Thursday, June 28, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 4 (සව්ම්)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)


ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)



හතරවැනි කුළුණ - සව්ම් (උපවාසය​)



රමදාන් කියන්නේ ඉස්ලාමීය කැලැන්ඩරයේ නව වැනි මාසය​. මෙය අරාබි බසින් නිවැරදිව උච්චාරනය කරන්නේ "රමදාන්" කියලා. සමහර අවස්ථා වලදී ඒක "රමසාන්" කියලත් යෙදෙනවා.

රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන්ට ඉතාමත් වැදගත් මාසයක්. ඒ නබි තුමාට දේව පණිවුඩය ලැබුනේ රමදාන් මාසයේදී වීම නිසා. මේ නිසා රමදාන් මාසය ඉස්ලාම් බැතිමතුන් ගත කරන්නේ ආගමට කැප වෙමින්.

"රමදාන්" කියන අරාබි වචනයේ තේරුම "ගිනිගෙන දැවෙන උණුසුම​" යන්නයි. ඒ රමදාන් මාසයේදී ඉස්ලාම් බැතිමතුන් තම දේව භක්තිය පිළිබිඹු කිරීම සඳහා උපවාසයේ නිරත වීම නිසා.

හදීසයන් ගේ දැක්වෙන අන්දමට "රමදාන් මාසය එළැඹෙද්දී පාරාදීසයේ ගේට්ටු විවර වෙන අතර​, නරකයේ ගේට්ටු වසා දැමේ. සියළුම යක්‍ෂයන් දම්වැල් වලින් බැඳ දමයි."


ඉතිහාසය​


දෙවියන් වෙනුවෙන් උපවාස කිරීම මැද පෙරදිග කලාපයේ ඉස්ලාමයට පෙර සිට පැවත එන සිරිතක්. ඒක නබි තුමා විසින් විධිමත් ආකාරයෙන් ඉස්ලාමීය සිරිත් තුලට අවශෝෂනය කරගෙන තියෙනවා.

රමදාන් උපවාසය සියළුම මුස්ලිමුන්ට අනිවාර්‍ය වෙන්නේ ක්‍රි.ව​. 624 දී. ඒ නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයන් මෙකාවේ සිට මදීනාවට පැමිණ මාස 18 කට පසු. ඒ ආඥාව දෙවියන් ගෙන් ලැබුන එකක්. ඒ බව කුරානයේ දෙවැනි පරිච්ඡේදයේ (සුරාහ්-අල්-බකරාහ්) 185 වැනි පැදියේ සඳහන්.


රමදාන් මාසයේ ආරම්භය සහ නිමාව​


ඉස්ලාමීය කැලැන්ඩරයේ ඕනෑම මාසයක් ආරම්භ වන්නේ නව සඳ හෙවත් "හිලාල්" දර්ශනය වීමෙන්. රමදාන් මාසයේ නව සඳ දර්ශනය වීමත් සමඟම රමදාන් මාසය ඇරඹෙන අතර​, ඊළඟ නව සඳ දර්ශනය වීමත් සමඟම රමදාන් මාසය අවසන් වෙනවා.


රමදාන් මාසය අවසන් වන දවස මුස්ලිම් වරුන්ට උත්සව දිනයක්. එය "ඊද් අල්-ෆිත.ර්" නමින් හැඳින්වෙනවා.


රමදාන් උපවාසය කළ යුතු අය සහ නොකළ යුතු අය​


රමදාන් මාසයේ දෙවියන් වෙනුවෙන් උපවාස කළ යුතු සහ නොකළ යුතු අය කුරානයේ පැහැදිලිවම දක්වා තියෙනවා.

සියළුම වැඩිහිටි ඉස්ලාම් බැතිමතෙක්ම රමදාන් උපවාසයට සහභාගී විය යුතුයි.

නමුත්, පහත සඳහන් අයට එහි නිරත නොවීමට අවසර ලැබෙනවා.

1. රෝගීන්
2. මහළු අය​
3. දුර බැහැර ගමනක් යන අය​
4. ගැබිණි මව්වරු
5. කිරි දෙන මව්වරු
6. දියවැඩියාවෙන් පෙළෙන අය​
7. මාසික ශුද්ධිය සිදු වන කාන්තාවන්

මේ අය රමදාන් මාසයේ තමාට උපවාස කිරීමට නොහැකි වන දින ගණන අවුරුද්දේ වෙනත් කාලයක උපවාසයේ නිරත වීමෙන් හිලව් කළ යුතුයි.


රමදාන් උපවාසය​


රමදාන් මාසයේ මුස්ලිම් වරයෙක් සිදු කළ යුතු ප්‍රධානම වතාවත උපවාසයේ යෙදීම​. සෑම දිනකම උදෑසන සිට සවස දක්වා කාලය තුල උපවාසය කළ යුතුයි.

උපවාසය ඇරඹීම සහ උපවාසයෙන් මිදීම සටහන් වෙන්නේ "සලාත්​" (යාඥා කිරීම​) මගින්. උපවාසය ඇරඹෙන්නේ "සලාත් අල්-ෆජ්.ර්" (උදෑසන යාඥාව​) සමඟම​. උපවාසයෙන් මිදෙන්නේ "සලාත් අල්-මග්‍රිබ්" (බටහිර යාඥාව​) එක්ක​.

මුස්ලිම් වරු උදෑසන යාඥාවට කලින් සැහැල්ලු ආහාරයක් ගන්නවා. ඒ දහවල් දවස පුරා සිදු කරන උපවාසයට සූදානම් වීමක් විදිහට​. මේ ආහාරය හඳුන්වන්නේ "සුහූර්" නමින්. හිමිදිරි පාන්දර ගැනෙන මේ ආහාරය බොහෝ විට කැඳ හෝ ඕට්ස් වැනි ආහාරයක්.


උපවාසය සිදු කරන අතරතුර ආහාර ගැනීම​, වතුර පානය කිරීම​ සහ දුම් පානය සම්පූර්නයෙන්ම තහනම්. උපවාසයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය සහතික කිරීම සහ කායික​, වාචික සහ මානසික සංවරය ඇති කිරීම​.

උපවාසයෙන් මිදෙන්නේ සවස් කාලයේ ආහාර ගැනීමෙන්. සාම්ප්‍රදායිකව පළමුවෙන්ම කෑමට ගන්නේ රට ඉඳි ගෙඩි තුනක්. ඒ නබි තුමා උපවාසයෙන් මිදුනු පුරුද්ද අනුගමනය කරමින්. නමුත් මේක අනිවාර්‍ය දෙයක් නෙවෙයි. තමාට කැමති ඕනෑම ආහාරයක් ගන්න පුළුවන්.

උපවාසයෙන් මිදුනු පසු ගන්නා සවස ආහාර වේල හැඳින්වෙන්නේ "ඉෆ්තාර්" නමින්. ඉෆ්තාර් කෑම වේල බොහෝ විට සාමූහිකව ගැනෙනවා.



ඉන් පසු මුස්ලිම්වරු බටහිර යාඥාව සඳහා පල්ලියට යා යුතුයි.


වෙනත් සිරිත් විරිත්


රමදාන් මාසයේ මුස්ලිම් වරු පිළිපදින එකම වතාවත උපවාසය නෙවෙයි. ඊට අමතරව තවත් පිළිවෙත් ගණනාවක් අනුගමනය කළ යුතුයි.

ඉස්ලාමයේ දිළින්දන්ට දන් දීම කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමාගේ ඉතිරිකිරීම් වලින් 2.5% වශයෙන් අනිවාර්‍යයෙන් දිය යුතු "සකාත්" දානය සහ ඊට අමතරව තම කැමැත්ත පරිද්දි දෙන "සදකා" දානය​. රමදාන් මාසයේදී මුස්ලිම්වරු වැඩි වැඩියෙන් සකාත් සහ සදකා දන් දීමේ නිරත වෙනවා.

මුස්ලිම් වරයෙක් සාමාන්‍යයෙන් දිනකට පස් වතාවක් යාඥා කළ යුතුයි. නමුත් රමදාන් මාසයේදී රාත්‍රී කාලයට තවත් අමතර යාඥාවක් පැවැත්වෙනවා. එය හැඳින්වෙන්නේ "තරවිහ්" නමින්. තරවිහ් යාඥාවේදී කුරානයෙන් තිහෙන් එකක කොටසක් ("ජුස්") කියැවීම සිදු කෙරෙනවා. එතකොට මාසය සම්පූර්න වෙද්දී සම්පූර්න කුරානයම කියැවිලා.

ඊට අමතරව හැකි සෑම විටකම කුරාන පාඨ කියැවීම රමදාන් මාසයේදී සිදු කෙරෙනවා.

