Friday, October 6, 2017

ශුද්ධභූමි


ජපානයට බුදු සමය එන්නෙ 625 දි. මේ මුල් යුගයේදී බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ම ජපානයේ ව්‍යාප්ත වුනා. මේ කාලයේදී ජපානයේ ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදායන් වුනේ මේවා:

1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)
2. හොස්සො-ෂු (යෝගචර​)
3. සංරොන්-ෂු (මධ්‍යමක​)
4. කෙගොන්-ෂු (අවතම්සක​)
5. රිත්ස්-ෂු (ධර්මගුප්තික​)
6. කුෂා-ෂු (සර්වස්ථිවාදී)
7. තෙන්දයි-ෂු

මේ සම්ප්‍රදායන් ගැඹුරු ධර්ම කරුණු සහ දැඩි භාවනා වෘත මත පදනම් වුනා. මේ කාලයේදී ජපානයේ බුදු සමය උගතුන් සහ සමුරායි වරු අතර වේගයෙන් ජනප්‍රිය වුනා. බුදු දහම මත පදනම් වුන බුද්ධි ප්‍රබෝධයක් ජපානයේ ඇති වුනා.

නමුත් 1180 දි ජපානයේ සිවිල් යුද්ධයක් ඇති වුනා. මේ යුද්ධය හඳුන්වන්නෙ "ගෙංපෙයි යුද්ධය" කියල​. ගෙංපෙයි යුද්ධය නිසා ජපානය දැඩි විනාශයකට ලක් වෙනවා. සමාජය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා. ගම් බිම් විනාශ වෙනවා. විශාල ජීවිත ජානියකුත් සිද්ධ වෙනවා.

ඒ නිසාම බුදු දහමත් දැඩි අනතුරකට පත් වෙනවා. යුධ කෝලහල අස්සෙ යන්තම් පණ ගැටගහ ගන්න මිනිස්සුන්ට ගැඹුරු ධර්ම කරුණු ගැන වෙහෙසෙන්න වෙලාවක් නැති වෙනවා.

ගෙංපෙයි යුද්ධය පටන් ගන්න අවුරුදු පහකට කලින් අළුත් බෞද්ධ සම්ප්‍රදායක් ජපානයට එනවා චීනයේ ඉඳලා. මේක හැඳින්වෙන්නෙ ජෝදෝ හෙවත් "ශුද්ධභූමි" බුද්ධාගම කියල​.

මේ බෞද්ධ සම්ප්‍රදාය මුල් තැන දෙන්නෙ ශ්‍රද්ධාවට​. මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී​) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.

මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.

අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදායේ පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය​, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන​.

මෙහිදී මෙලොවදීම ධර්මාවබෝධය ලැබීමට වඩා තැන දෙන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට​. ශුද්ධ භූමියට ඇතුල් වෙන්න අවශ්‍යය වෙන්නෙ ශ්‍රද්ධාව​.

ගෙංපයි යුද්ධයට අහුවෙලා පැරණි බෞද්ධ සම්ප්‍රදායන් වේගයෙන් විනාශ වෙද්දි ජෝදෝ සම්ප්‍රදාය වේගයෙන් මිනිස්සු අතර පැතිරෙනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව අතර​. මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ මනුෂ්‍යය ලෝකය පිරිහී ගියත් අපිට ධර්මාවබෝධය කරන්න ක්‍රමයක් තියෙනවා කියන අදහස ජෝදෝ සම්ප්‍රදායේ තිබීම​.

ජෝදෝ සම්ප්‍රදායේ ම අනු සම්ප්‍රදායක් වන ජෝදෝ ෂින් සම්ප්‍රදාය මේක තවත් පියවරක් ඉදිරියට ගෙනියනවා. ඒ සම්‍ප්‍රදායේ පුරෝගාමී භික්‍ෂුව වුන ෂිංරන් හිමියන් යෝජනා කරනවා බෞද්ධ භික්‍ෂූන්ට මස් කෑම​, මත්පැන පානය සහ විවාහ වීම කැපයි කියලා.
එතුමන් ගේ තර්කය වෙන්නෙ අමිතාභ බුදුන් පිළිබඳ ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධ භූමියට ඇතුල් විය හැකි නිසා මෙලොවදී දැඩි ශීලයක් රැකීම අනවශ්‍යය බවයි.

ෂිංරන් හිමියන් මේ කරන්නෙ සම්‍යක් ප්‍රයෝගයක්. යුද්ධය විසින් පන්සල් විනාශ වෙලා භික්‍ෂූන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩු වුන සමයක විනය නීති ලිහිල් කිරීමෙන් භික්‍ෂූ සසුන නොනැසී පවත්වා ගැනීම තමයි උන් වහන්සේගේ අරමුණ වෙන්නෙ.

ඒ සම්‍යක් ප්‍රයෝගය සාර්ථක වෙනවා. අද ජපානයේ මුල් බෞද්ධ සම්ප්‍රදායන් තියෙන්නෙ ඉතා සුළු වශයෙන්. නමුත් ජෝදෝ සම්ප්‍රදාය විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. ඉනුත් වඩාම ජනප්‍රිය ජෝදෝ ෂින් සම්ප්‍රදාය​.

ජපන් බෞද්ධයෙන් ගෙන් 45% ක්ම අද අනුගමනය කරන්නෙ ජෝදෝ සම්ප්‍රදාය​.

දුෂ්කර සමයකදී බුදු සසුන නොනැසී පවත්වාගන්න උපකාරී වුනත්, දීර්ඝ කාලීනව ජෝදෝ සම්ප්‍රදාය නිසා ජපන් බුදු සමයට වුනේ හානියක් කියල හිතන්නත් පුළුවන්. අද ජපානයේ බුදු දහමේ පදනම වෙන්නෙ ශ්‍රද්ධාව​. ශීලය සහ ප්‍රඥාවට එහි ඇති තැන අල්පයි.

ලංකාවේත් යුද්ධ නිසා බුදු සමය මේ වගේ පරිහානියට ලක් වුන අවස්‍ථා වලදී භික්‍ෂූන් වහන්සේලා මේ වගේ සම්‍යක් ප්‍රයෝග යොදන්න ඇති. නමුත් උන්වහන්සේලා බුදු සමයේ මූලික සංකල්ප වලට හානියක් වෙන්න නොදී ආරක්‍ෂා කර ගැනීම ගැන අපි උන්වහන්සේලාට පින් දෙන්න ඕනෙ.

මාතලේ අළුවිහාරය කියන්නෙ අපේ රටේ වැදගත්ම පින්බිම වෙන්නෙ ඒ නිසා.

1 comment: