Friday, December 2, 2016

මිත්සුබිෂී - 1


මිත්සුබිෂී ආයතනයේ කතාව වැදගත් වෙන්නෙ, ඒක ජපානයේ කාර්මීකරනය පිළිබඳ කතාවට ඉතා සමගාමීව යන නිසා. මිත්සුබිෂී කතාව කියන්නෙ ජපානයේ කතාවමයි කියල කියන්න පුළුවන්.

ඇරඹුම​

1835 ජනවාරි 9 වෙනිදා ජපානයේ බටහිර කෙලවරට වෙන්න තියෙන "තෝසා" ප්‍රාන්තයේ අකි නගරයේ ඉපදුනා යතාරෝ ඉවසාකි කියල කෙනෙක්.
ඉවසාකි ගෙ මහ ගෙදර​

ඔහුගේ පවුල සමුරායි පවුලක් වුනත්, ඔහු ඉපදෙන විට ආර්ථික දුෂ්කරතා නිසා ඔවුන් ගේ සමුරායි තත්වය නැති වෙලා තිබුනෙ.

වයස 19 දී ඔහු තෝකියෝ නගරයට යනවා අධ්‍යාපනය සඳහා. ඒ 1854 දි. ඒ කාලය වෙද්දි ජපානය නවීකරනය කිරීම පිළිබඳ ලොකු කතිකාවක් තෝකියෝ වැනි ප්‍රධාන නගර වල ඇති වෙමින් තිබූ කාලයක්. ඉවසාකි තරුණයාත් මේ නවීකරනය සහ වෙළඳාම පිළිබඳ නව සංකල්ප ගැන උනන්දුවක් දක්වනවා.

ඉවසාකි නැවත ඔහුගේ ගම් පළාතට එනවා. ඒ කාලයේ ඒ ප්‍රාන්තයේ බලවතුන් වෙලා හිටියෙ "තෝසා" සමුරායි වංශය​. ඔහු තෝසා සමුරායි වරුන් ගේ හිත් දිනාගෙන ඔවුන් ගේ වෙළඳ ව්‍යාපාර වල කළමණාකරුවෙක් වශයෙන් පත් වෙනවා. තෝසා ප්‍රාන්තය අවට තියෙන විශාලම නගරය වුන ඕසකා නගරයේ තෝසා සමුරායි වරුන් ගේ වෙළඳාම සම්පූර්නයෙන්ම පාලනය කරන්නෙ ඉවසාකි.

1870 දි තෝසා සමුරායි වරුන් ගේ "ත්සුකුමෝ ෂෝකායි" ලෙස හැඳින්වුන නැව් සමාගම ඉවසාකි මිලදී ගන්නවා.

ඒ තමයි මිත්සුබිෂී ආයතනයේ ආරම්භය​.
යතාරෝ ඉවසාකි


ත්සුකුමෝ මිත්සුබිෂී වුන හැටි

ත්සුකුමෝ ෂෝකායි නැව් සමාගම මිලදී ගත්තට පස්සෙ ඉවසාකි කීප සැරයක්ම ඒකෙ නම වෙනස් කරනවා. අන්තිමේදී 1873 දි ඔහු "මිත්සුබිෂී" කියන නම තෝරගන්නව​.

මිත්සුබිෂී නම හැදෙන්නෙ "මිත්සු" සහ "බිෂී" කියන නම් දෙක එකතු වෙලා.

"මිත්සු" කියන එකේ තේරුම තුන.

"බිෂී" එහෙම නැත්තන් "හිෂී" කියන්නෙ "water caltrop" කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන ජලජ ශාකයක ගෙඩිය​. මේ ගෙඩිය තාරුකා හැඩයෙන් යුක්තයි. මේ හැඩය නිසා ජපන් සාහිත්‍යයේ හිෂී ගෙඩිය දියමන්ති වලට උපමා කරනවා.

හිෂී ගෙඩි
ඉතින් මිත්සුබිෂී කියන නමේ තේරුම​, හිෂී ගෙඩි තුනක්, එහෙම නැත්තං දියමන්ති තුනක් කියන එක​.

මිත්සුබිෂී ආයතනයේ ලාංඡනයේ තියෙන්නෙත් එකිනෙකට යාවුන දියමන්ති තුනක්.
මිත්සුබිෂී සලකුණේ පරිනාමය

මේ දියමන්ති තුන සකස් කරල තියෙන්නෙ තෝසා සමුරායි වරුන් ගේ සලකුනේ තියෙන ඕක් කොල තුන සකස් කරල තියෙන හැඩයටමයි.
තෝසා සමුරායි වංශයේ සලකුණ​
වර්තමාන මිත්සුබිෂී සලකුණ​

මිත්සුබිෂී ආයතනයේ මුල් කාලය

මිත්සුබිෂී නැව් සමාගම චීනය එක්ක වෙළඳ ගනුදෙනු පටන් ගන්නව​. ඒ ජපන් සමාගමක් විදෙස් රටක් එක්ක ස්ථිර වෙළඳ මාර්ගයක් ඇති කරගත්ත පළමුවන අවස්ථාව​.

මේ කාලය ජපානයේ දේශපාලනික වශයෙන් ඉතාමත් කලබලකාරී කාලයක්. සමුරායි වරු අතේ තිබ්බ දේශපාලනික බලය ජපන් අධිරාජ්‍යයා තමාගෙ අතට ගත්තා. ඒකට එරෙහිව සමුරායි වරු කැරලි ගැහුවා.

ඉවසාකි මේ කලබල දැක්කෙ ව්‍යාපාරික අවස්ථාවක් විදිහට​. ඔහු ජපන් රජය එක්ක ගිවිසුමකට ආවා සොල්දාදුවන් ප්‍රවාහනය කරන්න තමාගෙ නැව් යොදවන්න​. මේ ගනුදෙනුවෙන් මිත්සුබිෂී සමාගම විශාල ලාබයක් ලැබුවා.

මිත්සුබිෂී සමාගම දියුණු වීමත් එක්කම​ ඉවසාකි ට තිබ්බ ලොකුම ප්‍රශ්නය ඒ වෙනකොට ජපානය කාර්මික සහ වෙළඳ අංශ වලින් ඉතා ප්‍රාථමික අවධියක පැවතීම​. ඒ නිසා ඔහුට තමාගේ සමාගමට අවශ්‍යය සහය සේවා (supporting services) ලබා ගන්න ක්‍රමයක් තිබ්බෙ නෑ.

ඉවසාකි ගෙ පිළිතුර වුනේ ඔහුම ඒ සේවාවන් උපදවා ගැනීම​.

ඒ වෙනුවෙන් ඉවසාකි ක්‍රමයෙන් වෙනත් අංශ වලට මිත්සුබිෂී ආයතනය යොමු කරා.

1881 දී ඉවසාකි ගල් අඟුරු පතල් කර්මාන්තයට අත ගහනව​. ඒ ඔහුගේ නැව් වලත අවශ්‍යය ගල් අඟුරු ලබා ගන්න​.

1884 දි ඔහු නාගසකි වරායේ කොටසක් මිලදී ගෙන නැව් අළුත්වැඩියා කරන ව්‍යාපාරයක් පටන් ගන්නවා.

ඒ එක්කම ඔහුගේ නැව් වලින් ගෙනියන බඩු රක්‍ෂනය කරන්න රක්‍ෂන සමාගමක් පටන් ගන්නවා.


නරක කාලය​

මිත්සුබිෂී සමාගම නැව් ව්‍යාපාරයෙන් ලබන ලාබය දැකපු ජපන් රජයත් නැව් සමාගමක් පටන් ගන්න අදහස් කරනවා. ඒ අනුව 1882 දී "කියෝදෝ උන්‍යු කයිෂා" කියල නැව් සමාගමක් රජයේ අනුග්‍රහයෙන් පටන් ගන්නවා.

මේ සමාගම් දෙක අතර දරුණු තරගකාරීත්වයක් ඇති වෙනවා. ඒකෙන් සමාගම් දෙකම බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තත්වයකට පත් වෙනවා.


ඒ අස්සෙ 1885 දී යතාරො ඉවසාකි මිය යනවා. ඒ බඩවැලේ පිළිකාවකින්. ඔහු මිය යනකොට වයස අවුරුදු 50 යි.

2 comments:

  1. මේ වගේ ලිපි හරිම වටිනවා

    ReplyDelete
  2. වටින පෝස්ට් තොගයක් ඔබ අතින් ලියවිලා තිබුනට කමෙන්ට් ලැබිල තියෙන්නේ අඩුවෙන්...
    කමෙන්ට් හරහා එකතුවෙන කරුණු හරහා ලිපි වල වටිනාකම තව තවත් වැඩි වෙනවා...
    බ්ලොග් එක සින්ඩියක එහෙම එල්ලුවේ නැද්ද...

    ReplyDelete