Showing posts with label තාක්‍ෂනය​. Show all posts
Showing posts with label තාක්‍ෂනය​. Show all posts

Monday, January 14, 2019

පොම්ප ජල විදුලි බලාගාර​



මොකද්ද මේ පොම්ප ජල විදුලි බලාගාරයක් කියන්නෙ?

අපි දන්නව ජල විදුලි බලාගාරයක් කියන්නෙ ඉහළ උසක හදල තියෙන ජලාශයක තියෙන වතුර පහළින් තියෙන විදුලි බලාගාරයක ටර්බයින් යන්ත්‍රයක් කරකවන්න පාවිච්චි කරල​, එමගින් විදුලිය උත්පාදනය කරන තැනක් කියල​.

ජල විදුලි බලාගාරයක වතුර ටර්බයින් එක කරකවල ඉවර වෙලා පිට කරන්නෙ ආපහු ගඟකට​. ඊට පස්සෙ ඒ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.

නමුත් පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයින් එක කරකවල පිට වෙන වතුර යන්නෙ තවත් ජලාශයකට​. ඒ පහළ තියෙන ජලාශයේ එකතු වෙන වතුර නැවත ඉහළ තියෙන ජලාශයට පොම්ප කෙරෙනවා. ඒ වතුර නැවතත් විදුලිය උත්පාදනයට යොදා ගන්න පුළුවන්.



මෙතන බැලූ බැල්මට ප්‍රශ්නයක් තියෙනවා.

පහළ ජලාශයේ ඉඳල ඉහළ ජලාශයට වතුර පොම්ප කරන්න වැය වෙන ශක්තිය ඉහළ ජලාශයේ ඉඳල පහළ ජලාශයට වතුර යවල ජනනය කරන ශක්තියට වඩා වැඩියි. ඒ කියන්නෙ මේ වැඩෙන් අපිට ශුද්ධ ශක්ති හානියක් සිද්ධ වෙනවා.

එහෙනම් මේ වැඩේ කරන්නෙ ඇයි? ඒකට හේතු කීපයක් තියෙනවා.


පොම්ප ජල විදුලි බලාගාර වල අවශ්‍යතාවය​.


1. ඉල්ලුම අඩු අවස්ථා වලදී තාප විදුලි බලාගාර පූර්ණ ධාරිතාවයෙන් ජනනය කරවීම


විදුලි බල පද්ධතියක ජල විදුලි බලාගාර වලට අමතරව තාප විදුලි බලාගාරත් තියෙනවා. තාප විදුලි බලාගාර කියල මෙතන අදහස් කරන්නෙ ගල් අඟුරු, සොබාවික වායු සහ න්‍යෂ්ටික බලය යොදාගෙන හුමාලයෙන් ටර්බයිනයක් කරකවල විදුලිය ජනනය කරන බලාගාර​.

අපි දන්නව පද්ධතියක විදුලි බල ඉල්ලුම නියත අගයක පවතින්නෙ නෑ. ඒක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. ඒ වගේ අවස්ථා වලදී අපි ජනනය කරන විදුලිය ප්‍රමානයත් හරියටම ඉල්ලුමට සමාන වෙන පරිදි වෙනස් කරන්න ඕනෙ.

එහෙනං දවසේ විදුලි බල ඉල්ලුම අඩු කාලසීමාවන් වලදි අපේ ජනනය අඩු වෙන්න ඕනෙ.

ඒත් මේ තාප විදුලි බලාගාර අපිට ඕන ඕන විදිහට නවත්තන්න බෑ. තාප විදුලි බලාගාරයක් නැවැත්තුවොත් ආපහු ක්‍රියාත්මක කරන්න විශාල කාලයක් යනවා. ඒ වගේම තාප විදුලි බලාගාරයක් අඩු ධාරිතාවකින් ජනනය කරද්දි ඒකෙ කාර්‍යක්‍ෂමතාවය සැලකිය යුතු ප්‍රමානයකින් අඩු වෙනවා. ඒ කියන්නෙ මෙගාවොට් එකක් නිපදවන්න යන මුදල සැලකිය යුතු ප්‍රමානයකින් වැඩි වෙනවා.

උදාහරණයකට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ජනන යන්ත්‍රයක පූර්ණ ධාරිතාව මෙගාවොට් 300. හැබැයි මේ ජනන යන්ත්‍රය මෙගාවොට් 150 ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වුනොත් මේකෙ කාර්‍යක්‍ෂමතාවය ගොඩක් අඩුයි.

ඒ වගේ වෙලාවට අපි කරන්නෙ පද්ධතියේ කෘතිම ඉල්ලුමක් හදල දෙන එක​. එතකොට තාප විදුලි බලාගාර වලට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ කෘතිම ඉල්ලුම හදන්නෙ පොම්ප ජල විදුලි බලාගාර වල පහළ ජලාශයේ ඉඳල ඉහළ ජලාශයට ජලය පොම්ප කිරීමෙන්.

පහත ප්‍රස්ථාරයෙන් මේක පැහැදිලිව දකින්න පුළුවන්.



2. ඉල්ලුම වැඩි අවස්ථා වලදී ජල විදුලියෙන් සැපයුම වැඩි කර ගැනීම​


කලින් දැක්ක වගේ ඉල්ලුම අධික වෙලාවන් වලදී අපිට තාප විදුලි බලාගාර වලින් විතරක් සැපයුම සම්පූර්ණ කරගන්න බෑ. ඒ වෙලවට අපිට ජල විදුලි බලාගාර හෝ තෙල් විදුලි බලාගාර (ඩීසල්) යොදා ගන්න සිද්ධ වෙනවා.

නමුත්, තෙල් යොදාගෙන විදුලිය ජනනය කිරීම ඉතාමත් වියදම් අධික කටයුත්තක්. ඒ නිසා ඒ වගේ වෙලාවන් වලදී අපිට ජල විදුලියෙන් ලොකු විදුලි ප්‍රමානයක් ජනනය කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.

