Saturday, June 16, 2018

ජල විදුලි බලාගාර​


ජල විදුලිය කියන්නේ ලෝකයේ විදුලිය උත්පාදනය කරන්න භාවිතා කරපු පැරණිම ක්‍රමයක්. ඒ වගේම තාක්‍ෂනික, ආර්ථික සහ පාරිසරික පැත්තෙන් බැලුවම ජල විදුලිය තමයි විදුලිය උත්පාදනයට සුදුසුම ක්‍රමය​. ඒක ඉතාම ලාබදායික​, සාපේක්‍ෂව පරිසර දූෂනය අඩු සහ තාක්‍ෂනික වශයෙන් ඉතාමත් නම්‍යශීලී ශක්ති ප්‍රභවයක්.

2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 17% ක් සිදු කෙරුනේ ජල විදුලියෙන්. ලංකාවේ හොඳින් වැසි ලැබෙන අවුරුද්දක ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% ක පමණ පංගුවක් සපයන්නේ ජල විදුලිය​. නියං අවුරුදු වල මේක 20% තරම් පහත වැටෙන්න පුළුවන්.


මේ ලිපියෙන් කියන්න යන්නේ ජල විදුලි බලාගාරයක විදුලිය උත්පාදනය සිදුවෙන ආකාරය​.

ජල විදුලි බලාගාරයක විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ගල් අඟුරු බලාගාරයකට සාපේක්‍ෂව සරළයි. එතනදී කරන්නේ ඉහළ උස මට්ටමක ඇති ජලාශයක රඳවාගන්නා වතුර පහල මට්ටමක ඇති බලාගාරය වෙත අරගෙන ඇවිත්, එහි ඇති බමණයක් කරකවලා එමගින් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමෙන්. මෙතැනදි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ ඉහළ උසක ඇති ජලයේ විභව ශක්තිය​. ඒක හැඳින්වෙන්නේ ජල හිස (water head) කියලා.


ජල විදුලි බලාගාරයක ප්‍රධාන කොටස්


ජල විදුලි බලාගාරයක් ප්‍රධාන කොටස් 18 කින් සමන්විතයි.

1. වේල්ල (dam)
2. ජලාශය (reservoir)
3. වාන් දොරටු (spillway gates)
4. තුළුමග​ (intake)

5. කසළ රඳවනය​ (trash racks)
6. පෙරාර උමඟ​ (head race tunnel)
7. කැලඹුම් ළිඳ​ (surge tank)
8. ගල් රඳවනය​ (rock trap)
9. කොටුදොර​ (penstock)
10. ප්‍රධාන පිවිසුම් කපාටය​ (main inlet valve)
11. බමණය​ (water turbine)
12. පිටවුම් නළය​ (draft tube)
13. අවරාර උමඟ​ (tail race tunnel)
14. අවරාරය​ (tail race)
15. ජනන යන්ත්‍රය​ (generator)
16. පරිණාමකය​ (transformer)
17. වහරු අංගනය​ (switch yard)
18. සම්ප්‍රේෂන රැහැන් (transmission lines)



1. වේල්ල (dam)



ජල විදුලි බලාගාරයට අවශ්‍යය ජලය ලබාගන්නේ තෝරාගත් ස්ථානයකදී ගඟක් හරහා වේල්ලක් බැඳීමෙන් ජලාශයක් නිර්මානය කිරීමෙන්. මේ වගේ හදන වේල්ලක් තනි කොන්ක්‍රීට් වලින් හෝ ගල් වලින් හදලා වටේට කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීමෙන් නිම කරනවා. සමහර අවස්ථාවලදී ජලාශයක් තැනීම කෙරෙන්නෙ නෑ. ගඟ හැරවීම පමණයි කෙරෙන්නේ. එවැනි අවස්ථා වලදී වේල්ල හැඳින්වෙන්නේ අමුණ (diversion weir) විදිහට​.


2. ජලාශය (reservoir)



ජලාශයෙන් කරන්නෙ අවශ්‍යය පරිදි භාවිතයට ගන්න පුළුවන් විදිහට ජලය එක්‍ රැස් කරලා තබා ගැනීම​. ප්‍රමානයෙන් කුඩා ජලාශ පොකුණක් (pond) විදිහට හැඳින්වෙනවා.


3. වාන් දොරටු (spillway gates)



ජලාශයේ උපරිම වතුර රඳවා ගත හැකි සීමාවක් තියෙනවා. ඒකට කියන්නෙ "පිටාර මට්ටම​" (spill level) කියලා. පිටාර මට්ටමට වඩා වතුර පිරෙන අවස්ථාවකදී වැඩිපුර වතුර නිදහස් කරන්න තමයි වාන් දොරටු තියෙන්නෙ. වාන් දොරටු එසවීමෙන් වැඩිපුර එන ජලය මුදා හරින්න පුළුවන්. සමහර ජලාශ වල වාන් දොරටු නෑ. ඒ වෙනුවට තියෙන්නෙ තව්වක්. එතකොට වැඩිපුර එන වතුර ඉබේම පිටාර ගලනවා.


4. තුළුමග​ (intake)



තුළුමග කියන්නේ ජලාශයේ තියෙන වතුර  එළියට ගන්න තැන. මේක හැම වෙලේම වතුරෙන් යට තියාගන්න අවශ්‍යයයි. ඒ නිසා තුළුමගේ මට්ටමට වඩා ජලාශයේ වතුර මට්ටම අඩු වෙන්න දෙන්නෙ නෑ. ඒක හඳුන්වන්නේ "අවම මෙහෙයුම් මට්ටම​" (minimum operation level) කියලා. අවශ්‍යය විටෙක වහ ගන්න තුළුමගේ ගේට්ටුවක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ තුළුමග ගේට්ටුව (intake gate) කියල​. සාමාන්‍යය තත්වය යටතේ තුළුමග ගේට්ටුව හැම වෙලේම සම්පූර්නයෙන්ම ඇරල තියෙන්නෙ.


5. කසළ රඳවනය​ (trash racks)



ජලාශයේ එක් රැස් වෙන නොයෙකුත් කසල තුළුමගට ඇතුල් වීම වැලැක්වීම සඳහා තුළුමගේ කටේ යකඩ දැලක් තියෙනවා. මේ යකඩ දැල තමයි කසල රඳවනය කියල හැඳින්වෙන්නේ. කසල රඳවනයෙන් රඳවාගන්නා කසල දැල දිගේ උඩට අරගෙන බැහැර කරන්න පුළුවන්.


6. පෙරාර උමඟ​ (head race tunnel)



ජලාශයේ තියෙන වතුර බලාගාරය වෙත ගෙනියන්නේ පෙරාර උමඟ ඔස්සේ. ඇත්තෙන්ම තුළුමග කියන්නේ පෙරාර උමඟේ කට​. පෙරාර උමඟේ හරස්කඩ අශ්ව ලාඩමක හැඩයට හදල තියෙන්නේ ඇතුලේ පීඩනය සමව බෙදී යන විදිහට​. පෙරාර උමඟේ ඇතුල් බිත්තිය කොන්ක්‍රීට් වලින් ආවරණය කරල හදනවා. නමුත් ගල ශක්තිමත් තැන්වල කොන්ක්‍රීට් නොකර තියෙන්නත් පුළුවන්. තුළුමග හැම වෙලාවෙම වතුර මට්ටමෙන් යට තියෙන නිසා පෙරාර උමඟ හැම වෙලාවෙම සම්පූර්නයෙන්ම වතුරෙන් පිරිල තියෙන්නෙ. ඒ වගේම පෙරාර උමඟ හදන්නෙ ඉතාම අඩු බෑවුමක් තියෙන විදිහට​. ඒ උමඟ ඇතුලේ ජල පීඩනය අවම කරගන්න​.


 7. කැලඹුම් ළිඳ​ (surge tank)



පෙරාර උමඟ ඇතුලේ පීඩන සර්ජනයක් (pressure surge) ඇති වුනොත් එමගින් උමඟට හානි ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා උමඟේ එක තැනක් වායුගෝලයට විවර කරල තියෙනවා. පීඩන සර්ජනයක් ඇති වුනොත් ඒ පීඩනය එතැනින් වායුගෝලයට මුදා හැරෙනවා.


8. ගල් රඳවනය​ (rock trap)


පෙරාර උමඟ දිගේ එන ගලක් බමණයට ඇතුල් වුනොත් එයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පෙරාර උමඟේ කෙලවර ලොකු වලක් තියෙනවා ගල් රඳවා ගන්න​.


 9. කොටුදොර​ (penstock)



පෙරාර උමඟේ දිගේ අඩු බෑවුමකින් අරගෙන එන වතුර බමණයට ලබා දෙන්න කලින් එක පාරටම විශාල බෑවුමක් සහිත වානේ නල තුලින් යවනවා. ඒ බෑවුමත් එක්ක ජලයේ පීඩනයේ වැඩි කරගන්න​. මේ වානේ නල තමයි කොටු දොර විදිහට හැඳින්වෙන්නේ. කොටු දොර සමහර විට පොළව මතුපිටින් යන වානේ නල විදිහට තියෙන අතර සමහර විට භූගත නල විදිහට තියෙනවා.


10. ප්‍රධාන පිවිසුම් කපාටය​ (main inlet valve)



කොටු දොරෙන් එන වතුර බමණයට ඇතුල් වෙන්න පෙර විශාල කපාටයක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ප්‍රධාන පිවිසුම් කපාටය කියල​. බමණයට වතුර දෙනවද නැද්ද කියල එක තීරණය වෙන්නෙ ප්‍රධාන පිවිසුම් කපාටයෙන්.


ජල හිස වැඩි බලාගාර වල ප්‍රධාන පිවිසුම් කපාටය ගෝලීය කපාටයක් විදිහටත් (spherical valve) ජල හිස අඩු බලාගාර වල සමනළ කපාටයක් (butterfly valve) විදිහටත් යොදා ගන්නවා.


11. බමණය​ (water turbine)


බමණය තමයි ජල විදුලි බලාගාරයක වැදගත්ම කොටස​.

බලාගාරයේ ජල හිස අනුව වර්ග කීපයක බමණ යොදාගන්නවා. ඒ අතරින් බහුලව යොදාගන්නේ බමණ වර්ග තුනක්.

1. පෙල්ටන් - විශාල ජල හිසක් සහිත බලාගාර (මීටර් 300 ට වැඩි)
2. ෆ්‍රැන්සිස් - මධ්‍යම ජල හිසක් සහිත බලාගාර (මීටර් 30 ට වැඩි)
3. කප්ලාන් - කුඩා ජල හිසක් සහිත බලාගාර (මීටර් 30 ට අඩු)

පෙල්ටන් බමණය


පෙල්ටන් බමණය සමන්විත වෙන්නේ කෝප්ප හැඩයේ බමණ පෙති ගණනාවකින්. මේවා බකට්ටු (bucket) කියල හැඳින්වෙනවා. ජල තුඩු (nozzel) කීපයකින් මේවාට අධික වේගයකින් යුත් ජල ධාරාවක් විදිනවා. ඒ ජල ධාරාව බකට්ටු වල ගැටීමෙන් තමයි බමණය කරකැවෙන්නෙ සලස්වන්නේ.


ලංකාවේ ලක්‍ෂපාන සහ උමා ඔය බලාගාර වල තියෙන්නෙ පෙල්ටන් බමණ​.


ෆ්‍රැන්සිස් බමණය​


ඉතාම බහුලව භාවිතා වෙන බමණය වෙන්නේ ෆ්‍රැන්සිස්. ෆ්‍රැන්සිස් බමණය සමන්විත වෙන්නේ වානේ වලින් හදපු තැටියක් ඇතුලෙන් කපන ලද වතුර ගමන් කල හැකි මාර්ග රැසකින්. වතුර පාර මේ මාර්ග ඇතුලෙන් ගමන් කරන්නේ බමණය කරකවමින්. පෙල්ටන් බමණයක් කැරකෙන්නේ වතුර පහරේ වේගයට වුනත්, ෆ්‍රැන්සිස් බමණයක් කැරකෙන්නේ වතුරේ පීඩනයට සහ වේගයට යන දෙකටම​.


මේ නිසා වතුරේ පීඩනය ඉහළ අගයක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ෆ්‍රැන්සිස් බමණය පෙල්ටන් බමණය වගේ වායුගෝලීය පීඩනයේ නෙවෙයි තියන්නේ. ෆ්‍රැන්සිස් බමණය තියල තියෙන්නේ සම්පූර්නයෙන්ම මුද්‍රා තැබූ සර්පිල හැඩයේ කසුවක් තුල​. මේක සර්පිල කසුව (spiral casing) කියල හැඳින්වෙනවා.


බමණයට වතුර ඇතුල් වෙන්නේ සර්පිල කසුවේ ඇතුල් පැත්තේ බිත්ති වල කපන ලද මාර්ග හරහා. වතුර පාරේ සැර පාලනය කරන්න මේ මාර්ග වලට ගේට්ටු තියල තියෙනවා. මේ ගේට්ටු හැඳින්වෙන්නේ නියමු තල (guide vein) කියලා. ජනන යන්ත්‍රයේ උත්පාදනය වෙන මෙගාවොට් ප්‍රමානය පාලනය කරන්නේ මේ වතුර පාරේ සැර මගින්.



කප්ලාන් බමණය​


අඩු ජල හිසක් සහිත බලාගාර වලට යොදා ගන්නේ කප්ලාන් බමණය​. කප්ලාන් බමණය හැඩයෙන් නැවක අවර පෙති වලට සමානයි. වතුර පාර ගලාගෙන යන මාර්ගයේ කප්ලාන් බමණය තියල තියෙන්නේ වතුර පාර මගින් බමණය කරකැවෙන ආකාරයට​.


කප්ලාන් බමණයේ තල වල ඇලය වෙනස් කරන්න පුළුවන්. මේ නිසා ඒ ඒ වතුර පාරේ සැර අනුව වඩාත්ම කාර්‍යක්‍ෂම ඇලය සහිතව බමණය කරකැවීමේ හැකියාව තියෙනවා.


ලංකාවේ උඩ වලවේ සහ ඉඟිනියාගල බලාගාර වල තියෙන්නේ කප්ලාන් බමණ​.


12. පිටවුම් නළය​ (draft tube)



බමණය කරකවලා ඉවත් වෙන වතුර යන්නේ පිටවුම් නලය ඔස්සේ. පිටවුම් නලය නැම්මක් සහිතව විශේෂ හැඩයකින් හදල තියෙන්නෙ ශක්ති හානිය අවම කරගන්න​.


13. අවරාර උමඟ​ (tail race tunnel)



පිටවුම් නළයෙන් ඉවත් වෙන වතුර යොමු කෙරෙන්නේ අවරාර උමඟට​. අවරාර උමඟ ඒ වතුර නැවතත් ගඟ දක්වා රැගෙන යනවා. අවරාර උමඟ ගොඩක් දිගයි නම් පෙරාර උමඟේ වගේම පීඩන සර්ජනයක් නිදහස් කරන්න කැළඹුම් ළිඳකුත් තියෙනවා.


14. අවරාරය​ (tail race)



 අවරාර උමඟ දිගේ එන වතුර ගඟට නිදහස් වෙන්නේ අවරාරයේදී.


 15. ජනන යන්ත්‍රය​ (generator)




බමණය ඊෂාවක් (shaft) හරහා ජනන යන්ත්‍රයට සම්බන්ධ කරල තියෙන්නේ. එමගින් බමණය කැරකෙන වේගයෙන්ම ජනන යන්ත්‍රයත් කැරකෙනවා. ජනන යන්ත්‍රය සමන්විත වෙන්නේ විශාල දඟර දෙකකින්. එක දඟරයක් ඊෂාව මත සවි කරල තියෙනවා. ඒ දඟරය හැඳින්වෙන්නේ භ්‍රමකය (rotor) කියලා. අනෙක් දඟරය භ්‍රමකයට වටා සවි කරල තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ස්ථායුකය (stator) කියල. භ්‍රමකය තමයි බමණයත් එක්ක කැරකෙන්නේ. භ්‍රමකයට සරළ ධාරාවක් ලබා දුන්නම ස්ථායුකයේ ප්‍රත්‍යාවර්ථ ධාරවක් ජනනය වෙනවා. ඒ ප්‍රත්‍යාවර්ථ ධාරාව තමයි අපි ප්‍රයෝනයට ගන්නේ. 


 16. පරිණාමකය​ (transformer)



ජනන යන්ත්‍රයේ ජනනය වෙන ධාරාවේ වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 10-20 අතර ප්‍රමානයේ වෙනවා. මේ අඩු වෝල්ටීයතාවයෙන් විදුලිය සම්ප්‍රේෂනය කරොත් අධික ශක්ති හානියක් සිදු වෙන නිසා ඊට කලින් වෝල්ටීයතාවය වැඩි කරගන්න පරිණාමකයක් භාවිතා කෙරෙනවා. පරිණාමකයේදී වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 200 - 400 අතර ප්‍රමානයකට වැඩි කෙරෙනවා (ලංකාවේ නම් කිලෝ වෝල්ට් 220).

පරිණාමකය සමන්විත වෙන්නෙ එකිනෙකට ඉතා ළඟින් සවි කල දඟර දෙකකින්. මේ දඟර වල පොට ගනනේ අනුපාතයට සමාන අනුපාතයකින් එක දඟරයකට සපයන ධාරාවේ වෝල්ටීයතාවය අනෙක් දඟරයේ ප්‍රේරණය වෙනවා.  


17. වහරු අංගනය​ (switch yard)



පරිණාකයෙන් වෝල්ටීයතාවය ඉහළ නැංවූ විදුලිය ඊළඟට යන්නේ වහරු අංගනයට​. වහරු අංගනය භාවිතා වෙන්නේ පරිණාමක සහ සම්ප්‍රේෂන රැහැන් සම්බන්ධ කරගන්න​​. වහරු අංගනයේ ඇති උපාංග භාවිතයෙන් අපිට පුළුවන් සම්ප්‍රේෂන රැහනක් හෝ පරිණාමකයක් අවශ්‍යය පරිදි සක්‍රීය හෝ අක්‍රිය කරන්න​.

පැරණි වහරු අංගන එළිමහනේ ඇති උපාංග වලින් සමන්විත වුනත්, නවීන වහරු අංගන සම්පූර්නයෙන්ම සීල් කරන ලද උපාංග වලින් සමන්විත ගෘහස්ත වහරු අංගන (GIS) විදිගට දකින්න පුළුවන්. 


 18. සම්ප්‍රේෂන රැහැන් (transmission lines)



සම්ප්‍රේෂන රැහැන් වලින් කරන්නේ විදුලිය රට පුරා බෙදා හැරීම​. 

Thursday, June 14, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 2 (සලාහ්)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)


ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


දෙවැනි කුළුණ - සලාහ් (නැමදීම​)



දෙවැනි කුළුණ හෙවත් සලාහ් මගින් ප්‍රකාශ වෙන්නේ මුස්ලිම් වරයෙක් ගේ දේව භක්තිය​.

"සලාහ්" හෙවත් දෙවියන් නැමදීම බොහෝ විට ඉංග්‍රීසියෙන් "pray" කියල හැඳින්වෙන අතර ඒක "යාඥාව​" කියල සිංහලට පරිවර්තනය කෙරෙනවා. නමුත් ඒකෙන් දෙන්නෙ වැරදි අදහසක්. ඉස්ලාමයේ එන සලාහ් හෙවත් දෙවියන් නැමදීම ක්‍රිස්තියානි දේව යාඥාවට වඩා සම්පූර්නයෙන්ම වෙනස්. ක්‍රිස්තියානි දේව යාඥාවක් දෙවියන් ගෙන් යමක් ඉල්ලීමක් හෝ ලබාදුන් දෙයකට ස්තූති කිරීමක් වුනත්, ඉස්ලාමයේ එන සලාහ් මගින් කෙරෙන්නේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය ප්‍රකාශ කිරීම පමණයි. එහිදී යම් කිසි එක් කරුණක් වෙනුවෙන් යාඥා කිරීමකට වඩා නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට මග පෙන්වීම සහ දෙවියන්ට ප්‍රසංශා කිරීම පමණක් සිදු වෙනවා. ක්‍රිස්තියානි දේව යාඥාවට සමාන දේව කන්නලව්වක් ඉස්ලාමයේත් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ "දුවා" නමින්.

"සලාහ්" යන යෙදුමට සමාන යෙදුම් විදිහට "සලාත්", "නමාස්" සහ "ලමස්" යන වචනත් පාවිච්චි කෙරෙනවා.

සලාහ් මගින් බලාපොරොත්තු වෙන්නේ මුස්ලිම් වරයෙක්ට දෙවියන් සහ දේව පණිවුඩය පිළිබඳව නිරන්තර සිහි කැඳවීමක් කිරීම​. එමගින් නිවැරදි මාර්ගයෙන් ඉවතට යන එක වලක්වා ගැනීම බලාපොරොත්තු වෙනවා.

නීති - රීති


පහත සඳහන් කරුණු සියල්ල සම්පූර්න කරන අය සලාහ් හෙවත් නැමදීම සිදු කළ යුතුයි.

1. මුස්ලිම් වරයෙක් වීම​
2. යහපත් මානසික තත්වයෙන් සිටීම​
3. ලාබාල විය පසු කර තිබීම (සාමාන්‍යයෙන් මෙහි සීමාව ලෙස ගන්නෙ අවුරුදු 7)

නැමදීම වලංගු වීමට නම් පහත කරුණු සම්පූර්න විය යුතුයි.

1. නියමිත වේලාව පිළිබඳ පැහැදිලි විශ්වාසය​
2. මක්කම දිශාවට මුහුණ ලෑම​
3. නියමිත පරිදි විළි වසාගෙන සිටීම​
4. සිරුර, ඇඳුම් සහ වටපිටාව පිරිසිදුව තිබීම​
5. නැමදීමට පෙර චාරිත්‍රානුකූල පිරිසිදු වීම් සිදු කර තිබීම​


නැමදීම් වර්ග​


සලාහ් වර්ග හතරක් තියෙනවා.

1. ෆර්ද් සලාහ් - මුස්ලිම් වරයෙක් විසින් අනිවාර්‍යයෙන් සිදු කළ යුතු නැමදීම්
2. වජිබ් සලාහ් - මුස්ලිම් වරයෙක් විසින් සිදු කළ යුතු, නමුත් අනිවාර්‍යය නොවන නැමදීම්
3. සුන්නාහ් සලාහ් - අනිවාර්‍යය නොවන​, නමුත් නබි තුමන් විසින් සිදු කළ නැමදීම්
4. නෆ්ල් සලාහ් - අනිවාර්‍යය නොවන​, තමාට කැමති විටෙක සිදු කළ හැකි නැමදීම්

1. ෆර්ද් සලාහ්


ෆර්ද් සලාහ් ලෙස ගැනෙන්නේ සෑම මුස්ලිම් වරයෙක්ම දිනකට පස් වතාවක් කළ යුතු නැමදීම්. මේ නැමදීම් සිදු කිරීමට අපොහොසත් වන අයෙක් මුස්ලිම් වරයෙක් ලෙස සැලකෙන්නේ නෑ.

මේ නැමදීම් සිදු කරන්නේ දිනයේ නියමිත වේලාවකට​

1. ෆජ්.ර් (හිමිදිරි නැමදීම​) - හිරු නැගීමට විනාඩි 15 කට පමණ පෙර​
2. සුහ්‍.ර් (මද්දහන් නැමදීම​) - ඉර මද්දහන පසු වුනු පසු
3. අස්.ර් (සවස් නැමදීම​) - සවස් කාලයේ ඉර බැස යාමට පසු
4. මග්‍රිබ් (බටහිර නැමදීම​) - ඉර බැස ගිය වහාම​
5. ඉෂා (රාත්‍රී නැමදීම​) - රාත්‍රී කාලයේ

ජුම්මා නැමදීම​


සිකුරාදා දිනය සැලකෙන්නේ මුස්ලිම් වරුන්ගේ ශුද්ධ වු දිනය වශයෙන් (ක්‍රිස්තියානින් ගේ ඉරිදා දිනය වගේ). එදාට කෙරෙන මද්දහන් නැමදීම සුවිශේෂයි. එය හැඳින්වෙන්නේ "ජුමුආහ්" නමින් (ලංකාවේදී මේක "ජුම්මා" කියල හැඳින්වෙනවා).

මුස්ලිම් පිරිමි ජුම්මා නැමදීම අනිවාර්‍යයෙන්ම සාමූහිකව කළ යුතුයි. කාන්තාවන්ට කැමතිනම් සාමූහිකව කළ හැකි අතර, කැමතිනම් තනිවම කළ හැකියි. මේ නිසා මුස්ලිම් පිරිමි ජුම්මා නැමදීම සඳහා පල්ලියට යාම සිරිතක්. ජුම්මා නැමදීම වලංගු වෙන්න නම් අවම වශයෙන් හත් දෙනෙක් වත් සහභාගී විය යුතුයි. ඒ වගේම ඉස්ලාමය පිළිබඳ විද්වතෙක් නැමදීමට පෙර දේශනාවක් කළ යුතුයි. ජුම්මා නැමදීමට සහභාගී වන පිරිස වැඩිවන තරමට එහි සාර්ථකත්වය වැඩි බව මුස්ලිම් වරු සලකනවා. ඒ නිසා ජුම්මා නැමදීම සඳහා ප්‍රදේශයේ සියළුම මුස්ලිම් පිරිමින් ප්‍රදේශයේ ඇති ප්‍රධාන පල්ලිය වෙත පැමිනෙනවා. ඒ පල්ලිය හැඳින්වෙන්නේ "ජුම්මා මස්ජීදය​" නමින්.


2. වජිබ් සලාහ්


වජිබ් සලාහ් ලෙස ගැනෙන්නේ මුස්ලිම් වරයෙක් සිදුකළ යුතු නැමදීම් ලෙස දක්වා ඇති නමුත්, ෆර්ද් නැමදීම් වගේ අනිවාර්‍යය නොකළ නැමදීම්.

වජීබ් ගණයට වැටෙන්නේ එක නැමදීමක් පමණයි. එය "විත්‍.ර්" ලෙස හැඳින්වෙනවා. එම නැදමදීම සිදු කරන්නේ රාත්‍රී නැමදීමට පසු, නමුත් පසුදින හිමිදිරි නැමදීමට පෙර​.


3. සුන්නාහ් සලාහ්


සුන්නාහ් සලාහ් ගණයට වැටෙන්නේ අනිවාර්‍යය නොවන නමුත් නබි තුමා විසින් කළ නැමදීම්. නබි තුමා අනුගමනය කිරීම උසස් දෙයක් ලෙස සැලකෙන නිසා සමහර මුස්ලිම් වරු සුන්නාහ් නැමදීම් සිදු කරනවා.

සුන්නාහ් සලාහ් කීපයක් ඉස්ලාම් සම්ප්‍රදායේ එනවා

1. තහජ්ජුද් - රාත්‍රිය මැදදී නින්දෙන් අවදි වී සිදු කරන නැමදීමක්
2. තරවිහ් - රමදාන් මාසයේ රාත්‍රී නැමදීමෙන් පස් සිදු කරන සාමූහික නැමදීමක්
3. ඉස්තිස්කා - නියං සමයේ වැසි බලාපොරොත්තුවෙන් සිදු කරන සාමූහික නැමදීමක්
4. කුසුෆ් - සූර්‍යග්‍රහනයක් සිදු වන වෙලාවේදී කරන සාමූහික නැමදීමක්
5. ඛුසුෆ් - චන්.ද්‍රග්‍රහනයක් සිදු වන වෙලාවේදී කරන සාමූහික නැමදීමක්


4. නෆ්ල් සලාහ්


නෆ්ල් සලාහ් නමින් හැඳින්වෙන්නේ තමාට කැමති අවස්ථාවක සිදු කළ හැකි නැමදීම්.


නැමදීමේ අංග​

 


සලාහ් හෙවත් නැමදීමක් සිදු කරන නියමිත ආකාරයක් තියෙනවා. සෑම නැමදීමක් ම "රකත්" නමින් හැඳින්වෙන ක්‍රියා මාලාවකින් සමන්විතයි. ඒ ඒ නැමදීමට සිදුකළ යුතු රකත් ගණන ඉස්ලාමයේ දක්වා තියෙනවා.

රකත් චක්‍රයක් මේ ක්‍රියාවන් ගෙන් සමන්විතයි.

1. "තක්බිර්" හෙවත් දෑත් ඉදිරියට හරවා මුහුණ දෙපසින් තබා ගෙන "අල්ලාහු අක්බර්" (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් පැවසීම​

2. "ක්වියාම්" හෙවත් දෑත් පපුව මත හෝ පෙකණියට ඉහලින් බඩ මත තබාගෙන සිට ගෙන සිටින ඉරියව්වෙන් සිටගෙන නැමදීම කෙරෙහි සිත යොමු කිරීම​

3. දෙවියන්ට ප්‍රශංසා කිරීම​ (පළමු රකතයේදී පමණක්)

4. "සුරාහ් අල්-ෆතිහා" හෙවත් කුරානයේ පළමු පරිච්ඡේදය හඬනගා කීම​

5. තවත් කුරාන පරිච්ඡේදයක් හඬනගා කීම​

6. තක්බිර්

7. "රුකු" හෙවත් අත්ල දනිස් මත තබා ඉරිදියට නැමී දෙවියන්ට ප්‍රශංසා කිරීමේ පාඨ හඬනගා කීම​

8. රුකු ඉරියව්වෙන් මිදී නැවතත් කඳ කෙලින් කොට දෙවියන්ට ප්‍රශංසා කිරීමේ පාඨ හඬනගා කීම​

9. තක්බිර්

10."සුජුද්" හෙවත් බිම දණ ගැසීම​. මෙහිදී නළල​, නාසය​, අත්ල​, දනහිස් සහ පා ඇඟිලි බිම ස්පර්ශ විය යුතුයි. මෙම ඉරියව්වේදී දෙවියන්ට ප්‍රශංසා කිරීමේ පාඨ හඬනගා කීම කළ යුතුයි.

11. බිම දණගසාගෙන සිටියදීම කඳ කෙලින් කිරීම​.

12. තක්බිර්

13. සුජුද්

14. බිම දණගසාගෙන සිටියදීම කඳ කෙලින් කිරීම​.

15. තක්බිර්

16. "තෂ්හහ්හුද්" හෙවත් දෙවියන්ට ස්තූති කිරීම​

මෙතැනින් එක රකතයක් අවසාන වෙනවා. ඒ ඒ නැමදීමේදී සිදු කළයුතු රකතයන් ගණන අනුව මේ ක්‍රියාමාලාව නැවත නැවත සිදු කෙරෙනවා.

නැම්දීම අවසන් වන්නේ  "තස්ලිම්" කියැවීමෙන්. මෙහිදී දණ ගසාගෙන සිටියදීම දකුණු පැත්ත බලා එක් වරකුත් වම් පැත්ත බලා එක් වරකුත් "අස් - සලාමු අලෙයිකුම් වා - රහ්මතු ඉල්ලාහ්" (ඔබට සාමය සහ දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා) යනුවෙන් පැවසීම් සිදු කෙරෙනවා.


ඒ ඒ සලාහ් සඳහා සිදු කළ යුතු රකත් ගණන මේ වගේ

1. ෆජ්.ර් (හිමිදිරි) නැමදීම - 2
2. සුහ්.ර් (මද්දහන්) නැමදීම - 4
3. අස්.ර් (සවස්) නැමදීම - 4
4. මග්‍රිබ් (බටහිර​) නැමදීම - 3
5. ඉෂා (රාත්‍රී) නැමදීම - 4
6. ජුම්මා නැමදීම - 2
7. විත්.ර් නැමදීම - 3
8. ඉස්තිස්කා නැමදීම - 2
9. කුසුෆ් නැමදීම - 2
10. ඛුසුෆ් නැමදීම - 2

මේ රකත් ගණන පිළිබඳ වෙනස් ඉස්ලාමීය සම්ප්‍රදායන් ගේ වෙනස් මත තියෙනවා. ඒ නිසා සමහර මුස්ලිම්වරු මේවාට මදක් වෙනස් රකත් ගණනක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහරු අමතර භක්තිය දැක්වීමක් විදිහට අනිවාර්‍යය අවම රකත් ගණනට වඩා අමතර රකත් කීපයක් සිදු කරනවා.

Tuesday, June 12, 2018

දිවෙහි රාජ්ජේ රජකතා - 50 (හක්ගෙඩියේ ගෞරවය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හක්ගෙඩියේ ගෞරවය​


දිවෙහි රාජ්ජේ උතුරු දිග අතොළුවක තිබුන දූපතක ළමයෙක් ජීවත් වුනා.  ඔහුගේ දෙමාපියන් ඉතාම දුප්පත්. ඒ නිසා ඔහුට හරිහමන් අධ්‍යාපනයක් ලැබුනේ නෑ.

එක දවසක් උදේ අතොළු ප්‍රධානියා තවත් වැදගත් පෙනුම තියෙන මිනිස්සු කීප දෙනෙක් එක්ක දූපතට ආවා. ඔවුන් ආපු සුදු පාට ලොකු බෝට්ටුව ජැටියේ නැංගුරම් දාලා තියෙන හැටි ළමයා දැක්කා. ඔහු වෙරළට ගියා බෝට්ටුව බලන්න​. බෝට්ටුවෙ ඉඳල අමුත්තෝ ගොඩබහින හැටි ළමයා බලාගෙන හිටියා. ඔවුන් මොනාදෝ උපකරණ වගයක් උස්සගෙන ආවා. ඒ උපකරණ ළමයා කවදාවත් දැකල තිබුනේ නෑ. ඔහු ඒවා වඩා හොඳින් දැක ගන්න බෝට්ටුව ළඟටම ගියා.

පිරිසේ එක අයෙක් සුද්දෙක්. ඔහු දැක්කා ළමයා බෝට්ටුව ළඟ ඉන්නවා. සුද්දා තමන් අතේ තිබුන  උපකරණයක් ළමයට දීල ඔවුන් එක්ක එන්න කිව්වා.

ළමයගෙ ජීවිතේට වැදගත් මනුස්සයෙක් ඔහු දිහා බලල වත් නෑ. ඒත් අද සුදු මහත්තයෙක් ඔහුත් එක්ක කතා කළා! ඔහුගේ උපකරණයක් අල්ලගන්න දුන්නා. ඔවුන් එක්ක එන්න කිව්වා. ළමයාගෙ හිත ප්‍රීතියෙන් පිම්බුනා.

ඔවුන් දූපතේ විවිධ තැන් වලට ගියා. ඒ තැන් වලදී ඉරි කෑලි ඇඳපු දිග පොල්ලක් පොළවේ ඇණලා අර උපකරණ වලට ඇහැ තබමින් මොනවදෝ බැලුවා. ඒ බලන දේවල් පොත් වල සටහන් කර ගත්තා. ළමයට පැවරුන රාජකාරිය වුනේ මේ උපකරණයක් ඔසවාගෙන යාම​. ඔවුන් ඔහුට බොහොම හොඳින් කතා කරා. විටින් විට උපදෙස් දුන්නා. "මේක අතනින් තියන්න​". "දැන් ඕක උස්සගෙන අපිත් එක්ක යමු". ඔවුන් එක්ක ටිකක් මිතුරු වුනාට පස්සෙ ළමය ඇහුවා ඔවුන් මොකද කරන්නෙ කියල​. ඔවුන් කිව්වා ඔවුන් දූපතේ සිතියමක් අඳිනවා කියල​.


දවල් වුනාම ඔවුන් හැමෝම දූපත් ප්‍රධානියා ගෙ ගෙදරට ගියා. එහෙ ඔවුන් වෙනුවෙන් ඉතාම ප්‍රනීත දවල් කෑමක් සකස් වෙලා තිබුනා. බත් එක්ක කුකුළු මස්. ළමයා ජීවිතේට නොදැකපු තවත් දේවල්.

පිරිසේ අය දැන් ළමයගෙ නමත් දන්නවා. ඔවුන් ඔහු එක්ක විහිළු තහළු පවා කලා. මේ වගේ වැදගත් පිරිසක්, සුදු මහත්තයෙකුත් එක්ක​, ඔහුත් එක්ක මේ වගේ මිතුරු වීම ගැන ළමය ගෙ හිත ආඩම්බරෙන් පිරුනා.

හවස වැඩේ අහවර වෙලා පිරිස ආපහු බෝට්ටුවට යන්න ගියා. ළමයා උපකරණ බෝට්ටුවට ගෙනිහින් දුන්නා. ඔහුට බෝට්ටුවට නගින්න අවස්ථාව ලැබුනම ළමයට ඒක අදහ ගන්න බැරි වුනා. ඒ ඔහු බෝට්ටුවකට නැගපු පළවෙනි අවස්ථාව​. බෝට්ටුව ඇතුලෙ ඉතාම පිරිසිදුයි. හැම දේම ඉතාම පිළිවෙලයි. ඔවුන්ට තේ පිළියෙල කරල තිබුනා. ළමයා සිහින ලෝකයක කිමිදෙමින් තේ බිව්වා.

ඔවුන් පිටත් වෙන වෙලාව ආවම ළමයා ආපහු ගොඩට ආවා. ඔහු වෙරළට වෙලා බෝට්ටුව නොපෙනී යනකං බලාගෙන හිටියා.

 ඊළඟ දවස් කීපය ළමයා ගත කලේ ඉතාම ආඩම්බරෙන්. ඔහු තමාගේ සහෝදර සහෝදරියන්ව සහ දූපතේ අනෙක් ළමයින්ව වැඩිය ගණන් ගත්තෙ නෑ. ඔහු කතා කරේ බොහොම ලොකු කතන්දර​. හැම වෙලේම ඔහු කිව්වා ඔහු ඉක්මනින්ම දූපත හැරදාල ගිහින් උගත්, පොහොසත් කෙනෙක් වෙනව කියලා. ටික දවසකින් ම හැමෝටම ළමයව එපා වුනා. ඔවුන් ඔහුව මග ඇරියා.

එක දවසක් ඔහුගේ සහෝදරයන් ඔහුව සෙල්ලමට ගත්තෙ නෑ කියල ළමයා අඬාගෙන අම්ම ළඟට ගියා.

"අම්මේ, ඇයි හැමෝම මාත් එක්ක තරහ​?"

"පුතේ, කවුරුත් ඔයා එක්ක තරහ නෑ. අර මහත්තුරු ආවට පස්සෙ ඔයා ඔවුන්ට සලකපු හැටි ගැන ඔවුන් කැමති නෑ."

"ඒත් ඒ මහත්තුරු මට වැදගත් තැනක් දුන්නා. අනික් ළමයි මට ගරු කරන්න ඕනෙ."

"මගෙ පුතේ, ඔයා ඒගොල්ලන්ව ගණන් ගන්නෙ නැතුව හිටියොත් ඒගොල්ලො ඔයාට තිබ්බ ගෞරවය වත් දෙන එකක් නෑ. අපි හැමෝම එකම දූපතේ මිනිස්සු. අපි හැමෝම එකම අය​. ඔයා ලොකු මනුස්සයෙක් නෙවෙයි. ඉතින් අනික් ළමයි ඔයාට අමුතුවෙන් ගරු කරන්න ඕනෙ ඇයි?"

"හොඳට අහගන්න මගෙ පුතේ, ඔයා ලබපු ගෞරවය "ෆෙන් කක්කා බොලි" (හක්ගෙඩියේ) ගෞරවය​. ඔයා දන්නවනෙ අපේ වත්තෙ මුල්ලෙ විසි කරල තියෙන ලොකු හක්ගෙඩිය​? කවුරුත් ඒක ගණන් ගන්නෙ නෑ. ඒක තියෙන්නෙ වැලි ගොඩේ. මිනිස්සු විතරක් නෙවෙයි කුකුල්ලුත් ඒක පාගනවා.


"ඒත් කාටහරි ලෙඩක් හැදුනම අපිට ඒක ඕන වෙනව​. අපි ඒක අරගෙන හොඳට සුද්ද කරල ඒක තම්බනවා. ඒ වතුර බොනවා."

"ඒත් ලෙඩේ අනීප වුනාම ආයෙත් හක්ගෙඩිය තියෙන්නෙ වැලි ගොඩේ. කවුරුත් ඒ ගැන ලොකුවට හිතන්නෙ නෑ."

ළමයා ආයෙ යාළුවන්ට ආඩම් බරකම් පෙන්නුවෙ නෑ. ඔහු යාළුවොත් එක්ක සතුටින් හිටියා.

කවුරු හරි කෙටි කාලයකට ලොකු ගෞරවයක් ලබා ගත්තම දිවෙහි රාජ්ජෙ වැසියො ඒකට කියන්නෙ "ෆෙන් කක්කා බොලි ඉස්සායි" (ලොකු හක්ගෙඩියේ ගෞරවය​) කියල​෴


- කතාව කිව්වේ ඊබ්‍රහිම්, (හලවෙලි දූපත​)

අටුවාව​

1. ෆෙන් කක්කා බොලි

ලොකු මුහුදු ගොළු බෙල්ලෙක් ගෙ කටුව දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "ෆෙන් කක්කා බොලි" කියල. සමහර අසනීප වලදි දිවෙහි රාජ්ජේ වැසියෝ මේ කටුව තම්බල ඒ වතුර බොනවා.

Monday, June 11, 2018

දිවෙහි රාජ්ජේ රජකතා - 49 (භාජනයේ තිබූ සඳ​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 භාජනයේ තිබූ සඳ


එකෝමත් එක කාලෙක අරි අතොළුවේ දගෙති දූපතේ සේකු වසල්ලි කියල මනුස්සයෙක් ජීවත් වුනා. ඔහු උස මහත කළු මනුස්සයෙක්. දත් ටික සුදුම සුදුයි. හැමෝම කිව්වෙ ඔහුට ටිකක් පිස්සු කියල​. ඒත් ඔහු හරිම හිත හොඳ මනුස්සයෙක්. ඒ නිසා හැමෝම ඔහුට ප්‍රිය කලා.

දෙමාපියන් මැරුනට පස්සෙ ඔවුන් සතුව තිබ්බ විශාල පොල් වත්ත සේකු වසල්ලිට අයිති වුනා. ඒ විතරක් නෙවෙයි, ඔහුට ධීවර බෝට්ටුවකුත් තිබුනා. මේ වත්කම් වල පිහිටෙන් ඔවුන් බොහොම සැප පහසුවට ජීවත් වුනා. සේකු වසල්ලි ගේ බිරිඳ ගේ නම මාරියම්බු. ඔවුන්ට දූවරු දෙන්නෙක් හිටියා.

එක සිකුරාදා දවසක සේකු වසල්ලි ගේ බෝට්ටුව අළුත් වැඩියාවට ගොඩට අරගෙන තිබුනා. සේකු වසල්ලි අත් උදව්වට හිටපු කොළු ගැටව් දෙන්නෙක් එක්ක බෝට්ටුවේ වතුරට වැහෙන කොටසේ බැඳිල තිබුන මුහුදු පැලෑටි සහ බෙල්ලන් හූරමින් හිටියා.

මද්දහන් වෙද්දි සේකු වසල්ලි කොල්ලො දෙන්නට  කතා කලා.

"අද සිකුරාද නොවැ. දැන් උඹල හුකුරු යාඥාවට (සිකුරාදා ජුම්මා යාඥාව​) පලයල්ල​. යන්න කලින් මතක ඇතුව ඇඟ හෝදගනිල්ලා. මම යනව මුහුදෙ නාන්න​. මම නාල ඉවරවෙලා පල්ලියට එන්නම්."

කොල්ලො දෙන්නා ගියාට පස්සෙ සේකු වසල්ලි වෙරළේ ඇවිදින්න ගියා. සුදු පාට වැලි තලයට වැටෙන මද්දහන් හිරු රැස් ඇස් කඩාගෙන යනවා.

ඔහු එකපාරටම රැල්ලට තෙමෙන හරියේ වැලි වලට යට වෙලා තිබ්බ මොකද්දෝ දිලිසෙන දෙයක් දැක්කා.

"ඒ මොකද්ද​?"

සේකු වසල්ලි එතැනට ළං වුනා. එතකොට ඔහු දැක්කා ඒ අමුතු හැඩයේ සිප්පි කටුවක් බව​.


ඔහු ඒක අතට අරගෙන පිරික්සලා බැලුවා. ඒ වගේ සිප්පි කටුවක් ඔහු කවදාවත් දැකල තිබුනේ නෑ. ඒක හරිම ලස්සනයි.

"මේක හරිම දුර්ලභ සිප්පි කටුවක්. මම මේක රදුන් (රජතුමා) ට තෑගි කරන්න ඕනෙ. එතුමා මට වටිනා තෑග්ගක් දෙයි."

මුහුදේ නාන එක අමතක කරල සේකු වසල්ලි හනිකට ගෙදර ගියා. මාරියම්බු ඈත තියාම දැක්කා ඔහුගේ මූණෙ තිබුන ලොකු හිනාව​.

"මොකද අද ලොකු සන්තෝසෙකින්?"

"මේං බලනව මට වෙරළෙ තිබිල හමුවන එක​"

ඔහු මිට මොලවගෙන හිටපු අත දිග ඇරල මාරියම්බු ට සිප්පි කටුව පෙන්නුවා.

"ආනේ හරිම ලස්සනයි. ඔයා මේකට මොකද්ද කරන්නෙ?"

"මම මේක මාලේට අරගෙන ගිහින් රදුන්ට දෙනවා. එතුමා මට ගොඩක් තෑගි බෝග දෙයි."

"ඒක හොඳයි. එතකං මම මේක පරිස්සමට අරං තියන්නං."

මාරියම්බු සිප්පි කටුව පරිස්සමට ඔතල පෙට්ටගමේ පතුලෙ හැංගුවා.

දගෙති දූපතේ ඉඳල මාලේ බලා පිටත් වෙන ඊළඟ වෙළඳ බෝට්ටුවෙ නැගිල සේකු වසල්ලි මාලේ දූපතට ගියා. ඔහු ගොඩ බැහැල කෙලින්ම ගියේ රදුන් ගෙ මාළිගාවට​. එතැන හිටපු "දොරුවාන්" (දොරටු පාලයා) අමතලා ඔහු මෙහෙම කිව්වා.

"මම ආවෙ රදුන් බැහැ දකින්න​"

"මොකද්ද උඹේ නම​?"

"දගෙති සේකු වසල්ලි"

ඔහු බොහොම ආඩම්බරෙන් කිව්වා.

දොරුවාන් මාළිගාව ඇතුලට ගිහින් රදුන් හමුවුනා.

"දගෙති දූපතේ ඉඳල සේකු වසල්ලි කියල මිනිහෙක් ඔබතුමා බැහැ දකින්න ඇවිල්ල ඉන්නවා"

රදුන් එදා හිටියෙ හරිම කම්මැලි කමෙන්.

"මම දගෙති දූපතේ කාවවත් අඳුනන්නෙ නෑ. ඒත් කමක් නෑ මිනිහව ඇතුළට එවන්න​."

සේකු වසල්ලි රදුන් ඉදිරිපිටට ආවා. සේකු වසල්ලි ව දැකපු ගමන් රදුන් දැනගත්තා ඔහුව හමුවෙන්නෙ ගත්ත තීරණය නිවැරදි එකක් කියල​. සේකු වසල්ලි ගෙ විසිළු පෙනුම දැකල රදුන්ට එක පාරටම හිනා ගියා.

"උඹ ආවෙ මොකද​?"

"මම ඔබතුමාට තෑග්ගක් ගෙනාවා"

සේකු වසල්ලි බයෙන් පැකිලෙමින් උත්තර දුන්නා.

"කෝ ඒ තෑග්ග​?"

සේකු වසල්ලි හෙමින් හෙමින් රදුන් ළඟට ගිහින් මිට මොළවාගෙන හිටපු අත දිග ඇරල සිප්පි කටුව රදුන්ට පෙන්නුවා. සිප්පි කටුව දැකපු රදුන් පුදුමයටත් සන්තෝසයටත් පත් වුනා.

"කොච්චර ලස්සන කටුවක් ද​? මේක බොහෝම දුර්ලභ එකක් වෙන්න ඕනෙ. මේ වගේ සිප්පි කටුවක් මගේ මුළු රාජධාණියෙම හමුවෙලා නෑ."

රදුන් බොහෝම කැමැත්තෙන් සිප්පි කටුව බාරගෙන සේකු වසල්ලි ට වටිනා තෑගි බෝග දෙන්න සේවකයන්ට අණ කලා.

"ඊළඟ පාර මාලෙට ආවම කෙලින්ම මාව හමුවෙන්න එන්න​. දැන් අපි යාළුවෝ"

සේකු වසල්ලිට සමුදෙමින් රදුන් එහෙම කිව්වා.

ඇත්තෙන්ම රදුන් සිප්පි කටුවටත් වඩා කැමති වුනේ සේකු වසල්ලි ගෙ විහිළු සහගත ස්වරූපයට​. නමුත් ඔහු ඒ බවක් සේකු වසල්ලිට ඇඟෙව්වෙ නෑ.

සේකු වසල්ලි බරටම තෑගි අරගෙන ආපහු දගෙති දූපතට ගියා. දූපත් වාසීන් ඔහුගෙ කතාව අහල පුදුම වුනා.

"මේ පිස්සු යකා. ඒත් දැන් මිනිහ රදුන් ගෙ යාළුවෙක්!"

ඔය විදිහට අවුරුද්දක් විතර ගත වුනා. බොදු ඊදු (රාමදාන් උපවාසය අවසන් වෙන ඊද් උත්සවය​) උත්සවයට සූදානම් වෙන්න දගෙති දූපතේ ගොඩක් දෙනා මාලෙ නගරයට යන්න ලෑස්ති වුනා. සේකු වසල්ලිත් මාලෙ යන්න සූදානම් වුනා.

මේ සැරේ ඔහු ගියේ ඔහුගේම රුවල් බෝට්ටුවේ. ඔහු රදුන්ට තෑගි විදිහට මාළු, රිහාකුරු සහ පැණි අරගෙන ගියා. බෝට්ටුව අරි අතොළුව සහ මාලේ අතොළුව අතර තියෙන ගැඹුරු මුහුදු තීරය පහු කරද්දි සේකු වසල්ලි හිටියේ බෝට්ටුවේ තට්ටුව මත දිගෑදිලා මැදියම් රැයේ සීතල සුළං රැල් විඳිමින්. ඉතාම ලස්සනට පුර හඳක් අහසේ පායලා තිබුනා. සේකු වසල්ලි තමාගෙ තෑගි අරගෙන රදුන් බැහැදකිද්දි එතුමා සතුටට පත්වෙන හැටි සිතමින් අහස දිහා බලාගෙන හිටියා.

හදිසියේම සේකු වසල්ලිට තිබහක් ආව​. බෝට්ටුවේ පිටිපස්සට වෙන්න ලොකු වතුර භාජනයක් තියල තිබුනා. සේකු වසාලි ඒ පැත්තට ගියා.

වතුර භාජනයේ මූඩිය ඇරිය විතරයි දැකපු දෙයින් ඔහු ගල් ගැහුනා. භාජනය ඇතුලේ ලස්සන පුර හඳක්!

"මම ගෙනාපු තෑගි මොන තෑගි ද​? මේ හඳ රදුන්ට ගිහින් දුන්නොත් එතුමා බොහොම සතුටු වෙයි."

සේකු වසල්ලි ලොකු රෙදි කඩක් අරගෙන පරිස්සමෙන් භාජනයේ කටට තියල කණුවකින් ගැට ගැහුවා. දැන් හඳ කොහෙවත් යන්නෙ නෑ. ඔහු තමාගැනම ඇතිවුන ස්වයං තෘප්තියෙන් ඔළුව වැනුවා. "සේකු වසල්ලි - රදුන්ට අමුතු දුර්ලභ තෑගි ගෙන එන මිනිහා".

බෝට්ටුව මාලේ වරායෙ නැංගුරම් දාපු සැනින් සේකු වසල්ලි කෙලින්ම ගියේ රදුන් බැහැදකින්න​.

සේකු වසල්ලි දැකපු හැටියෙ රදුන් බොහොම ප්‍රීතියෙන් ඔහුව පිළිගත්තා.

"ආ සේකු වසල්ලි. මගේ මිත්‍රයා. එමු ඇතුළට​."

"මම තෑගි ගෙනාවා"

"කොච්චර හොඳද​. ඒව අරගෙන එනවා."

සේකු වසල්ලි බෝට්ටුවෙ තිබුන මාළු, රිහාකුරු සහ පැණි රදුන් ඉදිරිපිටට ගෙනාවා. රදුන් ඒවා පිළිගත්තා. ඒ වගේ තෑගි දුර බැහැර දූපත් වල ඉඳල ඔහුව බැහැ දකින්න එක මිනිස්සු නිතරම අරගෙන එන දේවල්. බොහොම සාමාන්‍යය තෑගි.