රමදාන් මාසය තුල උදෑසන සහ බටහිර යාඥා අතරතුර (උපවාසය සිදු කෙරෙන කාලසීමාව ඇතුලත​) කිසිදු ලිංගික සබඳතාවයක් නොපැවැත්විය යුතුයි.

ඒ වගේම රමදාන් මාසය තුල පරුෂ වචන කතා කිරීම​, ශාප කිරීම​, කේලාම් කීම​, අපහාස කිරීම ආදියෙන් වැලකී උපරිම වාචික සංවරය පවත්වා ගැනීමට මුස්ලිම් වරු උත්සහ කරනවා.

රාමදාන් මාසය තුල කෝප ගැනීම සහ ද්වේෂ සහගත සිතුවිලි ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආත්මාරක්‍ෂාවට හැර කිසිම කෙනෙක්ට කායික හිංසාවක් නොකළ යුතුයි.


ඊද්


රමදාන් උපවාසය අවසන් වෙන්නේ "ඊද් අල්-ෆිත්.ර්" උත්සවයෙන්. එහිදී ප්‍රධාන වතාවත් දෙකක් සිදු කෙරෙනවා.

පළමුවැන්න "සකාත් අල්-ෆිත්.ර්" නමින් හැඳින්වෙන දුප්පතුන් සඳහා දෙන දානයක්. මෙහිදී බොහෝ විට ලබා දෙන්නේ ධාන්‍ය වර්ග​.

දෙවැන්න "සලාත් අල්-ෆිත්.ර්" නමින් හැඳින්වෙන විශේෂ ඊද් යාඥාව​. මෙය රමදාන් මාසයෙන් පසු එළැඹෙන පළමුවන දවසේ උදේ වරුවේ පැවැත්වෙනවා.

"ඊද් අල්-ෆිත්.ර්" උත්සවය විශේෂ කෑම වර්ග පිළියෙල කිරීමෙන් සමරනවා. ලංකාවේදී නම් වටලප්පන් වැනි ආහාර ඊද් උත්සවයේදී සුලභයි.

ඉස්ලාමයේ කුළුණු පහ - 3 (සකාත්)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)


ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


තුන්වැනි කුළුණ - සකාත් (දානය​)



සකාත් ලෙස හැඳින්වෙන්නේ සියළුම මුස්ලිම් වැඩිහිටියන් විසින් කළ යුතු දන් දීම​.

මේ දානය අනිවාර්‍ය දානයක් නිසා සමහර අවස්ථා වලදී බද්දක් ලෙසත් හැඳින්වෙනවා. දන් දිය යුතු ප්‍රමානය තීරණය වෙන්නේ තමාට හිමි වත්කම් වලින් ප්‍රතිශතයක් විදිහට​.

සකාත් මගින් මුස්ලිම් සමාජයේ සාමූහික බව ශක්තිමත් කෙරෙන අතර, යම්කිසි පුද්ගලයෙක් ගේ පුද්ගලික ධනය කෙරෙහි සමාජයට අයිතිවාසිකමක් ඇත යන්න තහවුරු කෙරෙනවා. මේක ඉතාම වැදගත් සංකල්පයක්.


නිසාබ්


සකාත් ගෙවීමට සුදුසුකම් ලැබීමට නම් මුස්ලිම් වරයෙක්ට තිබිය යුතු අවම ධනය "නිසාබ්" කියල හැඳින්වෙනවා

ඒ ඒ වත්කම අනුව පනලවා තියෙන නිසාබ් සීමාව මේ වගේ.

මුදල් - රන් කාසි (දිනාර්) 20 හෝ රිදී කාසි (දිරාම්) 200
ධාන්‍යය - වස්ක් 5 (කිලෝග්‍රෑම් 610)
ඔටුවන් - 4
හරක් - 30
එළුවන් සහ බැටළුවන් - 40

ව්‍යාපාර වලින් ලැබෙන ආදායම සහ වැටුප් සකාතයෙන් නිදහස්.


සකාත් ගණනය කිරීම​


සකාත් දිය යුතු ප්‍රමානය ගණනය කරන්නේ වත්කමේ ප්‍රතිශතයක් විදිහට​. මේ ප්‍රතිශතය වත්කම අනුව වෙනස් වෙනවා. මෙය මුදල් වලට නම් 2.5% ක්. ධාන්‍යය සහ සතුන් සඳහා මේ ප්‍රතිශතය 2.5% සිට 20% දක්වා වෙනස් වෙනවා.


සකාත් දීම​


සකාත් දානය එකතු කිරීම සඳහා විශේෂ කමිටු පිහිටුවලා තියෙනවා. සමහර රටවල මේ කමිටු රාජ්‍ය ආයතන හැටියටත් අනෙක් රටවල මේවා සිවිල් සංවිධාන විදිහටත් පවත්වාගෙන යනවා. මේ කමිටු මගින් එක් කරන දානය ඔවුන් සකාත් ලැබීමට සුදුසු පුද්ගලයන් අතරේ බෙදා දෙනවා.

සකාත් ලැබීමට සුදුසු පුද්ගලයන් ලෙස ඉස්ලාමයේ දැක්වෙන්නේ පහත සඳහන් අය​.

1. දුප්පතුන්. ජීවත් වීමට ක්‍රමයක් නොමැති අය​.
2. තමාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට අපොහොසත් අය​.
3. සකාත් එකතුකරන්නන්.
4. ඉස්ලාමයට හිතවත් (මුස්ලිම් නොවන​) අය​, ඉස්ලාමය වැළඳගැනීමට බලාපොරොත්තු වන අය​, අළුතින් ඉස්ලාමය වැළඳගත් අය​.
5. වහලුන් (වහල් සේවයෙන් නිදහස් කිරීම සඳහා)
6. තමාගේ මූලික අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා ණය වූ අය​.
7. දෙවියන් විසින් සටන් කරන අය​.
8. අතරමං වූ, අසරණ වූ සංචාරකයන්.

තමාගේ ළඟ ඥාතීන්ට සහ මුහම්මද් තුමාගේ පවුලේ අයට සකාත් ලබාදීම නොකළ යුතුයි.


සදකා


සදකා නමින් හැඳින්වෙන්නේ සකාත් දන් දීමට අමතරව මුස්ලිම් වරයෙක් විසින් කළ හැකි ස්වේච්චාවෙන් සිදු කරන දන් දීම්. මේ දන් දීම් තමාට කැමති ප්‍රමානයකින් ලබා දිහ හැකියි.

දිවෙහි රාජ්ජේ ජනකතා - 51 (උපාසක බළලා​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

උපාසක බළලා


දවසක් පූසෙක්ට රිහාකුරු (මාළු වලින් හදන කෑමක්) දාපු වීදුරු භාජනයක් හම්බ වුනා. ඒ භාජනයේ කට පොඩියි. ඒත් රිහාකුරු සුවඳ ඉවසගෙන ඉන්න බැරි වුන පූසා අමාරුවෙන් ඔළුව ඇතුලට දාලා ඇති වෙනකං රිහාකුරු කෑවා. පූසට තමන් කරපු මෝඩකම තේරුනේ ආපහු ඔළුව එළියට ගන්න බැරි වුනාම​. ඌ බයවෙලා පිස්සුවෙන් වගේ ඒ මේ අත දඟලද්දි භාජනය බිත්තියක හැප්පිලා කැඩුනා. පූසගෙ ඔළුව නිදහස් වුනත් භාජනයේ කට පූසගෙ බෙල්ල වටේට මාලයක් වගේ රැඳිල තිබුනා.

කරගන්න දෙයක් නැති නිසා පූසා භාජනයේ කට බෙල්ල වටේ තියෙද්දිම යන්න ගියා. ඒත් හදිසියේම පාරෙ තිබ්බ වතුර වලකින් ඌ උගේ ඡායාව දැක්කා. ඉර එළියට වීදුරු කටු දිලිසෙනවා. තමන් හරිම ලස්සනයි කියල පූසට හිතුන​. ඌ එතැන ඉඳල ඇවිදගෙන ගියේ හරිම ආඩම්බරෙන්.

ඇවිදගෙන යද්දි පූසට මීයෙක් හම්බ වුනා. පූසා දැකපු මීය බයවෙලා දුවන්න හැදුවා. ඒත් පූසා නිවුනු කටහඬකින් මීයට කතා කලා.

"ඇයි උඹ දුවන්නෙ? උඹ මට බය වුනාද​?"

"උඹ පූසෙක් නෙ. උඹ මාව කයි"

පූසා හිනා වුනා.

"මම වෙන පූසො වගේ නෙවෙයි. මම බොහොම ආගම දහමට ලැදි පූසෙක්. බලපන් මගේ බෙල්ල වටේ තියෙන "තස්බිහා" (යාඥා සඳහා යොදාගන්න ඇට මාලයක්) දිහා. මම දවල් කාලය ගත කරන්නෙ උපවාසයෙන්. රාත්‍රී කාලය ගත කරන්නෙ යාඥා කරමින්. ඉතින් මම කොහොමද උඹට කරදරයක් කරන්නෙ."

මීය ටිකක් හිතල බැලුව​. මේ පූසා වෙන පූසො වගේ නෙවෙයි. ඇවිදගෙන ආවෙ බොහොම උජාරුවන්. බෙල්ල වටේ තස්බිහා මාලයක් තියෙනවා. කතා කරන්නෙ බොහොම නිවිච්ච විදිහට​. ඒ මදිවට හැමදාම දවල්ට උපවාස කරනවා!

"හොඳයි අපි ඇවිදින ගමන් කතා කරමු. උඹ කොහෙද යන්නෙ?"

"මම ආවෙ දුර බැහැර දූපතක ඉඳලා. අපේ නැන්දගෙ දුවට මේ දවස් වල බබා හම්බෙන්න ළඟයි. මම ආවෙ ඒකට උදව් කරන්න​. ඒත් එයාලගෙ ගෙදර අමුත්තො පිරිලා. මට රෑ නවතින්න තැනක් නෑ. මම මේ නවතින්න තැනක් හොයන ගමන්. මට උඹේ ගෙදර නවතින්න පුළුවන් ද​?"

මීය කැමති වුනා. මේ වගේ වැදගතෙක් තමාගෙ ගෙදර නවතින එක මීය සැලකුවේ ලොකු ගෞරවයක් විදිහට​. ඌ පූසව තමාගෙ ගෙදරට එක්කරගෙන ගියා.

මීයට කිරි බොන වයසෙ පොඩි පැටව් හත් දෙනෙක් හිටිය​. ඒ නිසා ගෙදර ඉඩකඩ ටිකක් මදි වුනත් මීය බඩු මුට්ටු එහෙ මෙහෙ කරල පූසට නිදාගන්න තැනක් හදල දුන්නා.

පහුවදා උදේ බලද්දි මී පැටියෙක් අඩුයි. මීය බොහොම කලබල වෙලා පූසගෙන් ඒ බව ඇහුවා.

"මම උඹට කිව්ව නෙ මම දවල් කාලය උපවාසයෙන් සහ රාත්‍රී කාලය යාඥාවෙන් ගත කරන බව​? ඉතින් මම කොහොමද උඹේ පැටියෙක්ට අනතුරක් කරන්නෙ. මම ඊයෙ රෑ පල්ලියටත් ගියා. ඉතින් මම කොහොමද මේ වගේ අපරාධයක් කරන්නෙ. මම කැමති නෑ මේ වගේ චෝදනා කරන තැනක තව දුරටත් ඉන්න​. මම අදම වෙන තැනක් හොයා ගන්නවා."

පූසා බොහොම වේදනාවෙන් කිව්වා.

මීයා කණගාටුවුනා මේ වගේ ආගම දහමට ලැදි වැදගතෙක් සැක කිරීම ගැන​.

"මට සමාවෙන්න​. මම ආයෙ උඹව සැක කරන්නෙ නෑ. මගේ ගෙදරින් යන්න එපා."

පූසා ටිකක් හිතල බලල දිගටම නවතින්න කැමති වුනා.

හැමදාම රෑට මී පැටියෙක් අතුරුදහන් වුනා. ඒත් මීය පූසව සැක කරේ නෑ. ඔය විදිහට සතියක් ගත වුනා. මී පැටව් හත් දෙනාම අතුරුදහන් වුනා.

අටවෙනි දවසෙ රෑ මීයා එක පාරටම රෑ මැද අවදි වුනේ තමා ළඟ කවුදෝ ඉන්නව දැනිල​. ඒ පූසා. ඌ මීය ළඟටම ඇවිත් තොල කට ලෙවකකා බලාගෙන ඉන්නවා.

"උඹ මොකද මේ කරන්නෙ?"

"මම උඹව කන්නයි යන්නෙ."

මීයට තමන් කරපු මෝඩකම වැටහෙද්දි පූසගෙ දත් පාරවල් උගේ බෙල්ල වටේට තද වෙලා ඉවරයි෴



- කතාව කිව්වේ ගාගේ නයිමා (මාලේ දූපත​)

අටුවාව

1. රිහාකුරු සහ ගරුදිය

රිහාකුරු සහ ගරුදිය කියන්නෙ මාලදිවයිනටම විශේෂ කෑම වර්ග දෙකක්. ඒවා හදන්නෙ බලමාළු වලින් උම්බලකඩ හදද්දි අතුරු ඵලයක් විදිහට​.

උම්බලකඩ හදන්නෙ ටූනා මාළු කූරි දීර්ඝ කාලයක් ලුණු වතුරේ තම්බලා. තැම්බිල ඉවර වුනාම මාළු කූරි වතුරෙන් ඉවත් කරල අව්වේ වේලනවා. මාළු තම්බපු වතුර ලුණු රසැති සුප් එකක් විදිහට ඉතුරු වෙනවා. මාළුවගේ ලේ සහ වෙනත් කොටස් මේ වතුරට කාවැදිල තියෙන නිසා මේක පෝෂන ගුණයෙන් උසස්. මේ මාළු සුප් එකට බැද්පු මිරිස්, සුදුළූණු, ළූණු, කරපිංචා, දෙහි සහ තම්බපු මාළු කෑලි එක් කරගැනීමෙන් තමයි "ගරුදිය​" හදන්නෙ. ගරුදිය බත් හෝ රොෂී (තුනී රොටී වර්ගයක්) එක්ක කෑමට ගන්න පුළුවන්.



මාළු සුප් එක ගරුදිය හදන්න පාවිච්චි කරන්නෙ නැතුව ඒකට "බොන්ඩි"හෙවත් මාළුකටු වලින් සූරා ගන්න මාළු කොටස් වලින් හදපු බෝල එක් කරලා වතුර සම්පූර්නයෙන්ම වගේ හිඳෙනකන් මද ගින්නේ දීර්ඝ කාලයක් තැම්බීමෙන් තමයි රිහාකුරු හදන්නෙ. රිහාකුරු වල පාට සහ සොබාවය මාමයිට් වලට සමානයි.  තරමක තිත්ත රසක් සහ මාළු රස මුසු වුන රසයකින් යුක්තයි. බත්, රොෂී, අල හෝ දෙල් වගේ ප්‍රධාන කෑමක් කනකොට රස කාරකයක් විදිහට රිහාකුරු පාවිච්චි කරනවා.



2. තස්බිහා

"තස්බි" කියල හඳුන්වන්නේ ඉස්ලාමයේ එන භාවනා ක්‍රමයක්. මෙහිදී කරන්නේ "අල්ලහ් හු අක්බර්" (දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි), "අල් හම්දු ලිල්ලාහ්" (දෙවියන්ත ස්තූති වේවා) "සුභානා ල්ලාහ්" (දෙවියන්ට කීර්තිය අත්වේවා) වගේ පාඨයක් නැවත නැවත කීම​. මෙහිදී සමහර වෙලාවට ඇටමාලයක් පාවිච්චි කරනවා. මේ ඇට මාලය හඳුන්වන්නේ "තස්බිහා" නමින්. 


Thursday, June 21, 2018

මැග්යාර් මායාකාරයෝ - 1


මැග්යාර් කියන්නේ ක්‍රි.ව​. 900 දී පමණ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් වල ඉඳලා මධ්‍යම යුරෝපයට සංක්‍රමනය වුන ජන වර්ගයක්. ඔවුන් වර්තමාන හන්ගේරියාව ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි වෙනවා. අද වන විට හන්ගේරියාවේ ජනගහණයෙන් 90% පමණ මැග්යාර් වරුන් ගෙන් පැවත එන අය​.

ඒත් මේ කියන්න යන්නේ මැග්යාර් වරු ගැන නෙවෙයි. "මැග්යාර් මායාකාරයෝ" (Magical Magyars) කියල හැඳින්වුන පාපන්දු කණ්ඩායමක් ගැන​. ඒ 1949-1956 කාලයේ හන්ගේරියානු ජාතික පාපන්දු කණ්ඩායම​. ලෝක පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුන හොඳම කණ්ඩායම කියල සැලකෙන්නේ ඔවුන්.

මැග්යාර් මායාකාරයන් ගේ කතාව ඇතුලේ පාපන් දු වගේම දේශපාලනය සහ ඉතිහාසයත් නොමදව මුසු වෙලා තියෙනවා.

දෙවෙනි ලෝක යුද්ධය සහ ඉන් පසු හන්ගේරියාව​


දෙවෙනි ලෝක යුද්ධයේදී හන්ගේරියාව නාසි ජර්මනිය සමඟ සන්ධාන ගත වෙනවා. ඔවුන් සෝවියට් දේශයේ ආක්‍රමනයට ක්‍රියාකාරීව සහභාගී වන අතර හන්ගේරියාවේ ජීවත් වූ යුදෙව්වන් ඝාතනය කිරීම සඳහා ජර්මනුන්ට විශාල සහයක් ලබා දෙනවා. දෙවෙනි ලෝක යුධ සමයේ යුරෝපීය රටවලින් තුන්වෙනියට වැඩිම යුදෙව්වන් පිරිසක් ඝාතනය කරන්නේ හන්ගේරියාවේ (සෝවියට් දේශය සහ පෝලන්තයට පසු). ඒ මිලියන 0.5 හෙවත් යුද්ධයට පෙර යුදෙව් ජනගහණයෙන් 67% ක්.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙන්නේ හන්ගේරියාව සෝවියට් හමුදාවට යටත් වීමෙන්. 1945 පැවැත්වෙන මහ මැතිවරණයෙන් ජාතිකවාදීන් ජයග්‍රහනය කළත් සෝවියට් දේශයේ බලපෑම යටතේ කොමියුනිස්ට් වරු සමඟ සභාග රජයක් පිහිටුවන්න ඔවුන්ට සිදු වෙනවා. දූෂිත මැතිවරණ සහ විරුද්ධවාදීන් මර්ධනය කිරීම මගින් ක්‍රමයෙන් රජයේ බලය නතු කර ගැනීමට කොමියුනිස්ට් වරු සමත්වෙනවා. 1949 දී රටේ තනි බලය කොමියුනිස්ට් වරුන් අතට පත් වෙනවා.

මැග්යාර් මායාකාරයෝ බිහිවෙන්නේ ඒ පසුබිම තුල​.


ගුස්ටාව් සෙබෙස්



ගුස්ටාව් සෙබෙස් කියන්නේ පාපන්දු ක්‍රීඩකයෙක් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරියෙක්. 1949 දී ඔහුට හන්ගේරියානු රජය විසින් හන්ගේරියාවේ පාපන්දු ක්‍රීඩාව ගොඩනැංවීමේ වගකීම පවරනවා.

එවකට ලෝකයේ ප්‍රචලිත තෝරාගැනීමේ ක්‍රමය වුනේ රටේ දක්‍ෂම ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තේරීම​. නමුත් සෙබෙස් ඊට වඩා වෙනස් අදහසක් දැරුවා. ඔහුට උවමනා වුනේ දක්‍ෂම ක්‍රීඩකයන් නෙවෙයි. දක්‍ෂම කණ්ඩායම​.

තනි ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයන් ගෙන් ජාතික කණ්ඩායම තේරුවොත් අවුරුද්ද පුරාම එකට ක්‍රීඩා කරන නිසා ඔවුන් කණ්ඩායමක් වශයෙන් වඩා හොඳින් තරග කරනු ඇති බවයි සෙබෙස් ගේ මතය වුනේ.

1949 දී හන්ගේරියාව කොමියුනිස්ට් රාජ්‍යයක් වීමෙන් මේ මතය අත්හදා බැලීමේ අවස්ථාව සෙබෙස්ට හිමි වෙනවා. ඒ රජය විසින් සියළුම ක්‍රීඩා සමාජ ජනසතු කිරීම නිසා.

සෙබෙස් තමාගේ සමාජය විදිහට තෝරාගන්නේ බූදපෙස්ට් හි කිස්පෙස්ට් පාපන්දු සමාජය​. ඔහු එය හන්ගේරියානු යුධ හමුදාවට පවරාගෙන එය හමුදා ක්‍රීඩා සමාජය ලෙස පවත්වාගෙන යනවා. එහි නම "හොන්වේඩ්" ලෙස වෙනස් කෙරෙනවා මේ හොන්වේඩ් සමාජය තමයි සෙබෙස් ගේ සුපිරි කණ්ඩායමේ තිඹිරිගෙය වෙන්නේ.

ඉන්පසු සෙබෙස් කරන්නේ තමාට අවශ්‍යය ක්‍රීඩකයන් හොන්වේඩ් සමාජයට බඳවා ගැනීම. මේ සඳහා ඔහු පාවිච්චි කරන්නේ හන් ගේරියාවේ එවකට තිබූ අනිවාර්‍ය හමුදා සේවයේ නිරත වීමේ නීතිය. එමගින් ඔහු තමාට අවශ්‍ය ක්‍රීඩකයන් හමුදාවට බඳවාගෙන ඔවුන් හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයන් බවට පත් කරගන්නවා.

සෙබෙස් හන්ගේරියානු ජාතික කණ්ඩායමට තෝරා ගන්නේ ප්‍රධාන වශයෙන් හොන්වේඩ් සමාජයේ ක්‍රීඩකයන්. ඊට අමතරව බූදපෙස්ට් නගරයේම "MTK බූදපෙස්ට්" ක්‍රීඩා සමාජයත් ජාතික කණ්ඩායමට දායකත්වයක් දක්වනවා. අනෙකුත් සමාජ වල ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තෝරා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්.


මායාකාරයෝ


හන්ගේරියානු ජාතික කණ්ඩායම ගොඩනැගෙන්නේ ප්‍රධාන ක්‍රීඩකයන් හය දෙනෙක් වටා.

ෆෙරෙක් පුස්කාස්

 


කණ්ඩායමේ නායකයා වුන​ පුස්කාස් සැලකෙන්නේ ලෝක ඉතිහාසයේම බිහිවුන දක්‍ෂතම ප්‍රහාරකයෙක් විදිහට​. වම් පාදයෙන් ඉතාම වේගවත් ප්‍රහාර එල්ල කල හැකි ක්‍රීඩකයෙක් ලෙස ප්‍රචලිත වුන පුස්කාස් අති දක්‍ෂ ධාවකයෙක් වගේම විශිෂ්ඨ​ පන්දුව ස්ථානගත කරන්නෙක්. ඔහු හන්ගේරියාව වෙනුවන් තරග 85 කදී ගෝල 84 ක් ලබාගත්තා. පුස්කාස් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

සාන්ඩොර් කොචිස්

 


තරුණ ක්‍රීඩකයෙක් සහ දක්‍ෂ ප්‍රහාරකයෙක් ලෙස ප්‍රසිද්ධ වුන කොචිස් හිසෙන් පහරදී ගෝල ලබා ගැනීමේ අති දක්‍ෂයෙක්. මේ නිසාම ඔහුට "රත්තරන් හිසක් සහිත මිනිසා" යන නම පටබැඳුනා. හන්ගේරියානු කණ්ඩායමේ ප්‍රධාන ගෝල් රැස්කරන්නා වූ කොචිස් හන්ගේරියව වෙනුවෙන් තරග 68 කදී ගෝල 75 ක් ලබා ගත්තා. කොචිස් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

නාන්ඩොර් හිඩෙග්කුටි

 


හන්ගේරියානු කණ් ඩායමේ මධ්‍ය ප්‍රහාරකයා (center forward) ලෙස කටයුතු කළ හිඩෙග්කුටි ඔවුන් ගේ උපක්‍රමවල වැදගත් තැනක් ඉසිලුවා. අති දක්‍ෂ පන්දු ස්ථානගත කරන්නෙක් වූ හිඩෙග්කුටි ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්‍ෂකයන් අන්ද මන්ද කළ ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකටයි. ඔහු හන්ගේරියාව වෙනුවෙන් තරග 69 කදී ගෝල 39 ක් ලබා ගත්තා. හිඩෙග්කුටි නියෝජනය කළේ MTK බූදපෙස්ට් කණ්ඩායම​.

සොල්තාන් සීබොර්

 


වේගවත් ධාවනයක්, අති දක්‍ෂ පන්දු හැසිරවීමක් සහ ප්‍රභල පහරක් හිමි ක්‍රීඩකයෙක් වූ සීබොර් පැති ප්‍රහාරකයෙක් (wing forward) ලෙස කටයුතු කළා. ඔහු හන්ගේරියාව වෙනුවෙන් තරග 43 කදී ගෝල 17 ක් ලබා ගත්තා. සීබොර් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

ජෝෂෙෆ් බොෂික්



මැදපෙළ ක්‍රීඩකයෙක් වුන බොෂික් තාක්‍ෂනික අතින් වගේම උපක්‍රම අතින් ද ඉතාමත් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙක්. පන්දුව ප්‍රතිවාදී පිලෙන් ඩැහැගෙන ප්‍රති ප්‍රහාරයක් සඳහා තම සගයන් මෙහෙයවීමට බොෂික් අති දක්‍ෂයෙක් වුනා. ඔහු හන්ගේරියාව වෙනුවෙන් තරග 101 කදී ගෝල 11 ක් ලබා ගත්තා. බොෂික් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.

ගියුලා ග්‍රොචිස්



"කළු දිවියා" යන අන්වර්ත නාමයෙන් හැඳින්වුන ග්‍රොචිස් කණ්ඩායමේ දැල රකින්නා. තම දැල රැකීමේ සීමාවෙ පිටතට පැමිණ ආරක්‍ෂක ක්‍රීඩයෙක් ලෙස ක්‍රීඩා කිරීමේ සම්ප්‍රදාය මුල්වරට හඳුන්වාදුන්නේ ග්‍රොචිස්. ඔහු හන් ගේරියාව වෙනුවෙන් තරග 86 කට සහභාගී වුනා. ග්‍රොචිස් නියෝජනය කළේ හොන්වේඩ් ක්‍රීඩා සමාජය​.


මීට අමතරව කණ් ඩායමේ ප්‍රමුක සාමාජිකයන් ලෙස ජෙනෝ බුසාන්ස්කි (ආරක්‍ෂක​), මිහාලි ලැන්ටෝස් (ආරක්‍ෂක​), ගියුලා ලෝරන්ට් (ආරක්‍ෂක​), ජෝෂෙෆ් සකාරියාස් (මැදපෙළ​), ලැස්ලෝ බුදායි (පැති ප්‍රහාරක​), ජෝෂෙෆ් ටොත් (ප්‍රහාරක​) වැනි ක්‍රීඩකයන් කැපී පෙනුනා.


කණ්ඩායම් උපක්‍රම​


සෙබෙස් තමාගේ කණ්ඩායම ගොඩනැංවුයේ ප්‍රධාන උපක්‍රම තුනක් උඩ​. ඒ ශාරීරික යෝග්‍යතාවය​, 2-3-3-2 කණ්ඩායම් සැකසුම සහ නම්‍යශීලී ක්‍රීඩකයන් ස්ථානගත කිරීම​.

ඒ කාලයේ පාපන්දු ක්‍රීඩකයන් අද තරම් ශාරීරික යෝග්‍යතාවය ගැන සැලකිලිමත් වුනේ නෑ. නමුත් සෙබෙස් තමාගේ ක්‍රීඩකයන් දැඩි ශාරීරික යෝග්‍යයතා වැඩසටහනක් යටතේ පුහුණු කරනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ හන්ගේරියානු ක්‍රීඩකයන් ගේ වේගවත් ක්‍රීඩා විලාශය ඉදිරියේ අනෙකුත් කණ්ඩායම් පසු බැසීම​.

ඊළඟට සෙබෙස් තම කණ්ඩායම් සැකසුම විදිහට තෝරා ගන්නේ 2-3-3-2 සැකැස්මක්. මේ සැකැස්ම ලෝකයේ ප්‍රථම වරට යොදා ගන්නේ හන්ගේරියානුවන්.


මේ සැකැස්මේ ප්‍රධානම විශේෂත්වය වුනේ මධ්‍ය ප්‍රහාරකයා (center forward) අනෙකුත් ප්‍රහාරකයන් දෙදෙනාට වඩා බොහෝ පසුපසින් ස්ථානගත කිරීම​. එකල සම්ප්‍රදාය වුනේ මධ්‍ය ප්‍රහාරකයා අනෙක්ත් ප්‍රහාරකයන්ට ඉදිරියෙන් සිට ප්‍රහාරය මෙහෙයවීම​. ඒ අනුව එකල ආරක්‍ෂනය සමන්විත වුනේ ප්‍රතිවාදී පිලේ මධ්‍ය පසුපෙළ ක්‍රීඩකයන් (center backs) මධ්‍ය ප්‍රහාරකයා ළඟින්ම සිට ඔහු වැළැක්වීම​.

නමුත් හන්ගේරියානු මධ්‍ය ප්‍රහාරකයා වුන හිඩෙග්කුටි බොහෝ පසුපසින් සිටි නිසා ප්‍රතිවාදී මධ්‍ය ප්‍රහාරකයන්ට ඔහු පසුපස බොහෝදුර ඉදිරියට එන්න සිදු වුනා. ඒ හේතුවෙන් ප්‍රතිවාදී ආරක්‍ෂක වළල්ලේ ඇතිවෙන හිල් තුලට වම් සහ දකුණු පැති ප්‍රහාරකයන් (wing forwards) වුන සීබොර් සහ බුදායි වේගයෙන් කඩා වැදුනා. ඔවුන් දෙදෙනා ප්‍රහාරකයන් දෙදෙනා වුන පුස්කාස් සහ කොචිස් සමඟ වේගවත් සහ කෙටි පන්දු ස්ථාන ගතකිරීම් මාලාවක් ඔස්සේ වේගයෙන් ප්‍රතිවාදී සීමාව ආක්‍රමනය කරමින් ගෝල ලබා ගැනීම තමයි හන්ගේරියානු පිලේ ක්‍රීඩා රටාව වුනේ.

හන්ගේරියානු පිලේ මේ වේගවත්, ආක්‍රමනශීලී සහ ආකර්‍ෂනීය ක්‍රීඩා රටාව එකල ලෝකයට අළුත්ම අත්දැකීමක් වුනා. නරඹන්නන් මේ ක්‍රීඩා රටාවෙන් උත්කර්‍ෂයට පත් වුන තරමටම ප්‍රතිවාදීන් ඉන් අසරණ වුනා.

ඔවුන් ගේ ආරක්‍ෂනයත් ඒ වගේම නවතම උපක්‍රම වලින් ගහණ එකක් වුනා. හන්ගේරියානුවන් ප්‍රහාරයක් එල්ල කරන විට මැදපෙළ ක්‍රීඩක (midfield) බොෂික් ඊට සහය දෙමින් ඉදිරියට ගිය අතර​, ප්‍රතිවාදීන් හන්ගේරියානු සීමාව ආක්‍රමනය කළ විට මැදපෙළ ක්‍රීඩක සකාරියාස් ආරක්‍ෂයන්ට සහය වෙමින් පසුපසට ගියා. ආරක්‍ෂක (full back) ක්‍රීඩක බුසාන්ස්කි සහ ලැන්ටොස් ගේ සහයට දැල රකින්නාත් හැකි අවස්ථාවලදී ඉදිරියට පැමිණියා.

මේ නම්‍යශීලී 2-3-3-2 සැකැස්ම ඔස්සේ ක්‍රීඩකයන් නියමිත තැනක නොරැඳී පිටිය පුරා ක්‍රීඩා කිරීමේ ක්‍රීඩා රටාව තමයි හන්ගේරියානුන් ගේ සාර්ථකත්වයේ රහස වුනේ. ඔවුන් ගේ ශාරීරික යෝග්‍යතාවය සහ තාක්‍ෂනික හැකියාවන් ඊට ඉවහල් වුනා.

මේ ක්‍රීඩා රටාව තවත් වැඩි දියුණු කරමින් "පරිපූර්ණ පාපන්දු" (total football) නමින් නව ක්‍රීඩා රටාවක් හඳුන්වාදෙන්න 1970 දශයකයේ දී නෙදර්ලන්ත කණ් ඩායම සමත් වෙනවා. එමගින් ඔවුන් 1970 දශකයේ පාපන්දු ලොව තම අණසකට නතු කරනවා.

Tuesday, June 19, 2018

තංගම්මගෙ ලැයිං සුදිය​



සිරා බිස්නස් අයිඩියා එකක් ආව​.

ගන්නව ඔය හැටන් කොටගල තලව​කැලේ පැත්තෙන් ඉඩං කෑල්ලක්. ඒකෙ ගහනව සුද්දගෙ කාලෙ තිබ්බ වගේ ලැයිං කාමර සෙට් එකක්. ඊට පස්සෙ ඒ ලැයිං කාමර රෙන්ට් කරනව​. ඒකට නම දාන්නෙ "තංගම්මගෙ ලැයිං සුදිය" කියල​. පැකේජ් එක දවස් තුනයි.

හැබැයි ඔය හොට් වෝටර්, බාත් රූම්, ස්ප්‍රිං මෙට්ට වගේ සීනිබෝල හුකුං නෑ. ෆුල් ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එකක්.

