Monday, May 1, 2017

කොරියාව දෙකඩ වීම - 3 (කොරියානු යුද්ධය​)



කොරියාවේ බල තුලනය​


කොරියානු අර්ධද්වීපයේ බල තුලනය හදිසියේම වෙනස් වෙන සිද්ධියක් වෙනවා 1949 ඔක්තෝබර් මාසෙදි. ඒ මාඕ සේදොං ගෙ චීන කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ බලය අල්ලා ගැනීමෙන්. චීන කොමියුනිස්ට් පක්‍ෂය චීනයේ බලය වෙනුවෙන් කළ යුද්ධයේදී කොරියානු කොමියුනිස්ට් වරුන් ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ දුම්.රිය, ආයුධ සහ සෙබළු සැපයීමෙන්. මේ නිසා කොමියුනිස්ට් චීනය උතුරු කොරියාවේ කිට්ටු මිතුරෙක් වෙනවා.

ජෙජු කැරැල්ල පරාජය වීමත් එක්ක කිම් ඉල්-සුං වටහා ගන්නවා රී ගෙ මර්ධනකාරී පාලනයත් එක්ක දකුණු කොරියාවේ කොමියුනිස්ට් විප්ලවයක් කියන්නෙ අපහසු ඉලක්කයක් කියල​. ඒ නිසා ඔහු තෝරා ගන්නවා උතුරු කොරියානු හමුදාව විසින් කරන ආක්‍රමනයක්.

රී ත් කල් යල් බල බල ඉන්නෙ උතුරු කොරියාව ආක්‍රමනය කිරීමේ පොටක් පෑදෙන තුරු.

නමුත් මෙතනදි උතුරු කොරියාවට පැහැදිලි වාසියක් තියෙනවා. ඒ කොමියුනිස්ට් චීනය​. සෝවියට් දේශය සහ ඇමරිකාව කොරියාවේ යුද්ධයකට පැටලෙන්න අකැමැති නිසා යුද්ධයක් වෙනුවෙන් කිම් ඉල්-සුං සහ රී ව දිරිමත් කරන්නෙ නෑ. නමුත් මාඕ කිම් ඉල්-සුං ට පොරොන්දු වෙනවා ආක්‍රමනයකදී චීන සහය උතුරු කොරියාවට ලබා දෙන්න​.

මාඕ සහ කිම් ඉල්-සුං


උතුරු කොරියාව සහ දකුණු කොරියාව සන්සන්දන​යක්


1950 වෙනකොට උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ දේශපාලන - ආර්ථික තත්වයන් වල ලොකු වෙනස්කම් තිබ්බ​.

1. භූමි ප්‍රමානය : 

උතුරු කොරියාව වර්ග කිලෝමීටර 120,000; දකුණු කොරියාව වර්ග කිලෝමීටර 100,000. නමුත් උතුරු කොරියාවේ භූමියෙන් වැඩි හරිය කඳු.

2. ජනගහණය :

උතුරු කොරියාව මිලියන 9; දකුණු කොරියාව මිලියන 16

3. ආර්ථිකය :

ජපන් යටත් විජිත සමයේදී ජපන්නු කොරියාවේ බැර කර්මාන්ත ඔක්කොම පාහේ ස්ථානගත කරේ උතුරේ. ඒ නිසා කාර්මික හැකියාව අතින් උතුරු කොරියාව දකුණු කොරියාවට වඩා සෑහෙන ඉදිරියෙන් හිටියා.

4. දේශපාලන තත්වය :

උතුරු කොරියාවේ දේශපාලන තත්වය සාපේක්‍ෂව සාමකාමීයි. ජාතිකවාදීන් ගේ සහය අඩු වැඩි වශයෙන් කිම් ඉල්-සුං ට ලැබුනා. නමුත් දකුණු කොරියාවේ දේශපාලනය ඉතාමත් අවුල් සහගතයි. ජනගහණයෙන් විශාල කොටසක් රී ගේ රජයට සහය දුන්නේ නෑ. කොමියුනිස්ට් වරු කෙලින්ම උතුරු කොරියාවට පක්‍ෂපාතී වුනා.

දකුණු කොරියානු හමුදාව 1950

5. යුධමය හැකියාව :

දෙවෙනි ලෝක යුද්ධ සමයේ ජපනුන්ට එරෙහිව යුද්ධ කරපු කොරියානු ගරිල්ලන් ගෙන් සමන්විත වුන ඉතා පළපුරුදු හමුදාවක් උතුරු කොරියාවට හිටියා. අමතරව ඔවුන්ට චීන විප්ලවයේදී සටන් කරල ලද අත්දැකීමුත් තිබිනා. සෝවියට් දේශය විසින් ලබා දුන්න නවීන ආයුධ වලින් සන්නද්ධ වුන මේ හමුදාව ඉතාමත් ක්‍රියාකාරී හමුදාවක්.

නමුත් දකුණු කොරියාවට ඒ වගේ පළපුරුදු හමුදාවක් හිටියෙ නෑ. ඔවුන් රඳාපැවතුනේ දකුණු කොරියාවේ ස්ථානගත කරල හිටපු ඇමරිකන් හමුදා ඛන්ඩ මත​.

සංඛ්‍යාත්මකව උතුරු කොරියානු හමුදාව දකුණු කොරියානු හමුදාව වගේ දෙගුණයකට ආසන්න වුනා.

උතුරු කොරියානු හමුදාව - 1950

යුද්ධය ඇරඹීම​


1950 ජූනි 11 වෙනිදා උතුරු කොරියානු නියෝජිතයන් තුන් දෙනෙක් සියොල් නුවරට එනවා සාම සාකච්ඡා සඳහා. කිම් ඉල්-සුං ගෙ යෝජනාව වෙන්නෙ මුළු කොරියාව පුරාම පැවැත්වෙන ඡන්දයකින් පසුව කොරියාව එක්සත් කිරීම​.

නමුත් රී ඔවුන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්‍ෂේප කරනවා. රී ඡන්දයක් පිළිබඳව විශ්වාසය තියන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු යුද්ධයකින් උතුරු කොරියාව අල්ලා ගැනීම ගැන විශ්වාසය තියනවා.

නමුත් රී දන්නෙ නෑ ඒ වෙනකොටත් උතුරු කොරියාව යුද්ධයට සූදානම් වෙලා අවසන් බව​.

ජූනි 25 වෙනිදා කොරියාවේ බටහිර වෙරළේ 38 වෙනි දේශාංශය මත තියෙන ඔංජින් අර්ධද්වීපයේ උතුරු - දකුණු කොරියා හමුදා අතර ගැටුමක් ඇතිවෙනවා. පළමු වෙඩිල්ල තියන්නෙ කවුද කියල පැහැදිලි නෑ. නමුත් පැය කීපයක් ඇතුළත දේශසීමාව දිගටම උතුරු කොරියානු හමුදාව විසින් දැවැන්ත ආක්‍රමනයක් දියත් කරනවා.

සෝවියට් T-34 යුධ ටැංකි සමඟ උතුරු කොරියන් හමුදාව දකුණු කොරියාවට ඇතුල් වීම​.

කොරියානු යුද්ධය ඇරඹෙනවා.



පළමු අදියර - උතුරු කොරියානු ආක්‍රමනය​


යුද්ධයේ පලමු අදියර වෙන්නේ උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමනය කිරීම​.

ජූනි 25 වෙනිදා ආක්‍රමනය ඇරඹිලා දවස් දෙකක් ඇතුලත දකුණු කොරියානු හමුදාව සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. උතුරු කොරියානු යුධ ටැංකි වලට සහ බර කාලතුවක්කු වලට පිළිතුරු දෙන්න දකුණු කොරියාවට​ හැකි වෙන්නෙ නෑ. ඔවුන් ගේ හමුදාව සේනාංක පිටින් පසු බසිනවා.

ජූනි 27 වෙනිදා උතුරු කොරියන් හමුදාව සියොල් නගරය අසලටම එනවා. එතකොට රී සහ ඔහුගේ කැබිනෙට්ටුව නගරය අත හැරලා දකුණට පසු බසිනවා. හැබැයි වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කුරිරු විදිහට.

හැන්ගැං පාලමේ සිද්ධිය​

උතුරු කොරියන් හමුදාව සියොල් නගරයට එන පාරෙ තියෙනවා හැන්ගැං කියල පාලමක්. ආක්‍රමනය අවහිර කරන්න දකුණු කොරියානු හමුදාව පාලම පුපුරුවනවා. නමුත් ඒ වෙනකොට නගරයෙන් පලායන සියොල් වැසියන් 4000 පමණ පාලම මත ඉන්නවා, පාලම තරණය කරමින්. ඔවුන් ගෙන් 1000 පමණ මිය යනවා.


බොදෝ ලීග ඝාතනය​

දකුණු කොරියාවේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම සඳහා රී විසින් ඔහුගේ ප්‍රතිවාදීන් ව බොදෝ ලීගය නම් සංවිධානයක ලියාපදිංචි කරනවා. ඒකෙ අරමුණ වෙන්නෙ ඔවුන්ට "නැවත අධ්‍යාපනය ලබා දීම​". මේ අය අතර කොමියුනිස්ට් වරු, ජාතිකවාදීන් වගේම සාමාන්‍යය ගොවියනුත් ඉන්නවා.

රී ට අවශ්‍යය වෙනවා ඔහුගේ විරුද්ධ වාදීන් උතුරු කොරියානු හමුදාවට සහය දීම වලක්වන්න​. ඒ නිසා ඔහු ජූනි 28 වෙනිදා අණ දෙනවා දකුණු කොරියාව පුරාම ඉන්න බොදෝ ලීගයේ ලියාපදිංචි කල සියළුම දෙනා ඝාතනය කරන්න​. මේ අණ නිසා ඊලඟ අවුරුදු දෙක ඇතුළත​ බොදෝ ලීග සාමාජිකයන් ලක්‍ෂ දෙකක් පමණ ඝාතනය වෙනවා.


