Wednesday, March 14, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 30 (තන්හාවේ ඵලය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

තන්හාවේ ඵලය​


එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක "මනිකු" කියල මනුස්සයෙකුයි ඔහුගේ බිරිඳ "කයිද්දා" යි වාසය කරා. ඔවුන් ඉතාම දුප්පත්. ඔවුන්ට ළමයි දෙන්නෙක් හිටියත්, දුප්පත් කම නිසාම ළමයින්ට හරිහැටි කෑම වේලක් දෙන්නවත් පුළුවන් කමක් තිබුනේ නෑ.

දවසක් මේ දෙන්නා දර කපන්න කැලේ ගියා. මද්දහන් වෙද්දි දර කපලම ඔවුන්ට වෙහෙසයි. ඔවුන් දැක්කා ලොකු රතු පාට මල් පිපුනු "බෙරෙබෙදි" (එරබදු) ගහක්. ඔවුන් ඒ ගහේ හෙවනෙ ඉඳගෙන මහන්සි ඇරියා.

ටික වේලාවක් යද්දි කයිද්දා අඬන්න පටන් ගත්තා.

"ඇයි අපි දර කපන්නෙ? අපිට ගෙදර උයන්න මොකවත් නෑ. අපි කොහොමද මෙහෙම ගෙදර යන්නෙ? අපේ දරුවො බඩගින්නෙ මියැදේවි"

බිරිඳ අඬන දිහා මනිකු අසරණ වෙලා බලාගෙන උන්නා. ටික වෙලාවකින් ඔහුත් අඬන්න පටන් ගත්තා.

ඉර බහිනකං ඔවුන් දෙන්නා එරබදු ගහ යට අඬා වැලපුනා. ආපහු ගෙදර යන්න හිතක් ආවෙ නෑ. ගෙදර ගියොත් ළමයි කෑම ඉල්ලාවි. ඔවුන්ට ළමයින්ට කන්න දෙන්න දෙයක් තිබුනෙ නෑ.

හදිසියේම ඔවුන් දෙන්නා දැක්කා ඔවුන් ඉස්සරහ ඉතාම ලස්සන තරුණියක් ඉන්නවා. ඇගේ පියකරු මුහුණ හඳක් වගේ බැබලුනා. ඇය රතුපාට ඇඳුමක් ඇඳලා වටිනා රන් ආභරණ පැළඳගෙන හිටියා. ඇගේ දිග කළු කෙස් කළඹ රතු පාට වදමල් සහ සුදුපාට පිච්ච වැල් වලින් හැඩ කරලා තිබුනා. මනිකු සහ කයිද්දා අඬන එක නවත්තලා මේ ලස්සන තරුණිය දිහා ගල් ගැහිලා බලාගෙන හිටියා.


තරුණිය හිනාවෙලා කරුණාවන්ත හඬකින් මෙහෙම කිව්වා.

"බය වෙන්න එපා. මම අනතුරක් කරන්නෙ නෑ. මම කියන දේ අහන්න​. මම දන්න්වා ඔයාල ඔයිතරම් අවංකද කියල​. ඒ වගේම කොයිතරම් දුප්පත් ද කියලා. මම ඔයාල අඬනවා අහගෙන හිටියා. මම ආවෙ ඔයාලට උදව්වක් කරන්න​."

තරුණිය ඔවුන් දිහාවට අත දිගු කරා. ඇය මිට මොලවාගෙන හිටපු අත දිගහැරියම දිලිසෙන ෆාවනු (රන්කාසි) කීපයක් ඔවුන් ළඟට වැටුනා.

"මෙන්න ඔයාලට රන්කාසි ටිකක්. මේ කාසි වලින් ඔයාලට පුළුවන් පොඩි බෝට්ටුවක් ගන්න​. ඒ බෝට්ටුවෙන් මුහුදු ගිහින් මාළු අල්ලන්න පුළුවන්. ආයෙ කවදාවත් ඔයාලගෙ ළමයින්ට බඩගින්නේ ඉන්න වෙන එකක් නෑ."

එක පාරටම තරුණියගේ ලස්සන මුහුණ බියකරු වේෂයක් ගත්තා. ඇගේ මිහිරි කටහඬ දරුණු හඬකට හැරුනා.

"හැබැයි, මේ ගැන කවදාවත් කිසිම කෙනෙකුට කියන්න බෑ."

එතකොට තමයි මනිකුට සහ කයිද්දා ට තේරුනේ ඔවුන් ඉස්සරහ ඉන්නෙ හන්ඩි (යක්‍ෂනියක්) කියල​. ඔවුන් භීතියෙන් ගල් ගැහුනා. ඔවුන්ට රන්කාසි ඇහිඳ ගන්නවත් හිතුනේ නෑ.

තරුණිය ආපහු මිහිරි හඬින් හිනා වුනා.

"ඒවා ගන්න​. ඒව ඔයාලගෙ."

එකපාරටම ඇය අතුරුදහන් වුනා.

මනිකු සහ කයිද්දා වෙව්ලන අත් වලින් රන්කාසි ටික ඇහිඳගෙන ගෙදර ආවා. ඔවුන් ගෙදර එද්දි හොඳටම අඳුර වැටිලා. ඔවුන් ලාම්පුවක් පත්තු කරල රන්කාසි පරික්‍ෂා කරල බැලුවා. ඒ වෙද්දිත් ඔවුන් වෙව්ලනවා.

පහුවදා උදේම මනිකු කඩ පිළට ගිහින් රසවත් කෑම වර්ග ගණනාවක් අරගෙන ආවා. ඔවුන් ඒවා උයලා ජීවිතයේ පළවෙනි වතාවට ඉතාම රසවත් කෑම වේලක් බඩ පිරෙන්න කෑවා. ඔවුන් ගේ දරුවන් ප්‍රීතියෙන් කෑම කන හැටි දැකලා ඔවුන් ගේ ඇස් වලට සතුටු කඳුළු පිරුනා.

කෑම කාල අහවර වෙලා මනිකු දූපතේ වඩුවා හමුවෙන්න ගියා. ඔහු වඩුවට කිව්වා තමාට බෝට්ටුවක් හදල දෙන්න කියලා. මනිකු දුප්පත් මිනිහෙක් නිසා වඩුවා මුලදි වැඩේ බාරගන්න කැමති වුනේ නෑ. ඒත් මනිකු ගේ රන්කාසි දැක්කම වඩුවා වැඩේ බාරගන්න කැමති වුනා.

මාස කීපයක් ගත වුනා. මනිකු දැන් හැමදාම මුහුදු යනවා. ඔවුන් මාළු විකුණලා ලැබුනු ආදායමෙන් ජීවත් වුනා. ඉතාම පොහොසත් නොවුනත්, ඔවුන් දුප්පත් වුනෙත් නෑ. හන්ඩි කියපු විදිහටම ඔවුන් කවදාවත් බඩගින්නෙ හිටියෙ නෑ. මනිකු, කයිද්දා සහ දරුවන් දෙන්නා සතුටින් ජීවත් වුනා.

මේ අතර කයිද්දා ට අළුත් යාළුවෙක් ඇති වුනා. ඒ වඩුවා ගේ බිරිඳ​, දොන් දලෙක්කා. දොන් දලෙක්කා හැමදාම කයිද්දා ගෙන් ඔවුන්ට රන් කාසි ලැබුන හැටි ඇහුවා. ඒත් කයිද්දා හැමදාම ඇගේ ප්‍රශ්නය මග ඇරියා.

ඒත් එක දවසක් දොන් දලෙක්කා කයිද්දා ව කොටු කරගෙන දිගටම ප්‍රශ්න කරා. කයිද්දාට මග අරින්න පුළුවන් කමක් තිබුනේ නෑ. ඇය අකැමැත්තෙන් වුනත් ඔවුන් ගේ රහස මිතුරියට කිව්වා.

"ඔයා හරිම මෝඩයි. ඔයාට නිතර නිතර කැලෑවට ගිහින් රන්කාසි ඉල්ල ගන්න තියෙන්නෙ. ඇත්ත​, ඔයා දැන් ඉස්සර තරං දුප්පත් නෑ තමයි. ඒත් තාමත් ඔයා ලොකු පොහොසතෙක් නෙවෙයි නෙ. බලන්නකො ඔයා දිහා! ඔයාට රත්තරං බඩුවක් වත් හරියට නෑ නෙ. ඇරත්, ඔයාට කොච්චර ලස්සන ඇඳුම් අඳින්න පුළුවන් ද​?"

කයිද්දා මිතුරිය කියපු දේ ගැන හිතල බැලුවා. ඇගේ හිත කනස්සල්ලෙන් පිරුනා.

එදා හවස මනිකු ගෙදර ආවම බිරිඳ ගේ කනස්සලු මූණ දැකලා ඔහුගේ හිත දුකෙන් පිරුනා.

"ඔයා අසනීපෙන් ද​?"

කයිද්දා ඇගේ හිතේ තිබුන කනස්සල්ල මනිකුට කිව්වා. මනිකු ඇයට දොස් කිව්වා.

"ඔයා මොකද වඩුවගෙ ගෑණි කියන ඒව හිතට ගන්නෙ? අපිට දැන් තියෙන දේ ගැන ඔයා සතුටු වෙන්න ඕනෙ. මතක නැද්ද අපි ඒ කාලෙ දූපත වටේ කෑම හිඟා කමින් ගිය හැටි?"

කයිද්දා අසතුටෙන් කට උල් කරගත්තා.

දොන් දලෙක්කා ගේ උපදෙස් පිට ඇය හැමදාම මනිකුට කරදර කරා. එක දවසක් මනිකුට ඇගේ ඇඬිල්ල අහලම එපා වුනා.

"හරි හරි. එහෙනං අපි ආයෙත් ඒ ගහ යටට ගිහිල්ල බලමුකො. හැබැයි මේක හොඳ වැඩක් නෙවෙයි."

ඉතින් එක දවසක් හැන්දෑ වේගෙන එද්දි ඔවුන් කැලේ එරබදු ගහ යටට ගියා. ඔවුන් එතැනට යද්දි ඉර බහින්න ඔන්න මෙන්න​. මනිකු සහ කයිද්දා එරබදු ගහ යට ඉඳගෙන විලාප තියමින් ඇඬුවා.

එක පාරටම ඔවුන් ඉස්සරහ පිට ගෑණියෙක් මතු වුනා. හැබැයි ඒ එදා හිටපු ලස්සන තරුණිය  නෙවෙයි. බියකරු පෙනුමකින් යුක්ත යකින්නක්. යකින්නගෙ ඇස් ගොරක මද වගේ රතුයි. ඒවා දොට්ට පනින තරම් ලොකු වෙලා. ඇගේ විශාල කට පුරා උල් දත්. ඒවා තොල් අතරින් එළියට පැනලා. කට දෙපැත්තෙන් සෙම බේරෙනවා. කොණ්ඩය අවුල් වෙලා. අත් දෙකේ උල් නියපොතු. ඒවායේ ලේ පැල්ලම්.

මනිකුයි කයිද්දයි භීතියෙන් මුසපත් වෙලා එකිනෙකා බදාගත්තා. ඔවුන්ට හෙල්ලෙන්නවත් බැරි වුනා.


"ඇයි උඹල ආපහු ආවෙ? මම උඹලට එන්න කිව්වද​?"

බියකරු හඬකින් යකිනිය ගෙරෙව්වා.

කයිද්දා ආපහු හැරිලා පස්ස නොබලාම ගෙදර දිව්වා. මනිකුත් ඇය පස්සේම දිව්වා. ඔවුන් නැවතුනේ ගෙදර මිදුලට ආවට පස්සෙ. දෙන්නම හති දාගෙන​. මුළු ඇඟම දාඩියෙන් පෙඟිලා. බයෙන් සහ මහන්සියෙන් මුළු ඇඟම වෙව්ලනවා.

පහුවදා මුහුදු ගියාම මනිකුගේ බෝට්ටුව කොරල් පරයක හැපිලා සුනු විසුනු වුනා. ඔහු අමාරුවෙන් පණ බේරගත්තත්, ගොඩට එනකොට ඔහු සන්තකයේ තිබ්බෙ ඇඳන් හිටපු වස්තරය විතරයි.

එදා ඉඳල ඔවුන් නැවතත් පරණ පුරුදු දුප්පත් ජීවිතයම ගත කලා෴


- කතාව කිව්වේ හිරුන්දු ගේ දොන් කොක්කො (මාලේ දූපත​)
දොන් කොක්කෝ කියන්නෙ මාලේ රජවාසල ලාම්පු පත්තු කරන නිලධාරියා හැටියට කටයුතු කල කෙනා.

අටුවාව​

1. ෆාවනු

"ෆාවනු" නැත්තං "ෆෝවුනු" කියල දිවෙහි බසින් හැඳින්වුනේ රන්කාසි වර්ගයක්. දිවෙහි රාජ්ජේ පාලකයෝ රන්කාසි නිකුත් කළ බවට සාක්‍ෂි නෑ. අතීතයේ දිවෙහි රාජ්ජේ භාවිතා වුනේ තඹ කාසි නැත්තං මුහුදු බෙල්ලෝ. ෆාවනු කියල හැඳින්වුනේ ලංකාවේ කහවණු කියල හිතන්න පුළුවන්. ලංකාව සමඟ වෙළඳාම් කරද්දි කහවණු දිවෙහි රාජ්ජෙට යන්න ඇති.

2. හන්ඩි

දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන යකිනියන් දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "හන්ඩි" කියලා. හන්ඩි ගෙ සැබෑ ස්වරූපය බිය ජනකයි. කොණ්ඩය කඩා දාපු උල් දත් තියෙන කාන්තාවක් විදිහට තමයි හන්ඩි හඳුන්වන්නෙ. ඒත් සමහර යකිනියන් ලස්සන කාන්තාවන් වගේ වෙස් මාරු කර ගන්නවා. හන්ඩි රතු පාට ඇඳුම් අඳින්නත් හිසේ මල් පළඳින්නත් ප්‍රිය කරන බව කියැවෙනවා. ඒ වගේම තමාගේ දෙපයින් ගිනි මතු කරන්න සහ ඒ ගින්නෙන් ආහර පිසින්න මේ යකිනියන්ට පුළුවන්.


4 comments:

  1. මාල දිවයිනේ යක්කුන්ගේ කතා නැතුව වෙන මොකවත් නැද්ද

    ReplyDelete
  2. මිනිස්සුන්ට වඩා යක්කුනෙ බං ඉදල තියනේනෙ.

    ReplyDelete
  3. දැනටත් යක්කු තමයි මෙහෙ ඉන්නෙ

    ReplyDelete