උදේ පහට විතර සංගුවක් ගහල ඇහැරවනව​. මූණ කට හෝදගන්න තියෙන්නෙ එළියෙ තියෙන පීල්ලකින් එන වතුර පාරක්. අයිස් වගේ වතුර​. රෙන්ට කක්කුස්සියක් නෑ. අර පීල්ලෙන්ම අයිස් වතුර හුන්ඩුවක් පුරෝගෙන පඳුරක් අස්සෙ රෙන්න පුළුවන්. පුක හේදුවොත් ඉතිං පුකේ මයිල් ඉස්මයිල් වෙනව​. ඒ නිසා කැමති නං පුක නොසෝදා ඉන්නත් පුළුවන්.

ඊට පස්සෙ කූඩෙත් අරං තේ දළු කඩන්න වත්තට යන්න ඕනෙ. වැස්ස​, සීතල, මීදුම, කූඩැල්ලො වගේ ලපටි කතා නෑ. දළු කඩන්න නොගියොත් කන්න දෙන්නෙ නෑ.


හවස් වෙනකං දළු කැඩුවට පස්සෙ රෑ වෙලා ආපහු කාමරේට එතෑකි. කන්න දෙනව රොටී දෙකක්. එච්චරයි. මුළු හැත්ත බුරුත්තටම එක කාමරයයි තියෙන්නෙ. පැදුරු කෑලි තියෙනව එලාගෙන බුදියගත්තෑකි. අනිවා උදේ වෙද්දි කොළරාව​ හැදිල තියෙන්නෙ. මොකද ඉතිං උදේට මූණ හෝදන්නෙ කාරිය උඩ ලැයිං වල එවුං රෙන එව්ව හෝදගෙන එන වතුරෙන් නෙ. ඒ වුනාට ඒ හුකාරිස් නෑ. පුකෙං බඩසාරු වක්කරගෙන හරි එදත් දළු කඩන්න යන්න ඕනෙ. නැත්තං රොටී දෙක නෑ.

ඔප්‍ෂනල් පැකේජ් දෙකක් තියෙනව​. එකක් "පෙරිය දොරේ". ඒක ගත්තොත් දළු කඩ කඩ ඉද්දි සුද්දෙක් අස්සයෙක් පිටේ ඇවිල්ල කසෙන් ගහනව​. අනිත් එක "මැලේරියා". ඒක ගත්තොත් මැලේරියා ඉන්ජෙක්‍ෂන් එකක් ගහනව​. එතකොට අර ෆුල් ආතල් එක ගන්න පුළුවන් මැලේරියාව හැදිල වෙව්ල වෙව්ල​.


වැඩේ නැගල ගියොත් තව සීන් එකක් පටන් ගන්නව "සිරිමලී ගෙ මායිං ගම්මාන ආතල්" කියල​. ඒක දාන්නෙ වවුනියාව පැත්තෙ. ඒකත් දවස් තුනේ පැකේජ් එකක්. සීන් එක යන්නෙ එක්ස්ට්‍රීම් ස්පෝර්ට් එකක් විදිහට​.

පොඩි කටුමැටි පැල් කොට වල තමා ඉන්න තියෙන්නෙ. උදේම නැගිටල යන්න ඕනෙ කුඹුරෙ වැඩ කරන්න​. හවස් වෙලා ආයෙ ගෙදර එනව​. රෑට නිදාගද්දි තමා සෙල්ලම​ පටන් ගන්නෙ. දවස් තුනෙන් ඕනම දවසක රෑ තුවක්කු, කඩු, කැති, මුගුරු ගත්ත සෙට් එකක් පනිනව​. අහුවෙන අහුවෙන එකා කැතිගාල මරනව​. කැලේ පැනල හැංගිල බේරෙන්න ඕනෙ. අහුවුනොත් මැරුව​. පට්ටම ඇඩ්‍රිනලින් රෂ් එකක් එන්නෙ. ඔය බංජි ජම්පිං, රාෆ්ටිං වගේ ඒව නිකං ලෑතර පීතර කියල හිතෙයි.

ඔය වෙන රටවලත් තියෙන්නෙ ඒ වගේ සීන්. වියට්නාමෙ උමං මාර්ග​, පෝලන්තෙ අවුෂ්විට්ස් වගේ. හරි හරි ඒවයෙ ඉතිං වැඩේ සිද්ධ වෙන්නෙ එඩියුකේෂනල් ට්‍රිප් එකක් වගේ තමා. ඒ වුනාට ඕව ගැන රිසර්ච් කරල එහෙම වැඩක් කරන්න පුළුවන් කාටද ඕයි. ඊට වඩා ලේසි නැද්ද මේ වගේ ගොම්පාට් එකක් දාන එක​? ඔය පොෂ් සෙට් එකටත් ආයෙ ඕව ඉගෙන ගෙන වැඩක් තියේයැ. උන්ටත් ඕනෙ අම්මට සිරි වෙලා යන සෙල්ෆි ටිකක් ෆේස්බුක් දාගන්න නෙ. ඉල්ලුමට සැපයුම​. මේක තමා රොම්බ දනවාදෙ.

මොකද්ද​? ඔය වතුවල, ගං වල ඉන්න එවුන්ට අවුල් යයි ද​? පිස්සුද හුත්තො? ඔය නූගත් දුප්පත් වඳ හැත්තට අපිට වගේ දුක​, වේදනාව​, ලැජ්ජාව කියන හැඟීම් දැනෙන්නෙ නෑ. එදාවේල වේසිගෙපුතාලනෙ. නිකං සත්තු වගේ තමා ජීවත් වෙන්නෙ. අහුවුන දෙයක් කෑව​. නිදාගත්ත. උන්ට ඕවයෙ ගානක් නෑ. උන්ට ඉතිං ඕවයෙ ලගින්ට එන සුද්දෙක්ට​ අලිපේර ගෙඩි දෙකක් ජුජුබ්ස් පැකට් එකක් විකුණ ගන්න තිබ්බොත් වැඩිත් එක්ක​.

ඒක නෙවෙයි ඕයි හොඳම සීන් එක​. අර ඒ කාලෙ ඇත්තටම තේ වතු වල වැඩකරපු දෙමළු මරාගෙන කාපු සුද්දංගෙ පරම්පරාවල එවුං ඒ මරාගෙන කාල හම්බකරපු සල්ලි වලින් ඇවිල්ල ඔය ආතල් එක ගද්දි. කොහොමද ආතල් එක​? සීය දෙමළු මරාගෙන කාපු ලැයිං කාමර වල මුණුපුරා ඇවිල්ල ෆන් එකක් අරගෙන යනව​. ඕං බලාගනිං සීයගෙ හපංකං. ඇඬෙනව නේද ඕයි? ඕක තමයි ඕයි දනවාදෙ කියන්නෙ. අඬන්න එපා හිනාවෙනව​.

Saturday, June 16, 2018

ජල විදුලි බලාගාර​


ජල විදුලිය කියන්නේ ලෝකයේ විදුලිය උත්පාදනය කරන්න භාවිතා කරපු පැරණිම ක්‍රමයක්. ඒ වගේම තාක්‍ෂනික, ආර්ථික සහ පාරිසරික පැත්තෙන් බැලුවම ජල විදුලිය තමයි විදුලිය උත්පාදනයට සුදුසුම ක්‍රමය​. ඒක ඉතාම ලාබදායික​, සාපේක්‍ෂව පරිසර දූෂනය අඩු සහ තාක්‍ෂනික වශයෙන් ඉතාමත් නම්‍යශීලී ශක්ති ප්‍රභවයක්.

2014 දී ලෝක විදුලිබල උත්පාදනයෙන් 17% ක් සිදු කෙරුනේ ජල විදුලියෙන්. ලංකාවේ හොඳින් වැසි ලැබෙන අවුරුද්දක ජාතික විදුලිබල උත්පාදනයෙන් 40% ක පමණ පංගුවක් සපයන්නේ ජල විදුලිය​. නියං අවුරුදු වල මේක 20% තරම් පහත වැටෙන්න පුළුවන්.


මේ ලිපියෙන් කියන්න යන්නේ ජල විදුලි බලාගාරයක විදුලිය උත්පාදනය සිදුවෙන ආකාරය​.

ජල විදුලි බලාගාරයක විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය ගල් අඟුරු බලාගාරයකට සාපේක්‍ෂව සරළයි. එතනදී කරන්නේ ඉහළ උස මට්ටමක ඇති ජලාශයක රඳවාගන්නා වතුර පහල මට්ටමක ඇති බලාගාරය වෙත අරගෙන ඇවිත්, එහි ඇති බමණයක් කරකවලා එමගින් ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවීමෙන්. මෙතැනදි විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ ඉහළ උසක ඇති ජලයේ විභව ශක්තිය​. ඒක හැඳින්වෙන්නේ ජල හිස (water head) කියලා.


ජල විදුලි බලාගාරයක ප්‍රධාන කොටස්


ජල විදුලි බලාගාරයක් ප්‍රධාන කොටස් 18 කින් සමන්විතයි.

1. වේල්ල (dam)
2. ජලාශය (reservoir)
3. වාන් දොරටු (spillway gates)
4. තුළුමග​ (intake)

5. කසළ රඳවනය​ (trash racks)
6. පෙරාර උමඟ​ (head race tunnel)
7. කැලඹුම් ළිඳ​ (surge tank)
8. ගල් රඳවනය​ (rock trap)
9. කොටුදොර​ (penstock)
10. ප්‍රධාන පිවිසුම් කපාටය​ (main inlet valve)
11. බමණය​ (water turbine)
12. පිටවුම් නළය​ (draft tube)
13. අවරාර උමඟ​ (tail race tunnel)
14. අවරාරය​ (tail race)
15. ජනන යන්ත්‍රය​ (generator)
16. පරිණාමකය​ (transformer)
17. වහරු අංගනය​ (switch yard)
18. සම්ප්‍රේෂන රැහැන් (transmission lines)



1. වේල්ල (dam)



ජල විදුලි බලාගාරයට අවශ්‍යය ජලය ලබාගන්නේ තෝරාගත් ස්ථානයකදී ගඟක් හරහා වේල්ලක් බැඳීමෙන් ජලාශයක් නිර්මානය කිරීමෙන්. මේ වගේ හදන වේල්ලක් තනි කොන්ක්‍රීට් වලින් හෝ ගල් වලින් හදලා වටේට කොන්ක්‍රීට් තට්ටුවක් යෙදීමෙන් නිම කරනවා. සමහර අවස්ථාවලදී ජලාශයක් තැනීම කෙරෙන්නෙ නෑ. ගඟ හැරවීම පමණයි කෙරෙන්නේ. එවැනි අවස්ථා වලදී වේල්ල හැඳින්වෙන්නේ අමුණ (diversion weir) විදිහට​.


2. ජලාශය (reservoir)



ජලාශයෙන් කරන්නෙ අවශ්‍යය පරිදි භාවිතයට ගන්න පුළුවන් විදිහට ජලය එක්‍ රැස් කරලා තබා ගැනීම​. ප්‍රමානයෙන් කුඩා ජලාශ පොකුණක් (pond) විදිහට හැඳින්වෙනවා.


3. වාන් දොරටු (spillway gates)



ජලාශයේ උපරිම වතුර රඳවා ගත හැකි සීමාවක් තියෙනවා. ඒකට කියන්නෙ "පිටාර මට්ටම​" (spill level) කියලා. පිටාර මට්ටමට වඩා වතුර පිරෙන අවස්ථාවකදී වැඩිපුර වතුර නිදහස් කරන්න තමයි වාන් දොරටු තියෙන්නෙ. වාන් දොරටු එසවීමෙන් වැඩිපුර එන ජලය මුදා හරින්න පුළුවන්. සමහර ජලාශ වල වාන් දොරටු නෑ. ඒ වෙනුවට තියෙන්නෙ තව්වක්. එතකොට වැඩිපුර එන වතුර ඉබේම පිටාර ගලනවා.


4. තුළුමග​ (intake)



තුළුමග කියන්නේ ජලාශයේ තියෙන වතුර  එළියට ගන්න තැන. මේක හැම වෙලේම වතුරෙන් යට තියාගන්න අවශ්‍යයයි. ඒ නිසා තුළුමගේ මට්ටමට වඩා ජලාශයේ වතුර මට්ටම අඩු වෙන්න දෙන්නෙ නෑ. ඒක හඳුන්වන්නේ "අවම මෙහෙයුම් මට්ටම​" (minimum operation level) කියලා. අවශ්‍යය විටෙක වහ ගන්න තුළුමගේ ගේට්ටුවක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ තුළුමග ගේට්ටුව (intake gate) කියල​. සාමාන්‍යය තත්වය යටතේ තුළුමග ගේට්ටුව හැම වෙලේම සම්පූර්නයෙන්ම ඇරල තියෙන්නෙ.


5. කසළ රඳවනය​ (trash racks)



ජලාශයේ එක් රැස් වෙන නොයෙකුත් කසල තුළුමගට ඇතුල් වීම වැලැක්වීම සඳහා තුළුමගේ කටේ යකඩ දැලක් තියෙනවා. මේ යකඩ දැල තමයි කසල රඳවනය කියල හැඳින්වෙන්නේ. කසල රඳවනයෙන් රඳවාගන්නා කසල දැල දිගේ උඩට අරගෙන බැහැර කරන්න පුළුවන්.


6. පෙරාර උමඟ​ (head race tunnel)



ජලාශයේ තියෙන වතුර බලාගාරය වෙත ගෙනියන්නේ පෙරාර උමඟ ඔස්සේ. ඇත්තෙන්ම තුළුමග කියන්නේ පෙරාර උමඟේ කට​. පෙරාර උමඟේ හරස්කඩ අශ්ව ලාඩමක හැඩයට හදල තියෙන්නේ ඇතුලේ පීඩනය සමව බෙදී යන විදිහට​. පෙරාර උමඟේ ඇතුල් බිත්තිය කොන්ක්‍රීට් වලින් ආවරණය කරල හදනවා. නමුත් ගල ශක්තිමත් තැන්වල කොන්ක්‍රීට් නොකර තියෙන්නත් පුළුවන්. තුළුමග හැම වෙලාවෙම වතුර මට්ටමෙන් යට තියෙන නිසා පෙරාර උමඟ හැම වෙලාවෙම සම්පූර්නයෙන්ම වතුරෙන් පිරිල තියෙන්නෙ. ඒ වගේම පෙරාර උමඟ හදන්නෙ ඉතාම අඩු බෑවුමක් තියෙන විදිහට​. ඒ උමඟ ඇතුලේ ජල පීඩනය අවම කරගන්න​.


 7. කැලඹුම් ළිඳ​ (surge tank)



පෙරාර උමඟ ඇතුලේ පීඩන සර්ජනයක් (pressure surge) ඇති වුනොත් එමගින් උමඟට හානි ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා උමඟේ එක තැනක් වායුගෝලයට විවර කරල තියෙනවා. පීඩන සර්ජනයක් ඇති වුනොත් ඒ පීඩනය එතැනින් වායුගෝලයට මුදා හැරෙනවා.


8. ගල් රඳවනය​ (rock trap)


පෙරාර උමඟ දිගේ එන ගලක් බමණයට ඇතුල් වුනොත් එයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පෙරාර උමඟේ කෙලවර ලොකු වලක් තියෙනවා ගල් රඳවා ගන්න​.


 9. කොටුදොර​ (penstock)



පෙරාර උමඟේ දිගේ අඩු බෑවුමකින් අරගෙන එන වතුර බමණයට ලබා දෙන්න කලින් එක පාරටම විශාල බෑවුමක් සහිත වානේ නල තුලින් යවනවා. ඒ බෑවුමත් එක්ක ජලයේ පීඩනයේ වැඩි කරගන්න​. මේ වානේ නල තමයි කොටු දොර විදිහට හැඳින්වෙන්නේ. කොටු දොර සමහර විට පොළව මතුපිටින් යන වානේ නල විදිහට තියෙන අතර සමහර විට භූගත නල විදිහට තියෙනවා.


10. ප්‍රධාන පිවිසුම් කපාටය​ (main inlet valve)



කොටු දොරෙන් එන වතුර බමණයට ඇතුල් වෙන්න පෙර විශාල කපාටයක් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ප්‍රධාන පිවිසුම් කපාටය කියල​. බමණයට වතුර දෙනවද නැද්ද කියල එක තීරණය වෙන්නෙ ප්‍රධාන පිවිසුම් කපාටයෙන්.


ජල හිස වැඩි බලාගාර වල ප්‍රධාන පිවිසුම් කපාටය ගෝලීය කපාටයක් විදිහටත් (spherical valve) ජල හිස අඩු බලාගාර වල සමනළ කපාටයක් (butterfly valve) විදිහටත් යොදා ගන්නවා.


11. බමණය​ (water turbine)


බමණය තමයි ජල විදුලි බලාගාරයක වැදගත්ම කොටස​.

බලාගාරයේ ජල හිස අනුව වර්ග කීපයක බමණ යොදාගන්නවා. ඒ අතරින් බහුලව යොදාගන්නේ බමණ වර්ග තුනක්.

1. පෙල්ටන් - විශාල ජල හිසක් සහිත බලාගාර (මීටර් 300 ට වැඩි)
2. ෆ්‍රැන්සිස් - මධ්‍යම ජල හිසක් සහිත බලාගාර (මීටර් 30 ට වැඩි)
3. කප්ලාන් - කුඩා ජල හිසක් සහිත බලාගාර (මීටර් 30 ට අඩු)

පෙල්ටන් බමණය


පෙල්ටන් බමණය සමන්විත වෙන්නේ කෝප්ප හැඩයේ බමණ පෙති ගණනාවකින්. මේවා බකට්ටු (bucket) කියල හැඳින්වෙනවා. ජල තුඩු (nozzel) කීපයකින් මේවාට අධික වේගයකින් යුත් ජල ධාරාවක් විදිනවා. ඒ ජල ධාරාව බකට්ටු වල ගැටීමෙන් තමයි බමණය කරකැවෙන්නෙ සලස්වන්නේ.


ලංකාවේ ලක්‍ෂපාන සහ උමා ඔය බලාගාර වල තියෙන්නෙ පෙල්ටන් බමණ​.


ෆ්‍රැන්සිස් බමණය​


ඉතාම බහුලව භාවිතා වෙන බමණය වෙන්නේ ෆ්‍රැන්සිස්. ෆ්‍රැන්සිස් බමණය සමන්විත වෙන්නේ වානේ වලින් හදපු තැටියක් ඇතුලෙන් කපන ලද වතුර ගමන් කල හැකි මාර්ග රැසකින්. වතුර පාර මේ මාර්ග ඇතුලෙන් ගමන් කරන්නේ බමණය කරකවමින්. පෙල්ටන් බමණයක් කැරකෙන්නේ වතුර පහරේ වේගයට වුනත්, ෆ්‍රැන්සිස් බමණයක් කැරකෙන්නේ වතුරේ පීඩනයට සහ වේගයට යන දෙකටම​.


මේ නිසා වතුරේ පීඩනය ඉහළ අගයක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා ෆ්‍රැන්සිස් බමණය පෙල්ටන් බමණය වගේ වායුගෝලීය පීඩනයේ නෙවෙයි තියන්නේ. ෆ්‍රැන්සිස් බමණය තියල තියෙන්නේ සම්පූර්නයෙන්ම මුද්‍රා තැබූ සර්පිල හැඩයේ කසුවක් තුල​. මේක සර්පිල කසුව (spiral casing) කියල හැඳින්වෙනවා.


බමණයට වතුර ඇතුල් වෙන්නේ සර්පිල කසුවේ ඇතුල් පැත්තේ බිත්ති වල කපන ලද මාර්ග හරහා. වතුර පාරේ සැර පාලනය කරන්න මේ මාර්ග වලට ගේට්ටු තියල තියෙනවා. මේ ගේට්ටු හැඳින්වෙන්නේ නියමු තල (guide vein) කියලා. ජනන යන්ත්‍රයේ උත්පාදනය වෙන මෙගාවොට් ප්‍රමානය පාලනය කරන්නේ මේ වතුර පාරේ සැර මගින්.



කප්ලාන් බමණය​


අඩු ජල හිසක් සහිත බලාගාර වලට යොදා ගන්නේ කප්ලාන් බමණය​. කප්ලාන් බමණය හැඩයෙන් නැවක අවර පෙති වලට සමානයි. වතුර පාර ගලාගෙන යන මාර්ගයේ කප්ලාන් බමණය තියල තියෙන්නේ වතුර පාර මගින් බමණය කරකැවෙන ආකාරයට​.


කප්ලාන් බමණයේ තල වල ඇලය වෙනස් කරන්න පුළුවන්. මේ නිසා ඒ ඒ වතුර පාරේ සැර අනුව වඩාත්ම කාර්‍යක්‍ෂම ඇලය සහිතව බමණය කරකැවීමේ හැකියාව තියෙනවා.


ලංකාවේ උඩ වලවේ සහ ඉඟිනියාගල බලාගාර වල තියෙන්නේ කප්ලාන් බමණ​.


12. පිටවුම් නළය​ (draft tube)



බමණය කරකවලා ඉවත් වෙන වතුර යන්නේ පිටවුම් නලය ඔස්සේ. පිටවුම් නලය නැම්මක් සහිතව විශේෂ හැඩයකින් හදල තියෙන්නෙ ශක්ති හානිය අවම කරගන්න​.


13. අවරාර උමඟ​ (tail race tunnel)



පිටවුම් නළයෙන් ඉවත් වෙන වතුර යොමු කෙරෙන්නේ අවරාර උමඟට​. අවරාර උමඟ ඒ වතුර නැවතත් ගඟ දක්වා රැගෙන යනවා. අවරාර උමඟ ගොඩක් දිගයි නම් පෙරාර උමඟේ වගේම පීඩන සර්ජනයක් නිදහස් කරන්න කැළඹුම් ළිඳකුත් තියෙනවා.


14. අවරාරය​ (tail race)



 අවරාර උමඟ දිගේ එන වතුර ගඟට නිදහස් වෙන්නේ අවරාරයේදී.


 15. ජනන යන්ත්‍රය​ (generator)




බමණය ඊෂාවක් (shaft) හරහා ජනන යන්ත්‍රයට සම්බන්ධ කරල තියෙන්නේ. එමගින් බමණය කැරකෙන වේගයෙන්ම ජනන යන්ත්‍රයත් කැරකෙනවා. ජනන යන්ත්‍රය සමන්විත වෙන්නේ විශාල දඟර දෙකකින්. එක දඟරයක් ඊෂාව මත සවි කරල තියෙනවා. ඒ දඟරය හැඳින්වෙන්නේ භ්‍රමකය (rotor) කියලා. අනෙක් දඟරය භ්‍රමකයට වටා සවි කරල තියෙනවා. ඒක හැඳින්වෙන්නේ ස්ථායුකය (stator) කියල. භ්‍රමකය තමයි බමණයත් එක්ක කැරකෙන්නේ. භ්‍රමකයට සරළ ධාරාවක් ලබා දුන්නම ස්ථායුකයේ ප්‍රත්‍යාවර්ථ ධාරවක් ජනනය වෙනවා. ඒ ප්‍රත්‍යාවර්ථ ධාරාව තමයි අපි ප්‍රයෝනයට ගන්නේ. 


 16. පරිණාමකය​ (transformer)



ජනන යන්ත්‍රයේ ජනනය වෙන ධාරාවේ වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 10-20 අතර ප්‍රමානයේ වෙනවා. මේ අඩු වෝල්ටීයතාවයෙන් විදුලිය සම්ප්‍රේෂනය කරොත් අධික ශක්ති හානියක් සිදු වෙන නිසා ඊට කලින් වෝල්ටීයතාවය වැඩි කරගන්න පරිණාමකයක් භාවිතා කෙරෙනවා. පරිණාමකයේදී වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 200 - 400 අතර ප්‍රමානයකට වැඩි කෙරෙනවා (ලංකාවේ නම් කිලෝ වෝල්ට් 220).

පරිණාමකය සමන්විත වෙන්නෙ එකිනෙකට ඉතා ළඟින් සවි කල දඟර දෙකකින්. මේ දඟර වල පොට ගනනේ අනුපාතයට සමාන අනුපාතයකින් එක දඟරයකට සපයන ධාරාවේ වෝල්ටීයතාවය අනෙක් දඟරයේ ප්‍රේරණය වෙනවා.  


17. වහරු අංගනය​ (switch yard)



පරිණාකයෙන් වෝල්ටීයතාවය ඉහළ නැංවූ විදුලිය ඊළඟට යන්නේ වහරු අංගනයට​. වහරු අංගනය භාවිතා වෙන්නේ පරිණාමක සහ සම්ප්‍රේෂන රැහැන් සම්බන්ධ කරගන්න​​. වහරු අංගනයේ ඇති උපාංග භාවිතයෙන් අපිට පුළුවන් සම්ප්‍රේෂන රැහනක් හෝ පරිණාමකයක් අවශ්‍යය පරිදි සක්‍රීය හෝ අක්‍රිය කරන්න​.

පැරණි වහරු අංගන එළිමහනේ ඇති උපාංග වලින් සමන්විත වුනත්, නවීන වහරු අංගන සම්පූර්නයෙන්ම සීල් කරන ලද උපාංග වලින් සමන්විත ගෘහස්ත වහරු අංගන (GIS) විදිගට දකින්න පුළුවන්. 


 18. සම්ප්‍රේෂන රැහැන් (transmission lines)



සම්ප්‍රේෂන රැහැන් වලින් කරන්නේ විදුලිය රට පුරා බෙදා හැරීම​.