"බොහොම ස්තූතියි සේකු වසල්ලි. ඒත් තමුසෙ මට තෑගි ගේන්න ඕනෙ නෑ. අපි දැන් යාළුවො නොවැ. මට තමුසෙව දැකගන්න තිබුනොත් ඇති."

සේකු වසල්ලි හිනා වුනා.

"පොඩ්ඩක් ඉන්න. මම තව තෑග්ගක් ගෙනාවා. ඒක දැක්කොත් ඔබතුමා පුදුම වේවි."

"ඒ මොකද්ද​?"

සේකු වසාලි ගේ මූණේ ලොකු හිනාවක් ඇඳුනා. ඔහුගේ පපුව ප්‍රීතියෙන් පිම්බුනා.

"මම ඔබතුමාට තෑග්ගක් විදිහට හඳ අරගෙන ආවා"

"හඳ​?"

රදුන් ඇහි බැම හකුළුවා ගනිමින් ඇහුවා.

"ඔව්. මම ඊයෙ රෑ බෝට්ටුවෙන් එනකොට මේ භාජනේ ඇතුලෙ හඳ තියෙනව දැක්කා. ඉතිං මම ඒක ඉක්මනින්ම අල්ල ගත්තා."

සේකු වසල්ලි තමා ළඟ තිබුන වතුර භාජනයට තට්ටු කරමින් කිව්වා.



"නෑ නෑ නෑ සේකු වසල්ලි. තමුසෙට වැරදිලා."

රදුන් කිව්වෙ අමාරුවෙන් හිනාව නවත්තගෙන​.

"හඳ තියෙන්නෙ භාජනය ඇතුලෙ. ඔබතුමාම කඩවැස්ම ඇරල බලන්න​."

සිද්ධ වුනේ මොනවද කියල රදුන්ට තේරුනා. ඒත් මේ නාඩගමෙන් අපූරු විනෝදයක් විඳිමින් සිටි නිසා නාඩගමේ තමාගෙ කොටස රඟපාන්න ඔහු තීරණය කලා. ඔහු ඉතාම පරිස්සමෙන් භාජනය අරගෙන හෙමින් හෙමින් කඩවැස්ම අයින් කරල භාජනය ඇතුලෙ බැලුවා.

"මේක ඇතුලෙ මොකුත් නෑ නෙ"

"මොකුත් නෑ?"

සේකු වසල්ලි හනිකට භාජනය ඇතුලෙ බැලුවා. භාජනයේ තිබුනෙ වතුර විතරයි. ඔහු පුදුමයෙන් රදුන් දිහා බලාගෙන හිටියා. ඔහුගේ කට බාගෙට ඇරිල කියලවත් ඔහුට ගානක් තිබුනෙ නෑ.

"මම කිව්වනෙ සේකු වසල්ලි. මට තමුසෙගෙ තෑගි ඕනෙ නෑ. තමුසෙ මට දීපු සිප්පි කටුව බොහොම වටිනවා. මට ඒක මගෙ ළඟ තියෙනකං තමුසෙව අමතක වෙන්නෙ නෑ."

රදුන් ඔහුගේ පිටට අනුකම්පාවෙන් තට්ටු කරමින් කිව්වා.

ඒත් සේකු වසල්ලි මාළිගාවෙන් ආවෙ බොහොම කනස්සල්ලෙන්. ඔහු කඩ වීදියෙ ඉන්න තමාගෙ යාළුවන් ව මග ඇරල කෙලින්ම තමාගෙ බෝට්ටුවට ආවා. මුළු දවසම ඔහු ගත කලේ බෝට්ටුවෙ. රෑ බෝ වුනාම ඔහු බෝට්ටුවේ තට්ටුව මත දිගෑදුනේ නිදාගන්න හිතාගෙන​.

රැළි වලින් බෝට්ටුව ඇතුලට ගහපු වතුර බෝට්ටුව ඇතුළෙ රැඳිල තිබුනා. එකපාරටම ඔහු දැක්කා හඳේ ප්‍රතිබිම්බය ඒ වතුරට වැටිල තියෙන හැටි. ඔහු වියරුවෙන් නැගිටලා "හඳේ ප්‍රතිබිම්බයට​" මහා හඬින් බැණ වැදුනා.

"උඹ කපටි අධමයා. කොහොමද උඹ එළියට පැන්නේ? උඹ නිසා අද මම රදුන් ඉස්සරහපිට බොහොම ලැජ්ජා වුනා. හිටපං උඹට මම පෙන්නන්නං."

ඔහු ළඟ තිබුන ලොකු පොල්ලක් අරගෙන "හඳේ ප්‍රතිබිම්බයට​" හොඳටම තඩිබෑවා.

ටික වෙලාවකින් බෝට්ටුවෙ පතුල හිල් වුනා. වැඩි වෙලා යන්න කලින් සේකු වසල්ලිත් එක්කම බෝට්ටුවෙ ගිලිල ගියා.


 - කතව කිව්වේ ගාගේ අයිෂාත් නාස්නීන් (මාලේ දූපත​)

1. රිහාකුරු

රිහාකුරු කියන්නෙ මාලදිවයිනටම විශේෂ කෑම වර්ගයක්. ඒවා හදන්නෙ බලමාළු වලින් උම්බලකඩ හදද්දි අතුරු ඵලයක් විදිහට​. 

උම්බලකඩ හදන්නෙ ටූනා මාළු කූරි දීර්ඝ කාලයක් ලුණු වතුරේ තම්බලා. තැම්බිල ඉවර වුනාම මාළු කූරි වතුරෙන් ඉවත් කරල අව්වේ වේලනවා. මාළු තම්බපු වතුර ලුණු රසැති සුප් එකක් විදිහට ඉතුරු වෙනවා. මාළුවගේ ලේ සහ වෙනත් කොටස් මේ වතුරට කාවැදිල තියෙන නිසා මේක පෝෂන ගුණයෙන් උසස්. 

ඒකට "බොන්ඩි"හෙවත් මාළුකටු වලින් සූරා ගන්න මාළු කොටස් වලින් හදපු බෝල එක් කරලා වතුර සම්පූර්නයෙන්ම වගේ හිඳෙනකන් මද ගින්නේ දීර්ඝ කාලයක් තැම්බීමෙන් තමයි රිහාකුරු හදන්නෙ. රිහාකුරු වල පාට සහ සොබාවය මාමයිට් වලට සමානයි.  තරමක තිත්ත රසක් සහ මාළු රස මුසු වුන රසයකින් යුක්තයි. බත්, රොෂී, අල හෝ දෙල් වගේ ප්‍රධාන කෑමක් කනකොට රස කාරකයක් විදිහට රිහාකුරු පාවිච්චි කරනවා.

Saturday, June 9, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 48 (මාළිගාවේ ඇඳ මකුණා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

 මාළිගාවේ ඇඳ මකුණා


බොහෝම ඉස්සර කාලේ දිවෙහි රාජ්ජේ රදුන් ගෙ මාළිගාවේ රදුන් ගේ ඇඳේ ඇඳ මකුණෙක් වාසය කලා. මේ ඇඳ මකුණා බොහොම උගත්, නැණවත්, ආචාරශීලී සතෙක්.

එක දවසක් උදේ මැක්කෙක් මාළිගාවට ඇතුල් වුනා. මැක්කා පැනගෙන පැනගෙන යද්දි රදුන් ගේ ඇඳට පැන්නා. මැක්කා දැක්කා ඇඳ මකුණව​.

"කොහොමද සහෝදරයා. මම ආවේ එළියේ වීදියේ ඉඳල​. එහෙ හොඳටම රස්නෙයි. දූවිලි පිරිලා. මට හරිම මහන්සියි."

"එහෙනම් විවේක ගනිං යාළුවා. මේක බොහොම සුවපහසු ඇති තැනක්. මෙතන කවදාවත් රස්නෙ නෑ. කිසි සද්දෙකුත් නෑ."

"මට උඹත් එක්ක මෙතන ටික දවසක් ඉන්න පුළුවන් ද​?"

මැක්කා එහෙම ඇහුවා. ඇඳ මකුණා උත්තර දුන්නෙ රහසින්.

"උඹට පේනවද​? මේ ඇඳේ වෙන මකුණො නෑ. රදුන් ගේ සේවකයෝ බොහොම හොඳින් කාමරය සුද්ද කරනවා. ඒත් මම බේරිල ඉන්නෙ මම බොහොම පරිස්සමෙන් වැඩ කරන නිසා. උදාහරණයකට​, මම එළියට එන්නෙ කවුරුත් පේන්න නැත්තං විතරයි. උඹටත් මෙහෙ ඉන්න ඕනෙ නං බොහොම පරිස්සමෙන් ඉන්න වෙයි. නැත්තං වැඩ වරදියි. මම කියන දේ හොඳට අහගනිං. හැම වෙලේම මම කියන විදිහට වැඩ කරපං. එතකොට අපි දෙන්නටම ගොඩක් කල් මෙතන ඉන්න පුළුවන්."

මැක්කා බොහොම සතුටින් ඒක පිළිගත්තා. ඇඳ මකුණා ඉන්න ඕනෙ විදිහ විස්තර කරද්දි මැක්කා බොහොම උවමනාවෙන් අහගෙන හිටියා.

"රදුන් බොහොම උසස් කෙනෙක්. අපි එතුමට ගරු කරන්න ඕනෙ. එතුමා නිදාගන්න ආවම මම කිසි සද්දයක් නොකර එතුමාට හොඳටම නින්ද යනකං බලාගෙන ඉන්නවා. එතුමාට හොඳටම නින්ද ගියාට පස්සෙ මම එතුමගෙ ඇඟේ එක තැනක් විතරක් දෂ්ඨ කරල අඩුත් නැති, වැඩිත් නැති ලේ ප්‍රමානයක් බොනවා. මේ විදිහට වැඩ කරාම එතුමට හොඳට නින්ද යනවා. එතුමා මම ඉන්න බවක් වත් දන්නෙ නෑ. තේරුණාද​?"

"ඔව්"

ඇඳ මකුණගෙ බුද්ධිය ගැන පුදුම වෙමින් මැක්කා කිව්වා. මැක්කා ඒ විදිහට ඉන්න පොරොන්දු වුනාට පස්සෙ දෙන්නම ඇඳේ ලෑලි අතරෙ හැංගිලා රෑ බෝ වෙනකං බලාගෙන හිටියා.


රෑ වුනාම රදුන් නිදාගන්න ආව​. ටික වෙලාවකින්ම ඔහු නින්දට වැටුනා. මැක්කා ලේ බොන්න යන්න උත්සහ කරත්, ඇඳ මකුණා ඒක වැලක්වුවා. ඇඳ මකුණා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා.

"මට කොච්චර බඩගිනියි ද​? දැන් නං බලාගෙන හිටිය හොඳටම ඇති."

එහෙම හිතපු මැක්කා එක පාරටම රජතුමාගෙ ඇඟට පැනලා දෂ්ඨ කලා. ඇඳ මකුණට ඌ වලක්වන්න වෙලාවක් ලැබුනෙ නෑ. ලේ රසයෙන් මත් වුන මැක්කා කීප පොළක් ම දෂ්ඨ කරලා ලේ උරා බිව්වා.

එක පාරටම රදුන්ට ඇහැරුනා. ඔහුගේ ඇඟ හැම තැනම පළු දාලා. ඒවා කසමින් ඔහු තමාගේ සේවිකාවන්ට කතා කලා. පහන් දල්වාගෙන සේවිකාවෝ දුවගෙන ආවා. රදුන් ඔවුන්ට කිව්වා ඇඳේ ඉන්න සතෙක් තමන්ට දෂ්ඨ කල බව​. සේවකයෝ ඇඳ පරික්‍ෂාකරල බැලුවා. එක සේවිකාවකට ඇඳේ ලෑලි දෙකක් අතරෙ හැංගිල හිටපු ඇඳ මකුණව දකින්න ලැබුනා. ඇය ඉලෝෂි (ඉරටුවකින්) ඇඳ මකුණව එළියට ගත්තා. රදුන් ඇඳ මකුණව දැකපු ගමන් ඌව මරා දාන්න අණ දුන්නා. සේවිකාව ඇඟිලි දෙකෙන් පොඩි කරලා ඇඳ මකුණව මැරුවා.

සේවිකාව ගේ ඇඟිලි දෙකට අහුවෙලා ඇඳ මකුණා පොඩි වෙලා යන හැටි මැක්කා අසල තිබුන මේසයක් උඩට වෙලා බලාගෙන හිටියා. ඇඳ මකුණා මිය ගියේ තමාගේ මෝඩකම නිසා බව මැක්කට වැටහුනා. මැක්ක ගොඩාක් පසුතැවීමෙන් රදුන් ගේ නිදන කාමරයෙන් එළියට පැන්නා.

ඌ දිගටම පැන පැන මාළිගයෙන් එළියට ගියා. ඒත් ඒ වෙද්දි පසුතැවෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ඉතිරි වෙලා තිබ්බෙ නෑ෴


- කතාව කිව්වේ හිරුන්දුගේ දොන් කොක්කෝ (මාලේ දූපත​). දොන් කොක්කෝ මාලේ රජ මාළිගයේ ලාම්පු දල්වන්නා විදිහට රාජකාරිය කළ අයෙක්.


අටුවාව​

1. රදුන්
රජතුමා. මාලදිවයිනේ පාලකයා දිවෙහි බසින් හැඳින්වුනේ "රදුන්" කියලා. මාලදිවයිනේ පාලකයන් ඉස්ලාමය වැළඳගත්තට පස්සෙ ඔවුන් "සුල්තාන්" කියන පදවිය භාවිතා කලා. ඒත් සාම්ප්‍රදායික දිවෙහි ක්‍රමයටත් තමාව හඳුන්වා ගත්තා.

උදාහරණයකට 1306 ඉඳලා 1341 වෙනකං මාලදිවයින පාලනය කළ පාලකයා ඉස්ලාමීය ක්‍රමයට "සුල්තාන් අබ්දුල් ෆාත් ජලාලුදීන් ඔස්මාර්" ලෙසත් දිවෙහි ක්‍රමයට "වීරු සිරි ලෝකාභරන මහා රදුන්" ලෙසත් හැඳින්වුනා.

Tuesday, June 5, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 1 (ෂහදා)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)

ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


පළමුවැනි කුළුණ - ෂහදා (ශ්‍රද්ධාව​)



පළමුවැනි කුළුණ හෙවත් ෂහදාවෙන් ප්‍රකාශ වෙන්නේ මුස්ලිම් වරයෙක් ගේ දෙවියන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව​.

ෂහදාව කියන්නේ අරාබි බසින් ඇති පාඨයක්.

"ලා ඉලාහ ඉල්ලා ඉලාහ්. මුහම්මදුන් රසූලු ඉලාහ්"

මේකෙ තේරුම

"අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත​. මුහම්මද් අල්ලාහ් ගේ දූතයා වේ."

ෂහදාව තමයි ඉස්ලාමයේ පදනම​. ඉස්ලාමයේ මූලිකම ඉගැන්වීම වෙන "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත" කියන එක පළමුවැනි පාඨයෙන් කියැවෙනවා. දෙවැනි පාඨයෙන් නබි තුමා විසින් ප්‍රකාශ කරන ලද පණිවුඩය දේව වචනයක් බව දෙවැනි පාඨයෙන් කියැවෙනවා. ඉස්ලාමයේ අනෙකුත් සියළුම ඉගැන්වීම් වලට පදනම් වෙන්නේ මේ සංකල්පය​.

ඉස්ලාමය පිළිගන්නා කෙනෙක් ෂහදාව තර්කයෙන් තොරව - ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුයි. අනෙක් සියළුම ඉගැන්වීම් වලට මග විවර වෙන්නේ ඒ ශ්‍රද්ධාව තුලින්.

අරාබි බසින් ලියන ලද ෂහදාව බොහෝ මුස්ලිම් වරු විවිධ ස්ථාන වල ප්‍රදර්ශනය කරනවා. ඒ තමාගේ ශ්‍රද්ධාවේ ප්‍රකාශනයක් විදිහට​. ඒ වගේම සවුදි අරාබියේ සහ ඇෆ්ගනිස්ථානයේ ජාතික ධජයන් ගේ ෂහදාව අඩංගු වෙනවා.

Friday, June 1, 2018

ගල් අඟුරු බලාගාර​


ගල් අඟුරු කියන්නේ අද ලෝකයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිතා වන ඉන්ධනයක්. 2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 39% ක් සිදු කෙරුනේ ගල් අඟුරු යොදාගෙන​. වර්තමානයේ ලංකාවෙත් ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% පමණ සිදු කෙරෙන්නේ ගල් අඟුරු භාවිතයෙන්.


මේ ලිපියෙන් කියන්න යන්නේ ගල් අඟුරු බලාගාරයක විදුලිය උත්පාදනය සිදුවෙන ආකාරය​.

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් ලැබෙන තාපයෙන් වතුර රත් කරලා, වාෂ්ප හදලා, ඒ වාෂ්පයෙන් බමණයක් කරකවලා එමගින් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමෙන්. ඒ වගේ සරළව කිව්වට මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්.


ගල් අඟුරු බලාගාරයක ප්‍රධාන කොටස්


ගල් අඟුරු බලාගාරයක් ප්‍රධාන කොටස් 16 කින් සමන්විතයි.

1. ගල් අඟුරු අංගනය (coal yard)
2. ගල් අඟුරු ප්‍රවාහන පද්ධතිය (coal conveyor system)
3. ගල් අඟුරු  කුඩු කරනය (pulverizer / crusher)
4. වා පූර්ව තාපකය (air pre-heater)
5. දාහකය (burner)
6. බොයිලේරුව (boiler)
7. චිමිනිය (stack)
8. වාෂ්ප බමණය (steam turbine)
9. ඝනීකාරකය (condenser)
10. සිසිලන කුළුණ (cooling tower)
11. ජල රක්‍ෂිතය (water reserve)
12. අළු තැන්පතුව (ash storage)
13. ජනන යන්ත්‍රය (generator)
14. පරිණාමකය (transformer)
15. වහරු අංගනය (switch yard)
16. සම්ප්‍රේෂණ රැහැන් (transmission lines)



1. ගල් අඟුරු අංගනය (coal yard)



ගල් අඟුරු අංගනය කියන්නෙ නැවෙන් බාන ගල් අඟුරු පාවිච්චි කිරීමට පෙර ගබඩා කරල තියෙන ස්ථානය​. මේක විශාල එළිමහන් බිම් කඩක්. ඒ බිම් කඩේ සකස් කළ ස්ථාන වල ගල් අඟුරු කැට ගොඩ ගහල තියෙනවා.


 2. ගල් අඟුරු ප්‍රවාහන පද්ධතිය (coal conveyor system)



ගල් අඟුරු ප්‍රවාහන පද්ධතියෙන් කරන්නෙ ගල් අඟුරු අංගනයේ සිට අවශ්‍යය පරිදි බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන යාම​. මෙහිදී යොදාගන්නේ චලනය වෙන පටි (conveyor belt) පද්ධතියක්. ගල් අඟුරු අංගනයේදී යන්ත්‍රානුසාරයෙන් ගල් අඟුරු මේ පටි වලට පැටවූ පසු, පටි මගින් ඒවා තාවකාලිකව ගබඩා කරන්න විශාල අසුරණ (coal bin) කරා යොමු කෙරෙනවා. බලාගාරයට අවශ්‍යය වෙන විදිහට ගල් අඟුරු ලබා ගන්නේ ඒ තාවකාලික අසුරණ වලින්. එතැනදිත් කුඩු කරනය දක්වා ගල් අඟුරු අරගෙන යන්නෙ චලනය වෙන පටි මතින්.


3. ගල් අඟුරු  කුඩු කරනය (pulverizer / crusher)



ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු තියෙන්නෙ කුඩා කැට විදිහට​. මේවා දාහකයට යවන්න කලින් කුඩු බවට පත් කරන්න ඕනෙ. ඒ වඩා හොඳ දහනයක් සඳහා. ඒ සඳහා ගල් අඟුරු කුඩු කරනය පාවිච්චි කෙරෙනවා. කුඩු කරනයේදී විශාල ඇඹරුම් ගල් තුනක් මගින් ගල් අඟුරු කැඩ සියුම් කුඩු බවට පත් කෙරෙනවා.


 4. වා පූර්ව තාපකය (air pre-heater)



 ගල් අඟුරු දහනය කරන්න පාවිච්චි කරන දාහකයට දෙන වාතය සැපයුම දාහකයට යවන්න කලින් රත් කරන්න ඕනෙ. ඒ වඩා හොඳ දහනයක් සඳහ​. ඒකට තමයි වා පූර්ව දාහකය භාවිතා කෙරෙන්නෙ. මේ සඳහා භාවිතා කරන්නෙ දාහකයෙන් ඉවත් වෙන රත් වූ දුම. වාත පොම්පයක් මගින් වායුගෝලීය වාතය දාහකයෙන් ඉවත් වෙන රත්වූ දුම් බටය මතින් යවනවා. එහිදී වාතය රත් වූ දුම් වල ඇති තාපය උරාගෙන තමාගේ උෂ්නත්වය වැඩි කර ගන්නවා. මේකෙන් වායුගෝලයට මුදාහැරෙන දුම් වල උෂ්නත්වය අඩු වීමේ අමතර වාසියකුත් ලැබෙනවා.


5. දාහකය (burner)



කුඩු කරන ලද ගල් අඟුරු දාහකය තුලට ඇතුල් කරාට පස්සෙ, ඒවා දාහකය තුලදී දහනය කෙරෙනවා. දහනයෙන් නිපදවෙන ගිනි දළු නිකුත් වෙන්නේ බොයිලේරුවට​.


6. බොයිලේරුව (boiler)



බොයිලේරුව සමන්විත වෙන්නේ විශාල බට පද්ධතියකින්. මේ බට ස්ථානගත කරල තියෙන්නෙ ගල් අඟුරු දාහකට ඉහළින්. ගල් අඟුරු දහනයේදී ජනිත වෙන තාපය කෙලින්ම එල්ල වෙන්නෙ මේ බට වලට​. බොයිලේරුවට එක පසකින් වතුර ඇතුල් කරාම දාහකයෙන් ලැබෙන තාපය උරාගෙන ඒවා වාෂ්ප බවට පත් වෙනවා. ඒ හැදෙන වාෂ්ප බොයිලේරුවේ අනෙක් පසින් එළියට ගන්නවා.

දාහකයට වාතය ලබා දෙන්න පෙර ඒවා රත් කරනව වගේම බොයිලේරුවට ඇතුල් කරන්න කලින් වතුරත් රත් කරනවා. ඒකටත් භාවිතා වෙන්නෙ තාපකයෙන් ඉවත් වෙන රත් වූ දුම්.


 7. චිමිනිය (stack)



දාහකයෙන් ඉවත් වෙන දුම චිමිනිය හරහා වායුගෝලයට මුදා හැරෙනවා. මේ රත් වූ දුම දාහකයට ඇතුල් කරන වාතය සහ බොයිලේරුවට ඇතුල් කරන ජලය රත් කරන්න යොදා ගැනෙවා. ගල් අඟුරු බලාගාරයේ පරිසර දූෂනය සිදු වෙන පළමුවන තැන තමයි චිමිනිය​. චිමියෙන් නිකුත් වෙන දුමේ නයිට්‍රජන් ඔක්සයිඩ (NOx), සල්ෆර් ඔක්සයිඩ (SOx), කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ දහනය නොවූ ගල් අඟුරු කුඩු අඩංගුයි.


 8. වාෂ්ප බමණය (steam turbine)



බොයිලේරුවෙන් එළියට යන වාෂ්ප කෙලින්ම වාෂ්ප බමණය ට ඇතුල් කෙරෙනවා. වාෂ්ප බමණය කුඩා තල විශාල ප්‍රමානයකින් සමන්විතයි. මේ තල හරහා වාෂ්ප ගමන් කිරීමේදී වාෂ්ප බමණය කැරකෙනවා. වාෂ්ප බමණයක් කැරකෙන්නේ තප්පරයට වට 50 ක් වගේ අධික වේගයකින්. මේ නිසා බමණයේ ඊෂාව (shaft) බෙයාරිං පද්ධතියක් මත තියල තියෙනවා. මේ බෙයාරිං සඳහා නිරන්තරයෙන් ලිහිසි තෙල් (lubrication) ලබාදෙන්න ඕනෙ.


9. ඝනීකාරකය (condenser)



වාෂ්ප බමණයට හානි වීම වැලක්වීමට ජල වාෂ්ප හදන්න භාවිතා කරන ජලය විශේෂ ප්‍රතිකර්ම (treatment) වලට ලක් කරන්න ඕනෙ. මේ නිසා වාෂ්ප බමණයෙන් ඉවත් වෙන වාෂ්ප බැහැර කරන්නෙ නෑ. ඒ වාෂ්ප නැවතත් ඝනීභවනය කරලා ජලය බවට පත් කරලා ආපහු බොයිලේරුවට ඇතුල් කරනවා. ඒ කියන්නෙ වාෂ්ප හදන්න භාවිතා කරන්නෙ එකම වතුර​. මේ ඝනීභවනය සිදු කරන්නේ ඝනීකාරකය තුළදී. ඝනීකාරකය සිහින් බට රාශියකින් සමන්විතයි. මේ සිහින් බට ගමන් කරන්නේ සිසිලන ජලය ගෙනියන නල මතින්. ඒ බට වලට වාෂ්ප ඇතුල් කරාම සිසිලන ජලය විසින් ඒවායේ තාපය උරාගැනීමෙන් වාෂ්ප ජලය බවට පත් වෙනවා.


10. සිසිලන කුළුණ (cooling tower)



ඝනීකාරකයට භාවිතා කරන සිසිලන ජලය ලබා ගන්නේ ගඟකින් හෝ මුහුදෙන්. නමුත් ඝනීකාරකයේදී සිසිලන ජලය රත් වෙන නිසා ඒ රත් වූ ජලය කෙලින්ම ආපහු ගඟට හෝ මුහුදට මුදා හරින්න බෑ. ඊට කලින් ඒ රත් වූ ජලය සිසිලන කුළුන මගින් සිසිල් කළ යුතුයි. සිසිලන කුළුනේදී කරන්නේ රත් වූ ජලය වාත ධාරාවක් හරහා ගමන් කරවීම​. මෙහිදී ජලයේ ඇති තාපය වාතය මගින් උරා ගන්නවා. සිසිල් වූ ජලය නැවතත් ගඟට හෝ මුහුදට මුදා හැරෙන අතර රත් වූ වාතය සිසිලන කුළුනින් වායුගෝලයට මුදා හැරෙනවා. මේ රත් වූ වාතය එක්ක ජල වාෂ්පත් සිසිලන කුළුනෙන් මුදාහැරෙන නිසා සිසිලන කුළුනක් විශාල දුමක් පරිසරයට එක් කරන බව බැලූ බැල්මට පේනවා. නමුත් ඇත්තෙන්ම ඒ ජල වාෂ්ප​.


11. ජල රක්‍ෂිතය (water reserve)


ඝනීකාරකයේදී ජලය බවට පත් කල වාෂ්ප නැවතත් බොයිලේරුවට යැවෙන තුරු රැස් කරල තියන්නේ ජල රක්‍ෂිතයේ.


12. අළු තැන්පතුව (ash storage)



ගල් අඟුරු දාහකයෙන් ඉවත් වෙන දහනය වූ ගල් අඟුරු අළු (fly ash) දාහකය යටින් එළියට ගන්නවා. මේ ගල් අඟුරු අළු ඉවත් කරන තුරු ගබඩා කරල තියෙන ස්ථානය තමයි අළු තැන්පතුව​. ගල් අඟුරු අළු තමයි ගල් අඟුරු බලාගාරයක පරිසර දූෂනය සිද්ධ වෙන දෙවන ස්ථානය​. ගල් අඟුරු අළු විවිධ කර්මාන්ත සඳහා අමු ද්‍රව්‍යයක් වශයෙන් භාවිතා වෙනවා.


13. ජනන යන්ත්‍රය (generator)



වාෂ්ප බමණය ඊෂාවක් (shaft) හරහා ජනන යන්ත්‍රයට සම්බන්ධ කරල තියෙන්නේ. එමගින් බමණය කැරකෙන වේගයෙන්ම ජනන යන්ත්‍රයත් කැරකෙනවා. ජනන යන්ත්‍රය සමන්විත වෙන්නේ විශාල දඟර දෙකකින්. එක දඟරයක් ඊෂාව මත සවි කරල තියෙනවා. ඒ දඟරය හැඳින්වෙන්නේ භ්‍රමකය (rotor) කියලා. අනෙක් දඟරය භ්‍රමකයට වටා සවි කරල තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ස්ථායුකය (stator) කියල. භ්‍රමකය තමයි වාෂ්ප බමණයත් එක්ක කැරකෙන්නේ. භ්‍රමකයට සරළ ධාරාවක් ලබා දුන්නම ස්ථායුකයේ ප්‍රත්‍යාවර්ථ ධාරවක් ජනනය වෙනවා. ඒ ප්‍රත්‍යාවර්ථ ධාරාව තමයි අපි ප්‍රයෝනයට ගන්නේ.


14. පරිණාමකය (transformer)



ජනන යන්ත්‍රයේ ජනනය වෙන ධාරාවේ වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 10-20 අතර ප්‍රමානයේ වෙනවා. මේ අඩු වෝල්ටීයතාවයෙන් විදුලිය සම්ප්‍රේෂනය කරොත් අධික ශක්ති හානියක් සිදු වෙන නිසා ඊට කලින් වෝල්ටීයතාවය වැඩි කරගන්න පරිණාමකයක් භාවිතා කෙරෙනවා. පරිණාමකයේදී වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 200 - 400 අතර ප්‍රමානයකට වැඩි කෙරෙනවා (ලංකාවේ නම් කිලෝ වෝල්ට් 220).

පරිණාමකය සමන්විත වෙන්නෙ එකිනෙකට ඉතා ළඟින් සවි කල දඟර දෙකකින්. මේ දඟර වල පොට ගනනේ අනුපාතයට සමාන අනුපාතයකින් එක දඟරයකට සපයන ධාරාවේ වෝල්ටීයතාවය අනෙක් දඟරයේ ප්‍රේරණය වෙනවා.


15. වහරු අංගනය (switch yard)



පරිණාකයෙන් වෝල්ටීයතාවය ඉහළ නැංවූ විදුලිය ඊළඟට යන්නේ වහරු අංගනයට​. වහරු අංගනය භාවිතා වෙන්නේ පරිණාමක සහ සම්ප්‍රේෂන රැහැන් සම්බන්ධ කරගන්න​​. වහරු අංගනයේ ඇති උපාංග භාවිතයෙන් අපිට පුළුවන් සම්ප්‍රේෂන රැහනක් හෝ පරිණාමකයක් අවශ්‍යය පරිදි සක්‍රීය හෝ අක්‍රිය කරන්න​.

පැරණි වහරු අංගන එළිමහනේ ඇති උපාංග වලින් සමන්විත වුනත්, නවීන වහරු අංගන සම්පූර්නයෙන්ම සීල් කරන ලද උපාංග වලින් සමන්විත ගෘහස්ත වහරු අංගන (GIS) විදිගට දකින්න පුළුවන්.


16. සම්ප්‍රේෂණ රැහැන් (transmission lines)



සම්ප්‍රේෂන රැහැන් වලින් කරන්නේ විදුලිය රට පුරා බෙදා හැරීම​.