ජූනි 28 වෙනිදා සියොල් නගරය උතුරු කොරියානුවන් අතට පත් වෙනවා. ඔවුන් එතැනින් නොනැවතී දිගටම දකුණට පහර දෙනවා.

යුද්ධය පටන් ගද්දි දකුණු කොරියානු හමුදාවේ සෙබළු 95,000 ඉන්නවා. නමුත් දවස් පහකට පස්සෙ ඉතුරු වෙලා ඉන්නෙ 20,000 ක් විතරයි.

දකුණු කොරියානු හමුදාව විනාශ වුනු බව දැක්ක ඇමරිකාව ලහි ලහියේ යුධ ආධාර සූදානම් කරනවා. ඒ වෙනකොට දකුණු කොරියාවේ ස්ථානගත වෙලා ඉන්න ඇමරිකානු යුධ සේනාංක යුදවනවා උතුරු කොරියානු හමුදාව පුළුවන් තරම් පරක්කු කරන්න​. ඒ අතරෙදි ඇමරිකානු හමුදාව කොරියාවේ දැවැන්ත ගොඩ බැසීමකට සූදානම් වෙනවා. ඒ අතරෙම එක්සත් ජාතීන් ගේ හමුදාවකුත් සූදානම් කරනවා කොරියාවට යවන්න​.

ජූලි මාසය පුරාවටම ඇමරිකන් හමුදාව උතුරු කොරියන් හමුදාව එක්ක සටන් කරනවා. නමුත් ඒ හැම සටනකින්ම උතුරු කොරියාව දිනනවා. ඔවුන් ක්‍රමයෙන් කොරියානු අර්ධ ද්වීපය දිගේ පහළට එනවා.

ඕසන්, චොචිවොන්, පියොංතායෙක්, චෝනන්, තයෙජොන් කියන ස්ථාන වල සිදු වෙන සටන් වලින් ඇමරිකන් හමුදාව පරාජය වෙලා පසු බසිනවා. මේ සටන් වලින් ඇමරිකන් සෙබළු 3500 පමණ මිය යනවා. තවත් 3000ක් හිර භාරයට පත් වෙනවා.

ඇමරිකානු සෙබළු - තයෙජොන් සටනේදී

උතුරු කොරියන් හමුදාව ඉදිරියට යන්නෙ ඔවුන්ට යටත් වෙන ප්‍රදේශ වල ඉන්න දක්‍ෂිනාංශිකයන් සහ රජයට සම්බන්ධ අය ඝාතනය කරමින්. දකුණු කොරියන් හමුදාව පසු බසින්නෙත් විරුද්ධ වාදීන් ඝාතනය කරමින්. මුළු කොරියාවම ඝාතන කඳවුරක් බවට පත් වෙනවා.

අගෝස්තු මාසෙ වෙද්දි දකුණු කොරියාවට ඉතුරු වෙන්නෙ දකුණු කොනේ තියෙන පූසාන් නගරය වටා තියෙන කුඩා බිම් කොටසක් විතරයි. කොරියාවෙන් 90% ක්ම​ උතුරු කොරියානු හමුදාව යටතට පත් වෙනවා.



දෙවෙනි අදියර - රැල්ල ආපසු හැරවීම​​


කොරියාවම බිඳ වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි කොරියන් යුද්ධය මෙහෙයවීම බාර වෙනවා ඇමරිකානු හමුදාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර් ට​. මැක් ආතර් කියන්නෙ දෙවෙනි ලෝක යුද්ධෙදි ජපානයට එරෙහිව යුද්ධය මෙහෙයවපු ප්‍රධාන සෙනෙවියා. ඔහු යුධ වීරයෙක් වගේම දක්‍ෂ  සෙනවියෙක්.

ජනරාල් ඩග්ලස් මැක් ආතර්

මැක් ආතර් මුලින්ම කරන්නෙ දකුණු කොරියානු හමුදාවේ ඉතිරිය සහ දකුණු කොරියාවේ ඉතුරු වුන ඇමරිකන් හමුදාවේ ඉතිරිය සංවිධානය කරලා පූසාන් නගරය වටා ආරක්‍ෂක වළල්ලක් හැදීම​. එතනින් උතුරු කොරියන් ආක්‍රමනය නවත්තන්න ඔහු අදහස් කරනවා. ඒකට එක්සත් ජාතීන් ගේ හමුදාව සහ ජපානයෙන් එවන ඇමරිකන් හමුදාවකුත් යොදාගන්නවා.

දෙවෙනි පියවර විදියට සියොල් නගරය අවට තැනකට දැවැන්ත ඇමරිකන් හමුදාවක් ගොඩ බස්වන්න ඔහු සැලසුම් කරනවා. නමුත් ඒ හමුදාව සංවිධානය කරනතුරු පූසාන් නගරය යටත් නොවී තබා ගැනීම අවශ්‍යයයි.

පූසාන් සටන​ (Battle of Pusan)


අගෝස්තු 4 වෙනිදා ලක්‍ෂයක උතුරු කොරියන් හමුදාවක් පූසාන් නගරය වටා තියෙන ආරක්‍ෂක වලල්ලට පහර දෙනවා. ඔවුන්ට එරෙහිව ඉන්නෙ දකුණු කොරියන්, ඇමරිකන්, බ්‍රිතාන්‍යය​, ඕස්ට්‍රේලියන්, නවසීලන්ත සහ නෙදර්ලන්ත හමුදා වලින් සමන්විත වන 140,000 ක හමුදාවක්.

පූසාන් සටන ඇරඹෙනවා.

උතුරු කොරියානු හමුදාව මාසයක් පුරාවට පහර දුන්නත්, ආරක්‍ෂක වළල්ල බිඳ දමන්න ඔවුන්ට පුළුවන් වෙන්නෙ නෑ. ජපානයේ ඉඳල ඇමරිකන් යුධ ආධාර දිගටම එවන්න පුළුවන් වෙන නිසා ආරක්‍ෂකයන් ගේ යුධ බලය නොවැටී තියාගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම ජපානයේ ගුවන් හමුදා කඳවුරු වලින් එන ගුවන් යානා වලින් එල්ල වෙන ප්‍රහාර වලින් උතුරු කොරියානු හමුදාවට දැඩි අලාභ සිද්ධ වෙනවා.

ආරක්‍ෂිත ස්ථාන වල සිට සටන් වදින ඇමරිකන් සෙබළු

අගෝස්තු මාසය අවසන් වෙද්දි දෙපැත්තේම මිය ගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව 60,000 බැගින් වෙනවා.

සටන අතරතුර දෙපැත්තම යුධ අපරාධ කරනවා. උතුරු කොරියන් හමුදාව සිර භාරයට ගන්න ඇමරිකන් සෙබළු සිය ගනනක් ඝාතනය කරනවා. දකුණු කොරියන් හමුදාව උතුරු කොරියාවට පක්‍ෂපාතී සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කරනවා. විශේෂයෙන්ම බොදෝ ලීග සාමාජිකයන්. වඩාත් කැපී පෙනෙන සිද්ධිය වෙන්නෙ නෝ ගං රී හිදි පූසාන් නගරය දෙසට එන සරණාගතයන් ට ඇමරිකන් හමුදාව වෙඩි තැබීම​. එහිදී 400 පමණ මිය ගිය බව විශ්වාස කෙරෙනවා.

නෝ ගං රී හිදී මරා දැමුණු සරණාගතයන්

මැක් ආතර් ගේ දෙවෙනි පියවර​, ඒ කියන්නෙ සියොල් නගරය අවටින් දැවැන්ත ඇමරිකන් හමුදාවක් ගොඩ බස්වන තුරු, පූසාන් නගරය ආරක්‍ෂා කරගන්න ආරක්‍ෂකයන් සමත් වෙනවා. ඒ සැප්තැම්බර් 10 වෙනිදා.

ඉන්චොන් සටන​ සහ සියොල් සටන​ (Inchon Landing and Battle of Seoul)


සැප්තැම්බර් 10 වෙනිදා 40,000 ක ඇමරිකන් හමුදාවක් සියොල් නගරයට නුදුරෙන් තියෙන ඉන්චොන් වෙරළට ගොඩ බසිනවා. උතුරු කොරියන් හමුදාවේ බහුතරය මේ වෙනකොට පූසාන් අවට ස්ථානගත වෙලා ඉන්න නිසා ඉන්චොන් වෙරළේ ආරක්‍ෂාවට ඉන්නෙ 6,500 ක කුඩා හමුදාවක් පමණයි.

දින නවයක සටනකින් පස්සෙ ඉන්චොන් වෙරළ ඇමරිකානු හමුදා යටතට පත් වෙනවා.

ඇමරිකන් හමුදාව ඉන්චොන් වෙරළේ

මේ ගොඩ බැසීම සැලකෙන්නෙ යුධ ඉතිහාසයේ විශිෂ්ඨම ප්‍රහාරයක් විදිහට​.

සැප්තැම්බර් 22 වෙනිදා ඇමරිකන් හමුදාව සියොල් නගරයට පහර දීම අරඹනවා. මේ වෙනකොටත් ආධාරක හමුදා සියොල් නගරයට අරගෙන එන්න උතුරු කොරියාවට හැකිවෙන්නෙ නෑ. ඒ නිසා 40,000 ක ඇමරිකන් හමුදාවට මුහුණ දෙන්න සියොල් නගරයේ ඉන්නෙ 7000 ක උතුරු කොරියන් හමුදාවක් විතරයි.

ඇමරිකන් හමුදා සියොල් නගරයේ

දින තුනක සටනකින් පස්සෙ සියොල් නගරය ඇමරිකාව යටතට පත් වෙනවා.

සියොල් නගරය අල්ලගත්තට පස්සෙ දකුණු කොරියන් හමුදාව සහ රී ගෙ මිලිෂියා කණ්ඩායම් මර්ධනය පටන් ගන්නවා. කොමියුනිස්ට් වරු පමණක් නෙවෙයි උතුරු කොරියන් හමුදාවත් එක්ක මොනයම් හෝ සම්බන්ධයක් පවත්වපු සියළුම දෙනා ඝාතනය කෙරෙනවා. මේ ඝාතන වලින් නම්‍යැංජූ සහ ගොයැං ගෙයුම්ජියොං ගුහා වල ඝාතන ප්‍රසිද්ධයි. 1950 සැප්තැම්බර් මාසයේදී ඝාතනය කෙරුණු සියොල් වැසියන් ගණන 30,000 පමණ වෙනවා කියල සැලකෙනවා.

නම්‍යැංජූ හිදී ඝාතනය වූවන් ගේ ඇටසැකිළි

මේ ඝාතන වලට ඇමරිකන් හමුදාව කෙළින්ම සම්බන්ධ නොවුනත් ඒවා කෙරෙන්නෙ ඔවුන් ගේ අනුදැනුම යටතේ.

සියොල් නගරය අල්ලා ගැනීමට සමගාමීව පූසාන් නගරයේ ඉඳල ඉදිරියට කෙරෙන පහරදීමකින් උතුරු කොරියානු හමුදාව ආපසු හරවන්න පුළුවන් වෙනවා. දෙපැත්තකින් කෙරෙන පහර දීම් වලින් උතුරු කොරියන් හමුදාව සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙනවා.



පසු බසින උතුරු කොරියානු හමුදාවෙන් ආපහු දේශසීමාවට ළඟා වෙන්න පුළුවන් වෙන්නෙ 30,000 කට විතරයි.

මහජන ස්වේච්ඡා හමුදාව​ (People's Volunteer Army)


උතුරු කොරියානු හමුදාව පසු බසින්න පටන් ගන්නවත් එක්කම චීනය ආධාරක හමුදා සංවිධානය කරන්න පටන් ගන්නවා. මේ ආධාරක හමුදාව හැඳින්වෙන්නෙ මහජන ස්වේච්ඡා හමුදාව (People's Volunteer Army) කියලා. එහි අණදෙන නිලධාරියා වෙන්නෙ චීනයේ එවකට හිටපු විශිෂ්ඨම සෙනවියා වන මාෂල් පෙං ඩෙහුවායි.

මාෂල් පෙං ඩෙහුවායි


දකුණු කොරියානු සහ ඇමරිකන් හමුදා උතුරු කොරියාවට ඇතුල් වීම​


සැප්තම්බර් මාසෙ ඉවර වෙද්දි උතුරු කොරියන් හමුදාව සම්පූර්නයෙන්ම දකුණු කොරියාවෙන් පළවා හැරල ඉවරයි. මේ වෙද්දි දකුණු කොරියන් හමුදාව නැවත ගොඩ නංවලා තියෙන්නෙ.

ඔක්තෝබර් පළවෙනිදා දකුණු කොරියන් හමුදාව 38 වෙනි දේශාංශය හරහා උතුරු කොරියාවට ඇතුල් වෙනවා. ඊට දවස් හයකට පස්සෙ ඇමරිකන් සහ එක්සත් ජාතීන් ගේ හමුදා ඔවුන් අනුගමනය කරනවා.

චීන යුධ උපදේශකයන් ගෙ උපදෙස් අනුව උතුරු කොරියන් හමුදාව ඇමරිකන් සහ දකුනු කොරියන් හමුදා සමඟ ඍජු සටන් වලට එළඹෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුන් චීන දේශසීමාවේ තියෙන කඳුකරයට පලා යනවා.

ඔක්තෝබර් 17 වෙනිදා දකුණු කොරියන් සහ ඇමරිකන් හමුදා පියොංයැං නගරයට ඇතුල් වෙනවා. දින දෙකකින් සම්පූර්න නගරයම ඔවුන් යටතට පත් වෙනවා.

ඇමරිකන් හමුදා උතුරු කොරියාවේ හුංනම් නගරයේ

නොවැම්බර් මාසය අවසන් වෙද්දි චීන දේශ සීමාව අවට කුඩා තීරුවක් හැරුණු විට මුළු උතුරුකොරියාවම දකුණු කොරියන් සහ ඇමරිකන් හමුදා විසින් අල්ල ගෙන ඉවරයි. ජනරාල් මැක් ආතර් අදහස් කරනවා චීන-කොරියන් දේශ සීමාව මායිම් වන යාලු ගංගාව තරණය කරලා දේශ සීමාවෙන් එපිට තියෙන උතුරු කොරියන් හමුදා කඳවුරු වලට පහර දෙන්න​. 

නමුත් ඇමරිකන් ජනාධිපති හැරී ටෲමන් එසේ නොකරන ලෙස ඔහුට තදින් අවවාද කරනවා.




තුන්වෙනි අදියර - චීන මැදිහත් වීම​


ඇමරිකන් සහ දකුණු කොරියානු හමුදා ක්‍රමයෙන් චීන දේශසීමාවට ලං වෙද්දි කඳුවැටි නිසා ඔවුන් ගේ හමුදා නැගෙනහිර සහ බටහිර ලෙස කොටස් දෙකකට බෙදෙනවා. මේ අවාසිය ගැන ඔවුන් වැඩි තැකීමක් කරන්නෙ නෑ - උතුරු කොරියන් හමුදාව විනාශ වෙලා ඉවරයි.

ඒත් ඔක්තෝබර් 19 වෙනිදා ලක්‍ෂ තුනක චීන හමුදාවක් හොරෙන්ම යාලු හඟ තරණය කරලා උතුරු කොරියාවට ඇතුල් වෙනවා.


ඔක්තෝබර් 25 වෙනිදා යාලු ගංගාව අසබඩ තියෙන ඔන්ජොං ගම අසලදී දකුණු කොරියානු හමුදාවට මුල් වරට චීන හමුදා මුණ ගැහෙනවා. එතැන ඇතිවෙන සටනෙන් දකුණු කොරියානු හමුදාවේ සේනාංක තුනක් සම්පූර්නයෙන්ම විනාශ වෙනවා.

නොවැම්බර් පළවෙනිදා ඇති වෙන උන්සං සටනේදී චීන හමුදා ඇමරිකන් රෙජිමේන්තු දෙකක් පසු බස්සවන්න සමත් වෙනවා.

චීන හමුදා
චීන හමුදාව සටන් බිමට ඇවිල්ල කියල දැනගන්න මැක් ආතර් වහාම දැවන්ත ප්‍රහාරයක් දියත් කරනවා. ඇමරිකන් හමුදා දෙකක් කොරියාවේ බටහිර වෙරළ සහ නැගෙනහිර වෙරළ ඔස්සේ ඉදිරියට යවනවා. ඔවුන් ගේ අරමුන වෙන්නෙ කොරියාවේ ඉන්න චීන හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම​. ඇමරිකානු සහ දකුණු කොරියන් හමුදාවල සම්පූර්න ශක්තිය 250,000 ක්.

ඔවුන්ට එරෙහිව ඉන්නෙ 200,000 ක චීන හමුදාවක්.

උතුරු කොරියානු හමුදාව වගේ නෙවෙයි චීන හමුදාව ගරිල්ලා සටන් සහ උපක්‍රමශීලී ස්ථානගත වීම් වල විශේෂඥයෝ. ඔවුන් අන්තිම මොහොත වෙනකම් පහර දෙන්නෙ නෑ. පහර දෙන්නෙ ප්‍රතිවාදියා අසලටම ඇවිල්ලා. ඒ වගේම ප්‍රහාරය අවසන් වුන වහාම නැවතත් කඳුකරයට පලා ගිහින් සැඟවෙනවා. ඒ නිසා ඇමරිකන් හමුදාවේ කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර ඒ තරම් ඵලදායී වෙන්නෙ නෑ.

චොංචොන් ගංගාවේ සටන(Battle of Chongchon River)


බටහිර දෙසින් යන හමුදාව සමන්විත වෙන්නෙ ඇමරිකන් අටවෙනි හමුදාවෙන් සහ සහයක දකුණු කොරියන් සේනාංක වලින්.

නොවැම්බර් 24 වෙනිදා චොංචොන් ගංගාව අසලදී චීන හමුදා ඉදිරියට ඇදෙන ඇමරිකන් අටවෙනි හමුදාවේ දකුණු අංශයට පහර දෙනවා. දින දෙකකින් ඔවුන් දකුණු අංශය සම්පූර්නයෙන්ම විනාශ කරලා සතුරාගේ පසුපසට පහර දෙනවා. චීනුන් ගෙ අරමුණ වෙන්නෙ ඇමරිකන් හමුදාවේ පසුබැස්ම වලක්වලා සම්පූර්නයෙන්ම සතුරා විනාශ කරන්න​.

නමුත් තුර්කි සේනාංකයක් විසින් චීන ප්‍රහාර මැඩපවත්වගෙන ඉන්න අතරේ ඇමරිකන් හමුදාවට වටකිරීමෙන් මිදිලා පසු බසින්න පුළුවන් වෙනවා. චීන හමුදා ලුහුබැඳ පහර දෙන්න උත්සහ කළත් දරුණු කාලතුවක්කු ප්‍රහාරයකින් ඔවුන් නවතන්න ඇමරිකන් හමුදාවට පුළුවන් වෙනවා.

මේ සටනෙන් මිය යන සහ තුවාල ලබන ඇමරිකන් සහ දකුණු කොරියන් සෙබළු ගණන 11,000 කට අධිකයි. චීන හමුදාවේ මිය යන සහ තුවාල ලබන ගණග 20,000 කට අධිකයි.

කොහොම වුනත් අටවෙනි හමුදාවේ සංග්‍රාමික හැකියාව සම්පූර්නයෙන්ම විනාශ කරන්න චීන හමුදාව සමත් වෙනවා. දෙසැම්බර් 5 වෙනිදා වෙද්දි චීන හමුදා නැවතත් පියොංයැං නගරය අත්පත් කරගන්නවා.

කාලතුවක්කු ප්‍රහාර මැද ඉදිරියට ඇදෙන චීන හමුදා


චෝසින් ජලාශයේ සටන​ (Battle of Chosin Reservoir)


බටහිර දෙසින් ඇදෙන හමුදාව ඒ විදිහට විනාශ වෙද්දි නැගෙනහිරින් යන ඇමරිකන් දහවෙනි හමුදාවට චීනුන් මුණ ගැහෙන්නෙ නොවැම්බර් 27 වෙනිදා.

ඉදිරියට ඇදෙන ඇමරිකන් හමුදාවට චෝසින් ජලාශය අසලදී චීන හමුදාව පහර දෙනවා. දෙපැත්තටම දරුණු හානි සිද්ධ වුනත් පැහැදිලි ජයක් ලබන්න දෙපැත්තම අසමත් වෙනවා. නමුත් ඇමරිකන් හමුදාවේ ඉදිරි ගමන වලක්වන්න චීනුන්ට පුළුවන් වෙනවා. දහවන හමුදාව අටවන හමුදාව වගේ දරුණු පරාජයක් නොලබන්න​ ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඇමරිකන් දහවෙනි හමුදාවේ බහුතරය මැරීන් සෙබළු වීම​.

දෙසැම්බර් පළවෙනිදා වෙද්දි ක්‍රමයෙන් ඇමරිකන් හමුදාව කුඩා කණ්ඩායම් කීපයකට කඩලා වෙන් වෙන් ව වට කරන්න චීන හමුදාව සමත්‍ වෙනවා. මේ හේතුවත්, ඇමරිකන් අටවෙනි හමුදාවේ පසු බැසීමත් නිසා මැක් ආතර් අණ දෙනවා දහවෙනි හමුදාවටත් පසු බසින්න​.

ඔවුන් දරුණු ලෙස සටන් වදිමින් චීන වටලෑම් බිඳගෙන ආපසු හුංනම් නගරයට පසු පසු බසිනවා.

දෙසැම්බර් 25 වෙනිදා වෙද්දි ඔවුන් ඉදිරියට ඇදෙන චීන හමුදා ඉදිරියේ හුංනම් නගරය අතහැර පසු බසිනවා.

පසුබසින ඇමරිකන් හමුදා
මේ සටන් දෙක සැලකෙන්නෙ ඇමරිකන් යුධ ඉතිහාසයේ දරුණුම පරාජයන් දෙකක් විදිහට​.

1951 වෙද්දි මුළු උතුරු කොරියාව සම්පූර්නයෙන්ම මුදාගන්න චීන හමුදා සමත් වෙනවා.

හතරවෙනි අදියර - එක තැන හිර වීම​


උතුරු කොරියාව මුදාගත්තට පස්සෙ චීන හමුදාවේ සහ ප්‍රතිසංවිධානය කළ උතුරු කොරියානු හමුදාවේ ඊළඟ අරමුණ වෙන්නෙ නැවත දකුණු කොරියාවට පහර දීම​. ඒ අනුව ඔවුන් 1951 ජනවාරි මාසෙ දේශසීමාව හරහා දකුණට පහර දෙනවා.

විසිරී ඉන්න ඇමරිකන් සහ දකුණු කොරියන් හමුදාවලට මේකට මුහුණ දෙන්න ශක්තියක් ලැබෙන්නෙ නෑ. ඔවුන් නැවත පසුබසිනවා. ජනවාරි 4 වෙනිදා නැවතත් සියොල් නගරය උතුරු කොරියානුවන් අතට පත් වෙනවා.
මුළු කොරියාවම අහිමි වෙන ලකුණු පේනකොට ජනරාල් ඩග්ලස් මැක් ආතර් යෝජනා කරනවා චීනයට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරන්න​. ඒ එක්කම උතුරු කොරියාව හරහා වැටී තියෙන හමුදා සැපයුම් මාර්ග වලට විකිරනශීලී අපද්‍රව්‍යය වලින් පහර දෙන්න​. මේ අදහස් නිසා ඇමරිකානු රජය තුල මැක් ආතර් දැඩි අප්‍රසාදයට ලක් වෙනවා. ඔහුව 1951 අප්‍රේල් 11 වෙනිදා තනතුරෙන් පහ කෙරෙනවා

අටවෙනි ඇමරිකන් හමුදාවේ නව අණදෙන නිලධාරියා ලෙස පත්වී එන ජනරාල් රිජ්වේ යටතේ නැවත ප්‍රතිසංවිධානය වෙන්න ඔවුන් කටයුතු කරනවා. 1951 පෙබරවාරි මාසය වෙද්දි බටහිරින් සුවොන් නගරයේදීත්, මධ්‍යයෙන් වොන්ජූ නගරයේදීත් නැගෙනහිරින් සැම්චියොක් නගරයේදීත් චීන ප්‍රහාරය නවත්වන්න ඇමරිකාව සමත් වෙනවා. 38 වෙනි දේශාංශයට මදක් දකුණෙන් සටන් සීමා ස්ථාවර වෙනවා.


