Showing posts with label බුද්ධාගම​. Show all posts
Showing posts with label බුද්ධාගම​. Show all posts

Monday, July 15, 2019

බුදු දහමේ විකාශය 1 - දෙවන ධර්ම සංගායනාව සහ මුල්ම නිකාය භේදය​



පසුබිම


දෙවන ධර්ම සංගායනාව ඇති වෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසුව​. ඒ කියන්නෙ ක්‍රි.පූ. 380 දී පමණ​.

මේ කාලයේදී බුදු දහම උතුරු ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත වෙලා තිබුනේ නෑ.

දෙවන ධර්ම සංගායනාව ගැන තියෙන තොරතුරු අසම්පූර්ණයි වගේම විවිධ මූලාශ්‍රයන් එකිනෙකට පරස්පර කරුණු ඉදිරිපත් කරනවා. දෙවන ධර්ම සංගායනාව ගැන අපිට අද ප්‍රධාන මූලාශ්‍ර හතරක් තියෙනවා.

1. දීපවංශය (ක්‍රි.ව​. 3 වන සියවසසේ ලියැවුනු ථෙරවාදී ධර්ම​-ඉතිහාස ලියැවිල්ලක්)
2. වසුමිත්‍ර (ක්‍රි.පූ. 1 වන සියවසේ විසූ සර්වාස්තිවාදී භික්‍ෂුවක්)
3. විනිතදේව (ක්‍රි.ව​. 7 වන සියවසේ විසූ මූලසර්වාස්තිවාදී භික්‍ෂුවක්)
4. සාරිපුත්‍රපරිප්‍රච්ච (ක්‍රි.පූ. 2 වන සියවසේ ලියැවුනු මහාසාංඝික ධර්ම​-ඉතිහාස ලියැවිල්ලක්)

මීට අමතරව චීන බසින් ලියැවුනු මහායාන ධර්ම​-ඉතිහාස ලියැවිලි සහ තවත් පැරණි ලියැවිලි ගණනාවක මේ ගැන සඳහන් වෙනවා.

මේ ලිපියේ දක්වලා තියෙන්නේ මේ සියළු මූලාශ්‍ර වල එන කරුණු සලකා බලා නිර්මානය කරණ ලද සිදුවුනා යැයි සිතිය හැකි කථාවක්.


දෙවන ධර්ම සංගායනාව​


බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසු (ක්‍රි.පූ. 380 පමණ​) කාලයේදී වජ්ජි රටේ වෛශාලි නගරයට එවකට භාරතයේ සිටි ප්‍රමුඛ භික්‍ෂුවක් වුනු "යස කාකණ්ඩකපුත්ත​" වැඩම කරනවා. එහිදී උන්වහන්සේට දකින්න ලැබෙන්නේ වෛශාලි නගරයේ භික්‍ෂූන් ප්‍රශ්නකාරී සම්ප්‍රදායන් අනුගමනය කරන බව​. මේ ගැන ප්‍රශ්න කිරීම නිසා උන්වහන්සේව සහ වෛශාලි භික්‍ෂූන් අතර මත ගැටුමක් ඇති වෙනවා.

යස කාකණ්ඩපුත්ත හිමියන් මේ මතභේදය නිරාකරණය කරගැනිම සඳහා එවකට භාරතයේ විසූ ප්‍රමුඛ ධර්ම​-විනය ධර භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කරනවා. මේ අතරින් අහොගංගා පව්වේ "සම්භූත සානවාසී" හිමියන් සහ සන්කස්ස පුර "රේවත" හිමියන් ප්‍රධානයි. මීට අමතරව අවන්ති රට සහ පාවා නුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක​ භික්‍ෂූන් වහන්සේලා මීට සම්බන්ධ වෙනවා.

භාරතයේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා 800 ක් වෛශාලි නගරයට වැඩම කරන්නේ ධර්ම සංගායනාවක් පවත්වලා ප්‍රශ්නය නිරාකරනය කර ගන්න​.



සංගායනාවේදී වෛශාලි නුවර භික්‍ෂූන් ගේ "ප්‍රශ්නකාරී" පිළිවෙත් විදිහට පිළිවෙත් 10 ක් ඉදිරිපත් කෙරෙනවා.

1. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා හරක් අඟක ලුණු බහා තැබීම​
2. ඉර හැරුණු පසු ආහාර ගැනීම​
3. වරක් ආහාර වළඳා ඉතිරි වූ ආහාර නැවත පසුව වැළඳීම​
4. විහාරයක් තුළ වෙන් වෙන්ව උපෝසතා කර්ම කිරීම​
5. සංඝයා සම්පූර්නයෙන්ම එක් රැස් වීමට පෙර විනය කර්මයක් කර, පසුව ඒ සඳහා කැමැත්ත ගැනීම​
6. තම ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් එළෙසම පවත්වාගෙන යාම​
7. දහවල් දානය වැළඳූ පසු නොමේරු කිරි වැළඳීම​
8. රා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම​
9. වාටි නොමැසූ නිසිදනයක් හිඳ ගැනීම සඳහා පාවිච්චි කිරීම​
10. රන් සහ රිදී දානය ලෙස පිළිගෙන පරිහරනය කිරීම​

මේ පිළිවෙත් ගැන තීරණයක් ගැනීමට භික්‍ෂූන් වහන්සේලා අට නමක් තෝරා ගන්නවා. එහෙම තෝරා ගන්නේ බටහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් සහ නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් විදිහට​.

මෙහිදී තෝරාගන්නා ලද භික්‍ෂූන් වහන්සේලා වුනේ,

බටහිර ප්‍රදේශ නියෝජනය කරමින් - සබ්බකාමී, සාල්හ​, බුජ්ජසෝභිත​, වසභගාමික​
නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරමින් - රේවත​, සම්භූත වනවාසී, යස කාකණ්ඩපුත්‍ර​, සුමන​

අජිත නම් හිමිනමක් විසින් එක එක පිළිවෙත මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර උන්වහන්සේලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන්නේ හය​වැනි පිළිවෙත හැර අනෙකුත් සියළු පිළිවෙත් විනය විරෝධී බවත්, ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් කැපනම්, ඒවා පිළිපැදීම විනය විරෝධී නොවන බවත්, ඒවා අකැප නම් ඒවා පිළිපැදීම විනය විරෝධී බවත්.

මේ තීරණයට පසුව රේවත හිමියන් විසින් ධර්ම - විනය කරුණු වල අපැහැදිලිතාවයන් මගහැරීම සඳහා එක් රැස් ව සිටි භික්‍ෂූන් වහන්සේලා ගේ සහභාගීත්වයෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට යෝජනා කරන අතර​, එය අද දෙවන ධර්ම සංගායනාව නමින් හැඳින්වෙනවා.

නමුත් සංඝ සභාවේ තීරණයට එකඟ නොවන භික්‍ෂූන් පිරිසක් එම සංගායනාවට සහභාගී නොවී එතැන් සිට වෙනම නිකායක් වශයෙන් කටයුතු කිරීමට පටන් ගන්නවා. මෙය තමයි බුදු දහමේ ප්‍රථම නිකාය භේදය.

සංඝ සභාවේ තීරණය පිළිගත් පිරිස "ස්ථවිරවාදීන්" ලෙස හැඳින්වුනු අතර​, එය පිළිනොගත් පිරිස "මහාසාංඝික" ලෙස හැඳින්වුනා.


මතභේදය​


මේ තීරණය ගැන විවිධ මූලාශ්‍ර පරස්පර විරෝධී මතයන් ඉදිරිපත් කරනවා. ස්ථවිරවාදී මූලාශ්‍රයන්ට (දීපවංශය වැනි) අනුව රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එතෙක් පැවතුනු විනය නීති වලට අනුකූලව තීරණය ලබා දුන්නා. නමුත් මහාසාංඝික​ මූලාශ්‍රයන්ට (සාරිපුත්‍රපරිප්‍රච්ච වැනි) අනුව වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි වුනේ නෑ. සංඝ සභාව විසින් එම පිළිවෙත් අකැප ලෙස තීරණය කිරීමෙන් පසුව නව විනය නීති හඳුන්වා දුන්නා.

මෙහිදී කැපී පෙනෙන කරුණ වන්නේ නිකායන් දෙකම තමන් නියම මුල් බුදු දහමේ ආරක්‍ෂකයා ලෙසින් පෙනී සිටීම​.

මෙහිදී සිදුවුනා යැයි සිතිය හැක්කේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි නොවුනු බව (බුදුන් වහන්සේ විනය නීති පනවා ඇත්තේ ඒ සඳහා අවශ්‍යතාවයක් පැන නැගුනු අවස්ථාවන් හිදී).

නමුත් රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එම පිළිවෙත් බුදුදහමේ හරයට එකඟ නොවන බවට තීරණය කොට ඒවා අකැප ලෙස නම් කර පසුව නව විනය නීති හඳුන්වාදුන් බව හිතන්න පුළුවන්.

මෙතැනදී මහාසාංඝික ලෙස වෙන් වුනු පිරිස එසේ කරන්නට ඇත්තේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් අනුමත කිරීම නිසා නොව​, බුදුන් වහන්සේ විසින් පැනවූ විනය නීති වලට පසුව විනය නීති එක් කිරීමට එකඟ නොවූ නිසා බවත් හිතන්න පුළුවන්.

අවස්ථානුචිත ලෙස විනය නීති වෙනස් නොකර, විනය නීති දෘඩ, නොවෙනස් දෙයක් ලෙස සැලකීමෙන් "නීති මගහැර යා හැකි හිල්" නිර්මාණය කරගත හැකි නිසා එයින් විනය පිරිහී යා හැකි බව ස්ථවිරවාදීන් සිතූ බව හිතන්න පුළුවන්. නමුත් මහාසාංඝික නිකාය සිතන්නට ඇත්තේ වරින් වර​ විනය නීති වෙනස් කිරීමෙන් ඊට වඩා හානියක් සිදුවිය හැකි බව​.


මහාසාංඝික ධර්ම සංගායනාව​


විනය නීති පිළිබඳ මතභේදයක් විදිහට පටන් ගන්න මේ නිකාය බෙදීම කෙටි කළකින්ම මූලධාර්මික වෙනසක් බවට පරිවර්තනය වෙනවා.

මහාසාංඝික නිකාය විසින් සංඝ සභාව විසින් දුන් තීරණයට එකඟ නොවුනත් මෙහිදී ඔවුන්ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න සිදු වෙනවා.

සංඝ සභාවේ තීරණය සහ ඉන්පසුව පැවැත්වුනු දෙවන ධර්ම සංගායනාව ඔවුන් ප්‍රතික්‍ෂේප කළත්, ඒවා සඳහා සහභාගී වුනු රේවත​, සම්භූත වනවාසී ඇතුළු ජේෂ්ඨ භික්‍ෂූන් රහතුන් වහන්සේලා. ඒ නිසා රහතුන් වහන්සේලාගේ තීරණය ප්‍රතික්‍ෂේප කිරීමත් එක්කම රහතුන් වහන්සේලා යනු සියළු කෙළෙස් දුරු කළ​, අවිද්‍යාවෙන් මිදුනු වැරදි නොකරන උතුමන් යන අදහසත් ඔවුන් විසින් නිතැතින්ම ප්‍රතික්‍ෂේප කෙරෙනවා.

රහතන් වහන්සේලා මුළුමනින්ම කෙලෙස් දුරු කළ පිරිසක් යන්නට පටහැණි අදහස් මහාසාංඝික නිකාය තුලින් බිහි වෙන්නේ මේ පරස්පරය පැහැදිලි කර ගැනීමට​. මේ අදහස් වල කූඨප්‍රාප්තිය වෙන්නේ මහාසාංඝික ධර්ම සංගායනාව​.

දෙවන ධර්ම සංගායනාවෙන් වසර 30-50 පමණ කාලයකට පසු පාඨලීපුත්‍ර නුවරට එක් රැස් වන මහාසාංඝික නිකායේ භික්‍ෂූන් වහන්සේලා 10,000 ක පමණ විශාල පිරිසක්ගෙන් සමන්විත වුනු සංඝ සභාවක් ධර්ම සංගායනාවක් පවත්වනවා.

මෙහිදී මහාදේව නම් භික්‍ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලා පිළිබඳ ප්‍රවාද පහක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රවාදයන් සංගායනාවේදී පිළි ගන්නා අතර, එම අදහස් මහාසාංඝික නිකායේ මතවාදයක් ලෙස ස්ථාපනය කෙරෙනවා.

මේ ප්‍රවාදයන් පහ වෙන්නේ,

1. රහතුන් වහන්සේලා හට තෘෂ්ණාව පහළවිය හැක​
2. රහතුන් වහන්සේලා තුළ ඉතා සුළු වශයෙන් ක්ලේෂ පිහිටා තිබිය හැක​
3. රහතුන් වහන්සේලාට විචිකිච්ඡාව (සැකය​) පහළ විය හැක​
4. රහතුන් වහන්සේලා අනෙක් පුද්ගලයන් ගේ උදව් ඇතිව දැණුම ලබා ගනී
5. "අහෝ!" යනාදී හඬනගා කරන ප්‍රකාශයන් ධර්මාවබෝධයට උපකාරී වේ

මීළඟට ඇති වන ගැටළුව වන්නේ රහතන් වහන්සේලා තුළ කෙළෙසුන් පැවතිය හැකි නම්, නිර්වානය ලබා ගත හැක්කේ කෙසේද යන්න​. මෙහිදී බෝධිසත්ව සංකල්පය ඉස්මතු වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලා අතර වෙනස ඉස්මතු කිරීම සඳහා බුදුන් වහන්සේට අති-මානුෂීය ගුණාංග ආරෝපණය කිරීමත් ඇති වෙනවා.

මේ සංකල්ප මහායාන බුදුදහමේ සංකල්ප වල මුල් බීජ විදිහට සලකන්න පුළුවන්. නමුත්, මහායාන බුදුදහම සහ මහාසාංඝික නිකාය අතර ඍජු සබඳතාවයක් ඇති බව මෙයින් කියැවෙන්නේ නෑ.

Friday, October 27, 2017

ජපන් සංස්කෘතිය විදහාපාන වචන - 6 (වබි සහ​ සබි)


ජපානයේ පැරණි අගනුවර වන ක්‍ යෝතෝ නගරයේ තියෙනවා ඉතා පැරණි සහ ඉතා පූජනීය පන්සල් දෙකක්. මින් එකක නම කින්කකු-ජි (රන් විහාරය​). අනෙක ගින්කකු-ජි (රිදී විහාරය​).

රන් විහාරය කියන්නෙ පිටත බිත්ති වලට රන් පත්‍ර අල්ලපු ඉතාමත් ශෝභන සහ උත්කෘෂ්ට නිර්මානයක්. නමුත් රිදී විහාරය ලී වලින් නිම කරපු බොහොම චාම් පෙනුම තියෙන නිර්මානයක්. ඒකට හේතුව රිදී විහාරය නිම කරන්න කලින් ජපානයේ ඇතිවුන යුද්ධයක් නිසා ඒක සම්පූර්න කරන්න එහි නිර්මාන ශිල්පියාට නොහැකි වීම​.

රන් විහාරය​
රිදී විහාරය​

මේ නිර්මාන දෙකෙන් එක නිර්මානයක් සැලකෙන්නෙ කලාත්මක බවින් ඉතාමත් විශිෂ්ඨ නිර්මානයක් හැටියට​. බැලූ බැල්මට අපිට හිතෙයි ඒ රන් විහාරය කියලා. නමුත් ඇත්තෙන්ම විශිෂ්ඨ කලා නිර්මානය විදිහට සැලකෙන්නෙ රිදී විහාරය​.

ඒ "වබි" සහ "සබි" කියන ජපන් සංකල්ප දෙක නිසා. ජපන් සංස්කෘතියේ ඕනෑම නිර්මානයක සෞන්දර්‍යය රඳා පවතින්නේ මේ වබි සහ සබි සංකල්ප මත​.

වබි සහ සබි ජපානයේ හැම තැනම යොදා ගන්නා සංකල්ප​. අපිට ඕනෑම දෙයක් (පිඟානක්, කෝප්පයක්, ගොඩනැගිල්ලක්, මේසයක්, මල් බඳුනක්, ගෙවත්තක්, කවියක්) දැක්ක පමණින් "මේක ජපන් එකක්" කියල හිතෙනවා නම්, ඒ වබි සහ සබි නිසා. ඒත් මේ සංකල්ප විදේශීය භාෂාවලට පරිවර්තනය කරන්න ඉතාම අපහසුයි. විශේෂයෙන්ම බටහිර භාෂා වලට​.

වබි


 
වබි කියන යෙදුමෙන් අදහස් කෙරෙන්නෙ චාම් බව​. නොයිඳුල් බව​. නිහඬ බව​. යම් කිසි දෙයක් නිර්මානය කරද්දි එහි ඇතිවෙන කඩතොලු සහ අසමමිතික බව​. අසම්පූර්ණ බව​. දෝෂ සහගත බව​.

උදාහරණයකට තේ කෝප්පයක් හරියටම රවුමට නොතිබී යම් කිසි ඇදයක් තියෙනව නම්, ඒ එහි තියෙන වබි ගුණය​. ලෑලි කීපයකින් හැදුන මේසයක ලෑලි හරියට නූලටම එකට හා නොවී ඒ අතර හිදැස් තියෙනව නම්, ඒ එහි තියෙන වබි ගුණය​. මල් බඳුනක් දීප්තිමත්ව වර්ණ ගන්වන්නෙ නැතුව චාම් දුඹුරු පාටකින් වර්ණ ගන්වලා තිබ්බොත්,  ඒ එහි තියෙන වබි ගුණය​. ගෙවත්තක් නිහඬ නිස්කලංක බවින් යුක්ත නම්, ඒ එහි තියෙන වබි ගුණය​.


 සබි


සබි යෙදුමෙන් අදහස් වෙන්නෙ යම් කිසි දෙයක ඇති අනිත්‍යය සොබාවය​. කාලය ගතවීමත් සමඟම යම් කිසි දෙයක් ක්‍රමයෙන් දිරාපත් වීම සමඟ එහි ඇති වන ශාන්ත, ගූඪ සුන්දරත්වය​.

උදාහරණයකට පාසි බැඳුන පිළිමයක්, දිරා ගිය ගස් කඳක්, කීරි ගැලවුන ලෑල්ලක්, කොන් නැවුන කඩදාසියක්, ඉරි තැළුනු පිඟානක් අපිට හඟවන්නෙ සබි ගුණය​.

වබි සහ සබි ගුණයන් ගෙන් යුක්ත නිර්මානයක් තමයි කලාත්මක බවින් උසස් නිර්මානයක් විදිහට ජපන් සංස්කෘතියේ සැලකෙන්නෙ. මේ සංකල්ප දෙක එදිනෙදා ජීවිතයේ මෙන්ම විවිධ සංස්කෘතික අංග වලදී යොදාගෙන තියෙනවා දකින්න පුළුවන්. වබි සහ සබි සංකල්ප යෙදෙන අවස්ථා කීපයකට උදාහරණ විදිහට​,

සාම්ප්‍රදායික ජපන් සංගීතය​
සාම්ප්‍රදායික ජපන් කවි - විශේෂයෙන් හයිකු කවි
ඉකිබානා හෙවත් මල් සැරසිලි කලාව​
බොන්සායි හෙවත් කුරු ගස් කලාව​
ගෙවතු අලංකරනය​
ගෘහ නිර්මාන ශිල්පය​
ගෘහ භාණ්ඩ​
පිඟන් කෝප්ප​
නාම පුවරු

දක්වන්න පුළුවන්.

සියුම්ව යොදා ගත්ත වබි සහ සබි මගින් හදවත මිරිකා දමන කාන්සියක් සහ දුකක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජපානයේ ගම්බද ප්‍රදේශයකදි මේ හැඟීම ඉතා තදින් දැනෙන්නේ අවට ඇති හැම දෙයක්ම වබි සහ සබි ගුණයෙන් යුක්ත වෙන නිසා. ඒක මනස සන්සුන් කරවන සුළු ඉතාමත් සියුම් ආශ්වාදයක් ඇති කරවන සුවිශේෂී අත්දැකීමක්.


විශේෂයෙන් සලකන්න ඕනෙ කරුණක් තමයි, වබි ගුණය කියන්නෙ දුප්පත් කම හෝ සබි ගුණය කියන්නෙ විනාශ වීම නෙවෙයි කියල​. ඒක දුප්පත් කම විසින් බලෙන් ඇති කළ ගුණයක් නෙවෙයි - චාම් බව විසින් ස්වකැමැත්තෙන් තෝරා ගත් දෙයක්.

වබි සහ සබි සංකල්ප වල මූලය සෙන් බුදු දහම​. වබි සහ සබි මගින් ඇති කරන පාළු, ගූඪ, නිස්කලංක කාන්සිය කියන්නෙ ලෞකික බැඳීම් තුනී කිරීම නිසා ඇති වෙන නිරාමිස ආස්වාදයක්. මේ ලෞකික බැඳීම් තුනී කිරීම භාෂාමය විදිහට ප්‍රකාශ කිරීම අපහසු නිසා මේ වගේ කලාත්මක නිර්මාන වලින් ඇඟවීම සෙන් භික්‍ෂූන් විසින් තෝරාගෙන තියෙනවා. වබි මගින් සරළ චාම් බවේ ඇති සුන්දරත්වය දකින්නත්, සබි මගින් අනිත්‍යය බව පිළිකෙව් නොකර ඒක ආස්වාදය කරන්නත් සෙන් දහම උගන්වනවා.

ධනය සහ බලය ප්‍රදර්ශනය කරන රන් විහාරය උසස් කලා නිර්මානයක් නොවී චාම් රිදී විහාරය උසස් කලා නිර්මානයක් වෙන්නෙ ඒ නිසා.

Friday, October 6, 2017

ශුද්ධභූමි


ජපානයට බුදු සමය එන්නෙ 625 දි. මේ මුල් යුගයේදී බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ම ජපානයේ ව්‍යාප්ත වුනා. මේ කාලයේදී ජපානයේ ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදායන් වුනේ මේවා:

1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)
2. හොස්සො-ෂු (යෝගචර​)
3. සංරොන්-ෂු (මධ්‍යමක​)
4. කෙගොන්-ෂු (අවතම්සක​)
5. රිත්ස්-ෂු (ධර්මගුප්තික​)
6. කුෂා-ෂු (සර්වස්ථිවාදී)
7. තෙන්දයි-ෂු

මේ සම්ප්‍රදායන් ගැඹුරු ධර්ම කරුණු සහ දැඩි භාවනා වෘත මත පදනම් වුනා. මේ කාලයේදී ජපානයේ බුදු සමය උගතුන් සහ සමුරායි වරු අතර වේගයෙන් ජනප්‍රිය වුනා. බුදු දහම මත පදනම් වුන බුද්ධි ප්‍රබෝධයක් ජපානයේ ඇති වුනා.

නමුත් 1180 දි ජපානයේ සිවිල් යුද්ධයක් ඇති වුනා. මේ යුද්ධය හඳුන්වන්නෙ "ගෙංපෙයි යුද්ධය" කියල​. ගෙංපෙයි යුද්ධය නිසා ජපානය දැඩි විනාශයකට ලක් වෙනවා. සමාජය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා. ගම් බිම් විනාශ වෙනවා. විශාල ජීවිත ජානියකුත් සිද්ධ වෙනවා.

ඒ නිසාම බුදු දහමත් දැඩි අනතුරකට පත් වෙනවා. යුධ කෝලහල අස්සෙ යන්තම් පණ ගැටගහ ගන්න මිනිස්සුන්ට ගැඹුරු ධර්ම කරුණු ගැන වෙහෙසෙන්න වෙලාවක් නැති වෙනවා.

ගෙංපෙයි යුද්ධය පටන් ගන්න අවුරුදු පහකට කලින් අළුත් බෞද්ධ සම්ප්‍රදායක් ජපානයට එනවා චීනයේ ඉඳලා. මේක හැඳින්වෙන්නෙ ජෝදෝ හෙවත් "ශුද්ධභූමි" බුද්ධාගම කියල​.

මේ බෞද්ධ සම්ප්‍රදාය මුල් තැන දෙන්නෙ ශ්‍රද්ධාවට​. මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී​) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.

මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.

අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදායේ පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය​, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන​.

මෙහිදී මෙලොවදීම ධර්මාවබෝධය ලැබීමට වඩා තැන දෙන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට​. ශුද්ධ භූමියට ඇතුල් වෙන්න අවශ්‍යය වෙන්නෙ ශ්‍රද්ධාව​.

ගෙංපයි යුද්ධයට අහුවෙලා පැරණි බෞද්ධ සම්ප්‍රදායන් වේගයෙන් විනාශ වෙද්දි ජෝදෝ සම්ප්‍රදාය වේගයෙන් මිනිස්සු අතර පැතිරෙනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව අතර​. මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ මනුෂ්‍යය ලෝකය පිරිහී ගියත් අපිට ධර්මාවබෝධය කරන්න ක්‍රමයක් තියෙනවා කියන අදහස ජෝදෝ සම්ප්‍රදායේ තිබීම​.

ජෝදෝ සම්ප්‍රදායේ ම අනු සම්ප්‍රදායක් වන ජෝදෝ ෂින් සම්ප්‍රදාය මේක තවත් පියවරක් ඉදිරියට ගෙනියනවා. ඒ සම්‍ප්‍රදායේ පුරෝගාමී භික්‍ෂුව වුන ෂිංරන් හිමියන් යෝජනා කරනවා බෞද්ධ භික්‍ෂූන්ට මස් කෑම​, මත්පැන පානය සහ විවාහ වීම කැපයි කියලා.
එතුමන් ගේ තර්කය වෙන්නෙ අමිතාභ බුදුන් පිළිබඳ ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධ භූමියට ඇතුල් විය හැකි නිසා මෙලොවදී දැඩි ශීලයක් රැකීම අනවශ්‍යය බවයි.

ෂිංරන් හිමියන් මේ කරන්නෙ සම්‍යක් ප්‍රයෝගයක්. යුද්ධය විසින් පන්සල් විනාශ වෙලා භික්‍ෂූන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩු වුන සමයක විනය නීති ලිහිල් කිරීමෙන් භික්‍ෂූ සසුන නොනැසී පවත්වා ගැනීම තමයි උන් වහන්සේගේ අරමුණ වෙන්නෙ.

ඒ සම්‍යක් ප්‍රයෝගය සාර්ථක වෙනවා. අද ජපානයේ මුල් බෞද්ධ සම්ප්‍රදායන් තියෙන්නෙ ඉතා සුළු වශයෙන්. නමුත් ජෝදෝ සම්ප්‍රදාය විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. ඉනුත් වඩාම ජනප්‍රිය ජෝදෝ ෂින් සම්ප්‍රදාය​.

ජපන් බෞද්ධයෙන් ගෙන් 45% ක්ම අද අනුගමනය කරන්නෙ ජෝදෝ සම්ප්‍රදාය​.

දුෂ්කර සමයකදී බුදු සසුන නොනැසී පවත්වාගන්න උපකාරී වුනත්, දීර්ඝ කාලීනව ජෝදෝ සම්ප්‍රදාය නිසා ජපන් බුදු සමයට වුනේ හානියක් කියල හිතන්නත් පුළුවන්. අද ජපානයේ බුදු දහමේ පදනම වෙන්නෙ ශ්‍රද්ධාව​. ශීලය සහ ප්‍රඥාවට එහි ඇති තැන අල්පයි.

ලංකාවේත් යුද්ධ නිසා බුදු සමය මේ වගේ පරිහානියට ලක් වුන අවස්‍ථා වලදී භික්‍ෂූන් වහන්සේලා මේ වගේ සම්‍යක් ප්‍රයෝග යොදන්න ඇති. නමුත් උන්වහන්සේලා බුදු සමයේ මූලික සංකල්ප වලට හානියක් වෙන්න නොදී ආරක්‍ෂා කර ගැනීම ගැන අපි උන්වහන්සේලාට පින් දෙන්න ඕනෙ.

මාතලේ අළුවිහාරය කියන්නෙ අපේ රටේ වැදගත්ම පින්බිම වෙන්නෙ ඒ නිසා.

Sunday, May 14, 2017

ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම​



1413 දි ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා වෙන්නෙ අෂිකගා යොෂිමෝචි (ෂෝගුන් කියන්නෙ බලවත් සමුරායි වරයෙක්).

යොෂිමෝචි බුද්ධාගමේ හොඳ අනුග්‍රාහකයෙක්. විශේෂයෙන්ම ඔහු සෙන් බුදු දහමට දැඩි කැමැත්තක් දැක්වුවා.

සෙන් සම්ප්‍රදායේ සංකල්පයක් තියෙනවා "කෝඅන්" කියල​. කෝඅන් කියන්නෙ දාර්ශනික ප්‍රශ්න​. උදාහරනයකට "තනි අතින් අත්පුඩි ගහද්දි සද්දෙ මොකද්ද​?". එහෙම නැත්තං "කවුරුත් නැති කැලේක ගහක් කඩාගෙන වැටුනොත් ඒකෙන් සද්දයක් එයිද​?"

බටහිර සාහිත්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා "විශිෂ්ඨ සම්ප්‍රප්පලාප (brilliant nonsense)" කියල​. ලුවිස් කැරොල් ගේ ඇලිස් ගේ විශ්මලන්තය ලියල තියෙන්නෙ මේ සම්ප්‍රදායෙන්. ඒ කතාවල කිසි තේරුමක් නෑ. නමුත් සාහිත්‍යය රසයෙන් උසස්.

බොහෝ බටහිරයන් මේ කෝඅන් සලකන්නෙත් විශිෂ්ඨ සම්ප්‍රප්පලාප විදිහට​. නමුත් ඒව සම්ප්‍රප්පලාප නෙවෙයි. ඒවයින් සාකච්ඡා කෙරෙන්නෙ බුදු දහමේ ඉතා ගැඹුරු සංකල්ප​.

යොෂිමෝචිත් ඒ කාලෙ ජපානයේ හිටපු ප්‍රසිද්ධ සෙන් හාමුදුරුවරුන් ගෙන් කෝඅන් ප්‍රශ්නයක් ඇහුවා.

"ලබු කට්ටකින් අංකුට්ටෙක් අල්ලන්නෙ කොහොමද​?"

අංකුට්ටා (catfish) කියන්නෙ බොහොම ලිස්සන සුළු ඇඟක් තියෙන වේගයෙන් වෙට්ටු දාල පීනන්න පුළුවන් මාළුවෙක්. ලබු කට්ටක් කියන්නෙත් බොහොම සිනිඳු මතුපිටක් තියෙන දෙයක්. ඒ වගේම ලබු කට්ටෙ කට අංකුට්ටව ඇතුලට දාගන්න බැරි තරම් පොඩියි.

ලබු කට්ටක්

අංකුට්ටෙක්

ඉතින් ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලනව කියන්නෙ කරන්න අමාරු වැඩක්. කරන්න බැරි වැඩක් කියලත් කියන්න පුළුවන්.

හාමුදුරුවරුත් එකතු වෙලා මේකට උත්තරයක් හැදුව​. ඒ උත්තරය සමන්විත වුනේ චිත්‍රයක් සහ කවි තිස් එකකින්. ප්‍රසිද්ධ සෙන් භික්‍ෂූන් තිස් එක් නමක් කවිය බැගින් ලියල තමයි කවි තිස් එක සමන්විත වෙන්නෙ.

චිත්‍රය ඇන්දේ ඒ කාලේ ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී භික්‍ෂුවක් වුන "ජොසෙත්සු" හිමි නම​.

යොෂිමෝචි මේ ප්‍රශ්න ඇහුවෙ හාමුදුරුවරුන්ට කොලොප්පමක් කරන්නත් එක්ක​. මේක තේරුම් ගත්ත හාමුදුරුවරු තමන් ගෙ උත්තරෙට​ත් හාස්‍යය රසය නොමදව එක් කරා.

සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන පරිසරයක ගලා ගෙන යන පොඩි දොල පාරක්. ඒක ගස් ගල්  අතරින් වංගු දාගෙන ගලන්නෙ. දොල අයිනෙ පොඩි උණ පඳුරක් තියෙනවා. දොලේ පැත්තක් ජලජ තණකොළ පඳුරු වලින් වැහිල​. ඈතින් මීදුම අතරින් කඳු ගැට කීපයක් මුදුන් පේනවා.

දොළේ එක තැනක බොහොම ප්‍රීතියෙන් වරල් විදහාගෙන පීනන අංකුට්ටෙක් ඉන්නවා.

දොළ අයිනෙ ලබු කට්ටක් අතේ තියාගෙන ඉන්න මනුස්සයෙක් අංකුට්ටව අල්ලන්න උත්සහ කරනවා. ඔහු ඇඳල ඉන්නෙ වැරහැලි. මූනේ දැලි රැවුළු වැවිලා.

මුළු සිතුවමේම තියෙන්නෙ ගූඪ බවක්. මුළු පරිසරයම වහගෙන ඉන්න මීදුමෙන් ඒ ගූඪ බව තියුණු කරනවා. ඒ වගේම සිතුවමෙන් වැඩි හරියක් හිස් අවකාශය​. මීදුමෙන් සියල්ල වැහිල. සිතුවමෙන් සන්නිවේදනය කෙරෙන්නෙ අඳුරු, නිසල, පාළු, ශීතල ගතියක්.

සිතුවම ඇඳල තියෙන්නෙ අළු පාටෙ විවිධ ප්‍රභේද වලින්. දොල පාර​, අංකුට්ටා, උණ පඳුර වගේම මිනිහා ගෙ ඇඳුමත් අළු පාටයි. ඒකෙන් මීදුමෙන් වැහුන සොබාවය කදිමට නිරූපනය වෙනවා.

නමුත් මේ සියල්ලටම වෙනස් විදිහකට ලබු කට්ට විතරක් රන් වන් පැහැයෙන් වර්ණ නංවලා.

ඒ වගේම මුළු සිතුවමේම තියෙන්නෙ බොහොම මට සිලුටු වක්‍ර​. දොල පාර​, උණ පඳුර​, දිය රැලි, අංකුට්ටා යන මේ සියල්ල ඇඳල තියෙන්නෙ බොහොම මටසිළුටු වක්‍ර රේඛා වලින්.

නමුත් මනුස්සයා ගෙ ඉරියව් බොහොම ඍජු, දැඩි සොබාවයක් ගන්නවා. ඔහුගේ අත් දෙක වගේම කකුල් දෙකත් ඉද්ද ගැහුව වගේ කෙලින්. ඇත්තෙන්ම ඒක සොබාවික ඉරියව්වක් නෙවෙයි.

සම්පූර්න සිතුවම කවි පන්තියත් සමඟ​
කවි ටික ලියල තියෙන්නෙ බොහොම හාස්‍යෝත්පාදක විදිහට​. නමුත් කවි පන්තියේ හැඳින්වීම පටන් ගන්නෙ "යොෂිමෝචි අපිට දුන්නු තේමාව බොහොම ගැඹුරු එකක්" කියල​.

ඒ වගේම, එක එක කවිය ලියල තියෙන්නෙ එක එක හිමි නම වුනත්, කවි එකිනෙකට සම්බන්ධයි. කවියක් පටන් ගන්නෙ කලින් කවිය ඉවර වුන තැනෙන්. ඒ නිසා කවි සියල්ලම එක වැලට තියෙන්නෙ.

ඒ කවි කීපයක තේරුම මේ වගේ,

"ලබු කට්ටක් කියන්නෙ අංකුට්ටෙක් අල්ලන්න හොඳ ක්‍රමයක්. හැබැයි ලබු කට්ටෙ තෙල් ගෑවොත් ඒක ඊටත් වඩා හොඳ වේවි"

"ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලුවොත් අපිට පුළුවන් මාළු හොද්දක් හදන්න​. හොදිත් එක්ක කන්න බත් නැත්තං වැලි ටිකක් තම්බල ගන්න පුළුවන්"

කවි පන්තිය ඉවර වෙන්නෙ "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල.



මේ කවි වල​, සිතුවමේ තේරුම මොකද්ද​?

අපිට පුළුවන් මේක පෘථග්ජන සොබාවය ගැන කියවෙනව කියල හිතන්න​.

සිතුවමේ නිරූපනය කෙරන අඳුරු, ශීතල​, ගූඪ, අළු පාට, මීදුමෙන් වැහුන පරිසරය කියන්නෙ අපැහැදිලි සංසාරය ද​? රත්තරන් පාටෙන් දිළිසෙන ලබු කට්ට ලෞකික සැපය ද? බොහොම ලස්සන වුනත්, ඇතුල හිස්. වරල් විදහාගෙන ප්‍රීතියෙන් පීනන අංකුට්ටා කියන්නෙ සිතේ සතුට ද​? අපි කොච්චර උත්සහ කරත් ලබු කට්ටෙන් අංකුට්ටා අල්ලන්න බෑ. කවි පන්තියෙනුත් ඒ උත්සහය උපහාසයට ලක් කරනවා. ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න පුළුවන් නං, වැලි වලින් බත් උයන්නත් පුළුවන්!

සිතුවමේ සොබාවික වස්තූන් ඔක්කොම ඇඳල තියෙන්නෙ සුමට වක්‍ර වලින්. ඒත් මනුස්සයා ඍජුයි, දැඩියි. ඒ ලෞකික සැපය පසු පස්සෙ හඹා යාම ප්‍රකෘතියෙන් බැහැර විකෘතියක් නිසාද​? මනුස්සය වැරහැලි ඇඳල දැලි රැවුළු වවල ඉන්නෙ මේ ලෞකික සැපය පසුපස හඹා යාම නිසා ඔහු පිරිහීමට ලක් වෙලා නිසාද​? 

එහෙම නැත්තං මේ කියන්නෙ විමුක්ති මාර්ගය ගැන වෙන්න පුළුවන්.

අළු පාට, අඳුරු, අපැහැදිලි, ගූඪ සංසාරය මැද  රන් වන් පැහැයෙන් පැහැදිලිව කැපී පෙනෙන ලබු කට්ට කියන්නෙ විමුක්ති මාර්ගය ද​? ලබු කට්ට ඇතුලත මොකවත් නෑ වගේ විමුක්ති මාර්ගයට පිවිසෙන්න නම් අපි සියල්ල අතහරින්න ඕනෙද​?

බැලූ බැල්මට සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවමින් විමුක්තිය සෙවීම ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම වගේ කරන්න බැරි වැඩක් වගේ පෙනුනත්, ඒක ඇත්තෙන්ම කරන්න පුළුවන් ද​? කවි පන්තිය "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල ඉවර කරල තියෙන්නෙ ඒ නිසාද​?

ලබු කට්ටෙ තෙල් ගාන එකෙන් බැලූ බැල්මට වැඩේ තවත් අමාරු වෙනව වගේ පෙනුනත් ඇත්තෙන්ම ඒකෙන් වැඩේ තවත් ලේසි වෙනවද​? අපි වඩ වඩාත් ලෞකික සැපයන් අතහැරලා දුෂ්කර අල්පේච්ඡ දිවියක් අනුගමනය කරන්න ඕනෙද​? කොහොම හරි අංකුට්ටව අල්ල ගත්තොත් වැලි වලින් බත් උයනව වගේ අභව්‍යය වැඩ වගේ පේන දේවලුත් කරන්න පුළුවන් යථාර්තයන් වෙනවද​? අපිට මුළු සංසාරයම පාලනය කරන්න පුළුවන් වෙනවද​?

වැරහැලි ඇඳල දැලි රැවුළු වවාගෙන ඉන්නෙ සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවන සෙන් භික්‍ෂුවක් ද​? පරිසරයේ සුමට වක්‍ර වලට වෙනස් විදිහට ඍජු දැඩි ඉරියව්වක් කියන්නෙ ඔහු පුරන දුෂ්කර වෘතයන් ද​?

එහෙමත් නැත්තම් මේ සියල්ල හුදු උත්ප්‍රාසයක් විතරක් වෙන්න පුළුවන්. කවි වල තියෙන්නෙ උසස් සාහිත්‍යය රසයක් විතරක් වෙන්න පුළුවන්. සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන නිසල පරිසරයේ තියෙන ගූඪ බව විතරක් වෙන්න පුළුවන්.

මේ සියල්ලෙ තේරුම මොක වුනත්, මේ සිතුවම සැලකෙන්නෙ ජපන් ඉතිහාසයේ විශිෂ්ඨතම කලා නිර්මානයක් විදිහට​. ලබුකට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම කියන එක ජපන් සාහිත්‍යයේ සහ චිත්‍ර කලාවේ නිතර යෙදෙන සංකල්පයක් වෙලා තියෙනවා.

ලබුකට්ටෙන් අංකුට්ටන් අල්ල හැටි නිරූපනය කෙරෙන චිත්‍ර ගණනාවක් පසු කාලීනව ඇඳල තියෙනවා (මේ පසු කාලීන චිත්‍ර වල ශෛලිය සහ මුල් චිත්‍රයේ ශෛලිය අතර වෙනස නිරීක්‍ෂනය කරන්න​).


ඒ වගේම අංකුට්ට ට කියන ජපන් වචනය වන "නමසු" අමාරු, නමුත් කළ යුතු වැඩක් හඳුන්වන්න යොදාගන්නවා. උදාහරණයකට 2011 ඇති වුන විශාල භූමි කම්පාවකින් පසුව නැවත ගොඩනැංවීමේ ව්‍යාපාරය හඳුන්වලා තියෙන්නෙ "නමසු මෙහෙයුම" කියල​.

Saturday, April 15, 2017

ජපානයේ බුදු දහම​

 

ජපානයේ බෞද්ධ ජනගණය​


ජපානයේ බෞද්ධයන් ඒ රටේ මුළු ජනගහණයෙන් 35% පමණ වෙනවා. මේ 35% හැදිල තියෙන්නෙ බුද්ධාගම සමඟ ෂින්ටෝ ආගමත් අදහන අය 25% ක් සහ බුද්ධාගම පමණක් අදහන අය 10% වශයෙන්.

බෞද්ධයන් කිව්වම මේ අයගේ ඇදහීමේ ප්‍රමානය විවිධයි. ඉතාමත් භක්තිමත් බෞද්ධයන් ගෙ ඉඳල හුදෙක් සංස්කෘතිකව පමණක් බෞද්ධ වෙන අය දක්වා මේක වෙනස් වෙනවා. ඒ වගේම සමහර බෞද්ධ වතාවත් කරන අය​, තමාව බෞද්ධයන් විදිහට හඳුන්වා ගන්නෙ නෑ. ඒ නිසා මේ 35% ඉලක්කම ටිකක් නොමඟ යවන සුළුයි.

ඒ වගේම ජපානයේ බෞද්ධයන් ප්‍රතිශතය එන්න එන්න වැඩි වෙනවා. පහුගිය අවුරුදු 30 ඇතුළත ඒ ගාණ වැඩිවෙලා තියෙන්නෙ මෙහෙමයි.

1984 - 27%
1996 - 30%
2008 - 34%

ඒ වගේම 2009 දි කරපු සමීක්‍ෂනයකට අනුව ජපන් නිවෙස් වලින් 50% කට වඩා බෞද්ධ වතාවත් කරන්න සකසපු ස්ථානයක් තියෙනවා.

2011 ඇති වුන සුනාමියකින් පස්සෙ කරපු සමීක්‍ෂනයකදි 90% ක් ම තමන් බෞද්ධ හෝ ෂින්ටෝ හෝ දෙකම අදහන බව ප්‍රකාශ කරල තියෙනවා.

මේ සිතියමේ තියෙන්නෙ ජපානයේඑ ප්‍රාන්ත අනුව බෞද්ධයන් ව්‍යාප්තවෙලා ඉන්න ආකාරය​. පැහැදිලිව පේන කරුණක් තමයි බෞද්ධයන් වැඩිපුර ඉන්නෙ බටහිර ජපානයේ කියන එක​. තෝකියෝ නගරය අවට බෞද්ධ ප්‍රතිශතය ඉතාමත් අඩුයි.

ඒ වගේම හිරෝෂිමා සහ නගසකි නගර දෙකම ඉහළ බෞද්ධ ප්‍රතිශතයන් සහිත නගර​.


ෂින්ටෝ ආගම සහ බෞද්ධ ආගම අතර සම්බන්ධය​


බොහෝ බෞද්ධයන් ෂින්ටෝ ආගමික වතාවත් වලත් යෙදෙන්වා. ඇත්තෙන්ම බොහෝ දෙනා ෂින්ටෝ ආගම "ආගමක්" විදිහට සලකන්නෙ නෑ. ඒ නිසා ඔවුන් බෞද්ධයන් ෂින්ටෝ ආගමික වතාවත් වල යෙදීම පරස්පරයක් විදිහට දකින්නෙ නෑ.

ෂින්ටෝ ආගමේ තියෙන්නෙ භූතාත්මයන් (කමි) ඇදහීම​. මේක අපේ යක්‍ෂ​, දේව ඇදහිලි වලට ඉතා සමානයි. ඇත්තෙන්ම ජපන්නු බෞද්ධ සහ ෂින්ටෝ ආගම් දෙකම ඇදහීම අපේ බෞද්ධයෝ දේව ඇදහිලි කිරීමට ඉතා සමාන තත්වයක්.

ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන්


ලංකාවෙ බෞද්ධයන් ගෙන් අති බහුතරය ථෙරවාද සම්‍ප්‍රදායට අයිති වුනාට ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන් ගණනාවක් තියෙනවා. ඒ නිසා ජපන් බෞද්ධයන් කියන්නෙ ලංකාවෙ වගේ තනි පිරිසක් නෙවෙයි. ඔවුන් විවිධ බෞද්ධ ඉගැන්වීම් අනුගමනය කරනවා.

ජපානයට මුලින්ම බුද්ධාගම එන්නෙ හත්වෙනි සියවසේ දි කොරියාවෙ ඉඳල​. ඒ කාලෙ ජපානයේ අගනුවර "නරා" නගරය​. මේ මුල්ම සමයේ ජපානයට ආපු බෞද්ධ සම්ප්‍රදායන් හැඳින්වෙන්නෙ "නරා බෞද්ධ සම්ප්‍රදායන්" කියල​.

නරා සම්ප්‍රදායන් හයක් ජපානයේ තියෙනවා. එවායින් තුනක් මුල් බුදු සමයේ සම්ප්‍රදායන් (මහායාන​, වජ්‍රයාන හෝ ථෙරවාද නොවන). අනිත් තුන මහායාන සම්ප්‍රදායන්.

නරා බෞද්ධ සම්ප්‍රදායන්


1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)


මුල් බුදු සමයේ සම්ප්‍රදායක් වන ජොජිත්සු-ෂු තමයි මුලින්ම ජපානයට ආවෙ. ඒ 625 දී "එක්වන්" නම් කොරියන් භික්‍ෂුව මගින්.

ජොජිත්සු සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම වෙන්නෙ අපිට පේන යථාර්තය "ඇත්තටම​" නොපවතින බව සහ ඒවා හුදෙක් මායාවක් බව​. ජොජිත්සු සම්ප්‍රදායේ "සම්මුති සත්‍යය​" සහ "පරමාත්ම සත්‍යය" කියල සත්‍යයන් දෙකක් ගැන ඉගැන්වෙනවා.

ජොජිත්සු සම්ප්‍රදාය තුන්වෙනි සියවසේදී ඉන්දියාවේ ඇති වූවක්.

ජොජිත්සු සම්ප්‍රදායේ පන්සලක් වන ගංගෝ-ජි, නරා නගරය​

 

හොස්සෝ-ෂු (යෝගාචර​)


හොස්සෝ සම්ප්‍රදාය ජපානයට ගේන්නෙ 654 දි "දෝසෝ" කියල භික්‍ෂුවක්. හොස්සෝ අයිති වෙන්නෙ මහායාන සම්ප්‍රදායට​.

හොස්සෝ සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම අපිට පේන යථාර්තය මනසේ නිර්මානයක් බව​. ඒක විඥානවාදී ඉගැන්වීමක්. ඒ වගේම හොස්සෝ සම්ප්‍රදායේ යෝග ක්‍රම වලට විශේෂ තැනක් ලැබෙනවා.

යෝගාචර සම්ප්‍රදාය මුලින්ම ඇතිවෙන්නෙ හතරවෙනි සියවසේ දි ඉන්දියාවේ.

හොස්සො සම්ප්‍රදායේ පන්සලක් වන යකුෂි-ජි, නරා නගරය​

සංරොන්-ෂු (මධ්‍යමක​)


මහායාන සම්ප්‍රදායට අයත් සංරොන් සම්ප්‍රදාය ජපානයට එන්නෙ 680 දි පමණ​.

සංරොන් සම්ප්‍රදාය පදනම් වෙන්නෙ ඉන්දියාවේ නාගර්ජුන භික්‍ෂුව ගේ ඉගැන්වීම් මත​. සියළු ධර්මතාවයන් ශුන්‍ය බව එහි ප්‍රධාන ඉගැන්වීමක්.

නරා සමයේදී වඩාත්ම ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදාය මේක​.

සංරොන් සම්ප්‍රදායේ පන්සලක් වන හෝරයු-ජි, නරා නගරය

 

කෙගොන්-ෂු (අවතම්සක​)


මහායානයට අයත් කෙගොන් සම්ප්‍රදාය ජපානයට ගේන්නෙ 736 දි ඉන්දියානු ජාතික බෝධිසේන භික්‍ෂුව​.

කෙගොන් සම්ප්‍රදාය පදනම් වෙන්නෙ අවතම්සක සූත්‍රය මත​. අවතම්සක සූත්‍රයේ හරය වෙන්නෙ සමස්තය තනි වස්තුවක් තුලත්, තනි වස්තුව සමස්තය තුලත් පවතින බව​.

අවතම්සක සම්ප්‍රදාය බිහි වෙන්නෙ අටවෙනි සියවසේ දි චීනයේ.

කෙගොන් සම්ප්‍රදායේ පන්සලක් වන තෝදායි-ජි, නරා නගරය
තෝදායි-ජි පන්සලේ ඇති සුප්‍රසිද්ධ බුදු රුව​

 

රිත්ස්-ෂු (ධර්මගුප්තික​)


මුල් බුදු සමයේ සම්ප්‍රදායක් වන රිස්-ෂු ජපානයට එන්නෙ 753 දි ජියන්සෙන් භික්‍ෂුව හරහා.

රිත්ස් සම්ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම වෙන්නෙ බුදුන් වහන්සේ සෙසු රහතන් වහන්සේලාට වඩා සුවිශේෂී බව​. රිත්ස් සම්ප්‍රදාය විනය පිටකයට විශේෂ තැනක් දෙනවා.

ධර්මගුප්තික සම්ප්‍රදාය බිහි වෙන්නෙ පළවෙනි සියවසේ ඉන්දියාවෙ.

රිත්සු සම්ප්‍රදායේ පන්සලක් වන තෝෂොදායි-ජි, නරා නගරය






කුෂා-ෂු (සර්වස්ථිවාදී)


කුෂා සම්ප්‍රදායත් මුල් බුදු සමයේ සම්ප්‍රදායක්.

කුෂා සම්‍ප්‍රදාය අභිධර්මයට විශේෂ තැනක් දෙනවා. සියළුම ධර්මතාවයන් අතීත​, වර්තමාන​, අනාගත යන ත්‍රිකාලයේම පවතින බව කුෂා සම්‍ප්‍රදායේ ප්‍රධාන ඉගැන්වීම​.

සර්වස්ථිවාදය පළවෙනි සියවසේ ඉන් දියාවේ බිහිවෙනවා. කුෂාන රාජ වංශයේ අනුග්‍රහය ලබමින් උතුරු ඉන්දියාවේ සහ මධ්‍යම ආසියාවේ ප්‍රධානම බෞද්ධ සම්ප්‍රදාය බවට වසර දහසක් පමණ කාලයක් පවතින්න සර්වස්ථිවාදය සමත් වෙනවා.

ජපානයේ කුෂා සම්‍ප්‍රදාය පවතින්නෙ හොස්සෝ සම්ප්‍රදායත් එක්ක ඉතා කිට්ටුවෙන්. කුෂා සහ හොස්සෝ සම්ප්‍රදායන් තමයි වඩාත්ම සංකීර්න ධර්ම විග්‍රහයන් සහිත සම්‍ප්‍රදායන් කියල සැලකුනේ.


නරා බෞද්ධ සම්ප්‍රදායන් වැඩි අවධානය යොමු කලේ ගැඹුරු ධර්ම කරුණු වලට​. ඒ නිසා නරා සමයේ බුද්ධාගම බුද්ධිමතුන් සහ උගතුන් අතර පැතිරුනත්, සාමාන්‍යය ජනයා අතරට වැඩි වශයෙන් පැතිරුනේ නෑ.

නරා බෞද්ධ සම්ප්‍රදායන් හයෙන් එකකටවත් වත් අද සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් නෑ.

හෙයියන් සමය​


නරා නගරයේ ඉඳලා අගනුවර කියෝතෝ නගරයට මාරු වුනාට පස්සෙ කාලය​ ජපන් ඉතිහාසයේ හඳුන්වන්නෙ "හෙයියන් සමය​" කියල​. ජපානයේ සාමාන්‍යය ජනයා අතර බුදු දහම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ මේ කාලෙ.

මේ කාලයේ අළුත් සම්‍ප්‍රදායන් දෙකක් ජපානයට එනවා. එකක් වජ්‍රයාන සම්ප්‍රදායට අයත් ෂිංගොං-ෂු. අනෙක මහායාන සම්ප්‍රදායට අයත් තෙන්දායි-ෂු.

තෙන්දයි-ෂු


807 දි සයිචෝ නම් භික්‍ෂුව තමයි තෙන්දයි සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ. තෙන්දයි සම්ප්‍රදායේ නිජබිම වෙන්නෙ චීනය​.

සයිචෝ භික්‍ෂුව​
තෙන්දයි සම්ප්‍රදාය පදනම් වෙන්නෙ සද්ධර්ම පන්ඩරික සූත්‍රය මත​. ඊට අමතරව සෙන් ඇතුළු චීන බෞද්ධ සම්ප්‍රදායන් ගෙනුත් අදහස් අවශෝෂනය කරල තියෙනවා. ජපානයේදී තෙන්දයි සම්ප්‍රදාය විකාශනය වෙන්නෙ ෂින්ටෝ ආගමේ සම්ප්‍රදායනුත් ඇතුල් කරගෙන​.

ෂින්ටෝ ආගම එක්ක බැඳෙන නිසා තෙන්දයි සම්ප්‍රදාය පොදු ජනතාව අතර ව්‍යාප්ත වෙනවා. මේ කාලයේදී තමයි බෞද්ධ​-ෂින්ටෝ සංකලනය ජපානයේ ප්‍රධාන ආගම විදිහට මුල් බැස ගන්න පදනම වැටෙන්නෙ. ෂින්ටෝ-බෞද්ධ-ජපන් සංස්කෘතියේ ආරම්භය පටන් ගන්නෙ මේ කාලෙ.

තෙන්දයි සම්ප්‍රදායේ පන්සලක් වන එනරයකු-ජි, කියෝතෝ නගරය
ජපානයේ බුද්ධාගමේ අනාගතය සකස් කරන්නෙ තෙන්දයි බෞද්ධ සම්ප්‍රදාය කිව්වොත් ඒක නිවැරදියි.
තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුවක්
තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුන් අතර තියෙනවා එක්තරා අති දුෂ්කර වෘතයක්. ඒක හඳුන්වන්නෙ "කයිහෝග්‍යෝ" කියලා. මේ වෘතය සම්පූර්න කරන්න අවුරුදු 7 ක් ගතවෙනවා. ඒක කරන්නෙ තෙන්දන් බෞද්ධ සම්ප්‍රදායේ මුල්බිම වන හියෙයි කන්ද ආශ්‍රිතව​.

මේ වෘතය පිළිපදින භික්‍ෂුන් අවුරුදු හතක් පුරාවට හියෙයි කන්ද වටා පැදකුණු කරන්න ඕනෙ. ඒක කරන්නෙ මේ විදිහට :
පළවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
දෙවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
තුන්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
හතරවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
පස්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 30 බැගින් දින 100
හයවෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 60 බැගින් දින 100
හත්වෙනි අවුරුද්දෙ දිනකට කිලෝ මීටර 84 බැගින් දින 100 සහ දිනකට කිලෝ මීටර 30 බැගින් තවත් දින 100

මේක එක්තරා විදිහක සක්මන් භාවනාවක් විදිහටයි සැලකෙන්නෙ.

කයිහෝග්‍යෝ වෘතයේ යෙදෙන භික්‍ෂුවක්

ෂිංගොං-ෂු


816 දී කුකයි භික්‍ෂුව විසින් තමයි ෂිංගොං සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ. ඒ චීනයේ ඉඳල​. ෂිංගොං සම්ප්‍රදාය වජ්‍රයානයට අයත්. ඒකෙ නිජ බිම ඉන්දියාව​. නැගෙනහිර ආසියාවේ පවතින වජ්‍රයාන සම්ප්‍රදායන් අතලොස්සෙන් එකක් තමයි ෂිංගොං-ෂු.


කුකයි භික්‍ෂුව
ෂිංගොං සම්ප්‍රදාය පදනම් වෙන්නෙ වජ්‍රයානික සූත්‍ර තුනක් මත​. ඒ මහාවෛරෝචන සූත්‍රය​, වජ්‍රසේඛර සූත්‍රය සහ අධ්‍යර්දසතිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය​.

ෂිංගොං සම්‍ප්‍රදායේ භික්‍ෂූන්
ෂිංගොං සම්ප්‍රදායේ ධර්මයට අනුව සමස්තය නිරූපනය කෙරෙන්නෙ මහාවෛරෝචන බුදුරජාණන් වහන්සේගෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු අනෙක් සියළුම බුදුවරු මහාවෛරෝචන බුදුන් ගේ විවිධ ආකාරයේ ප්‍රකාශනයන්.

නිර්වානාවබෝධය කියල සලකන්නේ මහාවෛරෝචන බුදුන් සමඟ ඒකාත්මික වීම​. මේ ඒකාත්මික වීම මන්ත්‍ර සච්ඡායනයෙන්, විවිධ පිළිවෙත් පිරීමෙන් සහ භාවනාවෙන් ලබා ගන්න පුළුවන්.

මහාවෛරෝචන බුද්ධ ප්‍රතිමාවක්, කෝබේ නගරය
ෂිංගොං-ෂු බුදු දහම අනෙකුත් සම්ප්‍රදායන් එක්ක සහයෝගයෙන් කටයුතු කල නිසා අද අනෙක් සම්ප්‍රදායන් ගෙත් ෂිංගොං-ෂු වතාවත් දකින්න පුළුවන්.

ෂිංගොං සම්ප්‍රදායේ පන්සලක් වන දයිගො-ජි, කියෝතෝ නගරය

කමකුරා සමය​


1170 දි පමණ ජපානයේ අගනුවර කියෝතෝ නගරයෙන් කමකුරා නගරයට මාරු වෙනවා. මේ කාලය ජපන් ඉතිහාසයේ හැඳින්වෙන්නෙ "කමකුරා සමය​" කියලා.

මේ කාලයේදී තමයි ජපානයේ පොදු ජනයා අතර බුදු දහම වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නෙ. ජපනුන් ගෙන් අතිමහත් බහුතරය බෞද්ධ ආගමට සහ ෂින්ටෝ-බෞද්ධ​-ජපන් සංස්කෘතියට අනුගත වෙනවා.

මේ කාලයේදීම තමයි මහායාන බුද්ධාගම ජපානයේ ප්‍රධාන බෞද්ධ ධාරාව විදිහට මුල් බැස ගන්නෙ.

ඒක ඇරඹුම වෙන්නෙ 1175 දී හෝනෙන් භික්‍ෂුව විසින් ජෝදො-ෂු හෙවත් ශුද්ධභූමි බුද්ධාගම ජපානයට හඳුන්වා දීමෙන්.

ශුද්ධභූමි (Pure Land) බෞද්ධ සම්ප්‍රදාය​


ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදාය පළවෙනි සියවසේදි ඉන්දියාවේ බිහි වෙනවා. එහි පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය​, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන​.

ශුද්ධභූමි සම්ප්‍රදායට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී​) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.

මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.

අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.


ලෝකඩෙන් නිම කළ අමිතාභ බුද්ධ ප්‍රතිමාවක්, කමකුරා නගරය​
ශුද්ධභූමි සම්ප්‍රදායේ බෞද්ධයන් ව දිරි ගන්වන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට​. කාලයත් එක්ක නිවැරදි බුදු දහම විකෘති වන නිසාත්, ලෞකික බාධා කිරීම් වැඩි වෙන නිසාත් මනුෂ්‍ය ලෝකයේදී නිර්වානාවබෝධය අපහසු බවයි ඒ ඉගැන්වීම් වල කියැවෙන්නෙ.

අද ලෝකයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත මහායාන සම්ප්‍රදාය වෙන්නෙ ශුද්ධභූමි සම්‍ප්‍රදාය​.

ශුද්ධ භූමි සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ජපානයේ අද වෙනවිට තියෙනවා.

ජෝදො-ෂු

මුලින්ම ජපානයට හඳුන්වා දුන් ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදාය මේක​. මේක හඳුන්වා දෙන්නෙ 1175 දි හෝනෙන් භික්‍ෂුව විසින්. ජෝදො සම්ප්‍රදායට ඇතුල් වෙන්න කලින් එතුමා තෙන්දයි සම්ප්‍රදායේ භික්‍ෂුවක්.

හෝනෙන් භික්‍ෂුව​

ජෝදො සම්ප්‍රදායේ ප්‍රධානම ඉගැන්වීම වෙන්නෙ අමිතාභ බුදුන් ගේ ශුද්ධභූමියට ඇතුල් වීම සඳහා කෙරෙන සච්ඡායනාව​. මේක ජපන් බසින් හැඳින්වෙන්නෙ "නෙම්බුත්සු" කියල. මෙහිදී කරන්නේ "නමු අමිද බුත්සු" (අමිතාභ බුදුන්ට නමස්කාර වේවා) යන පාඨය නැවත නැවත කීම​. මේ සච්ඡායනය භාවනාවක් විදිහට සැලකෙන්නෙ. ඒ භාවනාවේ අරමුන වෙන්නෙ අමිතාභ බුදුන් ගේ ශුද්ධභූමියට ඇතුල් වීම​.

ජෝදො සම්ප්‍රදායේ භික්‍ෂුවක්

ජෝදො සම්ප්‍රදාය ජපානයට එන්නෙ ජපානයේ දරුණු සිවිල් යුද්ධයක් පවතින කාලයක​. ඒ කාලයේ බුදු දහම පිරිහීමකට ලක් වෙලා තියෙන්නෙ. ඒ නිසා සාමාන්‍යය ජනයා බුදු දහමෙන් ඈත් වුනා. නමුත් ජෝදො සම්ප්‍රදායේ ඉගැන්වීම් වල එන අනුව මනුෂ්‍ය ලෝකයේ බුදු දහම පිරිහුනත්, අපට ශුද්ධභූමියට ඇතුල් වීම හරහා නිවන් දකින්න පුළුවන් කියන අදහස ජපානයේ සාමාන්‍යය ජනතාව අතර නැවතත් බුදු දහම ප්‍රචලිත කරන්න හේතුවක් වුනා. මේ නිසා සාමාන්‍යය ජනතාව අතර වේගයෙන් බුදු දහම පැතිරෙන්න පටන් ගත්තා.

ජපානයේ ජනගහණය සම්පූර්නයෙන්ම පාහේ බෞද්ධයන් වෙන්නෙ මේ කාලයේදී.

ජෝදො සම්ප්‍රදායේ පන්සලක් වන චියොන්-ඉන්, කියෝතෝ නගරය​

ජෝදො ෂින්-ෂු


හෝනෙන් භික්‍ෂුව ගේ ගෝලයෙක් වන ෂිංරන් භික්‍ෂුව විසින් 1224 දි ජෝදො සම්ප්‍රදායේම තවත් ශාඛාවක් විදිහට ජෝදො ෂින් සම්ප්‍රදාය හඳුන්වා දෙනවා.


ෂිංරන් භික්‍ෂුව ගේ ප්‍රතිමාවක්

ජෝදො ෂින් සම්ප්‍රදාය ජෝදො සම්ප්‍රදායට වඩා පොදු ජනතාව ඉලක්ක කරගත් සම්ප්‍රදායක්. එහිදී නෙම්බුත්සු සච්ඡායනාවට වඩා තැනක් දෙන්නෙ ශ්‍රද්ධාවට​. අමිතාභ බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධභූමියට ඇතුල් වෙන්න පුළුවන් කියල ජෝදො ෂින් සම්ප්‍රදායේ කියැවෙනව​.

ජෝදො ෂින් සම්ප්‍රදායේ භික්‍ෂුන්
 
අද ජපානයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත බෞද්ධ සම්ප්‍රදාය වෙන්නෙ ජෝදො ෂින්-ෂු.

ශුද්ධභූමියට ඇතුල් වෙන්න ඕන කෙනෙකුට පුළුවන් කියල පෙන්වීම සඳහා ෂිංරන් භික්‍ෂුව මස් ආහාරයට ගැනීමට පටන් ගන්නවා. ඒ වගේම විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. එතෙක් බෞද්ධ භික්‍ෂුන් සම්පූර්නයෙන්ම නිර්මාංශික වෙන නිසා සහ විවාහයෙන් වැළකිලා ඉන්න නිසා මේක බෞද්ධ සමාජයේ ලොකු ආන්දෝලනයක් ඇති කරන සිද්ධියක් වෙනවා. අදටත් සමහර බෞද්ධ සම්ප්‍රදායන් ගෙ භික්‍ෂුන් විවාහ වීම සහ මත්පැන් පාව්ච්චිය කරනවා.

ජෝදො ෂින් සම්ප්‍රදායේ පන්සලක් වන හොංගං-ජි, කියෝතෝ නගරය​


යුසු නෙම්බුත්සු-ෂු

යුසු නෙම්බුත්සු සම්ප්‍රදාය නෙම්බුත්සු සච්ඡායනාවට විශේෂ තැනක් ලබා දෙනවා. එහිදී ඉගැන්වෙන්නෙ නෙම්බුත්සු සච්ඡායනාව තනි පුද්ගලයෙක් ගේ හිතසුව පිණිස කිරීමකට වඩා සමස්ත ලෝකයේම හිත සුව පිණිස කෙරෙන්නක් කියල (මෛත්‍රී භාවනාව වගේ).

යුසු නෙම්බුත්සු සම්ප්‍රදායේ පන්සලක් වන දයිනෙම්බුත්සු-ජි, ඕසකා නගරය​

ජී-ෂු

ජී සම්ප්‍රදාය බිහි කරන්නෙ 1270 දි ඉප්පං භික්‍ෂුව විසින්.

ඉප්පෙං භික්‍ෂුව ගේ ප්‍රතිමාවක්
ඉප්පෙං භික්‍ෂුව සහ එතුමා ගේ අනුගාමිකයන් ජපානය පුරා සංචාරය කරමින් නෙම්බුත්සු සච්ඡායනා සහ නෙම්බුත්සු නැටුම් වල යෙදෙමින් පොදු ජනතාව අතර බුදු දහම ප්‍රචලිත කිරීමට විශාල උත්සහයක් දරනවා.

ජි සම්ප්‍රදාය අනෙක් බෞද්ධ සම්ප්‍රදායන්ට වඩා අල්පේච්ඡතාවට උසස් තැනක් දෙනවා. ඒ නිසා ඉප්පෙං භික්‍ෂුව පොදු ජනයා අතර විශේෂ ගෞරවයක් ලබා ගන්නවා. එතුමා හැඳින්වෙන්නෙ "සංචාරක ශාන්තුවරයා" නමින්.

ජි සම්ප්‍රදායට සෙන් ආභාෂය තදින් ලැබිල තියෙනවා.

ජි සම්ප්‍රදායේ පන්සලක් වන යුග්‍යෝ-ජි, ෆුජිසව නගරය​
කමකුරා සමයේ වැඩිම අනුගාමිකයන් පිරිසක් සහිත සම්ප්‍රදාය වුනේ ජි-ෂු.


සෙන් බුදු දහම


හයවෙනි සියවසේ දි චීනයේ නව බෞද්ධ සම්ප්‍රදායක් ඇති වෙනවා "චැන්" කියල​. මේ බෞද්ධ සම්ප්‍රදාය කමකුරා සමයේදි ජපානයට පැමිණෙනවා. ජපානයේදි එය හැඳින්වෙන්නෙ "සෙන්" කියලා.

සෙන් බෞද්ධ සම්‍ප්‍රදාය ඇති වෙන්නෙ මහායානයේ ශාඛාවක් විදිහට​. නමුත් ඒක වෙනත් මහායාන සම්ප්‍රදායන්ට වඩා ඉතාමත් වෙනස්. සෙන් සම්ප්‍රදාය හඳුන්වා දෙන්නෙ ඉන්දියානු ජාතික භික්‍ෂුවක් වන බෝධිධර්ම සහ චීන ජාතික භික්‍ෂුවක් වන දාසු හුයිකේ විසින්.

සෙන් සම්ප්‍රදායේ සූත්‍ර සහ අභිධර්ම කරුණු වලට වඩා  වැඩි තැනක් ලැබෙන්නෙ ව්‍යවහාරයට​. භාවනාව​, ස්වයං විනය​, අල්පේච්ඡතාවය වගේ දේවල් සෙන් සම්ප්‍රදායේ ඉහළින් සැලකෙනවා. ඒ වගේම පොත පතින් කරුණු හැදෑරීම සෙන් සම්ප්‍රදායේ බැහැර කරනවා. ඒ වෙනුවට මුල් තැන දෙන්නෙ ගුරු-ගෝල සම්බන්ධයට​.

සෙන් සම්ප්‍රදායට අයත් බෞද්ධ සම්ප්‍රදායන් තුනක් අද ජපානයේ තියෙනවා.

රින්සයි-ෂු

සෙන් බුදු දහම ජපානයට එන්නෙ 1191 දි එයිසයි භික්‍ෂුව හරහා. එතුමාගේ සම්ප්‍රදාය හැඳින්වෙන්නෙ රින්සයි-ෂු කියල​.


එයිසයි භික්‍ෂුව
රින්සයි සම්ප්‍රදායේ ප්‍රධාන අංග තුනක් තියෙනවා.

1. සාසෙන් - භාවනාව​

2. කෝඅන් - දාර්ශනික ප්‍රශ්න​, කතා, ප්‍රකාශ​. උදාහරණයකට "එක අතකින් අත්පුඩි ගහද්දි එන ශබ්ධය මොකද්ද​?" අද බටහිර රටවල සෙන් සම්ප්‍රදාය වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නෙ කෝආන් හරහා.

3. සමු - එදිනෙදා ජීවිතයේ කාර්‍යයන් කිරීමේදී එළඹි සිහියෙන් කිරීම​.

රින්සයි සම්ප්‍රදායේ භික්‍ෂුන්
රින්සයි සෙන් සම්‍ප්‍රදාය උගතුන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබනවා. ඒ නිසාම රින්සයි සම්ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නාමයක් වෙන්නෙ "සමුරයි සෙන්".

රින්සයි සම්ප්‍රදායේ පන්සලක් වන දයිතොකු-ජි, කියෝතෝ නගරය​

සෝතෝ-ෂු


සෝතෝ සම්ප්‍රදාය ජපානයට හඳුන්වා දෙන්නෙ 1227 දි දොගෙන් භික්‍ෂුව විසින්.

දොගෙන් භික්‍ෂුව
සෝතෝ සෙන් සම්ප්‍රදායේ මුල්තැන ලැබෙන්නෙ භාවනාවට​. එහිදී කමටහන් භාවිතා නොකිරීම විශේෂත්වයක් උසුලනවා. ඒ වගේම සූත්‍ර අධ්‍යනයටත් තරමක අවධානයක් යොමු කෙරෙනෙවා.

සෝතෝ සම්ප්‍රදායේ පන්සලක් වන සෝජි-ජි, යොකොහම නගරය​

සෝතෝ සෙන් සම්ප්‍රදාය වැඩි ජනප්‍රියත්වයක් ලබන්නෙ උගතුන්ට වඩා සාමාන්‍යය ජනයා අතර​. ඒ නිසා සෝතෝ සෙන් සම්‍ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නමක් වෙන්නෙ "ගොවි සෙන්".

සෝතෝ සම්ප්‍රදායේ භික්‍ෂුවක්


ඕබකු-ෂු


ඕබකු සම්ප්‍රදාය හඳුන්වා දෙන්නෙ 1654 දි ඉංගෙන් භික්‍ෂුව විසින්.

ඉංගෙන් භික්‍ෂුව
ඕබකු සම්ප්‍රදායේ ප්‍රධානම අංගය වෙන්නෙ කෝආන් සහ නෙම්බුත්සු සච්ඡායනාවන් ගේ සංකලනය​. නෙම්බුත්සු පාඨය සච්ඡායනා කරන අතර කෝආන් ව්‍යවහාරයේ යෙදීම මේ සම්ප්‍රදායේ ඉගැන්වෙනවා.

මේ නිසා ඕබකු සම්ප්‍රදාය හැඳින්වෙන අන්වර්ථ නමක් වෙන්නෙ "නෙම්බුත්සු සෙන්"

ඕබකු සම්ප්‍රදායේ පන්සලක් වන මංපුකු-ජි, කියෝතෝ නගරය​

නිචිරෙන් සම්ප්‍රදාය​


කමකුරා සමයේදී තෙන්දයි සම්ප්‍රදායෙන් බිඳී ගිහින් තවත් බෞද්ධ සම්ප්‍රදායක් ඇති වෙනවා. ඒ සම්ප්‍රදාය හඳුන්වන්නෙ "නිචිරෙන්" කියලා. නිචිරෙන් සම්ප්‍රදාය බිහි කරන්නෙ 1253 දි නිචිරෙන් භික්‍ෂුව විසින්.

නිචිරෙන් භික්‍ෂුව
නිචිරෙන් හිමියන් තෙන්දයි භික්‍ෂුවක් විදිහට පැවිදි ජීවිතය අරඹනවා. එහිදී සද්ධර්ම පන්ඩරික සූත්‍රය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කිරීමෙන් පසු තමාගේම අලුත් බෞද්ධ සම්ප්‍රදායක් බිහි කරනවා. එය හැඳින්වෙන්න නිචිරෙන් සම්ප්‍රදාය කියලා.

නිචිරෙන් සම්ප්‍රදායේ පදනම වෙන්නෙ සද්ධර්ම පන්ඩරික සූත්‍රය. එහිදි නිචිරෙන් භික්‍ෂුව සද්ධර්ම පන්ඩරික සූත්‍රය වටා නව දැණුම් පද්ධතියක් ගොඩ නංවනවා. එහි මූලිකම ඉගැන්වීමක් වෙන්නෙ ගෞතම බුදු රජාණන් වහන්සේ සදාකාලික බව​. නිචිරෙන් සම්ප්‍රදායේ ප්‍රධාන වතාවතක් වෙන්නෙ "නමු ම්‍යෝහෝ රෙංගෙ ක්‍යෝ" පාඨය සච්ඡායනා කිරීම​.

නිචිරෙන් සම්ප්‍රදායේ භික්‍ෂූන්

ජපානයේ ඇති අනෙකුත් බෞද්ධ සම්ප්‍රදායන් විදේශ වලින් ජපානයට ආවත්, නිචිරෙන් සම්ප්‍රදාය උපත ලබන්නෙ ජපානයේ මයි. එය විශේෂ කරුණක්. ඒ නිසා නිචිරෙන් බෞද්ධ සම්‍ප්‍රදායේ ඉතා දැඩි ජාතිකවාදී ලක්‍ෂන තියෙනවා. ඒ වගේම එය අනිත් සම්ප්‍රදායන්ට වඩා දේශපාලනිකයි.

නිචිරෙන් හිමියන් විශ්වාස කළ පරිදි බෞද්ධ ධර්මය අන් සියල්ලටම වඩා ඉහළින් තියෙනවා. ඒ නිසා ජපානයේ පාලකයන්ට බලපෑම් කිරීමට තමාට අයිතියක් ඇති බව එතුමා විශ්වාස කළා. ඒ නිසාම පාලකයන් සමඟ නිරන්තර ගැටුම් ඇති කර ගත්තා. ඒ හේතුවෙන් නිචිරෙන් හිමියන්ව ඝාතනය කිරීමේ තැතක් ද තිබ්බා. එතුමන්ව දෙවරක් ජපානය අවට ඇති කුඩා දූපත් වලට පිටුවහල් කෙරෙනවා.

නිචිරෙන් හිමියන් ගේ ආදර්ශය අනුව නිචිරෙන් සම්ප්‍රදායේ භික්‍ෂූන් දිගින් දිගටම දේශපාලන කටයුතු වල නියැලෙනවා.

නිචිරෙන්-ෂු



නිචිරෙන් හිමියන් ගෙ මරණයෙන් පස්සෙ එතුමන් ගේ ප්‍රධාන ගෝලයන් හය දෙනා ගේ අනුගාමිකයන් වෙන වෙනම සංවිධානය වෙනවා. මේ ගෝලයන් පස් දෙනෙක් ගෙ අනුගාමික පන්සල් එකතුවෙලා හදා ගන්න සම්ප්‍රදාය හැඳින්වෙන්නෙ නිචිරෙන්-ෂු කියලා.

නිචිරෙන් සම්‍ප්‍රදායේ පන්සලක් වන කුඔන්-ජි, යමනාෂි ප්‍රාන්තය​


නිචිරෙන් ෂෝ-ෂු



නිචිරෙන් හිමියන් ගේ ගෝලයෙක් වන නික්කො හිමියන් ගෙ ඉගැන්වීම් අනුව නිර්මානය වන සම්ප්‍රදාය හඳුන්වන්නෙ නිචිරෙන් ෂෝ-ෂු කියලා.

නිචිරෙන් ෂෝ සම්ප්‍රදාය නිචිරෙන් සම්ප්‍රදායෙන් වෙනස් වෙන ප්‍රධාන කරුණ වෙන්නෙ නිචිරෙන් ෂෝ සම්ප්‍රදායේ නිචිරෙන් හිමියන් බුදු වරයෙක් වශයෙන් සැලකීම.

නිචිරෙන් ෂෝ සම්‍ප්‍රදායේ පන්සලක් වන තයිසෙකි-ජි, ෆුජිනොමියා නගරය​

නිචිරෙන් ෂෝ සම්ප්‍රදාය ඉතා දැඩි මතධාරීන් වගේම ජාතිකවාදී දේශපාලනයට කිට්ටු සම්බන්ධයක් දක්වනවා. ඔවුන් තමාගේ ආගමික සම්ප්‍රදායන් දැඩි ලෙස රකින අතර වෙනත් ආගම් හෝ සංස්කෘතීන් වලට ප්‍රතිරෝධයක් දක්වනවා.

නිචිරෙන් ෂෝ සම්ප්‍රදායට අනුබද්ධිතව ගිහි සංවිධාන ගණනාවක් පවතින අතර මේවායින් සමහරක් දේශපාලනිකයි. දේශපාලන සංවිධාන වලින් ප්‍රධාන තැන ගන්නේ "සොකා ගක්කයි" සංවිධානය​.

සොකා ගක්කයි



සොකා ගක්කයි සංවිධානය 1930 දි පටන් ගන්නෙ නිචිරෙන් ෂෝ සම්ප්‍රදායට අනුබද්ධ ගිහි සංවිධානයක් විදිහට​. එහි පළමු සභාපති ධූරය දරන්නෙ ත්සුනෙසබුරෝ මකිගුචි.

ත්සුනෙසබුරෝ මකිගුචි
දෙවෙනි ලෝක යුද්ධ සමයේදි විවිධ ආගමික සහ දේශපාලනික ප්‍රශ්න මත සොකා ගක්කයි සංවිධානය ජපන් රජය එක්ක ගැටෙනවා. ඒ නිසා 1943 දි සංවිධානය තහනම් කෙරෙනවා.

යුද්ධයෙන් පසුව සංවිධානය නැවත අරඹන අතර​, 1950 දශකයේ දී එය වේගයෙන් වර්ධනය වෙනවා. 1961 දි සොකා ගක්කයි සංවිධානය "කෝමෙයිතෝ" නමින් දේශපාලන පක්‍ෂයක් ආරම්භ කරනවා. කෝමෙයිතෝ පක්‍ෂය බෞද්ධ-ජපන් ජාතිකවාදී ප්‍රතිපත්තියක ඉඳල ක්‍රියාත්මක වෙන්නෙ.

කෝමෙයිතෝ පක්‍ෂයේ සලකුණ​
කෝමෙයිතෝ පක්‍ෂය මහමැතිවරණ වලදී ඡන්ද 10% පමණත්, ආසන 30-40 පමණත් දිගටම දිනාගන්න සමත් වෙනවා. 1980 වෙනකොට ජපානයේ තුන්වෙනි දේශපාලන පක්‍ෂය බවට පත්වෙන්නෙ කෝමෙයිතෝ පක්‍ෂය​.

1991 දි සොකා ගක්කයි සංවිධානය ආරවුලකින් පස්සෙ නිචිරෙන් ෂෝ-ෂු බෞද්ධ සම්ප්‍රදායෙන් වෙන් වෙනවා. නමුත් ඔවුන් දිගටම බෞද්ධ​-ජපන් ජාතිකවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වෙනවා.

1998 දි කෝමෙයිතෝ පක්‍ෂය ප්‍රතිසංවිධානය වෙනවා. ඊට පස්සෙ ඔවුන් මැතිවරණ වලදි පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට සහය දෙනවා. 2000 ඉඳන් අද වෙනකන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ රජයන් පිහිටුවන්න කෝමෙයිතෝ පක්‍ෂය හවුල් වෙලා තියෙනවා.

වර්තමාන ජපන් රජයේ පාලක සභාගයේ දෙවෙනි විශාලම පක්‍ෂය වෙන්නෙ කෝමෙයිතෝ පක්‍ෂය​. ඔවුන්ට ආසන 35ක් හිමියි.

සාරාංශය​

ජපානයේ බෞද්ධ සම්ප්‍රදායන් සංවිධානගත වෙලා තියෙන්නෙ මේ ආකාරයට​.


ඒ ඒ සම්ප්‍රදාය අනුව ජපන් බෞද්ධයන් බෙදෙන්නෙ මේ විදිහට​.




ඒ ඒ ප්‍රාන්තයේ වැඩිම අනුගාමිකයන් ගණනක් සහිත බෞද්ධ සම්ප්‍රදාය එන්නෙ මේ විදිහට​: