Saturday, January 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 16 (නඩල්ලා තකුරු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


නඩල්ලා ත​කුරු


හුවාදු අතොළුවේ බටහිර පැත්තේ තියෙනවා නඩෙල්ලා කියල දූපතක්. ඒ දූපතේ මනුස්සයෙක් වාසය කරා "තකුරු" කියලා. ඔහුගේ දෙමාපියන් දුප්පත්, නූගත් මිනිස්සු. ඒ නිසා ත​කුරු පොඩි කාලෙ අධ්‍යාපනයක් ලැබුවෙ නෑ. පොඩි කාලෙ ඉඳලම ඔහු ලියන්න කියවන්න ඉගෙන ගන්නව වෙනුවට කලේ බර වැඩ​. ලොකු වෙනකොට ඔහු නූගත්, මෝඩ​, රළු මනුස්සයෙක් බවට පත් වුනා.

තරුණ වයසට එලැඹෙද්දි ඔහු නඩෙල්ලා දූපතේ "මෝඩයා" විදිහට ප්‍රසිද්ධ වුනා. කවුරුවත් ඔහුව ගණන් ගත්තෙ නෑ. කිසිම තරුණියක් ඔහුත් එක්ක කතා බහ කරන්න කැමති වුනේ නෑ. කාගෙවත් පිළිගැනීමට ලක් නොවීම ගැන ත​කුරු හිටියෙ හරිම කණස්සල්ලෙන්.

තමාගේ ඉරණම වෙනස් කරගන්න බලාපොරොත්තුවෙන් ත​කුරු දකුණට යන බෝට්ටුවක නැගලා අඩ්ඩු අතොළුවට ගියා. එහිදී දූපතෙන් දූපතට යමින් ඔහු රස්සාවක් හෙව්වා. නමුත් ඔහුට ලැබුනේ කුලී වැඩ විතරයි. වෙනත් රස්සාවක් කරන්න ඔහුට හැකියාවක් තිබ්බෙ නෑ. ඔහු කතා කරපු ගමන්ම කාටත් වැටහුනා ඔහු නූගත් මෝඩ මනුස්සයෙක් කියලා.

අන්තිමේදී ඔහු ආව හන්කෙඩෙ දූපතට​. ඒක යාබද මරදූ දූපතේ වැසියන් ගේ පොල් වගාවන් සඳහා පාවිච්චි කළ දූපතක්. දූපතේ පදිංචි වෙලා හිටියේ පොල් වතු බලාගන්න දුප්පත් පවුල් කීපයක් විතරයි.

ත​කුරු පොල් වතුවල පොල් කඩන රස්සාවක් ලබා ගත්තා. මේ රස්සාවෙන් ඔහුට සුළු ආදායමක් ලැබුනා. ඔහු දූපතේ අනික් මිනිස්සු වගේ පොඩි පැල් කොටයක් අටවගෙන ජීවත් වුනා. ටික කාලයක් යද්දි ඔහුට තේරුනා නඩෙල්ලා දූපතේ හිටියට වඩා ඔහුගේ තත්වයේ වෙනසක් වෙලා නැති බව​.

මේ විදිහට අවුරුදු තුනක් ගතවුනා.

හන්කෙඩෙ දූපතේ ජීවත් වුනා "හන්කෙඩෙ හව්වා" කියල තරුණියක්. මේ තරුණිය කළුයි. මහතයි. නූගත් සහ මෝඩයි. ත​කුරු හව්වා එක්ක හාද කමක් ඇති කරගත්තා. ටික කලකින් ඔවුන් දෙන්නා විවාහ වුනා.

හව්වා නූගත් මෝඩ තරුණියක් වුනත් ත​කුරු ට බොහොම ආදරේ කරා. ඇය හැම වෙලේම ඔහු දිහා බැලුවේ ආදරෙන් සහ ගෞරවයෙන්. ඔවුන් ට සතුටින් ජීවත් වෙන්න තිබුනා. ඒත් හන්කෙඩෙ දූපතේ දුප්පත් නූගත් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ත​කුරු ට ඕන වුනේ නෑ. ඔහුට ඕන වුනේ දියුණු වෙන්න​.

එක දවසක් දා රෑ හොඳටම වැස්සා. එදා තමාගෙ පැලට වෙලා කල්පනා කරන ත​කුරු දියුණු වෙන්න සැලැස්මක් හැදුවා. ඔහු හව්වා ට කතා කරලා ඔහුගේ සැලසුම ගැන කිව්වා.

"තව අවුරුදු කීපයකින් මම ආපහු මගේ දූපතට යනවා. හැබැයි මේ විදිහට නෙවෙයි. ධනවත් බලවත් මනුස්සයෙක් වගේ. හැබැයි ඔයා මේ ගැන කිසි දෙයක් කිසි කෙනෙක්ට කියන්න එපා."

හව්වා එකඟ වුනා.

ත​කුරු රැවුල කපන එක නැවැත්තුවා. මාස කීපයකින් ඔහුට දිග රැවුලක් වැවුනා. ඊට පස්සෙ ඔහු ඉතුරු කරගත්ත සල්ලි ටිකකුත් අරගෙන හිතදූ දූපතට ගිහින් ඉස්තරම්ම රෙදි වලින් මහපු සුදු කමිසයක්, සුදු මුන්ඩු (සරමක්) සහ සුදු තාකිහා (මුස්ලිම් වරු පළඳින රවුම් තොප්පියක්) මිලදී ගත්තා.


හව්වාට ඇඳුමක් ගන්න සල්ලි ඉතුරු වුනේ නෑ. ත​කුරු ඇයට ටික දවසක් ඉවසන්න කිව්වා.

නිරිත දිග මෝසම පටන් ගත්තම ත​කුරු හව්වාත් එක්ක උතුරු දිසාවට යන බෝට්ටුවක නැගලා හුවාදු අතොළුවට ආවා. බෝට්ටුව මුලින්ම නැවැත්තුවේ ෆියෝරි දූපතේ. තමාගෙ සැලසුම ක්‍රියාත්මක කරන්න කාලය හරි කියල තීරනය කළ ටකුරු ඔහුගේ අළුත් ඇඳුම් ඇඳගෙන දූපතට ගොඩ බැස්සා.

වැදගත් මහන්තත්ව පෙනුමක් ආරූඪ කරගත්ත ත​කුරු දූපත් වාසීන්ට කිව්වා ඔහු අවුරුදු හතරක් අරාබියේ අධ්‍යාපනය ලබල ආපු කෙනෙක් කියලා. දූපත් වාසීන් මේ හොඳින් ඇඳ පැළඳ ගත්ත අමුත්තව අවිශ්වාස කරේ නෑ. ඔවුන් ඔහුට තමාගේ නිවෙස් වලට ආරාධනා කරලා කන්න බොන්න දීල සංග්‍රහ කරා.

තමාගේ සැලැස්ම ක්‍රියාත්මක වීම ගැන ත​කුරු ට අදහගන්න බැරි වුනා.

එදා රෑ ෆියෝරි දූපතේ මවුලුදු (මුස්ලිම් ආගමික උත්සවයක්) තිබුනා. දූපත් වැසියෝ ත​කුරු ට ඒකට ආරාධනා කරා. ටකුරු ටිකක් බය වුනත්, දිගටම තමාගෙ චරිතය රඟපාන්න තීරණය කරා.

ඔහු උත්සවයට යනකොට දූපතේ හැමෝම ඇවිත් හිටියා. ඔහු වාඩි වුනාට පස්සෙ දූපතේ වැඩිහිටියෙක් උත්සවය පට්න් ගන්න ඔහුට ආරාධනා කරා. මවුලුදු උත්සවයේ දී කරන්නෙ නබි තුමාට ප්‍රශස්ති ගී ගැයීම​. ලියන්න කියවන්න බැරි ටකුරු ප්‍රශස්ති ගී දැනගෙන හිටියෙ නෑ. ඒත් ඔහු බය යටපත් කරගෙන ගී ගැයීම පටන් ගත්තා.

ඔහු කටට එන දිවෙහි වචන සහ ඔහු දන්න දූපත් වල නම් අරාබි උච්චාරනයෙන් කියන්න පටන් ගත්තා.

"හජ්ජකුඩතුරුහදායිෆූ හාදූ දේහාදූ මටිබන්දේ මුහායිලූ.....
වාදූදතුරුහදායිෆූ හාදූ දේහාදූ මටිබන්දේ මුහායිලූ.....
ගඩ්ඩුදතුරුහදායිෆූ හාදූ දේහාදූ මටිබන්දේ මුහායිලූ....."

ඔහුගේ වැදගත් පෙනුම ට වශී වුන දූපත් වැසියන්ට ඔහු කියවන්නෙ මල විකාර කියල තේරුනේ නෑ. ඔවුන් හිතුවේ ඔහු අරාබි බසින් ව්‍යක්ත විදිහට ප්‍රශස්ති ගී ගයනවා කියල​. එදා දූපතේ හැමෝම කතා වුනේ අරාබියේ ඉගෙන ගත්තු අමුත්තාගේ දැණුම සහ බුද්ධිය ගැන​.

ත​කුරු සහ හව්වා ඉතාම සතුටට පත් වුනා. හව්වා තමාගෙ සැමියා දිහා බැලුවෙ වෙනදටත් වඩා ගෞරවයෙන් සහ ආදරෙන්.

ඔවුන් නඩෙල්ලා දූපතට එද්දි ඔහු ගැන කතාව දූපතට ආරංචි වෙලා ඉවරයි. ඉතාමත් උගත් බුද්ධිමත් ආගමික විද්වතෙක් ඔවුන් ගේ දූපතට එන බව ආරංචි වුන නඩෙල්ලා වැසියන් ඔහුව පිළිගන්න සැදී පැහැදී හිටියා. සුදෝ සුදු ඇඳුමෙන් සැරසුන ත​කුරු ඉතාමත් වැදගත් විදිහට බර අඩි තියමින් බෝට්ටුවෙන් බහිද්දි ඔවුන් ප්‍රීතියෙන් පිනා ගියා.

දූපත් වැසියන් ඔහුට ඉතාමත් ගෞරවයෙන් සැලකුවා. දූපතේ වැදගත් කාරණා වලදි දූපත් ප්‍රධානියා ඔහුගෙන් උපදෙස් ගත්තා. නිතරම ඔහුට පල්ලියේදී යාඥාව මෙහෙයවන්න අවස්ථාව ලැබුනා. නඩෙල්ලා සහ අවට දූපත් වල මිනිස්සු ආගමික උත්සව තියෙනකොට ඔහුට නොවැරදීම ආරාධනා කලා.

ත​කුරු ධනවත් බලවත් මිනිහෙක් වුනා. ඔහු කිව්ව විදිහටම​. හව්වා ඉස්තරම් ඇඳුම් ඇන්දා. ඉතාමත් ධනවත් කාන්තාවක් වගේ ජීවත් වුනා.

මේ විදිහට අවුරුදු ගණනාවක් ගත වුනා.

දවසක් වාදූ දූපතේ ඉඳල උගත් මිනිහෙක් නඩෙල්ලා දූපතට ආවා.

ඔහු අරාබි භාෂාව සහ ඉස්ලාමය ගැන විශේෂඥ දැණුමක් තිබුන අයෙක්. සාමාන්‍යයෙන් උගතෙක් නඩෙල්ලා දූපතට ආව කියල ආරංචි වුනාම ත​කුරු ළඟ තිබුන කුඩා ජනශුන්‍ය දූපතක යනවා "දර කපාගෙන එන්න​". ඒත් මේ උගතා බාහිර පෙනුමෙන් උගතෙක් කියල පෙනුනෙ නෑ. ඔහු බොහොම සාමාන්‍යය හැසිරීමක් තිබුන අයෙක්. ඒ නිසා ඔහු ආ බව කවුරුත් ත​කුරු ට කිව්වෙ නෑ.

ත​කුරු ඒ වෙලාවෙ ගෙදරක ආගමික උත්සවයකට සහභාගී වෙමින් හිටියේ. ඔහු "අරාබි බසින්" "ප්‍රශස්ති යාඥාවක්" කරමින් උන්නා. ඔහු ඉදිරිපිට ලාම්පුවකින් ආලෝකමත් වුන ලී පොත් රඳවනයක් තිබ්බා. ඒක උඩ අරාබි බසින් ලියැවුන පොතක් තියල තිබුනා. ඔහු අවට හඳුන්කූරු වලින් සුවඳවත් වුනා.

උගත් මනුස්සයා ගෙදරට ඇතුල් වෙලා හෙමීට අයිනකින් වාඩි වුනා.

"ඉල්ලා හතරුදන්නගිලි ෆස්කන්ලොටරි ගොබුන්නෙයිෆ්ෆාන්තිල්ලා......"

උගතා ට තමාගෙ කන් අදහා ගන්න බැරි වුනා. මොන අන්ඩර දෙමළ ද මේ යකා කියවන්නෙ?

"මුහම්මාත්තකුරුෆානු මගාතුකේ මබානිෂිඋරු....."

උගතා හෙමින් සැරේ ත​කුරු වාඩි වෙලා හිටපු තැනට පිටිපස්සට ගිහින් ඔහු කියවන පොත දිහා බැලුවා. ඒක ලොකු අරාබි අකුරෙන් ලියැවුන පොතක්.

"ඔබ කියවන්නෙ මෙතැනින් ද​?"

ඔහු පිටුවකට ඇඟිල්ල දික් කරල ත​කුරු ගෙන් ඇහුවා.

"ඔව්"

ත​කුරු බොහොම ගාම්භීර විදිහට කිව්වා.

"තමුසෙ බොරු කාරයෙක්"

කෙලින්ම එහෙම කියපු උගතා පොත අතට අරගෙන අරාබි බසින් ඒකෙ ඇත්තටම ලියල තිබුන දේ පැහැදිලිව කියවන්න පටන් ගත්තා.

"මම මේ හවාරු තිනදූ දූපතට යන ගමන්. මම අතොළු ප්‍රධානියට තමුසෙ ගැන පැමිනිලි කරනවා. (හවාරු තිනදු කියන්නෙ හුවාදු අතොළුවේ ප්‍රධාන දූපත​)

එකපාරටම ත​කුරු ගෙ වැදගත් ගාම්භීර පෙනුම අතුරුදහන් වුනා. ඔහු උගතා ඉදිරිපිට දණින් වැටිලා ඔහු ගැන කාටවත් කියන්න එපා කියල ආයාචනා කරා. ඔහු තමාගේ දුප්පත් තරුණ කාලය ගැන කිව්වා. ඒ වුනත් උගතා ඒවට ඇහුම්කන් දුන්නෙ නෑ. ඔහු ගෙදරින් පිට වෙලා ගිහින් දූපත පුරා ඇවිදිමින් ත​කුරු ගැන මිනිස්සුන් ගෙන් විස්තර ඇහුවා.

පහුවදා උගතා අතොළු ප්‍රධානියා හමුවෙන්න ගිහින් ත​කුරු ගැන හැමදේම ඔහුට කිව්වා.

"නඩෙල්ලා දූපතේ ඉන්නවා බොරු කාර මිනිහෙක්. එයා කියන්නෙ එයා අවුරුදු හතරක් අරාබියේ ඉගෙනගත්ත කියල​. ඒත් ඇත්තටම කරල තියෙන්නෙ හන්කෙඩෙ දූපතේ පොල් ගස් නැගපු එක​."

අතොළු ප්‍රධානියා ත​කුරු ව අත් අඩංගුවට ගන්න පිරිසක් එව්වා. ඔවුන් ගේ ඇතුලෙ හැංගිලා බයෙන් ගුලි වෙලා හිටපු ටකුරු ව බලෙන්ම හවාරු තිනදූ දූපතට අරගෙන ගියා. එහෙදී නඩු අහපු අතොළු ප්‍රධානියා මිනිස්සු රැවටීමේ වරදට ත​කුරුට කස පාර සීයක් දීල ආපහු නඩෙල්ලා දූපතට එව්වා.

හව්වා ඉතාමත් ලැජ්ජාවට පත් වුනා. ඇය එලියට බැහැපු හැම වතාවකම මිනිස්සු ඇයට කොලොප්පම් කරා. තව දුරටත් ලැජ්ජාව ඉවස ගන්න බැරි වුන ඇය එක රැයක ත​කුරුට හොරෙන් ආපහු හන්කෙඩෙ දූපතට ගියා.

ත​කුරු තමාගේ ජීවිත කාලයම දුප්පත්, නූගත්, කාගෙවත් පිළිගැනීමට ලක් නොවුන මිනිහෙක් විදිහට ගත කරා෴


- කතාව කිව්වේ මාගීදුරුගේ ඉබ්‍රහිම් ඩිඩී (ෆුවා මුලාකු දූපත​)

අටුවාව​

1. නඩෙල්ලා

හුවාදු අතොළුවේ බටහිර කොනේ තියෙන කුඩා දූපතක්.

2. හන්කෙඩෙ

අඩ්ඩු අතොළුවේ දකුණට වෙන්න තියෙන කුඩා දූපතක්. අතීතයේදී මේ දූපත යාබද මරදූ දූපතේ වැසියන් ගේ පොල් වගාව සඳහා පාවිච්චි කරල තියෙනවා. වර්තමානයේදී ඒක ජනශුන්‍යයයි. මරදූ සහ හිතදූ දූපත් යා කරන පාර වැටිල තියෙන්නෙ හන්කෙඩෙ දූපත හරහා.



3. මවුලුදු

"මවුලුද්" කියල සින්දි භාෂාවෙන් හැඳින්වෙන්නෙ නබි තුමාට ප්‍රශස්ති ගැයීමක් විදිහට ගැයෙන කවි විශේෂයක්. මේක දිවෙහි බසට එන්නෙ "මවුලුදු" කියලා.

1 comment:


  1. මට හිතුනේ මේක ලංකාවේ දැනුත් සිද්ද වෙන දෙයක් ගැන කතාවක් කියලා.

    ReplyDelete