Saturday, December 22, 2018

එක්සත් සුවදීව් ජනරජය



පසුබිම​


මාලදිවයින සමන්විත වෙන්නෙ අතොළු කියල හැඳින්වෙන දූපත් පොකුරු 26 කින්. මේවා උතුරේ ඉඳන් දකුණට විසිරිලා තියෙනවා. දකුණේම පිහිටි අතොළු තුන වෙන්නේ හුවදු, ෆුවාමුලාකු සහ අඩ්ඩු.

මේ දකුණෙන්ම පිහිටි අතොළු තුන භූගෝලීය වශයෙන් අනෙක් අතොළු වලින් වෙන් වෙලා තියෙන්නෙ. දකුණු දිග අතොළු තුන සහ උතුරු දිග අතොළු අතර තරමක් විශාල ඕඩයක් තියෙනවා. මේක හැඳින්වෙන්නේ "සුවදීව් ඕඩය​" කියලා. සුවදිව් කියන්නෙ අතීතයේ හුවදු අතොළුව හඳුන්වපු නමක්.


මාලදිවයින ක්‍රි.පූ. 300 දී පමණ ලංකාවෙන් යන මිනිස්සුන් ගෙන් ජනාවාස වෙනවා. මේ අය හැඳින්වෙන්නේ "දිවෙහි" කියලා. ඔවුන් කතා කළ භාෂාව "දිවෙහි". ඔවුන් ගේ ආගම වුනේ වජ්‍රයානික බෞද්ධ​.

මාලදිවයිනේ මුල් කාලයේ ඒකීය මධ්‍යගත පාලනයක් තිබුනේ නෑ. ඒ ඒ අතොළුව ස්වාධීනව අතොළු ප්‍රධානියෙක් යටතේ පාලනය වුනා. නමුත් සියළුම අතොළු අතර පොදු සංස්කෘතියකින් බැඳුනු සහයෝගීතාවයක් තිබුනා.

ලංකාවට වඩාත්ම සමීපයෙන් තිබුනේ දකුණු දිග අතොළු නිසා දිවෙහි වරු මාලදිවයින ජනාවාස කිරීම ඇරඹුවේ දකුණේ ඉඳලා. මේ නිසා අතීතයේ පටන් දිවෙහි සංස්කෘතියේ මධ්‍යස්ථානය වුනේ දකුණු දිග අතොළු. අදටත් මාලදිවයිනේ බෞද්ධ නටබුන් වැඩිපුරම තියෙන්නෙ දකුණු දිග අතොළු වල​. විශේෂයෙන්ම හුවදු අතොළුවේ විශාල ආරාම සංකීර්ණයක නටබුන් හමුවෙනවා. මේ ආරාමයන් එදා දිවෙහි සංස්කෘතියේ අරටුව විදිහට පවතින්න ඇති.

 දකුණු දිග අතොළු වාසීන් අතර පොත් කියවීම සහ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම මුල්බැසගෙන තිබුනා. මේ නිසා දකුණු දිග අතොළු වල පදිංචිකරුවන් අතර තමා අනෙක් අතොළු වල පදිංචි කරුවන්ට වඩා සංස්කෘතිකව උසස් බව හැඟීමක් තිබුනා. ඔවුන් උතුරු දිග අතොළු සැලකුනේ "ග්‍රාමීය​" ප්‍රදේශ විදිහට​.

මාලදිවයින පළමු වරට එක්සත් වෙන්නේ ලංකාවෙන් ගිය කුමාරයෙක් යටතේ ක්‍රි.ව​. 1100 දී පමණ​. මේ කුමාරයා තමාගේ අගනුවර විදිහට තෝරා ගන්නේ උතුරු දිග අතොළුවක දූපතක් වුනු මාලේ දූපත​. ක්‍රි.ව​. 1153 දී මාලදිවයිනේ පාලකයා (රදුන්) ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා. ඒ එක්කම ඔහු තමාගේ සියළුම යටත් වැසියන් ඉස්ලාමය වැළඳගත යුතු බවට අණ කරනවා. කෙටි කලකින් මාලදිවයිනේ බෞද්ධ ආගම යටපත් වෙලා ඉස්ලාමය ඉස්මතු වෙනවා.

මේ වෙනස් කම් දෙක මාලදිවයින් ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් දෙකක්. මේ සිදුවීම් දෙකත් එක්ක මාලදිවයිනේ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වෙන්නෙ මාලේ සහ ඒ අවට පිහිටි අතොළු. දකුණු දිග අතොළු වලට මේ දක්වා තිබුනු වැදගත් කම නැති වෙලා යනවා. වෙළඳාම ගොඩ නැගෙන්නේ අළුත් අගනුවර වුනු මාලේ වටා. ඒ එක්කම ඉස්ලාමය මත පදනම් වෙන නව සංස්කෘතියේ මධ්‍යස්ථානය වෙන්නෙත් මාලේ.

කාලයත් එක්ක මාලදිවයින ක්‍රමයෙන් මධ්‍යගත පාලනයක් කරා යොමු වෙනවා. රදුන් තමාගේ බලය වැඩි වැඩියෙන් අතොළු ප්‍රධානීන් මත පනවනවා. අතොළු වලට තිබුනු ස්වාධීනත්වය නැති වෙනවා.

ඒත් දකුණු දිග අතොළු තුන අනෙක් අතොළු වලට වඩා වැඩි ස්වාධීනත්වයක් භුක්ති විඳපු බවක් තමයි පේන්නෙ. උදාහරණයක් වශයෙන් හුවදු අතොළුවේ වෙළඳ නැව් තමාගේ කොඩිය විදිහට භාවිතා කලේ රදුන් ගේ කොඩිය වුනු තනි රතු කොඩිය නෙවෙයි - තමාගේ අතොළු ප්‍රධානියාගේ කොඩිය.


ඒ වගේම දකුණු දිග අතොළු වල බුදු දහම ඇදහීම ඉතුරු වී තිබුනු බවත් පේනවා. 1600 තරම් මෑතකදී රදුන් දකුණු දිග අතොළු වල කරපු සංචාරයකදී හුවදු අතොළුවේ මිනිස්සු බුදු දහම ඇදහූ බව දැකලා ඔවුන්ට තදින් දඬුවම් කළ බව සඳහන්.

ඒ වගේම අනෙක් අතොළු වල වෙළඳාම ප්‍රධාන වශයෙන් රඳා පැවතුනේ මාලේ දූපත සමඟ​. ඒ අතොළු වල වෙළෙන්දෝ තමාගේ බඩු ගෙනාවේ මාලේ දූපතට​. නමුත් දකුණු දිග අතොළු වල වෙළඳාම ප්‍රධාන වශයෙන් රඳා පැවතුනේ ලංකාව සමඟ​. මේ නිසා ඔවුන් යම් කිසි ආර්ථික ස්වාධීනත්වයකුත් ලබාගෙන තිබුනා.

