Friday, December 2, 2016

මිත්සුබිෂී - 1


මිත්සුබිෂී ආයතනයේ කතාව වැදගත් වෙන්නෙ, ඒක ජපානයේ කාර්මීකරනය පිළිබඳ කතාවට ඉතා සමගාමීව යන නිසා. මිත්සුබිෂී කතාව කියන්නෙ ජපානයේ කතාවමයි කියල කියන්න පුළුවන්.

ඇරඹුම​

1835 ජනවාරි 9 වෙනිදා ජපානයේ බටහිර කෙලවරට වෙන්න තියෙන "තෝසා" ප්‍රාන්තයේ අකි නගරයේ ඉපදුනා යතාරෝ ඉවසාකි කියල කෙනෙක්.
ඉවසාකි ගෙ මහ ගෙදර​

ඔහුගේ පවුල සමුරායි පවුලක් වුනත්, ඔහු ඉපදෙන විට ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන් ගේ සමුරායි තත්වය නැති වෙලා තිබුනෙ.

වයස 19 දී ඔහු තෝකියෝ නගරයට යනවා අධ්‍යාපනය සඳහා. ඒ 1854 දි. ඒ කාලය වෙද්දි ජපානය නවීකරනය කිරීම පිළිබඳ ලොකු කතිකාවක් තෝකියෝ වැනි ප්‍රධාන නගර වල ඇති වෙමින් තිබූ කාලයක්. ඉවසාකි තරුණයාත් මේ නවීකරනය සහ වෙළඳාම පිළිබඳ නව සංකල්ප ගැන උනන්දුවක් දක්වනවා.

ඉවසාකි නැවත ඔහුගේ ගම් පළාතට එනවා. ඒ කාලයේ ඒ ප්‍රාන්තයේ බලවතුන් වෙලා හිටියෙ "තෝසා" සමුරායි වංශය​. ඔහු තෝසා සමුරායි වරුන් ගේ හිත් දිනාගෙන ඔවුන් ගේ වෙළඳ ව්‍යාපාර වල කළමණාකරුවෙක් වශයෙන් පත් වෙනවා. තෝසා ප්‍රාන්තය අවට තියෙන විශාලම නගරය වුන ඕසකා නගරයේ තෝසා සමුරායි වරුන් ගේ වෙළඳාම සම්පූර්නයෙන්ම පාලනය කරන්නෙ ඉවසාකි.

1870 දි තෝසා සමුරායි වරුන් ගේ "ත්සුකුමෝ ෂෝකායි" ලෙස හැඳින්වුන නැව් සමාගම ඉවසාකි මිලදී ගන්නවා.

ඒ තමයි මිත්සුබිෂී ආයතනයේ ආරම්භය​.
යතාරෝ ඉවසාකි


ත්සුකුමෝ මිත්සුබිෂී වුන හැටි

ත්සුකුමෝ ෂෝකායි නැව් සමාගම මිලදී ගත්තට පස්සෙ ඉවසාකි කීප සැරයක්ම ඒකෙ නම වෙනස් කරනවා. අන්තිමේදී 1873 දි ඔහු "මිත්සුබිෂී" කියන නම තෝරගන්නව​.

මිත්සුබිෂී නම හැදෙන්නෙ "මිත්සු" සහ "බිෂී" කියන නම් දෙක එකතු වෙලා.

"මිත්සු" කියන එකේ තේරුම තුන.

"බිෂී" එහෙම නැත්තන් "හිෂී" කියන්නෙ "water caltrop" කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන ජලජ ශාකයක ගෙඩිය​. මේ ගෙඩිය තාරුකා හැඩයෙන් යුක්තයි. මේ හැඩය නිසා ජපන් සාහිත්‍යයේ හිෂී ගෙඩිය දියමන්ති වලට උපමා කරනවා.

හිෂී ගෙඩි
ඉතින් මිත්සුබිෂී කියන නමේ තේරුම​, හිෂී ගෙඩි තුනක්, එහෙම නැත්තං දියමන්ති තුනක් කියන එක​.

මිත්සුබිෂී ආයතනයේ ලාංඡනයේ තියෙන්නෙත් එකිනෙකට යාවුන දියමන්ති තුනක්.
මිත්සුබිෂී සලකුණේ පරිනාමය

මේ දියමන්ති තුන සකස් කරල තියෙන්නෙ තෝසා සමුරායි වරුන් ගේ සලකුනේ තියෙන ඕක් කොල තුන සකස් කරල තියෙන හැඩයටමයි.
තෝසා සමුරායි වංශයේ සලකුණ​
වර්තමාන මිත්සුබිෂී සලකුණ​

මිත්සුබිෂී ආයතනයේ මුල් කාලය

මිත්සුබිෂී නැව් සමාගම චීනය එක්ක වෙළඳ ගනුදෙනු පටන් ගන්නව​. ඒ ජපන් සමාගමක් විදෙස් රටක් එක්ක ස්ථිර වෙළඳ මාර්ගයක් ඇති කරගත්ත පළමුවන අවස්ථාව​.

මේ කාලය ජපානයේ දේශපාලනික වශයෙන් ඉතාමත් කලබලකාරී කාලයක්. සමුරායි වරු අතේ තිබ්බ දේශපාලනික බලය ජපන් අධිරාජ්‍යයා තමාගෙ අතට ගත්තා. ඒකට එරෙහිව සමුරායි වරු කැරලි ගැහුවා.

ඉවසාකි මේ කලබල දැක්කෙ ව්‍යාපාරික අවස්ථාවක් විදිහට​. ඔහු ජපන් රජය එක්ක ගිවිසුමකට ආවා සොල්දාදුවන් ප්‍රවාහනය කරන්න තමාගෙ නැව් යොදවන්න​. මේ ගනුදෙනුවෙන් මිත්සුබිෂී සමාගම විශාල ලාබයක් ලැබුවා.

මිත්සුබිෂී සමාගම දියුණු වීමත් එක්කම​ ඉවසාකි ට තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒ වෙනකොට ජපානය කාර්මික සහ වෙළඳ අංශ වලින් ඉතා ප්‍රාථමික අවධියක පැවතීම​. ඒ නිසා ඔහුට තමාගේ සමාගමට අවශ්‍යය සහය සේවා (supporting services) ලබා ගන්න ක්‍රමයක් තිබ්බෙ නෑ.

ඉවසාකි ගෙ පිළිතුර වුනේ ඔහුම ඒ සේවාවන් උපදවා ගැනීම​.

ඒ වෙනුවෙන් ඉවසාකි ක්‍රමයෙන් වෙනත් අංශ වලට මිත්සුබිෂී ආයතනය යොමු කරා.

1881 දී ඉවසාකි ගල් අඟුරු පතල් කර්මාන්තයට අත ගහනව​. ඒ ඔහුගේ නැව් වලත අවශ්‍යය ගල් අඟුරු ලබා ගන්න​.

1884 දි ඔහු නාගසකි වරායේ කොටසක් මිලදී ගෙන නැව් අළුත්වැඩියා කරන ව්‍යාපාරයක් පටන් ගන්නවා.

ඒ එක්කම ඔහුගේ නැව් වලින් ගෙනියන බඩු රක්‍ෂනය කරන්න රක්‍ෂන සමාගමක් පටන් ගන්නවා.


නරක කාලය​

මිත්සුබිෂී සමාගම නැව් ව්‍යාපාරයෙන් ලබන ලාබය දැකපු ජපන් රජයත් නැව් සමාගමක් පටන් ගන්න අදහස් කරනවා. ඒ අනුව 1882 දී "කියෝදෝ උන්‍යු කයිෂා" කියල නැව් සමාගමක් රජයේ අනුග්‍රහයෙන් පටන් ගන්නවා.

මේ සමාගම් දෙක අතර දරුණු තරගකාරීත්වයක් ඇති වෙනවා. ඒකෙන් සමාගම් දෙකම බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තත්වයකට පත් වෙනවා.


ඒ අස්සෙ 1885 දී යතාරො ඉවසාකි මිය යනවා. ඒ බඩවැලේ පිළිකාවකින්. ඔහු මිය යනකොට වයස අවුරුදු 50 යි.

Saturday, November 19, 2016

සමාජයීය වගකීම ගැන ජපන් කතාවක්



ජපානයේ සමාජයීය වගකීම ආරක්‍ෂා කෙරෙන හැටි ගැන​ පොඩි කතාවක් කියන්න යන්නෙ.

ජපානයේ නගර වල නිවාස වල එකතුවෙන කසල නිවෙස ළඟ පාරෙන් තියන්න ඕනෙ. එතකොට කසල එකතු කරන මිනිස්සු ඇවිල්ල ඒව එකතු කරගෙන යනව ප්‍රතිචක්‍රීකරණය කරන්න​​.

හැබැයි මේ වැඩේ කියන තරම් සරළ නෑ. නීති ගොඩයි.

මුලින්ම​, අපිට ඕනෙ විදිහට කසල පාරෙ තියන්න බෑ. ඒවට විශේෂ මලු තියෙනවා. ඒ මලු වල පමණයි කසල දාන්න ඕනෙ.

ඊළඟට, කසල එකතු කරල ප්‍රතිචක්‍රීකරණය කරන නිසා ඒව වර්ගීකරනය කරන්න ඕනෙ. ඒ කරදරයෙන් මිදෙන්න ඔවුන් අපූරු උපක්‍රමයක් යොදනවා. සතියේ එක එක දිනවල එකතු කරන්නෙ එක එක වර්ගයේ කසල පමණයි.

උදාහරණයකට​, සඳුදට පොලිතීන්. අඟහරුවාදට ප්ලාස්ටික් බෝතල්. බදාදට කඩදාසි. බ්‍රහස්පතින්දට වීදුරු. සිකුරාදට කාබනික දේවල්. සෙනසුරාදට ලෝහමය දේවල්. ඒ වගේ. (උදාහරණයක් විතරයි ඈ)

කසල එකතු කරන ආයතනය තමාගෙ වසමේ පදිංචිකාරයන්ට කසල එකතු කරන දවස් සහ එදාට එකතු කරන වර්ගය සටහන් කාල සටහනක් දීල තියෙනවා.

මේ වගේ එකක්

කවුරුහරි වැරදි දවසට වැරදි කසල එළියෙන් තිබ්බොත් හෝ නියමිත බෑගයේ නැතුව කසල එළියෙන් තිබ්බොත් හෝ කසල පාර පුරා විසිරෙන අන්දමට තිබ්බොත් හෝ වෙනත් පිස්සුවක් කෙලියොත් ඔවුන්ට දඩයක් ගෙවන්න වෙනව​. මේ දඩය ටිකක් ලොකු ගාණක්.

වැඩේ ස්මූත්ලි වෙනවද කියල මොනිටර් කරන්න පදිංචිකාරයො පිහිටුවගෙන ඉන්නව කමිටුවක්. සාමාන්‍යයෙන් කාන්තාවො තමයි කමිටුවෙ ඉන්නෙ. (ජපානයේ ගොඩක් කාන්තාවො රැකියා කරන්නෙ නෑ).

මම දන්න මහත්තයෙක් ඔහුගේ පවුලත් එක්ක මාස හයක විතර කාලයක් ජපානයේ පදිංචි වෙලා හිටිය​. මේ ඔහු මට කියපු ඔහුගේ අත්දැකීමක්.

පදිංචි වුන මුල දවස් වල මේ සෙල්ලම හරියටම මේ මහත්තයට මීටර් වෙලා නෑ. වැඩිය සීරියස් අරගෙනත් නෑ. දවසක් එයා ප්ලාස්ටික් බෝතල් දවසෙ ගෙදර තිබ්බ කාඩ්බෝඩ් වගයකුත් එළියෙන් තියල​.

කුණු එකතු කරන එවුන් එන්නෙ හවස හතරට විතර​. හවස තුනට විතර කවුදෝ ගෙදර දොරට තට්ටු කරාලු. දොර ඇරල බැලුවම තරුණ ගෑණු ළමයෙක්.