පොම්ප ජල විදුලි බලාගාර වලින් ඉල්ලුම අඩු වෙලාවන් වලදී ඉහළ ජලාශයට පොම්ප කරන වතුර මේ වගේ ඉල්ලුම වැඩි අවස්ථා වලදී ජනනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙන් අපි තෙල් වලින් ජනනය කරන්න ඕනෙ විදුලි ප්‍රමානය පහත දා ගන්න පුළුවන්.


3. ඉල්ලුම අඩු අවස්ථා වලදී සංඛ්‍යාත පාලනය කිරීම​


අපි දන්නවා හැම මොහොතේම පද්ධතියක ඉල්ලුම වෙනස් වෙන බව​. සෑම තප්පරයක් පාසාම ඉල්ලුම වෙනස් වෙනවා. ඉතින් අපි ජනනය කරන්න ඕනෙ හරියටම ඉල්ලුමට සමාන විදුලි ප්‍රමානයක් නිසා අපිට ජනනය කරන්න ඕනෙ විදුලි ප්‍රමානයත් ඒ විදිහටම මොහොතින් මොහොත වෙනස් කරන්න ඕනෙ.

මේ කටයුත්තට කියන්නෙ සංඛ්‍යාත පාලනය (Frequency Controlling) කියල​.

මේ වැඩේට තාක්‍ෂනික පැත්තෙන් ගත්තම ඉතාම යෝග්‍යය වෙන්නෙ ජල විදුලි බලාගාර​.

ඒත් අපි කලින් දැක්ක වගේ ඉල්ලුම අඩු වෙලාවට අපි සම්පූර්න ඉල්ලුමම වගේ සපයන්නෙ තාප විදුලි බලාගාර වලින්. මේ නිසා ඒ වගේ වෙලාවට සංඛ්‍යාත පාලනය කිරීම සඳහාම ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම කලොත් ඉල්ලුම වැඩි වෙලාවට අපිට ප්‍රයෝජනයට ගන්න තියෙන ජල විදුලි ප්‍රමානය අඩු වෙනවා.

ඒත් පොම්ප ජල විදුලි බලාගාර වල පොම්ප කිරීමේ කටයුත්ත සංඛ්‍යාත පාලනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකෙන් අපිට ජල විදුලි බලාගාර වල වතුර ඉල්ලුම වැඩි අවස්ථා සඳහා ඉතුරු කරගන්න පුළුවන්.


4. පද්ධතියේ බැටරියක් වශයෙන් කටයුතු කිරීම​


ලංකාව වගේ රාත්‍රී කාලයේ අධික ඉල්ලුමක් තියෙන පද්ධති වලට තියෙන ප්‍රශ්නයක් තමයි සූර්‍ය ශක්තිය ප්‍රයෝජනයට ගැනීම​. මොකද සූර්‍ය ශක්තිය තියෙන දවල් කාලයේ ඉල්ලුම රාත්‍රියට සාපේක්‍ෂව අඩු නිසා. නමුත් ඒ වගේ අවස්ථා වලදී පොම්ප ජල විදුලි බලාගාරයකට පද්ධතියේ බැටරියක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්.

ඒ කියන්නෙ දහවල් කාලයේ නිපදවන සූර්‍ය විදුලි බලය ප්‍රයෝජනයට අරගෙන ඉහළ ජලාශයට වතුර පොම්ප කරගෙන​, ඉල්ලුම වැඩි රාත්‍රී කාලයට ජනනය කිරීමෙන්. මෙතනදි පොම්ප විදුලි බලාගාරය බැටරියක් ආරෝපණය කරලා අවශ්‍යය වෙලාවට ප්‍රයෝජනයට ගැනීමට සමාන ආකාරයකට ක්‍රියා කරනවා.


මේ විදිහට අපිට පේනවා පොම්ප ජල විදුලි බලාගාරයක ක්‍රියාවලියේ ශක්තිය අතින් ගත්තම ශුද්ධ පාඩුවක් තිබුනට​, මුදල් අතින් ගත්තම ලාබ දායකයි කියල​.


පොම්ප ජල විදුලි බලාගාරයක අංග​


පොම්ප ජල විදුලි බලාගාරය අංග සාමාන්‍යය ජල විදුලි බලාගාරයක අංග වලට බොහෝ දුරට සමානයි. ඒත් වැදගත් වෙනස් කම් කීපයකුත් තියෙනවා.

ප්‍රධාන වෙනස තමයි සාමාන්‍යය ජල විදුලි බලාගාරයක ජලාශ එකක් තියෙද්දි පොම්ප ජල විදුලි බලාගාරයක ජලාශ දෙකක් තිබීම​. මේ ජලාශ දෙක "ඉහළ පොකුණ​" (Upper Pond) සහ "පහළ පොකුණ​" (Lower Pond) කියල හඳුන්වනවා.



බොහෝ විට ඉහළ පොකුණ හදන්නෙ ගඟකට සම්බන්ධ කරල නෙවෙයි. වෙනම පිහිටි කෘතිම ජලාශයක් විදිහට​. ඒත් එකම ගඟේ ඉහළ සහ පහළ වේලි දෙකක් ඉඳි කරල ඉහළ පොකුණ සහ පහළ පොකුණ හදන අවස්ථාත් තියෙනවා.

ඒ වගේම තවත් වැදගත් වෙනසක් තමයි පොම්ප ජල විදුලි බලාගාරයක් දෙපැත්තටම ක්‍රියාකිරීම​. ඒ කියන්නෙ ජනනය සහ පොම්ප කිරීම​. මේ ක්‍රියාවන් දෙකට වෙන වෙනම උපාංග නෑ. ජනනය කිරීමේදී උපයෝගී කරගන්න ටර්බයිනය සහ ජනන යන්ත්‍රයම පොම්ප කිරීමේදී පොම්පය සහ මෝටරය විදිහට භාවිතා වෙනවා.

මේ නිසා පොම්ප ජල විදුලි බලාගාරයක ටර්බයිනයේ හැඩය​ සාමාන්‍යය ජල විදුලි බලාගාරයක ටර්බයිනයට වඩා මදක් වෙනස් විදිහට සැලසුම් කරල තියෙනවා.



ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර භාවිතය​


අපිට දැකපු විදිහට පොම්ප ජල විදුලි බලාගාරයක් ප්‍රයෝජනවත් වෙන්න නම් පද්ධතියේ න්‍යෂ්ටික​, ගල් අඟුරු සහ සොබාවික වායු වලින් ක්‍රියා කරන තාප විදුලි බලාගාර විශාල ප්‍රමානයක් තියෙන්න ඕනෙ. පොම්ප ජල විදුලි බලාගාරයක වාසිය ලැබෙන්නෙ එතකොට​. මේ හේතුව නිසා පොම්ප ජල විදුලි බලාගාර වැඩි පුර තියෙන්නෙ කාර්මීකරණය වුනු රටවල​.

ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර වැඩිපුරම භාවිතා කරන රටවල් පහ වෙන්නේ මේවා.

1. චීනය (32 GW)
2. ජපානය 28 GW)
3. ඇමරික එක්සත් ජනපදය (23 GW)
4. ස්පාඤ්ඤය (8 GW)
5. ඉතාලිය (7 GW)

ලෝකයේ විශාලම පොම්ප ජල විදුලි බලාගාර පහ මේවා.

1. බාත් කවුන්ටි (ඇමරිකා එක්සත් ජනපදය​) - 3003 MW
2. ගුවැංදොං (චීනය​) - 2400 MW
3. හුයිෂෝ (චීනය​) - 2400 MW
4. ඔකුතතරගි (ජපානය​) - 1932 MW
5. ලුඩිංටන් (ඇමරිකා එක්සත් ජනපදය​) - 1872 MW

බාත් කවුන්ටි පොම්ප ජල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර​

ලෝකයේ පොම්ප ජල විදුලි බලාගාර ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න රට විදිහට සැලකෙන්නේ ජපානය​. ඔවුන් පොම්ප ජල විදුලි බලාගාර තාක්‍ෂනයේ පුරෝගාමී මෙහෙයක් කරල තියෙනවා. ජපානයේ ජල විදුලි බලයෙන් 50% ක් ම සපයන්නේ පොම්ප ජල විදුලි බලාගාර වලින්.

Saturday, June 16, 2018

ජල විදුලි බලාගාර​


ජල විදුලිය කියන්නේ ලෝකයේ විදුලිය උත්පාදනය කරන්න භාවිතා කරපු පැරණිම ක්‍රමයක්. ඒ වගේම තාක්‍ෂනික, ආර්ථික සහ පාරිසරික පැත්තෙන් බැලුවම ජල විදුලිය තමයි විදුලිය උත්පාදනයට සුදුසුම ක්‍රමය​. ඒක ඉතාම ලාබදායික​, සාපේක්‍ෂව පරිසර දූෂනය අඩු සහ තාක්‍ෂනික වශයෙන් ඉතාමත් නම්‍යශීලී ශක්ති ප්‍රභවයක්.

2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 17% ක් සිදු කෙරුනේ ජල විදුලියෙන්. ලංකාවේ හොඳින් වැසි ලැබෙන අවුරුද්දක ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% ක පමණ පංගුවක් සපයන්නේ ජල විදුලිය​. නියං අවුරුදු වල මේක 20% තරම් පහත වැටෙන්න පුළුවන්.


මේ ලිපියෙන් කියන්න යන්නේ ජල විදුලි බලාගාරයක විදුලිය උත්පාදනය සිදුවෙන ආකාරය​.

ජල විදුලි බලාගාරයක විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ගල් අඟුරු බලාගාරයකට සාපේක්‍ෂව සරළයි. එතනදී කරන්නේ ඉහළ උස මට්ටමක ඇති ජලාශයක රඳවාගන්නා වතුර පහල මට්ටමක ඇති බලාගාරය වෙත අරගෙන ඇවිත්, එහි ඇති බමණයක් කරකවලා එමගින් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමෙන්. මෙතැනදි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ ඉහළ උසක ඇති ජලයේ විභව ශක්තිය​. ඒක හැඳින්වෙන්නේ ජල හිස (water head) කියලා.


ජල විදුලි බලාගාරයක ප්‍රධාන කොටස්


ජල විදුලි බලාගාරයක් ප්‍රධාන කොටස් 18 කින් සමන්විතයි.

1. වේල්ල (dam)
2. ජලාශය (reservoir)
3. වාන් දොරටු (spillway gates)
4. තුළුමග​ (intake)

5. කසළ රඳවනය​ (trash racks)
6. පෙරාර උමඟ​ (head race tunnel)
7. කැලඹුම් ළිඳ​ (surge tank)
8. ගල් රඳවනය​ (rock trap)
9. කොටුදොර​ (penstock)
10. ප්‍රධාන පිවිසුම් කපාටය​ (main inlet valve)
11. බමණය​ (water turbine)
12. පිටවුම් නළය​ (draft tube)
13. අවරාර උමඟ​ (tail race tunnel)
14. අවරාරය​ (tail race)
15. ජනන යන්ත්‍රය​ (generator)
16. පරිණාමකය​ (transformer)
17. වහරු අංගනය​ (switch yard)
18. සම්ප්‍රේෂන රැහැන් (transmission lines)



1. වේල්ල (dam)



ජල විදුලි බලාගාරයට අවශ්‍යය ජලය ලබාගන්නේ තෝරාගත් ස්ථානයකදී ගඟක් හරහා වේල්ලක් බැඳීමෙන් ජලාශයක් නිර්මානය කිරීමෙන්. මේ වගේ හදන වේල්ලක් තනි කොන්ක්‍රීට් වලින් හෝ ගල් වලින් හදලා වටේට කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීමෙන් නිම කරනවා. සමහර අවස්ථාවලදී ජලාශයක් තැනීම කෙරෙන්නෙ නෑ. ගඟ හැරවීම පමණයි කෙරෙන්නේ. එවැනි අවස්ථා වලදී වේල්ල හැඳින්වෙන්නේ අමුණ (diversion weir) විදිහට​.


2. ජලාශය (reservoir)



ජලාශයෙන් කරන්නෙ අවශ්‍යය පරිදි භාවිතයට ගන්න පුළුවන් විදිහට ජලය එක්‍ රැස් කරලා තබා ගැනීම​. ප්‍රමානයෙන් කුඩා ජලාශ පොකුණක් (pond) විදිහට හැඳින්වෙනවා.


