Sunday, May 28, 2017

ලංකාවට එල්ල වූ චීන ආක්‍රමනය - 2

මිං රාජ වංශය​


කුබ්ලායි ඛාන් ප්‍රධාන මොංගෝලියානුවන් 1271 දි චීනයේ බලය අල්ලගෙන යුආන් රාජවංශය පිහිටුවනවා. ඔවුන් අවුරුදු 100 ක් පමණ චීනය පාලනය කරනවා.

1351 දි "හොංජිං ක්වී" (රතු ජටා කරුවෝ) නමින් හැඳින්වුන කැරලිකාරී සංවිධානයක් යුආන් රජවරුන්ට එරෙහිව කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ලට "බයිලින් ජියාඕ" (සුදු නෙළුම) නමින් හැඳින්වුන රහසිගත බෞද්ධ දේශපාලනික සංවිධානයක සහය ලැබෙනවා. මේ කැරැල්ල ඉතා වේගයෙන් චීනය පුරා පැතිරෙනවා.

1352 දි "ෂූ යුඅන්‍ෂැං" කියල 24 හැවිරිදි තරුණයෙක් කැරලි කරුවන්ට එක් වෙනවා. ඔහු අන්ත දුගී ගොවි පවුලක ඉපදිලා, පසුව බෞද්ධ භික්‍ෂුවක් විදිහට මහණ වුන කෙනෙක්. නමුත් ඔහුගේ පන්සල පවත්වාගෙන යන්න නොහැකි තරම් දුගී තත්වයට පත්වෙන නිසා වහල දානවා. ෂූ අවුරුද්දක කාලයක් හිඟන්නෙක් විදිහට තැන තැන ඇවිදිමින් කල් ගෙවනවා. අවුරුද්දකට පස්සෙ ෂූ නැවතත් පන්සලට එනවා. නමුත් ටික කාලෙකින්ම යුආන් රජවරුන් ගෙ හමුදාවක් කැරැල්ලක් මර්ධනය කිරීමේදී පන්සල සම්පූර්නයෙන්ම විනාශ කරනවා. කරන්න දෙයක් නැති කම නිසා ෂූ කැරලි කාරයන්ට එකතු වෙනවා.

ඉතා ඉක්මනින් ෂූ කැරලි නායකයෙක් බවට පත් වෙනවා. ඔහු යුධ ශිල්පයේ අති දක්‍ෂයෙක්. අවුරුදු හතරකට පස්සෙ 1356 දි ෂූ කැරලි හමුදාවක් මෙහෙයවලා දකුණු චීනයේ විශාලම නගරය වුන නැන්ජිං නගරය අල්ල ගන්නවා. 1360 වෙද්දි මුළු දකුණු චීනයම කැරලි කාරයො යටතට පත් වෙනවා. 1360-67 කාලයේදී කැරලි කණ්ඩායම් අතර යුද්ධ හටගන්නවා. 1367 වෙනකොට සියළු විරුද්ධවාදී කැරලි කණ්ඩායම් මර්ධනය කරල ෂූ යුඅන්‍ෂැං දකුණු චීනය​ඒ අසහාය නායකයා බවට පත්වෙනවා.

හොංවූ අධිරාජ්‍යයා
1368 දි ෂූ යුඅන්‍ෂැං ගේ රතු ජටා කැරලි හමුදාව උතුරු චීනය ආක්‍රමනය කරලා යුආන් රජවරු සම්පූර්නයෙන්ම පරාජය කරනවා. ෂූ යුඅන්‍ෂැං අධිරාජ්‍යය තනතුරට පත්වෙන්නෙ "හොංවූ" නමින්. චීනයේ මිං රාජවංශය එතැනින් ඇරඹෙනවා.

මිං අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ​

හොංවූ අධිරාජ්‍යයා ගෙන් පස්සෙ බලයට එන්නෙ ඔහුගේ පුතා වන යොංගල් අධිරාජ්‍යයා. ඔහු චීනයේ වෙළඳ ආධිපත්‍යය ආසියාව පුරා පතුරුවන්න සැලසුම් කරනවා. මේ වෙළඳ අධිරාජ්‍යය පිහිටුවීම සඳහා ඔහු චීන වෙළඳ නැව් ආසියාව පුරා යවනවා. විවිධ රාජධානි සහ පාලකයන් එක්ක වෙළඳ ගිවිසුම් වලට එළඹෙනවා. ඒවට විරුද්ධ වන පාලකයන් හමුදා බලයෙන් මැඩ පවත්වනවා.

මේ වෙළඳ අධිරාජ්‍යය ගොඩ නැංවීම සඳහා යොංගල් අධිරාජ්‍යයා හදන වෙළඳ​-හමුදා නැව් පන්තිය නැව් 300 කින් සමන්විත වුනා. මේ නැව් පන්තියේ විශාලම නැව් සමකාලීන යුරෝපීය නැව් වගේ දෙගුණයක් විශාලයි. මේ නැව් පන්තිය ලෝක ඉතිහාසයේ බිහිවුන බලවත්ම නාවික හමුදාවක් විදිහටයි සැලකෙන්නෙ.

ඒ නාවුක හමුදාවෙ නායකත්වය ලැබෙන්නෙ අද්මිරාල් "ෂෙං හේ" ට​. ෂෙං හේ 1405 ඉඳලා 1433 වෙනකං නාවුක ගමන් හතක යෙදෙනවා.

ෂෙං හේ ගෙ නාවුක ගමන්

අද්මිරාල් ෂෙං හේ


අද්මිරාල් ෂෙං හේ උපත ලබන්නෙ 1371 දි දකුණු චීනයේ යුනාන් ප්‍රාන්තයේ හුයි ජාතික පවුලක (හුයි ජාතිකයන් කියන්නෙ ඉස්ලාම් ආගම වැළඳ ගත්ත චීන ජාතිකයන්). ෂෙං හේ ගෙ පවුල මොංගෝලියානු යුආන් අධිරාජ්‍යයා ගේ පරිපාලන නිලධාරීන් විදිහට කටයුතු කරපු අය​.

1381 දි යුනාන් ප්‍රාන්තය පාලනය කරන්නෙ මොංගෝලියානු ජාතික කුමාරයෙක්. මිං අධිරාජ්‍යයා ගේ හමුදාව යුනාන් ප්‍රාන්තය ආක්‍රමනය කරාම ෂෙං හේ ගෙ පියා සටනෙන් මිය යනවා. මිං හමුදාව ෂෙං හේ අත් අඩංගුවට ගන්නවා. මේ දස හැවිරිදි කොළු ගැටයා ගේ නිර්භීතකම ගැන පැහැදෙන චීන සෙන්පතියා ඔහුව ෂූ ඩී කුමාරයට භාර දෙනවා. මේ ෂූ ඩී කුමාරයා තමයි පසුව යොංගල් අධිරාජ්‍යයා බවට පත්වෙන්නෙ.

ෂෙං හේ
ඒ කාලෙ සිරිත අනුව ෂූ ඩී කුමාරයා ෂෙං හේ ගේ ලිංගච්ඡේදනය කිරීමෙන් ඔහුව නපුංසකයෙක් බවට පත් කරලා ඔහුව රාජ සේවයට බඳව ගන්නවා. ෂෙං හේ යුධ ශිල්පයේ අති දක්‍ෂයෙක් වෙනවා. ඔහුට අඩි හයකට වඩා උස, ඉතාමත් ශක්තිමත් ශරීරයක් තිබ්බ බවටත්, සටන් බිමේ දි ව්‍යාඝ්‍රයෙක් වගේ එහා මෙහා ගිය බවත් චීන ඉතිහාසයේ සඳහන් වෙනවා.

ෂෙං හේ ක්‍රමයෙන් යොංගල් අධිරාජ්‍යයා ගේ ප්‍රධාන සහ විශ්වාසවන්තම යුධ සෙනවියා වෙනවා. ඒ නිසාම ආසියානු වෙළඳ අධිරාජ්‍යාය ගොඩනංවන මෙහෙයුම ලැබෙන්නෙ ෂෙං හේ ට​.

ෂෙං හේ ගේ ලංකා ගමන​


1405 දි ඇරඹෙන ෂෙං හේ ගේ පළවෙනි මුහුදු ගමනෙදි ඔහු බේරුවල වරායට එනවා. නමුත් ඉතා උඩඟු සහ අවිනීත පුද්ගලයෙක් වූ එවකට රයිගම පාලකයා වූ වීර අලකේෂ්වර ඔහුට ලංකාවට ගොඩ බැසීම තහනම් කරනවා. ගොඩ බැස්සොත් චීන නැව් වලට පහර දෙන්න විශාල හමුදාවකුත් ඔහු බේරුවලට යවනවා.

ෂෙං හේ ගෙ පළමු නාවුක ගමන වන මේ ගමනේ ප්‍රධාන අරමුණ වෙන්නෙ ඒ කාලයේ දකුණු ඉන්දියාවේ ප්‍රධානම වෙළඳ මධ්‍යස්ථානය වන කැලිකට් නගරය සමඟ වෙළඳ සබඳතා ගොඩ නංවා ගැනීම​. ඒ නිසා ඔහු වීර අලකේෂ්වර එක්ක යුද්ධ කරන්න යන්නෙ නෑ. නැව් ටික හරවගෙන ඉන්දියාව බලා යාත්‍රා කරනවා.

1409 දි කරන ඔහුගේ දෙවෙනි මුහුදු ගමනෙදි ෂෙං හේ ලංකාවට එන්නෙ නෑ. ඔහු නැවත ලංකාව ගැන අවධානය යොමු කරන්නෙ 1411 දි සිදු කරන තුන්වෙනි මුහුදු ගමනෙදි.

1411 දි ෂෙං හේ ප්‍රධාන චීන නාවුක පන්තිය කෙලින්ම යාත්‍රා කරන්නෙ කැලිකට් නගරයට​. ඔවුන් ලංකාවට එන්නෙ ආපසු චීනයට යන අතරතුරේ. එහිදී වීර අලකේෂ්වර ඔවුන් ව රට තුළට කැඳවනවා. ෂෙං හේ ප්‍රමුඛ චීන හමුදාවෙ වැඩි පිරිස රට තුලට ආවට පස්සෙ වීර අලකේෂ්වර තමාගෙ හමුදාව බේරුවල වරායට යවනවා චීන නැව් මංකොල්ල කන්න​. චීන හමුදාවට ආපසු බේරුවලට යාම වළක්වන්න ඔවුන් ආ මගේ ගස් කපා හෙළලා මාර්ගය අවහිර කරනවා.

මේ වෙලාවෙ ෂෙං හේ ඉතාමත් අවදානම් සහගත සහ නිර්භීත උපායක් යොදනවා. ඔහු චීන හමුදාවේ වැඩි පිරිසට හැකි ඉක්මනින් බේරුවල බලා ආපසු යන ලෙසත්, අතරමගදී පහරදීමකට ලක් වුනොත් මරණය දක්වා සටන් කරන්නත් අණ දෙනවා.

දෙදහසක සෙබළු පිරිසක් අරගෙන ෂෙං හේ රයිගම බලා පිටත් වෙනවා. ඔහු හිතන්නෙ සිංහල හමුදාවේ වැඩි පිරිස බේරුවලට ගිය නිසා රයිගම නගරයේ ආරක්‍ෂාවට ඉන්නෙ සුළු පිරිසක් කියල​.

ෂෙං හේ ගෙ උපාය නිවැරදියි. රයිගම නගරයේ ඉන්නෙ සුළු බල​ඇණිය කිසිසේත්ම චීන ප්‍රහාරයක් අපේක්‍ෂා කරන්නෙ නෑ. ඉතා ඉක්මනින් එල්ල කරන දරුණු ප්‍රහාරයකින් මුළු නගරයම ක්‍ෂනයකින් අල්ල ගන්න චීනුන්ට පුළුවන් වෙනවා. ඒ එක්කම වීර අලකේෂ්වරව ජීව ග්‍රහයෙන් ගන්නත් චීනුන්ට පුළුවන් වෙනවා.

ඒත් ප්‍රහාරය ගැන ආරංචි වෙන සිංහල හමුදාව බේරුවල ඉඳල ලහි ලහියේ ආපහු ඇවිත් චීනුන් නගරය ඇතුලෙ ඉද්දි රයිගම නගරය වට කරනවා. එතැනදි චීන හමුදාව සහ සිංහල හමුදාව අතර දරුණු සටනක් ඇති වෙනවා. සිංහල හමුදාව චීන හමුදාව වගේ කීප ගුණයක් විශාල වුනත් චීන හමුදාවට වාසි වන ප්‍රධාන කාරනා තුනක් තියෙනවා.

පළවෙනි එක ඔවුන්ව මෙහෙයවන්නෙ ඉතා දක්‍ෂ සෙන්පතියෙක් වන ෂෙං හේ. දෙවෙනි එක සිංහල සෙබළුන්ට වඩා චීන සෙබළු ක්‍රමවත් පුහුණුවක් ලද වෘත්තීය යුධ සෙබළු වීම​. තුන්වෙනි එක චීන සෙබළු ළඟ තිබ්බ තුවක්කු.

මේ කාලය වෙද්දි චීන හමුදාවන් අත් තුවක්කු වගේම උණ බම්බු වලින් හදපු රොකට් වෙඩි යුධ කටයුතු සඳහා භාවිතා කරල තියෙනවා. මේ ලංකාව ඇතුලෙ යුද්ධයකදි තුවක්කු භාවිතාවුන පළවෙනි අවස්ථාව​.

චීන තුවක්කු
මේ ඇතිවන දරුණු සටනෙන් වටලෑම බිඳගෙන ආපසු බේරුවලට යන්න චීන හමුදාවට පුළුවන් වෙනවා. ඔවුන් යන්නෙ වීර අලකේෂ්වර සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කීප දෙනෙකුත් සමඟ​.

සටනෙන් වීර අලකේෂ්වර ගේ සොහොයුරන් හතර දෙනෙක් මිය යනවා. ඒ එක්කම චීන වාර්තා වල දැක්වෙනවා 1426 දි ලංකාවෙදි ඇති වුන සටනෙදි අත් අඩංගුවට පත් වුන චීන සෙබළු හතර දෙනෙක් නැවත චීනයට ආ බව​. එයින් පැහැදිලි වෙනවා සමහර චීන සෙබළු සිංහල හමුදාව විසින් අල්ලා ගත් බවට​. සටනට සහභාගී වුන චීන සෙබළු රැසකට උසස් වීම් සහ වෙනත් පාර්තෝශික ලැබුන බව සඳහන් වන නිසා මේ සටන ඉතා දරුණු සටනක් වුන බව පැහැදිලියි.

ආක්‍රමනයෙන් පසු


අත් අඩංගුවට අරගෙන චීනයට අරගෙන යන වීර අලකේෂ්වර යොංගල් අධිරාජ්‍යයා ගේ රාජ සභාව ඉදිරියට පමුණුවනවා. එහිදී අධිරාජ්‍යයා ගේ ඇමති වරු ඔහුට මරණ දඬුවම දිය යුතු බව යෝජනා කරත්, අධිරාජ්‍යයා ඔහුට සමාව දෙනවා. නමුත් රයිගම බලය වෙනත් අයෙකුට ලබා දිය යුතු බව ඔහු යෝජනා කරනවා. මේ සිද්ධිය චීන වාර්තා වල දැක්වෙනවා. ඒවායේ වීර අලකේෂ්වර ගේ නම සඳහන් වෙන්නෙ "යාලීකුනායිර්" නමින්.

මේ අතර ලංකාවෙ ඇති වෙන්නෙ අරාජික තත්වයක්. ගම්පොළ රජතුමා බල රහිතයි. රයිගම පාලකයෙක් නෑ.

මේ අවස්ථාවෙදි රයිගම නගරය අසල තියෙන වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙනේ නායක හාමුදුරුවන් ඉදිරියට පැමිණිලා නව පාලකයෙක් පත් කිරීමේ වගකීම ලබා ගන්නවා.

උන් වහන්සේ යෝජනා කරන්නෙ කුඩා කල තමාගේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ, ගම්පොළ ජයමහලේනා සිටුවරයාගේ පුතා වන ජයමහලේන කුමාරයාව​. මේ වන විට ජයමහලේන කුමාරයා ගේ මව සහ පියා දෙදෙනාම මිය ගිහින්. ඔහු වීදාගම පිරිවෙනේ ආරක්‍ෂාව යටතේ තමයි ජීවත් වුනේ.

මේ යෝජනාව ගැන සිංහල ප්‍රධානින් යොංගල් අධිරාජ්‍යයාට දන්වනවා. ඔහු ඒ යෝජනාව පිළිගෙන ඒ බව දන්වලා හසුනක් ලංකාවට එවනවා. එහි ජයමහලේනා කුමාරයා ගේ නම සඳහන් වෙන්නෙ "යේබානේනා" විදිහට​.

ඉතාම වැදගත් කරුණක් වෙන්නෙ මේ හසුනේ සඳහන් වන අවසාන වාක්‍යය​.

"යේබානේනා වන ඔබ ඉතා යහපත් සහ ආචාරශීලී පුද්ගලයෙක් බව ඔබගේ රටේ ජනතාව මා හට දැනුම් දී ඇත​. එම නිසා මම ඔබව ලංකාවේ රජු ලෙස පත් කරමි"

මේකෙන් පැහැදිලි වෙනවා ජයමහලේනා කුමාරයා බලයට පත් වෙන්නෙ චීන අධිරාජ්‍යයාගේ පූර්ණ අනුග්‍රහය සහ අනුමැතිය යටතේ බව​.

ෂෙං හේ ගෙ මුහුදු ගමන් දිගටම කෙරෙනවා. ඒ හැම මුහුදු ගමනකම චීන නැව් පන්තිය ලංකාවට එනවා. ඒ අනුව පේනවා ලංකාව සහ චීනය අතර ඉතා කිට්ටු සබඳතාවයක් පැවතුන බව​.

ඒ වගේම වර්තමානයේ බේරුවල නගරයේ "චීන කොටුව​" නමින් හඳුන්වන ප්‍රදේශයක් තියෙනවා. ඒ අනුව හිතන්න පුළුවන් චීන බලකොටුවක් බේරුවල තිබුණු බවත්, චීන හමුදා ඛන්ඩයක් එහි රඳවා තිබුණු බවත්. මේ සෙබළු චීන වෙළෙන්දන්ට ආරක්‍ෂාව සපයන්න ඇති. නැතිනම් ජයමහලේනා කුමාරයාට ආරක්‍ෂාව සපයන්න ඇති. නැතිනම් චීන අධිරාජ්‍යයා ගේ බලය ලංකාවෙ පාලකයට නිතර සිහිපත් කරවීමේ උපායක් වෙන්න ඇති.

ජයමහලේනා


ජයමහලේනා කුමාරයා රයිගම බලයට පත් වෙන්නෙ 1412 දි. ඔහු 1414 දි තමාගේ පාලන නගරය කෝට්ටේ වෙත ගෙනියනවා. ඔහු එය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" ලෙස නම් කරනවා.

1419 වෙද්දි ගම්පොළ හිටපු පරාක්‍රම ඈපා මිය යනවා. ඒත් එක්කම ජයමහලේන කුමාරයා හමුදාවත් එක්ක ගම්පොළට යනවා. පරාක්‍රම ඈපා ගේ බෑණා වන "මෙහෙණවර තුනයා" සටනකින් තොරවම ඔහුට යටත් වෙනවා. දළදා වහන්සේ ජයමහලේන කුමාරයා යටතට පත් වෙනවා.

දළදා වහන්සේ ගේ හිමිකාරීත්වයත් සමඟම ජයමහලේන කුමාරයාට ලංකාවේ රාජ්‍යත්වයට නිල උරුමය ලැබෙනවා. ඔහු කෝට්ටේ අගනුවර කරගෙන 1419 දි රජ වෙනවා. ඒ හයවන පරාක්‍රමබාහු නමින්. ලංකාවෙ අරාජික සමය එතැනින් නිම වෙනවා.

පසු කාලීනව හයවන පරාක්‍රමබාහු රජතුමා ආර්‍ය චක්‍රවර්තීන් පරාජය කරලා ලංකාව එක්සේසත් කරනවා. ලංකාව අවසන් වරට එක්සේසත් කළ රජු වෙන්නෙ ඔහු. ඔහු ගේ පාලනය යටතේ ලංකාව ඉතා බලවත් මෙන්ම සමෘධිමත් යුගයකට එළැඹෙනවා.

මේ සඳහා ඔහුට චීන සහයත් ලැබුනද​?

(ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ​)

Saturday, May 27, 2017

ලංකාවට එල්ල වූ චීන ආක්‍රමනය​ - 1 (පසුබිම​)



යාපනයේ දේශපාලන ඉතිහාසය​


1215 දි කාලිංග ජාතික මාඝ කුමාරයා ලංකාව ආක්‍රමනය කරල පොළොන්නරුව සහ අනුරාධපුරය විනාශ කලාට පස්සෙ, සිංහල රජවරු දඹදෙණියට පසු බැහැල එතන අගනුවර පිහිටුවා ගන්නවා. ඒ 1220 දි තුන්වෙනි විජයබාහු රජතුමා යටතේ.

කාලිංග මාඝ තමාගේ අගනුවර ලෙස තෝර ගන්නෙ යාපනය​. ඔහු යාපනයේ ඉඳන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය කරනවා.

1255 දි වර්තමාන මැලේසියාවේ තිබුණ රාජධාණියක් වන "තාම්‍රලිංග" රටේ රජතුමා වන "චන් ද්‍රභානු" ලංකාව ආක්‍රමනය කරනවා. ඔහු මැලේ ජාතිකයෙක් සහ බෞද්ධයෙක්. නමුත් මේ කාලයේ අග්නිදිග ආසියා කලාපයේ සියළුම ජනවර්ග සිංහලයන් විසින් හැඳින්වුයේ "ජාවක​" නමින්. ඒ නිසා අපේ වංශකතාවල චන් ද්‍රභානු හැඳින්වෙන්නෙ ජාවක රජෙක් විදිහට​.

චන් ද්‍රභානු ගෙ හමුදාව ලංකාවේ දකුණ ආක්‍රමනය කළත්, ඒ වෙනකොට දඹදෙණියේ රජු වුන දෙවන පරාක්‍රමබාහු රජතුමා ඔවුන්ව පසු බස්සවන්න සමත් වෙනවා. එතකොට චන් ද්‍රභානු උතුරට ගොඩ බැහැලා කාලිංග මාඝව මරලා යාපනය යටත් කරනවා. ඔහුගේ හමුදාව විෂ ඊතල භාවිතා කළ බව ඉතිහාසයේ කියැවෙනවා.

එතැන් සිට ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය වෙන්නෙ තාම්‍රලිංග රාජධානියේ කොටසක් විදිහට​. චන් ද්‍රභානු ගෙ බලකොටුව පිහිටි ප්‍රදේශය එදා හැඳින්වුනේ "ජා බලකොටුව​" කියන අරුත දෙන "ජාවකකෝට්ටේ" නමින්. අද එය දෙමළ ඌරුවට "චාවාකච්චේරි" කියල හැඳින්වෙනවා.

මේ කාලයේ කලාපයේ බලවත්ම රාජධාණිය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යය​. චන් ද්‍රභානු නැවත වතාවක් දඹදෙණිය ආක්‍රමනය කරන්න සූදානම් වුනාම දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය අධිරාජ්‍යයා ගෙන් උදව් ඉල්ලනවා. ඒ අනුව 1263 දි පාඬ්‍යය සේනාවක් යාපනයට ගොඩ බැහැල තාම්‍රලිංග හමුදාවන් පරාජය කරනවා. සටනෙන් චන් ද්‍රභානු මිය යනවා.

පාඬ්‍යය වරු චන් ද්‍රභානු ගෙ පුතා වන "සවකන්මයින්ඩන්" කුමාරයා යාපනයේ පාලකයා කරනවා. නමුත් පාඬ්‍යය අධිරාජ්‍යයට කප්පම් ගෙවන කොන්දේසිය මත​.

ප්‍රකට දේශ සංචාරකයෙක් වන මාර්කෝ පෝලෝ ලංකාවට එන්නෙ මේ කාලයේදී. ඔහු ත්‍රිකුණාමලයෙන් ගොඩ බැහැල එන්නෙ යාපනය ප්‍රදේශයට​. ඔහුගේ විස්තරයේ වැඩිපුර සඳහන් වෙන්නෙ යාපනය ප්‍රදේශය සහ එහි වැසියන් ගැන​. ලංකාවෙ රජු ලෙස ඔහු විස්තර කරන්නෙ සවකන්මයින්ඩන් ව​. ඔහුගේ විස්තරයේ ලංකාවේ රජු ගෙ නම ලෙස සඳහන් වෙන්නෙ "සෙන්ඩෙමයින්".

1277 දි සවකන්මයින්ඩන් දඹදෙණිය ආක්‍රමය කරන්න තැත් කරනවා. නමුත් ආයෙත් පාඬ්‍යය අධිරාජ්‍යය සිංහල රජුගෙ උදව්වට හමුදාවක් යාපනයට එවනවා. ඔවුන් සවකන්මයින්ඩන් මරා දමල යාපනයේ පාලකයා වශයෙන් පාඬ්‍යය රජුගේ අමාත්‍යයෙක් වන "කුලසේකර සින්කෛයාරියම්" පත් කරනවා. ඔහු තමයි "ආර්‍ය චක්‍රවර්තී" කියල ලංකා ඉතිහාසයේ සඳහන් වන යාපනයේ දෙමළ පාලකයන් ගෙ ආරම්භකයා.

ලංකාව සහ පාඬ්‍යය අධිරාජ්‍යය​
එතැනින් යාපනයේ ජාවක පාලනය අවසන් වෙනවා. එතැන ඉඳල යාපනය පාලනය වෙන්නෙ පාඬ්‍යය අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් විදිහට​. නමුත් පසු කාලීනව පාඬ්‍යය අධිරාජ්‍යයේ බලය හීන වෙනකොට ආර්‍ය චක්‍රවර්තීන් ස්වාධීන වෙනවා.

 දඹදෙණිය යුගය​


දඹදෙණි යුගයේ පළවෙනි රජතුමා වෙන්නෙ තුන්වෙනි විජයබාහු. ඒ 1220 දි. ඔහුගෙන් පස්සෙ 1234 දි දෙවෙනි පරාක්‍රමබාහු (පණ්ඩිත පරාක්‍රමබාහු) සහ 1269 දි හතරවන විජයබාහු රජවෙනවා.


දඹදෙණියේ දළදා මැදුර ලෙස භාවිතා වුනු විජයසුන්දරාරාමය​
ඉන් පසුව 1271 දි රජවෙන පළවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්නෙ යාපහුවෙ ඉඳලා. 1283 දි පාඬ්‍යය හමුදාවක් යාපහුවට පහර දීලා රජු මරලා දළදා වහන්සේ පාඬි රටට පැහැරගෙන යනවා. ඊට පස්සෙ අවුරුදු 10 ක අරාජික සමයක් පවතිනවා.

1302 දි තුන්වෙනි පරාක්‍රමබාහු රජතුමා පාඬ්‍යය රජු ගෙන් නැවත දළදා වහන්සේ ලබාගෙන රජකමට පත්වෙනවා. ඔහු රාජ්‍යය කරන්නෙ පොළොන්නරුවෙ ඉඳල​.

ඔහු ගෙන් පස්සෙ 1310 දි රජවෙන දෙවෙනි භුවනෙකබාහු රාජ්‍යය කරන්න තෝරගන්නෙ කුරුණෑගල​. ඊට පස්සෙ 1325 දි හතරවන පරාක්‍රමබාහු රජකමට පත් වෙනවා. ඒ අවුරුද්දෙම තුන්වෙනි භුවනෙකබාහු (වන්නි භුවනෙකබාහු) ඔහුගෙන් රාජ්‍යය පැහැර ගන්නවා. නමුත් නැවතත් ඒ අවුරුද්දෙම පස් වෙනි විජයබාහු (සවුළු විජයබාහු) රාජ්‍යය පැහැර ගන්න සමත් වෙනවා. සවුළු විජයබාහු රජතුමා 1345 වෙනකං කුරුණෑගල ඉඳලා රාජ්‍යය කරනවා.

මේ කාලයේදී ආර්‍ය චක්‍රවර්තීන් ඉතා බලවත් තත්වයකට පත්වෙලා ඉන්නෙ. ඔවුන් ගේ බලය නැගෙනහිර වෙරළෙන් ත්‍රිකුණාමලය දක්වාත්, බටහිර වෙරළෙන් කොළඹ දක්වාත් පැතිරුනා. ඒ ප්‍රදේශවල බදු රැස් කිරීමට පවා ඔවුන්ට බලය තිබ්බා. මේ කාලයේදී තමයි (1344) ප්‍රකට දේශ සංචාරකයෙක් වන ඉබන් බතූතා ලංකාවට එන්නෙ. ඔහුගේ විස්තරයේ පැහැදිලිවම සඳහන් වෙනවා කුරුණෑගල රජු සහ ආර්‍ය චක්‍රවර්තීන් දිවයිනේ කොටස් වෙන වෙනම පාලනය කළ බව​.

අලගක්කෝණාර පරපුර​


පොළොන්නරු යුගයේ දි දකුණු ඉන්දියාවේ කාංචිපුරම් නගරයේ ඉඳලා "අලගක්කෝන්" කියල හැඳින්වුන පවුලක් ලංකාවට සංක්‍රමනය වෙනවා.

කාංචිපුරම් නගරය දකුණු ඉන්දියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයක් වගේම කාලයක් ථෙරවාද බෞද්ධ ආගම තදින් පැතිරී තිබුණ ප්‍රදේශයක්.

කාංචිපුරම් නගරයේ ඉඳල අලගක්කෝන් වරු ලංකාවට එන්නෙ සිංහල රජතුමාගෙ හමුදාවේ නිලධාරීන් විදිහට සේවය කරන්න​. පසුව මොවුන් සිංහලයන් බවට පත්වෙලා ලංකාවේ පදිංචි වෙනවා. ඔවුන් ලංකාවෙදි හැඳින්වෙන්නෙ "අලගක්කෝනාර​" හෙවත් "අලකේෂ්වර​" නමින්. සිංහල රජුගේ රාජ්‍ය සභාවේ ප්‍රභල තැනක් ලබාගන්න ඔවුන්ට පුළුවන් වෙනවා.

අලගක්කෝනාර පවුලේ වැඩි දෙනෙක් පදිංචි වෙන්නෙ ලංකාවෙ බටහිර වෙරළ ප්‍රදේශයේ. මේ කාලයේදී ලංකාවෙ ප්‍රධාන වෙළඳ වරාය වෙන්නෙ බේරුවල​. ඒ නිසා බටහිර වෙරළ ආශ්‍රිතව පදිංචි වෙන අලගක්කෝණාර වරුන්ට ලංකාවෙ විදේශ වෙළඳාමට සම්බන්ධ වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒකෙන් ඔවුන් සැලකිය යුතු ධනයක් රැස් කර ගන්නවා.

අලගක්කෝණාර පරපුරේ ප්‍රභලයෙක් වන නිශ්ශංක අලගක්කෝණාර බටහිර ප්‍රදේශයේ ආර්‍ය චක්‍රවර්තීන් ගේ බලය බිඳීමට කටයුතු කරනවා. ඔහු කොළඹ​, වත්තල​, මීගමුව සහ හලාවත (මේ සියල්ලම වෙළඳ තොටවල්) ආදී ප්‍රදේශ වල රඳවා තිබූ ආර්‍ය චක්‍රවර්තීන් ගේ බදු එකතු කරන්නන් සහ ඔවුන් ගේ සේනා පලවා හැරලා බටහිර ලංකාවේ සිංහල රජතුමාගෙ බලය නැවතත් තහවුරු කරනවා.

ඊට පස්සෙ ආර්‍ය චක්‍රවර්තීන් ගෙන් එල්ල වෙන්න පුළුවන් ආක්‍රමනයකට මුහුණ දෙන්න කොළඹට නුදුරෙන් විශාල සහ ශක්තිමත් බලකොටුවක් ඉඳි කරනවා. එතැන හැඳින්වෙන්නෙ "බලකොටුව​" යන අරුත ඇති "කෝට්ටේ" නමින්.

මේ සිද්ධිය සිදු වන වර්‍ෂය හරියටම පැහැදිලි නැතත්, 1344 දි නිශ්ශංක අලකක්කෝණාර විසින් පිහිටවූ සෙල්ලිපියක් කැළණියේ කිත්සිරිමෙවන් විහාරයේ තියෙන නිසා ඒ ආසන්න කාලයකදි සිදු වූ දෙයක් බව හිතන්න පුළුවන්.

අලගක්කෝණාර වරු තමාගේ වාසයට තෝර ගන්නෙ රයිගම නගරය​. රයිගම නගරය පිහිටල තිබ්බෙ අද පානදුර නගරයට නුදුරෙන් තියෙන ගැලනිගම ප්‍රදේශයේ. එතැන අද පිහිටුවලා තියෙන පුෂ්කරාරාමය නම් විහාරය තිබ්බ තැන තමයි අලගක්කෝණාර වරුන් ගෙ නිවාසය පිහිටුවල තිබ්බෙ. ඒ වටා ඉඳි කරල තිබ්බ කොටු පවුරේ නටබුන් අදත් දකින්න පුළුවන්.


කොටු පවුරේ නටබුන්
රයිගම ඉඳලා ගාල්ලේ ඉඳල මීගමුව දක්වා සියළුම වෙළඳ තොටුපල වලින් කෙරුණු වෙළඳාම පාලනය කරන්න අලගක්කෝණාර වරුන්ට පුළුවන් වුනා. ඒ මගින් ඔවුන් විශාල ධනයක් සහ බලයක් ලබා ගත්තා.

ගම්පොළ රාජධාණිය​


සවුළු විජයබාහු රජතුමා ගේ අවසාන කාලයේදී ඔහුගේ අමාත්‍යය වරු ඔහුට විරුද්ධව කුමන්ත්‍රනයක් කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඔහු අන්ධ වෙනවා.

1345 දි සවුළු විජයබාහු රජතුමා මිය යනවා. එතැනදි ඔහුගේ පුතුන් දෙදෙනා අතර රාජ්‍යත්වයට ආරවුලක් ඇති වෙනවා. එක් පුතෙක් හතරවන භුවනෙකබාහු නමින් ගම්පොළ ඉඳගෙනත්, අනෙක් පුතා පස්වන පරාක්‍රමබාහු නමින් දැදිගම ඉඳගෙනත් රාජ්‍යත්වයට උරුමකම් කියනවා.

නමුත් රාජ්‍යත්වයේ සලකුණ විදිහට සැලකුන දළදා වහන්සේ වැඩ සිටියේ ගම්පොළ නිසා නීත්‍යානුකූල රජු විදිහට සැලකුනේ හතරවන භුවනෙකබාහු. මේ කාලයේ දී දළදා වහන්සේ වැඩ සිටියේ වර්තමාන ගම්පොළ නගරයට නුදුරෙන් පිහිටි නියම්ගම්පාය විහාරයේ. ගම්පොළ රාජමාළිගය පිහිටල තිබ්බෙ වර්තමාන ගම්පොළ නගරයේ බස්නැවතුම් පොළ පිහිටා ඇති ස්ථානයේ.


