Wednesday, March 25, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 9 (යුධ අගලේ සටන හෙවත් කන්දක් සටන​)



පසුබිම​


උහුද් හි සටනින් මුස්ලිම් වරුන්ට පරාජය අත්කර දුන් පසු අබු සුෆියාන් අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීම ආරම්භ කළා. ඒ අතර මුහම්මද් තුමාත් බෙදුවියන් වරු හැකි තරම් තමාගේ පක්‍ෂයට ගැනීමට උත්සහ කළා. ඒත් මක්කාව ශක්තිමත්ව සිටි මොහොතක් නිසා මුහම්ම්ද් තුමාගේ උත්සහයන් සාර්ථක වුනේ නෑ.

බැනු අසාද් ගෝත්‍රයේ බෙදුවියන් වරු මදීනාවට පහර දීමට සූදානම් වන බව ආරංචි වුනු මුහම්මද් තුමා 150 ක පිරිසක් ඔවුන් කූඩාරම් ගසාගෙන සිටි ප්‍රදේශයට යවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා. බෙදුවියන් වරු පළා ගියත්, සිරකරුවන් තිදෙනෙක් සහ එළුවන් විශාල ප්‍රමානයක් අල්ලා ගැනීමට මුස්ලිම් වරු සමත් වුනා.

ඊළඟ ප්‍රහාරය එල්ල වුනේ බැනු ලහියාන් ගෝත්‍රයට එරෙහිව​. බැනු ලහියාන් ගෝත්‍රයේ නායක කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මදීනාවට පහර දීමට තවත් ගෝත්‍ර කීපයක් සමඟ සැලසුම් කරන බව මුහම්මද් තුමාට ආරංචි වුනා. බැනු ලහියාන් ගෝත්‍රය බලවත් ගෝත්‍රයක් නිසා කෙලින්ම පහර දීමට මැලි වුනු මුහම්මද් තුමා ඒ වෙනුවට රාත්‍රියක ඝාතකයෙක් යවා කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මරා දැම්මා.

ඊට සුළු කළකට පසු බෙදුවියන් වරු කීපදෙනෙක් මදීනාවට පැමිණ තමා ඉස්ලාමය වැළඳ ගැනීමත සූදානම් බවත්, තමාගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට දූතයන් කීප දෙනෙක් ලබා දෙන ලෙසත් මුහම්මද් තුමාගෙන් ඉල්ලා සිටියා. හදිසියේ ලැබුනු අවස්ථාව මග හැරීමට අකැමැති වුනු මුහම්මද් තුමා දස දෙනෙක් ගෙන් යුතු පිරිසක් ඔවුන්ට ලබා දුන්නා. ඒත් බෙදුවියන් වරු බැනු ලහියාන් ගෝත්‍රයට අයත් ඝාතකයන් පිරිසක්. කාන්තාරයට ගිය සැනින් ඔවුන් මුස්ලිම් වරු දහ දෙනා මරා දැම්මා. ඒ තමාගේ නායකයා ඝාතනය කිරීමේ පළිය වශයෙන්.

බැනු අමීර් ගෝත්‍රයේ බෙදුවියන් වරු කීප දෙනෙක් ඔවුන් ගේ නායකයාගේ ඉල්ලීමක් රැගෙන මුහම්මද් තුමා වෙත ආවා. ඒ ඔවුන් ගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට කණ්ඩායමක් ලබා දෙන මෙන් ඉල්ලමින්. ඒ අනුව මුහම්මද් තුමා ඔවුන්ට 40 ක පිරිසක් ලබා දුන්නා. ඒත් ඔවුන් බැනු අමීර් ගෝත්‍රය වෙත යන විට එහි නායකය මිය ගොස් තිබුනු අතර​, නව නායකයා මුස්ලිම් වරුන්ට පහර දුන්නා. ඒ ප්‍රහාරයෙන් මුස්ලිම් වරු 40 දෙනාම මිය ගියා.

මේ අනුව මුස්ලිම් වරුන් ගේ තත්වය එතරම් යහපත් වුනේ නෑ. බෙදුවියන් ගෝත්‍රියන් ඔවුන්ට එරෙහිව සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනට තල්ලු වී සිටියා.


බැනු නදීර් ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මේ අතර මදීනාවේ යුදෙව්වන් මුස්ලිම් වරු දුර්වල වීමෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ කරමින් සිටියා. ඒ අනුව ඔවුන් අබු සුෆියාන් සමඟ රහස් සාකච්ඡා පැවැත්වූවා. මුස්ලිම් වරු සහ යුදෙව්වන් අතර එළිපිටම සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා.

යම්කිසි කරුණක් සඳහා සාකඡාවක් පැවැත්වීමට මුහම්මද් තුමා, අබු බකර්, උමර් සහ අලී ඇතුළු පිරිසක් බැනු නදීර් යුදෙව් ගෝත්‍රයේ ප්‍රදේශයට ගියා. එහිදී ඔවුන්ට දැන ගන්න ලැබුනේ බැනු නදීර් ගෝත්‍රයේ යුදෙව්වන් ඔවුන් මරා දැමීමට සැලසුම් කරන බව​.

මුහම්මද් තුමා බැනු නදීර් ගෝත්‍රයට දින දහයක් ඇතුලත තමාගේ දේපළත් රැගෙන මදීනාවෙන් පිටව යාමට අණ කළා. බැනු නදීර් ගෝත්‍රය එයට අවනත වුනා. ඒත් මුහම්මද් තුමාගේ මදීනාවේ සිටි එදිරිවාදියා වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි රහසින් බැනු නදීර් ගෝත්‍රයේ නායකයන් හමුවී ඔවුන් මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කරන්නේ නම් සහය ලබා දීමට පොරොන්දු වුනා. ඒ අනුව බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් පිට වීම ප්‍රතික්‍ෂේප කර තමාගේ බලකොටු තුලට වැදී ආරක්‍ෂක සටනකට සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රදේශය පිහිටා තිබුනේ මදීනා නගරයට තරමක් ඈතින්. ඔවුන් ගේ බලකොටු සහ නිවෙස් ගොවිබිම් වලින් වටවී තිබුනා. මේ ගොවිබිම් ඝන රටඉඳි ගස් ආවරණයකින් වැසී තිබුනා. මේ නිසා ඔවුන්ට ආරක්‍ෂිත සටනක් කිරීමට සුදුසු වටපිටාවක් තිබුනා.

අලී ඉබ්න් අබු තාලිබ් ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් හමුදාව බැනු නදීර් ගෝත්‍රයට අයත් ප්‍රදේශය සම්පූර්නයෙන්ම වට කරත්, ඔවුන්ට එය ඇතුළට කඩා වදින්න හැකි වුනේ නෑ. යුදෙව්වෝ තම බලකොටු වල සිට ඊතල සහ ගල් වලින් ඔවුන්ට පහර දුන්නා. ඒත් පොරොන් දු වූ පරිදු ඉබ්න් උබෙයි තම සහය ලබා දුන්නේ නෑ. මේ නිසා වැටලීම බිඳ දමන්න යුදෙව්වන්ට නොහැකි වුනා.

මුස්ලිම් වරු බැනු නදීර් ගෝත්‍රයට පහර දීම​

දින පහළොවකට පසු ආහාර අවසන් වීම නිසා යුදෙව්වෝ යටත් වුනා. ඔවුන් සියල්ලන්ටම මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා. මදීනාවෙන් පිටවුනු ඔවුන් මදීනාවට උතුරින් පිහිටි කයිබාර් හි පදිංචි වුනා. ඒ අනුව මදීනාවේ යුදෙව් ගෝත්‍ර තුනෙන් දෙවැනි ගෝත්‍රයටත් මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා.


අබු සුෆියාන් සේනා රැස් කිරීම​


ක්‍රි.ව. 625 සහ 626 අවුරුදු දෙකම අබු සුෆියාන් ගත කළේ විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීමට​. බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් එලවා දැමීම ඔහුට විශාල වාසියක් වුනා. ඔහු පහසුවෙන්ම ඔවුන් සමඟ සන්ධානයකට එලැඹුනා.

බැනු නදීර් ගෝත්‍රය ඉතා උද්‍යෝගයෙන් අබු සුෆියාන් ට සහය දුන්නා. තමාගේ වසරක අස්වැන්නෙන් බාගයක් ලබා දීමේ පොරොන්දුව මත මදීනාවට උතුරෙන් වාසය කළ ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයේ සහය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ඊට අමතරව බැනු අසාද්, බැනු සුලායිම්, බැනු මුරා සහ බැනු ෂුජා වැනි ගෝත්‍ර ගණනාවක් අබු සුෆියාන් සමඟ මදීනාවට එරෙහිව යුධ වැදීමට කැමැත්ත පළ කළා.

ක්‍රි.ව​. 625 ඔක්තෝබර් මාසයේදී අබු සුෆියාන් පාබල සෙබළු 2000 සහ අසරුවන් 50 කගෙන් සමන්විත හමුදාවක් රැගෙන කාන්තාරය හරහා යද්දී බදර් වෙත පැමිණියා. ඔවුන් බදර් හි රැඳී සිටින බව ආරංචි වුනු මුහම්මද් තුමා ඔවුන්ට පහර දෙන්න තීරණය කළා. ඒ අනුව ඔහු සෙබළු 1500 ක හමුදාවක් සමඟ බදර් වෙත ආවා. ඔහු බලාපොරොත්තු වුනේ මක්කා හමුදාව පරාජය කිරීමෙන් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීම​.

නමුත් තමාට සම්පූර්ණයෙන්ම වාසි දායක නොවන අවස්ථාවක යුධ වැදීම අබු සුෆියාන් ප්‍රතික්‍ෂේප කළා. ඔහු මුස්ලිම් වරු බදර් වෙත පැමිණෙන්න පෙර එතැනින් ඉවත්ව තම හමුදාව මක්කාව කරා රැගෙන ගියා.

ක්‍රි.ව. 626 අවුරුද්ද පුරාම මුහම්මද් තුමා අබු සුෆියාන් සමඟ එක් වුනු ගෝත්‍ර වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න උත්සහ කළා. ඒත් මේ ප්‍රහාර එකකින්වත් සාර්ථක ප්‍රතිඵල ලැබුනේ නෑ. බොහෝ විට ඔවුන් මුස්ලිම් හමුදාව පැමිණීමට පෙර පළා ගියා. මේ නිසා තමා බලාපොරොත්තු වුනු යුධ ජය මුහම්මද් තුමාට ලබා ගන්න බැරි වුනා.

ක්‍රි.ව​. 627 ජනවාරි මාසය වෙද්දී විශාල හමුදාවක් රැස් කරන්න අබු සුෆියාන්ට හැකි වුනා. මේ හමුදාව සමන්විත වුනේ මක්කා නගරයෙන් පාබල සෙබළු 4000 සහ අසරු සෙබළු 300, බැනු ගතෆාන් ගෝත්‍රයෙන් පාබල සෙබළු 2000 සහ අසරු සෙබළු 300, බැනු සුලයිම් ගෝත්‍රයෙන් සෙබළු 700, බැනු මුරා ගෝත්‍රයෙන් සෙබළු 400 සහ බැනු ෂුජා ගෝත්‍රයෙන් සෙබළු 700 සහ තවත් ගෝත්‍ර ගණනාවකින්. මේ දැවැන්ත හමුදාවේ සම්පූර්ණ ශක්තිය 10,000 පමණ වුනා.

මෙ හමුදාවට අබු සුෆියාන් එක් කර ගත්තා එවකට මුළු මහත් අරාබියේම සිටි විශිෂ්ඨම රණ ශූරයාව​. ඒ "ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද්". ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් කියන්නේ නම ඇහුවත් ප්‍රතිවාදීන්ව භීතියෙන් සලිත කරන්න සමත් අයෙක්. ඔහුගේ ශක්තිය​, නිර්භීත කම​, අසුන් එළවීමේ හැකියාව සහ කඩු හරඹ හැකියාව ගැන අරාබියේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තිබුනා. සියළුම ගෝත්‍ර අතර ඔහු බියජනක නමක් දිනාගෙන හිටියා.

අබු සුෆියාන් මේ විශාල හමුදාව මදීනාව කරා මෙහයවූවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව කරා එන බව ආරංචි වුනු මුස්ලිම් වරු දැඩි ලෙස කැලඹුනා.10,000 ක සතුරු හමුදාවකට මුහුණ දෙන්න අවශ්‍යය පිරිස් බලය හෝ යුධ ශක්තිය ඔවුන්ට තිබුනේ නෑ. නියත පරාජයක් අභිමුවේ තමා ඉන්නා බව ඔවුන්ට වැටහුනා.

මේ මොහොතේදී මුස්ලිම් වරුන් ගේ ගැලවීමට ආවේ මදීනාවේ වාසය කළ සල්මන් නම් පුද්ගලයා. සල්මන් පර්සියානු ජාතිකයෙක්. මේ නිසා ඔහු හැඳින්වුනේ සල්මාන් අල්-ෆාර්සි නමින්. ඔහුගේ නියම නම රූස්බේ කොෂ්නුදන්. වයස දහසයේදී නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයන් පිරිසක් සමඟ සංවාදයක් කිරීම නිසා ඒක දේවවාදය පිළිබඳ කුතුහලයක් ඇතිවුනු සල්මාන් නිවසෙන් පිට වී මැද පෙරදිග පුරා ඇවිදින්න පටන් ගත්තා. සිරියාවේදී ඔහුව අල්ලාගෙන වහලෙක් ලෙස මදීනාවේ යුදෙව්වෙකුට විකුණා දමනු ලැබුවා. සල්මාන් මදීනාවට ආවේ එහෙමයි. මදීනාවේදී ඔහු ඉස්ලාමය වැළඳ ගත්තා. භක්තිමත් මුස්ලිම් වරයෙක් වූ සල්මාන් මුහම්මද් තුමාට සහ අලීට දැඩි පක්‍ෂපාතීත්වයක් දැක්වුවා.

පර්සියානු ජාතිකයෙක් වූ සල්මාන් අරාබීන්ට නුහුරු වූ යුධ උපක්‍රම ගැන අවබෝධයක් තිබුනු අයෙක්. මක්කා හමුදාව නැවතීම සඳහා යුධ අගලක් කැණීම සුදුසු බව ඔහු මුහම්මද් තුමාට යෝජනා කළා.

මදීනාවට ගිනිකොණ දෙසින් පිහිටා තිබුනු ගිනිකඳු වලින් ගලාගිය ලාවා ප්‍රවාහයන් නිසා මදීනාවේ නැගෙනහිර සහ දකුණු පැති ආරක්‍ෂා වී තිබුණා. මේ ලාවා ප්‍රවාහ වලින් නිර්මානය වී තිබුණු උස් කඳු තරණය කිරීම ඉතාමත් දුෂ්කරයි. මදීනාවට බටහිරින් පිහිටා තිබුනේ තවත් විශාල කඳු වැටියක්. මේ නිසා මදීනාවට පිවිසිය හැකි එකම මග තිබුනේ උතුරින්.

ඒ වසර මදීනාවේ නියඟයක් පැවති වසරක්. මේ නිසා ගොවිතැන් දකුණු සහ බටහිර පැත්තෙන් ඇති කඳු වැටි අතරින් පටු කපොල්ලක් වැටී තිබුනා. මේ කපොල්ල හරහා හමුදාවකට නගරයට ඇතුළුවිය හැකි වුනත්, ඒ මාර්ගය දුෂ්කර,  ඝනව වැඩුනු රට ඉඳි වගාවන් අතරින් වැටී තිබුනු එකක්. මේ නිසා කපොල්ල ඔස්සේ මක්කා හමුදාව පහර දීමට ඉදිරිපත් නිවනු ඇතැයි ඔවුන් තීරණය කලා. යම් හෙයකින් කපොල්ල හරහා පහර දීමට ඔවුන් ඉදිරිපත් වුවොත්, එය ආරක්‍ෂා කිරීමේ වගකීම මේ වන විට මදීනාවේ ඉතිරිව සිටි එකම යුදෙව් ගෝත්‍රය වූ බැනු කුරෙයිසා ගෝත්‍රයට පැවරුනා. මුස්ලිම් වරු උතුරු දිග ආරක්‍ෂාව භාර ගත්තා.

මුස්ලිම් වරු මදීනාවේ උතුරින් අගලක් කණින්න පටන් ගත්තා. මේ අගල අසෙකුට තරණය කළ නොහැකි තරම් ගැඹුරු විය යුතු අතර​, අසෙකුට ඉහළින් පැනිය නොහැකි තරම් පළල් විය යුතු වුනා. අගල කැනීමට ඔවුනට තිබුනේ දින හතක් පමණයි. මේ නිසා දිවා රෑ නොබලා අගල කැපීමේ නිරත වෙන්න ඔවුන්ට සිදු වුනා.

ඒ අවුරුද්ද මදීනාවේ නියඟයක් පැවතුනු අවුරුද්දක්. මේ නිසා මදීනාවේ දැඩි ආහාර හිඟයක් පැවතුනා. ආක්‍රමනිකයන්ට ආහාර ලබා ගැනීම වැලැක්වීම සඳහා මදීනාව අවට තිබුනු ගොවිබිම් සියල්ලේම අස්වැන්න කපා ගැනීමට මුහම්මද් තුමා නියෝග කළා. අස්වැන්න හරිහැටි පීදී නොතිබුණු නිසා මෙයින් ආහාර හිඟය තවත් දරුණු වුනා.

දිවා රෑ නොබලා අගල කැණීම නිසා මක්කා හමුදාව මදීනාවට පැමිණීමට පෙර අගල අවසන් කරන්න ඔවුන්ට හැකි වුනා.

මුහම්මද් තුමා තමාගේ කූඩාරම අගලට නුදුරින් ඇති සලා නම් කුඩා කඳු ගැටයක් මත පිහිටුවා ගත්තා. මේ කඳු ගැටයේ සිට ඔහුට සම්පූර්න යුධ පිටියම නිරීක්‍ෂනය කරන්න පුළුවන්. අගල දිගටම 3000 කින් සමන්විත වුනු මුස්ලිම් හමුදාව ස්ථානගත කෙරුනා. අගල කැපීමේදී ඉවත දැමූ පස් අගලේ මෙපිට ඉවුර දිගට ගොඩ ගසා තිබුනු අතර​, ඒ පස් ගොඩැලි වලට මුවාවී හුන් දුනුවායන් මක්කා හමුදාව අගල අසලට ආවොත් ඔවුන්ට ඊ ප්‍රහාර එල්ල කරන්න සූදනමින් සිටියා.

මදීනාව​

සටන ඇරඹීම​


ක්‍රි.ව​. 627 ජනවාරි මාසයේ මුල සතියේදී අබු සුෆියාන් තමාගේ දැවැන්ත හමුදාව සමඟ මදීනාවට පැමිණියා. බලාපොරොත්තු නොවූ ආකාරයට තමා ඉදිරියේ තිබූ යුධ අගල දුටු ඔවුනු වික්‍ෂිප්ත වුනා. එකවර නගරයට පහර නොදුන් ඔවුන් නගරයට උතුරින් කඳවුරු ලා ගත්තා. අබු සුෆියාන් තමාගේ කූඩාරම පිහිටුවා ගත්තේ උහුද් කන්ද අසල​.

අගල තරණය කිරීමට කිහිප වරක්ම උත්සහ කළත්, ඒ උත්සහයන් අසාර්ථක වුනේ අගල ගැඹුරට සහ පළලට කපා තිබුනු නිසා. මේ නිසා මක්කා හමුදාවට හැකි වුනේ අගල අසලට පැමිණ ඊතල ප්‍රහාර එල්ල කිරීමටත්, මුස්ලිම් වරුන්ට අපහාසාත්මක කවි කීමටත් පමණයි. මුස්ලිම් වරු අගල පසුපස සැඟවී ප්‍රති ප්‍රහාර එල්ල කළා. කිසිවෙකුටවත් බරපතල හානියක් වුනේ නෑ.

අබු සුෆියාන් තීරණය කලේ කෙලින්ම පහර නොදී නගරය වටලා සිටීමටයි. ආහාර අවසන් වුනු පසු මුස්ලිම් වරුන්ට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති වනු ඇති බව ඔහු නිගමනය කළා. ඒ අතර ඔහු මදීනාව තුල සිටි යුදෙව්වන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමත උත්සහ කළා.


බැනු කුරෙයිසා


මදීනාව තුල සිටි එකම යුදෙව් ගෝත්‍රය වුනේ බැනු කුරෙයිසා. දකුණින් ඇති පටු කපොල්ල ඔස්සේ මක්කා හමුදාව ප්‍රහාරයක් එල්ල කළොත් එය මැඩ පැවැත්වීම ඔවුන්ට බාර වී තිබුනා.

අබු සුෆියාන් ගේ ඉල්ලීම අනුව බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානී හුයායි ඉබ්න් අක්තාබ් රහසේම දකුණු දෙසින් මදීනාවට ඇතුල් වුනා. ඔහු බැනු කුරෙයිසා ප්‍රධානීන් හමුවීමට උත්සහ කළත්, ඔවුන් ඊට ඉඩ දුන්නේ නෑ. තමන් මුහම්මද් තුමා සමඟ ගිවිසුමකට එලැඹී ඇති බවත්, එය ආරක්‍ෂා කරන බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියා.

නමුත් හුයායි ඉබ්න් අක්තාබ් උත්සහය අතහැරියේ නෑ. ඔහු බැනු කුරෙයිසා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් අසල තිබූ කඳු ගැටයකට ගෙනගොස් මදීනාව අවට තිබුනු මක්කා හමුදාවේ කඳවුරු ඔවුන්ට පෙන්වූවා. පෙනෙන තෙක් මානය පුරා පැතිරී තිබූ කූඩාරම් දුටු බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ ධෛර්‍යය සිඳී ගියා. මක්කා හමුදාව නියත වශයෙන්ම ජය ගනු ඇති බවත්, මුහම්මද් තුමා සමඟ එක්ව සිටියොත් තමන්ට නියත විනාශයක් අත්වන බවත් ඔවුන්ට වැටහී ගියා.

ඔවුන් තමාගේ ප්‍රධානීන් හමුවී තමා දුටු දේ පැවසූ විට බැනු කුරෙයිසා ප්‍රධානීන් මක්කා හමුදාවට සහය දීම ප්‍රඥා ගෝචර බව තීරණය කළා.

මුහම්මද් තුමාට ඔත්තු කරුවන් මාර්ගයෙන් මේ බව දැනගන්නට ලැබුනා. ඔහු මේ ආරංචියෙන් දැඩි ලෙස කලබලයට පත් වුනා. දෙපැත්තකින් පහර එල්ල වුවහොත් මුස්ලිම් වරුන්ට අත් වෙන්නේ නියත විනාශයක්. ඔහු රහසේම කුඩා කණ්ඩායමක් බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත පිටත් කර හැරියේ ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත්ත තතු දැන ගැනීමට​. මේ කණ්ඩායම සමන්විත වුනේ මදීනා මුස්ලිම් ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍රයන් ගේ ප්‍රධානීන් ගෙන්.

බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත ගිය ඔවුන්ට දැක ගන්නට ලැබුනේ යුදෙව්වන් ආයුධ සහ සන්නාහ සූදානම් කරන අයුරු සහ සටන් අභ්‍යාස වල නිරත වෙන අයුරු. ඔවුන් වහාම මුහම්මද් තුමාට ඒ බව දැන්වූවා. මුහම්මද් තුමා අගල රැකීමේ යෙදී සිටි සෙබළු 300 ක් නගරය රැකීම සඳහා පිටත් කර හැරියා.

යුදෙව්වන් මුස්ලිම් වරුන් ගේ ශක්තිය මැන බැලීම සඳහා රාත්‍රියේ දී රහසින් නගරයට ඇතුල් වී සුළු ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ එක් ප්‍රහාරයකදී සෆියා නම් මුස්ලිම් කාන්තාවක් පිරිමියෙක් මෙන් හිසේ ජටාවක් බැඳ නිවසින් එළියට ගොස් නගරයේ සැරි සරමින් උන් යුදෙව්වෙක්ට පොල්ලකින් පහර දී ඔහු මරා දැම්මා. මේ නිසා යුදෙව්වන් තීරණය කළේ මුස්ලිම් සෙබළු විශාල ප්‍රමානයක් නගරයේ සිටින බව​. මේ නිසා ඔවුන් කෙලින්ම නගරයට පහර දීමට මැලි වුනා.

මේ අතර යුදෙව්වන් නගරයට පහර දී තමාගේ කාන්තාවන් සහ ළමුන් මරා දමනු ඇතැයි අගල ආරක්‍ෂා කරමින් උන් සමහර මුස්ලිම් සෙබළු බිය වුනා. ඔවුන් මුහම්මද් තුමාගෙන් තමාගේ නිවෙස් ආරක්‍ෂා කිරීම සඳහා නගරයට යාමට අවසර ඉල්ලුවා. මේ අතර ආහාර හිඟය දරුණුවටම දැනෙමින් තිබුනා. මුස්ලිම් වරුන් ගේ තත්වය තිබුනේ ඉතාම අවදානම් තැනක​.

කුරානය මේ තත්වය විස්තර කරන්නේ මේ විදිහට​:

"ඔවුන් ගේ ඇස් බියෙන් අඳුරු වුනා. ඔවුන් ගේ හදවත බියෙන් සැලී ඔවුන් ගේ උගුර වෙත පැමිණියා. ඔවුන් ගේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය පළුදු වීමට පටන් ගත්තා."


ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් ගේ ප්‍රහාරය​


මේ අතර මක්කා හමුදාව් සිටි බෙදුවියන් වරු නොසන්සුන් වෙමින් සිටියා. ඔවුන් පුරුදුව සිටියේ කෙටි ප්‍රහාර එල්ල කිරීමට මිස මෙවැනි දීර්ඝ වැටලීම් වලට නෙවෙයි. ඔවුන් සටනට එක්ව සිටියේ සටන අවසානයේ ධනය පැහැර ගැනීම සඳහා. සති කීපයක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබ කඳවුරු ලාගෙන සිටීමට සිදු වීම ඔවුන් නොසතුටට පත් කළා.

මේ නිසා ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මදීනාව ඇතුලට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කලා. විශිෂ්ඨ රණශූරයෙක් වූ ඔහුට මෙය තමාගේ සංග්‍රාමික කුසලතාවය පෙන්වන්න කදිම අවස්ථාවක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අසරු සෙබළු කීප දෙනෙක් සමඟ යුධ අගල තරණය කරන්න තීරණය කළා. අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් ඔහුට එකතු වුනා. මේ අසරුවන් කීප දෙනා යුධ අගල හොඳින් නිරීක්‍ෂනය කර ආරක්‍ෂාව අඩු තැනකින් නගරය තුලට කඩා වැදුනා. ඔවුන් මුහම්මද් තුමාගේ කූඩාරම පිහිටා තිබූ සලා කඳු ගැටය අසල පිහිටි වගුරු බිමක් වෙත පැමිණියා.

මුස්ලිම් සෙබළු වගුර වට කරගත්තත්, ඔවුන්ට පහර දෙන්න ඉදිරිපත් වුනේ නෑ. ඔවුන් ආමර් ට බිය වුනා. ආමර් සමඟ සටනට යාම නියත මරණය ගෙන දෙන්නක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මුස්ලිම් හමුදාව ඉදිරියට ආවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මම සමඟ සටන් කිරීමට මම නුඹලාට අභියෝග කරනවා"

සුපුරුදු පරිදි අලී ඉබ්න් අබු තාලිබ් තම අසිපතත් රැගෙන ඉදිරියට යාමට උත්සහ කළා. නමුත් මුහම්මද් තුමා ඔහු වැළැක්වුවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මාත් එක්ක සටන් කරන්න තරම් නිර්භීත කෙනෙක් නුඹලාගේ මුළු හමුදාවේම නැද්ද​?"

අලී නැවතත් ඉදිරියට යාමට උත්සහ කළා. ඒත් මුහම්මද් තුමා නැවතත් ඔහු වැළැක්වුවා.

"ඔබ මා වළක්වන්නේ ඇයි?"

අලී මුහම්මද් තුමාගෙන් විමසා සිටියා.

"මට ඕනේ වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න​. කිසිවෙකුටවත් පස්සෙ දවසක් මම එදා ආමර් සමඟ සටන් කරන්න ඉදිරිපත් වෙන්න ගියා, නමුත් අලී මට ඉස්සර වුනා කියන්න ඉඩක් නොතියන්න ඕනේ."

අලී නැවතත් හිඳ ගත්තා.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් තුන්වන වරටත් තම අභියෝගය ඉදිරිපත් කළා.

"මුහම්මද් ගේ සෙබළුනී, නුඹලා බය වෙන්නේ ඇයි? මුහම්මද් නුඹලාට කියන දේ ඇත්තක් නම්, නුඹලා මම අතින් මිය ගියොත් නුඹලා පාරාදීසයට යනවා. මම නුඹලා අතින් මිය ගියත් නුඹලා පාරාදීසයට යනවා. ඉතින් නුඹලා බය වෙන්නේ ඇයි?"

අලී නැවතත් ඉදිරියට ගියා. මෙවර මුහම්මද් තුමා ඔහු වැළැක්වුයේ නෑ.

අලී සහ ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අතර සටන​
27 හැවිරිදි තරුණ අලී මුළු මහත් අරාබියේම විශිෂ්ඨතම රණ ශූරයා ඉදිරියට ගියා.

"ආමර්, පිළිම වන්දනාව අතහරින්න​. එයින් ඔබට යහපතක් වෙන්නේ නෑ. අල්ලාහ් ගේ මාර්ගයට එන්න."

ආමර් ඒ ඉල්ලීම අවඥාවෙන් බැහැර කළා.

"ආමර්, ඔබට ඉස්ලාමය වැළඳගන්න බැරිනම්, නිදහස් මිනිහෙක් වෙන්න​. අපි එක්ක සටන් කරන්න එපා. නැවත ඔබේ ගෙදර යන්න​."

ආමර් ඒ ඉල්ලීමත් බැහැර කළා. ඔහු කවදාවත් සටනකින් හිස් අතින් ආපහු හැරිලා ගිහින් නෑ.

අලී තමාගේ අසිපත ඇද ගත්තා.

"ආමර්, එහෙනම් මම අල්ලාහ් ගේ නාමයෙන් ඔබ එක්ක සටන් කරනවා"

තරුණයා ගේ නිර්භීත කම ආමර් පුදුමයට පත් කළා. මින් පෙර කිසි දාක ඔහු ඉදිරියේදී සතුරෙක් මෙතරම් නිර්භීත වෙලා නෑ.

"තරුණයා නුඹ ඉතාම නිර්භීතයි. නුඹේ නම මොකද්ද​?"

"මම අලී, අබු තාලිබ් ගේ පුතා"

ආමර් පසුතැවිල්ලෙන් හිස වැනුවා.

"එහෙනම් මට නුඹත් එක්ක සටන් කරන්න බෑ. නුඹේ පියා අබු තාලිබ් මගේ හොඳ මිත්‍රයෙක්."

"ඒත් මම නුඹත් එක්ක සටන් කරනවා. නුඹ අල්ලාහ් ගේ සතුරෙක්"

ආමර් තමාගේ අසිපත ඇදගෙන සටනට එලැඹුනා. අලී ගේ නිර්භීත කම සහ ඔහු තමාගේ කීර්තිය නොසැලකීම ගැන ඔහු තුළ ඇති වුනේ දැඩි කෝපයක්.

මුස්ලිම් හමුදාව සහ මක්කා අසරු සෙබළුන් ඇසිපිය නොහෙලා සටන දෙස බලාගෙන හිටියා. අලී සහ ආමර් ඉතාම දරුණු සටනක නියැලුනා. එකෙකුට එකෙක් දෙවැනි වුනේ නෑ. සටනින් ඉහළ නැගුනු දූවිල්ලෙන් හාත්පස වැසී ගියා.

ආමර් පිට පිට එල්ල කළ කඩු පහර වලින් අලී ගේ පලිහ බිඳී ගියා. අලී බිඳුනු පලිහ ඉවත දැම්මා. මෙවර ආමර් පහර දුන්නේ අලී ගේ හිසට​. හිස් මුදුණට එල්ල වුනු දරුණු කඩු පහරින් අලී ගේ හිස්වැසුම දෙපළුවී ගියා. ඔහුගේ හිසෙන් ලේ වෑහෙන්න පටන් ගත්තා. කැඩුනු හිස් වැසුම ඉවත දමා මුහුණෙන් ලේ පිස දැමූ අලී නැවත සටනට එලඹුනා.

මෙවර අලීගේ මාරාන්තික කඩු පහරක් ආමර් ගේ ගෙලට එල්ල වුනා. දරුණු තුවාල ලැබූ ආමර් බිම ඇද වැටුනා. සතුරාට අවසන් කඩු පහර එල්ල කිරීමට අලී ඔහුට ළං වුනා. ඒත් එක වරම ඔහු නැවත හැරී පියවර කීපයක් පසු පසට ගොස් මොහොතක් කල් මැරුවා. ඉන්පසු නැවත ආමර් වෙත ගොස් කඩු පහරක් එල්ල කර ඔහුව මරා දැම්මා. මුස්ලිම් වරු ජය ඝෝෂා කළා.

එවිට මක්කා අසරු සෙබලුන් දෙදෙනෙක් වුනු වුනු හුබයිරා ඉබ්න් අබු වහබ් සහ නව්ෆාල් ඉබ්න් අබ්ද් අල්ලාහ් අලී වෙත කඩා පැන්නේ තුවාල ලබා උන් අලී මරා දැමීමට​. අලී වහාම ආපසු හැරී හුබයිරා ට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් හුබයිරා ගේ කඩුව විසි වී ගිය අතර ඔහු ආපසු පළා ගියා. අලී ගේ සහයට පැමිණි සුබායිර් ඉබ්න් අව්වම්, නව්ෆාල් දෙකඩ වී යන ලෙස එක කඩු පහරක් එල්ල කළා.

"සුබයිර්, නුඹේ කඩුව වගේ කඩුවක් අපි කවදාවත් දැකලා නෑ"

මුස්ලිම් සෙබළු සුබයිර් ගේ කඩු පහර ගැන ඔහුට පැසසුවා.

"කඩුව නෙවෙයි, අත​"

සුබායිර් ප්‍රීතියෙන් ඉඟි මරමින් කියා සිටියා.

අනෙකුත් මක්කා අසරුවන් නැවත තමාගේ කඳවුර වෙත පළා ගියා. මුස්ලිම් සෙබළු ඔවුන් ලුහුබැඳීමට උත්සහ කළත්, අලී එය වැළැක්වුවා. පළා යන සතුරා මරා දැමීම ඔහුගේ සිරිත නෙවෙයි.

තුවාල වුනු අලී කූඩාරමක් වෙත ගෙන ගිය මුස්ලිම් සෙබළු ඔහුට සාත්තු කළා.

"අලී, නුඹ අවසාන කඩු පහර ආමර් ට එල්ල කරන්න කලින් ආපහු හැරිලා ගියේ ඇයි?"

එක් අයෙක් අලීගෙන් විමසා සිටියා.

"මම ඔහුට අවසාන කඩු පහර එල්ල කරන්න යද්දී ඔහු මට කෙළ ගැසුවා. එතකොට මගේ හිතේ ඔහු ගැන කෝපයක් ඇති වුනා. මම එවෙලේ ඔහු මරා දැම්මා නම් මම ඔහුව මරන්නේ මගේ කෝපය නිසා. ඒ නිසා මම ආපහු පස්සට ගිහින් මගේ කෝපය පහ වෙන තුරු හිටියා. ඊට පස්සේ මම ඔහුට අවසන් කඩු පහර දුන්නා. ඒ ඔහු ගැන කෝපයෙන් නෙවෙයි, අල්ලාහ් හට කරන සේවයක් විදිහට​."


සන්ධානය බිඳ වැටීම​


පහුවදා මක්කා හමුදාව ආමර් ගේ මරණයට පළිගැනීමක් විදිහට අවට කඳු වලට නැගලා මදීනාවේ කොටු වී උන්නු මුස්ලිම් වරුන්ට දවස පුරාම ඊ ප්‍රහාර එල්ල කළා. මුස්ලිම් වරුන්ට එළියට බහින්න අවසරයක් ලැබුනේ නෑ. ඔවුන් දවසම ගත කලේ ආවරණ තුලට වෙලා.

මේ අතර මදීනාව ඇතුළත ආහාර ප්‍රශ්නය එන්න එන්නම දරුණු වුනා. තව දුරටත් අල්ලා ගෙන සිටීම අපහසු වෙන තැනට ආවා.

මුහම්මද් තුමා සතුරු හමුදාව ඇතුළත බිඳීම් ඇති කරන්න කටයුතු කළා. ඔහු මේ සඳහා යොදා ගත්තේ බැනු ගතෆාන් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු නුආයිම් ඉබ්න් මසූද්.

මුලින්ම මුහම්මද් තුමා උත්සහ කළේ මදීනාවේ වාර්‍ෂික අස්වැන්නෙන් කොටසක් ලබා දීම මගින් බැනු ගතෆාන් ගෝත්‍රය සන්ධානයෙන් ඉවත් කරගැනීමට​. අස්වැන්නෙන් තුනෙන් එකක් ලබා දීමේ පොරොන්දුව මත සටනෙන් ඉවත් වීමට බැනු ගතෆාන් ගෝත්‍රය එකඟ වුනා. නමුත් දැනටමත් හාමතේ උන්නු මදීනා වැසියන් ඊට එකඟ වුනේ නෑ. සාකච්ඡා අසාර්ථක වුනත් තමාට ඉඩක් පෑදීගෙන එන බව මුහම්මද් තුමාට වැටහුනා.

ඊළඟට ඔහු උත්සහ කළේ සන්ධානයේ සිටි විවිධ ගෝත්‍ර එකිනෙකා කෙරෙහි බිඳවීමට​. ඒ අනුව නුආයිම් ඉබ්න් මසූද් රහසේම බැනු කුරෙයිසා යුදෙව්වන් හමුවී ඔවුන්ට කියා සිටියේ අබු සුෆියාන් ඇතුළු මක්කා හමුදාව සටන අතහැර ඉවත් වුවහොත් මුස්ලිම් වරුන් ගේ දරුණු පළිගැනීමකට ලක් වීමට ඔවුන්ට සිදු වෙන බවයි. මේ නිසා සටන අතහැර නොයන බවට සහතිකයක් වශයෙන් මක්කා හමුදාවේ ප්‍රධානීන් කීප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තමාට ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන්න ඔහු බැනු කුරෙයිසා යුදෙව්වන්ට උපදෙස් දුන්නා.

ඊට පසු නුඅයිමා ඉබ්න් මසූද් ගියේ අබු සුෆියාන් හමුවට​. යුදෙව්වන් රහසින් මුහම්මද් තුමා සමඟ එකඟතාවයකට එලැඹී ඇති බවත්, මක්කා හමුදාවේ ප්‍රධානීන් කීපදෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලා පසුව ඔවුන් මුස්ලිම් වරුන්ට පාවා දීමට ඔවුන් සැලසුම් කරන බවත් නුඅයිමා අබු සුෆියාන්ට දන්වා සිටියා. මේ එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස බැනු නදීර් යුදෙව්වන්ට නැවත මදීනාවේ පදිංචි වීමට ඉඩ දීමට මුහම්මද් තුමා එකඟ වුනු බවත් ඔහු අබු සුෆියාන්ට කිව්වා.

නුඅයිමා බලාපොරොත්තු වූ ලෙසටම බැනු කුරෙයිසා යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ඉල්ලා අබු සුෆියාන්ට පණිවුඩයක් එව්වා. නුඅයිමා තමාට කළ අනතුරු හැඟවීම ඇත්ත බව සැක කරන්න අබු සුෆියාන්ට හේතුවක් තිබුනේ නෑ. ඔහු කෝපයෙන් දිලිහුනා. ඔහු වහාම බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු හුයායි ඉබ්න් අක්තාබ් තමා වෙත කැඳවා "කුමන්ත්‍රණය​" පිළිබඳ ඔහුගෙන් විමසා සිටියා.

