Wednesday, January 25, 2017

ජපන් සංස්කෘතිය විදහා පාන වචන - 4 (මොත්තයිනයි!)


ජපන් සංස්කෘතිය ගැන අපිට තේරුම් ගන්න උපකාරී වෙන වචන තියෙනව. මේ වචන එදිනෙදා ව්‍යවහාරයේදී ජපන්නු භාවිතා කරන ඒවා. ඒ වචන වල තේරුමෙන් අපිට ජපන්නු හිතන හැටි සහ ඒ හිතන හැටි පදනම් වෙන සංස්කෘතිය ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. 

හතරවෙනි වචනය : මොත්තයිනයි!


මොත්තයිනයි කියන්නෙ ප්‍රකාශනයක් (expression). ඒක "කොයිතරම් නාස්තියක්ද!" කියල පරිවර්තනය කරන්න පුළුවන්.

මේක පාවිච්චි වෙන්නෙ මොකක් හරි දෙයක් නිකරුනේ අපතේ යනකොට. ඒක කෑම වගේ ද්‍රව්‍යමය දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං කාලය වගේ අද්‍රව්‍යමය දෙයක් වෙන්නත් පුළුවන්.

නිකරුනේ කෑම ටිකක් අපතේ යන වෙලාවක ඒ ගැන කණගාටුව සහ කලකිරීම ප්‍රකාශ කරන්න "මොත්තයිනයි!" කියන්න පුළුවන්.

මොත්තයිනයි සංකල්පයේ මුල තියෙන්නෙ ෂින්ටෝ ආගමේ. ෂින්ටෝ ආගමේ කියැවෙන විදිහට ලොකු කුඩා හැම දේකම දෙවියෙක් (දෙවියෙක් කිව්වම සර්වබලධාරී දෙවියෙක් නෙවෙයි - අපේ රුක් දෙවියෙක් වගේ) ඉන්නවා. ජපන් සංස්කෘතියේ යම් කිසි දෙයක් නාස්ති කිරීම අර දෙවියන්ට කරන නිගරුවක් හැටියටයි සලකන්නෙ. ඒ නිසා ඕනම දෙයක් ඉවත දැමීමට පෙර ඒකෙන් පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නයි ජපන්නු උත්සහ කරන්නෙ.


අපි දන්නවා ජපානයේ තියෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක්. ධනවාදය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නෙ භාණ්ඩ පරිහරණය මත. භාණ්ඩ පරිහරණය වැඩි වෙන තරමට ආර්ථිකයට හොඳයි. නමුත් ජපානය මොත්තයිනයි සංකල්පයත් එක්ක ධනවාදයෙන් ඉදිරියට ගිය හැටි අපූරු දෙයක්.

ජපන් සමාජය ගත්තොත්, ඇමරිකන් සමාජයට සාපේක්‍ෂව අධිපරිභෝජන වාදය තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. ඇමරිකන් සමාජයේ වගේ පුළුවන් තරම් භෞතික දේවල් අත්පත් කර ගැනීම ජපන් සමාජයේ උත්කර්‍ෂයට නංවන්නෙ නෑ. ඇත්තෙන්ම ජපානය අධිවේගී ආර්ථික වර්ධනයක් පෙන්වපු 1960-80 කාලයේ ජපානයේ පරිභෝජනය පුළුවන් තරම් අඩු කරල තමයි ඔවුන් විදේශ විණිමය උපයලා තියෙන්නෙ.

අධි පරිභෝජනය වෙනුවට ජපනා ආර්ථිකයට ඉන්ධනය වශයෙන් යොදාගෙන තියෙන්නෙ මහන්සි වී වැඩ කිරීම (ඔත්සුකරෙ මතක ඇති).

නාස්තිය අඩු කරන්න අපූරු උපක්‍රම ජපන්නු පාවිච්චි කරනවා. මම දැකල තියෙනවා එක කාර්‍යාලයක අත හෝදන සින්ක් එකෙන් යන වතුර ටික යන්නෙ වැසිකිළියෙ වතුර ටැංකියට. වැසිකිළිය ෆ්ලෂ් කරන්න පාවිච්චි කරන්නෙ ඒ වතුර. ඒ වගේ පොඩි පොඩි උපක්‍රම ජපානයේ ඕනම තැනක දකින්න පුළුවන්.

මොත්තයිනයි පරිසරය සුරැකීමේ ගෝලීය වැඩසටහනක ආදර්ශපාඨය විදිහට යොදා ගැනෙනවා. ඒක යෝජනා කරල තියෙන්නෙ කෙන්.යානු ජාතික පරිසර වේදිනියක් වන වංගාරි මාතයි මහත්මිය.


හැබැයි - කලින් කියපු වචන වගේ නෙවෙයි, මේ සංකල්පය වර්තමාන ජපන් සමාජයේ ඒ තරම් තදින් පාවිච්චි වෙන්නෙ නෑ. සමහර අවස්ථා වලදී ජපන්නු හිතා ගන්න බැරි තරම් නාස්තිකාරයි.

ලොකු නගර වල සමහර තැන් රාත්‍රී කාලයට දවල් වගේ ආලෝකමත් කරන්න පුදුම විදුලි බල නාස්තියක් කරනවා. ඒ වගේම ජපන්නු කඩදාසි නාස්ති කරන්නත් හරි ආසයි. හැම දේම මෘදු ආකෘතියකින් (සොෆ්ත් ෆොර්මත්) තියෙන අද වගේ කාලෙකත් ඕනම පොඩි දේකටත් ප්‍රින්ටවුට් ගන්න එක ජපන්නුන් ගෙ පුරුද්දක්. ඒ වගේම හැම ප්‍රින්ටවුට් එකකම කොපි දෙක තුනක් ගන්නත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ගොඩක් සුපර් මාකට් වල පැය තියෙන කෑම වර්ග පැය 12කට පස්සෙ ඉවත දානව. ඒ විකුණන කෑම අළුත් පිට තියෙන්න ඕනෙ නිසා. ඒකෙනුත් පුදුම නාස්තියක් වෙන්නෙ.

හැබැයි ආපහු මොත්තයිනයි සංකල්පය ජපන් සමාජයට හඳුන්වාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනව(ලු).


No comments:

Post a Comment