Friday, March 30, 2018

බටහිර චින්තනය​


චින්තනය


මානව ශිෂ්ඨාචාරයේ සමහර අවස්ථා වලදී මිනිස් සමූහයන් විසින් ගොඩ නංවන පදනම් සංකල්ප ගොනුවක් චින්තනයක් කියල සරළව හඳුන්වන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් ගොඩනැංවෙන්න මේ වගේ මොකක් හරි චින්තනයක් වටා. සංස්කෘතිය ගහක් නං චින්තනය ඒකෙ අරටුව කියල හඳුන්වන්න පුළුවන්. හැබැයි එක චින්තනයක් මත පදනම් වෙලා සංස්කෘතීන් ගණනාවක් බිහි වෙන්න පුළුවන්.

චින්තනයකට උදාහරණයක් වශයෙන් කොන්ෆියුසියානු චින්තනයත්, ඒ වටා ගොඩ නැංවුනු සංස්කෘතියක් වශයෙන් චීන සංස්කෘතියත් දෙන්න පුළුවන්.

චින්තනයක් සමන්විත වෙන්නෙ සංකල්ප කීපයකින්. මේවා ඒ චින්තනයේ මූලික පදනම වෙනවා.

උදාහරණයකට දකුණුදිග අප්‍රිකානු සමාජයන් ගේ තියෙන "උබුන්ටු" සංකල්පය ගන්න පුළුවන්. මේ සංකල්පයෙන් කියැවෙන්නෙ "මම මම වන්නේ අපි අපි වන නිසාය​" කියල​. ඒ කියන්නෙ මම කියන පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන් පවතින්නේ මම ජීවත් වන සමාජය එලෙස පැවතීම නිසා කියල​. ඒ කියන්නෙ මම කියන දෙයට මනුෂ්‍යත්වය ලැබෙන්නෙ මම ජීවත් වන සමාජය නිසා කියල​. මේ සංකල්පය දකුණුදිග අප්‍රිකාණු චින්තනයේ පදනම් සංකල්පයක්. ඒ චින්තනය වටා දකුණුදිග අප්‍රිකාණු සංස්කෘතීන් ගණනාවක් නිර්මානය වෙලා තියෙනවා.


යුදෙව් චින්තනය​


ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ ඊශ්‍රායලයේ ජීවත් වන ජන වර්ගයක් අතර එක්තරා සුවිශේෂී සංකල්පයක් පහල වෙනවා. ඒ ඒක දේව වාදය​. ඒක දේව වාදයේ මූලික කරුණු තුනයි.

1. ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනෙක් පමනි.
2. ඔහුට ස්වරූපයක් නැත​.
3. ඔහු මිනිසාගේ පරිභෝජනය සඳහා විශ්වය මවා ඇත​.


මේක සුවිශේෂී සංකල්පයක් වෙන්නෙ මේ අදහස් ලෝක ඉතිහාසයේ පහල වන එකම තැන මේක වීම නිසා.

ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනෙක් විතරයි කිව්වම ඒකෙන් අදහස් වෙනවා මේ මුළු මහත් විශ්වයටම එක ඔරිජින් එකක්, එක පරම සත්‍යයක් තියෙන බව​. මුළු විශ්වයම නිර්මානය වෙලා තියෙන්නෙ එක තනි ලොජික් එකක් වටා කියල අදහසක් ඒකෙන් එනවා.

ඔහුට ස්වරූපයක් නැත කිව්වම දෙවියන් වහන්සේ වියුක්ත සංකල්පයක් වෙනවා. දැන් ගණ දෙවියො කිව්වම අපිට හිතේ මවාගන්න පුළුවන් රූපයක් තියෙනවා. ඒක ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් වශයෙන් ප්‍රතිනිර්මානය කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ දෙවියන් අපිත් එකක් සාමූහිකව​ ගනුදෙනු කරන්න පුළුවන් සංකල්පයක් වෙනවා. ඒ කියන්නෙ ඔබ දකින ගණ දෙවියන්ම තමයි මම දකින්නෙත්. නමුත් යුදෙව් චින්තනයේ දෙවියන් සිතෙන් මවා ගන්න බෑ. ඔහුට ස්වරූපයක් නෑ. ඔහුව ප්‍රතිමාවකට හෝ චිත්‍රයකට නගන්න බෑ. ඒ දෙවියන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට පුද්ගලිව මනසින් පමණයි.
 
