Wednesday, January 25, 2017

විදුලි ලාම්පු මිලදී ගැනීමේදී දැන ගත යුතු කරුණු - 1


වෙළඳ පොළේ තියෙන විදුලි ලාම්පු වර්ග


1. සූත්‍රිකා ලාම්පු 



මේ ලාම්පු වල කෙරෙන්නෙ ටංස්ටන් ලෝහයෙන් තැනුනු සිහින් කම්බියක් හරහා විදුලි ධාරාවක් යැවීම​. විදුලි ධාරාව මගින් කම්බිය රත් වෙලා ආලෝකයක් ඇති කරනවා.

2. හැලජන් ලාම්පු



මේකත් සූත්‍රිකා ලාම්පුවක් මයි. නමුත් බුබුළ ඇතුලට බ්‍රෝමීන් හෝ අයඩින් ස්වල්පයක් එක් කරල තියෙනව​. ඒ මගින් ලාම්පුවේ ජීව කාලය සහ දීප්තිය වැඩි කර ගන්න පුළුවන්.

3. ප්‍රතිදීප්ත ලාම්පු (ටියුබ් ලයිට්)




මේ වර්ගයේ ලාම්පු සමන්විත වෙන්නෙ ආගන් හෝ නියොන් වායුව සහ රසදිය වාෂ්ප පුරවන ලද දිග වීදුරු බටයකින්. මේ වීදුරු බටය ඇතුල් පැත්තේ බිත්තියේ පොස්පරස් අඩංගු විශේෂ රසායනිකයක් ආලේප කරල තියෙනවා. වීදුරු බටය දෙපැත්තට වෝල්ටීයතාවයක් දුන්නම ආගන් සහ රසදිය වාෂ්ප මිශ්‍රනයෙන් පාරජම්බූල කිරණ නිකුත් කරනවා. මේ කිරන අර රසායනික ආලේපනය මගින් ආලෝකය බවට පත් කෙරෙනවා.


4. සංගත ප්‍රතිදීප්ත ලාම්පු (සී.එෆ්.එල්.)




මේකත් සාමාන්‍යය ප්‍රතිදීප්ත ලාම්පුවක් මයි. නමුත් බටයේ ප්‍රමානය කුඩායි, ඒ වගේම බටය නවලා ලාම්පුවේ ප්‍රමානය කුඩා කරල නිපදවල තියෙනවා.

5. රසදිය වාෂ්ප ලාම්පු (එම්.වී.)



මේ ලාම්පු පුරවල තියෙන්නෙ රසදිය වාෂ්ප වලින්. ලාම්පුව ඇතුලෙ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකට වෝල්ටීයතාවයක් දුන්නම ඒ දෙක අතර විද්‍යුත් පුළිඟුවක් ඇති වෙනවා. මේ පුළිඟුව විසින් රසදිය වාෂ්පය දීප්තිමත් ප්ලාස්මාවක් බවට පත් කරනවා.

6. අඩු පීඩන සෝඩියම් ලාම්පු 




මේ ලාම්පු ඇතුලෙ සෝඩියම් ලෝහ කැබලි තියෙනවා. ලාම්පුව පුරවල තියෙන්නෙ නියොන් වායුවෙන්. ලාම්පුවේ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකට වෝල්ටීයතාවයක් දුන්නම සෝඩියම් ලෝහය වාෂ්ප වෙලා දීප්තිමත් කහ එළියකින් ලාම්පුව පිරෙනවා. මේ ලාම්පු පහසුවෙන් හඳුන ගන්න පුළුවන් ඒවයේ කහ පාට ආලෝකයෙන්.

7. අධි පීඩන සෝඩියම් ලාම්පු




මේකත් අඩු පීඩන සෝඩියම් ලාම්පුවක් වගේමයි. නමුත් ලාම්පුව ඇතුලෙ පීඩනය වැඩියි. ඒ වගේම නියොන් වායුව වෙනුවට ලාම්පුව පුරවන්න යොදාගෙන තියෙන්නෙ සෙනොන් වායුව​. ඊට අමතරව රසදිය වාෂ්ප ස්වල්පයකුත් එක් කරල තියෙනවා. මේ රසදිය මගින් ලාම්පුවේ ආලෝකයේ කහ පැහැය ටිකක් අඩු කරල දෙනවා.

8. ලෝහ හේලයිඩ ලාම්පු




මේ ලාම්පු පුරවල තියෙන්නෙ ආගන්, සෙනොන් සහ රසදිය වාෂ්ප වලින්. නමුත් ඊට අමතරව "ලෝහ හේලයිඩ​" කියල හඳුන්වන රසායනික ද්‍රව්‍යය ගණනාවකුත් අඩංගු වෙනවා. ලාම්පුව ඇතුලෙ තියෙන ඉලෙක්ට්‍රෝඩ දෙකට වෝල්ටීයතාවයක් දුන්නම රසායනික ද්‍රව්‍යය මිශ්‍රනය දීප්තිමත් ආලෝකයක් නිකුත් කරනවා.

9. ආලෝක විමෝචක ඩයෝඩ ලාම්පු (එල්.ඊ.ඩී.)




මේ වර්ගයේ ලාම්පු වල තියෙන්නෙ ආලෝක විමෝචක ඩයෝඩයක්. බොහෝ විට මේ සඳහා යොදා ගන්නේ ගේලියම් අර්ධ සන්නායක​. මේ අර්ධ සන්නායක හරහා විදුලි ධාරාවක් යැව්වම එයින් ආලෝකය නිකුත් වෙනවා.


ඉතින් මේ ලාම්පු අතරින් මොන ලාම්පුවද හොඳම​?

එහෙම "හොඳම​" එක කියල එකක් නෑ. හැම ලාම්පුවේම වාසි-අවාසි තියෙනවා. සමහර තැන් වලදි වාසියක් වෙන දේ වෙනත් තැනකදි අවාසියක් වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕනෙ මේ එක් එක් වර්ගයේ ලාම්පු වල ගුණාංග හඳුනාගෙන අපේ අවශ්‍යයතාවයට වඩාත්ම ගැලපෙන එක තෝරා ගැනීම​.



No comments:

Post a Comment