Thursday, April 13, 2017

කොන්ස්තන්තීනු හටන


පසුබිම

පරංගි මහ හටනෙන් පස්සෙ 1603 දි අසවේදෝ බලනෙ ඉඳල කොළඹට පසු බසිනවා. නමුත් මේ ජයග්‍රහනයේ වාසිය ගන්න උඩරැටියන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. 1604 දි විමලධර්මසූරිය රජතුමා මිය යනවා.

ඊට පස්සෙ රජ වෙන්නෙ ඔහුගේ සොහොයුරු සෙනරත්. සෙනරත් රජතුමා යුද්ධයේ දක්‍ෂයෙක් නෙවෙයි. ඒ නිසා උඩරට රාජ්‍යයේ ඉරණම ඉතාමත් අවදානම් මට්ටමකට පත් වෙනවා. ඇත්තෙන්ම මේ වෙලාවෙ පෘතුගීසි ආක්‍රමනයකින් උඩරට ගැලෙවෙන්න එකම හේතුව වුනේ පෙරදිග වෙනත් යුද්ධ කීපයක පැටලීම නිසා පෘතුගීසින්ට ලංකාවට යොදවන්න සෙබළු මදි වීම.

හැබැයි සෙබළු නෑ කියල අසවේදෝ නිකං හිටියෙ නෑ. ඔහු දිගින් දිගටම උඩරටට සහ පහතරට කැරලිකාර ගම්මාන වලට එරෙහිව ප්‍රහාර එල්ල කරනවා. මේ ප්‍රහාරයන් ගෙ ඉලක්කය වෙන්නෙ ආර්ථිකය. ගැමියන් ගෙ කුඹුරු සහ ගොවිතැන් විනාශ කිරීම තමයි මේ උපක්‍රමයේ මූලික අරමුණ.

සිමාඕ කොරෙයා යටතේ පෘතුගීසි හමුදාවක් ගාල්ල සහ මාතරටත්, දොම් කොන්ස්ටන්ටීනෝ යටතේ පෘතුගීසි හමුදාවක් ඌවටත්, තවත් පෘතුගීසි හමුදාවක් බිම්තැන්න සහ වෙල්ලස්ස ඔස්සේ මඩකලපුවටත් පහර දෙනවා. මේ අතරේ අසවේදෝ ගේ බලඇණිය හතර කෝරළේ සහ හත් කෝරළේ යකා නටනවා.

උඩරට රාජ්‍යයේ දේශසීමා ගම් වලට පහර දුන්නට පස්සෙ පෘතුගීසින් තමාගෙ අවධානය උඩරට හදවත දිහාට යොමු කරනවා. 1609 දී සහ 1610 දී කපිතන් මේජර් ෆ්‍රැන්සිස්කෝ ඩි මෙනසෙස් යටතේ පෘතුගීසින් උඩරටට පහර දෙනවා. මේ ප්‍රහාරයන් ගෙ සාර්ථකත්වයෙන් නිර්භීත වෙන අසවේදෝ 1611 දී තමාම සේනාංකයක් මෙහයවමින් නැවත ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වර ඔහු මහනුවර දක්වාම එන්න සමත් වෙනවා. නමුත් මහනුවර දීර්ඝ කාලයක් රැඳී ඉන්න තරම් පෘතුගීසි හමුදාව බලවත් නෑ. ඒ නිසා නගරය කොල්ලකාල ගිනිබත් කිරීමෙන් පසු පෘතුගීසින් ආපහු යනවා.

මේ ප්‍රහාර වලට එරෙහිව උඩරට රාජ්‍යයෙන් කිසිම ප්‍රතිරෝධයක් එල්ල වෙන්නෙ නෑ.

මේ අතරේ 1612 දී අසවේදෝ උසස්වීමක් ලබනවා ගෝවේ විසුරේ වරයා (පෘතුගීසින් ගෙ පෙරදිග අධිරාජ්‍යයේ පාලකයා) විදිහට.

මේ වෙනකොට උඩරට රාජ්‍යය තියෙන්නෙ බිඳවැටෙන්න ඔන්න මෙන්න අවස්ථාවක.


පෘතුගීසි යුධ නැවක්

පහතරට කැරලි

මේ අවස්ථාවේදී තමයි පහතරැටියෝ නැවත කැරලි ගහන්නෙ. හත්කෝරළේ සහ සබරගමුවෙ කැරළි දෙකක් ඇතිවෙනවා. හත් කෝරළේ කැරලි නායකයා වෙන්නෙ නිකපිටියේ බණ්ඩාර. සබරගමුවේ කැරලි නායකයා වෙන්නෙ අන්තෝනියෝ බරේටෝ හෙවත් කුරුවිට රාළ.

හත් කෝරළේ ගම් සියල්ලම වගේ නිකපිටියේ බණ්ඩාරට පක්‍ෂපාතීත්වය පළ කරනවා. 1616 වෙද්දි තත්වයේ බරපතලකම වටහාගන්න පෘතුගීසින් මැනොඑල් සීසර් යටතේ හමුදාවක් යවනවා නිකපිටියේ බණ්ඩාර මර්ධනය කරන්න. මහඔය අසල සිදුවන සටනකින් සිංහල හමුදාව පසු බසින් නමුත් පෘතුගීසින්ට ඔවුන් විනාශ කරන්න ලැබෙන්නෙ නෑ.

මේ අතරෙදි කුරුවිට රාළ සබරගමුවේ පෘතුගීසි බලකොටු වලට පහරදෙන නිසා ෆිලිපේ ඩි ඔලිවීරා යටතේ තවත් පෘතුගීසි හමුදාවක් සබරගමුවට යවන්න පෘතුගීසින්ට සිද්ධ වෙනවා.

මේ වෙලාවේ සෙනරත් රජතුමා කාංගර ආරච්චි යටතේ උඩරැටියන් දෙදාහක් නිකපිටියේ බණ්ඩාරට ආධාර වශයෙන් එවනවා (මේ කාංගර ආරච්චි තමයි අසවේදෝ ගේ අසාර්ථක උඩරට ආක්‍රමනයේදී උඩරට පිළට එක්වුන ලැස්කොරින් හමුදාවේ සෙන්පතියා).

උඩරට සහයෙන් දිරිමත් වෙන නිකපිටියේ බණ්ඩාර අත්තනගල්ල දක්වා තම බලය පතුරුවන්න සමත්වෙනවා. ඒ අතරේ කුරුවිට රාළ සබරගමුවේ පෘතුගීසි බලකොටුව අල්ලා ගන්න සමත් වෙනවා.

හදිසියේම පෘතුගීසින් ඉතාමත් අසීරු තත්වයකට පත්වෙනවා.

ඒත් මේ වෙලාවෙදි ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙනවා. තමාගේ ජයග්‍රහණයෙන් උදම් වෙන නිකපිටියේ බණ්ඩාර සෙනරත් රජතුමා ගේ බිසවක් (දෝන කතිරිනා ගේ දියණියක්) තමාට සරණපාවා දෙන ලෙස රජුට යෝජනා කරනවා.

රජතුමා මේ යෝජනාවෙන් දැඩි කෝපයටත්, නිකපිටියේ ගේ බලය ගැන සැකයටත් පත් වෙනවා. ඒ නිසා ඔහු වහාම තමාගෙ උඩරට බලඇණිය ආපසු කැඳවනවා.

ඒ විතරක් නෙවෙයි ඔහු පෘතුගීසින් එක්ක සාම ගිවිසුමකට එලැඹෙනවා. ඒ අවසරයෙන් පෘතුගීසින් ලුයිස් ගෝමස් පින්ටෝ යටතේ හමුදාවක් යවලා නිකපිටියේ බණ්ඩාරට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. නිකපිටියේ බණ්ඩාර අනුරාධපුරය හරහා වන්නියට පැනල ගිහින් යන්තම් පණ බේරාගන්නවා.

මාස කීපයකට පස්සෙ නිකපිටියේ බණ්ඩාර නැවත හමුදාවක් රැස් කරගෙන හත් කෝරළයට ආවත්, ඔහුට හත්කෝරළේ වැසියන් ගෙ සහය ලැබෙන්නෙ නෑ. ඒ නිසා පෘතුගීසින් පහසුවෙන් ඔහු පරාජය කරනවා. නැවතත් අනුරාධපුරයට පළා යන නිකපිටියේ බණ්ඩාරව අපිට ඉතිහාසයේ හමුවෙන්නෙ නෑ.

රජතුමා පෘතුගීසින් එක්ක සාමගිවිසුමකට එළඹෙන නිසා කුපිත වෙන කුරුවිට රාළ රජතුමාට විරුද්ධවත් කැරළි ගහනවා. ඔහු "මායාදුන්නේ" නමින් සීතාවක රජ පවුලේ අයෙක් නව රජතුමා විදිහට හඳුන්වා දෙන්න උත්සහ කරනවා.

හත් කෝරළේ කැරැල්ල මර්ධනය කළ පසු ඊළඟට පෘතුගීසින් තමාගේ අවධානය සබරගමුවට යොමු කරනවා. අන්තෝනියෝ බරේටෝ හෙවත් කුරුවිට රාළ අල්ලා මරා දමන්න ඔවුන් සමත්වෙනවා.

1617 අගෝස්තු 17 වෙනිදා අත්සන් කරපු මේ සාම ගිවිසුම නිසා සෙනරත් රජතුමා තමාගේ හිස බේරගත්තත්, පහතරැටියන් ගේ කැරළි මර්ධනය කරන්න පෘතුගීසින්ට ඒක ඉමහත් උපකාරයක් වෙනවා.


කොන්ස්තන්ටීනෝ ඩි සා ඩි නොරොඥ්ඥා


කුරුවිට රාළ ගේ සහ නිකපිටියේ බණ්ඩාර ගේ කැරැල්ල මැඩ පවත්වන්නෙ 1618 දී අළුතෙන් පත්වෙලා එන කපිතන් ජනරාල් වරයා. ඒ "කොන්ස්තන්ටීනෝ ඩි සා ඩි නොරොඥ්ඥා".

ඩි සා අසවේදෝ ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මුලින්ම ඔහු අසවේදෝ වගේ ප්‍රායෝගික පුද්ගලයෙක්ට වඩා දැඩි ප්‍රතිපත්ති ගරුක, ඒ මත පිහිටලා කටයුතු කරන පුද්ගලයෙක්. ඉතා භක්තිමත් කතෝලිකයෙක්. ඒ වගේම බොහෝ පෘතුගීසි නිලධාරීන්ට වඩා ඉතාමත් අවංක සහ සාධාරන නිලධාරියෙක්.

ඔහුගේ මේ අවංක සහ සාධාරන ගුණය නිසා ඔහු පෘතුගීසි සෙබළු අතර වගේම සිංහලයන් අතරත් ගෞරවයක් දිනාගත්තා.

ඒ වගේම නිල් පාට ඇස් ඇති බොහොම කඩවසම් පුද්ගලයෙක් කියලත් කියැවෙනවා.

පහතරට කැරළි මැඩ පැවැත්වීමෙන් පසුව ඩි සා ෆිලිපෙ ඩි ඔලිවීරා යටතේ හමුදාවක් යාපනයට යවලා යාපනය රාජධාණිය සම්පූර්ණයෙන්ම පෘතුගීසින් යටතට පත් කරනවා. ඒ 1619 දි.

පෘතුගීසි - උඩරට සාමය බිඳ වැටීම

1617 දි අත්සන් කරපු සාම ගිවිසුම නිසා උඩරට රාජ්‍යයට සාමකාමී කාලයක් උදා වෙනවා. මේක ඉතාමත් කලාතුරකින් ලැබුණු සාමයක්. මේ සාමයෙන් ප්‍රයෝජන අරගෙන උඩරැටියෝ තමාගේ තුවාල සුවපත් කරගන්නවා.

පෘතුගීසින් මේ වෙනකොට ආපහු ප්‍රභල තත්වයකට පත් වෙලා ඉන්නෙ - පහතරට කැරළි මැඩ පවත්වලා, යාපනයත් අල්ල ගෙන.

මේ නිසා මේ සාමය බිඳ වැටෙන ලකුණු පහල වෙනවා.

ඩි සා උඩරට අල්ලා ගත යුතුයි කියන මතයේ ඉන්නවා. නමුත් ගෝවේ විසුරේ වරයා ඒක වලක්වනවා - අමතර සෙබළු ලබා දීමේ අපහසුව නිසා.

ඒත් 1621 දී ඩි සා හදිසියේම ත්‍රිකුණාමලයේ බලකොටුවක් ඉඳි කරන්න පටන් ගන්නවා. මේ වනවිට ත්‍රිකුණාමලය අයිති වුනේ උඩරට රාජ්‍යයට. පෘතුගීසින් මේ විදිහට අමු අමුවේ සාම ගිවිසුම කඩ කරද්දි සෙනරත් රජතුමාට පුළුවන් වෙන්නෙ සුළු ගරිල්ලා ප්‍රහාරයන් කීපයක් එල්ල කරනන් විතරයි. ඩි සා කොටුව නිම කරනවා.

ආපහු වසර කීපයක් සාමය පැවැත්වෙනවා. ඊට පස්සෙ සිද්ධ වෙන සිද්ධි දාමයක් නිසා නැවතත් උඩරටට යුධ ගිනිදැල් වල උණුසුම දැනෙනවා.

ඒ සිද්ධියට මුල් වෙන්නෙ මුස්ලිම් වරු.

1566 දී පෘතුගාලයේ රජතුමා ආඥාවක් නිකුත් කරනවා පෙරදිග පෘතුගීසින්ට අයත් ප්‍රදේශ වලින් මුස්ලිම් වරු සම්පූර්නයෙන්ම ඉවත් කරන්න. මේ රාජ ආඥාව 1615 දී නැවතත් පැනවෙනවා.

නමුත් පෙරදිග පෘතුගීසි ආණ්ඩුකාර වරු මේ ආඥාව ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඒකට හේතුව මේ වනවිට පෘතුගීසින් සහ මුස්ලිම් වරු අතර ඉතාමත් ලාබ දායික වෙළඳාමක් ගොඩ නැංවී තිබීම.

නමුත් ඩි සා කියන්නෙ ප්‍රතිපත්තියට මුල් තැන දෙන කෙනෙක්. ඒ නිසා 1626 දී ඔහු ලංකාවේ පෘතුගීසින්ට අයත් ප්‍රදේශ වලින් මුස්ලිම් වරු සම්පූර්ණයෙන්ම පිටුවහල් කරනවා.

පිටුවහල් වෙන මුස්ලිම් වරු සමහරක් ඉන්දියාවට යනවා. සමහරක් උඩරට රාජ්‍යයට යනවා. උඩරටට එන මුස්ලිම් වරු සෙනරත් රජතුමාගෙන් පිහිට ඉල්ලා සිටිනවා.

මේ වෙද්දි ලංකාවේ මුස්ලිමුන් පදිංචි වෙලා හිටපු ප්‍රදේශ සියල්ලම තිබ්බෙ පෘතුගීසි පාලනය යටතේ. ඒ නිසා මුස්ලිම් වරුන් ගෙ වෙළඳාම පෘතුගීසි පාලනය යටතේ තිබ්බෙ.

සෙනරත් රජතුමා මේ එන මුස්ලිම් වරු 4000 ක් මඩකලපුවේ පදිංචි කරනවා. මේ වැඩෙන් මුස්ලිම් වරුන්ට අළුත් වෙළඳ මධ්‍යස්ථානයක් ලැබෙනවා. ඒක තියෙන්නෙ පෘතුගීසි පාලනයෙන් පිට.

මඩකලපුවේ මුස්ලිම් වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩ නැංවීම නිසා ගෝවේ විසුරේ වරයා කලබල වෙනවා. ඔහු වහාම ඩි සා ට අමතර සෙබළු ලබා දෙන්න පොරොන්දු වෙනවා උඩරට ආක්‍රමනයක් සඳහා.

යුද්ධය ආරම්භ වීම

ගෝවෙන් ලැබෙන අමතර සේනාංක වලින් ශක්තිමත් වෙන ඩි සා මඩකලපුවට සේනාවක් ගොඩ බස්වලා එතන බලකොටුවක් ඉඳි කරන්න පටන් ගන්නවා.

මේ වෙද්දි උඩරටත් ආපහු ශක්තිමත් වෙලා ඉන්නෙ. ඒ නිසා සෙනරත් රජතුමා සේනාවක් යවනවා මඩකලපුවට බලකොටුව හදන පෘතුගීසින්ව වලක්වන්න. නමුත් මාතර ඉඳලා ඌව හරහා යවන ආධාරක බලඇණියක් උඩරැටියන්ව පලවා හරිනවා. පෘතුගීසින් බලකොටුව නිමා කරනවා.

මඩකලපුව කොටුවේ සැලැස්ම​


සෙනරත් රජතුමා ඊළඟට සේනාවක් යවනවා කෙලින්ම කෝට්ටෙට. නමුත් මේ සේනාව මැණික්කඩවර පෘතුගීසි මහ බලකොටුවෙන් හරවා යවන්න ඩි සා සමත් වෙනවා.

ඊළඟට සෙනරත් රජතුමා නැවතත් මඩකලපුවට සේනාවක් යවලා පෘතුගීසි බලකොටුව වටකරලා පහර දෙනවා.

රජු ගේ අවධානය මඩකලපුවට යොමුවෙලා තියෙන මේ වෙලාවෙ ඩි සා පෘතුගීසින් 50 දෙනෙක් ගෙන් සමන්විත විශේෂ ප්‍රහාරක බලඇණියක් එවනවා මහනුවරට. මේ බලඇණිය මහනුවර නගරය ගිනි තියලා ආපහු නිරුපද්‍රිතව කොළඹට එනවා.

මඩකලපුව කොටුව - අද​


මේ ප්‍රහාරයේ සාර්ථකත්වයෙන් දිරිමත් වෙන ඩි සා දැවැන්ත උඩරට ආක්‍රමනයකට සැලසුම හදනවා. මේ ගැන දැනගන්න සෙනරත් රජතුමා කලබල වෙනවා. පෘතුගීසින් උඩරටට එන්න කලින් තමා යුද්ධය පෘතුගීසින් වෙත ගෙනියන්න ඕනෙ කියල තීරනය කරන ඔහු යාපනයට පහර දෙනවා.

උඩරැටියන් යාපනයට පහරදීම

යාපනය ප්‍රහාරයට කලින් සෙනරත් රජතුමා දකුණු ඉන්දියාවේ තැන්ජෝරය පාලනය කළ නායික් වරු එක්ක ගිවිසුමකට එළඹෙනවා. නායික් වරු එකඟ වෙනවා ඔහුට "බඩග" කියල හඳුන්වන කුලී හේවායින් ලබා දෙන්න. මේ කුලී හේවායින් ගේ උදව්වෙන් යාපනය පෘතුගීසි ග්‍රහනයෙන් මුදා ගන්න සෙනරත් රජතුමා බලාපොරොත්තු වෙනවා.

ඔහු අතපත්තු මුදලි යටතේ විශාල හමුදාවක් වන්නිය හරහා යාපනයට යවනවා.

මේ වෙනකොට යාපනේ වැසියන් පෘතුගීසි පාලනය නිසා ඉමහත් කරදරයට පත් වෙලා ඉන්නෙ. පෘතුගීසින් ගේ කතෝලික ආගම් ප්‍රචාරයත්, බෞද්ධ සහ හින්දු බැතිමතුන්ට කරපු හිරිහැරත් නිසා යාපනේ වැසියන් ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නවා. ඊට අමතරව පෘතුගීසින් යාපනේ ගෙනියන්නෙ ඉතා දරුණු බදු ප්‍රතිපත්තියක්.

අතපත්තු මුදලි ගේ උඩරට හමුදාව යාපනයට ඇතුල් වුන වහාම ඔවුන්ට විශාල මහජන සහයක් ලැබෙනවා. මේ නිසාම යාපනේ පෘතුගීසි පාලකයා වන කපිතන් මේජර් ලැන්සරෝට් ඩි සෙයිසාස් යාපනයේ සියළුම මුදලි වරු සහ ආරච්චි වරු අත් අඩංගුවට ගන්න නියම කරනවා. මේකෙන් යාපනේ වැසියන් තවත් කිපෙනවා.

උඩරට හමුදාව යාපනයට ලං වෙද්දි ඔවුන්ට එකතු වෙන යාපනේ වැසියන් තමා පෘතුගීසින් යටතේ වින්ද පීඩාව මුදා හරිනවා. ඔවුන් ගේ ඉලක්ක වෙන්නෙ කතෝලික දේවස්ථාන සහ කතෝලික පූජකයන්.

මේ ආක්‍රමනය හමුවේ පෘතුගීසින්ට පුළුවන් වෙන්නෙ යාපනේ කොටුව ඇතුලට පසු බසින්න විතරයි. දින දහතුනක් ඇතුලත යාපනය කොටුව හැර අනික් සියළුම ප්‍රදේශ උඩරැටියන් යටතට පත් වෙනවා.

නමුත් හිතුවට වඩා වේගයෙන් ආක්‍රමනය සිද්ධ වෙන නිසා උඩරැටියන්ට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තන්ජෝරයේ සිට බඩග කුලී හේවායින් තාමත් නොපැමිණීම. ඒ නිසා ඔවුන් යාපනය කොටුව වටකරලා බඩග හේවායින් එනකන් ප්‍රහාරයහට සූදානම් වෙනවා.

මේ වෙනකොට උඩරටින් ආපු හමුදාවට යාපනේ වැසියනුත් එකතු වෙලා ඒක දැවැන්ත හමුදාවක් බවට පත් වෙලා තියෙන්නෙ.

ඩි සා ඉක්මනින්ම කපිතන් මේජර් ඩොමින්ගෝස් සාඕ සහ කපිතන් ලුයිස් ඩි මසේඩෝ යටතේ පෘතුගීසින් 200 සහ ලැස්කොරින් සෙබළු 7000 ක හමුදාවක් යාපනේට යවනවා.

ඩොමින්ගෝස් සාඕ ඉතාමත් රහසිගතව තමාගෙ හමුදාව යාපනේ ගොඩ බස්වලා ප්‍රහාරයට සූදානම් වෙනවා. ඔහු ලැස්කොරින් සෙබළු 3000 ක් ඩි මසේඩෝ උඩරට හමුදාවට උතුරින් ස්ථානගත කරනවා. හමුදාවේ ඉතිරිය සාඕ යටතේ උඩරැටියන්ට දකුණින් ස්ථානගත වෙනවා. කොටුව ඇතුලෙ ඉන්න ඩි සෙයිසාස් ත පණිවුඩයක් යවනවා ප්‍රහාරය පටන් ගත්ත වහාම කොටුවෙන් එළියට ඇවිත් ප්‍රහාරයට හවුල් වෙන්න.

