Tuesday, September 13, 2016

මිනි හයිඩ්‍රෝ නම් පිළිකාව​.



විදුලි බලය නිපදවන ශක්ති ප්‍රභව ගනනාවක් ඇත​. සුළං, සූර්‍ය බලය​, ඩීසල්, ගල් අඟුරු, ස්වාභාවික වායු, න්‍යෂ්ටික බලය සහ ජලය ඉන් ප්‍රධාන වේ.
ලංකාවේ වාණිජ්‍යය මට්ටමින් විදුලි නිෂ්පාදනයට භාවිතා කෙරෙන්නේ ජලය​, ඩීසල්, ගල් අඟුරු, සුළං සහ සූර්‍ය බලයයි.
මේවා අතරින් ජලය ප්‍රධාන ස්ථානයක් උසුලයි. ලංකාවේ අර්ථ දැක්වීමට අනුව මෙගාවොට් 10 කට වැඩි ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර ප්‍රධාන ජල විදුලි බලාගාර ලෙසත්, මෙගාවොට් 10ට අඩු ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර හෙවත් මිනි හයිඩ්‍රෝ ලෙසත් හැඳින්වේ.
විදුලිය නිෂ්පාදනය සඳහා යම් ශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් සැලකිල්ලට ගනී.
1. ලාබදායී බව​
2. පද්ධතියේ ස්ථායී බව​
3. පරිසර දූෂනය​
මෙම සෑම කරුනක් අතින්ම සලකා බැලීමේදී මිනි හයිඩ්‍රෝ යනු ඉතාමත් අවාසිදායී විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමයක් බව පෙනී යයි.

1. ලාබදායී බව​.

ඕනෑම ශක්ති ප්‍රභවයකින් විදුලි බලය නිෂ්පාදනය කිරීමට යම්කිසි පිරිවැයක් වියදම් වේ. මෙය ප්‍රභවයෙන් ප්‍රභවයට වෙනස් ය​. උදාහරණයකට ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 40ක් පමණ වැයවන අතර​, ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 6ක් පමණ වැය වේ.
ජලය මඟින් විදුලිය නිෂ්පාදනයට වැය වන්නේ විදුලි ඒකකයකට රුපියල් 1ක් පමණ ඉතා කුඩා මුදලකි. ඩීසල් ගල් අඟුරු මෙන් නොව ජලය නොමිලේ ලැබීම මීට හේතුවයි.
එම නිසා තර්කානුකූලව සිතා බැලුවොත් මිනි හයිඩ්‍රෝ මඟින් විදුලිය නිෂ්පාදනය වැඩි වන විට, විදුලි ඒකකයක් සඳහා වන සාමාන්‍යය පිරිවැය අඩු විය යුතු අතර, ඒ ලාභය පාරිභෝගික ඔබට ලැබිය යුතුය​.
නමුත් එසේ වන්නේ නැත​.
ලංකාවේ මිනි හයිඩ්‍රෝ බලාගාර එකක් හැර අන් සියල්ලේම අයිතිය පුද්ගලික සමාගම් සතු වන වේ. මෙම සමාගම් තම බලාගාර මඟින් නිෂ්පාදනය කරන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකුනන අතර​, විදුලි බල මණ්ඩලය ඒ විදුලිය පාරිභෝගික ඔබට විකුණයි.
විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියලක් වත් වියදම් නොවූවත්, මේ පුද්ගලික මිනි හයිඩ්‍රෝ බලාගාර හිමියෝ තම විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණන්නේ රුපියල් 11 බැගිනි! සෑම විදුලි ඒකකයකින්ම ඔවුන්ට රුපියල් 10 පමණ ලාබය​.
ඔවුන් එසේ ලාබ ලබද්දී පාරිභෝගික ඔබ විදුලිය සඳහා ලෝකයේ ඉහළම මිලක් ගෙවයි.
ඒ මදිවාට ඔවුන් මේ ලාබ ඉපයීම සඳහා අමු ද්‍රවය්‍යක් ලෙස භාවිතා කරන්නේ ඔවුන් ගේ පුද්ගලික බූදලයක් නොව, ලංකා වාසී සියළුම දෙනාට සමසේ අයිතිය ඇති සොබාවික දිය පහරවල ඇති ජලයයි.
මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලය් ඒ පාලනයෙන් තොරය​. ඔවුන්ට කැමති විට නිෂ්පාදනය කිරීමටත්, කැමැති විට නිෂ්පාදනය නොකර සිටීමටත් ඔවුන්ට නිදහස ඇත​. මෙම තත්වය යටතේ අධික වර්‍ෂාව ලැබෙන කාලවලදී, විදුලි බල මණ්ඩලය සතු ජලාශ පිටාර දමද්දී පවා එම බලාගාර සතු උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් සමහර විට උද්ගත වේ. ඒ විදුලිය නිපදවන තරම් පද්ධතියේ ඉල්ලුමක් නැති බැවිනි. නමුත් එවැනි අවස්ථාවක මිනි හයිඩ්‍රෝ මගින් නිෂ්පාදනය කරන විදුලිය නොමැති වූවා නම්, මණ්ඩලය සතු බලාගාර වලට උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කළ හැක​.
නමුත් අද ඇති තත්වය යටතේ ජලාශ පිටාර දමද්දී මණ්ඩලයේ බලාගාර අඩු ධාරිතාවයෙන් ක්‍රියා කරන අතර​, මිනි හයිඩ්‍රෝ උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරමින් අධික ලාභ උපයයි.

2. පද්ධතියේ ස්ථායී භාවය​

මිනි හයිඩ්‍රෝ මගින් ඉහළ විදුලි ජනනයක් කරනු ලබන්නේ වර්‍ෂාව අධික කාලයටය​. එම කාලයේදී විදුලි බල මණ්ඩලය සතු ජලාශ සඳහා ද ඇති තරම් ජලය ලැබෙන නිසා විදුලිය නිෂ්පාදනය ලොකු ප්‍රශ්නයක් නොවේ. විදුලි නිෂ්පාදනය ප්‍රශ්නයක් වන්නේ නියං සමයටයි. ඒ කාලවලදී මිනි හයිඩ්‍රෝ වල නිෂ්පාදනය අවම මට්ටමක පවතී. ඒ නිසා මිනි හයිඩ්‍රෝ මඟින් පද්ධතියේ ස්ථායී භාවයට ලැබෙන දායකත්වයක් නැති තරම් ය​.
ඇත්තෙන්ම කලිනුත් සඳහන් කළ ආකාරයට මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලයේ පාලනයෙන් තොර නිසා සමහර අවස්ථා වලදී පද්ධතියේ වෝල්ටීය තාවය අධික ලෙස ඉහළ යාම වැනි ප්‍රශ්න පවා ඇති වීමේ ඉඩක් ඇත​.

3. පරිසර දූෂනය​

බොහෝ දෙනා තුල ඇති අදහසක් වන්නේ ජල විදුලිය යනු පරිසර දූෂනය අවම ශක්ති ප්‍රභ්වයක් බවයි. නමුත් මෙය වැරදි සහගතය​.
විශාල හෝ කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා ජලය ලබා ගන්නේ ගංගාවක් හෝ වෙනත් දිය පහරක් හරස් කර එම ජලය වෙනත් මාර්ගයකට යොමු කිරීමෙනි. මෙය සොබාවික තත්වය මුළුමනින්ම උඩු යටිකුරු කිරීමකි.
විශාල විදුලි බලාගාර වලද මෙම තත්වය පවතින නමුත්, ඒවායින් අඩු මිලට විදුලි ජනනය කිරීමේ හැකියාව සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ වීම නිසා සිදුවන හානිය සාධාරනීකරනය කළ හැක​. එමෙන්ම, විශාල ව්‍යාපෘති වලදී පරිසර හානිය ගැන තක්සේරුවක් කොට ඒ සඳහා ප්‍රතිකර්ම යම් දුරකට දෙනු ලබයි. උදාහරණයකට ඉහළ කොත්මලේ ජලාශය ඉඳි කිරීමේදී ලංකාවට ආවේනික වූ නිශාචර ගොළුබෙල්ලෙක් "නැවත පදිංචි කිරීමකට​" ලක් කෙරිනි.
නමුත් මිනි හයිඩ්‍රෝ බලාගාර ඉඳි කිරීමේදී එවන් පරිසර ඇගයීමක් සිදු නොකෙරේ. කිසිදු වග විභාගයකින් තොරව හිතූ හිතූ පරිද්දෙන් දිය පහර හරස් කරනු ලබයි. ඒ මදිවාට ඒවායින් ලැබෙන ලාබයක් හෝ මහ ලොකු ධාරිතාවක් නැත​.
අද මධ්‍යයම කඳුකරය පුරා දිය පහරවල් හරස් කරමින් ඉඳි කර ඇති සිය ගණන් වූ මිනි හයිඩ්‍රෝ බලාගාර නිසා සිදු වී ඇති මරිසර හානිය නිසි ගණනය කිරීමක් හෝ කර ඇත්දැයි සැක සහිතය​. මෙය කෙලින්ම රටේ හදවතට පිහියෙන් ඇනීමක් බඳු වේ. මෙහි ප්‍රතිඵල අපිට ලැබෙන්නෙ තව අවුරුදු 10 කිනි.

මිනි හයිඩ්‍රෝ ජාවාරම​

ලංකාවේ බොහෝ පුද්ගලික ව්‍යාපාර මෙන්ම මිනි හයිඩ්‍රෝ ද අද ජාවාරමකි.
මෙම ජාවාරම ඇරඹෙන්නේ ශක්‍යතා අධ්‍යනයේ පටන් ය​. මිනි හයිඩ්‍රෝ බලාගාරයක් සඳහා යම් කිසි ස්ථානයක ශක්‍යතා අධ්‍යනයක් කළ පසු, එම ස්ථානයේ අයිතිය එම අධ්‍යයනය කළ පුද්ගලයා සතු වේ. එතැන බලාගාරයක් ඉඳි කිරීමට නම්, ඔහුට ඉතා විශාල මුදලක් ගෙවා එම අයිතිය ඔහුගෙන් මිලදී ගත යුතුය​.
ඉන් පසු බලාගාරය ඉඳි කිරීම ඇරඹේ. එහිදී සිදුවන පරිසර හානිය ගැන අමුතුවෙන් කිව යුතු නැත​.
බලාගාරයේ විදුලි නිෂ්පාදය ඇරඹූ දින සිට බලාගාර හිමියා අධික ලාබ ලැබීම අරඹයි. මෙගාවොට් එකක විදුලි බලාගාරයක් දිනකට පැය දොළහක් ක්‍රියාත්මක වුවහොත් විදුලි ඒකක දොළොස් දාහක් නිෂ්පාදනක කළ හැක​. එවිට ඉන් ලබන ලාබය දිනකට රුපියල් එක් ලක්‍ෂ විසි දාහකි.
මතක තමා ගන්න​, මේ දිනකට පැය දොළහක් ක්‍රියා කරන බලාගාරයකින් ලැබෙන ලාබයයි. අධික වැසි සමයට බලාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
ගල් අඟුරු මාෆියා, ඩීසල් මාෆියා, ඉංජිනේරු මාෆියා ගැන නිතර නිතර ඇසෙන්නට ලැබුණත්, ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ සැබෑ මාෆියාව ඇත්තේ මෙතැනය​.

No comments:

Post a Comment