එයා මුලින්ම තමන්ව හඳුන්වල දුන්නලු. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. එයාගෙ අම්ම තමයි ඒ පැත්තෙ කුණු කමිටුවෙ සභාපති. අම්ම තමයි මෙයාව එවල තියෙන්නෙ.

මේ ගෑණු ළමය බොහෝම විනීතව මේ මහත්තයට සහ බිරිඳට පැහැදිලි කරල දුන්නලු කුණු එකතු කරන සිස්ටම් එක​. ඒ කරල වැරදි දවසෙ වැරදි කුණු බැහැර කරන්න එපා ඔබට ලොකු දඩයක් ගෙවන්න වෙයි කියල කිව්වලු.

මේ මහත්තය සහ ඔහුගේ බිරිඳ බොහෝම ලැජ්ජාවට පත් වෙලා. ගෑණු ළමය ගියාම මහත්තය දඩබඩ ගාල දුවගෙන ගියාලු කාඩ්බෝඩ් ටික අරගෙන එන්න​. හැබැයි ඒ බෑග් එක තිබිල නෑ.

පස්සෙ කඩදාසි දවසෙ ඒ මහත්තය දැක්කලු තමාගෙ කාඩ්බෝඩ් ටික​ අර ගෑණු ළමයගෙ ගෙදර ඉස්සරහ තියල තියෙනවා.

ඒ ගෑණු ළමය ඒක තමාගෙ ගෙදරට අරගෙන ගිහිල්ල නියමිත දවස එනකං තියාගෙන ඉඳල.

මුලින්ම​, උං කුණු බැහැර කරන්න පාවිච්චි කරනව හරිම සරළ නමුත් හරිම දියුණු සිස්ටම් එකක්.

ඊළඟට ඒක කඩන එවුන්ට දැඩි දඬුවම් දෙනව​.

නමුත්, සිස්ටම් එක රන් කරන්න රජයට දීල මිනිස්සු බලාගෙන ඉන්නෙත් නෑ. මිනිස්සු සිස්ටම් එක හරියට රන් කරවන්න තමන්ම ස්වේඡාවෙන් ඉදිරිපත් වෙනවා.

වැරැද්දක් දැක්කම වැරැද්ද කරපු මිනිහා ඒක නිවැරදි කරනකං බලාගෙන ඉන්නෙ නැතුව ඒක තමාගෙ වගකීමක් බවට පත් කරගෙන තමා විසින්ම ඒක නිවැරදි කරනවා.

ඔන්න සෙල්ලම​.



ජපන් බස - 2 (කතා කරන ජපන්)



ඔන්.යොමි සහ කුන්.යොමි

මුලින්ම ජපන් භාෂාවෙ වචන හඬ නගන ආකාර දෙකක් තියෙනව​.

1. ඔන්.යොමි
2. කුන්.යොමි

ඔන්.යොමි කියන්නෙ ඔරිජිනල් ජපන් කියැවීම​. කුන්.යොමි කියන්නෙ චීනෙන් ආපු එක​.

උදාහරණයකට "කන්ද" කියන අර්ථය දෙන ජපන් වචනය (山) ඔන්.යොමි විදිහට කියන්නෙ "සන්" කියල​. නමුත් කුන්.යොමි විදිහට කියන්නෙ "යම​" කියල.

ඒ කියන්නෙ එකම වචනය​, එකම කන්ජි අකුර​, නමුත් කියවන විදි දෙකයි. සමහර වචන වල ඔන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ. සමහර වචන වල කුන්.යොමි ක්‍රමය විතරයි පාවිච්චි වෙන්නෙ.

නමුත් සමහර වචන වල දෙවිදිහම පාවිච්චි වෙනව​.

උදාහරණයකට අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ "ෆුජි" ගිනි කන්ද හඳුන්වන්නෙ "ෆුජියම​" කියල​. ඒත් කෝබේ නගරය අසල තියෙන තවත් ප්‍රසිද්ධ කන්දක් වන "රොකො" කන්ද හඳුවන්නෙ "රොකොසන්" කියල​.

ෆූජි කන්දට "ෆුජිසන්" කිව්වොත් ටෙක්නිකලි වැරදි නෑ. නමුත් එහෙම ව්‍යවහාර වෙන්නෙ නෑ. කොතනට එන්නෙ මොන ව්‍යවහාරයද කියන එක අපි දැනගන්න ඕනෙ පාවිච්චියෙන්.

හැබැයි "සන්" කිව්වත් "යම​" කිව්වත් ලියන්නෙ "山" කියල​.

තවත් උදාහරණයක් ගත්තොත් "හත​" කියල ඔන් ව්‍යවහාරයෙන් කියන්නෙ "නන​" කියල​. කුන් ව්‍යවහාරයෙන් කියන්නෙ "ෂිචි" කියල​.

එතකොට අපි එක දෙක තුන කියල ගණන් කරද්දි හත වෙනුවට කියන්න ඕනෙ ෂිචි. නමුත් "විසි හත​" කියද්දි හත වෙනුවට කියන්න ඕනෙ නන (නිජූ නන​).

ඉතින් කලිනුත් කිව්ව වගේ මේවගෙ කිසි ලොජික් එකක් නෑ. ව්‍යවහාරයෙන්ම තමයි හරි විදිහ දැනගන්න ඕනෙ.


වාක්‍යය හැදෙන විදිහ​.

වාක්‍යය හැදෙන විදිහෙන් ජපන් භාෂාව සමාන වෙන්නෙ සිංහල භාෂාවට​. ජපන් ඉගෙන ගද්දි තියෙන ලොකුම වාසිය ඒකයි.

උදාහරණයක්.

අපි සිංහලෙන් කියන්නෙ "මම වතුර බොනව​".

එතකොට වාක්‍යය ඇතුලෙ පද ගැලපෙන පිළිවෙල එන්නෙ උක්තය - කර්මය - ආඛ්‍යාතය​. මම - වතුර - බොනව​.

නමුත් ඉංග්‍රීසියෙන් ලියද්දි "I drink water". එතකොට පද ගැලෙපෙන්නෙ උක්තය - ආඛ්‍යාතය - කර්මය කියන පිළිවෙලට​.

ජපන් වලින් කියද්දිත් පද ගැලපෙන්නෙ උක්තය - කර්මය - ආඛ්‍යාතය පිළිවෙලට​. "වතෂිව මිසු වො නොන්දෙ ඉමස්". වතෂිව (මම​) මිසු (වතුර​) නොන්දෙ ඉමස් (බොනව - හරියටම කිව්වොත් බොමින් සිටිනවා).

මේක ජපන් ඉගෙන ගද්දි ලොකු පහසුවක්. සිංහලෙන් වාක්‍යය හිතල ගෙඩිය පිටින් ජපන් වචන ටික ආදේශ කරන්නයි තියෙන්නෙ.


ඒක වචන බහු වචන​

ජපන් භාෂාවේ ඒක වචන බහු වචන නෑ. ජපන් වලින් "පූසා" කියල කියන්නෙ "නෙකො". පූසෝ කියල කියන්නෙත් "නෙකො" මයි. අපි දැන ගන්න ඕනෙ කතා කරන්නෙ එක පූසෙක් ගැන ද පූසො ගොඩක් ගැන ද කියල​.

එතකොට "The Last Samurai" ෆිල්ම් එකේ කියවෙන්නෙ එක සමුරායි කෙනෙක් ගැනද සමුරායි ල සෙට් එක ගැනමද කියල දන්නෙ ඒකෙ නම දාපු එකා විතරයි.

ඒක වචන බහු වචන වෙන් වෙන එකම තැන පුද්ගල නාම පද වලදි විතරයි. මම (වතෂි), අපි (වතෂිතචි), ඔබ (අනත​) ඔබලා (අනතත​චි) වලට වෙනම වචන තියෙනවා.

සමහර වෙලාවට වචනය දෙපාරක් යෙදීමෙන් බහු වචනය හඟවන්න පුළුවන්. උදාහරණයකට කන්දට කියන්නෙ "යම​". කඳු කියල කියන්නෙත් "යම​" කියල​. හැබැයි ඕනෙ නම් කඳු කියන එක "යමයම​" කියල කියන්න පුළුවන්.


ගෞරව නාම

අපි ඉංග්‍රීසියෙන් කතා කරද්දි මනුස්සයෙක් ගෙ නමක් ඉස්සරහට Mr.. Mrs. Miss කියල දානව ගෞරව නාමයක් වශයෙන්.

සිංහලෙන් කතා කරද්දි ඒක දාන්නෙ නම අගට​. නිමල් මහතා. කුමාරි මහත්මිය​. අනූෂා මෙනවිය​. ඒ වගේ.

ජපන් වලින් ගෞරව නාමය දාන්නෙ සිංහලෙන් වගේ අගට​. හැබැයි ඔක්කොටම දාන්නෙ එකයි. "සන්".

ඒ කියන්නෙ මොරිකාවා මහතා කියන්නෙ මොරිකාවා සන්. අයිකෝ මහත්මිය කියන්නෙ අයිකෝ සන්. හරුකෝ මෙනවියත් හරුකෝ සන්.

හැබැයි විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු දෙකක් තියෙනව​.

එක​, තමා ගැන කතා කරද්දි "සන්" දාන්නෙ නෑ.

දෙක​, අනුන් ගැන කතා කරද්දි හොඳම යාළුවෙක් නෙවෙයි නං අනිවාර්‍යයෙන් "සන්" දාන්න ඕනෙ.

අපි එදිනෙදා කතා කරද්දි එකිනෙකාට කතා කරගන්නකොට "අනුර මහතා" කියන්නෙ නැති වුනාට ජපනා අනිවාර්‍යයෙන්ම "උමිනෝ සන්" කියල කියනව​.

එහෙම කිව්වෙ නැත්තං සැලකෙන්නෙ ඔබ කතා කරන්න දන්නෙ නැති අශිෂ්ඨයෙක් විදිහට​.

ජපන්නු හරි ආචාරශීලියි.


විශේෂ වචන​

ආචාරශීලී කම ගැන කියද්දි නොකියම බැරි වචන තුනක් තියෙනවා.

ගොසයිමස්
මේ වචනයට​ අනුරූප සිංහල හෝ ඉංග්‍රීසි වචනයක් නෑ. ඒක නිකං ගෞරවය හඟවන යෙදුමක්. උදාහරණයකට රෙස්ටුරන්ට් එකකට මිනිහෙක් ඇතුල් වෙද්දි කැෂියර් හෝ වේටර් කෙනෙක් ඔහුව පිළිගන්නෙ "ගොසයිමස්" කියල​.

ඒ වගේම වචනයක ආචාරශීලී කම වැඩි කරන්නත් "ගොසයිමස්" පාවිච්චි කරනවා. උදාහරණයක්ට ජපන් වලින් "ස්තූතියි" කියල කියන්නෙ "අරිගතෝ" කියල​. නමුත් ඒක ටිකක් වැඩි කරල කියන්න ඕනෙ නම් "අරිගතෝ ගොසයිමස්" කියනව​.

සුමිමසෙන්
"සුමිමසෙන්" කියන එක සාමාන්‍යයෙන් "සමාවෙන්න​" කියල පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් ඒක ඊට වඩා පුළුල් අරුතකින් පාවිච්චි වෙනව​.

ඔබ පාරෙ යද්දි මිනිහෙක් ගෙ ඇඟේ හැප්පුනොත් "සුමිමසෙන්" කියල සමාව ගන්න පුළුවන්.

ඒ වගේම පොඩි උදව්වකට ස්තූති කරන්න්නත් "සුමිමසෙන්" පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට ඔබ අතින් යමක් වැටිල කෙනෙක් ඒක අහුලල දුන්නොත් "සුමිමසෙන්" කියන්න පුළුවන්. එතනදි ඒක යෙදෙන්නෙ "මම නිසා ඔබට​ කරදර වීමට සිදුවීම ගැන මට කනගාටුයි" කියන අරුතෙන්.

ඒ වගේම "එක්ස්කියුස් මී" කියන්නත් "සුමිමසෙන්" පාව්විච්චි වෙනව​. පිරිසක් ඉන්න කාමරයකට ඇතුල් වෙද්දි "සුමිමසෙන්" කියන්න ඕනෙ. වේටර් කෙනෙක් ගෙ අවධානය ගන්නත් "සුමිමසෙන්" කියන්න පුළුවන්.


කුදසායි"කුදසායි" කියන්නෙ කරුණාකරල කියන එක​. හැබැයි මේක අපි කතාකරද්දි කරුණාකරල කියනවට වඩා සිය ගුණයක් විතර වැඩියෙන් පාවිච්චි වෙනව​.

උදාහරණයකට අපි සිංහලෙන් වතුර ඉල්ලද්දි කියන්නෙ "මට වතුර ටිකක් දෙන්න​" කියල​. ඒකට කරුණාකරල කියන කෑල්ල දාන්නෙ අලංකාරයක් විදිහට. ඕනෙ නම් නොකිය ඉන්න පුළුවන්.

නමුත් ජපන් වලින් වතුර ඉල්ලන්නෙ "මිසු වො කුදසායි" කියල​. එතනදි "කුදසායි" කියන්නෙ වාක්‍යයේ කෑල්ලක්. අලංකාරයක් නෙවෙයි. "මිසු වො" කියල විතරක් වතුර ඉල්ලන සිරිතක් නෑ.


ඇඟෙන්ම කතා කිරීම​

අනිත් වැදගත් දේ තමයි ඔබ නිවැරදි විදිහට ජපන් කතා කරනව නම් ඇඟෙන්ම කතා කරන්න ඕනෙ.

පාරෙ යද්දි මිනිහෙක් ගෙ ඇඟේ හැප්පුනොත් අපි නිකම්ම "සොරි" කියල ගියාට ජපන් වලින් නිකම්ම "සුමිමසෙන්" කියල යන්න බෑ. "සුමිමසෙන්" කියන ගමන් නැමිල ආචාරශීලීත්වය පෙන්නන්න ඕනෙ. නැමෙනකොට එක අතක් වඳින මුද්‍රාවෙන් පපුව ඉස්සරහ තියාගන්න ඕනෙ.

එහෙම නොකළොත් ඔබ හැසිරෙන්න දන්නෙ නැති අශිෂ්ඨයෙක්.



ඒ වගේම පාරක් අහගගෙන ස්තූති කරද්දි නිකම්ම "අරිගතෝ" කියල බෑ. අරිගතෝ කියන ගමන් නැමෙන්න ඕනෙ. එතනදි අත් දෙක ඇඟ දෙපැත්තෙ තියෙන්න ඕනෙ.

නිලයෙන්, වයසෙන්, තත්වයෙන් උසස් කෙනෙක් එක්ක කතා කරද්දි නිතරම හිස නවල ආචාරශීලි වෙන්න ඕනෙ. උදේට සුබ පතද්දි හිස නවල ආචාර කරන්න ඕනෙ. නිකම්ම "ඔහායෝ ගොසයිමස්" කිව්වොත් ඒක නිකං කණට ගැහුව වගේ.

නැවෙන එක ගැන කියනව නං, ඒක ඉතාම සංකීර්න හැසිරීමක්. එක එක සිටූවේෂන් එකට අනුව කොන්ද නවන්න ඕනෙ ප්‍රමානය වෙනස්. මේව ළමයින්ට ජපන් පාසැල් වල උගන්නනව​. නමුත් මේ ඒ ගැන කතා කරන්න තැන නෙවෙයි.

බොහෝ දෙනා කරන කොමන් මිස්ටේක් එකක් ගැන විතරක් කියන්නම්. ඔබ කෙනෙක්ට අතට අත දෙනව නම් නැවෙන්න ඕනෙ නෑ. එක්කො නැවෙන්න. නැත්තම් අතට අත දෙන්න​. දෙකම කරොත් වැරදියි.

ඔබාමා වගේ වෙන්න එපා

චියර්ස් කියන හැටි

බොද්දි චියර්ස් කියන හැටි දැන ගත්තෙ නැත්තං ඒක ලොකු අඩුවක් නෙ, ඒ නිසා ඒකත් කියන්නම්.

බොන්න කලින් ජපන්නු කියන්නෙ "කන්පායි". වීදුරුව මූණ මට්ටමට උස්සල "කන්පායි" කියන්න ඕනෙ. වීදුරු හප්පන එක සාමාන්‍යයෙන් කෙරෙන්නෙ නෑ.

කන්පායි කියන එකේ තේරුම "bottoms up" කියන එක​.


අන්තිමට - අපි ජපානය කිව්වට, සුද්ද ජැපෑන් කිව්වට​ ජපන්නු කියන්නෙ "නිහොන්"


ජපන් බස​ - 1 (ලිඛිත ජපන්)



ජපන් භාෂාව කියන්නෙ ලෝකයේ භාවිතාවෙන භාෂා අතරින් අමාරුම භාෂාව කිව්වොත් නිවැරදියි.

මුලින්ම අපි බලමු ජපන් භාෂාව ලියන හැටි.


ලිඛිත ජපන්

ජපන් භාෂාව ලියන හැටි එහෙම්පිටින්ම අපභ්‍රංසයක්. ඒ ගැන අහද්දි පුදුම හිතෙනව මේ තරම් දියුණු නිර්මානශීලී ජාතියක් තමන් ගෙ ලිඛිත භාෂාව වශයෙන් මේ වගේ වඳුරු කුණුහරුපයක් භාවිතා කිරීම ගැන​.

සාම්ප්‍රදායිකව ජපන් භාෂාව ලියන්නෙ උඩ ඉඳන් පහලට සහ දකුණේ ඉඳන් වමට​. නමුත් දැන් සමහර අවස්ථා වලදී ඉංග්‍රීසි භාෂාවේ ආරයට වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට ජපන් ලියන අවස්ථා තියෙනවා. නමුත් සාම්ප්‍රදායික විදිහට ලියන තැනුත් තියෙනවා. විශේෂයෙන් දැන්වීම්, පෝස්ටර්, පුවත්පත්, සඟරා එහෙම සාම්ප්‍රදායික විදිහට ලියල තියෙනව​. භාවිතය අතින් මේ දෙකම 50-50 පාවිච්චි වෙනව කියල කියන්න පුළුවන්.

ජපන් හෝඩිය​.

හෝඩිය කිව්වට ඇත්තටම ජපන් භාෂාවේ හෝඩි තුනක් තියෙනවා.

1. කන්ජි

2. හිරගන​

3. කතකන​

කන්ජි

කන්ජි කියන්නෙ රූපාක්‍ෂර හෝඩියක් (Logographic). ඒ කියන්නෙ එක එක භාෂාමය අදහසක් වෙනුවෙන් වෙනම අකුරක් (සංකේතයක්) තියෙනවා.

උදාහරණයකට "අම්මා" කියන අදහස වෙනුවෙන් වෙනම අකුරක් තියෙනවා. "තාත්තා" ටත් එහෙමයි. ගඟ​, ගහ​, ගේට්ටුව​, කුඹුර මේ හැම අදහසක් වෙනුවෙන් ම වෙනම අකුරක් තියෙනවා.

කන්ජි වලින් ලියපු ලියවිල්ලක්
 උදාහරණ :
අම්මා 母 තාත්තා 父 ගඟ 川 ගේට්ටුව 門 කුඹුර 田

මේ අකුරු බොහෝ විට ඒ අකුරේ අර්ථය දෙන රූපයට සමාන හැඩයකින් යුක්තයි. බලන්න තාත්තා අකුර රැවුලක් තියෙන මූනක් වගේ. ගඟ අකුර ගඟක දිය රැළි වගේ. ගේට්ටුව අකුර ගේට්ටුවක් වගේ. කුඹුර අකුර ලියැදි හතරක කුඹුරක් වගේ.

කන්ජි අකුරු ජපානයට ඇවිල්ල තියෙන්නෙ ක්‍රි.ව​. 50 දි විතර චීනයේ ඉඳල. ඇත්තෙන්ම "කන්ජි" කියන වචනයේ තේරුම "චීන අකුරු" කියන එක​.

දැන් මේ සිස්ටම් එකේ බැලූ බැල්මට වාසියක් සහ අවාසියක් පේන්න ඕනෙ.

වාසිය තමයි අඩු අකුරු ගාණකින් වැඩි අදහස් ප්‍රමානයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අවාසිය තමයි අකුරු විශාල ප්‍රමානයක් ඕනෙ.

ඇත්තෙන්ම කන්ජි අකුරු ඔක්කොම 50,000 විතර තියෙනව​.

ඉතින් මෙලෝ යකෙක්ට ඔය පණස් දාහම මතක තියා ගන්න බැරි නිසා නිතර දෙවේලෙ අවශ්‍යය වෙන අකුරු විතරක් අඩංගු කෙටි හෝඩි කීපයක් ජපන්නු පාවිච්චි කරනව​.

ක්‍.යොයිකු කන්ජි - අකුරු 1006 - ප්‍රාථමික පාසැල් වල උගන්වන හෝඩිය​. මේකෙ තියෙන්නෙ මූලිකම අකුරු ටික​.

ජෝයෝ කන්ජි - අකුරු 2136 - ද්වීතික පාසැල් වල උගන්වන හෝඩිය​. ක්.යොයිකු කන්ජි හෝඩියට තවත් අකුරු 1130 ක් එක් කර ගෙන හදල තියෙන්නෙ. ජපන් භාෂාව එදිනෙදා භාවිතයට නම් ජෝයෝ කන්ජි අත්‍යාවශ්‍යය වෙනවා.

ජින්මෙයියෝ කන්ජි - අකුරු 3119 - ජෝයෝ කන්ජි වලට අමතර අකුරු 983 ක් එකතු කරල හදල තියෙන්නෙ. මේ අමතර අකුරු වලින් කියැවෙන්නෙ පුද්ගල නාම​.

හිරගන​

දෙවෙනි හෝඩිය තමයි හිරගන​. මේක රූපාක්‍ෂර හෝඩියක් නෙවෙයි. ශබ්ධාක්‍ෂර හෝඩියක් (Syllabic ). ඒ කියන්නෙ එක එක ශබ්ධයට වෙනම අකුර ගානෙ තියෙනවා.

උදා :
ක か කි き කු く කෙ け කො こ

හිරගන හෝඩියෙ අකුරු 46 ක් තියෙනවා. සමහර ශබ්ධ (උදාහරණයකට "ඇ") ජපන් භාෂාවේ භාවිතා නොවෙන නිසා ඒවට අනුරූප හිරගන අකුරු නෑ.

හිරගන භාවිතා වෙන්නෙ කන්ජි වලින් ලියන්න බැරි වචන ලියන්න​. ශබ්ධ අනුව අකුරු තියෙන නිසා ඕන වවනයක් හිරගන වලින් ලියන්න පුළුවන්.

හිරගන හෝඩිය සකස් කරගෙන තියෙන්නෙ ක්‍රි.ව​. 500 දි විතර. කන්ජි හෝඩිය උගත්තු අතරේ භාවිතා වුනත්, සාමාන්‍යය ජනතාවට විශාල අකුරු ප්‍රමානයක් මතක තබා ගන්න බැරි නිසා හිරගන හෝඩිය සකස් කරගෙන තියෙනවා. හිරගන හෝඩිය මුලින්ම භාවිතා කරල තියෙන්නෙ කාන්තාවන්. ඒ කාන්තාවන්ට අධ්‍යාපන පහසුකම් අඩු නිසා. ඊට පස්සෙ සාමාන්‍යය පොදු ජනයා අතර මේක පැතිරිලා තියෙනවා.

හිරගන වලින් ලියපු නාම පුවරුවක්

කතකන​

තුන්වෙනි හෝඩිය තමයි කතකන​. කතකන හෝඩියත් හිරගන වගේ ශබ්ධාක්‍ෂර හෝඩියක් (Syllabic ). කතකන හෝඩියෙ අකුරු 48ක් තියෙනවා.