මේ අවස්ථාවේදී ඇමරිකාව තමාගේ සංග්‍රාමික උපක්‍රම වල වෙනසක් කරනවා. ඒ අනුව ඔවුන් උතුරු කොරියාවට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. මේ ප්‍රහාර වල අරමුණ වෙන්නෙ චීන සහ උතුරු කොරියන් හමුදා වල සැපයුම් මාර්ග විනාශ කිරීම​ සහ උතුරු කොරියාවේ මානසික තත්වය බිඳ දැමීම​.

මේ ගුවන් ප්‍රහාර හේතුවෙන් උතුරු කොරියාවේ සෑම ප්‍රධාන නගරයක්ම සම්පූර්නයෙන්ම විනාශ වෙනවා. විශාල ජන ඝාතනයකුත් සිද්ධ වෙනවා.

පියොංයැං නගරය යුද්ධයට පෙර සහ පසු

මේ හේතුවෙන් චීන - උතුරු කොරියන් හමුදා වල සඵල​ භාවයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා මෙතැනින් ඉදිරියට යන්න ඔවුන්ට අපහසු වෙනවා.

මේ අතර ඇමරිකන් සහ දකුණු කොරියන් හමුදා ප්‍රති ප්‍රහාර අරඹනවා. ක්‍රමයෙන් උතුරුදෙසට ඉදිරියට යන්න ඔවුන්ට පුළුවන් වෙනවා. 1951 මාර්තු 7 වෙනිදා සම්පූර්නයෙන්ම විනාශ වුනු සියොල් නගරය නැවත අල්ල ගන්න ඔවුන් සමත් වෙනවා.

විනාශ වුනු සියොල් නගරය​


වසන්ත ප්‍රහාරය​ (Spring Offensive)


1951 අප්‍රේල් මාසයේදී චීනුන් නැවත පහර දෙනවා. මේ ප්‍රහාරය හැඳින්වෙන්නෙ වසන්ත ප්‍රහාරය කියලා. මේ වෙනකොට ඔවුන් සෝවියට් ආයුධ වලින් සන්නද්ධයි. නමුත් ඉම්ජින් ගංගාව අසලදී ඔවුන්ව නවතන්න ඇමරිකන් හමුදාව සමත් වෙනවා. මේ සටනෙන් චීන සහ උතුරු කොරියන් සෙබළු 15,000 ක් මිය යනවා සහ තුවාල ලබනවා.

ඉම්ජින් සටනෙන් චීන ප්‍රහාරය අඩපණ වුනාට පස්සෙ ඇමරිකාව ප්‍රති ප්‍රහාර දෙනවා. බටහිරෙන් එල්ල වෙන ප්‍රහාරය ඉදිරියට යන්න අසමත් වුනත්, නැගෙනහිර පෙරමුණේ ප්‍රහාරය චීන සහ උතුරු කොරියන් හමුදා 38 වෙනි දේශාංශයෙන් උතුරට එලවා දමන්න සමත් වෙනවා.

සටන් සීමා - 1951 මැයි

සටන් විරාමය​


මෙතැන් සිට 1953 වෙනකන් දිගටම සටන් පැවතුනත් එක පාර්ශවයක් වත් ඉදිරියට යන්න සමත් වෙන්නෙ නෑ.

1953 ජූලි 27 වෙනිදා උතුරු කොරියාව​, චීනය සහ ඇමරිකාව සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනවා. මේ ගිවිසුමට දකුණු කොරියාව අත්‍සන් කරන්නෙ නෑ. ස්ථිර සාමයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන්න දෙපාර්ශවයම එකඟ වුනත්, ඒ සාකච්ඡා දුර දිග යන්නෙ නෑ.

සටන් විරාම ගිවිසුම අත්සන් තැබීම​
යුද්ධය නිල වශයෙන් අවසන් නෑ. අදටත් කොරියාවේ තියෙන්නෙ සටන් විරාමයක් පමනයි.

කෙසේ නමුත් වෙඩි තබාගැනීම් එතැනින් අවසන් වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් 1950 ට පෙර දේශසීමා වල ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මිලියන ගනනක් මිය යාම පමණයි එකම ප්‍රතිඵලය​.


උතුරු දකුණු කොරියා දේශ සීමාවල අද තත්වය​

No comments:

Post a Comment