ඔහු මිනිසාගේ පරිභෝජනය සඳහා විශ්වය මවා ඇත කිව්වම මේ මහපොළවේ තියෙන හැම දෙයක් ම කිසිම හිරිකිතයකින් තොරව පාවිච්චි කරන්න මිනිසාට ශුද්ධ වූ අයිතියක් ඇත කියන අදහස එනවා.


ග්‍රීක චින්තනය​


ක්‍රි.පූ. 500 දී පමණ ග්‍රීසියේ, විශේෂයෙන්ම ඇතැන්ස් නගරය කේන්.ද්‍ර කරගෙන චින්තනයක් බිහිවෙනවා. ඒ චින්තනයේ පදනම් සංකල්පය වෙන්නෙ පුද්ගලවාදය​. එහිදී බොහෝ ශිෂ්ඨාචාර වල පැවැතුනු සමාජයට (සාමූහිකත්වයට​) මුල් තැන දීමේ සංකල්පය වෙනුවට පුද්ගලයාට මුල් තැන දීමේ සංකල්පය එනවා. පුද්ගල අයිතිවාසිකම් වගේ දේවල් මනාව අර්ථ කථනය කෙරෙනවා. එහි අග්‍රඵලය විදිහට ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙනවා. එතැනදී පුද්ගලයාට කෙලින්ම රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ අවස්ථාව ලැබෙනවා.


ග්‍රීසිය පසුකලීනව දේශපාලනිකව බිඳ වැටුනත්, ඔවුන් ගේ චින්තනය රෝම ශිෂ්ඨාචාරය හරහා යම් තාක් දුරකට දිගටම ක්‍රියාත්මක වෙනවා. රෝමයේ බිඳවැටීමත් එක්ක ග්‍රීක චින්තනය අවසන් වෙනවා.


කතෝලික චින්තනය​


යුදෙව්වන් ගේ ඒක දේව වාදයෙන් බිඳී යන අතු දෙකක් වෙනම වර්ධනය වෙනවා. යුරෝපීයන් අතරට ඒක දේව වාදය යන්නේ කතෝලික දහම විදිහට​. අරාබීන් අතරට එය යන්නෙ ඉස්ලාම් දහම විදිහට​. මේ දෙතැනදීම යුදෙව්වන් ගේ වියුක්ත දෙවියන් යම් තාක් දූරකට සංයුක්ත කෙරෙනවා (කතෝලික දහමේ යේසු තුමා සහ මරියා තුමිය හරහා / ඉස්ලාමයේ නබි තුමා). ඒ වගේම සාමූහිකත්වයට ලොකු තැනක් ලැබෙනවා (සාමූහික දේව යාඥා).

ග්‍රීක චින්තනයේ බිඳවැටීමත් එක්ක යුරෝපයේ ප්‍රමුඛ චින්තනය වෙන්නෙ කතෝලික චින්තනය​. කතෝලික චින්තනය බටහිර යුරෝපයේ ජර්මැනික් ගෝත්‍ර අතරට යද්දි ඔවුන් අතර තිබූ පේගන් ඇදහීම් ක්‍රම වලින් කතෝලික චින්තනය විශාල ආභාෂයක් ලබනවා. කතෝලික චින්තනය සාමූහිකත්වයට මුල් තැන දෙන චින්තනයක් විදිහට තමයි වර්ධනය වෙන්නෙ. ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය, රෝම සෙනේට් සභාව සහ පුරවැසියන් වෙනුවට රජු, වංශවතුන් සහ ප්‍රවේනි දාසයන් සහිත රාජ්‍ය ක්‍රමයක් බිහි වෙනවා.


පුනරුදය​


මේ ක්‍රමය මැද්දට පාත් වෙන හෙණ ගෙඩිය වෙන්නෙ 1453 දී ඔටෝමාන් තුර්කීන් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟම​. තුර්කීන් විසින් තමාව හිංසනයට ලක් කරනු ඇතැයි බය වෙන කොන්ස්තන්තිනෝපලයේ වාසය කල ග්‍රීක උගතුන් විශාල ප්‍රමානයක් බටහිරට පලා යනවා. බොහෝ දෙනා නතර වෙන්නේ ඉතාලියේ.

මේ උගතුන් පලා යන්නේ නිකම්ම නෙවෙයි. කොන්ස්තන්තිනෝලපයේ එක් රැස් වී තිබුන විශාල දැණුම් සම්භාරයක් සමඟ​. බටහිර යුරෝපයට ඉතාලිය හරහා කඩා වදින මේ දැනුම බටහිර යුරෝපීය සමාජයේ දැවැන්ත විප්ලවයක් සිදු කරනවා.

ඒ එක්කම බටහිර යුරෝපයේදී (ස්පාඤ්ඤය​, පෘතුගාලය සහ ප්‍රංශය​) යුදෙව්වන්ට එරෙහිව සිද්ධ වෙන හිංසාකාරී ක්‍රියා වලින් බේරී පලා යන යුදෙව්වො විශාල ප්‍රමානයක් දකුණු ඉතාලියට සංක්‍රමනය වෙනවා. විශේෂයෙන්ම ෆ්ලොරන්ස් නගරය අවට​.

යුදෙව් සහ ග්‍රීක චින්තනයන් තුල ගැබ් ව තිබුනු සංකල්ප බටහිර යුරෝපීය සමාජයට කාන්දු වෙන්න පටන් ගන්නවා. බටහිර යුරෝපයේ නව චින්තනයක් බිහි වෙනවා.

ඒක තමයි අපි අද බටහිර චින්තනය, එහෙම නැත්තම් බටහිර නූතනත්වය කියල හඳුන්වන චින්තනය.


බටහිර චින්තනය​


බටහිර චින්තනය බිහි වෙන්නෙ යුදෙව් සහ ග්‍රීක චින්තනයන් මත පදනම් වෙලා (ඒ නිසාම මේක ග්‍රීක​-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය කියලත් හඳුන්වනවා). එහිදී බටහිර චින්තනයේ පදනම වෙන්නෙ,

1. ඒක දේව සංකල්පය​
2. වියුක්ත සිතීම​
3. පරිභෝජන වාදය​
4. පුද්ගලවාදය​

බටහිර චින්තනය මත පදනම් වෙලා යුරෝපීය සමාජය පරිණාමය වෙද්දි පරණ කතෝලික චින්තනයේ තිබුන සමහර අංගයන් තව දුරටත් පවතින්න නොහැකි වෙලා යනවා.

කතෝලික චින්තනයේ දී බටහිර සමාජයේ ආගම වුන කතෝලික ආගමේ සාමූහිකත්වය බටහිර චින්තනයට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා 1515 දී පමණ වඩා පුද්ගලකරනය වුන ප්‍රොතෙස්තන්ත ආගම ජර්මනියේදී උපත ලබනවා. කතෝලික ආගමේ සාමූහිකව කරන දේව යාඥාව වෙනුවට දෙවියන් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම කතෝලික පල්ලියේ දේශපාලන​-ආර්ථික බලයටත් පහර වැදෙනවා.

කතෝලික චින්තනයේ තිබ්බ සාමූහික වැඩවසම් ආර්ථික ක්‍රමය තව දුරටත් බටහිර චින්තනය තුල පවතින්න බැරි වෙද්දි ධනවාදය ඉදිරියට එනවා. අධි පරිභෝජන වාදය බටහිර සමාජයේ උත්කර්‍ෂයට නැංවෙනවා.




ප්‍රතිරෝධය​



මේ සමාජ පෙරළිය සම්පූර්න වෙන්නෙ 1850 දී පමණ​. ඒ වෙද්දි ධනවාදය පරිපූර්න සංකල්පයක් විදිහට පරිනාමය වෙලා ඉවරයි.

නමුත් ඒ කාලයේදීම වගේ බටහිර සමාජය තුලින්ම මේකට ප්‍රතිරෝද්ධයක් එල්ල වෙනවා. ඒ විකල්ප සංකල්ප හරහා. මේ විකල්ප සංකල්ප අතරින් ප්‍රධාන වෙන්නෙ කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය​. මේ ප්‍රතිවිරුද්ධ අදහස් අතර මාරාන්තික සටනක් 20 වෙනි සියවසේ ඇති වෙනවා. එයින් ජය ලබලා 21 වෙනි සියවසට ඇතුල් වෙන්නෙ බටහිර චින්තනය​.


සමාජ පරිනාමය​


මේ අදහස් වලට විරුද්ධ නැගෙන තර්කයක් තමයි සමාජ පරිනාමය කොතැනදී සිදුවුනත් ඒක සිද්ධ වෙන්නෙ බටහිර සිදු වුන දිශාව ඔස්සේ තමයි කියල​. වෙනත් වචන වලින් කිව්වොත් බටහිර චින්තනය කියන්නෙ මානව සමාජ පරිනාමයේ අනිවාර්‍යය ප්‍රතිඵලය කියල​.

මේ අදහස ඉතාම වැරදි සහගතයි. සමාජ පරිනාමයන් මානව ශිෂ්ඨාචාරයේ විවිධ තැන් වලදි සිදු වුනේ විවිධ ආකාරයන් වලට​. උදාහරණයකට ක්‍රි.ව​. 750-1250 කාලය තුල අබසිද් කලීෆාතය යටතේ ඇති වුන "ඉස්ලාමයේ ස්වර්ණමය යුගය​" සලකන්න පුළුවන්. මෙහිදී ඉස්ලාමීය චින්තනය යටතේ විද්‍යා, කලා, දර්ශන​, දේශපාලනික​, ආර්ථික යනාදී නොයෙකුත් අංගයන් ගේ දැවැන්ත ප්‍රගතියක් ඇති වුනා. නමුත් එය වර්ධනය වුනේ පුද්ගලවාදයක් ඔස්සේ නෙවෙයි.


මේ අදහස අද අපි අතරෙ මුල් බැහැල තියෙන්නෙ බටහිර චින්තනයේ ව්‍යාප්තවාදී හැසිරීම නිසා. යටත් විජිතවාදය හරහා බටහිර චින්තනය විසින් ලෝකයේ බහුතරයක් රටවල විවිධ චින්තනයන් ඔස්සේ ගොඩ නැගෙමින් තිබූ සමාජ ක්‍රම විනාශ කල නිසා අපිට විකල්ප සමාජ පරිනාම සඳහා උදාහරන හොයන්න ඉතාම අපහසුයි.

නමුත් සාපේක්‍ෂව බටහිර බලපෑමට අඩුවෙන් ලක්වුන ජපානයේ බටහිර චින්තනයේ දකින්නට නොලැබෙන සංකල්ප ඔස්සේ දියුණු වුන සමාජයක් දකින්න පුළුවන්. උදාහරණයකට ජපානයේ ධනවාදය පදනම් වෙලා තියෙන්නෙ බටහිර වගේ අධි පරිභෝජන වාදය මත නෙවෙයි. සමුරායි වරුන් ගේ විනය සහ කැපවීම කියන සංකල්ප ඔස්සේ. ඒ වගේම ජපන් සමාජය දැඩි ලෙස සාමූහිකයි. නමුත් දැවැන්ත ආර්ථික සහ සමාජයීය ප්‍රගතියක් අත් කර ගන්න ඔවුන් සමත්වෙලා තියෙනවා.



1 comment:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/03/blog-post_43.html

    ReplyDelete