උදා:
ම マ මි ミ මු ム මෙ メ මො モ

කතකන හෝඩිය ක්‍රි.ව​. 800 දි පමණ බෞද්ධ භික්‍ෂූන් විසින් ධර්ම ග්‍රන්ථ ලිවීමට තමයි මුලින්ම සකස් කරගෙන තියෙන්නෙ. ඊට පස්සෙ කතකන හෝඩිය රාජ්‍යය ලියැවිලි ලිවීමට යොදා ගෙන තියෙනවා.
අද කතකන අකුරු භාවිතා වෙන්නෙ විදේශීය භාෂා වලින් අවශෝෂනය කරගත්ත වචන (උදා : කොම්පියුතා - පරිගණකය​) ලියන්න​.

කතකන අකුරු වලින් ලියල තියන වචනයක් කියවද්දි අපි දැනගන්න ඕනෙ මේක විදේශීය භාෂාවකින් ආපු එකක් කියල​.

විදේශිකයන් ගෙ නම් ලියන්නෙත් කතකන වලින්. ඔබේ නම ජපන් වලින් ලියනව නම් ලියන්න ඕනෙ කතකන වලින්
කතකන වලින් ලියපු නාම පුවරුවක්

ජපන් භාෂාවෙන් ලියනකොට මේ හෝඩි තුනේම අකුරු එකට භාවිතා වෙනව​. ඒ කියන්නෙ එකම වාක්‍යයක හෝඩි තුනේම අකුරු තියෙන්න පුළුවන්.
මේ දැන්වීම් පුවරුවේ කන්ජි, කතකන​, හිරගන සහ ඉංග්‍රීසි හෝඩි හතරම පාවිච්චි කරල තියෙනව​.

ඒ මදිවට සාම්ප්‍රදායික ජපන් භාෂාවේ විරාම ලකුණු නෑ. ඒ කියන්නෙ කොමා, තිත්, වචන අතර හිස්තැන් මොකවත් නෑ. ඔක්කොම ලියන්නෙ එක ගොඩේ. කියවන කෙනා දැනගන්න ඕනෙ වචන, වාක්‍යය කඩා ගන්න​.

දැන් ඉහත ඡේදය සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට ලියනව නම් ලියන්නෙ මෙහෙම​:

ඒමදිවටසාම්ප්‍රදායිකජපන්භාෂාවේවිරාමලකුණුනෑඒකියන්නෙකොමාතිත්වචනඅතරහිස්තැන්මොකවත්නෑඔක්කොමලියන්නේකගොඩේකියවනකෙනාදැනගන්නඕනෙවචනවාක්‍යයකඩාගන්න​

හැබැයි දැන් නැවතීමේ ලකුණ වෙනුවට පොඩි බින්දුවක් සමහර අවස්ථා වලදි පාවිච්චි කරනව​. හැබැයි එහෙම නැති තැන් ඊට ගොඩක් වැඩියි.

ඔළුව කැරකෙනව වගේද​? තව පටන් ගත්ත විතරයි.

Tuesday, September 27, 2016

මහෞෂධ



නෙත් හැර බැලූ මහේෂ් "කිරි කිරි" හඬින් පැද්දෙන ඇඳෙන් බිමට පැන්නේ තත්පරයකුදු අපතේ නොයවමිනි. වෙනදා ඇඳෙන් බැසීමට ඔහු විනාඩි පහකට වඩා ගත කරතත්, අද ඔහුට කාලය රන් හා වටී. පය බිම ගැටෙත්ම ඔහුගේ සිතට පළමුවෙන්ම ඇතුළු වූයේ මුළුතැන්ගෙයින් ඇරඹී මුළු නිවස පුරාම පැතිරී යන කිරිබත් සුවඳින් අවදි වූ නැවුම් පිරිපුන් හැඟීමකි.

පැකිලෙමින් කුස්සිය කරා ඇදුනු ඔහුව පිළිගත්තේ සිනා කටක් මුහුණ පුරවා ගත් මවයි. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි සෙනෙහස පිරුණු දෑසේ අද ගෞරවයක සළකුනු ද රැඳී තිබෙනු ඔහු දුටුවේය​. ලිප මත කිරිබත් මුට්ටියක් දුම් දමමින් කෑම මේසය මතට යාමට බලා හිඳී. මේසය මත කළමනා විසුරුවා ගෙන තේ හදන අක්කා ගේ සහ ලුණුමිරිස් සෑදීම පිණිස කඳුළු පෙරාගෙන ළූණු කපන නංගී ගේ වෙනදා උදෑසනට දක්නට ඇති නිදිබර නොරිස්සුම් බව වෙනුවට ඇත්තේ කඩිසර උනන්දුවකි.

දත් බුරුසුව සහ බාල්දිය දෑතින් ගෙන තුවාය කරේ දමාගෙන මුහුණ සේදීමට ළිඳට යාමට මිදුලට බැස්ස මහේෂ් දුටුවේ දිරාගිය ඇඳ ඇතිරිල්ලකින් හිස සහ දෙවුර පොරවාගෙන, අඟුරු කැටයක් සපමින් මිදුල අමදින පියාය​. බොහෝ විට පියාගේ උදේ වරුවෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳ මතයි. නමුත් අද ඔහු ඇඟේ අමාරුව මදකට කල් දමා ඇති සෙයකි.

අද මහේෂ් ගේ සමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නා දිනයයි. මහේෂ් ගමේ පාසැලේ එකොළහ වසරේ පමණක් නොව විද්‍යාලයීය ඉතිහාසයටම සිටි දක්‍ෂතම සිසුවෙක් බව විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලයේම අදහස විය.

මහේෂ්ලා ගේ ගමේ වැසියන්ගෙන් බහුතරය ගම කෙළවර ඇති කුඩා වැව මෝසම් වැස්සෙන් පිරෙන තුරු අහසට යදින ගොවීහු වූහ​. වියළි කලාපීය දුෂ්කර කුඩා ගම්මානයක් වූ එහි ගැමියෝ ගම වටා පැතිර ගත් කටු පඳුරු සහිත වන බූටෑවත්, ඉඳහිට ගම් වදින වල් අලි රංචුවත්, මන්ද පෝෂණයෙන් වියළී ගිය දෙතනක් බඳු නියං අහසත් සමඟ කරන්නා වූ නිරන්තර අරගලයකින් හෙම්බත් වූ පිරිසක් වූහ​. නියඟයත් සමඟ කුඩා වැව පතුලටම් සිඳී යන්නේ වැව් පතුල තැනින් තැන පැලී ගිය මැටි කට්ටක් බවට පත් කරමිනි. තැන තැන ඉතිරිවන කුඩා මඩ කඩිති මදුරුවන්ට රජදහනකි. වරින් වර පැතිරයන කැලෑ උන හෙවත් මැලේරියාව, නියඟයත් වියළි පොළොවත් සමඟ පොරබදන ගැමියන් ගේ ඉතිරි වූ සාරය උරා දමන්නේ ඔවුන් හපා ඉවත දමන උක් රොඩු බවට පත් කරමිනි. මෙම කුඩා ගම්මානයේ අවුරුදු පණහක් පමණ ජීවත් වූ මහේෂ් ගේ පියාද මැලේරියාවත් සමඟ කල අඛණඩ සටනින් කෙමෙන් පරාජය ලබමින් සිටින මහළු ගැමියන් ගෙන් අයෙකි.

මහපොළොවත් සමඟ පොරබැදීමට පියාට වලංගු නැතිවන විට පාසල් දිවියට ඒ වන විටත් සමු දී උන් මහේෂ් ගේ අයියා උදැල්ල අතට ගත්තේය​. යන්තම් අවුරුදු විසි දෙක පිරුනු තරුණයෙක් වූ ඔහුට පියාට තරම් කැත්ත උදැල්ල දෑතට හුරු නැතත්, ධෛර්‍යය සහ උත්සාහය මගින් ඒ අඩුව පිරවීමෙහි ලා සමත් විය​. අට වසරෙන් පසු පාසල පැත්තේ වත් නොගිය අක්කා අයියාට උදව් කිරීම භාර ගත්තාය​. මහේෂ් ද පාසල් ගමන නවතා අයියා පසු පස යාමට උත්සාහ කලේ වරක් දෙවරක් නොවේ. නමුත් විදුහල්පති තුමාගේ සිට අයියා දක්වා වූ සියළුම දෙනා ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහුට එම අදහස අත්හැරීමට සිදුවිය​.

සාමාන්‍ය පෙළ සමත්වී නගරයේ මධ්‍යමහා විද්‍යාලයට යාමට හැකි වුවහොත් ඔහුට විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා සරසවි වරම් ලැබිය හැක​. එවිට ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වී පවුල ගොඩ ගැනීමට හැක​. අයියාට අත්ට්‍රැක්ටරයක් හා තව කුඹුරු කෑල්ලක්, අක්කාට හොඳ පෙලවාසියක්, නංගීට සහ මල්ලීට අක්කා සහ අයියා ගිය පාරේ නොයා හොඳ අධ්‍යාපනයක්, ඉපදුණු දවසේ සිට සැපක් විඳ නැතැයි සිතිය හැකි අම්මාට නිවිහැනහිල්ලේ පිනක් දහමක් කර ගැනීමට ඉඩක්, මේ සියල්ලටම වඩා පියාට හරි හමන් බෙහෙත් වේලක් යනාදී වශයෙන් බලාපොරොත්තු, සැලසුම් පොදියක් මහේෂ් ගේ සිත පතුලේ ඇත​.

යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන විටම පාසල් ගමන අතහැර දමන ගමේ කොළුකුරුට්ටන් සහ ගැටිස්සියන් තම මුතුන් මිත්තන් කළ ලෙසටම වියළි පොළොව සමඟ පොරබැදීම අරඹති. අනෙක් උන්ට වඩා නාහෙට නාහන කොළු ගැටව් කුමක් හෝ රැකියාවක් සොයා නගරයට ඇදෙති. නගරයට ඇදෙන උන්ගෙන් සමහරු වෙළඳාමක් හෝ වාහනයක් එළවීම වැනි රැකියාවකට වැටී නගරයේම රැඳෙතත්, බොහෝ උන් නැවතත් වියළි පොළොව සොයා ගමට ඇදෙති. නැතහොත් නගරයේම රස්තියාදු වෙමින් පල්වෙන ලුම්පන් සමාජයට එක්වෙති. එවැනි පසුබිමක් තුල මහේෂ් අධ්‍යාපනයෙන් ඉහළට යාම අනෙකුත් සිසුවන්ට ආදර්ශයක් සහ දිරියක් වන බවට විදුහල්පතිතුමා තුල ඇත්තේ දැඩි විශ්වාසයකි.

කිරිසුදු නිල ඇඳුමකින් සැරසුනු මහේෂ් අම්මාගේ අතින් බෙදන ලද කිරිබත් කැට දෙක නංගීගේ අතින් සාදන ලද ලුණුමිරිස් සමඟ බොහෝවේලාවක් තිස්සේ කෑවේය​. පළමු දිනයේ නියමිතව තිබුනේ සිංහල විෂයයි. නමුත් මහේෂ්ගේ සිතේ වැඩිපුර තිබුනේ සිංහල විෂයට වඩා දෙමාපිය සොයුරු සොයුරියන් පිළිබඳ සිතුවිලිය​. කිරිබත් පිඩක් සෙමෙන් සපන අතරතුර ඔහුගේ නෙත් රැඳී තිබුනේ වීදුරුබෝල වැනි දිළිසෙන පිරිසිදු විශාල ඇස් දෙකෙන් තමාදෙස බලා සිටි කුඩා මල්ලී දෙසයි. ඔහුගේ උගුරේ දැවිල්ලක් හදිසියේම හට ගත්තේ නංගීගේ අතින් ලුණුමිරිසට මිරිස් වැඩිවූ නිසාද නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි කීමට ඔහු නොදත්තේය​.


තවමත් හිමිදිරිය නිසා රාත්‍රියේ වට පිනිබිඳු තණපත් මත රැඳී ඇත​. නමුත් පෙරදිගින් නැගෙන හිරු රැස් කෙමෙන් චණ්ඩ වත්ම ඒවා මැකී යන්නේ තම කෙටි දිවිය පිළිබඳ සලකුනකුදු තණපත් මත ඉතිරි නොකරමිනි. දැලි රැවුළු කොට මෙන් මුරණ්ඩුව නැගීගත් ගොයම් ගස් කොට මතින් හමාඑන වියළි සුලඟින් ඇවිස්සුනු දුවිලි නිසා මුහුණ හකුළුවා ගනිමින් මහේෂ් ඉපනැලි අතරින් බස් නැවතුම කරා පිය මනින්නට විය​. සති ගණනක් නොවට වැස්ස දැන් දැන් එතැයි බලාපොරොත්තුවෙන් කොළ හැලී ගිය ගස් අහසට දෑත් ඔසවාගෙන සිටියදී, සිඳී ගිය වැව දෙසින් හමන සුළඟ ඒවාට ලබාදෙන්නේ දූවිලි මිශ්‍ර මඩ සුවඳක් පමණි. මේ සියල්ල දෙස අකම්පිතව බලා සිටින දැවැන්ත මහල්ලෙක් බඳු සුවිසල් සියඹලා ගස සෙවනේ නගරයට යාම සඳහා බස් රථය එනතුරු රැඳී සිටින ගැමියන් කිහිප දෙනෙකු අලස ලෙස උනුන් හා දොඩමළු වූහ​. සියල්ලන් ගේම නෙත් හදිසියේ තමාට යොමු වීම නිසා මද සබකෝලයකට ලක් වූ මහේෂ් යන්තමට ඔවුන් හා සිනා පාමින් කොනෙක අටවා තිබූ බංකුවේ හිඳ ගත්තේය​.

බසයට නැගගත් වේලේ සිට මහේෂ්ගේ ගතට දැනුනේ මද නොසන්සුන් හැඟිමකි. කිසිදිනෙක විභාගයකට පෙර බියක් ඔහුගේ සිතට නොදැනුනද, තම දිවියේ තීරණාත්මක කඩඉමට මුහුණ දීමට යන ගමනේදී ගත සිත මදක් සැලීම ස්වභාවික දෙයකැයි සිතමින් ඔහු සන්සුන් වීමට උත්සාහ දැරීය​. පහේ කණුව හන්දියට බසය ලඟාවන විට ඔහුගේ දෙපයට මද වෙහෙසකර බවක් දැනුණු අතර සිරුරේ හන්දිපත් වලින් සියුම් වේදනාවක් දැනෙන්නට විය​. විවර කරන ලද කවුළු වලින් බස් රථය තුලට ගලා ආ සුළඟ බසය තුල ක්‍රමයෙන් ඉහල යන උණුසුම මකාලීමට කිසිදු උදව්වක් නොදුන්නද, එය මහේෂ් ගේ මුහුණට කඩා වැදුනේ ගතේ හිරිගඩු නංවමිනි. විනාඩි හතළිස් පහක අලස ගමනකින් පසු බස් රථය නගර සීමාවට ළඟා වන විට මහේෂ්ට මද හිසරදයක් සෑදී තිබිණි.

විභාග ශාලාවේ හිඳගත් මහේෂ් මදින් මද නැගී එන හිසරදය සහ නොසන්සුන් බව පලවා හරිනු වස් ප්‍රශ්න පත්‍රයේ තිබිය හැකි යැයි සිතෙන ප්‍රශ්න වලට සිතින් පිළිතුරු සපයන්නට විය​. සිංහල මහේෂ්ට කෙදිනකවත් අමාරු විෂයක් වූයේ නැත​. එමනිසා බිය වීමට කිසිදු හේතුවක් නොවුවත්, තමාට දැනෙන නුහුරු නොසන්සුන් බව නිසා මහේෂ් තීරණය කලේ සාහිත්‍යය කොටසට මුලින් පිළිතුරු ලිවීමටයි. සිංහල සාහිත්‍යය මහේෂ්ගේ ප්‍රියතම මෙන්ම ඔහු කවදත් වැඩි ලකුණු ලබාගත් විෂයකි.

ප්‍රශ්න පත්‍ර බෙදීම පටන් ගන්නා විට මහේෂ්ගේ හිසරදය සහ හන්දි අතරින් එන වේදනාව තරමක් තදින් දැනෙන්නට පටන් ගෙන තිබිණි. ඒ මදිවාට මෙන් කුස පෙරළාගෙන දැනෙන ඔක්කාරයක් ඔහුගේ අපහසුතාව තීව්‍ර කිරීමට විය​. අසහනකාරී සිතුවිලි පලවා හැරීමට ඔහු තමාගේ පෑන් පැන්සල් ඒ මේ අත පෙරලමින් අසාර්ථක උත්සාහයක නිරත විය​. ප්‍රශ්න පත්‍රය අතට ලැබුනු සැනින් වෙන කිසිවක් නොබැලූ මහේෂ් කෙලින්ම සිංහල සාහිත්‍යය කොටසේ සාහිත්‍යය විග්‍රහ කොටසට පිළිතුරු ලිවීම ඇරඹූයේ සාර්ථක ලෙස ප්‍රශ්නයකට පිළිතුරු දුන් විට අසහනකාරී හැඟීම් පහව යතැයි බලාපොරොත්තු වෙමිනි. ඔහු තෝරාගත්තේ උම්මග්ග ජාතකය ඇසුරෙන් අසා තිබූ පැනයකි.

මහෞෂධ පණ්ඩිතයන්, කේවට්ටයා, වේදේහ රජතුමා ආදීන් සමඟ විනාඩි හත අටක් සිත වෙහෙසන මහේෂ්ට නිතැතින් ම ශාරීරික සහ මානසික අපහසුතාව අමතකව ගියේය​. නමුත් හිටි හැටියේම තමා හිඳගෙන සිටින පුටුවෙන් ඉහළට එසවී පාවීයන බවක් දැනුනු නිසා හේ හිස ගසා දමමින් වට පිට බැලීය​. ශාලාධිපතිනිය සහ අනෙකුත් සිසු සිසුවියන් ඔහුට පෙනුණේ තමාට සම්බන්ධ නැති ඈත ලොවක සිටින්නන් මෙන් කුඩාවටය​. නිදහසේ ගලා හැලෙන දහඩිය බිඳු නළල මතින් රූරා ගොස් ප්‍රශ්න පත්‍රයේ කිහිප පොළක් තෙත් කලේය​. ඉඳිකටු තුඩු දහසකින් අනිනා කලෙක මෙන් හිරිගඩු පිපී යන සීතලක් ඔහුගේ සිරුර පුරා දිව ගිය අතර​, පෑන අල්ලාගෙන සිටිය නොහැකි තරම් අත් අප්‍රානවත් විය​. ඒවනතුරු කුස තුල පෙරළි කරමින් තිබූ ඔක්කාරය ක්‍රමයෙන් උගුර ඔස්සේ ඉහළට නැගී එනු ද, ඊට සමගාමීව ඔහුගේ කටට වේගයෙන් කෙළ උනන අයුරු ද මහේෂ්ට දැනෙන්නට විය​.

මුළු ගතම අප්‍රානිකව යද්දී නිතැතින්ම ඔහුගේ හිස මේසයට පහත් වුවද සිරුර තුලින් ඒ මේ අත දිව යමින් එළියට පැමිණීමට වෙර දරන සත්වයා දමනය කිරීමට එය කිසිදු පිටිවහලක් නොදිනි. ඊළඟ මොහොතේ පසෙකට නැවී වමනය කල මහේෂ් තම කුසත් උගුරත් දවාලමින් අම්මාගේ කිරිබත්, නංගීගේ ලුණුමිරිස් සහ අක්කාගේ තේ වතුර එකම ප්‍රවාහයක් බවට පත්වී විභාග ශාලාවේ බිම පුරා විසිරී යනු දිටීය​. කුස හිස් වීමත් සමඟම අවට වටපිටාව අඳුරු වී යන බවක් දැනුනු ඔහු සෙමෙන් පොළොවට පහත් වී බිම වැතිර ගත්තේය​. කවුදෝ ගැහැණු ළමයෙක් යටි උගුරෙන් කෙටි විලාපයක් නැගුවාය​.

නෙත් හැර බලන විට ඔහු දුටුවේ සුදු පැහැයක් පමණි. සුදු පැහැති බිම​, සුදු පැහැති සිවිලිම​, සුදු පැහැති බිත්ති, සුදු පැහැති ජනෙල් තිර සහ කඩිසරව ඔබ​-මොබ සරන සුදු පැහැති ඇඳුම් ඇඳගත් ගැහැණු සහ පිරිමි යන මේ සියල්ල දිස්වූයේ අපැහැදිලි ඡායාවක් මෙනි. තව්තිසා දෙව්ලොව පිළිබඳ අපැහැදිලි මතකයක් ඔහුගේ සිතට නැගිනි.

තව්තිසා දෙව්ලොවෙන් ව්‍යුතවැ, මව් කුස පිළිසිඳ ගත් මහ බෝසතාණන් වහන්සේ, දස මසකින් අභිනව චන් ද්‍ර රේඛාව සේ දෝහො නොහොත් ඝන රන් පිළිමයක් බඳු වූ රන් වන් පුතණු කෙනෙකුන් සේ මහෞෂධ නමින් මෙලොවට බිහිවිය​. එතුමන් මව්කුසින් නික්මුනු බව දැන, සක් දෙව් රජාණෝ නොපෙනෙන ශරීරැතිව අවුත් ඔහු අත රන් සඳුන් ගැටයක් තබා නික්මුනහ​. මහෞෂධ කුමරුන් ගේ පියාණන් වූ සිරිවඩ්ඪන සිටාණන්ට වනාහි සත් අවුරුද්දක් මුළුල්ලේ පහරන හිස රුජාවක් තිබිණි. එතුමෝ තුටු පහටුවැ සඳුන් ගැටය අතට ගෙන මඳක් ගලගා නළල ගැල්වූහ​. සත් අවුරුද්දක් ප්‍රබන්ධයෙහි පහල හිස රුජාව නෙළුම් පතක නොඇලී රූරාගෙන යන දියත්තක් සේ නැතිවැ ගියේය​.

අයියාට අක්කාට දිවි සටන ජය ගන්නට, නංගීට මල්ලීට සිප් නැණ පහන දල්වාලන්නට​, මවට සැනසීමක් ළඟා කර දෙන්නට, ගැමියන්ට බලාපොරොත්තුවක වැසි පොදක් ලබා දෙන්නට, පියාණන් ගත පෙළෙන් අසනීප සුව කර ලන්නට යනාදී මේ සියළු පැනයන්ට විසඳුම් ලබා දෙන්නට පැමිණි පින්වත් පුත් කුමරුවා මහේෂ් නම් වූ තමාය​. තව්තිසා දෙව්ලොවින් චුත වී මහපොළොවට පැමිනෙන්නට හෝරාව එලැඹ තිබේ.

සුදු හැඳගත් ස්ත්‍රීන් සහ පුරුෂයන් තමා අසලින්ම කඩිසරව උනුන් කතාබහ කරමින් ගමන් කරති. මේ තමාට මහ පොළොවට බිහිවන්නට උපකාර කරන්නන් විය යුතුය​.

"මැලේරියාව​" සුදු හැඳගත් කාන්තාවක් පවසනු ඔහුට ඇසිණි. "තව ටිකකින් හරියයි". පියාගේ ගත පෙළෙන මැලේරියාව තව මොහොතකින් හරි යනු ඇත​. එපමණක් නොවේ. අනෙකුත් සියළු අතුරු අන්තරා ද සමඟම​...

සුදු හැඳගත් කාන්තාව තමාගේ අතට මොනවාදෝ දී අත මිට මොළවා ඉවතටා ගියාය​. සියළු දේට පිළියම් දෙන රන් සඳුන් ගැටය​. ජයග්‍රාහී හැඟීමෙන් මහේෂ් රන් සඳුන් ගැටය තදින් මිට මොළවා ගත්තේය​. ඉන්පසු මෙළවූ මිට දෙනෙතට ළංකොට සෙමෙන් අත දිගහැර එදෙස බැලීය​.

