Sunday, March 25, 2018

Jack the Ripper - 3


ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම​) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද​? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියන​ ප්‍රශ්න අදටත් අභිරහසක්.

ඒත් මේ කතාව ජැක් ගැන​(ම​) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ජීවිතය ගැන නියම අවබෝධයක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමාජයෙන් කොන් වුන මිනිස් දූවිලි කිව්වොත් නිවැරදියි.

පටන් ගන්න හොඳම තැන තමයි ජැක් අතින් මිය ගිය​ කාන්තාවන් පස් දෙනා. මේ පස් දෙනාම ගණිකාවන්. ඒ වගේම අන්ත දුගී අය​.

ජැක් ගේ තුන් වෙනි ගොදුර එළිසබෙත් ස්ට්‍රයිඩ්.

එළිසබෙත් ස්ට්‍රයිඩ් 1872 දී
 එලිසබෙත් උපත ලබන්නේ 1843 නොවැම්බර් 27 වෙනිදා ස්වීඩනයේ ටෝර්ස්ලන්ඩා දිස්ත්‍රික්කයේ. ඇගේ මව්පියන් ඇයට දෙන නම එළිසබෙත් ගුස්ටාෆ්ස්ඩොටර්. ඇගේ පියා  ගොවියෙක්.

1860 දී ඇය ගොතෙන්බර්ග් දිස්ත්‍රික්කයේ ගෘහ සේවිකාවක් විදිහට සේවයට යනවා. එහිදී ඇය මුල් වරට ගණිකා වෘත්තියට යොමු වෙනවා. 1865 වෙද්දි ඇය ගණිකාවක් විදිහට පොලිසිය විසින් හඳුනාගන්නා අතර​, ඒ වෙද්දි ඇය සමාජ රෝග සඳහා දෙවරක් ප්‍රතිකාර ලබලා තියෙනවා. 1865 අප්‍රේල් මාසයේදී ඇය දියණියක් ප්‍රසූත කරනවා. නමුත් බිළිඳිය උපතේදීම මිය ගිහින්.

1866 ජූලි 10 වෙනිදා ඇය ලන්ඩනයේ පදිංචියට එනවා. ඒ ගෘහ සේවිකාවක් විදිහට​.

1869 දී එළිසබෙත් නැව් වඩුවෙක් වන ජෝන් ස්ට්‍රයිඩ් සමඟ විවාහ වෙනවා. ඔවුන් දෙදෙනා ලන්ඩනයේ පොප්ලර් වීදියේ කෝපි කඩයක් පවත්වාගෙන යමින් ජීවිකාව කරගන්නවා. මේ විවාහයෙන් එළිසබෙත් ට දරුවන් නෑ. 1877 දී ඔවුන් වෙන්වෙන අතර  එතැන් සිට එළිසබෙත් ජීවත් වෙන්නේ පොප්ලර් වැඩ නිවාසයේ (work house).

මේ කාලයේ එංගලන්තයේ "වැඩ නිවාස" (Work House) ලෙස හැඳින්වුන ආයතන තිබුනා. මේ ආයතන වල දුප්පත් අයට ආහාර, ඇඳක් සහ ලෙඩ වූ විට බෙහෙත් ලබා දුන් අතර​, ඒ වෙනුවෙන් ඔවුන් ගෙන් කම්කරු ශ්‍රමය ලබා ගත්තා.

පොප්ලර් වැඩ නිවාසය

1884 දී ජෝන් ස්ට්‍රයිඩ් ටර්බකියුලෝසිස් රෝගය වැළඳීමෙන් මරණයට පත් වෙනවා. නමුත් එළිසබෙත් පසු කාලීනව තමාගේ විවාහය ගැන කියන්නෙ වෙනස් කතාවක්. ඇය පවසන විදිහට ඇයට දරුවන් දෙදෙනක් සිටි අතර​, සැමියා සහ දරුවන් දෙදෙනා තේම්ස් නදියේ සිදුවූ නැව් අනතුරකින් දියේ ගිලී මරණයට පත් වෙනවා. එහිදී ඇති වන කලබලයේදී කෙනෙක් පයින් ගැසීම නිසා ඇගේ හක්කට තුවාල සිදු වෙනවා. සමහර විට ඇය මේ බොරු කතාව ගොතන්න ඇත්තේ අනුකම්පාව දිනා ගන්න​.

1881 දී ඇය වයිට්චේපල් දිස්ත්‍රික්කයට එනවා. එහිදී ඇගේ නවාතැන්පල වෙන්නේ ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ ලැගුම්හල​. 1881 දෙසැම්බර් මාසයේදී ඇයට බ්‍රොන්කයිටිස් රෝගය වැළඳෙනවා.

ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ ලැගුම්හල
1885 දී ඇයට හමුවෙනවා වරාය කම්කරුවෙක් වන මයිකල් කිඩ්නි. ඇගේ මරණය තෙක්ම ඔවුන් දෙදෙනා පෙම්වතුන් විදිහටයි ජීවත් වෙන්නේ. නමුත් ඔහු සමඟ ඇය නොයෙක් අවස්ථා වල අඬ දබර ඇති කර ගන්නවා. ඔවුන් දෙදෙනාම විටින් විට බීමත් කම​, කලකෝලහාල ඇති කරගැනීම සහ ප්‍රසිද්ධියේ අසැබි වදන් භාවිතා කිරීම යන චෝදනා වලට නීතිය ඉදිරියට පමුණුවනවා.

එළිසබෙත් මේ වෙද්දි සමහර අවස්ථා වල කිඩ්නි ගේ ඩෝර්සට් වීදියේ තිබූ කාමරයේත්, ඔහුත් සමඟ අමනාප වූ අවස්ථා වලදී ලැගුම් හලේත් නවාතැන් ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඇය ජීවිකාව කරගන්නේ මැහුම් ගෙතුම් වලින්, ගෙවල් ශුද්ධ කිරීමෙන් සහ ගණිකා වෘත්තියේ නියැලීමෙන්. ඊට අමතරව ඇය ලන්ඩනයේ ස්වීඩන් පල්ලියෙන් සහ කිඩ්නි ගෙන් මුදල් ආධාර ලබා ගත්තා.

1888 දි එළිසබෙත් ගෙ වයස අවුරුදු 45 ක්. ඇගේ උස අඩි 5 අඟල් 5 ක්. කාලයේ සහ ඇය ජීවත් වූ මන්ද පෝෂනයෙන් පිරුනු දුප්පත් වටපිටාවට අනුව මේක සෑහෙන උසක්. ඒ නිසා ඇය හැඳින්වුන සුරතල් නාමය "ලෝං ලිස්" (උස ලිස්). ඇගේ සම සුදුමැලි පාටයි. හිස කෙස් දුඹුරු පාටයි. ඒවා කැරලි ගැහිලා. ඇස් ලා අළු පාටයි. ඇගේ යට ඇන්දේ දත් එකක් වත් තිබුනේ නෑ. ඇයට ස්වීඩිෂ්, ඉංග්‍රීසි සහ යිඩිෂ් භාෂා තුනම කතා කිරීමේ හැකියාව තිබ්බා.

සැප්තැම්බර් 28 වෙනිදා -
සමාජ සේවකයෙක් වන දොස්තර බර්නාඩෝ ෆ්ලවර් ඇන්ඩ් ඩීන් වීදියේ ලැගුම්හලට එනවා. එහි කුස්සියේ කාන්තාවන් පිරිසක් ඇනී චැප්මන් ගේ මරණය ගැන කතා කරමින් ඉන්නවා. දොස්තර තෝමස් දකිනවා එක් කාන්තාවක් කෝපයෙන් කෑ ගහනවා. "අපි කාටවත් යහපතක් වෙන්නෙ නෑ. අපිට මොනා වුනත් කාටවත් ගානක් නෑ. සමහරවිට ඊළඟට මැරෙන්නෙ අපි කවුරුහරි වෙන්න පුළුවන්." ("We're all up to no good, no one cares what becomes of us! Perhaps some of us will be killed next!"). ඒ එළිසබෙත්.

සැප්තැම්බර් 29 වෙනිදා -
සුළං සහ වැසි සහිත දවසක්. .එළිසබෙත් ලැගුම් හලේ කාමර දෙකක් ශුද්ධ පවිත්‍ර කරනවා. ඒ වෙනුවෙන් ඇයට ලැගුම්හල් පාලිකාවක් වන එළිසබෙත් ටැනර් පැන්ස හයක් ගෙවනවා.

සවස 6.30 -
එළිසබෙත් ටැනර් "රැජිණගේ හිස" (Queen's Head) තැබෑරුමට යනවා. එහිදී ඇයට එළිසබෙත් ස්ට්‍රයිඩ් හමුවෙනවා. එළිසබෙත් ලා දෙන්නා මත්පැන් පානය කරනවා. ටැනර් ආපහු ලැගුම්හලට ඇවිදගෙන එනවා.

"රැජිණගේ හිස"
සවස 7:00 - 8:00 -
ලැගුම්හලේ වාසය කරන එළිසබෙත් ගේ මිතුරන් වන චාල්ස් ප්‍රෙස්ටන් සහ කැතරින් ලේන් දකිනවා ඇය ලැගුම්හලේ ඉඳලා එළියට බහිනවා. එළිසබෙත් කැතරින්ට විශාල කොළ පාට වෙල්වට් රෙදි කඩක් දීලා අපහු ඇය එනකං ඒක තියා ගන්න කියනවා. ඇය ප්‍රෙස්ටන් ගෙන් ඇඳුම් පිස දමන බුරුසුවක් ඉල්ලනවා. නමුත් ප්‍රෙස්ටන් ගේ බුරුසුව නැතිවෙලා. ඇය එළියට යද්දී ලැගුම්හලේ මුරකරු වන තෝමස් බේට්ස් ට ටැනර් දුන්නු පැන්ස හය පෙන්වනවා.

රාත්‍රී 11:00 -
කම්කරුවන් දෙදෙනෙක් වන ජේ. බෙස්ට් සහ ජෝන් ගාඩ්නර් සෙට්ල්ස් වීදියේ පිහිටි "පෙදරේරුවාගේ අත්" (Bricklayer's Arms) තැබෑරුමට ඇතුල් වෙනවා. එතකොට ඔවුන් දකිනවා එළිසබෙත් මිටි මිනිහෙක් සමඟ තැබෑරුමෙන් එළියට බහිනවා. ඒ මිනිහා උඩු රැවුලක් සහිත​, රවුම් තොප්පියක් පැළඳි හොඳින් හැඳ පැළඳි අයෙක්. ඒ මොහොතේ තරමක් තද වැස්සක් වැටෙමින් තිබෙන නිසා ඔවුන් දොරකඩ රැඳී ඉන්නවා. එහිදී ඒ පුද්ගලයා එළිසබෙත් ව සිප වැළඳගන්න පටන් ගන්නවා. ප්‍රසිද්ධ තැනක ඒ විදිහට සිප වැළඳ ගැනීම ගැන බෙස්ට් සහ ගාඩ්නර් පුදුමයට පත් වෙනවා. ඔවුන් එළිසබෙත්ට සහ ඇගේ "මිතුරාට​" අඩියක් ගහන්න ආරාධනා කලත් ඔහු එය ප්‍රතික්‍ෂේප කරනවා. "ඔය උඹේ ඇඟේ එතෙන්නේ සම් ඒප්‍රනය" (That's Leather Apron getting 'round you.) කම්කරුවන් දෙන්නා එළිසබෙත්ට විහිළු කරනවා. ටික වෙලාවකින් එළිසබෙත් සහ මිතුරා බර්නර් වීදියට දිහාවට වේගයෙන් ඇවිදගෙන යනවා.

("සම් ඒප්‍රනය​" කියන්නේ මේ වනවිට ලන්ඩන් වැසියන් ජැක් ද රිපර් ට පටබැඳ තිබූ නම​)

"පෙදරේරුවාගේ අත්"
රාත්‍රී 11:45 -
කම්කරුවෙක් වුනු විලියම් මාෂල් බර්නර් වීදියේදී එළිසබෙත් සහ මිනිහෙක් සිප ගනිමින් ඉන්නවා දකිනවා.

රාත්‍රී 12:35 -
පොලිස් කොස්තාපල් විලියම් ස්මිත් දකිනවා එළිසබෙත් දඩයම් තොප්පියකින් සහ කබායකින් සැරසුන තරුණයෙක් එක්ක බර්නර් වීදියේ "කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව" ඉදිරිපිට ඉන්නවා. තරුණයා අතේ අඩි එකහමාරක් විතර දිග පත්තර කඩදාසි වලින් එතූ පාර්සලයක් තියෙනවා.

"කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව" කියන්නේ කම්කරුවන් ගේ සමාජවාදී සමාජයක්. එහි 200 කට පමන අසුන් ගන්න පුළුවන් ශාලාවක් තිබ්බා. මේ ශාලාවේ වැඩිපුරම පැවැත්වුනේ සමාජවාදී තේමාවන් සහිත නාට්‍යය​. බොහෝ විට මේ නාට්‍යය රඟදැක්වුනේ රුසියන් නාට්‍යය කන්ඩායම් විසින්.

රාත්‍රී 12:45 -
හංගේරියානු යුදෙව්වෙක් වන ඊශ්‍රායෙල් ෂ්වාට්ස් බර්නර් වීදිය දිගේ ගමන් කරමින් ඉන්නවා. ඔහු දකිනවා "කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව" අසල කාන්තාවක් සහ පිරිමියෙක් ඉන්නවා. එක පාරටම මිනිහා කාන්තාව තල්ලු කරනවා. ඇය බිම ඇදවැටෙනවා. කාන්තාව තුන් වරක් හෙමින් කෑගහනවා. බියපත් වෙන ෂ්වාට්ස් පාරේ අනික් පැත්තට පනිනවා. එතකොට ඔහු දකිනවා පාරේ ඒ පැත්තේ තවත් මිනිහෙක් පයිප්පයක් උරමින් ඉන්නවා. කාන්තාවට පහරදුන් මිනිහා "ලිප්ස්කි" කියා කෑගහනවා (ලිප්ස්කි කියන්නේ යුදෙව්වන් හැඳින්වුන අපහාසාත්මක නමක්). ෂ්වාට්ස් පය ඉක්මන් කරමින් එතැනින් යන්න හදනකොට ඔහු දකිනවා පයිප්පයක් උරමින් සිටි මිනිහා ඔහු පසුපස එන බව​. බියපත් වෙන ෂ්වාට්ස් එතැනින් දුවනවා.

බර්නර් වීදිය​.කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව තිබුනේ උස ගොඩනැගිල්ලේ.
 රාත්‍රී 1:00 -
කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාව සහ හස්ත කර්මාන්ත ශිල්පීන් වාසය කළ කුඩා නිවාස අතර තිබූ අඩි නවයක් පළල කුඩා අංගනය හැඳින්වුනේ "ඩුට්ෆීල්ඩ් ගේ අංගනය" (Dutfield's Yard) නමින්. එහි ඉස්තාලයක්, අශ්ව කරත්ත හදන වැඩපොළක් සහ ගෝනි හදන වැඩපොළක් පිහිටා තිබුනා.

ආභරණ වෙළෙන්දෙක් වුන ලුයිස් ඩියෙම්‍ෂුට්ස් තමාගේ අශ්ව කරත්තය ඩුට්ෆීල්ඩ් ගේ අංගනයට ඇතුල් කරනවා. ඒත් පෝනියා අංගනයට ඇතුල් වීම ප්‍රතික්‍ෂේප කරනව​. එතැන කට්ට කළුවර නිසා ලුයිස් තමාගේ කසයෙන් පාර පිරික්සලා බලනවා. ඔහුගේ කසයට අහුවෙනවා පාර හරහට වැටිල තියෙන සිරුරක්. ඔහු හිතන්නේ ඒ බීමත් ව වැටිල ඉන්න පුද්ගලයෙක් කියලා.

ඩුට්ෆීල්ඩ් ගේ අංගනය​
ලුයිස් කම්කරුවන් ගේ අධ්‍යාපනික සමාජශාලාවට ගිහින් "බීමත් පුද්ගලයා" නැගිට්ටුවන්න උදව් ඉල්ලනවා. අයිසැක් කොසෙබ්‍රොඩ්ස්කි සහ මොරිස් ඊගල් ඔහු ගේ උදව්වට එනවා. නමුත් ඔවුන් දකින්නේ ඒ ගෙල කපා මරාදැමූ කාන්තාවක් බව​.

මිය යනවිට එළිසබෙත් ඇඳගෙන හිටියෙ මේ දේවල්:

1. රතු රෝස මලක් ගහපු කළු දිග කබායක්
2. කළු සායක්
3. කළු බොනට් තොප්පියක්
4. වම් පැත්තෙන් ගැටයක් දැමූ කොටු වැටුන ස්කාෆ් එකක්
5. තද දුඹුරු පාට වෙල්වට් අත් නැති හැට්ටයක් (bodice)
6. සැහැල්ලු යටගවුම් දෙකක් (petticoat)
7. සුදුපාට රාත්‍රී ගවුමක් (chemise)
8. සුදුපාට දිග මේස් (stockings)
9. ඉලාස්ටික් පැති සහිත බූට්ස් සපත්තු (spring sided boots)

ඇය ගේ සිරුර සමඟ පහත දේ තිබිල තියෙනවා:
1. අත් ලේන්සු දෙකක්
2. දිදාලයක් (thimble)
3. කාඩ්බෝඩ් කැබැල්ලක එතූ වූල් නූලක්
4. යතුරක්
5. කුඩා ඊයම් පැන්සලක්
6. ලොකු බොත්තම් 6 ක් සහ කුඩා බොත්තමක්
7. පනාවක්
8. කැඩුනු පනාවක කෑල්ලක්
9. ලෝහ හැන්දක්
10. ඇඳුම් වලට අල්ලන කුඩා කොක්කක්
11. කපු රෙදි කඩක් (muslin)
12. කඩදාසි කැබලි දෙකක්


ඇගේ සිරුර වැටිල තියෙන්නෙ හිස අංගනය ඇතුලටත් දෙපා වීදිය පැත්තටත් වෙන විදිහට​. දකුණු අත බඩ උඩින්. මරණ පරීක්‍ෂනය කරන විටත් ඇගේ මුහුණ සහ දෙපා උණුසුම්. දෑත් විතරක් ශීතල වෙලා. ඇගේ බෙල්ලේ අඟල් හයක් දිග ගැඹුරු කැපුමක්. 


එළිසබෙත් ස්ට්‍රයිඩ් ගේ මළ සිරුර​
වෙනත් මරණවලදී වගේ සිරුර විකෘති කර නොතිබූ නිසා විශ්වාස කරන්නේ මිනීමරුවා ඇගේ ගෙල කැපූ වහාම ලුයිස් ගේ අශ්ව කරත්තය අංගනයට ඇතුල් වූ බව​. ලුයිස් කසයෙන් පාර පිරික්සා බලද්දිත් මිනීමරුවා ඒ අසල සිටි බවත්, ඔහු උදව් ඉල්ලීමට ගිය අවසරයෙන් එතැනින් පැන ගිය බවත් විශ්වාස කෙරනවා.

1888 ඔක්තෝබර් 6 වෙනිදා ඊස්ට් ලන්ඩන් සුසාන භූමියේදි එළිසබෙත් ගේ අවසන් කටයුතු සිදු කෙරෙනවා.


1 comment: