Sunday, March 18, 2018

Big Cats


Big Cats කියල හඳුන්වන්නේ බිළාල කුලයට අයත්, ප්‍රමානයෙන් විශාල සතුන් කීප දෙනෙක් ව​. මේ අර්ථ දැක්වීමට අහුවෙන සතුන් කවුද කියන එක විවිධ අවස්ථා වලදී වෙනස් වෙනවා. නමුත් බොහෝ විට මේ අර්ථ දැක්වීමට අහුවෙන්නෙ මේ සත්තු හත් දෙනා.

1. සිංහයා
2. ව්‍යාඝ්‍රයා
3. කොටියා
4. ජගුවර්
5. හිම කොටියා
6. චීටා
7. කූගර්

බිළාල කුලයේ සත්තු තමයි වර්තමාන ලෝකයේ ජීවත් වෙන විලෝපිකයන් ගෙන් ඉහළම ස්ථානයේ ඉන්නේ. දඩයම සඳහා වඩාත්ම විශේෂකරණය වෙලා පරිනාමය වෙලා තියෙන්නෙ බිළාල කුලයේ සත්තු. ඒ අතරිනුත් ඉහළින්ම ඉන්නෙ මේ Big Cats කියල හඳුන්වන සත්තු කුලකය​. මේ සත්තු වර්තමාන ලෝකයේ විලෝපික පරිනාමයේ අග්‍ර ඵලය කියල කිව්වොත් නිවැරදියි.

මේ සත්තු හැම එකාම වගේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දීලා ඉන්නෙ.

පවුල් ගහ​


සියළුම බළල්ලු අයත් වෙන්නෙ බළල් පවුලට​. විද්‍යාත්මක වර්ගීකරණයේදී මේක Family - Felidae ලෙස හැඳින්වෙනවා.

බළල් පවුල ඇතුලේ "ලොකු බළල්ලු" ස්ථානගත වෙන්නෙ මේ වගේ


1. සිංහයා


නම : සිංහයා
ඉංග්‍රීසි නම : Lion
විද්‍යාත්මක නම : Panthera leo 



බර : පිරිමි 150 - 250 kg; ගැහැණු 120 - 180 kg
දිග (වලිගය සමඟ​) : පිරිමි 2.6 - 4 m; ගැහැණු 2.1 - 2.75 m

ශරීර පැහැය : කහ​-දුඹුරු

ශරීර ලක්‍ෂන :
පිරිමි සතුන්ට කේසර පිහිටලා තියෙනවා. ශරීර ප්‍රමානය අතින් දෙවැනි විශාලම බළලා. ඉතාමත් ශක්තිමත් ශරීරයක් තියෙනවා. ශරීරය නිර්මානය වෙලා තියෙන්නෙ බලය සහ ශක්තිය වෙනුවෙන්.

වාස භූමි : අප්‍රිකාව සහ උතුරු ඉන්දියාව​



වනගත ගහණය : 32,000 පමණ​

Conservation Status :





ගොදුරු:
අප්‍රිකාවේදී - ග්නූ (විල්ඩබීස්ට්), සෙබ්‍රා, කුළු හරකා, ඇන්ටිලෝප්, ජිරාෆ්
ඉන්දියාවේදී - මුව වර්ග​, ගෝනා, ඇන්ටිලෝප්, වල් ඌරා

දඩයම් ක්‍රමය :
සාමූහික දඩයම් කරුවෙක්. සිංහ රංචුව ගොදුරට රහසින් ළං වෙලා කෙටි සහ වේගවත් අවසන් ප්‍රහාරයක් එල්ල කරනවා. සිංහයාට වැඩි වෙලාවක් වෙහෙස වෙන්න අපහසු නිසා දඩයම කෙටි කාලයකින් නිමා විය යුතුයි. ගොදුර මරා දාන්නේ බෙල්ල හෝ හොම්බ විකීම මගින් හුස්ම හිර කිරීමෙන්.


සමාජ සංවිධානය :
සිංහයන් ජීවත් වෙන්නේ 15-30 අතර සාමාජික සංඛ්‍යාවකින් යුත් රංචු විදිහට​. රංචුවක පිරිමි සත්තු 1-4 අතර ගණනක් ඉන්න පුළුවන්. රංචුවේ ඉතිරිය සමන්විත වෙන්නෙ ගැහැණු සත්තු සහ පැටවුන් ගෙන්. මීට අමතරව පිරිමි සත්තු 1-4 අතර ගණනකින් සමන්විත කුඩා රංචුත් දකින්න පුළුවන්. මේ කුඩා පිරිමි රංචු වල සාමාජිකයන් හැඳින්වෙන්නෙ "සංචාරකයන්" (nomads) විදිහට​. මොවුන් පසුව රංචුවකට එක් වෙනවා.


උප විශේෂ

 වර්තමානයේ සිංහයන් උපවිශේෂ දෙකක් හඳුනා ගැනෙනවා.

1. උතුරු දිග සිංහයා (Northern Lion) - Panthera leo leo
2. දකුණු දිග සිංහයා (Southern Lion) - Panthera leo melanochaita


උතුරු දිග සිංහයා - Panthera leo leo

උතුරු දිග සිංහයා ගහණ 4 කින් සමන්විතයි.

1. උතුරු අප්‍රිකාණු සිංහයා (North African Lion, Barbary Lion, Atlas Lion)
2. ආසියාතික සිංහයා (Asiatic Lion, Indian Lion)
3. බටහිර අප්‍රිකාණු සිංහයා (West African Lion, Senegal Lion)
4. මධ්‍යම අප්‍රිකාණු සිංහයා (Central African Lion, Congo Lion)


දකුණු දිග සිංහයා - Panthera leo melanochaita

දකුණු දිග සිංහයා ගහණ 3 කින් සමන්විතයි
  
1. කේප් සිංහයා (Cape Lion)
2. නැගෙනහිර අප්‍රිකාණු සිංහයා (East African Lion, Masai Lion, Somali Lion, Uganda Lion, Abyssinian Lion)
3. දකුණු අප්‍රිකාණු සිංහයා (Southern African Lion, Transvaal Lion, Kruger Lion, Katanga Lion, Kalahari Lion)



මේ සිංහ ගහණයන් අතරින් උතුරු අප්‍රිකාණු සිංහයා සහ කේප් සිංහයා අද වනගතව හමුවෙන්නේ නෑ. උතුරු අප්‍රිකාණු සිංහයා 1942 දීත්, කේප් සිංහයා 1860 දීත් වනගතව වඳවී ගිහින් තියෙනවා.

කේප් සිංහයා (වමේ) සහ උතුරු අප්‍රිකාණු සිංහයා (දකුණේ)
අවාසනාවන්ත කරුණ තමයි සියළුම සිංහ ගහණ වලින් විශාලම සහ තේජාන්විතම සිංහයන් ඉඳල තියෙන්නෙ උතුරු අප්‍රිකාණු සහ කේප් ගහණයන්ගේ වීම​.

දැනට වනගතව වෙසෙන සිංහයන් ගෙන් විශාලම සිංහයන් ඉන්නෙ දකුණු අප්‍රිකාණු ගහණයේ. කුඩාම සිංහයන් ඉන්නෙ බටහිර අප්‍රිකාණු සහ ආසියාතික ගහණ වල​.


දකුණු අප්‍රිකාණු සිංහයෙක්

2. ව්‍යාඝ්‍රයා


නම : ව්‍යාඝ්‍රයා
ඉංග්‍රීසි නම : Tiger
විද්‍යාත්මක නම : Panthera tigis



බර : පිරිමි 90 - 300 kg; ගැහැණු 65 - 165 kg
දිග (වලිගය සමඟ​) : පිරිමි 2.5 - 4 m; ගැහැණු 2.0 - 2.75 m

ශරීර පැහැය : තැඹිලි පාට ඇඟේ කළු පාට වයිරං තියෙනවා.

ශරීර ලක්‍ෂන :
ශරීර ප්‍රමානය අතින් විශාලම බළලා. ඉතාමත් ශක්තිමත් ශරීරයක් තියෙනවා. ශරීරය නිර්මානය වෙලා තියෙන්නෙ බලය සහ ශක්තිය වෙනුවෙන්.

වාස භූමි : ආසියාව​


 වනගත ගහණය : 4,000 පමණ​

 Conservation Status :





ගොදුරු:
ගෝනා, මුව වර්ග, වල් ඌරා, ගවරා, ඇන්ටිලෝප්, මී හරකා, වලහා, ටේපිර්, ඔරංඋටං

දඩයම් ක්‍රමය :
හුදෙකලා දඩයම් කරුවෙක්. ගොදුරට රහසින් ළං වෙලා කෙටි සහ වේගවත් අවසන් ප්‍රහාරයක් එල්ල කරනවා. ව්‍යාඝ්‍රායාට වැඩි වෙලාවක් වෙහෙස වෙන්න අපහසු නිසා දඩයම කෙටි කාලයකින් නිමා විය යුතුයි. ගොදුර මරා දාන්නේ බෙල්ල හෝ හොම්බ විකීම මගින් හුස්ම හිර කිරීමෙන්.


සමාජ සංවිධානය :
වැඩිහිටි ව්‍යාඝ්‍රයන් ජීවත් වෙන්නේ තනියම​. එක ව්‍යාඝ්‍රයෙක් තමාගේ කියල සලකන වසමක් තුල වාසය කරනවා. ගැහැණු සතෙක් ගෙ වසම වර්ග කිලෝමීටර් 20 පමණ වෙන අතර පිරිමි සතෙක් ගෙ වසම වර්ග කිලෝමීටර් 60-100 පමණ වෙනවා. රැළේ වැටෙන කාලයට පමණක් පිරිමි සතෙක් ගැහැණු සතෙක් එක්ක එකට වාසය කරනව​. පැටව් ඉන්නෙ මවත් එක්ක​.


උප විශේෂ

වර්තමානයේ ව්‍යාඝ්‍රයන් උපවිශේෂ දෙකක් හඳුනා ගැනෙනවා.

1. උතුරු දිග ව්‍යාඝ්‍රයා (Northern Tiger) - Panthera tigris tigris
2. දකුණු දිග ව්‍යාඝ්‍රයා (Southern Tiger) - Panthera tigris
sondaica

උතුරු දිග ව්‍යාඝ්‍රයා - Panthera tigris tigris

උතුරු දිග ව්‍යාඝ්‍රයා ගහණ 6 කින් සමන්විතයි.

1. බෙංගාලි ව්‍යාඝ්‍රයා (Bengali Tiger)
2. කැස්පියන් ව්‍යාඝ්‍රයා (Caspian Tiger)
3. සයිබීරියන් ව්‍යාඝ්‍රයා (Siberian Tiger)
4. ඉන්දු චීන ව්‍යාඝ්‍රයා (Indochina Tiger)
5. මලයානු ව්‍යාඝ්‍රයා (Malayan Tiger)
6. දකුණු චීන ව්‍යාඝ්‍රයා (Southern China Tiger)


දකුණු දිග ව්‍යාඝ්‍රයා - Panthera tigris sondaica

දකුණු දිග ව්‍යාඝ්‍රයා ගහණ 3 කින් සමන්විතයි
  
1. ජාවා ව්‍යාඝ්‍රයා (Java Tiger)
2. බාලි ව්‍යාඝ්‍රයා (Bali Tiger)
3. සුමත්‍රා ව්‍යාඝ්‍රයා (Sumatra Tiger)



මේ අතරින් කැස්පියන් ව්‍යාඝ්‍රයා, බාලි ව්‍යාඝ්‍රයා සහ සුමත්‍රා ව්‍යාඝ්‍රයා යන ගහණ තුනම වඳවෙලා ඉවරයි.

වනගත ව්‍යාඝ්‍රයන් ගෙන් විශාලම ව්‍යාඝ්‍රයන් විදිහට සැලකෙන්නෙ සයිබීරියානු ව්‍යාඝ්‍රයා සහ බෙංගාලි ව්‍යාඝ්‍රයා. කැස්පියන් ව්‍යාඝ්‍රයාත් ඊට සමාන විශාලත්වයකින් යුක්තව ඉඳල තියෙනවා. දකුණු දිග ව්‍යාඝ්‍රයන් ගහණ තුනම ප්‍රමානයෙන් කුඩායි. ඒ අතරිනුත් බාලි ව්‍යාඝ්‍රයා තමයි කුඩාම.


3. කොටියා


නම : කොටියා
ඉංග්‍රීසි නම : Leopard
විද්‍යාත්මක නම : Panthera pardus


බර : පිරිමි 37 - 90 kg; ගැහැණු 28 - 60 kg
දිග (වලිගය සමඟ​) : පිරිමි 1.5 - 2.9 m; ගැහැණු 1 - 2.1 m

ශරීර පැහැය : කහ-දුඹුරුපාට ඇඟේ කළු පුල්ලි තියෙනවා

ශරීර ලක්‍ෂන :
ශරීරයට සාපේක්‍ෂව කෙටි පාද තියෙනවා. සැහැල්ලු, කඩිසර සහ නම්‍යශීලී එනමුත් ඉතාම ශක්තිමත් සිරුරක් තියෙනවා. ශරීරය නිර්මානය වෙලා තියෙන්නෙ සැඟවී සිටීම වෙනුවෙන්.


වාස භූමි : අප්‍රිකාව සහ ආසියාව​




වනගත ගහණය : නිවැරදි දත්ත නැත​.

 Conservation Status:




ගොදුරු :
ඇන්ටිලෝප්, වල් ඌරා, මුව වර්ග​, ගෝනා, වඳුරු වර්ග සහ තවත් කුඩා සත්තු

දඩයම් ක්‍රමය​:
හුදෙකලා දඩයම් කරුවෙක්. ගොදුරට රහසින් ළං වෙලා කෙටි සහ වේගවත් අවසන් ප්‍රහාරයක් එල්ල කරනවා. ගොදුර මරා දාන්නේ බෙල්ල හෝ හොම්බ විකීම මගින් හුස්ම හිර කිරීමෙන්. ගස් උඩ සිට පහර දීමට විශේෂ ලැදියාවක් දක්වනවා.

සමාජ සංවිධානය​:
වැඩිහිටි කොටි ජීවත් වෙන්නේ තනියම​. එක කොටියෙක් තමාගේ කියල සලකන වසමක් තුල වාසය කරනවා. රැළේ වැටෙන කාලයට පමණක් පිරිමි සතෙක් ගැහැණු සතෙක් එක්ක එකට වාසය කරනව​. පැටව් ඉන්නෙ මවත් එක්ක​. ගැහැණු සතෙක් ගෙ වසම පිරිමි සතෙක් ගෙ වසමට වඩා ප්‍රමානයෙන් කුඩායි. වසමක ප්‍රමානය ජීවත් වෙන පරිසරය එක්ක වෙනස් වෙනවා. නැගෙනහිර අප්‍රිකාවේදී වසමක් වර්ග කිලෝමීටර් 30 පමණ වෙද්දි දකුණු අප්‍රිකාවේ කාන්තාර වලදී එය වර්ග කිලෝමීටර් 400 ක් පමණ විශාල වෙන්න පුළුවන්.



උප විශේෂ​

වර්තමානයේ කොටි උපවිශේෂ නවයක් හඳුනා ගැනෙනවා.

1. අප්‍රිකාණු කොටියා (African Leopard) - Panthera pardus pardus
2. ඉන්දියානු කොටියා (Indian
Leopard) - Panthera pardus fusca
3. ජාවානු කොටියා (Javan Leopard) - Panthera pardus melas
4. අරාබි කොටියා (Arabian Leopard) - Panthera pardus nimr
5. පර්සියානු කොටියා (Persian Leopard) - Panthera pardus tulliana
6. උතුරු චීන කොටියා (North China Leopard) - Panthera pardus japonensis
7. අමුර් කොටියා (Amur Leopard) - Panthera pardus orientalis
8. ඉන්දුචීන කොටියා (Indochina Leopard) - Panthera pardus delacouri
9. ශ්‍රී ලංකා කොටියා (Sri Lankan
Leopard) - Panthera pardus kotiya


ප්‍රමානයෙන් විශාලම කොටි විදිහට සැලකෙන්නෙ ශ්‍රී ලාංකික කොටියා. ඊට හේතුව වෙන්නෙ ශ්‍රී ලංකාවේ සිංහයන් සහ ව්‍යාඝ්‍රයන් නොමැති වීම​. ප්‍රමානයෙන් කුඩාම කොටියා වෙන්නේ අරාබි කොටියා.

කොටියා තමයි ලංකාවේ ජීවත් වන එකම "ලොකු බළලා".

4.ජගුවර්


නම : ජගුවර්
ඉංග්‍රීසි නම : Jaguar
විද්‍යාත්මක නම : Panthera onca


බර : පිරිමි 50 - 120 kg; ගැහැණු 40 - 80 kg
දිග (වලිගය සමඟ​) : පිරිමි 1.6 - 2.6 m; ගැහැණු 1.3 - 1.8 m

ශරීර පැහැය : කහ-දුඹුරුපාට ඇඟේ කළු පුල්ලි තියෙනවා. පුල්ලි කොටියගෙ පුල්ලි වලට වඩා වෙනස්.



ශරීර ලක්‍ෂන :
ශරීරයට සාපේක්‍ෂව කෙටි පාද තියෙනවා. වලිගය ඉතාම කොටයි. ඉතාම ශක්තිමත් සිරුරක් තියෙනවා. බළල් පවුලේ සාමාජිකයන් අතර ශරීරයේ බරට සාපේක්‍ෂව වඩාත්ම බලවත් සපා කෑම තියෙන්නෙ ජගුවරා ගේ.ශරීරය නිර්මානය වෙලා තියෙන්නෙ සැඟවී සිටීම සහ බලය වෙනුවෙන්.


වාස භූමි : දකුණු සහ මධ්‍යම ඇමරිකාව​

 
වනගත ගහණය : 15,000

Conservation Status:




ගොදුරු:
කේමන්, මුව වර්ග​, කැපිබරා, ටේපිර්, පෙකාරි, වඳුරු වර්ග​, මාළු, ස්ලොත්

දඩයම් ක්‍රමය​:
හුදෙකලා දඩයම් කරුවෙක්. සැඟවී සිට පහර දීමේ ක්‍රමය තමයි ජගුවරා වැඩි වශයෙන් අනුගමනය කරන්නෙ. ගොදුර මරා දාන්නේ බෙල්ල හෝ හොම්බ විකීම මගින් හුස්ම හිර කිරීමෙන් හෝ හිස් මුදුන විකීමෙන් මොළයට හානි කිරීමෙන්.

සමාජ සංවිධානය​:  
වැඩිහිටි ජගුවරුන් ජීවත් වෙන්නේ තනියම​. එක ජගුවරෙක් තමාගේ කියල සලකන වසමක් තුල වාසය කරනවා. රැළේ වැටෙන කාලයට පමණක් පිරිමි සතෙක් ගැහැණු සතෙක් එක්ක එකට වාසය කරනව​. පැටව් ඉන්නෙ මවත් එක්ක​. ගැහැණු සතෙක් ගෙ වසම පිරිමි සතෙක් ගෙ වසමට වඩා ප්‍රමානයෙන් කුඩායි. වසමක ප්‍රමානය පිරිමි සතෙක් ගේ වර්ග කිලෝමීටර් 50-80 පමණ වන අතර ගැහැණු සතෙක් ගෙ එය​ වර්ග කිලෝමීටර් 25-40 පමණ වෙනවා.

උප විශේෂ​

වර්තමානයේ ජගුවරුන් උප විශේෂ හඳුනා ගැනෙන්නේ නෑ.

ජගුවරුන් ගහණ අටක් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්.


 1. ඇමසන් ජගුවරා (Amazon Jaguar)
2. පෙරුවියානු ජගුවරා (Peruvian Jaguar)
3. පැන්ටනාල් ජගුවරා (Pantanal Jaguar)
4. බටහිර මෙක්සිකානු ජගුවරා (Western Mexican Jaguar)
5. නැගෙනහිර මෙක්සිකානු ජගුවරා (Eastern Mexican Jaguar)
6. දකුණු මෙක්සිකානු ජගුවරා (Southern Mexican Jaguar)
7. ඇරිසෝනා ජගුවරා (Arizona Jaguar)
8. මධ්‍යම ඇමරිකානු ජගුවරා (Central American Jaguar)


 
 මේ ගහණයන් අතරින් විශාලම ජගුවරුන් ඉන්නේ පැන්ටනාල් ගහණයේ. සාමාන්‍යයෙන් උතුරු දිග ප්‍රදේශ වල ඉන්න ජගුවරුන් ප්‍රමානයෙන් කුඩායි.


5. හිම කොටියා


නම : හිම කොටියා
ඉංග්‍රීසි නම : Snow Leopard
විද්‍යාත්මක නම : Panthera unica


බර : 25 - 75 kg
දිග : 1.8 - 2.3 m

ශරීර පැහැය ​: අළු-කහ සහ සුදු පැහැති සිරුරේ කළු පුල්ලි තියෙනවා.

ශරීර ලක්‍ෂන​:
හිම කොටියා ජීවත් වන ශීතාධික පරිසරයට ගැලපෙන විදිහේ ඝන ලොම් වැස්මක් තියෙනවා.සිරුරට සාපේක්‍ෂව ඉතා දිග සහ මහත වලිගයක් පිහිටලා තියෙනවා. ඒ වගේම ශරීර ප්‍රමානයට සාපේක්‍ෂව සපා කෑමේ බලය ගොඩක් වැඩියි. සිරුර නිර්මානය වෙලා තියෙන්නේ ශීතාධික කඳුකර පරිසරයකට උදිත විදිහට​.

වාස භූමි : මධ්‍යම ආසියානු කඳුකරය​


 වනගත ගහණය : 8,000

Conservation Status :




ගොදුරු:
එළු වර්ග, අශ්වයා, ඔටුවා, බැටළු වර්ග​

දඩයම් ක්‍රමය​:
හුදෙකලා දඩයම් කරුවෙක්. සැඟවී සිට පහරදීමේ ක්‍රමය වැඩිපුරම භාවිතා කරනවා. සමහර විට කෙටි දුරක් හඹා යාමත් කරනවා. ඉහළ තැනක ඉඳල තමයි බොහෝ විට පහර දෙන්නේ. ගොදුර මරා දාන්නේ බෙල්ල විකීම මගින් හුස්ම හිර කිරීමෙන්.

සමාජ සංවිධානය :
වැඩිහිටි හිම කොටි ජීවත් වෙන්නේ තනියම​. එක හිම කොටියෙක් තමාගේ කියල සලකන වසමක් තුල වාසය කරනවා. රැළේ වැටෙන කාලයට පමණක් පිරිමි සතෙක් ගැහැණු සතෙක් එක්ක එකට වාසය කරනව​. පැටව් ඉන්නෙ මවත් එක්ක​. ගැහැණු සතෙක් ගෙ වසම පිරිමි සතෙක් ගෙ වසමට වඩා ප්‍රමානයෙන් කුඩායි. වසමක ප්‍රමානය පිරිමි සතෙක් ගේ වර්ග කිලෝමීටර් 200 පමණ වන අතර ගැහැණු සතෙක් ගෙ එය වර්ග කිලෝමීටර් 120 පමණ වෙනවා.

උප විශේෂ​

වර්තමානයේ හිම කොටි උප විශේෂ තුනක් හඳුනා ගැනෙනවා.

1. මධ්‍යම ආසියානු හිම කොටියා (Central Asian Snow Leopard) - Panthera unica unica
2. හිමාලයානු හිම කොටියා (Himalayan Snow Leopard) - Panthera unica uniciodes
3. මොංගෝලියානු හිම කොටියා (Mongolian Snow Leopard) - Panthera unica irbis



6. චීටා


නම : චීටා
ඉංග්‍රීසි නම : Cheetah
විද්‍යාත්මක නම : Acinonyx jubatus

බර : 20 - 70 kg
දිග : 1.7 - 2.3  m

ශරීර පැහැය : කහ​-දුඹුරු පාට ඇඟේ කළු පුල්ලි තියෙනවා. පුල්ලි කොටියාගේ සහ ජගුවරාගේ පුල්ලි වලට වඩා වෙනස්.


ශරීර ලක්‍ෂන :
සිහින් උස සිරුරක් තියෙනවා. පාද ඉතාම දිගුයි. ඒ වගේම දිග නම්‍යශීලී කොඳු ඇට පෙලක් තියෙනවා. වලිගය ඉතා දිගයි. සිරුර නිර්මානය වෙලා තියෙන්නේ වේගය වෙනුවෙන්.

වාස භූමි : අප්‍රිකාව සහ ඉරානය​


වනගත ගහණය : 6,700

Conservation Status :





ගොදුරු :
ඇන්ටිලෝප් වර්ග​

දඩයම් ක්‍රමය :
හුදෙකලා දඩයම් කරුවෙක්. රහසෙන් ගොදුරට ළඟා වෙලා පසු පස හඹා යාමෙන් පසු ගොදුර මරා දැමීම තමයි චීටා ගේ ප්‍රියතම දඩයම් ක්‍රමය. ගොදුර මරා දාන්නේ බෙල්ල හෝ හොම්බ විකීම මගින් හුස්ම හිර කිරීමෙන්. චීටා වැඩිපුරම දඩයම් කරන්නේ දවල් කාලයේ වීමත් විශේෂයක්.

චීටා තමයි ලෝකයේ වේගයෙන්ම දුවන්න පුළුවන් සතා. චීටා ට පැයට කිලෝමීටර් 112 ක උපරිම වේගයකින් දුවන්න පුළුවන්. නමුත් මේ වේගය පවත්වාගන්න පුළුවන් මීටර් 500 ක දුරක් විතරයි.

සමාජ සංවිධානය​:
ගැහැණු චීටාවන් ජීවත් වෙන්නෙ තනියම​. ඒත් පිරිමි චීටාවන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ගෙන් සමන්විත සමූහ විදිහට ජීවත් වෙනවා. මේ සමූහ වලට අයත් වසම් තියෙනවා. වසමක් වර්ග කිලෝමීටර් 30 - 160 පමණ විශාලත්වයෙන් යුක්තයි. ගෑණු සත්තුන්ට වසම් නෑ.

උප විශේෂ​

වර්තමානයේ චීටා උප විශේෂ හතරක් හඳුනාගැනෙනවා.

1. දකුණු අප්‍රිකාණු චීටා (Southern African Cheetah) - Acinonyx jubatus jubatus
2. ආසියාතික චීටා (Asiatic Cheetah) - Acinonyx jubatus venaticus
3. නැගෙනහිර අප්‍රිකාණු චීටා (North East African Cheetah) - Acinonyx jubatus soemmeringil
4. බටහිර අප්‍රිකාණු චීටා (North West African Cheetah) - Acinonyx jubatus hecki



7. කූගර්


නම : කූගර්
ඉංග්‍රීසි නම : Cougar (Puma, Mountain Lion)
විද්‍යාත්මක නම : Puma concolor


බර : පිරිමි 50 - 100 kg; ගැහැණු 30 - 65 kg
දිග : පිරිමි 2 - 2.75 m; ගැහැණු 1.5 - 2 m

ශරීර පැහැය : තැඹිලි - දුඹුරු පාට සිරුරක් තියෙනවා.

ශරීර ලක්‍ෂන : විශාල වුනත් එතරම් ශක්තිමත්ව නොවැඩුනු සිරුරක් තියෙනවා.

වාස භූමි : උතුරු සහ දකුණු ඇමෙරිකාව​


වනගත ගහණය : නිවැරදි දත්ත නැත​.

Conservation Status :




දඩයම් ක්‍රමය :
හුදෙකලා දඩයම් කරුවෙක්. සැඟවී සිට පහර දීම තමයි කූගර් ගේ ප්‍රියතම දඩයම් ක්‍රමය​.

ගොදුරු:
මුව වර්ග​, එල්ක්, මූස්, බැටළු වර්ග​, අශ්වයා, ඇන්ටිලෝප් වර්ග​

සමාජ සංවිධානය​:
වැඩිහිටි කූගර් ජීවත් වෙන්නේ තනියම​. එක කූගරයෙක් තමාගේ කියල සලකන වසමක් තුල වාසය කරනවා. රැළේ වැටෙන කාලයට පමණක් පිරිමි සතෙක් ගැහැණු සතෙක් එක්ක එකට වාසය කරනව​. පැටව් ඉන්නෙ මවත් එක්ක​. ගැහැණු සතෙක් ගෙ වසම පිරිමි සතෙක් ගෙ වසමට වඩා ප්‍රමානයෙන් කුඩායි. වසමක ප්‍රමානය පිරිමි සතෙක් ගේ වර්ග කිලෝමීටර් 25 - 1000 පමණ වන අතර ගැහැණු සතෙක් ගෙ එය වර්ග කිලෝමීටර් 25 - 500 පමණ වෙනවා.

උප විශේෂ​

වර්තමානයේ කූගර් උප විශේෂ දෙකක් හඳුනා ගැනෙනවා.

1. උතුරු ඇමරිකානු කූගර් (North American Cougar) - Puma concolor cougar
2. දකුණු ඇමරිකානු කූගර් (South American Cougar) - Puma concolor concolor
 
උතුරු ඇමරිකානු කූගර් - Puma concolor cougar

උතුරු ඇමරිකානු කූගර් තනි ගහණයක් විදිහටයි සැලකෙන්නේ. සමහර අවස්ථා වලදී පමණක් ෆ්ලොරිඩා අවට ජීවත් වෙන කූගරුන් "ෆ්ලොරිඩා පැන්තෙරා (Florida Panther)" නමින් හැඳින්වෙනවා. 

දකුණු ඇමරිකානු කූගර් - Puma concolor cougar

දකුණු ඇමරිකානු කූගර් ගහණ පහකින් සමන්විතයි

1. ආර්ජෙන්ටිනා කූගර් (Argentine Cougar)
2. කොස්ටා රිකා කූගර් Costa Rican Couger)
3. නැගෙනහිර දකුණු ඇමරිකානු කූගර් (Eastern South American Cougar)
4. උතුරු දකුණු ඇමරිකානු කූගර් (Northern South American Cougar)
5. දකුණු දකුණු ඇමරිකානු කූගර් (Southern South American Cougar)


මේ ගහණයන් අතරින් විශාලම සතුන් සහිත ගහණය වෙන්නෙ දකුණු දකුණු ඇමරිකානු කූගර්.


පැන්තෙරා (Panther)

පැන්තෙරා විදිහට හැඳින්වෙන්නේ ශරීර වර්නයෙන් තනි කළු පැහැ ගන්න කොටියෙක් හෝ ජගුවරෙක්. පැන්තෙරා වෙනම විශේෂයක් හෝ උප විශේෂයක් වෙන්නෙ නෑ. ඒක සමහර සතුන් තුල හට ගන්න ලක්‍ෂනයක් - සමහර අලින්ට දළ පිහිටීම වගේ.



රජ චීටා (King Cheetah)


සමහර අවස්ථාවල "රජ චීටා" නමින් හැඳින්වෙන වෙනත් චීටා විශේෂයක් ගැන සඳහන් වුනත්, එයත් පැන්තෙරා වගේ වෙනස් වර්ණ රටාවක් පමණයි. රජ චීටාවන් ගේ සිරුරේ පුල්ලි වඩා විශාල වන අතර, පිට ප්‍රදේශයේදී ඒවා එක් වෙලා ඉරි බවට පත්වෙනවා. ඒ වගේම බෙල්ලේ කේසරත් දකින්න පුළුවන්.


2 comments:

  1. මිනිස් මැදිහත් වීම නිසා ඇති කළ 'මහා බිලාළ'යන්ද සිටිනවා. සිංහ පියකුට දාව ව්‍යාඝ්‍ර මවක වදන්නේ ලයිගරයා (Liger) ය. ලයිගරයා ශරීර ප්‍රමාණයෙන් ව්‍යාඝ්‍රයා ද අභිබවා සිටී.

    ReplyDelete