නියම්ගම්පාය​ විහාරය​

1353 දි හතරවන භුවනෙකබාහු රජතුමා මියගිය පසු පස්වන පරාක්‍රමබාහු දැදිගම ඉඳල ගම්පොළට ඇවිල්ල දළදා වහන්සේ සහ රාජ්‍යත්වය භාරගන්නවා.

නමුත් හතරවන භුවනෙකබාහු රජු ගේ පුතා වන වික්‍රමබාහු කුමාරයා පස්වන පරාක්‍රමබාහු රජතුමා ගෙන් රජකම පැහැරගන්න උත්සහ කරනවා. මේ සඳහා ඔහු ආර්‍ය චක්‍රවර්තීන් ගෙන් සහය ලබාගත්ත බව කියැවෙනවා. 1357-1359 කාලය තුල මේ දෙන්නගෙ බල ආරවුල තියෙනවා. 1359 දි වික්‍රමබාහු කුමාරයා බලය තහවුරු කරගන්න සමත් වෙනවා. ඔහු තුන්වන වික්‍රමබාහු නමින් ගම්පොළ රජවෙනවා.

ඔහුට ලබා දුන් උදව් වල හිලව්වට ආර්‍ය චක්‍රවර්තීන්ට හාරිස්පත්තුව ආදී ප්‍රදේශ වලින් බදු එකතු කරගැනීමට ඉඩ ලබා දෙනවා. හාරිස්පත්තුව දක්වා බදු එකතු කරන්න පුළුවන් කම තිබ්බ කියන්නෙ ආර්‍ය චක්‍රවර්තීන් මේ වෙද්දි ඉතා බලවත් තත්වයක හිටිය කියන එක​.

ගම්පොළ රාජසභාවෙ මොන තත්වය තිබ්බත් මේ වෙද්දි දකුණේ සැබෑ බලවතුන් වුනේ අලකක්කෝණාර වරු. කඳුකරයෙන් පහල කිසිම බලයක් රජතුමාට තිබ්බෙ නෑ. ඒ සියල්ල පාලනය කලේ රයිගම හිටපු අලගක්කෝණාර වරු (මේ තත්වය ජපානයේ අධිරාජ්‍යයා නාමික තත්වයේ තියලා සැබෑ බලය ෂෝගුන් විසින් හෙබවීමට සමාන කරන්න පුළුවන්).

මේ කාලයේදී නිශ්ශංක අලකක්කෝණාර වික්‍රමබාහු රජු ගේ සොහොයුරිය විවාහ කර ගන්නවා. වික්‍රමබාහු රජුට පුතුන් නොමැති නිසා එම විවාහයෙන් ලැබෙන පුතා තමයි ඔහුගේ ඇවෑමෙන් 1370 දි ගම්පොළ රජ වෙන්නෙ. ඒ පස්වන භුවනෙකබාහු නමින්.

මේ කාලය වෙද්දි පස්වන පරාක්‍රමබාහු රජු ගේ පුතා ගම්පොල රාජ සභාවේ ඇමති වරයෙක් වශයෙන් කටයුතු කරල තියෙනවා. ඔහු හැඳින්වුනේ "ජයමහලේන​" සිටුවරයා ලෙස​. මේ ජයමහලේන සිටුවරයා නියම්ගම්පාය විහාරය ප්‍රතිසංස්කරණය කරවන්න සහ වල්ලහගොඩ විහාරය සහ දේවාලය ඉඳි කරන්න කටයුතු කරල තියෙනවා (1917 සිංහල​-මුස්ලිම් කෝලහලයට හේතු වෙන්නෙ මේ වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පල්ලියකින් බාධා කිරීම​). අද නියම්ගම්පාය විහාරය සහ වල්ලහගොඩ ප්‍රදේශය හැඳින්වෙන්න ජයමහලේන සිටුවරයා ගෙ නමින් "ජයමාලපුර​" කියල​.

ඔහුගේ බිරිඳ වෙන්නෙ සුනේත්‍රා. මේ දෙන්නට පුතෙක් ඉන්නවා. ඒ පුතා හැඳින්වෙන්නෙ ජයමහලේන කුමාරයා කියල​.

රයිගමයයි - ගම්පොළයයි


පස්වන භුවනෙකබාහු රජතුමා රාජවාංශිකයෙක් නොවුන අලකක්කෝණාර වරයෙක් ගෙ පුතෙක් නිසා ඔහුට ලොකු සහයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසාම ඔහුගේ පාලන කාලය තුල ගම්පොළ රාජ්‍ය බලය ඉතා දුර්වල තත්වයට පත්වෙනවා.

මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න ආර්‍ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමනය කරනවා. මේ ආක්‍රමනය මුහුදු ආක්‍රමනයක් සහ ගොඩබිම් ආක්‍රමනයක් විදිහට දෙපැත්තකින් සිද්ධ වෙන්නෙ.

ගොඩබිම් ආක්‍රමනය එල්ල වෙන්නෙ අනුරාධපුරය හරහා. ආර්‍ය චක්‍රවර්තී සේනාව මාතලේ දක්වා ඇවිල්ල මාතලේ කඳවුරු ලා ගන්නවා. එතකොට පස්වන භුවනෙකබාහු රජතුමා කරන්නෙ රයිගමට පලා යාම​.

මේ සිද්ධියෙන් රජුගේ හමුදාව දැඩි ලෙස කලකිරෙනවා. "අපේ සේනාව හැර දමා පලාගිය නිවට රජෙක් ගෙන් කුමන ප්‍රයෝජනයක් දැ" යි කලකිරුණු සේනාව තමා විසින්ම සංවිධානය වෙලා මාතලේ දක්වා ගමන් කරනවා. රාත්‍රියේදී ආර්‍ය චක්‍රවර්තී කඳවුරට එල්ල කරන හදිසි ප්‍රහාරයකින් ඔවුන්ව පළවා හරින්න මේ හමුදාවට පුළුවන් වෙනවා.

මුහුදෙන් එල්ල වෙන ආක්‍රමනය එන්නෙ කෝට්ටේ ට එරෙහිව​. මේ සේනාව පානදුරෙන් ගොඩබැහල ගොරකානෙ (මොරටුව​) සහ දෙමටගොඩ කඳවුරු ලා ගන්නවා. අලගක්කෝණාර ගෙ හමුදාව ඔවුන්ට පහර දීල දරුණු සටනකින් පස්සෙ ඔවුන්ව පළවා හරින්න සමත් වෙනවා. මේ නිශ්ශංක අලගක්කෝණාර ද නැත්තම්, ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් ද කියල පැහැදිලි නෑ.

මේ විදිහට සිංහල රාජ්‍ය බලය ගම්පොළ සහ රයිගම අතර බෙදිලා රට දුර්වල වීම සිංහල ගැමියන් ගෙ කලකිරීමට හේතු වෙනවා. ඒ නිසාම ඔවුන් රයිගමයා සහ ගම්පොළයා කියල ජනකතා චරිත දෙකක් නිර්මානය කරනවා. මේ චරිත දෙකෙන් කියැවෙන්නෙ තමන් කපටියන් කියල හිතාගෙන ඉන්න​, එකිනෙකාට එරෙහිව උපායන් යොදලා තමාගෙ වාසිය සලසවා ගන්න උත්සහ කරන​, නමුත් ඇත්තෙන්ම හද්ද මෝඩ "යාළුවො" දෙන්නෙක් ගැන​.

ගම්පොළ රජ පවුල​


මේ සිද්ධියෙන් පස්සෙ ගම්පොළ රජතුමාට නාමික බලයක් වත් ඉතුරු වෙන්නෙ නෑ. සම්පූර්න රාජ්‍යබලය හිමිවෙන්නෙ රයිගම ඉන්න අලගක්කෝණාරට​. නමුත් දළදා වහන්සෙ වැඩ ඉන්නෙ ගම්පොළ නිසා අලගක්කෝණාර වරුන්ට "රජ​" පදවිය ලැබෙන්නෙ නෑ.

පස්වන භුවනෙකබාහු රජතුමා 1408 දි මිය යාමෙන් පසුව රජවෙන්නෙ පරාක්‍රමබාහු ඈපා. පරාක්‍රමබාහු ඈපා රජවූ පසුත් යුවරජ කියන අරුත දෙන "ඈපා" නමින් ම හැඳින්වීමෙන් ම ඔහුගේ බෙලහීන බව පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම මේ කාලය අරාජික සමයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි.

රයිගම මේ වෙද්දි බලයේ ඉන්නෙ වීර අලකේෂ්වර නමින් හැඳින්වෙන අලකක්කෝණාර වරයා. ඔහු සහ ඔහුගේ සහෝදරයෙක් වන මෙහණවර වීරබාහු අතර බල අරගලයක් තිබූ බවත් ඉතිහාසයේ සඳහන්. ඊට අමතරව අර්ථනායක සහ දේවමන්ත්‍රී නමින් හැඳින්වුන සොහොයුරන් දෙන්නෙක් ගැනත් සඳහන් වෙනවා.

1405 වෙද්දි ලංකාවෙ දේශපාලන තත්වය ඔය වගේ.

(ප්‍රධාන මූලාශ්‍රය : ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම - අජිත් අමරසිංහ​)

Sunday, May 14, 2017

ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම​



1413 දි ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා වෙන්නෙ අෂිකගා යොෂිමෝචි (ෂෝගුන් කියන්නෙ බලවත් සමුරායි වරයෙක්).

යොෂිමෝචි බුද්ධාගමේ හොඳ අනුග්‍රාහකයෙක්. විශේෂයෙන්ම ඔහු සෙන් බුදු දහමට දැඩි කැමැත්තක් දැක්වුවා.

සෙන් සම්ප්‍රදායේ සංකල්පයක් තියෙනවා "කෝඅන්" කියල​. කෝඅන් කියන්නෙ දාර්ශනික ප්‍රශ්න​. උදාහරනයකට "තනි අතින් අත්පුඩි ගහද්දි සද්දෙ මොකද්ද​?". එහෙම නැත්තං "කවුරුත් නැති කැලේක ගහක් කඩාගෙන වැටුනොත් ඒකෙන් සද්දයක් එයිද​?"

බටහිර සාහිත්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා "විශිෂ්ඨ සම්ප්‍රප්පලාප (brilliant nonsense)" කියල​. ලුවිස් කැරොල් ගේ ඇලිස් ගේ විශ්මලන්තය ලියල තියෙන්නෙ මේ සම්ප්‍රදායෙන්. ඒ කතාවල කිසි තේරුමක් නෑ. නමුත් සාහිත්‍යය රසයෙන් උසස්.

බොහෝ බටහිරයන් මේ කෝඅන් සලකන්නෙත් විශිෂ්ඨ සම්ප්‍රප්පලාප විදිහට​. නමුත් ඒව සම්ප්‍රප්පලාප නෙවෙයි. ඒවයින් සාකච්ඡා කෙරෙන්නෙ බුදු දහමේ ඉතා ගැඹුරු සංකල්ප​.

යොෂිමෝචිත් ඒ කාලෙ ජපානයේ හිටපු ප්‍රසිද්ධ සෙන් හාමුදුරුවරුන් ගෙන් කෝඅන් ප්‍රශ්නයක් ඇහුවා.

"ලබු කට්ටකින් අංකුට්ටෙක් අල්ලන්නෙ කොහොමද​?"

අංකුට්ටා (catfish) කියන්නෙ බොහොම ලිස්සන සුළු ඇඟක් තියෙන වේගයෙන් වෙට්ටු දාල පීනන්න පුළුවන් මාළුවෙක්. ලබු කට්ටක් කියන්නෙත් බොහොම සිනිඳු මතුපිටක් තියෙන දෙයක්. ඒ වගේම ලබු කට්ටෙ කට අංකුට්ටව ඇතුලට දාගන්න බැරි තරම් පොඩියි.

ලබු කට්ටක්

අංකුට්ටෙක්

ඉතින් ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලනව කියන්නෙ කරන්න අමාරු වැඩක්. කරන්න බැරි වැඩක් කියලත් කියන්න පුළුවන්.

හාමුදුරුවරුත් එකතු වෙලා මේකට උත්තරයක් හැදුව​. ඒ උත්තරය සමන්විත වුනේ චිත්‍රයක් සහ කවි තිස් එකකින්. ප්‍රසිද්ධ සෙන් භික්‍ෂූන් තිස් එක් නමක් කවිය බැගින් ලියල තමයි කවි තිස් එක සමන්විත වෙන්නෙ.

චිත්‍රය ඇන්දේ ඒ කාලේ ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී භික්‍ෂුවක් වුන "ජොසෙත්සු" හිමි නම​.

යොෂිමෝචි මේ ප්‍රශ්න ඇහුවෙ හාමුදුරුවරුන්ට කොලොප්පමක් කරන්නත් එක්ක​. මේක තේරුම් ගත්ත හාමුදුරුවරු තමන් ගෙ උත්තරෙට​ත් හාස්‍යය රසය නොමදව එක් කරා.

සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන පරිසරයක ගලා ගෙන යන පොඩි දොල පාරක්. ඒක ගස් ගල්  අතරින් වංගු දාගෙන ගලන්නෙ. දොල අයිනෙ පොඩි උණ පඳුරක් තියෙනවා. දොලේ පැත්තක් ජලජ තණකොළ පඳුරු වලින් වැහිල​. ඈතින් මීදුම අතරින් කඳු ගැට කීපයක් මුදුන් පේනවා.

දොළේ එක තැනක බොහොම ප්‍රීතියෙන් වරල් විදහාගෙන පීනන අංකුට්ටෙක් ඉන්නවා.

දොළ අයිනෙ ලබු කට්ටක් අතේ තියාගෙන ඉන්න මනුස්සයෙක් අංකුට්ටව අල්ලන්න උත්සහ කරනවා. ඔහු ඇඳල ඉන්නෙ වැරහැලි. මූනේ දැලි රැවුළු වැවිලා.

මුළු සිතුවමේම තියෙන්නෙ ගූඪ බවක්. මුළු පරිසරයම වහගෙන ඉන්න මීදුමෙන් ඒ ගූඪ බව තියුණු කරනවා. ඒ වගේම සිතුවමෙන් වැඩි හරියක් හිස් අවකාශය​. මීදුමෙන් සියල්ල වැහිල. සිතුවමෙන් සන්නිවේදනය කෙරෙන්නෙ අඳුරු, නිසල, පාළු, ශීතල ගතියක්.

සිතුවම ඇඳල තියෙන්නෙ අළු පාටෙ විවිධ ප්‍රභේද වලින්. දොල පාර​, අංකුට්ටා, උණ පඳුර වගේම මිනිහා ගෙ ඇඳුමත් අළු පාටයි. ඒකෙන් මීදුමෙන් වැහුන සොබාවය කදිමට නිරූපනය වෙනවා.

නමුත් මේ සියල්ලටම වෙනස් විදිහකට ලබු කට්ට විතරක් රන් වන් පැහැයෙන් වර්ණ නංවලා.

ඒ වගේම මුළු සිතුවමේම තියෙන්නෙ බොහොම මට සිලුටු වක්‍ර​. දොල පාර​, උණ පඳුර​, දිය රැලි, අංකුට්ටා යන මේ සියල්ල ඇඳල තියෙන්නෙ බොහොම මටසිළුටු වක්‍ර රේඛා වලින්.

නමුත් මනුස්සයා ගෙ ඉරියව් බොහොම ඍජු, දැඩි සොබාවයක් ගන්නවා. ඔහුගේ අත් දෙක වගේම කකුල් දෙකත් ඉද්ද ගැහුව වගේ කෙලින්. ඇත්තෙන්ම ඒක සොබාවික ඉරියව්වක් නෙවෙයි.

සම්පූර්න සිතුවම කවි පන්තියත් සමඟ​
කවි ටික ලියල තියෙන්නෙ බොහොම හාස්‍යෝත්පාදක විදිහට​. නමුත් කවි පන්තියේ හැඳින්වීම පටන් ගන්නෙ "යොෂිමෝචි අපිට දුන්නු තේමාව බොහොම ගැඹුරු එකක්" කියල​.

ඒ වගේම, එක එක කවිය ලියල තියෙන්නෙ එක එක හිමි නම වුනත්, කවි එකිනෙකට සම්බන්ධයි. කවියක් පටන් ගන්නෙ කලින් කවිය ඉවර වුන තැනෙන්. ඒ නිසා කවි සියල්ලම එක වැලට තියෙන්නෙ.

ඒ කවි කීපයක තේරුම මේ වගේ,

"ලබු කට්ටක් කියන්නෙ අංකුට්ටෙක් අල්ලන්න හොඳ ක්‍රමයක්. හැබැයි ලබු කට්ටෙ තෙල් ගෑවොත් ඒක ඊටත් වඩා හොඳ වේවි"

"ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලුවොත් අපිට පුළුවන් මාළු හොද්දක් හදන්න​. හොදිත් එක්ක කන්න බත් නැත්තං වැලි ටිකක් තම්බල ගන්න පුළුවන්"

කවි පන්තිය ඉවර වෙන්නෙ "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල.



මේ කවි වල​, සිතුවමේ තේරුම මොකද්ද​?

අපිට පුළුවන් මේක පෘථග්ජන සොබාවය ගැන කියවෙනව කියල හිතන්න​.

සිතුවමේ නිරූපනය කෙරන අඳුරු, ශීතල​, ගූඪ, අළු පාට, මීදුමෙන් වැහුන පරිසරය කියන්නෙ අපැහැදිලි සංසාරය ද​? රත්තරන් පාටෙන් දිළිසෙන ලබු කට්ට ලෞකික සැපය ද? බොහොම ලස්සන වුනත්, ඇතුල හිස්. වරල් විදහාගෙන ප්‍රීතියෙන් පීනන අංකුට්ටා කියන්නෙ සිතේ සතුට ද​? අපි කොච්චර උත්සහ කරත් ලබු කට්ටෙන් අංකුට්ටා අල්ලන්න බෑ. කවි පන්තියෙනුත් ඒ උත්සහය උපහාසයට ලක් කරනවා. ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න පුළුවන් නං, වැලි වලින් බත් උයන්නත් පුළුවන්!

සිතුවමේ සොබාවික වස්තූන් ඔක්කොම ඇඳල තියෙන්නෙ සුමට වක්‍ර වලින්. ඒත් මනුස්සයා ඍජුයි, දැඩියි. ඒ ලෞකික සැපය පසු පස්සෙ හඹා යාම ප්‍රකෘතියෙන් බැහැර විකෘතියක් නිසාද​? මනුස්සය වැරහැලි ඇඳල දැලි රැවුළු වවල ඉන්නෙ මේ ලෞකික සැපය පසුපස හඹා යාම නිසා ඔහු පිරිහීමට ලක් වෙලා නිසාද​? 

එහෙම නැත්තං මේ කියන්නෙ විමුක්ති මාර්ගය ගැන වෙන්න පුළුවන්.

අළු පාට, අඳුරු, අපැහැදිලි, ගූඪ සංසාරය මැද  රන් වන් පැහැයෙන් පැහැදිලිව කැපී පෙනෙන ලබු කට්ට කියන්නෙ විමුක්ති මාර්ගය ද​? ලබු කට්ට ඇතුලත මොකවත් නෑ වගේ විමුක්ති මාර්ගයට පිවිසෙන්න නම් අපි සියල්ල අතහරින්න ඕනෙද​?

බැලූ බැල්මට සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවමින් විමුක්තිය සෙවීම ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම වගේ කරන්න බැරි වැඩක් වගේ පෙනුනත්, ඒක ඇත්තෙන්ම කරන්න පුළුවන් ද​? කවි පන්තිය "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල ඉවර කරල තියෙන්නෙ ඒ නිසාද​?

ලබු කට්ටෙ තෙල් ගාන එකෙන් බැලූ බැල්මට වැඩේ තවත් අමාරු වෙනව වගේ පෙනුනත් ඇත්තෙන්ම ඒකෙන් වැඩේ තවත් ලේසි වෙනවද​? අපි වඩ වඩාත් ලෞකික සැපයන් අතහැරලා දුෂ්කර අල්පේච්ඡ දිවියක් අනුගමනය කරන්න ඕනෙද​? කොහොම හරි අංකුට්ටව අල්ල ගත්තොත් වැලි වලින් බත් උයනව වගේ අභව්‍යය වැඩ වගේ පේන දේවලුත් කරන්න පුළුවන් යථාර්තයන් වෙනවද​? අපිට මුළු සංසාරයම පාලනය කරන්න පුළුවන් වෙනවද​?

වැරහැලි ඇඳල දැලි රැවුළු වවාගෙන ඉන්නෙ සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවන සෙන් භික්‍ෂුවක් ද​? පරිසරයේ සුමට වක්‍ර වලට වෙනස් විදිහට ඍජු දැඩි ඉරියව්වක් කියන්නෙ ඔහු පුරන දුෂ්කර වෘතයන් ද​?

එහෙමත් නැත්තම් මේ සියල්ල හුදු උත්ප්‍රාසයක් විතරක් වෙන්න පුළුවන්. කවි වල තියෙන්නෙ උසස් සාහිත්‍යය රසයක් විතරක් වෙන්න පුළුවන්. සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන නිසල පරිසරයේ තියෙන ගූඪ බව විතරක් වෙන්න පුළුවන්.

මේ සියල්ලෙ තේරුම මොක වුනත්, මේ සිතුවම සැලකෙන්නෙ ජපන් ඉතිහාසයේ විශිෂ්ඨතම කලා නිර්මානයක් විදිහට​. ලබුකට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම කියන එක ජපන් සාහිත්‍යයේ සහ චිත්‍ර කලාවේ නිතර යෙදෙන සංකල්පයක් වෙලා තියෙනවා.

ලබුකට්ටෙන් අංකුට්ටන් අල්ල හැටි නිරූපනය කෙරෙන චිත්‍ර ගණනාවක් පසු කාලීනව ඇඳල තියෙනවා (මේ පසු කාලීන චිත්‍ර වල ශෛලිය සහ මුල් චිත්‍රයේ ශෛලිය අතර වෙනස නිරීක්‍ෂනය කරන්න​).


ඒ වගේම අංකුට්ට ට කියන ජපන් වචනය වන "නමසු" අමාරු, නමුත් කළ යුතු වැඩක් හඳුන්වන්න යොදාගන්නවා. උදාහරණයකට 2011 ඇති වුන විශාල භූමි කම්පාවකින් පසුව නැවත ගොඩනැංවීමේ ව්‍යාපාරය හඳුන්වලා තියෙන්නෙ "නමසු මෙහෙයුම" කියල​.

Saturday, May 13, 2017

බූවල්ලෝ සහ මුතු කිමිදෙන්නිය



19 වෙනි ශතවර්‍ෂයේ (ඒ කියන්නෙ එක්දාස් අටසිය ගණන් වල​) ජපානයේ චිත්‍රකලා සම්ප්‍රදායක් තිබ්බ "ෂුන්ගා" කියලා. ෂුන්ගා කියන ජපන් වචනයේ තේරුම "වසන්තයේ සිතුවම්". ජපන් සාහිත්‍යයේ වසන්තය කියන්නෙ ලිංගිකත්වයට යොදන ව්‍යංගාර්ථයක්.

ෂුන්ගා සම්ප්‍රදායේ චිත්‍ර වලට පාදක වුනේ ලිංගිකත්වය​. සරළව කිව්වොත් ගෑණු මිනිස්සු ලිංගික ක්‍රියා කරන හැටි.

සාමාන්‍යයෙන් ජපන් චිත්‍ර වලට වස්තු බීජ වෙන්නෙ සොබාදහම​, කඳු, පන්සල්, බෞද්ධ දර්ශනය වගේ ටිකක් බර සාර දේවල්.

නමුත් මේ කියන කාල වකවාණුවේ ජපන් සමාජයේ පෙරළියක් සිද්ධවුන කාලයක්. විදේශයන් එක්ක වෙළඳාම වර්ධනය වීමත් එක්ක ජපානයේ නගරවල අළුත් සමාජ පන්තියක් බිහි වුනා. ඒ පන්තිය හැඳින්වුනේ "චෝනින්" කියල​. චෝනින් පන්තියට අයිති වුනේ වෙළෙන්දන් සහ කර්මාන්ත ශිල්පීන්. මොවුන් වාණිජත්වයට බරයි. ඒ නිසාම අර සම්භාව්‍යය චිත්‍ර රසවිඳින්න අවශ්‍යය දැණුම​, හික්මීම හෝ මානසික විවේකය ඔවුන්ට තිබ්බෙ නෑ.

මේ චෝනින් පන්තියට සරළ රසාස්වාදයක් දෙන්න තමයි ෂුන්ගා සම්ප්‍රදාය බිහි වෙන්නෙ. සාමාන්‍යයෙන් ෂුන්ගා සම්ප්‍රදායේ චිත්‍ර කලාත්මක රසයෙන් අඩු අවර ගනයේ චිත්‍ර​.

නමුත් ෂුන්ගා සම්ප්‍රදායේ චිත්‍ර ඇඳපු එක චිත්‍ර ශිල්පියෙක් හිටියා "කත්සුෂිකා හොකුසායි" කියල​. බොහෝ ෂුන්ගා සිත්තරුන් තරුණයන් වුනත්, හොකුසායි මහල්ලෙක්. ඒ වගේම ඉතාමත් දක්‍ෂයෙක්.

ඔහු ෂුන්ගා සම්‍ප්‍රදායෙන් බාහිරවත් චිත්‍ර ඇන්දා. ඔහුගේ "ෆුජි කන්දේ දර්ශන තිස් හයක්" නමින් පළ කරපු සිතුවම් සමූහය ජපන් ඉතිහාසයේ විශිෂ්ඨම චිත්‍ර අතරට ගැණෙනවා. මේ චිත්‍ර වලට පාදක වුනේ ෆුජි කන්ද විවිධ කෝණ වලින් පේන ආකාරය​. මේ සිතුවම් සමූහය අතරින් "කනගාවා හි රළ​" සහ "දකුණු සුළං, නිසල අහස​" කියන චිත්‍ර ලෝක ප්‍රසිද්ධයි.

කත්සුෂිකා හොකුසායි
"කනගාවා හි රළ​"
"දකුණු සුළං, නිසල අහස​"

හොකුසායි ගෙ ෂුන්ගා සිතුවමක් තියෙනවා ලෝක ප්‍රසිද්ධ​. මේ සිතුවම කලාත්මක රසයෙන් වෙනත් ෂුන්ගා චිත්‍ර වලට වඩා සෑහෙන ඉදිරියෙන් තියෙන්නෙ.

මේ සිතුවමේ ජපන් නම "තකො තො අමා". ඒ කියන්නෙ "බූවල්ලෝ සහ මුතු කිමිදෙන්නිය​". නමුත් මේ සිතුවම බටහිර සමාජයේ ප්‍රචලිත වෙන්නෙ "ධීවරයාගේ බිරිඳගේ සිහිනය​" නමින්.

සිතුවමේ තියෙන්නෙ මුහුදු රළ වලට මැදි වුන නිරුවත් කාන්තාවක් බූවල්ලන් දෙන්නෙක් එක්ක ලිංගික ආලිංගනයක යෙදෙන ආකාරය​. විශාල බූවල්ලෙක් ඇගේ යෝනිය මුඛයෙන් උද්දීපනය කරන අතර​, අඬුවකින් පියයුරක් පිරිමදිනවා. ඒ අතරේ පැත්තකින් කුඩා බූවල්ලෙක් ඇගේ මුව සිප ගන්නවා. බූවල්ලන් දෙදෙනාම තම අඬු වලින් ඇය වෙලාගෙන ඉන්නෙ.

සිතුවමේ පසුබිම පුරාම ජපන් අකුරු රැසක් තියෙනවා.

මේ සිතුවමෙන් නිරූපනය කෙරෙන දේ ගැන අදහස් කීපයක් තියෙනවා.

එකක් තමයි මේකෙන් නිරූපනය කෙරෙන්නෙ ධීවරයෙක් ගෙ බිරිඳක් සැමියා මුහුදු ගිය හුදෙකලා රැයක ඇති කරගන්නා ලිංගික සිහිනයක් කියන එක​. මේ මතය අනුව තමයි චිත්‍රයේ අනෙක් නම වන "ධීවරයාගේ බිරිඳගේ සිහිනය​" වැටිල තියෙන්නෙ.

ජපානයේ මුතු කිමිදීම බොහෝ දුරට කරන්නෙ කාන්තාවන් විසින්. අතීතයේදී ඔවුන් මුතු කිමිදුනේ උඩුකය නිරුවත්ව​. එවැනි මුතුකිමිදෙන්නියක් බූවල්ලන් දෙදෙනෙක් අතින් දූෂනය වීම මෙයින් නිරූපනය වෙනවා යන්න තමයි දෙවෙනි මතය​.

තුන්වෙනි මතයෙන් කියැවෙන්නෙ මෙයින් නිරූපනය වෙන්නෙ ප්‍රකට ජපන් ජන කතාවක් වන "තමතෝරි කුමරිය​" ගේ කතාව කියල​.

තමතෝරි කියන්නෙ ජපන් ජනකතාවක එන මුතු කිමිදෙන කාන්තාවක්. මේ කතාවෙ හැටියට ෆුජිවරා වංශයේ සමුරායි වරයෙක් ගෙ දියණිය ජපන් අධිරාජ්‍යයා ගේ පෙම්වතියක්. ඇගේ පියා මිය ගිය විට අධිරාජ්‍යයා ඇගේ සිත සනසන්න මුතු ඇට තුනක් ඇයට එවනවා. ඒ මුතු ඇටයක් "රියූජින්" නම් මුහුදු රාක්‍ෂයා පැහැර ගන්නවා. මුතු ඇටය නැවත ලබා ගන්න ඇගේ සොහොයුරා පිටත් වෙනවා.

මුහුද අද්දරදි මේ තරුණ සමුරායි වරයට ලස්සන මුතු කිමිදෙන්නියක් හමු වෙනවා. ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙනවා. ටික කලෙකින් ඇයට පුතෙක් ලැබෙනවා. මේ අතර ඇය මුහුදේ කිමිදෙමින් මුතු ඇටය සොයනවා.

එක දවසක් ඇයට රියුජින් ගේ වාස භවන හමු වෙනවා. ඇය මියුරු සංගීතයක් වාදනය කරලා රියුජින් සහ ඔහුගේ පිරිවර මුහුදු ජීවීන් නින්දට යවලා මුතු ඇටය හොරකම් කර ගන්නවා. ආපසු ගොඩ බිමට එද්දි රියුජින් සහ ඔහුගේ පිරිවර ඇයව ලුහු බඳිනවා.

මුහුදු ජීවීන් ඇය ළඟටම එනවා. එහිදී ඇය තමාගෙ පියයුරක් කපලා මුතු ඇටය එහි සඟවනවා. පියයුරෙන් ගලන ලේ නිසා වතුර බොර වෙලා ඇයට පලා යන්න පුළුවන් වෙනවා.

මුතු ඇටය තම සමුරායි පෙම්වතාට ලබා දුන්නත්, තුවාලය නිසා ඇය මිය යනවා.

මේ ජනකතාව ඇසුරෙන් සිතුවම බිහි වුනා කියන මතය තහවුරු කරන්න පුළුවන් වෙන්නෙ සිතුවම පසුබිමේ තියෙන අකුරු වල විශාල බූවල්ලා කාන්තාවට "මම නුඹව රියුජින් ගේ වාස භවනට රැගෙන යනවා" කියන බව සඳහන් ව තිබීමෙන්.

නමුත් බූවල්ලන් රියුජින් ගේ වාස භවන සුර පුරක් ලෙස සලකන බවත්, ඒ නිසා ඒ කතාවෙ තේරුම "මම නුඹව සුර පුරට රැගෙන යනවා (සුරතාන්තයට​)" කියලත් ගන්න පුළුවන්.

කොහොම වුනත්, බොහෝ විචාරකයන් පිළි ගන්නෙ මේකෙන් තුන්වෙනි මතය​.

ඒත් සමාජගත වෙලා තියෙන්නෙ කලින් කිව්ව මත දෙක​. විශේෂයෙන්ම බටහිර සමාජයේ. ඒ මත දෙක වැඩිවශයෙන්ම බටහිර චිත්‍ර විචාරකයන් ගෙ මතයන් හැටියටයි සැලකෙන්නෙ.

මේ සිත්තම නිසා බිහි වුන "ශුංගාර සම්ප්‍රදායක් (porn genre)" අද ජපානයේ තියෙනවා. ඒ "tentacle porn" කියල හඳුන්වන බූවල්ලන් (සහ වෙනත් එවැනි සතුන්) ගේ අඬූ බඬූ වලින් කාන්තාවන් ඇද-බැඳ තබා ගැනීම සහ දූෂනය කිරීම​. මේ ශුංගාර සම්ප්‍රදාය තියෙන්නෙ ජපානයේ විතරයි. ඒ වගේම ජපානයේ ඒක ඉතා ජනප්‍රියයි.

Saturday, May 6, 2017

ජපානයේ මැතිවරණ ක්‍රමය​


ජපානයේ මැතිවරණ ක්‍රමය ඉතාම සාධාරන වගේම ඉතාම තාර්කික ක්‍රමයක්. අපේ මැතිවරණ ක්‍රමය හැඩ ගස්වා ගැනීමේදී අධ්‍යයනය කරන්න වටින ක්‍රමයක් තමයි එහෙ තියෙන්නෙ.

පාර්ලිමේන්තුව


නිල සංකේතය​
 ජපානයේ පාර්ලිමේතුව හැඳින්වෙන්නෙ "කොක්කයි" (National Diet) කියල​. ඒක කොටස් දෙකකින් සමන්විතයි.

1. කවුන්සිලය (House of Councillors)
2. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives)

ජපන් පාර්ලිමේන්තුව එරට ඉහළම රාජ්‍යය බලය සතු ආයතනය වන අතර​, රටේ නීති සම්පාදනය සඳහා බලය ඇති එකම ආයතනය වෙනවා. ඊට අමතරව ජපානයේ රාජ්‍යය නායකයා වන අගමැති තේරීමේ බලය තියෙන්නෙත් පාර්ලිමේන්තුවට​.

 පාර්ලිමේන්තුවට මන්ත්‍රී වරු තේරෙන්නෙ මහජන ඡන්දයෙන්. වයස 18 ට වැඩි සියළුම පුරවැසියන්ට ඡන්ද බලය හිමියි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (ෂූගීන්)


නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීවරු 475 කින් සමන්විතයි.

වයස 25 ට වැඩි ඕනෑම ජපන් පුරවැසියෙක්ට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ධූරයක් සඳහා තරග කරන්න පුළුවන්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නිල කාලය අවුරුදු 4 යි. අගමැති වරයාට ඕනෑම අවස්ථාවක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හරින්න පුළුවන්.

කවුන්සිලය (සන්ගීන්)


කවුන්සිලය මන්ත්‍රීවරු 242 කින් සමන්විතයි.

