Wednesday, January 25, 2017

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 2 (ඔත්සුකරෙ)





ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්.

දෙවෙනි වචනය : ඔත්සුකරෙ


"ඔත්සුකරෙ"කියන එකේ තේරුම "මහන්සියි" කියන එක​.

හැබැයි මේක පාවිච්චි වෙන්නෙ අපි මහන්සියි කියනවට වඩා වෙනස් අරුතකින්.

මේ යෙදුම පාවිච්චි වෙන්නෙ එක විශේෂ අවස්ථාවක සුබ පැතීමක් විදිහට​. ඒ වැඩ ඉවරවෙලා වැඩපොළෙන් නික්මෙන අවස්ථාවේ. එහෙම නැත්නම් මොකක් හරි වැදගත් වැඩක් අවසානයේ.

උදාහරනයකට ඔබ වැඩ ඇරිල ගෙදර යන්න ඔෆිස් එකෙන් පිටත් වෙද්දි යාළුවෙක් ඔබට "ඔත්සුකරෙ" කියල සමු දෙයි. නැත්තනම් වැදගත් මීටින් එකකදි ඔබ හොඳට පර්ෆෝර්ම් කරොත් ඔබේ බොස් ඔබට "ඔත්සුකරෙ" කියල සුබපතයි.

මේ යෙදුම පාවිච්චි වෙන ක්‍රම කීපයක් තියෙනව​

ඔත්සුකරෙ - කෙටි යෙදුම​

ඔත්සුකරෙ දෙස් - ඊට වඩා ටිකක් ෆෝමල්

ඔත්සුකරෙ දෙෂිත - ඒකෙ අතීත කාලය​. තවත් ටිකක් ආචාරශීලී වැඩියි

ඔත්සුකරෙසමා දෙස් - වඩාත්ම බහුලව යෙදෙන විදිහ

ඔත්සුකරෙසමා දෙෂිත - ඒකෙ අතීත කාලය​. වඩාත්ම ආචාරශීලී විදිහ​


ඇයි මේ වැඩ ඉවරවෙලා ගෙදර යද්දි "මහන්සියි" කියන්නෙ?

මේ යෙදුමේ අරුත "ඔබට මහන්සි පාටයි" කියන එක​.

ජපන්නු මේක පාවිච්චි කරන්නෙ "ඔබ අද දවසෙ ගොඩක් මහන්සි වෙලා වැඩ කරල​. ගුඩ් ජොබ්. ඔබ හොඳ කැපවීමෙන් වැඩ කරන දක්‍ෂ පුද්ගලයෙක්" කියන අරුතෙන්.

ජපන් සංස්කෘතියේ ඔවුන් ඉතාමත් ඉහළින්ම අගය කරන දේ තමයි මහන්සි වෙලා වැඩ කරන එක​. මහන්සි වෙලා වැඩ නොකරන පුද්ගලයෙක් සමාජයේ වැදගත් සාමාජිකයෙක් විදිහට සලකන්නෙ නෑ. ඕන රස්සාවක්, වැසිකිළිය පිරිසිදු කිරීමේ ඉඳල මැනේජර් දක්වා, කරද්දි ඒක මහන්සි වෙලා කැපවීමෙන් කරන එක ඉතාමත් උසස් ගුණයක් විදිහට සැලකෙන්නෙ.



ඇත්තෙන්ම යම්කිසිවෙක් වැඩ ඉවරවෙලා ගෙදර යද්දි ඔහු හෝ ඇය වැඩ කරල හෙම්බත් වෙලා නැත්තං ඒක මදි කමක් වගේ.

ඒ නිසා තමයි "ඔබට අද මහන්සි පාටයි" කියල කොම්ප්ලිමන්ට් එකක් දෙන්නෙ.

මේක යොදා ගන්න තව තැනක් තියෙනව​.

ජපානයේ වැඩ ඉවරවෙලා එකට වැඩ කරන සෙට් එක රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල එකට රෑ කෑම ගන්න එක ටිකක් සුලභව කෙරෙන දෙයක්. සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ එහෙම ෆන්ක්‍ෂන් එකක් වැටෙනව​.

ජපන් සංස්කෘතියේ හැටියට ඒ වගේ රෑ කෑමක් එක්ක සකේ හෝ බියර් අනිවාර්‍යයි.

ඉතින් ඒ වගේ වෙලාවට බොන්න කලින් චියර්ස් කියන්නෙ "ඔත්සුකරෙසමා දෙස්" කියල​. ඒ කියන්නෙ "අපි කැපවීමෙන් වැඩ කරා. අපිට මහසියි. ඒ නිසා අපි මේ බියර් එක බොන්න සුදුසුයි" කියන අරුතෙන්.

No comments:

Post a Comment