Showing posts with label දේශපාලන​. Show all posts
Showing posts with label දේශපාලන​. Show all posts

Tuesday, July 17, 2018

මැග්යාර් මායාකාරයෝ - 4


ලෝක කුසලාන පරාජයෙන් පසු


ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වුනු පසු හන්ගේරියානු පිල නැවත සියරට බලා ආවා. ඒත් හන්ගේරියානු ක්‍රීඩා ලෝලීන් ගෙන් සහ හන්ගේරියානු රජයෙන් ඔවුන්ට ලැබුනේ උණුසුම් පිළිගැනීමක් නෙවෙයි.

ලෝක කුසලාන අවසන් තරගය දවසේ හන්ගේරියාවේ අගනුවර විශාල මහජන කැරලි ඇති වුනා. පරාජයේ වේදනාවෙන් ක්‍රීඩා ලෝලීන් වීදි බැහලා රජයේ ආයතන වලට පහර දුන්නා. විශාල පිරිසක් ගුවන් විදුලිය පිහිටි ගොඩනැගිල්ල වටකරලා විස්තර විචාරකයන් මරා දමන බවට තර්ජනය කළා.

මේ කැරලි වලින් හන්ගේරියානු රජය කලබල වුනා. මෙය ඔවුන් දැක්කේ රජයට එරෙහි නැගිටීමක් විදිහට​. ඒ වගේම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් කොමියුනිස්ට් සමාජයේ උසස් බව ලෝකයට කියාපෑමේ අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි වුනා. මේ කාරනා නිසා රජයත් පාපන්දු කණ්ඩායම කෙරෙහි දැක්වුයේ සතුරු ආකල්පයක්.

හන්ගේරියානු පාපන්දු පිළ සියරට බලා ආ විට දුම්‍.රිය පොළේ දී ඔවුන්ව පිළිගනිමින් හන්ගේරියානු රජයේ නායක රාකොස්කි ප්‍රකාශ කලේ "මේ තරගය වෙනුවෙන් ඔබ කිසි කෙනෙක්ට අපි දඬුවම් කරන්නේ නෑ" යනුවෙන්. එමගින් ඔහු ඉඟි කලේ ක්‍රීඩකයන් රාජ්‍යයට එරෙහිව කටයුතු කළ බව​.

පරාජයේ චෝදනා මූලික වශයෙන් එල්ල වුනේ කළමණාකාර සෙබෙස් සහ නායක පුස්කාස් වෙත​. විශේෂයෙන්ම පුස්කාස් අවසාන තරගයේ ආබාධයක් සහිතව ක්‍රීඩා කිරීම බොහෝ දෙනෙක් ගේ දැඩි විවේචනයට හේතු වුනා.

ඒත් නොබෝ කළකින්ම හන්ගේරියානු රජය සියළු වරද දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් වෙත එල්ල කලා. බටහිර ජර්මනිය ගෝල තුනක් ලබාගත්තේ ඔහුගේ දැල රැකීමේ දුර්වලතා නිසා බව චෝදනා කළ ඔවුන් ඔහු ඊට අමතරව බටහිර ධනවාදී රටවල් වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදුනු බවට චෝදනා කළා. මේ සඳහා දඬුවම වශයෙන් ඔහුව ඈත කුඩා නගරයකට පිටුවහල් කරා. අවුරුද්දක කාලයක් ඔහුට පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න සිදු වුනා.


නැවතත් සුපුරුදු ගමනට​


පරාජයේ වේදනාවත් සමඟම මාස දෙකක විවේක කාලයකින් පසු මායාකාරයෝ නැවතත් පිටියට බැස්සා. ඒ රුමේනියාවට එරෙහිව 5-1 ක ජයක් ලබමින්. ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ සෝවියට් දේශයත් සමඟ​. මේ වන විට සෝවියට් දේශයත් හන්ගේරියාව අනුව යමින් ඉතා ශක්තිමත් පාපන්දු කණ්ඩායමක් ගොඩගනාගෙන හිටියා. තරගය 1-1 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

ඊට පස්සේ ස්විට්සර්ලන්තය 3-0 වශයෙන්, චෙකොස්ලොවැකියාව 4-1 වශයෙන් සහ ඕස්ට්‍රියාව 4-1 වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඔවුන් ගේ ඊළඟ තරගය පැවැත්වුනේ ස්කොට්ලන්තයට එරෙහිව ග්ලාස්ගෝ නගරයේ. මේ තරගය ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ පැවැත්වුනා. දෙපිලෙන්ම ඉතාමත් ආක්‍රමන්ශීලී තරග රටාවක් දකින්න ලැබුනු මේ තරගය අවසානයේ 4-2 වශයෙන් ජයගන්න හන්ගේරියාව සමත් වුනා. ඒ ජයත් එක්ක නැවතත් ලෝකයේ පළමුවන කණ් ඩායම විදිහට හන්ගේරියාව ඉදිරියට ආවා.

ඊළඟට මායාකාරයෝ තවත් යුරෝපෝය තරග මාලාවකට සහභාගී වුනා. ඒවායින් නෝර්වේ 5-0, ස්වීඩනය 7-3, ඩෙන්මාර්කය 6-0, ෆින්ලන්තය 9-1, ස්කොට්ලන්තය 3-1 සහ ස්වීඩනය 4-2  වශයෙන් පරාජය කරන්න මායාකාරයෝ සමත් වුනා.

ඊළඟට සෝවියට් දේශයත් සමඟ පැවති තරගය නිම වුනේ ජය පැරදුමෙන් තොරව​. ඒ 1-1 වශයෙන්.


මධ්‍යම යුරෝපීය තරගාවලිය​


මේ අතර 1955 දී නැවතත් මධ්‍යම යුරෝපියානු තරගාවලියක් ආරම් භ කෙරුනා. එයට සහභාගී වුනේ චෙකොස්ලොවැකියාව​, හන්ගේරියාව​, ඔස්ට්‍රියාව​, යුගොස්ලාවියාව​, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය​.

හන්ගේරියාව සහභාගී වුන පළවෙනි තරගය ඔස්ට්‍රියාවත් සමඟ 2-2 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. ස්විට්සර්ලන්තයත් සමඟ තරගයෙන් 5-4 ලෙස තියුණු ජයක් ලබන්න හන්ගේරියාවට හැකි වුනා. ඊළඟට චෙකොස්ලොවැකියාව 3-1 වශයෙනුත් ඔස්ට්‍රියාව 6-1 වශයෙනුත් ඉතාලිය 2-0 වශයෙනුත් පරාජය කරමින් ලකුණු සටහනේ මුල් තැන ගන්න හන්ගේරියාව සමත් වුනා.


හන්ගේරියාවේ දේශපාලන තත්වය​


හන්ගේරියාවේ දේශපාලන බලය 1949 දී කොමියුනිස්ට් වරු අතට පත් වුනා. කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා වුනේ මාතියාස් රාකොස්කි. ඔහු තමාව හඳුන්වාගත්තේ "ස්ටාලින් හේ හොඳම ගෝලයා" විදිහට​. ස්ටාලින් ගේ පන්නයේ ඉතා දැඩි මර්ධනකාරී පාලනයක් ඔහු හන්ගේරියාවේ ගෙනිච්චා. ඔහුගේ මර්ධනයට කොමියුනිස්ට් පක්‍ෂය ඇතුළත වගේම ඉන් පිටත් ඉන්න දේශපාලන විරුද්ධවාදීන් ලක් වුනා. මේ නිසා ඔහුගේ රජය මහජනයා අතර දැඩි අප්‍රසාදයක් දිනා ගත්තා.

මේ තත්වය වෙනස් වෙන්නේ 1953 දී ස්ටාලින් මිය යාමත් සමඟම​. සෝවියට් දේශයේ බලයට පත්වෙන කෘෂයෙව් ස්ටාලින් ගේ ප්‍රතිපත්ති ලිහිල් කරා. ඒ එක්කම හන්ගේරියාව තුල රාකොස්කි ගේ බලය පිරිහුනා. එහි ප්‍රතිඵලයක් විදිහට 1954 දී රාකොස්කි බලයෙන් පහ කරලා මධ්‍යස්ථ මතධාරී කොමියුනිස්ට් පාක්‍ෂිකයෙක් වන ඉම්.රේ නාගි හන්ගේරියාවේ අගමැති ධූරයට පත් වුනා. ඔහු රාකොස්කි ගේ පාලය සමයේ තිබුනු මර්ධනකාරී ප්‍රතිපත්ති බොහොමයක් නවතා දැම්මා.


නමුත් 1955 දී ස්ටාලින් වාදීන් නැවතත් කොමියුනිස්ට් පක්‍ෂය තුළ බලවත් වුනා. ඔවුන් නාගි අගමැති ධූරයෙන් පහ කරලා ඒ වෙනුවට අන්.ද්‍රාස් හෙගෙඩුස් පත් කරගත්තා. මේ බල පෙරළිය හන්ගේරියානු ජනතාවගේ සතුටට හේතුවක් වෙන්නේ නෑ. ඒ වගේම සෝවියට් හමුදාව තවමත් හන් ගේරියාවේ රැඳී සිටීමත් ඔවුඞේ දැඩි අප්‍රසාදයට ලක් වුනා. ඔවුන් ඒක දැක්කේ හන් ගේරියාවේ ස්වෛරී භාවයට කරන හානියක් විදිහට​. මේ නිසා හන්ගේරියානු ජනතාව තුළ දැඩි සෝවියට් විරෝධයක් ගොඩ නැගෙමින් තිබුනා.

සෝවියට් - හන්ගේරියා තරගය​


මේ අතර හන්ගේරියානු පාපන්දු පිළ බෙලිජියම අතින් 4-5 විදිහට පරාජය ලැබුවා. කළමණාකරු සෙබෙස් ගෙන් පලිගන්න අවස්ථාවක් බලමින් සිටි රජයට මේක හොඳ අවස්ථාවක් වුනා. ඔවුන් සෙබෙස් කළමණාකාර තනතුරෙන් ඉවත් කළා. මායාකාරයන්ට පළමු වරට තමාගේ නිර්මාතෘ වරයා අහිමි වුනා.

හන්ගේරියාවේ මීළඟ තරගය තිබුනේ සෝවියට් දේශයත් සමඟ​. සෝවියට් පාපන් දු කණ්ඩායම මේ වෙද්දී ඉතාමත් ප්‍රභල තැනක සිටියා. ඔවුන් හන්ගේරියාවත් සමඟ මීට පෙර පැවැත්වුන තරග දෙකම ජය පැරදුමෙන් තොරව නිමා කරන්න සමත් වුනා. සෝවියට් දේශය දැක්කේ ලෝකයේ හොඳම පාපන්දු කණ් ඩායම තමා බව​. ඒ වගේම කොමියුනිස්ට් කඳවුරේ නායකයා විදිහට ඔවුන් හන්ගේරියාව තමාට ඉදිරියෙන් සිටීම ඉවසුවේ නෑ.

මේ නිසා තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය පැවැත්වුනේ මොස්කව් නුවර ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරිපිට​. ඉතාම තියුණු සහ රළු තරගයක් වුන මේ තරගයේ වාර්තා වුන එකම ගෝලය වුනේ සීබොර් 16 වැනි විනාඩියේදී ලබා ගත් ගෝලය​. හන්ගේරියාව 1-0 වශයෙන් තරගය ජය ගත්තා.

මේ ජය හන්ගේරියානු ජනතාවට ඉමහත් ආශ්වාදයක් ගෙන දුන්නා. සෝවියට් දේශය යනු පරාජය කළ හැකි බලවේගයක් බව ඔවුන්ට ඒත්තු ගියා.



විප්ලවය​


1956 ශිෂ්‍යය අරගලයක් හේතුවෙන් හන්ගේරියාවේ දේශපාලන තත්වය ඉතාම උණුසුම් සොබාවයක් ගත්තා. ඔක්තෝබර් 23 වැනිදා බූදපෙස්ට් නගරයේ එක්‍ රැස් වන 20,000 ක පමණ පිරිසක් ජාතිකවාදී ගී ගයමින් "විදේශ බලවේග​" වලට එර්හිව සටන් කරන බවට ප්‍රකාශ කළා. සවස් වෙද්දී මේ පිරිස ලක්‍ෂ 2 ක පිරිසක් බවට වර්ධනය වුනා. මේ පිරිස කොමියුනිස්ට් පක්‍ෂයේ සහ රජයේ ගොඩනැගිලි වට කරන්න පටන් ගත්තා. ඔවුන් මර්ධනය කිරීම සඳහා එවන හන්ගේරියානු හමුදා සේනාංක උද්ඝෝෂන කරුවන්ට එක් වීමත් සමඟම තත්වය කැරැල්ලක් දක්වා වර්ධනය වුනා.

රට පුරාම ජනතාව "කම්කරු කවුන්සිල​" සහ ජනතා මිලිෂියා සංවිධානය කරන්න පටන් ගත්තා. මේ කවුන්සිල සහ මිලිෂියාවන් ප්‍රාදේශීය පාලනය අත්පත් කර ගත්තා. බූදපෙස්ට් නගරයේදී කැරලි කරුවන් සෝවියට් හමුදාවත් සමඟ සටන් වැදුනා. ඔවුන් සෝවියට් හමුදා සේනාංක බැරැක්ක තුළට සීමා කරන්න සමත් වුනා.


ඒ එක්කම දැඩි මතධාරී කොමියුනිස්ට් පක්‍ෂ නායකයන් සෝවියට් දේශය වෙත පලා ගියා. පක්‍ෂයේ බලය නැවතත් නාගි ප්‍රමුඛ මධ්‍යස්ථ මතධාරින් අතට පත්වුනා. නාගි නැවතත් අගමැති තනතුරට පත්වුන අතර​, යානොස් කාදාර් කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා බවට පත් වුනා.

සෝවියට් දේශය විප්ලවය පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නෑ. සෝවියට් හමුදා නැවත කැඳවන්න ඔවුන් තීරණය කළා. නාගි තමාගේ බලය තහවුරු කරගැනීමත් එක්කම රට නැවතත් සාමකාමී වුනා. නාගි නැවතත් තමාගේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.


ඒත් ඔක්තෝබර් 31 වැනිදා හන්ගේරියානු රජය වෝර්සෝ ගිවිසුමෙන් ඉවත් වෙන්න තීරණය කිරීමත් සමඟම තත්වය වෙනස් වුනා. මෙය සෝවියට් දේශය දැක්කේ තමාගේ ආරක්‍ෂාවට තර්ජනයක් විදිහට​. ඔවුන් හන්ගේරියාව ආක්‍රමනය කරන්න තීරණය කළා.

ඒ අනුව නොවැම්බර් 1 වැනිදා යුධ ටැංකි ප්‍රමුඛ කරගත්ත විශාල සෝවියට් හමුදාවක් හන්ගේරියාව ආක්‍රමනය කළා. හන්ගේරියාවේ කුඩා හමුදාවට ඔවුන් සමඟ සටන් වදින්න හැකියාවක් තිබ්බේ නෑ. නොවැම්බර් 4 වැනිදා වෙද්දී සෝවියට් හමුදා හන්ගේරියාවේ බලය සම්පූර්නයෙන්ම තහවුරු කර ගත්තා.

ගැටුම් වලින් හන්ගේරියානු ජාතිකයන් 2500 සහ සෝවියට් සෙබළු 700 මිය ගියා.


සෝවියට් හමුදා විසින් යානොස් කාදාර්ට අගමැති තනතුර බාර ගන්න ආරාධනා කරනවා. ඔහු එය පිළිගත්තා. අත් අඩංගුවට පත් වෙන නාගිට 1958 දී මරණ දඬුවම හිමිවුනා.


මායාකාරයන් ගේ අවසානය​


විප්ලවය සිදුවෙද්දී හන්ගේරියානු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගෙන් අතිබහුතරය අයත් වුන හොන්වේඩ් ක්‍රීඩා සමාජය යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ස්පාඤ්ඤයට ගිහිල්ලා හිටියා. තමාගේ රට සෝවියට් දේශය විසින් ආක්‍රමනය කිරීම පිළිබඳව කම්පාවට පත් වුන ක්‍රීඩකයන් ගෙන් බහුතරය විරෝධය පෑමක් විදිහට නැවත සියරට බලා නොයාමට තීරණය කළා.

දේශපාලනය මතින් බිහි වෙලා අවුරුදු හතක් පුරාවට පාපන්දු ලෝකය දෙවනත් කරමින් තම අනසක පැතිරවූ මැග්යාර් මායාකාරයන් ගේ අවසානය ඒ විදිහට දේශපාලනය මතින්ම සිදු වුනා.

1949 සිට 1956 දක්වා කාලය තුළදී මායාකාරයෝ තරග 62 කට සහභාගී වෙනවා. ඉන් තරග 50 ක් ම ජය ගන්න ඔවුන් සමත්වෙනවා. තරග 9 ක් ජය පැරදුමෙන් තොරව අවසන් වෙන අතර​, පරාජයට පත් වෙන්නේ තරග 3 ක් පමණයි.

1950 මැයි 14 වැනිදා සිට 1954 ජූලි 4 වැනිදා දක්වා තරග 32 ක අපරාජිත වාර්තාවක් තබා ගන්නත් ඔවුන් සමත් වෙනවා.

මේ කාලසීමාව තුල ඔවුන් ලබා ගත් ගෝල ගණන 264 ක්. තරගයකට ගෝල සාමාන්‍යය අදහාගත නොහැකි 4.26 ක් විදිහට වාර්තා වෙනවා. ඔවුන් ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ගෝල 77 පමණයි.

මේ අද්විතීය වාර්තාව සහ ඔවුන් ගේ ආක්‍රමනශීලී අලංකාර ක්‍රීඩා රටාව නිසා අදටත් එතෙක් මෙතෙක් ලොව බිහිවුන හොඳම පාපන්දු කණ් ඩායම විදිහට සැලකෙන්නේ මැග්යාර් මායාකාරයන්ව​.


පසු කතාව​


යානොස් කදාර් ගේ නායකත්වය යටතේ හන්ගේරියාව 1989 දක්වා පාලනය වුනා. හන්ගේරියාව සැලකුනේ නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවල් අතරින් මර්ධනය සාපේක්‍ෂව අඩු රටක් විදිහට.


හන්ගේරියානු පිළෙන් ඉවත් වීමෙන් පසු ක්‍රීඩකයන් විවිධ මාර්ග වල ගමන් කළා.

නායක පුස්කාස් 1958 දී ස්පාඤ්ඤයේ රෙයාල් මැඩ්‍රිඩ් ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. එහිදී ඔහු ආජෙන්ටිනා ජාතික ඇල්ෆ්‍රෙඩෝ ඩි ස්ටෙෆානෝ සමඟ එක්ව ලොව බිහිවූ විශිෂ්ඨතම ප්‍රහාරක සුසංයෝගයක් බිහි කළා. ඔවුන් දෙදෙනාගේ සහයෙන් රෙයාල් මැඩ්‍රිඩ් කණ්ඩායම යුරෝපීය කුසලාන හතරක් සහ ස්පාඤ්ඤය ලීග ශූරතා හතක් දිනා ගත්තා. පසුව ඔහු ස්පාඤ්ඤය පුරවැසිභාවය ලබාගෙන ස්පාඤ්ඤ්‍ය වෙනුවෙන් තරග හතරකට සහභාගී වුනා. ඉන් තුනක් 1962 ලෝක කුසලානයේ. නමුත් මේ තරග වලදී ඔහුට එක ගෝලයක්වත් ලබා ගන්න හැකි වෙන්නේ නෑ.

ක්‍රීඩාවෙන් සමුගත් පසු කළමණාකරුවෙක් විදිහට යුරෝපීය ක්‍රීඩා සමාජ ගණනාවක සේවය කරන පුස්කාස් නැවත හන් ගේරියාවට එන්නේ 1993 දී. ඔහු ඇල්සයිමර් රෝගය වැළඳීමෙන් 2006 දී මිය ගියා. අද ඔහු සැලකෙන්නේ හන්ගේරියාවේ ජාතික වීරයෙක් විදිහට​.

සාන්ඩෝර් කොචිස් 1958 දී ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ඇතුල් වුනා. බාසිලෝනා පිළ වෙනුවෙන් තරග 75 කට සහභාගී වෙන කොචිස් 1965 දී ක්‍රිඩාවෙන් ගත්තා. කළමණාකරුවෙක් විදිහට කෙටි කලක් කටයුතු කරන ඔහු ලියුකේමියාව සහ ආමාශයේ පිළිකාවක් වැළඳී ප්‍රතිකාර ගන්නා අතර 1979 දී බාසිලෝනා හි රෝහලක හතරවැනි තට්ටුවෙන් වැටීමෙන් මිය ගියා. බොහෝ දෙනා සිතන්නේ එය දිවි නසා ගැනීමක් බවයි. කොචිස් නැවතත් කිසි දිනෙක හන්ගේරියාවට යන්නේ නෑ.

නාන්ඩෝර් හිඩෙග්කුටි හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයෙක් නොවන නිසා හන්ගේරියාව හැර යන්නේ නෑ. නමුත් ඔහු 1958 දී ක්‍රීඩාවෙන් සමුගත්තා. ඊට පස්සේ ක්‍රීඩා සමාජ ගණනාවක කළමණාකරුවෙක් විදිහට කටයුතු කරන ඔහු මිය යන්නේ 2002 දී.

සොල්තාන් සීබොර් කොචිස් සමඟම 1958 දී බාසිලෝනා සමාජයට එක් වුනා. 1961 වන තුරු එහි ක්‍රීඩා කරන සීබොර් 1965 වන තුරු තවත් සුළු සමාජ ගණනාවක ක්‍රීඩා කළා. නැවත හන්ගේරියාවට එන සීබොර් 1997 දී මිය ගියා.

ජෝෂෙෆ් බොෂික් වර්ජනයට සහභාගී වුනේ නෑ. ඔහු නැවත හන්ගේරියාවට ඇවිත් දිගටම ජාතික කණ්ඩායමට සහ හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කළා. 1962 දී ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහු හොන්වේඩ් සහ ජාතික කණ්ඩායම් වල කළමණාකරු විදිහට කටයුතු කළා. ඔහු 1978 දී හෘදයාබාධයකින් මිය ගියා.

දැල රකින ක්‍රීඩක ගියුලා ග්‍රොචිස් බටහිර යුරෝපයේ ජීවත් වෙන්න උත්සහ කළත් එය සාර්ථක වුනේ නෑ. ඔහු නැවතත් 1958 දී හන්ගේරියාවට ආවා. නමුත් ඔහුට හොන්වේඩ් සමාජයට ක්‍රීඩා කරන්න රජය ඉඩ දුන්නේ නෑ. ඒ වෙනුවට ඔහුව කුඩා ක්‍රීඩා සමාජයකට මාරු කෙරුනා. 1962 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තා. පෙණහළු වා සහ හදවතේ රෝග වලින් පීඩා විඳි ග්‍රොචිස් 2014 දී මිය ගියා.

හන්ගේරියාව නැවතත් කිසි දිනෙක් පාපන්දු ලෝකයේ බලවතෙක් වුනේ නෑ. 1962 සහ 1966 ලෝක කුසලාන වල අර්ධ අවසන් පූර්ව තරග දක්වා යාමට ඔවුන් සමත් වුනත්, එතැනින් එහාට යන්න ඔවුන්ට හැකි වෙලා නෑ. 1990 සිට අද දක්වා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට පවා ඔවුන් අසමත් වෙලා තියෙනවා.


Monday, July 9, 2018

මැග්යාර් මායාකාරයෝ - 3


යුරෝපයේ දේශපාලන තත්වය​


මේ වෙද්දිත් යුරෝපය දෙවැනි ලෝක යුද්ධයේ විනාශයෙන් සම්පූර්නයෙන්ම මිදිල තිබුනේ නෑ. ඒ වගේම සීතල යුද්ධයේ බලපෑම ඉතාම තදින් මුළු යුරෝපයම වසාගෙන හිටියා.

මුළු නැගෙනහිර යුරෝපයම සෝවියට් දේශයේ හිතවාදී කඳවුරේ සාමාජිකයන් වෙලා හිටියා. මුළු බටහිර යුරෝපයම ඇමරිකානු හිතවාදී කඳවුරේ සාමාජිකයන් වෙලා හිටියා. යුගොස්ලාවියාව ස්වාධීන කොමියුනිස්ට් රටක් වශයෙන් කටයුතු කළා.

ජර්මනිය යුද්ධයෙන් සම්පුර්නයෙන්ම විනාශ වෙලා තිබුනේ. යුද්ධයෙන් පස්සෙ සෝවියට්, බ්‍රිතාන්‍යය​, ඇමරිකානු සහ ප්‍රංශ හමුදා ජර්මනිය හතරට බෙදාගෙන පාලය කළා. 1949 දී සෝවියට් කොටස නැගෙනහිර ජර්මනිය නමිනුත් ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය කොටස් බටහිර ජර්මනිය නමිනුත් වෙනම රටවල් දෙකක් විදිහට නිදහස ලැබුවා. ප්‍රංශ කොටස "සාර් ආරක්‍ෂිත ප්‍රදේශය" නමින් දිගටම ප්‍රංශය යටතේ පාලනය වුනා.

මේ දේශපාලන තත්වය ක්‍රීඩාවටත් තදින්ම බලපෑවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ බිහිවුන නව ලෝක රටාවේ බලවතා වෙන්න ඇමරිකාව සහ සෝවියට් දේශය පොර කෑවා. වඩා දියුණු සමාජය තමාගේ යැයි කියාගන්න මේ දෙරටම උත්සහ කළා. දෙපිලම ඒ සඳහා ක්‍රීඩාව යොදාගත්තා.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාලයේ කොමියුනිස්ට් රටවල් ක්‍රීඩාවේ දියුණුව සඳහා විශාල ආයෝජනයක් කලා. ඒ අනුව 1950 දශකයේ මැද භාගයේ සිට ලෝකයේ ක්‍රීඩාව අතින් අංක එක තැනට එන්න සෝවියට් දේශයට හැකි වුනා.

ඒ වැඩ පිළිවෙලේම කොටසක් විදිහට තමයි හන්ගේරියාව ලෝක පාපන්දු බලවතා බවට පත් වෙන්නේ.

මේ තත්වය බටහිර යුරෝපයේ උභතෝකෝටිකයක් ඇති කලා. එක අතකින් හන්ගේරියාව ප්‍රේක්‍ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන හිටියා. ඔවුන් ගේ තරග බලන්න විශාල ප්‍රේක්‍ෂක පිරිසක් ආවා. එමගින් සංවිධායකයන්ට විශාල මුදලක් උපයාගන්න හැකි වුනා. ඒත් අනික් අතින් හන්ගේරියානු පිලේ සාර්ථකත්වය කියාපෑවේ ධනවාදී සමාජයට වඩා කොමියුනිස්ට් සමාජයේ සාර්ථකත්වය​.

1954 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ මේ වගේ පසුබිමක​.



තෝරාගැනීමේ තරග​

 


තරගාවලිය පැවැත්වුනේ මධ්‍යස්ථ රටක් වුන ස්විට්සර්ලන්තයේ.

තෝරාගැනීමේ තරග පැවැත්වුනේ ස්ථාන 14 ක් වෙනුවෙන්. මේ ස්ථාන 16 යුරෝපයට සහ මැදපෙරදිගට 11 ක්, දකුණු ඇමරිකාවට 1ක්,  උතුරු ඇමරිකාවට 1ක් සහ ආසියාවට 1ක් වශයෙන් වෙන් වුනා.

කලින් වතාවේ ශූරයන් විදිහට උරුගුවේ සහ සත්කාරක රට විදිහට ස්විට්සර්ලන්තය කෙලින්ම සුදුසුකම් ලැබුවා.

සෝවියට් දේශය තරගාවලියට ඉදිරිපත් වුනේ නෑ.

නැගෙනහිර ජර්මනියත් ඉදිරිපත් වුනේ නෑ. බටහිර ජර්මනිය සහ සාර් ආරක්‍ෂිත ප්‍රදේශය කණ්ඩායම් දෙකක් වෙන වෙනම ඉදිරිපත් කලා. ඒත් සුදුසුකම් ලැබුවේ බටහිර ජර්මනිය පමණයි.

අවසානයේ තරගාවලියට සුදුකම් ලැබුව කණ්ඩායම් 16 වුනේ ස්විට්සර්ලන්තය​, උරුගුවේ, ඔස්ට්‍රියාව​, බෙල්ජියම​, චෙකොස්ලොවැකියාව​, එංගලන්තය​, ප්‍රංශය​, හන්ගේරියාව​, ඉතාලිය​, ස්කොට්ලන්තය​, බටහිර ජර්මනිය​, යුගොස්ලාවියාව​, මෙක්සිකෝව​, බ්‍රසීලය, තුර්කිය සහ දකුණු කොරියාව​.

මේ කණ්ඩායම් 16 ශ්‍රේණිගත කිරීම් අනුව "ප්‍රධාන​" 8 ක් සහ "සුළු" 8 ක් විදිහට කොටස් දෙකකට බෙදුනා. ඒ අනුව බ්‍රසීලය​, ප්‍රංශය​, හන්ගේරියාව​, තුර්කිය​, උරුගුවේ, ඔස්ට්‍රියාව​, එංගලන්තය සහ ඉතාලිය ප්‍රධාන කණ්ඩායම් විදිහටත් අනෙක් කණ් ඩායම් සුළු කණ්ඩායම් විදිහටත් වර්ග කෙරුනා.


මූලික වටය​


මූලික වටයේ තරග පැවැත්වුනේ කණ්ඩායම් හතර බැගින් වුනු කාණ්ඩ 4 කට​. හැම කාණ්ඩයටකම ප්‍රධාන කණ්ඩායම් දෙකක් සහ සුළු කණ්ඩායම් දෙකක් අඩංගු වුනා. කාණ්ඩය ඇතුලේ තරග පැවැත්වුනේ ප්‍රධාන කණ්ඩායම් සහ සුළු කණ්ඩායම් අතර පමණයි. වැඩිම ලකුණු ලබා ගත්ත කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

හන්ගේරියාව අයත් වුනේ දෙවැනි කාණ්ඩයට​. එයට අයිති වුන අනෙක් කණ්ඩායම් වුනේ තුර්කිය​, බටහිර ජර්මනිය සහ දකුණු කොරියාව​. මේ කාණ්ඩය සැලකුනේ පහසු කාණ්ඩයක් විදිහට​. කොරියානු යුද්ධයෙන් සහ දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනියත් දකුණු කොරියාවත් සම්පූර්නයෙන්ම විනාශ වෙලා තිබුන නිසා ඒ රටවල පාපන් දු ක්‍රීඩාව තිබුනේ දුර්වල අඩියක​. ප්‍රධාන කණ්ඩායම් දෙක වුන හන්ගේරියාව සහ තුර්කිය පහසුවෙන්ම ඊළඟ වටයට සුදුසුකම් ලබයි කියල කවුරුත් බලාපොරොත්තු වුනා.

කාණ්ඩයේ පළමු තරගය පැවැත්වුනේ බටහිර ජර්මනිය සහ තුර්කිය අතර​. බටහිර ජර්මනියේ වෘත්තීය පාපන්දු සමාජ මේ වනවිටත් හරිහැටි ආරම්භ වෙලා තිබුනේ නෑ. ඒ නිසා ඔවුන් ගේ පිලේ වැඩි දෙනා ආධුනික ක්‍රීඩකයන් වුනා. නමුත් කවුරුවත් නොසිතූ විදිහට ඔවුන් 4-1 විදිහට තරගය ජයග්‍රහනය කලා.

දකුණු කොරියාව සහ හන්ගේරියාව අතර පැවැත්වුන ඊළඟ තරගයේදී හන්ගේරියාව තමාගේ සුපුරුදු දක්‍ෂකම් පෙන්වමින් 9-0 විදිහට තරගය ජයග්‍රහනය කලා. එහිදී කොචිස් ගෝල ත්‍රිත්වයක් ලබා ගත් අතර පුස්කාස් සහ පලොටාස් ගෝල දෙක බැගින් ලබා ගත්තා.

දකුණු කොරියාවට එරෙහිව කොචික් ගේ ගෝලයක්
බටහිර ජර්මනිය එක්ක තිබුන ඊළඟ තරගයත් 8-3 වශයෙන් පහසුවෙන් ජය ගන්න හන්ගේරියාවට හැකි වුනා. එහිදී කොචික් ගෝල හතරක් සහ හිඩෙග්කුටි ගෝල දෙකක් ලබා ගත්තා. නමුත් අවාසනාවකට පුස්කාස් මේ තරගයේදී ජර්මානු ආරක්‍ෂකයන් ගේ රළු ක්‍රීඩා විලාශයකට ඉලක්ක වුනා. එහි ප්‍රතිඵල වුනේ ඔහුගේ වම් පාදයේ සුළු අස්ථි බිඳීමක් ඇති වීම​. මේ නිසා ඔහුට ඉදිරි තරග වලට සහභාගී වෙන්න බැරි වුනා.

මේ අතර තුර්කිය 7-0 වශයෙන් දකුණු කොරියාව පරාජය කිරීම නිසා බටහිර ජර්මනිය සහ තුර්කිය ලකුණු සම තත්වයට පැමිනියා. ඒනිසා ඒ දෙරට අතර තවත් තරගයක් පැවැත්වුනා. එයින් 7-2 වශයෙන් ජය අරගෙන ඊළඟ වටයට යන්න බටහිර ජර්මනිය සමත් වුනා.


බර්න් හි සටන​


අර්ධ අවසන් පූර්ව තරගය සඳහා හන්ගේරියාව සමඟ තරග වැදුනේ බ්‍රසීලය​. කණ්ඩායම් දෙකම ඉතාමත් දක්‍ෂ සහ ආක්‍රමනශීලී ක්‍රීඩකයන් ගෙන් පිරුණු තමාටම ආවේනික තරග රටාවන් අනුගමනය කරන කණ්ඩායම් දෙකක් වුනු නිසා කවුරුත් විශිෂ්ඨ තරගයක් බලාපොරොත්තු වුනා.

ඒත් තරගය ඉවර වුනාට පස්සේ තරගයේ විනිසුරුවරයා තරගය ගැන කිව්වේ මේ වගේ:

"මම හිතුවේ ඒක මම ජීවිතේට දකින හොඳම තරගය වෙයි කියලා. මම හිටියෙ ඉතාම සතුටින්. මම දන්නෙ නෑ ඒකට හේතු වුනේ දේශපාලනයද ආගමද නැත්තං වෙන මොකක් හරි ද කියල​. ඒත් ඔවුන් හැසිරුනේ වල් සත්තු වගේ. ඒක අවමානයක්. ඒක ඉතාම නරක තරගයක්."


තරගය පැවැත්වුනේ මහ වැස්සකින් මඩ ගොඩක් බවට පත් වුනු ක්‍රීඩා පිටියක​. මඩ නිසා කණ්ඩායම් දෙකටම තමාගේ නිදහස් ක්‍රීඩා විලාශයට අවතීර්න වෙන්න අපහසු වුනා. මේ නිසා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් හිටියෙ නොරිස්සුමෙන්.

තරගයේ තුන්වැනි සහ හත්වැනි විනාඩි වලදී හිඩෙග්කුටි සහ කොචිස් විසින් ලබා ගත් ගෝල දෙකක් හරහා හන්ගේරියාව 2-0 ලෙස ඉදිරියට ආවා. ඒත් වැඩි වෙලාවක් නොගිහින් සපත්තු වලින් තුවාල වුන ක්‍රීඩාපිටිය මඩ ගොඩක් බවට පත් වුනා.

මඩ නිසා ක්‍රීඩකයන්ට පන්දුව පාලනය කරගන්න අපහසු වුනා. වේගවත් ධාවනයන්ට ඉඩක් ලැබුනෙත් නෑ. මේ නිසා කණ්ඩායම් දෙකම වඩාත් රළු ක්‍රීඩා රටාවකට පෙළඹුනා. 18 වැනි විනාඩියේදී හන් ගේරියාවට එරෙහිව ලැබුනු දඬුවම් පහරකින් ලකුණු පුවරුව 2-1 බවට පත් කරන්න ජල්මා සැන්ටෝස් සමත් වුනා.

60 වෙනි විනාඩියේදී බ්‍රසීලයට එරෙහිව ලැබුනු දඬුවම් පහරක් මගින් තුන්වැනි හන්ගේරියානු ගෝලය ලබා ගන්න ලැන්ටෝස් සමත් වුනා. නමුත් ඒ එක්කම බ්‍රසීල පුහුණුකරු සහ මාධ්‍යවේදීන් පිරිසක් පිටියට කඩා වැදුනා. පිටියේ ඇති වුන මහා කලබගෑණිය නවතන්න පොලිසියට මැදිහත් වෙන්න සිදු වුනා.


සුළු වේලාවකට පස්සේ බ්‍රසීල ප්‍රහාරක ජුලීඤෝ ලබාගත්ත ඉතාම අලංකාර ගෝලයක් හරහා ලකුණු පුවරුව 3-2 බවට පත් කරන්න බ්‍රසීලය සමත් වුනා.

හැත්තෑ එක් වෙනි විනාඩියේදී බ්‍රසීල ආරක්‍ෂක නිල්ටන් සැන්ටෝස් ගේ ඉතාමත් රළු ටැකල් කිරීමක් නිසා ජෝෂෙෆ් බොෂික් බිම ඇද වැටුනා. නැවතත් නැගී සිටිය බොෂික් සැන්ටෝස් ට පහර දුන්නා. ක්‍රීඩකයන් දෙන්නා අතර ඇතිවුන ගුටි කෙළිය නවතන්න විනිසුරුවාට මැදිහත් වෙන්න වුනා. ඔහු දෙදෙනාටම රතු කාඩ්පත් පෙන්වා පිටියෙන් ඉවත් කළා.


නමුත් ගැටුම අනෙක් ක්‍රීඩකයන් අතරටත් පැතිර ගියා. ජල්මා සැන්ටෝස් කෙළ ගසමින්, කුණුහරුපයෙන් ශාප කරමින් සහ වියරු අභිනයන් දක්වමින් සොල්තාන් සීබොර් පසු පස හඹා ගියා.

කාලය කෙමෙන් ගත වෙද්දී බ්‍රසීලය සියළුම ක්‍රීඩකයන් යොදාගනිමින් හන්ගේරියානු ගෝලයට දැඩි ප්‍රහාරයක් එල්ල කරා. ඔවුන් ගෝලය වෙත ප්‍රහාර කීපයක්ම යොමු කළත්, ඒවා ගෝල බවට පත් කරගන්න වාසනාව තිබුනේ නෑ. මේ ප්‍රහාරය අස්සේ බ්‍රසීල ආරක්‍ෂක පෙළේ ඇති වුනු සිදුරකින් රිංගා ගිය කොචිස් 88 වැනි විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කලා. ලකුණු පුවරුව 4-2.

තරගය අවසාන වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී බ්‍රසීල ප්‍රහාරක උම්බෙර්ටෝ ටොසී හන්ගේරියානු මැදපෙළ ක්‍රීඩක ගියුලා ලෝරන්ට් ට පයින් ගැහුවා. ලෝරන්ට් වේදනාවෙන් මිරිකෙමින් බිම ඇද වැටෙද්දී ටොසීට හිමිවුනේ රතු කාඩ් පත​.


තරගය අවසන් වුනේ හන්ගේරියාව 4-2 වශයෙන් ජය ගැනීමෙන්.

තරගය අවසන් වුනත් ගුටිබැට හුවමාරුව අවසන් වුනේ නෑ. ක්‍රීඩාගාරය වෙත යාමෙන් අනතුරුව ගැටුම දිග් ගැස්සුනා. සමහර සාක්‍ෂි කරුවන්ට අනුව පුස්කාස් බෝතලයකින් බ්‍රසීල ක්‍රීඩකයෙක්ට පහර දුන්නා. බ්‍රසීල ක්‍රීඩකයන් හන්ගේරියානු කාමරයට කඩා වැදුනා. ඇති වුනු ගුටි කෙලියේදී ක්‍රීඩකයන් කීපදෙනෙක්ම තුවාල ලැබුවා. හන් ගේරියානු පුහුණුකරුගේ මුහුණට මැහුම් හතරක් දාන්න සිදු වුනා.

මේ තරගය "බර්න් හි සටන​" විදිහට පාපන්දු ඉතිහාසයට එක් වුනා.

අවසන් පූර්ව තරගය​


අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලයට මුණ ගැහුනේ ලෝක ශූරයන් වුන උරුගුවේ කණ්ඩායම​. බොහෝ විචාරකයන් ගේ මතය අනුව තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙක වුනේ හන්ගේරියාව සහ උරුගුවේ. ඒ වගේම ඉතාම විශිෂ්ඨ තරගයක් කාටත් දැකගන්න පුළුවන් වුනා.

තරගය පටන් ගත්ත මොහොතේ ඉඳලම හන්ගේරියාව ක්‍රීඩා කලේ ඉතාම ආක්‍රමනශීලී විදිහට​. උරුගුවේ ආරක්‍ෂක ක්‍රීඩකයන් ඔවුන් ගේ ප්‍රහාරයන් කීපයක්ම වළක්වන්න සමත් වුනා. ඒත් 13 වැනි විනාඩියේදී සීබොර් පළමු ගෝලය වාර්තා කළා.

පළමු භාගය පුරාවටම දෙපිලම ඉතාම ආක්‍රමනශීලි විදිහට ක්‍රීඩා කළත් දෙපිලේම දැල රකින ක්‍රීඩකයන් ගේ දක්‍ෂතා නිසා පළමු භාගය අවසන් වුනේ ලකුණු පුවරුව 1-0 විදිහට​.


46 වැනි විනාඩියේදී හිඩෙග්කුටි හන්ගේරියාවේ දෙවැනි ගෝලයත් ලබා ගත්තා. කණ්ඩායම් දෙකම දිගටම ආක්‍රමන්ශීලී ක්‍රීඩාවක නිරත වුනා.

තරගය අවසන් වෙන්න විනාඩි 15 ක වගේ කාලයක් ඉතිරිව තිබියදීත් ලකුණු පුවරුව කියැවුනේ 2-0 විදිහට​. ඒ මොහොතේදී තමයි උරුගුවේ මැදපෙළ ක්‍රීඩක ජුවාන් ෂියාෆිනෝ සහ ප්‍රහාරක ජුවාන් හෝබර්ග් ක්‍රියාත්මක වුනේ. 75 වෙනි සහ 86 වෙනි විනාඩි වලදී ෂියාෆිනෝ ගේ පන් දු යොමු කිරීම් හන්ගේරියානු ගෝලය තුළට යොමු කරන්න හෝබර්ග් සමත් වෙනවා.

තරගය අවසන් වෙන්නේ 2-2- විදිහට​.

අතිරේක කාලය පටන් අරන් සුළු මොහොතකින් නැවතත් ෂියාෆිනෝ සහ හෝබර්ග් ක්‍රියාත්මක වෙනවා. ඒත් මෙවර උරුගුවේ පිළට වාසනාව නෑ. බෝලය ගෝලයට අඟල් කීපයක් ඈතින් යනවා.

තරගය නිමාවෙන්න විනාඩි 9 ක් තිබියදී බුදායි ගේ පන්දු යොමු කිරීමක් හිසෙන් උරුගුවේ ගෝලය තුළට යවන්න කොචිස් සමත් වෙනවා. ඊට විනාඩි පහකට පස්සෙ බොෂික් ගේ පන්දු යොමු කිරීමක් නැවතත් හිසෙන් පහරදී හතරවැනි හන්ගේරියානු ගෝලය ලබා ගන්න කොචිස් සමත් වෙනවා.


තරගය අවසන් වෙන්නේ 4-2 ලෙසට හන් ගේරියාව ජයග්‍රහණය කිරීමෙන්.

මේ තරගය අදටත් සැලකෙන්නේ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ඨතම තරගයක් විදිහට​.


බර්න් හි ආශ්චර්‍යය​


අවසාන තරගයට කවුරුත් නොසිතූ විදිහට හන්ගේරියාවේ ප්‍රතිවාදියා වෙන්නේ බටහිර ජර්මනිය​. අත්දැකීම් විරල ආධුනික ක්‍රීඩකයන් ගෙන් සමන්විත වුනු බටහිර ජර්මනි කණ්ඩායම ඉතා දැඩි අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාශයක් සහ තරග සංවිධානයේ තිබුණු අඩුපාඩුවක් නිසා ඉදිරියට එන්න සමත් වුනා.

මූලික වටයෙන් කාණ්ඩයෙන් දෙදෙනා බැගින් ඊළාඟ වටයට තේරුනත්, ඊළඟ වටයේදී තරග පැවැත්වුනේ හැම කාණ්ඩයේම පළමු ස්ථානය ගත් කණ්ඩායම් එක පසෙකත් දෙවැනි ස්ථාන ගත් කණ්ඩායම් එක පසෙකත් තියෙන විදිහට​. ඒ නිසා හන්ගේරියාවට බ්‍රසීලය, උරුගුවේ වැනි ඉතා අසීරු ප්‍රතිවාදීන් හමුවෙද්දී බටහිර ජර්මනියට හමුවෙන්නේ යුගොස්ලාවියාව, ඔස්ට්‍රියාව වැනි සාපේක්‍ෂව පහසු ප්‍රතිවාදීන්.


ආයෙත් තරගය පැවැත්වුනේ වැස්සෙන් තෙතබරි වුන ක්‍රීඩා පිටියක​. මේ තත්වය හන්ගේරියාවේ වේගවත්, කෙටි යොමු කිරීම් සහිත ක්‍රීඩාවට විශාල බාධකයක් වුනත් ජර්මනියේ ක්‍රීඩා විලාශයට එතරම් බලපෑමක් වුනේ නෑ.

ඒ වගේම අවසන් තරගයට පුස්කාස් නැවත් කණ්ඩායමට එක් වුනා. ඒත් ඔහුගේ කකුල හොඳටම සුවපත් වෙලා තිබුනේ නෑ.

තරගය පටන් ගත්ත විගසම හන්ගේරියාව තමාගේ සුපුරුදු ආක්‍රමනශීලී ක්‍රීඩා විලාශයට යොමු වුනා. 6 වැනි විනාඩියේදී පුස්කාස් සහ 8 වැනි විනාඩියේදී සීබොර් ලබා ගත් ගෝල හරහා හන්ගේරියාව 2-0 විදිහට ඉදිරියට ආවා.

ඒත් වැඩි වෙලා නොගිහින් ජර්මනිය ප්‍රතිප්‍රහාර එල්ල කලා. 10 වැනි විනාඩියේදී මොර්ලොක් ජර්මනිය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තා. 18 වැනි විනාඩියේදී රාන් ජර්මනියේ දෙවැනි ගෝලයත් ලබා ගනිමින් ලකුණු 2-2 ලෙස සම කළා.

මේ දෙවැනි ගෝලය ඉමහත් මතබේදයට තුඩු දුන්න ගෝලයක්. ජර්මන් පිලේ කොන් පහර අල්ලගන්න හන් ගේරියානු දැල රකින්නා ඉදිරියට ආවත් ජර්මන් ක්‍රීඩකයෙක් ඔහුට බාධා කළා. මේ නිසා රාන් ගෝලය ලබාගත්තේ ප්‍රතිරෝධයකින් තොරව​. නමුත් විනිසුරුවා මේ බාධා කිරීම දකින්නේ නෑ.


එතැන ඉඳල පැවතුනේ ඉතා තියුණු තරගයක්. එන්න එන්නම මඩ වෙන පිටියේ දෙපිලම ක්‍රීඩා කලේ ඉතා අපහසුවෙන්. ඒත් "අඩිඩාස්" සමාගමෙන් ලබා දුන් විශේෂ සපත්තු නිසා ජර්මන් කණ්ඩායමට මඩ ප්‍රශ්නයක් වුනේ අඩුවෙන්. හන්ගේරියානුවන් මේ මඩ ගොහොරුව මත දැඩි අසීරුවෙන් තමාගේ සුපුරුදු ක්‍රීඩා රටාවට එළැඹෙන්න උත්සහ කළා.


ජර්මන් දැල රකින ක්‍රීඩක ටුරෙක් ගේ දක්‍ෂතාවය සහ අවාසනාව නිසා හන්ගේරියාවට ගෝල ලබා ගැනීමේ අවස්ථා කීපයක්ම ගිලිහිලා ගියා. කොචිස් ගේ පහරක් ඉතා දක්‍ෂ ලෙස ටුරෙක් රැකගත්ත අතර හිඩෙග්කුටි ගේ පහරක් ගෝලයේ හරස් පොල්ලේ වැදුනා.

තරගයේ අවසාන මොහොත දක්වා ලකුණු පුවරුව කියැවුනේ 2-2 විදිහට​.

ඒත් 84 වැනි විනාඩියේදී හන් ගේරියානු ආරක්‍ෂක පෙලේ සුළු අතපසු වීමකින් ප්‍රයෝජන ගත්ත රාන් තමාගේ දෙවැනි සහ ජර්මනියේ තුන්වැනි ගෝලය ලබා ගත්තේ කවුරුත් විශ්මයට පත් කරමින්. දැන් ජර්මනිය 3-2 ව්දිහට ඉදිරියෙන්. තරගය නිමා වෙන්න තියෙන්නේ විනාඩි 10 කට අඩු කාලයක්.


විනාඩි දෙකකට පස්සෙ ටොත් ගේ ස්ථාන ගත කිරීමක් යන්තම් ජර්මන් ගෝලය තුළට යවන්න පුස්කාස් සමත් වුනා. දැන් ආයෙත් ලකුණු සම වෙලා.


ඒත් පැති විනිසුරු පුස්කාස් ඕෆ් සයිඩ් බවට තීරණය කළා. ගෝලය ලබා දුන්නේ නෑ. ලකුණු පුවරුව කියැවුනේ 3-2 විදිහට​.

නමුත් පසුව රූපවාහිනී දර්ශන වලින් පෙනුනේ පුස්කාස් ඕෆ් සයිඩ් නොවන බව​. මේ තීරණය අදටත් ලෝක කුසලාන ඉතිහාසයේ ඉතාමත් මතබේධාත්මක තීරණයක්.

නොබෝ වේලාවකින් තරගය අවසන් වුනා. බටහිර ජර්මනිය ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම පෙරළියක් සිදු කරමින් 3-2 විදිහට 1954 ලෝක කුසලානය ජය ගන්න සමත් වුනා. ඔවුන් අතින් පරාජය වුනේ පාපන්දු ලොව දැවන්තයක් වුන මැග්යාර් මායාකාරයෝ.


තරගාවලිය අවසන් වුනත් මතබේද අවසන් වුනේ නෑ. ටික දවසකින් බටහිර ජර්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම අසනීප වුනා. ඔවුන් තහනම් උතේජක ලබා ගත් බවට කටකතා පැතිර ගියා. බටහිර ජර්මනිය මේ චෝදනා ප්‍රතික්‍ෂේප කළත්, පසු කාලීන සොයා බැලීම් වලින් ඉඟි කෙරුනේ මේ චෝදනා ඇත්ත බව.

කොහොම නමුත් මුළු ලෝකයම තමා අබියස දණ ගැස්වූ මායාකාරයන්ට ගෙදර යන්න වුනේ හිස් අතින්.


Friday, July 6, 2018

මැග්යාර් මායාකාරයෝ - 2



මධ්‍යම යුරෝපියානු කුසලානය - 1949


මැග්යාර් මායාකාරයන් ගේ ආරම් භය විදිහට සාමාන්‍යයෙන් සලකන්නේ 1949 මධ්‍යම යුරෝපියානු කුසලාන තරගාවලිය​. ඒ තරගාවලිය තමයි ගුස්ටාව් සෙබෙස් කණ්ඩායම බාරගත්තට පස්සෙ පැවැත්වුන පළමු තරගාවලිය​.

මධ්‍යම යුරෝපියානු කුසලානය කියන්නේ ඒ කාලයේ පැවැත්වුන මධ්‍යම යුරෝපයේ රටවල් කීපයක් සහභාගී වුන තරගාවලියක්. මෙහි විශේෂත්වය වුනේ මේ තරගාවලිය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වීම​. 1948 ඇරඹුන තරගාවලිය අවසන් වුනේ 1953.

1948 - 53 තරගාවලියට සහභාගී වුනේ හන්ගේරියාව​, ඔස්ට්‍රියාව​, චෙකොස්ලොවැකියාව​, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය කියන රටවල් පහ​. 1948 දී පැවැත්වුන ස්විට්සර්ලන්තය සහ චෙකොස්ලොවැකියාව සමඟ  තරග වලින් හන්ගේරියාව ජයගෙන තිබූ අතර ඔස්ට්‍රියාව සමඟ පැවැත්වුනු තරගයෙන් ඔවුන් පරාජයට පත් වුනා.

හන්ගේරියාව "මායාකාරයෝ" විදිහට සකස් වුනාට පස්සෙ පැවැත්වුන පළමු තරගය තිබුනේ ඔස්ට්‍රියාවත් සමඟ බූදපෙස්ට් නගරයේ. ඒ තරගයෙන් 6-1 ලෙස ජය ගන්න "මායාකාරයෝ" සමත් වුනා. මේ තරගයේ දී නායක පුස්කාස් ගෝල ත්‍රිත්වයක් ලබා ගන්න සමත්වුනා.

ඊළඟට පැවැත්වුන තරගය පැවැත්වුනේ බූදපෙස්ට් නගරයේම ඉතාලියත් සමඟ​. එහිදී තරගය 1-1 ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

මේ තරග දෙකත් එක්ක මධ්‍යම යුරෝපියානු කුසලාන තරගාවලියේ මුල් තැන ගන්න හන්ගේරියාවට පුළුවන් වුනා.


1950 - 52 කාලය​


1950 - 52 කාලයේදී හන්ගේරියාව යුරෝපය පුරා තරග ගණනාවකට සහභාගී වුනා.

මුලින්ම ඔවුන් තරග වැදුනේ ස්වීඩනය සමඟ. එම තරගය 2-2 වශයෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුනා. ඊළඟට පිළිවෙලින් පෝලන්තය 8-2 වශයෙන්, ඔස්ට්‍රියාව 4-3 වශයෙන්, බල්ගේරියාව 5-0 වශයෙන්, ස්වීඩනය 5-0 වශයෙන් සහ චෙකොස්ලොවැකියාව 5-0 වශයෙන් පරාජය කරන්න හන්ගේරියාව සමත් වුනා.

මේ ජයග්‍රහන මාලාවත් එක්ක හන්ගේරියාව පාපන්දු ලෝකයේ අවධානය දිනා ගත්තා. ඔවුන් ගේ ආක්‍රමන්ශීලී සහ ආකර්‍ෂනීය ක්‍රීඩා විලාශය ප්‍රේක්‍ෂකයන් අතර ඔවුන්ට ඉමහත් ජනප්‍රියත්වයක් ලබා දෙන්න සමත් වුනා.

ඊළඟ තරගය ඔවුන් 3-5 ලෙස ඔස්ට්‍රියාව හමුවේ පරාජය වුනත්, පෝලන්තය සමඟ 3-2, ඇල්බේනියාව සමඟ 12-0 සහ ඔස්ට්‍රියාව සමඟ 4-3 ලෙසින් ඊළඟ තරග තුන ජයගන්න මායාකාරයෝ සමත් වුනා.

ඊටපසුව තිබ්බ බල්ගේරියාව සමඟ තරගය 1-1 ලෙස නිමා වුනත්, ඊළඟට තිබ්බ තරග පිළිවෙලින් පෝලන්‍තය 6-0, චෙකොස්ලොවැකියාව 2-1, ෆින්ලන්තය 8-0, නැගෙනහිර ජර්මනිය 5-0, පෝලන්‍තය 5-1 සහ ෆින්ලන්තය 6-1 වශයෙන් ජය ගන්න ඔවුන් සමත්වුනා.

1952 ඔලිම්පික්


1952 ඔලිම්පික් උළෙල පැවැත්වුනේ ෆින්ලන්තයේ හෙල්සිංකි නුවර​.

ඔලිම්පික් නීති රීති අනුව මේ තරගවලට සහභාගී වෙන්න පුළුවන් වුනේ ආධුනික හෙවත් මුදලට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්ට පමණයි. මේක කොමියුනිස්ට් රටවලට විශාල වාසියක් වුනා. ඒ ඔවුන් ගේ සියළුම ක්‍රීඩකයන් මුදලට ක්‍රීඩා නොකරන අය වීම නිසා. මේ නිසා කොමියුනිස්ට් නොවන රටවලින් දෙවැනිපෙළ කණ්ඩායමක් තරගාවලියට සහභාගී වන විට ඔවුන්ට එරෙහිව සිටියේ කොමියුනිස්ට් රටවල් වල පළමුපෙලේ ජාතික කණ්ඩායම​.

තරගාවලිය ජයග්‍රහයනය කරනු ඇතැයි කවුරුත් බලාපොරොත්තු වුනේ සෝවියට් දේශය​. නමුත් හන්ගේරියාව තරගාවලියේ කළු අශ්වයා විදිහට කාගෙත් අවධානයට ලක් වුනා.

තරගාවලියේ නීති - රීති අනුව එය පැවැත්වුනේ පිළුමලුන් පිටු දැකීමේ ක්‍රමයට​.

හන්ගේරියාවට එරෙහිව පළමු තරගය තිබුනේ රුමේනියාවට සමඟ​. තරගය ඇරඹී පළවෙනි මිනිත්තුව ඇතුලතහන්ගේරියානු පිලේ ප්‍රහාරක ක්‍රීඩක හිඩෙග්කුටි රතු කාඩ් පතක් ලබා තරගයෙන් ඉවත් කෙරුනා. ඒ නිසා හන්ගේරියාව මුළු තරගය පුරාවටම ක්‍රීඩා කලේ ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන්. නමුත් 2-1 විදිහට තරගය ජය ගන්න ඔවුන්ට එය බාධාවක් වුනේ නෑ.

දෙවැනි වටයේදී හන්ගේරියාවට මුණ ගැහුනේ ඉතාලිය​. 3-0 ක පහසු ජයක් ලබන්න හන්ගේරියාව සමත් වුනා. මේ වටයේදී සෝවියට් දේශය පරාජය කරන්න යුගොස්ලාවියාව සමත්වීම විශේෂයක්.

අර්ධ අවසන් පූර්ව තරගයේදී හන්ගේරියාවේ ප්‍රතිවාදියා වෙන්නේ තුර්කිය​. තුර්කි කණ්ඩායම 7-1 විදිහට විනාශ කරන්න හන්ගේරියාව සමත් වුනා. මෙහිදී පුස්කාස් සහ කොචිස් ගෝල 2 බැගින් ලබා ගත්තා.

අවසන් පූර්ව තරගයේදී හන්ගේරියාව තරග කරන්නේ ස්වීඩනය සමඟ​. කොචිස් ගේ ගෝල දෙකක් සමඟ 6-0 ලෙස තරගය ජය ගන්න ඔවුන් සමත් වුනා. ජර්මනිය පරාජය කරමින් අනෙක් පසින් අවසන් තරගයට එන්නේ යුගොස්ලාවියාව​.

අවසන් තරගයේදී පෙරලිකාර හන්ගේරියාව සහ සෝවියට් දේශය පරාජය කළ යුගොස්ලාවියාව ගැටුනා. එහිදී පුස්කාස් සහ සීබොර් ගේ ගෝල දෙකක් සමඟින් 2-0 විදිහට තරගය ජයගෙන රන් පදක්කම ලබා ගන්න හන්ගේරියාව සමත් වුනා.


තරගාවලිය පුරාවටම හන් ගේරියාව ගෝල 20 ක් ලබා ගන්නා අතර​, ප්‍රතිවාදින්ට ලබා දෙන්නේ ගෝල 2 ක් පමණයි. සන්ඩෝර් කොචිස් ගෝල 6 ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා වුනා. මේ විශිෂ්ඨ ජයග්‍රහනයත් සමඟම හන්ගේරියානු කණ්ඩායම ලෝකයේ හොඳම පාපන්දු කණ් ඩායම විදිහට පොදු පිළි ගැනීමට ලක් වුනා.


ඔලිම්පික් වලින් පසු


ඔලිම්පික් ජයග්‍රහනයෙන් පසුව මධ්‍යම යුරෝපියානු කුසලානයේ ඉතුරු තරග පැවැත්වුනා. එහිදී ස්විට්සර්ලන්තය 4-2 ලෙසත් ඉතාලිය 3-0 ලෙසත් පරාජය කරමින් කුසලානය දිනා ගන්න හන්ගේරියාව සමත් වුනා.

ඉන්පසුව ආයෙත් මායාකාරයෝ සුහද තරග මාලාවකට සහභාගී වෙමින් යුරෝපය පුරා සංචාරය කරා. එහිදී ඔස්ට්‍රියාව සමඟ 1-1 ලෙසත්, බල්ගේරියාව සමඟ 1-1 ලෙසත්, ස්වීඩනය සමඟ 2-2 ලෙසත් ජය පරාජයෙන් තොරව තරග අවසන් කරන්නත්, ස්වීඩනය සමඟ 4-2 ලෙසත්, චෙකොස්ලොවැකියාව සමඟ 5-1 ලෙසත්, ඔස්ට්‍රියාව සමඟ 3-2 ලෙසත් ජය ගන්න ඔවුන් සමත් වුනා.

මේ වෙද්දි මායාකාරයෝ යුරෝපයේ ජනප්‍රියම පාපන්දු පිල බවට පත් වෙලා අවසන්.


සියවසේ තරගය​


නමුත් හන්ගේරියාවට කිරුළ ලබා දෙන්න පාපන්දු ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නු එංගලන්තය කැමැති වුනේ නෑ. ශ්‍රේණිගත කිරීම් වල මොනවා වුනත් එංගලන්තය සැලකුවේ තමාගේ ක්‍රීඩකයන් ලෝකයේ තාක්‍ෂනය අතින් විශිෂ්ඨම ක්‍රීඩකයන් බව​. මුළු ඉතිහාසයටම එංගලන්ත පිලක් එංගලන්තයේදී බ්‍රිතාන්‍යය නොවන කණ්ඩායමක් අතින් පරාජය වෙලා තිබුනේ එකම එක වතාවක් පමණක් වීම ඒ විශ්වාසය වඩාත් තහවුරු වෙන්න හේතුවක් වුනා.

මේ නිසාම එංගලන්තය තමාගේ විශිෂ්ඨ බව තහවුරු කරන්න හන් ගේරියාවට පාපන්දු තරගයක් සඳහා අභියෝග කලා. ඒ අනුව 1953 නොවැම්බර් මාසයේදී මායාකාරයෝ එංගලන්තය බලා පිටත් වුනා.

තරගය පැවැත්වුනේ 1953 නොවැම්බර් 23 වෙනිදා ලන්ඩනයේ වෙම්.බ්ලි ක්‍රීඩාංගනයේදී. ඒ අතිවිශාල 105,000 ක ප්‍රේක්‍ෂක පිරිසක් ඉදිරියේ. තරගය හැඳින්වුනේ "සියවසේ තරගය" නමින්.



එංගලන්ත පිළ සාම්ප්‍රදායික WM සැකැස්මට අනුව තරග වැදුනා. ඔවුන් තමාගේ බලාපොරොත්තු තැබුවේ ප්‍රහාරක ක්‍රීඩක ස්ටැන්ලි මැතිව්ස් සහ ස්ටැන් මෝර්ටෙන්සන්, දැල රකින ගිල් මෙරික් සහ ආරක්‍ෂක ක්‍රීඩක ඇල්ෆ්‍රඩ් රැම්සි මත​. මේ ක්‍රීඩකයන් හතර දෙනා එවකට ලෝකයේ සිටි දක්‍ෂම ක්‍රීඩකයන් විදිහට සැලකුනා. විශේෂයෙන් මැතිව්ස් සහ රැම්සි නයිට් නාමයෙන් පවා පුද ලැබූ අදත් ලෝක ඉතිහාසයේම විශිෂ්ඨ ක්‍රීඩකයන් විදිහට සැලකෙන ක්‍රීඩකයන්.

හන්ගේරියාව තමාගේ සුපුරුදු 2-3-3-2 සැකැස්ම අනුව තරග වැදුනා. ලෝකයේ අංක එකේ කණ්ඩායම වුනත්, ඔවුන් තවමත් එංගලන්තය වැනි ප්‍රභල ප්‍රතිවාදියෙක්ට මුහුණ දීල තිබුනේ නෑ.


තරගය පටන් ගෙන පළමුවැනි විනාඩියේදීම හන්ගේරියානු මධ්‍ය ප්‍රහාරක හිඩෙග්කුටි පළමු ගෝලය වාර්තා කලා. එතැන් පටන් එංගලන්ත පිලේ දෘඩ WM සැකැස්ම වටා රිංගා යමින් දිගින් දිගටම එංගලන්ත ගෝලය ආක්‍රමනය කරන්න හන්ගේරියානුවන් සමත් වුනා.

හිඩෙග්කුටි ගේ පළමු ගෝලය​
15 වැනි විනාඩියේදී ජැකී සෙවෙල් එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබා ගනිමින් ලකුණු සම කළත්, වැඩි වෙලා නොගිහින් හන්ගේරියානුවන් ගේ තාක්‍ෂනික උසස් බව ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්තා.


එංගලන්ත ආරක්‍ෂකයන් පිටිය පුරා දිව යන හන්ගේරියානු ප්‍රහාරකයන් පසුපස යන්නද​, නැතිනම් තමාගේ වසම ආරක්‍ෂා කරන්නද යන්න හිතාගැනීමට නොහැකිව අන්ද මන්ද වුනා. කෙටි පන්දු ස්ථානගත කිරීම් ඔස්සේ එංගලන්ත ආරක්‍ෂක පෙළ සම්පූර්නයෙන්ම විනාශ කර දාන්න මායාකාරයන්ට හැකි වුනා.

ඒ අනුව 20 වැනි විනාඩියේදී හිඩෙග්කුටි දෙවැනි වරටත් ගෝලයක් ලබා ගත් අතර​, 24 වැනි විනාඩියේදී පුස්කාස් හන්ගේරියාව වෙනුවෙන් තුන්වැනි ගෝලය ලබා ගත්තා.

පුස්කාස් (10) ගේ තුන්වැනි ගෝලය​
විනාඩි තුනකට පසු බොෂික් ගේ නිදහස් පහරක් නැවතත් එංගලන්ත ගෝලය තුලට යවන්න පුස්කාස් සමත්වුනා.

38 වැනි විනාඩියේදී මෝර්ටෙන්සන් එංගලන්තය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා.

පළමු භාගය නිමා වෙද්දි ලකුණු පුවරුව කියැවුනේ 4-2 විදිහට​.

දෙවැනි භාගයේදී තරගය ආරම්භ වෙලා විනාඩි 7 ක් ගත වෙද්දී බොෂික් හන්ගේරියානු පිලේ පස් වැනි ගෝලය වාර්තා කළා.


තවත් විනාඩි තුනක් ගත වෙද්දී එංගලන්ත ගෝලය මුවවිටේ සිදු කළ පන්දු හුවමාරු කිරීම් 10 ක් අවසානයේදී හිඩෙග්කුටි තමාගේ තුන්වැනි ගෝලයත් ලබා ගත්තේ ප්‍රේක්‍ෂකයන් විශ්මයෙන් මුසපත් කරමින්. ලකුණු තත්වය 6-2.

57 වන විනාඩියේදී එංගලන්තයට ලැබුණු දඬුවම් පහරකින් රැම්සි එංගලන්තය වෙනුවෙන් තුන්වැනි ගෝලය ලබා ගන්න සමත් වුනා.

එතැන් සිට හන්ගේරියාව කලේ කෙටි පන්දු ස්ථානගත කිරීම් පිළිබඳ ප්‍රදර්ශනයක්. එංගලන්ත ක්‍රීඩකයන්ට පන්දුව ලැබුනේ ඉතාම කලාතුරකින්. පැය බාගයක් පුරා හන්ගේරියානුවන් උනුන් අතර පන් දුව හුවමාරු කර ගනිමින් පිටිය පුරා නිදහසේ සැරි සැරුවේ ලක්‍ෂයකට අධික ප්‍රේක්‍ෂක පිරිස ඉදිරියේ එංගලන්ත පිළ අවමානයට ලක් කරමින්.

අවසාන ලකුණු පුවරුව කියැවුනේ 6-3 විදිහට​.

එංගලන්තය එංගලන්තයේදීම පරාජය කිරීමත් එක්කම හන්ගේරියාව පාපන්දු ලෝකයේ අද්වීතිය තැනක් ලබා ගත්තා.

ඊජිප්තුව 3-0 ලෙසත්, ඔස්ට්‍රියාව 1-0 ලෙසත් පරාජය කිරීමෙන් අනතුරුව හන්ගේරියාව නැවතත් එංගලන්තය සමඟ තරග වැදුනා. ඒ හන්ගේරියාවේ බූදපෙස්ට් නගරයේදී.

මෙවර එංගලන්තය පරාජය වුනේ 7-1 විදිහට​. හන්ගේරියාව වෙනුවෙන් පුස්කාස් සහ කොචිස් ගෝල 2 බැගිනුත්, ලැන්ටොස්, හිඩෙග්කුටි සහ ටොත් එක ගෝල බැගිනුත් වාර්තා කළා.

ඒ ජයත් එක්කම මායාකාරයන් ගේ දක්‍ෂතාවය ගැන කිසිම සැකයක් ඉදිරිපත් වුනේ නෑ.

1954 ස්විට්සර්ලන්තයේ පැවැත්වුන පාපන් දු ලෝක කුසලානයට හන්ගේරියාව ඉදිරිපත් වුනේ කුසලානය ජයගැනීමට වඩාත්ම ඉඩක් තිබුනු කණ්ඩායම වශයෙන්.

Thursday, June 21, 2018

මැග්යාර් මායාකාරයෝ - 1


මැග්යාර් කියන්නේ ක්‍රි.ව​. 900 දී පමණ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් වල ඉඳලා මධ්‍යම යුරෝපයට සංක්‍රමනය වුන ජන වර්ගයක්. ඔවුන් වර්තමාන හන්ගේරියාව ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි වෙනවා. අද වන විට හන්ගේරියාවේ ජනගහණයෙන් 90% පමණ මැග්යාර් වරුන් ගෙන් පැවත එන අය​.

ඒත් මේ කියන්න යන්නේ මැග්යාර් වරු ගැන නෙවෙයි. "මැග්යාර් මායාකාරයෝ" (Magical Magyars) කියල හැඳින්වුන පාපන්දු කණ්ඩායමක් ගැන​. ඒ 1949-1956 කාලයේ හන්ගේරියානු ජාතික පාපන්දු කණ්ඩායම​. ලෝක පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුන හොඳම කණ්ඩායම කියල සැලකෙන්නේ ඔවුන්.

මැග්යාර් මායාකාරයන් ගේ කතාව ඇතුලේ පාපන් දු වගේම දේශපාලනය සහ ඉතිහාසයත් නොමදව මුසු වෙලා තියෙනවා.

දෙවෙනි ලෝක යුද්ධය සහ ඉන් පසු හන්ගේරියාව​


දෙවෙනි ලෝක යුද්ධයේදී හන්ගේරියාව නාසි ජර්මනිය සමඟ සන්ධාන ගත වෙනවා. ඔවුන් සෝවියට් දේශයේ ආක්‍රමනයට ක්‍රියාකාරීව සහභාගී වන අතර හන්ගේරියාවේ ජීවත් වූ යුදෙව්වන් ඝාතනය කිරීම සඳහා ජර්මනුන්ට විශාල සහයක් ලබා දෙනවා. දෙවෙනි ලෝක යුධ සමයේ යුරෝපීය රටවලින් තුන්වෙනියට වැඩිම යුදෙව්වන් පිරිසක් ඝාතනය කරන්නේ හන්ගේරියාවේ (සෝවියට් දේශය සහ පෝලන්තයට පසු). ඒ මිලියන 0.5 හෙවත් යුද්ධයට පෙර යුදෙව් ජනගහණයෙන් 67% ක්.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙන්නේ හන්ගේරියාව සෝවියට් හමුදාවට යටත් වීමෙන්. 1945 පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජාතිකවාදීන් ජයග්‍රහනය කළත් සෝවියට් දේශයේ බලපෑම යටතේ කොමියුනිස්ට් වරු සමඟ සභාග රජයක් පිහිටුවන්න ඔවුන්ට සිදු වෙනවා. දූෂිත මැතිවරණ සහ විරුද්ධවාදීන් මර්ධනය කිරීම මගින් ක්‍රමයෙන් රජයේ බලය නතු කර ගැනීමට කොමියුනිස්ට් වරු සමත්වෙනවා. 1949 දී රටේ තනි බලය කොමියුනිස්ට් වරුන් අතට පත් වෙනවා.

මැග්යාර් මායාකාරයෝ බිහිවෙන්නේ ඒ පසුබිම තුල​.


ගුස්ටාව් සෙබෙස්



ගුස්ටාව් සෙබෙස් කියන්නේ පාපන්දු ක්‍රීඩකයෙක් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරියෙක්. 1949 දී ඔහුට හන්ගේරියානු රජය විසින් හන්ගේරියාවේ පාපන්දු ක්‍රීඩාව ගොඩනැංවීමේ වගකීම පවරනවා.

එවකට ලෝකයේ ප්‍රචලිත තෝරාගැනීමේ ක්‍රමය වුනේ රටේ දක්‍ෂම ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තේරීම​. නමුත් සෙබෙස් ඊට වඩා වෙනස් අදහසක් දැරුවා. ඔහුට උවමනා වුනේ දක්‍ෂම ක්‍රීඩකයන් නෙවෙයි. දක්‍ෂම කණ්ඩායම​.

තනි ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයන් ගෙන් ජාතික කණ්ඩායම තේරුවොත් අවුරුද්ද පුරාම එකට ක්‍රීඩා කරන නිසා ඔවුන් කණ්ඩායමක් වශයෙන් වඩා හොඳින් තරග කරනු ඇති බවයි සෙබෙස් ගේ මතය වුනේ.

1949 දී හන්ගේරියාව කොමියුනිස්ට් රාජ්‍යයක් වීමෙන් මේ මතය අත්හදා බැලීමේ අවස්ථාව සෙබෙස්ට හිමි වෙනවා. ඒ රජය විසින් සියළුම ක්‍රීඩා සමාජ ජනසතු කිරීම නිසා.

සෙබෙස් තමාගේ සමාජය විදිහට තෝරාගන්නේ බූදපෙස්ට් හි කිස්පෙස්ට් පාපන්දු සමාජය​. ඔහු එය හන්ගේරියානු යුධ හමුදාවට පවරාගෙන එය හමුදා ක්‍රීඩා සමාජය ලෙස පවත්වාගෙන යනවා. එහි නම "හොන්වේඩ්" ලෙස වෙනස් කෙරෙනවා මේ හොන්වේඩ් සමාජය තමයි සෙබෙස් ගේ සුපිරි කණ්ඩායමේ තිඹිරිගෙය වෙන්නේ.

ඉන්පසු සෙබෙස් කරන්නේ තමාට අවශ්‍යය ක්‍රීඩකයන් හොන්වේඩ් සමාජයට බඳවා ගැනීම. මේ සඳහා ඔහු පාවිච්චි කරන්නේ හන් ගේරියාවේ එවකට තිබූ අනිවාර්‍ය හමුදා සේවයේ නිරත වීමේ නීතිය. එමගින් ඔහු තමාට අවශ්‍ය ක්‍රීඩකයන් හමුදාවට බඳවාගෙන ඔවුන් හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයන් බවට පත් කරගන්නවා.

සෙබෙස් හන්ගේරියානු ජාතික කණ්ඩායමට තෝරා ගන්නේ ප්‍රධාන වශයෙන් හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයන්. ඊට අමතරව බූදපෙස්ට් නගරයේම "MTK බූදපෙස්ට්" ක්‍රීඩා සමාජයත් ජාතික කණ්ඩායමට දායකත්වයක් දක්වනවා. අනෙකුත් සමාජ වල ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තෝරා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්.


මායාකාරයෝ


හන්ගේරියානු ජාතික කණ්ඩායම ගොඩනැගෙන්නේ ප්‍රධාන ක්‍රීඩකයන් හය දෙනෙක් වටා.

ෆෙරෙක් පුස්කාස්

 


කණ්ඩායමේ නායකයා වුන​ පුස්කාස් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේම බිහිවුන දක්‍ෂතම ප්‍රහාරකයෙක් විදිහට​. වම් පාදයෙන් ඉතාම වේගවත් ප්‍රහාර එල්ල කල හැකි ක්‍රීඩකයෙක් ලෙස ප්‍රචලිත වුන පුස්කාස් අති දක්‍ෂ ධාවකයෙක් වගේම විශිෂ්ඨ​ පන්දුව ස්ථානගත කරන්නෙක්. ඔහු හන්ගේරියාව වෙනුවන් තරග 85 කදී ගෝල 84 ක් ලබාගත්තා. පුස්කාස් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

සාන්ඩොර් කොචිස්

 


තරුණ ක්‍රීඩකයෙක් සහ දක්‍ෂ ප්‍රහාරකයෙක් ලෙස ප්‍රසිද්ධ වුන කොචිස් හිසෙන් පහරදී ගෝල ලබා ගැනීමේ අති දක්‍ෂයෙක්. මේ නිසාම ඔහුට "රත්තරන් හිසක් සහිත මිනිසා" යන නම පටබැඳුනා. හන්ගේරියානු කණ්ඩායමේ ප්‍රධාන ගෝල් රැස්කරන්නා වූ කොචිස් හන්ගේරියව වෙනුවෙන් තරග 68 කදී ගෝල 75 ක් ලබා ගත්තා. කොචිස් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

නාන්ඩොර් හිඩෙග්කුටි

 


හන්ගේරියානු කණ් ඩායමේ මධ්‍ය ප්‍රහාරකයා (center forward) ලෙස කටයුතු කළ හිඩෙග්කුටි ඔවුන් ගේ උපක්‍රමවල වැදගත් තැනක් ඉසිලුවා. අති දක්‍ෂ පන්දු ස්ථානගත කරන්නෙක් වූ හිඩෙග්කුටි ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්‍ෂකයන් අන්ද මන්ද කළ ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකටයි. ඔහු හන්ගේරියාව වෙනුවෙන් තරග 69 කදී ගෝල 39 ක් ලබා ගත්තා. හිඩෙග්කුටි නියෝජනය කළේ MTK බූදපෙස්ට් කණ්ඩායම​.

සොල්තාන් සීබොර්

 


වේගවත් ධාවනයක්, අති දක්‍ෂ පන්දු හැසිරවීමක් සහ ප්‍රභල පහරක් හිමි ක්‍රීඩකයෙක් වූ සීබොර් පැති ප්‍රහාරකයෙක් (wing forward) ලෙස කටයුතු කළා. ඔහු හන්ගේරියාව වෙනුවෙන් තරග 43 කදී ගෝල 17 ක් ලබා ගත්තා. සීබොර් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

ජෝෂෙෆ් බොෂික්



මැදපෙළ ක්‍රීඩකයෙක් වුන බොෂික් තාක්‍ෂනික අතින් වගේම උපක්‍රම අතින් ද ඉතාමත් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙක්. පන්දුව ප්‍රතිවාදී පිලෙන් ඩැහැගෙන ප්‍රති ප්‍රහාරයක් සඳහා තම සගයන් මෙහෙයවීමට බොෂික් අති දක්‍ෂයෙක් වුනා. ඔහු හන්ගේරියාව වෙනුවෙන් තරග 101 කදී ගෝල 11 ක් ලබා ගත්තා. බොෂික් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

ගියුලා ග්‍රොචිස්



"කළු දිවියා" යන අන්වර්ත නාමයෙන් හැඳින්වුන ග්‍රොචිස් කණ්ඩායමේ දැල රකින්නා. තම දැල රැකීමේ සීමාවෙ පිටතට පැමිණ ආරක්‍ෂක ක්‍රීඩයෙක් ලෙස ක්‍රීඩා කිරීමේ සම්ප්‍රදාය මුල්වරට හඳුන්වාදුන්නේ ග්‍රොචිස්. ඔහු හන් ගේරියාව වෙනුවෙන් තරග 86 කට සහභාගී වුනා. ග්‍රොචිස් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.


මීට අමතරව කණ් ඩායමේ ප්‍රමුක සාමාජිකයන් ලෙස ජෙනෝ බුසාන්ස්කි (ආරක්‍ෂක​), මිහාලි ලැන්ටෝස් (ආරක්‍ෂක​), ගියුලා ලෝරන්ට් (ආරක්‍ෂක​), ජෝෂෙෆ් සකාරියාස් (මැදපෙළ​), ලැස්ලෝ බුදායි (පැති ප්‍රහාරක​), ජෝෂෙෆ් ටොත් (ප්‍රහාරක​) වැනි ක්‍රීඩකයන් කැපී පෙනුනා.


කණ්ඩායම් උපක්‍රම​


සෙබෙස් තමාගේ කණ්ඩායම ගොඩනැංවුයේ ප්‍රධාන උපක්‍රම තුනක් උඩ​. ඒ ශාරීරික යෝග්‍යතාවය​, 2-3-3-2 කණ්ඩායම් සැකසුම සහ නම්‍යශීලී ක්‍රීඩකයන් ස්ථානගත කිරීම​.

ඒ කාලයේ පාපන්දු ක්‍රීඩකයන් අද තරම් ශාරීරික යෝග්‍යතාවය ගැන සැලකිලිමත් වුනේ නෑ. නමුත් සෙබෙස් තමාගේ ක්‍රීඩකයන් දැඩි ශාරීරික යෝග්‍යයතා වැඩසටහනක් යටතේ පුහුණු කරනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ හන්ගේරියානු ක්‍රීඩකයන් ගේ වේගවත් ක්‍රීඩා විලාශය ඉදිරියේ අනෙකුත් කණ්ඩායම් පසු බැසීම​.

ඊළඟට සෙබෙස් තම කණ්ඩායම් සැකසුම විදිහට තෝරා ගන්නේ 2-3-3-2 සැකැස්මක්. මේ සැකැස්ම ලෝකයේ ප්‍රථම වරට යොදා ගන්නේ හන්ගේරියානුවන්.


මේ සැකැස්මේ ප්‍රධානම විශේෂත්වය වුනේ මධ්‍ය ප්‍රහාරකයා (center forward) අනෙකුත් ප්‍රහාරකයන් දෙදෙනාට වඩා බොහෝ පසුපසින් ස්ථානගත කිරීම​. එකල සම්ප්‍රදාය වුනේ මධ්‍ය ප්‍රහාරකයා අනෙක්ත් ප්‍රහාරකයන්ට ඉදිරියෙන් සිට ප්‍රහාරය මෙහෙයවීම​. ඒ අනුව එකල ආරක්‍ෂනය සමන්විත වුනේ ප්‍රතිවාදී පිලේ මධ්‍ය පසුපෙළ ක්‍රීඩකයන් (center backs) මධ්‍ය ප්‍රහාරකයා ළඟින්ම සිට ඔහු වැළැක්වීම​.

නමුත් හන්ගේරියානු මධ්‍ය ප්‍රහාරකයා වුන හිඩෙග්කුටි බොහෝ පසුපසින් සිටි නිසා ප්‍රතිවාදී මධ්‍ය ප්‍රහාරකයන්ට ඔහු පසුපස බොහෝදුර ඉදිරියට එන්න සිදු වුනා. ඒ හේතුවෙන් ප්‍රතිවාදී ආරක්‍ෂක වළල්ලේ ඇතිවෙන හිල් තුලට වම් සහ දකුණු පැති ප්‍රහාරකයන් (wing forwards) වුන සීබොර් සහ බුදායි වේගයෙන් කඩා වැදුනා. ඔවුන් දෙදෙනා ප්‍රහාරකයන් දෙදෙනා වුන පුස්කාස් සහ කොචිස් සමඟ වේගවත් සහ කෙටි පන්දු ස්ථාන ගතකිරීම් මාලාවක් ඔස්සේ වේගයෙන් ප්‍රතිවාදී සීමාව ආක්‍රමනය කරමින් ගෝල ලබා ගැනීම තමයි හන්ගේරියානු පිලේ ක්‍රීඩා රටාව වුනේ.

හන්ගේරියානු පිලේ මේ වේගවත්, ආක්‍රමනශීලී සහ ආකර්‍ෂනීය ක්‍රීඩා රටාව එකල ලෝකයට අළුත්ම අත්දැකීමක් වුනා. නරඹන්නන් මේ ක්‍රීඩා රටාවෙන් උත්කර්‍ෂයට පත් වුන තරමටම ප්‍රතිවාදීන් ඉන් අසරණ වුනා.

ඔවුන් ගේ ආරක්‍ෂනයත් ඒ වගේම නවතම උපක්‍රම වලින් ගහණ එකක් වුනා. හන්ගේරියානුවන් ප්‍රහාරයක් එල්ල කරන විට මැදපෙළ ක්‍රීඩක (midfield) බොෂික් ඊට සහය දෙමින් ඉදිරියට ගිය අතර​, ප්‍රතිවාදීන් හන්ගේරියානු සීමාව ආක්‍රමනය කළ විට මැදපෙළ ක්‍රීඩක සකාරියාස් ආරක්‍ෂයන්ට සහය වෙමින් පසුපසට ගියා. ආරක්‍ෂක (full back) ක්‍රීඩක බුසාන්ස්කි සහ ලැන්ටොස් ගේ සහයට දැල රකින්නාත් හැකි අවස්ථාවලදී ඉදිරියට පැමිණියා.

මේ නම්‍යශීලී 2-3-3-2 සැකැස්ම ඔස්සේ ක්‍රීඩකයන් නියමිත තැනක නොරැඳී පිටිය පුරා ක්‍රීඩා කිරීමේ ක්‍රීඩා රටාව තමයි හන්ගේරියානුන් ගේ සාර්ථකත්වයේ රහස වුනේ. ඔවුන් ගේ ශාරීරික යෝග්‍යතාවය සහ තාක්‍ෂනික හැකියාවන් ඊට ඉවහල් වුනා.

මේ ක්‍රීඩා රටාව තවත් වැඩි දියුණු කරමින් "පරිපූර්ණ පාපන්දු" (total football) නමින් නව ක්‍රීඩා රටාවක් හඳුන්වාදෙන්න 1970 දශයකයේ දී නෙදර්ලන්ත කණ් ඩායම සමත් වෙනවා. එමගින් ඔවුන් 1970 දශකයේ පාපන්දු ලොව තම අණසකට නතු කරනවා.

Tuesday, June 19, 2018

තංගම්මගෙ ලැයිං සුදිය​



සිරා බිස්නස් අයිඩියා එකක් ආව​.

ගන්නව ඔය හැටන් කොටගල තලව​කැලේ පැත්තෙන් ඉඩං කෑල්ලක්. ඒකෙ ගහනව සුද්දගෙ කාලෙ තිබ්බ වගේ ලැයිං කාමර සෙට් එකක්. ඊට පස්සෙ ඒ ලැයිං කාමර රෙන්ට් කරනව​. ඒකට නම දාන්නෙ "තංගම්මගෙ ලැයිං සුදිය" කියල​. පැකේජ් එක දවස් තුනයි.

හැබැයි ඔය හොට් වෝටර්, බාත් රූම්, ස්ප්‍රිං මෙට්ට වගේ සීනිබෝල හුකුං නෑ. ෆුල් ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එකක්.

උදේ පහට විතර සංගුවක් ගහල ඇහැරවනව​. මූණ කට හෝදගන්න තියෙන්නෙ එළියෙ තියෙන පීල්ලකින් එන වතුර පාරක්. අයිස් වගේ වතුර​. රෙන්ට කක්කුස්සියක් නෑ. අර පීල්ලෙන්ම අයිස් වතුර හුන්ඩුවක් පුරෝගෙන පඳුරක් අස්සෙ රෙන්න පුළුවන්. පුක හේදුවොත් ඉතිං පුකේ මයිල් ඉස්මයිල් වෙනව​. ඒ නිසා කැමති නං පුක නොසෝදා ඉන්නත් පුළුවන්.

ඊට පස්සෙ කූඩෙත් අරං තේ දළු කඩන්න වත්තට යන්න ඕනෙ. වැස්ස​, සීතල, මීදුම, කූඩැල්ලො වගේ ලපටි කතා නෑ. දළු කඩන්න නොගියොත් කන්න දෙන්නෙ නෑ.


හවස් වෙනකං දළු කැඩුවට පස්සෙ රෑ වෙලා ආපහු කාමරේට එතෑකි. කන්න දෙනව රොටී දෙකක්. එච්චරයි. මුළු හැත්ත බුරුත්තටම එක කාමරයයි තියෙන්නෙ. පැදුරු කෑලි තියෙනව එලාගෙන බුදියගත්තෑකි. අනිවා උදේ වෙද්දි කොළරාව​ හැදිල තියෙන්නෙ. මොකද ඉතිං උදේට මූණ හෝදන්නෙ කාරිය උඩ ලැයිං වල එවුං රෙන එව්ව හෝදගෙන එන වතුරෙන් නෙ. ඒ වුනාට ඒ හුකාරිස් නෑ. පුකෙං බඩසාරු වක්කරගෙන හරි එදත් දළු කඩන්න යන්න ඕනෙ. නැත්තං රොටී දෙක නෑ.

ඔප්‍ෂනල් පැකේජ් දෙකක් තියෙනව​. එකක් "පෙරිය දොරේ". ඒක ගත්තොත් දළු කඩ කඩ ඉද්දි සුද්දෙක් අස්සයෙක් පිටේ ඇවිල්ල කසෙන් ගහනව​. අනිත් එක "මැලේරියා". ඒක ගත්තොත් මැලේරියා ඉන්ජෙක්‍ෂන් එකක් ගහනව​. එතකොට අර ෆුල් ආතල් එක ගන්න පුළුවන් මැලේරියාව හැදිල වෙව්ල වෙව්ල​.


වැඩේ නැගල ගියොත් තව සීන් එකක් පටන් ගන්නව "සිරිමලී ගෙ මායිං ගම්මාන ආතල්" කියල​. ඒක දාන්නෙ වවුනියාව පැත්තෙ. ඒකත් දවස් තුනේ පැකේජ් එකක්. සීන් එක යන්නෙ එක්ස්ට්‍රීම් ස්පෝර්ට් එකක් විදිහට​.

පොඩි කටුමැටි පැල් කොට වල තමා ඉන්න තියෙන්නෙ. උදේම නැගිටල යන්න ඕනෙ කුඹුරෙ වැඩ කරන්න​. හවස් වෙලා ආයෙ ගෙදර එනව​. රෑට නිදාගද්දි තමා සෙල්ලම​ පටන් ගන්නෙ. දවස් තුනෙන් ඕනම දවසක රෑ තුවක්කු, කඩු, කැති, මුගුරු ගත්ත සෙට් එකක් පනිනව​. අහුවෙන අහුවෙන එකා කැතිගාල මරනව​. කැලේ පැනල හැංගිල බේරෙන්න ඕනෙ. අහුවුනොත් මැරුව​. පට්ටම ඇඩ්‍රිනලින් රෂ් එකක් එන්නෙ. ඔය බංජි ජම්පිං, රාෆ්ටිං වගේ ඒව නිකං ලෑතර පීතර කියල හිතෙයි.

ඔය වෙන රටවලත් තියෙන්නෙ ඒ වගේ සීන්. වියට්නාමෙ උමං මාර්ග​, පෝලන්තෙ අවුෂ්විට්ස් වගේ. හරි හරි ඒවයෙ ඉතිං වැඩේ සිද්ධ වෙන්නෙ එඩියුකේෂනල් ට්‍රිප් එකක් වගේ තමා. ඒ වුනාට ඕව ගැන රිසර්ච් කරල එහෙම වැඩක් කරන්න පුළුවන් කාටද ඕයි. ඊට වඩා ලේසි නැද්ද මේ වගේ ගොම්පාට් එකක් දාන එක​? ඔය පොෂ් සෙට් එකටත් ආයෙ ඕව ඉගෙන ගෙන වැඩක් තියේයැ. උන්ටත් ඕනෙ අම්මට සිරි වෙලා යන සෙල්ෆි ටිකක් ෆේස්බුක් දාගන්න නෙ. ඉල්ලුමට සැපයුම​. මේක තමා රොම්බ දනවාදෙ.

මොකද්ද​? ඔය වතුවල, ගං වල ඉන්න එවුන්ට අවුල් යයි ද​? පිස්සුද හුත්තො? ඔය නූගත් දුප්පත් වඳ හැත්තට අපිට වගේ දුක​, වේදනාව​, ලැජ්ජාව කියන හැඟීම් දැනෙන්නෙ නෑ. එදාවේල වේසිගෙපුතාලනෙ. නිකං සත්තු වගේ තමා ජීවත් වෙන්නෙ. අහුවුන දෙයක් කෑව​. නිදාගත්ත. උන්ට ඕවයෙ ගානක් නෑ. උන්ට ඉතිං ඕවයෙ ලගින්ට එන සුද්දෙක්ට​ අලිපේර ගෙඩි දෙකක් ජුජුබ්ස් පැකට් එකක් විකුණ ගන්න තිබ්බොත් වැඩිත් එක්ක​.

ඒක නෙවෙයි ඕයි හොඳම සීන් එක​. අර ඒ කාලෙ ඇත්තටම තේ වතු වල වැඩකරපු දෙමළු මරාගෙන කාපු සුද්දංගෙ පරම්පරාවල එවුං ඒ මරාගෙන කාල හම්බකරපු සල්ලි වලින් ඇවිල්ල ඔය ආතල් එක ගද්දි. කොහොමද ආතල් එක​? සීය දෙමළු මරාගෙන කාපු ලැයිං කාමර වල මුණුපුරා ඇවිල්ල ෆන් එකක් අරගෙන යනව​. ඕං බලාගනිං සීයගෙ හපංකං. ඇඬෙනව නේද ඕයි? ඕක තමයි ඕයි දනවාදෙ කියන්නෙ. අඬන්න එපා හිනාවෙනව​.

Wednesday, May 30, 2018

දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය - 2 (කළු ජූලිය දක්වා)


වඩ්ඩුකෝඩෙයි සම්මුතිය


1976 දී ලංකා දෙමළ රාජ්‍යය පක්‍ෂය​, දෙමළ කොංග්‍රසය සහ තවත් දෙමළ බෙදුම්වාදී පිරිස් "දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" (Tamil United Liberation Front - TULF) නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්‍ෂයේ නායකත්වය හිමිවුනේ චෙල්වනායගම් ට​.

ඔවුන් 1976 මැයි 14 වෙනිදා වඩ්ඩුකෝඩෙයි හිදී නව සම්මුතියක් ඇති කර ගන්නවා. ඒ "දෙමළ ඊළාම්" නමින් නව රාජ්‍යයක් බිහි කරගැනීමට. එහිදී සියළු දෙනාම එකඟවෙනවා 1977 මහ මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තරග කිරීමට​.

මේක දෙමළ බෙදුම්වාදයේ තීරනාත්මක සන්ධිස්ථානයක්.

1977 මහ මැතිවරණයට මාස කීපයකට පෙර උතුරේ ප්‍රභලම දේශපාලන නායකයන් දෙදෙනා වුන පොන්නම් බලම් සහ චෙල්වනායගම් මිය ගියා. ඒ නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වුනේ අමිර්තලිංගම් ගේ නායකත්වය යටතේ.

මහ මැතිවරණයේදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල සියළුම ආසන ජය ගන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ​. මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 2 ක් සහ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල ආසනය බැගිනුත් ඔවුන්ට හිමි වුනා. යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ආසන වලදී ඔවුන් 70 - 85 % අතර ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තා. මේ අනුව වඩ්ඩුකෝඩෙයි සම්මුතිය උතුරේ දෙමළ ජනතාව එක හඬින් අනුමත කළ බව හිතන්න පුළුවන්.

අමිර්තලිංගම් මේ වනවිට සන්නද්ධ දෙමළ තරුණයන් සමඟ ඉතා කිට්ටු සබඳතාවයක් ගොඩ නංවාගෙන හිටියා. ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ හැඳින්වූයේ "අපේ කොල්ලෝ" ලෙස​.

1977 එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් වූ පසු දෙමළ ජනතාව ඉලක්ක කරගෙන වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා රැල්ලක් ඇති වුනා. මේ ප්‍රචන්ඩ ක්‍රියා වලින් 300 ක් පමණ දෙනා මිය ගියා. තවත් විශාල ප්‍රමානයක් අවතැන් වුනා.

වඩ්ඩුකෝඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් වීම ආසන්නයේම එවකට උතුරේ ක්‍රියාත්මක වුන ප්‍රධාන දෙමළ සංවිධාන දෙකේම විශාල ව්‍යූහාත්මක වෙනස්කම් ඇති වුනා. ඒ එක්කම වගේ නව ත්‍රස්තවාදී කන්ඩායම් කීපයක්ම අළුතෙන් බිහි වීමත් දකින්න පුළුවන්. ඒ සංවිධාන සියල්ලම​ තමාගේ නමට "ඊළාම්" කොටස ඈඳා ගැනීම විශේෂ කරුණක්.


දෙමළ ඊළාම් විමුක්ති කොටි (Liberation Tigers of Tamil Eelam) - LTTE


ආරම්භක සාමාජිකයන් :

වේළුපිල්ලේ ප්‍රභාකරන් - නායක​
චාල්ස් ඇන්තනී (සීලන්)
කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන් / මුකුන්දන්)
සත්‍යසිවම් ක්‍රිෂ්ණකුමාර් (කිට්ටු)
ගෝපාලස්වාමි මහේන්.ද්‍රරාජා (මහත්තයා)
වෛද්‍යලිංගම් සෝනලිංගම් (ෂංකර්)

1976 දී දෙමළ නව කොටි සංවිධානය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විදිහට ප්‍රති-සංවිධානය වුනා. සංවිධානයේ නායකත්වය සඳහා පස් දෙනෙකු ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් පත් කර ගැනුනා. එහි සභාපති ධූරය හිමි වුනේ උමා මහේෂ්වරන් ට​. ඒ ඔහු සංවිධානයේ අනෙකුත් අයට වඩා අධ්‍යාපන මට්ටමෙන්, කථිකත්වයෙන් සහ ඉංග්‍රීසි දැනුමෙන් වැඩි නිසා. ඒ නිසා සංවිධානයේ "නිල​" නායකයා ලෙස පෙනී හිටියේ උමා මහේෂ්වරන්. නමුත් නියම බලය තිබුනේ ප්‍රභාකරන් අතේ.


දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙක් වන උමා මහේෂ්වරන් සහ උර්මිලා කොටි සංවිධානයේ මුල් කාලීන සාමාජිකයන් වුනා. උර්මිලා තමයි දෙමළ ත්‍රස්තවාදී සංවිධානයකට එක් වුන පළමුවන කාන්තා සාමාජිකාව​. මේ දෙදෙනා හරහා අමිර්තලිංගම් ගේ සහ කොටි සංවිධානයේ සබඳකම් තවත් තහවුරු වුනා.

කොටි සංවිධානය මුල සිටම ඉතා දැඩි විනයක් සහිත, ඒ වගේම දැඩි ලෙස මිලිටරි කරනය වුන සංවිධානයක් ලෙස කටයුතු කලා. මෙහිදී ප්‍රභාකරන් සහ ඔහුගේ විශ්වාසවන්තම සගයන් දෙදෙනා වුන සීලන් සහ කිට්ටු කැපී පෙනුනා.

ඒ එක්කම සුවිශේෂී චරිත දෙකක් කොටි සංවිධානයට මේ මුල් කාලයේදීම එක් වුනා.

එක් අයෙක් තමයි සෙල්වරාසා පද්මනාදන් (කේ.පී.). ඔහු කොටි සංවිධානයේ ජාත්‍යන්තර සංවිධානාත්මක ජාලය ගොඩ නැංවීමේදී විශේෂ කාර්‍යභාරයක් ඉටු කලා. විශේෂයෙන්ම ආයුධ ලබා ගැනීමේ සබඳතා ගොඩනංවා ගැනීම මෙහිදී වැදගත් වුනා.

අනෙක් කෙනා ඇන්ටන් බාලසිංහම්. ලන්ඩනයේ ජීවත් වුන මාධ්‍යවේදියක් වුන ඇනටන් බාලසිංහම් කොටි සංවිධානයට බැඳෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ සබඳතා හරහා. කොටි සංවිධානයට මෙතෙක් නොතිබූ මතවාදීමය පදනම ගොඩ නංවන්නේ බාලසිංහම්. මෙහිදී ඔහුගේ කතෝලික පසුබිම සහ ඔහුගේ ඕස්ට්‍රේලියානු ජාතික බිරිඳ නිසා කොටි සංවිධානයට බටහිර හිතවාදී මුහුණුවරක් ලැබුනා.



දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (Tamil Eelam Liberation Organization) - TELO


ආරම්භක සාමාජිකයන් :

නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)
ශ්‍රී සභාරත්නම්
අමිර්තනාදන් අඩෛක්කලනාදන් (සෙල්වම්)
කුලසේකරම් දේවසේකරම්


1977 දී දෙමළ විමුක්ති සංවිධානය දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) විදිහට ප්‍රතිසංවිධානය වුනා. එහි නායකයන් දෙදෙනා වුනේ තංගදුරේ සහ​ කුට්ටිමනී.

ටෙලෝ සංවිධානය කොටි සංවිධානයට වඩා පුළුල් මහජන සහබාගීත්වයෙන් යුක්ත අරගලයක් ගැන විශ්වාසය තැබූ නිසා එය සාමාජිකත්වය අතින් කොටි සංවිධානයට වඩා ඉදිරියෙන් හිටියා. ඒ වගේම කුට්ටිමනී උතුරේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා.

ඒ වගේම ටෙලෝ සංවිධානය රෝ සංවිධානයත් සමඟ කිට්ටු සබඳතා ඇති කර ගත්තා. ඉන්දියාව තමාගේ උතුරේ ඉත්තා විදිහට පාවිච්චි කරන්න උත්සහ කලේ ටෙලෝ සංවිධානය​.

ටෙලෝ සංවිධානයේ යුධ අංශය "දෙමළ ඊළාම් විමුක්ති හමුදාව" (Tamil Eelam Liberation Amry) - TELA නමින් හැඳින්වුනා. එහි නායකත්වය දැරුවේ කුලසේකරම් දේවසේකරම්.


දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (People's Liberation Organization of Tamil Eelam) - PLOTE


ආරම්භක සාමාජිකයන් :

කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන්) - නායක​
සතාසිවම් සිවෂන්මුගමූර්ති (සුන්දරම්)
ධර්මලිංගම් සිද්ධාර්ථන්

ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ඇතිවන මත ගැටුම් ගණනාවක ප්‍රතිඵයල් විදිහට 1980 දී උමා මහේෂ්වරන් තම හිතවාදීන් සමඟ කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පිහිටුවා ගත්තා.



ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ගැටුමට මුල් වෙන්නේ උමා මහේෂ්වරන් මධ්‍යම කාරක සභාවේ සභාපති විදිහට කොටි සංවිධානය තුළ ප්‍රභල තැනක් අත් කර ගැනීම ප්‍රභාකරන් තර්ජනයක් විදිහට සැලකීම​. ඊට අමතරව උමා මහේෂ්වරන් ගේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ ඇති සබඳතා සහ උපාය මාර්ගික මතබේදත් මේකට බල පෑවා. අවසානයේදී උමා මහේෂ්වරන් සහ උර්මිලා අතර ඇතිවන පෙම් සබඳතාවක් දඩමීමා කරගෙන (පෙම් සබඳතා ඇති කර ගැනීම කොටි සාමාජිකයන්ට තහනම්) ප්‍රභාකරන් උමා මහේෂ්වරන්ට එරෙහිව සංවිධානා තුල ප්‍රචාරයක් ගෙන ගියා.

ප්ලොට් සංවිධානය උපාය මාර්ග අතින් කොටි සංවිධානයෙන් වෙනස් මාවතක් අනුගමනය කලා. කොටි සංවිධානය සාම්ප්‍රදායික ගරිල්ලා සටන් න්‍යාය අනුගමනය කරමින් සැඟවී පහරදීම් (hit and run) වල නිරත වුනත්, ප්ලොට් සංවිධානය නිහඬවම දැවැන්ත යටිබිම් ගත සංවිධානයක් වර්ධනය කරගැනීම පිළිබඳ අවධානය යොමු කරා. මේ නිසා ප්ලොට් සංවිධානය ක්‍රියාත්මක වුනේ ඉතාම රහසිගතව​.

ඉතාමත් දරුණු පුද්ගලයෙක් වුන උමා මහේෂ්වරන් තම සංවිධානයේ සාමාජිකයන් දැඩි විනයකට යටත් කළ අයෙක් ලෙස ප්‍රසිද්ධයි. විනය කඩකිරීම් හෝ පාවාදීම් වලදී මරණ දඬුවම ලබාදීමට ඔහු කිසිම පැකිලීමක් දැක්වුවේ නෑ. ඒ අතින් ඔහු ප්‍රභාකරන් හා සම මට්ටමේ හිටියා.

වැඩිම විදේශ සබඳතා ගණනක් ඇති කරගත්ත ත්‍රස්තවාදී සංවිධානය වුනේ ප්ලොට් සංවිධානය​. ඔවුන් රටවල් ගණනාවක සන්නද්ධ කණ්ඩායම් සමඟ සබඳතා රාශියක් ඇති කර ගත්තා. මේ සංවිධාන වලින් බොහොමයක් සමාජවාදී සංවිධාන​. ඒ නිසාම ප්ලොට් සංවිධානයේ මතවාදය සමාජවාදයට නැඹුරු එකක් වුනා.


කොටි සංවිධානයේ අභ්‍යන්තර ආරවුල්


උමා මහේෂ්වරන් ගේ වෙන්ව යාමත් එක්කම කොටි සංවිධානය ඇතුලේ විශාල අර්බුධයක් නිර්මානය වුනා. ප්‍රභාකරන් සංවිධානය තුල ඒකාධිපති පාලනයක් ගෙන යන්න උත්සහ කරනවා කියන චෝදනාව සාමාජිකයන් ගෙන් එල්ල වුනා. මේ අර්බුදය දුර දිග යාමේ ප්‍රතිඵයක් විදිහට සාමාජිකයන් රැසක් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානයට එක් වුනා. ඒ එක්කම ජේෂ්ඨ සාමාජිකයනුත් සංවිධානයෙන් ඉවත් වෙන බවට තර්ජනය කලා.

මේ හේතුව නිසා 1980 දී ප්‍රභාකරන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ටෙලෝ සංවිධානයට බැඳුනා. ඒ කොටි සංවිධානය විනාශ වීම වැලැක්වීමේ අරමුණෙන්. කෙටි කලකට පසුව ආරවුල් විසඳාගෙන ප්‍රභාකරන් නැවතත් කොටි සංවිධානයට එක් වුනා.

ප්‍රභාකරන් ගේ මේ සංවිධාන මාරුව නිසා ඇති වෙන සබඳතාවය මත කොටි සහ ටෙලෝ සංවිධාන බැංකු කොල්ලකෑම් වැනි සුළු ත්‍රස්තවාදි ක්‍රියා සහයෝගයෙන් කරන්න පටන් ගත්තා.


ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front) - EPRLF


ආරම්භක සාමාජිකයන් :

කන්දස්වාමි පද්මනාභා - නායක​
වර්ධරාජා පෙරුමාල්
ඩග්ලස් දේවානන්දා
සුරේෂ් ප්‍රේමචන්.ද්‍රන්

ඊරොස් සංවිධානයේ නායකත්වය හිටියේ ලන්ඩනයේ නිසා ඔවුන්ට ලංකාවේ එතරම් බලයක් තිබුනේ නෑ. නමුත් ඊරොස් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ලංකාවේ ක්‍රියාකාරකම් පටන් ගන්න උත්සහ කරා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඔවුන් 1980 දී ඊරොස් සංවිධානයෙන් ඉවත් වෙලා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය බිහි කර ගැනීම​.


ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සන්නද්ධ අංශය හැඳින්වුනේ "මහජන විමුක්ති හමුදාව" (People's Liberation Amry) - PLA නමින්. එහි නායකත්වය දැරුවේ ඩග්ලස් දේවානන්දා.

වාමාංශික නැඹුරුවකින් යුක්ත ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය දකුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාර එක්ක කිට්ටු සබඳකම් ඇති කරගත්තා. විජය කුමාරතුංග ගේ මහජන පක්‍ෂය සහ දයා පතිරණ ගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඉන් ප්‍රධානයි.


ටෙලෝ සංවිධානයේ බිඳ වැටීම​


1981 වනවිට උතුරේ ප්‍රභලම සන්නද්ධ කල්ලි දෙක වුනේ ටෙලෝ සහ කොටි සංවිධාන​. ටෙලෝ සංවිධානය පිරිස් බලය අතින් ඉදිරියෙන් සිටි අතර කොටි සංවිධානය යුධ ශක්තිය අතින් ඉදිරියෙන් හිටියා. ඒ වගේම උතුරේ ජනප්‍රියම තරුණ කැරලි කරුවන් දෙදෙනා වුනේ ටෙලෝ සංවිධානයේ කුට්ටිමනී සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන්. කුට්ටිමනී කඩවසම් පෙනුම සහ දක්‍ෂ කතිකත්වය නිසා විශාල ජනප්‍රියත්වයක් ලබා හිටියා. ප්‍රභාකරන් ජනප්‍රිය වුනේ නිර්භීත සහ දක්‍ෂ සටන්කරුවෙක් විදිහට​.

1981 වන විට ටෙලෝ සහ කොටි සංවිධාන අතර කිට්ටු මිත්‍රත්වයක් ඇතිවෙලා තිබුනා. ඔවුන් බැංකු කොල්ල කෑම් වැනි සුළු ත්‍රස්ත ක්‍රියා වල එකට නිරත වුනා.

1981 මාර්තු 25 වෙනිදා ටෙලෝ සහ කොටි සාමාජිකයන් පිරිසක් නීර්වෙලි අසලදී මහජන බැංකුවට අයත් වෑන් රථයක තිබූ රුපියල් මිලියන 8 ක මුදලක් කොල්ල කෑවා. මේ කොල්ලයෙන් සති දෙකකට පස්සේ ටෙලෝ සංවිධානයේ නායක තංගදුරේ සහ කුට්ටිමනී ඇතුළු ටෙලෝ සාමාජිකයන් හය දෙනෙක් බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උත්සහ කරද්දී හමුදාවට අහු වුනා. ඔවුන්ට නීර්වෙලි බැංකු කොල්ලය පිළිබඳ චෝදනා යටතේ නඩු පවරලා ජීවිතාන්තය දක්වා සිර භාරයට නියම කෙරුනා.

ටෙලෝ සංවිධානයේ නායකත්වය මේ විදිහට අත් අඩංගුවට පත් වීම ටෙලෝ සංවිධානයට එල්ල වෙන මරු පහරක් වුනා. එතැන් සිට ඔවුන් ගේ බිඳ වැටීම ආරම්භ වුනා.

අත් අඩංගුවට පත් වූ ටෙලෝ නායකයන් - තංගදුරේ, කුට්ටිමනී සහ ජෙගන්
1983 කළු ජූලිය අතරතුරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් විසින් පහරදීමෙන් තංගදුරේ සහ කුට්ටිමනී මිය ගියා.

 බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ සඳහා හමුදාවට ඔත්තු සපයන්නේ ප්‍රභාකරන් කියලා. එහි සත්‍යාසත්‍ය භාවය කොහොම වුනත්, ඒ සිද්ධියෙන් පසු කොටි සංවිධානයේ ප්‍රධාන ප්‍රතිවාදියා අඩපන වුනා. ප්‍රභාකරන් ගේ ප්‍රධාන තරගකරුවා තරගයෙන් ඉවත් වුනා.

 

මර්ධනය දැඩි වේ


මේ වෙනකොට කොටි, ටෙලෝ සහ ප්ලොට් සංවිධාන උතුරේ බැංකු කොල්ලකෑම්, පොලිස් නිලධාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතන කිරීම් රාශියක් සිදු කරමින් හිටියා. ඊට සමාන්තරව රජයේ ප්‍රතික්‍රියාවත් ඒ ආකාරයෙන්ම දැඩි වුනා. ටෙලෝ නායකයන් අත් අඩංගුවට පත් වීමත් එක්කම ත්‍රස්තවාදී ක්‍රියා වල නිරතවුන දෙමළ තරුණයන් සොයා මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක වුනා. විශාල පිරිසක් අත් අඩංගුවට පත් වුනා.

මේ නිසා ප්‍රධාන දෙමළ ත්‍රස්තවාදී නායකයන් සියළුම දෙනා - ප්‍රභාකරන්, උමා මහේෂ්වරන් සහ පද්මනාභා - ඉන්දියාවේ මදුරාසියට පලා ගියා. ඔවුන් තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් ගේ අනුග්‍රහය යටතේ මදුරාසියේ ජීවත් වුනා. නමුත් මේ අයගේ ලංකාවේ තිබුනු එදිරිවාදිකම් වල අඩුවක් වුනේ නෑ.

1982 මැයි 19 වෙනිදා මදුරාසියේ "පොන්ඩි බසාර්" වෙළඳපොලේ දී හදිසියේම එකිනෙකා මුණ ගැහෙන ප්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් සහ උමා මහේෂ්වරන් ඇතුළු ප්ලොට් සාමාජිකයන් තිදෙනෙක් එකිනෙකාට වෙඩි තියා ගත්තා. තමිල්නාඩුවේ සාමාන්‍යය ජනතාව අතර ලංකාවේ දෙමළ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ වීමට මේ සිද්ධිය බෙහෙවින් බල පෑවා.

වෙඩි තබාගැනීමෙන් දින කීපයකට පසුව සියළුම දෙනා ඉන්දියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තත්, තමිල්නාඩු දේශපාලකයන් ගේ බලපෑම් මත මුදා හැරියා.

ප්‍රභාකරන් සහ තවත් කොටි සාමාජිකයෙන් අත් අඩංගුවට පත් ව​

කොටි සංවිධානයේ නැගීම​


ප්‍රභාකරන් ඉන්දියාවේ සිටි කාලය තුල කොටි සංවිධානයේ එදිනෙදා කටයුතු වල නායකත්වය දැරුවේ සීලන්. කොටි සංවිධානය ප්‍රභල ගරිල්ලා සංවිධානයක් බවට පත් කරන්නේ සීලන් විසින්.

සීලන් යටතේ කොටි සංවිධානය මෙතෙක් සිදු කරමින් සිටි බැංකු කොල්ලකෑම් සහ පුද්ගල ඝාතන වෙනුවට හමුදාවට සහ පොලිසියට එරෙහිව ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරා.

එහි පළමු පියවර වෙන්නේ 1981 ඔක්තෝබර් 15 වෙනිදා යාපනයේදී හමුදා ජිප් රථයකට සැඟවී සිට කළ පහර දීමකින් හමුදා සෙබළුන් දෙදෙනක් මරා දැමීම​. මේ දෙමළ ත්‍රස්තවාදී සංවිධායක් හමුදාවට එරෙහිව කළ ප්‍රථම ප්‍රහාරය​. මෙය දෙමළ ත්‍රස්තවාදීන් තුල විශාල ආස්වාදයක් ඇති කළ සිද්ධියක් වුනා.

1982 ජනවාරි දෙවැනිදා කොටි සංවිධානය විසින් ප්ලොට් සංවිධානයේ දෙවැනි නායක සුන්දරම් මරා දැමෙනවා. සුන්දරම් මිය යන්නේ සීලන් තැබූ වෙඩි පහරකින්. ටේලෝ සංවිධානයේ බිඳ වැටීමත් එක්ක කොටි සංවිධානයේ ප්‍රභලම ප්‍රතිවාදියා බවට පත් වෙලා හිටි ප්ලොට් සංවිධානයට මේ ඝාතනය දරුණු පහරක් වුනා.

1982 ඔක්තෝබර් 27 වෙනිදා සීලන් ගේ නායකත්වයෙන් යුත් කොටි සාමාජිකයන් හත් දෙනෙකුගේ පිරිසක් චාවාකච්චේරි පොලිස් ස්ථානයට පහර දීලා ආයුධ සහ පතරොම් විශාල ප්‍රමානයක් පැහැරගෙන ගියා. මේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් මිය යන අතර සීලන් ගේ කකුලකට බරපතල තුවාල සිද්ධ වුනා.

මේ වෙද්දි කොටි සංවිධානය උතුරේ ජනතාව අතරේ සෑහෙන බලපෑමක් කරන තැනකට ඇවිත් හිටියා. 1983 පළාත් පාලන මැතිවරණයට තරග කරන්න දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වුනත්, කොටි සංවිධානය එය වර්ජනය කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා හිටියා. ඒ සැරේ ඡන් දයේදී ඡන් දය භාවිතා කළේ 15% ක පමණ පිරිසක් පමණයි.

උතුරේ දෙමළ ජනතාව සමාප්‍රදායික දෙමළ පක්‍ෂ වලින් ඈත් වෙලා ත්‍රස්තවාදී සංවිධාන කෙරෙහි විශ්වාසය තැබීමට යොමු වීම සහ කොටි සංවිධානයට ඔවුන් අතර තිබූ පිළිගැනීම මේ මගින් මනාව නිරූපනය කෙරෙනවා.


"ෆෝ ෆෝ බ්‍රාවෝ"


1983 ජූලි 15 වැනිදා සීලන් ඇතුළු කොටි සාමාජිකයන් හතර දෙනෙක් චාවාකච්චේරි ප්‍රදේශයේ නිවෙසක ඉන්නා බවට හමුදාවට ඔත්තුවක් ලැබුනා. ඔවුන් අල්ලා ගැනීමට කෙරෙන උත්සාහයේදී ඇති වෙන වෙඩි හුවමාරුවේදී එක් කොටි සාමාජිකයෙක් මිය යන අතර සීලන් ගේ කකුලකට වෙඩි වැදුනා. තුවාල ලැබීම නිසා පලා යා නොහැකි වෙන සීලන් ඔහුව වෙඩි තබා මරා දාන විදිහට අනෙකුත් සගයන්ට අණ කලා. ඔවුන් අණ පිළිපදිමින් සීලන් වෙඩි තබා මරා දැම්මා.

ප්‍රභාකරන් ගේ කිට්ටුම සහචරයෙක් වුන සීලන් ගේ මරණයෙන් ප්‍රභාකරන් සහ අනෙකු කොටි සාමාජිකයන් දැඩි කම්පනයට පත් වුනා. ඔවුන් වහාම සීලන් වෙනුවෙන් පලි ගැනීමේ ප්‍රහාරයක් සූදානම් කරා.

එහි ප්‍රතිඵලයක් විදිහට 1983 ජූලි 23 වෙනිදා තිරුනෙල්වෙලි හිදී "ෆෝ ෆෝ බ්‍රාවෝ" හමුදා මුර සංචාරක කණ්ඩායමට එල්ල වෙන කොටි ප්‍රහාරයකින් හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා.

මේ සිද්ධියෙන් පසුව රට පුරාම දෙමළ ජාතිකයන්ට එරෙහිව දැඩි වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුනා. මින් දහසකට අධික දෙමළ ජාතිකයන් මිය යන අතර ලක්‍ෂ ගාණක පිරිසක් අවතැන් වුනා.

මෙය ලංකාවේ ඊළාම් අරගලයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්.