Tuesday, January 30, 2018

මාලදිවයිනේ අතොළු - 2 (උතුරු ප්‍රාන්තය​)


උතුරු ප්‍රාන්තය අතොළු හතරකින් සමන්විතයි.

1. මිලදුන්මදුලු දෙකුණුබුරි
2. මාලොස්මදුලු උතුරුබුරි
3. මාලොස්මදුලු දෙකුණුබුරි
4. ෆාදිප්පොලු

 මිලදුන්මදුලු දෙකුණුබුරි


නිල නාමය : මිලදුන්මදුලු දෙකුණුබුරි
කේතය : නූනු
ප්‍රාන්තය : උතුරු
අයත්වන සොබාවික අතොළු : තිලදුන්මති
ජනගහණය : 10,483
දූපත් : 71
ප්‍රධාන දූපත : මනදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 13
(ෆොද්දූ, හෙන්බංදූ, හුළුදූ, කෙන්ඩිකොළුදූ, කුඩෆරී, ලන්දූ, ලොහි, මාෆරු, මල්හෙන්දූ, මගූදූ, මනදූ, මිලදූ, වැලිදූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් :58

මත්ස්‍යය සම්පත ඉතා හොඳින් පිහිටා ඇති අතොළුවක්. මාලදිවයිනේ වැඩිම කොරල් පර මසුන් ඝනත්වය තියෙන්නෙ මේ අතොළුවේ. ඒ වගේම විශාල ඩොල්ෆින් ගහණයකුත් ඉන්නවා.

වැදගත් ස්ථාන​:

වෙලිදූ දූපත -
අවුරුදු 500 ක් පමණ පැරණි විශාල නුග ගහක් මේ දූපතේ තියෙනවා. ඒක හැඳින් වෙන්නේ "වෙලිදූ බොදු නිකගස්" (වෙලිදූ මහ නුග ගහ​) නමින්.


ලන්දූ දූපත -
මාලදිවයිනේ බෞද්ධ සමයේදී උතුරු මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානය වුනේ මේ දූපත​. අදටත් "මාබදිගේ හයිකා" නමින් හැඳින්වෙන අඩි 28 ක් උස අඩි 292 ක විෂ්කම්භයක් සහිත විශාල ස්ථූපයක නටබුන් මේ දූපතේ තියෙනවා.



මාලොස්මදුලු උතුරුබුරි



නිල නාමය : මාලොස්මදුලු උතුරුබුරි
කේතය : රා
ප්‍රාන්තය : උතුරු
අයත්වන සොබාවික අතොළු : එත්තිංගිලි, අලිෆුෂි, මාලොස්මදුලු උතුරුබුරි
ජනගහණය : 14,862
දූපත් : 88
ප්‍රධාන දූපත : උංගූෆාරු

පදිංචිකරුවන් සහිත දූපත් : 17
(අලිෆුෂි, අංගොළිහිතීමු, දුවාෆාරු, ෆයිනු, හුළුදුෆාරු, ඉංගුරයිදූ, ඉන්නමාදූ, කිනොලස්, මාකුරාතු, මදුව්වරි, මාමිගිලි, මීදූ, රස්ගෙතීමු, රස්මාදූ, උංගූෆාරු, වාදූ, කන්දොළුදූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් :71

නැව් තැනීම පිළිබඳ ප්‍රසිද්ධ අතොළුවක්

වැදගත් ස්ථාන​:


කිනොලස් දූපත -
ඉබන් බතූතා ගේ විස්තරයට අනුව 1346 දී ඔහු මේ දූපතට එනකොට එහි පාලකයා වුනේ සෝමාලි ජාතික අබ්ද් අල්-අසීස්.

මාමිගිලි දූපත -
දූපතේම පැත්තක පිහිටල තියෙන ලෝමා සංචාරක නිකේතනය සතුව කෞතුකාගාරයක් පිහිටලා තියෙනවා. මේ කෞතුකාගාරයේ ඇති "වෙවු" නමින් හැඳින්වෙන නාන පොකුණු දෙක විශේෂයි. ඒවා බෞද්ධ විහාරයක නටබුන් කියල සැක කෙරෙනවා.

රස්ගෙතීමු දූපත -
මාලදිවයින් පුරාවෘතයන්ට අනුව මාලදිවයින මුල් වරට එක්සේසත් කළ පාලකයා වන ලංකාවෙ සිට පැමිනි කොයිමාල කාලෝ මුලින්ම ගොඩ බහින්නෙ රස්ගෙතීමු දූපතට​.

අංගොල්හිතීමු දූපත -
මාලදිවයිනට දිවෙහි ජාතිකයන් එන්න කලින් හිටපු මුල් පදිංචිකාරයො හිටපු දූපතක්. කොයිමාල කාලෝ ගේ සේවකයන් ගොඩබහින්නෙ අංගොල්හිතීමු දූපතට​.

වාදූ දූපත -
රාත්‍රී කාලයට දිලිසෙන මුහුදු ජීවින් නිසා හැදුන "තාරකා මුහුද" ලෙස හැඳින්වෙන සොබාවික සංසිද්ධියක් මේ දූපතේ තියෙනවා.



මාලොස්මදුලු දෙකුණුබුරි



නිල නාමය : මාලොස්මදුලු දෙකුණුබුරි
කේතය : බා
ප්‍රාන්තය : උතුරු
අයත්වන සොබාවික අතොළු : ෆස්දූතෙරේ, මාලොස්මදුලු දෙකුණුබුරි, ගොයුදු
ජනගහණය : 8,878
දූපත් : 75
ප්‍රධාන දූපත : එයිදෆුෂි

පදිංචිකරුවන් සහිත දූපත් : 13
(දරවන්දූ, දොන්ෆානු, එයිදෆුෂි, ෆෙහෙන්දූ, ෆුලදූ, ගොයිදූ, හිතාදූ, කමදූ, කෙන්දූ, කිහාදූ, කුඩරිකිලු, මාලොස්, තුලාදූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 62

ඉහළ මුහුදු ජීවි සහ ශාක විවිධත්වයක් සහිත අතොළුවක්.

වැදගත් ස්ථාන​:

 දරවන්දූ දූපත -
දරවන්දූ තිලා සහ හනිෆාරු බොක්ක ලෙස හැඳින්වෙන කිමිදුම් සඳහා ලෝක ප්‍රසිද්ධ මුහුදු තීරයක් මේ දූපතේ තියෙනවා. මේ දූපත අවට ජෛව විවිධත්වය ඉතා ඉහළයි.

කෙන්දූ දූපත -
මාලදිවයිනට ඉස්ලාමය හඳුන්වාදුන් සෝමාලි ජාතික ආගමික විද්වතෙක් වුන යූසුෆ් අල්-බර්බරි කෙන් දූ දූපතේ පදිංචි වෙලා ඉඳල තියෙනවා. ඔහු හිටපු ස්ථානයේ අද "මගාම් තබ්‍රෙයිගෙෆානු" නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලක් තියෙනවා.

මාලොස් දූපත -
මාලදිවයිනේ වෙනත් දූපත් වල නැති චාරිත්‍ර කීපයක් මේ දූපතේ තියෙනවා. අවුරුද්දකට සැරයක් මේ දූපත් වාසීන් වෙන්ස් ළිං හතකින් ස්නානය කරනවා. ඊද් උත්සවය වෙනුවෙන් පිරිමි ගැහැණුන්ටත් ගැහැණු පිරිමින්ටත් රාත්‍රී ආහාර වේලක් ලබා දෙනවා. මාලොස් දූපතේ බුදු පිළිමයක නටබුන් හමුවෙලා තියෙනවා.

තුලාදූ දූපත -
ලාක්‍ෂ්‍යයා කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ දූපතක්.



 ෆාදිප්පොලු


නිල නාමය : ෆාදිප්පොලු
කේතය : ලවියානි
ප්‍රාන්තය : උතුරු
අයත්වන සොබාවික අතොළු : ෆාදිප්පොලු
ජනගහණය : 7,905
දූපත් : 52
ප්‍රධාන දූපත : නයිෆරු

පදිංචිකරුවන් සහිත දූපත් : 5
(දහින්නවරු, කුරෙන්දූ, මාෆිලාෆුෂි, නයිෆරු, ඔලුවෙලුෆුෂි)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 47

වැදගත් ස්ථාන​:

මාෆිලාෆුෂි දූපත -
17 වෙනි සියවසේ මුල කාලයේදී ඉන්දියාවේ කන්නූර් රාජධානියේ සහය ඇතිව පිහිටවූ කැරලිකාර රාජ්‍යයක් වන බොදුතිලදුන්මති රාජ්‍යයේ අගනුවර වශයෙන් සැලකුනේ මේ දූපත​.

 

Monday, January 29, 2018

ජපානයේ තේ බොන හැටි - 3


ජපානයේ විවිධ තේ වර්ග ගණනාවක් තියෙනවා. කලින් ලිපියෙන් කියැවුනේ බහුලව හාවිතා වන​ තේ වර්ග ගැන විතරයි. මේ ලිපියෙන් කියන්න යන්නෙ එතරම් බහුලව භාවිතා නොවන අනෙකුත් තේ වර්ග ගැන​.

ජපානයේ භාවිතා වන සියළු තේ වර්ග ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්

1. කොළ තේ (Green Tea)
2. බැදපු තේ (Roasted Tea)
3. කළු තේ (Black Tea)
4. "තේ නොවන තේ"


1. කොළ තේ (Green Tea)

  කොළ තේ හදන ක්‍රමවේදය මෙහෙමයි

1. තේ දළු නෙලා ගන්නවා
2. නෙළපු තේ දළු හුමාලයෙන් තප්පර 30-60 ක් පමණ කාලයක් තම්බනවා.
3. තම්බපු තේ දළු වේලනවා
4. වේලපු තේ දළු රෝල් කරනවා


අරචා (aracha) - "රළු තේ"

 


අරචා කියල හඳුන්වන්නෙ සකසන ලද​, ඒත් කොළ සහ අතු රිකිලි වෙන් නොකළ තේ. සෙන්චා, බන්චා වගේ තේ වර්ග හදනකොට කොළ සහ අතු රිකිලි වෙන් කරලා කොළ පමණයි පාවිච්චි කරන්නෙ. අරචා වල කොළ වගේම අතු රිකිලිත් මිශ්‍රව අඩංගුයි.

අරචා අඳුරු කොළ පැහැයෙන් යුක්තයි.

ෆුකමුෂිචා (fukamushicha) - "තදින් හුමාලය ඇල්ලූ තේ"

 


සාමාන්‍යයෙන් කොළ තේ හදද්දි තේ කොළ තප්පර 30 - විනාඩියක් අතර කාලයක් හුමාලයට අල්ලනවා. ෆුකමුෂිචා කියල හඳුන්වන්නේ විනාඩි 1 - 2 හුමාලයට ඇල්ලූ තේ. සෙන්චා, බන්චා, ග්‍යෝකුරෝ වගේ ඕනෑම කොළ තේ වර්ගයක් හදද්දි හුමාලයට අල්ලන කාලය වැඩි කිරීමෙන් ෆුකමුෂිචා හදන්න පුළුවන්. එතකොට ඒවාගෙ නමට මුලින් "ෆුකමුෂි" කියල එකතුවෙනවා. උදාහරණයකට "ෆුකමුෂි සෙන්චා" නැත්තම් "ෆුකමුෂි බන්චා".

ෆුකමුෂිචා අඳුරු කොළ පැහැයෙන් යුක්තයි.


අසමුෂිචා (asamushicha) - "මදක් හුමාලය ඇල්ලූ තේ" 



තප්පර 30 කට වඩා අඩු කාලයක් හුමාලයට ඇල්ලේමෙන් හදන තේ තමයි අසමුෂිචා කියල හඳුන්වන්නේ. සෙන්චා, බන්චා, ග්‍යෝකුරෝ වගේ ඕනෑම කොළ තේ වර්ගයක් හදද්දි හුමාලයට අල්ලන කාලය වැඩි කිරීමෙන් ෆුකමුෂිචා හදන්න පුළුවන්. එතකොට ඒවාගෙ නමට මුලින් "අසමුෂි" කියල එකතුවෙනවා. උදාහරණයකට "අසමුෂි සෙන්චා" නැත්තම් "අසමුෂි බන්චා".

අසමුෂිචා ලා කොළ පැහැයෙන් යුක්තයි.


ෆුන්මත්සුචා (funmatsucha) - "කුඩු කළ තේ"



ෆුන්මත්සුචා හදන්නෙ ප්‍රමිතියෙන් අඩු තේ කොළ ඇඹරුම් ගලක අඹරා ගැනීමෙන්. මෙතැනදී තේ කොළ සම්පූර්නයෙන්ම කුඩු බවට පත් වෙනතුරු අඹරනවා. ෆුන්මත්සුචා අඳුරු කොළ පැහැයෙන් යුක්තයි. ඒ වගේම තිත්ත රසය සහ සැර අධිකයි.


 ගෙන්මයිචා (genmaicha) - "දුඹුරු හාල් තේ"



ගෙන්මයිචා කියල හඳුන්වන්නේ තේ සහ බැදපු සහල් 1:1 අනුපාතයට මිශ්‍ර කරල හදපු තේ වර්ගයක්. පැහැයෙන් ලා කොළ පාට මේ තේ අමුතුම රසයකින් යුක්තයි.

කමයිරිචා (kamairicha) - "තැටියේ බැදපු තේ"



කමයිරිචා කියන්නෙ චීන ක්‍රමයට හදපු කොළ තේ. මේ තේ හුමාලයට ඇල්ලීම වෙනුවට කෙරෙන්නෙ තැටියක රත් කිරීම​. මේ තේ ජපන් තේ වලට වඩා වෙනස් රසයකින් යුක්තයි. පැහැයෙන් ලා කහ - කොළ පාටයි.

කොනචා (konacha) - "තේ කුඩු"



කොනචා කියන්නෙ සෙන්චා හෝ ග්‍යෝකුරෝ හදල ඉතිරි වුන තේ කොළ කැබැලි සහ කුඩා අතු රිකිලි වලින් හදන තේ වර්ගයක්. තේ කුඩු කිව්වට ඇත්තෙන්ම මේවා කුඩු නෙවෙයි. මේ තේ වර්ගය ඉතා අධික තිත්ත රසයකින් සහ සැරකින් යුක්තයි. පැහැයෙන් මඩ කොළ පාටයි. මේ තේ බහුලව පාවිච්චි කරන්නෙ සෂිමි (අමු මාළු) හෝ සුෂී (අමු මාළු සමඟ බත්) එක්ක.


කුකිචා (kukicha) - "රිකිලි තේ"



වෙනත් තේ වර්ග හදල ඉතිරි වුන අති රිකිලි වලින් හදන තේ. මේවායේ තේ කොළ අඩංගු වෙන්නෙ නෑ. ඊටම ආවේනික සුවඳකින් යුක්ත මේ තේ තරමක් පැණි රසයි. පැහැයෙන් ලා දුඹුරු-කොළ පාටයි.


තමරියොකුචා (tamaryokucha) - "බෝල කොළ තේ"



හුමාලය අල්ලල වේල ගත්තට පස්සෙ තේ කොළ රෝල් කරනව වෙනුවට කැරකෙන සිලින්ඩරයක් ඇතුලට දාල හදන තේ වර්ගයක්. මේවා හදන්නෙ සෙන්චා හදන්න පාවිච්චි කරන තේ කොළ වලින්. කැරළි ගැහුන හැඩයෙන් යුක්තයි. දීප්තිමත් කහ පැහැයෙන් යුක්ත මේ තේ සෞම්‍යය රසයෙන් යුක්තයි.


සකුරාචා (sakuracha) - "සකුරා තේ"




සෙන්චා සමඟ සකුරා මල් මිශ්‍ර කරල හදන තේ වර්ගයක්. විශේෂ අවස්ථා වලදී පාවිච්චි කරන මේ තේ පැහැයෙන් රතු-දුඹුරු පාටයි.

ජැස්මින්චා (jasminecha) - "පිච්ච තේ"


සෙන්චා සමඟ පිච්ච මල් මිශ්‍ර කරල හදන තේ වර්ගයක්. පිච්ච මලේ සුවඳින් යුක්තයි.


මෙචා (mecha) - "අංකුර තේ"



ග්‍යෝකුරෝ හදද්දි ඉවත දමන තේ අංකුර වලින් හදන තේ වර්ගයක්. ප්‍රමිතියෙන් උසස් මේ තේ මඩ කොළ පාටයි. ඉතා සැර සුවඳකින් සහ රසකින් යුක්තයි.

මච්චා (matcha) - "සිහින් කුඩු තේ"



"ජපන් තේ අතර රජු" කියල හඳුන්වන්න පුළුවන් මච්චා තමයි ජපානයේ ඉතාම වැදගත් සංස්කෘතික අංගයක් වන තේ පිළිවෙත (tea ceremony) සඳහ යොදා ගන්නෙ.

මච්චා හදන්නෙ ග්‍යෝකුරෝ හදන ක්‍රමයටමයි. නමුත් අන්තිම පියවරේදී තේ කොළ රෝල් කරනව වෙනුවට ඒවායේ අතු - ඉති - රිකිලි ඉවත් කරල තේ කොළය පමණක් තෝරා ගන්නවා. එතකොට ලැබෙන්නෙ "තෙන්චා" කියල හඳුන්වන තේ පියලි.


මේ තේ පියලි ඇඹරුම් ගලක අඹරා ගැනීමෙන් තමයි මච්චා ලැබෙන්නෙ. මේ ඇඹරුම් ගල අපේ කුරහන් ගලකට ඉතා සමානයි. සාම්ප්‍රදායිකව මච්චා ඇඹරුවෙ අතින්. නමුත් දැන් යන්ත්‍රානුසාරයෙනුත් අඹරනවා.

මච්චා සකස් කරන ක්‍රම දෙකක් තියෙනවා. "උසුචා" (දියාරු තේ) සහ "කොයිචා" (උකු තේ) කියල තමයි ඒ ක්‍රම දෙක හැඳින්වෙන්නේ.


මච්චා වෙනත් තේ වලට වඩා උකුයි. ඒ වගේම දීප්තිමත් කොළ පැහැයෙන් යුක්තයි.


2. බැදපු තේ (Roasted Tea)


බැදපු තේ හදන්නෙ කොළ තේ උඳුනක බැද ගැනීමෙන්. බැදපු තේ වල කැෆේන් ප්‍රමානය කොළ තේ වලට වඩා අඩුයි. ඒ නිසා සුවඳින් සහ රසයෙන් සැර ගතිය අඩුයි.

හෝජිචා (houjicha) - "බැදපු තේ"



හෝජිචා තමයි මූලිකම බැදපු තේ වර්ගය​. බන්චා තේ කොළ ආවරනය කළ උඳුනක බැද ගැනීමෙන් තමයි හෝජිචා හදන්නෙ. අඩු කැෆේන් ප්‍රමානය නිසා තිත්ත රස සහ සැර අඩුයි. මේ තේ පැහැයෙන් රතු - දුඹුරු පාටයි. කුඩා ළමුන් සහ වයසක අය අතර හෝජිචා ජනප්‍රියයි.


හකුතා බන්චා (hakuta bancha) - "හකුතා තේ"



හකුතා ප්‍රදේශයේ පමණක් නිපදනව මේ තේ හදන ක්‍රමය තරමක් වෙනස්. හුමාලයට ඇල්ලූ තේ කොළ සාමාන්‍යය ක්‍රමයට වගේ ගෙයක් ඇතුලේ වේලන්නෙ නැතුව හිරු එළියේ වේලනවා. ඊට පස්සෙ මද උෂ්නත්වයක බැද ගන්නවා. මෙහිදී තේ කොළ රෝල් කිරීමක් වෙන්නෙ නෑ. කැෆේන් ප්‍රමානයෙන් අඩු මේ තේ තිත්ත රසයෙන් අඩුයි. පැහැයෙන් රතු - දුඹුරු පාටයි.


කගෙබොෂි බන්චා (kageboshi bancha) - "හෙවනේ වේලපු තේ"



නෙළා ගත්ත තේ කොළ මිටි බැඳලා හෙවනේ වේලීමෙන් තමයි කගෙබොෂි බන්චා ලැබෙන්නෙ. මේ තේ හුමාලයට ඇල්ලීමක් හෝ බැද ගැනීමක් වෙන්නෙ නෑ. වාණිජ්‍ය මට්ටමෙන් මේ තේ හදන්නෙ නෑ. පිටිසර පළාත් වල පුද්ගලික පාවිච්චියට තමයි කගෙබොෂි බන්චා හදන්නෙ.


කන්චා (kancha) - "ශීත ඍතු තේ"



කන්චා කියන්නෙත් වාණිජ්‍යය මට්ටමෙන් හදන්නෙ නැති තේ වර්ගයක්. මේ තේ නෙළා ගන්නෙ කැලෑවේ හැදෙන තේ ගස් වලින් වීම විශේෂයක්. තේ ගස් වලින් ශීත ඍතුවේදී කඩා ගන්න තේ කොළ හුමාලයට අල්ලල​, අතු ඉති වෙන් කරලා හිරු එළියේ වේලීමෙන් තමයි කන්චා ලැබෙන්නෙ. කැෆේන් ප්‍රමානයෙන් ඉතා අඩු කන්චා පැණි රසයෙන් යුක්තයි. පැහැයෙන් දුඹුරු - කහ පාටයි.


ක්‍.යෝබන්චා (kyobancha) - 'ක්‍.යෝතෝ තේ"



ක්.යෝතෝ නගරය ආශ්‍රිතව නිපදවෙන තේ වර්ගයක්. මෙහිදී හුමාලයට අල්ලපු තේ කොළ හිරු එළියේ වේලලා ඉහළ උෂ්නත්වයකදී බැද ගන්නවා. කොළ රෝල් කිරීමක් කරන්නෙ නෑ. මේ තේ රන්වන් පැහැයෙන් යුක්තයි. දුම් සුවඳක් තියෙනවා. කැෆේන් ඉතාමත් අඩුයි. ඒ නිසාම තිත්ත රසය ඉතාමත් අඩුයි.


මිමසක බන්චා (mimasaka bancha) - "මිමසක තේ"



මිමසක ප්‍රදේශයේ පමණක් හදන තේ වර්ගයක්. මුට්ටියක් ඇතුලේ හුමාලය ඇල්ලීමෙන් පසු තේ කොළ හිරු එළියේ වේලීමෙන් තමයි මිමසක තේ හදන්නෙ. රතු - දුඹුරු පාට මිමසක තේ සෞම්‍යය රසයෙන් යුක්තයි.


යොෂිනෝ නික්කං බන්චා (yoshino nikkan bancha) - "යොෂිනෝ අව්වේ වේලපු තේ"



යොෂිනෝ ප්‍රදේශයේ පමණක් හදන තේ වර්ගයක්. මේ තේ හුමාලයට අල්ලල​, ඉර අව්වේ වේලලා උඳුනක බැද ගැනීමෙන් තමයි නිපදවන්නෙ. රන්වන් දුඹුරු පාටයි.


හෝජිකොනචා (houjikonacha) - "බැදපු කුඩු තේ"


කොනචා උඳුනක බැද ගැනීමෙන් තමයි හෝජිකොනචා හදන්නෙ. කැෆේන් ප්‍රමානය ඉතාමත් අඩුයි, ඒ නිසාම තිත්ත ගතිය සහ සැර අඩුයි. අහාර පිසීමේදී බහුලව භාවිතා කරනවා.


කගා බවුචා (kaga boucha) - "බැදපු රිකිලි තේ"


කුකිචා උඳුනක බැද ගැනීමෙන් තමයි කග බවුචා හදන්නෙ. තිත්ත රසය ඉතාමත් අඩුයි. කර සුවඳක් සහ රසක් තියෙනවා. රතු - දුඹුරු පාටයි.

 

3. කළු තේ (Black Tea)


කළු තේ කියන්නෙ ලංකාවෙ තියෙන අපිට හුරු පුරුදු තේ වර්ගය​. මේවා හදන්නෙ තේ කොළ ඔක්සිජනීකරණයට ලක් කිරීමෙන්. කොළ තේ වල තියෙන තිත්ත රස සහ සැර ගතිය සම්පූර්නයෙන්ම වගේ නැති කරන්න ඔක්සිජනීකරණයෙන් පුළුවන්. ඒත් කොළ තේ වල තියෙන සෞඛ්‍යය සම්පන්න බවත් ඒ එක්කම නැති වෙනවා.

ඌලොං තේ (oolong tea) - "කළු මකර තේ"



චීනයෙන් ආපු තේ හදන ක්‍රමයක්. ඌලොං තේ හදන්නෙ ඔක්සිජනීකරණය කළ තේ කොළ හුමාලයට  ඇල්ලීමෙන් හෝ උඳුනක බැද ගැනීමෙන්. මෙහිදී ඔක්සිජනීකරණය අතරමගදී නවතින නිසා ඌලොං තේ වල කැෆේන් තරමක් ඉතිරි වෙනවා. මේ තේ අඳුරු කහ පාටකින් යුක්තයි. රසයෙන් සහ සුවඳින් අපිට හුරු පුරුදු තේ වලට සමානයි. තෙල් සහිත ආහාර එක්ක තමයි ඌලොං තේ බහුලව පානය කරන්නෙ.


කෝචා (kocha) - "රතු තේ"



කෝචා හදද්දි ඌලොං තේ හදද්දි වගේ අතරමගදි ඔක්සිජනීකරණය නවත්තන්නෙ නෑ. ඒ නිසා තිත්ත රස තවත් නැති වෙනවා. කෝචා අපි දන්න තේ වලට සම්පූර්නයෙන්ම වගේ සමානයි. රතු - දුඹුරු පැහැයෙන් යුක්තයි.

4. "තේ නොවන තේ"


තේ නොවන, ඒත් තේ වලට සමාන ආකාරයට සකස් කරල පානය කරන පාන වර්ගත් ජපානයේ තියෙනවා. මේවා තේ නොවුනට ජපන්නු මේවා හඳුන්වන්නෙ තේ කියල​.

මුගිචා (mugicha) - "බාර්ලි තේ"



බැදපු බාර්ලි ඇට උණු වතුරේ තම් බා ගැනීමෙන් තමයි මුගිචා ලැබෙන්නෙ. මුගිචා වල කැෆේන් නෑ. ඒ නිසා ළමයින්ට සුදුසු පානයක් කියල සැලකෙනවා. මුගිචා පානය කරන්නෙ සම්පූර්නයෙන්ම නිවුනට පස්සෙ. මුගිචා රතු - දුඹුරු පාටයි


කොංබුචා (kombucha) - "කොංබු තේ"



කොංබු නමින් හැඳින්වෙන මුහුදු පැලෑටියක් වේලල, කුඩු කරල ඒ කුඩු උණු වතුරේ දිය කිරීමෙන් තමයි කොංබුචා ලැබෙන්නෙ. මේ කොංබු පැලෑටිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නෙ "kelp" කියල​. කොංබු තේ මද ලුණු රසයකින් යුක්තයි. කොංබුචා කහ - දුඹුරු පාටයි.

Friday, January 26, 2018

ජපානයේ තේ බොන හැටි - 2


ජපානයේ විවිධ ක්‍රමවලට හදන විවිධ තේ වර්ග ගණනාවක් තියෙනවා. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ ර්.යොකුචා කියල හැඳින්වෙන කොළ තේ (Green Tea). කොළ තේ හදන්න පාවිච්චි වෙන්නෙත් ලංකාවෙ තියෙන තේ ගහම තමයි. නමුත් ඒව සකසන ආකාරය වෙනස්.

ජපන් බසින් පොදුවේ "තේ" වලට කියන්නෙ "ඕචා" නැත්තං "නිහොංචා". ඒත් සමහර වෙලාවට ඕචා කිව්වොත් අදහස් කරන්නෙ කොළ තේ.

ජපානයේ පාවිච්චි වෙන සියළු තේ අතරින් 90% ක් ම කොළ තේ.

කොළ තේ බොන්නෙ සීනි හෝ කිරි එකතු කරන්නෙ නැතුව​. ඒ වගේම කොළ තේ වල තිත්ත රසක් සහ කට කාරවල යන සැරක් තියෙනවා. ඒ එක්කම පැණි රසක් සහ කහට රහකුත් තියෙනවා. කොළ තේ වල සුවඳ මල් සුවඳක සහ තණකොළ සුවඳක සංකලනයක්. කොළ තේ පානය සෞඛ්‍යයට ඉතාම හොඳයි.

ජපන්නු තේ බොන්නෙ අපි තේ බොනව වගේ රස සඳහා නෙවෙයි. අපි නං ලොකු තේ කෝප්පයක් හදාගෙන සීනි සහ කිරි එකතු කරල රහ කරමින් නෙ තේ බොන්නෙ. ජපන්නු ඒ විදිහට රහ කරමින් බොන්නෙ කෝපි. තේ බීම ප්‍රධාන වශයෙන් සෞඛය සම්පන්න බව සහ කැෆේන් උත්තේජනය සඳහා කරන දෙයක්. ඒ වගේම ඒක එක්තරා විදිහක භාවනාවක්.

තේ පෝච්චියෙන් තේ කෝප්පවලට වත් කරද්දි ජපන්නු අනුගමනය කරන විශේෂ සිරිතක් තියෙනවා. ඔවුන් කෝප්පයක් මුලින්ම පුරවල අනිත් එකට යන්නෙ නෑ. හැම කෝප්පයටම ටික ටික දාමින් වට කීපයකට වත් කරන්නෙ. එහෙම කරන්නෙ හැමෝටම එක විදිහේ තේ ලැබෙන්නෙ. මොකද පෝච්චිය අඩියෙ තියෙන තේ සැර වැඩියි.

 

කොළ තේ සකසන ක්‍රමවේදය

1. තේ දළු නෙලා ගන්නවා
2. නෙළපු තේ දළු හුමාලයෙන් තප්පර 30-60 ක් පමණ​ කාලයක් තම්බනවා.
3. තම්බපු තේ දළු වේලනවා
4. වේලපු තේ දළු රෝල් කරනවා

මේ ක්‍රමවේදයේ තියෙන වෙනස නිසා තමයි ජපානයට ආවේනික කොළ තේ ලැබෙන්නෙ. චීනයේ කොළ තේ හදද්දි හුමාලයෙන් තැම්බීම වෙනුවට කරන්නෙ තැටියක දාල රත් කිරීම​.

ඒ දෙවිදියෙන්ම කරන්නෙ තේ දළු ඔක්සිජනීකරණය වීම වැලැක්වීම​. ඔක්සිජනීකරණය නොවූ තේ දළු වලින් තමයි කොළ තේ ලැබෙන්නෙ. ඔක්සිජනීකරණය වුනොත් ලැබෙන්නෙ අපිට හුරු පුරුදු කළු තේ (Black Tea).

ඒ වගේම ලංකාවෙ වගේ තේ කුඩු විදිහට නෙවෙයි ඔවුන් පාවිච්චි කරන්නෙ. සිහින්වට ඔතපු තේ කොළ රෝලක් විදිහට​.

තේ වවන ආකාරය​, අස්වැන්න නෙළන ආකාරය සහ තේ සකසන ආකාරය අනුව කොළ තේ වර්ග කීපයක් තියෙනවා.

සෙන්චා (sencha) - "තම්බපු තේ"

 


සෙන්චා තමයි ජපානයේ වැඩියෙන්ම පාවිච්චි වෙන තේ වර්ගය​. සම්පූර්න තේ පරිභෝජනයෙන් 80% ක්ම සෙන්චා.

සෙන්චා හදන්න පාවිච්චි කරන්නෙ පළවෙනි හෝ දෙවෙනි අස්වැන්නෙන් ගන්න තේ දළු. ඒ වගේම තේ ගහේ මුදුනෙන් නෙළා ගත්ත දළු. පළවෙනි අස්වැන්නෙන් හදන සෙන්චා "ෂින්චා" කියල හඳුන්වනවා.

සෙන්චා ලා කොළ පාටයි. ඒ වගේම සැර සුවඳකින් සහ රසකින් යුක්තයි.



සෙන්චා කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. උතුරන වතුර කේතලයෙන් තේ කෝප්පවලට වත් කරනවා. ඉතුරුවෙන වතුර ඉවත දානවා.
3. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ හැන්දක්) තේ පෝච්චියට දානවා.
4. තේ කෝප්ප වලින් වතුර තේ පෝච්චියට වත් කරනවා.
5. තේ පෝච්චියේ මූඩිය වහල විනාඩියක් පැහෙන්න අරිනවා.
6. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

වතුර කෙලින්ම පෝච්චියට එක් නොකර කෝප්ප වලට වත් කරන්නෙ හේතු දෙකක් නිසා. එක​, අපිට අවශ්‍යය වතුර ප්‍රමානය හරියටම මැන ගන්න​. දෙක​, වතුරේ උෂ්නත්වය අඩු කර ගන්න​. හොඳම සෙන්චා හදන්නෙ සෙල්සියස් අංශක 70 ක උෂ්නත්වයේ තියෙන වතුරෙන්.


බන්චා (bancha) - "සාමාන්‍යය තේ" 



ජපානයේ සම්පූර්න තේ පරිභෝජනයෙන් 10% විතර බන්චා.

බන්චා සෙන්චා වලට වඩා ප්‍රමිතියෙන් අඩු තේ වර්ගයක්. බන්චා හදන්න පාවිච්චි කරන්නෙ තුන්වෙනි හෝ හතරවෙනි අස්වැන්නෙන් ගන්න තේ. එහෙම නැත්තං තේ ගහේ යටින් නෙළා ගන්න දළු.

බන්චා ලා කහ පාටයි. රසේ සැර බව සහ තිත්ත බව සෙන්චා වලට වඩා අඩුයි. ඒ කැෆේන් ප්‍රමානය අඩු නිසා.


බන්චා කෝප්පයක් හදා ගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ හැන්දක්) තේ පෝච්චියට දානවා.
3. කේතලයෙන් වතුර තේ පෝච්චියට වත් කරනවා.
4. තේ පෝච්චියේ මූඩිය වහල තප්පර 30 ක් පැහෙන්න අරිනවා.
5. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

බන්චා හදද්දි කෙලින්ම කේතලයෙන් තේ පෝච්චියට වතුර දාන්නෙ බන්චා හදන්න පාවිච්චි කරන වතුරේ උෂ්නත්වය සෙන්චා හදන්න පාවිච්චි කරන වතුරේ උෂ්නත්වයට වඩා වැඩි විය යුතු නිසා.


කබුසෙචා (kabusecha) = "ආවරනය කළ තේ"



කබුසෙචා සෙන්චා වලට වඩා ප්‍රමිතියෙන් උසස් තේ වර්ගයක් කියල සැලකෙන්නෙ.

කබුසෙචා හදන්න පාවිච්චි කරන්නෙත් පළමු හෝ දෙවැනි අස්වැන්නෙන් ගන්නා, තේ ගහේ මුදුනෙන් නෙළපු දළු. ඒත් කබුසෙචා හදද්දි අස්වැන්න නෙලන්න කලින් දවස් 7-10 පමණ කාලයක් තේ ගහ කළු රෙදි වලින් ආවරණය කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ගහට ඉර එළිය වැටෙන එක වැලැක්වීම​. මේකෙන් තේ දළු වල රසායනික සංයුතිය වෙනස් වෙනවා.


කබුසෙචා රන්වන් පැහැයෙන් යුක්තයි. සෙන්චා වලට වඩා තිත්ත රසෙන් අඩුයි. ඊට වඩා පැණි රසක් තියෙනවා.

කබුසෙචා කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. උතුරන වතුර කේතලයෙන් තේ පෝච්චියට වත් කර ගන්නවා.
3. තේ පෝච්චියෙන් වතුර තේ කෝප්පවලට වත් කරනවා. ඉතුරුවෙන වතුර ඉවත දානවා.
4. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ හැඳි තුන්කාලක් විතර​) තේ පෝච්චියට දානවා.
5. තේ කෝප්ප වලින් වතුර තේ පෝච්චියට වත් කරනවා.
6. තේ පෝච්චියේ මූඩිය වහල විනාඩි 2ක් පැහෙන්න අරිනවා.
7. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

කබුසෙචා හදද්දි සෙන්චා හදද්දි වගේ කේතලයෙන් තේ කෝප්පෙට වතුර දාන්නෙ නෑ. ඒ වෙනුවට තේ පෝච්චියට දාල, තේ පෝච්චියෙන් තමයි කෝප්පෙට දාන්නෙ. ඒ අමතර පියවර නිසා වතුරෙ උෂ්නත්වය අඩු වෙනවා


ග්‍යෝකුරො (gyokuro) - "ජේඩ් පිනි"



ග්‍යෝකුරො තමයි ප්‍රමිතියෙන් වැඩිම තේ කියල සැලකෙන්නෙ. ඒ වගේම මිලෙන් අධිකයි.

ග්‍යෝකුරො හදන්න පාවිච්චි කරන්නෙ පළමු හෝ දෙවැනි අස්වැන්නෙන් ගන්න තේ ගහේ මුදුනෙන් නෙළන දළු. කබුසෙචා හදද්දි වගේම ග්‍යෝකුරො හදද්දිත් තේ ගහ ඉර එළියෙන් ආවරනය කරනවා. ඒත් කබුසෙචා හදද්දි වගේ තේ ගහ විතරක් නෙවෙයි. මුළු තේ වත්තම කළු රෙදි දාල වහනවා. ඒ වගේම දින 20 ක කාලයක් මේ ආවරණය කිරීම කෙරෙනවා.

ග්‍යෝකුරො ඉතාමත් ලා කොළ පාටයි. ඒ වගේම තිත්ත රස ගොඩක් අඩුයි. පැණි රස වැඩියි. ඉතාමත් ප්‍රනීත සුවඳකින් යුක්තයි.

ග්‍යෝකුරො කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. උතුරන වතුර කේතලයෙන් තේ පෝච්චියට වත් කර ගන්නවා.
3. තේ පෝච්චියෙන් වතුර තේ කෝප්පවලට වත් කරනවා. ඉතුරුවෙන වතුර ඉවත දානවා.
4. තේ කෝප්ප වලින් වතුර යුසමෂි කියල හඳුන්වන වතුර භාජනයට වත් කරනවා.
5. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ
හැන්දක් විතර​) තේ පෝච්චියට දානවා.
6. යුසමෂියේ තියෙන වතුර තේ පෝච්චියට වත් කරනවා.
7. තේ පෝච්චියේ මූඩිය වහල විනාඩි 3ක් පැහෙන්න අරිනවා.
8. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

මෙතනදි තවත් අමතර පියවරක් එකතු වෙලා තියෙනවා. ඒ යුසමෂියට වතුර වත් කිරීම​. එතැනනි බලාපොරොත්තු වෙන්නෙ වතුරේ උෂ්නත්වය අඩු කිරීම​. ග්‍යෝකුරො හදන්න සුදුසුම උෂ්නත්වය වෙන්නෙ සෙල්සියස් අංශක 60.

ග්‍යෝකුරො හදන්න පාවිචිචි කරන්නෙ ප්‍රමානයෙන් කුඩා තේ පෝච්චි. සමහර වෙලාවට ඒ සඳහාම විශේෂයෙන් හදපු "හෝහින්" කියල හඳුන්වන විශේෂ තේ පෝච්චියක් තියෙනවා.

ඒ වගේම ග්‍යෝකුරො බොද්දි වරකට බොන තේ ප්‍රමානය අනිත් තේ වලට වඩා අඩුයි. සාමාන්‍යෙයෙන් මිලි ලීටර් 20 ක් විතර​. ඒ නිසා පාවිච්චි කරන තේ කෝප්ප ප්‍රමානයෙන් කුඩායි.

Thursday, January 25, 2018

ජපානයේ තේ බොන හැටි - 1


ජපානයේ සංස්කෘතියත් එක්ක තේ පානය තදින්ම බැඳිලා තියෙනවා. මේ කියන්න යන්නෙ ජපානයේ තේ බොන හැටි සහ ඒ එක්ක බැඳුන වෙනත් සංස්කෘතිකාංග ගැන​.

ඉතිහාසය​

ජපානයට මුලින්ම තේ එන්නෙ චීනයේ ඉඳල​. ඒ 9 වෙනි සියවසේදී. මුලින්ම තේ පානය ජනප්‍රිය වෙන්නෙ බෞද්ධ භික්‍ෂූන් අතරේ. ඊට පස්සෙ ඒක ක්‍රමයෙන් රජ වාසලට සහ එතැනින් සමුරායි වරු අතරට පැතිරුනා. ඒ එක්කම ජපානයේ තේ වගාවත් ක්‍රමයෙන් දියුණු වුනා. තේ පානය සාමාන්‍යය ජනතාව අතරට පැතිරුනේ 12 වෙනි සියවසේදී.

1900 පමණ වෙනකොට තේ කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම පටන් ගත්තා.

අද වෙනකොට විවිධ ක්‍රම වලට වගා කරන සහ නිපදවන තේ වර්ග ගණනාවක් ජපානයේ තියෙනවා.

අද ලෝකයේ තේ නිෂ්පාදය අතින් 10 වෙනි ස්ථානයේ ඉන්නෙ ජපානය​. ඒ ලෝක නිෂ්පාදනයෙන් 2% ක්.


තේ වගාව​

ජපානයේ තියෙන්නෙත් ලංකාවෙ තියෙන තේ ගහ මයි. නමුත් ඔවුන් ඒක වගා කරන්නෙ ලංකාවේ වවන ප්‍රමානයට වඩා තරමක් කුඩාවට සහ තේ පඳුර ගෝලාකාර හැඩයකට එන විදිහට​. තේ වතු තියෙන්නෙ ලංකාවෙ වගේම කඳු බෑවුම් වල​.


තේ දළු නෙලීම අතින් වගේම යන්ත්‍රානුසාරයෙනුත් කෙරෙනවා.

ජපානයේ තේ වගාව බහුලව සිදු වෙන්නෙ දකුණට වෙන්න​. ඒ උතුරු ජපානය තේ වගාවට සුදුසු නොවන තරම් ශීතල නිසා. ජපානයේ තේ වගාවෙන් 40% ක් ම සිද්ධ වෙන්නෙ ශිසුඕකා ප්‍රාන්තයේ.

ජපානයේ තේ දළු නෙලීම අවුරුද්දකට හතර වතාවක් කෙරෙනවා. පළවෙනි අස්වැන්න නෙලන්නෙ වසන්ත ඍතුවේ ආරම්භයත් එක්ක​. ඊට පස්සෙ දින 45 ක පරතරයකින් දෙවන​, තුන්වන සහ හතරවන අස්වනු නෙලීම් සිද්ධ වෙනවා. හතරවෙනි අස්වැන්න නෙලීමෙන් පස්සෙ සරත් ඍතුව එළැඹීමත් එක්කම තේ ගස් වල කොල හැලිලා සිසිරතරණයට (hibernate) පත්වෙනවා. ආපහු අස්වැන්න නෙලන්නෙ ඊළඟ අවුරුද්දේ.

ඉස්තරම්ම තේ ලබාගන්නෙ අවුරුද්දේ පළවෙනි අස්වැන්නෙන්. දෙවැනි තුන්වැනි සහ හතරවැනි අස්වනු ක්‍රමයෙන් අඩු ප්‍රමිතියක් සහිත තේ තමයි ලබා දෙන්නෙ. ඒ ඒ අස්වැන්න අනුව ලබා ගන්න තේ හැඳින්වෙන නම් තියෙනවා.

පළවැනි අස්වැන්න - ඉචිබන්චා
දෙවැනි අස්වැන්න - නිබන්චා
තුන්වැනි අස්වැන්න - සන්බන්චා
හතරවැනි අස්වැන්න - යොන්බන්චා


තේ හදන්න භාවිතා වෙන උපකරණ​

තේ කෝප්පයක් හදාගන්න එක ආවට ගියාට කරන්න බෑ. එක එක තේ වර්ගය අනුව තේ කෝප්පයක් හදන විදිහ වෙනස්. ඒ වගේම භාවිතා වෙන උපකරණත් වෙනස්. මේ ජපානයේ තේ සංස්කෘතිය​.

තෙත්සුබින් (කේතලය)

තේ හදද්දි මුලින්ම ඕන වෙන්නෙ වතුර උණු කරගන්න​. මේකට භාවිතා වෙන්නෙ "තෙත්සුබින්" කියල හඳුන්වන චීනචට්ටි කේතලයක්.


තේ පෝච්චිය​

ඊළඟට තේ පෝච්චිය​. තේ පෝච්චිය වතුර උණු කරන්න පාවිච්චි කරන්නෙ නෑ. තේ පෝච්චිය ඕන වෙන්නෙ තේ කොළ උණු වතුරට දාල පැහෙන්න අරින්න​. තේ පෝච්චි ජපන් භාෂාවෙන් හැඳින්වෙන්නෙ "ක්‍යුසු" කියල. සාමාන්‍යෙයෙන් මේවා හදන්නෙ මැටි හෝ පෝසිලේන් වලින්. සාම්ප්‍රදායික ක්‍යුසු වල අඬුව තියෙන්නෙ පැත්තකින්. ඒත් උඩින් හෝ පිටුපසින් අඬුව තියෙන තේ පෝච්චිත් තියෙනවා.


තේ කෝප්පය​

ඊළඟට තේ කෝප්පය​. ජපන්නු තේ බොන්න පාවිච්චි කරන්නෙ "චවන්" කියල හඳුන්වන සරළ රවුම් අඬුවක් රහිත කෝප්පයක්. ජපන්නු බොන්නෙ අපි බොනවට වඩා අඩු උෂ්නත්වයක තියෙන තේ නිසා අඬුවක් නැති එකේ අඩුපාඩුවක් දැනෙන්නෙ නෑ.


වතුර භාජනය​

සමහර තේ වර්ග පැහෙන්න අරින්නෙ අඩු උෂ්නත්වයකදි. ඒ තේ වර්ග හදන්න කලින් වතුර ටිකක් නිවෙන්න අරින්න ඕනෙ. ඒ වැඩේට පාවිච්චි කරන විශේෂ භාජනයක් තියෙනවා. ඒක හඳුන්වන්නෙ "යුසමෂි" කියලා.



මේ කිව්වෙ සාමාන්‍යය එදිනෙදා බොන්න තේ හදද්දි අවශ්‍යය වෙන උපකරණ ගැන විතරයි. ජපන් සංස්කෘතියේ තියෙනව "තේ පිළිවෙත​" (Tea Ceremony) කියල එකක්. ඒක ඉතාම සංකීර්න ක්‍රමවේදයක්. ඒක ගැන වෙනම කියන්නම්.