Saturday, January 13, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 15

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

බේරි (මුහුදු යකා)

මිලදුම්මදුලු අතොළුව මාලදිවයිනේ උතුරට වෙන්න තියෙන අතොළුවක්. ඒකෙ දකුණට වෙන්න "කන්ඩුදූ" කියලා ජනශුන්‍ය දූපතක් තියෙනවා. ඒත් කාලෙකට ඉහත මේ දූපත බොහොම ජනාකීර්න දූපතක්.

බොහොම ඉස්සර දවසක රෑක කන්ඩුදූ දූපත අවට මුහුදේ කුණාටුවක් ඇති වුනා. මුහුදු රළ ගෙඩි බොහෝම ප්‍රචන්ඩ විදිහට වෙරළට පහර දුන්නා. රළ පහරත් එක්ක කළු පාට ලී කොටයක් මුහුදු වෙරළ දිහාවට ගහගෙන ආවා. සැර රළ පාර ලී කොටය වෙරළ දිහාවට විසි කරා.

ලී කොටය පෙනුමෙන් දීර්ඝ කාලයක් මුහුදේ පාවෙච්ච එක්ක වගේ. ඒකෙ මතුපිට බොහොම සිනිඳුයි. පෙඳ පාසි බැඳිලා. තැන තැන මුහුදු බෙල්ලො ලී කොටයට ඇලිලා හිටියා.


උදේ වෙද්දි හෙමීට කුණාටුව අඩු වෙලා ගියා. ඉර එළිය වෙරළට වැටෙන්න පටන් ගද්දිම වගේ තරුණ කෙල්ලො තුන් දෙනෙක් එකිනෙකාට විහිළු කරගනිමින් බොහොම විනෝදෙන් වෙරළ දිගේ ඇවිදගෙන ආවා. එයාලා ආවේ හැලි වළං හෝදන්න. හැමදාම උදේට මේ වගේ හැලි වළං මුහුදු වෙරළත ගෙනල්ල වැලි දාල මැදල හෝදන එක එයාල ගෙ සිරිතක්.

කෙල්ලො තුන් දෙනාගෙන් එකියක් හැඩකාරයි. ඒ දූපත් ප්‍රධානියා ගෙ දුව​. අනිත් දෙන්නා එයාගෙ යාළුවෝ. මේ තුන් දෙනා වෙන් කරන්න බැරි තරම් හොඳ යාළුවෝ.

කෙල්ලො තුන් දෙනා ලී කොටය දැක්කා. ඔවුන් ඒක පිරික්සලා බැලුවා. ඒත් අමුත්තක් දැක්කෙ නෑ. කුණාටුවක් ආවම මේ වගේ නොයෙක් දේවල් වෙරළට ගොඩ ගහන එක සාමාන්‍යය දෙයක්. ටික වෙලාවකින් ඔවුන්ට ලී කොටය අමතක වුනා. ඔවුන් බිම ඇණ තියාගෙන වළං හෝදන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් කෙල්ලො තුන් දෙනා වළං හෝදලා ඉවර වුනා. දූපත් ප්‍රධානියා ගේ දුව යාළුවොත් එක්ක කතා කරන ගමන් ම නොදැනුවත්වම වගේ එක කකුලක් ලී කොටය උඩින් තිබ්බා. ටික වෙලාවක් යද්දි ඇය ඇගේ සරාගී සිහිනයන් ගැන කතා කරන්න පටන් ගත්තා. කෙල්ලො තුන් දෙනාම තරුණයි. විවාහ වෙලා නෑ. යාළුවො දෙන්නත් මේ කතාව බොහොම උනන්දුවෙන් අහගෙන හිටියා. අන්තිමේදී කතාව කෙළවර වුනේ විවාහයෙන්. කතාව ඉවර වෙලා කෙල්ලො තුන් දෙනා හෝදපු වළං ඔළුව උඩ තියාගෙන ගෙදර ගියා.

පින්තූරය ඔරිජිනල් පොතෙන්

ඊළඟ දවසෙත් කෙල්ලො තුන් දෙනා වෙරළට වළං හෝදන්න ආවා. ආයෙත් වළං හෝදල ඉවර වෙලා එයාල කතාවට වැටුනා. දූපත් ප්‍රධානියා ගේ දුව ආයෙත් ලී කොටය උඩ කකුලක් තියා ගත්තා. එදත් කතාව ඇදිල ගියේ විවාහය ගැන​. දූපත් ප්‍රධානියා ගේ දුව ආයෙත් ඇගේ සරාගී සිහිනයන් ගැන යාළුවන්ට විස්තර කරා.

තුන්වෙනි දවසෙත් මේ සිද්ධිය මේ විදිහටම වුනා.

එදා හවස ඇඳිරි වැටීගෙන එද්දි දූපත් වාසීන් තමාගෙ ගෙවල් වල ලාම්පු පත්තු කරල දොරවල් වහන්න පටන් ගත්තා. ගොම්මන් අඳුරත් එක්ක දූපත් ප්‍රධානියා ගේ ගෙදරට තරුණයෙක් ආවා. මේ තරුණයා බොහොම කඩවසම්. ඒ වෙලාවෙ ගෙදර දොරවල් වහල තිබුනෙ නෑ. ගේ ඇතුල ලාම්පු වලින් ආලෝකමත් වෙලා තිබුනා. දූපත් ප්‍රධානියා "උන්දෝලියේ" (පැද්දෙන ලණු ඇඳක්) වාඩි වෙලා විවේක ගනිමින් හිටියේ. ඔහු තරුණයාව දැකලා ඔහුට ගේ ඇතුලට කතා කලා.

තරුණයා හිටියෙ තෙමිලා. ඔහුගේ ඇඟේ වැලි. ඔහු දූපතට ආපු හැටි කිව්වා. ඔහු මාලේ දූපතේ ඉඳලා උතුර බලා යන රුවල් බෝට්ටුවක ගමන් කළ බවත්, බෝට්ටුවේ "කප්පි" (කපිතාන්) කන්ඩුදූ අවට මුහුද ගැන නොදන්නා නිසා දූපතේ නැංගුරම් ලන්න අකැමැති වුන බවත්, ඔහු බෝට්ටුව වෙරළට ලං වුනාම මුහුදට පැනලා පීනගෙන දූපතට ආ බවත් කිව්වා.

ඔවුන් ටික වෙලාවක් කතා බහ කරමින් හිටියා. තරුණයා තමන් කන්ඩුදූ දූපතට ආවේ විවාහයක් කරගන්න සුදුසු තරුණියක් හමු වෙන්න කියලා කිව්වා. දූපත් ප්‍රධානියා තරුණයා දිහා හොඳට බැලුවා. ඒ තරම් කඩවසම් තරුණයෙක් ඔහු කවදාවත් දැකල තිබුනෙ නෑ. ඔහුගේ කතා බහත් විනීතයි.

"මටත් දීග යන වයසේ දුවක් ඉන්නවා. එයා මේ වෙලාවෙ කුස්සියෙ උයනවා ඇති."

ඔහු දුවට කතා කළා.

තරුණිය ඉස්තෝප්පුවට ආවා. තරුණයා දුටුවා විතරයි ඇගේ මුළු ඇඟම පණ නැති වෙලා ගියා. දණහිස් වෙව්ලන්න ගත්තා. හදවත ප්‍රීතියෙන් සහ ආශාවෙන් සැලෙන්න ගත්තා. මුහුණ රතු වුනා.

දුටු මනින් ම තමාගේ දුව තරුණයාට මනාප වුන බව දැකපු පියා විවාහ උත්සවයට කටයුතු පිළියෙල කරන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නා පහුවදාම විවාහ වුනා.

දිවෙහි රාජ්ජේ සිරිත අනුව තරුණයා තරුණිය ගෙ නිවසේ පදිංචි වුනා. ඔවුන් දෙන්නා බොහොම ප්‍රීතියෙන් කල් ගෙව්වා. ඒ තරම් ලස්සන ජෝඩුවක් දූපතේ විතරක් නෙවෙයි මුළු අතොළුවේම හිටියෙ නෑ.

තරුණිය හිටියේ වළාකුළු උඩින් යන කෙනෙක් වගේ. ඇගේ ඇස් හැම වෙලේම ඈත අනන්තය දිහාට යොමු වෙලා තිබුනා. ඇගේ මුවේ හැම වෙලේම මද සිනාවක් රැඳිල තිබුනා.


මේක දැකපු ඇගේ යාළුවො දෙන්නා ඇයට නිතරම විහිළු කරා. ඒත් ඇය හැම වෙලේම හිටියෙ ඇගේ ලෝකෙක වගේ. දැන් ඇය වැඩි කතා බහක් නෑ.

ඔය විදිහට මාස ගාණක් ගත වුනා.

එක දවසක් දකුණු දිග දූපත් වල ඉඳලා නැවක් කන්ඩුදූ දූපතට ආවා. ඒ නැවේ හිටියා ප්‍රසිද්ධ "ෆන්ඩිත" කෙනෙක් (යකැදුරෙක්). ඔහුට දින කීපයක් කන්ඩුදූ දූපතේ නවතින්න අවශ්‍යය වුනා. දූපත් ප්‍රධානියා ඔහුට තමාගේ ගෙදර නවතින්න ආරාධනා කරා.

ගෙදර ආවම ෆන්ඩිත දැක්කා කඩවසම් තරුණයෙක් ඉන්නවා. ඔහු බොහොම සුපරික්‍ෂාවෙන් තරුණයා දිහා බැලුවා.

දූපත් ප්‍රධානියා තනියම මුණගැහුන අවස්ථාවක ෆන්ඩිත ඔහුගෙන් මෙහම ඇහුවා.

"අර ඔහේගෙ ගෙදර ඉන්න තරුණයා කවුද​? එයා මේ දූපතේ කෙනෙක් ද​?"

"ආ ඒ මගේ බෑණා. එයා මේ දූපතේ කෙනෙක් නෙවෙයි. වෙන අතොළුවක ඉඳල මෙහෙ ආවේ."

ෆන්ඩිත මොකුත් කිව්වේ නෑ. ඒත් ඔහු තරුණයා ගේ හැසිරීම ගැන බොහොම සැලකිලිමත් වුනා.

දවසක් ෆන්ඩිත දැක්කා තරුණ යුවලගේ නිදන කාමරයේ සුදු රෙදි විශාල ප්‍රමානයක් ගොඩ ගහල තියෙන බව. ඒවා මිනී ඔතන්න පාවිච්චි කරන වර්ගයේ රෙදි. කාමරයේ කපුරු සුවඳකුත් ආවා.

ෆන්ඩිත කලබල නොවී හිටියා. ඔහු තරුණිය තනියම ඉන්න වෙලාවක් බලලා ඇගෙන නිකමට වගේ රෙදි ගැන ඇහුවා.

"ආ ඒ රෙදි මගේ සැමියා හැමදාම රෑට ගෙදර අරන් එනවා. මම ඒවා උදේට හෝදල කාමරෙන් තියනවා. ඒවා එයාට හම්බෙන්නෙ මුහුදු වෙරළෙන්."

ෆන්ඩිත එදා රෑ නිදාගත්තෙ නෑ. ඔහු නිදි වගේ බොරුවට අඟවලා ගෙදර මොකද වෙන්නෙ කියල කල්පනාවෙන් හිටියා. මැදියම් රැය එළැඹෙද්දි තරුණයා කාටත් හොරෙන් ගෙදරින් පිටවුනා. ෆන්ඩිතත් ඔහුට නොදැනෙන්න තරුණයා පස්සෙන් ගියා.

තරුණයා කෙලින්ම ගියේ කනත්තට​. ඔහු අළුත වලදාපු සොහොනක් හාරලා මිනිය ගොද ගත්තා. ඊට පස්සෙ මිනිය ඔතල තිබ්බ රෙදි ගලවලා පැත්තකට දාලා බිම ඉඳගෙන මිනිය කන්න පටන් ගත්තා. සම්පූර්නයෙන්ම මිනිය කෑවට පස්සෙ ඔහු රෙදි ටික අරගෙන මුහුදු වෙරළට ගිහින් ඒවා හෝදලා එළිය වැටෙන්න කලින් ආපහු ගෙදර ආවා.


පහුවදා උදේ ෆන්ඩිත දූපත් ප්‍රධානියාට කතා කලා.

"ඔහේගෙ බෑණා මනුස්ස පුතෙක් නෙවෙයි. එයා බේරි කෙනෙක්. එයා මනුස්ස වෙසින් ඉන්නෙ." (බේරි කියන්නෙ දිවෙහි රාජ්ජේ ජනකතා වල එන මුහුදේ ඉන්න අමනුෂ්‍යය විශේෂයක්)

දූපත් ප්‍රධානියා භීතියෙන් ගල් ගැහුනා. ටික වෙලාවක් යනකං ඔහුට මොකවත්ම හිතුනේ නෑ. ආපහු හොඳ සිහිය ආවට පස්සෙ ඔහු කල්පනා කරල බැලුවා තරුණයා ව හමුවුන හැටි. එදා ඔහු ආවෙ තනියම​. ගොම්මන් වෙලාවෙ. තෙමිලා.

"දැන් අපි මොකද කරන්නෙ?"

"කලබල වෙන්න එපා. වැදගත්ම දේ තමයි අපි එයා ගැන දන්න බව එයාට ඇඟවෙන්න අරින්නෙ නැතුව ඉන්න එක​. අපි එයා ගැන සැක කරනවා කියල එයා කොහෙත්ම දැන ගන්න බෑ."

"හරි. ඊට පස්සෙ?"

"හෙට දූපතේ හැමෝටම කතා කරල හරුගෙයක් (උත්සව සඳහා පාවිච්චි කරන මඩුවක්) හදන්න කියන්න​. ඒකෙ බිත්ති වලට ගල් බුරුලෙන් තියන්න කියන්න​. ඒක හදල ඉවර වුනාම දූපතේ හැමෝටම මවුලුදු (නබි තුමා වෙනුවෙන් පවත්වන ආගමික උත්සවයක්) උත්සවයක් සඳහා ආරාධනා කරන්න​."

ඊට පස්සෙ ෆන්ඩිත දූපතේ හැම ගෙදරකටම ගිහින් වැඩිහිටි පිරිමින්ට කතා කරල ඔහුගේ සැලැස්ම ගැන කිව්වා.

පහුවදා දූපත් වැසියෝ හරුගෙය හැදුවා. ඒකෙ බිත්ති වලට ගල් බුරුලෙන් තිබ්බා. ඊට පස්සෙ අලංකාර කල රෙදි බිත්ති වැහෙන්න එල්ලුවා. හරුගෙය ඇතුලේ ලාම්පු පත්තු කරා.

හවස් වෙද්දි උත්සවය පවත්වන්න සියළු දේ සූදානම් කරල තිබුනේ. දූපතේ වැසියෝ හැමෝම උත්සවය සඳහා ආවා. දූපත් ප්‍රධානියා ගේ බෑණා ත් ආවා. ඔහු හරුගෙයට ඇතුල් වුනා. ඒත් කවුරුත් ඇවිත් හිටියෙ නෑ. ඔහු වාඩිවෙලා අනිත් අය එනකං බලාගෙන හිටියා. ටික වෙලාවකින් කෙනෙක් ඇවිත් ඉඳගත්තා. ඒත් ටික වෙලාවකට පස්සෙ "ආ, අහවලා ඇවිත් නෑ නෙ. අමතක වුනාද දන්නෙ නෑ. ගිහිල්ල බලන්න ඕනෙ." කියල තමාටම කියාගෙන හරුගෙයින් පිට වුනා. මේ විදිහට දූපතේ සියළුම පිරිමි හරුගෙයට ඇතුල් වෙලා ආපහු පිටවුනා.

ඒත් ඔවුන් දුර ගියේ නෑ. ඒ හැමෝම හරුගෙය පිටිපස්සෙ හැංගිලා හිටියේ. එක පාරටම ෆන්ඩිත දුන්න සංඥාවක් අනුව හැමෝම හරුගෙයි බිත්ති ඇතුලට තල්ලු කරා. බුරුලෙන් තියල තිබුන ගල් පහසුවෙන්ම පෙරළිලා ගියා. ඒ ගල් පෙරළුනේ ඇතුලෙ හිටපු තරුණයා ගේ ඇඟට​.

හරුගෙය ඇතුලෙන් මහා හඬින් හූ කියන සද්දෙ ඇහුනා. ගල් ගොඩට යටවුන තරුණයා හූ කියමින් ගල් ඉවත් කරන්න උත්සහ කරත් ඔහුට බැරි වුනා. මිනිස්සු හරුගෙයට ඇතුල් වෙලා බැලුවා.

ගල් ගොඩට යට වෙලා හිටියේ ඉතාම අවලක්‍ෂන​, බිහිසුණු පෙනුමක් ඇති අමනුෂ්‍යයෙක්. උගේ ඇඟ කළුපාටයි. සිනිඳුයි. පෙඳ පාසි බැඳිලා. ඇඟේ තැන තැන මුහුදු බෙල්ලෝ ඇලිලා. කටපුරා උල් දත්. අත පය වරල් වගේ. ඒ දැකපු හැටියේ තරුණිය ගේ යාළුවො දෙන්නට මතක් වුනේ එදා මුහුදු වෙරළේ තිබ්බ ලී කොටය​. ඒ ලී කොටය දවස් තුනකට පස්සෙ අතුරුදහන් වෙලා තිබ්බ බවත් ඔවුන්ට මතක් වුනා.

මුහුදු යකා හඬා වැලපෙමින් ඌට අනතුරක් නොකළොත් ආපහු කවදාවත් නොඑන්නම දූපතෙන් පිටවෙලා යන බවට පොරොන්දු වුනා. ඌ "බෙරියන්ෆරු"නමින් හැඳින්වුන කන්ඩුදූ දූපතට නුදුරෙන් තිබුන විශාල කොරල් පරයකට යන්නම් කියල කිව්වා.

ඒකට එකඟ වුන මිනිස්සු ගල් යන්තමින් එහෙ මෙහෙ කරල ගෙවල් වලට ගියා.

එදා රෑ මුහුදු යකා අමාරුවෙන් ගල් අයින් කරගෙන එළියට ආවා. ඌ මුහුදු වෙරළ දිහාට දුවගෙන ගියා. ලී කොටය වෙරළට ඇවිත් තිබුනු තැනින්ම ඌ ආපහු මුහුදට පැනලා මුහුද දිහාවට වේගයෙන් පීනගෙන ගියා.

ඒත් කතාව ඉවර වෙන්නෙ නෑ. අවුරුදු ගණනාවකට පස්සෙ කන්ඩුදූ දූපතට වසංගත රෝගයක් ආවා. ගෑණු මිනිස්සු ළමයි මැස්සො වගේ මැරුනා. අළුත් සොහොන් වලින් කනත්ත පිරුනා. ඒ එක්කම කවුදෝ රෑට අළුත් සොහොන් හාරලා මිනී ගොඩ දාන්න පටන් ගත්තා. ඒ මිනී වල ඇස් උගුල්ලලා කාලා තිබුනා. ඒ එක්කම ඒවායේ ලේ බීපු බවට සලකුණු තිබුනා. රෑට කනත්තට ගිය මිනිස්සුන් අමනුෂ්‍යයාව දැක්කා. ඒ එදා හරුගෙයට යටවුන මුහුදු යකා.

මුළු දූපතම භීතියෙන් වෙළුනා.

ටික කාලයකින්ම දූපතේ මිනිස්සුන් ගෙන් වැඩි ප්‍රමානයක් වසංගතයෙන් මිය ගියා. දූපත තව දුරටත් මනුස්ස වාසයට සුදුසු වුනේ නෑ. ඉතුරු වෙලා හිටපු මිනිස්සු තමාගේ වස්තුව බෝට්ටුවකට පටවාගෙන අසල් වැසි දූපත් වලට පැනලා ගියා.

එදයින් පස්සෙ කවදාවත් කන්ඩුදූ දූපතේ මිනිස්සු පදිංචි වුනේ නෑ෴


- කතාව කිව්වේ හුසෙයින්කොයිබේ (හොලුදූ දූපත​)

අටුවාව​

1. බේරි

දිවෙහි රාජ්ජේ ජනකතා වල එන මුහුදේ වෙසෙන අමනුෂ්‍යය විශේෂයක්.

2. උන්දෝලි

දිවෙහි රාජ්ජේ අදටත් ඉතාම ජනප්‍රිය ලණු ඇඳන් වර්ගයක්. මේවා ලණු දෙකකින් උඩක එල්ලලා තියන වර්ගයක් සහ ලී හෝ යකඩ රාමුවක බැඳපු ලණු දැලක් විදිහට තියෙන වර්ගයක් විදිහට වර්ග දෙකකින් තියෙනවා. හවසට හුළං වදින තැනක තියපු උන්දෝලියකට වෙලා විවේක ගැනීම දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ සිරිතක්.

3. කප්පි

බෝට්ටුවක හෝ නැවක කප්පිත්තා හෙවත් ප්‍රධාන නිලධාරියා සහ යාත්‍රාව පදවන පුද්ගලයා.


4. ෆන්ඩිත

"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම​. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත​" වචනයෙන් කියල හිතන්න පුළුවන්.

5. හරුගෙය​

උත්සව සඳහා පාවිච්චි කරන්න හදන තාවකාලික මඩුවක්.



 6. මවුලුදු

"මවුලුද්" කියල සින්දි භාෂාවෙන් හැඳින්වෙන්නෙ නබි තුමාට ප්‍රශස්ති ගැයීමක් විදිහට ගැයෙන කවි විශේෂයක්. මේක දිවෙහි බසට එන්නෙ "මවුලුදු" කියලා.

1 comment: