Wednesday, March 14, 2018

මාලදිවයිනේ අතොළු - 3 (මාලේ නගරය​)


මාලේ නගරය කියන පරිපාලන ඒකකයට අයිති වෙන්නෙ මාලදිවයිනේ අගනුවර වන මාලේ දූපත සහ ඒ අවට තියෙන දූපත් තුනක්. මාලදිවයිනේ සම්පූර්න ජනගහණයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමානයක් ජීවත් වෙන්නෙ මාලේ නගරය ඇතුලෙ.


නිල නාමය : මාලේ නගරය​
කේතය : මාලේ
ප්‍රාන්තය : උතුරු මධ්‍යම
අයත්වන සොබාවික අතොළු : මාලේ උතුරුබුරි
ජනගහණය : 129,381
දූපත් : 4
ප්‍රධාන දූපත : මාලේ

පදිංචිකරුවන් සහිත දූපත් :3
(මාලේ, හුළුමාලේ, විලිංගිලි)

පදිංචි කරුවන් රහිත දූපත් : 1
(හුළුලේ)




මාලේ දූපත​

 

මාලේ දූපත තමයි මාලදිවයිනේ අගනුවර​. අවුරුදු 1000 කට අධික කාලයක් මාලදිවයිනේ අගනුවර වුනේ මාලේ දූපත​. මාලදිවයිනේ ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් වාසය කරන්නේ මාලේ දූපතේ.

මාලේ දූපත වර්ග ප්‍රමානයෙන් වර්ග කිලෝමීටර 2 වගේ කුඩා අගයක් ගත්තත්, එහි ලක්‍ෂයකට අධික ජනගහණයක් වාසය කරනවා. මාලේ දූපත සැලකෙන්නේ ලෝකයේ ඉතාමත් අධික ජනගහණයක් සහිත තැනක් හැටියට​.

මාලේ දූපතට ඒ නම ලැබිල තියෙන්නෙ ඉස්සර කාලේ අසල්වැසි ගිරාවරු දූපතේ පදිංචි වෙලා හිටපු ගිරාවරු ජනවර්ගයට අයත් ධීවරයන් මාළු සුද්ද කිරීම සඳහා පාවිච්චි කරපු නිසා. මාළු සුද්ධ කිරීමෙන් එකතු වෙන මාළු ලේ විශාල ප්‍රමානය තිබුන නිසා "ලේ ගොඩක්" කියන අර්ථයෙන් "මාලේ" කියල නම ලැබිල තියෙනවා.

ක්‍රි.ව​. 1100 දී පමණ ලංකාවෙන් පැමිණි කොයිමාල කුමරා මාලදිවයින එක්සේසත් කරාට පස්සෙ තමාගේ අගනුවර විදිහට මාලේ දූපත තෝරාගෙන තියෙනවා. එදා සිට අද දක්වා අඛන්ඩව මාලදිවයිනේ අගනුවර වුනේ මාලේ දූපත​.


වැදගත් ස්ථාන :

හුකුරු මිස්කි

1656 දී ඉඳි කරපු ඉස්ලාම් පල්ලියක්. පුරාණයේ මාලේ දූපතේ ප්‍රධාන පල්ලිය විදිහට කටයුතු කළේ හුකුරු මිස්කිය​. කොරල් ගලෙන් නිමවල තියෙන මේ ගොඩනැගිල්ල කොරල් ගල් කැටයම් වලින් සහ ලාක්‍ෂ්‍යයා වැඩ වලින් අලංකාර කරල තියෙනවා.


ඉස්ලාමීය මධ්‍යස්ථානය​

වර්තමාන මාලේ නගරයේ ප්‍රධාන ඉස්ලාමීය පල්ලිය විදිහට කටයුතු කරන, 5000 ක පමණ දෙනාට යාඥා කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් විශාල පල්ලියක් සහ ඊට අනුබද්ධ ගොඩනැගිලි වලින් සමන්විත ඉස්ලාමීය මධ්‍යස්ථානය ඉඳි කරල තියෙන්නෙ 1984 දි.


මාළු වෙළඳපොළ 

මාලේ දූපතේ උතුරු වෙරළට යාබදව තමයි මාළු වෙළඳපොළ පිහිටල තියෙන්නෙ. ධීවර බෝට්ටු වලින් ගොඩබාන මාළු කෙලින්ම අරගෙන යන්නෙ පාරෙන් අනික් පස පිහිටි මාළු වෙළඳපොළට​. විවිධ මාළු වර්ග ගණනාවක් මිලදී ගන්න පුළුවන් විශාල වෙළඳපොළක්. මාළු වෙළඳපොළට යාබදව එළවළු සහ පළතුරු විකුණන වෙළඳපොළකුත් තියෙනවා.



මුලීආගේ

1906 දී ඉඳිකරපු මේ අලංකාර ගොඩනැගිල්ල අද භාවිතා වෙන්නෙ ජනාධිපති කාර්‍යාලය විදිහට​.

ජාතික කෞතුකාගාරය 

මාලදිවයිනේ පැරණි රජමාළිගය පිහිටි ගොඩනැගිල්ලේ අද තියෙන්නෙ ජාතික කෞතුකාගාරය​. මාලදිවයිනේ බෞද්ධ පුරාවස්තු රැසක් මෙහි ප්‍රදර්ශනයට තියල තියෙනවා. ඒ වගේම පැරණි රජවරුන්ට අයත් වුනු උපකරණ වගේම පැරණි මාලදිවයිනේ ජනජීවිතයට අයත් උපකරණත් රැසක් දැකගන්න පුළුවන්.



කෘතීම වෙරළ​

මාලේ දූපතේ බටහිර කොනේ පිහිටලා තියෙන මේ කෘතීම වෙරළ වැදගත් වෙන්නෙ ඉඳි කිරීමේ කටයුතු නිසා මාලේ දූපතේ අනෙක් හැම තැනම වෙරළක් නැති වෙලා තියෙන නිසා. මිනිස්සුන් ගේ පරිහරණය සඳහාම මෙතැන වෙරළක් කෘතිමව හදල තියෙනවා.





විලිංගිලි දූපත (විලිමාලේ) 

 


විලිංගිලි දූපත මාලේ ඉඳල කිලෝමීටර් 1.2 ක් බටහිර දෙසින් පිහිටි වර්ග කිලෝමීටර් 0.27 ක විශාලත්වයෙන් යුක්ත කුඩා දූපතක්. කුඩා දූපතක් වුනත් එහි 7,000 ක පමණ පදිංචි කරුවන් ප්‍රමානයක් ඉන්නවා.

අතීතයේ විලිංගිලි දූපත පදිංචි කරුවන් රහිත දූපතක් වශයෙන් පැවතුන අතර පසුව එහි සිපිරි ගෙයක් ඉඳි කරල තියෙනවා. මාලදිවයිනේ ඉඳි කෙරුනු දෙවැනි සංචාරක නිකේතනය ඉඳි කෙරිල තියෙන්නෙ විලිංගිලි දූපතේ.

වර්තමානයේ එහි මිනිස්සු පදිංචි කරලා සාමාන්‍යය පදිංචි කරුවන් සහිත දූපතක් විදිහට පවත්වාගෙන යනවා.

 

හුළුලේ දූපත



 හුළුලේ දූපතේ තමයි මාලදිවයිනේ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පිහිටල තියෙන්නෙ. හුළුලේ දූපත මාලේ දූපතේ ඉඳලා කිලෝමීටරයක් පමණ ඊශාන දිශාවෙන් තමයි පිහිටලා තියෙන්නේ. හුළුලේ දූපත වර්ග කිලෝමීටර් 1.5 ක විශාලත්වයෙන් යුක්තයි. හුළුලේ දූපතේ මිනිසු පදිංචි වෙලා නෑ.

අතීතයේ හුළුලේ දූපතේ මිනිස්සු පදිංචි වෙලා ඉඳල නෑ. 1968 දී ගිරාවරු දූපතේ පසිංචි වෙලා හිටපු ගිරාවරු වාර්ගික ජනයා හුළුලේ දූපතේ නැවත පදිංචි කරල තියෙනවා. ගුවන්තොටුපොළ හැදුවට පස්සෙ ඔවුන්ව නැවතත් මාලේ දූපතට යවල තියෙනවා.

හුළුලේ දූපත අසල පිහිටි හුළුමාලේ දූපතට ගොඩබිම් සේතුවකින් (Land Bridge) සම්බන්ධයි.

 

හුළුමාලේ දූපත​



මුහුද ගොඩ කිරීමෙන් සැදූ කෘතීම දූපතක්. මාලේ වැඩිවන ජනගහණයට නිවාස ඉඳිකිරීම ඉලක්ක කරගෙන හදපු මේ දූපත විවෘත කලේ 2004 දි.

හුළුමාලේ කියන නමේ තේරුම "කුඩා මාලේ" කියන එක​.

හුළුමාලේ දූපත වර්ග කිලෝමීටර 2 කින් සහ 30,000 ක ජනගහණකින් සමන්විතයි.

No comments:

Post a Comment