පෘතුගීසි හමුදාවක් තමාව වට කරලා කියල අතපත්තු මුදලි දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා පෘතුගීසින් ප්‍රහාරය ආරම්භ කරනකං උඩරැටියෝ ඒ ගැන දැනගන්නෙ නෑ.

ඩි මසේඩෝ ගේ බලඇණිය උතුරින් උඩරට හමුදාව වෙත ළං වෙද්දි උඩරැටියන් ඔවුන් ව දකිනවා. සම්පූර්න උඩරට හමුදාවම උතුරින් එන ප්‍රහාරයට සැරසෙද්දි සාඕ දකුණු පැත්තෙන් තමාගේ ප්‍රහාරය එල්ල කරනවා.

මේ සටන තමයි ලංකා ඉතිහාසයේ සිංහල හමුදාවක් පෘතුගීසින් අතින් ලබන දරුණුම පරාජය. සාඕ ගේ හමුදාව කොයිතරම් වේගයෙන් උඩරැටියන්ව විනාශ කරනවද කිව්වොත්, ඩි සෙයිසාස් කොටුව ඇතුලෙ ඉඳල සටනට එක් වෙන්න එද්දි සටන ඉවර වෙලා!

විශාල උඩරැටියන් ප්‍රමානයක් පෘතුගීසින් යටතට පත් වෙනවා. නමුත් පෘතුගීසින් හිරභාරයට ගන්නෙ උඩරට හමුදාවේ හිටපු යාපනේ වැසියන් ව විතරයි. උඩරටින් ආපු මුල් හමුදාවේ සියළුම හිර කාරයන් එතැනදීම ඝාතනය කෙරෙනවා. ඒ උල තැබීමෙන් සහ පොරවෙන් කෙටීමෙන්.

මිය ගිය සියළුම - සටනේදී සහ ඉන් පසුව - උඩරැටියන් සහ යාපනේ වැසියන් ගණන 5000 පමණ වෙනවා කියල පෘතුගීසි වාර්තා වල දැක්වෙනවා.

අතපත්තු මුදලිගේ කපා දැමූ හිස හෙල්ලයක අමුණන පෘතුගීසින් ඒ හිසත් සහිතව යාපනේ නගරයේ වීදි සංචාරය කරනවා.

ටික දවසකට පස්සෙ බඩග සේනාංකය යාපනේට ගොඩ බහිනවා. ඔවුන් ඉතා පහසුවෙන් පරාජය කරන්න පෘතුගීසින්ට පුලුවන් වෙනවා,

යාපනේදී අත් විඳපු පරාජයත් එක්ක සෙනරත් රජතුමා පෘතුගීසින් ගෙන් නැවත සාම ගිවිසුමක් ඉල්ලා සිටිනවා. ඩි සා ඒකට පිළිතුරු දෙන්නෙ නැවත වරක් උඩරට ආක්‍රමනය කරලා මහනුවර නගරය පොළවට සමතලා කිරීමෙන්.

ඒ 1629 ජූලි මාසෙ.

 1629 ඩි සා මහනුවරට ඇවිල්ල, නගරය ගිනිබත් කරල නිරුපද්‍රිතව ආපහු යනවා. උඩරැටියන් ගෙන් එල්ල වෙන එකම විරෝධය ආපහු යන ගමනෙදි අඹතැන්නෙදි එල්ල කෙරුනු ප්‍රහාරයක් විතරයි. ඒ ප්‍රහාරය මැඩ පවත්වන්න පෘතුගීසින් සමත් වෙනවා.

ඇත්තෙන්ම ආපහු යන ගමනෙදි උඩරැටියන් ගේ ප්‍රහාර වලට වඩා පෘතුගීසින්ට කරදරයක් වුනේ නිරිත දිග මෝසමෙන් උතුරා ගිය ගංගා සහ අධික ශීතල කියල පෘතුගීසි ඉතිහාසඥයන් ගෙ ලේඛන වලින් පේන්නෙ.

මේ අඹතැන්න ප්‍රහාරය මෙහෙයවන්නේ සෙනරත් රජුගේ පුතා වන මහ අස්තාන කුමාරයා (මහ අස්තාන කුමාරයා තමයි පසුව දෙවෙනි රාජසිංහ නමින් රජවෙන්නේ). අඹතැන්න ප්‍රහාරය අසාර්ථක වුනත් උඩරැටියන්ට නව යුධ සෙන්පතියෙක් ලැබෙනවා මේ සටනින්.

මහ අස්තාන කුමාරයා හෙවත් දෙවන රාජසිංහ රජතුමා

ඩි සා උඩරට ආක්‍රමනයට සූදානම් වීම​

ඩි සා ක්‍රමයෙන් ඔහුගේ උඩරට ආක්‍රමනයට සූදානම් වෙනවා. එහිදී ඔහුට ප්‍රධාන බාධකයක් වෙන්නෙ මුදල් හිඟය​. මේ නිසා ඔහු කුරුඳු වෙළඳාමෙන් ලැබෙන ධනය ඔහුගේ යුධ ශක්තිය වැඩි කරගන්න යොදවනවා.

මේක ලංකාවේ පෘතුගීසි මූල්‍ය කටයුතු පාලනය කළ නිලධාරියා වන ඇම්.බ්‍රෝසියෝ ඩි ෆ්‍රෙයිටාස් ගෙ නොසතුටට හේතු වෙනවා. ඔහු ගෝවේ විසුරේ වරයාට ඩි සා ට එරෙහිව ගතු කියනවා.

විසුරේ වරයා ඩි සා ට දෝෂාරෝපනය කරලා ලියුමක් එවනවා. එයින් කියවෙන්නෙ "ඔබ සොල්දාදුවෙක් මිස වෙළෙන්දෙක් නෙවෙයි. වෙළඳාම වෙළෙන්දන්ට කරගන්න දීලා හැකි ඉක්මනින් උඩරට අල්ලා ගන්න​" කියල​.

ඩි සා මේ ලියුමෙන් කියවෙන දේ ගැන එකඟ නොවුනත් විනය ගරුක නිලධාරියෙක් හැටියට තමාගේ උසස් නිලධාරියා ගේ අණට එකඟ වෙනවා.

මහ අස්තාන කුමාරයා තමාගේ සැලැස්ම එළිදක්වන්නේ මේ වෙලාවේ. ඔහු විමලධර්මසූරිය රජතුමා ගේ පොතෙන් පිටුවක් පාවිච්චි කරනවා.

මහ අස්තාන කුමාරයා ගේ ප්‍රාන්තය වෙන්නෙ ඌව​. ඌවට යාබද පෘතුගීසි පාලන ප්‍රදේශ වල සිංහල ප්‍රධානීන් කීප දෙනෙක් සමඟ මහ අස්තාන කුමාරයා සැලැස්මක් හදනවා.

මේ සැලැස්මට අනුව මහ අස්තාන කුමාරයා පෘතුගීසි පාලන ප්‍රදේශයට ප්‍රහාර කීපයක් එල්ල කරනවා. එතකොට සිංහල ප්‍රධානීන් ඩි සා හමුවෙලා මේ ප්‍රහාර වලින් තමා ගලවා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඩි සා උඩරට ආක්‍රමනය කරාම​, සිංහල ප්‍රධානීන් උඩරැටියන්ට එකතු වීම තමයි සැලසුමේ කූඨප්‍රාප්තිය​.

සැලසුම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඩි සා ගේ ප්‍රතිපත්ති ගරුක බව නිසා සිංහල ප්‍රධානීන් ගේ ඉල්ලීම ඉවත දාන්න ඔහුට නොහැකි වෙනවා. ඒ එක්කම විසුරේ වරයා ගේ වහාම උඩරට ආක්‍රමනය කරන නියෝගයත් එන නිසා ඔහු වහාම තමාගේ සේනාව මැණික්කඩවරට රැස් කරනවා.

මේ හමුදාව තමයි උඩරට ආක්‍රමනයක් සඳහා සහභාගී වෙන කුඩාම පෘතුගීසි හමුදාව​. ඒක සමන්විත වෙන්නෙ පෘතුගීසින් 500 සහ ලැස්කොරින් සෙබළු 5000 ක ගෙන් (අසවේදෝ ගේ 1603 ආක්‍රමනයට පෘතුගීසි සෙබළු 1100 සහ ලැස්කොරින් සෙබළු 13,000 ක් සහභාගී වුනා).

1630 අගෝස්තු දෙවෙනි දා පෘතුගීසි හමුදාව මැණික්කඩවරෙන් පිටත් වෙනවා.

උඩරට ආක්‍රමනය​

 

මේ ආක්‍රමනයේ එක වැදගත් අරමුණක් වෙන්නේ ඌවෙන් එන ප්‍රහාර මැඩපැවැත්වීම නිසා වෙනත් ආක්‍රමනවලදී වගේ පෘතුගීසි හමුදාව බලන දුර්ගය ඔස්සේ මහනුවරට එන මාර්ගය තෝරා ගන්නෙ නෑ. ඒ වෙනුවට ඩි සා තෝරා ගන්නෙ ඉදල්ගස්හින්න දුර්ගය ඔස්සේ බදුල්ල හරහා මහනුවරට එන මාර්ගය​.

ඔවුන් දවස් පහළොවක් ඇතුලත සීතාවක​, රත්නපුර හරහා ඉදල්ගස්හින්න දුර්ගය ඔස්සේ බදුල්ලට පැමිණෙනවා.

ඒ වෙනතුරු උඩරැටියන් ගෙන් ඔවුන්ට කිසිම ප්‍රති ප්‍රහාරයක් එල්ල වෙන්නේ නෑ. මහ අස්තාන කුමාරයා ගේ සැලැසුම වෙන්නෙ පුළුවන් තරම් පෘතුගීසින්ව රට ඇතුලට ගෙන්වා ගැනීම​.

පහළොස්වෙනි දවසේ පෘතුගීසි හමුදාව මුතියංගණ විහාරයේ කඳවුරු ලාගෙන බදුල්ල නගරය විනාශ කිරීම පටන් ගන්නවා.

මේ වෙලාවෙදි පෘතුගීසින් අතහැරලා උඩරැටියන්ට එකතු වෙන්න සැලසුම් කරගෙන ඉන්න ලැස්කොරින් ප්‍රධානින් අතරේ ගැටුමක් ඇති වෙනවා. එහිදී අමනාප වෙන එක ප්‍රධානියෙක් වන එදිරිමානසූරිය සම්පූර්න සැලසුම ඩි සා ට එළි කරනවා.

උඩරට හමුදාව මෙහෙයවන්නේ සෙනරත් රජතුමා ගේ පුතා වන මහ අස්තාන කුමාරයා සහ විමලධර්මසූරිය රජතුමා ගේ පුතා වන විජේපාල සහ කුමාරසිංහ කුමාරයන් විසින්. ඔවුන් පාවා දීම ගැන දැනගත් විගස ලහි ලහියේ පෘතුගීසින් ව වටලන්න කටයුතු කරනවා.

අවට කඳු වලින් උඩරට හමුදාව මතු වෙනකොට ඩි සා තේරුම් ගන්නවා තත්වයේ බරපතල කම​. ඔහු වහාම යුධ සභාව කැඳවලා සාකච්ඡාවක් තියනවා. එහිදී තීරණය වෙනවා ආක්‍රමනය අත හැරල වහාම කොළඹට පසු බසින්න​.

පෘතුගීසින් ගේ පසු බැසීම​

 

ඩි සා තමාගේ හමුදාව කොටස් දෙකකට බෙදනවා. ඉදිරි පෙළ සමන්විත වෙන්නේ පෘතුගීසි සෙබළුන් ගේ බහුතරය සහ ලැස්කොරින් සෙබළු සුළුතරයකින්. ලුහුබැඳ පහරදෙන උඩරැටියන් ගේ ප්‍රහාර මැඩ පැවැත්වීමේ රාජකාරිය හිමි පසුපෙළ ලැස්කොරින් සෙබළු 4000 ක් සහ පෘතුගීසි සෙබළු 60 ක ගෙන් සමන්විත වෙනවා. පසු පෙල මෙහෙයවන්න කපිතන් වරු නව දෙනෙක් යොදවන ඩි සා ඉදිරි පෙළ බල​ඇණියට එක් වෙනවා.

පහුවෙනිදම ඩි සා පසුබැසීම පටන් ගන්නවා. මුලින්ම ඔවුන්ට හමුවෙන බාධකය බදුලු ඔය​. පෘතුගීසි හමුදාව බදුලු ඔය තරණය කරද්දි හදිසියේම ලැස්කොරින් හමුදාවේ නායකයෙක් තමාගේ කඩුව ඇදල අරගෙන ළඟම හිටපු පෘතුගීසි සෙබලා ගේ හිස කපලා හෙල්ලයක අමුණ ගෙන උඩරැටියන් ට එකතු වෙනවා. ඒ සංඥාවත් එක්කම ලැස්කොරින් සෙබළු 1750 ක් උඩරට පිලට එක් වෙනවා.

ලැස්කොරින් සෙනවි වරු අතර ඇති වුන මතභේදය නිසා කලින් වතාවල වගේ ඔක්කොම ලැස්කොරින් වරු උඩරැටියන්ට එකතු වෙන්නෙ නෑ. ඇත්තෙන්ම එහෙම කරන්නෙ සුළුතරයක් විතරයි. ඩි සා සතුව තවමත් 3000 ක පමණ ලැස්කොරින් සේනාවක් තියෙනවා. ඒ නිසා නිරුපද්‍රිතව කොළඹට එන්න පුළුවන් වෙයි කියල ඩි සා හිතනවා. ඔවුන් එක දිගට එල්ලවෙන උඩරැටියන් ගේ ප්‍රහාර ඉතා නිර්භීත විදිහට මැඩලමින් දෙමෝදර දක්වා පසු බසිනවා. එදා රැය ගෙවෙන්නෙ දෙමෝදර දී.

පහුවෙනිදා උදේම පෘතුගීසින් වෙඩිබෙහෙත් හැර අනෙක් සියළුම බඩු භාණ්ඩ ගිනිබත් කරලා නැවත පසු බැසීම පටන් ගන්නවා.

මේ වෙලාවෙ මහ අස්තාන කුමාරයා ගෙ සැලසුම වෙන්නෙ පෘතුගීසි හමුදාව වටකරල පහර දෙන්න සුදුසු තැනකට කොටු කර ගැනීම​. උඩරට සේනාංක තුනක් තුන් පැත්තකින් පහර දෙමින් පසු බසින පෘතුගීසි හමුදාව කිරිඳි ඔය පැත්තට ක්‍රමයෙන් යොමු කරනවා. කිරිඳි ඔයෙන් එපිට තියෙන තැනිතලා වෙල් යායන් මහ සටනකට කදිම බිමක්.

පෘතුගීසි හමුදාවේ ඉදිරි පෙළ කිරිඳි ඔය තරණය කරලා කුඩා කඳු ගැටයක් දක්වා එනවා. ඒ අතරෙ පසු පෙළ කිරිඳි ඔයේ වම් ඉවුරේ නැවතිලා ලුහු බඳින උඩරැටියන්ට පහර දෙනවා.

මේ වෙලාවේ හදිසියේම 12,000 ක දැවැන්ත උඩරට හමුදාවක් පෘතුගීසින් ගේ පසු පෙළට පහර දෙනවා. මේ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් බියපත් වෙන ලැස්කොරින් සෙබළු සටන අත හැරලා පලා යනවා. ඒ එක්කම ඇද හැලෙන ධාරානිපාත වැස්සකින් කිරිඳි ඔය උතුරලා යනවා. පසු පෙල බල​ඇණියේ හිටපු පෘතුගීසින් 60 දෙනා කිරිඳි ඔයේ වම් ඉවුරේ කොටු වෙනවා.

මේ බව දැන ගන්න ඩි සා වහාම ආධාරක බල​ඇණියක් සමඟ ඇවිත් කොටු වුන පෘතුගීසින් ගෙන් 30 දෙනෙක් බේර ගන්නවා. සටනෙදි පෘතුගීසින් 8 දෙනෙක් මිය යනවා. උඩරැටියන් ගෙ අත් අඩංගුවට පත් වෙන අනිත් පෘතුගීසින් විසි දෙදෙනා ගං ඉවුරේදීම ඝාතනය කෙරෙනවා. පසු පෙළ සමඟ හිටපු කපිතන් වරු නව දෙනාම මේ සටනෙන් මිය යනවා.

ආපහු කඳවුර වෙත එන ඩි සා ට දැන ගන්න ලැබෙන්නෙ ඇද හැලුනු මහ වැස්සෙන් තමාගේ වෙඩි බෙහෙත් සියල්ලම තෙතබරිත වී ඇති බව​.

මේ වන විට පෘතුගීසි හමුදාවෙන් ඉතුරු වෙලා ඉන්නෙ පෘතුගීසි සෙබළු 400 පමණ සහ ලැස්කොරින් සෙබළු 600 පමණ​. ඔවුන් ගේ වෙඩි බෙහෙත් තෙත බරිත වෙලා. ඒ මදිවට ඩි සා තුවාල ලබලා. හතළිස් දාහක උඩරට හමුදාවක් ඔවුන්ව වට කරලා.

පෘතුගීසින් එදා රාත්‍රියේ සමූහ යාඥාවක් පවත්වනවා. උඩරැටියන් අවට කඳු මුදුන් වල ඉඳලා රැය පුරාම බෙර වයමින්, හූ කියමින් පෘතුගීසින් ව අවදියෙන් තියනවා.

රන්දෙණිවෙල සටන​

 

රන්දෙණිවෙල සටන සිදු වූ තැන අද පිහිටුවා ඇති ස්මාරකය​


අගෝස්තු විසි පස් වෙනිදා උදේ ඩි සා තමාගෙ හමුදාව අමතලා උද්‍යෝගීමත් කතාවක් පවත්වනවා. උඩරැටියන් ඔහුට යටත් වන ලෙස ඉල්ලීමක් කරත් ඔහු ඒක ප්‍රතික්‍ෂේප කරලා සටන් කරමින් පසු බැසීමකට සූදානම් වෙනවා.

පෘතුගීසි හමුදාව උදෑසන 6 ට පමණ රන්දෙණිවෙල කියල හඳුන්වන වෙල් යායට එනවා. එතනදි උඩරැටියන් අඩ හඳක ආකාරයෙන් ඔවුන් වටා ස්ථානගත වෙලා ප්‍රහාරය පටන් ගන්නවා. ඉක්මනින්ම ඔවුන් පෘතුගීසින්ව සම්පූර්ණයෙන්ම වටලනවා.

මේ වෙලාවෙ පෘතුගීසින් තමාගේ තෙමුණු වෙඩි බෙහෙත් වේලා ගැනීම සඳහා ඒවා අව්වෙ අතුරලා තියෙන්නෙ. ප්‍රහාරය පටන් ගනිද්දිම සිංහල දුණු වායෙක් ගිනි ඊතලයක් මේ වෙඩි බෙහෙත් ගොඩට එල්ල කරනවා. ගිනි ඊතලය හදල තියෙන්නෙ කරුංකා පුවක් ලෙල්ලක් ඇතුළට ගිනි අඟුරක් දාල පුවක් ලෙල්ල හීයේ ඇමිණීමෙන්. හුළං කපාගෙන හීය යනකොට පුවක් ලෙල්ලට ගිනි ඇවිලෙනවා. මේ හී ප්‍රහාරයෙන් පෘතුගීසින්ට තමාගේ වෙඩි බෙහෙත් වලින් වැඩි කොටසක් අහිමි වෙනවා.

වෙඩි බෙහෙත් විනාශ වීම නිසා පෘතුගීසින් සටන් කරන්නේ කඩු සහ හෙල්ල වලින් පමණයි. උඩරැටියන් මේක ප්‍රයෝජනයට අරගෙන දුර සිට තුවක්කු සහ දුණු-හී වලින් පහර දෙනවා.

දහවල් දෙක වනතුරු මේ විදිහට සටන ඇදිල යනවා. පෘතුගීසින් ඉතා නිර්භීත විදිහට සටන් කරමින් උඩරැටියන්ට දරුණු හානි කරනවා. නමුත් උඩරැටියනුත් ඉතාමත් නිර්භීත විදිහට සටන් කරමින් පෘතුගීසින්ට දරුණු විදිහට පහර දෙනවා. ක්‍රමයෙන් පෘතුගීසින් එක එකා මිය යනවා.

හවස දෙකට විතර උඩරට දුණුවායෙක් ගෙ හී පහරක් වැදිල ඩි සා ඇද වැටෙනවා. ඔහු නැගිටින්න උත්සහ කරද්දි දෙවෙනි හී පහරකින් ඔහු නැවතත් ඇද වැටෙනවා. මේ වෙලාවේ පෘතුගීසි සෙබලෙක් ඩි සා පසුපසෙන් ඉඳගෙන දුණුවායට වෙඩි තියනවා. නමුත් ඒ මොහොතේම ඩි සා ආපහු නැගිටිනවා. වෙඩි පහර වදින්නේ ඔහුට​. "මගේම සොල්දාදුවෙක් අතින් මිය යාම ගැන මම සතුටු වෙනවා" කියන ඩි සා එතැනම මිය යනවා.

සුළු මොහොතකින් පෘතුගීසි හමුදාවේ දෙවැනියා වෙන කපිතන් ලුයිස් ගෝමස් පින්ටෝත් හී පහරකින් මිය යනවා.

ඊට ටික වෙලාවකට පස්සෙ සටන අවසන් වෙනවා.

පෘතුගීසින් 350 ක් පමණ සටනෙන් මිය යන අතර​, 100 ක් පමණ උඩරැටියන් විසින් සිර භාරයට ගන්නවා. ලැස්කොරින් සෙබළු 80 ක් මිය යන අතර 400 පමණ සිර භාරයට පත් වෙනවා.

ඩි සා ගේ උඩරට ආක්‍රමනයේ අවසානය ඒ වගේ.

සිතුවම : ප්‍රසන්න වීරක්කොඩි


(ප්‍රධාන මූලාශ්‍රය : Kandy Fights the Portuguese by Gaston Perera)

No comments:

Post a Comment