Saturday, June 6, 2020

බර අඩු කරන හැටි



තමාගෙ සිරුරේ බර වැඩි වෙන එක අද අතමිට හිඟ නැති බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම බර වැඩිවුනොත් අඩු කරගන්න එක ඉතාම අපහසු දෙයක්. බර වැඩිවීම කියන්නෙ හෘද රෝග, දියවැඩියාව, හන්දි වේදනා, කොන්දේ අමාරු වගේ ඉතාමත් කරුමක්කාර ලෙඩ ගණනාවකට මුල පිරීමක් වෙන්නත් පුළුවන්.

මේ කතා කරන්න යන්නෙ බර වැඩිවෙන හැටි සහ සාර්ථකව බර අඩු කරගන්න හැටි.

 

බර වැඩි වෙනවා කියන්නෙ මොකද්ද​? 




බර "වැඩියි" කියන්නේ මොකද්ද​? බර "වැඩි" වෙන්නේ මොකකට සාපේක්‍ෂවද​?

අපේ උස කියන්නෙ බොහෝ විට උපතින් සහ පොඩි කාලෙ ලැබෙන පෝෂණය අනුව ලැබෙන දෙයක්. ඒක පොඩිම කාලෙ පැන්නට පස්සෙ වෙනස් කරන්න බෑ. ඒ වගේම අස්ථි පංජරයේ හෙවත් සිංහලෙන් කිව්වොත් බොඩි ෆ්‍රේම් එකේ ප්‍රමානයත් ඒ වගේ උපතින් සහ පොඩි කාලෙ ලැබෙන පෝෂණය මත ලැබෙන දෙයක්. ඒකත් පසුව වෙනස් කරන්න බෑ.

එතකොට තමන් වැඩිහිටි වයසට එළඹෙද්දි තමාගේ උස සහ අස්ථි පංජරයේ ප්‍රමානය ෆික්ස් වෙලා ඉවරයි. ඒගැන දැන් කරන්න දෙයක් නෑ.

නමුත් බර එහෙම නෙවෙයි. බර පහසුවෙන් වෙනස් වෙන සුළුයි.

එතකොට​, අපේ උස​, අස්ථි පංජරයේ ප්‍රමානය, වයස සහ ලිංගය (ස්ත්‍රී/පුරුෂ බව​) අනුව අපේ ශරීරයේ "තියෙන්න ඕන​" බරක් තියෙනවා (හරියටම කිව්වොත් බර පරාසයක්). අපේ බර මේ පරාසය ඉක්මවන කොට තමයි අපි කියන්නේ බර වැඩියි කියලා.

බටහිර වෛද්‍ය චිද්‍යාව මගින් ඒ ඒ උසට, ලිංගයට සහ වයසට අනුව තියෙන්න ඕන බරක් ගණනය කරලා, වගු ගත කරලා තියෙනවා. ඒකට කියන්නෙ "ශරීර ස්කන්ධ දර්ශකය" (Body Mass Index - BMI) කියලා. ඕනෑම කෙනෙක්ට තමාගේ තියෙන්න ඕන බර මේ වගුව මගින් බලා ගන්න පුළුවන්.

නමුත් මේ දර්ශකයට අස්ථි පංජරයේ ප්‍රමනය​, ජාන වල බලපෑම​, පොඩි කාලෙ ලැබුණු පෝෂණය වගේ දේවල් සලකන්නෙ නැති නිසා මේක 100% නිවැරදි එකක් නෙවෙයි. නමුත් බොහෝ විට හොඳ අදහසක් ගන්න පුළුවන්.


බර වැඩි වෙන්නෙ කොහොමද​?




බර වැඩි වෙන ක්‍රියාවලිය තරමක් සංකීර්ණ සහ හරිහැටි හඳුනා නොගත්ත ක්‍රියාවලියක්. හැබැයි ඒක සරළව විස්තර කරොත් මේ වගේ.

අපේ ඇඟේ බර සමන්විත වෙන්නෙ කොටස් කීපයකින්.

1. අස්ථි වල බර​
2. සිරුරේ විවිධ ඉන්.ද්‍රියන් ගේ බර​
3. මාංශ පේශීන් ගේ බර
4. ජලයේ බර​
5. මේදයේ බර​

මේවා අතරින් අස්ථි සහ ඉන්.ද්‍රියන් ගේ බර කියන්නෙ ෆික්ස් වුනු ඒවා. ඒවා වෙනස් කරන්න බෑ (අතක් පයක් කපල දැම්මොත් ඇරෙන්න​). එතකොට අපේ කතාවට වැදගත් වෙන්නේ මාංශ පේශීන් ගේ බර​, ජලයේ බර සහ මේදයේ බර කියන තුන​.

අපි කෑම කෑවම, ඒ කෑම වල තියෙන සංඝටක ඇඟ ඇතුලෙදි රසායනික ප්‍රතික්‍රියාවන්ට ලක් වීමෙන් වඩාත් සරළ සංඝටක බවට බිඳ වැටෙනවා. මේ රසායනික ප්‍රතික්‍රියාවන් හඳුන්වන්නේ "metabolism" කියලා.

මේ රසායනික ප්‍රතික්‍රියාවේදී යම්කිසි ශක්ති ප්‍රමානයක් ජනනය වෙනවා. මේ ශක්තිය තමයි අපි එදිනෙදා වැඩ සඳහා යොදා ගන්නේ. එහිදී අතුරු ඵලයන් විදිහට ජලය සහ කාබන් ඩයොක්සයිඩ් නිපදවෙනවා. කාබන් ඩයොක්සයිඩ් අපි ප්‍රාශ්වාස වාතය සමඟ එළියට දානවා. ජලය ශරීරයේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නවා; වැඩි හරිය මූත්‍රා සහ දහදිය වශයෙන් එළියට දානවා.

එතකොට අපි ආහාර මගින් ලබා ගන්න ශක්තිය අපි එදිනෙදා වැඩ සඳහා වැයකරන ශක්තියට හරියටම සමාන නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අපේ බර ඒ ගානටම පවතිනවා.

හැබැයි යම්කිසි හේතුවක් නිසා අපි වැය කරනවට වඩා ශක්තිය ආහාර වලින් ලබා ගන්නවා නම් එතනදි ඒ අතිරික්ත ශක්තිය අපේ සිරුරේ ගබඩා කර ගැනෙනවා. ඒක තමයි බර වැඩි වෙනවා කියන්නේ. එතන තමයි ප්‍රශ්නයේ මුල​.

මේ විදිහට ලැබෙන අතිරික්ත ශක්තිය ගබඩා කෙරෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක්, මාංශ පේශී වර්ධනය කිරීමෙන්​. අනෙක මේදය විදිහට තැන්පත් කිරීමෙන්. මාංශ පේශි වල බර කියන්නෙ "හොඳ​" බරක්. නමුත් මේදය බර කියන්නෙ හොඳ බරක් නෙවෙයි. අපි අඩු කරන්න ඕනෙ මේදය බර.

කොයිතරම් ප්‍රමානයක් මාංශ පේශි වර්ධනය කරන්න වැය කරනවද​, කොයිතරම් ප්‍රමානයක් මේදය විදිහට තැන්පත් කරනවද කියන එක තීරණය වෙන්නේ අපේ ජීවන රටාව අනුව​.

අපි දැන් මේ නගර වල පදිංචි වෙලා බොහොම කෘතීම ජීවිත ගත කරන මිනිස්සු වුනාට අවුරුදු 5000 තරම් මෑතකදීත් අපි කැලෑ වල ජීවත් වුනු බොහොම සොබාවික සත්තු. ඒ නිසා අපේ ශරීරය තාම වැඩ කරන්නෙ කැලෑ සතෙක්ට උචිත ආකාරයට​.

කැලෑ වල ජීවත් වෙන සත්තුන්ට අපිට වගේ බොහොම පහසුවෙන් හැමදාම එක විදිහට කෑම ලැබෙන්නෙ නෑ. කොයි මොහොතක හෝ සාගතයට මුහුණ දීමේ අවදානමක් තියෙනවා. මේ නිසා අපේ ඇඟ හැඩගැහිල තියෙන්නෙ ඒකට ඔරොත්තු දෙන විදිහට​.

ඒ නිසා අපේ කෑම වලින් අපිට අතිරික්ත ශක්තිය ලැබුනොත් අපේ සිරුර හැම වෙලේම ප්‍රමුඛස්ථානය දෙන්නේ ඒවා සාගතයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා මේදය වශයෙන් තැන්පත් කරන්න​. මාංශ පේශී වර්ධනයට යොදනවා නම් ඒ නිතරම පාවිච්චි කරන මාංශ පේශි සඳහා පමණයි. උදාහරණයක්ට හැමදාම ගොඩක් ඇවිදින කෙනෙක් ගෙ නම් කකුල් වල මාංශ පේශී වර්ධනයට යම් කිසි ශක්ති ප්‍රමානයක් වැය කරනවා.

කැලෑ සතෙක් නිතර සාගතයට ගොදුරු වෙන නිසා අර විදිහට මේදය වශයෙන් තැන්පත් කරන ආහාර නිතරම ප්‍රයෝජනයට ගන්න සිද්ධ වෙනවා. ඒත් අපි එහෙම සාගතයට ගොදුරු වෙන්නෙ නැති නිසා ඕක කවදාවත් ප්‍රයෝජනයට ගන්න වෙන්නෙ නෑ. ඒවා දිගින් දිගටම තැන්පත් වීම නිසා ක්‍රමයෙන් සිරුරේ බර වැඩි වෙනවා.


බර අඩු කරන්නෙ කොහොමද​?




දැන් බර වැඩි වෙන හැටි දන්න නිසා බර අඩු කරන්නෙ කොහොමද කියන එක ගැනත් දළ අදහසක් තියෙන්න ඕනෙ.

බර අඩු කරන්න අපිට විධි කීපයක් පාවිච්චි කරන්න පුළුවන්.

1. ගන්න ආහාර ප්‍රමානය අඩු කිරීමෙන්
2. වැය කරන ශක්ති ප්‍රමානය වැඩි කිරීමෙන්
3. මේදය දිය කර හැරීමෙන්

ගන්න ආහාර ප්‍රමානය අඩු කිරීමෙන් අපි ඇඟ ඇතුලට ගන්න ශක්තිය අඩු කරනවා. ඇඟ ඇතුළට ගන්න ශක්තිය අඩු වුනාම අතිරික්ත ශක්තිය අඩු වෙනවා. ඒ වගේම වැය කරන ශක්තිය වැඩි කරාමත් අතිරික්ත ශක්තිය අඩු වෙනවා. අතිරික්ත ශක්තිය අඩු කරාම මේදය වශයෙන් තැන්පත් කරන ප්‍රමානය අඩු වෙනවා. සරළ ගණිතය​.

ඊට අමතරව සමහර ආහාර තියෙනවා විශේෂයෙන් මේදය දිය කරන්න සමත්. ඒ මාර්ගයෙනුත් කෙලින්ම මේදය අඩු කරන්න පුළුවන්.

ඔය කොයි විදිහෙනුත් අන්තිමට කෙරෙන්නේ බර අඩු කිරීම​.


බර අඩු කරන ක්‍රම​


බර අඩු කරන ක්‍රම​ විශාල ප්‍රමානයක් අද භාවිතා කෙරෙනවා. මම පුද්ගලිකව අත්හදා බලපු ක්‍රම කීපයක් ගැන තමයි මේ විස්තර කරන්න යන්නෙ. මේකෙන් අදහස් කරන්නෙ නෑ සාර්ථක වෙන්නෙ මේ ක්‍රම විතරයි කියලා. මම අත්හදා බැලූ සහ සාර්ථකයි කියලා පුද්ගලිකව සහතිකයක් දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තමයි මේ කියන්න යන්නෙ.

මේවා විස්තර කරන්න කලින් ඉතාමත් වැදගත් කරුණු කීපයක් පැහැදිලි කරලා ඉන්න ඕනෙ. මේ කරුණු කියවලා තේරුම් ගන්නෙ නැතුව මේවා අත්හදා බලන්න යන්න එපා.

1. බර අඩු කරන්න හොඳම ක්‍රමය තමයි ව්‍යායාම කිරීම​. ව්‍යායාම කිරීම තමයි සොබාවිකව බර අඩු කරන ක්‍රමය සහ සෞඛ්‍යයට අවම බලපෑමක් සහිතව බර අඩු කරන්න පුළුවන් ක්‍රමය​. මේ පහළ විස්තර කරන මොන ක්‍රමයටත් වඩා ඒක හොඳයි. ඒ නිසා තමාට නිතිපතා ව්‍යායාම කරන්න හැකියාවක් තියෙනවා නම් ඒ විදිහට බර අඩු කරන්න​. මේවා කරන්න යන්න එපා. මේවා තියෙන්නෙ මම වගේ ව්‍යායාම කරන්න වෙලාව නැති, එහෙම නැත්තං සෞඛ්‍යය හේතුවක් නිසා ව්‍යායාම කරන්න බැරි අයට​.

2. මේ සමහර ක්‍රම අනුගමනය කරද්දි ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගැස්ට්‍රයිටිස් වැළඳෙන කෙනෙක් මේවා කරන්න ඕනෙ ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරමින්.

3. මොකක් හරි රෝගයකට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් මේවා කරන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක කෝකටත් හොඳයි. මේවායේ මොන අතුරු ඵල තියෙනවද දන්නෙ නෑ. මම දොස්තර කෙනෙක් නෙවෙයි.


පළවෙනි ක්‍රමය : කඩින් කඩ උපවාසය (Intermittent Fasting)




මේ ක්‍රමය ඉතාම සරළව විස්තර කරොත් මෙහෙමයි : "දවසට පැය 16 ක් නිරාහාරව ඉන්න​"

දැක්ක ගමන් බුදු අම්මෝ කියල හිතුනට එහෙම නෑ. මේක හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි. අවශ්‍යය වෙන්නේ විනය සහ ආත්ම විශ්වාසය විතරයි.

දවසට පැය 16 ක් නිරාහාරව ඉන්නවා කියන්නෙ දවසට පැය 8 ක් කෑම කන්න තියෙනවා කියන එක​. තමන් දවසට ගන්න සියළු ආහාර මේ පැය 8 ඇතුළට රිංගවා ගත්තම වැඩේ හරි.

මම කරේ මෙහෙමයි.

උදේ 8 ට (හෝ ඊට පස්සෙ) උදේ කෑම ගන්නවා. දවල් කෑම ගන්නවා දවල් 1ට විතර​. ඊට පස්සෙ හවස 4 ට පොඩි දෙයක් කෑමට අරගෙන​, දවසේ කෑම ගැනීම නතර කරනවා. එතකොට හවස 4 සිට පහුවදා උදේ 8 වෙනකං පැය 16 ක් නිරාහාරයි. මේ විදිහට වෙලාව සකසා ගැනීමේ වාසිය තමයි නිරාහාරව ඉන්න පැය 16 න් ලොකු පංගුවක් නිදාගන්න වැය වෙන එක​.

මේ ක්‍රමයේදී කරන්නෙ අපි සාගතයකට මුහුණ පාලා ඉන්නවා කියන සංඥාව සිරුරට දෙන එක​. එතකොට සිරුර තැන්පත් කරගෙන හිටපු මේදය දහනය කරමින් අපිට ශක්තිය සපයනවා.

මේ ක්‍රමයේදී අනුගමනය කරන්න ඕනෙ විශේෂ නීති රීති වැඩිය නෑ. එකම නීතිය පැය 16 ක් නිරාහාරව සිටීම​. හැබැයි ඒ පැය 16 ඇතුළත කිසිම දෙයක්, කඩල ඇටයක් වත්, කන්න බෑ. වතුර බොන්න පුළුවන්. ඕනෙම නම් සීනි, කිරි දාන්නෙ නැතුව තේ හෝ කෝපි කෝප්පයක් බොන්න පුළුවන්. හැබැයි ඊට වඩා දෙයක් කෑවොත් සාගතයක් තියෙනවා කියන සංඥාව නැති වෙන නිසා සිරුර මේදය දහනය කරන්නෙ නෑ. ඒ නිසා නිරාහාරව ඉන්න පැය 16 ඇතුළත ඉතා තදින් උපවාසය රැකීම අත්‍යාවශයයි. රාමසාන් උපවාස කරන මුස්ලිම් මනුස්සයෙක් හෝ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් සිහියට නගා ගන්න​.

තවත් දෙයක්, සාගතයක් කියල සිරුරට දැනෙන්න නම් අවම පැය 16 ක් නිරාහාරව ඉන්නම ඕනෙ. ඒ නිසා මේක පැය 12 ක් හරි පැය 14 ක් හරි නිරාහාරව ඉඳලා කරොත් ස්ඵලදායී නෑ. ඒ නිසා පැය 16 ම කරන්න ඕනෙ.

කෑම ගන්න පැය 8 දී විශේෂයක් නැතුව තමා කැමති දෙයක් කන්න පුළුවන්. හැබැයි කොත ගහල බත් පිඟන් ගනං කෙලින්න යන්න එපා. සාමාන්‍යය මනුස්සයෙක් වගේ කන්න​.


දෙවෙනි ක්‍රමය : ජී.එම්. ආහාර වට්ටෝරුව (GM Diet)



මේ ක්‍රමයේදී සතියක කාලයක් විශේෂ ආහාර වට්ටෝරුවක් අනුව ආහාර ගැනීම කරනවා. මේ ආහාර වට්ටෝරුව ටිකක් සංකීර්ණයි.

ජී.එම්. ආහාර වට්ටෝරුව​ විස්තරාත්මකව කිව්වොත් මේ වගේ:

පළවෙනි දවස:

# පළවෙනි දවසේ කන්න පුළුවන් පළතුරු විතරයි.
# කෙසෙල් ඇරුනම ඕනම පළතුරු වර්ගයක් කන්න පුළුවන්
# කොමඩු කෑම ඉතා සුදුසුයි
# කන්න පුළුවන් පළතුරු ප්‍රමානයේ සීමාවක් නෑ. කැමති තරම් කන්න පුළුවන්
# වතුර වීදුරු 10 ක් බොන්න ඕනෙ

දෙවෙනි දවස :

# දෙවෙනි දවසෙ කන්න පුළුවන් එළවළු විතරයි
# ඕනෑම එළවළු වර්ගයක් අමුවෙන්, තම්බලා හෝ උයලා කන්න පුළුවන්
# උයද්දි තෙල් සහ පොල්කිරි භාවිතය සම්පූර්නයෙන්ම තහනම්. මිරිස් තුනපහ පුළුවන් තරම් අඩුවෙන්.
# අර්තාපල් කනවා නම් තම්බලා විතරක් කන්න පුළුවන්
# කන්න පුළුවන් එළවළු ප්‍රමානයේ සීමාවක් නෑ. කැමති තරම් කන්න පුළුවන්
# වතුර වීදුරු 10 ක් බොන්න ඕනෙ

තුන්වෙනි දවස​:

# තුන්වෙනි දවසෙ කන්නෙ එළවළු සහ පළතුරු
# අර්තාපල් සහ කෙසෙල් කෑම සම්පූර්නයෙන්ම තහනම්
# ඕනෑම එළවළු වර්ගයක් අමුවෙන්, තම්බලා හෝ උයලා කන්න පුළුවන්
# එළවළු උයද්දි දෙවෙනි දවසෙ නීති ඒ විදිහටම බලපානවා
# කන්න පුළුවන් ප්‍රමානයේ සීමාවක් නෑ
# වතුර වීදුරු 10 ක් බොන්න ඕනෙ

හතරවෙනි දවස​:

# හතරවනි දවසෙ කන්න පුළුවන් කෙසෙල් සහ කිරි පමණයි
# දවසටම කන්න පුළුවන් කෙසෙල් ගෙඩි 6 ක් සහ කිරි වීදුරු 3 ක් විතරයි
# යොදය ඉවත් කළ කිරි නම් වඩාත් සුදුසුයි
# වතුර වීදුරු 12 ක් බොන්න ඕනෙ

පස්වෙනි දවස​:

# පස්වෙනි දවසෙ කන්නෙ මස් සහ තක්කාලි පමණයි
# මස් ග්‍රෑම් 250 බැගින් වූ වේල් දෙකක් කන්න පුළුවන්
# මස් සඳහා කුකුල් මස් හෝ හරක් මස් ගන්න​. ඕනෙ නම් මාළු ගන්නත් පුළුවන්.
# මස් උයද්දි තෙල් භාවිතය සම්පූර්නයෙන්ම තහනම්. මිරිස් තුනපහ පුළුවන් තරම් අඩුවෙන්.
# තක්කාලි අමුවෙන් හෝ තක්කාලි සුප් එකක විදිහට ගන්න පුළුවන්.
# වතුර වීදුරු 12 ක් බොන්න ඕනෙ
# මස් මාළු නොකන කෙනෙක් නම් ඒ වෙනුවට නිවුඩු හාලෙන් පිසින ලද බත් කෝප්ප 1 ක් බැගින් වූ වේල් දෙකක් කන්න පුළුවන්


හයවෙනි දවස​:

# හයවෙනි දවසෙ කන්නෙ මස් සහ එළවළු
# ආයෙත්, මස් ග්‍රෑම් 250 බැගින් වූ වේල් දෙකක් කන්න පුළුවන්
# මස් සඳහා කුකුල් මස් හෝ හරක් මස් ගන්න​. ඕනෙ නම් මාළු ගන්නත් පුළුවන්.
# මස් උයද්දි තෙල් භාවිතය සම්පූර්නයෙන්ම තහනම්. මිරිස් තුනපහ පුළුවන් තරම් අඩුවෙන්.
# ඕනෑම එළවළු වර්ගයක් අමුවෙන්, තම්බලා හෝ උයලා කන්න පුළුවන්
# එළවළු උයද්දි තෙල් සහ පොල්කිරි භාවිතය සම්පූර්නයෙන්ම තහනම්. මිරිස් තුනපහ පුළුවන් තරම් අඩුවෙන්.
# අර්තාපල් කෑම සම්පූර්නයෙන්ම තහනම්
# වතුර වීදුරු 12 ක් බොන්න ඕනෙ
# මස් මාළු නොකන කෙනෙක් නම් ඒ වෙනුවට නිවුඩු හාලෙන් පිසින ලද බත් කෝප්ප 1 ක් බැගින් වූ වේල් දෙකක් කන්න පුළුවන්


 හත්වෙනි දවස:

# හත්වෙනි දවසෙ කන්නෙ බත් සහ එළවළු
# නිවුඩු සහලෙන් පිසින ලද බත් කෝප්ප 1 ක් බැගින් වූ වේල් දෙකක් කන්න පුළුවන්
# ඕනෑම එළවළු වර්ගයක් අමුවෙන්, තම්බලා හෝ උයලා කන්න පුළුවන්
# එළවළු උයද්දි තෙල් සහ පොල්කිරි භාවිතය සම්පූර්නයෙන්ම තහනම්. මිරිස් තුනපහ පුළුවන් තරම් අඩුවෙන්.
# අර්තාපල් කෑම සම්පූර්නයෙන්ම තහනම්
# කන්න පුළුවන් එළවළු ප්‍රමානයේ සීමාවක් නෑ. කැමති තරම් කන්න පුළුවන්
# පළතුරු යුෂ බොන්න පුළුවන්
# වතුර වීදුරු 10 ක් බොන්න ඕනෙ


මේ ක්‍රමයේදී කරන්නෙ ආහාරයෙන් ලැබෙන ශක්ති ප්‍රමානය අඩු කරන එක​. මේකෙදි කන ගොඩක් කෑම වර්ග වල ශක්ති ජනන හැකියාව අඩුයි. ඒ කියන්නෙ වැඩි ආහාර ප්‍රමානයකින් ලැබෙන්නෙ ශක්තිය පොඩ්ඩක්. ඊට අමතරව වතුර විශාල ප්‍රමානයක් පානය කිරීම නිසා ශරීරයේ එක් රැස් වෙලා තියෙන විෂ ද්‍රව්‍යය ෆ්ලෂ් කරලා හැරීමකුත් සිද්ධ වෙනවා.

මේ ක්‍රමයේදී දීලා තියෙන නීති රීති අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්.


තුන්වෙනි ක්‍රමය : ගොරකා තලපය​



මේක පාරම්පරික සිංහල ක්‍රමයක්.

මේකෙදි විශේෂ තලපයක් (පේස්ට් එකක්) හදා ගන්න වෙනවා. ඒක හදන්නෙ මෙහෙමයි.

පහත ද්‍රව්‍යය වලින් සමාන ප්‍රමාන (බර අනුව​) ගන්න​.

1. ගොරකා
2. කුරුඳු
3. කරපිංචා කොළ​
4. සුදු ළූණු

ඊට පස්සෙ මේ සියල්ලම මැටි මුට්ටියකට දාලා, වතුර කෝප්ප හතක් එක් කරලා වතුර ප්‍රමානය කෝප්පයක් වෙන තුරු තම්බ ගන්න ඕනෙ. ඊට පස්සෙ මුට්ටියේ තියෙන වතුර සහ අනෙක් දේ මිරිස් ගලේ හෝ බ්ලෙන්ඩර් එකකින් අඹරලා තලපයක් හදා ගන්න ඕනෙ. හරියට හැදුව නම් ඔබට තද දුඹුරු / කළු පාට ඇඹුල් රසයෙන් යුක්ත​ තලපයක් ලැබෙයි.

දැන් මේ තලපය ෆ්‍රිජ් එකේ තියාගෙන හැම ආහාර වේලකටම පස්සෙ මේස හැන්දක ප්‍රමානයක් මේකෙන් කන්න​. එච්චරයි.

මේ තලපයෙන් ඇඟේ තියෙන මේදය දිය කරලා මළපහ සමඟ පිට කරලා හරිනවා. ඒ වගේම​ මේ මගින් කොලෙස්ටරෝල් ප්‍රමානයත් අඩු කරලා දෙනවා.


වාසි - අවාසි


මම මේ ක්‍රම තුනම භාවිතා කරලා තියෙනවා. ඒ ඒ ක්‍රම වල ඊටම ආවේනික වාසි සහ වාසි තියෙනවා.

කඩින් කඩ උපවාසයේ ප්‍රධාන වාසිය තමයි විශේෂ සූදානමක් අවශ්‍යය නොවීම​. තමා කන්න කැමති දේවල් ඒ විදිහටම කන්න පුළුවන් වීමේ වාසියත් තියෙනවා.

කඩින් කඩ උපවාසයේ අවාසිය තමයි බඩගින්නෙ ඉන්න වෙන එක​. හිත ශක්තිමත් නැත්තම් ටිකක් අමාරුයි. ඒ වගේම බර අඩු වෙන වේගය ජී.එම්. වට්ටෝරුවට වඩා අඩුයි.

ජී.එම්. වට්ටෝරුවේ ප්‍රධාන වාසිය තමයි බඩගින්නෙ ඉන්න ප්‍රමානය අඩු වීම​. දවස පුරාම නීති වලට යටත් ව කන්න පුළුවන්. ඒ වගේම බර අඩු වීමේ වේගය ඉතාම වැඩියි.

ජී.එම්. වට්ටෝරුවේ ප්‍රධාන අවාසිය තමයි ගොඩක් සූදානම් වෙලා ප්ලෑන් කරලා කරන්න ඕනෙ වීම. ආහාර වර්ග ටික කලින්ම හොයල තියාගෙන තමයි වැඩේට සෙට් වෙන්න ඕනෙ.

ගොරකා තලපයේ වාසිය තමයි විශේෂ ආහාර ක්‍රමයක් භාවිතා කරන්න අවශ්‍යය නොවීම​.

ගොරකා තලපයේ අවාසිය තමයි බර අඩු වීමේ වේගය ඉතාම අඩු වීම​. දඩි බිඩියේ බර අඩු කරන්න නම් මේ ක්‍රමය හරියන්නේ නෑ.


මගේ අත්දැකීම්


මේ ක්‍රම තුනම අනුගමනය කිරීමේ මගේ අත්දැක්ම් ටිකකුත් මේ එක්කම ලියලා තියන්නම්. අත්හදා බලන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

කඩින් කඩ උපවාසය පටන් ගත්ත දවස් වලම පට්ට අමාරුයි. අමාරුයි කියන්නෙ ඉන්නම බෑ. රෑ දහය විතර වෙද්දි බඩගින්නට ඇඟ මිරිකෙනවා. ඉවසන්න බැරි තරම් බඩගිනියි. හැබැයි සති දෙකක් විතර දත කාගෙන ඇදගත්තොත් ඊට පස්සෙ ටික ටික ඇඟ පුරුදු වෙනවා. ටික දවසක් යද්දි බඩගිනි දැනෙන්නෙ නැති ගානට එනවා. තව ටික දවසකින් රෑට කෑවොත් ඇඟට ලොකු අපහසුවක් දැනෙන ගානට එනවා. ඒ ගානට ආවා කියන්නෙ ඔබ දිනලා.

කඩින් කඩ උපවාසයේ පළවෙනි දවස් තුන හතරේ ඉතා වේගයෙන් බර අඩු වෙනවා. සමහර දවස් වලට ග්‍රෑම් 800 විතර බර අඩු වෙන්න පුළුවන්. හැබැයි සතියක් දෙකක් යද්දි ඒ වේගය අඩු වෙනවා. හැබැයි දිගටම පොඩ්ඩ පොඩ්ඩ හරි බර අඩු වෙනවා. ඒ නිසා දිගටම උපවාසය කිරීම වැදගත්.

ජී.එම්. වට්ටෝරුවේ අමාරු වෙන්නෙ අපිට අමාරුයි කියල හිතෙන තැන් නෙවෙයි. උදාහරණයකට මුළු දවසක් එළවළු කාල ඉන්න එක නොහිතෙන තරම් අමාරුයි. විශේෂයෙන් මිරිස් තුනපහ රසය නැතුව​. ඒ වගේම පළතුරු ගොඩක් කෑවත් ඉක්මනින් ආයෙත් බඩගිනි හැදෙනවා. ඒ නිසා කොමඩු වගේ ශක්ති ජනන හැකියාව අඩු, ප්‍රමානයෙන් වැඩි පළතුරු තෝරා ගැනීම සුදුසුයි.

ජී.එම්. වට්ටෝරුවේ අමාරුම කෑල්ල වතුර බොන එක​. වතුර බොන එක නිතර අමතක වෙන්න පුළුවන්. ඒ වගේම වතුර වීදුරු 10-12 බොන එක හිතනවට වඩා සෑහෙන අමාරු වැඩක්. දවසට 10-15 සැරයක් චූ කරන එකත් හිතනවට වඩා සෑහෙන අමාරු වැඩක්. විශේෂයෙන් චූ කරන්න රෑට හතර පස් පාරක් නින්දෙන් නැගිටින එක​.

ජී.එම්. වට්ටෝරුවෙ බැලූ බැල්මට අමාරුම දවස කියල හිතෙන හතරවෙනි දවස ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. මම හතරවෙනි දවස ගත කලේ කිරි වීදුරු දෙකක් සහ කෙසෙල් ගෙඩි තුනක් පමණක් කාලා. ඒ වෙද්දි සිරුර අඩු ආහාර ප්‍රමානයකට හැඩ ගැහිල තියෙන නිසා මේක අපි හිතනවට වඩා ගොඩක් ලේසියි. ඒ වගේම හතර වෙනි දවසේ මුළු ඇඟම ෆ්ලෂ් වෙලා යන විදිහට බඩ යනවා. ඇඟට පුදුම සැහැල්ලුවක් සහ සහනයක් දැනෙනවා. හතරවෙනි දවස අවසානයේ කිලෝ එක හමාරක් විතර බර අඩු වෙනවා.

සමහර දවස් වලට කිලෝවක් - ග්‍රෑම් 500 වගේ බර වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අධෛර්‍යයට පත් වෙන්න නරකයි. දිනපතා බර ද්සතහන් කරගෙන සමස්තයක් වශයෙන් බර යන පැත්ත ගැන අවධානය දෙන්න​. දවසක් දෙකක් ඇතුලත වෙන සුළු වෙනස්කම් වලට ලොකු වටිනාකමක් දෙන්න එපා.

සමස්තයක් විදිහට ඔබ මේ ක්‍රම නිතර අනුගමනය කරන්න පටන් අරන් මාස තුනක් විතර යද්දි ඔබ ගන්න ආහාර ප්‍රමානය ඔබටත් නොදැනී ගොඩක් අඩු වෙනවා. වැරදිලාවත් වැඩිපුර කෑවොත් ඇඟට පුදුම අපහසුවක් දැනෙන්නේ. ඒ කියන්නෙ අඩු ආහාර ප්‍රමානයකට ඇඟ හැඩගැහෙනවා. ඒක ඉතාම හොඳ තත්වයක්.

මේ ක්‍රම දෙක තුනම භාවිතා කරද්දි මම අනුගමනය කළේ මේ විදිහ​:

මාස දෙකක කාල සීමාවක් ඇතුළේ ගොරකා තලපය හැමදාම පාවිච්චි කළා. මාස දෙක ඇතුලේ සතියට දවස් පහක් වත් කඩින් කඩ උපවාසය කළා. මාස දෙකට ජී.එම්. වට්ටෝරුව එක සතියක් කළා.

මේ මාස දෙක ඇතුළත මගේ බර කිලෝ 89 ඉඳලා කිලෝ 80.4 දක්වා අඩු වුනා.



බර අඩු තත්වයේ පවත්වාගෙන යාම​



මේක තමයි ඉතාම වැදගත් කෑල්ල​. අමාරු වෙන්නෙ බර අඩු කරන එක නෙවෙයි - බර අඩුවෙන් පවත්වාගෙන යාම​.

ගොඩක් අය කරන වැරැද්දක් තමයි මොකක් හරි ක්‍රමයකින් බර කිලෝ හත අටක් අඩු කරගත්තට පස්සෙ තමාට ආයෙත් පරණ පුරුදු විදිහට ඉන්න පුළුවන් කියල හිතීම​. එහෙම හිටියම ඉතින් ආයෙමත් පරණ පුරුදු විදිහට බර වැඩි වෙනවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නෙ. ඒ නිසා අඩු කරපු බර ඒ තත්වයේ තියාගන්න නම් තමාගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනෙ.

ඒ වගේම දැනගත යුතු කරුණක් තමයි මොකක් හරි ක්‍රමයකින් බර අඩු කළාට පස්සෙ නැවතත් ඒක නවත්තපු ගමන් කිලෝ දෙක තුනක් ආපහු බර වැඩි වෙන බව​. එහෙම වෙන්නෙ අපේ බර අඩු වීම සම්පූර්නයෙන්ම මේදය දහනය නිසා වෙන අඩු වීමක් නොවෙන නිසා. බර අඩු වීමේ යම්කිසි ප්‍රමානයක් වතුර අඩු වීම නිසා සිද්ධ වෙන්නෙ. කෑම නෝමල් කරපු ගමන් ඒ ප්‍රමානය නැවත වැඩි වෙනවා. ඒක සොබාවිකයි.

මගේ අත්දැකීම තමයි අපේ ජීවන රටාවත් එකක් අපේ සිරුරේ බර යම් කිසි තැනක නවතින බව​. ඒ නවතින තැන ඉඳල බර එකපාරටම අඩු කිරීම හෝ වැඩි කිරීම කරන්න අපහසුයි. ඒක වෙන්නෙ හෙමින්. ඒ වගේම එතැන ඉඳලා අඩු හෝ වැඩි කරොත් ආපහු එතැනටම හෝ ආසන්න තැනකට එනවා.

අපි බර අඩු කරන ක්‍රමයකින් මේ නැවතිලා තියෙන තැන ඉඳලා බර එක පාරටම ගොඩක් පහළට ඇදලා දානවා. නමුත් බර ආපහු උත්සහ කරන්නෙ අර කලින් තිබ්බ තැනට යන්න​. අපි ජීවන රටාව වෙනස් නොකළොත් ඒක ඉතාම වේගයෙන් ආපහු එතැනට යනවා. ජීවන රටාව වෙනස් කරලා අඩු කරගත්ත තැන දීර්ඝ කාලයක් බර තියා ගන්න පුළුවන් වුනොත් එතැන අළුත් බර තියෙන තැන බවට පත් වෙනවා.

මේ ජීවන රටාව වෙනස් කරනවා කියන්නෙ මොකද්ද​?

මම කර ගත්ත වෙනස්කම් මේවා:

අංක එක සහ ඉතාම වැදගත් දේ තමයි ශරීරය වෙහෙසවන ප්‍රමානය වැඩි කරන එක​. හොඳම දේ තමයි ජිම් එකකට ගිහින් උපදේශක වරයෙක් යටතේ ව්‍යායාම කිරීම​. විශේෂයෙන්ම පිරිමින්ට​. බර අඩු කරන ක්‍රම වලින් මේදය වගේම මාංශ පේශීන් ගේ ක්‍ෂය වීමකුත් සිදු වෙන නිසා බර අඩු කිරීමත් එක්ක ඉතාම කැත සිරුරක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යායාම කිරීම මගින් මාංශ පේශි වර්ධනය කරගන්න ඕනෙ.

ජිම් යන්න බැරි නම් සුම්බා, ඇරොබික්ස් වගේ දෙයක් කරන්න​. යූටියුබ් එකෙන් ඒවා ඉගෙන ගන්න පුළුවන්. දවසට පැය බාගයක් වත් කරන්න​. ඇවිදින ප්‍රමානය වැඩි කරන්න​. කක්කුස්සියටත් බයික් එකෙන් කාර් එකෙන් ත්‍රීවිල් එකෙන් යන පුරුද්ද නැති කර ගන්න​.කිලෝමීටර් හතරට වඩා අඩු දුර පයින් යන්න​. අඩුම ගානෙ පාපැදියක වත් යන්න​. වත්තෙ පිටියෙ වැඩක් කරන්න​.

ඊළඟට අංක දෙක තමයි "නරක ආහාර​" ගන්න එක නැවැත්වීම. නරක ආහාර කියලා අදහස් කළේ ඉංග්‍රීසියෙන් "junk food" කියලා හඳුන්වන කෑම​. විශේෂයෙන්ම පැණිබීම හෙවත් "soft drinks" සම්පූර්නයෙන්ම නවත්තල දාන්න ඕනෙ. බින්දුවක් වත් බොන්න එපා. පැණිබීම කියන්නෙ හලාහල විෂ කියල සිහියේ තියාගන්න​.
 

ඒ එක්කම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, කඩල​, වඩේ, බර්ගර්, බනිස්, ඉස්පන්චි, පැටිස්, රෝල්ස්, බිස්කට්, සොසේජස් නවත්තල දාන්න​. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වගේ කෑම පුළුවන් තරම් අඩු කරන්න​. කඩෙන් කන එක පුළුවන් තරම් අඩු කරලා ගෙදරින්ම කන්න​. රස කැවිලි, දොදොල් වගේ සීනි සහ තෙල් අධික කෑම පුළුවන් තරම් අඩු කරන්න​. කේක් සහ අයිස්ක්‍රීම් පුළුවන් තරම් අඩු කරන්න​. මස් කෑම පුළුවන් තරම් අඩු කරන්න​. ඒ වෙනුවට මාළු කෑම පුළුවන් තරම් වැඩි කරන්න​. කෑම උයද්දි තෙල් පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න​.

කිරි තේ පානය පුළුවන් තරම් අඩු කරන්න. සම්පූර්නයෙනම නැවැත්තුවත් කමක් නෑ. තේ නොබීම බැරි නම් අඩු සීනි ප්ලේන්ටී බොන්න​. ග්‍රීන් ටී (සීනි නොදා) බොන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ග්‍රීන් ටී වලින් මේදය දහනයට ලොකු තල්ලුවක් ලැබෙනවා.

අංක තුන කන කෑම ප්‍රමානය අඩු කරන්න​. ඉහත ක්‍රමවේදයක් අනුගමනය කරාම මේක ඉබේම වෙනවා. අඩු කෑම ප්‍රමානයකට ටිකෙන් ටික ඇඟ හුරු කර ගන්න​. ප්‍රධාන වේල් තුනට අමතරව ගන්න කෑම පුළුවන් තරම් අඩු කරන්න​.

බත් කියන්නෙ අධි ශක්ති ජනන ආහාරයක්. බත් කද්දි බත් ප්‍රමානය පුළුවන් තරම් අඩු කරලා අනෙත් මාළු පිණි වැඩි කරන්න​. බත් කෝප්පයක් හෝ එක හමාරක් වේලකට හොඳටම ප්‍රමානවත්. ජපන්නු බත් කන හැටි බැලුවා නම් ඉතාම වටිනවා. ජපන්නු බත් කද්දි කෑම වේලෙන් බත් තියෙන්නෙ 30% වගේ ප්‍රමානයක්. ජපානය කියන්නෙ ලෝකෙ ස්ථුල භාවය ඉතාම අඩු රටක්.


කෑම පිඟාන අතට ගත්තම මේ කෑම කන්නෙ රසය සඳහාවත් මදය සඳහාවත් නෙවෙයි තමාගේ ශරීරයේ පැවැත්ම සඳහා කියන එක මෙනෙහි කරන්න​. ඒ වගේම තමාගේ ආහාරය සඳහා ජීවිතය පූජා කළ සතුන් සහ පැලෑටි මෙනෙහි කරන්න​. ඔවුන්ට ස්තූති කරන්න. ඔවුන් ගේ ජීවිත වලට සාධාරනයක් කරන්න තමාට අවශ්‍යය ප්‍රමානයට වඩා කෑම බෙදා ගන්න එපා. මේකත් ජපන් සංස්කෘතියේ එන අංගයක්.

අංක හතර නින්ද​. බර අඩු කරන්න නින් ද ඉතාම වැදගත්. දවසට අවම පැය හයක් නිදා ගන්න ඕනෙ. නැතිනම් සිරුරේ නිපදවෙන හෝමෝන මගින් බර අඩු කිරීමේ ක්‍රියාවලිය අඩපන කරනවා. හැමදාම නිදාගන්න සහ ඇහැරෙන වෙලාවල් එකම වෙලාවක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

අංක පහ​ මත්පැන්. මත්පැන් නොබොන කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. මත්පැන් බොන කෙනෙක් නම් (මම වගේ) මත්පැන් කියන්නෙ අධි ශක්ති ජනන ආහාරයක් කියල සිහියේ තියා ගන්න​. ඒ වගේම බයිට් එකට හොඳට තෙල් තියෙන ඌරු මස් ඩෙවල් එකක් එහෙම කෑවොත් බඩුම තමයි. ඒ නිසා මත්පැන් බොද්දි බොන ප්‍රමානය සහ විශේෂයෙන් බයිට් කන ප්‍රමානය අඩු කරන්න​. මස් වෙනුවට තම්බපු කඩල වගේ බයිට් එකක් ගන්න​. බියර් වෙනුවට හාඩ් ලිකර් ගන්න පුළුවන් නම් හොඳයි. ෂැන්ඩි කරද්දි සෝඩා හෝ අයිස් විතරක් පාවිච්චි කරන්න​. කොකාකෝලා හෝ වෙනත් පැණිබීමක් පාවිච්චි කරන්න එපා. ඒවා මත්පැන් වලට වඩා විසයි. ෂැන්ඩි නොකර අමුවෙන් ගැහුවත් කමක් නෑ. කබරයා ගියොත් වගකියන්නෙ නෑ හැබැයි.

ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. බර අඩු කරන්න උත්සහ කරනවා නම් ඔබට ජය​!

Monday, May 25, 2020

පාදඩයා ෆ්‍රයිඩ් රයිස් කාපු හැටි



එක පාරක් මම අපේ ෆැකල්ටිය ළඟ තියෙන හෝටලේට ගියා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න​. ඒ කාලෙ හෝටල් වලින් ෆ්‍රයිඩ් රයිස් කනව කියන්නෙ හෙනම ලක්‍ෂරි සීන් එකක්. මම හිතන්නෙ මහපොළ වත් හම්බෙල තියෙන්න ඇති.

ඔන්න කඩේට ගියාම කඩේ ඇතුළෙ දහයක දොළහක සෙට් එකක් ඉන්නව​. ට්‍රිප් එකක් ආපු සෙට් එකක්. උනුත් කන්නෙ ෆ්‍රයිඩ් රයිස්. චිකන් හොදි එක්ක​.

මාත් ඉතිං ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් හොදියි ගේන්න කිව්ව​. කඩේ වැඩට ඉන්නෙ අවුරුදු පහළොවක විතර කොළු ගැටයෙක්. ඌත් රයිස් එකයි හොදි එකයි ගෙනත් දුන්න​.

දෙයියනේ කියල චිකන් හොදි රයිස් එකට දාගන්න යද්දිම තමයි දැක්කෙ. චිකන් හොද්දෙ.........

නෑ යකෝ වඳ පෙති නෙවෙයි. කැරපොත්තෙක්.

පොඩ්ඩක් කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල​. සීන් එක ඇනලයිස් කරා.

මම කැම්පස් කියල කඩේ එවුං දන්නව​. ඒ නිසා මම නිකං පිම්බත් විසිවෙන සයිස් එකේ (ඒ කාලෙ ඈ. දැං එහෙම නෑ) එකෙක් වුනත් මට ලොකුවට ගේම කෝල් වෙන්නෙ නෑ කියල බුදු ෂුවර්.

ට්‍රිප් එක ආපු එව්වො දැනටමත් සෑහෙන තරමක් කාල​. මම කෑගහල සීන් එක වකූර් කරොත් උං මට වඩා කලබල වෙනව​. මොකද උං දැනටත්මත් කැරපොතු හොදි කාල ඉන්නෙ. සෙට් එකේ කොල්ලො හතර පස් දෙනෙකුත් ඉන්න නිසා බොහෝ විට මුදලාලිට කනේ පාරක් වගේ ලැබෙන්නත් ඉඩ තියෙනවා. කඩේ මුදලාලිට හොඳම දේ වැඩේ ගොඩින් ෂේප් වෙන එක​.

උං දැනටමත් කැරපොතු හොදි කාල තියෙන්නෙ. ඒ නිසා මම කෑගැහුවොත් උන්ට අප්පිරියාවටම වමනෙ ගිහිල්ල ට්‍රිප් එකත් අල වෙන්න ඉඩ තියෙනවා. මම කෑගැහුව කියල උන්ට වෙන යහපතක් නෑ.

ඒ නිසා මම ෂේප් එකේ කොල්ලට කතා කරල කැරපොත්තව පෙන්නුව​.

ඌ නිකං රෙවෙන ගානට බය වුනා. ඌ එතන නටනවා. මට තව හොදි එකක් ගේන්නං කිව්ව​. මම ඇහුව ගොම්පාට් ද කියල​. ඒ හැලියෙන් ම නෙ ගේන්නෙ.

මුදලාලි සීන් එක දැකල එතනට ආව​. පොරත් ටිකක් කලබල වුනා. එක එක කතා කියනවා. අනිත් සෙට් එක දිහා හැරි හැරී බලනවා.

මම කිව්ව හරි මට වෙන හොදි ඕනෙ නෑ ඕක ඔහොම්මම තියල කෝක් එකක් දෙන්න කියල​. නිකම්ම රයිස් ගිලින්නත් බෑ නෙ. ලිස්සල යන්නත් මොනා හරි තියෙන්න ඕනෙ නෙ. ඊට පස්සෙ කෝක් එකත් එක්ක රයිස් එක කෑවා. රයිස් එක කාල ඉවර වෙලා සිගරට්ටෙකක් ගෙන්න ගෙන ඒකත් බිව්ව (ඒ කාලෙ කඩ ඇතුලෙ සිගරට් බොන්න පුළුවං).

ඊට පස්සෙ නැගිටලා යන්න ගියා.

මම නැගිටල යද්දි මුදලාලි නිකං "මල්ලි බිල​?" වගේ ලුක් එකක් දැම්ම​. මම "පිස්සුද අයියා ගොම්පාට් ද​?" ලුක් එක දාල යන්න ගියා

Wednesday, April 15, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 10 (කයිබාර් හි සටන​)



බැනු කුරෙයිසා ගෝත්‍රයට පහරදීම​


ආක්‍රමනික හමුදාව පසු බැස ගිය වහාම මුස්ලිම් වරුන්ට තිබුනු ප්‍රධාන ප්‍රශ්නය වුනේ තමාට එරෙහිව ආක්‍රමනිකයන් සමඟ කුමන්ත්‍රනය කළ බැනු කුරෙයිසා ගෝත්‍රය සමඟ "ගනු දෙනු බේරා ගැනීම​".

මුහම්මද් තුමා වහාම සෙබළු 3000 ක් සහ අසරුවන් 30 ක ගෙන් සමන්විත වුනු හමුදාවක් එක් රැස් කළා. මේ හමුදාවට නායකත්වය දුන්නේ අලී ඉබ්න් අබු තාලිබ්. අලී තම හමුදාවත් සමඟ බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ නිවෙස් තිබුනු ප්‍රදේශ වට කළා. බැනු කුරෙයිසා ගෝත්‍රයේ වැඩිහිටි පිරිමි 800 ක් පමණ සිටියා. ඔවුන් තමාගේ නිවෙස් සහ බලකොටු තුළට වැදී ආරක්‍ෂක සටනක් සඳහා සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ නායකයා සහ මක්කාවෙන් පැමිණි ආක්‍රමනික හමුදාවේ ප්‍රධාන සහකරුවෙක් වුනු හුයයි ඉබ්න් අක්තාබ් මේ වන විට රහසෙන් මදීනාවට ඇතුළු වෙලා හිටියා. ඔහුත් බැනු කුරෙයිසා යුදෙව්වන් සමඟ මුස්ලිම් හමුදාවට කොටු වුනා.

යුදෙව්වන් ශක්තිමත් බලකොටු තුලට වී හොඳින් ආරක්‍ෂා වී සිටිය නිසා අලී කෙලින්ම පහර දෙන්න ගියේ නෑ. ඒ වෙනුවට ඔහු යුදෙව්වන් වටලා ආහාර අවසන් වන තුරු සිටියා. නමුත් දින 25 ක් යන තුරු යුදෙව්වන් යටත් වුනේ නෑ.

විසිපස් වන දිනය අවසානයේදී යුදෙව්වන්ට තව දුරටත් බලකොටු තුලට වී සිටීමට අපහසු වුනා. ඔවුන් ගේ ආහාර අවසන් වෙමින් පැවතුනු අතර​, කොටු වී සිටි 1000 පමණ වූ කාන්තාවන් සහ ළමුන් සිටියේ දුර්වල මානසික තත්වයක​. මේ නිසා ඔවුන් ගේ ප්‍රධානියා වුනු කාබ් ඉබ්න් අසාද් සාකච්ඡාවක් කැඳෙව්වා.

මේ සාකච්ඡාවේදී කාබ් ඉබ්න් අසාද් යෝජනා තුනක් යෝජනා කළා. ඒ ඉස්ලාමය වැළඳ ගැනීම​, සියළුම කාන්තාවන් සහ ළමුන් මරාදමා ඉන්පසු බලකොටු වලින් එලියට ගොස් මුස්ලිම් වරු සමඟ සටන් වැදීම සහ සබාත් දිනයේදී බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කිරීම​. නමුත් යුදෙව්වන් මේ යෝජනා තුනටම එකඟ වුනේ නෑ. අවසානයේදී ඔවුන් තීරණය කළේ මදීනා මුස්ලිම් වරයෙක් සහ ඔවුන් ගේ මිතුරෙක් වුනු අබු ලුබාබා ගෙන් උපදෙස් ලබා ගැනීමට​. ඒ අනුව ඔවුන් අබු ලුබාබාට රහසිගතව තමා වෙත පැමිණෙන ලෙස ආරාධනා කළා. ඔවුන් සමඟ කතා කළ පසු අබු ලුබාබා ගේ උපදෙස වුනේ වඩාත්ම සුදුසු දේ යටත් වීම බවයි.


පහුවදා උදේම බැනු කුරෙයිසා යුදෙව්වන් ආයුධ බිම තබා යටත් වුනා. මුස්ලිම් වරු ඔවුන්ට දෙන දඬුවම මුහම්මද් තුමා තීරණය කරන තුරු ඔවුන් සියල්ලන්ම සිර භාරයට ගත්තා. මේ අතර අබු ලුබාබා සහ තවත් කීප දෙනෙක් යුදෙව්වන්ට ලිහිල් දඬුවමක් දෙන ලෙස මුහම්මද් තුමාගෙන් ආයාචනා කර සිටියා. අවසානයේ දී තීරණය කෙරුනේ බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ මිතුරෙක් ලෙස සැලකුණු මදීනා මුස්ලිම් වරයෙක් වූ සාද් ඉබ්න් මුආද් හට තීරණයක් දීමේ බලය පැවරීමටයි. මීට බැනු කුරෙයිසා යුදෙව්වන් එකඟ වුනා.

සාද් ඉබ්න් මුආද් තීරණය කළේ මදීනා සම්මුතියට අනුව කටයුතු කළ යුතු බවයි. එහි දැක්වුනු ලෙස යම් කිසි ගෝත්‍රයක ආරවුලක් විසඳන්නේ ඒ ගෝත්‍රයේ පාරම්පරික නීති රීති වලට අනුවයි. ඒ නිසා යුදෙව්වන්ට දෙන දඬුවම ඔවුන් ගේ නීති රීති වලට අනුකූල එකක් විය යුතු බව සාද් ඉබ්න් මුආද් තීරණය කළා. යුදෙව්වන් ගේ නීති අනුව සටනකින් පසු අල්ලා ගන්නා නගරයක සියළුම වැඩිහිටි පිරිමින් මරා දැමිය යුතු බව පෙන්වා දුන් සාද් ඉබ්න් මුආද් ඒ අනුව බැනු කුරෙයිසා ගෝත්‍රයේ සියළුම පිරිමින් හිස ගසා දැමීමෙන් මරා දැමිය යුතු බවත්, ළමුන් සහ කාන්තාවන් වහල් මෙහෙයට ගත යුතු බවත් නියම කළා.

ඒ අනුව වයස අවුරුදු 14 ට වැඩි සියළුම පිරිමින්, බැනු නදීර් ගෝත්‍රයේ නායක හුයයි ඉබ්න් අක්තාබ් සහ සටන අතරතුර ඇඹරුම් ගලක් හිස මත හෙලීමෙන් මුස්ලිම් සෙබළෙක් මරා දැමූ යුදෙව් කාන්තාවක් හිස ගසා මරා දමනු ලැබුවා. මදීනා නගරයේ පොදු වෙළඳපොල අසල විශාල අගල් කීපයක් හාරා ඔවුන් එහි සාමූහිකව වල දමනු ලැබුවා. මරා දැමුනු සම්පූර්න ගණන 800 පමණ වුනා.

බැනු කුරෙයිසා යුදෙව්වන් හිස ගසා දැමීම​
කාන්තාවන් සහ ළමුන් වහලුන් ලෙස නැගෙනහිර අරාබියේ බෙදුවියන් ගෝත්‍රයන් වෙත විකුණා දැමුනු අතර​, ඒ මුදලින් අශ්වයන් විශාල ප්‍රමානයක් මිලදී ගැනුනා.

බැනු කුරෙයිසා යුදෙව්වන් සතු වූ කඩු 1500, හෙල්ල 2000 පළිහ 500 සහ සන්නාහ 300 ක් මුස්ලිම් වරු විසින් අල්ලා ගැනුනු අතර​, මිලදී ගත් අශ්වයන් සමඟ මේ ආයුධ තොගය නිසා මුස්ලිම් හමුදාවේ ප්‍රහාරක ශක්තියේ විශාල වර්ධනයක් ඇති වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ නායක හුයයි ඉබ්න් අක්තාබ් ගේ හිස ගසා දැමීම​
බැනු කුරෙයිසා ගෝත්‍රය මදීනාවෙන් පළවා හැරීමත් සමඟම මදීනාව පළමු වරට සම්පූර්ණයෙන්ම අරාබි නගරයක් බවට පත් වුනා. ඒ වගේම තවමත් ඉස්ලාමය වැළඳ නොගත් ස්වල්ප දෙනෙක් හැරුනු කොට මදීනාව සම්පූර්ණයෙන්ම මුස්ලිම් නගරයක් බවටත් පත් වුනා.


මක්කාවට කළ වන්දනා ගමන​​


මදීනාවට එරෙහිව එල්ලවුනු ආක්‍රමනය අසාර්ථක වීමෙන් පසු මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වුනු අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. බැනු කුරෙයිසා ගෝත්‍රය පළවා හැරීමේදී අල්ලා ගත් ආයුධ සහ මිලදී ගත් අසුන් නිසා මුස්ලිම් වරුන් ගේ හමුදා ශක්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. මීළඟට මුහම්මද් තුමාගේ අවධානය යොමු වුනේ මක්කාව සමඟ මිතුරුව උන් බෙදුවියන් ගෝත්‍ර පාලනය කිරීම​. ඒ අනුව බෙදුවියන් ගෝත්‍රයන්ට එරෙහිව කෙරුණු ප්‍රහාර වඩාත් දැඩි කරන්න ඔහු කටයුතු කළා. මේ ප්‍රහාර බහුතරයක් අති සාර්ථක වුනු අතර එක්කෝ බෙදුවියන් වරු ඉස්ලාමය වැළඳ ගත්තා. නැතිනම් මදීනාවට බදු ගෙවන්න එකඟතාවය පළ කලා. මේ විදිහට මක්කාව තනි කරන්න මුහම්මද් තුමා සමත් වුනා.

ක්‍රි.ව​. 628 ජනවාරි මාසයේදී මුහම්මද් තුමා සිහිනයක් දැක්කා. ඒ සිහිනයේ කියැවුනේ ඔහු මක්කාවට ගොස් කාබාව වටා ගමන් කරමින් වන් දනාවේ යෙදෙන ආකාරයත්, ඔහුගේ සහචරයන් ඔහුත් සමඟ සිටින ආකාරයත්, ඔවුන් වන්දනා ගමනක යෙදීමේදී සිදු කරන ආකාරයට හිස මුඩු කර​, සුදු ඇඳ සිටින ආකාරයත්. මෙය මක්කාව වෙත වන් දනා ගමනක යෙදීමට දෙවියන් ගෙන් ලැබුනු උපදෙසක් ලෙස සැලකූ මුහම්මද් තුමා ඒ සඳහා සූදානම් වුනා.

මේ සඳහා මුහම්මද් තුමා සමඟ සහචරයන් 1400 ක් සහභාගී වුනා. ඔවුන් සියළු දෙනා වන් දනා ගමනකට සූදානම්ව හිස මුඩු කොට, සුදු ඇඳුමින් සැරසී බිලි දීම සඳහා සතුන් රැගෙන මක්කාව දෙසට ගමන් කළා. තමාගේ අණක් නොමැතිව කිසිම අවස්ථාවක ආයුධ පාවිච්චි නොකරන ලෙසට මුහම්මද් තුමා ඔවුන්ට ඉතා තදින් අණ කළා.

මුස්ලිම් වරු විශාල පිරිසක් මක්කාව දෙසට එන බව ආරංචි වුනු අබු සුෆියාන් ප්‍රමුඛ මක්කා ප්‍රධානීන් දැඩි ලෙස කැළඹුනා. ඔවුන් සැක කලේ මුස්ලිම් වරු මක්කාවට පහර දීමට එන බව​. මේ නිසා ඔවුන් වහාම කාලිද් ඉබ්න් අල්-වලීද් ගේ නායකත්වය යටතේ අසරුවන් 200 ක් මුස්ලිම් වරු හමුවට යැව්වා. මක්කා අසරුවන් තමා කරා එන බව දැනගත් මුහම්මද් තුමා තමාගේ ගමන් මග වෙනස්කොට කඳු සහිත මාර්ගයකින් මක්කාව කරා පැමිණියා. ඔවුන් මක්කාවට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි "හුදයිබියා" නම් ස්ථානයකට පැමිණ කඳවුරු ලෑවා.


හුදයිබියා හි පැරණි පල්ලියේ නටබුන් සහ නව පල්ලිය​

මුස්ලිම් වරු නගරය අසලටම පැමිණි බව දුටු මක්කා ප්‍රධානින් ඔවුන්ට නගරයට ඇතුළු වීමට නොහැකිවන පරිද්දෙන් ආරක්‍ෂකයන් යෙදුවා. මේ නිසා මුහම්මද් තුමාට මක්කාවට ඇතුළු වීමට ලැබුනේ නෑ. ඔවුන් හුදයිබියා නැවතී සිටියේ නගරයට ඇතුල් වීමට අවසර ලැබෙන තුරු.

බලාපොරොත්තු වුනු ආකාරයට මුස්ලිම් වරු සටනට සූදානම් නොවන බව දුටු මක්කා ප්‍රධානින් කැළඹීමට පත් වුනා. ඔවුන් කළේ අබු සුෆියාන් ගේ දියණියගේ සැමියා වුනු බැනු තකීෆ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු උර්වා ඉබ්න් මසූද් මුහම්මද් තුමා වෙත යැවීම​. උර්වා ඉබ්න් මසූද් මුහම්මද් තුමා සමඟ සාකච්ඡා කළ පසු මුස්ලිම් වරු පැමිණියේ වන්දනා ගමනකට බවත්, සටන් කිරීමට ඔවුන් තුල කිසිදු අදහසක් නොමැති බවත් මක්කා ප්‍රධානින් ට දන්වා සිටියා.

මේ අතර මුහම්මද් තුමා තම නියෝජිතයෙක් විදිහට උත්මාන් ඉබ්න් අෆ්ෆන් මක්කාවට යැව්වා. මක්කා ප්‍රධානින් ඔහුට නැවත නගරයෙන් පිටවීමට තහනම් කොට ඔහුව මක්කාව තුළ රඳවා ගත්තා. දින 19 ක් තිස්සේ උත්මාන් නැවත නොපැමිනි නිසා මක්කා ප්‍රධානින් ඔහුව මරා දමා ඇති බවට රාවයක් මුස්ලිම් වරු අතර පැතිර ගියා. මේ නිසා මුස්ලිම් වරු අතර නොසන්සුන්තාවයක් ඇති වුනා. එවිට මුහම්මද් තුමා සියළු දෙනා කැඳවා යම් හෙයකින් උත්මාන් මරා දමා තිබුනොත්, මක්කා වරු සමඟ මරණය තෙක් සටන් කිරීමට සූදානම් බවට ප්‍රතිඥා දීමට සූදානම් දැයි ඔවුන් ගෙන් විමසා සිටියා. එතැන සිටි සියළුම දෙනා එසේ කිරීමට සූදානම් බවට ප්‍රතිඥා දුන්නා. මේ ප්‍රතිඥාව දුන්නේ ගසක් යටදී නිසා එය හැඳින්වෙන්නේ "ගස යට ප්‍රතිඥාව​" ලෙසින්.


හුදයිබියා ගිවිසුම​


මුස්ලිම් වරු සාමකාමීව පැමිණ ඇති බවත්, අවශ්‍ය වුනොත් සටනකට සූදානම් බවත් දුටු මක්කා ප්‍රධානින් උත්මාන් ව නිදහස් කොට ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මක්කාවේ ප්‍රධානියෙක් වුනු සුහායිල් ඉබ්න් ආමර් එව්වා. සුහායිල් ඉබ්න් ආමර් මක්කා ප්‍රධානින් අතර ඉස්ලාමයට වඩාත් තදින් විරුද්ධ වුනු අයෙක්.

මුහම්මද් තුමා සුහායිල් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එකඟතාවයකට එළැඹුනා. ඔවුන් එම එකඟතාවය ගිවිසුම් ගත කළා. ගිවිසුමේ පිටපත් දෙක ලියනු ලැබුවේ සුහායිල් සහ අලී විසින්.

ගිවිසුම ලිවීමේදී මුස්ලිම් වරුන් ගේ සිරිත අනුව අලී විසින් ආරම්භක වාක්‍යය "බිස්මිල්ලාහ් ඉර් රහ්මාන් අර් රහීම්" (දයාන්විත වූත්, කාරුණික වූත් අල්ලාහ් ගේ නාමයෙන්) යනුවෙන් ලිවීමට පටන් ගත්තා. නමුත් සුහායිල් ඊට විරුද්ධ වෙමින් මක්කා වරු එවැනි දෙයක් පිළිනොගන්නා බව කිව්වා. එවිට මුහම්මද් තුමා ඊට එකඟ වෙමින් අලීට ඒ වාක්‍යය කටුගා දමන ලෙස උපදෙස් දුන්නා.

ඊළඟට අලී "මේ ගිවිසුම සුහායිල් ඉබ්න් ආමර් සහ අල්ලාහ් ගේ දූතයා වන මුහම්මද් අතර ඇති කර ගන්නා ලදී" යනුවෙන් ලිව්වා. නමුත් සුහායිල් එයටත් විරුද්ධ වෙමින් මක්කා වරු මුහම්මද් දෙවියන් ගේ දූතයා ලෙස පිළිනොගන්නා බව කියා සිටියා. එවිට මුහම්මද් තුමා එයටත් එකඟ වෙමින් "මුහම්මද් ඉබ්න් අබ්ද්-අල්ලාහ්" (මුහම්මද් තුමාගේ සම්පූර්න නම​) ලෙස​ එය වෙනස් කරන ලෙස අලීට උපදෙස් දුන්නා.

ඊළඟට ඔවුන් තමා එකඟ වුනු කරුණු හයක් ගිවිසුමේ ලියා දැක්වුවා.

1. මේ වසරේ වන්දනා ගමන සඳහා මක්කාවට ඇතුළු වීමට මුස්ලිම් වරුන්ට අවසර නොමැත​.

2. ඔවුන්ට ඊළඟ වසරේ දී ඒ සඳහා අවසර ලැබේ.

3. වන්දනා ගමන සඳහා මුස්ලිම් වරුන්ට දින තුනක කාලයක් ලැබෙන අතර​, කිසිම ආයුධයක් ගෙන ඒම තහනම් වේ.

4. මක්කාව සහ මදීනාව අතර වසර 10 ක සාම කාලයක් පැවතිය යුතුය​. මේ කාලය තුලදී දෙපිරිස අතර කිසිම සටනක් සිදු නොවිය යුතුය​.

5. යම්කිසි මුස්ලිම් වරයෙකුට ඉස්ලාමය අත හැර නැවත මක්කාවට යාමට අවශ්‍යය වුවහොත්, මුස්ලිම් වරු එයට අවහිර නොකළ යුතුය​.

6. යම්කිසි මක්කා වැසියෙක් ඉස්ලාමය වැළඳගෙන මදීනාවට පැමිණියහොත්, මුස්ලිම් වරු ඔහුව නැවත මක්කාවට බාර දිය යුතුය​.

මේ ගිවිසුම හැඳින්වෙන්නේ "හුදයිබියා ගිවිසුම" ලෙසින්.

සමහර මුස්ලිම් වරු, විශේෂයෙන්ම උමර්, මේ ගිවිසුම දැක්කේ තමාට අවාසි සහගත එකක් ලෙස​. මේ නිසා ඔවුන් මුහම්මද් තුමාගේ නායකත්වය ප්‍රශ්න කරන්න පවා පෙළඹුනා.

ගිවිසුමේ සමහර කොන්දේසි මුස්ලිම් වරුන්ට අවාසි සහගත වුවත්, සමස්තයක් වශයෙන් ගිවිසුම නිසා මුස්ලිම් වරුන්ට අත්වුනේ වාසියක්. එමගින් මුල්ම වරට මක්කා ප්‍රධානින් විසින් මුස්ලිම් වරු වෙනම ගෝත්‍රයක් වශයෙන් පිළිගැනීම සහ මුහම්මද් තුමා ගෝත්‍ර නායකයෙක් ලෙස පිළිගැනීම සිදු වුනා. මෙතෙක් ඔවුන් මුස්ලිම් වරු සැලකුවේ කැරලිකරුවන් පිරිසක් විදිහට පමණයි. මක්කාව සමඟ සටනකට නොයාම නිසා මක්කා වැසියන් තුල මුස්ලිම් වරු කෙරෙහි පැහැදීමක් ඇති කරන්නත් මුහම්මද් තුමා සමත් වුනා. මෙය පසු කාලීනව ඉතා වැදගත් වුනා.

ඒ වගේම මක්කාව සමඟ ලැබුනු වසර 10 ක සටන් විරාමය මුස්ලිම් වරුන්ට තම බලය වර්ධනය කර ගැනීමට කදිම අවස්ථාවක් වුනා.


කයිබාර් හි යුදෙව්වෝ


කයිබාර් කියන්නේ මදීනාවේ සිට කිලෝමීටර් 160 පමණ උතුරින් පිහිටි විශාල ක්‍ෂේම භූමියක්. මේ ක්‍ෂේම භූමියේ අතීතයේ ඉඳන් පදිංචි වෙලා හිටියේ යුදෙව් ගෝත්‍ර කීපයක්. මුහම්මද් තුමා විසින් මදීනාවෙන් පිටුවහල් කරන ලද යුදෙව් ගෝත්‍ර දෙක වුනු බැනු නදීර් සහ බැනු කුවයිනුකා ගෝත්‍ර පදිංචි වුනෙත් කයිබාර් හි.

කයිබාර් ප්‍රසිද්ධ වෙලා තිබුනේ රට ඉඳි වගාවට​. මුළු අරාබියේම ඉස්තරම්ම රට ඉඳි වැවුනේ කයිබාර් වල​. මේ රට ඉඳි වගාවේ නිරත වෙලා හිටපු යුදෙව්වෝ ඒ මගින් විශාල ධනයක් එක් රැස් කර ගත්තා. කයිබාර් ක්‍ෂේම භූමිය අසල තවත් කුඩා ක්‍ෂේම භූමි ගණනාවක් තිබුනා. ඒවායෙත් විවිධ වගාවන් හි නිරත වුනු යුදෙව් ගෝත්‍ර පදිංචි වෙලා හිටියා. ෆදක් සහ වදි අල් කුරා කියන්නේ ඒ වගේ ක්‍ෂේම භූමි දෙකක්.

කයිබාර් කඳු ගැට සහ නිම්න වලින් සොබාවිකව ආරක්‍ෂා වෙලා පිහිටා තිබුනු අතර යුදෙව්වන් ඒ කඳුගැට මත ඉතාමත් ශක්තිමත් බලකොටු තනා තිබුණා. මේ නිසා කයිබාර් සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉතාමත් සුදුසු ආකාරයත පිහිටා තිබුනා.

කයිබාර් නිම්නය​, රට ඉඳි වගාවන් සහ යුදෙව්වන් ගේ නිවෙස් වල නටබුන්
මදීනාවෙන් පිටුවහල් කළ යුදෙව්වන් මුස්ලිම් වරුන් ගෙන් පළිගැනීමට මාන බලමින් උන් අතර​, ඔවුන් මක්කා වරුන් ගේ මදීනා ආක්‍රමනයේදී තීරණාත්මක සාධකයක් වුනා. මදීනා ආක්‍රමනය අසාර්ථක වුනු පසුවද ඔවුන් විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟින් මිතුරු සන්ධාන වලට එලැඹෙමින් මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළා. අවස්ථා කීපයකදීම මුස්ලිම් වරුන්ට එරෙහිව නොයෙකුත් හිරිහැර සිදු කළා. වරක් වදි අල් කුරා හි පදිංචිව උන් යුදෙව්වන් ඒ අසලින් ගමන් කළ මුස්ලිම් වරු පිරිසකට පහර දී නව දෙනෙක් මරා දැමුවා.

ඒ වගේම උතුරින් කයිබාර් යුදෙව්වන් සහ දකුණින් මක්කාව ලෙස දෙපසකින් සතුරන්ට මැදි වී සිටීම මුහම්මද් තුමා සැලකුවේ අනතුරුදායක තත්වයක් විදිහට​. මක්කාව සමඟ දස වසරක සාමයක් පිහිටුවා ගත් පසු මුහම්මද් තුමා කයිබාර් ක්‍ෂේම භූමිය ආක්‍රමනය කිරීමට සැලසුම් කළා.


කයිබාර් හි සටන​


ආක්‍රමනයේ පළමු පියවර විදිහට මුහම්මද් තුමා කළේ කයිබාර් යුදෙව්වන් ගේ මිතුරු බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රය සටනින් ඉවත් කර තැබීම​. බැනු ගතෆාන් ගෝත්‍රය ඉතාමත් බලවත්, පිරිස් බලය අතින් විශාල ගෝත්‍රයක්. ඔවුන් තම යුදෙව් මිතුරන් ගේ සහයට ආවොත් ආක්‍රමනය අසාර්ථක වන බව මුහම්මද් තුමා දැන් සිටියා. මේ නිසා ඔහු බැනු ගතෆාන් ගෝත්‍රයට එරෙහිව ප්‍රහාර කීපයක් එල්ල කොට ඔවුන්ව බිය වද්දා, ඉන්පසු සටනට එක් නොවී සිටියොත් ඔවුන්ට ගෙවීමක් කරන බවට පොරොන්දු වීමෙන් ඔවුන් සටන් බිමෙන් ඉවත් කළා.

ක්‍රි.ව​. 628 මැයි මාසයේදී මුහම්මද් තුමා තම ආක්‍රමනය ඇරඹුවා. කයිබාර් හි සම්පූර්ණ ජනගහණය 10,000 පමණ වුනා. මින් 5000 පමණ සටන් කළ හැකි වයසේ පිරිමින්. නමුත් මුස්ලිම් හමුදාව සමන්විත වුනේ 1600 කින්.

දින තුනක​ ගමනකින් පසු ඔවුන් කයිබාර් කරා පැමිණියා. මුස්ලිම් හමුදාව කුඩා වූ නිසා ඔවුන් ළඟටම එනතුරු යුදෙව්වන් ඒ ගැන දැන සිටියේ නෑ. මේ නිසා සංවිධානාත්මක සටනක් කිරීමට යුදෙව්වන්ට නොහැකි වුනා. ඔවුන් ඒ වෙනුවට තමා ගේ බලකොටු තුළට වැදී ආරක්‍ෂිත සටනකට සූදානම් වුනා.

කයිබාර් හි බලකොටුවක්
කයිබාර් නිම්නය පුරා විශාල බලකොටු හයක් ඉඳි කර තිබුනා. මේ බලකොටු හැඳින්වුනේ සලීම්, කාමුස්, නතත්, ක්වසාරා, අෂ්-සික් සහ මර්තබා යන නම් වලින්. මේ බලකොටු ශක්තිමත් කොටු පවුරු වලින් වටකොට​, කඳු මුදුන් වල තනා තිබුනේ සතුරු ප්‍රහාරයකට ඔරොත්තු දෙන ආකාරයට​.

ඍජු ප්‍රහාරයක් එල්ල කිරීම අනතුරුදායක බව තීරණය කළ මුහම්මද් තුමා ඒ වෙනුවට යුදෙව්වන් ගේ ආහාර අවසන් වන තුරු බලකොටු වටලා සිටීමට තීරණය කළා. හදිසියේම ප්‍රහාරය එල්ල වුනු නිසා යුදෙව්වන්ට ආහාර සහ ජලය විශාල ප්‍රමානයක් තම බලකොටු එක් රැස් කර ගන්න හැකි වුනේ නෑ. මේ නිසා කීප දිනකින්ම යුදෙව්වන්ට ආහාර හිඟයක් ඇති වුනා. ඒ එක්කම බලකොටු අතර සන්නිවේදනය අපහසු වූ නිසා ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් තිබුනේත් නෑ.

මුස්ලිම් හමුදාවේ තත්වයත් එතරම් යහපත් වුනේ නෑ. ටික දිනකින්ම ඔවුන්ටත් දරුණු ආහාර හිඟයක් ඇති වුනා. මේ නිසා ඔවුන්ට කුසගිනි නිවා ගැනීමට සිදු වුනේ තම අශ්වයන් සහ බූරුවන් මරා කෑමෙන්. ඒ අතරේ අලී ඉබ්න් අබු තාලිබ් ට ඇස් රෝගයක් සහ දරුණු හිසරදයක් වැළඳීම නිසා ඔහුට සටන් කිරීමට නොහැකි තත්වයක් ඇති වුනා.

සති දෙකක් පමණ ගෙවී යද්දී යුදෙව් බලකොටු එකින් එක මුස්ලිම් වරුන්ට යටත් වුනා. නමුත් විශාලම සහ ශක්තිමත්ම බලකොටුව වුනු අල්-කාමුස් බලකොටුව යටත් වුනේ නෑ.

අල්-කාමුස් බලකොටුව​

අල්-කාමුස් බලකොටුව අල්ලා ගැනීම​


අල්-කාමුස් බලකොටුවේ සෙනවියා ලෙස කටයුතු කළේ. මර්හාබ් ඉබ්න් අබු සයිනාබ් නම් විශිෂ්ඨ රණ ශූරයෙක්. ඉතාමත් උස ශක්තිමත් සිරුරකින් හෙබි වුනු මර්හාබ් නිර්භීත කම අතින් නම් දැරූ යුධ සෙබළෙක්.

මුස්ලිම් හමුදාව අල්-කාමුස් බලකොටුව වටලා සිටියදී මර්හාබ් බලකොටුවේ කොටු දොරින් එළියට පැමිණ මුස්ලිම් වරුන්ට අභියෝග කළා. ඒ ඔහු විසින් පබදින ලද​ ලද කවියක් කීමෙන්.


"මගේ රණ ශූරත්වය නොදන්නා කෙනෙක් වේද මෙහි
මම මර්හාබ් බව නොදනීද මේ නිම්නය, කයිබාර්"

මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයන් කීපයක් ම මර්හාබ් ප්‍රමුඛ යුදෙව්වන් විසින් මැඩ පැවැත්වුවා. මේ නිසා මුහම්මද් තුමා දක්‍ෂතම සටන් කරුවන් ගෙන් සමන්විත කණ්ඩායමක් සදා එහි නායකත්වය අබු බකර් ට ලබා දුන්නේ මුස්ලිම් හමුදාවේ ධජය ඔහු අතට ලබා දෙමින්.

මුහම්මද් තුමා ගේ අණ පරිදි අබු බකර් තම කණ්ඩායමත් සමඟ බලකොටුවට පහර දුන්නත්, මර්හාබ් හමුවේ ඔවුන්ට පරාජය වී පසු බැසීමට සිදු වුනා. මුහම්මද් තුමා මීළඟ කණ්ඩායමේ නායකත්වය දුන්නේ උමර්ට​. උමර් ධජයත් රැගෙන තම කණ්ඩායම සමඟ ප්‍රහාරයක් මෙහෙයවූවත්, මර්හාබ් ප්‍රමුඛ යුදෙව්වන් එම ප්‍රහාරයත් මැඩ පවත්වන්න සමත් වුනා. මේ ආකාරයට මුස්ලිම් වරුන් ගේ තුන්වන ප්‍රහාරයකුත් ව්‍යර්ථ වී ගියා.

එදින රාත්‍රියේ මුස්ලිම් හමුදාව සිටියේ බලාපොරොත්තු සුන් වූ හැඟීමකින්. බලකොටුව බිඳ හෙලීමට සමතෙක් ඔවුන් අතර නොසිටියි ද යන සැකය කා තුළත් පැන නැගී තිබුනා. නමුත් මුහම්මද් තුමා එක වරම සියල්ලන් අමතා නිවේදනයක් නිකුත් කළා.

"මම හෙට උදෑසන නුඹලා අතරින් කෙනෙකුට මුස්ලිම් වරුන් ගේ ධජය ලබා දෙනවා. ඔහු අල්ලාහ් ට සහ අල්ලාහ් ගේ දූතයාට ආදරය කරන අතර​, අල්ලාහ් සහ අල්ලාහ් ගේ දූතයා ඔහුට ආදරය කරනවා. ඔහු කිසිම විටෙකදී සටනකදී පසු බසින්නේ නෑ. අල්ලාහ් හෙට ඔහුට ජයග්‍රහණය ලබා දෙනවා."

සියළුම දෙනා මුහම්මද් තුමා පැවසුවේ කා ගැනදැයි දැන ගැනීමට නොඉවසිලිමත් වුනා. සියල්ලෝම එම ගෞරවය තමාට ලැබේ යැයි බලාපොරොත්තු වුනා. නමුත් මුහම්මද් තුමා ඒ කවුදැයි එදා රෑ හෙලි කළේ නෑ.

පසුදා උදෑසනම මුස්ලිම් හමුදාව දුටුවේ පුදුම උපදවන සුළු දර්ශනයක්. එතෙක් දැඩි ලෙස රෝගාතුරව සටනින් ඉවත්ව උන් අලී තමාගේ කූඩාරම ඉදිරිපිට සිටගෙන සිටියා. ඔහු තවදුරටත් රෝගීව සිටින බවක් පෙනුනේ නෑ.

"අලී, නුඹේ ඇස් පෙනීම කොහොමද​?"

කෙනෙක් අලීගෙන් ඇසුවා.

"මට කවදාවත් මේ තරම් හොඳින් පෙනිලා නෑ"

අලී පිළිතුරු දුන්නා.

මුහම්මද් තුමා අලී අතට ධජය ලබා දී බලකොටුවට පහර දෙන ලෙස අණ කළා. අලී ධජයත් රැගෙන පිම්මේ දිව ගියේ මර්හාබ් ඉදිරියට​.

මර්හාබ් තමා ඉදිරියට දිව එන තරුණයා පිළිගත්තේ තමාගේ සුපුරුදු කවියෙන්.

"මගේ රණ ශූරත්වය නොදන්නා කෙනෙක් වේද මෙහි
මම මර්හාබ් බව නොදනීද මේ නිම්නය, කයිබාර්"

අලී ඊට පිළිතුරු කවියකින් උත්තර දුන්නා.

"මා ඉපදුනේ මේ සටනට හැර අන් කිසිවකටද​
මා ඉපදුනු විට මගේ මව මා නම් කළේ නමින්‍ ය​, හයිදාර් (සිංහයා)"

අලී ගේ නිර්භීත බව දුටූ මර්හාබ් සැලුනා. ඔහු කඩුව ඇදගෙන සටනට ආවත්, සුළු මොහොතකින් අලී ඔහුගේ යකඩ හිස්වැස්ම පළාගෙන හිස දෙපළු වන ලෙස එල්ල කළ කඩු පහරකින් මරණයට පත් වුනා.

අලී සහ මර්හාබ් සටන් වැදීම​

මර්හාබ් ඇද වැටුනු බව දුටු මුස්ලිම් හමුදාව එකාමෙන් ජයඝෝෂා කරමින් බලකොටුව දෙසට දිව ආවා. බියපත් වුනු යුදෙව්වන් වහ  වහා බලකොටුව තුලට වැදී එහි විශාල​ කොටු දොර වසා ගත්තත්, අලී තනිවම කොටු දොර බිඳ හෙළුවා. බලකොටුව තුලට ඇතුළු වීමට පැමිණි මුස්ලිම් සෙබළුන්ට මුණ ගැසුනේ අගලක්. අලී බිඳ හෙළූ කොටු දොර පාලමක් මෙන් අගල මතින් දමා මුස්ලිම් සෙබළුන්ට බලකොටුව තුලට වැදීමට ඉඩ සදා දුන්නා. බලකොටුවට වැදුනු මුස්ලිම් හමුදාව බලකොටුව අල්ලා ගත්තා.

සම්පුර්ණ සටන මාසයක් පමණ පැවතුනු අතර​, මුස්ලිම් සෙබළුන් 20 ක් සහ යුදෙව්වන් 93 ක් මිය ගියා.


යුදෙව්වන් යටත් වීම​


මුහම්මද් තුමා යටත් වුනු යුදෙව් ගෝත්‍ර වල නායකයන් සමඟ යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කළා. බොහෝ යුදෙව්වන් බිය වුනේ බැනු කුරෙයිසා යුදෙව්වන්ට අත්වූ ඉරණම තමාටත් අත්වේ යැයි කියා. නමුත් මුහම්මද් තුමා ඔවුන්ට වඩා ලිහිල් කොන්දේසි ඉදිරිපත් කළා.

යුදෙව්වන්ට දිගටම කයිබාර් නිම්නයේ පදිංචි වීමටත්, තමාගේ ඉඩම් වගා කිරීමටත්, තමාගේ ආගම ඇදහීමටත් නිදහස ලැබුනා. නමුත් ඔවුන් ගේ අස්වැන්නෙන් කොටසක් බදු වශයෙන්  මුස්ලිම් වරුන්ට ලබා දීමට ඔවුන්ට සිදු වුනා. ඒ වගේම තව දුරටත් යුදෙව්වන්ට එරෙහිව යුධ නොවැදීමටත්, සාමය රැකීමටත් මුස්ලිම් වරු පොරොන්දු වුනා. මේ කොන්දේසි පසු කළෙක මුස්ලිම් පාලනයක් යටතේ වෙසෙන අන්‍යාගමිකයන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ ඉස්ලාමයේ නීති රීති වල පදනම බවට පත් වුනා.

කයිබාර් නිම්නය යටත් වුනු බව ඇසූ ෆදක් සහ වදි අල් කුරා හි යුදෙව්වනුත් මුහම්මද් තුමා සමඟ වෙනම ගිවිසුම් වලට එළැඹුනා. ඒවායේ කොන්දේසි කයිබාර් යුදෙව්වන් ගේ කොන්දේසි වලට සමාන වුනා. ෆදක් හි වගා බිම් මුහම්මද් තුමා තමාගේ පුද්ගලික ධනයක් ලෙස පවරා ගෙන​, එහි ආදායම තම දියණිය වුනු ෆාතිමාට සහ සටන් වලින් මිය ගිය මුස්ලිම් සෙබළුන් ගේ අනාථ දරුවන්ට ලැබෙන ලෙස කටයුතු සැලසුවා.

බැනු නදීර් ගෝත්‍රයේ නායකයා වුනු (මදීනාවේදී මරණ දඬුවමට ලක් වුනු) හුයායි ඉබ්න් අක්තාබ් ගේ දියණිය වුනේ සෆියියා බින්ට් හුයායි. ඇය ඉතාම සුරූපී තරුණියක්. ඇගේ සැමියාත් බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියෙක්. බැනු නදීර් ගෝත්‍රය යටත් වුනු පසු මදීනාවේදී කරන ලද අපරාධයක් හේතුවෙන් මුස්ලිම් වරු ඔහුට මරණ දඬුවම ලබා දුන්නා. පසුව මුහම්මද් තුමා සෆියියා විවාහ කර ගත්තා. ඒ යුදෙව්වන් සහ මුස්ලිම් වරු අතර ඇති කර ගත් සාමය තහවුරු කිරීම සඳහා.


මුහම්මද් තුමාට වස දීම​


මුහම්ම්ද් තුමා කයිබාර් හි රැඳී සිටියදී මර්හාබ් ගේ සොහොයුරිය වුනු සයිනාබ් බින්ට් අල්-හරිත් නම් යුදෙව් කාන්තාවක් ඔහුට ආහාරයක් සඳහා ආරාධනා කළා. සයිනාබ් ගේ පියා, සැමියා සහ මර්හාබ් ඇතුළු සොහොයුරන් තිදෙනෙක් සටනින් මිය ගොස් සිටි නිසා ඇය මුස්ලිම් වරු සමඟ දැඩි වෛරයෙන් පසු වුනා. මේ නිසා ඇය භෝජනයට සකස් කර තිබුනු බැටළු මස් වලට වස එක් කළා.

මුහම්මද් තුමා තවත් සහචරයන් කීප දෙනෙක් සමඟ භෝජනයට සහභාගී වුනා. සියල්ලෝම බදින ලද බැටළු මස් ආහාරයට ගැනීමට සූදානම් වුනා. නමුත් බැටළු මස් කැබැල්ලක් මුවට ගත් වහාම මුහම්මද් තුමාට එහි රසයේ වෙනසක් දැනී එය ආපසු ඉවතට දැම්මා. බැටළුවාගේ ඇටකටු පිරික්සා බැලූ ඔවුන්ට දකින්න ලැබුනේ ඒවා දුර්වර්ණ වී ඇති බව​. මේ නිසා ඊට වස යොදා ඇති බව ඔවුන් නිගමනය කළා.

එදින සවස් වෙද්දී මුහම්මද් තුමා සහ බැටළු මස් ආහාරයට ගත් තවත් සහචරයෙක් දැඩි ලෙස රෝගාතුර වුනා. සයිනාබ් අල්ලා ගත් මුස්ලිම් වරු ඇය මරා දැමීමට මුහම්මද් තුමාගෙන් අවසර ඉල්ලුවත් ඔහු ඊට ඉඩ දුන්නේ නෑ. මුහම්මද් තුමා දින කිහිපයකින් සුවය ලැබුවත් රෝගාතුර වූ අනෙකා මිය ගියා. එවිට අරාබි නීතිය අනුව සයිනාබ් මිය ගිය අයගේ නෑයන්ට ලබා දුන් අතර​, ඔවුන් ඇය මරා දැමුවා.

මුහම්මද් තුමා සුවය ලැබුවත්, ඔහුගේ සෞඛ්‍යය දැඩි ලෙස පිරිහීමට ලක් වුනා. එදා සිට වරින් වර ඔහු දැඩි ලෙස රෝගාතුර වුනා. ඔහුගේ මරණය ඉක්මන් වීමට එය හේතුවක් වුනා.



කයිබාර් නිම්නය අල්ලා ගැනීම ඉස්ලාමයේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිද්ධියක්. එය නිසා ප්‍රතිඵල දෙකක් ලැබුනා. එකක්, වුනේ මුස්ලිම් වරුන්ට විශාල ධනයක් අත් වීම​. මේ නිසා ඔවුන්ට අශ්වයන්, ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමට ලැබුණු අතර එමගින් ඔවුන් ගේ යුධ ශක්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. මේ නිසා බටහිර අරාබියේ ප්‍රභලම බලය වශයෙන් මෙතෙක් මක්කාව ඉසිලූ ස්ථානය එතැන් සිට මුස්ලිම් වරුන්ට අත් වුනා.

දෙවැන්න මෙතෙක් පුර රාජ්‍යයක් වශයෙන් පැවතුනු මුස්ලිම් දේශපාලන ඒකකය එතැන් සිට මදීනාව අගනුවර කර ගත් රාජ්‍යයක මට්ටමට වර්ධනය වුනා. මුස්ලිම් වරු තව දුරටත් හුදෙක් ගෝත්‍රයක් වුනේ නෑ. මේ ඉතිහාසයේ පළමු ඉස්ලාමීය රාජ්‍යයයි.

Wednesday, March 25, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 9 (යුධ අගලේ සටන හෙවත් කන්දක් සටන​)



පසුබිම​


උහුද් හි සටනින් මුස්ලිම් වරුන්ට පරාජය අත්කර දුන් පසු අබු සුෆියාන් අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීම ආරම්භ කළා. ඒ අතර මුහම්මද් තුමාත් බෙදුවියන් වරු හැකි තරම් තමාගේ පක්‍ෂයට ගැනීමට උත්සහ කළා. ඒත් මක්කාව ශක්තිමත්ව සිටි මොහොතක් නිසා මුහම්ම්ද් තුමාගේ උත්සහයන් සාර්ථක වුනේ නෑ.

බැනු අසාද් ගෝත්‍රයේ බෙදුවියන් වරු මදීනාවට පහර දීමට සූදානම් වන බව ආරංචි වුනු මුහම්මද් තුමා 150 ක පිරිසක් ඔවුන් කූඩාරම් ගසාගෙන සිටි ප්‍රදේශයට යවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා. බෙදුවියන් වරු පළා ගියත්, සිරකරුවන් තිදෙනෙක් සහ එළුවන් විශාල ප්‍රමානයක් අල්ලා ගැනීමට මුස්ලිම් වරු සමත් වුනා.

ඊළඟ ප්‍රහාරය එල්ල වුනේ බැනු ලහියාන් ගෝත්‍රයට එරෙහිව​. බැනු ලහියාන් ගෝත්‍රයේ නායක කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මදීනාවට පහර දීමට තවත් ගෝත්‍ර කීපයක් සමඟ සැලසුම් කරන බව මුහම්මද් තුමාට ආරංචි වුනා. බැනු ලහියාන් ගෝත්‍රය බලවත් ගෝත්‍රයක් නිසා කෙලින්ම පහර දීමට මැලි වුනු මුහම්මද් තුමා ඒ වෙනුවට රාත්‍රියක ඝාතකයෙක් යවා කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මරා දැම්මා.

ඊට සුළු කළකට පසු බෙදුවියන් වරු කීපදෙනෙක් මදීනාවට පැමිණ තමා ඉස්ලාමය වැළඳ ගැනීමත සූදානම් බවත්, තමාගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට දූතයන් කීප දෙනෙක් ලබා දෙන ලෙසත් මුහම්මද් තුමාගෙන් ඉල්ලා සිටියා. හදිසියේ ලැබුනු අවස්ථාව මග හැරීමට අකැමැති වුනු මුහම්මද් තුමා දස දෙනෙක් ගෙන් යුතු පිරිසක් ඔවුන්ට ලබා දුන්නා. ඒත් බෙදුවියන් වරු බැනු ලහියාන් ගෝත්‍රයට අයත් ඝාතකයන් පිරිසක්. කාන්තාරයට ගිය සැනින් ඔවුන් මුස්ලිම් වරු දහ දෙනා මරා දැම්මා. ඒ තමාගේ නායකයා ඝාතනය කිරීමේ පළිය වශයෙන්.

බැනු අමීර් ගෝත්‍රයේ බෙදුවියන් වරු කීප දෙනෙක් ඔවුන් ගේ නායකයාගේ ඉල්ලීමක් රැගෙන මුහම්මද් තුමා වෙත ආවා. ඒ ඔවුන් ගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට කණ්ඩායමක් ලබා දෙන මෙන් ඉල්ලමින්. ඒ අනුව මුහම්මද් තුමා ඔවුන්ට 40 ක පිරිසක් ලබා දුන්නා. ඒත් ඔවුන් බැනු අමීර් ගෝත්‍රය වෙත යන විට එහි නායකය මිය ගොස් තිබුනු අතර​, නව නායකයා මුස්ලිම් වරුන්ට පහර දුන්නා. ඒ ප්‍රහාරයෙන් මුස්ලිම් වරු 40 දෙනාම මිය ගියා.

මේ අනුව මුස්ලිම් වරුන් ගේ තත්වය එතරම් යහපත් වුනේ නෑ. බෙදුවියන් ගෝත්‍රියන් ඔවුන්ට එරෙහිව සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනට තල්ලු වී සිටියා.


බැනු නදීර් ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මේ අතර මදීනාවේ යුදෙව්වන් මුස්ලිම් වරු දුර්වල වීමෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ කරමින් සිටියා. ඒ අනුව ඔවුන් අබු සුෆියාන් සමඟ රහස් සාකච්ඡා පැවැත්වූවා. මුස්ලිම් වරු සහ යුදෙව්වන් අතර එළිපිටම සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා.

යම්කිසි කරුණක් සඳහා සාකඡාවක් පැවැත්වීමට මුහම්මද් තුමා, අබු බකර්, උමර් සහ අලී ඇතුළු පිරිසක් බැනු නදීර් යුදෙව් ගෝත්‍රයේ ප්‍රදේශයට ගියා. එහිදී ඔවුන්ට දැන ගන්න ලැබුනේ බැනු නදීර් ගෝත්‍රයේ යුදෙව්වන් ඔවුන් මරා දැමීමට සැලසුම් කරන බව​.

මුහම්මද් තුමා බැනු නදීර් ගෝත්‍රයට දින දහයක් ඇතුලත තමාගේ දේපළත් රැගෙන මදීනාවෙන් පිටව යාමට අණ කළා. බැනු නදීර් ගෝත්‍රය එයට අවනත වුනා. ඒත් මුහම්මද් තුමාගේ මදීනාවේ සිටි එදිරිවාදියා වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි රහසින් බැනු නදීර් ගෝත්‍රයේ නායකයන් හමුවී ඔවුන් මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කරන්නේ නම් සහය ලබා දීමට පොරොන්දු වුනා. ඒ අනුව බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් පිට වීම ප්‍රතික්‍ෂේප කර තමාගේ බලකොටු තුලට වැදී ආරක්‍ෂක සටනකට සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රදේශය පිහිටා තිබුනේ මදීනා නගරයට තරමක් ඈතින්. ඔවුන් ගේ බලකොටු සහ නිවෙස් ගොවිබිම් වලින් වටවී තිබුනා. මේ ගොවිබිම් ඝන රටඉඳි ගස් ආවරණයකින් වැසී තිබුනා. මේ නිසා ඔවුන්ට ආරක්‍ෂිත සටනක් කිරීමට සුදුසු වටපිටාවක් තිබුනා.

අලී ඉබ්න් අබු තාලිබ් ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් හමුදාව බැනු නදීර් ගෝත්‍රයට අයත් ප්‍රදේශය සම්පූර්නයෙන්ම වට කරත්, ඔවුන්ට එය ඇතුළට කඩා වදින්න හැකි වුනේ නෑ. යුදෙව්වෝ තම බලකොටු වල සිට ඊතල සහ ගල් වලින් ඔවුන්ට පහර දුන්නා. ඒත් පොරොන් දු වූ පරිදු ඉබ්න් උබෙයි තම සහය ලබා දුන්නේ නෑ. මේ නිසා වැටලීම බිඳ දමන්න යුදෙව්වන්ට නොහැකි වුනා.

මුස්ලිම් වරු බැනු නදීර් ගෝත්‍රයට පහර දීම​

දින පහළොවකට පසු ආහාර අවසන් වීම නිසා යුදෙව්වෝ යටත් වුනා. ඔවුන් සියල්ලන්ටම මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා. මදීනාවෙන් පිටවුනු ඔවුන් මදීනාවට උතුරින් පිහිටි කයිබාර් හි පදිංචි වුනා. ඒ අනුව මදීනාවේ යුදෙව් ගෝත්‍ර තුනෙන් දෙවැනි ගෝත්‍රයටත් මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා.


අබු සුෆියාන් සේනා රැස් කිරීම​


ක්‍රි.ව. 625 සහ 626 අවුරුදු දෙකම අබු සුෆියාන් ගත කළේ විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීමට​. බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් එලවා දැමීම ඔහුට විශාල වාසියක් වුනා. ඔහු පහසුවෙන්ම ඔවුන් සමඟ සන්ධානයකට එලැඹුනා.

බැනු නදීර් ගෝත්‍රය ඉතා උද්‍යෝගයෙන් අබු සුෆියාන් ට සහය දුන්නා. තමාගේ වසරක අස්වැන්නෙන් බාගයක් ලබා දීමේ පොරොන්දුව මත මදීනාවට උතුරෙන් වාසය කළ ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයේ සහය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ඊට අමතරව බැනු අසාද්, බැනු සුලායිම්, බැනු මුරා සහ බැනු ෂුජා වැනි ගෝත්‍ර ගණනාවක් අබු සුෆියාන් සමඟ මදීනාවට එරෙහිව යුධ වැදීමට කැමැත්ත පළ කළා.

ක්‍රි.ව​. 625 ඔක්තෝබර් මාසයේදී අබු සුෆියාන් පාබල සෙබළු 2000 සහ අසරුවන් 50 කගෙන් සමන්විත හමුදාවක් රැගෙන කාන්තාරය හරහා යද්දී බදර් වෙත පැමිණියා. ඔවුන් බදර් හි රැඳී සිටින බව ආරංචි වුනු මුහම්මද් තුමා ඔවුන්ට පහර දෙන්න තීරණය කළා. ඒ අනුව ඔහු සෙබළු 1500 ක හමුදාවක් සමඟ බදර් වෙත ආවා. ඔහු බලාපොරොත්තු වුනේ මක්කා හමුදාව පරාජය කිරීමෙන් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීම​.

නමුත් තමාට සම්පූර්ණයෙන්ම වාසි දායක නොවන අවස්ථාවක යුධ වැදීම අබු සුෆියාන් ප්‍රතික්‍ෂේප කළා. ඔහු මුස්ලිම් වරු බදර් වෙත පැමිණෙන්න පෙර එතැනින් ඉවත්ව තම හමුදාව මක්කාව කරා රැගෙන ගියා.

ක්‍රි.ව. 626 අවුරුද්ද පුරාම මුහම්මද් තුමා අබු සුෆියාන් සමඟ එක් වුනු ගෝත්‍ර වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න උත්සහ කළා. ඒත් මේ ප්‍රහාර එකකින්වත් සාර්ථක ප්‍රතිඵල ලැබුනේ නෑ. බොහෝ විට ඔවුන් මුස්ලිම් හමුදාව පැමිණීමට පෙර පළා ගියා. මේ නිසා තමා බලාපොරොත්තු වුනු යුධ ජය මුහම්මද් තුමාට ලබා ගන්න බැරි වුනා.

ක්‍රි.ව​. 627 ජනවාරි මාසය වෙද්දී විශාල හමුදාවක් රැස් කරන්න අබු සුෆියාන්ට හැකි වුනා. මේ හමුදාව සමන්විත වුනේ මක්කා නගරයෙන් පාබල සෙබළු 4000 සහ අසරු සෙබළු 300, බැනු ගතෆාන් ගෝත්‍රයෙන් පාබල සෙබළු 2000 සහ අසරු සෙබළු 300, බැනු සුලයිම් ගෝත්‍රයෙන් සෙබළු 700, බැනු මුරා ගෝත්‍රයෙන් සෙබළු 400 සහ බැනු ෂුජා ගෝත්‍රයෙන් සෙබළු 700 සහ තවත් ගෝත්‍ර ගණනාවකින්. මේ දැවැන්ත හමුදාවේ සම්පූර්ණ ශක්තිය 10,000 පමණ වුනා.

මෙ හමුදාවට අබු සුෆියාන් එක් කර ගත්තා එවකට මුළු මහත් අරාබියේම සිටි විශිෂ්ඨම රණ ශූරයාව​. ඒ "ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද්". ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් කියන්නේ නම ඇහුවත් ප්‍රතිවාදීන්ව භීතියෙන් සලිත කරන්න සමත් අයෙක්. ඔහුගේ ශක්තිය​, නිර්භීත කම​, අසුන් එළවීමේ හැකියාව සහ කඩු හරඹ හැකියාව ගැන අරාබියේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තිබුනා. සියළුම ගෝත්‍ර අතර ඔහු බියජනක නමක් දිනාගෙන හිටියා.

අබු සුෆියාන් මේ විශාල හමුදාව මදීනාව කරා මෙහයවූවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව කරා එන බව ආරංචි වුනු මුස්ලිම් වරු දැඩි ලෙස කැලඹුනා.10,000 ක සතුරු හමුදාවකට මුහුණ දෙන්න අවශ්‍යය පිරිස් බලය හෝ යුධ ශක්තිය ඔවුන්ට තිබුනේ නෑ. නියත පරාජයක් අභිමුවේ තමා ඉන්නා බව ඔවුන්ට වැටහුනා.

මේ මොහොතේදී මුස්ලිම් වරුන් ගේ ගැලවීමට ආවේ මදීනාවේ වාසය කළ සල්මන් නම් පුද්ගලයා. සල්මන් පර්සියානු ජාතිකයෙක්. මේ නිසා ඔහු හැඳින්වුනේ සල්මාන් අල්-ෆාර්සි නමින්. ඔහුගේ නියම නම රූස්බේ කොෂ්නුදන්. වයස දහසයේදී නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයන් පිරිසක් සමඟ සංවාදයක් කිරීම නිසා ඒක දේවවාදය පිළිබඳ කුතුහලයක් ඇතිවුනු සල්මාන් නිවසෙන් පිට වී මැද පෙරදිග පුරා ඇවිදින්න පටන් ගත්තා. සිරියාවේදී ඔහුව අල්ලාගෙන වහලෙක් ලෙස මදීනාවේ යුදෙව්වෙකුට විකුණා දමනු ලැබුවා. සල්මාන් මදීනාවට ආවේ එහෙමයි. මදීනාවේදී ඔහු ඉස්ලාමය වැළඳ ගත්තා. භක්තිමත් මුස්ලිම් වරයෙක් වූ සල්මාන් මුහම්මද් තුමාට සහ අලීට දැඩි පක්‍ෂපාතීත්වයක් දැක්වුවා.

පර්සියානු ජාතිකයෙක් වූ සල්මාන් අරාබීන්ට නුහුරු වූ යුධ උපක්‍රම ගැන අවබෝධයක් තිබුනු අයෙක්. මක්කා හමුදාව නැවතීම සඳහා යුධ අගලක් කැණීම සුදුසු බව ඔහු මුහම්මද් තුමාට යෝජනා කළා.

මදීනාවට ගිනිකොණ දෙසින් පිහිටා තිබුනු ගිනිකඳු වලින් ගලාගිය ලාවා ප්‍රවාහයන් නිසා මදීනාවේ නැගෙනහිර සහ දකුණු පැති ආරක්‍ෂා වී තිබුණා. මේ ලාවා ප්‍රවාහ වලින් නිර්මානය වී තිබුණු උස් කඳු තරණය කිරීම ඉතාමත් දුෂ්කරයි. මදීනාවට බටහිරින් පිහිටා තිබුනේ තවත් විශාල කඳු වැටියක්. මේ නිසා මදීනාවට පිවිසිය හැකි එකම මග තිබුනේ උතුරින්.

ඒ වසර මදීනාවේ නියඟයක් පැවති වසරක්. මේ නිසා ගොවිතැන් දකුණු සහ බටහිර පැත්තෙන් ඇති කඳු වැටි අතරින් පටු කපොල්ලක් වැටී තිබුනා. මේ කපොල්ල හරහා හමුදාවකට නගරයට ඇතුළුවිය හැකි වුනත්, ඒ මාර්ගය දුෂ්කර,  ඝනව වැඩුනු රට ඉඳි වගාවන් අතරින් වැටී තිබුනු එකක්. මේ නිසා කපොල්ල ඔස්සේ මක්කා හමුදාව පහර දීමට ඉදිරිපත් නිවනු ඇතැයි ඔවුන් තීරණය කලා. යම් හෙයකින් කපොල්ල හරහා පහර දීමට ඔවුන් ඉදිරිපත් වුවොත්, එය ආරක්‍ෂා කිරීමේ වගකීම මේ වන විට මදීනාවේ ඉතිරිව සිටි එකම යුදෙව් ගෝත්‍රය වූ බැනු කුරෙයිසා ගෝත්‍රයට පැවරුනා. මුස්ලිම් වරු උතුරු දිග ආරක්‍ෂාව භාර ගත්තා.

මුස්ලිම් වරු මදීනාවේ උතුරින් අගලක් කණින්න පටන් ගත්තා. මේ අගල අසෙකුට තරණය කළ නොහැකි තරම් ගැඹුරු විය යුතු අතර​, අසෙකුට ඉහළින් පැනිය නොහැකි තරම් පළල් විය යුතු වුනා. අගල කැනීමට ඔවුනට තිබුනේ දින හතක් පමණයි. මේ නිසා දිවා රෑ නොබලා අගල කැපීමේ නිරත වෙන්න ඔවුන්ට සිදු වුනා.

ඒ අවුරුද්ද මදීනාවේ නියඟයක් පැවතුනු අවුරුද්දක්. මේ නිසා මදීනාවේ දැඩි ආහාර හිඟයක් පැවතුනා. ආක්‍රමනිකයන්ට ආහාර ලබා ගැනීම වැලැක්වීම සඳහා මදීනාව අවට තිබුනු ගොවිබිම් සියල්ලේම අස්වැන්න කපා ගැනීමට මුහම්මද් තුමා නියෝග කළා. අස්වැන්න හරිහැටි පීදී නොතිබුණු නිසා මෙයින් ආහාර හිඟය තවත් දරුණු වුනා.

දිවා රෑ නොබලා අගල කැණීම නිසා මක්කා හමුදාව මදීනාවට පැමිණීමට පෙර අගල අවසන් කරන්න ඔවුන්ට හැකි වුනා.

මුහම්මද් තුමා තමාගේ කූඩාරම අගලට නුදුරින් ඇති සලා නම් කුඩා කඳු ගැටයක් මත පිහිටුවා ගත්තා. මේ කඳු ගැටයේ සිට ඔහුට සම්පූර්න යුධ පිටියම නිරීක්‍ෂනය කරන්න පුළුවන්. අගල දිගටම 3000 කින් සමන්විත වුනු මුස්ලිම් හමුදාව ස්ථානගත කෙරුනා. අගල කැපීමේදී ඉවත දැමූ පස් අගලේ මෙපිට ඉවුර දිගට ගොඩ ගසා තිබුනු අතර​, ඒ පස් ගොඩැලි වලට මුවාවී හුන් දුනුවායන් මක්කා හමුදාව අගල අසලට ආවොත් ඔවුන්ට ඊ ප්‍රහාර එල්ල කරන්න සූදනමින් සිටියා.

මදීනාව​

සටන ඇරඹීම​


ක්‍රි.ව​. 627 ජනවාරි මාසයේ මුල සතියේදී අබු සුෆියාන් තමාගේ දැවැන්ත හමුදාව සමඟ මදීනාවට පැමිණියා. බලාපොරොත්තු නොවූ ආකාරයට තමා ඉදිරියේ තිබූ යුධ අගල දුටු ඔවුනු වික්‍ෂිප්ත වුනා. එකවර නගරයට පහර නොදුන් ඔවුන් නගරයට උතුරින් කඳවුරු ලා ගත්තා. අබු සුෆියාන් තමාගේ කූඩාරම පිහිටුවා ගත්තේ උහුද් කන්ද අසල​.

අගල තරණය කිරීමට කිහිප වරක්ම උත්සහ කළත්, ඒ උත්සහයන් අසාර්ථක වුනේ අගල ගැඹුරට සහ පළලට කපා තිබුනු නිසා. මේ නිසා මක්කා හමුදාවට හැකි වුනේ අගල අසලට පැමිණ ඊතල ප්‍රහාර එල්ල කිරීමටත්, මුස්ලිම් වරුන්ට අපහාසාත්මක කවි කීමටත් පමණයි. මුස්ලිම් වරු අගල පසුපස සැඟවී ප්‍රති ප්‍රහාර එල්ල කළා. කිසිවෙකුටවත් බරපතල හානියක් වුනේ නෑ.

අබු සුෆියාන් තීරණය කලේ කෙලින්ම පහර නොදී නගරය වටලා සිටීමටයි. ආහාර අවසන් වුනු පසු මුස්ලිම් වරුන්ට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති වනු ඇති බව ඔහු නිගමනය කළා. ඒ අතර ඔහු මදීනාව තුල සිටි යුදෙව්වන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමත උත්සහ කළා.


බැනු කුරෙයිසා


මදීනාව තුල සිටි එකම යුදෙව් ගෝත්‍රය වුනේ බැනු කුරෙයිසා. දකුණින් ඇති පටු කපොල්ල ඔස්සේ මක්කා හමුදාව ප්‍රහාරයක් එල්ල කළොත් එය මැඩ පැවැත්වීම ඔවුන්ට බාර වී තිබුනා.

අබු සුෆියාන් ගේ ඉල්ලීම අනුව බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානී හුයායි ඉබ්න් අක්තාබ් රහසේම දකුණු දෙසින් මදීනාවට ඇතුල් වුනා. ඔහු බැනු කුරෙයිසා ප්‍රධානීන් හමුවීමට උත්සහ කළත්, ඔවුන් ඊට ඉඩ දුන්නේ නෑ. තමන් මුහම්මද් තුමා සමඟ ගිවිසුමකට එලැඹී ඇති බවත්, එය ආරක්‍ෂා කරන බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියා.

නමුත් හුයායි ඉබ්න් අක්තාබ් උත්සහය අතහැරියේ නෑ. ඔහු බැනු කුරෙයිසා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් අසල තිබූ කඳු ගැටයකට ගෙනගොස් මදීනාව අවට තිබුනු මක්කා හමුදාවේ කඳවුරු ඔවුන්ට පෙන්වූවා. පෙනෙන තෙක් මානය පුරා පැතිරී තිබූ කූඩාරම් දුටු බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ ධෛර්‍යය සිඳී ගියා. මක්කා හමුදාව නියත වශයෙන්ම ජය ගනු ඇති බවත්, මුහම්මද් තුමා සමඟ එක්ව සිටියොත් තමන්ට නියත විනාශයක් අත්වන බවත් ඔවුන්ට වැටහී ගියා.

ඔවුන් තමාගේ ප්‍රධානීන් හමුවී තමා දුටු දේ පැවසූ විට බැනු කුරෙයිසා ප්‍රධානීන් මක්කා හමුදාවට සහය දීම ප්‍රඥා ගෝචර බව තීරණය කළා.

මුහම්මද් තුමාට ඔත්තු කරුවන් මාර්ගයෙන් මේ බව දැනගන්නට ලැබුනා. ඔහු මේ ආරංචියෙන් දැඩි ලෙස කලබලයට පත් වුනා. දෙපැත්තකින් පහර එල්ල වුවහොත් මුස්ලිම් වරුන්ට අත් වෙන්නේ නියත විනාශයක්. ඔහු රහසේම කුඩා කණ්ඩායමක් බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත පිටත් කර හැරියේ ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත්ත තතු දැන ගැනීමට​. මේ කණ්ඩායම සමන්විත වුනේ මදීනා මුස්ලිම් ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍රයන් ගේ ප්‍රධානීන් ගෙන්.

බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත ගිය ඔවුන්ට දැක ගන්නට ලැබුනේ යුදෙව්වන් ආයුධ සහ සන්නාහ සූදානම් කරන අයුරු සහ සටන් අභ්‍යාස වල නිරත වෙන අයුරු. ඔවුන් වහාම මුහම්මද් තුමාට ඒ බව දැන්වූවා. මුහම්මද් තුමා අගල රැකීමේ යෙදී සිටි සෙබළු 300 ක් නගරය රැකීම සඳහා පිටත් කර හැරියා.

යුදෙව්වන් මුස්ලිම් වරුන් ගේ ශක්තිය මැන බැලීම සඳහා රාත්‍රියේ දී රහසින් නගරයට ඇතුල් වී සුළු ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ එක් ප්‍රහාරයකදී සෆියා නම් මුස්ලිම් කාන්තාවක් පිරිමියෙක් මෙන් හිසේ ජටාවක් බැඳ නිවසින් එළියට ගොස් නගරයේ සැරි සරමින් උන් යුදෙව්වෙක්ට පොල්ලකින් පහර දී ඔහු මරා දැම්මා. මේ නිසා යුදෙව්වන් තීරණය කළේ මුස්ලිම් සෙබළු විශාල ප්‍රමානයක් නගරයේ සිටින බව​. මේ නිසා ඔවුන් කෙලින්ම නගරයට පහර දීමට මැලි වුනා.

මේ අතර යුදෙව්වන් නගරයට පහර දී තමාගේ කාන්තාවන් සහ ළමුන් මරා දමනු ඇතැයි අගල ආරක්‍ෂා කරමින් උන් සමහර මුස්ලිම් සෙබළු බිය වුනා. ඔවුන් මුහම්මද් තුමාගෙන් තමාගේ නිවෙස් ආරක්‍ෂා කිරීම සඳහා නගරයට යාමට අවසර ඉල්ලුවා. මේ අතර ආහාර හිඟය දරුණුවටම දැනෙමින් තිබුනා. මුස්ලිම් වරුන් ගේ තත්වය තිබුනේ ඉතාම අවදානම් තැනක​.

කුරානය මේ තත්වය විස්තර කරන්නේ මේ විදිහට​:

"ඔවුන් ගේ ඇස් බියෙන් අඳුරු වුනා. ඔවුන් ගේ හදවත බියෙන් සැලී ඔවුන් ගේ උගුර වෙත පැමිණියා. ඔවුන් ගේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය පළුදු වීමට පටන් ගත්තා."


ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් ගේ ප්‍රහාරය​


මේ අතර මක්කා හමුදාව් සිටි බෙදුවියන් වරු නොසන්සුන් වෙමින් සිටියා. ඔවුන් පුරුදුව සිටියේ කෙටි ප්‍රහාර එල්ල කිරීමට මිස මෙවැනි දීර්ඝ වැටලීම් වලට නෙවෙයි. ඔවුන් සටනට එක්ව සිටියේ සටන අවසානයේ ධනය පැහැර ගැනීම සඳහා. සති කීපයක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබ කඳවුරු ලාගෙන සිටීමට සිදු වීම ඔවුන් නොසතුටට පත් කළා.

මේ නිසා ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මදීනාව ඇතුලට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කලා. විශිෂ්ඨ රණශූරයෙක් වූ ඔහුට මෙය තමාගේ සංග්‍රාමික කුසලතාවය පෙන්වන්න කදිම අවස්ථාවක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අසරු සෙබළු කීප දෙනෙක් සමඟ යුධ අගල තරණය කරන්න තීරණය කළා. අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් ඔහුට එකතු වුනා. මේ අසරුවන් කීප දෙනා යුධ අගල හොඳින් නිරීක්‍ෂනය කර ආරක්‍ෂාව අඩු තැනකින් නගරය තුලට කඩා වැදුනා. ඔවුන් මුහම්මද් තුමාගේ කූඩාරම පිහිටා තිබූ සලා කඳු ගැටය අසල පිහිටි වගුරු බිමක් වෙත පැමිණියා.

මුස්ලිම් සෙබළු වගුර වට කරගත්තත්, ඔවුන්ට පහර දෙන්න ඉදිරිපත් වුනේ නෑ. ඔවුන් ආමර් ට බිය වුනා. ආමර් සමඟ සටනට යාම නියත මරණය ගෙන දෙන්නක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මුස්ලිම් හමුදාව ඉදිරියට ආවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මම සමඟ සටන් කිරීමට මම නුඹලාට අභියෝග කරනවා"

සුපුරුදු පරිදි අලී ඉබ්න් අබු තාලිබ් තම අසිපතත් රැගෙන ඉදිරියට යාමට උත්සහ කළා. නමුත් මුහම්මද් තුමා ඔහු වැළැක්වුවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මාත් එක්ක සටන් කරන්න තරම් නිර්භීත කෙනෙක් නුඹලාගේ මුළු හමුදාවේම නැද්ද​?"

අලී නැවතත් ඉදිරියට යාමට උත්සහ කළා. ඒත් මුහම්මද් තුමා නැවතත් ඔහු වැළැක්වුවා.

"ඔබ මා වළක්වන්නේ ඇයි?"

අලී මුහම්මද් තුමාගෙන් විමසා සිටියා.

"මට ඕනේ වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න​. කිසිවෙකුටවත් පස්සෙ දවසක් මම එදා ආමර් සමඟ සටන් කරන්න ඉදිරිපත් වෙන්න ගියා, නමුත් අලී මට ඉස්සර වුනා කියන්න ඉඩක් නොතියන්න ඕනේ."

අලී නැවතත් හිඳ ගත්තා.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් තුන්වන වරටත් තම අභියෝගය ඉදිරිපත් කළා.

"මුහම්මද් ගේ සෙබළුනී, නුඹලා බය වෙන්නේ ඇයි? මුහම්මද් නුඹලාට කියන දේ ඇත්තක් නම්, නුඹලා මම අතින් මිය ගියොත් නුඹලා පාරාදීසයට යනවා. මම නුඹලා අතින් මිය ගියත් නුඹලා පාරාදීසයට යනවා. ඉතින් නුඹලා බය වෙන්නේ ඇයි?"

අලී නැවතත් ඉදිරියට ගියා. මෙවර මුහම්මද් තුමා ඔහු වැළැක්වුයේ නෑ.

අලී සහ ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අතර සටන​
27 හැවිරිදි තරුණ අලී මුළු මහත් අරාබියේම විශිෂ්ඨතම රණ ශූරයා ඉදිරියට ගියා.

"ආමර්, පිළිම වන්දනාව අතහරින්න​. එයින් ඔබට යහපතක් වෙන්නේ නෑ. අල්ලාහ් ගේ මාර්ගයට එන්න."

ආමර් ඒ ඉල්ලීම අවඥාවෙන් බැහැර කළා.

"ආමර්, ඔබට ඉස්ලාමය වැළඳගන්න බැරිනම්, නිදහස් මිනිහෙක් වෙන්න​. අපි එක්ක සටන් කරන්න එපා. නැවත ඔබේ ගෙදර යන්න​."

ආමර් ඒ ඉල්ලීමත් බැහැර කළා. ඔහු කවදාවත් සටනකින් හිස් අතින් ආපහු හැරිලා ගිහින් නෑ.

අලී තමාගේ අසිපත ඇද ගත්තා.

"ආමර්, එහෙනම් මම අල්ලාහ් ගේ නාමයෙන් ඔබ එක්ක සටන් කරනවා"

තරුණයා ගේ නිර්භීත කම ආමර් පුදුමයට පත් කළා. මින් පෙර කිසි දාක ඔහු ඉදිරියේදී සතුරෙක් මෙතරම් නිර්භීත වෙලා නෑ.

"තරුණයා නුඹ ඉතාම නිර්භීතයි. නුඹේ නම මොකද්ද​?"

"මම අලී, අබු තාලිබ් ගේ පුතා"

ආමර් පසුතැවිල්ලෙන් හිස වැනුවා.

"එහෙනම් මට නුඹත් එක්ක සටන් කරන්න බෑ. නුඹේ පියා අබු තාලිබ් මගේ හොඳ මිත්‍රයෙක්."

"ඒත් මම නුඹත් එක්ක සටන් කරනවා. නුඹ අල්ලාහ් ගේ සතුරෙක්"

ආමර් තමාගේ අසිපත ඇදගෙන සටනට එලැඹුනා. අලී ගේ නිර්භීත කම සහ ඔහු තමාගේ කීර්තිය නොසැලකීම ගැන ඔහු තුළ ඇති වුනේ දැඩි කෝපයක්.

මුස්ලිම් හමුදාව සහ මක්කා අසරු සෙබළුන් ඇසිපිය නොහෙලා සටන දෙස බලාගෙන හිටියා. අලී සහ ආමර් ඉතාම දරුණු සටනක නියැලුනා. එකෙකුට එකෙක් දෙවැනි වුනේ නෑ. සටනින් ඉහළ නැගුනු දූවිල්ලෙන් හාත්පස වැසී ගියා.

ආමර් පිට පිට එල්ල කළ කඩු පහර වලින් අලී ගේ පලිහ බිඳී ගියා. අලී බිඳුනු පලිහ ඉවත දැම්මා. මෙවර ආමර් පහර දුන්නේ අලී ගේ හිසට​. හිස් මුදුණට එල්ල වුනු දරුණු කඩු පහරින් අලී ගේ හිස්වැසුම දෙපළුවී ගියා. ඔහුගේ හිසෙන් ලේ වෑහෙන්න පටන් ගත්තා. කැඩුනු හිස් වැසුම ඉවත දමා මුහුණෙන් ලේ පිස දැමූ අලී නැවත සටනට එලඹුනා.

මෙවර අලීගේ මාරාන්තික කඩු පහරක් ආමර් ගේ ගෙලට එල්ල වුනා. දරුණු තුවාල ලැබූ ආමර් බිම ඇද වැටුනා. සතුරාට අවසන් කඩු පහර එල්ල කිරීමට අලී ඔහුට ළං වුනා. ඒත් එක වරම ඔහු නැවත හැරී පියවර කීපයක් පසු පසට ගොස් මොහොතක් කල් මැරුවා. ඉන්පසු නැවත ආමර් වෙත ගොස් කඩු පහරක් එල්ල කර ඔහුව මරා දැම්මා. මුස්ලිම් වරු ජය ඝෝෂා කළා.

එවිට මක්කා අසරු සෙබලුන් දෙදෙනෙක් වුනු වුනු හුබයිරා ඉබ්න් අබු වහබ් සහ නව්ෆාල් ඉබ්න් අබ්ද් අල්ලාහ් අලී වෙත කඩා පැන්නේ තුවාල ලබා උන් අලී මරා දැමීමට​. අලී වහාම ආපසු හැරී හුබයිරා ට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් හුබයිරා ගේ කඩුව විසි වී ගිය අතර ඔහු ආපසු පළා ගියා. අලී ගේ සහයට පැමිණි සුබායිර් ඉබ්න් අව්වම්, නව්ෆාල් දෙකඩ වී යන ලෙස එක කඩු පහරක් එල්ල කළා.

"සුබයිර්, නුඹේ කඩුව වගේ කඩුවක් අපි කවදාවත් දැකලා නෑ"

මුස්ලිම් සෙබළු සුබයිර් ගේ කඩු පහර ගැන ඔහුට පැසසුවා.

"කඩුව නෙවෙයි, අත​"

සුබායිර් ප්‍රීතියෙන් ඉඟි මරමින් කියා සිටියා.

අනෙකුත් මක්කා අසරුවන් නැවත තමාගේ කඳවුර වෙත පළා ගියා. මුස්ලිම් සෙබළු ඔවුන් ලුහුබැඳීමට උත්සහ කළත්, අලී එය වැළැක්වුවා. පළා යන සතුරා මරා දැමීම ඔහුගේ සිරිත නෙවෙයි.

තුවාල වුනු අලී කූඩාරමක් වෙත ගෙන ගිය මුස්ලිම් සෙබළු ඔහුට සාත්තු කළා.

"අලී, නුඹ අවසාන කඩු පහර ආමර් ට එල්ල කරන්න කලින් ආපහු හැරිලා ගියේ ඇයි?"

එක් අයෙක් අලීගෙන් විමසා සිටියා.

"මම ඔහුට අවසාන කඩු පහර එල්ල කරන්න යද්දී ඔහු මට කෙළ ගැසුවා. එතකොට මගේ හිතේ ඔහු ගැන කෝපයක් ඇති වුනා. මම එවෙලේ ඔහු මරා දැම්මා නම් මම ඔහුව මරන්නේ මගේ කෝපය නිසා. ඒ නිසා මම ආපහු පස්සට ගිහින් මගේ කෝපය පහ වෙන තුරු හිටියා. ඊට පස්සේ මම ඔහුට අවසන් කඩු පහර දුන්නා. ඒ ඔහු ගැන කෝපයෙන් නෙවෙයි, අල්ලාහ් හට කරන සේවයක් විදිහට​."


සන්ධානය බිඳ වැටීම​


පහුවදා මක්කා හමුදාව ආමර් ගේ මරණයට පළිගැනීමක් විදිහට අවට කඳු වලට නැගලා මදීනාවේ කොටු වී උන්නු මුස්ලිම් වරුන්ට දවස පුරාම ඊ ප්‍රහාර එල්ල කළා. මුස්ලිම් වරුන්ට එළියට බහින්න අවසරයක් ලැබුනේ නෑ. ඔවුන් දවසම ගත කලේ ආවරණ තුලට වෙලා.

මේ අතර මදීනාව ඇතුළත ආහාර ප්‍රශ්නය එන්න එන්නම දරුණු වුනා. තව දුරටත් අල්ලා ගෙන සිටීම අපහසු වෙන තැනට ආවා.

මුහම්මද් තුමා සතුරු හමුදාව ඇතුළත බිඳීම් ඇති කරන්න කටයුතු කළා. ඔහු මේ සඳහා යොදා ගත්තේ බැනු ගතෆාන් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු නුආයිම් ඉබ්න් මසූද්.

මුලින්ම මුහම්මද් තුමා උත්සහ කළේ මදීනාවේ වාර්‍ෂික අස්වැන්නෙන් කොටසක් ලබා දීම මගින් බැනු ගතෆාන් ගෝත්‍රය සන්ධානයෙන් ඉවත් කරගැනීමට​. අස්වැන්නෙන් තුනෙන් එකක් ලබා දීමේ පොරොන්දුව මත සටනෙන් ඉවත් වීමට බැනු ගතෆාන් ගෝත්‍රය එකඟ වුනා. නමුත් දැනටමත් හාමතේ උන්නු මදීනා වැසියන් ඊට එකඟ වුනේ නෑ. සාකච්ඡා අසාර්ථක වුනත් තමාට ඉඩක් පෑදීගෙන එන බව මුහම්මද් තුමාට වැටහුනා.

ඊළඟට ඔහු උත්සහ කළේ සන්ධානයේ සිටි විවිධ ගෝත්‍ර එකිනෙකා කෙරෙහි බිඳවීමට​. ඒ අනුව නුආයිම් ඉබ්න් මසූද් රහසේම බැනු කුරෙයිසා යුදෙව්වන් හමුවී ඔවුන්ට කියා සිටියේ අබු සුෆියාන් ඇතුළු මක්කා හමුදාව සටන අතහැර ඉවත් වුවහොත් මුස්ලිම් වරුන් ගේ දරුණු පළිගැනීමකට ලක් වීමට ඔවුන්ට සිදු වෙන බවයි. මේ නිසා සටන අතහැර නොයන බවට සහතිකයක් වශයෙන් මක්කා හමුදාවේ ප්‍රධානීන් කීප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තමාට ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන්න ඔහු බැනු කුරෙයිසා යුදෙව්වන්ට උපදෙස් දුන්නා.

ඊට පසු නුඅයිමා ඉබ්න් මසූද් ගියේ අබු සුෆියාන් හමුවට​. යුදෙව්වන් රහසින් මුහම්මද් තුමා සමඟ එකඟතාවයකට එලැඹී ඇති බවත්, මක්කා හමුදාවේ ප්‍රධානීන් කීපදෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලා පසුව ඔවුන් මුස්ලිම් වරුන්ට පාවා දීමට ඔවුන් සැලසුම් කරන බවත් නුඅයිමා අබු සුෆියාන්ට දන්වා සිටියා. මේ එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස බැනු නදීර් යුදෙව්වන්ට නැවත මදීනාවේ පදිංචි වීමට ඉඩ දීමට මුහම්මද් තුමා එකඟ වුනු බවත් ඔහු අබු සුෆියාන්ට කිව්වා.

නුඅයිමා බලාපොරොත්තු වූ ලෙසටම බැනු කුරෙයිසා යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ඉල්ලා අබු සුෆියාන්ට පණිවුඩයක් එව්වා. නුඅයිමා තමාට කළ අනතුරු හැඟවීම ඇත්ත බව සැක කරන්න අබු සුෆියාන්ට හේතුවක් තිබුනේ නෑ. ඔහු කෝපයෙන් දිලිහුනා. ඔහු වහාම බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු හුයායි ඉබ්න් අක්තාබ් තමා වෙත කැඳවා "කුමන්ත්‍රණය​" පිළිබඳ ඔහුගෙන් විමසා සිටියා.

හුයායි ඉබ්න් අක්තාබ් විශ්මයට පත් වුනා. අබු සුෆියාන් ඔහු ද්‍රෝහියෙක් බවට චෝදනා කළා. තමාගේ ජීවිතය අනතුරේ බව දුටු හුයායි එදා රෑ රහසේම තම සෙබළුන් සමඟ සටන් බිමෙන් පළා ගියා.

බැනු නදීර් ගෝත්‍රය පළාගිය බව දැනගත් බෙදුවියන් ගෝත්‍ර වල උනන්දුව පහ වී ගියා. මේ වන විට මාසයක් පමණ ඔවුන් කඳවුරු ලාගෙන සිටියත් කිසිම වාසියක් ඔවුනට ලැබුනේ නෑ. මදීනාව අවට කාලගුනය ඉතාමත් ශීතාධික වුනා. රාත්‍රියේ හැමූ තද සුළං වලින් ඔවුන් ගේ ගිනිමැල නිවී ගිය අතර කූඩාරම් ගසාගෙන ගියා. දැඩි ශීතලෙන් ඔවුන් අධික පීඩා වින්දා. මේ නිසා ඔවුන් එකිනෙකා සටන අතහැර නැවත ගමරට බලා යාමට තීරණය කළා.

පසුවදා උදෑසන වන විට සටන් බිමේ සිටියේ මක්කා වරු පමණයි. සටන පවත්වාගෙන යාමට තරම් හමුදාවක් ඉතිරිව නොසිටි නිසා සටන අතහැර නැවත මක්කාවට යාම හැර වෙනත් විකල්පයක් අබු සුෆියාන්ට තිබුනේ නෑ.

සටන මාසයක් පමණ කල් ඇදුනත්, සටනින් මිය ගියේ මුස්ලිම් වරු හත් දෙනෙක් සහ සතුරු සෙබළු හතර දෙනෙක් පමණයි.

නමුත් අබු සුෆියාන් සහ මක්කාවේ කීර්තියට එල්ල වුනේ දරා ගන්න බැරි තරම් දරුණු පහරක්.

Monday, March 23, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 8 (උහුද් හි සටන​)


පසුබිම​


ක්‍රි.ව​. 623 දී සිදු වුනු බදර් හි සටනින් මක්කා හමුදාව පරදවා කුඩා මුස්ලිම් හමුදාව ජය ගැනීම නිසා ප්‍රදේශයේ බල තුලනයේ සැලකිය යුතු වෙනසක් ඇති වුනා. මෙතෙක් මක්කා වරුන්ට අවනතව සිටි අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර මුස්ලිම් වරු සමඟ මිතුරු වීමට නැඹුරුතාවයක් දක්වන්න පටන් ගත්තා. මෙයින් මක්කා නගරයේ කීර්තියට අත්වුනේ බලවත් කැළලක්.

මක්කා ප්‍රධානීන් රැසක් සටනින් මිය ගිය නිසා මක්කාවේ එකම ප්‍රධාන නායකයා වුනේ අබු සුෆියාන්.  අබු සුෆියාන් ගේ වංශය වුනු උමයියා වංශය මක්කාවේ ප්‍රධාන වංශය වශයෙන් ඉදිරියට ආවා. අනෙකුත් වංශයන් ගේ නායකයන් ලෙස ඉතිරිව සිටියේ සාපේක්‍ෂව තරුණ පිරිසක්. බැනු සහ්ම් වංශයේ ආමර් ඉබ්න් අල්-අස්, බැනු මක්සූම් වංශයේ කාලිද් ඉබ්න් අල්-වලීද් සහ ඉක්‍රිමා ඉබ්න් ආමර් මේ අතරින් ප්‍රධානයි. ඉක්‍රිමා කියන්නේ බදර් හි සටනේ මක්කා හමුදාවේ නායකත්වය දැරූ අබු ජහල් ගේ පුතා. කාලිද් කියන්නේ අබු ජහල් ගේ සොහොයුරාගේ පුතා. මේ තිදෙනා මක්කාවේ අනාගත නායකත්වය නියෝජනය කළා. නමුත් තීරණ ගැනීමේදී සම්පූර්න බලයම පාහේ හිමි වුනේ අබු සුෆියාන්ට​.

අබු සුෆියාන් ඉතාමත් සූක්‍ෂම සහ සැලසුම් සහගතව වැඩ කරන පුද්ගලයෙක්. ඔහු මුහම්මද් තුමා පරදා මදීනාව යටත් කිරීමේ දීර්ඝ කාලීන් සැලසුමක් හැදුවා. තුන් පැත්තකින් කඳු වලින් වටවුනු, බලකොටු රැසකින් සමන්විත වුනු මදීනා නගරය යුද්ධයකින් අල්ලා ගැනීම පහසු නොවන බව ඔහු දැන සිටියා. මේ නිසා ඔහු තම සැලසුම හැදුවේ පියවර දෙකකට​.

පළමු පියවර වුනේ මක්කා හමුදාව මදීනාව අසලට ගොස් එල්ල කරන ප්‍රහාරයකින් මුස්ලිම් වරුන්ට පරාජයක් අත් කර දීම​. එමගින් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීමත්, මුස්ලිම් වරුන් ගේ කීර්තිය විනාශ කර දැමීමත් ඔහු බලාපොරොත්තු වුනා. ඒ හරහා අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රිකයන් නැවත තමා වෙත දිනා ගැනීම ඔහුගේ අපේක්‍ෂාව වුනා.

දෙවන පියවර වුනේ බෙදුවියන් මිතුරන් ගෙන් සමන්විත වන විශාල හමුදාවක් සමඟ මදීනාවට පහර දී එය සම්පූර්නයෙන්ම යටත් කිරීමෙන් මුස්ලිම් වරු සම්පුර්නයෙන්ම විනාශ කර දැමීම​.


මදීනාවේ තත්වය​


මේ අතර මුහම්මද් තුමාගේ නායකත්වය මදීනාවේ තදින් තහවුරු වුනා. ඔහු ලැබූ විශිෂ්ඨ යුධ ජයග්‍රහණය නිසා ඔහු සැබැවින්ම දෙවාශිර්වාදය ලද්දෙක් බව මදීනාවේ මුස්ලිම් වරුන් අතර තහවුරු වුනා.

මේ තත්වය ගැන දෙපිරිසක් නොසතුටට පත් වුනා.

පළමුවැන්නා වුනේ මුහම්මද් තුමා මදීනාවට පැමිණීමට පෙර මදීනාවේ නායකයා ලෙස කටයුතු කළ බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි. අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි මේ වන විට ඉස්ලාමය වැළඳගෙන සිටියත්, ඔහු මදීනාවේ නායකත්වය මුහම්මද් තුමා වෙත යාම ගැන කැමති වුනේ නෑ. ඔහු බලාපොරොත්තු වුනේ මුහම්මද් තුමා ආගමික නායකයෙක් ලෙස සිටීමත්, මදීනාවේ දේශපාලන නායකත්වය තමාට හිමි වීමත්. ඒත් මදීනා වාසීන් අතර ඔහු අභිබවා මුහම්මද් තුමා ජනප්‍රිය වී සිටියා.

අනෙක් පිරිස වුනේ මදීනාවේ වාසය කළ යුදෙව්වන්. බැනු කුවයිනුකා, බැනු නදීර් සහ බැනු කුරයිසා ගෝත්‍ර තුනට අයත් වුනු මේ යුදෙව්වන් අරාබි ගෝත්‍ර මදීනාවට පැමිණීමට පෙර මදීනාවේ බලය තහවුරු කරගෙන සිටියා. අරාබි ගෝත්‍ර මදීනාවට පැමිණීමත් සමඟම ඔවුන් ගේ බලය පිරිහුනා. නමුත් පසු කාලීන යුධ ගැටුම් නිසා අරාබි ගෝත්‍ර දෙක බලයෙන් පිරිහීමත් එක්කම ඔවුන් නැවත මදීනාවේ බලය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වුනා. නමුත් මුහම්මද් තුමාගේ පැමිණීමත් සමඟම අරාබි ගෝත්‍ර දෙක සහ මක්කාවෙන් පැමිණි මුස්ලිම් වරු යන තුන් පිරිසම එකම ගෝත්‍රයක් ලෙස කටයුතු කිරීම නිසා එම බලාපොරොත්තුව සිහිනයක් වන බව ඔවුනට පෙනී ගියා.

මේ අතර​ මුස්ලිම් වරු අතර කණ්ඩායම් දෙකක් වර්ධනය වුනා.

එක් කණ්ඩායමක හිටියේ මක්කාවේ සිටි කාලයේ යම්කිසි ධනයක් සහ සමාජ තත්වයක් සහිතව සිටි,  වයසින් තරම්ක් වැඩිමහළු මුස්ලිම් වරු. මේ පිරිස සමන්විත වුනේ අබු බකර්, උමර්, උත්මාන්, අබ්ද් අල් රහ්මන්, සාද් ඉබ්න් අබි වක්කාස් වැනි අයගෙන්.

දෙවන කණ්ඩායම සමන්විත වුනේ තරුණ​, දුප්පත්, සමාජ තත්වයෙන් අඩු මුස්ලිම් වරුන් ගෙන්. මේ පිරිස සමන්විත වුනේ අලී, අබු දාර් අල් ගිෆාරි, අම්මාර් ඉබ්න් යාසිර්, සල්මාන්, බිලාල්, සුබායිර්, මක්දාද් වැනි අයගෙන්. දෙවන කණ්ඩායම මුහම්මද් තුමා වෙත දැක්වූ පක්‍ෂපාතීත්වය සහ ඉස්ලාමය පිළිබඳ භක්තියෙන් පළමු කණ්ඩායම අභිබවා ගියා. ඒ වගේම ඔවුන් එක්වී සිටියේ මුහම්මද් තුමාගේ කිට්ටුම සහචරයා වුනු අලී වටා. බදර් හි සටනින් කෙටි කලකට පසු අලී මුහම්මද් තුමාගේ දියණිය වුනු ෆාතිමා විවාහ කර ගැනීම අලී සහ මුහම්මද් තුමා අතර සම්බන්ධය වඩාත් දැඩි කරන්නට හේතු වුනා.

ඒ අතර මුහම්මද් තුමා අබු බකර් ගේ දියණිය වුනු අයීෂා සහ උමර් ගේ දියණිය වුනු හෆ්සා සමඟ විවාහ වීම නිසා අබු බකර් සහ උමර් සමඟ ඔහුගේ සම්බන්ධය වඩාත් තහවුරු වුනා.

මේ කණ්ඩායම් දෙක අතර බෙදීම පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසයේ ඉතාමත් තීරනාත්මක සාධකයක් වුනා.


බැනු කුවයිනුකා ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මදීනාවේ වාසය කළ විවිධ ගෝත්‍ර සිටියේ නගරයේ එක් එක් ප්‍රදේශ තමාට බෙදා වෙන් කරගෙන​. යුදෙව් ගෝත්‍රයන් වාසය කළ ප්‍රදේශ වල ඔවුන් විශාල අට්ටාල ඉඳි කරගෙන සිටියා. යුධ අවස්ථාවකදී ගලින් කළ මේ ශක්තිමත් අට්ටාල බලකොටු වශයෙන් පාවිච්චි කළ හැකි වුනා.


බදර් හි සටනින් පසු යුදෙව්වන් සහ මුස්ලිම් වරු අතර විවිධ සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා. මේ නිසා මදීනාවේ සාමය තරමක් පිරිහී ගියා. යුදෙව්වන්ට අයත් ප්‍රදේශ වලට යන මුස්ලිම් ස්ත්‍රීන්ට විවිධ හිරිහැර සහ උසුළු-විසුළු කිරීම් නිතර සිදු වූ නිසා මුහම්මද් තුමා ඔවුන්ට යුදෙව්වන් ගේ ප්‍රදේශ වලට යන විට සිරුර වැසෙන සේ ඇඳුම් අඳින ලෙස උපදෙස් දුන්නා.

මදීනාවේ පොදු වෙළඳපොළ පිහිටා තිබුනේ බැනු කුවයිනුකා ගෝත්‍රයට අයත් ප්‍රදේශයේ. එක් දිනක් බැනු කුවයිනුකා ගෝත්‍රයට අයත් යුදෙව් රන්බඩු වෙළෙන්දෙකුගෙන් ආභරණ මිලදී ගැනීමට ගිය මුස්ලිම් ස්ත්‍රියකට බැනු කුවයිනුකා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් උසුළු විසුළු කරා. එක් අයෙක් ඇයගේ මුහුණ වසා සිටි සළුව ඇයට හොරෙන් අසල තිබූ යමක ගැට ගැසූ අතර​, ඇය නැගී සිටිය විට සළුව ගැලවී ගොස් ඇය නිරුවත් වුනා.

එතැන සිටි මුස්ලිම් වරයෙක් යුදෙව් ආභරණ වෙළෙන්දාට පහර දුන් අතර​, ඔහු එයින් මියගියා. ඉන් කුපිත වූ යුදෙව්වන් මුස්ලිම් වරයා මරා දැමුවා. මේ සිද්ධිය මුස්ලිම් වරු සහ බැනු කුවයිනුකා යුදෙව්වන් අතර විශාල ගැටුමක් ඇති වීමට මුලපිරුවා.

මුහම්මද් තුමා මේ සිද්ධිය දැක්කේ මදීනා ව්‍යවස්ථාව බිඳ දැමීමක් සහ මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. ඔහු වහාම හමුදාවක් එක් රැස් කර බැනු කුවයිනුකා යුදෙව්වන්ට පහර දුන්නා. යුදෙව්වෝ තමාගේ අට්ටාල තුලට වැදුනු අතර​, මුස්ලිම් වරු යුදෙව්වන් ගේ ප්‍රදේශය වටකර ගත්තා.



දින පහළොවක් තිස්සේ පැවති වටලෑම අවසානයේ බැනු කුවයිනුකා යුදෙව්වෝ මුස්ලිම් වරුන්ට යටත් වුනා. යටත් වුනු යුදෙව්වන්ට අයත් වන ඉරණම ගැන අවසන් තීරණය ගත යුතු වුනේ මුහම්මද් තුමා.

මුහම්මද් තුමා තම තීරණය දීමට පෙර අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි පෙරට පැමිණියා. ඔහුගේ ගෝත්‍රය වුනු බැනු කස්.රජ් ගෝත්‍රය සාම්ප්‍රදායිකව බැනු කුවයිනුකා යුදෙව්වන් ගේ මිතුරන්. මුහම්මද් තුමා දරුණු දඬුවමක් නියම කිරීමට පෙර ඉබ්න් උබෙයි තම මිතුරන් වෙනුවෙන් පෙනී සිටියා.

ඉබ්න් උබෙයි මුහම්මද් තුමා ඉදිරියට පැමිණ "මුහම්මද්, මගේ මිතුරන්ට හොඳින් සලකන්න​" යනුවෙන් පැවසුවා.

මුහම්මද් තුමා එකවරම උත්තර දුන්නේ නෑ. උත්තරය ප්‍රමාද බව දුටු ඉබ්න් උබෙයි නැවත එයම පැවසුවා. එවිට මුහම්මද් තුමා වෙනතකට හැරුනා. නමුත් ඉබ්න් උබෙයි ඊට ඉඩ දුන්නේ නෑ. ඔහු මුහම්මද් තුමාගේ උරහිසින් දැඩිව අල්ලා ගත්තා.

"මාව අත ඇරපන්" මුහම්මද් තුමා දැඩි කෝපයෙන් කීවා. ඔහුගේ මුහුණ කෝපයෙන් කළුපැහැ ගැන්වී තිබුනා.

"නුඹට ශාප වේවි, මාව අත ඇරපන්"

"නෑ. අල්ලාහ් ගේ නාමයෙන්, නුඹ මගේ මිතුරන්ට හොඳින් සලකන තුරු මම නුඹව අත හරින්නේ නෑ. ඔවුන් ගේ සෙබළු හත්සීයක් යුධ බිමේදී අරාබින් සතුරන් ගෙන් සහ අරාබි නොවන සතුරන් ගෙන් මාව රැක ගත්තා. දැන් නුඹ එක දවසින් ඔවුන් අතුගාලා දාන්න ද යන්නේ? අල්ලාහ් ගේ නාමයෙන් මට අනාරක්‍ෂිත බවක් දැනෙනවා. අනාගතය ගැන මට බයයි."

"ඔවුන් නුඹේ"

ඉබ්න් උබෙයි ගේ මැදිහත් වීම නිසා බැනු කුවයිනුකා ගෝත්‍රයට දරුණු දඬුවමක් හිමි වුනේ නෑ. ඒ වෙනුවට ඔවුන්ට තම දේපලත් රැගෙන මදීනාවෙන් පිටවීමට අණ ලැබුනා. ඔවුන් මදීනාවෙන් උතුරේ පිහිටි විවිධ යුදෙව් ජනාවාස වෙත සංක්‍රමනය වුනා.

මේ සිද්ධිය නිසා මුහම්මද් තුමා සහ ඉබ්න් උබෙයි අතර දැඩි විරසකයක් හට ගත්තා. මුස්ලිම් වරු අතරින් ම මුහම්මද් තුමාගේ නායකත්වය අභියෝගයට ලක් වුනු මුල්ම අවස්ථාව මෙය​. මුහම්මද් තුමා ඉබ්න් උබෙයි සහ ඔහුගේ සහචරයන් හැඳින්වුනේ "ව්‍යාජ මුස්ලිම් වරු" යන අරුත ඇති "මුනාෆිකුන්" යන වචනයෙන්.

මේ අතර මුහම්මද් තුමා මදීනාවේ තම දේශපාලන විරුද්ධ වාදීන්ට එරෙහිව ප්‍රහාරය තවත් දැඩි කරන්න තීරණය කලා. ඒ අනුව මුහම්මද් තුමාට එරෙහිව උපහාසාත්මක කවි ලියූ කවියන් තිදෙනෙක් වුනු අස්මා බින්ට් මර්වාන්, කාබ් ඉබ්න් අල්-අෂරෆ් සහ අබු අෆක් ඝාතනය කිරීමට ඔහු මුස්ලිම් වරුන්ට අණ දුන්නා. මේ කවි වල ඉලක්කය වුනේ මදීනා වාසි මුස්ලිම් වරු. ඔවුන් තම ගෝත්‍රයට අයත් නොවුනු මක්කා නගරයෙන් ආ මුහම්මද් ට අවනත වීම කවියෙන් දැඩි උපහාසයට ලක් කෙරුනා.  ඒ අණ ඔස්සේ ක්‍රියාත්මක වුනු ඝාතකයන් අස්මා, කාබ් සහ අබු අෆක් මරා දැම්මා.


වෙනත් ගැටුම්


මේ අතර අබු සුෆියාන් මදීනාවට එරෙහිව ක්‍රියාත්මක වීම ඇරඹුවා. ඔහු 200 ක අසරුවන් පිරිසක් සමඟ රාත්‍රියේ මදීනාවට නුදුරින් පිහිටි ගොවි බිමකට කඩා වැදී එය ගිනිබත් කළා. එම ප්‍රහාරයෙන් මුස්ලිම් වරු දෙදෙනෙක් මිය ගියා.

මුහම්මද් තුමා මදීනාව තුල තම බලය තහවුරු කර ගැනීමෙන් පසු මදීනාව අවට තම බලය තහවුරු කරගැනීම පිළිබඳ අවධානය යොමු කළා. මුලින්ම ඔහු ක්‍රියාත්මක වුනේ මදීනාවට උතුරින් වාසය කළ බැනු සලීම් ගෝත්‍රයට එරෙහිව​. ඔවුන් මදීනාවට පහර දීමට සැරසෙන බව ආරංචි වුනු පසු ඔහු හමුදාවක් සමඟ ඔවුන් වාසය කළ අල් කුදර් වෙත ගියා. බැනු සලීම් ගෝත්‍රිකයන් පළා ගිය අතර​, මුස්ලිම් වරු ඔවුන් සතුවුනු ඔටුවන් 500 ක් අල්ලා ගැනීමට සමත් වුනා.

මීළඟ ප්‍රහාරය එල්ල වුනේ මදීනාව අසල සිටි ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයට​. ඔවුන් ගෙන් සමහරක් මදීනාවට පහරදීමේ අදහසින් මදීනාව අසළ කඳවුරු ලා සිටින බව සැල වුනු විට මුහම්මද් තුමා 450 ක හමුදාවක් සමඟ ඔවුන් වෙත කඩා වැදුනා. බෙදුවියන් වරු සටන් නොකරම පළා ගියා.

මේ අතර සිරියාවේ සිට මක්කාව වෙත යන වෙළඳ තවලමක් ගැන සැල වුනු මුහම්මද් තුමා 100 දෙනෙකුගෙන් යුතු පිරිසක් එම තවලමට පහර දීම පිණිස පිටත් කර හැරියා. ඔවුන් සාර්ථකව තවලම අල්ලා ගත් අතර​, එහි තිබූ වටිනා බඩු රැසක් අත් කර ගැනීමට සමත් වුනා.

තමාගේ තවලමකට එල්ල වුනු මේ ප්‍රහාරය නිසා මක්කා වැසියන් නැවතත් මුස්ලිම් වරුන්ට එරෙහිව යුධ වැදීමට පොළඹවා ගැනීමට අබු සුෆියාන්ට අවස්ථාවක් ලැබුණා..


මක්කා හමුදාවේ සූදානම​


අබු සුෆියාන් වහාම මදීනාවට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වුනා. ඔහුගේ ප්‍රහාරයේ අරමුන වුනේ මුස්ලිම් හමුදාවට එරෙහිව තීරණාත්මක ජයක් ලබා ගැනීමෙන් බෙදුවියන් ගෝත්‍ර වල සහය ලබා ගැනීම සහ හැකිනම් මුහම්මද් තුමා මරා දැමීම​.

අබු සුෆියාන් රැස් කළ හමුදාව සෙබළු 3000 කින් සමන්විත වුනා. ඉන් 200 ක් අසරු සෙබළු. මේ අය මක්කාවේ සිට මදීනාව දක්වා රැගෙන යාමට ඔටුවන් 3000 කුත් රැස් කෙරුණා.

හමුදාවේ නායකත්වය දැරුවේ අබු සුෆියාන්. අසරු බල ඇණියේ නායකත්වය තරුණ නායකයන්ට පැවරුනා. අබු සුෆියාන් අසරු හමුදාව දෙකට බෙදා පාබල හමුදාවේ දෙපසින් ස්ථාන ගත කළා. වම් අංශය මෙහයවුයේ ඉක්‍රිමා ඉබ්න් ආමර්. දකුණු අංශයට නායකත්වය දුන්නේ කාලිද් ඉබ්න් අල්-වලිද්.

අබු සුෆියාන් ගේ බිරිඳ වුනු හින්.ද් මුහම්මද් තුමා, හම්සා සහ අලී පිළිබඳ දැඩි වෛරයකින් සිටියේ ඇගේ පියා, සොහොයුරා සහ පියාගේ සොහොයුරා බදර් හි සටනින් මිය යාම නිසා. මේ නිසා ඇයටත් සටනට ක්‍රියා කාරීව සහභාගී වීමට අවශ්‍යය වුනා. ඇය තවත් ස්ත්‍රීන් කණ්ඩායමක් සමඟ හමුදාවට එක් වුනේ යුධ සෙබළුන්ව දිරි ගැන්වීමට​.

හින්.ද් ට වාෂි නම් අප්‍රිකාණු ජාතික වහලෙක් සිටියා. වාෂි සැහැල්ලු අඩයටි (හෙල්ල​) විසි කිරීමේ අති ශූරයෙක්. හම්සා සහ අලී ගේ කඩු හරඹ හැකියාව නිසා ඔවුන් ව කඩු සටනකින් මරා දැමීම අපහසු බව තීරණය කළ හින්.ද් ඔවුන් දෙදෙනාව මරා දැමීම වාෂිට බාර කළා.

ක්‍රි.ව​. 624 දෙසැම්බර් 10 වැනිදා අබු සුෆියාන් තමාගේ හමුදාවත් සමඟ මදීනාව බලා ගමන් කිරීම ඇරඹුවා. මදීනාව දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් තරණය කිරීමට අපහසු කඳු වලින් යුක්ත වුනු නිසා ඔවුන්ට පහර දීමට තිබූ එකම දිශාව උතුරින්. ඒ නිසා ඔවුන් දින දහයක ගමනකින් පසු මදීනාවට උතුරින් කඳවුරු ලෑවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව බලා ගමන් කළ බව දැනගත්ත මදීනා වැසියන් කැළඹුනා. මුහම්මද් තුමා වහාම යුධ මන්ත්‍රණයක් කැඳෙව්වා. එහිදී මුස්ලිම් වරු ප්‍රධාන අදහස් දෙකක් ඉදිරිපත් කළා.

අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි සහ අබු බකර් ඇතුළු ජේෂ්ඨ මුස්ලිම් වරුන් ගේ අදහස වුනේ මදීනා නගරය තුළට වී සිටීම වඩා සුරක්‍ෂිත බවයි. මදීනා නගරයේ බලකොටු සහ වෙනත් ගොඩනැගිලි තුළට වී ආරක්‍ෂිත සටනක් කිරීමෙන් මක්කා හමුදාව පළවා හැරිය හැකි බව ඔවුන් ගේ අදහස වුනා.

නමුත් තරුන මුස්ලිම් වරු කියා සිටියේ ඉදිරියට ගොස් මක්කා හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔවුන් ව පළවා හැරීම වඩා සුදුසු බවයි.

අවසානයේ මුහම්මද් තුමා තරුණ මුස්ලිම් වරුන් ගේ අදහසට එකඟ වුනා. ඒ අනුව ලහි ලහියේ හමුදාවක් එක් රැස් කෙරුනා. පාබල සෙබළු 1000 ක් එක් කර ගන්න ඔවුන්ට හැකි වුනත් ඔවුන් සතුව සිටියේ අසුන් හතර දෙනෙක් පමණයි. හමුදා ශක්තිය අතින් ඔවුන්ට තිබුණු පාඩුව අවම කර ගැනීම සඳහා භූමියේ වාසිය උපරිමයෙන් ලබා ගැනීමට ඔවුන්ට සිදු වුනා.

ඒ අනුව ඔවුන් තමාගේ හමුදාව ස්ථාන ගත කළේ මක්කා හමුදාවට නැගෙනහිර දෙසින් පිහිටි උහුද් කඳු වැටිය​ පාමුල.

උහුද් කඳුවැටිය​


යුධ පිටිය​


බදර් හි සටනේ මෙන් නොව​, මේ වර වර්‍ෂාවෙන් බලපෑමක් නොවුනු නිසා මක්කා හමුදාවට තමාගේ අසරු බල​ඇණිය සටනට යොදාගත හැකිව තිබුණා. මක්කා අසරුවන් තමාගේ වම් සහ දකුණු අංශ වලට පහර දුන්නොත් සිදු වෙන නියත විනාශය ගැන දැන සිටි මුහම්මද් තුමා තම හමුදාව ස්ථාන ගත කළේ වම් සහ දකුණු අංශ ආරක්‍ෂිය වෙන පරිද්දෙන්.

සටන් බිම පිහිටා තිබුනේ මක්කාවට මදක් උතුරින් පිහිටි උහුද් නම් විශාල කඳුවැටියක් අසල​. මක්කා හමුදාව උහුද් කඳුවැටියට තරමක් බටහිරින් කඳවුරු ලා සිටියා. මුස්ලිම් හමුදාව රාත්‍රියේදී රහසින්ම මක්කා හමුදාව සහ කඳුවැටිය අතරින් ස්ථානගත වුනා.



මුස්ලිම් හමුදාවේ දකුණු අංශය උහුද් කඳුවැටියේ ඉදිරියට ආ නෙරුමකින් ආරක්‍ෂා වී තිබුනා. ඔවුන් ගේ වම් අංශය නිරාවරණය වී තිබුණු නිසා මුහම්මද් තුමා අසළ වූ කඳු ගැටයක දුනුවායන් 50 දෙනෙක් ස්ථානගත කළා. ඔවුන්ට පැවරුනු කාර්‍යය වුනේ මක්කා අසරු බල​ඇණියෙන් මුස්ලිම් හම්දාවේ වම් අංශය ආරක්‍ෂා කිරීම​. මක්කා අසරුවන් ඉදිරියට එන හැම විටම ඊ ප්‍රහාර මගින් ඔවුන් පසු බැස්සවීම ඔවුන්ට බාර වුනා.

දුනුවායන් රැඳවූ කඳුගැටය​

ඔවුන්ට ලැබුණේ එකම අණක්:
"සටනේ මොනවා සිදු වුනත්, කිසිම අවස්ථාවක කඳු ගැටෙයෙන් බසින්න එපා. දිගටම කඳු ගැටය මත රැඳී සිටින්න​."

මුස්ලිම් පාබල හමුදාව මෙයෙහවුනේ හම්සා ගේ නායකත්වයෙන්. ඔවුන් උහුද් කඳුවැටිය පාමුල සටන සඳහා පෙළ ගැසුනා.


සටන ඇරඹීම​


පසුදා උදෑසනම හමුදාවන් සටන සඳහා සූදානම් වුනා. සටන ඇරඹෙන්න ඔන්න මෙන්න තිබියදී මදීනාවෙන් පිටතට පැමිණ ප්‍රහාරාත්මක සටනක් කිරීම ගැන නොසතුටින් උන් අබ්ද් අල්ලා ඉබ්න් උබෙයි තම සහචරයන් 300 ක් සමඟ සටන් බිමෙන් ඉවත්ව නැවත මදීනාව බලා ගියා.

සටන පටන් ගන්නත් පෙර මුස්ලිම් වරුන්ට සෙබළු 300 ක් අහිමි වුනා. දැන් 3000 ක මක්කා හමුදාවකට එරෙහිව සිටියේ 700 ක මුස්ලිම් හමුදාවක් පමණයි.

මක්කා හමුදාවේ ධජය රැගෙන යන්නා වුනේ "තල්හා ඉබ්න් අබු තල්හා" නම් විශිෂ්ඨ රණකාමියෙක්. ඔහු අසුපිටින් මුස්ලිම් හමුදාව ඉදිරිපිටට පැමිණ මුස්ලිම් වරුන්ට ද්වන්ධව සටනක් සඳහා ආරාධනා කළා. ඔහුගේ අභියෝගය පිළිගත්තේ අලී ඉබ්න් අබු තාලිබ්.

තල්හා මක්කාවේ සිටි නම් දැරූ රණකාමියෙක්. ඔහුගේ විනෝදාංශය වුනේ සිංහයන් දඩයම් කිරීම​. නමුත් සටන පැවතුනේ තප්පර කීපයක් පමණයි. අලීගේ මුල්ම කඩු පහරින් තල්හා ගේ හිස දෙපළු වී ගියා.

උහුද් හි සටන​

තල්හා ගෙන් ගිලිහී ගිය මක්කා ධජය ගැනීම සඳහා ඔහුගේ සොහොයුරා වූ අබු සාද් ඉදිරියට දිව ආවා. නමුත් ඔහුටත් සිදු වුනේ අලී ගේ අසිපත හමුවේ මරනය වැළඳ ගන්න​.

ඉන්පසුව ඉදිරියට ආවේ තල්හා ගේ තවත් සොහොයුරෙක් වුනු උත්මාන්. මෙවර ඔහුව පිළිගත්තේ හම්සා. කඩු සටන අවසන් වුනේ උත්මාන් මිය යාමෙන්.

මෙවිට අලීට එරෙහිව තල්හා ගේ ඥාතීන් දෙදෙනෙක් වුනු අර්තාත්, ෂුරේයි සහ ඔවුන් ගේ සේවකයා වුනු සවාබ් ඉදිරියට ආවා. ඔවුන් තිදෙනා සමඟම සටන් වැදුණු අලී ඔවුන් තුන් දෙනාම මරා දැම්මා.

ඒ අතරේ තල්හා ගේ පුතුන් තිදෙනා වුනු මුසාෆි,  අල්-හරිත් සහ කිලාබ් අලී වෙත කඩා පැන්නේ තම පියාගේ පලිය ගැනීමට​. නමුත් මුස්ලිම් හමුදාවේ සිටි අසීම් ඉබ්න් තහීත් ක්‍ෂණික හී ප්‍රහාර දෙකක් මගින් මුසාෆි සහ අල්-හරිත් මරා දැම්මා. කිලාබ් සමඟ සටනට එලැඹි සුබයිර් ඉබ්න් අල්-අවම් ඔහුවත් මරා දැම්මා.

සුළු වේලාවක් ඇතුලත මුස්ලිම් වරු විසින් මක්කා හමුදාවේ ධජය රැගෙන යන්නා සහ ඔහුගේ සහයට ආ අට දෙනෙක් මරා දැමීම නිසා මක්කා හමුදාව දැඩි තිගැස්මකට ලක් වුනා. විශේෂයෙන් බදර් හි ඔවුන්ට එරෙහිව දරුණු ලෙස සටන් වැදුණු අලී එක කඩු පහරින් ඔවුන් ගේ විශිෂ්ඨම රණකාමියා මරා දැමීම මක්කා වරුන් තැති ගැන්වීමට සමත් වුනා.


සටන​


ද්වන්ධව සටන් වලින් ජය ගත් පසු මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට පහර දීමට අණ කළා. මුස්ලිම් හමුදාව මක්කා හමුදාව වෙත කඩා පැන්නා.

මේ අතර හින්.ද් ප්‍රමුඛ මක්කා කාන්තාවෝ මක්කා පෙළ පිටුපස සිට කවි ගයමින්, රබන් වයමින් තම හමුදාව දිරිමත් කළා.

"හිමිදිරි තාරකාවේ දියණියන් අපි වෙමු
සේද යහනාවන් මත හිඳ ඔබ දෙස බලා සිටිමු
ඔවුන් වනසන්න​, අපි සදහටම ඔබේ වෙමු
පළායන්න​, කිසිදිනෙක ඔබ වැළඳ නොගමු"

හම්සා සහ අලී ගේ ප්‍රධානත්වයෙන් එල්ල වුනු ප්‍රහාරය මැඩ පවත්වන්න මක්කා වරුන්ට හැකි වුනේ නෑ. ඉක්‍රිමා සහ කාලිද් තමාගේ අසරු බල​ඇණි මුස්ලිම් වරුන් ගේ වම් සහ දකුණු අංශයන් වෙත මෙහෙයවන්න දැඩි උත්සහයක් ගත්තත්, උහුද් කන්ද සහ මුස්ලිම් වරු ගේ හී ප්‍රහාර නිසා ඒ උත්සහයන් ව්‍යර්ථ වුනා. ක්‍රමයෙන් මුස්ලිම් වරු ඉදිරියට ඇදුනා.

මක්කා වරුන් ගේ පෙළ කීප තැනකින් බිඳ වැටුනා. පළා යන සතුරන් ලුහුබඳිමින් මුස්ලිම් වරු මක්කා වරුන් ගේ කූඩාරම් අසලටම පැමිණියා. මුස්ලිම් වරු තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත ළඟ​.

ඒත් මේ වෙලාවේ බලාපොරොත්තු නොවු දෙයක් සිද්ධ වුනා. මුස්ලිම් පාබල හමුදාව මක්කා කූඩාරම් අසලටම ආ බව දුටු කඳු ගැටය මත රඳවා සිටි දුනුවායන් සටන අවසන් වූ බව නිගමනය කරලා කූඩාරම් වල ඇති දේ පැහැර ගැනීම සඳහා පාබල සෙබළුන්ට එක් වීමේ අදහසින් තමාගේ ස්ථානය අතහැර කඳු ගැටයෙන් පහළට බැස්සා.

අති ශූර යුධ සෙබළෙක් වුනු කාලිද් ඉබ්න් අල්-වලීද් තමාගේ අවස්ථාව දැක්කා. මක්කා අසරු හමුදාවේ දකුණු අංශය මෙහෙයවූ ඔහු දුටුවේ මුස්ලිම් හමුදාවේ වම් අංශය නිරාවරණය වී ඇති ආකාරය. ඔහු වහාම තම අසරු බල​ඇණිය මෙහෙයවමින් කඳු ගැටය වටා ගොස් මුස්ලිම් හමුදාවේ පසුපසට කඩා වැදුණා.



හදිසියේම එල්ල වූ මේ ප්‍රහාරයෙන් මුස්ලිම් හමුදාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. ඔවුන් ආපසු හැරී උහුද් කඳුවැටිය කරා දිවගියේ තමාගේ පසුපස ආරක්‍ෂා කර ගන්න. මේ අතර මුස්ලිම් හමුදාවට දෙවන මරු පහරත් එල්ල වුනා.

වාෂි තමාගේ අඩයටිය ගෙන රහසින්ම හම්සා සිටි දිශාවට පැමිණ​ ඈත සිටම අඩයටියෙන් පහර දුන්නා. පපුව විනිවිද ගිය අඩයටි ප්‍රහාරයෙන් හම්සා එතැනම මැරී වැටුනා.

ඒ අතරේ එල්ල වුනු ගල් ප්‍රහාරයකින් මුහම්මද් තුමාගේ කටට බරපතල තුවාල සිදු වුනා. මුවින් රුධිරය වෑහෙමින් ඇද වැටුනු මුහම්මද් තුමා දුටු මුස්ලිම් හමුදාව එකා මෙන් ආපසු හැරී පළා ගියා. උහුද් කඳුවැටිය වෙත පලා ගිය වුන් දිවි ගලවා ගැනීමට සමත් වුනත්, මදීනාව වෙත පලා ගිය පිරිසක් අසරුවන් විසින් ලුහුබැඳ මරා දැම්මා.

සටන් බිමේ ඇද වැටුනු මුහම්මද් තුමා රැක ගැනීමට ඉදිරිපත් වුනේ අලී ඇතුළු දෙළොස් දෙනෙක් පමණයි. මක්කා අසරුවන් ගෙන් එල්ල වුනු දරුණු ප්‍රහාර මැඩ පවත්වමින් මුහම්මද් තුමාව උහුද් කඳුවැටිය දක්වා රැගෙන යන්න මේ පිරිස සමත් වුනා.

සටනින් මුස්ලිම් වරු 85 ක් සහ මක්කාවරු 30 පමණ මිය ගියා. මුස්ලිම් වරුන්ට අත්වූ දරුණුම පහර වුනේ ඔවුන් ගේ ප්‍රධාන සෙනවියා වුණු හම්සා මිය යාම​.

මුස්ලිම් වරු කඳුවැටිය මත හිඳ සටන් බිම දෙස බලා සිටියේ මක්කා හමුදාව සටන් බිමෙන් ඉවත්ව යන තුරු. මක්කා සෙබළුන් මිය ගිය සගයන් ගේ සිරුරු එකතු කිරීමේ සහ මියගිය මුස්ලිම් සෙබළුන් ගේ බඩු පැහැර ගැනීමේ යෙදී සිටියදී හින්.ද් හම්සා ගේ මළ සිරුර වෙත ළං වුනා.

හම්සා මිය ගොස් තිබීම ගැන ඇය සිටියේ ඉතාමත් ප්‍රීතියෙන්. තම පිහියෙන් හම්සා ගේ මල සිරුරේ බඩ කපා විවර කළ ඇය හම්සා ගේ අක්මාව කපා ඉවතට ගෙන කඳුමත හිඳ තමා දෙස බලා සිටි මුස්ලිම් වරුන්ට පෙන්නුවා. ඉන්පසු ඇය මුස්ලිම් වරු භීතියෙන් ගල් ගැසී බලා සිටියදී ලේ වැකෙන අක්මාවෙන් කොටසක් කටින් කඩාගෙන විකා, ඉවතට දැමුවා. ඉන්පසුව ඇය අසා සිටිය අයගේ ඇඟ භීතියෙන් හිරිවැටෙන හඬින් ජයඝෝෂාවක් නංවා ඉවත්ව ගියා.

හම්සා ගේ සොහොන​

සටනින් පසු


දින කීපයක් මදීනාව අවට රැඳී සිටිමින් තමාගේ බලය ප්‍රදර්ශනය කළ මක්කා හමුදාව නැවත මක්කාවට පැමිණියා.

අබු සුෆියාන් ගේ නායකත්වය මක්කාවේ තහවුරු කරන්න මේ ජයග්‍රහණය සමත් වුනා. දැන් ඔහුට තිබුනේ තමාගේ සැලැස්මේ දෙවන කොටස ක්‍රියාත්මක කිරීම​. ඒ සඳහා ඔහු ක්‍රමයෙන් මදීනාව අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් ගේ සහය ලබා ගන්න උත්සහ කළා.