Friday, January 26, 2018

ජපානයේ තේ බොන හැටි - 2


ජපානයේ විවිධ ක්‍රමවලට හදන විවිධ තේ වර්ග ගණනාවක් තියෙනවා. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ ර්.යොකුචා කියල හැඳින්වෙන කොළ තේ (Green Tea). කොළ තේ හදන්න පාවිච්චි වෙන්නෙත් ලංකාවෙ තියෙන තේ ගහම තමයි. නමුත් ඒව සකසන ආකාරය වෙනස්.

ජපන් බසින් පොදුවේ "තේ" වලට කියන්නෙ "ඕචා" නැත්තං "නිහොංචා". ඒත් සමහර වෙලාවට ඕචා කිව්වොත් අදහස් කරන්නෙ කොළ තේ.

ජපානයේ පාවිච්චි වෙන සියළු තේ අතරින් 90% ක් ම කොළ තේ.

කොළ තේ බොන්නෙ සීනි හෝ කිරි එකතු කරන්නෙ නැතුව​. ඒ වගේම කොළ තේ වල තිත්ත රසක් සහ කට කාරවල යන සැරක් තියෙනවා. ඒ එක්කම පැණි රසක් සහ කහට රහකුත් තියෙනවා. කොළ තේ වල සුවඳ මල් සුවඳක සහ තණකොළ සුවඳක සංකලනයක්. කොළ තේ පානය සෞඛ්‍යයට ඉතාම හොඳයි.

ජපන්නු තේ බොන්නෙ අපි තේ බොනව වගේ රස සඳහා නෙවෙයි. අපි නං ලොකු තේ කෝප්පයක් හදාගෙන සීනි සහ කිරි එකතු කරල රහ කරමින් නෙ තේ බොන්නෙ. ජපන්නු ඒ විදිහට රහ කරමින් බොන්නෙ කෝපි. තේ බීම ප්‍රධාන වශයෙන් සෞඛය සම්පන්න බව සහ කැෆේන් උත්තේජනය සඳහා කරන දෙයක්. ඒ වගේම ඒක එක්තරා විදිහක භාවනාවක්.

තේ පෝච්චියෙන් තේ කෝප්පවලට වත් කරද්දි ජපන්නු අනුගමනය කරන විශේෂ සිරිතක් තියෙනවා. ඔවුන් කෝප්පයක් මුලින්ම පුරවල අනිත් එකට යන්නෙ නෑ. හැම කෝප්පයටම ටික ටික දාමින් වට කීපයකට වත් කරන්නෙ. එහෙම කරන්නෙ හැමෝටම එක විදිහේ තේ ලැබෙන්නෙ. මොකද පෝච්චිය අඩියෙ තියෙන තේ සැර වැඩියි.

 

කොළ තේ සකසන ක්‍රමවේදය

1. තේ දළු නෙලා ගන්නවා
2. නෙළපු තේ දළු හුමාලයෙන් තප්පර 30-60 ක් පමණ​ කාලයක් තම්බනවා.
3. තම්බපු තේ දළු වේලනවා
4. වේලපු තේ දළු රෝල් කරනවා

මේ ක්‍රමවේදයේ තියෙන වෙනස නිසා තමයි ජපානයට ආවේනික කොළ තේ ලැබෙන්නෙ. චීනයේ කොළ තේ හදද්දි හුමාලයෙන් තැම්බීම වෙනුවට කරන්නෙ තැටියක දාල රත් කිරීම​.

ඒ දෙවිදියෙන්ම කරන්නෙ තේ දළු ඔක්සිජනීකරණය වීම වැලැක්වීම​. ඔක්සිජනීකරණය නොවූ තේ දළු වලින් තමයි කොළ තේ ලැබෙන්නෙ. ඔක්සිජනීකරණය වුනොත් ලැබෙන්නෙ අපිට හුරු පුරුදු කළු තේ (Black Tea).

ඒ වගේම ලංකාවෙ වගේ තේ කුඩු විදිහට නෙවෙයි ඔවුන් පාවිච්චි කරන්නෙ. සිහින්වට ඔතපු තේ කොළ රෝලක් විදිහට​.

තේ වවන ආකාරය​, අස්වැන්න නෙළන ආකාරය සහ තේ සකසන ආකාරය අනුව කොළ තේ වර්ග කීපයක් තියෙනවා.

සෙන්චා (sencha) - "තම්බපු තේ"

 


සෙන්චා තමයි ජපානයේ වැඩියෙන්ම පාවිච්චි වෙන තේ වර්ගය​. සම්පූර්න තේ පරිභෝජනයෙන් 80% ක්ම සෙන්චා.

සෙන්චා හදන්න පාවිච්චි කරන්නෙ පළවෙනි හෝ දෙවෙනි අස්වැන්නෙන් ගන්න තේ දළු. ඒ වගේම තේ ගහේ මුදුනෙන් නෙළා ගත්ත දළු. පළවෙනි අස්වැන්නෙන් හදන සෙන්චා "ෂින්චා" කියල හඳුන්වනවා.

සෙන්චා ලා කොළ පාටයි. ඒ වගේම සැර සුවඳකින් සහ රසකින් යුක්තයි.



සෙන්චා කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. උතුරන වතුර කේතලයෙන් තේ කෝප්පවලට වත් කරනවා. ඉතුරුවෙන වතුර ඉවත දානවා.
3. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ හැන්දක්) තේ පෝච්චියට දානවා.
4. තේ කෝප්ප වලින් වතුර තේ පෝච්චියට වත් කරනවා.
5. තේ පෝච්චියේ මූඩිය වහල විනාඩියක් පැහෙන්න අරිනවා.
6. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

වතුර කෙලින්ම පෝච්චියට එක් නොකර කෝප්ප වලට වත් කරන්නෙ හේතු දෙකක් නිසා. එක​, අපිට අවශ්‍යය වතුර ප්‍රමානය හරියටම මැන ගන්න​. දෙක​, වතුරේ උෂ්නත්වය අඩු කර ගන්න​. හොඳම සෙන්චා හදන්නෙ සෙල්සියස් අංශක 70 ක උෂ්නත්වයේ තියෙන වතුරෙන්.


බන්චා (bancha) - "සාමාන්‍යය තේ" 



ජපානයේ සම්පූර්න තේ පරිභෝජනයෙන් 10% විතර බන්චා.

බන්චා සෙන්චා වලට වඩා ප්‍රමිතියෙන් අඩු තේ වර්ගයක්. බන්චා හදන්න පාවිච්චි කරන්නෙ තුන්වෙනි හෝ හතරවෙනි අස්වැන්නෙන් ගන්න තේ. එහෙම නැත්තං තේ ගහේ යටින් නෙළා ගන්න දළු.

බන්චා ලා කහ පාටයි. රසේ සැර බව සහ තිත්ත බව සෙන්චා වලට වඩා අඩුයි. ඒ කැෆේන් ප්‍රමානය අඩු නිසා.


බන්චා කෝප්පයක් හදා ගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ හැන්දක්) තේ පෝච්චියට දානවා.
3. කේතලයෙන් වතුර තේ පෝච්චියට වත් කරනවා.
4. තේ පෝච්චියේ මූඩිය වහල තප්පර 30 ක් පැහෙන්න අරිනවා.
5. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

බන්චා හදද්දි කෙලින්ම කේතලයෙන් තේ පෝච්චියට වතුර දාන්නෙ බන්චා හදන්න පාවිච්චි කරන වතුරේ උෂ්නත්වය සෙන්චා හදන්න පාවිච්චි කරන වතුරේ උෂ්නත්වයට වඩා වැඩි විය යුතු නිසා.


කබුසෙචා (kabusecha) = "ආවරනය කළ තේ"



කබුසෙචා සෙන්චා වලට වඩා ප්‍රමිතියෙන් උසස් තේ වර්ගයක් කියල සැලකෙන්නෙ.

කබුසෙචා හදන්න පාවිච්චි කරන්නෙත් පළමු හෝ දෙවැනි අස්වැන්නෙන් ගන්නා, තේ ගහේ මුදුනෙන් නෙළපු දළු. ඒත් කබුසෙචා හදද්දි අස්වැන්න නෙලන්න කලින් දවස් 7-10 පමණ කාලයක් තේ ගහ කළු රෙදි වලින් ආවරණය කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ගහට ඉර එළිය වැටෙන එක වැලැක්වීම​. මේකෙන් තේ දළු වල රසායනික සංයුතිය වෙනස් වෙනවා.


කබුසෙචා රන්වන් පැහැයෙන් යුක්තයි. සෙන්චා වලට වඩා තිත්ත රසෙන් අඩුයි. ඊට වඩා පැණි රසක් තියෙනවා.

කබුසෙචා කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. උතුරන වතුර කේතලයෙන් තේ පෝච්චියට වත් කර ගන්නවා.
3. තේ පෝච්චියෙන් වතුර තේ කෝප්පවලට වත් කරනවා. ඉතුරුවෙන වතුර ඉවත දානවා.
4. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ හැඳි තුන්කාලක් විතර​) තේ පෝච්චියට දානවා.
5. තේ කෝප්ප වලින් වතුර තේ පෝච්චියට වත් කරනවා.
6. තේ පෝච්චියේ මූඩිය වහල විනාඩි 2ක් පැහෙන්න අරිනවා.
7. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

කබුසෙචා හදද්දි සෙන්චා හදද්දි වගේ කේතලයෙන් තේ කෝප්පෙට වතුර දාන්නෙ නෑ. ඒ වෙනුවට තේ පෝච්චියට දාල, තේ පෝච්චියෙන් තමයි කෝප්පෙට දාන්නෙ. ඒ අමතර පියවර නිසා වතුරෙ උෂ්නත්වය අඩු වෙනවා


ග්‍යෝකුරො (gyokuro) - "ජේඩ් පිනි"



ග්‍යෝකුරො තමයි ප්‍රමිතියෙන් වැඩිම තේ කියල සැලකෙන්නෙ. ඒ වගේම මිලෙන් අධිකයි.

ග්‍යෝකුරො හදන්න පාවිච්චි කරන්නෙ පළමු හෝ දෙවැනි අස්වැන්නෙන් ගන්න තේ ගහේ මුදුනෙන් නෙළන දළු. කබුසෙචා හදද්දි වගේම ග්‍යෝකුරො හදද්දිත් තේ ගහ ඉර එළියෙන් ආවරනය කරනවා. ඒත් කබුසෙචා හදද්දි වගේ තේ ගහ විතරක් නෙවෙයි. මුළු තේ වත්තම කළු රෙදි දාල වහනවා. ඒ වගේම දින 20 ක කාලයක් මේ ආවරණය කිරීම කෙරෙනවා.

ග්‍යෝකුරො ඉතාමත් ලා කොළ පාටයි. ඒ වගේම තිත්ත රස ගොඩක් අඩුයි. පැණි රස වැඩියි. ඉතාමත් ප්‍රනීත සුවඳකින් යුක්තයි.

ග්‍යෝකුරො කෝප්පයක් හදාගන්නෙ මෙහෙමයි.

1. මුලින්ම කේතලයෙන් වතුර රත් කර ගන්නවා.
2. උතුරන වතුර කේතලයෙන් තේ පෝච්චියට වත් කර ගන්නවා.
3. තේ පෝච්චියෙන් වතුර තේ කෝප්පවලට වත් කරනවා. ඉතුරුවෙන වතුර ඉවත දානවා.
4. තේ කෝප්ප වලින් වතුර යුසමෂි කියල හඳුන්වන වතුර භාජනයට වත් කරනවා.
5. තේ කෝප්ප ගණන අනුව අවශ්‍යය තේ කොළ ප්‍රමානය (තේ කෝප්පයකට තේ
හැන්දක් විතර​) තේ පෝච්චියට දානවා.
6. යුසමෂියේ තියෙන වතුර තේ පෝච්චියට වත් කරනවා.
7. තේ පෝච්චියේ මූඩිය වහල විනාඩි 3ක් පැහෙන්න අරිනවා.
8. තේ පෝච්චියෙන් තේ කෝප්ප වලට තේ වත් කර ගන්නවා.

මෙතනදි තවත් අමතර පියවරක් එකතු වෙලා තියෙනවා. ඒ යුසමෂියට වතුර වත් කිරීම​. එතැනනි බලාපොරොත්තු වෙන්නෙ වතුරේ උෂ්නත්වය අඩු කිරීම​. ග්‍යෝකුරො හදන්න සුදුසුම උෂ්නත්වය වෙන්නෙ සෙල්සියස් අංශක 60.

ග්‍යෝකුරො හදන්න පාවිචිචි කරන්නෙ ප්‍රමානයෙන් කුඩා තේ පෝච්චි. සමහර වෙලාවට ඒ සඳහාම විශේෂයෙන් හදපු "හෝහින්" කියල හඳුන්වන විශේෂ තේ පෝච්චියක් තියෙනවා.

ඒ වගේම ග්‍යෝකුරො බොද්දි වරකට බොන තේ ප්‍රමානය අනිත් තේ වලට වඩා අඩුයි. සාමාන්‍යෙයෙන් මිලි ලීටර් 20 ක් විතර​. ඒ නිසා පාවිච්චි කරන තේ කෝප්ප ප්‍රමානයෙන් කුඩායි.

2 comments:

  1. බුදු සන්තෝ, හදන්න ගන්න මහන්සිය දැක්කාම තේ එපා උනා.අර කතන්දර ලිවිල්ල අමතක කරන්න එපා.. මේ අස්සෙ එව්වත් එකක්, දෙකක් ඔබල දාන්න

    ReplyDelete