහස් කරන්නේ කොංගෝව ඇතුළතම ස්වාධීන පාලන ප්‍රදේශයක් බිහි කරන්න​.

නමුත් ඔහුට සහය දෙන්නෙ කසායි ප්‍රාන්තයේ දකුණු දිග කුඩා කොටසක් පමණයි. ඔහු ඒ ප්‍රදේශය "දකුණු කසායි" ලෙස නම් කරනවා. කලොන්ජි එහි ජනාධිපති වශයෙන් පත් වෙනවා. අගනුවර වශයෙන් තෝරා ගැනෙන්නෙ බක්වන්ගා නගරය​.

දකුණු කසායි කොඩිය​
කසායි ප්‍රාන්තය දියමන්ති නිධි බහුල ප්‍රදේශයක්. කලොන්ජිට බෙල්ජියානු දියමන්‍ති පතල් සමාගමක් වන "ෆොමිනෙරේ" සමාගමේ සහය ලැබෙනවා.

එක්සත් ජාතීන් ගේ සාම මෙහෙයුම​


ෂොම්බේ සහ බෙල්ජියානු පතල් සමාගම් කටන්ගාව වෙනුවෙන් සටන් කරන්න යුරෝපීය සහ දකුණු අප්‍රිකාණු කුලී හමුදා යොදා ගන්නවා. මේ පළපුරුදු කුලී හමුදා සමඟ සටන් කරන්න කොංගෝ හමුදාවට ලේසි වෙන්නෙ නෑ.

කොංගෝව ක්‍රමයෙන් බිඳ වැටෙද්දි ලුමුම්බා එක්සත් ජාතීන් ගේ උදව් පතනවා. ඒ අනුව ජූලි 14 වෙනිදා එක්සත් ජාතීන් ගේ සංවිධානය සියළුම බෙල්ජියානු හමුදා කොංගෝවෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝහ කරනවා. ඊට අමතරව සාම සාධක හමුදාවක් කොංගෝවට එවනවා.

ලුමුම්බා බලාපොරොත්තු වෙන්නෙ එක්සත් ජාතීන් ගේ හමුදා කටන්ගාවට එරෙහිව සටන් කරන්න තමාට සහය දෙයි කියල​. ඒත් ඔවුන් කොංගෝවට එන්නෙ සාමය රැකීමේ කටයුතු සඳහා පමණයි.

ලුමුම්බා ඇමරිකාවෙන් සහය ඉල්ලනවා. ඒත් ඇමරිකාව සහය ලබා දීම ප්‍රතික්‍ෂේප කරනවා.

ලුමුම්බා ඊළඟට යොමු වෙන්නේ සෝවියට් දේශය දෙසට​. සෝවියට් දේශය මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. හමුදා උපදේශකයන් 1000 ක් සමඟ සෝවියට් යුධ ආයුධ රැසක් කොංගෝවට ලැබෙනවා.

සෝවියට් හමුදා උපදේශකයන් කොංගෝවට ආව බව දැන ගන්න ඇමරිකාව කලබල වෙනවා. ඔවුන් වහාම ලුමුම්බා බලයෙන් පහ කළ යුතු බව තීරණය කරනවා. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ ජනාධිපති කසවුබු.

කටන්ගාව වෙනුවෙන් සටන් කරන දකුණු අප්‍රිකාණු කුලී හමුදා

දකුණු කසායි යටත් වීම​


1960 අගෝස්තු මාසෙදි සෝවියට් හමුදා සහයෙන් ලුමුම්බා දකුණු කසායි ට එරෙහිව හමුදා මෙහෙයුමක් පටන් ගන්නවා. මේ ප්‍රහාරය අති සාර්ථක වෙනවා. අගෝස්තු 27 වෙනිදා කොංගෝ හමුදාව බක්වන්ගා නගරය අල්ලා ගන්නවා.

ඒත් මේ ජයග්‍රහණයත් එක්කම කසායි ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් ඇති වෙනවා. දකුණු කසායි බෙදුම්වාදයට සහය දුන්න ලුබා වාර්ගිකයන්ට එරෙහිව ප්‍රහාර ගණනාවක් ඇති වෙනවා. මේ ප්‍රහාරයන්ට කොංගෝ හමුදාවත් සහභාගී වෙනවා. ප්‍රහාරයන් ගෙන් ගැලවෙන්නෙ කටන්ගා ප්‍රාන්තයට පලා යන ලුබා වාර්ගිකයන්ට කටන්ගා හමුදාවේ සහ සිවිල් වැසියන් පහර දෙනවා. මේ ප්‍රචන්ඩ ක්‍රියා වලින් 3000 පමණ මිය යන අතර 100,000 පමණ සරණාගතයන් බවට පත් වෙනවා.

මේ ප්‍රචන්ඩ ක්‍රියාවන් තමයි ලුමුම්බා ගේ මරණ වරෙන්තුව වෙන්නෙ.

කොංගෝවේ රජය අර්බුධයට පත් වීම​


සෝවියට් සහය ලබන ලුමුම්බා ගේ කොංගෝ හමුදාව දකුණු කසායි යටත් කරගෙන ඊළඟට කටන්ගා ප්‍රාන්තයට පහර දෙන්න සූදානම් වෙනවා. ඒ වෙලාවෙ තමයි ඇමරිකානු මෙහෙයවීම යටතේ ලුමුම්බාට එරෙහිව කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙන්නෙ.

බෙල්ජියමේ සැලසුම වෙන්නෙ මධ්‍යගත පාලනයක් වෙනුවෙන් පෙනී ඉන්න ලුමුම්බා වෙනුවට ෆෙඩරල් මතධාරී කසවූබූ බලයට පත් කරලා ෆෙඩරල් කොංගෝවක් නිර්මානය කරන්න​. දුර්වල ෆෙඩරල් කොංගෝවක් හරහා තමාගේ පතල් කර්මාන්ත ආරක්‍ෂා  කරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඇමරිකාවේ අරමුණ වෙන්නෙ සෝවියට් හිතවාදී ලුමුම්බා බලයෙන් පහ කරල කොංගෝවේ ඇමරිකන් හිතවාදී රජයක් පත් කර ගැනීම​.

මේ සඳහා ඔවුන් ලුමුම්බාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කසවුබු පොළඹවනවා.

ඒ අනුව 1960 සැප්තැම්බර් 5 වෙනිදා කසවුබූ නිවේදනය කරනවා තමා ලුමුම්බා ව අගමැති ධූරයෙන් ඉවත් කළ බව​. ඒකට හේතුව ලෙස ඔහු දක්වන්නේ කසායි හි ඇතිවුන වාර්ගික ගැටුම් සහ කොංගෝ හමුදාව සිදුකළ සමූහ ඝාතන​.  ඔහු ඒ වෙනුවට ඇල්බට් කලොන්ජි ගේ MNC-K පක්‍ෂයේ ජෝශප් ඉලෙයෝ අගමැති ලෙස නම් කරනවා.

නමුත් පාර්ලිමේන්තුව කසවුබු ගේ නිවේදනය පිළිගන්නේ නෑ. ඔවුන් ලුමුම්බාට සහය දෙන බව ප්‍රකශ කරනවා. ලුමුම්බා කරන්නෙ ඔහු කසවුබුව බලයෙන් පහ කළ බව නිවේදනය කිරීම​. නමුත් කසවුබු කියනවා ඔහුට එසේ කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව​. මේ අනුව දැඩි රාජ්‍යය අර්බුධයක් ඇති වෙනවා.

සැප්තැම්බර් 20 වෙනිදා ජෝශප් මොබුටු තමාට හිතවත් හමුදා කණ්ඩායම් යොදවලා ලුමුම්බා සහ කසවුබු යන දෙදෙනාවම අත් අඩංගුවට ගන්නවා. ඔහු කියන්නෙ තමා කොංගෝවේ ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාකළ බව​.

මොබුටු විශ්ව විද්‍යාල උපාධිධාරීන් පිරිසකගෙන් සමන්විත අන්තර්වාර රජයක් පිහිටුවනවා. එහි සභාපති වෙන්නෙ ජස්ටින් බොම්බෝකො.

මේ අතර ඇල්බට් කොලොන්ජි යටතේ දකුණු කසායි ප්‍රාන්තයට අර්ධ ස්වාධීන තත්වයක් හිමිවෙනවා.

මොබුටු සෝවියට් යුධ උපදේශකයන්ට වහාම කොංගෝවෙන් පිට වෙන්න නියෝග කරනවා. ඒ අතර මොබුටු විසින් ලුමුම්බා ව නිවාස අඩස්සියට පත් කරනවා. ඔහුගේ ආරක්‍ෂාවට එක්සත් ජාතීන් ගේ හමුදා ඛණ්ඩයකුත් රඳවනවා.

කැරලිකාරී රජය


1960 නොවැම්බර් 13 වෙනිදා අන්තෝනි ගිසෙන්ගා සහ තවත් ලුමුම්බා හිතවාදීන් පිරිසක් නැගෙනහිර කොංගෝවේ ස්ටැන්ලිවිල් නගරයට පලා ගිහින් කැරලිකාරී විකල්ප රජයක් පිහිටුවන්න කටයුතු කරනවා. ඔවුන්ට ඔරියෙන්ටාල් සහ කිවූ ප්‍රාන්ත වල බලය තහවුරු කර ගන්න පුළුවන් වෙනවා. 12,000 ක සෙබළ ප්‍රමානයක් සහිත කොංගෝ හමුදාවෙන් 5000 ක් ඔවුන්ට පක්‍ෂපාතීත්වය පළ කරනවා.

1960 දෙසැම්බර් 12 වෙනිදා ගිසෙන්ගා "නිදහස් කොංගෝ ජනරජය​" ප්‍රකාශයට පත් කරනවා. සෝවියට් දේශය සහ චීනය ඇතුළු සමාජවාදී කඳවුරේ රටවල් ඔහුගේ රජය කොංගෝවේ නීත්‍යානුකූල රජය විදිහට පිළිගන්නවා. බටහිර රටවල් පිළිගන්නේ ලියෝපෝල්ඩ්විල් රජයයි.

1961 දී කොංගෝවේ දේශපාලන වාතාවරණය​

ලුමුම්බා මරා දැමීම​


1960 නොවැම්බර් 27 වෙනිදා ලුමුම්බා තමාගේ ජීවිතය අනතුරේ බව වටහාගෙන ස්ටැන්ලිවිල් කරා පලා යන්න උත්සහ කරනවා. නමුත් අතරමගදී ඔහු මොබුටු හිතවාදී හමුදා විසින් අත් අඩංගුවට ගන්නවා.

ලුමුම්බාගේ අත් අඩංගුවට ගැනීමත් සමඟම සෝවියට් දේශය එක්සත් ජාතීන් ගේ මහ ලේකම් දැඩි විවේචනයට ලක් කරලා වහාම ලුමුම්බා අගමැති විය යුතු බවටත්, කටන්ගාවට සහය දෙන බෙල්ජියම් හමුදා ඉවත් විය යුතු බවටත් ඉල්ලා සිටිනවා. නමුත් ඒ යෝජනාවන් පරාජයට පත් වෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් යුගොස්ලාවියාව​, ඝානාව සහ ලංකාව ඇතුළු රටවල් කීපයක් කොංගෝවේ ඉන්න තමාගේ හමුදා ඉවත් කරගන්නවා.

මේ අතර ලුමුම් බා සහ ඔහුගේ අනුගාමිකයන් දෙදෙනෙක් වන මොරිස් ම්පෝලෝ සහ ජෝශප් ඔකිටෝ රඳවා තියෙන හමුදා කඳවුරේ කැරැල්ලක් ඇති වෙනවා. තත්වය භයානක බව තේරුම් ගන්න මොබුටු සහ කසවුබු බෙල්ජියම් රජයේ උපදෙස් පිට ලුමුම්බා සහ අනුගාමිකයන් ව කටන්ගාවට පිටත් කර හරිනවා.

1961 ජනවාරි 17 වෙනිදා ලුමුම්බා එළිසබෙත්විල් නගරයට ගුවන් මගින් ගෙනියනවා. එහිදී ඔහු නොයෙකුත් වධ බන් ධනයන්ට ලක් කෙරෙනවා. එහිදී පහර දීම සහ ඔහුගේ කථා ලියූ කඩදාසි බලෙන් කැවීම සිදු කෙරෙනවා. මේ සියල්ල කෙරෙන්නේ මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම​. මේ සඳහා බෙල්ජියම් හමුදා නිලධාරීන් සහභාගී වෙනවා.

ලුමුම්බා, ම්පෝලෝ සහ ඔකිටෝ අත් අඩංගුවේ
ජනවාරි 17 වෙනිදා මහ රෑ ලුමුම්බා, ම්පෝලෝ සහ ඔකිටෝ පාළු ස්ථානයකට රැගෙන ගොස් ගසකට හේත්තු කර වෙඩි තැබීමෙන් මරා දැමෙනවා. මේ අවස්ථාවට ෂොම්බේත් සහභාගී වෙනවා.

පසුව බෙල්ජියම් හමුදා නිලධාරීන් ඔහුගේ සිරුර කැබලි කොට සල්ෆියුරික් අම්ලයේ දිය කර අස්ථි කුඩු කර විසිරුවා හැරීමෙන් විනාශ කර දමනවා.

කසවුබු පාලනය​


ජනවාරි මාසය පුරාම බෙල්ජියම් සහය ලබන මොබුටු ගේ ලියෝපෝල්ඩ්විල් හමුදා සහ ගිසෙන්ගා ගේ ස්ටැන්ලිවිල් හමුදා අතර සටන් ඇවිලෙනවා. ස්ටැන්ලිවිල් හමුදා සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වමින් බලය රැක ගන්න සමත් වෙනවා. ඒ එක්කම ඔවුන් කටන්ගාවේ උතුරු කොටස ආක්‍රමනය කරලා එහි බලය තහවුරු කරගන්නවා.

තත්වය දරුණු අතට හැරීගෙන එද්දි පෙබරවාරි 9 වෙනිදා ඇමරිකානු සහ බෙල්ජියම් උපදෙස් පිට මොබුටු අන්තර්වාර රජය විසුරුවා හැරලා කසුවුබු නැවත ජනාධිපති ධුරයට පත් කරනවා. කසුවුබු තමාගේ අගමැති ලෙස නැවතත් ජෝශප් ඉලෙයෝ තෝරා ගන්නවා.

කසුවුබු ෆෙඩරල් කොංගෝවක් ගොඩ නැංවීමට කැරලිකාර පාර්ශවයන් එක්ක සාකච්ඡා කරනවා.මේ සාකච්ඡා සාර්ථක වෙන්නෙ නෑ. ඒ අතරෙ කටන්ගාවේ දී කටන්ගා හමුදාව සහ එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාව අතර සටන් ඇතිවෙනවා.

ඒ නිසා ඇමරිකන් උපදෙස් පිට අගෝස්තු 2 වෙනි දා මධ්‍යස්ථ මත ධාරී ලුමුම්බා පාක්‍ෂිකයෙක් වන සිරිල් අඩූලා අගමැති ධූරයට පත් කෙරෙනවා. එහි අරමුන වෙන්නෙ සියළු පාර්ශවයන් ගේ සහය ලබා ගෙන ගැටුම් නිමා කිරීම​.

අඩූලා අගමැති වීමත් එක්කම ගිසෙන්ගා ඔහුගේ උප අගමැති වශයෙන් නැවතත් රජයට එක් වීමට කැමැත්ත පළ කරනවා. දකුණු කසායි අර්ධ ස්වාධීන ප්‍රාන්තයක් කිරීමේ පොරොන්දුව මත ඇල්බට් කොලොන්ජිත් රජයට සහය පළ කරනවා. නමුත් ෂොම්බේ සමඟ සාකච්ඡා සාර්ථක වෙන්නෙ නෑ.

මේ අතර ෂොම්බේ දකුණු අප්‍රිකානු සහ බෙල්ජියම් ජාතික කුලී හේවායන් විශාල ප්‍රමානයක් ගෙන්වාගෙන එක්සත් ජාතීන් ගේ හමුදාවන්ට පහර දෙන්න පටන් ගන්නවා. 1961 සැප්තැම්බර් මාසයේදී ගැටුම් උග්‍ර වෙනවා.

එක්සත් ජාතීන් සහ කටන්ගාව අතර සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරන්න කොංගෝවට එන එක්සත් ජාතීන් ගේ මහ ලේකම් ස්වීඩන් ජාතික හැමර්ස්ජොල්ඩ් ගුවන් අනතුරකින් මිය යනවා. නව මහ ලේකම් විදිහට පත් වෙන්නෙ බුරුම ජාතික යූ තාන්ට්. ඔහු හැමර්ස්ජොල්ඩ් ගේ කටන්ගාවට සහනශීලී ප්‍රතිපත්තිය ඉවත දාල දැඩි ප්‍රතිපත්තියකට යනවා.

මේ අතර අඩූලා සහ ගිසෙන්ගා අතර ගැටුම් ඇති වෙනවා. අඩූලා බටහිර රටවල රූකඩයක් කියල චෝදනා කරන ගිසෙන්ගා නැවත ස්ටැන්ලිවිල් කරා යනවා.

ගිසෙන්ගා ස්ටැන්ලිවිල් නගරයේ ඉඳලා හමුදාවක් රැස් කරනවා කටන් ගාවට පහර දෙන්න​. නමුත් මේ ප්‍රහාරය අසාර්ථක වෙනවා. ඒ අතර ගිසෙන්ගා ගේ සෙබළු එක්සත් ජාතීන් ගේ හමුදා ඛන්ඩයකට පහර දීම නිසා 1962 ජනවාරි 10 වෙනිදා කොංගෝ හමුදාපති වික්ටර් ලුන්ඩුලා සහ එක්සත් ජාතීන් ගේ නියෝජිතයන් ඒ පිළිබඳව පරීක්‍ෂන කරන්න ස්ටැන්ලිවිල් නගරයට එනවා. ගිසෙන්ගාට වහාම ලියෝපෝල්ඩ්විල් නගරයට එන ලෙස රජය නියෝග කරනවා. නමුත් ගිසෙන්ගා ඒ නියෝගය ප්‍රතික්‍ෂේප කරලා ලුන්ඩුලා සහ එක්සත් ජාතීන් ගේ නියෝජිතයන් ව අත් අඩංගුවට ගන්න උත්සහ කරනවා.

ජනවාරි 10-16 කාලය පුරාවට කොංගෝ රජයේ හමුදා සහ එක්සත් ජාතීන් ගේ හමුදා ගිසෙන්ගාට හිතවත් හමුදාවන් එක්ක ස්ටැන්ලිවිල් නගරයේ සටන් කරනවා. සටන නිම වෙන්නෙ ගිසෙන්ගා අත් අඩංගුවට පත් වීමෙන්.

ගිසෙන්ගා සිර ගත කෙරෙනවා. ලුමුම්බා පාක්‍ෂිකයන් ගේ  නිදහස් කොංගෝ ජනරජය එතැනින් නිමාවට පත් වෙනවා.

බෙදුම්වාදී රාජ්‍යයන් යටත් කර ගැනීම​


1962 සැප්තැම්බර් මාසයේදී ඇල්බට් කලොන්ජි ට එරෙහිව දකුණු කසායි හි කුමන්ත්‍රනයක් ඇති වෙනවා. කොංගෝ හමුදාව ඔක්තෝබර් 5 වෙනිදා කුමන්ත්‍රනකාරීන්ට සහය පල කරමින් දකුණු කසායි සම්පූර්නයෙන්ම යටත් කර ගන්නවා.

1962 දෙසැම්බර් මාසය වෙද්දි එක්සත් ජාතීන් ගේ හමුදා සහ කටන්ගාව අතර සටන් දරුණු අතට හැරිලා. 1962 අවුරුද්ද අවසන් වෙද්දි එක්සත් ජාතීන් ගේ හමුදා කටන් ගා හමුදා සම්පූර්නයෙන්ම පරාජය කරලා කටන්ගාව කොංගෝ රජයේ භාරයට පත් කරනවා.

1963 ජනවාරි 21 වෙනිදා ෂොම්බේ රොඩීෂියාව හරහා ස්පාඤ්ඤයට පැනලා යනවා. එතැනින් කටන්ගාවේ බෙදුම්වාදය නිමා වෙනවා. කොංගෝව සම්පූර්නයෙන්ම එක්සත් රාජ්‍යයක් වෙනවා.

කොංගෝ ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජය​


1963 දි සියළු දේශපාලන කණ්ඩායම් අතර සම්මුතියෙන් නව ව්‍යවස්ථාවක් ඇති කර ගන්නවා. මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෙ බලය වැඩි කරන අතර​, අගමැති ගේ බලය අඩු කෙරෙනවා. ඒ එක්කම කොංගෝව ප්‍රාන්ත 21 කට බෙදලා ඒ ඒ ප්‍රාන්තයට සෑහෙන ස්වාධීනත්වයක් හිමිවන ආකාරයට බලය බෙදනවා.

මේ ව්‍යවස්ථාවෙන් රටේ නම "කොංගෝ ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජය​" කියල වෙනස් කෙරෙනවා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ධජය​
ෆෙඩරල් ව්‍යවස්ථාවට විරෝධය පාලා ලුමුම්බා වාදීන් පිරිසක් අසල්වැසි කොංගෝ ජනරජයේ (වෙනත් රටක්) "ජාතික විමුක්ති සංවිධානය​" කියල සංවිධානයක් පිහිටුවා ගන්නවා.

අළුත් ව්‍යවස්ථාව හැදුවට පස්සෙ බටහිරයන්ට තව දුරටත් මධ්‍යස්ථ මත ධාරී සිරිල් අඩූලා වැදගත් වෙන්නෙ නෑ. කසවුබු ඔහුව ඉවත් කරල නව අගමැති වශයෙන් ස්පාඤ්ඤයට පලා ගිය මොයිසි ෂොම්බේ නම් කරනවා.

සිම්බා කැරැල්ල​

ෂොම්බේ බලයට පත් වෙන්නෙ 1964 ජූලි 10 වෙනිදා. ඔහු 1965 මාර්තු මාසයේදී මැතිවරණයක් තියන්න සැලසුම් කරනවා.

ඒත් බටහිර හිතවාදී ෂොම්බේ බලයට පත් වීමත් එක්කම නැවතත් කොංගෝවේ කැරලි ඇති වෙනවා.

ප්‍රධාන වශයෙන් කැරලි දෙකක් ඇති වෙනවා. පළමුවැන්න "කිවිලු කැරැල්ල​". එහි නායකත්වය ගන්නෙ ලුමුම්බා පාක්‍ෂිකයෙක් සහ මාඕ වාදියෙක් වන පියරේ මුලේලේ. ඔහුට චීන සහය ලැබෙනවා. කිවිලු දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කර ගන්න ඔහුට පුළුවන් වෙනවා.

පියරේ මුලේලේ
වඩා බරපතල දෙවෙනි කැරැල්ල පැන නගින්නෙ ඔරියෙන්ටාල් සහ කිවූ ප්‍රාන්ත වල​. එහි නායකත්වය ගන්නෙ ජාතික විමුක්ති සංවිධානයේ නායක ක්‍රිස්ටෝපර් ග්බෙන්‍.යේ.

ක්‍රිස්ටෝපර් ග්බෙන්‍.යේ
ඔහු ගේ සංවිධානය තමාව හඳුන්වා ගන්නේ "සිම්බා" කියල​. ස්වාහිලි භාෂාවෙන් "සිම්බා" කියන්නෙ සිංහයා. කැරැල්ලේ අනිකුත් නායකයන් වෙන්නෙ ගැස්ටන් සෝමියාලොට් සහ ලෝරන්ට් කබීලා.

මේ කැරැල්ල දැඩි ජාතිකවාදී ස්වරූපයක් ගන්නවා. කැරලිකරුවන් සාම්ප්‍රදායික අප්‍රිකාණු මතවාදීන් වන අතර​, ඔවුන් දැඩි විදේශීය විරෝධී පිළිවෙතක් අනුගමනය කරනවා.

කැරැල්ල පටන් අරන් ටික දවසකින්ම නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශයක් කැරලි කරුවන් යටතට පත් වෙනවා. 1964 අගෝස්තු මාසය වෙද්දි කැරලි කරුවන් ස්ටැන්ලිවිල් නගරය අල්ලා ගන්නවා. කැරලිකරුවන් සමඟ සටන් බිමට යන සාම්ප්‍රදායික යකැදුරන් නිසා කොංගෝ රජයේ සෙබළු ඔවුන්ට විරුද්ධව සටන් කරන්න බය වෙනවා. ස්ටැන්ලිවිල් නගරයට පහර දෙන්නෙ කැරලි කරුවන් 40 ක පිරිසක්. ඔවුන් නගරයට කඩා වදිද්දි 1500 ක රජයේ හමුදාව සටන් නොකරම පළා යනවා.

සිම්බා කැරලිකරුවන්
කැරලි කරුවන් "කොංගෝ මහජන ජනරජය" නමින් වෙනම රටක් ප්‍රකාශ කරනවා.

කැරලි කරුවන් තමාට යටත් වුන ප්‍රදේශ වල දේශපාලන විරුද්ධවාදීන් සහ සුදු ජාතිකයන්ට විරුද්ධව දරුණු භීෂනයක් දියත් කරනවා. දහස් ගණනක් ඝාතනය කෙරෙනවා.

අගෝස්තු මාසය අවසන් වෙද්දි 3000 ක පමණ කැරලි කාර හමුදාවක් කසායි ප්‍රාන්තයට කඩා වදිනවා. කසායි ප්‍රාන්තය කැරලි කරුවන් යටතට පත් වුනොත් කොංගෝ රජයේ පාලන ප්‍රදේශ දෙකට කැඩෙන නිසා ෂොම්බේ නැවතත්  විදේශීය කුලී හමුදා කැඳවන්න තීරණය කරනවා.

1964 අගෝස්තු මාසයේදී කොංගෝවේ තත්වය​
 කුලී හමුදාවන් ගෙන් සහය ලබන කොංගෝ රජයේ හමුදා කසායි ප්‍රාන්තයේ දී සිම් බා කැරලි කරුවන් ට දරුණු පරාජයක් ලබා දෙන්න සමත් වෙනවා.

කසායි ප්‍රාන්තයෙන් කැරලි කරුවන් ව පලවා හැරිය පසු රජයේ හමුදා කිවූ ප්‍රාන්තයේ අගනුවර වන ඇල්බට්විල් නගරය අල්ලා ගන්නවා. ඇල්බට්විල් නගරය අහිමි වීමෙන් කැරලිකරුවන්ට ටැන්සානියාවේ සිට එන යුධ ආධාර අහිමි වෙන නිසා ඔවුන් ගේ තත්වය නරක අතට හැරෙනවා.

කැරලි කරුවන් පසු බහිද්දි ෂොම්බේ ගේ කුලී හමුදාවන් ප්‍රතිභීෂනයක් දියත් කරනවා. දහස් ගණන් මරා දැමෙනවා. 

මරා දැමුණු කැරලි කරුවන්
1964 නොවැම්බර් මාසය වෙද්දි කැරලි හමුදාව ස්ටැන්ලිවිල් නගරයට කොටු කරන්න රජයේ හමුදා සමත් වෙනවා. ඔවුන් සුදු ජාතිකයන් 1800 ක් ප්‍රාන ඇපකරුවන් විදිහට රඳවා ගන්නවා.

ප්‍රාන ඇපකරුවන් මුදවා ගන්න ඇමරිකානු ගුවන් යානා වලින් බෙල්ජියම් පැරෂුට් සෙබළු ස්ටැන්ලිවිල් නගරයට ගොඩ බසිනවා. ඔවුන් කැරලි කරුවන් විනාශ කරලා ප්‍රාන ඇපකරුවන් මුදවා ගන්න සමත් වෙනවා. නමුත් ප්‍රහාරයෙන් ස්වදේශිකයන් 1000 ක් පමණ මිය යනවා.

ප්‍රහාරයට සහභාගී වුනු බෙල්ජියම් සෙබළු
මේ ප්‍රහාරයෙන් පස්සෙ සිම්බා කැරලිකරුවන් ගෙ බලය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. ඔවුන් කොංගෝවේ නැගෙනහිර දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශ කීපයකට සීමා වෙනවා. කැරලි නායකයන් රටෙන් පලා ගිහින් විදේශ ගතව කැරල්ල මෙහෙයවනවා.

කිවුලු කැරැල්ලත් ඉක්මනින්ම මැඩ පවත්වන්න රජයේ හමුදාවන් සමත් වෙනවා. මුලේලේ රටෙන් පලා යනවා.

1965 අප්‍රේල් මාසයේදී චේ ගුවාරා සහ කියුබානු ගරිල්ලා සෙබළු පිරිසක් කැරලිකරුවන්ට උදව් කරන්න කොංගෝවට එනවා. නමුත් ඒ වෙද්දි කැරලි කරුවන් ගේ බලය සම්පූර්නයෙන්ම බිඳ වැටිලා අවසානයි. මාස කීපයක අසාර්ථක උත්සහයකින් පස්සෙ චේ සහ කියුබානුවන් ආපසු යනවා.

චේ කොංගෝවේ

 මැතිවරණය සහ මොබුටු බලයට පත්වීම​


1965 මාර්තු මාසයේ පවත්වන මැතිවරණයෙන් ෂොම්බේ ගේ කොංගෝ ජාතික සංගමය ආසන 167 න් 38 ක් ජයගෙන වැඩිම ආසන ගණනක් දිනා ගන්න පක්‍ෂය බවට පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතර සහය ඔහුට ලැබෙන්නෙ නෑ. පාර්ලිමේන්තු බලය කුඩා ප්‍රාදේශීය පක්‍ෂ ගණනාවක් අතරේ බෙදී යනවා. ෆෙඩරල් මොඩලයේ අසාර්ථක භාවය තහවුරු වෙනවා.

කසවුබු අගමැති ධූරය ෂොම්බේ ට නොදී එවරිස්ටේ කිම්බාට ලබා දෙනවා. නමුත් ඔහුටත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. ඒකෙන් නැවතත් පාර්ලිමේන්තුව අර්බුධයට යනවා.

නොවැම්බර් 25 වෙනිදා මොබුටු නැවතත් බලය අල්ලා ගන්නවා. ඔහු කසවුබු සහ කිම්බා බලයෙන් පහ කරලා සියළුම බලය තමා වෙත පවරා ගන්නවා. අවුරුදු පහකින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඔහු පොරොන්දු වෙනවා.

කොංගෝවේ නැවතත් මැතිවරණයක් පැවැත්වෙන්නෙ 2006 දි.

පසු කතාව​


මොබුටු නැවතත් කොංගෝව මධ්‍යගත ජාතිකවාදයක් ඔස්සේ ගොඩ නංවනවා. ප්‍රාන්ත ගණන අඩු කරලා ඒවාට ලැබෙන බලතල අඩු කරනවා. "අප්‍රිකාණු කරන" වැඩ සටහනක් දියත් කරනවා. ඒ අනුව රටේ නම "සයරේ" ලෙස වෙනස් කරනවා. සියළුම ප්‍රධාන නගරවලට අප්‍රිකාණු නම් ලබා දෙනවා. ඒ අනුව ලියෝපෝල්ඩ්විල් නගරය කින්‍ශාෂා ලෙසත්, ස්ටැන්ලිවිල් නගරය කිසන්ගානි ලෙසත්, එළිසබෙත්විල් නගරය ලුබුම්බාෂි ලෙසත් නම් කෙරෙනවා.

සයරේ ධජය​
නමුත් මොබුටු ගේ පාලනය අන්ත දූෂිත සහ දැඩි මර්ධනකාරී එකක්. ඔහු තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ට රටේ ජාතික ධන කොල්ල කන්න ඉඩ දෙනවා. බටහිර රටවල් මොබුටු ට සහය දෙමින් කොංගෝවේ සොබාවික සම්පත් කොල්ලය දිගටම සිදු කරනවා.

ලුමුම්බා මරණයෙන් පස්සෙ අප්‍රිකාවේ ජාතික වීරයෙක් බවට පත් වෙනවා. අප්‍රිකාවේ යටත් විජිතවාදයට එරෙහි සටනේ සංකේතය වෙන්නෙ ලුමුම්බා. සෝවියට් දේශයේ මිත්‍රත්ව සරසවිය ඔහු නමින් නම් කෙරෙනවා.

මොබුටු දැඩි ඒකාධිපති පාලනයක් ගෙනියනවා. 1997 දී ලෝරන්ට් කබීලා ගේ කැරලි හමුදාව කොංගෝවේ බලය අල්ලා ගන්නවා. ඔහු මොරොක්කෝවට පලා යනවා. 1997 සැප්තැම්බර් 7 වෙනිදා ගුද මාර්ගයේ පිළිකාවකින් මිය යනවා.

කසවුබු බලයෙන් පහ කෙරුණු පසු දේශපාලනයෙන් සමු ගන්නවා. 1969 දී ඔහු තමාගේ ගොවිපොළේ දී මිය යනවා.

ෂොම්බේ මොබුටු ගේ බලය පැහැර ගැනීමෙන් පස්සේ නැවතත් ස්පාඤ්ඤයට පලා යනවා. මොබුටු ඔහුට මරණ දඬුවම නියම කරනවා. 1967 දී ඔහු ගමන් කළ ගුවන් යානය පැහැරගෙන ඇල්ජීරියාවට ගෙනියනවා. එහිදී ඔහු සිරගත කෙරෙනවා. 1969 දී ඔහු හෘදයාබාධයකින් මිය යනවා.

ගිසෙන්ගා මොබුටු බලයට පත් වීමත් සමඟම නිදහස් කෙරෙනවා. ඔහු සෝවියට් දේශයේ පදිංචියට යනවා. රටවල් ගණනාවක ජීවත් වෙන ගිසෙන්ගා 1993 දී නැවත කොංගෝවට ඇවිත් ලුමුම්බා වාදී දේශපාලන පක්‍ෂයක් හදනවා. 2006 සිට 2008 දක්වා කොංගෝවේ අගමැති ධූරයත් දරනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන ඔහු කොංගෝවේ ජාතික වීරයෙක් වශයෙන් නම් කෙරෙනවා.

අඩූලා ෂොම් බේ අගමැති වීමත් සමඟම රටින් පිටවෙනවා. මොබුටු බලය ලබා ගැනීමත් එක්කම නැවත කොංගෝවට ඇවිත් තානාපති ධූරයක් සහ ඇමති ධූරයක් දරනවා.1978 දී ඔහු මිය යනවා.

මුලේලේ රටෙන් පලා ගියත් මොබුටු බලය ලබා ගැනීමෙන් පසු ඔහුගේ ආරාධනයෙන් නැවතත් කොංගෝවට එනවා. එහිදී ඔහුව ඇස් උගුල්ලලා, අත් පා සහ ලිංගේන්.ද්‍රිය කපා දමලා මරා දැමෙනවා. ඔහුගේ සිරුර කොංගෝ නදියට විසි කරනවා.

ග්බෙන්.යේ උගන්ඩාවට පලා යනවා. මොබුටු බලයෙන් පහ වීමත් සමඟම නැවත කොංගෝවට එන ඔහු 2015 දී මිය යනවා.

කොංගෝව මොබුටු ගේ පාලනය අතරතුරත් ඉන් පසුවත් දුප්පත් රටක් විදිහට පවතිනවා. දිගින් දිගටම රටේ කැරලි සහ යුද්ධ ඇති වෙනවා. 1998 - 2003 දෙවෙනි කොංගෝ යුද්ධයෙන් මිලියන 5 ක් මිය යනවා.

අදටත් කොංගෝවේ පතල් කර්මාන්තය පාලනය කරන්නෙ විදේශීය සමාගම්.

Sunday, July 2, 2017

කොංගෝ අර්බුධය (1960-65) - 1


කොංගෝ අර්බුධය කියන්නෙ වර්තමානයේ "කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය​" නමින් හැඳින්වෙන රට 1960 දී බෙල්ජියම් පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ඇතු වුන අර්බුධකාරී වාතාවරනයට​.

අර්බුධ සිය ගානක් ඇති අප්‍රිකා මහද්වීපයේ ඉතිහාසයේ මේ අර්බුධය කැපී පේන්නෙ මේ අර්බුධය ඇතුලේ යටත් විජිත වාදය​, සීතල යුද්ධය​, අප්‍රිකාණු ජාතිකවාදය​, ගෝත්‍රවාදී එදිරිවාදිකම්, දූෂනය​, සොබාවික සම්පත් සඳහා ඇති තරගය වගේ හැමදේම කැටිවෙලා තියෙන නිසා.

කොංගෝ අර්බුධය පුරාවටම තියෙන්නෙ සිතියමක් උඩ ඉරි ඇඳලා හදපු යටත් විජිත නිදහස ලැබීමෙන් පස්සෙ පැරණි ගෝත්‍රික බැඳීම් වලින් මිදිලා ජාතික රාජ්‍යයන් පිහිටුවීමට අප්‍රිකාණු ජාතිකවාදීන් කරපු අරගලය​.

කොංගෝ අර්බුධය කියන්නෙ නූතන අප්‍රිකාවේ ඉතිහාසයේ පැතිකඩක්.

පසුබිම​


කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (හෙවත් කොංගෝව​) කියන්නෙ විශාල රටක්. භූමි ප්‍රමානයෙන් ඒක අප්‍රිකාවේ දෙවෙනි විශාලම රට​. ජනගහනය අතින් අප්‍රිකාවේ හතරවෙනි විශාලම රට​. ඒ වගේම ලෝකයේ වැඩිම ප්‍රංශ භාෂාව කතාකරන ජනගහණය ඉන්නෙ කොංගෝවේ.

රටේ ජනගහණය කේන්.ද්‍රගත වෙලා ඉන්නෙ දකුණේ සහ බටහිර​. විශේෂයෙන්ම කින්සාෂා අගනුවර අවට​.

කොංගෝවේ රට මැද ඉඳලා බටහිරට ගලාබහින කොංගෝ නදිය තමයි රටේ වැදගත්ම භූගෝලීය ලක්‍ෂනය​. ඒ වගේම කොංගෝව නැගෙනහිරින් අප්‍රිකාවේ මහාවිල් වලින් මායිම් වෙනවා.


කොංගෝව කියන්නෙ සොබාවික සම්පත් වලින් පිරුන රටක්. දියමන්ති, කොබෝල්ට්, තඹ සහ යුරේනියම් ඒ අතින් ප්‍රධානයි. මේ සම්පත් බොහොමයක් පිහිටල තියෙන්නෙ රටේ දකුණේ.

කොංගෝවේ ජනවර්ග (හෙවත් ගෝත්‍ර​) 250 කට අධික ගාණක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නෙ මොංගෝ, ලුබා, බාකොංගෝ, මංබෙටු සහ සන්ඩේ යන ජන වර්ග පහ​.

කොංගෝවේ ප්‍රධාන ජනවර්ග වල ව්‍යාප්තිය​
බටහිර ජාතීන් එන්න කලින් මේ ප්‍රදේශය ප්‍රාදේශීය රාජධානි ගණනාවකින් සමන්විත වුනා. ඒ අතරින් බාකොංගෝ වරුන් ගේ කොංගෝ රාජධානිය ප්‍රධානයි.

1877 දි බෙල්ජියමේ රජු වුන ලියෝපෝල්ඩ් මේ ප්‍රදේශය යටත් විජිතයක් වශයෙන් අල්ලා ගන්නවා. නමුත් ඒ බෙල්ජියමේ යටත් විජිතයක් වශයෙන් නෙවෙයි. ඔහුගේ පුද්ගලික දේපලක් විදිහට​. ඔහු එය නම් කරන්නෙ "කොංගෝ නිදහස් ජනපදය (Congo Free State)" කියල​.

ඔහුගේ පාලනය සැලකෙන්නෙ ලෝක ඉතිහාසයේ දරුණුම පාලනයක් විදිහට​. සොබාවික සම්පත් උකහා ගැනීමට පතල් වල සේවයට බලෙන්ම ස්වදේශිකයන්ව යොදවනවා. ඒ වගේම රබර් වගාවත් කෙරෙනවා. මාසිකව නියමිත රබර් ප්‍රමානය ලබා නොදෙන ස්වදේශිකයන්ට අත් කපා දැමීමෙන් දඬුවම් දෙනවා. කැරලි මර්ධනය කෙරෙන්නෙ ගම් පිටින් සමූල ඝාතනය කිරීමෙන්. ආහාර වගා කළ ඉඩම් වල රබර් වගා කිරීම නිසා ඇතිවෙන සාගත වලිනුත් විශාල ප්‍රමානයක් මිය යනවා.

අත් කපා දැමූ ස්වදේශිකයන්
1880 ඉඳලා 1908 වෙනකන් කොංගෝවේ ජනගහණය බාගයකින් අඩුවුනා කියල ගණන් බලල තියෙනවා.

අන්තර්ජාතික බලපෑම නිසා බෙල්ජියම් රජුට තමාගේ යටත් විජිතය අත හරින්න සිද්ධ වෙනවා. 1908 ඉඳලා කොංගෝව පාලනය වෙන්නෙ බෙල්ජියමේ යටත් විජිතයක් විදිහට​. එය හැඳින්වෙන්නෙ "බෙල්ජියම් කොංගෝව" කියල​.

බෙල්ජියම් පාලනය යටතේ ස්වදේශිකයන් ගෙ තත්වය තරමක් යහපත් වුනත්, ඔවුන් ට සලකන්නේ ඉතාමත් දරුණු ආකාරයට​.

නිදහසට පෙර​


1950 දශකයේදී බෙල්ජියම විසින් කොංගෝවේ නවීකරන වැඩ පිළිවෙලක් ඇති කරනවා. ඒ මගින් නගර දියුණු කිරීම සහ ස්වදේශික මධ්‍යම පන්තියක් ඇති කෙරෙනවා. 1955 වෙද්දි අප්‍රිකාණු මහද්වීපයේ වැඩිම වැටුප් ශ්‍රමිකයන් ඉන්නෙ කොංගෝවේ.

බෙල්ජියම් පාලනය යටතේ කොංගෝව ප්‍රාන්ත 6 කට බෙදලා තිබ්බ​.





ඒ එක්කම කොංගෝවේ නිදහස් ව්‍යාපාරය වර්ධනය වෙනවා. මේ නිදහස් සටනේ ප්‍රධාන මතවාදීමය ධාරාවන් දෙකක් තියෙනවා.

පළමුවැන්න පෙනී සිටින්නෙ විවිධ ප්‍රාදේශීය ජනවර්ග වලට ස්වාධීනත්වයක් හිමිවන ෆෙඩරල් පන්නයේ කොංගෝවක් වෙනුවෙන්. ඔවුන් බලාපොරොත්තු වන කොංගෝව විවිධ ජනවාර්ගික පාලන ඒකක වල ලුහු එකතුවක්. මේ ධාරාවේ නිදහස් ව්‍යාපාර ගණනාවක් විවිධ ජනවර්ග අතරින් ඇති වෙනවා. ඔවුන් ගේ බලය තියෙන්නෙ ඒ ඒ ජනවර්ගය වෙසෙන ප්‍රදේශ වල​.

මේ ධාරාවේ ව්‍යාපාර අතරින් ප්‍රධාන වෙන්නෙ ජෝශප් කසවුබු ගේ "බාකොංගෝ එකමුතුව (ABAKO)", මොයිසී ෂොම්බේ ගේ "කටන්ගා ජනවර්ග වල එකතුව (CONKAT)",
සහ ජේසන් සෙන්ඩ්වේ ගේ "කටන්ගා ප්‍රාන්තයේ ලුබා වාර්ගික සහයෝගිතාව (BALUBAKAT)".

ABAKO පක්‍ෂයට බලය තියෙන්නෙ බාකොංගෝ ජනවර්ගය අතර​. ඔවුන් ගේ බලප්‍රදේශය වෙන්නෙ අගනුවර වන ලියෝපෝල්ඩ්විල් නගරය අවට සහ රටේ බටහිර ප්‍රදේශය​.

ජෝශප් කසවුබු
 CONKAT පක්‍ෂය පදනම් වෙන්නෙ ලුබා සහ ලුන්ඩා ජනවර්ග මත​. ඔවුන් ගේ බලකොටුව වෙන්නෙ කටන්ගා ප්‍රාන්තය​. ෂොම්බේ ලුන්ඩා වාර්ගිකයෙක්.

මොයිසී ෂොම්බේ
BALUBAKAT පක්‍ෂය පදනම් වෙන්නෙ ලුබා ජනවර්ගය​ මත​. ඔවුන්ගේත් බලප්‍රදේශය වෙන්නෙ කටන්ගා ප්‍රාන්තය​.

ජේසන් සෙන්ඩ්වේ
දෙවෙනි ධාරාව පෙනී සිටියේ ඒකීය කොංගෝවක් වෙනුවෙන්. ජනවාර්ගික අනන්‍යයතාවයන් වෙනුවට කොංගෝ ජාතිකත්වය මත පදනම් වුන ජාතික රාජ්‍යයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා.

මේ ධාරාවේ ව්‍යාපාර අතරින් ප්‍රමුඛ තැනක් ගත්තේ පැට්‍රිස් ලුමුම්බා ගේ "කොංගෝ ජාතික ව්‍යාපාරය (MNC)" සහ ඇන්තෝනී ගිසෙන්ගා ගේ "අප්‍රිකාණු එක්සත් පක්‍ෂය (PSA)"

පැට්‍රිස් ලුමුම්බා
MNC පක්‍ෂය තමයි කොංගෝවේ විශාලම දේශපාලන ව්‍යාපාරය වුනේ.මේ පක්‍ෂය බිහි කරන්නෙ 1958 දී පැට්‍රිස් ලුමුම්බා, සිරිල් අඩූලා සහ ජෝශප් ඉලේඕ විසින්. ඔවුන්ට මුළු කොංගෝව පුරාම පැතිරුණු සහයෝගයක් තිබුනා. විශේෂයෙන්ම රටේ නැගෙනහිර ප්‍රදේශ වල ඔවුන් බලවත් වුනා.

සිරිල් අඩූලා සහ ජෝශප් ඉලේඕ
PSA පක්‍ෂය බටහිර කොංගෝවේ ගැමි ජනතාව අතර බලය තහවුරු කරගත්ත පක්‍ෂයක්. ඔවුන් සමාජවාදී නැඹුරුවක් සහිත වුනා.

ඇන්තෝනී ගිසෙන්ගා
1959 දි MNC පක්‍ෂයෙන් කොටසක් කැඩී යනවා ඇල්බට් කලොන්ජි යටතේ. ඔවුන් MNC පක්‍ෂයේ කොංගෝ ජාතිකවාදය වෙනුවට ලුබා වාර්ගික අනන්‍යතාවයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔවුන් බලවත් වෙන්නෙ කසායි සහ කටන්ගා ප්‍රාන්ත වල. මේ පක්‍ෂය හැඳින්වෙන්නේ MNC-K නමින්.

ඇල්බට් කලොන්ජි
ප්‍රාදේශීය පක්‍ෂ පෙනී සිටින්නෙ වහාම නිදහස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් පැට්‍රිස් ලුමුම්බා ගේ MNC පක්‍ෂය තේරුම් ගන්නවා ඔවුන් පෙනී සිටින කොංගෝ ජාතිකත්වය තවමත් හරිහැටි වර්ධනය වී නැති බවත්, ඒකීය කොංගෝවක් සාර්ථක වෙන්න අවශ්‍යය පරිපාලන හැකියාව ස්වදේශිකයන්ට නැති බවත්. ඒ නිසා MNC පක්‍ෂය පෙනී ඉන්නෙ "ක්‍රමික නිදහසක්" වෙනුවෙන්. බෙල්ජියම් පාලකයන් වෙතින් ස්වදේශිකයන්ට ක්‍රමයෙන් බලය හුවමාරු වීමක් සහ ඒ සංක්‍රාන්ති සමයේදී ස්වදේශිකයන් ගේ පරිපාලන හැකියාව වර්ධනය කර ගැනීමත්, කොංගෝ ජාතිකත්වයක් ඇති කර ගැනීමත් ඔවුන් ගේ සැලසුම වුනා.

මේ නිසා කසවුබු විසින් MNC පක්‍ෂය හැඳින් වූයේ දියාරු ව්‍යාපාරයක් විදිහට​.

කැරලි


1959 ජනවාරි මාසයේදී බෙල්ජියම් පාලකයන්ට විරුද්ධව අගනුවර වන ලියෝපෝල්ඩ්විල් නගරයේ උද්ඝෝෂන ඇති වෙනවා. බෙල්ජියම් හමුදාව උද්ඝෝෂන මැඩ පවත්වන්නෙ හමුදා බලය භාවිතා කරල​. 49 දෙනෙක් මිය යනවා.

මේ වෙද්දි කොංගෝවේ 89,000 ක විශාල බෙල්ජියම් ජාතියන පිරිසක් පදිංචි වෙලා ඉන්නවා. උද්ඝෝෂන කරුවන්ට හමුදාව වෙඩි තැබීමත් එක්කම සුදු ජාතිකයන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා ඇති වෙනවා. සුදු ජාතිකයන් තමාගේ ආරක්‍ෂාවට මිලීෂියා කණ්ඩායම් හදා ගන්නවා. මේ මිලිෂියා කණ්ඩායම් ස්වදේශිකයන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වෙනවා.

ක්‍රමයෙන් මේ කැරලි ගම් බද ප්‍රදේශ වලටත් පැතිරෙනවා.

කැරලි පැතිරෙද්දි බෙල්ජියම් පාලකයන් කසවුබු සහ ලුමුම්බා අත් අඩංගුවට ගන්නවා. කොංගෝවේ තත්වය අස්ථාවර බවකට පත් වෙනවා.

නිදහස​


තත්වය නරක අතට හැරෙද්දි ස්වදේශික නායකයන් එක්ක සාකච්ඡා කරන්න බෙල්ජියම් පාලකයන් කැමති වෙනවා. මේ සාකච්ඡා පැවැත්වෙන්නෙ බ්‍රසල්ස් නගරයේ. මේ සඳහා කොංගෝවේ දේශපාලන පක්‍ෂ 14 ක නියෝජිතයෝ සහභාගී වෙනවා.

කසවුබු වහාම නිදහස ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. ලුමුම්බා පෙනී සිටින්නෙ ක්‍රමික නිදහසක් වෙනුවෙන්.

නමුත් බෙල්ජියම් රජය අවුරුදු 30 ක සංක්‍රාන්ති කාලයක් යෝජනා කරනවා. කොංගෝවේ ඒ වෙද්දි පවතින තත්වයක් එක්ක එච්චර දිග කාලයකට එකඟ වෙන්න ලුමුම්බාට හැකි වෙන්නෙ නෑ. ඔහුත් වහාම නිදහස ඉල්ලා සිටිනවා.

සියළුම පක්‍ෂ වල දැඩි බලකිරීම මත බෙල්ජියම් රජය තමාගේ සංක්‍රාන්ති සැලසුම හකුලාගෙන 1960 ජූනි 30 වෙනිදා කොංගෝවට නිදහස දෙන්න කැමති වෙනවා.

මැතිවරණය​


කොංගෝවේ පළමුවන මැතිවරණය පැවැත්වෙන්නෙ 1960 මැයි 22 වෙනිදා.

මැතිවරණයේදී බෙල්ජියම් පාලකයන් ලුමුම්බාට එරෙහිව දැඩි ප්‍රචාරයක් ගෙනියනවා. ඔහු කොමියුනිස්ට් වාදියෙක් විදිහට නම් කරනවා. මේකෙ අරමුණ වෙන්නෙ ඒකීය කොංගෝවක් වෙනුවට දුර්වල ප්‍රාන්ත ගණනාවකින් සම්න්විත ෆෙඩරල් කොංගෝවක් බිහි කර ගැනීම​. ඒ මගින් කොංගෝව දිගටම බෙල්ජියම මත යැපෙයි කියල ඔවුන් බලාපොරොත්තු වෙනවා.

බෙල්ජියම් වරුන් ගේ සහය ලැබෙන්නෙ ෂොම්බේට. ඔහුගේ බලය පැතිරුන කටන්ගා ප්‍රාන්තය තමයි කොංගෝවේ වැඩිම සොබාවික සම්පත් සහිත ප්‍රාන්තය​. ඒ වගේම ෂොම්බේ දැඩි බටහිර හිතවාදියෙක්.

ආසන 137 ක් සඳහා පැවැත්වෙන මැතිවරණයෙන් කාටවත් පැහැදිලි බහුතරයක් ලැබෙන්නෙ නෑ. නමුත් MNC පක්‍ෂය ආසන 37 ක් ලබල පළවෙනි තැනට එනවා.

මැතිවරණ ප්‍රතිඵල​
සෙන්ට් සභාවේ වැඩිම ආසන දිනා ගන්නෙත් MNC පක්‍ෂය. ඒ ආසන 21 ක්.

ලුමුම්බා ගිසෙන්ගා ගේ PSA පක්‍ෂය සහ තවත් පක්‍ෂ කීපයක් සමඟ එක් වෙලා සභාග රජයක් පිහිටුවනවා. පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස තෝරා ගන්නේ කසවුබු ව​. ඊට MNC පක්‍ෂයේ සහයත් ලැබෙනවා.

කොංගෝ ව්‍යවස්ථාව අනුව විධායක බලතල අගමැති සහ ජනාධිපති අතර බෙදී යනවා.