Tuesday, January 23, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 17 (මුහුදු ලිහිණින් ගේ වැලිපරය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මුහුදු ලිහිණින් ගේ වැලිපරය​


එකෝමත් එක කාලෙක​, එකෝමත් එක අතොළුවක විශාල වැලි පරයක් තිබ්බා. ඒක පිහිටලා තිබ්බෙ මිනිස්සු පදිංචි වෙලා හිටපු දූපත් වලින් බොහොම ඈත​. වැලි පරයේ කෑමට දේවල් ඕන තරම් තිබ්බා. අවට කලපුව මාළුන් ගෙන් පිරිලා. බාදිය වෙලාවට කකුළුවෝ, මුහුදු පණුවෝ සහ තවත් පොඩි සත්තු වැලි පරය උඩ කොටු වෙනවා. මේ නිසා වැලි පරය මුහුදු ලිහිණි රංචුවකට වාස භූමිය වෙලා තිබුනා. උන් බිත්තර දාන්න සහ විවේක ගන්න වැලි පරය පාවිච්චි කලා.

එක දවසක් ඉර බහින්න ඔන්න මෙන්න තියල කෝවෙලි පක්‍ෂියෙක් (කොහෙක්) වැලි පරයට පියාඹලා ආවා. ඌ මුහුදු ලිහිණින් ගෙන් එදා රාත්‍රිය වැලි පරයේ ගත කරන්න අවසර ඉල්ලුවා. මුහුදු ලිහිණියෝ ඒකට එච්චර කැමති වුනේ නෑ. ඒත් කෝවෙලි බැගෑපත් වුනා.

"අනේ මට ඉන්න දෙන්න​. මම දූපතෙන් දූපතට පියාඹලා හොඳටම වෙහෙස වෙලා ඉන්නෙ. තවත් පියෑඹුවොත් මාව මුහුදට වැටිල මැරෙයි. උඹල මට ඉන්න දුන්නොත් මම උඹලට කිසිම කරදරයක් කරන්නෙ නෑ. මම හෙට උදේම පිටත් වෙලා යනවා."

මුහුදු ලිහිණින්ට දුක හිතුනා. කොහා ඇත්තටම බොහොම වෙහෙස වෙලා හිටියෙ. ඒ නිසා උං ඌට එදා රෑ වැලි පරයේ ඉන්න ඉඩ දුන්නා. කොහා වැල් පරයේ උස් තැනකට වෙලා නිදා ගත්තා.

හොඳටම රෑ බෝ වුනාට පස්සෙ වයසකම මුහුදු ලිහිණියා අනෙක් මුහුදු ලිහිණින්ට කතා කරා.


"මම කලින් මොකවත් කිව්වෙ නැත්තෙ උඹල මෝඩ බව මම දන්න නිසා. උඹල මම මේක කිව්වත් ගණං ගන්නෙ නෑ කියල මම දන්න නිසා. ඒ වුනාට මේක නොකියම බෑ. උඹල අර ගොඩබිම් කුරුල්ලට මේකෙ නවතින්න ඉඩ දීල කරගත්තෙ ලොකු වැරැද්දක්. මට හොඳටම සහතිකයි ඌ නිසා ලොකු නස්පැත්තියක් වෙන බව​"

අනික් මුහුදු ලිහිණින්ට තරහ ගියා. එකෙක් වයසක මුහුදු ලිහිණියට බැන්නා.

"කෝවෙලි ට හොඳටම මහන්සියි. ඌට යන්න වෙන තැනක් තිබ්බෙ නෑ. අපි කලේ හොඳ වැඩක්."

"උඹලට කවදහරි මම කියපු එක ඇත්ත කියල තේරෙයි"

මුහුදු ලිහිණි රංචුව නිදා ගන්න ගියා.

පහුවෙනිද උදේම කෝවෙලි නැගිට්ටා. ඌගෙ මහන්සිය ඇරිල තිබුනෙ. ඌ මුහුදු ලිහිණින් ට ස්තූති කරල යන්න පිටත් වුනා.

කෝවෙලි ගියාට පස්සෙ මුහුදු ලිහිණි රංචුවම වයසක ලිහිණියට කොලොප්පම් කරා.

"උඹ හැමතිස්සෙම බොරුවට කලබල වෙනවා. දැක්කනෙ මොකවත් වුනේ නෑ."

ඒත් මුහුදු ලිහිණියො දැක්කෙ නැතුවට කෝවෙලි දාපු වසුරු පිඩක් එක්ක ඌ කලින් දවසෙ කාල තිබුන බෙරි ඇට වගයක් වැලි පරය උඩ වැටිල තිබ්බා.

හුළඟ විසින් ඒවා සිහින් වැලි තට්ටුවකින් වහල දැම්මා. පළවෙනි වැස්සෙන් පස්සෙ ලා කොළ පාට පඳුරක් එතැන දළු දාන්න පට්න් ගත්තා.

මුහුදු ලිහිණියෝ ඒක දිහා බැලුවෙ කුතුහලයෙන්.

මාස ගාණක් ගතවුනා. දැන් එතැන ලොකු බෙරි පඳුරක් තියෙනවා. වයසක මුහුදු ලිහිණියා ආයෙත් අනික් ලිහිණින්ට කතා කරා.

"දැක්කද? මෙහෙම දෙයක් කවදාවත් කලින් වෙලා නෑ. ටික කාලෙකින් වැලි පරය පුරාම බෙරි පඳුරු හැදෙන්න ගනීවි."

බෙරි පඳුරේ හෙවන යට අව්වෙන් සහ හුළඟෙන් ආරක්‍ෂා වෙලා සුව පහසුවට​ ඉඳගෙන හිටි මුහුදු ලිහිණින් වයසක ලිහිණියා ව අවඥාවෙන් බැහැර කරා.

"මේ නාකියා හැම වෙලේම කෙඳිරි ගානවා"

බෙරි පඳුරෙන් ගෙඩි වැටිලා වැලි පරය පුරාම බෙරි පඳුරු හැදෙන්න වැඩි කාලයක් ගියේ නෑ.

එක දවසක් අසල දූපතක වාසය කරපු ධීවරයෙක් බෙරි පඳුරු වලින් වැහුන වැලි පරය දැකල ගොඩ බැහැල ඒක වටේ ඇවිදල පරීක්‍ෂා කරල බැලුවා. ඔහු ආපහු තමාගේ දූපතට ගිහින් මේ අළුත් දූපත පාවිච්චි කරන්න අවසර ඉල්ලල අතොළු ප්‍රධානියාට ලියුමක් ලිව්වා. අතොළු ප්‍රධානියා ගෙ අවසරය ලැබුන.

ධීවරයා දවසක් දා උදේම පොල් පැල කීපයකුත් අරගෙන වැලි පරයට ඇවිල් බෙරි පඳුරු අස්සෙ වලවල් කපල පොල් පැල හිටෙව්වා. ඊට පස්සෙ වැලි උඩ වැවෙන තවත් ගස් වර්ග කීපයකුත් හිටෙව්වා. ඊළඟ මාස කීපයේදී ඔහු තමාගෙ ගස් බලන්න නිතර නිතර දූපතට ආවා.

අවුරුදු කීපයක් ගත වුනා. දැන් පොල් ගස් වල ගෙඩි හටගෙන​. ධීවරයා දූපත මැද පොඩි පැලක් හැදුවා. ඒ ළඟින්ම ළිඳකුත් හෑරුවා. ඔහු නිතර නිතර ඔහුගේ බිරිඳ සහ ළමයි එක්ක වැලි පරයට ආවා. ඔහු පොල් කඩන අතර තුරේ ඔහුගේ බිරිඳ දර එකතු කරා. ළමයි මුහුදු ලිහිණි බිත්තර එක්කතු කරා.

ඉඳහිට ධීවරයා මුහුදු ලිහිණියෙක් අල්ලගෙන උගේ කකුල් බැඳලා තටු කපලා තමාගේ දූපතට අරගෙන ගියා.

කාලයක් ගත වුනා. දැන් මුහුදු ලිහිණි රංචුව බොහොම දුප්පත් තත්වයකට පත් වෙලා. වයසක මුහුදු ලිහිණියා ඉතුරු වෙලා හිටපු ලිහිණි ටිකට ආයෙත් සැරයක් කතා කරා.

"මම උඹලට කිව්වා. ඒත් උඹල මට ඇහුම්කන් දුන්නෙ නෑ. තවදුරටත් මේ වැලි පරය අපිට ජීවත් වෙන්න සුදුසු තැනක් නෙවෙයි. මේක දැන් අයිති මිනිස්සුන්ට. දැන් අපි ඔක්කොටම මෙතනින් යන්න වෙනවා."

පහුවෙනිදා එළිය වැටෙද්දිම ඉතුරු වෙලා හිටපු මුහුදු ලිහිණි ටික අළුත් නිවහනක් හොයාගෙන පියාඹලා ගියා. පියාඹන්න කලින් ඔවුන් අවසාන වතාවට එක පාරක් ආපහු හැරිල තමාගේ වැලි පරය දිහා බැලුවා෴


- කතාව කිව්වෙ කරාංගේ හසන් ඩිඩි (දෂොකුබායි, ෆුවා මුලාකු දූපත​)


3 comments: