Sunday, May 14, 2017

ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම​



1413 දි ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා වෙන්නෙ අෂිකගා යොෂිමෝචි (ෂෝගුන් කියන්නෙ බලවත් සමුරායි වරයෙක්).

යොෂිමෝචි බුද්ධාගමේ හොඳ අනුග්‍රාහකයෙක්. විශේෂයෙන්ම ඔහු සෙන් බුදු දහමට දැඩි කැමැත්තක් දැක්වුවා.

සෙන් සම්ප්‍රදායේ සංකල්පයක් තියෙනවා "කෝඅන්" කියල​. කෝඅන් කියන්නෙ දාර්ශනික ප්‍රශ්න​. උදාහරනයකට "තනි අතින් අත්පුඩි ගහද්දි සද්දෙ මොකද්ද​?". එහෙම නැත්තං "කවුරුත් නැති කැලේක ගහක් කඩාගෙන වැටුනොත් ඒකෙන් සද්දයක් එයිද​?"

බටහිර සාහිත්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා "විශිෂ්ඨ සම්ප්‍රප්පලාප (brilliant nonsense)" කියල​. ලුවිස් කැරොල් ගේ ඇලිස් ගේ විශ්මලන්තය ලියල තියෙන්නෙ මේ සම්ප්‍රදායෙන්. ඒ කතාවල කිසි තේරුමක් නෑ. නමුත් සාහිත්‍යය රසයෙන් උසස්.

බොහෝ බටහිරයන් මේ කෝඅන් සලකන්නෙත් විශිෂ්ඨ සම්ප්‍රප්පලාප විදිහට​. නමුත් ඒව සම්ප්‍රප්පලාප නෙවෙයි. ඒවයින් සාකච්ඡා කෙරෙන්නෙ බුදු දහමේ ඉතා ගැඹුරු සංකල්ප​.

යොෂිමෝචිත් ඒ කාලෙ ජපානයේ හිටපු ප්‍රසිද්ධ සෙන් හාමුදුරුවරුන් ගෙන් කෝඅන් ප්‍රශ්නයක් ඇහුවා.

"ලබු කට්ටකින් අංකුට්ටෙක් අල්ලන්නෙ කොහොමද​?"

අංකුට්ටා (catfish) කියන්නෙ බොහොම ලිස්සන සුළු ඇඟක් තියෙන වේගයෙන් වෙට්ටු දාල පීනන්න පුළුවන් මාළුවෙක්. ලබු කට්ටක් කියන්නෙත් බොහොම සිනිඳු මතුපිටක් තියෙන දෙයක්. ඒ වගේම ලබු කට්ටෙ කට අංකුට්ටව ඇතුලට දාගන්න බැරි තරම් පොඩියි.

ලබු කට්ටක්

අංකුට්ටෙක්

ඉතින් ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලනව කියන්නෙ කරන්න අමාරු වැඩක්. කරන්න බැරි වැඩක් කියලත් කියන්න පුළුවන්.

හාමුදුරුවරුත් එකතු වෙලා මේකට උත්තරයක් හැදුව​. ඒ උත්තරය සමන්විත වුනේ චිත්‍රයක් සහ කවි තිස් එකකින්. ප්‍රසිද්ධ සෙන් භික්‍ෂූන් තිස් එක් නමක් කවිය බැගින් ලියල තමයි කවි තිස් එක සමන්විත වෙන්නෙ.

චිත්‍රය ඇන්දේ ඒ කාලේ ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී භික්‍ෂුවක් වුන "ජොසෙත්සු" හිමි නම​.

යොෂිමෝචි මේ ප්‍රශ්න ඇහුවෙ හාමුදුරුවරුන්ට කොලොප්පමක් කරන්නත් එක්ක​. මේක තේරුම් ගත්ත හාමුදුරුවරු තමන් ගෙ උත්තරෙට​ත් හාස්‍යය රසය නොමදව එක් කරා.

සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන පරිසරයක ගලා ගෙන යන පොඩි දොල පාරක්. ඒක ගස් ගල්  අතරින් වංගු දාගෙන ගලන්නෙ. දොල අයිනෙ පොඩි උණ පඳුරක් තියෙනවා. දොලේ පැත්තක් ජලජ තණකොළ පඳුරු වලින් වැහිල​. ඈතින් මීදුම අතරින් කඳු ගැට කීපයක් මුදුන් පේනවා.

දොළේ එක තැනක බොහොම ප්‍රීතියෙන් වරල් විදහාගෙන පීනන අංකුට්ටෙක් ඉන්නවා.

දොළ අයිනෙ ලබු කට්ටක් අතේ තියාගෙන ඉන්න මනුස්සයෙක් අංකුට්ටව අල්ලන්න උත්සහ කරනවා. ඔහු ඇඳල ඉන්නෙ වැරහැලි. මූනේ දැලි රැවුළු වැවිලා.

මුළු සිතුවමේම තියෙන්නෙ ගූඪ බවක්. මුළු පරිසරයම වහගෙන ඉන්න මීදුමෙන් ඒ ගූඪ බව තියුණු කරනවා. ඒ වගේම සිතුවමෙන් වැඩි හරියක් හිස් අවකාශය​. මීදුමෙන් සියල්ල වැහිල. සිතුවමෙන් සන්නිවේදනය කෙරෙන්නෙ අඳුරු, නිසල, පාළු, ශීතල ගතියක්.

සිතුවම ඇඳල තියෙන්නෙ අළු පාටෙ විවිධ ප්‍රභේද වලින්. දොල පාර​, අංකුට්ටා, උණ පඳුර වගේම මිනිහා ගෙ ඇඳුමත් අළු පාටයි. ඒකෙන් මීදුමෙන් වැහුන සොබාවය කදිමට නිරූපනය වෙනවා.

නමුත් මේ සියල්ලටම වෙනස් විදිහකට ලබු කට්ට විතරක් රන් වන් පැහැයෙන් වර්ණ නංවලා.

ඒ වගේම මුළු සිතුවමේම තියෙන්නෙ බොහොම මට සිලුටු වක්‍ර​. දොල පාර​, උණ පඳුර​, දිය රැලි, අංකුට්ටා යන මේ සියල්ල ඇඳල තියෙන්නෙ බොහොම මටසිළුටු වක්‍ර රේඛා වලින්.

නමුත් මනුස්සයා ගෙ ඉරියව් බොහොම ඍජු, දැඩි සොබාවයක් ගන්නවා. ඔහුගේ අත් දෙක වගේම කකුල් දෙකත් ඉද්ද ගැහුව වගේ කෙලින්. ඇත්තෙන්ම ඒක සොබාවික ඉරියව්වක් නෙවෙයි.

සම්පූර්න සිතුවම කවි පන්තියත් සමඟ​
කවි ටික ලියල තියෙන්නෙ බොහොම හාස්‍යෝත්පාදක විදිහට​. නමුත් කවි පන්තියේ හැඳින්වීම පටන් ගන්නෙ "යොෂිමෝචි අපිට දුන්නු තේමාව බොහොම ගැඹුරු එකක්" කියල​.

ඒ වගේම, එක එක කවිය ලියල තියෙන්නෙ එක එක හිමි නම වුනත්, කවි එකිනෙකට සම්බන්ධයි. කවියක් පටන් ගන්නෙ කලින් කවිය ඉවර වුන තැනෙන්. ඒ නිසා කවි සියල්ලම එක වැලට තියෙන්නෙ.

ඒ කවි කීපයක තේරුම මේ වගේ,

"ලබු කට්ටක් කියන්නෙ අංකුට්ටෙක් අල්ලන්න හොඳ ක්‍රමයක්. හැබැයි ලබු කට්ටෙ තෙල් ගෑවොත් ඒක ඊටත් වඩා හොඳ වේවි"

"ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලුවොත් අපිට පුළුවන් මාළු හොද්දක් හදන්න​. හොදිත් එක්ක කන්න බත් නැත්තං වැලි ටිකක් තම්බල ගන්න පුළුවන්"

කවි පන්තිය ඉවර වෙන්නෙ "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල.



මේ කවි වල​, සිතුවමේ තේරුම මොකද්ද​?

අපිට පුළුවන් මේක පෘථග්ජන සොබාවය ගැන කියවෙනව කියල හිතන්න​.

සිතුවමේ නිරූපනය කෙරන අඳුරු, ශීතල​, ගූඪ, අළු පාට, මීදුමෙන් වැහුන පරිසරය කියන්නෙ අපැහැදිලි සංසාරය ද​? රත්තරන් පාටෙන් දිළිසෙන ලබු කට්ට ලෞකික සැපය ද? බොහොම ලස්සන වුනත්, ඇතුල හිස්. වරල් විදහාගෙන ප්‍රීතියෙන් පීනන අංකුට්ටා කියන්නෙ සිතේ සතුට ද​? අපි කොච්චර උත්සහ කරත් ලබු කට්ටෙන් අංකුට්ටා අල්ලන්න බෑ. කවි පන්තියෙනුත් ඒ උත්සහය උපහාසයට ලක් කරනවා. ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න පුළුවන් නං, වැලි වලින් බත් උයන්නත් පුළුවන්!

සිතුවමේ සොබාවික වස්තූන් ඔක්කොම ඇඳල තියෙන්නෙ සුමට වක්‍ර වලින්. ඒත් මනුස්සයා ඍජුයි, දැඩියි. ඒ ලෞකික සැපය පසු පස්සෙ හඹා යාම ප්‍රකෘතියෙන් බැහැර විකෘතියක් නිසාද​? මනුස්සය වැරහැලි ඇඳල දැලි රැවුළු වවල ඉන්නෙ මේ ලෞකික සැපය පසුපස හඹා යාම නිසා ඔහු පිරිහීමට ලක් වෙලා නිසාද​? 

එහෙම නැත්තං මේ කියන්නෙ විමුක්ති මාර්ගය ගැන වෙන්න පුළුවන්.

අළු පාට, අඳුරු, අපැහැදිලි, ගූඪ සංසාරය මැද  රන් වන් පැහැයෙන් පැහැදිලිව කැපී පෙනෙන ලබු කට්ට කියන්නෙ විමුක්ති මාර්ගය ද​? ලබු කට්ට ඇතුලත මොකවත් නෑ වගේ විමුක්ති මාර්ගයට පිවිසෙන්න නම් අපි සියල්ල අතහරින්න ඕනෙද​?

බැලූ බැල්මට සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවමින් විමුක්තිය සෙවීම ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම වගේ කරන්න බැරි වැඩක් වගේ පෙනුනත්, ඒක ඇත්තෙන්ම කරන්න පුළුවන් ද​? කවි පන්තිය "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල ඉවර කරල තියෙන්නෙ ඒ නිසාද​?

ලබු කට්ටෙ තෙල් ගාන එකෙන් බැලූ බැල්මට වැඩේ තවත් අමාරු වෙනව වගේ පෙනුනත් ඇත්තෙන්ම ඒකෙන් වැඩේ තවත් ලේසි වෙනවද​? අපි වඩ වඩාත් ලෞකික සැපයන් අතහැරලා දුෂ්කර අල්පේච්ඡ දිවියක් අනුගමනය කරන්න ඕනෙද​? කොහොම හරි අංකුට්ටව අල්ල ගත්තොත් වැලි වලින් බත් උයනව වගේ අභව්‍යය වැඩ වගේ පේන දේවලුත් කරන්න පුළුවන් යථාර්තයන් වෙනවද​? අපිට මුළු සංසාරයම පාලනය කරන්න පුළුවන් වෙනවද​?

වැරහැලි ඇඳල දැලි රැවුළු වවාගෙන ඉන්නෙ සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවන සෙන් භික්‍ෂුවක් ද​? පරිසරයේ සුමට වක්‍ර වලට වෙනස් විදිහට ඍජු දැඩි ඉරියව්වක් කියන්නෙ ඔහු පුරන දුෂ්කර වෘතයන් ද​?

එහෙමත් නැත්තම් මේ සියල්ල හුදු උත්ප්‍රාසයක් විතරක් වෙන්න පුළුවන්. කවි වල තියෙන්නෙ උසස් සාහිත්‍යය රසයක් විතරක් වෙන්න පුළුවන්. සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන නිසල පරිසරයේ තියෙන ගූඪ බව විතරක් වෙන්න පුළුවන්.

මේ සියල්ලෙ තේරුම මොක වුනත්, මේ සිතුවම සැලකෙන්නෙ ජපන් ඉතිහාසයේ විශිෂ්ඨතම කලා නිර්මානයක් විදිහට​. ලබුකට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම කියන එක ජපන් සාහිත්‍යයේ සහ චිත්‍ර කලාවේ නිතර යෙදෙන සංකල්පයක් වෙලා තියෙනවා.

ලබුකට්ටෙන් අංකුට්ටන් අල්ල හැටි නිරූපනය කෙරෙන චිත්‍ර ගණනාවක් පසු කාලීනව ඇඳල තියෙනවා (මේ පසු කාලීන චිත්‍ර වල ශෛලිය සහ මුල් චිත්‍රයේ ශෛලිය අතර වෙනස නිරීක්‍ෂනය කරන්න​).


ඒ වගේම අංකුට්ට ට කියන ජපන් වචනය වන "නමසු" අමාරු, නමුත් කළ යුතු වැඩක් හඳුන්වන්න යොදාගන්නවා. උදාහරණයකට 2011 ඇති වුන විශාල භූමි කම්පාවකින් පසුව නැවත ගොඩනැංවීමේ ව්‍යාපාරය හඳුන්වලා තියෙන්නෙ "නමසු මෙහෙයුම" කියල​.

No comments:

Post a Comment