වයස 30 ට වැඩි ඕනෑම ජපන් පුරවැසියෙක්ට නියෝජිත කවුන්සිලයේ මන්ත්‍රී ධූරයක් සඳහා තරග කරන්න පුළුවන්.

කවුන්සිලයේ නිල කාලය අවුරුදු 6 යි. නමුත් මේ නිල කාලය සමන්විත වෙන්නෙ කොටස් දෙකකට​. ඒ කියන්නෙ අවුරුදු 3 කට වරක් මන්ත්‍රීවරු 121 සඳහා මැතිවරණයක් පැවැත්වෙනවා. අනිත් 121 සඳහා මැතිවරණය තියෙන්නෙ ඊළඟ අවුරුදු තුනෙන් පස්සෙ. මේ ක්‍රමයෙන් අවුරුදු 3 කට සැරයක් කවුන්සිලයේ මන්ත්‍රීවරුන් ගෙන් බාගයක් අළුතෙන් පත් කරගන්නවා.

ඒ වගේම අගමැතිවරයාට කවුන්සිලය විසුරුවා හරින්න බෑ. මැතිවරණ පැවැත්වෙන්නෙ කවුන්සිලයේ මන්ත්‍රීවරුන් බාගයක් සඳහා නිසා කිසිම අවස්ථාවක කවුන්සිලය සම්පූර්නයෙන්ම විසුරුවා හැරෙන්නෙ නෑ.

අධිරාජ්‍යයා

ජපන් අධිරාජ්‍යයා - අකිහිතෝ

ජපන් අධිරාජ්‍යයාට නිල බලතල කිසිවක් හිමි වෙන්නෙ නෑ. ඔහු සැලකෙන්නෙ සංකේතාත්මක නායකයෙක් විදිහට​. අගමැති වරයාගේ, කැබිනෙට්ටුවේ හෝ පාර්ලිමේන්තුවේ නිර්දේශ වලින් පිට කිසිම තීරණයක් ගන්න ඔහුට බෑ.

කවුන්සිලයේ සහ නියෝජිත මන්ත්‍රීමණ්ඩලයේ බලතල​


පාර්ලිමේන්තුව කොටස් දෙකකට තියෙන්නෙ මහජන මතයට සහ විශේෂඥ මතයට යන දෙකටම තැනක් ලැබෙන්න අවශ්‍යය නිසා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් මහජන මතයත්, කවුන්සිලයෙන් විශේෂඥ මතයත් නිරූපනය කෙරෙනවා.

කවුන්සිලයට තෝරා ගැනෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ උගතුන්, යම් කිසි ක්‍ෂේත්‍රයක ප්‍රවීනයන් වගේ අය​.

දෙකෙන් වඩා බලවත් වෙන්නෙ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය​. ඒ මහජන පරමාධිපත්‍යය සුරැකෙන්න ඕනෙ නිසා.

අගමැති වරයා පත් කිරීම​

ජපන් අගමැති ෂින්සෝ අබේ

අගමැති වරයා තේරීම කවුන්සිලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් වෙන වෙනම සිදු කරනවා. මන්ත්‍රීවරුන් ගෙ සරළ බහුතරයක් හිමි කරගන්න කෙනා අගමැති වරයා ලෙස තෝරා ගැනෙනවා.

සමහර අවස්ථාවලදී කවුන්සිලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අගමැති වශයෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් තෝරා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මන්ත්‍රීමණ්ඩල දෙකේම නියෝජිතයන් ගෙන් සමන්විත කමිටුවක් සාකච්ඡා කරල දෙන්නගෙන් එක අයෙක් අගමැති ලෙස තෝරා ගන්නවා. ඒ කමිටුවට තීරණයකට එන්න බැරි වුනොත් අගමැති ලෙස පත්වෙන්නෙ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් තෝරා ගත් කෙනා.

අගමැති තෝරා ගත් පසු ඔහුට තම ධූරයේ රාජකාරි කිරීමට නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සහය තියෙන්න ඕනෙ. එසේ නොලැබී යන ඕනෑම අවස්ථාවක ඔහුගේ නිල කාලය අවසන් වෙනවා. නමුත් කවුන්සිලයේ බහුතර සහය නොමැතිව අගමැතිට දිගටම ධූරයේ රැඳී ඉන්න පුළුවන්.

පනතක් සම්මත කර ගැනීම​

පාර්ලිමේන්තු සභා ගර්භය​

පනත් සම්මත කරන්නෙ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින්. නමුත් පනත නීතියක් වෙන්න නම් කවුන්සිලයේ අනුමැතිය අවශ්‍යය වෙනවා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සම්මත වෙන පනතක් සම්බන්ධයෙන් කවුන්සිලයට තීරන හතරක් ගන්න පුළුවන්.

1. අනුමත කිරීම​
2. සංශෝධනය කිරීම​
3. පරක්කු කිරීම​
4. නිශේධනය කිරීම​

කවුන්සිලය අනුමත කරන පනතක් නීතියක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් කවුන්සිලයට ඒක සංශෝධනය කරල අනුමත කරන්න හෝ තවදුරටත් සාකච්ඡාව සඳහා පරක්කු කරන්න පුළුවන්. එහෙමත් නැත්තම් නිශේධනය කරන්න පුළුවන්.

හැබැයි, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයකින් පුළුවන් කවුන්සිලයේ තීන්දුව ඉවත හෙළන්න​.

මෙහෙම ක්‍රමයක් යොදා ගන්නෙ මහජන නියෝජිතයන් ගන්නා තීරන විශේෂඥයන් විසින් නියාමනයකට ලක් කරන්න​. හැබැයි මහජන නියෝජිතයන් ගේ තුනෙන් දෙකක බහුතරයෙන් විශේෂඥ මතය ඉවත දාන්න පුළුවන්. ඒ ජනතා පරමාධිපත්‍යය නිසා.

මැතිවරණ


මහ මැතිවරණ වර්ග දෙකක් ජපානයේ තියෙනවා. එකක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන්. අනෙක කවුන්සිලය වෙනුවෙන්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණ​


නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නිල කාලය අවුරුදු 4 ක්. ඒ නිසා අවුරුදු 4 කට සැරයක් මැතිවරණයක් පැවැත්වෙනවා.

නමුත් ප්‍රායෝගිකව ඊට කලින් අගමැති වරයා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හරිනවා. ඒ නිසා සාමාන්‍යයෙන් වසර 3 කට සැරයක් වගේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙනවා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 475 ක් ඉන්නවා. මේ අයගෙන් 295 ක් තේරෙන්නෙ කේවල ආසන ක්‍රමයට​. ඉතුරු 180 තේරෙන්නෙ සමානුපාතික ක්‍රමයට​.

හැම ඡන්ද දායකයෙක්ටම ඡන්ද දෙකක් හිමි වෙනවා. එකක් තමාගෙ මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්‍ෂකයන් වෙනුවෙන්. අනිත් එක පක්‍ෂයක් වෙනුවෙන්.

කේවල ආසන ක්‍රමයට පත් වෙන මන්ත්‍රීන් තෝරන්නෙ පළවෙනි ඡන්දෙන්. සමානුපාතික ක්‍රමයට පත් වෙන මන්ත්‍රීන් තෝරන්නෙ දෙවෙනි ක්‍රමයෙන්.

ජපානය මැතිවරන නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරන වෙනුවෙන් මැතිවරණ කොට්ඨාශ 11 කට බෙදල තියෙනවා.

1. හොක්කයිදො
2. තොහොකු
3. කිතකන්තො
4. මිනාමිකන්තො
5. තෝකියෝ
6. හොකුරිකුෂිනෙත්සු
7. තොකයි
8. කිංකි
9. චුගෝකු
10. ෂිකෝකු
11. ක්‍යුෂු



මේ එක් එක් මැතිවරණ කොට්ඨාශයක් මැතිවරණ දිස්ත්‍රික්ක කීපයකට බෙදල තියෙනවා. හැම මැතිවරණ දිස්ත්‍රික්කයකටම කේවල ආසන ක්‍රමයට තරග කිරීමෙන් මන්ත්‍රීවරයෙක් බැගින් තේරී පත් වෙනවා.

එහෙම කේවල ආසන ක්‍රමයට පත්වෙන මුළු මන්ත්‍රීන් ගණන 295 ක්. ඒ කියන්නෙ මැතිවරණ දිස්ත්‍රික්ක 295 ක් තියෙනවා.

ඒ ඒ මැතිවරණ කොට්ඨාශයේ ජනගහණය අනුව නියමිත මන්ත්‍රී ධූර ගණනක් වෙන් කරල තියෙනවා. ඡන්ද දායකයන් පක්‍ෂය වෙනුවෙන් භාවිතා කරපු ඡන්ද මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් ගණන් කරල ඒ ඒ පක්‍ෂය ලබා ගත් ඡන්ද ගාණ අනුව ඒ ඒ කොට්ඨාශයේ මන්ත්‍රී ධූර ගණන පක්‍ෂ අතර බෙදල දෙනවා. පත්වන මන්ත්‍රීවරයන් නම් කරන්නෙ ඒ ඒ පක්‍ෂය විසින් කලින් ඉදිරිපත් කළ ලැයිස්තුවකින්. ඒ ලැයිස්තුවට කේවල ආසන තරග සඳහා ඉදිරිපත් වන මන්ත්‍රීන් දාන්නත් පුළුවන්. එතකොට ඔවුන්ට තමාගෙ දිස්ත්‍රික්කය පැරදුනත්, සමානුපාතික ක්‍රමයෙන් තේරී පත්වෙන්නෙ අවස්ථාවක් තියෙනවා.

මනාප ක්‍රමයක් නෑ.

සමානුපාතික ක්‍රමයට තේරෙන මන්ත්‍රීන් ගණන 180 ක්.

ඒ ඒ කොට්ඨාශයෙන් තේරී පත් වෙන මන්ත්‍රීන් ගණන මේ වගේ:


කවුන්සිල මැතිවරණ​


කවුන්සිල මැතිවරන පැවැත්වෙන්නෙ අවුරුදු 3 කට සැරයක්.

ඒ පැවැත්වෙන්නෙ කවුන්සිලයේ මන්ත්‍රී වරුන් ගෙන් බාගයක් වෙනුවෙන් නිසා කවුන්සිලයේ මන්ත්‍රීවරු 242 ක් හිටියත්, මැතිවරණය පැවැත්වෙන්නෙ මන්ත්‍රීවරු 121 ක් වෙනුවෙන්.

මේ මැතිවරණයත් පැවැත්වෙන්නෙ කේවල ආසන - සමානුපාතික මිශ්‍ර ක්‍රමයට​. හැම ඡන්ද දායකයෙක්ටම ඡන්ද දෙකක් හිමි වෙනවා. එකක් කේවල ආසන තරගය වෙනුවෙන්, අනෙක පක්‍ෂයක් වෙනුවෙන්.

ජපානය මැතිවරණ දිස්ත්‍රික්ක 73 කට බෙදලා ඒ ඒ දිස්ත්‍රික්කයෙන් කේවල ආසන ක්‍රමයට මන්ත්‍රීන් 73 ක් තෝරා ගැනෙනවා. මේ දිස්ත්‍රික්ක ජපානයේ පරිපාලන ඒකක වන "තොදෝෆුකෙන්" (prefecture) වලට බොහෝ දුරට සමපාත වෙනවා.

ඡන්ද දායකයන් පක්‍ෂය වෙනුවෙන් පාවිච්චි කරන ඡන්ද ජාතික මට්ටමෙන් එකතු කරල​, ඒ ඒ පක්‍ෂයට ලබා ගත් ඡන් ද ප්‍රමානය අනුව සමානුපාතික ක්‍රමයට ආසන 48 ක් බෙදා දෙනවා.

සමානුපාතික ක්‍රමයට පත් වෙන මන්ත්‍රීන් තෝරා ගන්නෙ පක්‍ෂය විසින් කලින් ඉදිරිපත් කරන ලැයිස්තුවකින්. මනාප ක්‍රමයක් නෑ.

මැතිවරණ ක්‍රමයේ ගුණ​-දොස්


මැතිවරණ ක්‍රමය මිශ්‍ර ක්‍රමයක් නිසා කේවල ආසන සහ සමානුපාතික ක්‍රමයේ වාසි ලබා ගන්න ඡන්ද දායකයට පුළුවන් වෙනවා.

කේවල ආසන ක්‍රමය තියෙන නිසා හැම දිස්ත්‍රික්කයක්කයටම නියෝජිතයෙක් ඉන්නවා. හැම පුරවැසියෙක්ටම "තමාගේ" නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

ඒ වගේම මැතිවරණ සටන පැවැත්වෙන්නෙ සාපේක්‍ෂව කුඩා ප්‍රදේශයක් තුල. ඒ නිසා වියදම අඩුයි. මැතිවරණ දූෂනත් අඩුයි.

ඒ වගේම කේවල ආසන ක්‍රමයෙන් මහජන මතය හරිහැටි නිරූපනය නොවන අවස්ථාවල ඒ වැරැද්ද හදන්න සමානුපාතික ක්‍රමය පාවිච්චි වෙනවා.

ලංකාවෙ වගේ පිරිසිදු සමානුපාතික ක්‍රමයක තියෙන ගැටළුව තමයි තමා කැමැති පක්‍ෂයට වෙනත් පක්‍ෂයක ඉන්න "හොඳ" අපේක්‍ෂකයෙක්ට කැමැත්ත පළ කල නොහැකි වීම​. ඒ වගේම තමා පක්‍ෂයට ඡන්දය පාවිච්චි කළ විට ඒ පක්‍ෂයේ ඉන්න "නරක​" අපේක්‍ෂකයන්ටත් ඒ ඡන්දය හිමි වීම​.

නමුත් ජපන් ක්‍රමයෙදි ඡන්ද දෙකක් හිමි වෙන නිසා අවශ්‍යය නම් ඡන්ද දෙක පක්‍ෂ දෙකකට ලබා දෙන්න පුළුවන්. උදාහරණයකට A පක්‍ෂයේ සාමාජිකයෙක්ට තමාගේ මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා B පක්‍ෂයෙන් ඉදිරිපත් වෙන සාමාජිකයට ඡන්දය දීල පක්‍ෂය සඳහා දෙන ඡන් දය A පක්‍ෂයට දෙන්න පුළුවන්.

මේ ක්‍රමය නිසා සුළු පක්‍ෂ වලින් ඉදිරිපත් වෙන හොඳ අපේක්‍ෂකයන්ට පාර්ලිමේන්තුවට යන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.

ඒ වගේම කවුන්සිලය වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණ අවුරුදු තුනකට සැරයක් තියන්නෙ මැතිවරණ අතරතුරේදී ජනතාවගෙ මතය වෙනස් වීම පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්න​.

මේක ඉතාම සාර්ථක ක්‍රමයක්.

ජපානයේ දේශපාලන පක්‍ෂ​


ජපානයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ මේවා.

1. ලිබරල් ප්‍රජාතන්‍ත්‍රවාදී පක්‍ෂය (LDP)



ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය 1955 දි පිහිටුවීමෙන් පසු 1993-94 කාලසීමාව හැරුණු විට දිගටම ජපානයේ පාලන බලය හිමි වුනේ ඒ පක්‍ෂයට​.

LDP පක්‍ෂයේ දේශපාලන මතවාදය ජපන් ජාතිකවාදී සහ සංරක්‍ෂනවාදී (conservative) එකක්. ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් ධනවාදීයි. විදේශ ප්‍රතිපත්තිය බටහිර සමඟ මිත්‍රශීලියි.

2. ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය​ (DPJ)



ජපන් ප්‍රජාතන්‍ත්‍රවාදී පක්‍ෂය පක්‍ෂ ගණනාවක එකතුවෙන් පිහිටුවන්නෙ 1998 දි. වත්මන් ජපානයේ ප්‍රධාන විපක්‍ෂය වෙන්නෙ ඒ පක්‍ෂය​.

DPJ පක්‍ෂයේ දේශපාලන මතවාදය ලිබරල් වාදීයි. ආර්ථික ව ඔවුන් සමාජ සුභසාධන සහිත ධනවාදයක් වෙනුවෙන් පෙනී සිටිනවා. පාලක LDP පක්‍ෂයේ දූෂනය ට එරෙහි වීම තමයි ඔවුන් ගේ ප්‍රධාන දේශපාලන ස්ථාවරය​.

3. කොමෙයිටෝ පක්‍ෂය (NKP)



කොමෙයිටෝ පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී පාලක LDP පක්‍ෂය සමඟ සන්ධානගත වෙලා ඉන්නෙ.

දේශපාලනිකව ඔවුන් දැඩි ජපන් ජාතිකවාදියි. ඔවුන් ගේ ඡන්ද පදනම වෙන්නේ බෞද්ධයන්.

4. කොමියුනිස්ට් පක්‍ෂය



වත්මන් ජපානයේ තියෙන පැරණිම දේශපාලන පක්‍ෂය​. කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවන්නෙ 1922 දි.

ඔවුන් දේශපාලනික වශයෙන් නියෝ-කොමියුනිස්ට් වාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ආර්ථිකව සමාජ - ප්‍රජාතන්ත්‍රවාදියි.

මැතිවරණ වලදී 10% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඔවුන් සමත්.

Monday, May 1, 2017

කොරියාව දෙකඩ වීම - 4 (1953 සිට අද දක්වා)



කොරියානු යුද්ධයෙන් මිය ගිය ගණන


යුද්ධයෙන් මිය ගිය ගණන හරියටම ගනන් බැලීම ඉතාමත් අපහසු කටයුත්තක්. නමුත්, විවිධ පරීක්‍ෂන වලින් පසු අද ලෝකයේ වැඩියෙන්ම පිළිගැනෙන දත්ත මේවා.

උතුරු කොරියාව :
හමුදා මරණ : 400,000
සිවිල් වැසියන් මරණ : 1,200,000

දකුණු කොරියාව​
හමුදා මරණ : 217,000
සිවිල් වැසියන් මරණ : 1,000,000

චීනය​
හමුදා මරණ : 600,000

ඇමරිකාව​
හමුදා මරණ : 37,000

වෙනත්
හමුදා මරණ : 3,500




යුද්ධයේදී මිය යන සිවිල් වැසියන් ගණන ඉතා විශාලයි. ඒකට හේතු කීපයක් තියෙනවා.

1. යුද්ධයට මැදි වීම​
2. ඇමරිකාව විසින් උතුරු කොරියාවට එරෙහිව කරන ලද ගුවන් ප්‍රහාර​
3. දකුණු කොරියානු හමුදාව විසින් ඝාතනය කළ දකුණු කොරියානු වැසියන්
4. උතුරු කොරියානු හමුදාව විසින් ඝාතනය කළ දකුණු කොරියානු වැසියන්
5. යුද්ධය නිසා ඇති වන සාගතය​

ඇමරිකාව විසින් එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් උතුරු කොරියාවේ සෑම ප්‍රධාන නගරයක් ම සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. ඇත්තෙන්ම කොරියානු යුද්ධයේදී ඇමරිකාව උතුරු කොරියාවට හෙලන බෝම්බ ප්‍රමානය දෙවෙනි ලෝක යුද්ධයේදී ජපානයට හෙලන ලද බෝම්බ ප්‍රමානයට වඩා වැඩියි.

මේ ප්‍රහාර වලින් සහ යුද්ධය නිසා ඇතිවන සාගතයෙන් තමයි උතුරු කොරියානු සිවිල් වැසියන් වැඩි වශයෙන් මිය යන්නේ. හමුදා මරණත් එක්ක ගත්තම උතුරු කොරියාවේ මිය යන මුළු සංඛායව මිලියන 1.6 ක්. ඒ යුද්ධයට පෙර උතුරු කොරියාවේ ජනගහණය වන මිලියන 9 න් 18% කට කිට්ටු අගයක්!

දකුණු කොරියාවේත් මිලියනයක පමණ සිවිල් වැසියන් ප්‍රමානයක් මිය යනවා. දකුණු කොරියානු හමුදාව විසින් ඝාතනය කරන දේශපාලන විරුද්ධවාදීන් ගණන ලක්‍ෂ 2 කට අධිකයි. ඊට අමතරව උතුරු කොරියානු හමුදාවත් දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරනවා.

1951 චීන හමුදා වල ප්‍රහරය ඉදිරියේ දකුණු කොරියානු හමුදා කඳවුරු වල පුහුණු වෙමින් සිටි සෙබළුන් ලක්‍ෂ 4 ක් පමණ දකුණට පසු බසිනවා. මොවුන් ගෙන් ලක්‍ෂයක් පමණ අධික ශීතල සහ ආහාර හිඟකම නිසා මිය ගිය බව වාර්තා වෙනවා.

කොරියානු යුද්ධයෙන් මිය යන සියළු (උතුරු - දකුණු) කොරියන් ජාතිකයන් ගණන මිලියන තුනක් පමණ​. එය යුද්ධයට පෙර කොරියාවේ සම්පූර්න ජනගහණය වන මිලියන 30 න් 10% ක්!

ප්‍රධාන චරිත​


උතුරු කොරියා නායක කිම් ඉල්-සුං




කිම් ඉල්-සුං දිගටම උතුරු කොරියාවේ නායකයා වශයෙන් කටයුතු කරනවා. ඔහු කොමියුනිස්ට් ලෝකයේ නායකයන් අතර සැලකිය යුතු ගෞරවයක් දිනා ගන්නවා.

සෝවියට් - චීන අර්බුධයේදී කිම් චීනයට පක්‍ෂපාතී වුනත්, පසුව මාඕ ගේ සංස්කෘතික විප්ලවය විවේචනය කිරීම නිසා චීනය සමඟ හොඳ හිත පළුදු වෙනවා. ඔහු නැවත සෝවියට් දේශයට ලං වෙනවා.

උතුරු කොරියාව තුල දැඩි පාලනයක් ගෙන යන කිම් තමාගේ පුද්ගල ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට විශේෂ උත්සහයක් ගන්නවා.

ඔහු තමාගේම දේශපාලන දර්ශනයක් හඳුන්වා දෙනවා. එය හැඳින්වෙන්නෙ "ජූචේ" නමින්. උතුරු කොරියාවේ නිල දේශපාලන ප්‍රතිපත්තිය වෙන්නෙ ජූචේ.

වසර 46 ක පාලනයකින් පසු කිම් ඉල්-සුං 1994 දි මිය යනවා. ඔහුගෙන් පසු උතුරු කොරියාවේ බලයට පත් වෙන්නෙ ඔහුගේ පුතා වන කිම් ජොං-ඉල්.


දකුණු කොරියා නායක සිංමාන් රී



දකුණු කොරියානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තෝරන්නෙ පාර්ලිමේන්තුවෙන්. නමුත් 1952 දී පාර්ලිමේන්තුව තමාව දෙවන වරට තෝරන්නෙ නැති බව දැනගන්න රී මහජන ඡන්දයෙන් ජනාධිපති පත්වන විද්හට ව්‍යවස්ථාව වෙනස් කරනවා. පාර්ලිමේන්තුව ඊට එරෙහි වෙනකොට ඔහු මන්ත්‍රීවරු සිරගත කරනවා.

රී 1952, 1956 සහ 1960 පැවැත්වෙන ජනාධිපතිවරණ වලින් ජයග්‍රහනය කරලා දිගටම ජනාධිපති ධූරයේ රැඳෙනවා. නමුත් මේ මැතිවරන ඉතා දූෂිත ඒවා බව ප්‍රතිවාදීන් චෝදනා කරනවා.

රී යටතේ දකුණු කොරියාව නොදියුණු සහ පසුගාමී රටක් හැටියට පවතිනවා.

1960 අප්‍රේල් මාසයේ රී ගේ පාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා සහ උද්ඝෝෂන රැල්ලක් ඇති වෙනවා. මේ නිසා රී ට ඉල්ලා අස් වෙන්න සිදු වෙනවා. විපක්‍ෂය රටේ බලය අල්ලාගෙන අළුත් ව්‍යවස්ථාවක් යටතේ රට ප්‍රති සංවිධානය කරනවා. රී ගේ පාලන සමයේ සිටි බොහෝ නිලධාරීන් සිර ගත කෙරෙනවා. මේක හැඳින්වෙන්නෙ "අප්‍රේල් විප්ලවය​" නමින්.

1965 දි රී හෘදයාබාධයකින් මිය යනවා.


ජනරාල් ඩග්ලස් මැක් ආතර්



ඩග්ලස් මැක් ආතර් දෙවෙනි ලෝක යුද්ධයේ දී ජපානය පරාජය කිරීම නිසා ඇමරිකානු ජනතාව අතර යුධ වීරයෙක් වශයෙන් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා සිටි කෙනෙක්. ඔහුට ඇමරිකාවේ ජනාධිපති වීමේ සිහිනයක් තිබ්බා.

සාර්ථක ලෙස 1950 උතුරු කොරියානු ආක්‍රමනය ආපසු හැරවීම නිසා මේ ජනප්‍රියත්වය වැඩි වෙනවා. නමුත් චීන හමුදා ඉදිරියේ ලබන පරාජය නිසා ඔහුගේ කීර්ති නාමයට කැලලක් වෙනවා.

චීනයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ යුතු බව පැවසීම නිසා මැක් ආතර් ජනාධිපති ටෲමන් ගේ අප්‍රසාදයට ලක් වෙනවා. ඔහු එය දකින්නේ මැක් ආතර් තමාගේ සීමාව ඉක්මවා යාමක් විදිහට​.

1951 අප්‍රේල් මාසයේදී ටෲමන් මැක් ආතර් ව කොරියාවේ අන දෙන නිලධාරී ධූරයෙන් ඉවත් කරනවා. ඔහු නැවත ඇමරිකාවට එනවා.

1952 ඇමරිකානු ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස පත්වෙන්න ඔහු අපේක්‍ෂා කරනවා. නමුත් රිපබ්ලිකන් පක්‍ෂය තෝරා ගන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී යුරෝපයේ අණදෙන නිලධාරියා වුන ජනරාල් අයිසන්හවර්.

සෞඛ්‍යය පිරිහී යන මැක් ආතර් 1964 දි අක්මාවේ ආබාධයකින් මිය යනවා.


මාෂල් පෙං ඩෙහුවායි


චීන විප්ලවයේ කොමියුනිස්ට් හමුදාවේ දක්‍ෂතම සෙනවියා ලෙස ජාතික වීරයෙක් වශයෙන් සැලකෙන් මාෂල් පෙං ඩෙහුවායි තමයි කොරියාවේ චීන හමුදාවල අණ දෙන නිලධාරියා වශයෙන් පත් වෙන්නෙ.

කොරියානු යුද්ධයේ සාර්ථකත්වයෙන් ඒ ජනප්‍රියත්වය තවත් වැඩි වෙනවා. ඔහුව 1952 දි චීනයේ ආරක්‍ෂක ඇමති වශයෙන් පත් කෙරෙනවා. 1955 වෙද්දි ඔහු චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ජේෂඨතම සහ වඩාත් බලවත් පුද්ගලයන් කීප දෙනා අතරට එක් වෙනවා.

නමුත් 1950 දශකය අග භාගය වෙද්දී මාඕ ගේ පුද්ගලාභිවර්ධන වැඩ පිළිවෙලට එරෙහි වීම නිසා මාඕ සහ පෙං අතර ගැටුම් ඇති වෙනවා. 1957 මාඕ ගේ "මහා ඉදිරි පිම්ම​" වැඩ සටහනට එරෙහි වීම නිසා මේ ගැටුම උත්සන්න වෙනවා. 1959 දි මාඕ ඔහුව ආරක්‍ෂක ඇමති ධූරයෙන් ඉවත් කරනවා. පෙං ගේ බලය ක්‍රමයෙන් හීන වෙනවා.

1966 සංස්කෘතික විප්ලව සමයේදී පෙං සිර භාරයට ගැනෙනවා. ඔහු නොයෙක් වධ හිංසා වලට ලක් කෙරෙනවා. 1974 දි පෙං සිර භාරයේදී මිය යනවා.


උතුරු කොරියාව​

පියොංයැං නගරය​

උතුරු කොරියාව දිගින් දිගටම කිම් පවුලේ පාලනය යටතේ පැවතෙනවා. 1980 දශකයේ දී ඩෙං ෂියාඕ පෙං යටතේ චීනය ධනවාදී ප්‍රතිසංස්කරන වලට යොමු වීමත්, සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමත් නිසා උතුරු කොරියාව ලෝකයෙන් හුදෙකලා වෙනවා.

මේ හුදෙකලා වීම සහ ඒකාධිපති පාලනය නිසා උතුරු කොරියාව පසුගාමී තත්වයකට ඇද වැටෙනවා. විශේෂයෙන් ආහාර සඳහා චීනය මත රඳා පවතින්න ඔවුන්ට සිදු වෙනවා. බටහිර විසින් මවාපාන තරම් ආර්ථික අහේනියක් නැතත්, උතුරු කොරියාව කලාපයේ අනිකුත් රටවලට සාපේක්‍ෂව ආර්ථිකව ඉන්නෙ අඩු තැනක​. ඒ වගේම උතුරු කොරියාවේ දේශපාලන නිදහස අවමයි.

කොරියානු යුද්ධයෙන් සිදු වන විනාශය නිසා උතුරු කොරියානු වැසියන් තුල බටහිර පිළිබඳ නිරන්තර වෛරයක් ඇතිවෙනවා. කිම් පවුල මේ වෛරය තමාගේ වාසියට පාවිච්චි කරනවා.

දැවැන්ත යුධ ශක්තියක් ඇති කර ගන්නා උතුරු කොරියාව නිතරම පසු වෙන්නේ ඇමරිකාව සහ දකුණු කොරියාව සමඟ යුද්ධයකට සූදානමෙන්.


දකුණු කොරියාව 


සියොල් නගරය​

1960 දී රී ගේ ඒකාධිපති පාලනයෙන් මිදෙන දකුණු කොරියාව වේගවත් ආර්ථික වර්ධනයක් හිමි කර ගන්නවා. අද දකුණු කොරියාව ලෝකයේ දොළොස් වෙනියට විශාලම ආර්ථිකය​. ඒ වගේම ඉතා ඉහළ ජීවන තත්වයකටත් දකුණු කොරියාව හිමිකම් කියනවා.

උතුරු කොරියාව තරම්ම නැතත්, දකුණු කොරියාවත් පසු වෙන්නේ නිරන්තර යුධ සූදානමක​. ඉතා බලවත් හමුදාවක් ඔවුන්ටත් තියෙනවා.

දකුණු කොරියාව තදින් බටහිර කරණයට ලක් වූ රටක්.

දකුණු කොරියානු ජනතාව අතර මුහුණේ අංගෝපංග බටහිර තාලයට හැඩ ගස්වා ගැනීම සඳහා කරන ප්ලාස්ටික් සැත්කම් ඉතා ජනප්‍රියයි. අද කොරියානු කාන්තාවන් ගෙන් 20% පමණ ප්ලාස්ටික් සැත්කම් සඳහා යොමු වී තියෙනවා. දකුණු කොරියාව සැලකෙන්නේ ලෝකයේ ප්ලාස්ටික් සැත්කම් අගනුවර විදිහට​.

ඒ වගේම දකුණු කොරියානුවන් අතර අධි පරිභෝජන ජීවන රටාවක් තියෙනවා. දකුණු කොරියාවේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමානය එහි ජනගහණය වගේ දෙගුණයක්. ක්‍රෙඩිට් කාඩ් භාවිතය අතින් ලෝකයේ අංක එකට ඉන්නෙ දකුණු කොරියාව​.

ක්‍රිස්තියානි ආගම දකුණු කොරියාවේ වේගයෙන් පැතිරී යනවා. ඒ එක්කම බුද්ධාගම ක්‍රමයෙන් අඩු වෙලා යනවා. 2015 දී දකුණු කොරියාවේ බෞද්ධ ප්‍රතිශතය 15%. 2005 දි ඒ අගය 23% ක්. ඒ එක්කම 2015 දි ක්‍රිස්තියානි ප්‍රතිශතය 28% වෙනවා.

ඒ කොහොම වුනත් දකුණු කොරියාව කියන්නෙ අද ලෝකයේ ආර්ථික දැවැන්තයෙක්.


උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සන්සන්දනයක්


ජීවන තත්වය​



යුධ ශක්තිය​





එදා වගේම අදත් කොරියාව කියන්නෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක්


කොරියාව දෙකඩ වීම - 3 (කොරියානු යුද්ධය​)



කොරියාවේ බල තුලනය​


කොරියානු අර්ධද්වීපයේ බල තුලනය හදිසියේම වෙනස් වෙන සිද්ධියක් වෙනවා 1949 ඔක්තෝබර් මාසෙදි. ඒ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ බලය අල්ලා ගැනීමෙන්. චීන කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ බලය වෙනුවෙන් කළ යුද්ධයේදී කොරියානු කොමියුනිස්ට් වරුන් ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ දුම්.රිය, ආයුධ සහ සෙබළු සැපයීමෙන්. මේ නිසා කොමියුනිස්ට් චීනය උතුරු කොරියාවේ කිට්ටු මිතුරෙක් වෙනවා.

ජෙජු කැරැල්ල පරාජය වීමත් එක්ක කිම් ඉල්-සුං වටහා ගන්නවා රී ගෙ මර්ධනකාරී පාලනයත් එක්ක දකුණු කොරියාවේ කොමියුනිස්ට් විප්ලවයක් කියන්නෙ අපහසු ඉලක්කයක් කියල​. ඒ නිසා ඔහු තෝරා ගන්නවා උතුරු කොරියානු හමුදාව විසින් කරන ආක්‍රමනයක්.

රී ත් කල් යල් බල බල ඉන්නෙ උතුරු කොරියාව ආක්‍රමනය කිරීමේ පොටක් පෑදෙන තුරු.

නමුත් මෙතනදි උතුරු කොරියාවට පැහැදිලි වාසියක් තියෙනවා. ඒ කොමියුනිස්ට් චීනය​. සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවේ යුද්ධයකට පැටලෙන්න අකැමැති නිසා යුද්ධයක් වෙනුවෙන් කිම් ඉල්-සුං සහ රී ව දිරිමත් කරන්නෙ නෑ. නමුත් මාඕ කිම් ඉල්-සුං ට පොරොන්දු වෙනවා ආක්‍රමනයකදී චීන සහය උතුරු කොරියාවට ලබා දෙන්න​.

මාඕ සහ කිම් ඉල්-සුං


උතුරු කොරියාව සහ දකුණු කොරියාව සන්සන්දන​යක්


1950 වෙනකොට උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ දේශපාලන - ආර්ථික තත්වයන් වල ලොකු වෙනස්කම් තිබ්බ​.

1. භූමි ප්‍රමානය : 

උතුරු කොරියාව වර්ග කිලෝමීටර 120,000; දකුණු කොරියාව වර්ග කිලෝමීටර 100,000. නමුත් උතුරු කොරියාවේ භූමියෙන් වැඩි හරිය කඳු.

2. ජනගහණය :

උතුරු කොරියාව මිලියන 9; දකුණු කොරියාව මිලියන 16

3. ආර්ථිකය :

ජපන් යටත් විජිත සමයේදී ජපන්නු කොරියාවේ බැර කර්මාන්ත ඔක්කොම පාහේ ස්ථානගත කරේ උතුරේ. ඒ නිසා කාර්මික හැකියාව අතින් උතුරු කොරියාව දකුණු කොරියාවට වඩා සෑහෙන ඉදිරියෙන් හිටියා.

4. දේශපාලන තත්වය :

උතුරු කොරියාවේ දේශපාලන තත්වය සාපේක්‍ෂව සාමකාමීයි. ජාතිකවාදීන් ගේ සහය අඩු වැඩි වශයෙන් කිම් ඉල්-සුං ට ලැබුනා. නමුත් දකුණු කොරියාවේ දේශපාලනය ඉතාමත් අවුල් සහගතයි. ජනගහණයෙන් විශාල කොටසක් රී ගේ රජයට සහය දුන්නේ නෑ. කොමියුනිස්ට් වරු කෙලින්ම උතුරු කොරියාවට පක්‍ෂපාතී වුනා.

දකුණු කොරියානු හමුදාව 1950

5. යුධමය හැකියාව :

දෙවෙනි ලෝක යුද්ධ සමයේ ජපනුන්ට එරෙහිව යුද්ධ කරපු කොරියානු ගරිල්ලන් ගෙන් සමන්විත වුන ඉතා පළපුරුදු හමුදාවක් උතුරු කොරියාවට හිටියා. අමතරව ඔවුන්ට චීන විප්ලවයේදී සටන් කරල ලද අත්දැකීමුත් තිබිනා. සෝවියට් දේශය විසින් ලබා දුන්න නවීන ආයුධ වලින් සන්නද්ධ වුන මේ හමුදාව ඉතාමත් ක්‍රියාකාරී හමුදාවක්.

නමුත් දකුණු කොරියාවට ඒ වගේ පළපුරුදු හමුදාවක් හිටියෙ නෑ. ඔවුන් රඳාපැවතුනේ දකුණු කොරියාවේ ස්ථානගත කරල හිටපු ඇමරිකන් හමුදා ඛන්ඩ මත​.

සංඛ්‍යාත්මකව උතුරු කොරියානු හමුදාව දකුණු කොරියානු හමුදාව වගේ දෙගුණයකට ආසන්න වුනා.

උතුරු කොරියානු හමුදාව - 1950

යුද්ධය ඇරඹීම​


1950 ජූනි 11 වෙනිදා උතුරු කොරියානු නියෝජිතයන් තුන් දෙනෙක් සියොල් නුවරට එනවා සාම සාකච්ඡා සඳහා. කිම් ඉල්-සුං ගෙ යෝජනාව වෙන්නෙ මුළු කොරියාව පුරාම පැවැත්වෙන ඡන්දයකින් පසුව කොරියාව එක්සත් කිරීම​.

නමුත් රී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කරනවා. රී ඡන්දයක් පිළිබඳව විශ්වාසය තියන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු යුද්ධයකින් උතුරු කොරියාව අල්ලා ගැනීම ගැන විශ්වාසය තියනවා.

නමුත් රී දන්නෙ නෑ ඒ වෙනකොටත් උතුරු කොරියාව යුද්ධයට සූදානම් වෙලා අවසන් බව​.

ජූනි 25 වෙනිදා කොරියාවේ බටහිර වෙරළේ 38 වෙනි දේශාංශය මත තියෙන ඔංජින් අර්ධද්වීපයේ උතුරු - දකුණු කොරියා හමුදා අතර ගැටුමක් ඇතිවෙනවා. පළමු වෙඩිල්ල තියන්නෙ කවුද කියල පැහැදිලි නෑ. නමුත් පැය කීපයක් ඇතුළත දේශසීමාව දිගටම උතුරු කොරියානු හමුදාව විසින් දැවැන්ත ආක්‍රමනයක් දියත් කරනවා.

සෝවියට් T-34 යුධ ටැංකි සමඟ උතුරු කොරියන් හමුදාව දකුණු කොරියාවට ඇතුල් වීම​.

කොරියානු යුද්ධය ඇරඹෙනවා.



පළමු අදියර - උතුරු කොරියානු ආක්‍රමනය​


යුද්ධයේ පලමු අදියර වෙන්නේ උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමනය කිරීම​.

ජූනි 25 වෙනිදා ආක්‍රමනය ඇරඹිලා දවස් දෙකක් ඇතුලත දකුණු කොරියානු හමුදාව සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. උතුරු කොරියානු යුධ ටැංකි වලට සහ බර කාලතුවක්කු වලට පිළිතුරු දෙන්න දකුණු කොරියාවට​ හැකි වෙන්නෙ නෑ. ඔවුන් ගේ හමුදාව සේනාංක පිටින් පසු බසිනවා.

ජූනි 27 වෙනිදා උතුරු කොරියන් හමුදාව සියොල් නගරය අසලටම එනවා. එතකොට රී සහ ඔහුගේ කැබිනෙට්ටුව නගරය අත හැරලා දකුණට පසු බසිනවා. හැබැයි වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කුරිරු විදිහට.

හැන්ගැං පාලමේ සිද්ධිය​

උතුරු කොරියන් හමුදාව සියොල් නගරයට එන පාරෙ තියෙනවා හැන්ගැං කියල පාලමක්. ආක්‍රමනය අවහිර කරන්න දකුණු කොරියානු හමුදාව පාලම පුපුරුවනවා. නමුත් ඒ වෙනකොට නගරයෙන් පලායන සියොල් වැසියන් 4000 පමණ පාලම මත ඉන්නවා, පාලම තරණය කරමින්. ඔවුන් ගෙන් 1000 පමණ මිය යනවා.


බොදෝ ලීග ඝාතනය​

දකුණු කොරියාවේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම සඳහා රී විසින් ඔහුගේ ප්‍රතිවාදීන් ව බොදෝ ලීගය නම් සංවිධානයක ලියාපදිංචි කරනවා. ඒකෙ අරමුණ වෙන්නෙ ඔවුන්ට "නැවත අධ්‍යාපනය ලබා දීම​". මේ අය අතර කොමියුනිස්ට් වරු, ජාතිකවාදීන් වගේම සාමාන්‍යය ගොවියනුත් ඉන්නවා.

රී ට අවශ්‍යය වෙනවා ඔහුගේ විරුද්ධ වාදීන් උතුරු කොරියානු හමුදාවට සහය දීම වලක්වන්න​. ඒ නිසා ඔහු ජූනි 28 වෙනිදා අණ දෙනවා දකුණු කොරියාව පුරාම ඉන්න බොදෝ ලීගයේ ලියාපදිංචි කල සියළුම දෙනා ඝාතනය කරන්න​. මේ අණ නිසා ඊලඟ අවුරුදු දෙක ඇතුළත​ බොදෝ ලීග සාමාජිකයන් ලක්‍ෂ දෙකක් පමණ ඝාතනය වෙනවා.


ජූනි 28 වෙනිදා සියොල් නගරය උතුරු කොරියානුවන් අතට පත් වෙනවා. ඔවුන් එතැනින් නොනැවතී දිගටම දකුණට පහර දෙනවා.

යුද්ධය පටන් ගද්දි දකුණු කොරියානු හමුදාවේ සෙබළු 95,000 ඉන්නවා. නමුත් දවස් පහකට පස්සෙ ඉතුරු වෙලා ඉන්නෙ 20,000 ක් විතරයි.

දකුණු කොරියානු හමුදාව විනාශ වුනු බව දැක්ක ඇමරිකාව ලහි ලහියේ යුධ ආධාර සූදානම් කරනවා. ඒ වෙනකොට දකුණු කොරියාවේ ස්ථානගත වෙලා ඉන්න ඇමරිකානු යුධ සේනාංක යුදවනවා උතුරු කොරියානු හමුදාව පුළුවන් තරම් පරක්කු කරන්න​. ඒ අතරෙදි ඇමරිකානු හමුදාව කොරියාවේ දැවැන්ත ගොඩ බැසීමකට සූදානම් වෙනවා. ඒ අතරෙම එක්සත් ජාතීන් ගේ හමුදාවකුත් සූදානම් කරනවා කොරියාවට යවන්න​.

ජූලි මාසය පුරාවටම ඇමරිකන් හමුදාව උතුරු කොරියන් හමුදාව එක්ක සටන් කරනවා. නමුත් ඒ හැම සටනකින්ම උතුරු කොරියාව දිනනවා. ඔවුන් ක්‍රමයෙන් කොරියානු අර්ධ ද්වීපය දිගේ පහළට එනවා.

ඕසන්, චොචිවොන්, පියොංතායෙක්, චෝනන්, තයෙජොන් කියන ස්ථාන වල සිදු වෙන සටන් වලින් ඇමරිකන් හමුදාව පරාජය වෙලා පසු බසිනවා. මේ සටන් වලින් ඇමරිකන් සෙබළු 3500 පමණ මිය යනවා. තවත් 3000ක් හිර භාරයට පත් වෙනවා.

ඇමරිකානු සෙබළු - තයෙජොන් සටනේදී

උතුරු කොරියන් හමුදාව ඉදිරියට යන්නෙ ඔවුන්ට යටත් වෙන ප්‍රදේශ වල ඉන්න දක්‍ෂිනාංශිකයන් සහ රජයට සම්බන්ධ අය ඝාතනය කරමින්. දකුණු කොරියන් හමුදාව පසු බසින්නෙත් විරුද්ධ වාදීන් ඝාතනය කරමින්. මුළු කොරියාවම ඝාතන කඳවුරක් බවට පත් වෙනවා.

අගෝස්තු මාසෙ වෙද්දි දකුණු කොරියාවට ඉතුරු වෙන්නෙ දකුණු කොනේ තියෙන පූසාන් නගරය වටා තියෙන කුඩා බිම් කොටසක් විතරයි. කොරියාවෙන් 90% ක්ම​ උතුරු කොරියානු හමුදාව යටතට පත් වෙනවා.



දෙවෙනි අදියර - රැල්ල ආපසු හැරවීම​​


කොරියාවම බිඳ වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි කොරියන් යුද්ධය මෙහෙයවීම බාර වෙනවා ඇමරිකානු හමුදාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර් ට​. මැක් ආතර් කියන්නෙ දෙවෙනි ලෝක යුද්ධෙදි ජපානයට එරෙහිව යුද්ධය මෙහෙයවපු ප්‍රධාන සෙනෙවියා. ඔහු යුධ වීරයෙක් වගේම දක්‍ෂ  සෙනවියෙක්.

ජනරාල් ඩග්ලස් මැක් ආතර්

මැක් ආතර් මුලින්ම කරන්නෙ දකුණු කොරියානු හමුදාවේ ඉතිරිය සහ දකුණු කොරියාවේ ඉතුරු වුන ඇමරිකන් හමුදාවේ ඉතිරිය සංවිධානය කරලා පූසාන් නගරය වටා ආරක්‍ෂක වළල්ලක් හැදීම​. එතනින් උතුරු කොරියන් ආක්‍රමනය නවත්තන්න ඔහු අදහස් කරනවා. ඒකට එක්සත් ජාතීන් ගේ හමුදාව සහ ජපානයෙන් එවන ඇමරිකන් හමුදාවකුත් යොදාගන්නවා.

දෙවෙනි පියවර විදියට සියොල් නගරය අවට තැනකට දැවැන්ත ඇමරිකන් හමුදාවක් ගොඩ බස්වන්න ඔහු සැලසුම් කරනවා. නමුත් ඒ හමුදාව සංවිධානය කරනතුරු පූසාන් නගරය යටත් නොවී තබා ගැනීම අවශ්‍යයයි.

පූසාන් සටන​ (Battle of Pusan)


අගෝස්තු 4 වෙනිදා ලක්‍ෂයක උතුරු කොරියන් හමුදාවක් පූසාන් නගරය වටා තියෙන ආරක්‍ෂක වලල්ලට පහර දෙනවා. ඔවුන්ට එරෙහිව ඉන්නෙ දකුණු කොරියන්, ඇමරිකන්, බ්‍රිතාන්‍යය​, ඕස්ට්‍රේලියන්, නවසීලන්ත සහ නෙදර්ලන්ත හමුදා වලින් සමන්විත වන 140,000 ක හමුදාවක්.

පූසාන් සටන ඇරඹෙනවා.

උතුරු කොරියානු හමුදාව මාසයක් පුරාවට පහර දුන්නත්, ආරක්‍ෂක වළල්ල බිඳ දමන්න ඔවුන්ට පුළුවන් වෙන්නෙ නෑ. ජපානයේ ඉඳල ඇමරිකන් යුධ ආධාර දිගටම එවන්න පුළුවන් වෙන නිසා ආරක්‍ෂකයන් ගේ යුධ බලය නොවැටී තියාගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම ජපානයේ ගුවන් හමුදා කඳවුරු වලින් එන ගුවන් යානා වලින් එල්ල වෙන ප්‍රහාර වලින් උතුරු කොරියානු හමුදාවට දැඩි අලාභ සිද්ධ වෙනවා.

ආරක්‍ෂිත ස්ථාන වල සිට සටන් වදින ඇමරිකන් සෙබළු

අගෝස්තු මාසය අවසන් වෙද්දි දෙපැත්තේම මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව 60,000 බැගින් වෙනවා.

සටන අතරතුර දෙපැත්තම යුධ අපරාධ කරනවා. උතුරු කොරියන් හමුදාව සිර භාරයට ගන්න ඇමරිකන් සෙබළු සිය ගනනක් ඝාතනය කරනවා. දකුණු කොරියන් හමුදාව උතුරු කොරියාවට පක්‍ෂපාතී සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කරනවා. විශේෂයෙන්ම බොදෝ ලීග සාමාජිකයන්. වඩාත් කැපී පෙනෙන සිද්ධිය වෙන්නෙ නෝ ගං රී හිදි පූසාන් නගරය දෙසට එන සරණාගතයන් ට ඇමරිකන් හමුදාව වෙඩි තැබීම​. එහිදී 400 පමණ මිය ගිය බව විශ්වාස කෙරෙනවා.

නෝ ගං රී හිදී මරා දැමුණු සරණාගතයන්

මැක් ආතර් ගේ දෙවෙනි පියවර​, ඒ කියන්නෙ සියොල් නගරය අවටින් දැවැන්ත ඇමරිකන් හමුදාවක් ගොඩ බස්වන තුරු, පූසාන් නගරය ආරක්‍ෂා කරගන්න ආරක්‍ෂකයන් සමත් වෙනවා. ඒ සැප්තැම්බර් 10 වෙනිදා.

ඉන්චොන් සටන​ සහ සියොල් සටන​ (Inchon Landing and Battle of Seoul)


සැප්තැම්බර් 10 වෙනිදා 40,000 ක ඇමරිකන් හමුදාවක් සියොල් නගරයට නුදුරෙන් තියෙන ඉන්චොන් වෙරළට ගොඩ බසිනවා. උතුරු කොරියන් හමුදාවේ බහුතරය මේ වෙනකොට පූසාන් අවට ස්ථානගත වෙලා ඉන්න නිසා ඉන්චොන් වෙරළේ ආරක්‍ෂාවට ඉන්නෙ 6,500 ක කුඩා හමුදාවක් පමණයි.

දින නවයක සටනකින් පස්සෙ ඉන්චොන් වෙරළ ඇමරිකානු හමුදා යටතට පත් වෙනවා.

ඇමරිකන් හමුදාව ඉන්චොන් වෙරළේ

මේ ගොඩ බැසීම සැලකෙන්නෙ යුධ ඉතිහාසයේ විශිෂ්ඨම ප්‍රහාරයක් විදිහට​.

සැප්තැම්බර් 22 වෙනිදා ඇමරිකන් හමුදාව සියොල් නගරයට පහර දීම අරඹනවා. මේ වෙනකොටත් ආධාරක හමුදා සියොල් නගරයට අරගෙන එන්න උතුරු කොරියාවට හැකිවෙන්නෙ නෑ. ඒ නිසා 40,000 ක ඇමරිකන් හමුදාවට මුහුණ දෙන්න සියොල් නගරයේ ඉන්නෙ 7000 ක උතුරු කොරියන් හමුදාවක් විතරයි.

ඇමරිකන් හමුදා සියොල් නගරයේ

දින තුනක සටනකින් පස්සෙ සියොල් නගරය ඇමරිකාව යටතට පත් වෙනවා.

සියොල් නගරය අල්ලගත්තට පස්සෙ දකුණු කොරියන් හමුදාව සහ රී ගෙ මිලිෂියා කණ්ඩායම් මර්ධනය පටන් ගන්නවා. කොමියුනිස්ට් වරු පමණක් නෙවෙයි උතුරු කොරියන් හමුදාවත් එක්ක මොනයම් හෝ සම්බන්ධයක් පවත්වපු සියළුම දෙනා ඝාතනය කෙරෙනවා. මේ ඝාතන වලින් නම්‍යැංජූ සහ ගොයැං ගෙයුම්ජියොං ගුහා වල ඝාතන ප්‍රසිද්ධයි. 1950 සැප්තැම්බර් මාසයේදී ඝාතනය කෙරුණු සියොල් වැසියන් ගණන 30,000 පමණ වෙනවා කියල සැලකෙනවා.

නම්‍යැංජූ හිදී ඝාතනය වූවන් ගේ ඇටසැකිළි

මේ ඝාතන වලට ඇමරිකන් හමුදාව කෙළින්ම සම්බන්ධ නොවුනත් ඒවා කෙරෙන්නෙ ඔවුන් ගේ අනුදැනුම යටතේ.

සියොල් නගරය අල්ලා ගැනීමට සමගාමීව පූසාන් නගරයේ ඉඳල ඉදිරියට කෙරෙන පහරදීමකින් උතුරු කොරියානු හමුදාව ආපසු හරවන්න පුළුවන් වෙනවා. දෙපැත්තකින් කෙරෙන පහර දීම් වලින් උතුරු කොරියන් හමුදාව සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙනවා.



පසු බසින උතුරු කොරියානු හමුදාවෙන් ආපහු දේශසීමාවට ළඟා වෙන්න පුළුවන් වෙන්නෙ 30,000 කට විතරයි.

මහජන ස්වේච්ඡා හමුදාව​ (People's Volunteer Army)


උතුරු කොරියානු හමුදාව පසු බසින්න පටන් ගන්නවත් එක්කම චීනය ආධාරක හමුදා සංවිධානය කරන්න පටන් ගන්නවා. මේ ආධාරක හමුදාව හැඳින්වෙන්නෙ මහජන ස්වේච්ඡා හමුදාව (People's Volunteer Army) කියලා. එහි අණදෙන නිලධාරියා වෙන්නෙ චීනයේ එවකට හිටපු විශිෂ්ඨම සෙනවියා වන මාෂල් පෙං ඩෙහුවායි.

මාෂල් පෙං ඩෙහුවායි


දකුණු කොරියානු සහ ඇමරිකන් හමුදා උතුරු කොරියාවට ඇතුල් වීම​


සැප්තම්බර් මාසෙ ඉවර වෙද්දි උතුරු කොරියන් හමුදාව සම්පූර්නයෙන්ම දකුණු කොරියාවෙන් පළවා හැරල ඉවරයි. මේ වෙද්දි දකුණු කොරියන් හමුදාව නැවත ගොඩ නංවලා තියෙන්නෙ.

ඔක්තෝබර් පළවෙනිදා දකුණු කොරියන් හමුදාව 38 වෙනි දේශාංශය හරහා උතුරු කොරියාවට ඇතුල් වෙනවා. ඊට දවස් හයකට පස්සෙ ඇමරිකන් සහ එක්සත් ජාතීන් ගේ හමුදා ඔවුන් අනුගමනය කරනවා.

චීන යුධ උපදේශකයන් ගෙ උපදෙස් අනුව උතුරු කොරියන් හමුදාව ඇමරිකන් සහ දකුනු කොරියන් හමුදා සමඟ ඍජු සටන් වලට එළඹෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුන් චීන දේශසීමාවේ තියෙන කඳුකරයට පලා යනවා.

ඔක්තෝබර් 17 වෙනිදා දකුණු කොරියන් සහ ඇමරිකන් හමුදා පියොංයැං නගරයට ඇතුල් වෙනවා. දින දෙකකින් සම්පූර්න නගරයම ඔවුන් යටතට පත් වෙනවා.

ඇමරිකන් හමුදා උතුරු කොරියාවේ හුංනම් නගරයේ

නොවැම්බර් මාසය අවසන් වෙද්දි චීන දේශ සීමාව අවට කුඩා තීරුවක් හැරුණු විට මුළු උතුරුකොරියාවම දකුණු කොරියන් සහ ඇමරිකන් හමුදා විසින් අල්ල ගෙන ඉවරයි. ජනරාල් මැක් ආතර් අදහස් කරනවා චීන-කොරියන් දේශ සීමාව මායිම් වන යාලු ගංගාව තරණය කරලා දේශ සීමාවෙන් එපිට තියෙන උතුරු කොරියන් හමුදා කඳවුරු වලට පහර දෙන්න​. 

නමුත් ඇමරිකන් ජනාධිපති හැරී ටෲමන් එසේ නොකරන ලෙස ඔහුට තදින් අවවාද කරනවා.




තුන්වෙනි අදියර - චීන මැදිහත් වීම​


ඇමරිකන් සහ දකුණු කොරියානු හමුදා ක්‍රමයෙන් චීන දේශසීමාවට ලං වෙද්දි කඳුවැටි නිසා ඔවුන් ගේ හමුදා නැගෙනහිර සහ බටහිර ලෙස කොටස් දෙකකට බෙදෙනවා. මේ අවාසිය ගැන ඔවුන් වැඩි තැකීමක් කරන්නෙ නෑ - උතුරු කොරියන් හමුදාව විනාශ වෙලා ඉවරයි.

ඒත් ඔක්තෝබර් 19 වෙනිදා ලක්‍ෂ තුනක චීන හමුදාවක් හොරෙන්ම යාලු හඟ තරණය කරලා උතුරු කොරියාවට ඇතුල් වෙනවා.


ඔක්තෝබර් 25 වෙනිදා යාලු ගංගාව අසබඩ තියෙන ඔන්ජොං ගම අසලදී දකුණු කොරියානු හමුදාවට මුල් වරට චීන හමුදා මුණ ගැහෙනවා. එතැන ඇතිවෙන සටනෙන් දකුණු කොරියානු හමුදාවේ සේනාංක තුනක් සම්පූර්නයෙන්ම විනාශ වෙනවා.

නොවැම්බර් පළවෙනිදා ඇති වෙන උන්සං සටනේදී චීන හමුදා ඇමරිකන් රෙජිමේන්තු දෙකක් පසු බස්සවන්න සමත් වෙනවා.

චීන හමුදා
චීන හමුදාව සටන් බිමට ඇවිල්ල කියල දැනගන්න මැක් ආතර් වහාම දැවන්ත ප්‍රහාරයක් දියත් කරනවා. ඇමරිකන් හමුදා දෙකක් කොරියාවේ බටහිර වෙරළ සහ නැගෙනහිර වෙරළ ඔස්සේ ඉදිරියට යවනවා. ඔවුන් ගේ අරමුන වෙන්නෙ කොරියාවේ ඉන්න චීන හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම​. ඇමරිකානු සහ දකුණු කොරියන් හමුදාවල සම්පූර්න ශක්තිය 250,000 ක්.

ඔවුන්ට එරෙහිව ඉන්නෙ 200,000 ක චීන හමුදාවක්.

උතුරු කොරියානු හමුදාව වගේ නෙවෙයි චීන හමුදාව ගරිල්ලා සටන් සහ උපක්‍රමශීලී ස්ථානගත වීම් වල විශේෂඥයෝ. ඔවුන් අන්තිම මොහොත වෙනකම් පහර දෙන්නෙ නෑ. පහර දෙන්නෙ ප්‍රතිවාදියා අසලටම ඇවිල්ලා. ඒ වගේම ප්‍රහාරය අවසන් වුන වහාම නැවතත් කඳුකරයට පලා ගිහින් සැඟවෙනවා. ඒ නිසා ඇමරිකන් හමුදාවේ කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර ඒ තරම් ඵලදායී වෙන්නෙ නෑ.

චොංචොන් ගංගාවේ සටන(Battle of Chongchon River)


බටහිර දෙසින් යන හමුදාව සමන්විත වෙන්නෙ ඇමරිකන් අටවෙනි හමුදාවෙන් සහ සහයක දකුණු කොරියන් සේනාංක වලින්.

නොවැම්බර් 24 වෙනිදා චොංචොන් ගංගාව අසලදී චීන හමුදා ඉදිරියට ඇදෙන ඇමරිකන් අටවෙනි හමුදාවේ දකුණු අංශයට පහර දෙනවා. දින දෙකකින් ඔවුන් දකුණු අංශය සම්පූර්නයෙන්ම විනාශ කරලා සතුරාගේ පසුපසට පහර දෙනවා. චීනුන් ගෙ අරමුණ වෙන්නෙ ඇමරිකන් හමුදාවේ පසුබැස්ම වලක්වලා සම්පූර්නයෙන්ම සතුරා විනාශ කරන්න​.

නමුත් තුර්කි සේනාංකයක් විසින් චීන ප්‍රහාර මැඩපවත්වගෙන ඉන්න අතරේ ඇමරිකන් හමුදාවට වටකිරීමෙන් මිදිලා පසු බසින්න පුළුවන් වෙනවා. චීන හමුදා ලුහුබැඳ පහර දෙන්න උත්සහ කළත් දරුණු කාලතුවක්කු ප්‍රහාරයකින් ඔවුන් නවතන්න ඇමරිකන් හමුදාවට පුළුවන් වෙනවා.

මේ සටනෙන් මිය යන සහ තුවාල ලබන ඇමරිකන් සහ දකුණු කොරියන් සෙබළු ගණන 11,000 කට අධිකයි. චීන හමුදාවේ මිය යන සහ තුවාල ලබන ගණග 20,000 කට අධිකයි.

කොහොම වුනත් අටවෙනි හමුදාවේ සංග්‍රාමික හැකියාව සම්පූර්නයෙන්ම විනාශ කරන්න චීන හමුදාව සමත් වෙනවා. දෙසැම්බර් 5 වෙනිදා වෙද්දි චීන හමුදා නැවතත් පියොංයැං නගරය අත්පත් කරගන්නවා.

කාලතුවක්කු ප්‍රහාර මැද ඉදිරියට ඇදෙන චීන හමුදා


චෝසින් ජලාශයේ සටන​ (Battle of Chosin Reservoir)


බටහිර දෙසින් ඇදෙන හමුදාව ඒ විදිහට විනාශ වෙද්දි නැගෙනහිරින් යන ඇමරිකන් දහවෙනි හමුදාවට චීනුන් මුණ ගැහෙන්නෙ නොවැම්බර් 27 වෙනිදා.

ඉදිරියට ඇදෙන ඇමරිකන් හමුදාවට චෝසින් ජලාශය අසලදී චීන හමුදාව පහර දෙනවා. දෙපැත්තටම දරුණු හානි සිද්ධ වුනත් පැහැදිලි ජයක් ලබන්න දෙපැත්තම අසමත් වෙනවා. නමුත් ඇමරිකන් හමුදාවේ ඉදිරි ගමන වලක්වන්න චීනුන්ට පුළුවන් වෙනවා. දහවන හමුදාව අටවන හමුදාව වගේ දරුණු පරාජයක් නොලබන්න​ ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඇමරිකන් දහවෙනි හමුදාවේ බහුතරය මැරීන් සෙබළු වීම​.

දෙසැම්බර් පළවෙනිදා වෙද්දි ක්‍රමයෙන් ඇමරිකන් හමුදාව කුඩා කණ්ඩායම් කීපයකට කඩලා වෙන් වෙන් ව වට කරන්න චීන හමුදාව සමත්‍ වෙනවා. මේ හේතුවත්, ඇමරිකන් අටවෙනි හමුදාවේ පසු බැසීමත් නිසා මැක් ආතර් අණ දෙනවා දහවෙනි හමුදාවටත් පසු බසින්න​.

ඔවුන් දරුණු ලෙස සටන් වදිමින් චීන වටලෑම් බිඳගෙන ආපසු හුංනම් නගරයට පසු පසු බසිනවා.

දෙසැම්බර් 25 වෙනිදා වෙද්දි ඔවුන් ඉදිරියට ඇදෙන චීන හමුදා ඉදිරියේ හුංනම් නගරය අතහැර පසු බසිනවා.

පසුබසින ඇමරිකන් හමුදා
මේ සටන් දෙක සැලකෙන්නෙ ඇමරිකන් යුධ ඉතිහාසයේ දරුණුම පරාජයන් දෙකක් විදිහට​.

1951 වෙද්දි මුළු උතුරු කොරියාව සම්පූර්නයෙන්ම මුදාගන්න චීන හමුදා සමත් වෙනවා.

හතරවෙනි අදියර - එක තැන හිර වීම​


උතුරු කොරියාව මුදාගත්තට පස්සෙ චීන හමුදාවේ සහ ප්‍රතිසංවිධානය කළ උතුරු කොරියානු හමුදාවේ ඊළඟ අරමුණ වෙන්නෙ නැවත දකුණු කොරියාවට පහර දීම​. ඒ අනුව ඔවුන් 1951 ජනවාරි මාසෙ දේශසීමාව හරහා දකුණට පහර දෙනවා.

විසිරී ඉන්න ඇමරිකන් සහ දකුණු කොරියන් හමුදාවලට මේකට මුහුණ දෙන්න ශක්තියක් ලැබෙන්නෙ නෑ. ඔවුන් නැවත පසුබසිනවා. ජනවාරි 4 වෙනිදා නැවතත් සියොල් නගරය උතුරු කොරියානුවන් අතට පත් වෙනවා.
මුළු කොරියාවම අහිමි වෙන ලකුණු පේනකොට ජනරාල් ඩග්ලස් මැක් ආතර් යෝජනා කරනවා චීනයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරන්න​. ඒ එක්කම උතුරු කොරියාව හරහා වැටී තියෙන හමුදා සැපයුම් මාර්ග වලට විකිරනශීලී අපද්‍රව්‍යය වලින් පහර දෙන්න​. මේ අදහස් නිසා ඇමරිකානු රජය තුල මැක් ආතර් දැඩි අප්‍රසාදයට ලක් වෙනවා. ඔහුව 1951 අප්‍රේල් 11 වෙනිදා තනතුරෙන් පහ කෙරෙනවා

අටවෙනි ඇමරිකන් හමුදාවේ නව අණදෙන නිලධාරියා ලෙස පත්වී එන ජනරාල් රිජ්වේ යටතේ නැවත ප්‍රතිසංවිධානය වෙන්න ඔවුන් කටයුතු කරනවා. 1951 පෙබරවාරි මාසය වෙද්දි බටහිරින් සුවොන් නගරයේදීත්, මධ්‍යයෙන් වොන්ජූ නගරයේදීත් නැගෙනහිරින් සැම්චියොක් නගරයේදීත් චීන ප්‍රහාරය නවත්වන්න ඇමරිකාව සමත් වෙනවා. 38 වෙනි දේශාංශයට මදක් දකුණෙන් සටන් සීමා ස්ථාවර වෙනවා.


මේ අවස්ථාවේදී ඇමරිකාව තමාගේ සංග්‍රාමික උපක්‍රම වල වෙනසක් කරනවා. ඒ අනුව ඔවුන් උතුරු කොරියාවට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ ප්‍රහාර වල අරමුණ වෙන්නෙ චීන සහ උතුරු කොරියන් හමුදා වල සැපයුම් මාර්ග විනාශ කිරීම​ සහ උතුරු කොරියාවේ මානසික තත්වය බිඳ දැමීම​.

මේ ගුවන් ප්‍රහාර හේතුවෙන් උතුරු කොරියාවේ සෑම ප්‍රධාන නගරයක්ම සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. විශාල ජන ඝාතනයකුත් සිද්ධ වෙනවා.

පියොංයැං නගරය යුද්ධයට පෙර සහ පසු

මේ හේතුවෙන් චීන - උතුරු කොරියන් හමුදා වල සඵල​ භාවයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා මෙතැනින් ඉදිරියට යන්න ඔවුන්ට අපහසු වෙනවා.

මේ අතර ඇමරිකන් සහ දකුණු කොරියන් හමුදා ප්‍රති ප්‍රහාර අරඹනවා. ක්‍රමයෙන් උතුරුදෙසට ඉදිරියට යන්න ඔවුන්ට පුළුවන් වෙනවා. 1951 මාර්තු 7 වෙනිදා සම්පූර්නයෙන්ම විනාශ වුනු සියොල් නගරය නැවත අල්ල ගන්න ඔවුන් සමත් වෙනවා.

විනාශ වුනු සියොල් නගරය​


වසන්ත ප්‍රහාරය​ (Spring Offensive)


1951 අප්‍රේල් මාසයේදී චීනුන් නැවත පහර දෙනවා. මේ ප්‍රහාරය හැඳින්වෙන්නෙ වසන්ත ප්‍රහාරය කියලා. මේ වෙනකොට ඔවුන් සෝවියට් ආයුධ වලින් සන්නද්ධයි. නමුත් ඉම්ජින් ගංගාව අසලදී ඔවුන්ව නවතන්න ඇමරිකන් හමුදාව සමත් වෙනවා. මේ සටනෙන් චීන සහ උතුරු කොරියන් සෙබළු 15,000 ක් මිය යනවා සහ තුවාල ලබනවා.

ඉම්ජින් සටනෙන් චීන ප්‍රහාරය අඩපණ වුනාට පස්සෙ ඇමරිකාව ප්‍රති ප්‍රහාර දෙනවා. බටහිරෙන් එල්ල වෙන ප්‍රහාරය ඉදිරියට යන්න අසමත් වුනත්, නැගෙනහිර පෙරමුණේ ප්‍රහාරය චීන සහ උතුරු කොරියන් හමුදා 38 වෙනි දේශාංශයෙන් උතුරට එලවා දමන්න සමත් වෙනවා.

සටන් සීමා - 1951 මැයි

සටන් විරාමය​


මෙතැන් සිට 1953 වෙනකන් දිගටම සටන් පැවතුනත් එක පාර්ශවයක් වත් ඉදිරියට යන්න සමත් වෙන්නෙ නෑ.

1953 ජූලි 27 වෙනිදා උතුරු කොරියාව​, චීනය සහ ඇමරිකාව සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනවා. මේ ගිවිසුමට දකුණු කොරියාව අත්‍සන් කරන්නෙ නෑ. ස්ථිර සාමයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන්න දෙපාර්ශවයම එකඟ වුනත්, ඒ සාකච්ඡා දුර දිග යන්නෙ නෑ.

සටන් විරාම ගිවිසුම අත්සන් තැබීම​
යුද්ධය නිල වශයෙන් අවසන් නෑ. අදටත් කොරියාවේ තියෙන්නෙ සටන් විරාමයක් පමනයි.

කෙසේ නමුත් වෙඩි තබාගැනීම් එතැනින් අවසන් වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් 1950 ට පෙර දේශසීමා වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මිලියන ගනනක් මිය යාම පමණයි එකම ප්‍රතිඵලය​.


උතුරු දකුණු කොරියා දේශ සීමාවල අද තත්වය​