හුයායි ඉබ්න් අක්තාබ් විශ්මයට පත් වුනා. අබු සුෆියාන් ඔහු ද්‍රෝහියෙක් බවට චෝදනා කළා. තමාගේ ජීවිතය අනතුරේ බව දුටු හුයායි එදා රෑ රහසේම තම සෙබළුන් සමඟ සටන් බිමෙන් පළා ගියා.

බැනු නදීර් ගෝත්‍රය පළාගිය බව දැනගත් බෙදුවියන් ගෝත්‍ර වල උනන්දුව පහ වී ගියා. මේ වන විට මාසයක් පමණ ඔවුන් කඳවුරු ලාගෙන සිටියත් කිසිම වාසියක් ඔවුනට ලැබුනේ නෑ. මදීනාව අවට කාලගුනය ඉතාමත් ශීතාධික වුනා. රාත්‍රියේ හැමූ තද සුළං වලින් ඔවුන් ගේ ගිනිමැල නිවී ගිය අතර කූඩාරම් ගසාගෙන ගියා. දැඩි ශීතලෙන් ඔවුන් අධික පීඩා වින්දා. මේ නිසා ඔවුන් එකිනෙකා සටන අතහැර නැවත ගමරට බලා යාමට තීරණය කළා.

පසුවදා උදෑසන වන විට සටන් බිමේ සිටියේ මක්කා වරු පමණයි. සටන පවත්වාගෙන යාමට තරම් හමුදාවක් ඉතිරිව නොසිටි නිසා සටන අතහැර නැවත මක්කාවට යාම හැර වෙනත් විකල්පයක් අබු සුෆියාන්ට තිබුනේ නෑ.

සටන මාසයක් පමණ කල් ඇදුනත්, සටනින් මිය ගියේ මුස්ලිම් වරු හත් දෙනෙක් සහ සතුරු සෙබළු හතර දෙනෙක් පමණයි.

නමුත් අබු සුෆියාන් සහ මක්කාවේ කීර්තියට එල්ල වුනේ දරා ගන්න බැරි තරම් දරුණු පහරක්.

Monday, March 23, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 8 (උහුද් හි සටන​)


පසුබිම​


ක්‍රි.ව​. 623 දී සිදු වුනු බදර් හි සටනින් මක්කා හමුදාව පරදවා කුඩා මුස්ලිම් හමුදාව ජය ගැනීම නිසා ප්‍රදේශයේ බල තුලනයේ සැලකිය යුතු වෙනසක් ඇති වුනා. මෙතෙක් මක්කා වරුන්ට අවනතව සිටි අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර මුස්ලිම් වරු සමඟ මිතුරු වීමට නැඹුරුතාවයක් දක්වන්න පටන් ගත්තා. මෙයින් මක්කා නගරයේ කීර්තියට අත්වුනේ බලවත් කැළලක්.

මක්කා ප්‍රධානීන් රැසක් සටනින් මිය ගිය නිසා මක්කාවේ එකම ප්‍රධාන නායකයා වුනේ අබු සුෆියාන්.  අබු සුෆියාන් ගේ වංශය වුනු උමයියා වංශය මක්කාවේ ප්‍රධාන වංශය වශයෙන් ඉදිරියට ආවා. අනෙකුත් වංශයන් ගේ නායකයන් ලෙස ඉතිරිව සිටියේ සාපේක්‍ෂව තරුණ පිරිසක්. බැනු සහ්ම් වංශයේ ආමර් ඉබ්න් අල්-අස්, බැනු මක්සූම් වංශයේ කාලිද් ඉබ්න් අල්-වලීද් සහ ඉක්‍රිමා ඉබ්න් ආමර් මේ අතරින් ප්‍රධානයි. ඉක්‍රිමා කියන්නේ බදර් හි සටනේ මක්කා හමුදාවේ නායකත්වය දැරූ අබු ජහල් ගේ පුතා. කාලිද් කියන්නේ අබු ජහල් ගේ සොහොයුරාගේ පුතා. මේ තිදෙනා මක්කාවේ අනාගත නායකත්වය නියෝජනය කළා. නමුත් තීරණ ගැනීමේදී සම්පූර්න බලයම පාහේ හිමි වුනේ අබු සුෆියාන්ට​.

අබු සුෆියාන් ඉතාමත් සූක්‍ෂම සහ සැලසුම් සහගතව වැඩ කරන පුද්ගලයෙක්. ඔහු මුහම්මද් තුමා පරදා මදීනාව යටත් කිරීමේ දීර්ඝ කාලීන් සැලසුමක් හැදුවා. තුන් පැත්තකින් කඳු වලින් වටවුනු, බලකොටු රැසකින් සමන්විත වුනු මදීනා නගරය යුද්ධයකින් අල්ලා ගැනීම පහසු නොවන බව ඔහු දැන සිටියා. මේ නිසා ඔහු තම සැලසුම හැදුවේ පියවර දෙකකට​.

පළමු පියවර වුනේ මක්කා හමුදාව මදීනාව අසලට ගොස් එල්ල කරන ප්‍රහාරයකින් මුස්ලිම් වරුන්ට පරාජයක් අත් කර දීම​. එමගින් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීමත්, මුස්ලිම් වරුන් ගේ කීර්තිය විනාශ කර දැමීමත් ඔහු බලාපොරොත්තු වුනා. ඒ හරහා අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රිකයන් නැවත තමා වෙත දිනා ගැනීම ඔහුගේ අපේක්‍ෂාව වුනා.

දෙවන පියවර වුනේ බෙදුවියන් මිතුරන් ගෙන් සමන්විත වන විශාල හමුදාවක් සමඟ මදීනාවට පහර දී එය සම්පූර්නයෙන්ම යටත් කිරීමෙන් මුස්ලිම් වරු සම්පුර්නයෙන්ම විනාශ කර දැමීම​.


මදීනාවේ තත්වය​


මේ අතර මුහම්මද් තුමාගේ නායකත්වය මදීනාවේ තදින් තහවුරු වුනා. ඔහු ලැබූ විශිෂ්ඨ යුධ ජයග්‍රහණය නිසා ඔහු සැබැවින්ම දෙවාශිර්වාදය ලද්දෙක් බව මදීනාවේ මුස්ලිම් වරුන් අතර තහවුරු වුනා.

මේ තත්වය ගැන දෙපිරිසක් නොසතුටට පත් වුනා.

පළමුවැන්නා වුනේ මුහම්මද් තුමා මදීනාවට පැමිණීමට පෙර මදීනාවේ නායකයා ලෙස කටයුතු කළ බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි. අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි මේ වන විට ඉස්ලාමය වැළඳගෙන සිටියත්, ඔහු මදීනාවේ නායකත්වය මුහම්මද් තුමා වෙත යාම ගැන කැමති වුනේ නෑ. ඔහු බලාපොරොත්තු වුනේ මුහම්මද් තුමා ආගමික නායකයෙක් ලෙස සිටීමත්, මදීනාවේ දේශපාලන නායකත්වය තමාට හිමි වීමත්. ඒත් මදීනා වාසීන් අතර ඔහු අභිබවා මුහම්මද් තුමා ජනප්‍රිය වී සිටියා.

අනෙක් පිරිස වුනේ මදීනාවේ වාසය කළ යුදෙව්වන්. බැනු කුවයිනුකා, බැනු නදීර් සහ බැනු කුරයිසා ගෝත්‍ර තුනට අයත් වුනු මේ යුදෙව්වන් අරාබි ගෝත්‍ර මදීනාවට පැමිණීමට පෙර මදීනාවේ බලය තහවුරු කරගෙන සිටියා. අරාබි ගෝත්‍ර මදීනාවට පැමිණීමත් සමඟම ඔවුන් ගේ බලය පිරිහුනා. නමුත් පසු කාලීන යුධ ගැටුම් නිසා අරාබි ගෝත්‍ර දෙක බලයෙන් පිරිහීමත් එක්කම ඔවුන් නැවත මදීනාවේ බලය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වුනා. නමුත් මුහම්මද් තුමාගේ පැමිණීමත් සමඟම අරාබි ගෝත්‍ර දෙක සහ මක්කාවෙන් පැමිණි මුස්ලිම් වරු යන තුන් පිරිසම එකම ගෝත්‍රයක් ලෙස කටයුතු කිරීම නිසා එම බලාපොරොත්තුව සිහිනයක් වන බව ඔවුනට පෙනී ගියා.

මේ අතර​ මුස්ලිම් වරු අතර කණ්ඩායම් දෙකක් වර්ධනය වුනා.

එක් කණ්ඩායමක හිටියේ මක්කාවේ සිටි කාලයේ යම්කිසි ධනයක් සහ සමාජ තත්වයක් සහිතව සිටි,  වයසින් තරම්ක් වැඩිමහළු මුස්ලිම් වරු. මේ පිරිස සමන්විත වුනේ අබු බකර්, උමර්, උත්මාන්, අබ්ද් අල් රහ්මන්, සාද් ඉබ්න් අබි වක්කාස් වැනි අයගෙන්.

දෙවන කණ්ඩායම සමන්විත වුනේ තරුණ​, දුප්පත්, සමාජ තත්වයෙන් අඩු මුස්ලිම් වරුන් ගෙන්. මේ පිරිස සමන්විත වුනේ අලී, අබු දාර් අල් ගිෆාරි, අම්මාර් ඉබ්න් යාසිර්, සල්මාන්, බිලාල්, සුබායිර්, මක්දාද් වැනි අයගෙන්. දෙවන කණ්ඩායම මුහම්මද් තුමා වෙත දැක්වූ පක්‍ෂපාතීත්වය සහ ඉස්ලාමය පිළිබඳ භක්තියෙන් පළමු කණ්ඩායම අභිබවා ගියා. ඒ වගේම ඔවුන් එක්වී සිටියේ මුහම්මද් තුමාගේ කිට්ටුම සහචරයා වුනු අලී වටා. බදර් හි සටනින් කෙටි කලකට පසු අලී මුහම්මද් තුමාගේ දියණිය වුනු ෆාතිමා විවාහ කර ගැනීම අලී සහ මුහම්මද් තුමා අතර සම්බන්ධය වඩාත් දැඩි කරන්නට හේතු වුනා.

ඒ අතර මුහම්මද් තුමා අබු බකර් ගේ දියණිය වුනු අයීෂා සහ උමර් ගේ දියණිය වුනු හෆ්සා සමඟ විවාහ වීම නිසා අබු බකර් සහ උමර් සමඟ ඔහුගේ සම්බන්ධය වඩාත් තහවුරු වුනා.

මේ කණ්ඩායම් දෙක අතර බෙදීම පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසයේ ඉතාමත් තීරනාත්මක සාධකයක් වුනා.


බැනු කුවයිනුකා ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මදීනාවේ වාසය කළ විවිධ ගෝත්‍ර සිටියේ නගරයේ එක් එක් ප්‍රදේශ තමාට බෙදා වෙන් කරගෙන​. යුදෙව් ගෝත්‍රයන් වාසය කළ ප්‍රදේශ වල ඔවුන් විශාල අට්ටාල ඉඳි කරගෙන සිටියා. යුධ අවස්ථාවකදී ගලින් කළ මේ ශක්තිමත් අට්ටාල බලකොටු වශයෙන් පාවිච්චි කළ හැකි වුනා.


බදර් හි සටනින් පසු යුදෙව්වන් සහ මුස්ලිම් වරු අතර විවිධ සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා. මේ නිසා මදීනාවේ සාමය තරමක් පිරිහී ගියා. යුදෙව්වන්ට අයත් ප්‍රදේශ වලට යන මුස්ලිම් ස්ත්‍රීන්ට විවිධ හිරිහැර සහ උසුළු-විසුළු කිරීම් නිතර සිදු වූ නිසා මුහම්මද් තුමා ඔවුන්ට යුදෙව්වන් ගේ ප්‍රදේශ වලට යන විට සිරුර වැසෙන සේ ඇඳුම් අඳින ලෙස උපදෙස් දුන්නා.

මදීනාවේ පොදු වෙළඳපොළ පිහිටා තිබුනේ බැනු කුවයිනුකා ගෝත්‍රයට අයත් ප්‍රදේශයේ. එක් දිනක් බැනු කුවයිනුකා ගෝත්‍රයට අයත් යුදෙව් රන්බඩු වෙළෙන්දෙකුගෙන් ආභරණ මිලදී ගැනීමට ගිය මුස්ලිම් ස්ත්‍රියකට බැනු කුවයිනුකා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් උසුළු විසුළු කරා. එක් අයෙක් ඇයගේ මුහුණ වසා සිටි සළුව ඇයට හොරෙන් අසල තිබූ යමක ගැට ගැසූ අතර​, ඇය නැගී සිටිය විට සළුව ගැලවී ගොස් ඇය නිරුවත් වුනා.

එතැන සිටි මුස්ලිම් වරයෙක් යුදෙව් ආභරණ වෙළෙන්දාට පහර දුන් අතර​, ඔහු එයින් මියගියා. ඉන් කුපිත වූ යුදෙව්වන් මුස්ලිම් වරයා මරා දැමුවා. මේ සිද්ධිය මුස්ලිම් වරු සහ බැනු කුවයිනුකා යුදෙව්වන් අතර විශාල ගැටුමක් ඇති වීමට මුලපිරුවා.

මුහම්මද් තුමා මේ සිද්ධිය දැක්කේ මදීනා ව්‍යවස්ථාව බිඳ දැමීමක් සහ මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. ඔහු වහාම හමුදාවක් එක් රැස් කර බැනු කුවයිනුකා යුදෙව්වන්ට පහර දුන්නා. යුදෙව්වෝ තමාගේ අට්ටාල තුලට වැදුනු අතර​, මුස්ලිම් වරු යුදෙව්වන් ගේ ප්‍රදේශය වටකර ගත්තා.



දින පහළොවක් තිස්සේ පැවති වටලෑම අවසානයේ බැනු කුවයිනුකා යුදෙව්වෝ මුස්ලිම් වරුන්ට යටත් වුනා. යටත් වුනු යුදෙව්වන්ට අයත් වන ඉරණම ගැන අවසන් තීරණය ගත යුතු වුනේ මුහම්මද් තුමා.

මුහම්මද් තුමා තම තීරණය දීමට පෙර අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි පෙරට පැමිණියා. ඔහුගේ ගෝත්‍රය වුනු බැනු කස්.රජ් ගෝත්‍රය සාම්ප්‍රදායිකව බැනු කුවයිනුකා යුදෙව්වන් ගේ මිතුරන්. මුහම්මද් තුමා දරුණු දඬුවමක් නියම කිරීමට පෙර ඉබ්න් උබෙයි තම මිතුරන් වෙනුවෙන් පෙනී සිටියා.

ඉබ්න් උබෙයි මුහම්මද් තුමා ඉදිරියට පැමිණ "මුහම්මද්, මගේ මිතුරන්ට හොඳින් සලකන්න​" යනුවෙන් පැවසුවා.

මුහම්මද් තුමා එකවරම උත්තර දුන්නේ නෑ. උත්තරය ප්‍රමාද බව දුටු ඉබ්න් උබෙයි නැවත එයම පැවසුවා. එවිට මුහම්මද් තුමා වෙනතකට හැරුනා. නමුත් ඉබ්න් උබෙයි ඊට ඉඩ දුන්නේ නෑ. ඔහු මුහම්මද් තුමාගේ උරහිසින් දැඩිව අල්ලා ගත්තා.

"මාව අත ඇරපන්" මුහම්මද් තුමා දැඩි කෝපයෙන් කීවා. ඔහුගේ මුහුණ කෝපයෙන් කළුපැහැ ගැන්වී තිබුනා.

"නුඹට ශාප වේවි, මාව අත ඇරපන්"

"නෑ. අල්ලාහ් ගේ නාමයෙන්, නුඹ මගේ මිතුරන්ට හොඳින් සලකන තුරු මම නුඹව අත හරින්නේ නෑ. ඔවුන් ගේ සෙබළු හත්සීයක් යුධ බිමේදී අරාබින් සතුරන් ගෙන් සහ අරාබි නොවන සතුරන් ගෙන් මාව රැක ගත්තා. දැන් නුඹ එක දවසින් ඔවුන් අතුගාලා දාන්න ද යන්නේ? අල්ලාහ් ගේ නාමයෙන් මට අනාරක්‍ෂිත බවක් දැනෙනවා. අනාගතය ගැන මට බයයි."

"ඔවුන් නුඹේ"

ඉබ්න් උබෙයි ගේ මැදිහත් වීම නිසා බැනු කුවයිනුකා ගෝත්‍රයට දරුණු දඬුවමක් හිමි වුනේ නෑ. ඒ වෙනුවට ඔවුන්ට තම දේපලත් රැගෙන මදීනාවෙන් පිටවීමට අණ ලැබුනා. ඔවුන් මදීනාවෙන් උතුරේ පිහිටි විවිධ යුදෙව් ජනාවාස වෙත සංක්‍රමනය වුනා.

මේ සිද්ධිය නිසා මුහම්මද් තුමා සහ ඉබ්න් උබෙයි අතර දැඩි විරසකයක් හට ගත්තා. මුස්ලිම් වරු අතරින් ම මුහම්මද් තුමාගේ නායකත්වය අභියෝගයට ලක් වුනු මුල්ම අවස්ථාව මෙය​. මුහම්මද් තුමා ඉබ්න් උබෙයි සහ ඔහුගේ සහචරයන් හැඳින්වුනේ "ව්‍යාජ මුස්ලිම් වරු" යන අරුත ඇති "මුනාෆිකුන්" යන වචනයෙන්.

මේ අතර මුහම්මද් තුමා මදීනාවේ තම දේශපාලන විරුද්ධ වාදීන්ට එරෙහිව ප්‍රහාරය තවත් දැඩි කරන්න තීරණය කලා. ඒ අනුව මුහම්මද් තුමාට එරෙහිව උපහාසාත්මක කවි ලියූ කවියන් තිදෙනෙක් වුනු අස්මා බින්ට් මර්වාන්, කාබ් ඉබ්න් අල්-අෂරෆ් සහ අබු අෆක් ඝාතනය කිරීමට ඔහු මුස්ලිම් වරුන්ට අණ දුන්නා. මේ කවි වල ඉලක්කය වුනේ මදීනා වාසි මුස්ලිම් වරු. ඔවුන් තම ගෝත්‍රයට අයත් නොවුනු මක්කා නගරයෙන් ආ මුහම්මද් ට අවනත වීම කවියෙන් දැඩි උපහාසයට ලක් කෙරුනා.  ඒ අණ ඔස්සේ ක්‍රියාත්මක වුනු ඝාතකයන් අස්මා, කාබ් සහ අබු අෆක් මරා දැම්මා.


වෙනත් ගැටුම්


මේ අතර අබු සුෆියාන් මදීනාවට එරෙහිව ක්‍රියාත්මක වීම ඇරඹුවා. ඔහු 200 ක අසරුවන් පිරිසක් සමඟ රාත්‍රියේ මදීනාවට නුදුරින් පිහිටි ගොවි බිමකට කඩා වැදී එය ගිනිබත් කළා. එම ප්‍රහාරයෙන් මුස්ලිම් වරු දෙදෙනෙක් මිය ගියා.

මුහම්මද් තුමා මදීනාව තුල තම බලය තහවුරු කර ගැනීමෙන් පසු මදීනාව අවට තම බලය තහවුරු කරගැනීම පිළිබඳ අවධානය යොමු කළා. මුලින්ම ඔහු ක්‍රියාත්මක වුනේ මදීනාවට උතුරින් වාසය කළ බැනු සලීම් ගෝත්‍රයට එරෙහිව​. ඔවුන් මදීනාවට පහර දීමට සැරසෙන බව ආරංචි වුනු පසු ඔහු හමුදාවක් සමඟ ඔවුන් වාසය කළ අල් කුදර් වෙත ගියා. බැනු සලීම් ගෝත්‍රිකයන් පළා ගිය අතර​, මුස්ලිම් වරු ඔවුන් සතුවුනු ඔටුවන් 500 ක් අල්ලා ගැනීමට සමත් වුනා.

මීළඟ ප්‍රහාරය එල්ල වුනේ මදීනාව අසල සිටි ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයට​. ඔවුන් ගෙන් සමහරක් මදීනාවට පහරදීමේ අදහසින් මදීනාව අසළ කඳවුරු ලා සිටින බව සැල වුනු විට මුහම්මද් තුමා 450 ක හමුදාවක් සමඟ ඔවුන් වෙත කඩා වැදුනා. බෙදුවියන් වරු සටන් නොකරම පළා ගියා.

මේ අතර සිරියාවේ සිට මක්කාව වෙත යන වෙළඳ තවලමක් ගැන සැල වුනු මුහම්මද් තුමා 100 දෙනෙකුගෙන් යුතු පිරිසක් එම තවලමට පහර දීම පිණිස පිටත් කර හැරියා. ඔවුන් සාර්ථකව තවලම අල්ලා ගත් අතර​, එහි තිබූ වටිනා බඩු රැසක් අත් කර ගැනීමට සමත් වුනා.

තමාගේ තවලමකට එල්ල වුනු මේ ප්‍රහාරය නිසා මක්කා වැසියන් නැවතත් මුස්ලිම් වරුන්ට එරෙහිව යුධ වැදීමට පොළඹවා ගැනීමට අබු සුෆියාන්ට අවස්ථාවක් ලැබුණා..


මක්කා හමුදාවේ සූදානම​


අබු සුෆියාන් වහාම මදීනාවට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වුනා. ඔහුගේ ප්‍රහාරයේ අරමුන වුනේ මුස්ලිම් හමුදාවට එරෙහිව තීරණාත්මක ජයක් ලබා ගැනීමෙන් බෙදුවියන් ගෝත්‍ර වල සහය ලබා ගැනීම සහ හැකිනම් මුහම්මද් තුමා මරා දැමීම​.

අබු සුෆියාන් රැස් කළ හමුදාව සෙබළු 3000 කින් සමන්විත වුනා. ඉන් 200 ක් අසරු සෙබළු. මේ අය මක්කාවේ සිට මදීනාව දක්වා රැගෙන යාමට ඔටුවන් 3000 කුත් රැස් කෙරුණා.

හමුදාවේ නායකත්වය දැරුවේ අබු සුෆියාන්. අසරු බල ඇණියේ නායකත්වය තරුණ නායකයන්ට පැවරුනා. අබු සුෆියාන් අසරු හමුදාව දෙකට බෙදා පාබල හමුදාවේ දෙපසින් ස්ථාන ගත කළා. වම් අංශය මෙහයවුයේ ඉක්‍රිමා ඉබ්න් ආමර්. දකුණු අංශයට නායකත්වය දුන්නේ කාලිද් ඉබ්න් අල්-වලිද්.

අබු සුෆියාන් ගේ බිරිඳ වුනු හින්.ද් මුහම්මද් තුමා, හම්සා සහ අලී පිළිබඳ දැඩි වෛරයකින් සිටියේ ඇගේ පියා, සොහොයුරා සහ පියාගේ සොහොයුරා බදර් හි සටනින් මිය යාම නිසා. මේ නිසා ඇයටත් සටනට ක්‍රියා කාරීව සහභාගී වීමට අවශ්‍යය වුනා. ඇය තවත් ස්ත්‍රීන් කණ්ඩායමක් සමඟ හමුදාවට එක් වුනේ යුධ සෙබළුන්ව දිරි ගැන්වීමට​.

හින්.ද් ට වාෂි නම් අප්‍රිකාණු ජාතික වහලෙක් සිටියා. වාෂි සැහැල්ලු අඩයටි (හෙල්ල​) විසි කිරීමේ අති ශූරයෙක්. හම්සා සහ අලී ගේ කඩු හරඹ හැකියාව නිසා ඔවුන් ව කඩු සටනකින් මරා දැමීම අපහසු බව තීරණය කළ හින්.ද් ඔවුන් දෙදෙනාව මරා දැමීම වාෂිට බාර කළා.

ක්‍රි.ව​. 624 දෙසැම්බර් 10 වැනිදා අබු සුෆියාන් තමාගේ හමුදාවත් සමඟ මදීනාව බලා ගමන් කිරීම ඇරඹුවා. මදීනාව දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් තරණය කිරීමට අපහසු කඳු වලින් යුක්ත වුනු නිසා ඔවුන්ට පහර දීමට තිබූ එකම දිශාව උතුරින්. ඒ නිසා ඔවුන් දින දහයක ගමනකින් පසු මදීනාවට උතුරින් කඳවුරු ලෑවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව බලා ගමන් කළ බව දැනගත්ත මදීනා වැසියන් කැළඹුනා. මුහම්මද් තුමා වහාම යුධ මන්ත්‍රණයක් කැඳෙව්වා. එහිදී මුස්ලිම් වරු ප්‍රධාන අදහස් දෙකක් ඉදිරිපත් කළා.

අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි සහ අබු බකර් ඇතුළු ජේෂ්ඨ මුස්ලිම් වරුන් ගේ අදහස වුනේ මදීනා නගරය තුළට වී සිටීම වඩා සුරක්‍ෂිත බවයි. මදීනා නගරයේ බලකොටු සහ වෙනත් ගොඩනැගිලි තුළට වී ආරක්‍ෂිත සටනක් කිරීමෙන් මක්කා හමුදාව පළවා හැරිය හැකි බව ඔවුන් ගේ අදහස වුනා.

නමුත් තරුන මුස්ලිම් වරු කියා සිටියේ ඉදිරියට ගොස් මක්කා හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔවුන් ව පළවා හැරීම වඩා සුදුසු බවයි.

අවසානයේ මුහම්මද් තුමා තරුණ මුස්ලිම් වරුන් ගේ අදහසට එකඟ වුනා. ඒ අනුව ලහි ලහියේ හමුදාවක් එක් රැස් කෙරුනා. පාබල සෙබළු 1000 ක් එක් කර ගන්න ඔවුන්ට හැකි වුනත් ඔවුන් සතුව සිටියේ අසුන් හතර දෙනෙක් පමණයි. හමුදා ශක්තිය අතින් ඔවුන්ට තිබුණු පාඩුව අවම කර ගැනීම සඳහා භූමියේ වාසිය උපරිමයෙන් ලබා ගැනීමට ඔවුන්ට සිදු වුනා.

ඒ අනුව ඔවුන් තමාගේ හමුදාව ස්ථාන ගත කළේ මක්කා හමුදාවට නැගෙනහිර දෙසින් පිහිටි උහුද් කඳු වැටිය​ පාමුල.

උහුද් කඳුවැටිය​


යුධ පිටිය​


බදර් හි සටනේ මෙන් නොව​, මේ වර වර්‍ෂාවෙන් බලපෑමක් නොවුනු නිසා මක්කා හමුදාවට තමාගේ අසරු බල​ඇණිය සටනට යොදාගත හැකිව තිබුණා. මක්කා අසරුවන් තමාගේ වම් සහ දකුණු අංශ වලට පහර දුන්නොත් සිදු වෙන නියත විනාශය ගැන දැන සිටි මුහම්මද් තුමා තම හමුදාව ස්ථාන ගත කළේ වම් සහ දකුණු අංශ ආරක්‍ෂිය වෙන පරිද්දෙන්.

සටන් බිම පිහිටා තිබුනේ මක්කාවට මදක් උතුරින් පිහිටි උහුද් නම් විශාල කඳුවැටියක් අසල​. මක්කා හමුදාව උහුද් කඳුවැටියට තරමක් බටහිරින් කඳවුරු ලා සිටියා. මුස්ලිම් හමුදාව රාත්‍රියේදී රහසින්ම මක්කා හමුදාව සහ කඳුවැටිය අතරින් ස්ථානගත වුනා.



මුස්ලිම් හමුදාවේ දකුණු අංශය උහුද් කඳුවැටියේ ඉදිරියට ආ නෙරුමකින් ආරක්‍ෂා වී තිබුනා. ඔවුන් ගේ වම් අංශය නිරාවරණය වී තිබුණු නිසා මුහම්මද් තුමා අසළ වූ කඳු ගැටයක දුනුවායන් 50 දෙනෙක් ස්ථානගත කළා. ඔවුන්ට පැවරුනු කාර්‍යය වුනේ මක්කා අසරු බල​ඇණියෙන් මුස්ලිම් හම්දාවේ වම් අංශය ආරක්‍ෂා කිරීම​. මක්කා අසරුවන් ඉදිරියට එන හැම විටම ඊ ප්‍රහාර මගින් ඔවුන් පසු බැස්සවීම ඔවුන්ට බාර වුනා.

දුනුවායන් රැඳවූ කඳුගැටය​

ඔවුන්ට ලැබුණේ එකම අණක්:
"සටනේ මොනවා සිදු වුනත්, කිසිම අවස්ථාවක කඳු ගැටෙයෙන් බසින්න එපා. දිගටම කඳු ගැටය මත රැඳී සිටින්න​."

මුස්ලිම් පාබල හමුදාව මෙයෙහවුනේ හම්සා ගේ නායකත්වයෙන්. ඔවුන් උහුද් කඳුවැටිය පාමුල සටන සඳහා පෙළ ගැසුනා.


සටන ඇරඹීම​


පසුදා උදෑසනම හමුදාවන් සටන සඳහා සූදානම් වුනා. සටන ඇරඹෙන්න ඔන්න මෙන්න තිබියදී මදීනාවෙන් පිටතට පැමිණ ප්‍රහාරාත්මක සටනක් කිරීම ගැන නොසතුටින් උන් අබ්ද් අල්ලා ඉබ්න් උබෙයි තම සහචරයන් 300 ක් සමඟ සටන් බිමෙන් ඉවත්ව නැවත මදීනාව බලා ගියා.

සටන පටන් ගන්නත් පෙර මුස්ලිම් වරුන්ට සෙබළු 300 ක් අහිමි වුනා. දැන් 3000 ක මක්කා හමුදාවකට එරෙහිව සිටියේ 700 ක මුස්ලිම් හමුදාවක් පමණයි.

මක්කා හමුදාවේ ධජය රැගෙන යන්නා වුනේ "තල්හා ඉබ්න් අබු තල්හා" නම් විශිෂ්ඨ රණකාමියෙක්. ඔහු අසුපිටින් මුස්ලිම් හමුදාව ඉදිරිපිටට පැමිණ මුස්ලිම් වරුන්ට ද්වන්ධව සටනක් සඳහා ආරාධනා කළා. ඔහුගේ අභියෝගය පිළිගත්තේ අලී ඉබ්න් අබු තාලිබ්.

තල්හා මක්කාවේ සිටි නම් දැරූ රණකාමියෙක්. ඔහුගේ විනෝදාංශය වුනේ සිංහයන් දඩයම් කිරීම​. නමුත් සටන පැවතුනේ තප්පර කීපයක් පමණයි. අලීගේ මුල්ම කඩු පහරින් තල්හා ගේ හිස දෙපළු වී ගියා.

උහුද් හි සටන​

තල්හා ගෙන් ගිලිහී ගිය මක්කා ධජය ගැනීම සඳහා ඔහුගේ සොහොයුරා වූ අබු සාද් ඉදිරියට දිව ආවා. නමුත් ඔහුටත් සිදු වුනේ අලී ගේ අසිපත හමුවේ මරනය වැළඳ ගන්න​.

ඉන්පසුව ඉදිරියට ආවේ තල්හා ගේ තවත් සොහොයුරෙක් වුනු උත්මාන්. මෙවර ඔහුව පිළිගත්තේ හම්සා. කඩු සටන අවසන් වුනේ උත්මාන් මිය යාමෙන්.

මෙවිට අලීට එරෙහිව තල්හා ගේ ඥාතීන් දෙදෙනෙක් වුනු අර්තාත්, ෂුරේයි සහ ඔවුන් ගේ සේවකයා වුනු සවාබ් ඉදිරියට ආවා. ඔවුන් තිදෙනා සමඟම සටන් වැදුණු අලී ඔවුන් තුන් දෙනාම මරා දැම්මා.

ඒ අතරේ තල්හා ගේ පුතුන් තිදෙනා වුනු මුසාෆි,  අල්-හරිත් සහ කිලාබ් අලී වෙත කඩා පැන්නේ තම පියාගේ පලිය ගැනීමට​. නමුත් මුස්ලිම් හමුදාවේ සිටි අසීම් ඉබ්න් තහීත් ක්‍ෂණික හී ප්‍රහාර දෙකක් මගින් මුසාෆි සහ අල්-හරිත් මරා දැම්මා. කිලාබ් සමඟ සටනට එලැඹි සුබයිර් ඉබ්න් අල්-අවම් ඔහුවත් මරා දැම්මා.

සුළු වේලාවක් ඇතුලත මුස්ලිම් වරු විසින් මක්කා හමුදාවේ ධජය රැගෙන යන්නා සහ ඔහුගේ සහයට ආ අට දෙනෙක් මරා දැමීම නිසා මක්කා හමුදාව දැඩි තිගැස්මකට ලක් වුනා. විශේෂයෙන් බදර් හි ඔවුන්ට එරෙහිව දරුණු ලෙස සටන් වැදුණු අලී එක කඩු පහරින් ඔවුන් ගේ විශිෂ්ඨම රණකාමියා මරා දැමීම මක්කා වරුන් තැති ගැන්වීමට සමත් වුනා.


සටන​


ද්වන්ධව සටන් වලින් ජය ගත් පසු මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට පහර දීමට අණ කළා. මුස්ලිම් හමුදාව මක්කා හමුදාව වෙත කඩා පැන්නා.

මේ අතර හින්.ද් ප්‍රමුඛ මක්කා කාන්තාවෝ මක්කා පෙළ පිටුපස සිට කවි ගයමින්, රබන් වයමින් තම හමුදාව දිරිමත් කළා.

"හිමිදිරි තාරකාවේ දියණියන් අපි වෙමු
සේද යහනාවන් මත හිඳ ඔබ දෙස බලා සිටිමු
ඔවුන් වනසන්න​, අපි සදහටම ඔබේ වෙමු
පළායන්න​, කිසිදිනෙක ඔබ වැළඳ නොගමු"

හම්සා සහ අලී ගේ ප්‍රධානත්වයෙන් එල්ල වුනු ප්‍රහාරය මැඩ පවත්වන්න මක්කා වරුන්ට හැකි වුනේ නෑ. ඉක්‍රිමා සහ කාලිද් තමාගේ අසරු බල​ඇණි මුස්ලිම් වරුන් ගේ වම් සහ දකුණු අංශයන් වෙත මෙහෙයවන්න දැඩි උත්සහයක් ගත්තත්, උහුද් කන්ද සහ මුස්ලිම් වරු ගේ හී ප්‍රහාර නිසා ඒ උත්සහයන් ව්‍යර්ථ වුනා. ක්‍රමයෙන් මුස්ලිම් වරු ඉදිරියට ඇදුනා.

මක්කා වරුන් ගේ පෙළ කීප තැනකින් බිඳ වැටුනා. පළා යන සතුරන් ලුහුබඳිමින් මුස්ලිම් වරු මක්කා වරුන් ගේ කූඩාරම් අසලටම පැමිණියා. මුස්ලිම් වරු තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත ළඟ​.

ඒත් මේ වෙලාවේ බලාපොරොත්තු නොවු දෙයක් සිද්ධ වුනා. මුස්ලිම් පාබල හමුදාව මක්කා කූඩාරම් අසලටම ආ බව දුටු කඳු ගැටය මත රඳවා සිටි දුනුවායන් සටන අවසන් වූ බව නිගමනය කරලා කූඩාරම් වල ඇති දේ පැහැර ගැනීම සඳහා පාබල සෙබළුන්ට එක් වීමේ අදහසින් තමාගේ ස්ථානය අතහැර කඳු ගැටයෙන් පහළට බැස්සා.

අති ශූර යුධ සෙබළෙක් වුනු කාලිද් ඉබ්න් අල්-වලීද් තමාගේ අවස්ථාව දැක්කා. මක්කා අසරු හමුදාවේ දකුණු අංශය මෙහෙයවූ ඔහු දුටුවේ මුස්ලිම් හමුදාවේ වම් අංශය නිරාවරණය වී ඇති ආකාරය. ඔහු වහාම තම අසරු බල​ඇණිය මෙහෙයවමින් කඳු ගැටය වටා ගොස් මුස්ලිම් හමුදාවේ පසුපසට කඩා වැදුණා.



හදිසියේම එල්ල වූ මේ ප්‍රහාරයෙන් මුස්ලිම් හමුදාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. ඔවුන් ආපසු හැරී උහුද් කඳුවැටිය කරා දිවගියේ තමාගේ පසුපස ආරක්‍ෂා කර ගන්න. මේ අතර මුස්ලිම් හමුදාවට දෙවන මරු පහරත් එල්ල වුනා.

වාෂි තමාගේ අඩයටිය ගෙන රහසින්ම හම්සා සිටි දිශාවට පැමිණ​ ඈත සිටම අඩයටියෙන් පහර දුන්නා. පපුව විනිවිද ගිය අඩයටි ප්‍රහාරයෙන් හම්සා එතැනම මැරී වැටුනා.

ඒ අතරේ එල්ල වුනු ගල් ප්‍රහාරයකින් මුහම්මද් තුමාගේ කටට බරපතල තුවාල සිදු වුනා. මුවින් රුධිරය වෑහෙමින් ඇද වැටුනු මුහම්මද් තුමා දුටු මුස්ලිම් හමුදාව එකා මෙන් ආපසු හැරී පළා ගියා. උහුද් කඳුවැටිය වෙත පලා ගිය වුන් දිවි ගලවා ගැනීමට සමත් වුනත්, මදීනාව වෙත පලා ගිය පිරිසක් අසරුවන් විසින් ලුහුබැඳ මරා දැම්මා.

සටන් බිමේ ඇද වැටුනු මුහම්මද් තුමා රැක ගැනීමට ඉදිරිපත් වුනේ අලී ඇතුළු දෙළොස් දෙනෙක් පමණයි. මක්කා අසරුවන් ගෙන් එල්ල වුනු දරුණු ප්‍රහාර මැඩ පවත්වමින් මුහම්මද් තුමාව උහුද් කඳුවැටිය දක්වා රැගෙන යන්න මේ පිරිස සමත් වුනා.

සටනින් මුස්ලිම් වරු 85 ක් සහ මක්කාවරු 30 පමණ මිය ගියා. මුස්ලිම් වරුන්ට අත්වූ දරුණුම පහර වුනේ ඔවුන් ගේ ප්‍රධාන සෙනවියා වුණු හම්සා මිය යාම​.

මුස්ලිම් වරු කඳුවැටිය මත හිඳ සටන් බිම දෙස බලා සිටියේ මක්කා හමුදාව සටන් බිමෙන් ඉවත්ව යන තුරු. මක්කා සෙබළුන් මිය ගිය සගයන් ගේ සිරුරු එකතු කිරීමේ සහ මියගිය මුස්ලිම් සෙබළුන් ගේ බඩු පැහැර ගැනීමේ යෙදී සිටියදී හින්.ද් හම්සා ගේ මළ සිරුර වෙත ළං වුනා.

හම්සා මිය ගොස් තිබීම ගැන ඇය සිටියේ ඉතාමත් ප්‍රීතියෙන්. තම පිහියෙන් හම්සා ගේ මල සිරුරේ බඩ කපා විවර කළ ඇය හම්සා ගේ අක්මාව කපා ඉවතට ගෙන කඳුමත හිඳ තමා දෙස බලා සිටි මුස්ලිම් වරුන්ට පෙන්නුවා. ඉන්පසු ඇය මුස්ලිම් වරු භීතියෙන් ගල් ගැසී බලා සිටියදී ලේ වැකෙන අක්මාවෙන් කොටසක් කටින් කඩාගෙන විකා, ඉවතට දැමුවා. ඉන්පසුව ඇය අසා සිටිය අයගේ ඇඟ භීතියෙන් හිරිවැටෙන හඬින් ජයඝෝෂාවක් නංවා ඉවත්ව ගියා.

හම්සා ගේ සොහොන​

සටනින් පසු


දින කීපයක් මදීනාව අවට රැඳී සිටිමින් තමාගේ බලය ප්‍රදර්ශනය කළ මක්කා හමුදාව නැවත මක්කාවට පැමිණියා.

අබු සුෆියාන් ගේ නායකත්වය මක්කාවේ තහවුරු කරන්න මේ ජයග්‍රහණය සමත් වුනා. දැන් ඔහුට තිබුනේ තමාගේ සැලැස්මේ දෙවන කොටස ක්‍රියාත්මක කිරීම​. ඒ සඳහා ඔහු ක්‍රමයෙන් මදීනාව අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් ගේ සහය ලබා ගන්න උත්සහ කළා.

Saturday, March 14, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 7 (පුරහඳ සටන හෙවත් බදර් හි සටන​)



පසුබිම​


ක්‍රි.ව​. 623 වන විට මදීනා හි මුස්ලිම් සමාජය හොඳින් තහවුරු වී තිබුනා. මුහම්මද් ට නායකයෙක් විදිහට මදීනාවේ සහ ඒ අවට යම්කිසි පිළිගැනීමක් ලැබෙමින් තිබුනා. නමුත් මක්කාවේ සිට මදීනාවට පැමිණි මුස්ලිම් වරු හෙවත් මුජිහරුන් එසේ කලේ ඔවුන් ගේ සියළු ධනය මක්කාවේ හැර දාලා. මේ නිසා ඔවුන් මදීනාවේ ජීවත් වුනේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද​.

මේ වන විට මක්කාවේ ප්‍රධානියා විදිහට සැලකුණු වලීඩ් ඉබ්න් අල්-මුගිරා මිය ගොස් තිබුණු නිසා ඒ තනතුර හිමි වී තිබුනේ මුහම්මද් තුමාගේ ප්‍රධාන එදිරිවාදියා වුනු ආමර් ඉබ්න් හිෂාම් හෙවත් අබු ජහල් ට​. මේ නිසා මක්කාවේ ඉස්ලාම් විරෝධී ප්‍රතිපත්තිය වඩාත් දැඩි වුනා.

මක්කා හි ප්‍රධානීන් මක්කාව හැර ගිය සියළුම මුස්ලිම් වරුන් ගේ දේපල රාජසන්තක කර ඒවා මක්කා වැසියන් අතර බෙදා දීමට තීරණය කළා. මේ තීරණය මක්කාවෙන් මදීනාවට පැමිණි මුස්ලිම් වරුන් ගේ දැඩි නොසතුටට හේතු වුනා. ඔවුන් එයට එකට එක කිරීමක් ලෙසට සහ අහිමි වුනු ධනය නැවත ලබා ගැනීමේ මාර්ගයක් විදිහට මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට යෝජනා කළා.

එවකට තිබුනු අරාබි සංස්කෘතිය අනුව අරාබි ගෝත්‍රයක කීර්තිය රැඳී තිබුනේ ඔවුන් ගේ රණකාමීත්වය මත​. දිගින් දිගටම හිංසා පීඩා වලට ලක් වන ගෝත්‍රයක් අනෙක් ගෝත්‍ර විසින් දැක්කේ දුර්වල ගෝත්‍රයක් විදිහට​. එවැනි ගෝත්‍ර අනෙකුත් ගෝත්‍ර වල පහසු ගොදුරක් බවට පත් වුනා. මේ නිසා අනෙකුත් අරාබි ගෝත්‍ර අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වී තිබුනා.

මේ හේතු දෙක නිසා මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට මුහම්මද් තුමා සිය අනුමැතිය ලබා දුන්නා. ඒත් ගැටළුවකට තිබුනේ ධනවත් මක්කා වැසියන් ගේ යුධ ශක්තිය හා ගැටීමට දුප්පත් මදීනා වැසියන්ට නොහැකි වීමයි. මක්කා නගරය ජනගහණයෙන් වැඩි විශාල නගරයක් වූ නිසා ඔවුන්ට විශාල පිරිස් බලයක් තිබුනා. ඒ වගේම ධනවතුන් වූ ඔවුන්ට ඉස්තරම්ම ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමේ හැකියාව තිබුනා. ඔටුවන් සහ අශ්වයන් විශාල ප්‍රමානයක් සිටි නිසා ඔවුන්ට ප්‍රභල ප්‍රහාරක හැකියාවක් තිබුනා.

මුහම්ම්ද් තුමාගේ සමයේ අරාබි යුධ සෙබළු

ඒ සමයේ අරාබි යුධ ශිල්පයට අනුව හමුදාවක් ගමන් කළේ ඔටුවන් පිට​. සටනට අවතීර්න වනවිට ඔවුන් ගෙන් සමහරක් අසු පිට නැගී යුධ වදින අසරු සෙබළුන් විදිහටත්, සමහරක් පාබල සෙබළුන් විදිහටත් කටයුතු කළා. ඔටුවන් නොමැති විට ඔවුන්ට ගමන් කිරීමට සිදු වුනේ පයින්. එවැනි අවස්ථාවකදී සටනට එලැඹෙන සෙබළු මහන්සි වී සිටි නිසා ඔවුන් ගේ සටන් කිරීමේ හැකියාව පහත වැටුනා. අශ්වයන් නොමැති විට සතුරාට එරෙහිව ක්‍ෂණික ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් නොමැති වන නිසා ප්‍රහාරක හැකියාව පහත වැටුනා. මේ නිසා අරාබි හමුදාවක ඔටුවන් සහ අශ්වයන් වැදගත් අංගයක් වුනා.

දුප්පත් මදීනා වැසියන්ට හොඳ ආයුධ හෝ සන්නාහ තිබුනේ නෑ. වඩාත් වැදගත් වුනේ ඔවුන්ට සිටි ඔටුවන් සහ අශ්වයන් ගණන ඉතා සීමිත වීමයි. මේ නිසා මුස්ලිම් වරුන් ගේ යුධ හැකියාව තිබුනේ මක්කා වැසියන්ට වඩා බොහෝ පහළින්.


තවලම් ප්‍රහාර​


තවලම් කොල්ල කෑමට ගත් තීරණය අනුව ක්‍රි.ව​. 623 මාර්තු මාසයේ දී හම්සා විසින් මෙහෙයැවුනු මුස්ලිම් වරු 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අබු ජහල් ගේ තවලමකට පහර දෙන්න සැරසුනා. නමුත් අබු ජහල් ගේ පිරිස 300 දෙනෙකුගෙන් සමන්විත වුනු නිසා මුස්ලිම් වරු ප්‍රහාරය අත හැර දමා ආපසු හැරුනා.

මේ මුස්ලිම් වරු හමුදාවක් වශයෙන් සංවිධානාත්මකව ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාවයි.

623 අවුරුද්දේ තවත් අවස්ථා හතරකදී මුස්ලිම් වරුන් ගේ කණ්ඩායම් මක්කා වැසියන් ගේ තවලම් වලට පහර දෙන්න සැරසුනත්, ඒ හැම අවස්ථාවකදීම මක්කා වරුන් ගේ පිරිස් බලය වැඩි වුනු නිසා ප්‍රහාරය නවතා දමා ආපසු හැරෙන්න මුස්ලිම් වරුන්ට සිදු වුනා.

ක්‍රි.ව​. 624 ජනවාරි මාසයේදී මුස්ලිම් වරු 6 දෙනෙකුගේ කණ්ඩායමක් ඔත්තු බැලීම සඳහා මක්කා නගරයට ඇතුල් වීමට උත්සහ කළා. නමුත් ඔවුන් නගරය අවට රැඳී සිටියදී එතැනින් ගියා මක්කා වරුන් ගේ තවලමක් ඔවුන් මුස්ලිම් වරු ලෙස හඳුනා ගත්තා. මුස්ලිම් වරු පළා යාමට තැත් කළ අතර​, එහිදී ඇති වූ ගැටුමෙන් මක්කා වැසියෙක් මිය ගියා.

දින කිහිපයකට පසු මේ ඝාතනයට එකට එක කිරීමක් විදිහට අබු සුෆියාන් විසින් මෙහෙයැවුනු මක්කා වැසියන් ගේ අසරුවන් පිරිසක් මදීනා නගරය අවට තිබූ මුස්ලිම් වරුන්ට අයත් ගොවි බිම් වලට පහර දී ඔවුන් ගේ වගා බිම් ගිනි තිබ්බා.

මේ නිසා 624 අවුරුද්දේ දී මුස්ලිම් වරු සහ මක්කා වැසියන් අතර ඉතා උණුසුම් තත්වයක් ඇති වී තිබුණා.


අබු සුෆියාන් ගේ තවලම​


ක්‍රි.ව​. 624 අප්‍රේල් මාසයේදී දී අබු සුෆියාන් ගේ නායකත්වයෙන් 40 ක පිරිසකගෙන් සමන්විත වුනු විශාල තවලමක් සිරියාවේ සිටි මක්කාව බලා ගමන් කළා. මදීනාව පිහිටා තිබුනේ මක්කාවට උතුරින් නිසා මේ තවලම ගමන් කළ යුතු වුනේ මදීනා නගරය අසළින්. ඒ වගේම මේ තවලමේ මක්කා නගරයෙ සියළුම ප්‍රධානින් සතු වෙළඳ බඩු තිබුනු අතර​, ඒවායේ වටිනාකම ඉතා අධික වුනා.

වටිනා බඩු පුරවාගත් විශාල තවලමක් සාපේක්‍ෂව අඩු පිරිසක් සමඟ මදීනාව අසළින් ගමන් කරන බව ඇසූ මුස්ලිම් වරු මේ තවලමට පහර දෙන්න තීරණය කළා.



මුස්ලිම් වරු තමාගේ තවලමට පහර දීමට සූදානම් වන බවදැනගත් විට අබු සුෆියාන් කළේ තමාගේගමන් මාර්ගය වෙනස් කිරීම​. මක්කා සහ මදීනා නගර පිහිටලා තිබුනේ රතු මුහුදේ වෙරළේ ඉඳන් කිලෝ මීටර් 80 පමණ ගොඩබිම දෙසින්. තවලමේ ගමන් මග වැටිල තිබුනේ මේ නගර දෙක අසලින්. අබු සුෆියාන් වහාම තවලම මුහුද දෙසට හරවලා රතු මුහුදේ වෙරළබඩ නගරයක් වුනු යාන්බු දක්වා තවලම ගෙන ගියා. ඒ අතර මක්කා නගරයට පණිවුඩ කරුවෙක් යවලා මුස්ලිම් වරු තවලමට පහර දෙන්න යන බව දැන්වුවා.


අබු සුෆියාන් ගේ පණිවුඩය ලැබුනු විගස මක්කාවේ ප්‍රධානීන් වහාම හමුදාවක් සූදානම් කලා. බොහෝ අය හමුදාවට එක් වුනේ තවලමේ ඇති තමාගේ වෙළඳ භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන්. නමුත් මක්කාවේ ප්‍රධානියා වුනු අබු ජහල් මුහම්මද් තුමා මරා දැමීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා. ඔහු හමුදාව වෙනුවෙන් තමා සතු ඔටුවන් 700 ක් සහ අශ්වයන් 100 ක් ලබා දුන්නා. අබු ජහල් ට අමතරව උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ් හමුදාවේ ප්‍රධානත්වය ගත්තා.

මක්කාවේ හමුදාවක් එක් රැස් වන බව නොදත් මුස්ලිම් වරු 313 ගෙනෙකුගෙන් සමන්විත හමුදාවක් සමඟ මදීනාවෙන් පිටත් වුනා. ඔවුන් සතුව හිටියේ ඔටුවන් 70ක් සහ අශ්වයන් දෙදෙනෙක් පමණයි. මේ නිසා එක ඔටුවෙක් පිටේ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් නැග යන්න ඔවුන්ට සිදු වුනා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ගමනාන්තය වුනේ මක්කාවට යන මාර්ගයේ පිහිටා තිබූ රට ඉඳි වගාවක් සහිත ස්ථානයක්. මේ ස්ථානය අවට පිහිටා තිබූ ළිං කීපයක් නිසා ඒ අවටින් යන ඕනෑම තවලමක් එතැන නැවතී වතුර පුරවාගෙන යාම සිරිතක්. අබු සුෆියාන් ගේ තවලම එතැනදී අල්ලා ගැනීම ඔවුන් ගේ සැලසුම වුනා.

මුස්ලිම් වරු තමාගේ ප්‍රධාන පිරිසට ඉදිරියෙන් අවට පරික්‍ෂා කර බැලීම සඳහා කීප දෙනෙක් ඉදිරියට යවා තිබුනා. මේ ඔත්තු කරුවන් රට ඉඳි වගාව අසලට පැමිණෙන විට ඔවුන්ට දකින්න ලැබුනේ ළිං වලින් වතුර පුරවා ගන්නා කීප දෙනෙක්. ඒ අබු සුෆියාන් ගේ තවලමෙන් පැමිණි පිරිසක් බව සැක කළ ඔවුන් වහා ඔවුන් මත කඩා පැන ඔවුන් අල්ලා ගත්තා. ඒත් ඔවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් ඔත්තු කරුවන්ට දැන ගන්න ලැබුනේ අබු සුෆියාන් තම තවලම සුරක්‍ෂිතව වෙනත් මගකින් මක්කාව වෙත යැවූ බවත්, අබු ජහල් ගේ ප්‍රධානත්වයෙන් යුත් විශාල​ හමුදාවක් ඔවුන් සිටි තැනට නුදුරින් කඳවුරු ලා සිටින බවත්, ළිං වලින් වතුර පුරවාගනිමින් සිටි අය ඒ හමුදාවේ සාමාජිකයන් බවත්. මේ ආරංචියෙන් කලබල වුනු ඔවුන් වහාම මුහම්මද් තුමා වෙත ගොස් මේ බව දැනුම් දුන්නා.

මුහම්මද් තුමා තමාගේ ප්‍රධාන සහචරයන් කැඳවා ඔවුන් ගේ අදහස් විමසුවා. ඔවුන් බලාපොරොත්තු වුනු තවලම ඔවුන් ට ගිලිහී ගිහින්. ඒ වෙනුවට ඔවුන් වගේ තුන් හතර​ ගුණයක් විශාල බලවත් හමුදාවක් ඔවුන්ට නුදුරින් කඳවුරු ලාගෙන​. එහිදී අබු බකර් සහ තවත් කීප දෙනෙක් සටන අත හැර දමා නැවත මදීනාවට යන ලෙස යෝජනා කළා. නමුත් මක්දාද් ඉබ්න් අස්වාද් වේගවත් කථාවක් කරමින් සටනට මුහුණ දෙන ලෙස යෝජනා කළා. මුහම්මද් තුමා අවසානයේ මක්දාද් ගේ යෝජනාව පිළිගත්තා.


​මක්කා හමුදාවේ මත ගැටුම​


මේ අතර මක්කා හමුදාව රට ඉඳි වගාවට නුදුරින් කඳවුරු ලා සිටියදී මක්කාවේ සිට පණිවුඩ කරුවෙක් ඔවුන් වෙත ආවා. පණිවුඩයෙන් කියැවුනේ අබු සුෆියාන් තවලමත් සමඟ අනතුරකින් තොරව මක්කාව වෙත ආ බවයි.

මේ පණිවුඩය ලත් විට මක්කා හමුදාව අතර මත ගැටුමක් ඇති වුනා. තවලම ආරක්‍ෂා කිරීමේ අදහසින් පැමිණි බොහෝ දෙනා නැවත මක්කාවට යන ලෙස යෝජනා කළා. නමුත් අබු ජහල් සිටියේ මුහම්මද් තුමා මරා දමා ඉස්ලාමයේ කරදරය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන්. ඔහු නැවතී සටන් කරන මතයේ දැඩිව එල්බ ගත්තා.

උත්මාන් ඉබ්න් කලාෆ් තමා නැවත මක්කාවට යාමට අදහස් කරන බව කියා සිටියා.

"තමුසෙට ඇස් යටට ගාන අඳුන් ගාන්න අමතක වෙලා" අබු ජහල් උත්මාන්ට කියා සිටියා. අබු ජහල් අදහස් කළේ උත්මාන් ගැහැණියක් බව​. ඉන් ලැජ්ජාවට පත් උත්මාන් නැවතී සටන් කිරීමට කැමැත්ත පළ කලා.

හමුදාවේ අනෙක් ප්‍රධානියා වුනු උත්බා ඉබ්න් රබියාත් නැවත මක්කාවට යාමට අදහස් කළා. උත්බා ගේ වැඩිමහල් පුතා ඉස්ලාමය වැළඳ ගෙන මදීනාවට පලා ගොස් සිටියා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ඔහුත් ඉඳීමට ලොකු ඉඩක් තිබුනා. අබු ජහල් මේ කරුණ ප්‍රයෝජනයට ගත්තා.

"තමුසෙට බයයි ද තමුසෙගෙ පුතා අපි අතින් මැරුම් කයි කියලා?"

මේ ප්‍රකාශයෙන් කෝපාවිෂ්ඨ වුනු උත්බා තමාගේ අදහස වෙනස් කර ගත්තා.

නමුත් මක්කා හමුදාවේ කොටසක් අබු ජහල් ගේ අදහසට විරුද්ධ වෙමින් නැවත මක්කාවට හැරී ගියා. මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබ්බාස් ගේ ප්‍රධානත්වයෙන් හමුදාවට එක් ව සිටි බැනු හෂීම් වාංශිකයන් නැවත යාමට උත්සහ කරද්දී අබු ජහල් ඔවුන් තර්ජනය කොට බලෙන්ම ඔවුන් රඳවා ගත්තා.

අවසානයේදී 900 ක පමණ පිරිසක් අබු ජහල් සමඟ සටන් බිමට පිවිසුනා.


සටන ඇරඹීම​


සටන් බිම පිහිටා තිබුනේ නැගෙනහිර සිට බටහිර දක්වා දිවෙන මද බෑවුමක් සහිත විශාල තැන්නක​. මේ තැන්නේ නැගෙනහිර කොනේ රටඉඳි වගාව පිහිටා තිබුණා. බෑවුම අවසන් වුනේ තරමක නිම්නයකින්. නිම්නයේ බටහිර කොනේ අකන්කාල් නම් කන්දක් තිබුණා. ළිං පිහිටා තිබුනේ නිම්නය සහ රට ඉඳි වගාව අතර, බෑවුමේ මැදට වෙන්න.


මුලින්ම සටන් බිමට පැමිණියේ මුස්ලිම් හමුදාව​. ඔවුන් රට ඉඳි වගාව පසු කරමින් ළිං දක්වා පැමිණ එතැන කඳවුරු ලා ගත්තා. එමගින් ඔවුන් භූමියේ වාසි දෙකක් ලබා ගත්තා. පළමුවැන්න​, වතුර තිබුනේ ඔවුන් සතුව​. සටන දිගට ඇදුනොත්, සතුරාට පිපාසයේ සටන් කරන්න සිදු වෙනවා. දෙවැන්න​, ඔවුන් සිටියේ බෑවුමේ ඉහළට වෙන්න​. ඔවුන් සතුරාට පහර දුන්නොත්, බෑවුමේ පහළට දිව යමින් පහර දෙන්න පුළුවන්. සතුරා ඔවුන්ට පහර දුන්නොත් බෑවුමේ ඉහළට එන්න සතුරාට සිදු වෙනවා.

එදින මැදියම් රැයේ මක්කා හමුදාව අකල්කාන් කන්ද තරණය කරමින් බටහිර දෙසින් සටන් බිමට පිවිසුනා. එදා ඇද හැළුණු අධික වර්‍ෂාව නිසා පොළව තෙත බරි වී තිබීම හේතුවෙන් ඔවුන් ගේ ඔටුවන් සහ අශ්වයන් කන්ද තරණය කළේ දැඩි අපහසුවෙන්.

සටන් බිම වර්තමානයේ
එදා පුරහඳ දවසක්. මේ නිසා පසුව සටන හැඳින්වුනේ "පුරහඳ සටන​" යන අරුත ඇති "බදර් හි සටන​" ලෙසින්. පසුව සටන සිදු වූ ස්ථානයත් "බදර්" නමින් හැඳින්වුනා.

පහුවදා උදේම දෙපිරිස සටන සඳහා පෙළ ගැසුනා. මක්කා හමුදාව නිම්නය දිගේ පෙළ ගැසුනු අතර​, මුස්ලිම් වරු බෑවුමේ ඉහළින් ළිං අසල පෙළ ගැසුනා. මක්කා හමුදාවේ ප්‍රධානත්වය දැරුවේ ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්), උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ්. මුස්ලිම් හමුදාවේ පෙරමුණ ගත්තේ හම්සා.

එකල අරාබි සිරිත අනුව සටන ඇරඹීමට පෙර දෙපාර්ශවයෙන් දක්‍ෂ කඩු සටන් කරුවන් ලෙස නම් දැරූ කීප දෙනෙක් ඉදිරියට පැමිණ ප්‍රතිවාදී පිලට ද්වන් දව සටන් සඳහා ආරාධනා කරනවා. ඒ අනුව මක්කා හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා වුනු ෂයිබා ඉබ්න් රබියා සහ උත්බා ගේ පුතා වුනු වාලිද් ඉබ්න් උත්බා. ඔවුන් මුස්ලිම් හමුදාවට අභියෝග කළා. අභියෝගය පිළිගෙන මුස්ලිම් හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ තිදෙනාම අන්සාරි වරු.

අන්සාරි වරු සමඟ පුද්ගලික ආරවුලක් නොතිබුණු නිසා මක්කා පිලේ සටන් කරුවන්ට ඔවුන් සමඟ සටන් කිරීමට අවශ්‍යය වුනේ නෑ. උත්බා ඒ බව කෑගසා දන්වා සිටියා.

"මුහම්මද්, අපිට සමාන කවුරු හරි එවන්න​"

ඒ අභියෝගය භාර ගනිමින් හම්සා, අලී සහ උබයිදා ඉබ්න් අල්-හරිත් ඉදිරියට ආවා. මුස්ලිම් හමුදාවේ දක්‍ෂම කඩු සටන් කරුවන් විදිහට සැලකුනේ ඔවුන් තිදෙනා.

හම්සා උත්බා සමඟත්, අලී වාලිද් සමඟත්, උබයිදා ෂයිබා සමඟත් කඩු හරඹයට එලඹුනා. සුළු මොහතකින් අලී ගේ කඩු පහරින් වලීද් මරණයට පත් වුනා. ඊළඟ මොහොතේ හම්සා ගේ කඩු පහරින් උත්බා මරු දැක්කා. ඒ අතර ෂයිබා ගෙන් එල්ල වූ කඩු පහරකින් කකුලට බරපතල තුවාල ලැබූ උබයිදා බිම ඇද වැටුනා. එසැනින් ෂයිබා වෙත කඩා පැන්න අලී ඔහු සමඟ සටනට එලැඹුනා. ෂයිබාටත් අලී ගේ කඩු පහරින් මරණය අත් වුනා. අලී සහ හම්සා තුවාල ලැබූ උබයිදාව ඔසවා ගෙන නැවත තම හමුදාව වෙත ආවත්, අධික ලේ වහනය නිසා උබයිදා මිය ගියා.

හම්සා සහ අලී මක්කා වරු සමඟ සටන් කිරීම​

ද්වන් දව සටනින් තම සටන්කරුවන් තිදෙනාම මිය යාම නිසා මක්කා හමුදාව යම්කිසි තිගැස්මකට ලක් වුනා. ඒ වගේම ඔවුන් ගේ අශ්වයන්ට තෙතබරි පොළවේ දිවීම අපහසු වුනු නිසා මුස්ලිම් හමුදාවට එරෙහිව ඔවුන්ට තිබුනු ලොකුම වාසිය ඔවුන්ට අහිමි වුනා. දැන් ඔවුන්ට තිබුනේ බෑවුම ඉහළට යමින් පහර දීමේ දුෂ්කර කාර්‍යය.


සටන​


සටන ඇරඹුනේ දෙපිලේම දුණුවායන් ඊතල ප්‍රහාර එල්ල කිරීමත් සමඟම​. මේ ඊ ප්‍රහාර නිසා දෙපිලේම කීප දෙනෙක් මරණයට පත් වුනා.

මක්කා හමුදාව කලබලයටත්, අධෛර්‍යයටත් පත් වන බව දුටු මුහම්මද් තුමා සතුරා වෙත කඩා වදින ලෙස අණ දුන්නා. ඒ ගල් කැට අහුරක් ගෙන සතුරා දෙසට දමා ගසමින්. "යා මන්සූර්, අමිත්" (දෙවියන් ගේ ආශිර්වාදය ලද්දනී, පහර දෙනු) යනුවෙන් කෑගසමින් මුස්ලිම් වරු බෑවුම පහළට දිව එමින් සතුරු පෙළ වෙත කඩා පැන්නා.

මුස්ලිම් හමුදාවේ ඉදිරියෙන්ම සිටියේ අලී සහ හම්සා. අලී සටන් වැදුනේ යක්‍ෂාරූඩයෙන් මෙන්. ඔහුගේ අසිපතට හසුවූ සතුරන් එකා පිට එකා මැරී වැටුනා.

සටන අතරතුරදී අන්සාරි ගැටවරයන් දෙදෙනෙක් අබ්දුර් රහ්මන් අබ්න් අව්ෆ් වෙත පැමිණියා.

"මාමේ, ඔබ අබු ජහල් ව දන්නවද​?"

"ඔව්. උඹලට මොකටද අබු ජහල්?" අබ්දුර් රහ්මන් ඔවුන් ගෙන් විමසා සිටියා.

"අපි අහල තියෙනවා ඔහු මුහම්මද් තුමාට ගොඩක් අපහාස කළා කියලා. අපිට අබු ජහල් සටන් බිමේ දී හමු වුනොත්, අපි දෙදෙනා හරි අබු ජහල් හරි මිය යන තුරු අපි අබු ජහල් ව අතාරින්නේ නෑ"

අබ්දුර් රහ්මන් තම සේනාව මෙහෙයවමින් සිටි අබු ජහල් ව අන්සාරි ගැටවරයන් දෙදෙනාට පෙන්නුවා.

මුආව්විද් ඉබ්න් අෆ්‍රා සහ මුආද් ඉබ්න් ආමර් නම් වූ මේ අන්සාරි ගැටවරයන් දෙදෙනා තම අසිපත් රැගෙන අබු ජහල් වෙත කඩා පැන්නා. මුආද් ගේ කඩු පහරකින් අබු ජහල් ගේ පාදයක් වෙන්වී විසිවී ගියා. අබු ජහල් බිම ඇද වැටුනු අතර, මුආව්විද් ඔහුට තම කඩුවෙන් පහර පිට පහර දුන්නා.

ඒ මොහොතේදී අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් මුආද් ගේ උරහිසට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් මුආද් ගේ වම් අත වෙන්වී සිහින් මස් තීරුවකින් සිරුරට සම්බන්ධ වෙමින් එල්ලා වැටුනා. එතැන් සිට මුආද් සටන් කළේ වම් අත එල්ලා ගෙන​. එය වේදනාකාරී වුනු විට ඔහු තම පයින් වම් අත පාගා ගෙන එය සිරුරෙන් ඉරා දැම්මා. සටන අතරතුර දී මුඅව්විද් වෙනත් මක්කා සෙබළෙක් අතින් මරණයට පත් වුනත්, මුආද් දිවි ගලවා ගන්න සමත් වුනා.

සටන පැවතුනේ පැය කීපයක් පමණයි. අලී ප්‍රමුඛ මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයෙන් කලබලයට පත් ව උන් මක්කා හමුදාවේ සමහරු, අබු ජහල් ගේ ඇද වැටීමෙන් සම්පූර්ණයෙන්ම භීතියට පත් ව පළා යාම ඇරඹුවා. අතරින් පතර පලායාම් සමඟම මක්කා හමුදාවේ පෙළ බිඳ වැටී ගියා. පෙළ බිඳ වැටුනු තැන් වලින් කඩා වැදුනු මුස්ලිම් වරු ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒත් එක්කම නායකයන් අහිමිව උන් සම්පූර්න මක්කා හමුදාවම එකා මෙන් සටන් බිමෙන් පළා ගියා.

මුස්ලිම් වරු මක්කා සෙබළුන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගන්න සමත් වුනත් තවත් බොහෝ දෙනෙක් පළා ගියා.

මුස්ලිම් හමුදාවෙන් 14 දෙනෙක් මිය ගිහින් තිබූ අතර, මක්කා හමුදාවේ 70 දෙනෙක් මිය ගිහින් තවත් 70 ක් සිර භාරයට ගෙන තිබුනා. මිය ගිය අයගෙන් 35 දෙනෙක්ම මිය ගියේ අලී ගේ අසිපතෙන්.


සටන අවසානයේ


මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක් වුනු අබ්ද්-අල්ලාහ් ඉබ්න් මසූද් අඩි පහක් පමණ උස කුඩා පුද්ගලයෙක්. ඔහු මක්කාවේ එඬේරෙක් වශයෙන් ජීවිකාව කළ තරුණයෙක්. සටන අවසානයේ ඔහු සටන් බිම පිරික්සමින් ඇවිදිද්දී ඔහුට හමු වුනේ පණ අදිමින් වැතිර සිටි අබු ජහල්.

අබ්ද්-අල්ලාහ් අබු ජහල් ගේ බෙල්ලට පය තබා ඔහු මරා දමන්න සැරසුනා.

"මට කියපන්, සටනෙන් දිනුවේ කවුද​?" අබු ජහල් ඔහුගෙන් විමසුවා

"අල්ලාහ් ගේ පණිවුඩ කරුවා ගේ හමුදාව"

"පුංචි එඬේරා උඹ ගොඩාක් උඩට නැගලා!"

අබු ජහල් "පුංචි එඬේරා" යන්නෙන් අදහස් කළේ අබ්ද්-අල්ලාහ් අබ්න් මසූද් වගේම මුහම්මද් තුමාව​.

අබ්ද්-අල්ලාහ් තමාගේ ගෙල සිඳ දැමීමට පෙර අබු ජහල් එක ඉල්ලීමක් කළා.

"උඹ වගේ මිට්ටෙක් අතින් මැරෙන්න සුදුසු මිනිහෙක් නෙවෙයි මම​. මාව මරන්න උඹට වඩා උස එකෙක් එවපන්"

නමුත් අබ්ද්-අල්ලාහ් ඔහුගේ ඉල්ලීම ඉටු කළේ නෑ. අබු ජහල් මිය ගියේ අඩි පහක් උස "මිට්ටා" අතින්.

අබු ජහල් ගේ මරණය​

මේ අතර මක්කා හමුදාවේ ඉතිරි වුනු එකම ප්‍රධානියා වූ උමයියා ඉබ්න් කලාෆ් මුස්ලිම් වරුන් ගේ සිර භාරයට පත්ව සිටියා. ඔහු තමාට ආරක්‍ෂාව ලබා දිය හැකිදැයි මුස්ලිම් හමුදාවෙන් විමසා සිටියා. එවිට අබ්‍දුර් රහ්මන් ඉබ්න් අව්ෆ් උමයියාට සහ ඔහුගේ පුතා වුනු වලීද් ට ආරක්‍ෂාව ලබා දෙන්න ඉදිරිපත් වුනා. අබ්දුර් රහ්මන් ඔවුන් දෙදෙනා සිර භාරයෙන් මුදාගෙන නිදහස් කිරීමට ගෙන ගියා.

උමයියාට මක්කාවේ කළු ජාතික වහලෙක් සිටියා. ඔහුගේ නම බිලාල්. බිලාල් ඉස්ලාමය වැළඳගත් නිසා උමයියා ඔහු දරුණු වධයට ලක් කළා. බිලාල් ජීවිතය බේරා ගත්තේ ඉතා අමාරුවෙන්. දැන් බිලාල් මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක්. ඔහු උමයියා නිදහස් කිරීම ගැන තම විරෝධය දක්වා සිටියා. අන්සාරි වරු කීප දෙනෙක් බිලාල් ගේ සහයට ආවා. අබ්දුර් රහ්මාන් උමයියා සහ වලීද් පලා යන්න සූදානම් වෙද්දී බිලාල් සහ අන්සාරි වරු ඔවුන් අල්ලා ගත්තා. එතැනදී වලීද් අන්සාරි වරුන් ගේ කඩු පහරින් මිය ගියා. උමයියා බිම දණ ගැසූ විට අන්සාරි වරු ඔහු මරා දැමීමට ළං වුනා. අබ්දුර් රහ්මාන් උමයියා ගේ සිරුර මත වැතිරී ඔහු රැක ගැනීමට උත්සහ කළත්, අන්සාරි වරු ඔහුගේ සිරුරට යටින් කඩු පහර දී උමයියා මරා දැමුවා.


සිරකරුවෝ


අල්ලා ගත් සිර කරුවන්ට මානුෂික ලෙස සැලකීමට මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට අණ කළා. ඔවුන් ව මදීනාව වෙත ගෙන ඒමේදී අත පා බැඳ දැමීමට වත් අවසර ලැබුණේ නෑ. මදීනාවේදී මුහම්මද් තුමා සිරකරුවන් අමතා කතා කළා.

මුලින්ම ඉස්ලාමය වැළඳගෙන මදීනාවේ මුස්ලිම් සමාජයට එක් වීමට සිරකරුවන්ට ආරාධනා කළා. ඒ අනුව දෙදෙනෙක් ඉස්ලාමය වැළඳ ගැනීමට කැමැත්ත පළ කලා. ඉන්පසුව තමාගේ නිදහස වෙනුවෙන් මුදලක් ගෙවීමට හැකි සියළුම දෙනාට ඒ මුදල ගෙවීමෙන් නිදහස් ව යාමට ඉඩ දුන්නා. මුහම්ම්ද් තුමා ගේ පියාගේ සොහොයුරෙක් වූ අබ්බාස් සිර කරුවන් අතර සිටියා. ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක් වූ අතර ඇය හිටියේ මක්කාවේ. මුහම්මද් තුමා අබ්බාස් වෙනුවෙන් වූ මුදල තමාම ගෙවා අබ්බාස් නිදහස් කළා.

ඉතිරි වූ කීප දෙනාට ලැබුනේ අපූරු "දඬුවමක්". ඔවුන්ට අණ ලැබුනේ මදීනාවේ නතර වී ලීවීමට කියවීමට නොදත් මුස්ලිම් වරුන්ට ඉගැන්වීමට​. මුස්ලිම් වරු දහ දෙනෙකුට ලිවීමට ඉගැන්වූ පසු ඔවුන්ව නිදහස් කළා.

මෙහිදී මක්කාවේ සමාජය සහ මදීනාවේ සමාජය ගැන හොඳ අදහසක් ලබා ගන්න අපිට පුළුවන්. ධනවත් විශාල නගරයක් වුනු මක්කාවේ බොහෝ දෙනාට ලිවීමට සහ කියැවීමට හැකි වුනු බවත්, කුඩා දුප්පත් නගරයක් වුනු මදීනාවේ බොහෝ දෙනෙකුට ලිවීමට කියැවීමට නොහැකි වුනු බවත් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මුහම්මද් තුමා ලිවීමට සහ කියැවීමට දුන් වැදගත් කම ගැනත් අපිට හිතා ගන්න පුළුවන්.


අබු ලැහැබ්


මක්කාවේ මුහම්මද් තුමා අයිති වුනු වංශය වූ බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ්. ඔහු සටනට එක් වුනේ නෑ. ඒ වෙනුවට සටනේදී බැනු හෂීම් වංශිකයන් මෙහෙයවූයේ ඔහුගේ සොහොයුරු අබ්බාස්.

මුස්ලිම් වරුන්ට එරෙහිව පහසු ජයක් අපේක්‍ෂා කළ නිසා අබු ලැහැබ් සටන ගැන ලොකු උනන්දුවක් දැක්වූයේ නෑ. ඔහු තමාගේ පවුලේ අය සහ මිතුරන් සමඟ එළිමහනේ විශාල භෝජන සංග්‍රහයක් පවත්වමින් සිටියා. ඔවුන් සිටියේ විශාල කූඩාරමක​

හදිසියේම සටනෙන් පළා ආ අයෙක් එතැනට ආවා. මුස්ලිම් හමුදාව අතින් මක්කා හමුදාව සම්පුර්නයෙන්ම පරාජය වුනු බවත්, අබු ජහල් සහ උත්බා ඉබ්න් රබියා සටනින් මියගිය බවත් ඔහු කියා සිටියා. අබු ලැහැබ් මේ පුවතින් කම්පනයට පත් වුනා.

කූඩාරමේ අනිත් කෙළවර අබ්බාස් ගේ බිරිඳ ලුබාබා සහ ඇගේ සේවකයා වුනු අබු රාෆි දඩයම් සඳහා ඊතල මුවහත් තබමින් සිටියා. ඔවුන් දෙදෙනාම මුස්ලිම් වරු. සටනින් මුස්ලිම් වරු ජයගත් බව දැනගත් ඔවුන් ඉමහත් ප්‍රීතියට පත් වුනා.

"මුහම්මද් ගේ හමුදාව දිනුවේ දේව දූතයන් ගේ පිහිටෙන්" අබු රාෆි කිව්වා.

ඒක ඇහුනු අබු ලැහැබ් කෝපයෙන් වියරු වැටුනා. ඔහු අබු රාෆිට පහර දුන්නා. අබු රාෆි බිම වැටුනු විට ඔහු අතේ තිබුනු පොල්ලකින් අබු රාෆිට දිගටම පහර දුන්නා.

ලුබාබා තරමක් තරබාරු ශක්තිමත් කාන්තාවක්.

"අබ්බාස් නැති නිසා අපේ සේවකයට ගහන්න පුළුවන් කියලද හිතුවේ?"

එහෙම කෑගහපු ලුබාබා කූඩාරමේ කණුවක් ගලවාගෙන අබු ලැහැබ් ගේ හිසට වැරෙන් පහරක් එල්ල කළා. පහරෙන් හිසේ පැත්තක දරුණු කැපුම් තුවාලයක් සහිතව අබු ලැහැබ් බිම ඇද වැටුනා.

පහුවදා අබු ලැහැබ් ගේ තුවාලය පැසවා දරුණු අතට හැරුනා. ටික දිනකින්ම ඔහුගේ මුළු සිරුරම එකම වණයක් බවට පත් වුනා. ඔහුගේ තුවාල වලින් හැමූ දුගඳ කොතරම් ප්‍රභල වුනාද කිව්වොත්, ඔහුගේ බිරිඳ සහ පුතුන්වත් ඔහු ළඟට ආවේ නෑ. සතියකින් පමණ අබු ලැහැබ් මිය ගියා. මිය ගිය පසුවත් ඔවුන් ඔහුගෙ සිරුර වළ දමන්නවත් ඉදිරිපත් වුනේ නෑ. මළ සිරුරේ ගඳ ඉවසන්න බැරි වුනු අසල්වැසියන් චෝදනා කළ පසු ඔවුන් වලක් හාරලා සේවකයෙක් ගැට ගැසූ ලණුවකින් මළ සිරුර වල ලඟට ඇදගෙන ආවා. ඉන්පසුව ඈත ඉඳන් වතුර ගහලා මළ සිරුර හෝදලා දිග රිටකින් එය වල තුලට තල්ලු කලා. ඉන්පසු ගල් දමා වල වහල දැම්මා.


සටනින් පසු - මක්කාව​


සටනින් මක්කාවේ විශාල වෙනසක් ඇති වුනා. සටනින් ප්‍රධානින් විශාල පිරිසක් මිය යාම නිසා බොහෝ වංශයන් ගේ බලය පිරිහී ගියා. කුඩා මුස්ලිම් හමුදාව අතින් දරුණු පරාජයක් ලැබීම නිසා මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට එල්ල වුනේ දැඩි කැළලක්.

මෙතෙක් මක්කාවේ ප්‍රභලම වංශය වුනු බැනු මක්සුම් වංශයේ බලය අබු ජහල් ගේ මරණයත් එක්කම සම්පූර්නයෙන්ම වග් නැතිවී ගියා. ඒ එක්කම අබු ලැහැබ් ගේ මරණයත් එක්කම බැනු හෂීම් වංශයේ බලයත් නැතිවී ගියා. බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ අබ්බාස්. ඔහු මුහම්මද්ට හිතවතෙක්. ඒ වගේම ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක්. ඒ නිසා බැනු හෂීම් වංශය තුල නැවතත් මුහම්මද්ට හොඳ තැනක් ලැබුනා. උමයියා ඉබ්න් කලාෆ් ගේ මරණයත් එක්කම බැනු ජුමාහ් වංශයේ බලයත් පිරිහී ගියා.

සටනින් බැනු උමයියා වංශයේ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා සහ පුතා මිය ගියා. ඒ බැනු උමයියා වංශයේ ප්‍රධානින් ගෙන් විශාල ප්‍රමානයක්. මේ නිසා ඔවුන්ටත් ලැබුනේ දරුණු පහරක්. ඒත් සටනට සහභාගී නොවුනු අබු සුෆියාන් ජීවතුන් අතර සිටි නිසා ඔවුන් ගේ බලය සම්පුර්නයෙන්ම පිරිහුනේ නෑ.

මක්කාවේ ප්‍රධානින් අතර ඉතුරු වුනේ අබු සුෆියාන් පමණයි. මේ නිසා ඔහුට බැනු උමයියා වංශයේ වගේම මක්කාවේ ප්‍රධානියා වෙන්න වරම් ලැබුනා. අනෙකුත් වංශ වල ප්‍රධානින් විදිහට ඉතුරු වුනේ තරුණ පිරිසක්. මේ නිසා අබු සුෆියාන් මක්කාවේ අසහාය නායකයා බවට පත් වුනා. මෙතෙක් නායකත්ව මණ්ඩලයකින් මක්කාව පාලනය වුනත්, මෙතැන් සිට මක්කාව පාලනය වුනේ අබු සුෆියාන් ගේ තනි මතයට​. ඒ එකක්ම බැනු උමයියා වංශය මක්කාවේ ඉතාම ප්‍රභල තැනක් ලබා ගත්තා.

සටනින් මිය ගිය උත්බා ඉබ්න් රබියා ගේ දියණිය වුනේ හින්.ද් බින්ට් උත්බා. ඇය අබු සුෆියාන් ගේ බිරිඳ​. සටනින් ඇගේ පියා වුනු උත්බා, ඇගේ සොහොයුරා වුනු වලීද් සහ පියාගේ සොහොයුරා වුනු ෂයිබා තිදෙනාම මිය ගියා. මේ වන විට ඇගේ අනෙක් සොහොයුරා ඉස්ලාමය වැළඳ ගෙන මක්කාවෙන් පළා ගිහින්. ඒ නිසා ඇයගේ මුළු පවුලම ඇයට අහිමි වුනා. ඇගේ පවුලේ අය මරා දැමූ අලී සහ හම්සා ගැන ඇය තුල ඉතා දරුණු වෛරයක් හට ගත්තා. මුහම්මද්, අලී සහ හම්සා කෙදිනක හෝ මරා දමන බවට ඇය දිවුරා සිටියා.

උමයියා වංශයේ නැගීම සහ හින්.ද් තුළ හටගත් වෛරය පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්‍ෂ්‍යය විදිහට දකින්න පුළුවන්.


සටනින් පසු - මදීනාව​


ඒ වගේම ප්‍රභල මක්කා හමුදාවට දරුණු පරාජයක් අත් කර දෙන්න සමත් වීමෙන් මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. එවැනි විශ්‍ෂ්ඨ ජයක් ලැබුනේ අල්ලාහ් ගේ උදව්වෙන් බව ඔවුන් සිතුවා. ඒ අනුව තමාගේ ගම නිවැරදි මග බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් ඇති වුනා.

ඒ එක්කම රණශූරයෙක් විදිහට තරුණ අලී මුස්ලිම් වරු අතර විශාල ප්‍රසාදයක් දිනා ගත්තා. මුහම්මද් තුමාගේ විශ්වාසවන්තම සගයා සහ කිට්ටුම සහචරයා ලෙස මෙතෙක් ඔහු වෙත තිබුනු ප්‍රතිරූපය මේ සටනින් පසුව වඩාත් තහවුරු වුනා.

අන්සාරි වරු සටනේදි දැක්වූ දක්‍ෂතාවය කැපී පෙනුනා. මේ නිසා අන්සාරි වරුන්ට මුස්ලිම් සමාජයේ තිබුණු තැන ඉහළ ගියා.

ඉස්ලාමීය ඉතිහාසයේ පළමු යුධ ජය විදිහට සැලකෙන්නේ බදර්. බදර් හි සටන් කළ අය මුස්ලිම් වරු අතර විශාල ගෞරවයකට ලක් වුනා. පසු කාලීනවත් බදර් සටනේ සාමාජිකයෙක් වීම මුස්ලිම් සමාජයේ ඉදිරි තැනක් ලබන්න හේතුවක් වුනා.

බදර් සටනින් මිය ගිය මුස්ලිම් වරු 14 දෙනා ඉමහත් ගෞරවයට ලක් වුනා. ඒ අය අතර මුහාජිරුන් වරු 6 දෙනෙක් සහ අන්සාරි වරු 8 දෙනෙක් හිටියා.

සටනින් මියගිය මුස්ලිම් වරුන් ගේ සොහොන්

Saturday, March 7, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 6 (හෙගිරා)


යාත්‍රිබ් නගරයේ ඉතිහාසය​


ක්‍රි.ව​. දෙවැනි සියවසේදී රෝම - යුදෙව් යුද්ධයෙන් යුදෙව්වන් පරාජය වුනු පසු ඊශ්‍රායලයේ සිත යුදෙව්වන් විශාල ප්‍රමානයක් යෙමනය බලා පලා ගියා. මේ යුදෙව්වන් සමහරක් නැවත උතුරට සංක්‍රමනය වෙලා රතු මුහුදු වෙරළබඩ ක්‍ෂේම භූමි ආශ්‍රිතව කෘෂිකාර්මික ජනාවාස පිහිටුවා ගත්තා. අරාබීන් අතර අවුරුදු සිය ගණනක් වාසය කිරීමෙන් පසු මේ යුදෙව්වන් අරාබි සංස්කෘතියේ අංග අවශෝෂනය කර ගත්තා. ඔවුන් ගේ නම් සැකසුනේ අරාබි ඌරුවට​. ඔවුන් කතා කළේ හීබෲ සහ අරාබි මුසු වුනු බසක්. ඔවුන් අරාබීන් සමඟ ආවහ​-විවාහ සිදු කර ගත්තා. නමුත් ඔවුන් තමාගේ යුදෙව් ආගම අතහැරියේ නෑ.

මේ විදිහට පිහිටුවා ගත් එක ජනාවාසයක් හැඳින්වුනේ යාත්‍රිබ් කියලා. යාත්‍රිබ් පිහිටා තිබුනේ මක්කා නගරයට කිලෝ මීටර් 300 ක් පමණ උතුරින්. එය ගොඩ නංවා තිබුනේ විශාල මඩ වගුරක් මත​. මේ නිසා යාත්‍රිබ් නගරය අවට බිම් කෘෂිකර්මයට සුදුසු වුනත්, නිතර මැසි මදුරුවන් ගෙන් බෝවෙන රෝග යාත්‍රිබ් නගරයේ පැතිර ගියා.


යාත්‍රිබ් නගරයේ මුල්ම පදිංචි කරුවන් වුනේ යෙමනයෙන් ආ යුදෙව් ගෝත්‍ර දෙකක්. ඒ බැනු කුරයිසා සහ බැනු කුවයිනුකා. බැනු කුරයිසා ගෝත්‍රය ප්‍රධාන වශයෙන් ජීවත් වුනේ ගොවිතැනින්. ඔවුන් මදීනාව අවට තෙත් බිම් වල ධාන්‍යය සහ රට ඉඳි වගා කළා. බැනු කුවයිනුකා ගෝත්‍රය ගොවිතැන් කලේ නෑ. ඔවුන් ජීවත් වුනේ ප්‍රධාන වශයෙන් යකඩ වැඩ​, රන් වැඩ සහ කුඩා හස්ත කර්මාන්තයන් ගෙන්. ඔවුන් තමන් නිෂ්පාදනය කළ රන් බඩු සහ ආයුධ යාත්‍රිබ් නගරය අවට වාසය කළ අරාබි ගෝත්‍ර සමඟ වෙළඳාම් කලා.

ක්‍රි.ව​. හතර වෙනි සියවසේදී යෙමනයේ සිට තවත් යුදෙව් ගෝත්‍රයක් වුනු බැනු නදීර් ගෝත්‍රය යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වුනා. කෙටි කලකින්ම ගොවිතැනින් සෑහෙන දියුණුවක් ලබන්න ඔවුන්ට හැකි වුනා. ඊට සුළු කලකට පසුව බැනු අව්ස් සහ බැනු කස්.රජ් නම් අරාබි ගෝත්‍ර දෙකක් යෙමනයේ සිට යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වුනා. ඔවුනුත් ජීවිකාව කළේ ගොවිතැනින්.

 

යාත්‍රිබ් නගරයේ අවුල් - වියවුල්


 මුල් කාලයේ යාත්‍රිබ් නගරයේ ආර්ථික බලය රැඳී තිබුනේ යුදෙව් ගෝත්‍ර තුන අතේ. හොඳම කෘෂිකාර්මික ඉඩම් අයත් වුනේ බැනු කුරයිසා සහ බැනු නදීර් ගෝත්‍රයන්ට​. නගරයේ පොදු වෙළඳපොළ මෙන්ම කර්මාන්ත අයත් වුනේ බැනු කුවයිනුකා ගෝත්‍රයට​. අරාබි ගෝත්‍ර දෙක යුදෙව් ගෝත්‍රයන්ට අයත් වුනු ඉඩම් වල ගොවිතැන් කලා. නමුත් ක්‍රි.ව​. 6 වැනි සියවසේ පමණ පටන් අරාබි ගෝත්‍රයන් ක්‍රමයෙන් යාත්‍රිබ් නගරයේ බලය තහවුරු කර ගත්තා.

හයවන සියව්සේ අග භාගය වෙද්දී යාත්‍රිබ් නගරයේ බලය වෙනුවෙන් අරාබි ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් එකිනෙකා සමග ගැටුනා. මේ ගැටුමේදී බැනු කුරයිසා සහ බැනු නදීර් ගෝත්‍රයන් බැනු අව්ස් ගෝත්‍රයටත්, බැනු කුවයිනුකා ගෝත්‍රය  බැනු කස්.රජ් ගෝත්‍රයටත් සහය දුන්නා. ඒ සමයේ අරාබි සිරිත අනුව බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍ර දෙකම යාත්‍රිබ් නගරය අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර වල සහය පැතුවා. ඒ අනුව දෙපිලම බෙදුවියන් ගෝත්‍රයන් කීපයක සහය ලබා ගන්න සමත් වුනා.

මේ බල අරගලය පිපිරීමක් බවට පත් වුනේ ක්‍රි.ව​. 617 දී බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු ආමර් ඉබ්න් නූමන් විසින් ඉඩම් ආරවුලකදී බැනු කුරයිසා ගෝත්‍රයට අයත් යුදෙව්වන් කීප දෙනෙක් මරා දැමීමෙන්. මේ සිද්ධියත් සමඟම බැනු අව්ස් ගෝත්‍රය බැනු කස්.රජ් ගෝත්‍රයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. මෙහිදී බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි සටනින් ඉවත් ව ස්වාධීනව සිටියා. ගෝත්‍ර දෙකම තමාගේ යුදෙව් මිතුරන් සමඟ එකිනෙකා සමඟ යුධ වැදුනා.

මදීනා නගරයට තරමක් දුරින් පිහිටි බැනු කුරයිසා ගෝත්‍රයට අයත් ගොවිබිමක් වුනු බුආත් හිදී සටන ඇවිලී ගියා. මාස කීපයක් පුරා ඇදී ගිය දරුණු සටනක් වුනු මෙයින් ආමර් ඉබ්න් නූමන් ඇතුළු දෙපිලේම නායකයන් විශාල ප්‍රමානයක් මිය ගියා. අවසානයේදී බැනු අව්ස් ගෝත්‍රය සටනින් ජයග්‍රහනය කළත්, දෙපිලේම ප්‍රධානීන් මිය ගිය නිසා දෙපිලම සිටියේ දුර්වල තත්වයක​.

අවසානයේදී සියළුම ගෝත්‍ර එක්ව සාකච්ඡා කළ අතර​, සියල්ලන්ටම පිළිගත හැකි නායකයෙක් ලෙස සටනේදී ස්වාධීනව උන් අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි පත් කර ගත්තා. ඒත් ස්ථිර සාමයක් ඇති වුනේ නෑ. සටනින් බොහෝ දෙනා මිය ගිය නිසා අරාබි සංස්කෘතියට අනුව පළිගැනීමේ ප්‍රහාර ඇති වුනු අතර​, නැවතත් යුද්ධයක් ඇති වන ලකුණු පහළ වුනා.


මුහම්මද් තුමා හමු වීම​


යාත්‍රිබ් නගරයේ වැසියන්ට මක්කාවේ නව ආගමක් දේශනා කරන මුහම්මද් නම් පුද්ගලයෙක් ගැන ආරංචි වෙන්නේ මේ අවස්ථාවේදී. මුහම්මද් තුමාට මක්කා නගරයේ සාධාරන සහ බුද්ධිමත් පුද්ගලයෙක් වශයෙන් තිබූ ප්‍රතිරූපය ගැන සලකා බැලූ යාත්‍රිබ් වැසියන් ඔහුට යාත්‍රිබ් නගරයට පැමින අපක්‍ෂපාතී විනිසුරුවෙක් ලෙස කටයුතු කරන ලෙස ආරාධනා කරන්න තීරණය කළා. මෙහිදී ඔවුන් බලාපොරොත්තු වුනේ ඔවුන් අතර තිබූ කෙළවරක් නැති ආරවුල් වලට සාධාරන විසඳුමක් ලබා ගැනීම​.

ක්‍රි.ව​. 620 වසරේ මක්කා නගරයේ වාර්‍ෂික වන්දනා ගමන සමයේදී බැනු කස්.රජ් ගෝත්‍රයට අයත් හය දෙනෙක් මුහම්මද් තුමා සොයා පැමිණියා. ඔවුන් රහසිගතව මුහම්මද් තුමා හමුවී ඔහුගේ දිව්‍යමය පණිවුඩය ගැන සාකච්ඡා කළා. සාකච්ඡාව අවසානයේදී ඔවුන් හය දෙනාම ඉස්ලාමය වැළඳ ගත්තා.

ඊළඟ අවුරුද්දේ වාර්‍ෂික වන්දනා ගමන සමයේ මේ හය දෙනාගෙන් පස් දෙනෙක් සහ තවත් යාත්‍රිබ් වැසියන් හත් දෙනෙක් මුහම්මද් තුමා සොයා ආවා.  ඔවුන් හමු වුනේ මක්කා නගරයට නුදුරින් ඇති "අක්බා" නම් කඳු ගැටය මත​. ඔවුන් දෙළොස් දෙනාම මුහම්මද් තුමා ඉදිරියේ අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ් ගේ පණිවුඩකරුවා බවටත්, ඔවුන් මුහම්මද් තුමා විසින් පනවන ලද සදාචාර නීති පිළිපදින බවටත් ප්‍රතිඥාවක් දුන්නා. එය හැඳින්වෙන්නේ "අල්-අක්බා හි පළමු ප්‍රතිඥාව" වශයෙන්.

ඔවුන් ආපසු යාත්‍රිබ් වෙත යද්දී මුහම්ම්ද් තුමා තමාගේ සහචරයෙක් වුනු මූසාබ් ඉබ්න් උමායිර් ඔවුන් සමඟ පිටත් කර හැරියා. ඒ යාත්‍රිබ් නගරයේ වැසියන්ට ඉස්ලාමයේ පණිවුඩය ලබා දීමට​. මූසාබ් ඉබ්න් උමායිර් ගේ ඉගැන්වීම් අනුව යාත්‍රිබ් වැසියන් විශාල ප්‍රමානයක් ඉස්ලාමය වැළඳ ගත්තා. යාත්‍රිබ් වැසියන් ඉස්ලාමයේ පණිවුඩය පහසුවෙන් පිළිගැනීමට හේතු දෙකක් තිබුනා.

1. දීර්ඝ කාලයක් පැවති ආරවුල් වලින් දැඩි පීඩාවට පත් ව සිටි නිසා සාම්ප්‍රදායික අරාබි දෙවිවරු සහ අරාබි සංස්කෘතිය පිළිබඳ විශ්වාසය ඔවුන් අතරින් බිඳ වැටී තිබීම​
2. දීර්ඝ කාලයක් යුදෙව්වන් අතර වාසය කිරීම නිසා එක දෙවියෙක් පිළිබඳ සංකල්පය හුරු පුරුදු එකක් වීම​


අල්-අක්බා හි දෙවන ප්‍රතිඥාව


ක්‍රි.ව​. 622 වන්දනා සමයේදී ඉස්ලාමය වැළඳ ගත් යාත්‍රිබ් වැසියන් 73 දෙනෙක් මුහම්ම්ද් තුමා සොයා ආවා. නැවතත් ඔවුන් අක්බා කඳු ගැටය මතදී මුහම්මද් තුමා මුණගැසුනා. එහිදී ඔවුන් මුහම්මද් තුමාට යාත්‍රිබ් නගරයට පැමිණෙන ලෙස ආරාධනා කළා. මුහම්මද් තුමා එම ආරාධනය පිළිගැනීමට නම් ඔවුන් පළමු ප්‍රතිඥාවේ සඳහන් කරුණු වලට අමතර කරුණු පහක් සම්බන්ධයෙන් ප්‍රතිඥා දිය යුතු බව ප්‍රකාශ කර සිටියා.

1. සියළුම අවස්ථා වලදී මුහම්මද් තුමාගේ අවවාදයන්ට අවනත වන බව​
2. ධනය ඇති කාලයන් හිදී මෙන්ම දුප්පත් කාලයන් හිදී ත් ඉස්ලාමයේ උන්නතිය වෙනුවෙන් වියදම් කිරීමට සූදානම් බව​
3. යහපත් දේ වෙනුවෙන් එක් වීමටත්, නපුර ප්‍රතික්‍ෂේප කිරීමටත් සූදානම් බව​
4. අල්ලාහ් වෙනුවෙන් සේවය කිරීමේදී කිසිවකුත් විසින් එල්ල කරන මර්ධනයන්ට බිය නොවන බව​
5. මුහම්මද් තුමාට විපතක් වන අවස්ථාවකදී ඔහුව ආරක්‍ෂා කිරීමට සූදානම් බව

යාත්‍රිබ් වැසියන් මේ කරුණු පහට එකඟ වී ප්‍රතිඥාව ලබා දුන්නා. එය හැඳින්වෙන්නේ "අල්-අක්බා හි දෙවන ප්‍රතිඥාව" වශයෙන්.

මේ අවස්ථාව ඉස්ලාමයේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. පළමු ප්‍රතිඥාවට අඩංගු වුනේ ආගමික මූලධර්ම සහ සදාචාරය සම්බන්ධ කරුණු පමණයි. ඒත් දෙවන ප්‍රතිඥාවට අඩංගු වුනු කරුනු දේශපාලන මුහුණුවරක් ගත්තා. මේ දක්වා හුදෙක් ආගමික මූලධර්මයන්ට සහ සදාචාරයන්ට පමණක් සීමා වුනු ඉස්ලාමයට දේශපාලන මුහුණුවරක් ලැබෙන්නේ මෙතැනදී.

ප්‍රතිඥාවෙන් අනතුරුව මුහම්මද් තුමාගේ ඉල්ලීම පරිදි ඔවුන් ගෝත්‍රයන් දෙකම නියෝජනය වන පරිදි නියෝජිතයන් දොළොස් දෙනෙක් පත් කර ගත්තා. ඒ යාත්‍රිබ් නගරයේ වැසියන් සහ මුහම්මද් තුමා අතර ඉදිරියේ දී සබඳතා පවත්වාගැනීම වෙනුවෙන්. මේ දොළොස්දෙනා සමන්විත වුනේ බැනු කස්.රජ් ගෝත්‍රයෙන් නව දෙනක් සහ බැනු අව්ස් ගෝත්‍රයෙන් තුන් දෙනෙක් වශයෙන්.


මක්කා වැසියන් ගේ ප්‍රතිචාරය​


මක්කා වැසියන්ට මේ හමුවීම ගැන ආරංචි වුනා. ඔවුන් මේ ප්‍රතිඥාව දැක්කේ යාත්‍රිබ් වැසියන් තමාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. ඔවුන් දැඩි කලබලයට පත්ව යාත්‍රිබ් වැසියන් ගේ කූඩාරම් වෙත පැමිණ ඔවුන් මුහම්මද් හමුවූ බවට චෝදනා කළා. නමුත් යාත්‍රිබ් වැසියන් මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කලා. එයින් සෑහීමකට පත්ව ඔවුන් පිටත් ව ගියා.

නමුත් දින කීපයකට පසුව ඔවුන්ට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් හමුවීම සහ ප්‍රතිඥාව පිළිබඳ සියළු විස්තර දැනගන්න ලැබුනා. ඒත් ඒ වන විට යාත්‍රිබ් වැසියන් මක්කාවෙන් පිටත් ව ගිහින්. ඔවුන් වහාම අශ්වාරෝහකයන් පිරිසක් සූදානම් කරගෙන යාත්‍රිබ් වැසියන් පසුපස හඹා ගියා.

නමුත් ඔවුන්ට අල්ලා ගන්න පුළුවන් වුනේ යාත්‍රිබ් වැසියන් දෙදෙනෙක් පමණයි. ඒ සාද් ඉබ්න් උබාදා සහ අල්-මුන්දීර් ඉබ්න් අමරු. අල්-මුන්දීර් පළා යාමට සමත් වුනත් සාද් ඉබ්න් උබාදා ට අත් වුනේ අවාසනාවන්ත ඉරණමක්. මක්කා වැසියන් ඔහු අල්ලා අත්පා බැඳ කෙස්වැටිය අශ්වයකුගේ ගැට ගසා මක්කා නගරය තෙක් ඔහුව බිම දිගේ ඇදගෙන ආවා. මක්කා නගරයේදී ඔහුව මරා දමන අදහසින් ඔවුන් ඔහුට දරුණු ලෙස පහර දුන්නා. අවසානයේදී ඔහු සමඟ වෙළඳ ගනු දෙනු කළ මක්කා වැසියන් දෙදෙනෙක් ඔහුගේ ජිවිතය බේරන ලෙස ඔහුට පහර දුන් අයගෙන් ඉල්ලා සිටි නිසා ඔහුගේ ජීවිතය බේරුනා.

යාත්‍රිබ් හි සැලකිය යුතු පිරිසක් ඉස්ලාමය වැළඳ ගත් පසු සහ ඔවුන් මුහම්මද් තුමා ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥා දුන් පසු මුහම්මද් තුමා මක්කා හි මුස්ලිම් වරුන්ට යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වන ලෙස උපදෙස් දුන්නා. මුස්ලිම් වරු යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වන බව සහ යාත්‍රිබ් වැසියන් ගේ "යුධ ප්‍රකාශය​" ගැන සලකා බැලූ මක්කා නගරයේ ප්‍රධානීන් තීරණය කළේ මුහම්මද් තුමා මරා දැමිය යුතු බවයි. ඒ ක්‍රි.ව​. 622 දී.


සැඟවීම​


මක්කා ප්‍රධානීන් ගේ තීරනය පිළිබඳව මුහම්මද් තුමාට විශ්වාසවන්තයෙක් මගින් ආරංචි වුනා. ඔහු තීරනය කළේ තව දුරටත් මක්කාවේ රැඳී සිටීම අනතුරුදායක බවයි. මේ නිසා ඔහුත් යාත්‍රිබ් නගරයට සංක්‍රමනය වීමට තීරණය කළා.

එදින රාත්‍රියේ මක්කා ප්‍රධානීන් සහ ඔවුන් ගේ සහචරයන් පිරිසක් මුහම්මද් තුමාගේ නිවසට පැමිණියේ ඔහු මරා දැමීමේ අරමුනින්. මේ පිළිබඳව කලින්ම අනුමාන කර තිබූ මුහම්මද් තුමා නිවසෙන් පිටත්ව ගොස් සිටියා. ඒ වෙනුවට ඔහුගේ ඇඳේ නිදා සිටියේ අලී ඉබ්න් අබු තාලිබ්. ඝාතක කණ්ඩායම මුහම්මද් තුමාගේ නිවසට ඇතුළු වුනු විට අලී තම කඩුවද රැගන ඔවුන් ඉදිරිපිට සිට ගත්තා.

"මම අලී, අබු තාලිබ් ගේ පුතා. නුඹලාගෙන් කවුරු හෝ මා සමඟ සටන් කරන්න පුළුවන් කියා හිතනවා නම් ඉදිරියට එන්න​." අලී ඝාතක කණ්ඩායමට අභියෝග කළා.

අලී ගේ කඩු හරඹ හැකියාව ගැන දැන සිටි ඔවුන් පසුබා සිටියත්, අබු ජහල් ගේ සේවකයෙක් ඉදිරියට පැමිණියා. සුළු මොහොතකින් අලී ඉදිරිපිට වැටී තිබුනේ ඔහුගේ මළ සිරුරයි. තමාගේ ඉලක්කය වැරදී ගිය බව සහ අලී සමඟ සටනට යාම නුවණට හුරු නොවන බව දුටු ඝාතකයන් මුහම්මද් තුමාගේ නිවසින් පිටව ගියා.

මුහම්මද් තුමා පළා ගිය බව දැනගත් මක්කා ප්‍රධානීන් ඔහුගේ හිස ගෙනවිත් දෙන කෙනෙකුට ඔටුවන් 100 ක​ ත්‍යාගයක් දෙන බව ප්‍රසිද්ධ කළා. මක්කා වැසියන් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී නගරය පුරාම මුහම්මද් තුමා සොයන්න පටන් ගත්තා. නගරයේ රැඳී සිටීම මරුට අත වැනීමක් බව දැනගත් මුහම්මද් තුමා විශ්වාසවන්ත සගයෙක් වූ අබු බකර් සමඟ රහසින් නගරයෙන් පිට වී මක්කා නගරයට දකුණින් පිහිටි "තව්‍.ර්" නම් කන්දේ ගල්ගුහාවක සැඟවුනා.

තව්.ර් ගුහාව​

මක්කා වැසියන් නගරය පුරා සහ නගරය අවට මුහම්මද් තුමා සෙව්වත් ඔවුන්ට ඔහු සොයා ගන්න පුළුවන් වුනේ නෑ. ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව එක පිරිසක් මුහම්ම්ද් තුමා සැඟවී සිටි ගල්ගුහාව අසලටම ආවත්, ගල්ගුහාව ඇතුළත පරීක්‍ෂා කළේ නෑ. ඒ අල්ලාහ් විසින් ගල් ගුහාවේ කට වැසෙන ලෙස මකුළු දැලක් මවා තිබීම නිසා. ඒ නිසා ඔවුන් ගල්ගුහාව ඇතුලත කිසිවෙක් නැතැයි තීරණය කළා.


පළායාම​


මුහම්මද් තුමා සහ අබු බකර් දින හතරක් ගල් ගුහාවේ සැඟවී සිටියා. ඒ මක්කා වැසියන් නගරය අවට සෝදිසි කිරීම නවතන තුරු.

මේ අතර අලීට ඉතාම දුෂ්කර කාර්‍යයක් පැවරී තිබුනා. මක්කා වැසියන් අතර තමාගේ වටිනා බඩු සහ මුදල් වැනි දේ මුහම්මද් තුමා භාරයේ ආරක්‍ෂාවට තාවකාලිකව තැන්පත් කරන පුරුද්දක් තිබුනා. ඒ ඔහු ඉතා අවංක පුද්ගලයෙක් ලෙස සැලකුණු නිසා. මේ බඩු ඒවායේ අයිතිකරුවන් හට බෙදා දීම අලීට භාර වුනා. මේ වන විට මක්කා නගරයේ රැඳී සිටියේ මුස්ලිම් වරු ඉතා සුළු දෙනෙක් පමණයි. බොහෝ දෙනා යාත්‍රිබ් බලා පිතව ගොස් තිබුනා. මේ නිසා අලී සිටියේ ඉතාමත් අවදානම් තත්වයක​. නමුත් මේ 22 හැවිරිදි තරුණයා ඉතාම නිර්භීත අයෙක්. ඔහු පොදු වෙළඳපොළ වෙත ගොස් මුහම්ම්ද් තුමා භාරයේ තිබූ බඩු තමා ළඟ ඇති බව ප්‍රසිද්ධ කොට ඒවා අයිතිකරුවන් අතරේ බෙදා දුන්නා.

පස්වන දිනයේ රාත්‍රියේදී මුහම්මද් තුමා සහ අබු බකර් යාත්‍රිබ් බලා පිටත්ව ගියා. මක්කා වැසියන් මක්කා සහ යාත්‍රිබ් අතර ඇති ප්‍රදේශය පුරා රැකවල් යොදා තිබුනත්, ඔවුන් ගෙන් ගැලවී යාමට මුහම්මද් තුමාට හැකි වුනා. ඔවුන් කාන්තාරය හරහා දින හතක් ගමන් කිරීමෙන් පසු යාත්‍රිබ් නගරයට කිලෝ මීටර් 6 ක් නුදුරින් ඇති "ක්වාබා" නම් ගමක් වෙත පැමිණියා.


මේ අතර අලීට තවත් දුෂ්කර සහ අවදානම් කාර්‍යයක් පැවරුනා. ඒ මක්කා නගරයේ රැඳී සිටි මුස්ලිම් කාන්තාවන් හතර දෙනෙක් යාත්‍රිබ් කරා රැගෙන ඒම​. මේ කාන්තාවන් අතරට ඔහුගේ මව වූ ෆාතිමා බින්ට් අසාද් සහ මුහම්මද් තුමාගේ දියණිය වූ ෆාතිමා බින්ට් මුහම්මද් අයත් වුනා. ඔහු මේ පිරිසත් සමඟ කාන්තාරය හරහා ගමන් කිරීම ඇරඹුවා. මේ වන විට මුහම්මද් තුමා සොයා ගැනීමට නොහැකිව විතරු වැටී උන් මක්කා වැසියන් අලී සහ පිරිස ලුහුබැඳ ආවා. කාන්තාරය අතර මගදී ඔවුන් අලී සහ පිරිස අල්ලා ගැනීමට සමත් වුනත්, අලී හුදෙකලාවම ඔවුන් සමඟ සටන් කර ඔවුන් පළවා හැරීමට සමත් වුනා. දැඩි ලෙස තුවාල ලබා සිටි අලී දින 14 ක දුෂ්කර ගමනකින් පසු කාන්තාවන් හතර දෙනා නිරුපද්‍රිතව යාත්‍රිබ් කරා ගෙන ආවා.



මුහම්මද් තුමා යාත්‍රිබ් නගරයට ඇතුළු නොවී අලී සහ පිරිස එනතුරු ක්වාබා හි රැඳී සිටියා. ඒ දින 14 ක කාලය තුල ඔහු ක්වාබා හි මස්ජීදයක් (පල්ලියක්) ඉඳි කළා. මේ ඉස්ලාමයේ ඉතිහාසයේ පළමු මස්ජීදයයි. පළමු ජුම්මා (සිකුරාදා) යඥාව පැවැත්වුනේ ක්වාබා මස්ජීදයේ. දින 14 කට පසු අලී සහ පිරිස පැමිණි විට මුහම්මද් තුමා ඔවුනුත් සමඟම යාත්‍රිබ් නගරයට ඇතුළු වුනා.

මක්කා සිට යාත්‍රිබ් බලා ආ මේ ගමන හැඳින්වෙන්නේ "හෙගිරා" නමින්.


මදීනා අන්-නබි


මුහම්මද් තුමා යාත්‍රිබ් නගරයේ පදිංචියට පැමිණි පසු යාත්‍රිබ් හැඳින්වුනේ "දිවැසිවරයා ගේ නගරය​" යන අරුත ඇති "මදීනා අන්-නබි" ලෙසින්. පසුව එය කෙටි කර "මදීනා" නමින් හැඳින්වුනා.

මුහම්මද් තුමා මදීනාවට පැමිණි පසු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍ර වල බොහෝ දෙනා ඉස්ලාමය වැළඳ ගත්තා. ඒ එක්කම එතෙක් ඉතියෝපියාවේ සිටි මුස්ලිම් වරු මදීනාව බලා සංක්‍රමනය වුනා. මේ නිසා මදීනාවේ විශාල මුස්ලිම් සමාජයක් නිර්මානය වුනා.

මේ මුස්ලිම් සමාජය සමන්විත වුනේ කණ්ඩායම් දෙකකින්. මක්කාවේ සහ ඉතියෝපියාවේ සිට මදීනාවට සංක්‍රමනය වුනු මුස්ලිම් වරු හැඳින්වුනේ "මුහජිරුන්" (සංක්‍රමනිකයෝ) නමින්. ඉස්ලාමය වැළඳගත් මදීනා වැසියන් හැඳින්වුනේ "අන්සාරි" (උදව් කළ අය​) නමින්.

මුහජිරුන් වරුන් මදීනාවට පැමිණියේ තමා සතු සියළු ධනය මක්කාවේ අතහැර දමලා. මේ නිසා ඔවුන් ආර්ථිකව සිටියේ ඉතා දුෂ්කර තත්වයක​. ඒ එක්කම මුහජිරුන් සහ අන්සාරි වරු අයත් වුනේ වෙනස් අරාබි ගෝත්‍ර වලට​. මේ නිසා දෙපිරිස අතර සමගිය ඇති කර මුහජිරුන් වරු මදීනා සමාජයට ඉක්මනින් ඇතුළු කර ගැනීම අවශ්‍යය වුනා. මුහම්මද් තුමා ඒ අරමුණෙන් සියළුම මුහජිරුන් වරයෙක්ට අන්සාරි වරු අතරින් සහෝදරයෙක් පත් කළා. එතැන් සිට මුහජිරුන් සොහොයුරා ආර්ථිකව ස්ථාවර වන තුරු ඔවුන් රැක බලා ගැනීම අන්සාරි සොහොයුරාට අයත් වුනා.

මුහම්මද් තුමා පමණක් තම සොහොයුරා තෝරා ගත්තේ මුහජිරුන් වරු අතරින් මයි. ඒ අලී ඉබ්න් අබු තාලිබ්.


මදීනා සම්මුතිය


මදීනා නගරයේ මුහජිරුන්, අන්සාරි මෙන්ම යුදෙව් ගෝත්‍රයන් ද වාසය කළා. මේ විවිධ ජන කොටස් වල සාමකාමී සහජීවනය පවත්වා ගැනීමට නම් සියල්ලන්ම එකඟ වන පොදු සම්මුතියක අවශ්‍යතාවය මුහම්මද් තුමාට වැටහී ගියා. ඒ අනුව ඔහු වගන්ති 47 කින් සමන්විත සම්මුතියක් පිළියෙල කළා. මදීනාවේ සියළුම වැසියන් මේ සම්මුතිය පිළිගැනීමටත්, ඒ අනුව ජීවත් වීමටත් එකඟ වුනා. මේ සම්මුතිය හැඳින්වෙන්නේ "මදීනා සම්මුතිය​" නමින්. මෙය ලෝකයේ මුල්ම දේශපාලන ව්‍යවස්ථාවක් විදිහට සැලකෙනවා.

මදීනා සම්මුතියට අයත් ප්‍රධාන කරුණු වෙන්නේ,

1. මුහජිරුන් සහ අන්සාරි වරු ලෝකයේ අනෙකුත් ජනයාගෙන් වෙනස් එකම සමාජයකට (උම්මා) අයත් වන බව​.

2. මදීනා හි අරාබි ජාතිකයන් ඔවුන් ගේ පවුල් අනුව වංශයන් 9 කට අයත් වන බව සහ ඒ ඒ වංශය තමාගේ වංශය ඇතුලත ආරවුල් වංශය ඇතුලත සාධාරන අයුරින් විසඳාගත යුතු බව​. මෙහිදී මුහජිරුන් වරු එක් වංශයක් ලෙස සලකා ඇති අතර​, අන්සාරි වරු වංශ 8 කට බෙදා දක්වනවා.

3. මුස්ලිම් වරු ආර්ථිකව දුෂ්කරතා වලට මුහුණ පා ඇති අනෙක් මුස්ලිම් වරුන්ට උදව් කළ යුතු බව සහ මුස්ලිම් වරයෙක් තවත් මුස්ලිම් වරයෙක් ව පළිගැනීමේ අදහසින් මරා දැමිය නොයුතු බව​.

4. මුස්ලිම් වරු යුද්ධයකට එලැඹි ඇති අවස්ථාවකදී මුස්ලිම් වරුන් ගෙන් කොටසක් සතුරා සමඟ වෙනම සමාදානයකට එලැඹිය නොයුතු බව​.

5. මුස්ලිම් වරු සමඟ සහයෝගයෙන් කටයුතු කරන යුදෙව්වන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව සහ ඔවුන්ට සමානාත්මතාවයෙන් සැලකිය යුතු බව​. ඔවුන් ගේ සතුරන්ට උදව් නොකළ යුතු බව​.

6. කණ්ඩායම් දෙකක් අතර ආරවුලක් ඇති වූ විට එහි විසඳුම ලබා දීම මුහම්මද් ගේ වගකීමක් බව​.

7. එක්ව යුධ වදින අවස්ථාවකදී යුදෙව්වන් යුද්ධයේ වියදමට දායක විය යුතු බව​.

8. මදීනා හි යුදෙව්වන් ඔවුන් ගේ පවුල් අනුව වංශ 10 කට අයත් වන බව සහ මුස්ලිම් වරුන්ට හිමි සියළුම අයිතිවාසිකම් ඔවුන්තත් හිමිවන බව​.

9. මදීනා වැසියන්ට එරෙහිව යුද්ධයක් ඇති වූ අවස්ථාවක මුස්ලිම් වරු සහ යුදෙව්වන් සහයෝගයෙන් කටයුතු කල යුතු බව සහ සම්මුතිය බිඳ නොහෙලිය යුතු බව​.



මුස්ලිම් වරු මදීනාවට සංක්‍රමනය වීම සහ මදීනාවේ මුස්ලිම් දේශපාලන ඒකකයක් ඇති වීම ඉස්ලාමීය ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිද්ධිය විදිහට සලකන්න පුළුවන්. මෙතෙක් හුදෙක් ආගමක් විදිහට පැවතුනු ඉස්ලාමයට දේශපාලන මුහුණුවරක් ලැබෙන්නේ මෙතැන් සිට​. ජන සමාජයක දේශපාලන හැසිරීම කෙසේ විය යුතුද යන්න පළමු වරට ඉස්ලාමයේ අවධානයට ලක් වෙන්නේ මදීනාවේදී.

ඒ වගේම මක්කාවේදී ආගමික කණ්ඩායමක් වුනු මුස්ලිම් වරු මදීනාවේදී ඊට අමතරව දේශපාලන ඒකකයක් බවට පත් වෙනවා. මෙතැන් සිට මුස්ලිම් වරු කටයුතු කරන්නේ අරාබි ගෝත්‍රයක් විදිහට​. වෙනත් අරාබි ගෝත්‍ර පවුල් සබඳතා අනුව සංවිධානය වුනත්, මුස්ලිම් වරු සංවිධානය වෙන්නේ ආගමික විශ්වාසය මත​.

මේ වෙනස කොයිතරම් වැදගත් එකක් ද කියන එක ඔප්පු වෙන්නේ පසු කාලීනව මුස්ලිම් වරු ඔවුන් ගේ දින දර්ශනය නිර්මානය කිරීමේදී ආරම්භක වර්‍ෂය ලෙස යොදා ගන්නේ හෙගිරාව සිදු වුන වසර නිසා. එමගින් ඔවුන් මුහම්මද් තුමාට දිව්‍යමය පණිවුඩය ලැබීමටත් වඩා වැදගත් කමක් හෙගිරාවට ලබා දී තියෙනවා.