මොන හත් ඉලව් හඳුං ගැටයක් ද​?
ඒ කුවිනැයින් පෙති!

Tuesday, September 13, 2016

මිනි හයිඩ්‍රෝ නම් පිළිකාව​.


විදුලි බලය නිපදවන ශක්ති ප්‍රභව ගනනාවක් ඇත​. සුළං, සූර්‍ය බලය​, ඩීසල්, ගල් අඟුරු, ස්වාභාවික වායු, න්‍යෂ්ටික බලය සහ ජලය ඉන් ප්‍රධාන වේ.

ලංකාවේ වාණිජ්‍යය මට්ටමින් විදුලි නිෂ්පාදනයට භාවිතා කෙරෙන්නේ ජලය​, ඩීසල්, ගල් අඟුරු, සුළං සහ සූර්‍ය බලයයි.

මේවා අතරින් ජලය ප්‍රධාන ස්ථානයක් උසුලයි. ලංකාවේ අර්ථ දැක්වීමට අනුව මෙගාවොට් 10 කට වැඩි ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර ප්‍රධාන ජල විදුලි බලාගාර ලෙසත්, මෙගාවොට් 10ට අඩු ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර හෙවත් මිනි හයිඩ්‍රෝ ලෙසත් හැඳින්වේ.

විදුලිය නිෂ්පාදනය සඳහා යම් ශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් සැලකිල්ලට ගනී.

1. ලාබදායී බව​
2. පද්ධතියේ ස්ථායී බව​
3. පරිසර දූෂනය​

මෙම සෑම කරුනක් අතින්ම සලකා බැලීමේදී මිනි හයිඩ්‍රෝ යනු ඉතාමත් අවාසිදායී විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමයක් බව පෙනී යයි.


1. ලාබදායී බව​.


ඕනෑම ශක්ති ප්‍රභවයකින් විදුලි බලය නිෂ්පාදනය කිරීමට යම්කිසි පිරිවැයක් වියදම් වේ. මෙය ප්‍රභවයෙන් ප්‍රභවයට වෙනස් ය​. උදාහරණයකට ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 40ක් පමණ වැයවන අතර​, ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 6ක් පමණ වැය වේ.

ජලය මඟින් විදුලිය නිෂ්පාදනයට වැය වන්නේ විදුලි ඒකකයකට රුපියල් 1ක් පමණ ඉතා කුඩා මුදලකි. ඩීසල් ගල් අඟුරු මෙන් නොව ජලය නොමිලේ ලැබීම මීට හේතුවයි.

එම නිසා තර්කානුකූලව සිතා බැලුවොත් මිනි හයිඩ්‍රෝ මඟින් විදුලිය නිෂ්පාදනය වැඩි වන විට, විදුලි ඒකකයක් සඳහා වන සාමාන්‍යය පිරිවැය අඩු විය යුතු අතර, ඒ ලාභය පාරිභෝගික ඔබට ලැබිය යුතුය​.

නමුත් එසේ වන්නේ නැත​.

ලංකාවේ මිනි හයිඩ්‍රෝ බලාගාර එකක් හැර අන් සියල්ලේම අයිතිය පුද්ගලික සමාගම් සතු වන වේ. මෙම සමාගම් තම බලාගාර මඟින් නිෂ්පාදනය කරන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකුනන අතර​, විදුලි බල මණ්ඩලය ඒ විදුලිය පාරිභෝගික ඔබට විකුණයි.

විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියලක් වත් වියදම් නොවූවත්, මේ පුද්ගලික මිනි හයිඩ්‍රෝ බලාගාර හිමියෝ තම විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණන්නේ රුපියල් 11 බැගිනි! සෑම විදුලි ඒකකයකින්ම ඔවුන්ට රුපියල් 10 පමණ ලාබය​.

ඔවුන් එසේ ලාබ ලබද්දී පාරිභෝගික ඔබ විදුලිය සඳහා ලෝකයේ ඉහළම මිලක් ගෙවයි.

ඒ මදිවාට ඔවුන් මේ ලාබ ඉපයීම සඳහා අමු ද්‍රවය්‍යක් ලෙස භාවිතා කරන්නේ ඔවුන් ගේ පුද්ගලික බූදලයක් නොව, ලංකා වාසී සියළුම දෙනාට සමසේ අයිතිය ඇති සොබාවික දිය පහරවල ඇති ජලයයි.

මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලය් ඒ පාලනයෙන් තොරය​. ඔවුන්ට කැමති විට නිෂ්පාදනය කිරීමටත්, කැමැති විට නිෂ්පාදනය නොකර සිටීමටත් ඔවුන්ට නිදහස ඇත​. මෙම තත්වය යටතේ අධික වර්‍ෂාව ලැබෙන කාලවලදී, විදුලි බල මණ්ඩලය සතු ජලාශ පිටාර දමද්දී පවා එම බලාගාර සතු උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් සමහර විට උද්ගත වේ. ඒ විදුලිය නිපදවන තරම් පද්ධතියේ ඉල්ලුමක් නැති බැවිනි. නමුත් එවැනි අවස්ථාවක මිනි හයිඩ්‍රෝ මගින් නිෂ්පාදනය කරන විදුලිය නොමැති වූවා නම්, මණ්ඩලය සතු බලාගාර වලට උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කළ හැක​.

නමුත් අද ඇති තත්වය යටතේ ජලාශ පිටාර දමද්දී මණ්ඩලයේ බලාගාර අඩු ධාරිතාවයෙන් ක්‍රියා කරන අතර​, මිනි හයිඩ්‍රෝ උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරමින් අධික ලාභ උපයයි.


2. පද්ධතියේ ස්ථායී භාවය​


මිනි හයිඩ්‍රෝ මගින් ඉහළ විදුලි ජනනයක් කරනු ලබන්නේ වර්‍ෂාව අධික කාලයටය​. එම කාලයේදී විදුලි බල මණ්ඩලය සතු ජලාශ සඳහා ද ඇති තරම් ජලය ලැබෙන නිසා විදුලිය නිෂ්පාදනය ලොකු ප්‍රශ්නයක් නොවේ. විදුලි නිෂ්පාදනය ප්‍රශ්නයක් වන්නේ නියං සමයටයි. ඒ කාලවලදී මිනි හයිඩ්‍රෝ වල නිෂ්පාදනය අවම මට්ටමක පවතී. ඒ නිසා මිනි හයිඩ්‍රෝ මඟින් පද්ධතියේ ස්ථායී භාවයට ලැබෙන දායකත්වයක් නැති තරම් ය​.

ඇත්තෙන්ම කලිනුත් සඳහන් කළ ආකාරයට මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලයේ පාලනයෙන් තොර නිසා සමහර අවස්ථා වලදී පද්ධතියේ වෝල්ටීය තාවය අධික ලෙස ඉහළ යාම වැනි ප්‍රශ්න පවා ඇති වීමේ ඉඩක් ඇත​.


3. පරිසර දූෂනය​


බොහෝ දෙනා තුල ඇති අදහසක් වන්නේ ජල විදුලිය යනු පරිසර දූෂනය අවම ශක්ති ප්‍රභ්වයක් බවයි. නමුත් මෙය වැරදි සහගතය​.

විශාල හෝ කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා ජලය ලබා ගන්නේ ගංගාවක් හෝ වෙනත් දිය පහරක් හරස් කර එම ජලය වෙනත් මාර්ගයකට යොමු කිරීමෙනි. මෙය සොබාවික තත්වය මුළුමනින්ම උඩු යටිකුරු කිරීමකි.

විශාල විදුලි බලාගාර වලද මෙම තත්වය පවතින නමුත්, ඒවායින් අඩු මිලට විදුලි ජනනය කිරීමේ හැකියාව සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ වීම නිසා සිදුවන හානිය සාධාරනීකරනය කළ හැක​. එමෙන්ම, විශාල ව්‍යාපෘති වලදී පරිසර හානිය ගැන තක්සේරුවක් කොට ඒ සඳහා ප්‍රතිකර්ම යම් දුරකට දෙනු ලබයි. උදාහරණයකට ඉහළ කොත්මලේ ජලාශය ඉඳි කිරීමේදී ලංකාවට ආවේනික වූ නිශාචර ගොළුබෙල්ලෙක් "නැවත පදිංචි කිරීමකට​" ලක් කෙරිනි.

නමුත් මිනි හයිඩ්‍රෝ බලාගාර ඉඳි කිරීමේදී එවන් පරිසර ඇගයීමක් සිදු නොකෙරේ. කිසිදු වග විභාගයකින් තොරව හිතූ හිතූ පරිද්දෙන් දිය පහර හරස් කරනු ලබයි. ඒ මදිවාට ඒවායින් ලැබෙන ලාබයක් හෝ මහ ලොකු ධාරිතාවක් නැත​.

අද මධ්‍යයම කඳුකරය පුරා දිය පහරවල් හරස් කරමින් ඉඳි කර ඇති සිය ගණන් වූ මිනි හයිඩ්‍රෝ බලාගාර නිසා සිදු වී ඇති මරිසර හානිය නිසි ගණනය කිරීමක් හෝ කර ඇත්දැයි සැක සහිතය​. මෙය කෙලින්ම රටේ හදවතට පිහියෙන් ඇනීමක් බඳු වේ. මෙහි ප්‍රතිඵල අපිට ලැබෙන්නෙ තව අවුරුදු 10 කිනි.


මිනි හයිඩ්‍රෝ ජාවාරම​


ලංකාවේ බොහෝ පුද්ගලික ව්‍යාපාර මෙන්ම මිනි හයිඩ්‍රෝ ද අද ජාවාරමකි.

මෙම ජාවාරම ඇරඹෙන්නේ ශක්‍යතා අධ්‍යනයේ පටන් ය​. මිනි හයිඩ්‍රෝ බලාගාරයක් සඳහා යම් කිසි ස්ථානයක ශක්‍යතා අධ්‍යනයක් කළ පසු, එම ස්ථානයේ අයිතිය එම අධ්‍යයනය කළ පුද්ගලයා සතු වේ. එතැන බලාගාරයක් ඉඳි කිරීමට නම්, ඔහුට ඉතා විශාල මුදලක් ගෙවා එම අයිතිය ඔහුගෙන් මිලදී ගත යුතුය​.

ඉන් පසු බලාගාරය ඉඳි කිරීම ඇරඹේ. එහිදී සිදුවන පරිසර හානිය ගැන අමුතුවෙන් කිව යුතු නැත​.

බලාගාරයේ විදුලි නිෂ්පාදය ඇරඹූ දින සිට බලාගාර හිමියා අධික ලාබ ලැබීම අරඹයි. මෙගාවොට් එකක විදුලි බලාගාරයක් දිනකට පැය දොළහක් ක්‍රියාත්මක වුවහොත් විදුලි ඒකක දොළොස් දාහක් නිෂ්පාදනක කළ හැක​. එවිට ඉන් ලබන ලාබය දිනකට රුපියල් එක් ලක්‍ෂ විසි දාහකි.

මතක තමා ගන්න​, මේ දිනකට පැය දොළහක් ක්‍රියා කරන බලාගාරයකින් ලැබෙන ලාබයයි. අධික වැසි සමයට බලාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

ගල් අඟුරු මාෆියා, ඩීසල් මාෆියා, ඉංජිනේරු මාෆියා ගැන නිතර නිතර ඇසෙන්නට ලැබුණත්, ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ සැබෑ මාෆියාව ඇත්තේ මෙතැනය​.

නවක වදය ගැන​....



රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.

දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්‍ෂ (ජේවීපී සහ පෙරටුගාමී) තමාගේ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදාගත හැකි ඔළුගෙඩි ගාන වැඩි කර ගැනීම. උදාහරණයකට කොළඹ තියෙන උද්ඝෝෂනයකට සහභාගී කරවිය හැකි සිසුන් ගාන වැඩි කර ගැනීම.
රැග් එකේ තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි "බැච් ෆිට් එක" බැච් ෆිට් එක කියන්නෙ බැච් එකම එක මතයක ඉන්න ඕනෙ කියන එක. මතුපිටින් බැලුවම මේක හරි ෂෝක් දෙයක්. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙන තැනුත් තියෙනව. නමුත් වැදගත් ප්‍රශ්නය තමයි බැච් එකම එකඟ වෙන "එක මතය" කාගෙ මතයද කියන එක. මේක බැච් එකේ බහුතරයකගේ මතය නෙවෙයි. බැච් එකේ දේශපාලනික පොරවල් ගෙ, මතය. ඔවුන් ගේ මතය අනෙක් අය වෙත ආරෝපණය කිරීමත්, ඊට අනුගත නොවෙන අය "අලයන්" ලෙස හංවඩු ගැසීමත් සිද්ධ වෙනවා.

උදාහරණයකට ලිප්ටන් වටරවුමේ තියෙන X නම් දේශපාලන කරුණ වෙනුවෙන් තියෙන උද්ඝෝෂනයකට සහභාගී වෙන හැමෝම X ගැන උනන්දුවක් තියෙන අය වෙන්නම ඕනෙ නෑ. නමුත් අලයෙක් ලෙස හංවඩු ගැසීමෙන් බේරෙන්න ඔවුන්ට ඒකට යන්න වෙනව.

ලංකාවෙ කැම්පස් වල ඉන්න බහුතරය ගම් වලින් හෝ අර්ධ නාගරික ප්‍රදේශ වලින් එන දුප්පත් හෝ පහළ මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ළමයි. ඒ අතර නාගරික ධනවත් ළමයිනුත් එනවා. නමුත් ඔවුන් සුළුතරයක්.
දැන් අර ඉහත කියපු ගම්බද සහ/හෝ දුප්පත් ළමයි තමාගෙ ජීවිත කාලය පුරාම විවිධ ආකාරයෙන් පසුව කියපු නාගරික සහ/හෝ ධනවත් සමාජය විසින් මාජිනලයිස් වුන අය. ඔවුන්ට ඒ සමාජය ගැන බියක් සහ වෛරයක් තියෙනවා.

ඒ වගේම සමහර පීඨ වල කෝස් එක කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඉතින් ඉංග්‍රීසි දැනුම අඩු ළමයින්ට කෝස් එක කර ගැනීම පිළිබඳ බියක් තියෙනවා.

මේ ප්‍රධාන කාරනා දෙක තමයි රැග් එක විසින් තම පැවැත්ම සඳහා භාවිතා කරන්නෙ.

රැග් සීසන් එකේදි නවකයන්ට දෙන තෙල් වලදි මේ කරුණු දෙක භාවිතා කරනවා ඔවුන් රැග් එක කෙරෙහි ආකර්‍ෂනය කර ගන්න.

නවකයන්ට ඔවුන් ගෙ සමාජ පසුබිම අමතක කරල "සරසවි උප සංස්කෘතියට" අනුගත වෙන්න කියනවා. රැග් සීසන් එකේදි තමාගෙ පාසැල මොකද්ද කියල ඇහුවොත් ඒකෙ නමින් කියන්න බෑ. ඒ වෙනුවට ඒ සඳහා සම්මත කරගත්ත අපහාසාත්මක යෙදුමක් පාවිච්චි කරන්න ඕනෙ. "අහවල් තැන අන්ඩර කඩේ". දෙමාපියන් ගෙ රැකියාවත් එහෙමයි. ඒ වගේම හැමෝම "යුනිෆෝම්" එකක් අඳින්න ඕනෙ. ඩෙනිම් බෑ. කෙල්ලො නම් චීත්ත ගවුම් විතරයි. සපත්තු බෑ. රබර් සෙරෙප්පු විතරයි.

මේකෙ මුඛ්‍යය අරමුන තමයි හැමෝම සමාන තැනකට ගේන එක. නමුත් සැබෑ අරමුන තමයි අර කිව්ව ගැමි/දුප්පත් ළමයින් ගෙ නාගරික/ධනවත් සමාජය ගැන තියෙන බිය, සැකය සහ වෛරය එක්ස්ප්ලොයිට් කිරීම. "බලපල්ල අරුන් පොෂ් අලයො. උංගෙ සල්ලි බලය සහ සමාජ බලය ප්‍රදර්ශනය කරනවා. හැමදාම කරා වගේ උං මෙතනදිත් උඹලව මාජිනලයිස් කරයි. ඒක නොවෙන්න නම් උඹල එකතු වෙලා උන්ට ඒක ප්‍රදර්ශනය කරන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනෙ. බලපල්ලා උඹලගෙ සීනියර් ල උඹල වෙනුවෙන් පෙනී සිටිනවා. උඹලව ආරක්‍ෂා කරනවා". ඕක තමයි යටින් යන තීම් එක.

ඒ එක්කම කියනවා "ලෙචාල ඉන්නෙ උඹලව අන්නන්න බලාගෙන. ඉංග්‍රීසියෙන් ලෙකචර්ස් ගිහිල්ල උඹලට කෝස් එක ගොඩ දාන්න බෑ. ගොඩ යන්න නං කුප්පි ක්ලාස් යන්න ඕනෙ". කෝස් එක කම්ප්ලීට් කර ගන්න බැරි වෙයි කියන බය එක්ස්ප්ලොයිට් කරලා "අපි නැත්තං තොපි ෆේල්" කියල තීම් එක යවනව යටින්.

මේ ෆියර්මොංගරින් උපක්‍රම වලින් අලුත් බැච් එකක අති බහුතරය "කැමැත්තෙන්" රැග් වෙන මට්ටමට ගේනවා (මේ ඇති කරන බය සහමුලින්ම අසත්‍යය නොවන බවත් ඒවට යම්කිසි පදනමක් තියෙන බවත් කියන්න ඕනෙ).

ඊට පස්සෙ ඕන වෙනව සිස්ටම් එකට මුර බල්ලො. එතනදි තමයි අර මානසික රෝගී පකයල ටික එළියට එන්නෙ. උන් තමයි සිස්ටම් එක කඩන එවුන් ව හපා කන්න පාවිච්චි කරන්නෙ. කුණුහරුපෙන් බැනීමේ සිට බැච් එකේ කොන් කිරීම හරහා ඉතාමත් අශික්‍ෂිත උපක්‍රම දක්වා සියලු දේ පාවිච්චි කරනවා සිස්ටම් එකෙන් පනින එවුන් ආපහු ඇතුළට දාගන්න. මේ මුර බල්ලන් ගෙන් සෑහෙන පිරිසක් නවකයන් බවත් කියන්න ඕනෙ. මේ නවක මුර බල්ලො තමයි බැච් එකේ පොරවල් වෙන්නෙ. ඒ ප්‍රිවිලේජ් එක වෙනුවෙන් මේ මුර බල්ලො සිස්ටම් එක කඩන එවුන් ගැන ජේෂ්ඨයන්ට ඔත්තු සපයනවා. සිස්ටම් එක කඩන තමාගේ බැචාලට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරිනවා.

ඊ ළඟට ඉන්නව මේක ආරක්‍ෂා කරන එවුන් ටික. උන් තමයි "රැග් එක හරි ෆන් මෙයාලා - කැම්පස් කාලෙ ඒවයෙන් මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ රැග් වෙච්ච ඒව තමයි. මේ ගොල්ලො කියනව වගේ මරාගෙන කන්නෙ නෑ අනේ. ඔය පොඩි පොඩි ගොංපාට් ටිකක් තමයි දෙන්නෙ. හරි ෂෝයි" වගේ කතා කියන්නෙ.

මේ තමයි මීහරක් රැළ. උන් තාම දන්නෙ නෑ උන්ට ඇරිය කියල. මේ පිරිස අර ඉහත කියපු භීතිකාවට අහුවෙලා රැග් වෙලා එක එකාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සහ මානසික රෝගී පකයල ගෙ මානසික රෝග වෙනුවෙන් වධ බන්ධනයන්ට ලක් වුන අය. හැබැයි උන් ඒක දන්නෙ නෑ. සිස්ටම් එක කඩන්න ලොකුවට ට්‍රයි කරේ නැති නිසා "මරාගෙන කන රැග් එකකට" ලක් වෙලා නෑ. හැබැයි උන් දන්නෙ නෑ හැමෝමටම ඒවගේ මල් රැග් ලැබෙන්නෙ නෑ කියල.

සිස්ටම් කඩන්න කැරලි කාර පුකේ උණක් තිබීම නිසා හෝ සිස්ටම් එකට අනුගත වෙන්න තරම් මානසිකත්වය ශක්තිමත් නොවීම නිසා හරියට අනුගත නොවෙන එවුන්ට අමානුෂික රැග් එකක් ලැබෙනවා. සමහර එවුන් මානසික රෝගී වෙනවා. දිවි නසා ගන්නව. කෝස් එක දාල යනවා. අර උඩ කියපු මල් රැග් කාපු මල් පොන්නයොන් ගෙ කතා වලින් ඒක වහනවා.


අනිතිමට කියන්න තියෙන්නෙ යමෙක් ගෙ කැම්පස් ජීවිතයේ මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ දේශපාලන පක්ස වලට කඩේ යාම සහ මානසික රෝගීන් ගේ විකෘති ආශාවන් සන්තර්පනය කිරීම පමණයි නම්, ඒ කැම්පස් ජීවිතේ හීනියට රෝල් කරල පුකේ ගහගන්න කියල තමයි.

පැරණි වම, මැද වම සහ නව වම


පැරණි වම



ලංකාවේ ධනපති පන්තියක් කවදත් තිබුනේ නැත. ලංකාව වැනි ලෝක ධනවාදයේ පරිධියේ ඇති රටක ජනතාවාදී ව්‍යාපාරයක සැබෑ සතුරා විය යුත්තේ මනඃකල්පිත ධනපති පන්තියක් නොව, ගෝලීය ධනවාදයේ ගාමක බලය වන බටහිර අධිරාජ්‍යය වාදයයි.

එහිදී ජනතාවාදී සමාජවාදී ව්‍යාපාරයක් නිතැතින්ම ජාතිකවාදී බලවේගයන් සමඟ එකට සිට ගත යුතුය. ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ (ලෝක අධිරාජ්‍යය වාදයට ගොදුරු වූ කලාපය) සාර්ථක සමාජවාදී ව්‍යාපරයන් සියල්ලම ජාතිකවාදීන් සමඟ උරෙනුර ගැටී අධිරාජ්‍යයවාදයට එරෙහිව කළ අරගලයන් ය. කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, වියට්නාමයේ හෝ චී මිං සහ කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා දැවැන්ත උදාහරණයන් වේ.

ලංකාවේ පැරණි වම (සමසමාජ - කොමියුනිස්ට් - මහජණ එක්සත් පෙරමුණ) මේ තත්වය මැනවින් අවබෝධ කරගෙන සිටි බව අපට පෙනේ. මුලින්ම සමසමාජ පක්‍ෂය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදයට එරෙහිව පූර්ණ නිදහස වෙනුවෙන් ගෙන ගිය සටන එහි මුල් කාලීන ජනප්‍රියත්වයට බෙහෙවින් බල පෑවේය. මෙකල "ජාතියේ පියවරු" බ්‍රිතාන්‍යයන් ගෙන් බලාපොරොත්තු වූයේ අර්ධ නිදහසක් පමණක් බව සිහි තබාගත යුතුය.
නිදහසින් පසු ලංකාවේ අධිරාජ්‍යයවාදයේ සහ එහි දේශීය ඒජන්තයන් වූ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සහ එහි දේශපාලන බලවේගය වූ එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව පැරණි වම ප්‍රශස්ත අරගලයක් ගෙන ගියේය.
1952 ශ්‍රිලනිපය බිහි වූ පසු ලංකාවේ ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය බවට පත් වූයේ එයයි. එජාපය විසින් නියෝජනය කළ කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරය සතු වූ දේශපාලන-ආර්ථික බලය තමා සතු කර ගැනීමට ලංකාවේ සිංහල-බෞද්ධ/දිළිඳු/ගැමි සමාජ ස්ථරයන් ගෙන ගිය අරගලයේ ඔවුන් ගේ දේශපාලන බලවේගය වූයේ ශ්‍රිලනිපයයි. නමුත් ශ්‍රිලනිපයේ මෙම අරගලයට පැරණි වම දැවැන්ත සහයෝගයක් ලබා දුන්නේය.
1956 ශ්‍රිලනිපය ප්‍රමුඛ ජාතිකවාදීන් සුවිශේෂී ජයක් ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ එක සමසමාජය සහ කොමියුනිස්ට් පක්‍ෂය සමඟ ඇති කරගත් නිතරග ගිවිසුමයි. මෙහිදී ශ්‍රිලනිප ප්‍රමුඛ ජාතිකවාදී බලවේගයන් ලබා ගත්තේ මුළු ඡන් ද ප්‍රමානයෙන් 40% පමණක් බව සිහිකළ යුතුය. එජාපය 28% ලබා ගත් අතර සමසමාජය 10%ක් ලබා ගත්තේය. මේ අනුව පෙනෙන්නේ පාර්ලිමේන්තුව තුළ එජාප බලය අතුගා දැමීමට සහ එමඟින් 56 පෙරලිය සිදු කිරීමට පැරණි වම විශාල දායකත්වයක් ලබා දුන් බවයි.

ඉන්පසුවද 1960-65 සමයේ ශ්‍රිලනිප රජයන් යටතේ ජනසතු කරන වැඩපිළිවෙල මගින් කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයඒ බලය සහමුලින්ම බිඳ දැමීමට පැරණි වම ජාතිකවාදීන් සමඟ අත්වැල් බැඳ කටයුතු කලේය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 63 හමුදා කුමන්ත්‍රනය මගින් කතෝලික හමුදා නිලධාරීන් පිරිසක් ලංකාවේ හමුදා පාලනයක් ඇති කිරීමට උත්සහ දැරීමක් ඇති විය. මෙය මර්ධනය කිරීමේදී ද සිරිමාවෝ මැතිණියට ඉමහත් ශක්තියක් ලබා දුන්නේ පැරණි වමයි (මෙය අද ලංකා ඉතිහාසයේ බොහෝ දෙනාට අමතකව ගිය, නමුත් වැදගත් පරිච්ඡේදයකි).

මේ ආකාරයට ලංකාවේ අධිරාජ්‍යයවාදී දේශපාලන බලය බිඳ දමා සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයන් ශක්තිමත් කිරීමෙහි ලා පැරණි වම තීරනාත්මක කාර්‍ය භාරයක් ඉටු කළේය. (මෙහිදී ට්‍රොට්ස්කි ගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය සමඟ මේ අස්ථානය දක්වන සමානත්වය අධ්‍යයනය කරනු වටී) මෙහිදී එන්.එම්. සහ පිලිප් ගේ මාක්ස්වාදී සිද්ධාන්තයන් ගෙන් ඔබ්බට ගොස් තම දේශපාලන ඉවෙන් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව කැපී පෙනිනි (මෙම දේශපාලන ඉව ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් සතුවද පැවති ගුණාංගයකි). මෙහිදී ඔවුහු මාක්ස් ගේ ආර්ථිකය මත පමණක් පදනම්ව කළ අසම්පූර්න පන්ති බෙදීම පිළිබඳ න්‍යාය ඉක්මවා පන්ති බෙදීමේ සංස්කෘතික පදනම පිළිබඳ යම්කිසි අවබෝධයකින් කටයුතු කළහ. ඔවුහු නිවැරදිව වටහා ගත්තේ ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ ගැමි ජනයාට හිමි විය යුතු ප්‍රමුඛ ස්ථානයක් බවයි.

මේ සමයේදීම පැරණි වමේ නායකයන් වූ එන්.එම්. (1979) පිලිප් (1972) සහ එස්.ඒ. (1982) මිය යාම නිසා පැරණි වමේ දීප්තිමත් සමය අවසන් විය. ඉන්පසු මහජන එක්සත් පෙරමුණ දිගටම ජාතිකවාදී ස්ථාවරයක හිඳිමින් යම් සාර්ථකත්වයක් ලැබුවද සමසමාජය සහ කොමියුනිස්ට් පක්‍ෂය පොතේ ගුරුන් ගේ නායකත්වයට නතු වීමෙන් දිය වී ගියේය.

මැද වම


ලංකාවේ
මැද වම ලෙස හැඳින්විය හැක්කේ ජවිපෙ ය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය (චීන) පිළෙන් බිඳී ගිය කුඩා කණ්ඩායමක් ලෙස ජවිපෙ බිහි වූ අතර, මාවෝ මාදී පක්‍ෂයක් ලෙස එය නිසඟයෙන්ම ගැමි ජනයා අතර පදනම් වූ ව්‍යාපාරයක් විය. 1980 න් පසු එතෙක් පැරණි වම වෙත ආකර්‍ෂනයව සිටි උගත් (විශ්ව විද්‍යාල) තරුණයන් ද පැරණි වමේ දිය වීමෙන් පසු ජවිපෙ වටා රොක් විය.

ජවිපෙ නායකත්වය ඉංග්‍රීසි
උගතුන් නොවූ නිසා එය පැරණි වම මෙන් මාක්ස්වාදී සිද්ධාන්ත මත තදින් පිහිටා ගත් පක්‍ෂයක් නොවීය. එනිසාම ජවිපෙ දේශපාලනය ජාතිකවාදී ලක්‍ෂන වලින් සමන්විත විය.

නමුත් ගල්කටස් තුවක්කු සහ ටින්කිරි බෝම්බ වලින් සන්නද්ධ වූ
තරුණයන් හත්-අට දාහකට පුළුල් ජනතා සහභාගීත්වයකින් තොරව සන්නද්ධ අරගලයක් කළ හැකිය සහ අතිශය කෲර ප්‍රචන්ඩත්වයක් මගින් පොදු ජනතා සහය තමා වෙත ළඟා කරගත හැක යන රෝහණ විජේවීර ගේ මුග්ධ ආකල්පයන් නිසා ජවිපෙ සාර්ථකත්වය එක්තරා මට්ටමකින් ඉදිරියට නොගියේය.

ඇත්තෙන්ම ඉන්දු - ලංකා ගිවිසුම මත පදනම්ව
නැගී ආ දැවැන්ත ආණ්ඩු විරෝධයේදී ජවිපෙ අනෙකුත් ජාතිකවාදී බලවේග සමඟ එකට කටයුතු නොකර ප්‍රචන්ඩත්වය මත පදනම්ව ගෙන ගිය වැඩ පිළිවෙල නිසා සමස්තයක් වශයෙන් ජාතිකවාදී දේශපාලන බලවේගයන්ට එහිදී විශාල පාඩුවක් සිදු විය.

 94 න් පසු නැවත උපදින ජවිපෙ ප්‍රචන්ඩත්වය පසෙක ලා කටයුතු කිරීමත් සෝමවංශ - වීරවංශ නායකත්වය යටතේ විශේෂයෙන්ම 2000 න් පසු ජාතිකවාදී බලවේග සමඟ එක්ව කටයුතු කිරිමත් නිසා ජවිපෙ විශාල ප්‍රගතියක් ලැබීය. එය පාර්ලිමේන්තු ආසන 39 ක් දක්වා ලබා ගැනීමට තරම් සමත්විය.

මෙම අවස්ථාවේදීද ජවිපෙ ඉතාමත්
නිවැරදිව ලංකාවේ පොදු ජන ව්‍යාපාරයක සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු ජනයාට හිමි ස්ථානය සහ ඔවුන් ගේ ප්‍රධාන සතුරා බටහිර අධිරාජ්‍යයවාදය බවත්, දෙමළ බෙදුම්වාදය එහි ඒජන්තයෙක් ලෙස රඟ දක්වන භූමිකාවත් අවබෝධ කරගෙන කටයුතු කළ බව පෙනේ.

නමුත් ජවිපෙ බල අරගලයක් තුළින් සෝමවංශ - වීරවංශ ප්‍රමුඛ
ජාතිකවාදී හිතවාදී කොටස් ඉන් නෙරපා හැරීම මගින් ජවිපෙ අවස්ථාවාදී මෙන්ශෙවික් වාදයක සිර වී කාණු පල්ලට ඇද වැටෙන තැනකට අද පත්ව ඇත.

නව වම


1980 දශකය වන විට කොළඹ/ධනවත්/කතෝලික සමාජ ස්ථරයේ සිට සිංහල-බෞද්ධ/ගැමි/දිළිඳු සමාජ ස්ථරය දක්වා වූ බල හුවමාරුව ස්ථාවර තත්වයට පත්ව තිබූ නිසා එජාපයටද තමාගේ නාගරික/ධනවත්/කතෝලික හැව ඉවත් කර ජාතිකවාදී වෙස්මුහුණක් පැළඳ ගැනීමට සිදු විය. එතෙක් සිටි ටයි කෝට් පැළඳි ඩී.එස්. සර් ජෝන් සහ ඩඩ්ලි ලා වෙනුවට නැෂනල් ඇඳි ජේ.ආර්. ප්‍රේමදාස සහ ගාමිණී ඉදිරියට ආහ. ජේ.ආර්. පෙනී සිටියේ ධර්මිෂ්ඨ සමාජයක් වෙනුවෙනි. විශේෂයෙන්ම ප්‍රේමදාස හරහා එජාපය ගැමි/සිංහල බෞද්ධ/දිළිඳු සමාජ ස්ථරයන් වෙත සමීප විය.

මෙකල
පැරණි වම දිය වී යාමේදී ඉන් කුඩා කණ්ඩායම් කැඩි වෙන්විය. නව ලංකා සමසමාජ පක්‍ෂය, සමාජවාදී සමානතා පක්‍ෂය ආදී අටෝරාසියක් වාමාංශික පක්‍ෂ (මේවා බොහෝ දුරට ට්‍රොට්ස්කිවාදී පක්‍ෂ විය) ඇති වූ අතර, ඔවුන් මතවාදීව ඉතාමත් දුප්පත් පිරිසක් වූය. 

කාල් මාක්ස්
අවුරුදු සීයකට පෙර පළකල අසම්පූර්න අදහස් වලට දශමයක් වත් ඔබ්බෙන් දැකීමට අපොහොසත් වූ මේ නව වම, තම ප්‍රධාන සතුරා ලෙස හඳුනා ගත්තේ ලංකාවේ එවකට සැලකිය යුතු දේශපාලන බලයක් ලබා සිටි සිංහල-බෞද්ධ ගැමි සමාජ ස්ථරයයි.

 56 සිට 75 දක්වා සිද්ධ වූ සමාජ පෙරලිය ප්‍රගතිශීලි එකක් ලෙස දැකීමට අපොහොසත් වූ මේ පොත් ගුල්ලෝ මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට පහර දුන්හ. මෙහිදී ඔවුන් ගේ මිතුරා වූයේ බටහිර අධිරාජ්‍යයවාදයත්, එහි දේශීය ඒජන්‍තයෙක් වූ දෙමළ බෙදුම්වාදයත් ය.

ලංකාවේ පොදු ජනයාට සමාජවාදය අප්‍රිය කරවීමේ ලා නව
වම කර ඇති කාර්‍ය භාරය සුළුපටු නොවේ. මනඃකල්පිත සිංහල බෞද්ධ ධනපති පන්තියකට එරෙහිව සැබෑ බටහිර ධනවාදය සමඟ කඳවුරු බැඳගත් මේ මරි මෝඩයන් දුටුවානම්, ලෙනින් පශ්චාත් භාගයට ලාම්පුතෙල් ගසා ගිනි තබාගනු නිසැකය.