කාලයත් එක්ක දිවෙහි සංස්කෘතියේ ප්‍රධාන ධාරාව බවට මාලේ සංස්කෘතිය පත් වෙනවා. නමුත් දකුණු දිග අතොළු වැසියන් අතර තමා සංස්කෘතිකව අනෙක් අයට වඩා උසස් කියන හැඟීම නැති වෙන්නේ නෑ. ඒ වගේම ඔවුන් අතර අධ්‍යාපනයට තිබුණු නැඹුරුව අඩු වුනෙත් නෑ. අදටත් මාලදිවයිනේ වැඩිම උගතුන් බිහිවෙලා තියෙන්නෙ දකුණු දිග අතොළු වලින්.

දකුණු දිග අතොළු වල සංස්කෘතිය දිවෙහි සංස්කෘතියේ උප ධාරාවක් විදිහට දිගටම පවතිනවා. අදටත් දිවෙහි භාෂාවේ උප භාෂා අතර මේ වෙනස දකින්න පුළුවන්. දකුණු දිග අතොළු තුන හැරුණු විට අනෙක් සියළුම අතොළු වල භාවිතා වෙන්නේ "මාලේබස්" නමින් හැඳින්වෙන උපභාෂාව​. දකුණු දිග අතොළු තුනේ හුවදුබස්, මුලාකුබස් සහ අඩ්ඩු බස් නමින් හැඳින්වෙන උපභාෂා තුනක් භාවිතා වෙනවා. මේ දකුණු දිග උපභාෂා මාලේ උපභාෂාවෙන් තරමක් වෙනස්. මාලේබස් කතා කරන කෙනෙක්ට ඒවා හරිහැටි තේරුම් ගැනීම අපහසුයි. ඒ වගේම ඒවා සිංහල බසට වඩාත් සමීපයි.


මාලදිවයින සහ බ්‍රිතාන්‍යය බලපෑම​


මාලදිවයින ක්‍රි.ව​. 1100 පමණ ඉඳලා පාලනය වුනේ රජ කෙනෙක් යටතේ. ඔහු දිවෙහි සම්ප්‍රදාය අනුව "රදුන්" විදිහටත්, ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව "සුල්තාන්" විදිහටත් හැඳින්වුනා. ඔහුගේ අගනුවර පිහිටලා තිබුනේ උතුරු දිග දූපතක් වුනු මාලේ දූපතේ.

1860 විතර ඉඳලා බ්‍රිතාන්‍යය මාලදිවයින ගැන උනන්දු වුනා. ඔවුන් මුලින්ම මාලදිවයිනට අතපෙවීම පටන් ගන්නේ මාලදිවයිනේ පදිංචි වෙලා හිටපු ඉන්දියානු ජාතික වෙළඳ ප්‍රජාව ගේ ආරවුල් වලට මැදිහත් වීමෙන්. ඒ ඔවුන් බ්‍රිතාන්‍යය යටත් වැසියන් නිසා.

මේ අත පෙවීම් දුර දිග ගිහින් 1887 දී මාලදිවයින "බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක්" බවට පත් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර කටයුතු වලදී රදුන්ට පූර්ණ ස්වාධීනත්වය හිමි වුනත්, අන්තරජාතික සබඳතා වලදී බ්‍රිතාන්‍යයට මැදිහත් වෙන්න පුළුවන් කියන එකඟතාවය​. මාලදිවයින පිළිබඳ වගකීම පැවරෙන්නේ ලංකාවේ බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයාට​.

ඇත්තෙන්ම මාලදිවයිනේ අභ්‍යන්තර දේශපාලනය ගැන බ්‍රිතාන්‍යයන් උනන්දු වෙන්නෙ නෑ. ඒ කටයුතු මාලදිවයින් වැසියන්ට අවශ්‍යය විදිහට සිද්ධ වෙනවා.

මේ තත්වය වෙනස් වෙනවා දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භයත් එක්ක​. ඉන්දියානු සාගරයේ සතුරු නාවුක කටයුතු පාලනය කරන්නත්, තමාගේ ගුවන් බලය වර්ධනය කරන්නත් බ්‍රිතාන්‍යයන් අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුරක් පිහිටුවනවා. මේ කඳවුර යුද්ධය අවසන් වීමත් සමඟම අතහැර දමනවා.



නමුත් මාලදිවයින  බ්‍රිතාන්‍යයන්ට අතිශය වැදගත් වෙනවා 1956 දී ලංකාවේ බණ් ඩාරනායක රජය ගන්නා පියවරක් නිසා. බණ් ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ ගුවන් හමුදා සහ නාවුක හමුදා කඳවුරු ඉවත් කරගන්න අණ කරනවා. මේ නිසා මැද පෙරදිග සහ අග්නිදිග ආසියාව අතර බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු අතර "අතරමැද නවාතැන් පොළක්" විදිහට ඉතුරු වෙන්නේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුර විතරයි.

මේ නිසා බ්‍රිතාන්‍යයන් 1957 දී ගැන් ගුවන් හමුදා කඳවුර නැවත පිහිටුවනවා.

මේ හමුදා කඳවුර නිසා අඩ්ඩු අතොළුවේ වැසියන් විශාල ප්‍රමානයකට රැකියා ලැබෙනවා. ඒ වගේම අඩ්ඩු වැසියන් සහ බ්‍රිතාන්‍යය හමුදා සෙබළු අතර ඉතාම වාසි දායක වෙළඳාමකුත් ගොඩ නැගෙනවා.


ප්‍රථම ජනරජය​ සහ එහි බිඳවැටීම​


මාලදිවයින 1953 වෙනතුරු හැඳින්වුනේ "මාලදිවයින් රාජධාණිය​" (Sultanate of the Maldives) කියලා. 1944 ඉඳලා 1952 වෙනතුරු මාලදිවයිනේ සුල්තාන් වෙන්නේ අබ්දුල් මජීද් දිදී.

ඔහු 1952 දී මිය යාමෙන් පසුව මාලදිවයිනේ රාජ සභාව ඔහුගේ අගමැති වරයා වුනු මුහම්මද් අමීන් දිදී සුල්තාන් විදිහට තෝරා ගන්නවා. ඒත් මුහම්මද් අමීන් දිදී සමාජවාදී අදහස් දැරූ ප්‍රතිසංස්කරණ වාදියෙක්. ඔහු ඒ වෙනුවට සුල්තාන් තනතුර අහෝසි කරලා 1953 ජනවාරි 1 වැනිදා මාලදිවයින ජනරජයක් විදිහට ප්‍රකාශයට පත් කරනවා.

මාලදිවයින් ජනරජයේ ප්‍රථම ජනාධිපති ධූරයට පත් වෙන්නේ මුහම්මද් අමීන් දිදී.

ජනාධිපති මුහම්මද් අමීන් දිදී
ජනාධිපති අමීන් දිදී කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම​, ධීවර කර්මාන්තය ජනසතු කිරීම​, ප්‍රසිද්ධියේ දුම් පානය තහනම් කිරීම ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙනවා. නමුත් මේ ප්‍රතිසංස්කරණ මාලදිවයිනේ සාම්ප්‍රදායික හරයන් සමඟ ගැටීම නිසා අමීන් දිදී ජනප්‍රියත්වයෙන් පිරිහෙනවා.

මේ නිසා 1953 දී ඔහු ලංකාවට ආව අවස්ථාවක කුමන්ත්‍රනයකින් ඔහුව බලයෙන් පහ කරලා ඔහුගේ උප ජනාධිපති ඊබ්‍රහිම් දිදී බලය අල්ලා ගන්නවා. නැවත ලංකාවට එන අමීන් දිදී වෙනත් දූපතකට පිටුවහල් කරනවා. මාස හතරකට පසු නැවත බලය අල්ලා ගැනීමේ අදහසින් මාලේ දූපතට එන අමීන් දිදී කුපිත වුනු ජන සමූහයක් විසින් පහර දීම නිසා දරුණු තුවාල ලබනවා. මේ තුවාල වලින් ඔහු මාසයකට පමණ පසු මිය යනවා.

මේ සිදුවීමෙන් මාස තුනකට පස්සේ හිටපු සුල්තාන් අබ්දුල් මජීද් දිදී ගේ පුතා වන මුහම්මද් ෆරීද් දිදී නැවත සුල්තාන් තනතුරට පත් කෙරෙනවා. මාලදිවයිනේ ප්‍රථම ජනරජය අවසාන වෙනවා.

සුල්තාන් මුහම්මද් ෆරීද් දිදී
සුල්තාන් ෆරීද් දිදී ගේ අගමැති වරයා විදිහට පත් වෙන්නේ රජ පෙළපත වුනු හුරා පෙළපතට නෑකම් තිබුනු තරුණ දේශපාලකයෙක් වුනු ඊබ්‍රහිම් නසීර්.

අගමැති ඊබ්‍රහිම් නසීර්
ඉතා හොඳ දේශපාලන ඉවක් තිබුණු ඊබ්‍රහිම් නසීර් සුල්තාන් වරයාගේ පාලනයේ එදිනෙදා කටයුතු සියල්ලම පාහේ තමාගේ අතට ගන්නවා. ඔහු නව ප්‍රතිසංස්කරණ රැසක් මාලදිවයිනට හඳුන්වා දෙනවා. මේ ප්‍රතිසංස්කරණ අතරින් කීපයක් දකුණු දිග අතොළු වැසියන්ට තදින් බලපානවා.

ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ලංකාව සමඟ පැවැත්වූ ඍජු වෙළඳාමට පැණවූ බාධක​. මාලදිවයින් ඉතිහාසයේ මුල් වරට ලංකාවට යාම සඳහා පාස්පෝට් සහ වීසා අනිවාර්‍යය කිරීමේ නීතියක් පැනවීමත් සමඟම දකුණු දිග වැසියන්ට පාස්පෝට් සහ වීසා ලබා ගැනීම සඳහා නිතර මාලේ නගරයට යාමට සිදු වෙනවා. ගමනාගමන පහසුකම් දුර්වල තත්වයක තිබූ ඒ දිනවල මෙය ඔවුන්ට වියදම් අධික කටයුත්තක් වුනා. මේ නිසා ඔවුන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගයට බලවත් පහරක් එල්ල වෙනවා.

මීට අමතරව සෑම අතොළුවකම මධ්‍යම රජයේ නිලධාරියෙක් රඳවනු ලැබූ අතර​, සියළුම වෙළඳ ගනුදෙනු සඳහා ඔහුගේ අවසරය ලබා ගැනීමටත්, ඒ සඳහා මධ්‍යම රජයට බදු ගෙවීමටත් සිදු වෙන අයුරින් තවත් නීතියක් පැනවෙනවා. අනෙකුත් අතොළු වලට මේ නීතිය තදින් බල නොපෑවත්, බ්‍රිතාන්‍යය හමුදා කඳවුර සමඟ ඉතා වාසි සහගත වෙළඳාමක නිරත වුනු දකුණු දිග අතොළු වැසියන්ට මෙය තදින් බලපානවා.

මේ නව නීති ගෙන ඒමේ අරමුණ වෙන්නේ මාලදිවයිනේ පාලනය වඩාත් මධ්‍යගත කිරීමට​. නමුත් දකුණුදිග අතොළු වල වැසියන් මෙය දකින්නේ ඈත අතීතයේ සිට ඔවුන් භුක්ති විඳි වරප්‍රසාද වලට​ මාලේ රජය ඇඟිලි ගැසීමක් විදිහට​. මේ නිසා දකුණු දිග අතොළු වාසීන් අතර මාලේ රජය සහ අගමැති ඊබ්‍රහිම් නසීර් පිළිබඳ දැඩි අප්‍රසාදයක් ගොඩ නැගෙනවා.

මෙහි උත්ප්‍රාසය වන්නේ අගමැති ඊබ්‍රහිම් නසීර් දකුණු දිග අතොළුවක් වුනු ෆුවාමුලාක් හි උපත ලැබූ අයෙක් වීම​.


උණුසුම​


මේ අතර තුර අර්බුධය පුපුරා යන සිද්ධියක් සිදු වෙනවා. 1958 දී අඩ්ඩු අතොළුවේ හිතදු දූපතේ ධනවත් ව්‍යාපාරිකයෙක් සහ වැදගත් පවුලක සාමාජිකයෙක් වුනු අහමද් දිදී මාලේ රජයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් අත් අඩංගුවට ගන්නවා. අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමේදී නිලධාරීන් දෙදෙනා විසින් අහමද් දිදී ට පහර දෙනවා.

මේ නිලධාරීන් ගේ නොහික්මුණු සහ රළු හැසිරීම නිසා අඩ්ඩු වැසියන් ඔවුන් ගැන ඉන්නේ අප්‍රසාදයෙන්. ඔවුන් අතොළුවේ වැදගත් පවුලක සාමාජිකයෙක්ට පහර දීම නිසා හිතදූ දූපතේ දැඩි නොසන්සුන් කමක් හට ගන්නවා. මිනිසුන් සමූහයක් වශයෙන් එක් රැස් වෙලා නිලධාරීන්ට පහර දෙනවා. ඔවුන් පණ බේරා ගන්නේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුර තුළ සැඟවීමෙන්.

පසුව මේ පිළිබඳව සිදු කරන පරික්‍ෂනයේදී රාජ්‍යය නිලධාරීන්ට පහර දීමේ වරදට කීප දෙනෙක්ට ප්‍රසිද්දියේ කස පහර දීමෙන් දඬුවම් කෙරෙනවා. ප්‍රසිද්ධියේ කස පහර දීම දිවෙහි බසින් හැඳින්වෙන්නේ "බුරිහං නැගුන්" නමින්. එහි තේරුම "පිටේ හම ගලවනවා" යන්නයි. කස දෙකකින් මාරුවෙන් මාරුවට කරන පහර දීම අවසන් වෙන්නේ තුවාල වල මිරිස් කුඩු ඇතිල්ලීමෙන්. මේ දඬුවම් ක්‍රමය ඉතාම වේදනාකාරී මෙන්ම අතිශයින්ම අවමානය ගෙන දෙන එකක්.

දඬුවමට ලක් වුනු එක් අයෙක් වුනේ අහමද් දිදී ගේ පුතා වුනු 42 හැවිරිදි අබ්දුල්ලා අෆීෆ් දීදි. ඔහු අඩ්ඩු අතොළුවේ සිටි ඉතාම ජනප්‍රිය වගේම උගත් අයෙක් වුනා. ඉංග්‍රීසි සහ අරාබි භාෂාවන් චතුර ලෙස කථා කිරීමට හැකියාව තිබුනු අබ්දුල්ලා අෆීෆ් බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ භාෂා පරිවර්තකයෙක් සහ බ්‍රිතාන්‍යය සහ මාලදිවයින් රජය අතර සම්බන්ධීකාරක නිලධාරියා විදිහට සේවය කළා.

අබ්දුල්ලා අෆීෆ් දීදි
අබ්දුල්ලා අෆීෆ් ට ප්‍රසිද්ධියේ කස පහර දීමත් සමඟම මුළු මහත් අතොළුව පුරාම මාලේ රජයට විරෝධී හැඟීමක් පැතිර යනවා.


බ්‍රිතාන්‍යය මැදිහත් වීම​


අගමැති ඊබ්‍රහිම් නසීර් මාලදිවයින බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස පැවතීම සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු තිබීම අනුමත කරන්නේ නෑ. ඒත් ඔහුට බ්‍රිතාන්‍යයන්ට කෙලින්ම විරුද්ධ වෙන්න ශක්තියක් නෑ. මේ නිසා ඔහු බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු සම්බන්ධයෙන් විවිධ කෙනහිලිකම් කරනවා.

හමුදා කඳවුර පිහිටි භූමිය බදු දීමේ ගිවිසුම පරක්කු කිරීම සහ කඳවුරේ නව ඉඳි කිරීම් සිදු කිරීම තහනම් කිරීම මේ අතරින් ප්‍රධානයි. මේ කෙනහිලි කම් නිසා බ්‍රිතාන්‍යයන් මාලේ රජය ගැන අප්‍රසදායෙන් පසුවෙනවා. අඩ්ඩු අතොළුවේ අළුතෙන් ඇති වන තත්වය ඔවුන් දකින්නේ අළුත් අවස්ථාවක් විදිහට​.


කැරැල්ල​


1959 ජනවාරි 1 වැනි දා මාලේ රජය වෙළඳ සහ ධීවර බෝට්ටු සඳහා නව බද්දක් හඳුන්වා දෙනවා. ඒ එක්කම අඩ්ඩු අතොළුව පුරා කැරලි කෝලහාල පැතිර යනවා.

හිතදු දූපතෙන් ඇරඹෙන මේ කැරලි ඉක්මනින්ම මුලු අතොළුව පුරාම පැතිර යනවා. මිනිස්සු රජයේ ආයතන වලට පහර දීලා ඒවා ගිනිබත් කරනවා. රජයේ නිලධාරීන් පණ බේරාගන්න බ්‍රිතාන්‍යය හමුදා කඳවුරට පැනලා යනවා.


කැරලි නවත්වන්න බ්‍රිතාන්‍යයන් කිසිම දෙයක් කරන්නේ නෑ. ඔවුන් රහසිගතව කැරලිකරුවන්ට ආධාර කරනවා.

මේ කැරලි වලට අබ්දුල්ලා අෆීෆ් සහභාගී වෙන්නෙ නෑ.


එක්සත් සුවදිව් ජනරජය​


ජනවාරි 3 වැනිදා අඩ්ඩු අතොළුවේ නායකයන් එක් වෙලා මාලදිවයිනෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරන්න තීරණය කරනවා. ඔවුන් බ්‍රිතාන්‍යය හමුදා කඳවුරට ඇවිත් බ්‍රිතාන්‍යයන් ගේ සහය ඉල්ලා සිටිනවා.

බ්‍රිතාන්‍යයන් කැරැල්ලට සහය දෙන්න එකඟ වෙනවා. නමුත් එක කොන්දේසියක් මත​. නව රාජ්‍යයයේ නායකත්වය කාටත් පිළිගත හැකි අයෙකුට ලබා දිය යුතුයි. සාකච්ඡා වලින් පස්සෙ සියල්ලෝම එකඟ වෙනවා නායකත්වය අබ්දුල්ලා අෆීෆ් ට ලබා දෙන්න​.

අබ්දුල්ලා අෆීෆ් මුලදී මේ යෝජනාවට විරුද්ධ වුනත්, කීප වරක්ම කෙරුනු ඉල්ලීම් වලින් පසු නායකත්වය පිළි ගන්න එකඟ වෙනවා.

කැරැල්ල ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලටත් පැතිර යනවා. කැරලි කරුවන් රාජ්‍යය නිලධාරීන්ට පහර දීලා ඔවුන් පළවා හරිනවා. අබ්දුල්ලා අෆීෆ් වහාම දූත කණ්ඩායම් ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලට පිටත් කර හරින්නේ ඔවුන් ගේ සහය ලබාගන්න​.

අඩ්ඩු අතොළුවේ සිට පැමිණෙන දූත පිරිසට ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලදී ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමක්. සියළුම දූපත් නව රාජ්‍යයට එක් වීමට කැමැත්ත පළ කරනවා. නමුත් හුවදු අතොළුවේ දෙවැනි ප්‍රධාන දූපත වන ගද්දු දූපතේ ප්‍රධානියා පමණක් කැරලිකරුවන්ට එක් වෙන්න කැමති වෙන්නේ නෑ.  ඔහු රහසින් මාලේ දූපතට පලා ගිහින් කැරැල්ල ගැන තතු හෙළි කරනවා.

අතොළු තුනේම නියෝජිතයන් සහභාගී වුනු සභාවක් මගින් 1959 මාර්තු 13 වැනිදා නව රාජ්‍යය ප්‍රකාශයට පත් කරනවා. ඔවුන් එය නම් කරන්නේ "එක්සත් සුවදිව් ජනරජය​" නමින්.

ජාතික ධජය සහ රාජ්‍යය ලාංඡනය​
නව රාජ්‍යය සංවිධානය වෙන්නේ පාර්ලිමේන්තුවක් සහිත ජනරජයක් විදිහට​. රාජ්‍යය නායකයා විදිහට ජනාධිපති අබ්දුල්ලා අෆීෆ් පත් වෙනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ වැඩිහිටි පිරිමින් ගේ ඡන්දයෙන්. මැතිවරණයේ පළමු අදියර අඩ්ඩු අතොළුව සඳහා පැවැත්වෙනවා. මේ මාලදිවයින් ඉතිහාසයේ පුළුල් ජන සහභාගීත්වයෙන් යුතුව මැතිවරණයක් පැවැත්වුනු පළමු අවස්ථාව​.

එක්සත් සුවදිව් ජනරජයේ පාර්ලිමේන්තුව​

ඒ අනුව නියෝජිතයන් 52 ක් පළමු පාර්ලිමේන්තුව වෙනුවෙන් අඩ්ඩු අතොළුවෙන් පත් වෙනවා. ඔවුන් දූපත් අතර බෙදී යන්නේ පහත විදිහට​.

හිතදූ - 17
මීදූ - 7
හුළුදූ - 8
ගැන් ෆේදූ - 10
මරදූ ෆේදූ - 3
මරදූ - 6
ජනාධිපති විසින් පත් කළ - 1

සුවදිව් කොඩිය නංවාගත් ධීවර බෝට්ටු

පළමු ප්‍රහාරය​


අගමැති ඊබ්‍රහිම් නසීර් මේ කැරැල්ල ගැන දක්වන්නේ අතිශය සතුරු ආකල්පයක්. ඔහු වහාම බලය යොදා කැරැල්ල මැඩ පවත්වන්න අදහස් කරනවා.

මාලදිවයිනේ මේ කාලය වෙද්දි යුධ හමුදාවක් හෝ නාවුක හමුදාවක් නෑ. ජාතික ආරක්‍ෂක බල​ඇණිය නමින් හැඳින්වුනු කුඩා ආරක්‍ෂක හමුදාවක් පමණක් මාලේ රජය සතු වෙනවා. ඔවුන් සතුව දියුණු ආයුධ හෝ බෝට්ටු තිබුනේ නෑ. මේ නිසා කැරලි කරුවන්ට එරෙහිව බලය යෙදවීම ප්‍රශ්නයක් වෙනවා.

ඊබ්‍රහිම් නසීර් පළමු ප්‍රහාරය එල්ල කරන්න තෝරා ගන්නේ කැරලි කාර අතොළු තුනෙන් කුඩාම අතොළුව වුන ෆුවාමුලාකු අතොළුව​. ඔහු අවිගත් සෙබළු කුඩා බෝට්ටුවක් ෆුවමුලාකු අතොළුවට පිටත් කර හරිනවා.

නමුත් ඔහුගේ තෝරාගැනීම බුද්ධිමත් එකක් නෙවෙයි. ෆුවාමුලාකු අතොළුවේ පහසුවෙන් ගොඩ බැසිය හැකි වරායන් ඇත්තේ නෑ. දූපත් වැසියන් ගොඩබිමට කිට්ටු වන බෝට්ටුවට ගල් සහ පොළු වලින් පහර දෙනවා. ආරක්‍ෂක භටයන් පිළිතුරු ලෙස කැරලි කරුවන්ට වෙඩි තිබ්බත්, වෙරළේ උස් වැලි පරවලට මුවා වීමෙන් වෙඩි පහරෙන් ආරක්‍ෂා වෙන්න ඔවුන්ට හැකි වෙනවා. ප්‍රහාරය අසාර්ථක වෙන අතර ආරක්‍ෂක භටයන් පසු බසිනවා.

1959 ජූලි මාසයේ අගමැති වරයා නැවත වරක් පහර දෙනවා. මෙවර ඔහු තෝරා ගන්නේ හුවදු අතොළුව​. ප්‍රහාර මෙහෙයවීම සඳහා ඔහු පුද්ගලිකවම සහභාගී වෙනවා. ඔවුන් ප්‍රහාරය සඳහා පිටත් වෙන්නේ "මාලදිවයින් තරුව​" (Maldive Star) නමින් හැඳින්වුනු බෝට්ටුවකින්.


ඔවුන් ගේ පළමු ඉලක්කය වෙන්නේ ගද්දු දූපත​. ඔවුන් එනවිට ගද්දු දූපතේ සුවදිව් ධජය ඔසවා තියෙනවා. මෙගාෆෝනයකින් කතා කරමින් නසීර් ඔවුන්ට ධජය පහත හෙළන්න අණ කරනවා. දූපත් වාසීන් ධජය පහත දැමූ පසුව ආරක්‍ෂක භටයින් සමඟ නසීර් ගද්දු දූපතට ගොඩ බසිනවා. දූපතේ කැරලි නායකයන් අත් අඩංගුවට ගැනෙනවා.

ඊළඟට ඔවුන් හුවදු අතොළුවේ ප්‍රධාන දූපත වුනු තිනදු දූපත බලා යනවා.

ප්‍රහාරය ගැන තිනදු වැසියන්ට මුලින්ම ආරංචි වෙනවා. ඔවුන් ප්‍රහාරයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. මුහුදු වෙරළේ වැලි කොට්ට ගොඩ ගසන්නේ වෙඩි ප්‍රහාර වලින් ආරක්‍ෂා වෙන්න​.

ගද්දු දූපතේ වගේම නසීර් මෙගාෆෝනයකින් කතා කරමින් සුවදිව් ධජය පහත හෙළන්න අණ කරනවා. ඒත් දූපත් වාසීන් ඔහුගේ අණ නොතකා හරිනවා. ආරක්‍ෂකයන් දූපත් වාසීන්ට වෙඩි තියනවා. දෙදෙනෙක් මිය යනවා. ගැටුම් මධ්‍යයේම ආරක්‍ෂකයන් දූපතට ගොඩ බසිනවා. දූපත් වාසීන් ඔවුන්ට ගල්, පොළු, උල් කළ ලී හෙලි සහ හුණු ගල් වලින් පහර දෙනවා. නමුත් වෙඩි තැබීමෙන් කැරලි කරුවන් පළවා හරින්න ඔවුන් සමත් වෙනවා.

දූපතේ ප්‍රධාන වෙළඳුන් සහ නායකයන් ගේ ගෙවල් කීපයක් ගිනිබත් කරන්නත්, වරායේ නවතා තිබෙන බෝට්ටු ගිනිබත් කරන්නත් නසීර් අණ දෙනවා. ආරක්‍ෂක භටයන් ධනවත් වෙළෙන්දන් ගේ නිවෙස් මංකොල්ල කනවා. බොහෝ දෙනා අත් අඩංගුවට ගැනෙනවා.

අත් අඩංගුවට පත් කැරලි කරුවන්

දූපතේ ආරක්‍ෂක මුරපොළක් පිහිටුවන නසීර් සිරකරුවන් සමඟ මාලේ බලා ආපසු යනවා. මාලේ හිදී සිරකරුවන්ට දරුණු වධ හිංසා පමුණුනවනවා. ඔවුන් බොහෝ දෙනා සිර භාරයේදීම මිය යනවා. ඒ අතර තිනදු දූපතේ නවතා යන ආරක්‍ෂකයන් දූපත් වාසීන්ට නොයෙකුත් හිරිහැර කරනවා. ස්ත්‍රීන් කිහිප දෙනෙක් දූෂනය කෙරෙනවා.

වෙළඳාමට අවහිර වීම නිසා හුවදු අතොළුව පුරාම දැඩි ආහාර හිඟයක් ඇති වෙනවා.

නසීර් ඊළඟ ප්‍රහාරය අඩ්ඩු අතොළුවට එල්ල කරන්න ප්‍රථමයෙන් බ්‍රිතාන්‍යයන් වහාම මලයාවේ සිට හමුදා ඛණ්ඩයක් අඩ්ඩු අතොළුවට කැඳවනවා. බ්‍රිතාන්‍යය සෙබළුන් ගෙන් ආයුධ ලබා ගන්නා අඩ්ඩු වැසියන් ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ නිසා නසීර් අඩ්ඩු අතොළුවට පහර දීමේ අදහස අත් හැර දානවා.


අඩ්ඩු අතොළුව​


මේ අතර නව සුවදිව් රජය අඩ්ඩු අතොළුවේ සංවර්ධන වැඩ අරඹනවා. ඔවුන් ගේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ අධ්‍යාපනයට​. මෙය අධ්‍යාපනය ගැන සාම්ප්‍රදායිකව දකුණු දිග වැසියන් ගේ තිබුණු උනන්දුව පිළිඹිබු කරනවා. අඩ්ඩු අතොළුවේ තිබුනු පාසල් කීපයක් ම ප්‍රතිසංස්කරණය කරන නව රජය ඒවායේ සේවය සඳහා ලංකාවෙන් ගුරුවරු ගෙන්වනවා.

ඒ අතර බ්‍රිතාන්‍යය හමුදා කඳවුර සමඟ සහ ලංකාව සමඟ වෙළඳාම පෙර නොවූ විරූ තරම් දියුණුවට පත් වෙනවා. වෙළඳාමෙන් අඩ්ඩු අතොළුවට විශාල ධනයක් ගලා එනවා. බ්‍රිතාන්‍යයන් සමඟ ගනුදෙනු කෙරුනේ සහ බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ සේවය කළ අඩ්ඩු වැසියන්ට පඩි ගෙවුනේ ස්ටර්ලිං පවුම් වලින්. අඩ්ඩු අතොළුව ඉතාමත් සමෘධිමත් කාලයක් ලබනවා.

ඒ අතර නව රජය කුඩා අරක්‍ෂක හමුදාවක් සංවිධානය කරනවා. මේ නව ආරක්‍ෂක හමුදාව සෙබළු 20 කින් සමන්විත වෙන අතර​, ඔවුන් ගේ නිළ ඇඳුම වෙන්නේ සුදු අත් කොට කමිසය සහ නිල් සරම​.

ඒත් බ්‍රිතාන්‍යයන් සුවදිව් ජනරජයට කොයිතරම් සහය දුන්නත්, අබ්දුල්ලා අෆීෆ් බලාපොරොත්තු වුනු විදිහට ඔවුන් නිළ වශයෙන් එක්සත් සුවදිව් ජනරජය පිළිගන්නේ නෑ.


මාලේ රජය සහ බ්‍රිතාන්‍යය අතර නව ගිවිසුම​


මේ අතර නසීර් තමාගේ තුරුම්පුව පාවිච්චි කරනවා. ඔහු බ්‍රිතාන්‍යයන් සමඟ හමුදා කඳවුර සම්බන්ධයෙන් නව ගිවිසුමකට එලැඹෙනවා. 1960 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍යයන් සහ මාලේ රජය නව ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට හමුදා කඳවුර කැමති ආකාරයකට පාවිච්චි කරන්න ඉඩ දෙන්න මාලේ රජය එකඟ වෙන අතර, හැකි තරම් ඉක්මනින් හමුදා කඳවුර ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් එකඟ වෙනවා. හමුදා කඳවුර වෙනුවෙන් බ්‍රිතාන්‍යය රජය මාලේ රජයට පවුම් ලක්‍ෂයක මුදලක් ලබා දෙනවා. ඊට අමතරව දෙරටේ සුහදතාවය වර්ධනය කිරීම සඳහා නව සංවර්ධන ව්‍යාපෘති සඳහා පවුම් හත් ලක්‍ෂ පණස් දහසක ණය ආධාර බ්‍රිතාන්‍යයන් ලබා දෙනවා.

මේ නව ගිවිසුමත් සමඟම බ්‍රිතාන්‍යය නිල වශයෙන් එක්සත් සුවදිව් ජනරජයට තමා දැක්වූ සහය නතර කරන බවට ප්‍රකාශ කරනවා. ඒ එක්කම ඔවුන් මලයාවෙන් ගෙන්වූ හමුදා ඛන්ඩය ආපසු කැඳවනවා.

ඊට පසුව බ්‍රිතාන්‍යයන් අබ්දුල්ලා අෆීෆ් හමුවෙලා නව රජය විසුරුවා හරින්න ඔහුට බලපෑම් කරනවා. ඒත් ඔහු ඊට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. ඒ උත්සහය අසාර්ථක වන තැන බ්‍රිතාන්‍යයන් අළුත් යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව අනුව දකුණු දිග අතොළු වලට අභ්‍යන්තර කටයුතු වලදී  මාලේ රජයෙන් සම්පූර්නයෙන්ම වෙන් වූ ස්වාධීනත්වයක් ලැබෙන කවුන්සිලයක් පිහිටුවීමටත්, දකුණ සහ උතුර සුල්තාන් වරයා යටතේ එකම රටක් විදිහට පවතින විදිහටත් සැකැස්මක් ඔවුන් යෝජනා කරනවා. මේ යෝජනාවට සුවදිව් රජයෙන් යම්කිසි එකඟතාවයක් ලැබුනත්, නසීර් ඊට දැඩි ලෙස විරුද්ධ වෙනවා.


දෙවැනි කැරැල්ල


මේ විදිහට සාකච්ඡා අසාර්ථක වෙද්දි 1961 මැද භාගයේදී හුවදු අතොළුවේ ඉඳලා රහසිගත දූත පිරිසක් අබ්දුල්ලා අෆීෆ් හමුවෙන්න එනවා. ඔවුන් එන්නේ හුවදු අතොළුව නැවත එක්සත් සුවදිව් ජනරජයේ පාලනයට නතු කිරීම ගැන සාකච්ඡා කරන්න​. අබ්දුල්ලා අෆීෆ් වහාම "ආක්‍රමනික හමුදාවක්" සකස් කරනවා.

මේ "ආක්‍රමනික හමුදාව​" සමන්විත වෙන්නේ හුවදු අතොළුවේ සිට එන දූත පිරිසෙන්, බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ සේවය කරන හුවදු වැසියන් ගෙන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අඩ්ඩු වැසියන් ගෙන්. පිරිස 150 දෙනෙක් ගෙන් සමන්විත වෙනවා. ඔවුන් සාගතයෙන් පෙළෙන හුවදු වැසියන්ට බෙදා දෙන්න ආහාර සහ ආයුධ ලෙස භාවිතා කරන්න යකඩ පොළු බෝට්ටු වල පටවාගෙන රහසින්ම හුවදු අතොළුව බලා යනවා.

රෑ බෝවුනු පසු හොරෙන්ම තිනදු දූපතට ගොඩ බහින කැරලි කරුවන් දූපතට විදුලිබලය සපයන ඩීසල් ජෙනරේටරයට වැලි දැමීමෙන් එය අක්‍රිය කරලා කළුවරේම නසීර් ගේ ආරක්‍ෂක භටයන්ට සහ රාජ්‍යය නිලධාරීන්ට පහර දෙනවා. පහුවදා උදේ වනවිට ඔවුන් තිනදු දූපතේ බලය අල්ලා ගන්නවා.

තිනදු දූපතේ බලය කැරලි කරුවන් යටතට පත් වුනු පසු එක් රැස් වී සිටින​ දූපත් වාසීන්

තිනදු දූපතේ බලය තහවුරු කර ගන්නා කැරලි කරුවන් අනෙකුත් දූපත් වලට ආහාර බෙදා දෙනවා. ඉක්මනින්ම මුළු අතොළුවම නැවතත් සුවදිව් ජනරජය යටතට පත් වෙනවා.


සමූලඝාතනය​


හුවදු අතොළුවේ ඇති වුනේ මේ දෙවැනි කැරැල්ල මැඩ පවත්වන්න ඊබ්‍රහිම් නසීර් කලබල වෙන්නේ නෑ. ඔහු පහර දෙන්නේ 1962 ජනවාරි 31 වැනිදා.

එදා තිනදු දූපතේ තද වැහි සහිත දවසක්. හවස් වෙද්දි වෙරළේ හිටපු දූපත් වැසියන් ඈත මුහුදේ බෝට්ටුවක් දකිනවා. ඒ "රිදී රළය​" (Silver Crest) නමින් හැඳින්වුනු අගමැති ඊබ්‍රහිම් නසීර් ගේ බෝට්ටුව​. දූපත් වාසීන් කලබලයට පත් වෙලා ආරක්‍ෂිත ස්ථාන කරා දුවනවා. බෝට්ටුව දූපතට ගොඩ බහින්නේ නෑ.  එය තිනදු දූපතට නුදුරු මුහුදේ නැංගුරම් දාලා තියෙනවා.

පහුවදා උදේම නසීර් මෙගාෆෝනයකින් දූපත් වාසීන් අමතලා සුවදිව් කොඩිය පහත හෙලන්න අණ කරනවා. ඒත් කිසි කෙනෙක් කොඩිය පහත හෙලන්නේ නෑ. කුඩා බෝට්ටුවකින් වෙරළට එන ආරක්‍ෂක භටයන් කීප දෙනෙක් වෙඩි තියන්න පටන් ගන්නවා. දූපත් වැසියෙක් හිසට වැදුනු වෙඩි පහරින් මිය යනවා.

මාලේ රජයේ ආරක්‍ෂක භටයන් රැගත් දෝනියක්

දූපතට ගොඩ බහින ආරක්‍ෂක භටයන් හතර අතට වෙඩි තබමින්, ගෙවල් ගිනි තියමින්, ධනවත් වෙළඳුන් ගේ ගෙවල් මංකොල්ල කමින් දැඩි භීෂනයක් ඇති කරනවා. දූපත් වැසියන් භීතියෙන් හැංගෙනවා.

තිනදු දූපතේ ධනවත් වෙළඳ නිවසක්

මේ අතරේ අගමැති නසීර් දූපතට ගොඩ බහිනවා. ඔහු කැරලි නායකයන් ගේ නම් ලැයිස්තුවක් කියවමින් ඔවුන්ට භාර වෙන ලෙසට අණ කරනවා. සමහර කැරලි නායකයන් රජයට භාර වෙනවා. එදා හවස් වෙද්දී මාලේ රජය යටතේ ජීවත් වෙන්න කැමති සියළුම දෙනාට තිනදු දූපතෙන් ඉවත් වෙලා අසල දූපත් වලට යන ලෙස නසීර් අණ කරනවා.

තිනදු දූපතට ගොඩ බසින නසීර්

භීතියෙන් ඇළලී ගිය දූපත් වාසීන් කුඩා බෝට්ටු වල නැගලා අවට තියෙන කුඩා, මිනිස් වාසයෙන් තොර දූපත් වලට පලා යනවා. බෝට්ටු වල නැග ගන්න අසමත් වෙන අය කරවටක් මුහුදු වතුරේ ගිලෙන තරම් දුරමුහුදට ගිහින් එහි රැඳී ඉන්නවා. නසීර් ගේ ආරක්‍ෂකයන් මුළු දූපතම ගිනිබත් කරනවා. දූපතේ රැඳී ඉන්න සියල්ලෝම මරා දානවා.

බෝට්ටු වල නැගී පලා යන තිනදු වාසීන්

මේ භීෂනය දවස් තුනක් පුරා තියෙනවා. අවට දූපත් වලට පලා ගිය අය ආහාර සහ වතුර හිඟ කමින් දැඩි දුෂ්කරතා වලට ලක් වෙනවා. පිපාසයෙන්, කුසගින්නෙන් සහ කම්පනයෙන් සමහර දෙනා මිය යනවා.

භාර වුනු කැරලි නායකයන්ව මාලේ දූපතට රැගෙන යනවා. ඒ අතර ඒ කාලයේ මුළු මාලදිවයිනේම ධනවත්ම ව්‍යාපාරිකයා වුනු අහමඩ් කලේෆාන් සහ ඔහුගේ පුතා වුනු අබ්දුල්ලා කතීබ් ඉන්නවා. මේ සියළුම කැරලි නායකයන් මාලේ හිදී අත් අඩංගුවේම දස වධ පැමිණවීමෙන් මරා දැමෙනවා.

අත් අඩංගුවට පත් කැරලි නායකයෙක්

නැවත තිනදු දූපතේ මිනිස්සු පදිංචි වීම තහනම් කෙරෙනවා. අවට දූපත් වලට පලා ගිය අය ක්‍රමයෙන් වෙනත් මිනිස්සු වාසය කරන දූපත් වලට සංක්‍රමනය වෙනවා. එහිදීත් ඔවුන්ට කුසගින්නෙන් සහ වෙනත් උවදුරු වලින් නොයෙක් පීඩා පැමිණෙනවා

මේ සංහාරයේදී මිය ගිය ගණන 2400 ක් පමණ වන බවට විශ්වාස කෙරෙනවා.

හුවදු අතොළුවේ විශාලම දූපත ඒ විදිහට මුළුමනින්ම විනාශ කර දැමෙන්නේ හුවදු අතොළුවේ දෙවැනි කැරැල්ල මර්ධනය කරමින්.


එක්සත් සුවදිව් ජනරජයේ අවසානය​


බ්‍රිතාන්‍යයන් මුහුණ දෙන්නේ අසීරු අවස්ථාවකට​. කැරලිකාර රජයකට සහය දීම නිසා ඔවුන් ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙනවා. ඒනිසා ඔවුන් සුවදිව් ජනරජය අවසන් කර දැමීමට තීරණය කරනවා.

ඔවුන් නැවතත් අබ්දුල්ලා අෆීෆ් සමඟ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා වලට අඩ්ඩු වැසියන් ගෙන් එල්ල වෙන්නෙ දැඩි විරෝධයක්. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව අඩ්ඩු අතොළුවේ උද්ඝෝෂන ඇති වෙනවා.

අඩ්ඩු අතොළුවේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව උද්ඝෝෂනයක්

සාකච්ඡා අසාර්ථක වූ තැන බ්‍රිතාන්‍යයන් කෙලින්ම සුවදිව් රජයට විරුද්ධව වැඩ කරනවා. ඔවුන් අඩ්ඩු අතොළුවේ තැන තැන සුවදිව් රජයට එරෙහිව රැස්වීම් පවත්වනවා. මේ රැස්වීම් වලදී ඔවුන් වෙළඳුන් සහ දූපත් නායකයන් අමතා නැවත මාලේ රජය සමඟ එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ රැස්වීම් වලිනුත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති තැන ඔවුන් කෙලින්ම බලය පාවිච්චි කරනවා. සුවදිව් ජනරජය අමතා කෙරෙන අණ කිරීමකින් පැවසෙන්නේ 1963 සැප්තැම්බර් 23 වෙනිදා වන විට සුවදිව් ජනරජය විසුරුවා හැරලා, සුවදිව් කොඩිය පහත හෙලලා මාලදිවයිනේ කොඩිය ඔසවන විදිහට​.

අබ්දුල්ලා අෆීෆ් ට මේ අණ කිරීමට එකඟ වෙනවා හැරෙන්න වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නෑ. ඔහු ඊට කීකරු වෙලා සුවදිව් කොඩිය පහත හෙලලා මාලදිවයිනේ කොඩිය ඔසවනවා.

දින දෙකකට පස්සේ ෆුවාමුලාකු අතොළුවත් සුවදිව් කොඩිය පහත හෙලනවා.

එක්සත් සුවදිව් ජනරජය එතනින් නිමාවට පත් වෙනවා.


පසු කතාව​


සුවදිව් ජනරජයේ ජනාධිපති අබ්දුල්ලා අෆීෆ් බ්‍රිතාන්‍යයන් ගේ ආරක්‍ෂාව ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයන් ඔහුව සී ෂෙල්ස් දූපත් වලට රැගෙන යනවා. මාලදිවයින් රජය ඔහුට නැවත මාලදිවයිනට පැමිණීම තහනම් කරනවා. ඔහු 1993 දී මිය යන තුරු ජීවත් වෙන්නේ සී ෂෙල්ස් දිවයින් වල​. අදටත් ඔහු දකුණු දිග අතොළුවල ඉතාම ගෞරවයෙන් සිහිපත් කෙරෙනවා. ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ "අහරුමෙංගෙ අෆීෆු" (අපේ අෆීෆ්) කියලා.

අබ්දුල්ලා අෆීෆ් පවුල සමඟ​

1968 දී සුල්තාන් වරයා මිය ගිය පසු ඊබ්‍රහිම් නසීර් මාලදිවයින ජනරජයක් බවට ප්‍රකාශ කරලා එහි ජනාධිපති ධූරයට පත් වෙනවා. ඔහුගේ පාලනය යටතේ මාලදිවයින ආර්ථික දියුණුවක් සහ නවීකරනයක් ළඟා කරගන්නවා.

1978 දී ඔහුගේ රජයේ ඇතිවන අභ්‍යන්තර අර්බුධයකින් ඔහුගේ ප්‍රවාහන ඇමතිවරයා වන මුහම්මද් අබ්දුල් ගයූම් බලය අල්ලා ගන්නවා. නසීර් සිංගප්පූරුවට පලා යනවා. ගයූම් රජය රාජ්‍ය මුදල් වංචා කිරීමේ වරදට නසීර්ට සිර දඬුවම් නියම කරනවා. නසීර් නැවත මාලදිවයින්ට එන්නේ නෑ. ඔහු 2008 දී සිංගප්පූරුවේදී මිය යනවා.

තිනදු දූපතේ නැවත පදිංචි කිරීම් වෙන්නේ 1966 දී. අද තිනදු දූපත දකුණු හුවදු අතොළුවේ ප්‍රධාන දූපත​. එහි වර්තමාන ජනගහණය 5000 ක්.

දකුණු දිග අතොළු වැසියන් අදටත් සුවදිව් ජනරජය පිළිබඳ සිහි කරන්නේ ආශ්වාදයෙන්. අදටත් කැරැල්ල පිළිබඳ විවිධ සංකේත දකුණු දිග අතොළු වලදී දකින්න පුළුවන්. තිනදු දූපතේ පාපන්දු කණ්ඩායමේ කොඩිය සුවදිව් ජනරජයට ඉතාම සමීපයි. තිනදු දූපතේ ඇති ප්‍රසිද්ධ අවන්හලක නම "1962".

තිනදු පාපන්දු පිලේ කොඩිය ලෙලවන ක්‍රීඩා ලෝලීන්

1 comment:

  1. නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි ලිපියට! මමත් ඉන්නේ මාලදිවයිනේ. නමුත් මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete