Wednesday, April 15, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 10 (කයිබාර් හි සටන​)



බැනු කුරෙයිසා ගෝත්‍රයට පහරදීම​


ආක්‍රමනික හමුදාව පසු බැස ගිය වහාම මුස්ලිම් වරුන්ට තිබුනු ප්‍රධාන ප්‍රශ්නය වුනේ තමාට එරෙහිව ආක්‍රමනිකයන් සමඟ කුමන්ත්‍රනය කළ බැනු කුරෙයිසා ගෝත්‍රය සමඟ "ගනු දෙනු බේරා ගැනීම​".

මුහම්මද් තුමා වහාම සෙබළු 3000 ක් සහ අසරුවන් 30 ක ගෙන් සමන්විත වුනු හමුදාවක් එක් රැස් කළා. මේ හමුදාවට නායකත්වය දුන්නේ අලී ඉබ්න් අබු තාලිබ්. අලී තම හමුදාවත් සමඟ බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ නිවෙස් තිබුනු ප්‍රදේශ වට කළා. බැනු කුරෙයිසා ගෝත්‍රයේ වැඩිහිටි පිරිමි 800 ක් පමණ සිටියා. ඔවුන් තමාගේ නිවෙස් සහ බලකොටු තුළට වැදී ආරක්‍ෂක සටනක් සඳහා සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ නායකයා සහ මක්කාවෙන් පැමිණි ආක්‍රමනික හමුදාවේ ප්‍රධාන සහකරුවෙක් වුනු හුයයි ඉබ්න් අක්තාබ් මේ වන විට රහසෙන් මදීනාවට ඇතුළු වෙලා හිටියා. ඔහුත් බැනු කුරෙයිසා යුදෙව්වන් සමඟ මුස්ලිම් හමුදාවට කොටු වුනා.

යුදෙව්වන් ශක්තිමත් බලකොටු තුලට වී හොඳින් ආරක්‍ෂා වී සිටිය නිසා අලී කෙලින්ම පහර දෙන්න ගියේ නෑ. ඒ වෙනුවට ඔහු යුදෙව්වන් වටලා ආහාර අවසන් වන තුරු සිටියා. නමුත් දින 25 ක් යන තුරු යුදෙව්වන් යටත් වුනේ නෑ.

විසිපස් වන දිනය අවසානයේදී යුදෙව්වන්ට තව දුරටත් බලකොටු තුලට වී සිටීමට අපහසු වුනා. ඔවුන් ගේ ආහාර අවසන් වෙමින් පැවතුනු අතර​, කොටු වී සිටි 1000 පමණ වූ කාන්තාවන් සහ ළමුන් සිටියේ දුර්වල මානසික තත්වයක​. මේ නිසා ඔවුන් ගේ ප්‍රධානියා වුනු කාබ් ඉබ්න් අසාද් සාකච්ඡාවක් කැඳෙව්වා.

මේ සාකච්ඡාවේදී කාබ් ඉබ්න් අසාද් යෝජනා තුනක් යෝජනා කළා. ඒ ඉස්ලාමය වැළඳ ගැනීම​, සියළුම කාන්තාවන් සහ ළමුන් මරාදමා ඉන්පසු බලකොටු වලින් එලියට ගොස් මුස්ලිම් වරු සමඟ සටන් වැදීම සහ සබාත් දිනයේදී බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කිරීම​. නමුත් යුදෙව්වන් මේ යෝජනා තුනටම එකඟ වුනේ නෑ. අවසානයේදී ඔවුන් තීරණය කළේ මදීනා මුස්ලිම් වරයෙක් සහ ඔවුන් ගේ මිතුරෙක් වුනු අබු ලුබාබා ගෙන් උපදෙස් ලබා ගැනීමට​. ඒ අනුව ඔවුන් අබු ලුබාබාට රහසිගතව තමා වෙත පැමිණෙන ලෙස ආරාධනා කළා. ඔවුන් සමඟ කතා කළ පසු අබු ලුබාබා ගේ උපදෙස වුනේ වඩාත්ම සුදුසු දේ යටත් වීම බවයි.


පහුවදා උදේම බැනු කුරෙයිසා යුදෙව්වන් ආයුධ බිම තබා යටත් වුනා. මුස්ලිම් වරු ඔවුන්ට දෙන දඬුවම මුහම්මද් තුමා තීරණය කරන තුරු ඔවුන් සියල්ලන්ම සිර භාරයට ගත්තා. මේ අතර අබු ලුබාබා සහ තවත් කීප දෙනෙක් යුදෙව්වන්ට ලිහිල් දඬුවමක් දෙන ලෙස මුහම්මද් තුමාගෙන් ආයාචනා කර සිටියා. අවසානයේ දී තීරණය කෙරුනේ බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ මිතුරෙක් ලෙස සැලකුණු මදීනා මුස්ලිම් වරයෙක් වූ සාද් ඉබ්න් මුආද් හට තීරණයක් දීමේ බලය පැවරීමටයි. මීට බැනු කුරෙයිසා යුදෙව්වන් එකඟ වුනා.

සාද් ඉබ්න් මුආද් තීරණය කළේ මදීනා සම්මුතියට අනුව කටයුතු කළ යුතු බවයි. එහි දැක්වුනු ලෙස යම් කිසි ගෝත්‍රයක ආරවුලක් විසඳන්නේ ඒ ගෝත්‍රයේ පාරම්පරික නීති රීති වලට අනුවයි. ඒ නිසා යුදෙව්වන්ට දෙන දඬුවම ඔවුන් ගේ නීති රීති වලට අනුකූල එකක් විය යුතු බව සාද් ඉබ්න් මුආද් තීරණය කළා. යුදෙව්වන් ගේ නීති අනුව සටනකින් පසු අල්ලා ගන්නා නගරයක සියළුම වැඩිහිටි පිරිමින් මරා දැමිය යුතු බව පෙන්වා දුන් සාද් ඉබ්න් මුආද් ඒ අනුව බැනු කුරෙයිසා ගෝත්‍රයේ සියළුම පිරිමින් හිස ගසා දැමීමෙන් මරා දැමිය යුතු බවත්, ළමුන් සහ කාන්තාවන් වහල් මෙහෙයට ගත යුතු බවත් නියම කළා.

ඒ අනුව වයස අවුරුදු 14 ට වැඩි සියළුම පිරිමින්, බැනු නදීර් ගෝත්‍රයේ නායක හුයයි ඉබ්න් අක්තාබ් සහ සටන අතරතුර ඇඹරුම් ගලක් හිස මත හෙලීමෙන් මුස්ලිම් සෙබළෙක් මරා දැමූ යුදෙව් කාන්තාවක් හිස ගසා මරා දමනු ලැබුවා. මදීනා නගරයේ පොදු වෙළඳපොල අසල විශාල අගල් කීපයක් හාරා ඔවුන් එහි සාමූහිකව වල දමනු ලැබුවා. මරා දැමුනු සම්පූර්න ගණන 800 පමණ වුනා.

බැනු කුරෙයිසා යුදෙව්වන් හිස ගසා දැමීම​
කාන්තාවන් සහ ළමුන් වහලුන් ලෙස නැගෙනහිර අරාබියේ බෙදුවියන් ගෝත්‍රයන් වෙත විකුණා දැමුනු අතර​, ඒ මුදලින් අශ්වයන් විශාල ප්‍රමානයක් මිලදී ගැනුනා.

බැනු කුරෙයිසා යුදෙව්වන් සතු වූ කඩු 1500, හෙල්ල 2000 පළිහ 500 සහ සන්නාහ 300 ක් මුස්ලිම් වරු විසින් අල්ලා ගැනුනු අතර​, මිලදී ගත් අශ්වයන් සමඟ මේ ආයුධ තොගය නිසා මුස්ලිම් හමුදාවේ ප්‍රහාරක ශක්තියේ විශාල වර්ධනයක් ඇති වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ නායක හුයයි ඉබ්න් අක්තාබ් ගේ හිස ගසා දැමීම​
බැනු කුරෙයිසා ගෝත්‍රය මදීනාවෙන් පළවා හැරීමත් සමඟම මදීනාව පළමු වරට සම්පූර්ණයෙන්ම අරාබි නගරයක් බවට පත් වුනා. ඒ වගේම තවමත් ඉස්ලාමය වැළඳ නොගත් ස්වල්ප දෙනෙක් හැරුනු කොට මදීනාව සම්පූර්ණයෙන්ම මුස්ලිම් නගරයක් බවටත් පත් වුනා.


මක්කාවට කළ වන්දනා ගමන​​


මදීනාවට එරෙහිව එල්ලවුනු ආක්‍රමනය අසාර්ථක වීමෙන් පසු මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වුනු අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. බැනු කුරෙයිසා ගෝත්‍රය පළවා හැරීමේදී අල්ලා ගත් ආයුධ සහ මිලදී ගත් අසුන් නිසා මුස්ලිම් වරුන් ගේ හමුදා ශක්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. මීළඟට මුහම්මද් තුමාගේ අවධානය යොමු වුනේ මක්කාව සමඟ මිතුරුව උන් බෙදුවියන් ගෝත්‍ර පාලනය කිරීම​. ඒ අනුව බෙදුවියන් ගෝත්‍රයන්ට එරෙහිව කෙරුණු ප්‍රහාර වඩාත් දැඩි කරන්න ඔහු කටයුතු කළා. මේ ප්‍රහාර බහුතරයක් අති සාර්ථක වුනු අතර එක්කෝ බෙදුවියන් වරු ඉස්ලාමය වැළඳ ගත්තා. නැතිනම් මදීනාවට බදු ගෙවන්න එකඟතාවය පළ කලා. මේ විදිහට මක්කාව තනි කරන්න මුහම්මද් තුමා සමත් වුනා.

ක්‍රි.ව​. 628 ජනවාරි මාසයේදී මුහම්මද් තුමා සිහිනයක් දැක්කා. ඒ සිහිනයේ කියැවුනේ ඔහු මක්කාවට ගොස් කාබාව වටා ගමන් කරමින් වන් දනාවේ යෙදෙන ආකාරයත්, ඔහුගේ සහචරයන් ඔහුත් සමඟ සිටින ආකාරයත්, ඔවුන් වන්දනා ගමනක යෙදීමේදී සිදු කරන ආකාරයට හිස මුඩු කර​, සුදු ඇඳ සිටින ආකාරයත්. මෙය මක්කාව වෙත වන් දනා ගමනක යෙදීමට දෙවියන් ගෙන් ලැබුනු උපදෙසක් ලෙස සැලකූ මුහම්මද් තුමා ඒ සඳහා සූදානම් වුනා.

මේ සඳහා මුහම්මද් තුමා සමඟ සහචරයන් 1400 ක් සහභාගී වුනා. ඔවුන් සියළු දෙනා වන් දනා ගමනකට සූදානම්ව හිස මුඩු කොට, සුදු ඇඳුමින් සැරසී බිලි දීම සඳහා සතුන් රැගෙන මක්කාව දෙසට ගමන් කළා. තමාගේ අණක් නොමැතිව කිසිම අවස්ථාවක ආයුධ පාවිච්චි නොකරන ලෙසට මුහම්මද් තුමා ඔවුන්ට ඉතා තදින් අණ කළා.

මුස්ලිම් වරු විශාල පිරිසක් මක්කාව දෙසට එන බව ආරංචි වුනු අබු සුෆියාන් ප්‍රමුඛ මක්කා ප්‍රධානීන් දැඩි ලෙස කැළඹුනා. ඔවුන් සැක කලේ මුස්ලිම් වරු මක්කාවට පහර දීමට එන බව​. මේ නිසා ඔවුන් වහාම කාලිද් ඉබ්න් අල්-වලීද් ගේ නායකත්වය යටතේ අසරුවන් 200 ක් මුස්ලිම් වරු හමුවට යැව්වා. මක්කා අසරුවන් තමා කරා එන බව දැනගත් මුහම්මද් තුමා තමාගේ ගමන් මග වෙනස්කොට කඳු සහිත මාර්ගයකින් මක්කාව කරා පැමිණියා. ඔවුන් මක්කාවට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි "හුදයිබියා" නම් ස්ථානයකට පැමිණ කඳවුරු ලෑවා.


හුදයිබියා හි පැරණි පල්ලියේ නටබුන් සහ නව පල්ලිය​

මුස්ලිම් වරු නගරය අසලටම පැමිණි බව දුටු මක්කා ප්‍රධානින් ඔවුන්ට නගරයට ඇතුළු වීමට නොහැකිවන පරිද්දෙන් ආරක්‍ෂකයන් යෙදුවා. මේ නිසා මුහම්මද් තුමාට මක්කාවට ඇතුළු වීමට ලැබුනේ නෑ. ඔවුන් හුදයිබියා නැවතී සිටියේ නගරයට ඇතුල් වීමට අවසර ලැබෙන තුරු.

බලාපොරොත්තු වුනු ආකාරයට මුස්ලිම් වරු සටනට සූදානම් නොවන බව දුටු මක්කා ප්‍රධානින් කැළඹීමට පත් වුනා. ඔවුන් කළේ අබු සුෆියාන් ගේ දියණියගේ සැමියා වුනු බැනු තකීෆ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු උර්වා ඉබ්න් මසූද් මුහම්මද් තුමා වෙත යැවීම​. උර්වා ඉබ්න් මසූද් මුහම්මද් තුමා සමඟ සාකච්ඡා කළ පසු මුස්ලිම් වරු පැමිණියේ වන්දනා ගමනකට බවත්, සටන් කිරීමට ඔවුන් තුල කිසිදු අදහසක් නොමැති බවත් මක්කා ප්‍රධානින් ට දන්වා සිටියා.

මේ අතර මුහම්මද් තුමා තම නියෝජිතයෙක් විදිහට උත්මාන් ඉබ්න් අෆ්ෆන් මක්කාවට යැව්වා. මක්කා ප්‍රධානින් ඔහුට නැවත නගරයෙන් පිටවීමට තහනම් කොට ඔහුව මක්කාව තුළ රඳවා ගත්තා. දින 19 ක් තිස්සේ උත්මාන් නැවත නොපැමිනි නිසා මක්කා ප්‍රධානින් ඔහුව මරා දමා ඇති බවට රාවයක් මුස්ලිම් වරු අතර පැතිර ගියා. මේ නිසා මුස්ලිම් වරු අතර නොසන්සුන්තාවයක් ඇති වුනා. එවිට මුහම්මද් තුමා සියළු දෙනා කැඳවා යම් හෙයකින් උත්මාන් මරා දමා තිබුනොත්, මක්කා වරු සමඟ මරණය තෙක් සටන් කිරීමට සූදානම් බවට ප්‍රතිඥා දීමට සූදානම් දැයි ඔවුන් ගෙන් විමසා සිටියා. එතැන සිටි සියළුම දෙනා එසේ කිරීමට සූදානම් බවට ප්‍රතිඥා දුන්නා. මේ ප්‍රතිඥාව දුන්නේ ගසක් යටදී නිසා එය හැඳින්වෙන්නේ "ගස යට ප්‍රතිඥාව​" ලෙසින්.


හුදයිබියා ගිවිසුම​


මුස්ලිම් වරු සාමකාමීව පැමිණ ඇති බවත්, අවශ්‍ය වුනොත් සටනකට සූදානම් බවත් දුටු මක්කා ප්‍රධානින් උත්මාන් ව නිදහස් කොට ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මක්කාවේ ප්‍රධානියෙක් වුනු සුහායිල් ඉබ්න් ආමර් එව්වා. සුහායිල් ඉබ්න් ආමර් මක්කා ප්‍රධානින් අතර ඉස්ලාමයට වඩාත් තදින් විරුද්ධ වුනු අයෙක්.

මුහම්මද් තුමා සුහායිල් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එකඟතාවයකට එළැඹුනා. ඔවුන් එම එකඟතාවය ගිවිසුම් ගත කළා. ගිවිසුමේ පිටපත් දෙක ලියනු ලැබුවේ සුහායිල් සහ අලී විසින්.

ගිවිසුම ලිවීමේදී මුස්ලිම් වරුන් ගේ සිරිත අනුව අලී විසින් ආරම්භක වාක්‍යය "බිස්මිල්ලාහ් ඉර් රහ්මාන් අර් රහීම්" (දයාන්විත වූත්, කාරුණික වූත් අල්ලාහ් ගේ නාමයෙන්) යනුවෙන් ලිවීමට පටන් ගත්තා. නමුත් සුහායිල් ඊට විරුද්ධ වෙමින් මක්කා වරු එවැනි දෙයක් පිළිනොගන්නා බව කිව්වා. එවිට මුහම්මද් තුමා ඊට එකඟ වෙමින් අලීට ඒ වාක්‍යය කටුගා දමන ලෙස උපදෙස් දුන්නා.

ඊළඟට අලී "මේ ගිවිසුම සුහායිල් ඉබ්න් ආමර් සහ අල්ලාහ් ගේ දූතයා වන මුහම්මද් අතර ඇති කර ගන්නා ලදී" යනුවෙන් ලිව්වා. නමුත් සුහායිල් එයටත් විරුද්ධ වෙමින් මක්කා වරු මුහම්මද් දෙවියන් ගේ දූතයා ලෙස පිළිනොගන්නා බව කියා සිටියා. එවිට මුහම්මද් තුමා එයටත් එකඟ වෙමින් "මුහම්මද් ඉබ්න් අබ්ද්-අල්ලාහ්" (මුහම්මද් තුමාගේ සම්පූර්න නම​) ලෙස​ එය වෙනස් කරන ලෙස අලීට උපදෙස් දුන්නා.

ඊළඟට ඔවුන් තමා එකඟ වුනු කරුණු හයක් ගිවිසුමේ ලියා දැක්වුවා.

1. මේ වසරේ වන්දනා ගමන සඳහා මක්කාවට ඇතුළු වීමට මුස්ලිම් වරුන්ට අවසර නොමැත​.

2. ඔවුන්ට ඊළඟ වසරේ දී ඒ සඳහා අවසර ලැබේ.

3. වන්දනා ගමන සඳහා මුස්ලිම් වරුන්ට දින තුනක කාලයක් ලැබෙන අතර​, කිසිම ආයුධයක් ගෙන ඒම තහනම් වේ.

4. මක්කාව සහ මදීනාව අතර වසර 10 ක සාම කාලයක් පැවතිය යුතුය​. මේ කාලය තුලදී දෙපිරිස අතර කිසිම සටනක් සිදු නොවිය යුතුය​.

5. යම්කිසි මුස්ලිම් වරයෙකුට ඉස්ලාමය අත හැර නැවත මක්කාවට යාමට අවශ්‍යය වුවහොත්, මුස්ලිම් වරු එයට අවහිර නොකළ යුතුය​.

6. යම්කිසි මක්කා වැසියෙක් ඉස්ලාමය වැළඳගෙන මදීනාවට පැමිණියහොත්, මුස්ලිම් වරු ඔහුව නැවත මක්කාවට බාර දිය යුතුය​.

මේ ගිවිසුම හැඳින්වෙන්නේ "හුදයිබියා ගිවිසුම" ලෙසින්.

සමහර මුස්ලිම් වරු, විශේෂයෙන්ම උමර්, මේ ගිවිසුම දැක්කේ තමාට අවාසි සහගත එකක් ලෙස​. මේ නිසා ඔවුන් මුහම්මද් තුමාගේ නායකත්වය ප්‍රශ්න කරන්න පවා පෙළඹුනා.

ගිවිසුමේ සමහර කොන්දේසි මුස්ලිම් වරුන්ට අවාසි සහගත වුවත්, සමස්තයක් වශයෙන් ගිවිසුම නිසා මුස්ලිම් වරුන්ට අත්වුනේ වාසියක්. එමගින් මුල්ම වරට මක්කා ප්‍රධානින් විසින් මුස්ලිම් වරු වෙනම ගෝත්‍රයක් වශයෙන් පිළිගැනීම සහ මුහම්මද් තුමා ගෝත්‍ර නායකයෙක් ලෙස පිළිගැනීම සිදු වුනා. මෙතෙක් ඔවුන් මුස්ලිම් වරු සැලකුවේ කැරලිකරුවන් පිරිසක් විදිහට පමණයි. මක්කාව සමඟ සටනකට නොයාම නිසා මක්කා වැසියන් තුල මුස්ලිම් වරු කෙරෙහි පැහැදීමක් ඇති කරන්නත් මුහම්මද් තුමා සමත් වුනා. මෙය පසු කාලීනව ඉතා වැදගත් වුනා.

ඒ වගේම මක්කාව සමඟ ලැබුනු වසර 10 ක සටන් විරාමය මුස්ලිම් වරුන්ට තම බලය වර්ධනය කර ගැනීමට කදිම අවස්ථාවක් වුනා.


කයිබාර් හි යුදෙව්වෝ


කයිබාර් කියන්නේ මදීනාවේ සිට කිලෝමීටර් 160 පමණ උතුරින් පිහිටි විශාල ක්‍ෂේම භූමියක්. මේ ක්‍ෂේම භූමියේ අතීතයේ ඉඳන් පදිංචි වෙලා හිටියේ යුදෙව් ගෝත්‍ර කීපයක්. මුහම්මද් තුමා විසින් මදීනාවෙන් පිටුවහල් කරන ලද යුදෙව් ගෝත්‍ර දෙක වුනු බැනු නදීර් සහ බැනු කුවයිනුකා ගෝත්‍ර පදිංචි වුනෙත් කයිබාර් හි.

කයිබාර් ප්‍රසිද්ධ වෙලා තිබුනේ රට ඉඳි වගාවට​. මුළු අරාබියේම ඉස්තරම්ම රට ඉඳි වැවුනේ කයිබාර් වල​. මේ රට ඉඳි වගාවේ නිරත වෙලා හිටපු යුදෙව්වෝ ඒ මගින් විශාල ධනයක් එක් රැස් කර ගත්තා. කයිබාර් ක්‍ෂේම භූමිය අසල තවත් කුඩා ක්‍ෂේම භූමි ගණනාවක් තිබුනා. ඒවායෙත් විවිධ වගාවන් හි නිරත වුනු යුදෙව් ගෝත්‍ර පදිංචි වෙලා හිටියා. ෆදක් සහ වදි අල් කුරා කියන්නේ ඒ වගේ ක්‍ෂේම භූමි දෙකක්.

කයිබාර් කඳු ගැට සහ නිම්න වලින් සොබාවිකව ආරක්‍ෂා වෙලා පිහිටා තිබුනු අතර යුදෙව්වන් ඒ කඳුගැට මත ඉතාමත් ශක්තිමත් බලකොටු තනා තිබුණා. මේ නිසා කයිබාර් සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉතාමත් සුදුසු ආකාරයත පිහිටා තිබුනා.

කයිබාර් නිම්නය​, රට ඉඳි වගාවන් සහ යුදෙව්වන් ගේ නිවෙස් වල නටබුන්
මදීනාවෙන් පිටුවහල් කළ යුදෙව්වන් මුස්ලිම් වරුන් ගෙන් පළිගැනීමට මාන බලමින් උන් අතර​, ඔවුන් මක්කා වරුන් ගේ මදීනා ආක්‍රමනයේදී තීරණාත්මක සාධකයක් වුනා. මදීනා ආක්‍රමනය අසාර්ථක වුනු පසුවද ඔවුන් විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟින් මිතුරු සන්ධාන වලට එලැඹෙමින් මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළා. අවස්ථා කීපයකදීම මුස්ලිම් වරුන්ට එරෙහිව නොයෙකුත් හිරිහැර සිදු කළා. වරක් වදි අල් කුරා හි පදිංචිව උන් යුදෙව්වන් ඒ අසලින් ගමන් කළ මුස්ලිම් වරු පිරිසකට පහර දී නව දෙනෙක් මරා දැමුවා.

ඒ වගේම උතුරින් කයිබාර් යුදෙව්වන් සහ දකුණින් මක්කාව ලෙස දෙපසකින් සතුරන්ට මැදි වී සිටීම මුහම්මද් තුමා සැලකුවේ අනතුරුදායක තත්වයක් විදිහට​. මක්කාව සමඟ දස වසරක සාමයක් පිහිටුවා ගත් පසු මුහම්මද් තුමා කයිබාර් ක්‍ෂේම භූමිය ආක්‍රමනය කිරීමට සැලසුම් කළා.


කයිබාර් හි සටන​


ආක්‍රමනයේ පළමු පියවර විදිහට මුහම්මද් තුමා කළේ කයිබාර් යුදෙව්වන් ගේ මිතුරු බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රය සටනින් ඉවත් කර තැබීම​. බැනු ගතෆාන් ගෝත්‍රය ඉතාමත් බලවත්, පිරිස් බලය අතින් විශාල ගෝත්‍රයක්. ඔවුන් තම යුදෙව් මිතුරන් ගේ සහයට ආවොත් ආක්‍රමනය අසාර්ථක වන බව මුහම්මද් තුමා දැන් සිටියා. මේ නිසා ඔහු බැනු ගතෆාන් ගෝත්‍රයට එරෙහිව ප්‍රහාර කීපයක් එල්ල කොට ඔවුන්ව බිය වද්දා, ඉන්පසු සටනට එක් නොවී සිටියොත් ඔවුන්ට ගෙවීමක් කරන බවට පොරොන්දු වීමෙන් ඔවුන් සටන් බිමෙන් ඉවත් කළා.

ක්‍රි.ව​. 628 මැයි මාසයේදී මුහම්මද් තුමා තම ආක්‍රමනය ඇරඹුවා. කයිබාර් හි සම්පූර්ණ ජනගහණය 10,000 පමණ වුනා. මින් 5000 පමණ සටන් කළ හැකි වයසේ පිරිමින්. නමුත් මුස්ලිම් හමුදාව සමන්විත වුනේ 1600 කින්.

දින තුනක​ ගමනකින් පසු ඔවුන් කයිබාර් කරා පැමිණියා. මුස්ලිම් හමුදාව කුඩා වූ නිසා ඔවුන් ළඟටම එනතුරු යුදෙව්වන් ඒ ගැන දැන සිටියේ නෑ. මේ නිසා සංවිධානාත්මක සටනක් කිරීමට යුදෙව්වන්ට නොහැකි වුනා. ඔවුන් ඒ වෙනුවට තමා ගේ බලකොටු තුළට වැදී ආරක්‍ෂිත සටනකට සූදානම් වුනා.

කයිබාර් හි බලකොටුවක්
කයිබාර් නිම්නය පුරා විශාල බලකොටු හයක් ඉඳි කර තිබුනා. මේ බලකොටු හැඳින්වුනේ සලීම්, කාමුස්, නතත්, ක්වසාරා, අෂ්-සික් සහ මර්තබා යන නම් වලින්. මේ බලකොටු ශක්තිමත් කොටු පවුරු වලින් වටකොට​, කඳු මුදුන් වල තනා තිබුනේ සතුරු ප්‍රහාරයකට ඔරොත්තු දෙන ආකාරයට​.

ඍජු ප්‍රහාරයක් එල්ල කිරීම අනතුරුදායක බව තීරණය කළ මුහම්මද් තුමා ඒ වෙනුවට යුදෙව්වන් ගේ ආහාර අවසන් වන තුරු බලකොටු වටලා සිටීමට තීරණය කළා. හදිසියේම ප්‍රහාරය එල්ල වුනු නිසා යුදෙව්වන්ට ආහාර සහ ජලය විශාල ප්‍රමානයක් තම බලකොටු එක් රැස් කර ගන්න හැකි වුනේ නෑ. මේ නිසා කීප දිනකින්ම යුදෙව්වන්ට ආහාර හිඟයක් ඇති වුනා. ඒ එක්කම බලකොටු අතර සන්නිවේදනය අපහසු වූ නිසා ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් තිබුනේත් නෑ.

මුස්ලිම් හමුදාවේ තත්වයත් එතරම් යහපත් වුනේ නෑ. ටික දිනකින්ම ඔවුන්ටත් දරුණු ආහාර හිඟයක් ඇති වුනා. මේ නිසා ඔවුන්ට කුසගිනි නිවා ගැනීමට සිදු වුනේ තම අශ්වයන් සහ බූරුවන් මරා කෑමෙන්. ඒ අතරේ අලී ඉබ්න් අබු තාලිබ් ට ඇස් රෝගයක් සහ දරුණු හිසරදයක් වැළඳීම නිසා ඔහුට සටන් කිරීමට නොහැකි තත්වයක් ඇති වුනා.

සති දෙකක් පමණ ගෙවී යද්දී යුදෙව් බලකොටු එකින් එක මුස්ලිම් වරුන්ට යටත් වුනා. නමුත් විශාලම සහ ශක්තිමත්ම බලකොටුව වුනු අල්-කාමුස් බලකොටුව යටත් වුනේ නෑ.

අල්-කාමුස් බලකොටුව​

අල්-කාමුස් බලකොටුව අල්ලා ගැනීම​


අල්-කාමුස් බලකොටුවේ සෙනවියා ලෙස කටයුතු කළේ. මර්හාබ් ඉබ්න් අබු සයිනාබ් නම් විශිෂ්ඨ රණ ශූරයෙක්. ඉතාමත් උස ශක්තිමත් සිරුරකින් හෙබි වුනු මර්හාබ් නිර්භීත කම අතින් නම් දැරූ යුධ සෙබළෙක්.

මුස්ලිම් හමුදාව අල්-කාමුස් බලකොටුව වටලා සිටියදී මර්හාබ් බලකොටුවේ කොටු දොරින් එළියට පැමිණ මුස්ලිම් වරුන්ට අභියෝග කළා. ඒ ඔහු විසින් පබදින ලද​ ලද කවියක් කීමෙන්.


"මගේ රණ ශූරත්වය නොදන්නා කෙනෙක් වේද මෙහි
මම මර්හාබ් බව නොදනීද මේ නිම්නය, කයිබාර්"

මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයන් කීපයක් ම මර්හාබ් ප්‍රමුඛ යුදෙව්වන් විසින් මැඩ පැවැත්වුවා. මේ නිසා මුහම්මද් තුමා දක්‍ෂතම සටන් කරුවන් ගෙන් සමන්විත කණ්ඩායමක් සදා එහි නායකත්වය අබු බකර් ට ලබා දුන්නේ මුස්ලිම් හමුදාවේ ධජය ඔහු අතට ලබා දෙමින්.

මුහම්මද් තුමා ගේ අණ පරිදි අබු බකර් තම කණ්ඩායමත් සමඟ බලකොටුවට පහර දුන්නත්, මර්හාබ් හමුවේ ඔවුන්ට පරාජය වී පසු බැසීමට සිදු වුනා. මුහම්මද් තුමා මීළඟ කණ්ඩායමේ නායකත්වය දුන්නේ උමර්ට​. උමර් ධජයත් රැගෙන තම කණ්ඩායම සමඟ ප්‍රහාරයක් මෙහෙයවූවත්, මර්හාබ් ප්‍රමුඛ යුදෙව්වන් එම ප්‍රහාරයත් මැඩ පවත්වන්න සමත් වුනා. මේ ආකාරයට මුස්ලිම් වරුන් ගේ තුන්වන ප්‍රහාරයකුත් ව්‍යර්ථ වී ගියා.

එදින රාත්‍රියේ මුස්ලිම් හමුදාව සිටියේ බලාපොරොත්තු සුන් වූ හැඟීමකින්. බලකොටුව බිඳ හෙලීමට සමතෙක් ඔවුන් අතර නොසිටියි ද යන සැකය කා තුළත් පැන නැගී තිබුනා. නමුත් මුහම්මද් තුමා එක වරම සියල්ලන් අමතා නිවේදනයක් නිකුත් කළා.

"මම හෙට උදෑසන නුඹලා අතරින් කෙනෙකුට මුස්ලිම් වරුන් ගේ ධජය ලබා දෙනවා. ඔහු අල්ලාහ් ට සහ අල්ලාහ් ගේ දූතයාට ආදරය කරන අතර​, අල්ලාහ් සහ අල්ලාහ් ගේ දූතයා ඔහුට ආදරය කරනවා. ඔහු කිසිම විටෙකදී සටනකදී පසු බසින්නේ නෑ. අල්ලාහ් හෙට ඔහුට ජයග්‍රහණය ලබා දෙනවා."

සියළුම දෙනා මුහම්මද් තුමා පැවසුවේ කා ගැනදැයි දැන ගැනීමට නොඉවසිලිමත් වුනා. සියල්ලෝම එම ගෞරවය තමාට ලැබේ යැයි බලාපොරොත්තු වුනා. නමුත් මුහම්මද් තුමා ඒ කවුදැයි එදා රෑ හෙලි කළේ නෑ.

පසුදා උදෑසනම මුස්ලිම් හමුදාව දුටුවේ පුදුම උපදවන සුළු දර්ශනයක්. එතෙක් දැඩි ලෙස රෝගාතුරව සටනින් ඉවත්ව උන් අලී තමාගේ කූඩාරම ඉදිරිපිට සිටගෙන සිටියා. ඔහු තවදුරටත් රෝගීව සිටින බවක් පෙනුනේ නෑ.

"අලී, නුඹේ ඇස් පෙනීම කොහොමද​?"

කෙනෙක් අලීගෙන් ඇසුවා.

"මට කවදාවත් මේ තරම් හොඳින් පෙනිලා නෑ"

අලී පිළිතුරු දුන්නා.

මුහම්මද් තුමා අලී අතට ධජය ලබා දී බලකොටුවට පහර දෙන ලෙස අණ කළා. අලී ධජයත් රැගෙන පිම්මේ දිව ගියේ මර්හාබ් ඉදිරියට​.

මර්හාබ් තමා ඉදිරියට දිව එන තරුණයා පිළිගත්තේ තමාගේ සුපුරුදු කවියෙන්.

"මගේ රණ ශූරත්වය නොදන්නා කෙනෙක් වේද මෙහි
මම මර්හාබ් බව නොදනීද මේ නිම්නය, කයිබාර්"

අලී ඊට පිළිතුරු කවියකින් උත්තර දුන්නා.

"මා ඉපදුනේ මේ සටනට හැර අන් කිසිවකටද​
මා ඉපදුනු විට මගේ මව මා නම් කළේ නමින්‍ ය​, හයිදාර් (සිංහයා)"

අලී ගේ නිර්භීත බව දුටූ මර්හාබ් සැලුනා. ඔහු කඩුව ඇදගෙන සටනට ආවත්, සුළු මොහොතකින් අලී ඔහුගේ යකඩ හිස්වැස්ම පළාගෙන හිස දෙපළු වන ලෙස එල්ල කළ කඩු පහරකින් මරණයට පත් වුනා.

අලී සහ මර්හාබ් සටන් වැදීම​

මර්හාබ් ඇද වැටුනු බව දුටු මුස්ලිම් හමුදාව එකාමෙන් ජයඝෝෂා කරමින් බලකොටුව දෙසට දිව ආවා. බියපත් වුනු යුදෙව්වන් වහ  වහා බලකොටුව තුලට වැදී එහි විශාල​ කොටු දොර වසා ගත්තත්, අලී තනිවම කොටු දොර බිඳ හෙළුවා. බලකොටුව තුලට ඇතුළු වීමට පැමිණි මුස්ලිම් සෙබළුන්ට මුණ ගැසුනේ අගලක්. අලී බිඳ හෙළූ කොටු දොර පාලමක් මෙන් අගල මතින් දමා මුස්ලිම් සෙබළුන්ට බලකොටුව තුලට වැදීමට ඉඩ සදා දුන්නා. බලකොටුවට වැදුනු මුස්ලිම් හමුදාව බලකොටුව අල්ලා ගත්තා.

සම්පුර්ණ සටන මාසයක් පමණ පැවතුනු අතර​, මුස්ලිම් සෙබළුන් 20 ක් සහ යුදෙව්වන් 93 ක් මිය ගියා.


යුදෙව්වන් යටත් වීම​


මුහම්මද් තුමා යටත් වුනු යුදෙව් ගෝත්‍ර වල නායකයන් සමඟ යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කළා. බොහෝ යුදෙව්වන් බිය වුනේ බැනු කුරෙයිසා යුදෙව්වන්ට අත්වූ ඉරණම තමාටත් අත්වේ යැයි කියා. නමුත් මුහම්මද් තුමා ඔවුන්ට වඩා ලිහිල් කොන්දේසි ඉදිරිපත් කළා.

යුදෙව්වන්ට දිගටම කයිබාර් නිම්නයේ පදිංචි වීමටත්, තමාගේ ඉඩම් වගා කිරීමටත්, තමාගේ ආගම ඇදහීමටත් නිදහස ලැබුනා. නමුත් ඔවුන් ගේ අස්වැන්නෙන් කොටසක් බදු වශයෙන්  මුස්ලිම් වරුන්ට ලබා දීමට ඔවුන්ට සිදු වුනා. ඒ වගේම තව දුරටත් යුදෙව්වන්ට එරෙහිව යුධ නොවැදීමටත්, සාමය රැකීමටත් මුස්ලිම් වරු පොරොන්දු වුනා. මේ කොන්දේසි පසු කළෙක මුස්ලිම් පාලනයක් යටතේ වෙසෙන අන්‍යාගමිකයන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ ඉස්ලාමයේ නීති රීති වල පදනම බවට පත් වුනා.

කයිබාර් නිම්නය යටත් වුනු බව ඇසූ ෆදක් සහ වදි අල් කුරා හි යුදෙව්වනුත් මුහම්මද් තුමා සමඟ වෙනම ගිවිසුම් වලට එළැඹුනා. ඒවායේ කොන්දේසි කයිබාර් යුදෙව්වන් ගේ කොන්දේසි වලට සමාන වුනා. ෆදක් හි වගා බිම් මුහම්මද් තුමා තමාගේ පුද්ගලික ධනයක් ලෙස පවරා ගෙන​, එහි ආදායම තම දියණිය වුනු ෆාතිමාට සහ සටන් වලින් මිය ගිය මුස්ලිම් සෙබළුන් ගේ අනාථ දරුවන්ට ලැබෙන ලෙස කටයුතු සැලසුවා.

බැනු නදීර් ගෝත්‍රයේ නායකයා වුනු (මදීනාවේදී මරණ දඬුවමට ලක් වුනු) හුයායි ඉබ්න් අක්තාබ් ගේ දියණිය වුනේ සෆියියා බින්ට් හුයායි. ඇය ඉතාම සුරූපී තරුණියක්. ඇගේ සැමියාත් බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියෙක්. බැනු නදීර් ගෝත්‍රය යටත් වුනු පසු මදීනාවේදී කරන ලද අපරාධයක් හේතුවෙන් මුස්ලිම් වරු ඔහුට මරණ දඬුවම ලබා දුන්නා. පසුව මුහම්මද් තුමා සෆියියා විවාහ කර ගත්තා. ඒ යුදෙව්වන් සහ මුස්ලිම් වරු අතර ඇති කර ගත් සාමය තහවුරු කිරීම සඳහා.


මුහම්මද් තුමාට වස දීම​


මුහම්ම්ද් තුමා කයිබාර් හි රැඳී සිටියදී මර්හාබ් ගේ සොහොයුරිය වුනු සයිනාබ් බින්ට් අල්-හරිත් නම් යුදෙව් කාන්තාවක් ඔහුට ආහාරයක් සඳහා ආරාධනා කළා. සයිනාබ් ගේ පියා, සැමියා සහ මර්හාබ් ඇතුළු සොහොයුරන් තිදෙනෙක් සටනින් මිය ගොස් සිටි නිසා ඇය මුස්ලිම් වරු සමඟ දැඩි වෛරයෙන් පසු වුනා. මේ නිසා ඇය භෝජනයට සකස් කර තිබුනු බැටළු මස් වලට වස එක් කළා.

මුහම්මද් තුමා තවත් සහචරයන් කීප දෙනෙක් සමඟ භෝජනයට සහභාගී වුනා. සියල්ලෝම බදින ලද බැටළු මස් ආහාරයට ගැනීමට සූදානම් වුනා. නමුත් බැටළු මස් කැබැල්ලක් මුවට ගත් වහාම මුහම්මද් තුමාට එහි රසයේ වෙනසක් දැනී එය ආපසු ඉවතට දැම්මා. බැටළුවාගේ ඇටකටු පිරික්සා බැලූ ඔවුන්ට දකින්න ලැබුනේ ඒවා දුර්වර්ණ වී ඇති බව​. මේ නිසා ඊට වස යොදා ඇති බව ඔවුන් නිගමනය කළා.

එදින සවස් වෙද්දී මුහම්මද් තුමා සහ බැටළු මස් ආහාරයට ගත් තවත් සහචරයෙක් දැඩි ලෙස රෝගාතුර වුනා. සයිනාබ් අල්ලා ගත් මුස්ලිම් වරු ඇය මරා දැමීමට මුහම්මද් තුමාගෙන් අවසර ඉල්ලුවත් ඔහු ඊට ඉඩ දුන්නේ නෑ. මුහම්මද් තුමා දින කිහිපයකින් සුවය ලැබුවත් රෝගාතුර වූ අනෙකා මිය ගියා. එවිට අරාබි නීතිය අනුව සයිනාබ් මිය ගිය අයගේ නෑයන්ට ලබා දුන් අතර​, ඔවුන් ඇය මරා දැමුවා.

මුහම්මද් තුමා සුවය ලැබුවත්, ඔහුගේ සෞඛ්‍යය දැඩි ලෙස පිරිහීමට ලක් වුනා. එදා සිට වරින් වර ඔහු දැඩි ලෙස රෝගාතුර වුනා. ඔහුගේ මරණය ඉක්මන් වීමට එය හේතුවක් වුනා.



කයිබාර් නිම්නය අල්ලා ගැනීම ඉස්ලාමයේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිද්ධියක්. එය නිසා ප්‍රතිඵල දෙකක් ලැබුනා. එකක්, වුනේ මුස්ලිම් වරුන්ට විශාල ධනයක් අත් වීම​. මේ නිසා ඔවුන්ට අශ්වයන්, ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමට ලැබුණු අතර එමගින් ඔවුන් ගේ යුධ ශක්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. මේ නිසා බටහිර අරාබියේ ප්‍රභලම බලය වශයෙන් මෙතෙක් මක්කාව ඉසිලූ ස්ථානය එතැන් සිට මුස්ලිම් වරුන්ට අත් වුනා.

දෙවැන්න මෙතෙක් පුර රාජ්‍යයක් වශයෙන් පැවතුනු මුස්ලිම් දේශපාලන ඒකකය එතැන් සිට මදීනාව අගනුවර කර ගත් රාජ්‍යයක මට්ටමට වර්ධනය වුනා. මුස්ලිම් වරු තව දුරටත් හුදෙක් ගෝත්‍රයක් වුනේ නෑ. මේ ඉතිහාසයේ පළමු ඉස්ලාමීය රාජ්‍යයයි.