3. වාන් දොරටු (spillway gates)



ජලාශයේ උපරිම වතුර රඳවා ගත හැකි සීමාවක් තියෙනවා. ඒකට කියන්නෙ "පිටාර මට්ටම​" (spill level) කියලා. පිටාර මට්ටමට වඩා වතුර පිරෙන අවස්ථාවකදී වැඩිපුර වතුර නිදහස් කරන්න තමයි වාන් දොරටු තියෙන්නෙ. වාන් දොරටු එසවීමෙන් වැඩිපුර එන ජලය මුදා හරින්න පුළුවන්. සමහර ජලාශ වල වාන් දොරටු නෑ. ඒ වෙනුවට තියෙන්නෙ තව්වක්. එතකොට වැඩිපුර එන වතුර ඉබේම පිටාර ගලනවා.


4. තුළුමග​ (intake)



තුළුමග කියන්නේ ජලාශයේ තියෙන වතුර  එළියට ගන්න තැන. මේක හැම වෙලේම වතුරෙන් යට තියාගන්න අවශ්‍යයයි. ඒ නිසා තුළුමගේ මට්ටමට වඩා ජලාශයේ වතුර මට්ටම අඩු වෙන්න දෙන්නෙ නෑ. ඒක හඳුන්වන්නේ "අවම මෙහෙයුම් මට්ටම​" (minimum operation level) කියලා. අවශ්‍යය විටෙක වහ ගන්න තුළුමගේ ගේට්ටුවක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ තුළුමග ගේට්ටුව (intake gate) කියල​. සාමාන්‍යය තත්වය යටතේ තුළුමග ගේට්ටුව හැම වෙලේම සම්පූර්නයෙන්ම ඇරල තියෙන්නෙ.


5. කසළ රඳවනය​ (trash racks)



ජලාශයේ එක් රැස් වෙන නොයෙකුත් කසල තුළුමගට ඇතුල් වීම වැලැක්වීම සඳහා තුළුමගේ කටේ යකඩ දැලක් තියෙනවා. මේ යකඩ දැල තමයි කසල රඳවනය කියල හැඳින්වෙන්නේ. කසල රඳවනයෙන් රඳවාගන්නා කසල දැල දිගේ උඩට අරගෙන බැහැර කරන්න පුළුවන්.


6. පෙරාර උමඟ​ (head race tunnel)



ජලාශයේ තියෙන වතුර බලාගාරය වෙත ගෙනියන්නේ පෙරාර උමඟ ඔස්සේ. ඇත්තෙන්ම තුළුමග කියන්නේ පෙරාර උමඟේ කට​. පෙරාර උමඟේ හරස්කඩ අශ්ව ලාඩමක හැඩයට හදල තියෙන්නේ ඇතුලේ පීඩනය සමව බෙදී යන විදිහට​. පෙරාර උමඟේ ඇතුල් බිත්තිය කොන්ක්‍රීට් වලින් ආවරණය කරල හදනවා. නමුත් ගල ශක්තිමත් තැන්වල කොන්ක්‍රීට් නොකර තියෙන්නත් පුළුවන්. තුළුමග හැම වෙලාවෙම වතුර මට්ටමෙන් යට තියෙන නිසා පෙරාර උමඟ හැම වෙලාවෙම සම්පූර්නයෙන්ම වතුරෙන් පිරිල තියෙන්නෙ. ඒ වගේම පෙරාර උමඟ හදන්නෙ ඉතාම අඩු බෑවුමක් තියෙන විදිහට​. ඒ උමඟ ඇතුලේ ජල පීඩනය අවම කරගන්න​.


 7. කැලඹුම් ළිඳ​ (surge tank)



පෙරාර උමඟ ඇතුලේ පීඩන සර්ජනයක් (pressure surge) ඇති වුනොත් එමගින් උමඟට හානි ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා උමඟේ එක තැනක් වායුගෝලයට විවර කරල තියෙනවා. පීඩන සර්ජනයක් ඇති වුනොත් ඒ පීඩනය එතැනින් වායුගෝලයට මුදා හැරෙනවා.


8. ගල් රඳවනය​ (rock trap)


පෙරාර උමඟ දිගේ එන ගලක් බමණයට ඇතුල් වුනොත් එයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පෙරාර උමඟේ කෙලවර ලොකු වලක් තියෙනවා ගල් රඳවා ගන්න​.


 9. කොටුදොර​ (penstock)



පෙරාර උමඟේ දිගේ අඩු බෑවුමකින් අරගෙන එන වතුර බමණයට ලබා දෙන්න කලින් එක පාරටම විශාල බෑවුමක් සහිත වානේ නල තුලින් යවනවා. ඒ බෑවුමත් එක්ක ජලයේ පීඩනයේ වැඩි කරගන්න​. මේ වානේ නල තමයි කොටු දොර විදිහට හැඳින්වෙන්නේ. කොටු දොර සමහර විට පොළව මතුපිටින් යන වානේ නල විදිහට තියෙන අතර සමහර විට භූගත නල විදිහට තියෙනවා.


10. ප්‍රධාන පිවිසුම් කපාටය​ (main inlet valve)



කොටු දොරෙන් එන වතුර බමණයට ඇතුල් වෙන්න පෙර විශාල කපාටයක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ප්‍රධාන පිවිසුම් කපාටය කියල​. බමණයට වතුර දෙනවද නැද්ද කියල එක තීරණය වෙන්නෙ ප්‍රධාන පිවිසුම් කපාටයෙන්.


ජල හිස වැඩි බලාගාර වල ප්‍රධාන පිවිසුම් කපාටය ගෝලීය කපාටයක් විදිහටත් (spherical valve) ජල හිස අඩු බලාගාර වල සමනළ කපාටයක් (butterfly valve) විදිහටත් යොදා ගන්නවා.


11. බමණය​ (water turbine)


බමණය තමයි ජල විදුලි බලාගාරයක වැදගත්ම කොටස​.

බලාගාරයේ ජල හිස අනුව වර්ග කීපයක බමණ යොදාගන්නවා. ඒ අතරින් බහුලව යොදාගන්නේ බමණ වර්ග තුනක්.

1. පෙල්ටන් - විශාල ජල හිසක් සහිත බලාගාර (මීටර් 300 ට වැඩි)
2. ෆ්‍රැන්සිස් - මධ්‍යම ජල හිසක් සහිත බලාගාර (මීටර් 30 ට වැඩි)
3. කප්ලාන් - කුඩා ජල හිසක් සහිත බලාගාර (මීටර් 30 ට අඩු)

පෙල්ටන් බමණය


පෙල්ටන් බමණය සමන්විත වෙන්නේ කෝප්ප හැඩයේ බමණ පෙති ගණනාවකින්. මේවා බකට්ටු (bucket) කියල හැඳින්වෙනවා. ජල තුඩු (nozzel) කීපයකින් මේවාට අධික වේගයකින් යුත් ජල ධාරාවක් විදිනවා. ඒ ජල ධාරාව බකට්ටු වල ගැටීමෙන් තමයි බමණය කරකැවෙන්නෙ සලස්වන්නේ.


ලංකාවේ ලක්‍ෂපාන සහ උමා ඔය බලාගාර වල තියෙන්නෙ පෙල්ටන් බමණ​.


ෆ්‍රැන්සිස් බමණය​


ඉතාම බහුලව භාවිතා වෙන බමණය වෙන්නේ ෆ්‍රැන්සිස්. ෆ්‍රැන්සිස් බමණය සමන්විත වෙන්නේ වානේ වලින් හදපු තැටියක් ඇතුලෙන් කපන ලද වතුර ගමන් කල හැකි මාර්ග රැසකින්. වතුර පාර මේ මාර්ග ඇතුලෙන් ගමන් කරන්නේ බමණය කරකවමින්. පෙල්ටන් බමණයක් කැරකෙන්නේ වතුර පහරේ වේගයට වුනත්, ෆ්‍රැන්සිස් බමණයක් කැරකෙන්නේ වතුරේ පීඩනයට සහ වේගයට යන දෙකටම​.


මේ නිසා වතුරේ පීඩනය ඉහළ අගයක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ෆ්‍රැන්සිස් බමණය පෙල්ටන් බමණය වගේ වායුගෝලීය පීඩනයේ නෙවෙයි තියන්නේ. ෆ්‍රැන්සිස් බමණය තියල තියෙන්නේ සම්පූර්නයෙන්ම මුද්‍රා තැබූ සර්පිල හැඩයේ කසුවක් තුල​. මේක සර්පිල කසුව (spiral casing) කියල හැඳින්වෙනවා.


බමණයට වතුර ඇතුල් වෙන්නේ සර්පිල කසුවේ ඇතුල් පැත්තේ බිත්ති වල කපන ලද මාර්ග හරහා. වතුර පාරේ සැර පාලනය කරන්න මේ මාර්ග වලට ගේට්ටු තියල තියෙනවා. මේ ගේට්ටු හැඳින්වෙන්නේ නියමු තල (guide vein) කියලා. ජනන යන්ත්‍රයේ උත්පාදනය වෙන මෙගාවොට් ප්‍රමානය පාලනය කරන්නේ මේ වතුර පාරේ සැර මගින්.



කප්ලාන් බමණය​


අඩු ජල හිසක් සහිත බලාගාර වලට යොදා ගන්නේ කප්ලාන් බමණය​. කප්ලාන් බමණය හැඩයෙන් නැවක අවර පෙති වලට සමානයි. වතුර පාර ගලාගෙන යන මාර්ගයේ කප්ලාන් බමණය තියල තියෙන්නේ වතුර පාර මගින් බමණය කරකැවෙන ආකාරයට​.


කප්ලාන් බමණයේ තල වල ඇලය වෙනස් කරන්න පුළුවන්. මේ නිසා ඒ ඒ වතුර පාරේ සැර අනුව වඩාත්ම කාර්‍යක්‍ෂම ඇලය සහිතව බමණය කරකැවීමේ හැකියාව තියෙනවා.


ලංකාවේ උඩ වලවේ සහ ඉඟිනියාගල බලාගාර වල තියෙන්නේ කප්ලාන් බමණ​.


12. පිටවුම් නළය​ (draft tube)



බමණය කරකවලා ඉවත් වෙන වතුර යන්නේ පිටවුම් නලය ඔස්සේ. පිටවුම් නලය නැම්මක් සහිතව විශේෂ හැඩයකින් හදල තියෙන්නෙ ශක්ති හානිය අවම කරගන්න​.


13. අවරාර උමඟ​ (tail race tunnel)



පිටවුම් නළයෙන් ඉවත් වෙන වතුර යොමු කෙරෙන්නේ අවරාර උමඟට​. අවරාර උමඟ ඒ වතුර නැවතත් ගඟ දක්වා රැගෙන යනවා. අවරාර උමඟ ගොඩක් දිගයි නම් පෙරාර උමඟේ වගේම පීඩන සර්ජනයක් නිදහස් කරන්න කැළඹුම් ළිඳකුත් තියෙනවා.


14. අවරාරය​ (tail race)



 අවරාර උමඟ දිගේ එන වතුර ගඟට නිදහස් වෙන්නේ අවරාරයේදී.


 15. ජනන යන්ත්‍රය​ (generator)




බමණය ඊෂාවක් (shaft) හරහා ජනන යන්ත්‍රයට සම්බන්ධ කරල තියෙන්නේ. එමගින් බමණය කැරකෙන වේගයෙන්ම ජනන යන්ත්‍රයත් කැරකෙනවා. ජනන යන්ත්‍රය සමන්විත වෙන්නේ විශාල දඟර දෙකකින්. එක දඟරයක් ඊෂාව මත සවි කරල තියෙනවා. ඒ දඟරය හැඳින්වෙන්නේ භ්‍රමකය (rotor) කියලා. අනෙක් දඟරය භ්‍රමකයට වටා සවි කරල තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ස්ථායුකය (stator) කියල. භ්‍රමකය තමයි බමණයත් එක්ක කැරකෙන්නේ. භ්‍රමකයට සරළ ධාරාවක් ලබා දුන්නම ස්ථායුකයේ ප්‍රත්‍යාවර්ථ ධාරවක් ජනනය වෙනවා. ඒ ප්‍රත්‍යාවර්ථ ධාරාව තමයි අපි ප්‍රයෝනයට ගන්නේ. 


 16. පරිණාමකය​ (transformer)



ජනන යන්ත්‍රයේ ජනනය වෙන ධාරාවේ වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 10-20 අතර ප්‍රමානයේ වෙනවා. මේ අඩු වෝල්ටීයතාවයෙන් විදුලිය සම්ප්‍රේෂනය කරොත් අධික ශක්ති හානියක් සිදු වෙන නිසා ඊට කලින් වෝල්ටීයතාවය වැඩි කරගන්න පරිණාමකයක් භාවිතා කෙරෙනවා. පරිණාමකයේදී වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 200 - 400 අතර ප්‍රමානයකට වැඩි කෙරෙනවා (ලංකාවේ නම් කිලෝ වෝල්ට් 220).

පරිණාමකය සමන්විත වෙන්නෙ එකිනෙකට ඉතා ළඟින් සවි කල දඟර දෙකකින්. මේ දඟර වල පොට ගනනේ අනුපාතයට සමාන අනුපාතයකින් එක දඟරයකට සපයන ධාරාවේ වෝල්ටීයතාවය අනෙක් දඟරයේ ප්‍රේරණය වෙනවා.  


17. වහරු අංගනය​ (switch yard)



පරිණාකයෙන් වෝල්ටීයතාවය ඉහළ නැංවූ විදුලිය ඊළඟට යන්නේ වහරු අංගනයට​. වහරු අංගනය භාවිතා වෙන්නේ පරිණාමක සහ සම්ප්‍රේෂන රැහැන් සම්බන්ධ කරගන්න​​. වහරු අංගනයේ ඇති උපාංග භාවිතයෙන් අපිට පුළුවන් සම්ප්‍රේෂන රැහනක් හෝ පරිණාමකයක් අවශ්‍යය පරිදි සක්‍රීය හෝ අක්‍රිය කරන්න​.

පැරණි වහරු අංගන එළිමහනේ ඇති උපාංග වලින් සමන්විත වුනත්, නවීන වහරු අංගන සම්පූර්නයෙන්ම සීල් කරන ලද උපාංග වලින් සමන්විත ගෘහස්ත වහරු අංගන (GIS) විදිගට දකින්න පුළුවන්. 


 18. සම්ප්‍රේෂන රැහැන් (transmission lines)



සම්ප්‍රේෂන රැහැන් වලින් කරන්නේ විදුලිය රට පුරා බෙදා හැරීම​. 

Friday, June 1, 2018

ගල් අඟුරු බලාගාර​


ගල් අඟුරු කියන්නේ අද ලෝකයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිතා වන ඉන්ධනයක්. 2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 39% ක් සිදු කෙරුනේ ගල් අඟුරු යොදාගෙන​. වර්තමානයේ ලංකාවෙත් ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% පමණ සිදු කෙරෙන්නේ ගල් අඟුරු භාවිතයෙන්.


මේ ලිපියෙන් කියන්න යන්නේ ගල් අඟුරු බලාගාරයක විදුලිය උත්පාදනය සිදුවෙන ආකාරය​.

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවන්නේ ගල් අඟුරු දහනය කිරීමෙන් ලැබෙන තාපයෙන් වතුර රත් කරලා, වාෂ්ප හදලා, ඒ වාෂ්පයෙන් බමණයක් කරකවලා එමගින් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමෙන්. ඒ වගේ සරළව කිව්වට මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්.


ගල් අඟුරු බලාගාරයක ප්‍රධාන කොටස්


ගල් අඟුරු බලාගාරයක් ප්‍රධාන කොටස් 16 කින් සමන්විතයි.

1. ගල් අඟුරු අංගනය (coal yard)
2. ගල් අඟුරු ප්‍රවාහන පද්ධතිය (coal conveyor system)
3. ගල් අඟුරු  කුඩු කරනය (pulverizer / crusher)
4. වා පූර්ව තාපකය (air pre-heater)
5. දාහකය (burner)
6. බොයිලේරුව (boiler)
7. චිමිනිය (stack)
8. වාෂ්ප බමණය (steam turbine)
9. ඝනීකාරකය (condenser)
10. සිසිලන කුළුණ (cooling tower)
11. ජල රක්‍ෂිතය (water reserve)
12. අළු තැන්පතුව (ash storage)
13. ජනන යන්ත්‍රය (generator)
14. පරිණාමකය (transformer)
15. වහරු අංගනය (switch yard)
16. සම්ප්‍රේෂණ රැහැන් (transmission lines)



1. ගල් අඟුරු අංගනය (coal yard)



ගල් අඟුරු අංගනය කියන්නෙ නැවෙන් බාන ගල් අඟුරු පාවිච්චි කිරීමට පෙර ගබඩා කරල තියෙන ස්ථානය​. මේක විශාල එළිමහන් බිම් කඩක්. ඒ බිම් කඩේ සකස් කළ ස්ථාන වල ගල් අඟුරු කැට ගොඩ ගහල තියෙනවා.


 2. ගල් අඟුරු ප්‍රවාහන පද්ධතිය (coal conveyor system)



ගල් අඟුරු ප්‍රවාහන පද්ධතියෙන් කරන්නෙ ගල් අඟුරු අංගනයේ සිට අවශ්‍යය පරිදි බලාගාරය වෙත ගල් අඟුරු රැගෙන යාම​. මෙහිදී යොදාගන්නේ චලනය වෙන පටි (conveyor belt) පද්ධතියක්. ගල් අඟුරු අංගනයේදී යන්ත්‍රානුසාරයෙන් ගල් අඟුරු මේ පටි වලට පැටවූ පසු, පටි මගින් ඒවා තාවකාලිකව ගබඩා කරන්න විශාල අසුරණ (coal bin) කරා යොමු කෙරෙනවා. බලාගාරයට අවශ්‍යය වෙන විදිහට ගල් අඟුරු ලබා ගන්නේ ඒ තාවකාලික අසුරණ වලින්. එතැනදිත් කුඩු කරනය දක්වා ගල් අඟුරු අරගෙන යන්නෙ චලනය වෙන පටි මතින්.


3. ගල් අඟුරු  කුඩු කරනය (pulverizer / crusher)



ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු තියෙන්නෙ කුඩා කැට විදිහට​. මේවා දාහකයට යවන්න කලින් කුඩු බවට පත් කරන්න ඕනෙ. ඒ වඩා හොඳ දහනයක් සඳහා. ඒ සඳහා ගල් අඟුරු කුඩු කරනය පාවිච්චි කෙරෙනවා. කුඩු කරනයේදී විශාල ඇඹරුම් ගල් තුනක් මගින් ගල් අඟුරු කැඩ සියුම් කුඩු බවට පත් කෙරෙනවා.


 4. වා පූර්ව තාපකය (air pre-heater)



 ගල් අඟුරු දහනය කරන්න පාවිච්චි කරන දාහකයට දෙන වාතය සැපයුම දාහකයට යවන්න කලින් රත් කරන්න ඕනෙ. ඒ වඩා හොඳ දහනයක් සඳහ​. ඒකට තමයි වා පූර්ව දාහකය භාවිතා කෙරෙන්නෙ. මේ සඳහා භාවිතා කරන්නෙ දාහකයෙන් ඉවත් වෙන රත් වූ දුම. වාත පොම්පයක් මගින් වායුගෝලීය වාතය දාහකයෙන් ඉවත් වෙන රත්වූ දුම් බටය මතින් යවනවා. එහිදී වාතය රත් වූ දුම් වල ඇති තාපය උරාගෙන තමාගේ උෂ්නත්වය වැඩි කර ගන්නවා. මේකෙන් වායුගෝලයට මුදාහැරෙන දුම් වල උෂ්නත්වය අඩු වීමේ අමතර වාසියකුත් ලැබෙනවා.


5. දාහකය (burner)



කුඩු කරන ලද ගල් අඟුරු දාහකය තුලට ඇතුල් කරාට පස්සෙ, ඒවා දාහකය තුලදී දහනය කෙරෙනවා. දහනයෙන් නිපදවෙන ගිනි දළු නිකුත් වෙන්නේ බොයිලේරුවට​.


6. බොයිලේරුව (boiler)



බොයිලේරුව සමන්විත වෙන්නේ විශාල බට පද්ධතියකින්. මේ බට ස්ථානගත කරල තියෙන්නෙ ගල් අඟුරු දාහකට ඉහළින්. ගල් අඟුරු දහනයේදී ජනිත වෙන තාපය කෙලින්ම එල්ල වෙන්නෙ මේ බට වලට​. බොයිලේරුවට එක පසකින් වතුර ඇතුල් කරාම දාහකයෙන් ලැබෙන තාපය උරාගෙන ඒවා වාෂ්ප බවට පත් වෙනවා. ඒ හැදෙන වාෂ්ප බොයිලේරුවේ අනෙක් පසින් එළියට ගන්නවා.

දාහකයට වාතය ලබා දෙන්න පෙර ඒවා රත් කරනව වගේම බොයිලේරුවට ඇතුල් කරන්න කලින් වතුරත් රත් කරනවා. ඒකටත් භාවිතා වෙන්නෙ තාපකයෙන් ඉවත් වෙන රත් වූ දුම්.


 7. චිමිනිය (stack)



දාහකයෙන් ඉවත් වෙන දුම චිමිනිය හරහා වායුගෝලයට මුදා හැරෙනවා. මේ රත් වූ දුම දාහකයට ඇතුල් කරන වාතය සහ බොයිලේරුවට ඇතුල් කරන ජලය රත් කරන්න යොදා ගැනෙවා. ගල් අඟුරු බලාගාරයේ පරිසර දූෂනය සිදු වෙන පළමුවන තැන තමයි චිමිනිය​. චිමියෙන් නිකුත් වෙන දුමේ නයිට්‍රජන් ඔක්සයිඩ (NOx), සල්ෆර් ඔක්සයිඩ (SOx), කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ දහනය නොවූ ගල් අඟුරු කුඩු අඩංගුයි.


 8. වාෂ්ප බමණය (steam turbine)



බොයිලේරුවෙන් එළියට යන වාෂ්ප කෙලින්ම වාෂ්ප බමණය ට ඇතුල් කෙරෙනවා. වාෂ්ප බමණය කුඩා තල විශාල ප්‍රමානයකින් සමන්විතයි. මේ තල හරහා වාෂ්ප ගමන් කිරීමේදී වාෂ්ප බමණය කැරකෙනවා. වාෂ්ප බමණයක් කැරකෙන්නේ තප්පරයට වට 50 ක් වගේ අධික වේගයකින්. මේ නිසා බමණයේ ඊෂාව (shaft) බෙයාරිං පද්ධතියක් මත තියල තියෙනවා. මේ බෙයාරිං සඳහා නිරන්තරයෙන් ලිහිසි තෙල් (lubrication) ලබාදෙන්න ඕනෙ.


9. ඝනීකාරකය (condenser)



වාෂ්ප බමණයට හානි වීම වැලක්වීමට ජල වාෂ්ප හදන්න භාවිතා කරන ජලය විශේෂ ප්‍රතිකර්ම (treatment) වලට ලක් කරන්න ඕනෙ. මේ නිසා වාෂ්ප බමණයෙන් ඉවත් වෙන වාෂ්ප බැහැර කරන්නෙ නෑ. ඒ වාෂ්ප නැවතත් ඝනීභවනය කරලා ජලය බවට පත් කරලා ආපහු බොයිලේරුවට ඇතුල් කරනවා. ඒ කියන්නෙ වාෂ්ප හදන්න භාවිතා කරන්නෙ එකම වතුර​. මේ ඝනීභවනය සිදු කරන්නේ ඝනීකාරකය තුළදී. ඝනීකාරකය සිහින් බට රාශියකින් සමන්විතයි. මේ සිහින් බට ගමන් කරන්නේ සිසිලන ජලය ගෙනියන නල මතින්. ඒ බට වලට වාෂ්ප ඇතුල් කරාම සිසිලන ජලය විසින් ඒවායේ තාපය උරාගැනීමෙන් වාෂ්ප ජලය බවට පත් වෙනවා.


10. සිසිලන කුළුණ (cooling tower)



ඝනීකාරකයට භාවිතා කරන සිසිලන ජලය ලබා ගන්නේ ගඟකින් හෝ මුහුදෙන්. නමුත් ඝනීකාරකයේදී සිසිලන ජලය රත් වෙන නිසා ඒ රත් වූ ජලය කෙලින්ම ආපහු ගඟට හෝ මුහුදට මුදා හරින්න බෑ. ඊට කලින් ඒ රත් වූ ජලය සිසිලන කුළුන මගින් සිසිල් කළ යුතුයි. සිසිලන කුළුනේදී කරන්නේ රත් වූ ජලය වාත ධාරාවක් හරහා ගමන් කරවීම​. මෙහිදී ජලයේ ඇති තාපය වාතය මගින් උරා ගන්නවා. සිසිල් වූ ජලය නැවතත් ගඟට හෝ මුහුදට මුදා හැරෙන අතර රත් වූ වාතය සිසිලන කුළුනින් වායුගෝලයට මුදා හැරෙනවා. මේ රත් වූ වාතය එක්ක ජල වාෂ්පත් සිසිලන කුළුනෙන් මුදාහැරෙන නිසා සිසිලන කුළුනක් විශාල දුමක් පරිසරයට එක් කරන බව බැලූ බැල්මට පේනවා. නමුත් ඇත්තෙන්ම ඒ ජල වාෂ්ප​.


11. ජල රක්‍ෂිතය (water reserve)


ඝනීකාරකයේදී ජලය බවට පත් කල වාෂ්ප නැවතත් බොයිලේරුවට යැවෙන තුරු රැස් කරල තියන්නේ ජල රක්‍ෂිතයේ.


12. අළු තැන්පතුව (ash storage)



ගල් අඟුරු දාහකයෙන් ඉවත් වෙන දහනය වූ ගල් අඟුරු අළු (fly ash) දාහකය යටින් එළියට ගන්නවා. මේ ගල් අඟුරු අළු ඉවත් කරන තුරු ගබඩා කරල තියෙන ස්ථානය තමයි අළු තැන්පතුව​. ගල් අඟුරු අළු තමයි ගල් අඟුරු බලාගාරයක පරිසර දූෂනය සිද්ධ වෙන දෙවන ස්ථානය​. ගල් අඟුරු අළු විවිධ කර්මාන්ත සඳහා අමු ද්‍රව්‍යයක් වශයෙන් භාවිතා වෙනවා.


13. ජනන යන්ත්‍රය (generator)



වාෂ්ප බමණය ඊෂාවක් (shaft) හරහා ජනන යන්ත්‍රයට සම්බන්ධ කරල තියෙන්නේ. එමගින් බමණය කැරකෙන වේගයෙන්ම ජනන යන්ත්‍රයත් කැරකෙනවා. ජනන යන්ත්‍රය සමන්විත වෙන්නේ විශාල දඟර දෙකකින්. එක දඟරයක් ඊෂාව මත සවි කරල තියෙනවා. ඒ දඟරය හැඳින්වෙන්නේ භ්‍රමකය (rotor) කියලා. අනෙක් දඟරය භ්‍රමකයට වටා සවි කරල තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ස්ථායුකය (stator) කියල. භ්‍රමකය තමයි වාෂ්ප බමණයත් එක්ක කැරකෙන්නේ. භ්‍රමකයට සරළ ධාරාවක් ලබා දුන්නම ස්ථායුකයේ ප්‍රත්‍යාවර්ථ ධාරවක් ජනනය වෙනවා. ඒ ප්‍රත්‍යාවර්ථ ධාරාව තමයි අපි ප්‍රයෝනයට ගන්නේ.


14. පරිණාමකය (transformer)



ජනන යන්ත්‍රයේ ජනනය වෙන ධාරාවේ වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 10-20 අතර ප්‍රමානයේ වෙනවා. මේ අඩු වෝල්ටීයතාවයෙන් විදුලිය සම්ප්‍රේෂනය කරොත් අධික ශක්ති හානියක් සිදු වෙන නිසා ඊට කලින් වෝල්ටීයතාවය වැඩි කරගන්න පරිණාමකයක් භාවිතා කෙරෙනවා. පරිණාමකයේදී වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 200 - 400 අතර ප්‍රමානයකට වැඩි කෙරෙනවා (ලංකාවේ නම් කිලෝ වෝල්ට් 220).

පරිණාමකය සමන්විත වෙන්නෙ එකිනෙකට ඉතා ළඟින් සවි කල දඟර දෙකකින්. මේ දඟර වල පොට ගනනේ අනුපාතයට සමාන අනුපාතයකින් එක දඟරයකට සපයන ධාරාවේ වෝල්ටීයතාවය අනෙක් දඟරයේ ප්‍රේරණය වෙනවා.


15. වහරු අංගනය (switch yard)



පරිණාකයෙන් වෝල්ටීයතාවය ඉහළ නැංවූ විදුලිය ඊළඟට යන්නේ වහරු අංගනයට​. වහරු අංගනය භාවිතා වෙන්නේ පරිණාමක සහ සම්ප්‍රේෂන රැහැන් සම්බන්ධ කරගන්න​​. වහරු අංගනයේ ඇති උපාංග භාවිතයෙන් අපිට පුළුවන් සම්ප්‍රේෂන රැහනක් හෝ පරිණාමකයක් අවශ්‍යය පරිදි සක්‍රීය හෝ අක්‍රිය කරන්න​.

පැරණි වහරු අංගන එළිමහනේ ඇති උපාංග වලින් සමන්විත වුනත්, නවීන වහරු අංගන සම්පූර්නයෙන්ම සීල් කරන ලද උපාංග වලින් සමන්විත ගෘහස්ත වහරු අංගන (GIS) විදිගට දකින්න පුළුවන්.


16. සම්ප්‍රේෂණ රැහැන් (transmission lines)



සම්ප්‍රේෂන රැහැන් වලින් කරන්නේ විදුලිය රට පුරා බෙදා හැරීම​.