Friday, September 28, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 71 (හව්වා දීදී)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හව්වා දීදී

(සත්‍ය කතාවකි)

එකෝමත් එක කාලෙක ෆුවා මුලාකු දූපතේ බොහෝම ලස්සන තරුණියක් වාසය කළා. ඇගේ නම "හව්වා දීදී". ඇය විවාහ වෙලා ඇගේ තරුණ සැමියත් එක්ක ඉතාම සතුටින් වාසය කළා. ඇයට පොඩි පුතෙක් හිටියා. හව්වා දීදී ඉතාම දක්‍ෂ සකසුරුවම් ඇති ගෘහණියක්. මේ නිසාම ඇගේ ගෙදර කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ. ඇගේ සැමියා ඇයට බොහෝම ආදරය කළා.

එක දවසක් ඇය කුස්සියේ උයනකොට අසල්වැසි කාන්තාවක් අඩුපාඩුවක් ඉල්ලගන්න කුස්සියට ඇවිල්ල හිටියා. හව්වා දීදී ලිපේ තිබුන උතුරල ගොජ දාන හැළියක් රෙදි කෑල්ලක් නැතුව නිකම්ම අත් දෙකෙන් අරගෙන පැත්තක තියන හැටි අසල්වැසි කාන්තාව බලාගෙන හිටියෙ ඇස් දෙක ලොකු කරගෙන​. හව්වා දීදී ගෙ අත පිච්චුනේ නෑ.

අසල්වැසි කාන්තාව හනිකට කුස්සියෙන් පිට වුනා. දූපතේ අනික් ගෑණු එක්ක තමන් දැකපු දේ කිව්වා. කතාව අහපු හැමෝම භීතියෙන් ගල් ගැහුනා. ඒ දිවෙහි රාජ්ජේ වැසියො වඩාත්ම බයවුන රෝගයේ ලකුණක්.

කතාව කටින් කට පැතිරිලා දූපතේ ප්‍රධානියාගෙ කණටත් වැටුනා. ඔහු දූපතේ වැඩිහිටියන්ව එක් රැස් කළා මේ ගැන සාකච්ඡා කරන්න​. ඔවුන් ගොඩක් වෙලාවක් තිස්සේ බැරෑරුම් විදිහට ඒ ගැන සාකච්ඡා කළා. හැමෝම එකඟ වුනා හව්වා දීදී ට නිදහසේ දූපත පුරා ඇවිදින්න දෙන්න බැරි බව​. එහෙම වුනොත් මේ බියකරු ලෙඩේ වතුරට වැටුණු තෙල් වගේ පැතිරිලා යයි.

ඔවුන් අන්තිමට තීරණය කළා ඇයව ෆුවා මුලාකු දූපතේ දකුණු කොණේ තියෙන "කුඩුහෙරවාලි" කියල හැඳින්වුන තැන ඇති කැලෑවකට ගෙනියන්න​. එතැන කැලේ මැද පොඩි එළිමහනක් තියෙනවා. එතැන මිනිස් වාසයෙන් ගොඩක් ඈතයි. හව්වා දීදී ට වැඩි කරදරයක් නැතුව එතැන ඉන්න පුළුවන්.

ඔවුන් හොර රහසේම කැලේ මැද්දට ගිහින් පොඩි පැලක් හදල ඒ ළඟින් ළිඳකුත් හෑරුවා.

මේ අතරෙ හව්වා දීදීට දූපතේ මිනිස්සුන් ගෙ හැසිරීමේ ලොකු වෙනසක් තේරුනා. ඇගේ නෑයෝ පවා ඇයව මග ඇරියා. ඇය ගෙදරකට ආවොත් ගෙදර මිනිස්සුන් ගෙ කතා බහ එකපාරටම නැවතුනා. ඇය පාරෙ යනකොට මිනිස්සු පිරිසක් පහු කරගෙන ගියොත් ඔවුන් ඇය පහුවුනාට පස්සෙ රහසින් කතා වෙන සද්දෙ ඇයට ඇහුනා. ඇගේ ගෙදරට අමුත්තො ආවෙ නෑ.

එක දවසක් අල්ලපු ගෙදර දෙළොස් හැවිරිදි ගෑණු ළමයා, සන්ෆා දියේ (සන්ෆා කෙල්ල​), හව්වා දීදී ගෙ ගෙදර දොරකඩට ඇවිත් දුක පිරුණු ඇස් දෙකෙන් ඇය දිහා බලාගෙන ඉන්න හැටි හව්වා දීදී දැක්කා. සන්ෆා දියේ තමයි හව්වා දීදී ට මේ ලෝකෙ හිටපු හොඳම යාළුවා.


"සන්ෆා දියේ, ඔයා දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නෑ නේද​?"

සන්ෆා දියේ උත්තර දෙන්නෙ නැතුව අහක බලාගත්තා.

"ඔයා මාත් එක්ක තරහ වෙලාද​?"

"ඔයා දන්නව මම ඔයාගෙ හොඳම යාළුව කියල​. ඔය වගේ කතා කියන්නෙ ඇයි?"

සන්ෆා දියේ සුසුමක් හෙළලා කඳුළු පිරුණු ඇස් වලින් බිම බලාගෙන උත්තර දුන්නා.

හව්වා දීදී බිම බලාගෙන පොල් ගාන ගමන් හැඬුම්බර ස්වරයකින් කතා කළා.

"මම දන්නෙ නෑ මොනව වෙලාද කියල​. කවුරුත් මට කතා කරන්නෙ නෑ. කවුරුත් අපේ ගෙදර එන්නෙත් නෑ. ඉස්සර නං ඔයා හැමදාම අපේ ගෙදර ඇවිත් කුස්සියට වෙලා මාත් එක්ක වරු ගණන් කතා කර කර ඉන්නව​. ඒත් මම දැන් ඔයාව දකින්නෙත් කලාතුරකින්. මම හිතුවෙ ඔයත් අනිත් අය වගේ එන්නෙ නැතුව ඇති කියල​. දැන් ඔයා එක පාරටම ආපහු ඇවිත්."

සන්ෆා දියේට මිනිස්සු හව්වා දීදී එක්ක කතා නොකරන හේතුව කියන්න ඕනෙ කියල හිතුනත්, ඇයට දුක හිතෙයි කියල කියන්න බය වුනා. ඇය අහක බලාගෙනම හිටියා. ඇගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියා.

"මට කියන්න මොකද්ද වෙලා තියෙන්නෙ කියල​. මම ඇහුවට කවුරුවත් කියන්නෙ නෑ. මොකක් හරි නරක දෙයක් වෙලා තියෙනව​. මට ඒක දැනෙනවා. ඔයාවත් මට කියන්න​."

සන්ෆා දියේ අහක බලාගෙනම හීනි කටහඬින් උත්තර දුන්නා.

"ඔව්. නරක දෙයක් වෙලා තියෙනවා. ඒ ඔයාට​. හැමෝම හිතන්නෙ ඔයාට හොඳ කරන්න බැරි භයානක ලෙඩක් හැදිල කියල​. ඔයා ළඟින් හිටියත් ඒක අනිත් අයට හැදෙන්න පුළුවන් ලු. ඔයාට මතකද ගිය සතියෙ ඔයා අපේ ගෙදරට ඔල්හු අල​ (කිරි අල​) උයාගෙන ආව​? ඔයා ගිය හැටියෙ අපේ අම්ම ඒක ලිපට විසි කළා. මට ඔයාට කිසි දෙයක් කියන්න එපා කිව්වා. මේ කතාව ඇහුවට පස්සෙ මමත් මෙහෙ එන්න බයෙන් හිටියෙ."

හව්වා දීදී හිනා වෙන්න උත්සහ කලා. ඒත් ඒක පෙනුනේ බියකරු දත් විළිස්සීමක් වගේ. ඇගේ ඇස් දෙකෙන් ඇගේ බය හොඳට පෙනුනා. එහෙනං ළඟකදි ඉඳල පිහියට අත කැපුනම ඇයට රිදෙන්නෙ නැත්තෙ මේකයි. ඇයට ලාදුරු රෝගය හැදිලා!

හව්වා දීදී ගෙ ඔළුව කැරකෙන්න වුනා. ඇය ඉතාම අමාරුවෙන් කටහඬ අවදි කළා.

"ඉතින් ඔයා මෙච්චර මට බයයි නං, ඔයා මෙහ ආවෙ ඇයි සන්ෆා දියේ?"

සන්ෆා දියේ හිටියෙ අඬන්න ඔන්න මෙන්න​.

"මට ඔයා ගැන දුක හිතුනා. සමහරදාට රෑට මට නින්ද යන්නෙ නෑ. ඔයා තමයි මගේ හොඳම යාළුවා. මට ඔයාව දකින්න බැරි එක දරා ගන්න බෑ."

සන්ෆා දියේ ඉකි ගහමින් අඬන්න පටන් ගත්තා. ඇය ඇඬුම අතරින්ම කතා කළා.

"මිනිස්සු කියනව ඔයාව කැලේ මැද්දෙ පුංචි පැලකට ගෙනිහින් දානව ලු. ඊයෙ ඒ ගොල්ලො ළිඳ කපල ඉවර වුනාලු. හෙට වහලෙ හෙවිල්ලන්න ලු ඉන්නෙ. අපේ අයියත් එතන වැඩට ගියා. අපේ අම්මල මට මෙහෙ එන්න දෙන්න නෑ. ඒ නිසා මට ආයෙ ඔයාව දකින්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ."

සන්ෆා දියේ ඉකි ගහමින් ගෙදර පැත්තට ඇවිදින හැටි හව්වා දීදී බලාගෙන හිටියා. සන්ෆා දියේ ගියාට පස්සෙ ඇය අත් දෙකෙන් මූණ වහගෙන මහා හඬින් හඬා වැලපුනා.

හව්වා දීදී ගෙ හිත යකාගෙ කම්මල වගේ. ඇය ඉපදුනේ, හැදුනෙ වැඩුනේ මේ දූපතේ. මේ දූපතේ මිනිස්සුත් එක්ක​. ඇය හැමදාම ඔවුන්ට සැලකුවේ කරුණාවෙන්. ඒත් දැන් ඔවුන් ඇයට සලකන්නෙ මේ විදිහට​. ඇගේ සැමියත් මේ ගැන දැනගෙන ඉන්න ඇති. ඔහු නොදැන ඉන්නෙ කොහොමද​? ඒත් ඔහුවත් ඇයට මේ ගැන කිව්වෙ නෑ. මේ මොන විදිහෙ මිනිස්සු ද​? ඇගේ හිත කෝපයෙන් දැවුනා. ඒ එක්කම ඇයට ඇය ගැනම මහා දුකක් ඇති වුනා.

අන්තිමේදී ඇය හිත තද කරගත්තා. "මේ විදිහට දුක් වෙන එකේ තේරුම මොකද්ද​? මේක නැවැත්තුවෙ නැත්තං මට පිස්සු හැදෙයි."

ඊළඟ දින කීපයේ හව්වා දීදී හිටියේ හැඟීම් නොදැනෙන කෙනෙක් වගේ. ඇගේ මූණේ තිබුනේ බොහොම බැරෑරුම් පෙනුමක්. ඇගේ ඇස් දෙක අත්භූත පෙනුමකින් වැහිල තිබුනා.

එක දවසක් ඇගේ සැමියා දූපතේ ප්‍රධානීන් කීප දෙනෙක් එක්ක ඇගේ ගෙදරට ආවා. දූපත් ප්‍රධානීන් ඇගේ ගුණ කියන්න පටන් ගත්තා. ඒත් හව්වා දීදී ඔවුන් ආවෙ මොකටද කියල දැනගෙන හිටියා. ඇයට මහා පිළිකුලක් දැනුනා. ඇය ඇස් පුංචි කරගෙන ඔවුන් දිහා බලාගෙන හිටියා.

අන්තිමේදී දූපත් ප්‍රධානියා මාතෘකාවට බැස්සා.

"මට සමාවෙන්න. ඒත් ඔයාට කියන්න නරක ආරංචියක් තියෙනවා. ඔයාට බොහොම දරුණු ලෙඩක් හැදිලා. ඔයාට ජීවත් වෙන තැන වෙනස් කරන්න සිද්ධ වෙයි. ඒක හැමෝටම හොඳයි. අපි දැනටමත් අළුත් ගෙදරක් හදල තියෙන්නෙ. ඔයාට ඕන කරන හැම දෙයක්ම අපි දෙන්නම්. විරුද්ධ වෙන්න හදන්න එපා. එහෙම වුනොත් අපිට මේක වෙන විදිහකට කරන්න වෙයි. ඒක හැමෝටම හොඳ නෑ."

ඒත් හව්වා දීදී විරුද්ධ වුනේ නෑ. ඇය නිහඬවම කලබලයක් නැතුවම ඇගේ ඇඳුම් පැළඳුම් මල්ලකට දාගත්තා. "මේ මොන වගේ මිනිස්සු ද​?"

"ඔයා පුතාව තියල යන්න​. නැත්තම් එයත් ලෙඩ වෙයි."

ඇගේ සැමියා එහෙම කිව්වා.

හව්වා දීදී ඇස් පුංචි කරගෙන ඔහු දිහා බලාගෙන හිටියා. ඔහු දූපත් ප්‍රධානින්ට එරෙහිව තමා වෙනුවෙන් කතා කරන හැටි අහන්න ඇය කොයිතරම් ආසා කරාද​? ඒත් ඔහු වචනයක් වත් කිව්වේ නෑ. දැන් ඇය ඇගේ ගෙදරත් දරුවත් අත හැරල යන්න ඕනෙ. ඇගේ සැමියා කරුණාවන්තයි. ඇය ඔහුට වෛර කලේ නෑ. ඒත් ඔහු මීට වඩා නිර්භීත නම් කොයිතරම් හොඳද​?

හව්වා දීදී හිස පහතට හරවාගෙන ඇගේ අඩුම කුඩුම මල්ලිත් අරගෙන "සරුදාරු" (සුළු මුළාදෑණියෙක්) පිටිපස්සෙන් කැලෑව පැත්තට ඇවිදගෙන ගියා. යන ගමන් ඇය කල්පනා කළා ඇයට මේ ඉරණම අත් කර දීම ගැන මිනිස්සු පසුතැවෙනව ඇති ද කියල​. ඇය ඈතකට යන එක ගැන ඔවුන් සතුටු වෙනව ඇති.

මුලදි මුලදි හව්වා දීදී ගෙ නෑදෑ හිත මිතුරෝ ඇයට කෙසෙල්, ඔල්හු අල​, බෝකිබා, අළුත් මාළු වගේ රසවත් කෑම වර්ග නිතරම අරගෙන ආවා. ඇයට කන්න බැරි තරම් කෑම ලැබුනා. ඒත් කල් ගත වෙද්දි ඇයට රසවත් කෑම ලැබෙන එක අඩු වුනා. ටික කාලයක් යද්දි ඇයට ලැබුනේ සර්දාරු ගේන කෑම විතරයි. ඒවා කිසි රහක් නැති බොහොම දුප්පත් කෑම​.

කැලේ මැද තනියම ගත කරපු මුල් රාත්‍රීන් කීපයේ ඇය හිටියෙ බියෙන් මුසපත් වෙලා. ඇයට නින්ද ගියේ නෑ. ඇය රෑ තිස්සෙ ඇහැරගෙන කැලයෙන් එන බිය ජනක සද්ද වලට ඇහුම්කන් දෙමින් හිටියා. ඇය ඒ සද්ද වලට වගේම අඳුරටත් බය වුනා. සමහර වෙලාවට ඇයට දැනුනේ ඇය නපුරු හීනයක් දකිමින් ඉන්න බව​. තවත් වෙලාවට ඇය කැලයෙන් යක්‍ෂයෙක් ඇවිත් ඇයව ගොදුරු කරගෙන මේ කරදර වල නිමාවක් දකින්න පුළුවන් වෙයි කියල ඇය බලපොරොත්තු වුනා. ඇය රෑ පුරාවට තනියම අඬා වැලපුනා. ඒත් ඇය හිටියෙ මිනිස් වාසයෙන් ගොඩාක් ඈත​. ඒ නිසා කාටවත් අඳුරු උණුසුම් රාත්‍රිය විනිවිදින සුළු ඇගේ දුක්බර විලාපයන් ඇහුනේ නෑ. උදේට ඇහරල බලද්දි ඇගේ කොට්ටය කඳුලින් තෙත් වෙලා. ඒත් දවල් කාලයේ ඇය කිසි දෙයක් නොවුනා වගේ ඉන්න උත්සහ කළා.

කල් ගතවෙද්දි ඇයගේ රාත්‍රියට තිබුන බය නැති වෙලා ගියා. ඇය තරු එළියෙන් මුහුදු වෙරළට ඇවිදගෙන ගිහින් මද අඳුරේ පෙනෙන මුහුද දිහා බලාගෙන ඉන්න පුරුදු වුනා. අඳුරු රළගෙඩි දූපත වටේටම තිබුණු කොරල් පරයේ හැපිලා සුදු පාට පෙණ මවමින් බිඳෙන හැටිත්, කොරල් පරය නිහඬ යෝධයෙක් වගේ දූපත ආරක්‍ෂා කරන හැටිත් ඇය බලාගෙන හිටියා. ඇගේ හිතට සන්සුන් බවක් දැනුනා.


ඇය ලොකු සුදුපාට ගල් වලට පිට දීගෙන පැය ගණන් මුහුද දිහා බලාගෙන හිටියා. ඇගේ මුහුණට වැටෙන  කරදිය බිඳිති වලට සහ ඇගේ හිසකෙස් විසුරුවා දමන මුහුදු හුළඟට ඇය ආසා කළා.

සමහර දවස් වල හවසට ඇගේ සැමියා ඇයව බලන්න ආවා. ඔහු ඇයට කතා කළේ දුර ඉඳල​. හව්වා දීදී ඔහු ගැන දැක්වුයේ උදාසීන හැඟීමක්. ටික කාලෙකින්ම ඔහු එන්නෙ නැත්තම් හොඳයි කියල ඇයට හිතුනා. තරු එළියේ වෙරළට වෙලා මුහුදු රළ දූපතට කඩා වදින හැටි බලාගෙන ඉන්න ඇය වඩාත් ආසා කළා. මාස ගාණකට පස්සෙ ඔහුගේ දෙමාපියන් ගේ බල කිරීම නිසා ඔහු වෙනත් කාන්තාවක් විවාහ කරගත්ත බව ඇයට ආරංචි වුනා. ඇයට දුක හිතුනේ නෑ.

ඇගේ රෝගය වැඩි වෙනකොට ඇගේ අත පයේ තුවාල ඇති වුනා. ඒ තුවාල වලට වෙළුම් පටි යොදන්න ඇයට ඇගේ ඇඳුම් ඉරන්න සිද්ධ වුනා. මේ නිසා නිතරම ඇයට ඉන්න වුනේ නිරුවතින්. දූපතේ කාන්තාවන්ට ඇය නිරුවතින් ඉන්න බව ආරංචි වුනාම ඔවුන් පරණ ඇඳුම් සහ තුවාල වෙලන්න රෙදි පටි ඇගේ පැල අසලින් ගෙනත් තියල ගියා. ඒත් ඒවා වැඩි කල් ඉතුරු වුනේ නෑ.

රෝගය ක්‍රමයෙන් උත්සන්න වුනා. ඒත් හව්වා දීදී අනෙක් ලාදුරු රෝගීන් වගේ විරූපි වුනේ නෑ. ඇගේ අත පය අංග විකල වුනත් ඇගේ ලස්සන මුහුණට රෝගයෙන් බලපෑමක් වුනේ නෑ.

හව්වා දීදී ට වුනේ මොකද්ද කියල කවුරුවත් හරියටම දන්නෙ නෑ. සමහරු කියන විදිහට ඇය රෝගයෙන් කැලේදිම මරණයට පත් වුනා. මිය යද්දිත් ඇගේ ලස්සන ඒ විදිහටම තිබුනා කියල ඔවුන් කියනවා.

තවත් සමහරු කියන්නෙ දූපතේ මිනිස්සු පිරිසක් එකතු වෙලා ඇයව අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ තිබුන බ්‍රිතාන්‍යය ගුවන් හමුදා කඳවුරට ගෙනගිය බව​. එහිදී සුදු ජාතික වෛද්‍යවරු ඇයව සුවපත් කළ බව ඔවුන් කියනවා. ඇගේ ලස්සනේ අඩුවක් වුනේ නෑ. බොහෝ දෙනා ඇයට ෆුවා මුලාකු දූපතට එන්න කියල ආයාචනා කළත් ඇය ආපහු එන්න කැමති වුනේ නෑ. ඇගේ දූපතේ කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් ඇය කැමති වුනේ නෑ. ඇය උතුරු දිග දූපත් බලා යන නැවකට නැග්ග බවත්, ඇගේ ඇස් වල කිසිම දුකක් නොතිබුන බවත්, නැවට නගිද්දි ඇය ආපහු හැරිල නොබලපු බවත් මිනිස්සු කියනවා.

ඇය උතුරු දිග දූපත් වලදි ධනවත් වෙළෙන්දෙක් විවාහ කරගෙන බොහෝ කාලයක් සතුටින් වාසය කළ බවත් ඔවුන් කියනවා. සමහරු කියන්නෙ ඇය තවම ජීවත් වෙන බව​.

ෆුවාමුලාකු දූපතේ හව්වා දීදී ගෙ පැල තිබුනු තැන අදත් හැඳින්වෙන්නෙ "හව්වා දීදී බේවි තැන්" කියල​෴


- කතාව කිව්වේ මාගීදුරුගේ ඊබ්‍රහිම් දීදී


අටුවාව​

1. ඔල්හු අල​


අලකොළ​. හබරල​, කිරිඅල වගේ අල වර්ග කීපයක් ම මාලදිවයිනේ හැදෙනවා. මේ අල වර්ග දිවෙහි රාජ්ජෙ වැසියන් ගේ ප්‍රධාන ආහාරයක්. විශේෂයෙන් ෆුවාමුලා, අඩ්ඩු වගේ දකුණු දිග දූපත් වල මේ අල වර්ග බහුලව වගා කරනවා.

2. සරුදාරු


දූපතක සුළු මුළාදෑණියෙක්. දූපත් ප්‍රධානියාගේ රාජකාරි වලට සහය දීම සහ දූපතේ පොලිස් නිලධාරියා විදිහට කටයුතු කිරීම ඔහුගේ වගකීම වුනා.

3. බෝකිබා

පොඟා ගන්නා ලද හාල් කොටලා, ඒකට උම්බලකඩ​, ගාපු පොල් සහ මිරිස් එකතු කරලා ලිපේ තබා පුළුස්සා ගන්නා කෑමක්. මේක හදන්නෙ වන්ඩු ආප්ප වගේ යටින් වගේම උඩිනුත් ගින්දර දැමීමෙන්. ඒකට පුළුස්සන භාජනයේ පැතලි මූඩිය උඩ තියන ගිනි අඟුරු පාවිච්චි කරනවා. බෝකිබා සොබාවයෙන් පොල් කේක් වගේ. හවස තේ එක්ක තමයි බහුලව කෑමට ගන්නේ.


4. ගැන් ගුවන් හමුදා කඳවුර​

දෙවන ලෝක යුද්ධ කාලේ ඉන් දියන් සාගරයේ සැරි සැරුව ජපන් සබ්මැරීන් සහ නැව් වලට එරෙහිව බ්‍රිතාන්‍යය නැව් ආරක්‍ෂා කරන්න බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව දිවෙහි රාජ්ජේ දකුණුම කෙළවරේ තියෙන අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුරක් හැදුවා. ඒ 1941 දී.


෴෴ ෴෴෴෴෴෴෴෴
එසේ නම් සහෘදය​,
ඈත අතීතයේ ලක් පොළවේ සිට නුපුරුදු සමුදුරු තරණය කරමින් නොදන්නා කුඩා දූපත් පෙළකට පැමින​, අළුත්ම ජීවන රටාවකට හුරු වෙමින්, කුසගින්න​, මහ මුහුද​, කුණාටු, ලෙඩ රෝග සමඟ සටන් වදිමින් ආදරය​, විරහව​, ඊර්‍ෂ්‍යාව, සතුට​, දුක, තණ්හාව වැනි පොදු මිනිස් ධර්ම සමඟ ජීවත් වීමට යත්න දැරූ, ඒ මතින් අළුත්ම සංස්කෘතියක් බිහි කරගත්, අපේම සහෝදර ජන කොටසකගේ ජීවන අරගලය යකිනියන්, ෆුරේතයන්, ෆන්ඩිතයන් හරහා පුරා වසරක් තිස්සේ ඔබ වෙත ගෙන ආ දිවෙහි රාජ්ජේ ජන කතා මාලාව මෙතැනින් අවසන් වෙනවා
෴෴෴෴෴෴෴෴෴෴

6 comments:

  1. අපුරු ලිපි පෙලක්. ආසාවෙන් කියව්වා. දිවෙහි රාජ්ජේ ගැන නොදන්නා දේවල් ඉගෙන ගත්තා. මාලදිවයිනේ ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන තව ලියන්න. ජය වේවා....

    ReplyDelete
  2. ස්තූතියි ලිපි පෙලටෙම. ආසාවෙන් කියෙව්වා.හුගක් දේවල් ඉගෙන ගත්තා.

    ReplyDelete
  3. කවදාවත් අදහසක් දක්වල නැති වුනාට දිගටම කියවපු සටහන් පෙලක්. ස්තූති වේවා!

    ReplyDelete
  4. පව් හව්වා දිදී! ලස්සන, දුක හිතෙන කතාවක්!

    ReplyDelete