Thursday, October 4, 2018

මාලදිවයිනේ අතොළු - 7 (ඉහළ දකුණු ප්‍රාන්තය​)


ඉහළ දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. හුවදූ අතොළු උතුරුබුරි
2. හුවදූ අතොළු දෙකුණුබුරි

හුවදූ අතොළු උතුරුබුරි



නිල නාමය : හුවදූ අතොළු උතුරුබුරි
කේතය : ගාෆු අලිෆ්
ප්‍රාන්තය : ඉහළ දකුණු
අයත්වන සොබාවික අතොළු : හුවදූ
ජනගහණය : 8,334
දූපත් : 82
ප්‍රධාන දූපත : විලිංගිලි

පදිංචිකරුවන් සහිත දූපත් : 11
(දාන්දූ, දෙව්වදූ, දියදූ, ගෙමනෆුෂි, හදහා, කන්ඩුහුළුදූ, කොලමාෆුෂි, කොන්ඩේ, මාමෙන්දූ, නිලන්දූ, විලිංගිලි)

පදිංචි කරුවන් රහිත දූපත් : 71

අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුනු අතොළුවක්. ඒ වගේම​ 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගීවූ අතොළුවක්.


වැදගත් ස්ථාන​:

දෙව්වදූ දූපත -

දෙව්වදූ දූපත සැලකෙන්නේ බෞද්ධ සමයේදී ඉතාමත් වැදගත් තත්වයක් ඉසිලූ දූපතක් විදිහට​. එහි බෞද්ධ නටබුන් රාශියක් දකින්නට පුළුවන්. ඒ අතර "උස්ගදු" නමින් හැඳින් වෙන බෞද්ධ ආරාම කීපයක පාදම විශේෂයි. මේවා මාලදිවයිනේ හමුවන විශාලම බෞද්ධ​ නටබුන් අතරට ගැනෙනවා. මේ වගේ උස්ගදු 5 ක් දෙව්වදූ දූපතේ දකින්නට පුළුවන්. මේ නටබුන් අද තියෙන්නේ අඩි 100 පමන දිග​, අඩි 50 පමණ පළල​, අඩි 4 පමණ උස ගොඩැලි වශයෙන්.

කොන්ඩේ දූපත -

මේ දූපතේත් බෞද්ධ නටබුන් රාශියක් දකින්න පුළුවන්. ඒ අතරින් මේවා විශේෂයි.
1. අඩි 47 දිග සහ පළල​, අඩි 4 ක් උස "කොන්ඩේ හවිත්තා" නමින් හැඳින්වෙන ස්ථුපයක්
2. අඩි 50 දිග සහ පළල​, අඩි 4 උස තවත් ස්ථුපයක්
3. අඩි 60 දිග සහ පළල, අඩි 6 උස තවත් ස්ථුපයක්

ඊට අමතරව ශිලාමය මකර හිසකුත් මේ දූපතෙන් හමුවෙලා තියෙනවා.

විලිංගිලි දූපත -

මුහුදු කෑමට ලක්වීමෙන් බොහෝ සෙයින් විනාශ වී ගිය ස්ථුපයක නටබුන් මේ දූපතේ හමුවෙනවා.


හුවදූ අතොළු දෙකුණුබුරි



නිල නාමය : හුවදූ අතොළු දෙකුණුබුරි
කේතය : ගාෆු දාලු
ප්‍රාන්තය : ඉහළ දකුණු
අයත්වන සොබාවික අතොළු : හුවදූ
ජනගහණය : 11,795
දූපත් : 153
ප්‍රධාන දූපත : තිනදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 10
(ෆරෙස්, ෆියෝරි, ගද්දූ, හොන්දෙද්දූ, මාතොදා, මඩවෙලි, නඩෙල්ලා, රතෆන්දූ, තිනදූ, වාදූ)

පදිංචි කරුවන් රහිත දූපත් : 143

අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුනු අතොළුවක් වගේම, මාලේ අගනුවර​ රාජ්‍ය​ බලයට විකල්පයක් ලෙස ඉදිරිපත් වුනු අතොළුවක්. පැරණි හුවදූ අතොළුව වෙනත් අතොළු වලට වඩා ස්වාධීනත්වයක් භුක්ති විඳල තියෙනවා. ඔවුන්ට තමාගේ නැව් සහ බෝට්ටු වල වෙනම කොඩියක් ඔසවන්න පවා අවසර තිබිල තියෙනවා. ඒ වගේම​ 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගීවූ අතොළුවක්.

හුවදූ කොඩිය
සියළුම අතොළු අතරින් වැඩිම දූපත් සංඛ්‍යාවක් අයත් වෙන්නේ මේ අතොළුවට​.

වැදගත් ස්ථාන​:

ෆියෝරි දූපත -

අඩි 32 ක පරිධියකින් සහ අඩි 3 ක උසින් යුත් බෞද්ධ ස්ථුපයක නටබුන් මේ දූපතේ තියෙනවා. ඒ වගේම "තුන්කුදුනා" නම් පන් වර්ගයකින් වියන පැදුරු වලට මේ දූපත ප්‍රසිද්ධයි. ඒ පන් වර්ගය මාලදිවයිනේ වැවෙන එකම දූපත මේ දූපත​.


ගද්දූ දූපත -

බෙලිපට්ට ගසේ පට්ට සහ තණකොළ වර්ගයක් යොදාගෙන වලින් වියන පැදුරු සඳහා මේ දූපත ප්‍රසිද්ධයි. මේ පැදුරු හැඳින්වෙන්නේ "කුනා" කියල​. බෙදුම්වාදී සුවාදිව් ජනරජය පිහිටවීමේ උත්සහය අසාර්ථක වුනාට පස්සෙ 1963 ඉඳල 1973 වෙනකං හුවදූ අතොළුවේ අගනුවර වශයෙන් කටයුතු කලේ ගද්දූ දූපත​.



රතෆන්දූ -

"කුනා" පැදුරු කර්මාන්තයට ප්‍රසිද්ධ තවත් දූපතක්. ඒ වගේම මේ දූපත මුහුදු කැකිරි වලටත් ප්‍රසිද්ධයි.

තිනදූ දූපත -

තිනදූ දූපත දකුණු මාලදිවයිනේ ප්‍රධාන දූපත වගේම මාලේ රාජ්‍යය බලයට විකල්පයක් විදිහට ඉදිරිපත් වුන දූපතක්. මාලදිවයිනේ බලවත්ම අතොළු ප්‍රධානියා වුන හුවදූ අතොළු ප්‍රධානියා හිටියේ තිනදූ දූපතේ. ඒ වගේම අවාසනාවන්ත අතීතයක් සහිත දූපතක්.

1573 දී මාලදිවයිනේ සුල්තාන් වරයාට දැනගන්න ලැබෙනවා තිනදූ දූපතේ මිනිස්සු බෞද්ධ වතාවත් වල යෙදෙන බව​. ඔහු එය නවත්වන්න අණ කළත් ඔවුන් ඒ අණ නොසලකා හරිනවා. ඊට පිළිතුරු වශයෙන් සුල්තාන් වරයා හමුදාව එවලා විශාල ජන ඝාතනයක් කරනවා. මාලදිවයින නිල වශයෙන් ඉස්ලාමය වැළඳගෙන අවුරුදු 500 කට පමණ පසුවත් දකුණු මාලදිවයිනේ ජනයා බෞද්ධ වතාවත් වල නිරත වීම විශේෂ සිද්ධියක්.

1959 දී දකුණු මාලදිවයිනේ අතොළු බෙදුම්වාදී සුවදිව් ජනරජය ප්‍රකාශ කළ පසු ඊට එරෙහිව මාලේ රජය දරුණු භීෂනයක් දියත් කරනවා. ඒ භීෂනයට කෙලින්ම ලක් වෙන්නේ තිනදූ දූපත​. මෙහිදී 200 ක් පමණ දෙනා මිය යනවා (මේ කලයේදී තිනදූ දූපතේ ජනගහණය 4800 යි). දූපත සම්පූර්නයෙන්ම ජන ශුන්‍යය කරලා දූපත් වැසියන්ව බලහත්කරයෙන් වෙනත් දූපත් වල පදිංචි කෙරෙනවා. තිනදූ දූපතේ නැවත මිනිස්සු පදිංචි වෙන්නෙ අවුරුදු 10 කට පසුව 1973 දී.

වාදූ දූපත -

වාදූ දූපත අතීත මාලදිවයිනේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්. බෞද්ධ නටබුන් ගණනාවක් මේ දූපතේ දකින්න පුළුවන්.
1. "වාදූ බොදු හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 90 ක පරිධියකින් සහ මීටර් 12 ක උසින් යුත් විශාල ස්ථුපයක නටබුන්
2. "වාදූ කුඩ හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 40 ක පරිධියකින් සහ මීටර් 7 ක උසින් යුත් තවත් ස්ථුපයක නටබුන්
කොරල් වලින් නිමවූ බුදු සිරිපතුලකුත් මේ දූපතෙන් හමුවෙලා තියෙනවා.

වාදූ බොදු හවිත්තා

මීට අමතරව "තුන්දේ සියාරයි" සහ "බුල්හන්නාබ්" නමින් හැඳින්වෙන පුරාණ සුසාන භූමි දෙකකුත් වාදූ දූපතේ තියෙනවා.

"වාදූ ගලේ මිස්කි" සහ "වාදූ ආසාරි මිස්කි" නමින් හැඳින්වෙන පැරණි ඉස්ලාම් පල්ලි දෙකකුත් වාදූ දූපතේ දකින්න පුළුවන්.

මාලදිවයිනේ ප්‍රථම ඉස්ලාමීය විද්වතෙක් වුන මොහොමඩ් ජමාලුදීන් ගේ සොහොන් ගැබ පිහිටලා තියෙන්නෙත් වාදූ දූපතේ.

ගන් දූපත -

ගන් දූපත වර්තමානයේ ජනාවාස නොවුනු දූපතක්. නමුත් ගන් දූපත 18 වෙනි සියවසේ අගභාගය වෙනතුරු ජනාවාස වී පැවති දූපතක්. වසංගත රෝගයක් නිසා මිනිස්සු ඒ දූපත අතහැර ගිහිල්ලා තියෙනවා.

ගන් දූපතත් අතීත මාලදිවයිනේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්. ඉපැරණි බෞද්ධ නටබුන් රාශියක් මේ දූපතෙන් හමු වෙලා තියෙනවා.
1. මාලදිවයිනෙන් මෙතෙක් හමුවූ විශාලම බෞද්ධ ස්ථුපයක් වන "ගමු හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 73 ක පරිධියක් සහ මීටර් 18 ක උසින් යුත් ස්ථුපයක නටබුන්.
2. මීටර් 55 ක පරිධියක් සහ මීටර් 1.5 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
3. මීටර් 15 ක පරිධියක් සහ මීටර් 1 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
4. මීටර් 58 ක පරිධියක් සහ මීටර් 9 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
5. මීටර් 42 ක පරිධියක් සහ මීටර් 6 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
6. මීටර් 37 ක පරිධියක් සහ මීටර් 3 ක උසින් යුත් ස්ථුපයක නටබුන්

ගමු හවිත්තා

1 comment: