Friday, January 19, 2018

මාලදිවයිනේ අතොළු - 1 (ඉහළ උතුරු ප්‍රාන්තය​)


ඉහළ උතුරු ප්‍රාන්තය අතොළු තුනකින් සමන්විතයි.

1. තිලදුන්මති උතුරුබුරි
2. තිලදුන්මති දෙකුණුබුරි
3. මිලදුන්මදුලු උතුරුබුරි

තිලදුන්මති උතුරුබුරි

නිල නාමය : තිලදුන්මති උතුරුබුරි
කේතය : හා අලිෆ්
ප්‍රාන්තය : ඉහළ උතුරු
අයත්වන සොබාවික අතොළු : ඉහවන්දිප්පොලු, තිලදුන්මති
ජනගහණය : 12,939
දූපත් : 43
ප්‍රධාන දූපත : දිද්දූ

පදිංචිකරුවන් සහිත දූපත් : 14
(බාරා, දිද්දූ, ෆිලදූ, හොආරාෆුෂි, ඉහවන්දූ, කෙලා, මාරන්දූ, මුලාදූ, මුරියාදූ, තකන්දූ, තුරාකුණු, උලිගමු, උතීමු, වෂෆාරු)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 29

මාලදිවයිනේ උතුරින්ම පිහිටි අතොළුව​. ඉන්දියාවට අයත් මිනිකෝයි දූපත් වාසීන් එක්ක මේ අතොළුවේ වැසියන් ගේ සමීප සබඳකම් තියෙනවා.

වැදගත් ස්ථාන​:

උතීමු දූපත -

මාලදිවයින පෘතුගීසි ආක්‍රමනිකයන් ගෙන් මුදවා ගත් බොදු තකුරුෆානු ඉපදිලා තියෙන්නෙ උතීමු දූපතේ. ඔහුගේ මහගෙදර අදටත් "උතීමු ගන්දුවාරු" නමින් මාලදිවයින් ජාතිකයන් ගේ ගෞරවයට ලක් වෙනවා.


ඉහවන්දූ දූපත -

බොදු තකුරුෆානු ගේ මව උපන් දූපත​. 1701 දී කොරල් උපයෝගී කරගෙන හදපු පල්ලියක් මෙහි තියෙනවා.

බාරා දූපත -

බොදු තකුරුෆානු විසින් පෘතුගීසි ආක්‍රමනිකයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පාවිච්චි කළ නැව හදල තියෙන්නෙ මේ දූපතේ​.

කෙලා දූපත -

දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍යයන් මෙහි හමුදා කඳවුරක් ඉඳි කරා.

මුලාදූ දූපත -

කොළ කැස්බෑවන් බිත්තර දමන වෙරල තීරයක් මෙහි පිහිටලා තියෙනවා. මෑත අතීතයේදී වසරකට කැස්බෑවන් 20,000 ක් පමණ මෙහි ආවත්, අද එන්නෙ 400 ක් පමණ​.

තකන්දූ දූපත -

පෘතුගීසි ආක්‍රමනිකයන්ට එරෙහිව කළ සටනේදී දිවි පිදූ පළමු ස්වදේශිකයා වන අලී තකුරුෆානු ගේ සොහොන පිහිටල තියෙන්නෙ මේ දූපතේ.

වෂෆාරු දූපත -

ඉතාමත් ලස්සන සුදු වැලි තීරයකින් සමන්විත ප්‍රසිද්ධ වෙරළක් මේ දූපතේ තියෙනවා.




තිලදුන්මති දෙකුණුබුරි


නිල නාමය : තිලදුන්මති දෙකුණුබුරි
කේතය : හා දාලු
ප්‍රාන්තය : ඉහළ උතුරු
අයත්වන සොබාවික අතොළු : මාමකුණුදූ, තිලදුන්මති
ජනගහණය : 18,515
දූපත් : 38
ප්‍රධාන දූපත : කුලුදුෆුෂි

පදිංචිකරුවන් සහිත දූපත් : 14
(ෆිනේ, හනිමාදූ, හිරිමරදූ, කුලුදුෆුෂි, කුමුන්දූ, කුන්බුරුදූ, කුරින්බි, මකුණුදූ, නයිවාදූ, නෙල්ලයිදූ, නෙයිකුරෙන්දූ, නොලිවරම්, නොලිවරන්ෆරු, වයිකරදූ)

පදිංචි කරුවන් ර​හිත දූපත් : 24

උතුරු මාලදිවයිනේ ප්‍රධාන අතොළුව​. 1821 දී ආපු කුණාටුවකින් මේ අතොළුවේ දූපත් රැසකට දරුණු හානි සිද්ධ වෙලා තියෙනවා.

වැදගත් ස්ථාන​:

හනිමාදූ දූපත -

අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මේ දූපතේ පිහිටලා තියෙනවා.

කුලුදුෆුෂි දූපත -

උතුරු මාලදිවයිනේ ප්‍රධාන දූපත වන කුලුදුෆුෂි කඩොලාන (කුලි) වලට ප්‍රසිද්ධයි. දූපතට නම ලැබිල තියෙන්නෙත් ඒ ඇසුරෙන්.

කුමුන්දූ දූපත -

මේ දූපතේ බෞද්ධ ස්ථූපයක නටබුන් තියෙනවා.

නොලිවරම් දූපත -

දකුණු ඉන්දියාවෙන් ආපු ජනවර්ගයක් මේ දූපත සහ අවට දූපත් කීපයක පදිංචි වෙලා ඉඳල තියෙනවා. ඔවුන් තමා ගේ දූපත් හඳුන්වලා තියෙන්නෙ "වරම්" පදයෙන් අවසන් වන නම් වලින්. අදටත් නොලිවරම් දූපතේ ජනයා අනෙකුත් දිවෙහි ජාතිකයන්ට වඩා තරමක් වෙනස්.

වයිකරදූ දූපත -

බෞද්ධ ස්ථූප දෙකක නටබුන් මේ දූපතේ තියෙනවා.

මිලදුන්මදුලු උතුරුබුරි



නිල නාමය : මිලදුන්මදුලු උතුරුබුරි
කේතය : ශවියානි
ප්‍රාන්තය : ඉහළ උතුරු
අයත්වන සොබාවික අතොළු : තිලදුන්මති
ජනගහණය : 12,091
දූපත් :51
ප්‍රධාන දූපත : ෆුනදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 14
(බිලෙෆ්ෆාහි, ෆීවා, ෆේදූ, ෆෝකයිදූ, ෆුනදූ, ගොයිදූ, කන්ඩිතීමු, කොමන්දූ, ලයිමගු, මාවුන්ගූදූ, මරෝෂි, මිලන්දූ, නරුදූ, නූමරා)

පදිංචි කරුවන් ර​හිත දූපත් :37

කුඩා දූපත් වලින් හැදුන අතොළුවක්. මේ අතොළුව පැදුරු සහ ලණු කර්මාන්ත සඳහා ප්‍රසිද්ධයි.
වැදගත් ස්ථාන​:

කන්ඩිතීමු දූපත -

මාලදිවයිනේ වර්තමාන තානා හෝඩියෙන් ලියැවුන පළමුවැනි ලිපිය තියෙන්නෙ කන්ඩිතීමු දූපතේ පල්ලියක​. ඒක ලියල තියෙන්නෙ 1600 දී පමණ​.

මරෝෂි දූපත -

බොදු තකුරුෆානු විසින් පෘතුගීසි ආක්‍රමනිකයන්ට විරුද්ධව සටන් කරන්න පාවිච්චි කරපු නැවේ කුඹ ගහ හදල තියෙන්නෙ මේ දූපතේදි. ඒ සඳහා පාවිච්චි කරපු ගහ තාමත් තියෙනවා. ඒ සටන් වලදී ඔහුගේ ප්‍රධාන වරාය විදිහට පාවිච්චි කරල තියෙන්නෙ මරෝෂි දූපත​.



නූමරා දූපත -

මාලදිවයිනට දිවෙහි ජාතිකයන් එන්න කලින් හිටපු මුල් පදිංචිකාරයන් හිටපු දූපතක්.

2 comments:

  1. "මාල දිවයිනට දිවෙහි ජාතිකයන් එන්න කලින්"!! ඒ ආදිවාසීන් අදත් ඉන්නවද? නැත්තං ඔවුන් දිවෙහි ජාතිකයන් එක්ක මිශ්‍ර වෙලාද? මාල දිවයින පෘතුගීසින්ගෙන් මුදා ගත් කතාවත් ඔබතුමා කියනු ඇතැයි බලා පොරොත්තු වෙනවා!! ඔබේ ලිපි පෙළ විකිපීඩියාවේ සිංහල සංස්කරණයට ලබා දුන්නොත් බොහෝ දෙනාට උපකාරී වෙයි.

    ReplyDelete
  2. ආදිවාසීන් අද දිවෙහිකරණය වෙලා

    ReplyDelete