Friday, February 15, 2019

ඇෆ්‍රිකානර් වරුන් ගේ ඉතිහාසය​ - 1 (ලන්දේසි කේප් ජනපදය​)


ඇෆ්‍රිකානර් වරු නමින් හැඳින්වෙන්නේ දකුණු අප්‍රිකාවේ වාසය කරන ජන වර්ගයක්. මොවුන් දකුණු අප්‍රිකාවේ පදිංචි වුනු මුල්ම යුරෝපීයන් වුනු ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත එන පිරිසක්. වර්තමානයේදී දකුණු අප්‍රිකාවේ ඇෆ්‍රිකානර් වරු මිලියන 2.7 ක් සහ අසල්වැසි නමීබියාවෙ 100,000 ක් පමණ ජීවත් වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්තමාන සුදු ජාතික ජනගහණයෙන් 60% පමණ ඇෆ්‍රිකානර් වරු.

ඇෆ්‍රිකානර් වරු මූලික වශයෙන් පැවත එන්නේ ලන්දේසි ජාතිකයන් ගෙන්. ඊට අමතරව ඔවුන්ට ප්‍රංශ​, ජර්මන්, ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් මූලයනුත් තියෙනවා. ඔවුන් කතා කරන්නේ ලන්දේසි බසින් විකාශනය වුනු "ඇෆ්‍රිකාන්ස්" භාෂාව​. ඔවුන් ගේ ආගම මූලික වශයෙන් කැල්වින් වාදී ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය.


මුල්ම යුරෝපීයයෝ


වර්තමාන දකුණු අප්‍රිකාවට ගොඩ බසින් පළමු යුරෝපීයන් වෙන්නේ පෘතුගීසි ජාතික බර්තොලමියු ඩයස් සහ ඔහුගේ නාවික පිරිස. ඔවුන් 1488 දී දකුණු අප්‍රිකාවේ දකුණින් ම පිහිටි තුඩුව වටා යාත්‍රා කරනවා. එහිදී මුහුණ දෙන දරුණු කුණාටු නිසා බර්තොලොමියු ඩයස් එම තුඩුව "කබෝ දස් තොර්මෙන්ටාස්" (කුණාටු තුඩුව​) නමින් නම් කරනවා. නමුත් පසුව පෘතුගාලයේ රජතුමා එය "කබෝ ද බෝඅ එස්පෙරෙන්සා" (යහපත් බලාපොරොත්තුවේ තුඩුව​) ලෙස​ නැවත නම් කරනවා.

පෘතුගීසින් දකුණු අප්‍රිකාව වටා යාත්‍රා කරන නමුත්, එහි නැවතී ස්ථිර වාසස්ථාන බිහි කිරීමට ඔවුන් උනන්දු වෙන්නේ නෑ. ඔවුන් ගේ ඉලක්කය වෙන්නේ ඉන්දියාව​. මේ නිසා 16 වැනි සියවස පුරාවටම දකුණු අප්‍රිකාව යුරෝපීයන් ගේ බලපෑමට හසු වෙන්නේ නෑ.

මේ තත්වය වෙනස් වෙන්නේ නෙදර්ලන්තය​ තම අවධානය පෙරදිග වෙළඳාමට යොමු කිරීමත් සමඟම​.


ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගම


නෙදර්ලන්තය පෙරදිග වෙළඳාමට අවතීර්න වෙන්නේ කෙලින්ම රාජ්‍යය මැදිහත් වීමක් හරහා නෙවෙයි. ඒ වෙනුවට නෙදර්ලන්තයේ ධනවත් වෙළන්දන් විසින් 1602 දී පිහිටුවා ගන්නා "වෙරීනිෂ ඕස්ට්-ඉන්ඩීෂ කොම්පඤ්ඤී" (ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගම​) නම් සමාගමක් හරහා ඔවුන් පෙරදිග රටවල වෙළඳාමට අත ගහනවා.

ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගමේ ධජය​
ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගමේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වෙන්නේ බතාවියා නගරය (වර්තමාන ජකර්තා) මුල් කරගත් ඉන්දුනීසියානු දූපත්. මීට අමතරව ඔවුන් ඉන්දියාව​, ලංකාව​, ජපානය​, තායිවානය​, මැලේසියාව සහ වියට්නාමය සමඟත් වෙළඳ කටයුතු වල යෙදෙනවා. 1650 පමණ වන විට පෙරදිග පෘතුගීසි බලය බිඳ හෙලලා පෙරදිග වෙළඳාම සම්පූර්නයෙන්ම තමාගෙ අතට ගන්න ඔවුන් සමත් වෙනවා.

යුරෝපයේ සිට පෙරදිග බලා කෙරුනු මුහුදු ගමන ඉතා දිගු එකක්. මේ නිසා ලන්දේසින්ට තම නැව් අළුත්වැඩියා කරන්න​, රෝගී වුනු නැවියන්ට ප්‍රතිකාර ලබන්න සහ කෑම සහ වතුර ලබාගන්න අතරමැදි නවාතැන් පොළක අවශ්‍යතාවය තදින්ම දැණුනා. ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ ගමනේ හරි මැද පිහිටි යහපත් බලාපොරොත්තුවේ තුඩුව.

1652 දී "යාන් වැන් රීබියෙක්" ගේ නායකත්වයෙන් යුතු නාවුක පිරිසක් දකුණු අප්‍රිකාවට ගොඩ බසින්නේ ඒ අනුව​.

යාන් වැන් රීබියෙක්

ලන්දේසි කේප් ජනපදය​ (කාප්කොලෝනී) - Dutch Cape Colony 


1652 දී යාන් වැන් රීබියෙක් ගෙ නායකත්වයෙන් යුත් 90 ක ලන්දේසින් පිරිසක් නැව් 5 කින් යහපත් බලාපොරොත්තුවේ තුඩුව අසලට ගොඩ බසිනවා. ඔවුන් ගේ අරමුණ වෙන්නෙ නෙදර්ලන්තයේ සිට පෙරදිග බලා සහ ආපසු ගමන් කරන ලන්දේසි පෙරදිග​-ඉන්දියා වෙළඳ සමාගමට අයත් නැව් වලට ආධාර කරන්න පුළුවන් ස්ථිර ජනාවාසයක් පිහිටුවීම​.


ඔවුන් වර්තමාන කේප්ටවුන් පිහිටි ස්ථානයේ ලී සහ මැටි වලින් බලකොටුවක් හදලා ඒ අවට පදිංචි වෙනවා. ජනාවාසය හඳුන්වන්නේ "කාප්කොලෝනී" නමින්. 

ජනාවාසයේ අරමුණ නැව් වලට ආහාර පාන සැපයීම නිසා විශාල ජනගහණයක් හෝ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන් දකින්නේ නෑ. මේ නිසා බලකොටුව අවට ප්‍රදේශයෙන් පිටතට ව්‍යාප්ත වීමක් සිදු වෙන්නේ නෑ.

මේ මුල් ජනපදිකයන් සියල්ලෝම වෙළඳ සමාගමෙන් වැටුප් ලබන සේවකයන්. මේ නිසා ඔවුන් ක්‍රියා කලේ වෙළඳ සමාගමේ අණ අනුව පමණයි. මේ නිසා මුල් කාලීන ජනපදය ප්‍රමානයෙන් කුඩා එකක් වුනා. ඇත්තෙන්ම මුල් කාලයේ ජනපදයේ නායකයාට ලබා දුන් තනතුර වුනේ ලන්දේසි වෙළඳ සමගමේ බලකොටුවක අණදෙන නිලධාරියාට හිමි තනතුර​. එයින් පැහැදිලි වෙනවා ඔවුන් ජනපදය සැලකුවේ බලකොටුවක් විදිහට බව​.

මේ කාලයේදී කේප් ප්‍රදේශය අවට ස්වදේශික ගෝත්‍ර දෙකක් වාසය කලා. ඒ සාන් ගෝත්‍රිකයන් (බුෂ්මෙන්) සහ කොයිකොයි ගෝත්‍රිකයන් (හොටෙන්ටොට්). අවට ප්‍රදේශය එතරම් සාරවත් භූමියක් නොවුනු නිසා මේ ස්වදේශික ජනගහණය 15,000 ක පමණ කුඩා අගයක් වුනා. මේ අය සංචාරක දිවි පෙවෙතක් ගත කළා. සාන් වරු දඩයමින් සහ කොයිකොයි වරු එඬේරන් වශයෙන් ජීවිකාව පවත්වාගෙන ගියා. ඔවුන්ට ශක්තිමත් මධ්‍ය පාලනයක් සහිත රාජ්‍යයක් තිබුනේ නෑ.

කොයිකොයි ගෝත්‍රිකයන්
මුල් කලයේ ජනපදිකයන් විශාල වශයෙන් ගොවිතැනේ යෙදුනේ නෑ. ඔවුන් බලකොටුව අවට කුඩා ගොවිබිම් පිහිටුවා ගත් අතර, කොයිකොයි ගෝත්‍රිකයන් ගෙන් හරක් මිලදී ගත්තා. නමුත් වසර කීපයක්ම සාගතයට මුහුණ දීම නිසා ගොවිතැන් කිරීමේ වැදගත් කම වටහා ගත්ත වෙළඳ සමාගම 1671 දී ජනපදිකයන් නව දෙනෙක් සමාගමේ සේවයෙන් මුදාහැරලා ඔවුන්ට ගොවිතැන් කිරීම සඳහා ඉඩම් ලබා දෙනවා. මේ ඉඩම් මිලදී ගන්නේ කොයිකොයි ගෝත්‍රිකයන් ගෙන්. ඔවුන් තමයි කේප් කොලනියේ පලමු නිදහස් පුරවැසියන්. මේ අය ලන්දේසි බසින් හැඳින්වුනේ "නිදහස් පුරවැසියන්" යන අරුත දෙන "ව්‍රීජ්බර්ගර්" හෝ "පුරවැසියන්" කියන අරුත දෙන "බර්ගර්" කියන නමින්.

නිදහස් පුරවැසියන් ගොවිතැනෙන් ලබන සාර්ථකත්වය නිසා ඔවුන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙනවා. ඊළඟ අවුරුද්ද වෙද්දි කේප් කොලනියේ වාසය කරන නිදහස් ගොවියන් ගණන 64 දක්වා ඉහළ යනවා. ඒ එක්කම වෙළඳ සමාගමේ සේවය කරලා සේවා කාලය අවසන් කළ සේවකයන් ජීවිකාව සඳහා නැවත නෙදර්ලන්තයට යාම වෙනුවට කේප් කොලනියේ පදිංචි වීම තෝරා ගැන්න පටන් ගන්නවා. මේ නිසා කේප් කොලනියේ ජනගහණය ක්‍රමයෙන් ඉහළ යනවා.

ගොවිබිම් ප්‍රමානය ඉහළ යාමත් එක්කම ඒවායේ සේවය කිරීම සඳහා වෙළඳ සමාගම විසින් වහලුන් රැගෙන එනවා. මේ වහලුන් ගේන්නේ ඉන්දියාව​, ඉන්දුනීසියාව සහ නැගෙනහිර අප්‍රිකාවෙන්. 

ලන්දේසින්ට දාව වහල් සහ ස්වදේශික කාන්තාවන් ගෙන් උපත ලබන මිශ්‍ර වාර්ගික දරුවන් කේප් කොලනියේ වෙනම සමාජ ස්ථරයක් බවට පත්වෙනවා. ලන්දේසින් මොවුන් හඳුන්වන්නේ "කේප් කලර්ඩ්" යන නමින්.

1687 දී ජනපදයේ ජනගණය සමන්විත වෙන්නේ වෙළඳ සමාගමේ සේවකයන් 300 ක්, නිදහස් පුරවැසියන් 254 ක්, නිදහස් පුරවැසියන් ගේ ළමුන් 231 ක්, මිශ්‍ර වාර්ගිකයන් සහ වහලුන් ගෙන්.

ජනපදිකයන් ක්‍රමයෙන් රට අභ්‍යන්තරයට ව්‍යාප්ත වීමත් සමඟම කොයිකොයි ගෝත්‍රියන් සහ ඔවුන් අතර ගැටුම් ඇති වෙනවා මේ ගැටුම් සහ සරම්ප වසංගත නිසා කොයිකොයි වරුන් ගෙන් විශාල ප්‍රමානයක් මිය යනවා ඉතිරි වෙන අය ජනපදිකයන් සඳහා වැටුපට හරක් ඇති කිරීමට යොමු වෙනවා.

1688 දී ජනපදයේ වැදගත් වෙනසක් සිදු වෙනවා. ඒ යුරෝපයේ ඉඳලා ලන්දේසි නොවන ජනයාගේ සංක්‍රමනයක් සිදු වීමෙන්. මේ අය අතරින් ප්‍රධාන වෙන්නේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන ප්‍රංශ ජාතිකයන්. මේ අය ප්‍රංශයේ කතෝලික රජයෙන් තමාට සිදුවෙන අසාධාරනකම් නිසා රටහැර පලා ගිය අය​. ඒ එක්කම ප්‍රොතෙස්තන්ත ආගම අදහන ජර්මන්, ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් ජාතියනුත් කේප් කොලනියේ පදිංචියට එනවා. මේ අය ලන්දේසින් එක්ක මිශ්‍ර වෙමින් නව සංස්කෘතියක් බිහි කරනවා.

ඒක ලන්දේසි සංස්කෘතිය මත පදනම් වෙන​, ඒත් ඊට වඩා වෙනස් සංස්කෘතියක්. ඔවුන් ගේ භාෂාව ලන්දේසි භාෂාවෙන් වෙනස් වෙන්නේ ප්‍රංශ​, ජර්මන් සහ ස්වදේශීය වචන සහ භාෂා රීතින් එක් වීමෙන්. ඔවුන් ගේ ආගම වෙන්නේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය​. යුරෝපයේදී අනෙකුත් ක්‍රිස්තියානින් ගෙන් පීඩා විඳින්න සිදු වීම නිසා ඔවුන් දැඩි ආගම් භක්තියකින් යුක්ත වෙනවා. ඒ වගේම වහල් ශ්‍රමය මත රඳා පැවතුනු ආර්ථිකය නිසා ඔවුන් කළු ජාතියකන් පිළිබඳ ඇති කරගන්නේ පහත් හැඟීමක්.

1691 වන විට ජනපද වැසියන් ගෙන් 67% ක් ලන්දේසින් වුනු අතර​, 17% ක් ප්‍රංශ, 14% ක් ජර්මන් සහ ඉතුරු 2% ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් ජාතිකයන් වුනා.

1691 දී වර්ධනය වන ජනගහණය හමුවේ වෙළඳ සමාගම කේප් ජනපදයට ජනපදයක තත්වය නිල වශයෙන් ලබා දෙනවා. ඒ එක්කම ජනපදයේ නායකයා ගේ තනතුර "ආණ්ඩුකාරයා" වශයෙන් වෙනස් කෙරෙනවා.

නිල වශයෙන් ජනපදයක් බවට පත් වීමත් සමඟම​​ කේප් බලකොටුව අවට කුඩා ප්‍රදේශයකට සීමා වුනු ජනපදය රට අභ්‍යන්තයට පැතිරෙනවා.


මේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වෙන්නේ වෙළඳ සමාගමේ දැඩි පාලනය. ගොවියන්ට තමාගේ අස්වැන්න විකුණන්න අවසර තිබුනේ වෙළඳ සමාගමට පමණයි. මේ වෙළඳ ඒකාධිකරය නිසා ඔවුන්ට වෙළඳ සමාගම ඉල්ලා සිටින බෝග වගා කරන්නත්, ඒවා වෙළඳ සමාගම නියම කරන මිලට විකුණන්නත් සිදු වුනා. සමාගමේ දැඩි පාලනයෙන් මිදීම සඳහා ඔවුන් සමාගමේ බලය අඩු වුන අභ්‍යන්තර ප්‍රදේශ වලට සංක්‍රමනය වුනා.

මේ රට ඇතුලට සංක්‍රමනය වුනු නිදහස් කාමී ජනපදිකයන් හැඳින්වුනේ "ගොවියන්" කියන අරුත ඇති "බෝයර්" කියන යෙදුමෙන්. බෝයර් වරු රට අභ්‍යන්තරයේ නගර සහ ජනාවාස බිහි කරා. මේ ජනාවාස නිල වශයෙන් කේප් කොලනියට අයත් වුනත්, ඇත්තෙන්ම ඒවා කෙරෙහි පැවති සමාගමේ බලය අවම වුනා.


ඇෆ්‍රිකානර් අනන්‍යතාවය


1700 පමණ වනවිට ජනපදයේ යුරෝපයෙන් සංක්‍රමනය වුනු පිරිසට වඩා හිටියේ ජනපදයේ උපත ලැබූ අය​. මේ නිසා ජනපදිකයන් අතර යුරෝපීය අනන්‍යතාවය අභිබවා ස්වාධීන අනන්‍යතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔවුන් තමන් ගැන හිතුවේ ලන්දේසින්ට වඩා කේප් ජනපද වාසීන් විදිහට​. ඔවුන් තමාව හඳුන්වා ගන්න "අප්‍රිකානුවා" කියන අරුත ඇති "ඇෆ්‍රිකානර්" කියන යෙදුම භාවිතා කලා. ඔවුන් ගේ භාෂාව හැඳින්වුනේ "ඇෆ්‍රිකාන්ස්" කියලා.


බ්‍රිතාන්‍ය ආක්‍රමනය​


1795 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර යුද්ධයක් ඇති වෙනවා. නෙදර්ලන්තය බ්‍රිතාන්‍යයේ මිතුරෙක් වන නිසා ප්‍රංශය නෙදර්ලන්තය ආක්‍රමනය කරලා එහි ඔවුන්ට අවනත "බතාවියා ජනරජය​" නම් රජයක් පිහිටුවනවා.

ප්‍රංශ හමුදාවලින් තමාගේ යටත් විජිත වලට ඇති වෙන්න පුළුවන් තර්ජනය මැඩ පැවැත්වීමේ අරමුණෙන් බ්‍රිතාන්‍යය විසින් ලන්දේසි පෙරදිග​-ඉන්දියා වෙළඳ සමාගමට අයත් ජනපද ආක්‍රමනය කරනවා (ලංකාවේ ලන්දේසි පාලනය අවසන් වෙන්නේ මේ හේතුව නිසා). ඒ අනුව 1795 දී බ්‍රිතාන්‍යය හමුදාව කේප් කොලනියට ගොඩ බැහැලා එය අල්ලා ගන්නවා.

තමාගේ ජනපද වලින් වැඩි හරියක් බ්‍රිතාන්‍යයට යටත් වීම නිසා වෙළඳ සමාගම බිඳ වැටෙනවා. ඔවුන් 1798 දී සමාගම විසුරුවා හැරලා ඉතුරු ජනපද බතාවියා ජනරජයට පවරා දෙනවා.

1803 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර සාම ගිවිසුමක් ඇති වෙනවා. මේ ගිවිසුමේ කොන් දේසි වලට අනුව බ්‍රිතාන්‍යයන් කේප් කොලනිය බතාවියා ජනරජයට පවරා දෙනවා.

නමුත් මේ සාමය වැඩි කල් පවතින්නේ නෑ. 1805 දී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය නැවතත් යුධ වදිනවා. 1806 දී බ්‍රිතාන්‍යය හමුදාව නැවතත් කේප් කොලනිය ආක්‍රමනය කරනවා.

බ්ලාවුබර්ග් හිදී 5000 ක බ්‍රිතාන්‍යය හමුදාවට එරෙහිව 2000 ක ජනපදිකයන් ගෙන් සමන්විත හමුදාවක් සටන් වදිනවා. මේ සටනින් බ්‍රිතාන්‍යයන් පහසුවෙන්ම ජය ලබනවා ඒ එක්කම ලන්දේසි ආණ්ඩුකාරයා ජනපදය බ්‍රිතාන්‍යයට යටත් කරනවා.

මේ තමයි ලන්දේසි කේප් ජනපදයේ අවසානය​. මෙතැන් සිට ජනපදය පාලනය වෙන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිතයක් විදිහට​.

1 comment: