Showing posts with label අප්‍රිකාව​. Show all posts
Showing posts with label අප්‍රිකාව​. Show all posts

Monday, February 18, 2019

ඇෆ්‍රිකානර් වරුන් ගේ ඉතිහාසය - 2 (මහා සංක්‍රමනය​)



1806 දී බ්‍රිතාන්‍යය අනසකට පත් වන කේප් ජනපදය 1814 දී නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍යය අතර ඇති වන ගිවිසුමකින් නිල වශයෙන්ම බ්‍රිතාන්‍යයට පවරා දෙනවා.

බ්‍රිතාන්‍යයට ලැබෙන කේප් ජනපදයේ ජනගහණය 75,000 ක් පමණ​. එයින් 27,000 පමණ ඇෆ්‍රිකානර් ජාතිකයන්. 30,000 පමණ කළු ජාතික සහ ආසියාතික වහලුන්. තවත් 17,000 පමණ වහලුන් නොවන ස්වදේශිකයන්.

කේප් ජනපදයේ ප්‍රධාන නගරය වුනේ කේප් ටවුන්. සියළුම ව්‍යාපාර පිහිටලා තිබුනේ වගේම සියළුම ධනවතුන් පදිංචි වෙලා හිටියේ කේප් ටවුන් නගරයේ. ජනපදය අභ්‍යන්තරයේ ජීවත් වුනේ ගොවිතැනින් දිවි ගෙවූ ඇෆ්‍රිකානර් වරු. ජනපදය අභ්‍යන්තරයට යනවිට කේප් ටවුන් හි ආණ්ඩුකාරයාගේ බලය ක්‍රමයෙන් අඩු වී ගියා.

කේප් ටවුන් නගරය ආශ්‍රිතව ජීවත් වුනු නාගරිකයන් හැඳින්වුනේ "කේප් ලන්දේසින්" (Cape Dutch) විදිහට​. අභ්‍යන්තරයේ ජීවත් වුනු ග්‍රාමීය ගොවියන් හැඳින්වුනේ "බූවර්" (Boer) යන නමින්.

ජනපදයේ උතුරු දිග "දේශසීමාව​" විදිහට සැලකුනේ දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සිට බටහිර දක්වා ගලා ගිය ඔරේන්.ජ් ගඟ​. නැගෙනහිර දේශසීමාව විදිහට සැලකුනේ කේප් ජනපදයට නැගෙනහිරින් වාසය කළ "කෝසා" (Xhosa) ගෝත්‍රිකයන් ගේ ජනාවාස​. කෝසා ගෝත්‍රිකයන් යුරෝපීයන් තමාගේ ජනාවාස කරා ව්‍යාප්ත වීමට තදින්ම විරෝධය පෑ අතර ඔවුන් සහ ජනපදිකයන් අතර නිරන්තර යුධ ගැටුම් ඇතිවුනා.


බ්‍රිතාන්‍යය කේප් ජනපදය​ (British Cape Colony)


බ්‍රිතාන්‍යය කේප් ජනපදයේ කොඩිය සහ ලාංඡනය​

බ්‍රිතාන්‍යය කේප් ජනපදය 1814 ඉඳල පාලනය වෙන්නේ ආණ්ඩුකාරයෙක් යටතේ බ්‍රිතාන්‍යය කිරීටයේ යටත් විජිතයක් විදිහට​. බ්‍රිතාන්‍යයන් මුලදී කේප් ජනපදය වැදගත් කොට නොසැලකූ නමුත් වසර කීපයකට පසු ඔවුන් එහි බ්‍රිතාන්‍යය වැසියන් පදිංචි කිරීම පටන් ගන්නවා. ඒ අනුව 1820 දී බ්‍රිතාන්‍යය ජාතිකයන් 4000 ක් කේප් ජනපදයේ පදිංචියට එනවා.

බ්‍රිතාන්‍යය රජය මුලදී බලාපොරොතු වෙන්නේ මේ අය රට අභ්‍යන්තරයේ ගොවිතැන් කටයුතු වල නිරත වෙයි කියල​. නමුත් ඔවුන් වැඩි දෙනා වෙරළබඩ නගර වල පදිංචි වෙලා වෙළඳාමේ නිරත වෙනවා. මේ අය පදිංචි වෙන නගර අතරින් කේප් ටවුන් නගරයට නැගෙනහිරින් පිහිටි පෝට් එළිසබෙත් නගරය ප්‍රධානයි.

බ්‍රිතාන්‍යයන් කේප් ජනපදයේ වැදගත්  වෙනස්කම් රැසක් සිදු කරනවා. මේ වෙනස් කම් ඇෆ්‍රිකානර් ජාතිකයන් ගේ දැඩි අප්‍රසාදයට හේතු වෙනවා. ජනපදයේ නිල භාෂාව ඉංග්‍රීසි කිරීම ඒ අතරින් ප්‍රධානයි. අති බහුතරයක් ඇෆ්‍රිකානර් ජාතිකයන් ඉංග්‍රීසි කතා නොකළ නිසා මේ නීතිය ඔවුන් දැඩි ලෙස පිළිකෙව් කරනවා.

බ්‍රිතාන්‍යයන් සිදු කරන තවත් වෙනසක් වෙන්නේ ස්වදේශිකයන්ට​, මිශ්‍ර වාර්ගිකයන්ට සහ ආසියාතිකයන්ට වැඩි අයිතිවාසිකම් ලබා දීම​. මෙයත් ඇෆ්‍රිකානර් ජාතිකයන් ගේ දැඩි විරෝධයට හේතු වෙනවා. විශේෂයෙන්ම මිශ්‍ර වාර්ගිකයන් යුධ සේවයට බඳවා ගැනීම සහ ඔවුන්ට තුවක්කු ලබා දීම ඇෆ්‍රිකානර් වරුන් දකින්නේ දැඩි සැකයෙන්.

මේ නිසා ඇෆ්‍රිකානර් ජාතිකයන් සහ බ්‍රිතාන්‍යය රජය අතර නොසන්සුන් කම් වර්ධනය වෙනවා. මේ නොසන්සුන් කම් කීප වරක් අවි ගත් ගැටුම් දක්වා දිවෙනවා.

මේ නැගී එන අප්‍රසාදය පුපුරා යන්නේ 1834 දී බ්‍රිතාන්‍යයන් විසින් කේප් ජනපදයේ වහල් සේවය තහනම් කිරීමෙන්. විශේෂයෙන්ම බූවර් වරු තමාගේ ගොවිපළ වල සේවය සඳහා විශාල වශයෙන් වහල් ශ්‍රමය යොදා ගත් නිසා මේක ඔවුන්ට දැඩි පහරක් වෙනවා.

මේ නිසා බූවර් වරු විශාල වශයෙන් කේප් ජනපදය අත් හැර දමා රට අභ්‍යන්තරයට සංක්‍රමනය වෙන්න පටන් ගන්නවා. ඔවුන් ගේ අරමුණ වෙන්නේ ඔරේන්.ජ් ගඟෙන් එපිට බ්‍රිතාන්‍යය පාලනයට ලක් නොවූ ප්‍රදේශ වල තමාගේම නිදහස් ජනාවාස පිහිටුවා ගැනීම​.

මේ සංක්‍රමනය හඳුන්වන්නේ "මහා සංක්‍රමනය​" (Great Trek) කියලා.


මහා සංක්‍රමනය



මහා සංක්‍රමනයට ප්‍රධාන වශයෙන් සහභාගී වෙන්නේ ග්‍රාමීය බූවර් වරු. නාගරික දිවි පෙවෙතකට හුරු වුනු කේප් ලන්දේසි ප්‍රජාව මහා සංක්‍රමනයට හවුන් වෙන්නේ ඉතා සුළු වශයෙන්. මහා සංක්‍රනයට සහභාගී වුනු ඇෆ්‍රිකානර් වරු ඇෆ්‍රිකාන්ස් භාෂාවෙන් හැඳින්වුනේ "පුරෝගාමියෝ" යන අරුත ඇති "වෝර්ත්ට්‍රෙකර්ස්" (Voortrekkers) යන නමින්. ඔවුන් තද නිල් පාට පසුබිමක රතු පාට කතිරයක් සහිත කොඩියක් තමාගේ කොඩිය වශයෙන් භාවිතා කලා.


තමා සතු සියළු ධනය කැන්වස් රෙදි වලින් වැසූ කරත්ත වල පටවා ගෙන​, තමාගේ හරක් රංචුත් දක්කා ගෙන නොදන්නා රටක නොදන්නා බිමක් හරහා සැතපුම් දහස් ගණන් ස්වදේශිකයන් ගේ ප්‍රහාර මැද්දේ ගෙවමින් සිදු කරන මේ මහා සංක්‍රමනය අතිශය දුෂ්කර වගේම වීරත්වයෙන් පිරුණු චාරිකාවක්.

ඒ වගේම මේ කාලයේදීම දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කෙළවරේ සුලූ ගෝත්‍රිකයන් තමාගේ අධිරාජ්‍යය ගොඩනංවමින් හිටියා. සුලූ වරුන් ගේ ආක්‍රමන නිසා ස්වදේශික ගෝත්‍ර ගණනාවක් බටහිර දෙසට පළා ගියා. බටහිර දෙසට පලා යන ස්වදේශික ගෝත්‍ර සහ නැගෙනහිරට සංක්‍රමනය වෙන ඇෆ්‍රිකානර් වරු අතර නිරන්තර ගැටුම් ඇති වුනා. මේ කාලය සැලකෙන්නේ දකුණු අප්‍රිකානු ඉතිහාසයේ ඉතාමත් ප්‍රචන්ඩ වගේම වැදගත් කාල පරිච්ඡේදයක් විදිහට​.




පළමු ගවේෂනය - 1834


මුලින්ම ඔරේන්.ජ් ගඟෙන් එපිට පිහිට ප්‍රදේශ වලට චාරිකාවක නිරත වෙන්නේ ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක් වුනු ඇන්ඩෘ ස්මිත් සහ බූවර් ගොවියෙක් වුනු විලියම් බර්ග්. ඒ 1832 දී නතාල් ප්‍රදේශයේ. නැවත කේප් ජනපදයට එන ඔවුන් දෙදෙනා නතාල් ප්‍රදේශය ජනාවාසයක් පිහිටුවීමට සුදුසු බව කියමින් එහි පදිංචි වීමට කැමති පිරිසක් එක් රැස් කරන්න පටන් ගන්නවා. ඔවුන් ගේ මේ ව්‍යායාමය කේප් ටවුන් නගරයෙන් ඈත කේප් ජනප්දයේ දේශසීමාවේ පිහිටි ග්‍රැහැම්ස්ටවුන්, ඔයිටෙන්හේග් සහ ග්‍රාෆ්-රෙයිනෙට් වැනි කුඩා නගර වල ජනප්‍රිය වෙනවා.

ඒ අනුව 1834 දී ග්‍රැහැම්ස්ටවුන් නගරයේ ඇෆ්‍රිකාන්ස් ජාතිකයන් නතාල් ප්‍රදේශයේ ජනාවාස පිහිටුවීමට සුදුසු - නුසුදුසු බව පරික්‍ෂා කිරීම සඳහා ගවේෂන කණ්ඩායමක් යවන්න තීරණය කරනවා. මේ පිරිසේ නායකත්වය දරන්නෙ පෙටෲස් උයිස්. ඔහුගේ සහයට 17 හැවිරිදි තරුණයෙක් වුනු යාන් බන්ට්ජෙස් එක් වෙනවා.


පිරිමි 20 ක්, එක් කාන්තාවක් සහ වහලුන් ගෙන් සමන්විත වුනු මේ කුඩා ගවේෂක කණ්ඩායම 1834 සැප්තැම්බර් මාසයේදී ග්‍රහැම්ස්ටවුන් නගරයෙන් පිටත් වෙන්නේ නතාල් බලා යෑමට​. වැඩි කරදරයකින් තොරව ඔවුන් 1835 පෙබරවාරි මාසයේදී පෝට් නතාල් (වර්තමාන ඩර්බන්) වෙළඳ තොටට ළඟා වෙනවා. එහිදී ඔවුන්ට ඉංග්‍රීසි ජාතික ඇත් දළ වෙළඳුන් සහ දඩයක්කරුවන් පිරිසක් මුණ ගැසෙනවා. සුලූ රජතුමා හමුවී ඔහුගෙන් ඉඩම් මිලදී ගන්න උත්සහ කළත් නරක කාලගුණය නිසා ඔවුන්ට එය ඉටු කරගන්න අපහසු වෙනවා.

ඔවුන් නැවත ග්‍රැහැම්ස්ටවුන් නගරයට එන්නේ 1835 ජූනි මාසයේදී. ඒ විශාල ඇත් දළ තොගයකුත් එක්ක​. ඔවුන් ගේ ගමනේ සාර්ථකත්වයත් එක්ක මහා සංක්‍රනයට අඩිතාලම වැටෙනවා.


පළමු සංක්‍රමනික​ කණ්ඩායම​

පළමු සංක්‍රමනික කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලුයිස් ට්‍රෙගාර්ඩ්. පවුල් 9 කින් සමන්විත වුනු මේ කණ්ඩායමේ ඉලක්කය වුනේ ලිම්පොපෝ ගඟ අසබඩ ප්‍රදේශය (වර්තමාන මොසැම්බික් රාජ්‍යයේ දකුණු කෙළවර​). 1835 සැප්තැම්බර් මාසයේදී පිටත් වන ඔවුන් වාල් ගඟ තරණය කරමින් උතුරටම ගමන් කරනවා.

ලුයිස් ට්‍රෙගාර්ඩ්
නොයෙක් දුෂ්කරතා වලට මුහුණ දෙමින් 1838 අප්‍රේල් මාසයේදී දෙලගෝවා බොක්ක වෙත ළඟා වෙන්න ඔවුන් සමත් වෙනවා. එතැන පෘතුගීසින් ගේ කුඩා වරායක් තියෙනවා. මේ වන විට පිරිස 52 ගෙන් සමන්විත වෙනවා. පෘතුගීසින් ගෙන් ඔවුන්ට සුහද පිළිගැනීමක් ලැබුනත්, දෙලගෝවා බොක්කට පැමිණ දින පහකට පසුව පිරිස අතර මැලේරියා රෝගය පැතිර යනවා.

මේ නිසා ට්‍රෙගාර්ඩ් පෝට් නතාල් නගරයට සේවකයෙක් පිටත් කර හරින්නේ නැවකින් ඇවිත් ඔවුන්ව බේරා ගන්නා ලෙස පණිවුඩයක් සමඟ​. නමුත් නැව පැමිණෙන විට ට්‍රෙගාර්ඩ් ඇතුළු බොහෝ දෙනා මැලේරියාවෙන් මිය ගිහින්. ඉතුරුවී සිටින 26 දෙනෙක් දෙලගෝවා බොක්කේ ජනාවාසය අත හැරලා ආපසු යනවා.


දෙවන සංක්‍රමනික කණ්ඩායම​


දෙවන සංක්‍රමනික කණ්ඩායම සමන්විත වෙන්නේ හාන්ස් වැන් රෙන්ස්බර්ග් ගේ නායකත්වයෙන් යුතු 49 දෙනෙක් ගෙන්. ඔවුන් ගමනේ මුල කොටස යන්නේ ට්‍රෙගාර්ඩ් ගේ කණ්ඩායම සමඟ​. නමුත් 1836 අප්‍රේල් මාසයේදී ඔවුන් ට්‍රෙගාර්ඩ් ගේ කණ්ඩායමෙන් වෙන් වෙලා ලිම්පොපෝ ගඟ ඔස්සේ ගමන් කරනවා.

1836 ජූලි මාසයේදී ඉන්හම්බානේ හිදී ඔවුන් සුලූ ගෝත්‍රික හමුදාවක ප්‍රහාරයකට ලක් වෙනවා. රාත්‍රිය පුරාවට පවතින සටනින් කණ්ඩායමේ සියලුම දෙනා මරණයට පත් වෙනවා.


තුන්වන සංක්‍රමනික කණ්ඩායම


තුන්වන සංක්‍රමනික කණ්ඩායමේ නායකත්වය දරන්නේ හෙන්ඩ්‍රික් පොට්ගියෙටර්. ඔහුගේ කණ්ඩායමට 200 ක පමණ පිරිසක් අයත් වුනා. 1835 දෙසැම්බර් මාසයේදී පිටත්ව යන ඔවුන් ඔරේන්.ජ් සහ වාල් ගංගා තරණය කරමින් උතුරට ගමන් කරනවා.

හෙන්ඩ්‍රික් පොට්ගියෙටර්.
1836 අගෝස්තු මාසයේදී ඔවුන් න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. මේ ප්‍රහාරයෙන් ළමුන් හයදෙනෙක් ඇතුළු 14 දෙනෙක් මිය යනවා. ඔක්තෝබර් මාසයේදී 4600 ක න්ඩෙබෙලේ ගෝත්‍රික හමුදාවක් නැවතත් ඔවුන්ට පහර දෙනවා. ගෝත්‍රිකයන් 184 ක් මරා දමා ප්‍රහාරය මැඩ පවත්වන්න ඔවුන් සමත් වුනත්, න්ඩෙබෙලේ වරු ඔවුන් ගේ හරක් සියල්ලම පැහැර ගන්න සමත් වෙනවා.

මේ වන විට ඒ අසල ඉන්න ගෙරිට් මාරිට්ස් ගේ හතරවන සහ පෙටෲස් උයිස් ගේ හය වන වෝර්ත්ට්‍රෙකර් කණ්ඩායම් වල සහයත් ඇතුව පොට්ගියෙටර් මොසෙබා සහ කපයින් වල පිහිටි න්ඩෙබෙලේ ජනාවාස දෙකකට පහර දෙනවා. මේ ප්‍රහාර වලින් න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් 400 පමණ මිය යන අතර බූවර් වරු ඔවුන් ගේ හරක් 7000 ක් පමණ පැහැර ගන්නවා. මේ ප්‍රහාරයෙන් පසු න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් වර්තමාන සිම්බාබ්වේ බලා පසු බසිනවා.

නතාල් ප්‍රදේශයට යාමට වඩා ඔරේන්.ජ් සහ වාල් ගංගා අතර ප්‍රදේශයේ පදිංචි වීම සුදුසු බව තීරණය කරන පොට්ගියෙටෙර් ගේ පිරිස 1837 දී ඒ ප්‍රදේශයේ ජනාවාස කීපයක්ම ඇති කරනවා. මේවා තමයි කේප් ජනපදයට ඔබ්බෙන් ඇති කරනව පළමු ඇෆ්‍රිකානර් ජනාවාස​.


හතරවන සංක්‍රමනික කණ්ඩායම​


හතරවන සංක්‍රමනික කණ්ඩායම ගෙරිට් මාරිට්ස් ගේ නායකත්වයෙන් යුතු 700 ක පමණ පිරිසක්. ඔවුන් 1836 සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.

ගෙරිට් මාරිට්ස්
1837 දී පොට්ගියෙටර් ගේ කණ්ඩායම සමඟ එක්ව වාල් ගඟට ඔබ්බෙන් පිහිටි න්ඩෙබෙලේ වරුන් ගේ ජනාවාස වලට පහර දෙන්න සහභාගී වෙන මාරිට්ස් ගේ පිරිස න්ඩෙබෙලේ වරු පරාජය කළ පසු නතාල් බලා ගමන් අරඹනවා. 

ඔවුන් 1838 දී නතාල් අවට ඇෆ්‍රිකානර් ජනාවාස පටන් ගන්න සමත් වෙනවා.


පස්වන සංක්‍රමනික කණ්ඩායම​


පස්වන සංක්‍රමනික කණ්ඩායම 1837 පෙබරවාරි මාසයේදී පීට් රිටීෆ් ගෙ නායකත්වයෙන් පිටත් වෙනවා. ඔවුන් 100 ක පමණ පිරිසක්. ඔරේන්.ජ් ගඟ තරනය කරමින් නතාල් ප්‍රදේශයට ඇතුල් වෙන රිටීෆ් ගේ පිරිස එහි ජනාවාස ඇති කිරීම සඳහා සුලූ රජු සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට අදහස් කරනවා.

පීට් රිටීෆ්
1837 ඔක්තෝබර් මාසයේදී රිටීෆ් සුලූ රජුට ලිපියක් ලියනවා. එහිදී ඔහු බූවර් සංක්‍රමනිකයන්ට ඉඩම් පුද්ගලික අයිතියට ලබා දෙන මෙන් ඉල්ලනවා. නමුත් සුලූ සංස්කෘතිය අනුව ඉඩම් පොදු දේපලක් ලෙස සැලකූ නිසා ඔවුන් මේ ඉල්ලීම දිහා බලන්නේ සැකයෙන්. ඒ වගේම රිටීෆ් ගේ ලිපියේ න්ඩෙබෙලේ ගෝත්‍රිකයන් සමඟ ඇති වූ සටන් ගැන සඳහන් කිරීම නිසා සුලූ රජු එය සලකන්නෙ සැඟවුනු තර්ජනයක් විදිහට​.

මේ නිසා රිටීෆ් ඇතුළු පිරිස 1838 පෙබරවාරි මාසයේදී සුලූ රජු වුනු ඩින්ගානේ හමුවීමට පැමිනි විට සුලූ රජුගේ මෙහෙයවීමෙන් එල්ල වෙන හදිසි ප්‍රහාරයකින් රිටීෆ් ඇතුලු 100 දෙනෙක් මරා දැමෙනවා.

එයින් නොනැවතෙන සුලූ රණකාමීන් අසල පිහිටි බූවර් ජනාවාස කීපයකට කඩා වැදී බූවර් සංක්‍රමනිකයන් 532 ක් මරා දමනවා. මෙය හැඳින්වෙන්නේ "වීවෙන් සංහාරය​" නමින්.

වීවෙන් සංහාරය
පසු කලක ඇෆ්‍රිකානර් වරු මේ සංහාරය සිදු වූ ආසන්නයේ නගරයක් ගොඩ නංවනවා. එය නම් කරන්නේ වීවෙන් නමින්. එහි අරුත "වැළපීම​". වීවෙන් සංහාරය නිසා නතාල් ප්‍රදේශයේ බූවර් ජනාවාස බිහි වීම සෑහෙන දුරකට අඩාල වෙනවා.


හයවන සංක්‍රමනික කණ්ඩායම


හයවන සංක්‍රමනික කණ්ඩායමට නායකත්වය දෙන්නේ 1834 පළමු ගවේෂනයට නායකත්වය දුන් පෙටෲස් උයිස්. ඔහුගේ කණ්ඩායම 100 ක පමණ පිරිසකින් සමන්විතයි. ඔවුන් පිටත් වෙන්නේ 1837 අප්‍රේල් මාසයේ.

උයිස් ගේ කණ්ඩායම නතාල් ප්‍රදේශයට යන අතරමගදී ඔවුන්ට පොට්ගියෙටර් ගේ කණ්ඩායමෙන් උදව් ඉල්ලා පණිවුඩයක් ලැබෙනවා. ඒ න්ඩෙබෙලේ ගෝත්‍රිකයන්ට එරෙහිව සටන් වැදීමට​. ආපසු හැරෙන උයිස් පොට්ගියර් සමඟ එක්ව න්ඩෙබෙලේ ගෝත්‍රිකයන්ට පහර දී ඔවුන් ප්‍රදේශයෙන් පලවා හැරීමෙන් අනතුරුව ඔහු නැවතත් නතාල් බලා ගමන් අරඹනවා.

නමුත් නතාල් ප්‍රදේශයේ පදිංචි වීමේ අදහස අත් හැර දමන උයිස් ගේ කණ්ඩායම ආපසු හැරී ඔරේන්.ජ් සහ වාල් ගංගා අතර ප්‍රදේශයට පැමිණ එහි ජනාවාස ඇති කර ගන්නවා.





බූවර් - සුලූ යුද්ධය​


මේ සමයේ නතාල් ප්‍රදේශයේ බලවත්ම ස්වදේශික ගෝත්‍රය වෙන්නේ සුලූ වරු. ඔවුන් ගේ රජු වෙන්නේ ඩින්ගන්. සුලූ වරු ඇෆ්‍රිකානර් වරුන් ගේ සංක්‍රමන වලට ඉතා තදින් එරෙහි වෙනවා. ඉතාම රණකාමී ගෝත්‍රයක් වුනු සුලූ වරු සතුව අන් කිසිම ස්වදේශික ගෝත්‍රයකට නොතිබුනු තරම් සංවිධානාත්මක සහ බලවත් හමුදාවක් ඉන්නවා.


වීවන් සංහාරය බූවර් සංක්‍රමනිකයන් සලකන්නෙ සුලූ ගෝත්‍රිකයන් තමන්ට එරෙහිව කළ යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. මේ නිසා ඔවුන් සුලූ වරුන්ට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් සූදානම් කරනවා.


ඉටලෙනි සටන​


මේ ප්‍රහාරය සඳහා සහභාගී වෙන්නේ පෙටෲස් උයිස් සහ හෙන්ඩ්‍රික් පොට්ගියෙටර් ගේ පිරිස්. ප්‍රහාරයේ අණදෙන නිලධාරියා ලෙස උයිස් තෝරා ගැනුනත් පොට්ගියෙටර් එයට විරුද්ධ වීම නිසා දෙදෙනාම අණදෙන නිලධාරීන් ලෙස පත් කෙරෙනවා. මේ තීරණය බූවර් වරුන් ගේ ඉරණම විසඳන එකක්.

347 දෙනෙකුගෙන් සමන්විත වන බූවර් හමුදාව 1838 අප්‍රේල් මාසයේදී සුලූ වරු සොයා ගමන් අරඹනවා. උයිස් ගේ පිරිස සහ පොට්ගියෙටර් ගේ පිරිස ගමන් කරන්නේ වෙනම කණ්ඩායම් වශයෙන්. මේ කාලයේදී බූවර් වරුන්ට සංවිධානාත්මක හමුදාවක් හිටියේ නෑ. ස්වේච්ඡාවෙන් සටන් වැදුනු බූවර් සෙබළුන් ඇෆ්‍රිකානර් බසින් හැඳින්වුනේ "කොමාන්ඩෝ" නමින්.

සුලූ වරුන් ගේ අගනුවරට යන අතරමග පිහිටි කඳුගැට දෙකකට මැදිවුනු නිම්නයකදී ඔවුන්ට 8000 ක සුලූ හමුදාවක් හමුවෙනවා. මේ හමුදාව කොටස් තුනක් වශයෙන් කඳුගැට දෙක සහ නිම්නයේ ස්ථානගත වෙලා ඉන්නවා.

පොට්ගියෙටර් ගේ පිරිස නිම්නයේ ඉන්න සුලූ රණකාමින්ට පහර දෙන අතර උයිස් තම පිරිස දකුණු පස පිහිටි කඳුගැටය මත ඉන්න සුලූ වරුන්ට එරෙහිව මෙහෙයවනවා. උයිස් ගේ කොමාන්ඩෝ වරුන් ගේ වෙඩි ප්‍රහාර වලින් දකුණු පස පිහිටි කඳුගැටය මත ඉන්න සුලූ හමුදාවේ විශාල ප්‍රමානයක් මිය යන අතර​, ඉතිරි අය පළා යනවා.

නමුත් පොට්ගියෙටර් ගේ කොමාන්ඩෝ වරු නිම්නයේ ඉන්න සුලූ වරුන්ට පළවා හරින්න අසමත් වෙනවා. මේ නිසා ඔවුන් පසු බසිනවා. පොට්ගියෙටර් ගේ කොමාන්ඩෝ වරු පසු බැසීමත් එක්කම නිම්නයේ සහ වම් පස පිහිටි කඳු ගැටය මත සිටි සුලූ රණකාමීන් උයිස් ගේ කොමාන්ඩෝ වරු මතට පසුපසින් කඩා වදිනවා.

තමා වටකරනු ලැබූ බව දකින උයිස් පොට්ගියෙටර් ගෙන් ආධාර ඉල්ලා පණිවුඩ කරුවෙක් යැවුවත්, පොට්ගියෙටර් අධාර දීම ප්‍රතික්‍ෂේප කරලා දිගටම පසු බසිනවා.

කඳු ගැටය මත ඇති වන සටනින් උයිස් සහ ඔහුගේ පුතා ඇතුළු බූවර් කොමාන්ඩෝ වරු අට දෙනෙක් මිය යනවා. අනෙක් අය සුලූ වටලෑම බිඳගෙන පසු බසිනවා. පොට්ගියෙටර් ගේ පිරිසෙන් මිය යන දෙදෙනක් ඇතුළුව මිය යන සම්පූර්න බූවර් කොමාන්ඩෝ වරු ගණන 10 ක්.

පොට්ගියෙටර් උදව් ලවා දීම ප්‍රතික්‍ෂේප කරන නිසා බූවර් වරු අතර ඔහු ගැන තිබූ ප්‍රතිරූපය බිඳ වැටෙනවා. මේ නිසා මෙතෙක් ඔරේන්.ජ් සහ වාල් ගංගා අතර ප්‍රදේශයේ පදිංචි වූ බූවර් වරු අතර ප්‍රමුඛ නායකයා ලෙස ඔහුට තිබුනු පිළිගැනීම නැතිවී යනවා. ඔහු පසුව වාල් ගඟෙන් එතෙරට සංක්‍රමනය වෙනවා.


"රුහිරු ගංගා" සටන​


ඉටලෙනි පරාජයෙන් පසු බූවර් වරු නැවතත් සංවිධානය වෙනවා. ඔවුන් ගේ නායකත්වය ගන්නේ ඇන්ඩ්‍රියස් ප්‍රිටෝරියස්. ප්‍රිටෝරියස් බූවර් කොමාන්ඩෝ වරු 60 දෙනෙක් සහ කුඩා කාලතුවක්කු දෙකක් සමඟ 1838 නොවැම්බර් මාසයේදී නතාල් ප්‍රදේශයට එනවා. එහිදී ඔහුව බූවර් හමුදාවේ අණදෙන නිලධාරියා වශයෙන් පත් කර ගැනෙනවා.

ඇන්ඩ්‍රියස් ප්‍රිටෝරියස්
1838 දෙසැම්බර් මාසයේදී ප්‍රිටෝරියස් ගේ බූවර් හමුදාව සුලූ වරුන්ට එරෙහිව ගමන් අරඹනවා. එය සමන්විත වෙන්නේ බූවර් කොමාන්ඩෝ වරු 464 ක්, ස්වදේශික මෙහෙකරුවන් 200 ක් සහ කුඩා කාලතුවක්කු දෙකකින්.

1838 දෙසැම්බර් 14 වෙනිදා ඉටලෙනි සටන සිදුවුනු තැනට නුදුරින් 20,000 පමණ දැවැන්ත සුලූ හමුදාවක් ඉන්න බව දකින ප්‍රිටෝරියස් න්කොමේ ගඟ අසල කඳවුරු ලන්න අණ දෙනවා. බූවර් වරු නොකොමේ ගං ඉවුරේ තමාගේ කරත්ත රවුමක හැඩයට සකස් කරලා, ඒ මැද කඳවුර පිහිටුවනවා.

දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රියේ සුලූ හමුදාවේ කොටසක් න්කොමේ ගඟ තරණය කරන අතර අනෙක් කොටස න්කොමේ ගඟේ මෑත ඉවුරේ ස්ථාන ගත වෙනවා. ඒ අනුව 16 වෙනිදා උදේ සුලූ හමුදාව විසින් බූවර් වරුන්ව සම්පූර්ණයෙන්ම වට කරනවා.

උදෑසනම සුලූ වරු තමන් ගේ ප්‍රහාරය අරඹනවා. ගඟ තරණය කරලා ගඟෙන් එහා ඉවුරට ගිය සුලූ හමුදාව විශාල කණ්ඩායම් වශයෙන් බූවර් වරුන් ගේ කරත්ත පෙළට පහර දෙනවා. කරත්ත වලට මුවා වී සටන් වදින බූවර් කොමාන්ඩෝ වරු තුවක්කු සහ සැහැල්ලු කාල තුවක්කු යොදාගෙන ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරනවා.



පැය දෙකක් සහ ප්‍රහාරයන් හතරකට පසු සුලූ රණකාමීන් විශාල ප්‍රමානයක් මිය ගියත්, එකදු බූවර් වරයෙක් වත් මිය ගිහින් නෑ. සුලූ වරු වෙහෙසට පත් වී ඇති බවට නිගමනය කරන ප්‍රිටෝරියස් අසු පිටින් සුලූ වරුන් අතරට කඩා වදින්න අණ දෙනවා.

බූවර් වරු අසු පිටින් පහර දෙනවිටම්ම සුලූ හමුදාව සටන අත හැර පලා යනවා. පැය තුනක පමණ කාලයක් බූවර් කොමාන්ඩෝ වරු අසු පිටින් පලායන සුලූ සෙබළුන් ලුහුබඳිමින් ඔවුන්ට පහර දෙනවා.

සටනින් සුලූ සෙබළුන් 3000 ක් පමණ මිය ගියත්, එක බූවර් වරයෙක් වත් මිය යන්නේ නෑ.

සුලූ රණකාමීන් ගේ ලෙයින් න්කොමේ ගඟ රතුපැහැ වුනු බව කියැවෙනවා. මේ නිසා බූවර් වරු න්කොමේ ගඟ "බ්ලුඩ් රිවියර්" හෙවත් "රුහිරු ගඟ​" (Blood River) ලෙස නම් කරනවා.

රුහිරු ගංගා සටනින් ජය ගන්නා බූවර් කොමාන්ඩෝ වරු සුලූ වරුන් ගේ අගනුවරට ඇතුල් වෙනවා. ඒත් ඔවුන්ට හමු වෙන්නේ සම්පූර්නයෙන්ම ගිනිබත් කර අතහැර දැමූ නගරයක්.

කොහොම නමුත් බූවර් වරුන්ට පැහැදිලි ජයක් ලැබෙන්නේ නෑ. සුලූ වරු දිගටම යුධ වදිනවා. රුහිරු ගංගා සටනින් දින 11 කට පසු උම්ෆොලොසි ගඟ අසබඩදී කෙරෙන සටනකින් බූවර් වරු පරාජය කරන්නත් ඔවුන් සමත් වෙනවා.

නමුත් 1840 දී සුලූ රජුගේ සොහොයොරා වුනු ම්පන්ඩේ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති කරනවා. ප්‍රිටෝරියස් මේ කැරැල්ලට සහය දෙනවා. 1840 ජනවාරි 29 වැනිදා මක්වොංක්වො හිදී ඇතිවෙන සටනකින් ම්පන්ඩේ බූවර් වරුන් ගේ සහය ඇතිව රජු ගේ හමුදාව පරාජය කරනවා. ම්පන්ඩේ සුලූ රජු ලෙස පත් වෙන අතර ඔහු බූවර් වරු සමඟ සාම ගිවිසුමක් ඇති කර ගන්නවා.

මේ ගිවිසුම අනුව ටුගෙලා ගඟ සුලූ වරු සහ බූවර් වරු අතර දේශසීමාව වශයෙන් පිළිගන්න දෙපාර්ශවයම එකඟ වෙනවා.

රුහිරු ගංගා සටනින් පසු ප්‍රිටෝරියස් බූවර් වරු අතර විශාල පිළිගැනීමකට ලක් වෙනවා. 


බූවර් ජනාවාස 


මහා සංක්‍රමනයෙන් පිහිටුවන බූවර් ජනාවාස ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ ඔරේන්.ජ් ගඟ සහ වාල් ගඟ අතර ප්‍රදේශ​, නතාල් ප්‍රදේශය සහ වාල් ගඟට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශ වශයෙන්. මේ ප්‍රදේශ වල බූවර් වරු ජනාවාස ගණනාවක් ඇති කරනවා.

1840 වන විට මේ නව ජනාවාස වල බූවර් වරු 6000 ක් පමණ පදිංචි ව ඉන්නවා. ඒ සංක්‍රමනයට පෙර කේප් ජනපදයේ යුරෝපීය ජනගහණයෙන් 10% ක්. ජනාවාස ක්‍රමයෙන් සාර්ථකව වන විට කේප් ජනපදයේ සිටි බූවර් වරු ඒවායේ පදිංචියට යාම නිසා මේ ජනාවාස සීග්‍රයෙන් වර්ධනය වෙනවා.

ජනාවාස වල ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙද්දී බූවර් වරු ඒවා විධිමත් රාජ්‍යයන් විදිහට සංවිධානය කරනවා. මේ රාජ්‍යයන් හඳුන්වන්නේ "බූවර් ජනරජ​" (Boer Republics) විදිහට​.

Friday, February 15, 2019

ඇෆ්‍රිකානර් වරුන් ගේ ඉතිහාසය​ - 1 (ලන්දේසි කේප් ජනපදය​)


ඇෆ්‍රිකානර් වරු නමින් හැඳින්වෙන්නේ දකුණු අප්‍රිකාවේ වාසය කරන ජන වර්ගයක්. මොවුන් දකුණු අප්‍රිකාවේ පදිංචි වුනු මුල්ම යුරෝපීයන් වුනු ලන්දේසි ජාතිකයන් ගෙන් පැවත එන පිරිසක්. වර්තමානයේදී දකුණු අප්‍රිකාවේ ඇෆ්‍රිකානර් වරු මිලියන 2.7 ක් සහ අසල්වැසි නමීබියාවෙ 100,000 ක් පමණ ජීවත් වෙනවා. දකුණු අප්‍රිකාවේ වර්තමාන සුදු ජාතික ජනගහණයෙන් 60% පමණ ඇෆ්‍රිකානර් වරු.

ඇෆ්‍රිකානර් වරු මූලික වශයෙන් පැවත එන්නේ ලන්දේසි ජාතිකයන් ගෙන්. ඊට අමතරව ඔවුන්ට ප්‍රංශ​, ජර්මන්, ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් මූලයනුත් තියෙනවා. ඔවුන් කතා කරන්නේ ලන්දේසි බසින් විකාශනය වුනු "ඇෆ්‍රිකාන්ස්" භාෂාව​. ඔවුන් ගේ ආගම මූලික වශයෙන් කැල්වින් වාදී ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය.


මුල්ම යුරෝපීයයෝ


වර්තමාන දකුණු අප්‍රිකාවට ගොඩ බසින් පළමු යුරෝපීයන් වෙන්නේ පෘතුගීසි ජාතික බර්තොලමියු ඩයස් සහ ඔහුගේ නාවික පිරිස. ඔවුන් 1488 දී දකුණු අප්‍රිකාවේ දකුණින් ම පිහිටි තුඩුව වටා යාත්‍රා කරනවා. එහිදී මුහුණ දෙන දරුණු කුණාටු නිසා බර්තොලොමියු ඩයස් එම තුඩුව "කබෝ දස් තොර්මෙන්ටාස්" (කුණාටු තුඩුව​) නමින් නම් කරනවා. නමුත් පසුව පෘතුගාලයේ රජතුමා එය "කබෝ ද බෝඅ එස්පෙරෙන්සා" (යහපත් බලාපොරොත්තුවේ තුඩුව​) ලෙස​ නැවත නම් කරනවා.

පෘතුගීසින් දකුණු අප්‍රිකාව වටා යාත්‍රා කරන නමුත්, එහි නැවතී ස්ථිර වාසස්ථාන බිහි කිරීමට ඔවුන් උනන්දු වෙන්නේ නෑ. ඔවුන් ගේ ඉලක්කය වෙන්නේ ඉන්දියාව​. මේ නිසා 16 වැනි සියවස පුරාවටම දකුණු අප්‍රිකාව යුරෝපීයන් ගේ බලපෑමට හසු වෙන්නේ නෑ.

මේ තත්වය වෙනස් වෙන්නේ නෙදර්ලන්තය​ තම අවධානය පෙරදිග වෙළඳාමට යොමු කිරීමත් සමඟම​.


ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගම


නෙදර්ලන්තය පෙරදිග වෙළඳාමට අවතීර්න වෙන්නේ කෙලින්ම රාජ්‍යය මැදිහත් වීමක් හරහා නෙවෙයි. ඒ වෙනුවට නෙදර්ලන්තයේ ධනවත් වෙළන්දන් විසින් 1602 දී පිහිටුවා ගන්නා "වෙරීනිෂ ඕස්ට්-ඉන්ඩීෂ කොම්පඤ්ඤී" (ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගම​) නම් සමාගමක් හරහා ඔවුන් පෙරදිග රටවල වෙළඳාමට අත ගහනවා.

ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගමේ ධජය​
ලන්දේසි පෙරදිග-ඉන්දියා වෙළඳ සමාගමේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වෙන්නේ බතාවියා නගරය (වර්තමාන ජකර්තා) මුල් කරගත් ඉන්දුනීසියානු දූපත්. මීට අමතරව ඔවුන් ඉන්දියාව​, ලංකාව​, ජපානය​, තායිවානය​, මැලේසියාව සහ වියට්නාමය සමඟත් වෙළඳ කටයුතු වල යෙදෙනවා. 1650 පමණ වන විට පෙරදිග පෘතුගීසි බලය බිඳ හෙලලා පෙරදිග වෙළඳාම සම්පූර්නයෙන්ම තමාගෙ අතට ගන්න ඔවුන් සමත් වෙනවා.

යුරෝපයේ සිට පෙරදිග බලා කෙරුනු මුහුදු ගමන ඉතා දිගු එකක්. මේ නිසා ලන්දේසින්ට තම නැව් අළුත්වැඩියා කරන්න​, රෝගී වුනු නැවියන්ට ප්‍රතිකාර ලබන්න සහ කෑම සහ වතුර ලබාගන්න අතරමැදි නවාතැන් පොළක අවශ්‍යතාවය තදින්ම දැණුනා. ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ ගමනේ හරි මැද පිහිටි යහපත් බලාපොරොත්තුවේ තුඩුව.

1652 දී "යාන් වැන් රීබියෙක්" ගේ නායකත්වයෙන් යුතු නාවුක පිරිසක් දකුණු අප්‍රිකාවට ගොඩ බසින්නේ ඒ අනුව​.

යාන් වැන් රීබියෙක්

ලන්දේසි කේප් ජනපදය​ (කාප්කොලෝනී) - Dutch Cape Colony 


1652 දී යාන් වැන් රීබියෙක් ගෙ නායකත්වයෙන් යුත් 90 ක ලන්දේසින් පිරිසක් නැව් 5 කින් යහපත් බලාපොරොත්තුවේ තුඩුව අසලට ගොඩ බසිනවා. ඔවුන් ගේ අරමුණ වෙන්නෙ නෙදර්ලන්තයේ සිට පෙරදිග බලා සහ ආපසු ගමන් කරන ලන්දේසි පෙරදිග​-ඉන්දියා වෙළඳ සමාගමට අයත් නැව් වලට ආධාර කරන්න පුළුවන් ස්ථිර ජනාවාසයක් පිහිටුවීම​.


ඔවුන් වර්තමාන කේප්ටවුන් පිහිටි ස්ථානයේ ලී සහ මැටි වලින් බලකොටුවක් හදලා ඒ අවට පදිංචි වෙනවා. ජනාවාසය හඳුන්වන්නේ "කාප්කොලෝනී" නමින්. 

ජනාවාසයේ අරමුණ නැව් වලට ආහාර පාන සැපයීම නිසා විශාල ජනගහණයක් හෝ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන් දකින්නේ නෑ. මේ නිසා බලකොටුව අවට ප්‍රදේශයෙන් පිටතට ව්‍යාප්ත වීමක් සිදු වෙන්නේ නෑ.

මේ මුල් ජනපදිකයන් සියල්ලෝම වෙළඳ සමාගමෙන් වැටුප් ලබන සේවකයන්. මේ නිසා ඔවුන් ක්‍රියා කලේ වෙළඳ සමාගමේ අණ අනුව පමණයි. මේ නිසා මුල් කාලීන ජනපදය ප්‍රමානයෙන් කුඩා එකක් වුනා. ඇත්තෙන්ම මුල් කාලයේ ජනපදයේ නායකයාට ලබා දුන් තනතුර වුනේ ලන්දේසි වෙළඳ සමගමේ බලකොටුවක අණදෙන නිලධාරියාට හිමි තනතුර​. එයින් පැහැදිලි වෙනවා ඔවුන් ජනපදය සැලකුවේ බලකොටුවක් විදිහට බව​.

මේ කාලයේදී කේප් ප්‍රදේශය අවට ස්වදේශික ගෝත්‍ර දෙකක් වාසය කලා. ඒ සාන් ගෝත්‍රිකයන් (බුෂ්මෙන්) සහ කොයිකොයි ගෝත්‍රිකයන් (හොටෙන්ටොට්). අවට ප්‍රදේශය එතරම් සාරවත් භූමියක් නොවුනු නිසා මේ ස්වදේශික ජනගහණය 15,000 ක පමණ කුඩා අගයක් වුනා. මේ අය සංචාරක දිවි පෙවෙතක් ගත කළා. සාන් වරු දඩයමින් සහ කොයිකොයි වරු එඬේරන් වශයෙන් ජීවිකාව පවත්වාගෙන ගියා. ඔවුන්ට ශක්තිමත් මධ්‍ය පාලනයක් සහිත රාජ්‍යයක් තිබුනේ නෑ.

කොයිකොයි ගෝත්‍රිකයන්
මුල් කලයේ ජනපදිකයන් විශාල වශයෙන් ගොවිතැනේ යෙදුනේ නෑ. ඔවුන් බලකොටුව අවට කුඩා ගොවිබිම් පිහිටුවා ගත් අතර, කොයිකොයි ගෝත්‍රිකයන් ගෙන් හරක් මිලදී ගත්තා. නමුත් වසර කීපයක්ම සාගතයට මුහුණ දීම නිසා ගොවිතැන් කිරීමේ වැදගත් කම වටහා ගත්ත වෙළඳ සමාගම 1671 දී ජනපදිකයන් නව දෙනෙක් සමාගමේ සේවයෙන් මුදාහැරලා ඔවුන්ට ගොවිතැන් කිරීම සඳහා ඉඩම් ලබා දෙනවා. මේ ඉඩම් මිලදී ගන්නේ කොයිකොයි ගෝත්‍රිකයන් ගෙන්. ඔවුන් තමයි කේප් කොලනියේ පලමු නිදහස් පුරවැසියන්. මේ අය ලන්දේසි බසින් හැඳින්වුනේ "නිදහස් පුරවැසියන්" යන අරුත දෙන "ව්‍රීජ්බර්ගර්" හෝ "පුරවැසියන්" කියන අරුත දෙන "බර්ගර්" කියන නමින්.

නිදහස් පුරවැසියන් ගොවිතැනෙන් ලබන සාර්ථකත්වය නිසා ඔවුන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙනවා. ඊළඟ අවුරුද්ද වෙද්දි කේප් කොලනියේ වාසය කරන නිදහස් ගොවියන් ගණන 64 දක්වා ඉහළ යනවා. ඒ එක්කම වෙළඳ සමාගමේ සේවය කරලා සේවා කාලය අවසන් කළ සේවකයන් ජීවිකාව සඳහා නැවත නෙදර්ලන්තයට යාම වෙනුවට කේප් කොලනියේ පදිංචි වීම තෝරා ගැන්න පටන් ගන්නවා. මේ නිසා කේප් කොලනියේ ජනගහණය ක්‍රමයෙන් ඉහළ යනවා.

ගොවිබිම් ප්‍රමානය ඉහළ යාමත් එක්කම ඒවායේ සේවය කිරීම සඳහා වෙළඳ සමාගම විසින් වහලුන් රැගෙන එනවා. මේ වහලුන් ගේන්නේ ඉන්දියාව​, ඉන්දුනීසියාව සහ නැගෙනහිර අප්‍රිකාවෙන්. 

ලන්දේසින්ට දාව වහල් සහ ස්වදේශික කාන්තාවන් ගෙන් උපත ලබන මිශ්‍ර වාර්ගික දරුවන් කේප් කොලනියේ වෙනම සමාජ ස්ථරයක් බවට පත්වෙනවා. ලන්දේසින් මොවුන් හඳුන්වන්නේ "කේප් කලර්ඩ්" යන නමින්.

1687 දී ජනපදයේ ජනගණය සමන්විත වෙන්නේ වෙළඳ සමාගමේ සේවකයන් 300 ක්, නිදහස් පුරවැසියන් 254 ක්, නිදහස් පුරවැසියන් ගේ ළමුන් 231 ක්, මිශ්‍ර වාර්ගිකයන් සහ වහලුන් ගෙන්.

ජනපදිකයන් ක්‍රමයෙන් රට අභ්‍යන්තරයට ව්‍යාප්ත වීමත් සමඟම කොයිකොයි ගෝත්‍රියන් සහ ඔවුන් අතර ගැටුම් ඇති වෙනවා මේ ගැටුම් සහ සරම්ප වසංගත නිසා කොයිකොයි වරුන් ගෙන් විශාල ප්‍රමානයක් මිය යනවා ඉතිරි වෙන අය ජනපදිකයන් සඳහා වැටුපට හරක් ඇති කිරීමට යොමු වෙනවා.

1688 දී ජනපදයේ වැදගත් වෙනසක් සිදු වෙනවා. ඒ යුරෝපයේ ඉඳලා ලන්දේසි නොවන ජනයාගේ සංක්‍රමනයක් සිදු වීමෙන්. මේ අය අතරින් ප්‍රධාන වෙන්නේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන ප්‍රංශ ජාතිකයන්. මේ අය ප්‍රංශයේ කතෝලික රජයෙන් තමාට සිදුවෙන අසාධාරනකම් නිසා රටහැර පලා ගිය අය​. ඒ එක්කම ප්‍රොතෙස්තන්ත ආගම අදහන ජර්මන්, ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් ජාතියනුත් කේප් කොලනියේ පදිංචියට එනවා. මේ අය ලන්දේසින් එක්ක මිශ්‍ර වෙමින් නව සංස්කෘතියක් බිහි කරනවා.

ඒක ලන්දේසි සංස්කෘතිය මත පදනම් වෙන​, ඒත් ඊට වඩා වෙනස් සංස්කෘතියක්. ඔවුන් ගේ භාෂාව ලන්දේසි භාෂාවෙන් වෙනස් වෙන්නේ ප්‍රංශ​, ජර්මන් සහ ස්වදේශීය වචන සහ භාෂා රීතින් එක් වීමෙන්. ඔවුන් ගේ ආගම වෙන්නේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිය​. යුරෝපයේදී අනෙකුත් ක්‍රිස්තියානින් ගෙන් පීඩා විඳින්න සිදු වීම නිසා ඔවුන් දැඩි ආගම් භක්තියකින් යුක්ත වෙනවා. ඒ වගේම වහල් ශ්‍රමය මත රඳා පැවතුනු ආර්ථිකය නිසා ඔවුන් කළු ජාතියකන් පිළිබඳ ඇති කරගන්නේ පහත් හැඟීමක්.

1691 වන විට ජනපද වැසියන් ගෙන් 67% ක් ලන්දේසින් වුනු අතර​, 17% ක් ප්‍රංශ, 14% ක් ජර්මන් සහ ඉතුරු 2% ෆ්ලෙමිෂ් සහ ස්වීඩන් ජාතිකයන් වුනා.

1691 දී වර්ධනය වන ජනගහණය හමුවේ වෙළඳ සමාගම කේප් ජනපදයට ජනපදයක තත්වය නිල වශයෙන් ලබා දෙනවා. ඒ එක්කම ජනපදයේ නායකයා ගේ තනතුර "ආණ්ඩුකාරයා" වශයෙන් වෙනස් කෙරෙනවා.

නිල වශයෙන් ජනපදයක් බවට පත් වීමත් සමඟම​​ කේප් බලකොටුව අවට කුඩා ප්‍රදේශයකට සීමා වුනු ජනපදය රට අභ්‍යන්තයට පැතිරෙනවා.


මේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වෙන්නේ වෙළඳ සමාගමේ දැඩි පාලනය. ගොවියන්ට තමාගේ අස්වැන්න විකුණන්න අවසර තිබුනේ වෙළඳ සමාගමට පමණයි. මේ වෙළඳ ඒකාධිකරය නිසා ඔවුන්ට වෙළඳ සමාගම ඉල්ලා සිටින බෝග වගා කරන්නත්, ඒවා වෙළඳ සමාගම නියම කරන මිලට විකුණන්නත් සිදු වුනා. සමාගමේ දැඩි පාලනයෙන් මිදීම සඳහා ඔවුන් සමාගමේ බලය අඩු වුන අභ්‍යන්තර ප්‍රදේශ වලට සංක්‍රමනය වුනා.

මේ රට ඇතුලට සංක්‍රමනය වුනු නිදහස් කාමී ජනපදිකයන් හැඳින්වුනේ "ගොවියන්" කියන අරුත ඇති "බෝයර්" කියන යෙදුමෙන්. බෝයර් වරු රට අභ්‍යන්තරයේ නගර සහ ජනාවාස බිහි කරා. මේ ජනාවාස නිල වශයෙන් කේප් කොලනියට අයත් වුනත්, ඇත්තෙන්ම ඒවා කෙරෙහි පැවති සමාගමේ බලය අවම වුනා.


ඇෆ්‍රිකානර් අනන්‍යතාවය​


1700 පමණ වනවිට ජනපදයේ යුරෝපයෙන් සංක්‍රමනය වුනු පිරිසට වඩා හිටියේ ජනපදයේ උපත ලැබූ අය​. මේ නිසා ජනපදිකයන් අතර යුරෝපීය අනන්‍යතාවය අභිබවා ස්වාධීන අනන්‍යතාවයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔවුන් තමන් ගැන හිතුවේ ලන්දේසින්ට වඩා කේප් ජනපද වාසීන් විදිහට​. ඔවුන් තමාව හඳුන්වා ගන්න "අප්‍රිකානුවා" කියන අරුත ඇති "ඇෆ්‍රිකානර්" කියන යෙදුම භාවිතා කලා. ඔවුන් ගේ භාෂාව හැඳින්වුනේ "ඇෆ්‍රිකාන්ස්" කියලා.


බ්‍රිතාන්‍ය ආක්‍රමනය​


1795 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර යුද්ධයක් ඇති වෙනවා. නෙදර්ලන්තය බ්‍රිතාන්‍යයේ මිතුරෙක් වන නිසා ප්‍රංශය නෙදර්ලන්තය ආක්‍රමනය කරලා එහි ඔවුන්ට අවනත "බතාවියා ජනරජය​" නම් රජයක් පිහිටුවනවා.

ප්‍රංශ හමුදාවලින් තමාගේ යටත් විජිත වලට ඇති වෙන්න පුළුවන් තර්ජනය මැඩ පැවැත්වීමේ අරමුණෙන් බ්‍රිතාන්‍යය විසින් ලන්දේසි පෙරදිග​-ඉන්දියා වෙළඳ සමාගමට අයත් ජනපද ආක්‍රමනය කරනවා (ලංකාවේ ලන්දේසි පාලනය අවසන් වෙන්නේ මේ හේතුව නිසා). ඒ අනුව 1795 දී බ්‍රිතාන්‍යය හමුදාව කේප් කොලනියට ගොඩ බැහැලා එය අල්ලා ගන්නවා.

තමාගේ ජනපද වලින් වැඩි හරියක් බ්‍රිතාන්‍යයට යටත් වීම නිසා වෙළඳ සමාගම බිඳ වැටෙනවා. ඔවුන් 1798 දී සමාගම විසුරුවා හැරලා ඉතුරු ජනපද බතාවියා ජනරජයට පවරා දෙනවා.

1803 දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර සාම ගිවිසුමක් ඇති වෙනවා. මේ ගිවිසුමේ කොන් දේසි වලට අනුව බ්‍රිතාන්‍යයන් කේප් කොලනිය බතාවියා ජනරජයට පවරා දෙනවා.

නමුත් මේ සාමය වැඩි කල් පවතින්නේ නෑ. 1805 දී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය නැවතත් යුධ වදිනවා. 1806 දී බ්‍රිතාන්‍යය හමුදාව නැවතත් කේප් කොලනිය ආක්‍රමනය කරනවා.

බ්ලාවුබර්ග් හිදී 5000 ක බ්‍රිතාන්‍යය හමුදාවට එරෙහිව 2000 ක ජනපදිකයන් ගෙන් සමන්විත හමුදාවක් සටන් වදිනවා. මේ සටනින් බ්‍රිතාන්‍යයන් පහසුවෙන්ම ජය ලබනවා ඒ එක්කම ලන්දේසි ආණ්ඩුකාරයා ජනපදය බ්‍රිතාන්‍යයට යටත් කරනවා.

මේ තමයි ලන්දේසි කේප් ජනපදයේ අවසානය​. මෙතැන් සිට ජනපදය පාලනය වෙන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිතයක් විදිහට​.

Friday, July 14, 2017

කොල්ටැන් කතාව​

ධනවාදය විවේචනය කරාම අපිට එල්ල වෙන සුලභ ප්‍රති තර්කයක් තමයි "උඹ ඔය කොමෙන්ට් එක දාපු ලැප්ටොප් එක / ෆෝන් එක හැදුවෙත් ධනවාදයෙන්" කියන එක​.

කතාව ඇත්ත නෙ. ඉතිං මේ කියන්න යන්නෙ ධනවාදය අපිට ලැප්ටොප්, ෆෝන් දීපු කතාවෙ අතුරු කතාවක්.

ඔය පරිගණක​, ලැප්ටොප්, මොබයිල් ෆෝන්, ටැබ්ලට් මෙකී නොකී අටෝරාසියක් ඉලෙක්ට්‍රොනික උපකරණ වල මූලිකම අංගයක් වෙන්නෙ ටැන්ටලම් ධාරිත්‍රක​. මේ ටැන්ටලම් ධාරිත්‍රක හදන්නෙ ටැන්ටලම් කියල මූලද්‍රව්‍යය පාවිච්චි කරල​.

ටැන්ටලම් කර්මාන්ත සඳහා ලබා ගන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ලෝක ටැන්ටලම් අවශ්‍යයතාවයෙන් 20% සපයා ගන්නෙ ප්‍රතිචක්‍රීකරණයෙන්. 30% සපයා ගන්නෙ ටින් ලෝහය නිස්සාරණයේ අතුරු ඵලයක් විදිහට​. ඉතුරු 50% සපයා ගන්නෙ ඍජු ටැන්ටලම් කැණීමෙන්.

ටැන්ටලම් අපිට සොබාවිකව හමුවෙන්නෙ "කොල්ටැන්" ඛනිජය විදිහට​. කොල්ටැන් වල කතාව තමයි මේ කියන්න යන්නෙ.

කොල්ටැන්

1990 දශකයේ මුල භාගයේදී ලෝකයේ වාර්‍ෂික කොල්ටැන් පරිභෝජනය ටොන් 400 ක් විතර වුනා. මේකෙන් 50% විතර සැපයුවේ ඔස්ට්‍රේලියාව​. තවත් 40% විතර සැපයුවේ කැනඩාව සහ බ්‍රසීලය​.

1990 දශකයේ අග භාගය වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොල්ටැන් නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවුනා. ඒ එක්කම කැනඩාවේ සහ බ්‍රසීලයේ නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු වුනා. 1997 වෙද්දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 70% ආවෙ ඕස්ට්‍රේලියාවෙන්.

1998 දී ලෝකයේ තොරතුරු තාක්‍ෂනයේ දියුණුවත් එක්කම ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයේ විශාල වර්ධනයක් ඇති වුනා. මේ එක්කම කොල්ටැන් වල මිල ඉතා විශාල වශයෙන් වැඩි වුනා.

මේ කාලයේදීම කොංගෝවේ (කොංගෝ ප්‍රජාතන්‍ත්‍රික ජනරජය​) විශාල දේශපාලන විපර්‍යාසයක් වුනා. 1965 දී බලයට පත් වුන මොබුටු ගේ වසර 32 ක ඒකාධිපති පාලනය පෙරලා දාල ලෝරන්ට් කබීලා කොංගෝවේ බලය අල්ල ගත්තා. ඒ රුවන්ඩාවේ සහයෙන්.
නමුත් කබීලාගේ සහයට කොංගෝවට ආපු රුවන්ඩා හමුදාව කොංගෝවෙන් පිටවුනේ නෑ. ඔවුන් ඒ වෙනුවට කොංගෝවේ රැඳී සිටිමින් කොංගෝවේ දේශපාලනයට බලපෑම් කරන්න පටන් ගත්තා.

රුවන්ඩා හමුදාව​

මේ කාලයේ රුවන්ඩාවේ නායකයා වුනේ පෝල් කගාමේ. ඔහු අංක එකේ බටහිර හිතවාදියෙක්. ඔහු ඇමරිකාවේ හමුදා කඳවුරු වල යුධ පුහුණුව පවා ලබල තියෙනවා. කොංගෝව භූමි ප්‍රමානයෙන් රුවන්ඩාව වගේ 90 ගුණයක් විශාලයි. ජනගහණය අතින් 7 ගුණයක් විශාලයි. ඒත් බටහිර ආයුධ සහ බටහිර හමුදා පුහුණුව ලත් රුවන්ඩා හමුදාවට මුහුණ දෙන්න කොංගෝ හමුදාවට ශක්තියක් තිබ්බෙ නෑ.

1998 දි කබීලා රුවන්ඩා හමුදාවට පිටවෙන්න අණ කරනවා. මේකෙන් රුවන්ඩාව සහ කොංගෝව අතර යුද්ධයක් ඇති වෙනවා. ක්‍රමයෙන් මේක අප්‍රිකානු රටවල් නවයක් සහ කැරලිකාර කණ්ඩායම් විස්සක් සහභාගී වන දැවැන්ත යුද්ධයක් දක්වා වර්ධනය වෙනවා.
රුවන්ඩා හමුදාව සහ ඔවුන්ට සහය දෙන කැරලිකාර හමුදාවන් නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශයක් අල්ල ගන්නවා. කොල්ටැන් යුද්ධයේ සාධකයක් වෙන්නෙ මේ අවස්ථාවේ දී.

කොංගෝ හමුදාව​
කොංගෝවේ නැගෙනහිර ප්‍රදේශය කොල්ටැන් නිධි විශාල වශයෙන් තියෙන ප්‍රදේශයක්. රුවන්ඩාව තමාට හිතවත් කැරලි කණ්ඩායම් වලට ඔවුන්ට අයත් ප්‍රදේශවල කොල්ටැන් කණින්න පොළඹවනවා. ඒ කොල්ටැන් මිලදී ගෙන රහසිගතව දේශසීමාව හරහා රුවන්ඩාවට යවලා ඒවා අපනයනය කරනවා. කොල්ටැන් වල මිල ඉහළ යාමත් මේ එක්කම සිද්ධ වෙන නිසා මේ මගින් විශාල ලාබයක් ලබන්න ඔවුන්ට පුළුවන් වෙනවා. කැරලි කරුවන්ට ඒ වෙනුවෙන් ආයුධ ලබා දෙනවා.

කොල්ටැන් සල්ලි වලින් සන්නද්ධ වෙන කැරලි කරුවන්ට මුහුණ දෙන්න කොංගෝ රජයේ හමුදාවන්ට හැකි වෙන්නෙ නෑ. යුද්ධය දිගින් දිගටම ඇදී යද්දි කොංගෝවේ පාලනය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. රටක් වෙනුවට ඉතුරු වෙන්නෙ විවිධ කැරලි කණ්ඩායම් විසින් පාලනය කරන ප්‍රදේශ සමූහයක්.

රුවන්ඩාවේ සහය ලබන M23 කැරලි කරුවන්
 කොංගෝවේ කොල්ටැන් කැණිම් සිදු කෙරෙන්නෙ කිසිම ජාත්‍යන්තරව පිළිගත්ත කම්කරු හෝ පාරිසරික නීති වලට අනුකූලව නෙවෙයි. මේ පතල් පිහිටන්නෙ කැරලි කරුවන්ට අයත් ප්‍රදේශ වල නිසා ඒවා නියාමනය කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඉතා දරුණු සහ භයානක වැඩ තත්වයන් යටතේ කම්කරුවන් සිය ගණන් මිය යනවා. දැවැන්ත පාරිසරික හානියකුත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පතල් කම්කරුවන් ගේ ආහාරය සඳහා කඳුකර ගෝරිල්ලන් දඩයම් කිරීම විශාල ප්‍රශ්නයක් වෙනවා.


කැරලි කරුවන් එක්කෝ වහල් ශ්‍රමය යොදවනවා. නැතිනම් යුද්ධය නිසා ගම් බිම් විනාශ වුන මිනිස්සු ඉතා අඩු මුදලට මේ පතල් වල සේවය කරනවා. ඕස්ට්‍රේලියාවේ හෝ බ්‍රසීලයේ කොල්ටැන් පතල් කම්කරුවෙක් සතියකට ඩොලර් 20-50 අතර වැටුපක් ලබද්දි කොංගෝවේ කොල්ටැන් පතල් කම්කරුවෙක් උපයන්නෙ මාසෙකට ඩොලර් 1 ක් වගේ සුළු මුදලක්.


 මේ කොල්ටැන් ජාවාරම කොච්චර සාර්ථක වෙනවද කිව්වොත් අද කොංගෝවේ තරුණ පිරිමින් ගෙන් 90% ක් ම තමාගේ ජීවිත කාලය තුල එක් වරක් හෝ කොල්ටැන් පතලක සේවය කරල තියෙනවා කියල විශ්වාස කෙරෙනවා.


 2003 දී යුද්ධය නිල වශයෙන් නිමා වෙනවා. ඒ වෙද්දි අවුරුදු 5 ක් ඇතුලත කොංගෝවේ මිය ගිය ගණන මිලියන 5 ක්. දූෂනයට ලක් වුන කාන්තාවන් සහ දැරියන් ගණන ලක්‍ෂ 4 ක්. මේ යුද්ධය සැලකෙන්නෙ නූතන ඉතිහාසයේ ම්ලේච්ඡම යුද්ධයක් විදිහට​. ඒ යුද්ධයේ එක ප්‍රධාන සාධකයක් කොල්ටැන්.



කොංගෝවෙන් කණින කොල්ටැන් රුවන්ඩාව හරහා වෙළඳ පොළට එද්දි ලෝකයේ ඉලෙක්ට්‍රොනික විප්ලවය පිම්මේ දුවනවා. 1997 දී ටොන් 400 ක් වුන ලෝකයේ වාර්‍ෂික කොල්ටැන් පරිභෝජනය 2005 වෙද්දි ටොන් 1400 දක්වා ඉහළ යනවා. මේකෙන් ටොන් 200 ක්ම සපයන්නෙ කොංගෝවේ පතල් වලින්.

2008 වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොල්ටැන් කර්මාන්තය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ලෝක ආර්ථික අවපාතය එකක්. කොංගෝවෙන් එන ලාබ කොල්ටැන් වල මිල සමඟ තරග කිරීමට නොහැකි වීම තව එකක්. 2008 දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 45% ක් සැපයූ ඕස්ට්‍රේලියාව 2010 දි නිෂ්පාදනය කරන්නෙ 2% යි.

ඒ වෙනුවට රුවන්ඩාව සහ කොංගෝව කොල්ටැන් නිෂ්පාදනය වැඩි කරනවා. 2016 දි ලෝක කොල්ටැන් නිෂ්පාදනයෙන් 70% එන්නෙ කොංගෝවෙන් සහ රුවන්ඩාවෙන්. නමුත් රුවන්ඩාවේ කොල්ටැන් නිධි තියෙන්නෙ ඉතා සුළු ප්‍රමානයක්. රුවන්ඩාවේ කොල්ටැන් වලින් අති බහුතරය කොංගෝවෙන් රහසිගතව ගෙන්වූ ඒවා.


2017 වෙද්දි අප්‍රිකාවේ පළමු කොල්ටැන් පිරිපහදු කර්මාන්තශාලාව රුවන්ඩාවේ පිහිටුවනවා. ඒ කැනේඩියානු සමාගමක්. ඇපල් සහ සැම්සුන් වැනි සමාගම් කීපයක් කොංගෝවේ කොල්ටැන් තමාගේ නිෂ්පාදන සඳහා යොදා නොගන්න බව කිව්වත්, ඔවුන් රුවන්ඩාවේ කොල්ටැන් ගැන මොකුත් කියන්නෙ නෑ. අප්‍රිකාවේ කොල්ටැන් සම්පූර්නයෙන්ම ප්‍රතික්‍ෂේප කරන සමාගම් තියෙන්නෙ අතලොස්සයි.

වර්තමානයේ ලෝක කොල්ටැන් නිධි වලින් 64% තියෙන්නෙ කොංගෝවේ. හිතන්න ලෝකයේ තෙල් නිධි වලින් 64% තියෙන්නෙ එක රටක නම් ඒ රට කොයිතරම් පොහොසත් වෙයි ද? ඒත් කොංගෝව කියන්නෙ ලෝකයේ දුප්පත්ම රටක්. කොංගෝවේ අපේක්‍ෂිත ආයු කාලය අවුරුදු 55 යි. සාක්‍ෂරතාවය 65%. ඒක පුද්ගල ආදායම ඩොලර් 500. ලෝකයේ රටවල් 186 අතරින් ඒක පුද්ගල ආදායම අනුව කොංගෝව ඉන්නෙ 177 වෙනි ස්ථානයේ.


නිල වශයෙන් යුද්ධය අවසන් වුනත් රටේ වැඩි ප්‍රදේශයක බලය තියෙන්නෙ කැරලි කරුවන් අතේ. කැරලි කණ්ඩායම් සහ රජයේ හමුදා අතර වරින් වර ගැටුම් ඇති වෙනවා. දහස් ගණන් මිය යනවා.

 ඉතින් මහත්වරුනී මට කියල දෙන්න ධනවාදයෙන් මගේ ලැප්ටොප් එක හදපු හැටි.

 (ඔව් යකෝ මේක ටයිප් කරෙත් ලැප්ටොප් එකේ තමයි)

Saturday, July 8, 2017

කොංගෝ අර්බුධය (1960-65) - 2

කොංගෝ ජනරජය​


1960 ජූනි 30 වෙනිදා කොංගෝවට නිල වශයෙන් නිදහස ලැබෙනවා. මේ සඳහා බෙල්ජියම් රජතුමා වන බෝඩුයින් රජු ලියෝපෝල්ඩ්විල් නගරයට එනවා.

නිදහස් දින උත්සවයේදී බෝඩුයින් රජු ඔහුගේ කථාවේදී කොංගෝවට නිදහස ලැබීම ලියෝපෝල්ඩ් රජු විසින් කොංගෝව ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමේ අවසානය විදිහටත්, ඉදිරියටත් කොංගෝව බෙල්ජියමේ අධාර පතනු ඇති බවට විශ්වාස කරන බවටත් කියනවා.

කොංගෝවට ඉමහත් විනාශයක් අත් කර දුන්න ලියෝපෝල්ඩ් රජුගේ පාලනය "ශිෂ්ඨ සම්පන්න කිරීමේ මෙහෙයුමක්" විදිහට හඳුන්වාදීම ගැන උත්සව සභාවේ ඉන්න ස්වදේශිකයන් ඉමහත් කෝපයට පත් වෙනවා.

දෙවෙනි කතාව කරන ජනාධිපති කසවුබු උත්සවයට සහභාගී වීම ගැන බෙල්ජියම් රජුට ස්තූති කරලා කතාව කෙටියෙන් නිම කරනවා.

ඊළඟට අගමැති ලුමුම්බා කලින් සැලසුම් නොකළ කතාවක් පවත්වනවා. ප්‍රංශ භාෂාවෙන් පවත්වන මේ ව්‍යක්ත කතාවේදී ලුමුම්බා බෙල්ජියම් යටත් විජිත පාලනය දැඩි විවේචනයට ලක් කරනවා. ඊට අමතරව ඔහු කොංගෝ ජාතිකයන් ගෙන් වාර්ගික බැඳීම් අත හැරලා කොංගෝ ජාතිකවාදය වැළඳ ගන්නා ලෙසත්, බෙල්ජියමෙන් "නිදහස් සහ සමාන රාජ්‍යය දෙකක් අතර කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට එලැඹෙන" ලෙසත් ඉල්ලනවා. ඔහු කථාව අවසන් කරන්නේ කොංගෝවේ නිදහස මුළු මහත් අප්‍රිකා මහද්වීපයේ ම නිදහස් අරගලයේ සන්ධිස්ථානයක් විය යුතු බවට ප්‍රකාශ කරමින්.

සභාව අමතා කතා කරන ලුමුම්බා
මේ කථාවේදී ඔහු බෙල්ජියම් රජු අමතලා ප්‍රංශ භාෂාවෙන් "අපි තවදුරටත් නුඹලාගේ වඳුරන් නොවෙමු (නොවුස් නෙ සොමේස් ප්ලුස් වොස් මකාක්ස්)" යනුවෙන් පැවසූ බවට ජනප්‍රිය කතාවක් ඇතත්, ඒ බව තහවුරු කරන සාක්‍ෂි කිසිවක් නෑ.

මේ කතාව ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම දේශපාලන දේශනයක් විදිහටයි අද සැලකෙන්නෙ. මේ කතාව නිසා ලුමුම්බා බෙල්ජියම් වරුන් ගේ නොමද වෛරයට පාත්‍ර වෙනවා.

1960 ජූනි 30 වෙනිදා කොංගෝ ජනරජය (Republic of the Congo) ප්‍රකාශයට පත් කෙරෙනවා.

කොංගෝ ජනරජයේ කොඩිය​

හමුදා කැරලි


මේ වෙද්දි කොංගෝ හමුදාවේ හමුදාපති වෙන්නෙ බෙල්ජියම් ජාතික ලුතිනන් ජනරාල් එමිල් ජැන්සෙන්ස්. හමුදාවේ සියළුම නිලධාරීන් සුදු ජාතිකයෝ.

නිදහසත් එක්ක මේ තත්වය වෙනස් වෙලා තමාටත් නිලධාරී තනතුරු ලැබෙයි කියල ස්වදේශික සෙබළු බලාපොරොත්තු වෙනවා.

ඒත් ජැන්සෙන්ස් ලියෝපෝල්ඩ්විල් හමුදා කඳවුරේ ස්වදේශික සෙබළු කැඳවලා රැස්වීමක් තියෙනවා. එහිදී ඔහු කළු ලෑල්ලක "නිදහසට පෙර = නිදහසට පසු" කියල ලියනවා.

මේකෙන් ස්වදේශික සෙබළු ඉමහත් කැළඹීමකට ලක් වෙනවා. ඒ කැලඹීම ජූලි 5 වෙනිදා හමුදා කැරැල්ලක් දක්වා වර්ධනය වෙනවා.

ජැන්සෙන්ස් බලාපොරොත්තු වෙන්නෙ කැරැල්ල මැඩ පවත්වන්න බෙල්ජියම් හමුදා ඛන්ඩ යොදවයි කියලා. නමුත් ලුමුම්බා කරන්නෙ ඔහුව සහ සුදු ජාතික නිලධාරීන් රැසක් තනතුරු වලින් ඉවත් කරලා හමුදාව "කොංගෝ ජාතික හමුදාව​" විදිහට නම් කිරීම​.

නව හමුදාපති විදිහට සාජන්ට් මේජර් වරයෙක් වන වික්ටර් ලුන්ඩුලා මේජර් ජනරාල් තනතුරට උසස් කරලා පත් කෙරෙනවා. ඔහුගේ මාණ් ඩලික ප්‍රධානියා විදිහට හිටපු සාජන්ට් මේජර් වරයෙක් සහ ලුමුම්බා ගේ කිට්ටු මිත්‍රයෙක් වන ජෝශප් මොබුටු කල්නල් තනතුරට උසස් කරලා පත් කරනවා.

ජෝශප් මොබුටු
කසවුබු සහ ලුමුම්බා පුද්ගලිකවම හමුදා කඳවුරු වලට ගිහින් කැරැල්ල සමථයකට පත් කරන්න උත්සහ කරනවා. මේ උත්සහය යම් දුරකට සාර්ථක වුනත්, ගම්බද ප්‍රදේශ වල කැරලි කාරී හමුදා සෙබළු සුදු ජාතිකයන් ඝාතනය කරන්න සහ ඔවුන් ගේ දේපල මංකොල්ල කන්න පෙළඹෙනවා.

මේක නැවතත් කොංගෝවට අත පොවන්න බෙල්ජියම හේතුවක් කර ගන්නවා.

විදේශීය බලපෑම්


කොංගෝවේ තියෙන යුරේනියම් නිධි මේ වෙද්දි ඇමරිකාවේ සහ සෝවියට් දේශයේ අවධානයට ලක් වෙලා තිබ්බෙ. ඇත්තෙන්ම දෙවෙනි ලෝක යුධ සමයේ ඇමරිකාවේ පරමාණු බෝම්බ නිපදවන ව්‍යාපෘතියට යුරේනියම් ලබා ගත්තෙ කොංගෝවෙන්.

මේ නිසා ඇමරිකාව සහ සෝවියට් දේශය කොංගෝව දිහා සැලකිල්ලෙන් බලනවා. ඊට අමතරව බෙල්ජියම තමාගේ රටේ සමාගම් වලට අයිති තඹ​, කොබෝල්ට් සහ දියමන්ති පතල් ගැන සැලකිලිමත් වෙනවා.

මේ පතල් බොහොමයක් තියෙන්නෙ රටේ දකුණු දිග ප්‍රාන්ත වන කටන්ගා සහ කසායි ප්‍රාන්ත වල​.

බෙල්ජියම තමාගේ ඉත්තා විදිහට තෝරා ගන්නෙ දැඩි බටහිර හිතවාදී සහ සමාජවාදී විරෝධී මොයිසි ෂොම්බේ ව​. ඔහු කටන්ගා ප්‍රාන්තයේ වැඩි බලයක් අත් කරගෙන ඉන්නෙ.

බෙල්ජියම් හමුදා කොංගෝවට ඇතුල් වීම​


කොංගෝවේ ඉන්න බෙල්ජියම් ජාතිකයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා බෙල්ජියම් හමුදාව රටේ ප්‍රධාන නගර වලට පැරෂුට් සේනාංක ගොඩ බස්වනවා. මේ මෙහෙයුම නිසා ලුමුම් බා සහ කසවුබු අතර තිබුන සහයෝගය අවසන් වෙනවා.

කසවුබු බෙල්ජියම් හමුදා මෙහෙයුම් ඉවසුවත් ලුමුම්බා සලකන්නේ එය කොංගෝවේ ස්වෛරී භාවයට කරන තර්ජනයක් විදිහට​. ඔහු බෙල්ජියම් හමුදාවට පහර දෙන්න කොංගෝ ජාතික හමුදාවට අණ දෙනවා. නමුත් මේ ප්‍රහාර පහසුවෙන් මැඩ පවත්වන්න බෙල්ජියම් සෙබළු සමත් වෙනවා. බෙල්ජියම් නාවුක හමුදාව මටාඩි නගරයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා.

කටන්ගාව වෙන්වීම​


1960 ජූලි 11 වැනිදා බෙල්ජියමේ අනුග්‍රහය මත මොයිසි ෂොම්බේ කටන්ගා ප්‍රාන්තය වෙනම රාජ්‍යයක් ලෙස නම් කරනවා. එහි ජනාධිපති ලෙස ඔහු තමාවම පත් කර ගන්නවා. අගනුවර වෙන්නේ එළිසබෙත්විල් නගරය​.

කටන්ගා කොඩිය​
කටන්ගා ප්‍රාන්තය තමයි කොංගෝවේ වඩාත්ම සංවර්ධිත සහ ධනවත්ම ප්‍රාන්තය​. ෂොම්බේ කියන්නෙ කටන්ගා වැසියන් වන ලුබා සහ ලුන්ඩා ගෝත්‍රිකයන් අනෙකුත් කොංගෝ වැසියන් ගෙන් වෙනස් බවත්, කොංගෝවේ අනෙක් ප්‍රදේශ වල පවතින කලහකාරී තත්වයෙන් කටන්ගාව වෙන් කළ යුතු නිසා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළ බවත්.

ඒත් කටන්ගාවේ ප්‍රධානම පතල් සමාගම වන බෙල්ජියානු UMHK සමාගම ෂොම්බේ ට සහය දෙන්නෙ ඔවුන් ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන්.

කටන්ගාව කිසිම රටක් විසින් නිල වශයෙන් පිළිගන්නෙ නෑ. ඒත් ඊට බෙල්ජියානු සහ ඇමරිකන් ආධාර ලැබෙනවා.

ෂොම්බේ තමාගේ නව රාජ්‍යයට ජේසන් සෙන්ඩ්වේ ගේ සහය ලබා ගන්න උත්සහ කරත්, ඔහු ඊට සහය දෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු දිගටම ලියෝපෝල්ඩ්විල් රජයට සහය දෙනවා.

දකුණු කසායි වෙන්වීම​


1960 අගෝස්තු 9 වෙනිදා ඇල්බට් කලොන්ජි කසායි ප්‍රාන්තයේ ස්වාධීන පාලන ඒකකයක් ප්‍රකාශට පත් කරනවා. මේක කටන්ගාව වගේ වෙනම රාජ්‍යයක් විදිහට නෙවෙයි ප්‍රකාශ කෙරෙන්නෙ. කලොන්ජි අදහස් කරන්නේ කොංගෝව ඇතුළතම ස්වාධීන පාලන ප්‍රදේශයක් බිහි කරන්න​.

නමුත් ඔහුට සහය දෙන්නෙ කසායි ප්‍රාන්තයේ දකුණු දිග කුඩා කොටසක් පමණයි. ඔහු ඒ ප්‍රදේශය "දකුණු කසායි" ලෙස නම් කරනවා. කලොන්ජි එහි ජනාධිපති වශයෙන් පත් වෙනවා. අගනුවර වශයෙන් තෝරා ගැනෙන්නෙ බක්වන්ගා නගරය​.

දකුණු කසායි කොඩිය​
කසායි ප්‍රාන්තය දියමන්ති නිධි බහුල ප්‍රදේශයක්. කලොන්ජිට බෙල්ජියානු දියමන්‍ති පතල් සමාගමක් වන "ෆොමිනෙරේ" සමාගමේ සහය ලැබෙනවා.

එක්සත් ජාතීන් ගේ සාම මෙහෙයුම​


ෂොම්බේ සහ බෙල්ජියානු පතල් සමාගම් කටන්ගාව වෙනුවෙන් සටන් කරන්න යුරෝපීය සහ දකුණු අප්‍රිකාණු කුලී හමුදා යොදා ගන්නවා. මේ පළපුරුදු කුලී හමුදා සමඟ සටන් කරන්න කොංගෝ හමුදාවට ලේසි වෙන්නෙ නෑ.

කොංගෝව ක්‍රමයෙන් බිඳ වැටෙද්දි ලුමුම්බා එක්සත් ජාතීන් ගේ උදව් පතනවා. ඒ අනුව ජූලි 14 වෙනිදා එක්සත් ජාතීන් ගේ සංවිධානය සියළුම බෙල්ජියානු හමුදා කොංගෝවෙන් ඉවත් කර ගන්නා ලෙස නියෝහ කරනවා. ඊට අමතරව සාම සාධක හමුදාවක් කොංගෝවට එවනවා.

ලුමුම්බා බලාපොරොත්තු වෙන්නෙ එක්සත් ජාතීන් ගේ හමුදා කටන්ගාවට එරෙහිව සටන් කරන්න තමාට සහය දෙයි කියල​. ඒත් ඔවුන් කොංගෝවට එන්නෙ සාමය රැකීමේ කටයුතු සඳහා පමණයි.

ලුමුම්බා ඇමරිකාවෙන් සහය ඉල්ලනවා. ඒත් ඇමරිකාව සහය ලබා දීම ප්‍රතික්‍ෂේප කරනවා.

ලුමුම්බා ඊළඟට යොමු වෙන්නේ සෝවියට් දේශය දෙසට​. සෝවියට් දේශය මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. හමුදා උපදේශකයන් 1000 ක් සමඟ සෝවියට් යුධ ආයුධ රැසක් කොංගෝවට ලැබෙනවා.

සෝවියට් හමුදා උපදේශකයන් කොංගෝවට ආව බව දැන ගන්න ඇමරිකාව කලබල වෙනවා. ඔවුන් වහාම ලුමුම්බා බලයෙන් පහ කළ යුතු බව තීරණය කරනවා. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ ජනාධිපති කසවුබු.

කටන්ගාව වෙනුවෙන් සටන් කරන දකුණු අප්‍රිකාණු කුලී හමුදා

දකුණු කසායි යටත් වීම​


1960 අගෝස්තු මාසෙදි සෝවියට් හමුදා සහයෙන් ලුමුම්බා දකුණු කසායි ට එරෙහිව හමුදා මෙහෙයුමක් පටන් ගන්නවා. මේ ප්‍රහාරය අති සාර්ථක වෙනවා. අගෝස්තු 27 වෙනිදා කොංගෝ හමුදාව බක්වන්ගා නගරය අල්ලා ගන්නවා.

ඒත් මේ ජයග්‍රහණයත් එක්කම කසායි ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් ඇති වෙනවා. දකුණු කසායි බෙදුම්වාදයට සහය දුන්න ලුබා වාර්ගිකයන්ට එරෙහිව ප්‍රහාර ගණනාවක් ඇති වෙනවා. මේ ප්‍රහාරයන්ට කොංගෝ හමුදාවත් සහභාගී වෙනවා. ප්‍රහාරයන් ගෙන් ගැලවෙන්නෙ කටන්ගා ප්‍රාන්තයට පලා යන ලුබා වාර්ගිකයන්ට කටන්ගා හමුදාවේ සහ සිවිල් වැසියන් පහර දෙනවා. මේ ප්‍රචන්ඩ ක්‍රියා වලින් 3000 පමණ මිය යන අතර 100,000 පමණ සරණාගතයන් බවට පත් වෙනවා.

මේ ප්‍රචන්ඩ ක්‍රියාවන් තමයි ලුමුම්බා ගේ මරණ වරෙන්තුව වෙන්නෙ.

කොංගෝවේ රජය අර්බුධයට පත් වීම​


සෝවියට් සහය ලබන ලුමුම්බා ගේ කොංගෝ හමුදාව දකුණු කසායි යටත් කරගෙන ඊළඟට කටන්ගා ප්‍රාන්තයට පහර දෙන්න සූදානම් වෙනවා. ඒ වෙලාවෙ තමයි ඇමරිකානු මෙහෙයවීම යටතේ ලුමුම්බාට එරෙහිව කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වෙන්නෙ.

බෙල්ජියමේ සැලසුම වෙන්නෙ මධ්‍යගත පාලනයක් වෙනුවෙන් පෙනී ඉන්න ලුමුම්බා වෙනුවට ෆෙඩරල් මතධාරී කසවූබූ බලයට පත් කරලා ෆෙඩරල් කොංගෝවක් නිර්මානය කරන්න​. දුර්වල ෆෙඩරල් කොංගෝවක් හරහා තමාගේ පතල් කර්මාන්ත ආරක්‍ෂා  කරගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඇමරිකාවේ අරමුණ වෙන්නෙ සෝවියට් හිතවාදී ලුමුම්බා බලයෙන් පහ කරල කොංගෝවේ ඇමරිකන් හිතවාදී රජයක් පත් කර ගැනීම​.

මේ සඳහා ඔවුන් ලුමුම්බාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කසවුබු පොළඹවනවා.

ඒ අනුව 1960 සැප්තැම්බර් 5 වෙනිදා කසවුබූ නිවේදනය කරනවා තමා ලුමුම්බා ව අගමැති ධූරයෙන් ඉවත් කළ බව​. ඒකට හේතුව ලෙස ඔහු දක්වන්නේ කසායි හි ඇතිවුන වාර්ගික ගැටුම් සහ කොංගෝ හමුදාව සිදුකළ සමූහ ඝාතන​.  ඔහු ඒ වෙනුවට ඇල්බට් කලොන්ජි ගේ MNC-K පක්‍ෂයේ ජෝශප් ඉලෙයෝ අගමැති ලෙස නම් කරනවා.

නමුත් පාර්ලිමේන්තුව කසවුබු ගේ නිවේදනය පිළිගන්නේ නෑ. ඔවුන් ලුමුම්බාට සහය දෙන බව ප්‍රකශ කරනවා. ලුමුම්බා කරන්නෙ ඔහු කසවුබුව බලයෙන් පහ කළ බව නිවේදනය කිරීම​. නමුත් කසවුබු කියනවා ඔහුට එසේ කිරීමට ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව​. මේ අනුව දැඩි රාජ්‍යය අර්බුධයක් ඇති වෙනවා.

සැප්තැම්බර් 20 වෙනිදා ජෝශප් මොබුටු තමාට හිතවත් හමුදා කණ්ඩායම් යොදවලා ලුමුම්බා සහ කසවුබු යන දෙදෙනාවම අත් අඩංගුවට ගන්නවා. ඔහු කියන්නෙ තමා කොංගෝවේ ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාකළ බව​.

මොබුටු විශ්ව විද්‍යාල උපාධිධාරීන් පිරිසකගෙන් සමන්විත අන්තර්වාර රජයක් පිහිටුවනවා. එහි සභාපති වෙන්නෙ ජස්ටින් බොම්බෝකො.

මේ අතර ඇල්බට් කොලොන්ජි යටතේ දකුණු කසායි ප්‍රාන්තයට අර්ධ ස්වාධීන තත්වයක් හිමිවෙනවා.

මොබුටු සෝවියට් යුධ උපදේශකයන්ට වහාම කොංගෝවෙන් පිට වෙන්න නියෝග කරනවා. ඒ අතර මොබුටු විසින් ලුමුම්බා ව නිවාස අඩස්සියට පත් කරනවා. ඔහුගේ ආරක්‍ෂාවට එක්සත් ජාතීන් ගේ හමුදා ඛණ්ඩයකුත් රඳවනවා.

කැරලිකාරී රජය​


1960 නොවැම්බර් 13 වෙනිදා අන්තෝනි ගිසෙන්ගා සහ තවත් ලුමුම්බා හිතවාදීන් පිරිසක් නැගෙනහිර කොංගෝවේ ස්ටැන්ලිවිල් නගරයට පලා ගිහින් කැරලිකාරී විකල්ප රජයක් පිහිටුවන්න කටයුතු කරනවා. ඔවුන්ට ඔරියෙන්ටාල් සහ කිවූ ප්‍රාන්ත වල බලය තහවුරු කර ගන්න පුළුවන් වෙනවා. 12,000 ක සෙබළ ප්‍රමානයක් සහිත කොංගෝ හමුදාවෙන් 5000 ක් ඔවුන්ට පක්‍ෂපාතීත්වය පළ කරනවා.

1960 දෙසැම්බර් 12 වෙනිදා ගිසෙන්ගා "නිදහස් කොංගෝ ජනරජය​" ප්‍රකාශයට පත් කරනවා. සෝවියට් දේශය සහ චීනය ඇතුළු සමාජවාදී කඳවුරේ රටවල් ඔහුගේ රජය කොංගෝවේ නීත්‍යානුකූල රජය විදිහට පිළිගන්නවා. බටහිර රටවල් පිළිගන්නේ ලියෝපෝල්ඩ්විල් රජයයි.

1961 දී කොංගෝවේ දේශපාලන වාතාවරණය​

ලුමුම්බා මරා දැමීම​


1960 නොවැම්බර් 27 වෙනිදා ලුමුම්බා තමාගේ ජීවිතය අනතුරේ බව වටහාගෙන ස්ටැන්ලිවිල් කරා පලා යන්න උත්සහ කරනවා. නමුත් අතරමගදී ඔහු මොබුටු හිතවාදී හමුදා විසින් අත් අඩංගුවට ගන්නවා.

ලුමුම්බාගේ අත් අඩංගුවට ගැනීමත් සමඟම සෝවියට් දේශය එක්සත් ජාතීන් ගේ මහ ලේකම් දැඩි විවේචනයට ලක් කරලා වහාම ලුමුම්බා අගමැති විය යුතු බවටත්, කටන්ගාවට සහය දෙන බෙල්ජියම් හමුදා ඉවත් විය යුතු බවටත් ඉල්ලා සිටිනවා. නමුත් ඒ යෝජනාවන් පරාජයට පත් වෙනවා. ඊට ප්‍රතිචාර වශයෙන් යුගොස්ලාවියාව​, ඝානාව සහ ලංකාව ඇතුළු රටවල් කීපයක් කොංගෝවේ ඉන්න තමාගේ හමුදා ඉවත් කරගන්නවා.

මේ අතර ලුමුම් බා සහ ඔහුගේ අනුගාමිකයන් දෙදෙනෙක් වන මොරිස් ම්පෝලෝ සහ ජෝශප් ඔකිටෝ රඳවා තියෙන හමුදා කඳවුරේ කැරැල්ලක් ඇති වෙනවා. තත්වය භයානක බව තේරුම් ගන්න මොබුටු සහ කසවුබු බෙල්ජියම් රජයේ උපදෙස් පිට ලුමුම්බා සහ අනුගාමිකයන් ව කටන්ගාවට පිටත් කර හරිනවා.

1961 ජනවාරි 17 වෙනිදා ලුමුම්බා එළිසබෙත්විල් නගරයට ගුවන් මගින් ගෙනියනවා. එහිදී ඔහු නොයෙකුත් වධ බන් ධනයන්ට ලක් කෙරෙනවා. එහිදී පහර දීම සහ ඔහුගේ කථා ලියූ කඩදාසි බලෙන් කැවීම සිදු කෙරෙනවා. මේ සියල්ල කෙරෙන්නේ මාධ්‍යවේදීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම​. මේ සඳහා බෙල්ජියම් හමුදා නිලධාරීන් සහභාගී වෙනවා.

ලුමුම්බා, ම්පෝලෝ සහ ඔකිටෝ අත් අඩංගුවේ
ජනවාරි 17 වෙනිදා මහ රෑ ලුමුම්බා, ම්පෝලෝ සහ ඔකිටෝ පාළු ස්ථානයකට රැගෙන ගොස් ගසකට හේත්තු කර වෙඩි තැබීමෙන් මරා දැමෙනවා. මේ අවස්ථාවට ෂොම්බේත් සහභාගී වෙනවා.

පසුව බෙල්ජියම් හමුදා නිලධාරීන් ඔහුගේ සිරුර කැබලි කොට සල්ෆියුරික් අම්ලයේ දිය කර අස්ථි කුඩු කර විසිරුවා හැරීමෙන් විනාශ කර දමනවා.

කසවුබු පාලනය​


ජනවාරි මාසය පුරාම බෙල්ජියම් සහය ලබන මොබුටු ගේ ලියෝපෝල්ඩ්විල් හමුදා සහ ගිසෙන්ගා ගේ ස්ටැන්ලිවිල් හමුදා අතර සටන් ඇවිලෙනවා. ස්ටැන්ලිවිල් හමුදා සාර්ථකව සතුරු ප්‍රහාර මැඩ පවත්වමින් බලය රැක ගන්න සමත් වෙනවා. ඒ එක්කම ඔවුන් කටන්ගාවේ උතුරු කොටස ආක්‍රමනය කරලා එහි බලය තහවුරු කරගන්නවා.

තත්වය දරුණු අතට හැරීගෙන එද්දි පෙබරවාරි 9 වෙනිදා ඇමරිකානු සහ බෙල්ජියම් උපදෙස් පිට මොබුටු අන්තර්වාර රජය විසුරුවා හැරලා කසුවුබු නැවත ජනාධිපති ධුරයට පත් කරනවා. කසුවුබු තමාගේ අගමැති ලෙස නැවතත් ජෝශප් ඉලෙයෝ තෝරා ගන්නවා.

කසුවුබු ෆෙඩරල් කොංගෝවක් ගොඩ නැංවීමට කැරලිකාර පාර්ශවයන් එක්ක සාකච්ඡා කරනවා.මේ සාකච්ඡා සාර්ථක වෙන්නෙ නෑ. ඒ අතරෙ කටන්ගාවේ දී කටන්ගා හමුදාව සහ එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාව අතර සටන් ඇතිවෙනවා.

ඒ නිසා ඇමරිකන් උපදෙස් පිට අගෝස්තු 2 වෙනි දා මධ්‍යස්ථ මත ධාරී ලුමුම්බා පාක්‍ෂිකයෙක් වන සිරිල් අඩූලා අගමැති ධූරයට පත් කෙරෙනවා. එහි අරමුන වෙන්නෙ සියළු පාර්ශවයන් ගේ සහය ලබා ගෙන ගැටුම් නිමා කිරීම​.

අඩූලා අගමැති වීමත් එක්කම ගිසෙන්ගා ඔහුගේ උප අගමැති වශයෙන් නැවතත් රජයට එක් වීමට කැමැත්ත පළ කරනවා. දකුණු කසායි අර්ධ ස්වාධීන ප්‍රාන්තයක් කිරීමේ පොරොන්දුව මත ඇල්බට් කොලොන්ජිත් රජයට සහය පළ කරනවා. නමුත් ෂොම්බේ සමඟ සාකච්ඡා සාර්ථක වෙන්නෙ නෑ.

මේ අතර ෂොම්බේ දකුණු අප්‍රිකානු සහ බෙල්ජියම් ජාතික කුලී හේවායන් විශාල ප්‍රමානයක් ගෙන්වාගෙන එක්සත් ජාතීන් ගේ හමුදාවන්ට පහර දෙන්න පටන් ගන්නවා. 1961 සැප්තැම්බර් මාසයේදී ගැටුම් උග්‍ර වෙනවා.

එක්සත් ජාතීන් සහ කටන්ගාව අතර සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා කරන්න කොංගෝවට එන එක්සත් ජාතීන් ගේ මහ ලේකම් ස්වීඩන් ජාතික හැමර්ස්ජොල්ඩ් ගුවන් අනතුරකින් මිය යනවා. නව මහ ලේකම් විදිහට පත් වෙන්නෙ බුරුම ජාතික යූ තාන්ට්. ඔහු හැමර්ස්ජොල්ඩ් ගේ කටන්ගාවට සහනශීලී ප්‍රතිපත්තිය ඉවත දාල දැඩි ප්‍රතිපත්තියකට යනවා.

මේ අතර අඩූලා සහ ගිසෙන්ගා අතර ගැටුම් ඇති වෙනවා. අඩූලා බටහිර රටවල රූකඩයක් කියල චෝදනා කරන ගිසෙන්ගා නැවත ස්ටැන්ලිවිල් කරා යනවා.

ගිසෙන්ගා ස්ටැන්ලිවිල් නගරයේ ඉඳලා හමුදාවක් රැස් කරනවා කටන් ගාවට පහර දෙන්න​. නමුත් මේ ප්‍රහාරය අසාර්ථක වෙනවා. ඒ අතර ගිසෙන්ගා ගේ සෙබළු එක්සත් ජාතීන් ගේ හමුදා ඛන්ඩයකට පහර දීම නිසා 1962 ජනවාරි 10 වෙනිදා කොංගෝ හමුදාපති වික්ටර් ලුන්ඩුලා සහ එක්සත් ජාතීන් ගේ නියෝජිතයන් ඒ පිළිබඳව පරීක්‍ෂන කරන්න ස්ටැන්ලිවිල් නගරයට එනවා. ගිසෙන්ගාට වහාම ලියෝපෝල්ඩ්විල් නගරයට එන ලෙස රජය නියෝග කරනවා. නමුත් ගිසෙන්ගා ඒ නියෝගය ප්‍රතික්‍ෂේප කරලා ලුන්ඩුලා සහ එක්සත් ජාතීන් ගේ නියෝජිතයන් ව අත් අඩංගුවට ගන්න උත්සහ කරනවා.

ජනවාරි 10-16 කාලය පුරාවට කොංගෝ රජයේ හමුදා සහ එක්සත් ජාතීන් ගේ හමුදා ගිසෙන්ගාට හිතවත් හමුදාවන් එක්ක ස්ටැන්ලිවිල් නගරයේ සටන් කරනවා. සටන නිම වෙන්නෙ ගිසෙන්ගා අත් අඩංගුවට පත් වීමෙන්.

ගිසෙන්ගා සිර ගත කෙරෙනවා. ලුමුම්බා පාක්‍ෂිකයන් ගේ  නිදහස් කොංගෝ ජනරජය එතැනින් නිමාවට පත් වෙනවා.

බෙදුම්වාදී රාජ්‍යයන් යටත් කර ගැනීම​


1962 සැප්තැම්බර් මාසයේදී ඇල්බට් කලොන්ජි ට එරෙහිව දකුණු කසායි හි කුමන්ත්‍රනයක් ඇති වෙනවා. කොංගෝ හමුදාව ඔක්තෝබර් 5 වෙනිදා කුමන්ත්‍රනකාරීන්ට සහය පල කරමින් දකුණු කසායි සම්පූර්නයෙන්ම යටත් කර ගන්නවා.

1962 දෙසැම්බර් මාසය වෙද්දි එක්සත් ජාතීන් ගේ හමුදා සහ කටන්ගාව අතර සටන් දරුණු අතට හැරිලා. 1962 අවුරුද්ද අවසන් වෙද්දි එක්සත් ජාතීන් ගේ හමුදා කටන් ගා හමුදා සම්පූර්නයෙන්ම පරාජය කරලා කටන්ගාව කොංගෝ රජයේ භාරයට පත් කරනවා.

1963 ජනවාරි 21 වෙනිදා ෂොම්බේ රොඩීෂියාව හරහා ස්පාඤ්ඤයට පැනලා යනවා. එතැනින් කටන්ගාවේ බෙදුම්වාදය නිමා වෙනවා. කොංගෝව සම්පූර්නයෙන්ම එක්සත් රාජ්‍යයක් වෙනවා.

කොංගෝ ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජය​


1963 දි සියළු දේශපාලන කණ්ඩායම් අතර සම්මුතියෙන් නව ව්‍යවස්ථාවක් ඇති කර ගන්නවා. මේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෙ බලය වැඩි කරන අතර​, අගමැති ගේ බලය අඩු කෙරෙනවා. ඒ එක්කම කොංගෝව ප්‍රාන්ත 21 කට බෙදලා ඒ ඒ ප්‍රාන්තයට සෑහෙන ස්වාධීනත්වයක් හිමිවන ආකාරයට බලය බෙදනවා.

මේ ව්‍යවස්ථාවෙන් රටේ නම "කොංගෝ ප්‍රජාතන්‍ත්‍රවාදී ජනරජය​" කියල වෙනස් කෙරෙනවා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ධජය​
ෆෙඩරල් ව්‍යවස්ථාවට විරෝධය පාලා ලුමුම්බා වාදීන් පිරිසක් අසල්වැසි කොංගෝ ජනරජයේ (වෙනත් රටක්) "ජාතික විමුක්ති සංවිධානය​" කියල සංවිධානයක් පිහිටුවා ගන්නවා.

අළුත් ව්‍යවස්ථාව හැදුවට පස්සෙ බටහිරයන්ට තව දුරටත් මධ්‍යස්ථ මත ධාරී සිරිල් අඩූලා වැදගත් වෙන්නෙ නෑ. කසවුබු ඔහුව ඉවත් කරල නව අගමැති වශයෙන් ස්පාඤ්ඤයට පලා ගිය මොයිසි ෂොම්බේ නම් කරනවා.

සිම්බා කැරැල්ල​

ෂොම්බේ බලයට පත් වෙන්නෙ 1964 ජූලි 10 වෙනිදා. ඔහු 1965 මාර්තු මාසයේදී මැතිවරණයක් තියන්න සැලසුම් කරනවා.

ඒත් බටහිර හිතවාදී ෂොම්බේ බලයට පත් වීමත් එක්කම නැවතත් කොංගෝවේ කැරලි ඇති වෙනවා.

ප්‍රධාන වශයෙන් කැරලි දෙකක් ඇති වෙනවා. පළමුවැන්න "කිවිලු කැරැල්ල​". එහි නායකත්වය ගන්නෙ ලුමුම්බා පාක්‍ෂිකයෙක් සහ මාඕ වාදියෙක් වන පියරේ මුලේලේ. ඔහුට චීන සහය ලැබෙනවා. කිවිලු දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කර ගන්න ඔහුට පුළුවන් වෙනවා.

පියරේ මුලේලේ
වඩා බරපතල දෙවෙනි කැරැල්ල පැන නගින්නෙ ඔරියෙන්ටාල් සහ කිවූ ප්‍රාන්ත වල​. එහි නායකත්වය ගන්නෙ ජාතික විමුක්ති සංවිධානයේ නායක ක්‍රිස්ටෝපර් ග්බෙන්‍.යේ.

ක්‍රිස්ටෝපර් ග්බෙන්‍.යේ
ඔහු ගේ සංවිධානය තමාව හඳුන්වා ගන්නේ "සිම්බා" කියල​. ස්වාහිලි භාෂාවෙන් "සිම්බා" කියන්නෙ සිංහයා. කැරැල්ලේ අනිකුත් නායකයන් වෙන්නෙ ගැස්ටන් සෝමියාලොට් සහ ලෝරන්ට් කබීලා.

මේ කැරැල්ල දැඩි ජාතිකවාදී ස්වරූපයක් ගන්නවා. කැරලිකරුවන් සාම්ප්‍රදායික අප්‍රිකාණු මතවාදීන් වන අතර​, ඔවුන් දැඩි විදේශීය විරෝධී පිළිවෙතක් අනුගමනය කරනවා.

කැරැල්ල පටන් අරන් ටික දවසකින්ම නැගෙනහිර කොංගෝවේ විශාල ප්‍රදේශයක් කැරලි කරුවන් යටතට පත් වෙනවා. 1964 අගෝස්තු මාසය වෙද්දි කැරලි කරුවන් ස්ටැන්ලිවිල් නගරය අල්ලා ගන්නවා. කැරලිකරුවන් සමඟ සටන් බිමට යන සාම්ප්‍රදායික යකැදුරන් නිසා කොංගෝ රජයේ සෙබළු ඔවුන්ට විරුද්ධව සටන් කරන්න බය වෙනවා. ස්ටැන්ලිවිල් නගරයට පහර දෙන්නෙ කැරලි කරුවන් 40 ක පිරිසක්. ඔවුන් නගරයට කඩා වදිද්දි 1500 ක රජයේ හමුදාව සටන් නොකරම පළා යනවා.

සිම්බා කැරලිකරුවන්
කැරලි කරුවන් "කොංගෝ මහජන ජනරජය" නමින් වෙනම රටක් ප්‍රකාශ කරනවා.

කැරලි කරුවන් තමාට යටත් වුන ප්‍රදේශ වල දේශපාලන විරුද්ධවාදීන් සහ සුදු ජාතිකයන්ට විරුද්ධව දරුණු භීෂනයක් දියත් කරනවා. දහස් ගණනක් ඝාතනය කෙරෙනවා.

අගෝස්තු මාසය අවසන් වෙද්දි 3000 ක පමණ කැරලි කාර හමුදාවක් කසායි ප්‍රාන්තයට කඩා වදිනවා. කසායි ප්‍රාන්තය කැරලි කරුවන් යටතට පත් වුනොත් කොංගෝ රජයේ පාලන ප්‍රදේශ දෙකට කැඩෙන නිසා ෂොම්බේ නැවතත්  විදේශීය කුලී හමුදා කැඳවන්න තීරණය කරනවා.

1964 අගෝස්තු මාසයේදී කොංගෝවේ තත්වය​
 කුලී හමුදාවන් ගෙන් සහය ලබන කොංගෝ රජයේ හමුදා කසායි ප්‍රාන්තයේ දී සිම් බා කැරලි කරුවන් ට දරුණු පරාජයක් ලබා දෙන්න සමත් වෙනවා.

කසායි ප්‍රාන්තයෙන් කැරලි කරුවන් ව පලවා හැරිය පසු රජයේ හමුදා කිවූ ප්‍රාන්තයේ අගනුවර වන ඇල්බට්විල් නගරය අල්ලා ගන්නවා. ඇල්බට්විල් නගරය අහිමි වීමෙන් කැරලිකරුවන්ට ටැන්සානියාවේ සිට එන යුධ ආධාර අහිමි වෙන නිසා ඔවුන් ගේ තත්වය නරක අතට හැරෙනවා.

කැරලි කරුවන් පසු බහිද්දි ෂොම්බේ ගේ කුලී හමුදාවන් ප්‍රතිභීෂනයක් දියත් කරනවා. දහස් ගණන් මරා දැමෙනවා. 

මරා දැමුණු කැරලි කරුවන්
1964 නොවැම්බර් මාසය වෙද්දි කැරලි හමුදාව ස්ටැන්ලිවිල් නගරයට කොටු කරන්න රජයේ හමුදා සමත් වෙනවා. ඔවුන් සුදු ජාතිකයන් 1800 ක් ප්‍රාන ඇපකරුවන් විදිහට රඳවා ගන්නවා.

ප්‍රාන ඇපකරුවන් මුදවා ගන්න ඇමරිකානු ගුවන් යානා වලින් බෙල්ජියම් පැරෂුට් සෙබළු ස්ටැන්ලිවිල් නගරයට ගොඩ බසිනවා. ඔවුන් කැරලි කරුවන් විනාශ කරලා ප්‍රාන ඇපකරුවන් මුදවා ගන්න සමත් වෙනවා. නමුත් ප්‍රහාරයෙන් ස්වදේශිකයන් 1000 ක් පමණ මිය යනවා.

ප්‍රහාරයට සහභාගී වුනු බෙල්ජියම් සෙබළු
මේ ප්‍රහාරයෙන් පස්සෙ සිම්බා කැරලිකරුවන් ගෙ බලය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා. ඔවුන් කොංගෝවේ නැගෙනහිර දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශ කීපයකට සීමා වෙනවා. කැරලි නායකයන් රටෙන් පලා ගිහින් විදේශ ගතව කැරල්ල මෙහෙයවනවා.

කිවුලු කැරැල්ලත් ඉක්මනින්ම මැඩ පවත්වන්න රජයේ හමුදාවන් සමත් වෙනවා. මුලේලේ රටෙන් පලා යනවා.

1965 අප්‍රේල් මාසයේදී චේ ගුවාරා සහ කියුබානු ගරිල්ලා සෙබළු පිරිසක් කැරලිකරුවන්ට උදව් කරන්න කොංගෝවට එනවා. නමුත් ඒ වෙද්දි කැරලි කරුවන් ගේ බලය සම්පූර්නයෙන්ම බිඳ වැටිලා අවසානයි. මාස කීපයක අසාර්ථක උත්සහයකින් පස්සෙ චේ සහ කියුබානුවන් ආපසු යනවා.

චේ කොංගෝවේ

 මැතිවරණය සහ මොබුටු බලයට පත්වීම​


1965 මාර්තු මාසයේ පවත්වන මැතිවරණයෙන් ෂොම්බේ ගේ කොංගෝ ජාතික සංගමය ආසන 167 න් 38 ක් ජයගෙන වැඩිම ආසන ගණනක් දිනා ගන්න පක්‍ෂය බවට පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතර සහය ඔහුට ලැබෙන්නෙ නෑ. පාර්ලිමේන්තු බලය කුඩා ප්‍රාදේශීය පක්‍ෂ ගණනාවක් අතරේ බෙදී යනවා. ෆෙඩරල් මොඩලයේ අසාර්ථක භාවය තහවුරු වෙනවා.

කසවුබු අගමැති ධූරය ෂොම්බේ ට නොදී එවරිස්ටේ කිම්බාට ලබා දෙනවා. නමුත් ඔහුටත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ. ඒකෙන් නැවතත් පාර්ලිමේන්තුව අර්බුධයට යනවා.

නොවැම්බර් 25 වෙනිදා මොබුටු නැවතත් බලය අල්ලා ගන්නවා. ඔහු කසවුබු සහ කිම්බා බලයෙන් පහ කරලා සියළුම බලය තමා වෙත පවරා ගන්නවා. අවුරුදු පහකින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න ඔහු පොරොන්දු වෙනවා.

කොංගෝවේ නැවතත් මැතිවරණයක් පැවැත්වෙන්නෙ 2006 දි.

පසු කතාව​


මොබුටු නැවතත් කොංගෝව මධ්‍යගත ජාතිකවාදයක් ඔස්සේ ගොඩ නංවනවා. ප්‍රාන්ත ගණන අඩු කරලා ඒවාට ලැබෙන බලතල අඩු කරනවා. "අප්‍රිකාණු කරන" වැඩ සටහනක් දියත් කරනවා. ඒ අනුව රටේ නම "සයරේ" ලෙස වෙනස් කරනවා. සියළුම ප්‍රධාන නගරවලට අප්‍රිකාණු නම් ලබා දෙනවා. ඒ අනුව ලියෝපෝල්ඩ්විල් නගරය කින්‍ශාෂා ලෙසත්, ස්ටැන්ලිවිල් නගරය කිසන්ගානි ලෙසත්, එළිසබෙත්විල් නගරය ලුබුම්බාෂි ලෙසත් නම් කෙරෙනවා.

සයරේ ධජය​
නමුත් මොබුටු ගේ පාලනය අන්ත දූෂිත සහ දැඩි මර්ධනකාරී එකක්. ඔහු තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන්ට රටේ ජාතික ධන කොල්ල කන්න ඉඩ දෙනවා. බටහිර රටවල් මොබුටු ට සහය දෙමින් කොංගෝවේ සොබාවික සම්පත් කොල්ලය දිගටම සිදු කරනවා.

ලුමුම්බා මරණයෙන් පස්සෙ අප්‍රිකාවේ ජාතික වීරයෙක් බවට පත් වෙනවා. අප්‍රිකාවේ යටත් විජිතවාදයට එරෙහි සටනේ සංකේතය වෙන්නෙ ලුමුම්බා. සෝවියට් දේශයේ මිත්‍රත්ව සරසවිය ඔහු නමින් නම් කෙරෙනවා.

මොබුටු දැඩි ඒකාධිපති පාලනයක් ගෙනියනවා. 1997 දී ලෝරන්ට් කබීලා ගේ කැරලි හමුදාව කොංගෝවේ බලය අල්ලා ගන්නවා. ඔහු මොරොක්කෝවට පලා යනවා. 1997 සැප්තැම්බර් 7 වෙනිදා ගුද මාර්ගයේ පිළිකාවකින් මිය යනවා.

කසවුබු බලයෙන් පහ කෙරුණු පසු දේශපාලනයෙන් සමු ගන්නවා. 1969 දී ඔහු තමාගේ ගොවිපොළේ දී මිය යනවා.

ෂොම්බේ මොබුටු ගේ බලය පැහැර ගැනීමෙන් පස්සේ නැවතත් ස්පාඤ්ඤයට පලා යනවා. මොබුටු ඔහුට මරණ දඬුවම නියම කරනවා. 1967 දී ඔහු ගමන් කළ ගුවන් යානය පැහැරගෙන ඇල්ජීරියාවට ගෙනියනවා. එහිදී ඔහු සිරගත කෙරෙනවා. 1969 දී ඔහු හෘදයාබාධයකින් මිය යනවා.

ගිසෙන්ගා මොබුටු බලයට පත් වීමත් සමඟම නිදහස් කෙරෙනවා. ඔහු සෝවියට් දේශයේ පදිංචියට යනවා. රටවල් ගණනාවක ජීවත් වෙන ගිසෙන්ගා 1993 දී නැවත කොංගෝවට ඇවිත් ලුමුම්බා වාදී දේශපාලන පක්‍ෂයක් හදනවා. 2006 සිට 2008 දක්වා කොංගෝවේ අගමැති ධූරයත් දරනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන ඔහු කොංගෝවේ ජාතික වීරයෙක් වශයෙන් නම් කෙරෙනවා.

අඩූලා ෂොම් බේ අගමැති වීමත් සමඟම රටින් පිටවෙනවා. මොබුටු බලය ලබා ගැනීමත් එක්කම නැවත කොංගෝවට ඇවිත් තානාපති ධූරයක් සහ ඇමති ධූරයක් දරනවා.1978 දී ඔහු මිය යනවා.

මුලේලේ රටෙන් පලා ගියත් මොබුටු බලය ලබා ගැනීමෙන් පසු ඔහුගේ ආරාධනයෙන් නැවතත් කොංගෝවට එනවා. එහිදී ඔහුව ඇස් උගුල්ලලා, අත් පා සහ ලිංගේන්.ද්‍රිය කපා දමලා මරා දැමෙනවා. ඔහුගේ සිරුර කොංගෝ නදියට විසි කරනවා.

ග්බෙන්.යේ උගන්ඩාවට පලා යනවා. මොබුටු බලයෙන් පහ වීමත් සමඟම නැවත කොංගෝවට එන ඔහු 2015 දී මිය යනවා.

කොංගෝව මොබුටු ගේ පාලනය අතරතුරත් ඉන් පසුවත් දුප්පත් රටක් විදිහට පවතිනවා. දිගින් දිගටම රටේ කැරලි සහ යුද්ධ ඇති වෙනවා. 1998 - 2003 දෙවෙනි කොංගෝ යුද්ධයෙන් මිලියන 5 ක් මිය යනවා.

අදටත් කොංගෝවේ පතල් කර්මාන්තය පාලනය කරන්නෙ විදේශීය සමාගම්.